නවසීලන්තය දියුණු වුනෙත් එහෙමයි
අලුත් දේශපාලන පක්ෂ හතු සේ පිපෙමින් පවතින අද ලංකාවේ ඒත් තවම වෙළඳාමට ඇති බාධක සැබෑ ලෙසින් අඩුවෙන සහ රාජ්‍ය මැදිහත්වීම් අවම කරන්නට දැක්මක් සතු පක්ෂයක් දකින්නට නැත. ඒ සියල්ලම ගෙනෙන ප්‍රතිපත්ති වලින් දකින්නට ලැබෙන්නේ, හැමදාම දියුණු වෙන තැනේ ලැග සිටින රටක් වෙනුවෙන් ගෙනෙන්නේ දියුණු රටවල් සමෘද්ධියෙන් පසුව වැඩ අවුල් කරගත් ප්‍රතිපත්ති බවයි. දියුණු රටක ප්‍රගතිය පවා අඩාල කරන ප්‍රතිපත්තියක් ඔවුන් වෙනස් කරගනිද්දී ලංකාවට ඒවා යෝජනා කිරීම කොතරම් ඛේදනීය ද?
ජාතීන්ගේ ධනය එකරැස් වූයේ කෙසේදැයි කියා ඇඩම් ස්මිත්ගේ පහදා දීම අදටත් වළංගු වූවකි. ඒත් ඉතින් සිංහලෙන් ඒ පොතේ ඇත්තේ මොනවාදැයි දැන ගැන දැනගන්නට ලැබෙන්නේ මේ බ්ලොග් අවකාශයෙන් පමණක් වෙද්දී, ජාතීන්ගේ ධනය වියදම් කරන ක්‍රම සඳහා පෙනී සිටීම පමණක් වැඩියෙන් යෝජනා වීම පුදුමයක් නොවේ.
නවසීලන්තය වසර 40 කින් පසුවත් ශක්තිමත්ව වැඩෙන්නේ වෙළඳාමට බාධා ඉවත් කළ ප්‍රතිසංස්කරණ නිසයි. ලංකාවටත් ඉගෙන ගත හැකි හොඳ මොඩල් එකක් එහි ඇත.
මෙම සටහනේ ඉතිරිය ගෙනෙන ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියැවිය හැකියි.
1950 වසරේ දී ග්‍රහලෝකයේ වඩාත්ම ධනවත් රටවල් දහය අතරේ නවසීලන්තය සිටින ලදි. එහි නිදහස් ආර්ථිකයක් මෙන්ම ව්‍යවසාය සහ දේපල සඳහා ශක්තිමත් ආරක්ෂාවක් ද පැවතිණ. අනතුරුව බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව ඇතුළුව බටහිර ලෝකයේ බොහෝ රටවල් වල වර්ධනය වූ සුබ සාධන රාජ්‍ය අදහස් වල බලපෑම නවසීලන්තයට ද ඇතුල් විය. ඒ අනුව ආර්ථික ජීවිතය ආණ්ඩුව අතට පවරන ලද හැරුම සිද්ධ විය.
ඊ ළඟ වසර විස්ස ගෙවී යන්නේ විසල් ආණ්ඩුව සහ ආර්ථිකය එක තැන ලැග සිටින තත්වයක් ඉදිරිපත් කිරීමෙනි. එය ඇතිවෙන්නේ මෙම ප්‍රතිපත්ති නිසයි: අතිශයෙන් ඉහළ ගිය තීරු බදු, ගොවිපල නිෂ්පාදන සඳහා රාජ්‍ය මහා පරිමාන සහනාධාර, විශාල මහජන වැය, දිගින් දිගටම පවතින අයවැය පරතරය (වියදම් කරන සල්ලි වලට වඩා ලැබෙන සල්ලි හිඟ වීම), ඉහළ යන උද්ධමනය, ශ්‍රම ගැටළු, ඉහළම ආදායම් උපයන අය සඳහා වූ 66% ක ආන්තික ආදායම් බදු මට්ටම, සහ මහත් වාසි රැසක් බෙදන ලද සුබ සාධන ක්‍රමය.
ඒ අවුරුදු වල දී මධ්‍යම ආණ්ඩුව විසින් දුම්රිය, ටෙලිසන්නිවේදනය, සහ විදුලි බලය බෙදා හැරීමේ ක්ෂේත්රය සඳහා ඒකාධිකාරියක් පිහිටුවා ගෙන සිටියහ. ඉතින් 1975 සිට 1983 දක්වා කාලයේ දී වර්ධනය වූ දේවල් වූයේ විරැකියාව, බදු, සහ රජයේ වියදම් වූහ.
අසාර්ථක ආණ්ඩු වැඩ සටහන් ගණනාවකින් පසුව සහ ආර්ථික විනාශය ඔවුන් හමුවේ ඇස් අයා සිටිය දී, නවසීලන්තයේ නායකයන් විසින් 1984 දී බැස්සේ දියුණු රටක් විසින් කවදා හෝ ගන්නා ලද වඩාත්ම පරිපූර්ණ වූ ආර්ථික නිදහස්කරණය සඳහා වූ වැඩ සටහන් වලටයි.
වසර දෙකකට අඩු කාලයක දී ගොවි ක්ෂේත්රය සඳහා සපයන ලද සහනාධාර නවතා දැමිණ. ක්ෂණිකව තීරු බදු වලින් තුනෙන් දෙකක් කපා හරින ලදි. අද තීරු බදු සාමාන්‍යය 1.4% කි. බොහෝ ආනයන රටට ඇතුල් වෙන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් —නැත්නම් ඊට ඉතා ආසන්න—ලෙසකිනි, කෝටා නැත, ඩියුටි නැත, අනෙක් වෙනත් බාධක නැත.
බදු කපා හැරිණ. ඉහළම අය ගෙවන මට්ටම 33% ක් දක්වා අඩු කරන ලදි. විසල් ආණ්ඩු රිසි වූවන් බලයේ සිටිය දී පැවති මට්ටමෙන් බාගයකි.
1980 ගණන් මැද සිට 1990 ගණන් දක්වා, නවසීලන්තයේ ආණ්ඩුව විසින් ආණ්ඩුව කරගෙන ගිය මුදල් අහිමි වන ව්‍යාපාර දුසිම් ගණනක් විකුණා දැමූහ. 1984 දී ආණ්ඩුවේ ශ්‍රම බලකාය 88,000 කි. මෑත කාලීන ලෝකයේ වෙනත් කිසිදු ආණ්ඩුවකට වැඩියෙන් රැඩිකල් විදියට ප්‍රමාණය අඩු කරන ලද පසුව, 1996 දී එරට රජයේ සේවයේ ශ්‍රම බලකාය 36,000 කට අඩුවෙන් සිටියහ—එනම්, 59% ක් අඩු කිරීමකි.
නවසීලන්තයේ අලුත් ව්‍යාපාරයක් පිහිටුවීම ඉක්මන් සහ පහසු කරන ලදි. එය විශාල වශයෙන් සිද්ධ වූයේ මූලෝත්පාටනය නොකළ රෙගුලාසි අවසානයේ දී සියල්ලන්ටම එක සේ සහ සංස්ථිතික ලෙසින් යොදා ගැනීමෙනි. ඒ අවස්ථාවේ දී ම, අනිවාර්යෙන් ලබාගත යුතු වෘත්තීය සමිති සාමාජිකත්වය මූලෝත්පාටනය කරන ලදි. එසේම විවිධ ශ්‍රම වෙළඳපොලවල් තුළ පැවති වෘත්තීය සමිති ඒකාධිකාරයන් ද අහෝසි කර දැමිණ.
මේ අපූරු වෙනස්කම් නිසා අතිශයෙන් විශාල වාසි අයත් වූහ. ජාතික අයවැය සමතුලිත කරන්නටත්, උද්ධමනය සැලකිල්ලක් නොදැක්වෙන තරම් මට්ටම් වලට වේගයෙන් බැස යන්නටත්, ආර්ථික වර්ධනය වාර්ෂිකව 4-6% අතර වේගයෙන් ඉදිරියට යන්නටත් හේතු වූහ.
නවසීලන්තයේ ජාතික ආණ්ඩුව ප්‍රධාන දේශපාලන පක්ෂ අතර මාරු වී ගියත්, දශක හතරකට ආසන්න කාලයකට පෙර ගෙනෙන ලද ඒ ප්‍රතිසංස්කරණ බොහෝ දුරට නොවෙනස්ව පැවතුණහ.
ඉතින් මගේ හිතවත් ලෝරන්ස් ඩබ්. රීඩ් ලියූ ඉහත ලිපිය සිංහලෙන් කියවන්නට තරම් නිර්භීත වන අයගෙන් මට අහන්නට ඇත්තේ එක ප්රශ්නයකි: නවසීලන්තය දියුණු වූ ඒ ප්‍රතිපත්ති ලංකාවට නරක නම් ඒ ඇයි?
leave a comment