අරුණි ශපීරෝ‍ වෙතින්

නව වසර කොහොමටත් සුබයි

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 31, 2020

කොතරම් අඳුරු කුරිරු කාල වකවාණු ලෝක ඉතිහාසයෙන් දකින්නට ලැබුණත්, ගෙවී යන සෑම වසරක දී ම පුද්ගලයාගේ සුවසෙත වැඩි වැඩියෙන් සලසා ගන්නට සියළු ලෝක ජනතාව සමත් වී සිටිති. රෝම අධිරාජ්‍යය හදන වෑයමේ පටන් මේ ගෙවී යන 2020 වසර දක්වා පුරවැසියන්ගේ යහපත සලසන්නට පෙනී සිටිනවා කියාගන්නා බහුතරය අතින් සිද්ධ වී තිබෙන්නේ එහි අනිත් පැත්තයි. තමන්ගේ සුවසෙත සලසා ගන්නට වැඩියෙන් සිත කය හා වචනය යොදවන ලද අය තමන්ගේ පමණක් නොව අනුන්ගේ ද සුවසෙත අතිශයෙන් වැඩි කරන්නට සමත් වූහ.

ලෝක ජනතාවක් දරීද්‍රතා මට්ටම් වලට යළිත් ඇද දමන ප්‍රතිපත්ති රැසක් බහුතරයගේ පක්ෂපාතීත්වයෙන් දකින්නට ලැබුණු වසර 2020 වූයේය.

බොරු විද්‍යාව අවියක් හැටියට යොදා ගැනිණ. කෝවිඩ්-19 දත්ත බෙදා හැරුණේ සහ ඒ හා සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ වලට ඉඩ ලැබුනේ, එසේම විද්‍යාවේ නාමයෙන් අවිද්‍යාත්මක ප්‍රතිපත්ති හැදුනේ, සමස්ත ජනතාවගේ සුවසෙත ඉලක්ක කරගෙන නොවේ. පැහැදිලිවම ඒවා පාලන බලය වැඩි කර ගැනීමේ ඉලක්කයන් අනුව සිද්ධ වූ බව පෙනී යයි.

ලෝකයා දැනුවත් කරන්නට පෙනී සිටිනවා කියාගන්නා ජන මාධ්‍යයන් ද, ඉතිහාසයේ බොහෝ අවස්ථාවල දී මෙන්ම 2020 වසරේ දී ද, තම වගකීම් පැහැර හැරියහ.

ඒත්, ඒ සියල්ලම එසේ වුවත්, ඒකීය පුද්ගලයා තම සුවසෙත සලසා ගැනීම පිණිස කුමන හෝ මාර්ගයක් සොයා ගැනීමේ වෑයම අත්හැර නොදමන මිනිස් ස්වභාවය එලෙසින්ම ක්‍රියාත්මක විය.

ඒත්, ඒ සියල්ලම එසේ වුවත්, ආර්ථිකයක් ක්‍රියා කරන ආකාරය එලෙසින්ම ක්‍රියාත්මක විය. වාරණ, තහනම්, බාධක වැඩි වෙද්දී ඒ තැන් වලින් ඒවා අඩු තැන් බලා ශ්‍රමය වෙහෙසීමට නිදහස ඇති පුද්ගලයන් ඇදී ගියහ. තම ශ්‍රමය වැඩිම මිලට අලෙවි කරන්නට නිදහස නැති පුද්ගලයන් උන්හිටි තැන්වල අතරමං වූහ.

ඒත්, ඒ සියල්ලම එසේ වුවත්, ලාබයක් උපයන පරමාර්ථයෙන් විද්‍යාව, තාක්ෂණය, සහ ශ්‍රමය වෙහෙසීම යොදවන පෞද්ගලික ව්‍යාපාර වෛද්‍ය විද්‍යාවට හැම විටම කරන්නට හැකි වූ දැය ඉටු කළහ. රජයේ පාලනය හරහා දමා තිබුණ බාධක ඉවත් වෙද්දී රෝගය හඳුනාගෙන වසරක් ඇතුළත දී සාර්ථක එන්නතක් වෙළඳපොලට ගෙනෙන හැකියාව පෙන්වීම එලෙසින්ම ක්‍රියාත්මක විය.

ඒත්, ඒ සියල්ලම එසේ වුවත්, වෙළඳපොල යනු අවසානයේ දී පාරිභෝගිකයා විසින් කරන තෝරා ගැනීමක් යැයි නැවතත් ඔප්පු කිරීම එලෙසින්ම ක්‍රියාත්මක විය. රුසියාවේ පූටින් සිය දියණියට එන්නත දෙන ආකාරය ලෝක ජනතාවට බෙදා හැරියේය. චීනය තම එන්නත් ගැන නිතර ලෝකයා දැනුවත් කළේය. ඒත්, ඇමෙරිකන් මහජනතාවගේ බදු මුදල් වලින් මෙපමණ ප්‍රමාණයක් මිල දී ගෙන ඉක්මණින්ම ලැබිය යුතු අයට නොමිලේ බෙදනවා යැයි කියූ රජය එන්නතක් හදන්නට පෞද්ගලික ව්‍යාපාර වලට අභියෝගයක් කළ බැවින්, ලෝකයේ සල්ලි තියෙන රටවල් (ඒ කියන්නෙ වෙළඳාමට නිදහසක් වැඩියෙන් ඇති රටවල්) ඒ එන්නත මිල දී ගන්නට ඉදිරිපත් වූහ. ජනමාධ්‍ය සහ දේශපාලන ගැත්තන් එන්නත බෙදා හැරීම ගැන කුමක් ප්‍රචාරය කර හැරියත්, අද ඇමෙරිකාවේ ඈත පිටිසර ගම්වැසියන්ට පවා එන්නත නොමිලේ සහ මිල දී ගන්නට හැකියාව පෑදී ඇත.

ඒත්, ඒ සියල්ලම එසේ වුවත්, දිගින් දිගටම ජනතාවගේ සුවසෙත පිණිස වැඩ කරනවා යැයි පෙනී සිටින බහුතරය එහි අනිත් පැත්ත කරන වෑයම් අත්හරිනු නොමැත. ඊ ළඟ SARS-COV-2 වෛරසය අවියක් කර ගැනීම 2021 උදාවත් සමඟ පටන් ගැනෙනු නිසැකයි. ඒත් ඉතිහාසයෙන් අපි ඉගෙන ගත් යම් දැයක් ඇත්ද, එය අපිට කියන්නේ තමන්ගේ සුවසෙත සලසා ගන්නට වැඩියෙන් සිත කය හා වචනය යොදවන ලද අය තමන්ගේ පමණක් නොව අනුන්ගේ ද සුවසෙත අතිශයෙන් වැඩි කරන්නට 2021 වසරේ දී ද සමත් වන බවයි.

ඔබ තෝරාගන්නේ කුමක් ද?

පුරවැසියන්ගේ යහපත සලසන්නට පෙනී සිටිනවා යැයි කියාගත් අයෙක් වෙන්නද?

නැත්නම්

තමන්ගේ සුවසෙත සලසා ගන්නට වැඩියෙන් සිත කය හා වචනය යොදවන අයෙක් වෙන්න ද?

ඔබ සැමට සුබ නව වසරක් වේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: