අරුණි ශපීරෝ‍ වෙතින්

රෙදි හෝදපු ඉතිහාසය

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 16, 2020

කිළිටි ඇඳුම් තනියම හෝදගන්න පටන් ගත්තෙ කොයි වයසේ දී ද කියල මට හරියටම මතක නැහැ. කිළිටි ඇඳුම් අරන් ගිහින් හෝදලා මැදලා පොට්ටනියක කරගහගෙන ආපහු ගේන අයව දැකීම හිමිහිට නැවතිලා ගියා. ඒ කාලේ තිබ්බ පාසැල් නිල ගවුම් දෙකෙන් එකක් අක්කට මදි නිසා මට දායාද වෙච්චි එකක්. එයා උසයි කෙට්ටුයි. මම මිටියි මහතයි. ගවුම් දෙකෙන් එකක් හැම තිස්සෙම වේලෙන්න දාලා තියෙන්නෙ. වැසි දවස් වල දී දවස පුරාම ඇතුළෙ වැලක වනලා තිබුණත් තෙතගතිය යන්නෙ නැහැ. මොන වර්ගයේ රෙදි ද, ගන්න පුළුවන් යාර කීය ද යනාදිය ආණ්ඩුව තීරණය කරපු කාලයක ළමා කාලය ගෙවිච්ච නිසා පාසැල් නිල ඇඳුම් තියා වැඩිය වෙන ගවුම් ලැබුනෙත් නැහැ. ඉතින් හෝදන්න කියල මහ ලොකුවට ඇඳුම් ගොඩක් තිබුනෙම නැහැ.

ගෙදර පිටිපස්සෙ තියන ළිඳෙන් වතුර ඇදලා තමයි කිළිටි ඇඳුම් හෝදලා දාන්නෙ. පුංචි ජනේල දෙකක් තියන ටයිල් දාපු බාත්රූම් එක ඇතුලේ ඉඳන් රෙදි හෝදනවට වඩා කුරුල්ලන්ගෙ සිංදු අහන ගමන් ඇඳුම් හෝදන එකට තමයි මම කැමති වුනේ. පුංචි කාලේ ඉඳන්ම මැදලා අඳින්න වෙච්ච ඇඳුම් වලින් ඈත්වෙලා ගියෙ ඒකට යන කාලේ වෙන දේකට ගන්න තිබිච්ච කැමැත්ත නිසාම වෙන්න ඕන. ලංකාවෙන් පිටවෙලා යනකම් ළිඳෙන් වතුර ඇදලා තමයි ඇඳුම් හේදුවේ. වැලක දාලා තමයි වේලගත්තෙ.

මම මේ ගැන හිතුවේ සාරා ස්කවයර් -Sarah Skwire විසින් රෙදි හෝදපු ඉතිහාසය ගැන ලියපු අගනා විස්තරය කියවද්දී. එයා රෙදි හෝදපු ඉතිහාසය ගැන හොයලා බලන්නෙ නිව් යෝර්ක් නගරයේ දශක අටක රෙදි වැල් දක්වන ඡායාරූප එකතුවක් ගැන ලියැවිච්ච බ්ලොග් සටහනක් දැකල.

1920 ගණන්වල දී ඇමෙරිකාවේ සාමාන්‍ය ගෘහණියක් සතියකට පැය 11.5 ක් ඇඳුම් හෝදන්නයි මදින්නයි වැය කරල තියනව. 1965 වෙද්දී ඒ කාලය පැය 7 කට වඩා අඩුවෙන් කරගන්නටත්, 2014 වෙද්දී සතියකට පැය එකහමාරකින් විතර කරගන්නත් ලැබෙනව.

ස්කවයර් සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරියක්. කිවිඳියක්. පොත් කතුවරියක්. මේ ඡායාරූප බලද්දී ඇයගේ මතකයට නැඟෙන්නේ, වේලෙන්න දාපු රෙදි වැල් දර්ශනයත් සුළඟට රෙදි වැනෙන සද්දයත් මැද්දෙ නින්දෙන් අවදි වෙන හැටි ගැන රිචඩ් විල්බර් ගෙතූ කවියක්. රෙදි හෝදන දවස ‘හිමිදිරියේ දේවදූතයන් එළිබැස ඇති සේ’ යැයි ලියද්දී, නිදිමතෙන් එළියට එන උපැස් යුවළ නොමැති කවියාට මෙහෙම කියැවෙනවා යැයි ස්කවයර් අපිට කියනව:

“දිව්‍යලෝකය පෙනෙන මානයේ දැක්වෙන පැහැදිලි රැඟුම් ද,
ඉහළට නැඟෙන හුමාලය අස්සේ රෝස පාට දෑත් පමණක් ද,
ඔහ්, අපුල්ලන්ට රෙදි මිසෙක මිහිමත වෙනත් කිසිත් නොවේවා.”

අව්වට වේලෙන රෙදි දැකලා මතකයන් අවදි කරගැනීම හරි පහසුයි කියන ස්කවයර්, ඒ මතකය සහ එදා එය සත්‍යයෙන්ම කෙසේ වූයේ ද යන්න අතර කොච්චර සමීපත්වයක් ඇත්දැයි හිතල බලන්නට පාඨකයාව යොමු කරනව.

1913 දී වැඩකරන දුප්පතුන්ගේ දෛනික ශ්‍රමය පිළිබඳව, ලැම්බත් නම් ලන්ඩනය මැද්දේ වූ දිස්ත්‍රික්කයකින් ලැබෙන තොරතුරු දිහා බලන ඇය එහි රෙදි හේදීම ගැන කිසිත් සඳහනක් නැති බව දක්වනව. ඒ දිනය අනෙක් දවස් සියල්ලටම වඩා දුෂ්කර වූ නිසා සාමාන්‍ය දවසක් ගෙවන ආකාරය ලියද්දී ඒ රෙදි හෝදන දවස අඩංගු කරන්න එපා කියල ඒ කාන්තාවන් අධ්‍යයනයේ නිරීක්ෂකයන් ගෙන් ඉල්ලා තියෙනව.

නිව් යොර්ක් රෙදි වැල් ගැන තවත් නිරීක්ෂණයක් ස්කවයර්ගෙන් අපිට ලැබෙනව. මේ රෙදිවැල් වල බහුතරය සුදු පාටයි, යට ඇඳුම් සහ ඇඳ අතිරිලි යනාදිය. ඒ කියන්නේ පාට ඇඳුම්, විශේෂයෙන්ම උණුසුම් කබා ආදිය හෝදන්න ඇත්තේ වෙන දවසක, නිතරම නොවේ. වූල් තෙමුණාම හරි බරයි. රෙදි වැලක දාලා අව්වෙන් වේලගන්න දීර්ඝ කාලයක් යනව. අනෙක, මේ කාලයේ ගෙවල් රස්නෙන් තියාගත්තෙ ගල් අඟුරු වලින්. ඒ කියන්නෙ සුදු පාට රෙදි ඉක්මණින් කිළිටි වෙනව.

වැස්ස ඇද හැලෙද්දී ඉතින් මෙහෙම අව්වෙ සුළඟට පාවෙන රෙදිවැල් දකින්නත් නෑ. නිව් යෝර්ක් නගරයේ තට්ටු මහලක පිහිටන කුඩා වාසස්ථානයක තෙත රෙදිවැල් එල්ලෙද්දි මොන වගේ කවි ලියැවේවි ද කියල හිතන්නෙ.

තාක්ෂණයේ දියුණුව නිසා සිත සතුටින් පිනා යන රෙදි වැල් දර්ශන නැති වී ගියාට කාලේ නාස්තිය අඩු කරගෙන ඊට වඩා ඵලදායී වැඩක් කරගන්නට වගේම කොච්චර දුෂ්කර කර්තවයකින් ගැලවෙන්නට ඉඩක් ලැබිලා තියෙනවා ද කියලා හිතන්න ඕන යැයි අපිට ස්කවයර් පෙන්නලා දෙනව.

මටත් අඩු වයසෙන් මගේ දුව රෙදි හෝදන්න ඉගෙන ගත්ත. ඇඳුම් ටික මැෂින් එකට දාලා ගිහින් වෙන වැඩක් කරගෙන එද්දි රෙදි හේදිල. ආයේ වේලන්න දාලා ගිහින් තවත් වැඩ කරගෙන එද්දී ඔක්කොම වේලිල. ඔහොම ඉතිරි කරගන්න ලැබෙන කාලයෙන් අපි ගන්න ඵලදායී ප්‍රයෝජන, නැත්නම් ලෝකයට එකතු කරන අගය කුමක් ද අනුව තමයි ඉතින් මිනිස් වර්ගයාගේ දියුණුව තවත් ඉස්සහරට යන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: