අරුණි ශපීරෝ‍ වෙතින්

ටොක්විල් ලියූ “ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය” අදටත් ගැලපෙන පොතක්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 14, 2021

ඇලෙක්සිස් ද ටොක්විල් (Alexis de Tocqueville) ඇමෙරිකාවට ආවේ මේ අලුත් ජනරජය යහතින් ඉන්නේ කෙසේදැයි කියා සොයා බලන්නටයි. ඒ “සමානාත්මතාවය” සඳහා යුරෝපීයයන්, විශේෂයෙන්ම ප්‍රංශ වැසියන් ගත් වෑයම් මහත් බාධක වලට මුහුණ පාමින් සිටින ලද කාලයකයි. ටොක්විල්ගේ පියා මහේස්ත්‍රාත්වරයෙක් හැටියටත් පසුව ප්‍රංශ ආණ්ඩුවේ පරිපාලකයෙක් හැටියටත් සේවය කර දේශපාලන වාතාවරණය වෙනස් වීම නිසා මරණ දඬුවමෙන් නූලෙන් බේරෙන්නට සමත් වූවෙකි. ටොක්විල් ඇමෙරිකාවට එන්නේ ද ප්‍රංශයේ ජූලි විප්ලවයෙන් පසුව ඇති වූ දේශපාලන වෙනසක් තුළින් පළිගැනීම් වලට මුහුණ දෙන්නට සිද්ධ වේ යැයි දකිද්දීය.

ටොක්විල් සහ ඔහුගේ මිතුරෙක් සහ එකට වැඩ කරන සගයෙක් වූ ගස්ටාව් ඩ බෝමොන්ට් (Gustave de Beaumont) 1831 මැයි මාසයේ දී ප්‍රංශ රජය විසින් ඇමෙරිකාවට එවන ලද්දේ එකල වඩාත්ම මානුෂීය ලෙසින් සැලකෙන ලද සිරබන්ධනාගාර පද්ධතිය ගැන තතු සොයා බලන්නටයි. ඒත් දේශපාලන පෙරළිය නිසා ඔවුන්ගේ මාස නවයක තතු ගවේෂණයේ බරපැන ඔවුන්ට පෞද්ගලිකවම දරාගන්නට සිද්ධ වූහ.

ඇමෙරිකන් අත්හදා බැලීම සැබැවින්ම සාර්ථක වේදැයි එවක සැක කළ ලෝක වාසීන් අතරට ටොක්විල් ද වැටී සිටියේය. ඔහුගේ මූලික ප්‍රශ්නය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය දීර්ඝ කාලයක් තිස්සේ පැවතේවිදැයි කියායි. රාජාණ්ඩුවාදය සහ වංශවත්වාදය සදහටම තුරන් කර දමන්නට ප්‍රජාතන්ත්‍රවාදයට හැකිවේදැයි කියායි. ඒවා ඉවත් කර දැමුවාට පසුව වෙනත් ප්‍රජාපීඩක ක්‍රමයකට හසු නොවී, බලය අල්පයකගේ අත පැවතීම අවසන් වේදැයි කියායි.

සමාජයක් පාලනය කරන බලය යොදා ගැනීම සඳහා මේ තාක් ලෝකයේ පවතින ලද ක්‍රම සියල්ලෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අහලකට හෝ එන්නට සමත් වෙනත් සුදුසු ක්‍රමයක් නැති බව මෙතෙක් ඉතිහාසය ඔප්පු කර ඇත. අපි රෝම ප්‍රජාපීඩකයන්ගේ, ජෝසෆ් ස්ටාලින්ගේ ඒකාධිපතිවාදයේ සහ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාට්සිවාදයේ අඩුපාඩු කියවා ඇත්තෙමු. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු ගැන මනා විස්තරයක් ඉදිරිපත් කරන ඇලෙක්සිස් ද ටොක්විල්ගේ “ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය” (Democracy in America) ගැන යාන්තමින් හෝ සිංහලෙන් කියවන්නට අවස්ථාවක් පෑදුනා නම් එය ලැබී ඇත්තේ මෙම බ්ලොග් එකෙන් පමණි.

ඉතිහාසයක් වෙනස් කර ඉදිරිපත් කළ පමණින් ඉතිහාසය වෙනස් නොවේ. එවිට සිද්ධ වෙන්නේ ඉතිහාසය යැයි කියා අපි දැන සිටින තොරතුරු වෙනස් වීම පමණකි. ඉතිහාසය සිද්ධ වූවකි, ඒ ගැන වෙනස් විදියකින් ලියන්නට හැකියි, ඒත් එය වෙනස් කරන්නට නොහැකියි.

ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි කියා පහදා ගන්නට ටොක්විල් ගියේ පුරවැසියන් වෙතටයි. නිව් යෝර්ක් සහ බොස්ටන් නම් එවක ජනාකීර්ණ නගර වලට මෙන්ම ඔහු නිව් ඕර්ලීන්ස්, ඩීට්‍රොයිට්, මෙම්ෆිස් වැනි කුඩා නගර කරා ද ගමන් කළේය. රටේ තොරතුරු වැඩියෙන්ම දැන සිටිනවා යැයි ඔහු සලකන ලද මිනිසුන් සමඟ විස්තරාත්මක සාකච්ඡා සමඟ ඔහු සොයා ගත හැකි වූ (ඔව්, එය අලුත් ජනරජයක් නිසා) අල්ප ඵෙතිහාසික වාර්තා පිරික්සා බැලීය.

වයස විසිහයක වූ ටොක්විල් අවුරුදු පහක පරතරයක් ගනිමින් වෙළුම් දෙකකින් සිය සොයා ගැනීම් ලොවට ඉදිරිපත් කළේ වයසට වඩා පරිනත දාර්ශනික විශ්ලේෂණයක් ඉදිරිපත් කරමිනි.

මහා බ්‍රිතාන්‍යයෙන් ස්වාධීනත්වය ලබාගැනීමට නිසි ලෙසින් නොවූ නැත්නම් අපහැදිලිව නිර්වචනය වූ තණ්හාවකින් නොව, විප්ලවය සිද්ධ වූයේ නිදහස සඳහා වැඩි කැමත්තක් ඇති බව ගැන තීක්ෂණ බුද්ධියකින් වටහා ගැනීමේ ප්‍රතිඵලයක් නිසා යැයි ටොක්විල් අදහස් දැක්වීය.

බහුතරයගේ තීරණ බලාත්මක කරන්නට පුරුද්දක් ඇති කර ගැනීම රටේ ව්‍යවස්ථාව විසින් නොසලකා හැරීම ගැන ඔහු අදහස් දැක්වීය.

නිසි සුපරීක්ෂාවෙන් සිටින අධිකාරියක් පුරවැසියා යන මාර්ගයේ ඇති සියළු අනතුරුදායක තත්වයන් මඟ හරින්නට සමත් වුවත්, එම අධිකාරිය විසින්ම පුරවැසියාගේ නිදහසේ සහ ජීවිතයේ පරම ස්වාමියා වෙන්නේ නම් එයින් පුද්ගලයාට ඇති වාසිය ඉතාමත් සුළු බව ගැන ද ඔහු අදහස් දැක්වීය.

රජ කරන නිදහස කොතරම් වැඩිදැයි කියා නොව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දී පුද්ගලයා බිය විය යුත්තේ ප්‍රජාපීඩකත්වයට එරෙහිව කොතරම් සුළු ආරක්ෂාවක් ඇත්තේදැයි ගැන බව ඔහු අදහස් දැක්වීය. එයට ලැබී ඇති දේශපාලන බලතලයෙන් ඔබ්බට යම් ආණ්ඩුවක් පිවිසෙන්නේ ද, එවිට එවැන්නක් ප්‍රජාපීඩකයෙක් බවට හැරෙනවා යැයි ඔහු අදහස් දැක්වීය.

ඒකීය පුද්ගල නිදහස ආරක්ෂා කිරීම රජයට පැවරීමෙන් පමණක් සෑහීමට පත් වී නොසිටිය යුතු බව ගැන ටොක්විල් අදහස් දැක්වීය.

ජනප්‍රියත්වය සමඟ ජනතාවගේ අයිතීන් සමඟ ගැටුම් ඇතිවීම අත්වැල් බැඳ ගැනීම සිද්ධ වේ යැයි කියාත්, ප්‍රජාපීඩකත්වයට රහසින් ගැතිකම් සිදුවීම නිදහසට ඇති ළැදියාවේ නාමයෙන් සිද්ධ වේ යැයි කියාත් ඔහු අදහස් දැක්වීය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නා එහි වාසි මෙන්ම අවාසි ගැන ද දැන සිටිය යුත්තෙකි. ටොක්විල්ගේ පොත එයට කදිම ප්‍රවේශයකි.

නික්ම යන ජනාධිපතිවරයාගේ පාක්ෂිකයන් ප්‍රිය කරන ලද පාලර් ඇප් සඳහා සියළු ඉඩකඩ අවහිර කරන ලද සමාගම් අතර සිටින, එසේම ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සමඟ ඇමෙරිකන් පුරවැසියන් මහත් සංඛ්‍යාවකගේ ගිණුම් වසා දැමූ ටිවිටර් සමාගම වෙතින් වැඩි දිනක් නොගිහින් මෙම පණිවිඩය නිකුත් විය:
“උගන්ඩාවේ මැතිවරණය ළඟ එද්දී අපිට ඇහෙන්නේ සමාජ මාධ්‍ය සහ පණිවිඩ බෙදා ගන්නා ඇප් බ්ලොක් කරන්න යැයි අන්තර්ජාල පහසුකම් සපයන අයට නියෝග ලැබෙන වාර්තා ගැනයි.
අන්තර්ජාලය වසා දැමීම අපි තරයේ හෙළා දකිමු — ඒවා දැඩිසේ හානිකර වෙති, මූලික මානුෂීය අයිතීන් උල්ලංඝණය කරති සහ විවෘත අන්තර්ජාලයේ මූලධර්ම උල්ලංඝණය කරති.”

අද ඇමෙරිකන් ඉතිහාසය වෙනස් කර ඉදිරිපත් කරන වෑයම් සහ දෙබිඩි පිළිවෙත් හැම අතකින්ම දකින්නට ලැබේ. සිද්ධ වූයේ කුමක්දැයි කියා තොරතුරු බෙදා ගැනීමට රජය මෙන්ම පෞද්ගලික සමාගම් විසින් ද බාධක පනවා ඇත. බහුතරය යැයි කියාගන්නා පිරිස සැබැවින්ම බහුතරය වෙනවා නම් එවැනි උප්පරවැට්ටි යොදා ගැනීමේ අවශ්‍යතාවයක් නැත.

ගෙවී යන්නේ කුතුහලය මහත් සෙයින් වැඩිකරන කාලයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

<span>%d</span> bloggers like this: