මුළු ලෝකයේම රේඩියෝ මාධ්‍යවේදියෙක් හැටියට වැඩියෙන්ම ආදායමක් උපයන්නට සමත් වූ රෂ් ලිම්බෝ මිය ගිය වගයි
ඇමෙරිකන් දේශපාලනය ගැන විමසිලිමත්ව සිටින අයෙක් රෂ් ලිම්බෝ යන නාමය දැන සිටින්නකි. ඔහුව මහත් සේ අගයන පිරිසක් මෙන්ම ඔහුගේ නම පවා අසන්නට අකමැති පිරිසක් ද ඇමෙරිකාවේ සිටිති.
වයස අවුරුදු 16 දී ප්‍රථම වරට රේඩියෝ රස්සාවක් ලබන ඔහු රේඩියෝ මාධ්‍යයට ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම මහත් සෙයින් ඇලුම් කරන්නට පටන් ගනියි. විවිධ ප්‍රාන්ත වල විවිධ රේඩියෝ නාලිකා ගණනාවක් තුළ විවිධ අන්වර්ථ නම් යොදා ගනිමින් සේවය කරන ඔහුව පටන් ගත් කාලයේ පටන් තැන් ගණනාවකින් අස්කර දැමීමත් සිද්ධ විය.
මුළු ඇමෙරිකාවටම ඇහෙන්න ඔහුට කතා කරන්නට අවස්ථාව ලැබෙන්නේ ඔහු “ද රෂ් ලිම්බෝ ෂෝ” නමින් 1988 දී පටන් ගත්, සෑම සතියේ දවසකම දහවල් 12 සිට සවස 3 දක්වා පැය තුනක් පවත්වාගෙන ගිය රේඩියෝ වැඩ සටහන නිසයි.
ලෝකයේ රේඩියෝ මාධ්‍යවේදියෙකුට සිහින මවන්නට හැකි අසන්නන් රැසක් සතියේ සෑම දිනයකම පාහේ ඔහුට සවන් දෙන්නට එකතු වූහ. සතියකට එකතු වෙන අසන්නන් සමුච්චිතය මිලියන 15.5 ක් යැයි රේඩියෝ මාධ්‍යය වෙනුවෙන් ඇති සඟරාවක් 2019 දෙසැම්බර් මාසයේ දී ප්‍රසිද්ධ කළේය. 2020 නොවැම්බර් මාසය වෙද්දී අසන්නන් සංඛ්‍යාව මිලියන 20 කට වැඩි වූ බවක් දත්ත ඉදිරිපත් කරන අයගෙන් දැනගන්නට ලැබුණා යැයි රෂ්ගේ වැඩ සටහනේ දී සඳහන් කරනු ලැබීය.
හිතන්න, සෑම සතියක දී ම ඔබට මිලියන විස්සක් අමතා කතා කරන්න අවස්ථාවක් ඔබ විසින්ම වර්ධනය කරගත්තාය කියා?
ඔහු රට පුරා දේශන පවත්වන්නට ද ගියේය. 1990 දී පවත්වන ලද දේශන 45 ක් සඳහා ඔහු ඩොලර් ලක්ෂ තිස්හයක් උපයන්නට සමත් වූවා යැයි කියැවේ. ඔහු 2014 දී පමණ ෆිලඩෙල්ෆියා නගරයේ අතුරු සිදුරු නැතිව පිරී තිබුණ නාට්‍ය ශාලාවක දී පැවැත්වූ දේශනයක් අහන්නට මමත් ඩොලර් අසූවක් පමණ ටිකට් පතක් මිල දී ගෙන ගියෙමි.
කොන්දේ අමාරුවකුත් අනතුරුව වැරදුන සැත්කමක් නිසාත් ඔහු වේදනා නාශක බෙහෙත් වලට ඇබ්බැහිව සිටියේය. ඒ ගැන සිය රේඩියෝ ෂෝ එකෙන් අසන්නන් වෙත දන්වන ඔහු එදින වැඩ සටහන අවසන් කළ පසුව එයින් ගැලවෙන්න ප්‍රතිකාර ලබාගන්නා මධ්‍යස්ථානයකට ඇතුල් විය. තවත් සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වන බිල් මෙයර් එ් ප්‍රවෘත්තිය ඇසුණ විට එදින සවස ඔහුගේ ටෙලිවිෂන් වැඩ සටහනේ දී මෙවැනි කතාවක් කී බව මගේ මතකයේ ඇත: කවුද කියන්නෙ මත්ද්‍රව්‍ය ගත්තම මනසට හානි වෙනවා කියල, බලන්නකො රෂ් දිහා.
ඔහුගේ කන් ඇසීම කෙමෙන් දුර්වල වී ගොස් ඇසීමේ හැකියාව සම්පූර්ණයෙන් නැවතිණ. කොක්ලියර් ඉම්ප්ලාන්ට් සැත්කමෙන් පසුව ඔහු දිගටම තව වෘත්තියේ යෙදුනේය. ඒත් ඔහුට 2001 ට කළින් නිකුත් නොවන ලද සිංදු ඒ හේතුව අහන්නට හැකියාවක් නැතැයි කියැවේ.
2008 දී තම වැඩසටහන සඳහා වසර අටක කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන ඔහුට මිලියන $400 ක් එ් සඳහා ගෙවීම් වශයෙන් ලැබෙන බව එවක දී ඔහු කියා තිබිණ.
ඔහු විවාහ වී සිටින්නේ ඔහුගේ හතරවැනි භාර්යාව සමඟයි. ලිම්බෝ මිය ගිය බව ඔහුගේ පෙබරවාරි 17 වැනිදා වැඩසටහන පටන් ගනිමින් නිවේදනය කළ සිටියේ කැතරින් නැමති ඒ හතරවැනි භාර්යාවයයි.
සම්මුචිත යන්නෙහි අර්ථය කුමක්ද අරුණි?
ravisandu,
typo එකක්, හැදුවා වාක්‍යය…සමුච්චිතය = cumulative weekly audience කියන්නයි දැම්මෙ. ස්තුතියි.