අරුණි ශපීරෝ‍ වෙතින්

රාජකීයයන් වින්දිතභාවය දක්වන්නට යෑම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 9, 2021

2013 මාර්තු මාසයේ දී, කූ ක්ලස් ක්ලෑන් විදියට හැඳගත් අයෙක් දකින්නට ලැබුණා යැයි සිසුවෙක් විසින් වාර්තා කිරීමත් සමඟ ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඔබර්ලින් විද්‍යාලයේ පංති තාවකාලිකව නවතන ලදි. එත් ඒ සුදු බ්ලැන්කෙට්ටුවක් පොරවා ගත් කාන්තාවක් යැයි පසුව දැනගන්නට ලැබුණි. මේ සිද්ධිය හටගන්නට පෙර සති කිහිපයක් තුළ දී වර්ගවාදී සහ සෙමටික්-විරෝධී ප්‍රකාශ රැගත් පෝස්ටර් විද්‍යාලයේ දකින්නට හැකි වූහ. ඒත් ඒවා ද වර්ගවාදීන් විසින් අලවන ලද ඒවා නොවන බවත්, අනිත් අයගේ අවධාන සහ ප්‍රතිචාර වෙනුවෙන් වමේ දේශපාලනයට බර සිසුන් දෙදෙනෙක් ඒ පෝස්ටර ගැහුවා යැයි කියාත් සොයා ගැනුණි.

ඉතින් දක්ෂිණාංශ දේශපාලනයට බර අය එවැනි දේ කරනවා යැයි පෙන්වන්නට ගියත්, එය බොරුවක් යැයි ද, ඇත්තෙන්ම ඒවා කරන ලද්දේ වමට බර අය යැයි ද ඔප්පු වූ පසුව ඔබර්ලින් විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් මුලාවෙන් මිදී ආපසු පංතිවලට ගියා යැයි කියා ඔබ සිතනවා ද?

නැහැ, සිද්ධ වූයේ වෙනකකි. පීඩනය සහ අධානග්‍රාහී මත වපුරන විද්‍යාලයක් හැටියට සලකන්නට සිසුන් විසින්ම පටන් ගැනීමයි. යාන්තමින් හෝ ඇතිවන ප්‍රකෝපකාරී හැඟීම් සටහන් කරගැනීම සිසුන්ට අවශ්‍ය වූහ. පිරිමියෙක් තම ලිංගික සහායිකාවට නළලේ තිත (බින්දි) හැරෙන්නට වෙනත් ඇඳුම් නොඇඳ සිටින්න යැයි ඉල්ලා සිටින ලද්දක් එවැනි වාර්තාවකට ඇතුළත් විය. පැමිණිල්ල ලියා තිබෙන්නේ මෙහෙමයි: “හමේ පාට වෙනස් කාන්තාවන් ගැන අමුතු විදියකින් බැලීම ඔවුනට කරන ප්‍රශංසාවක් නොවේ.” විද්‍යාලයේ පිහිටන ජිම් එකේ දී නිල් ඇස් ඇති ආචාර්යවරියක් තම සැමියාටත් නිල් ඇස් ඇති නිසා ඇයගේ දරුවන්ටත් නිල් ඇස් ලැබේවි කියා ඒ ගැන තමන් සතුටු වෙනවා යැයි කීම ඇසුණු පැත්තක සිටි අයෙක් එය “නිදැල්ලේ කරන වර්ගවාදය” කියා සටහන් කිරීම තවත් පැමිණිල්ලකි.

වින්දිතභාවයේ සංස්කෘතිය නැඟ ඒම (The Rise of Victimhood Culture -2018) පොත මූලාශ්‍ර මහත් රාශියක් සහිතව අද ඇමෙරිකාවේ දකින්නට ලැබෙන ඒ රැල්ල ගැන කියැවෙන අපූරු පොතකි. ඉහත සඳහන් කළේ ඒ පොතේ සඳහන් තොරතුරු වලින් අල්පයකි.

අනෙකාට වැඩියෙන් තමන් වින්දිතයෙක් කියාගන්නට මේ රැල්ලේ යන අය අතර තරගයක් ඇතැයි කියත හැකි තරම් වෙයි. ඉතින් ඉරිදා රාත්‍රියේ මෙයට අලුතෙන්ම එකතු වූ දෙදෙනා හැරී කුමරු සහ මේගන් ආදිපාදවරියයි.

හැරී කුමරු සහ මේගන් ආදිපාදවරියගේ පුතා වන ආර්චි, කුමාර හෝ වංශවත් නිල පදවියකින් පිදුම් ලබා නැත්තේ ඔහුගේ “හමේ පාට” නිසා යන ඇඟවීමක් එම සංවාදයේ දී හෙළි කරන ලදි. ඕප්රා වින්ෆ්‍රි ඒ ගැන විස්තර හාරා අවුස්සන්නට ගියේ නැත. වර්ගවාදය නිසා වින්දිතභාවයට පත්වූ අය හැටියට ඔවුන් දෙදෙනාව පිළිගැනුණි.

රජ කුමරෙක් හා විවාහ වූ පමණින් අයෙක් රජ කුමරියක් වෙන්නේ නැත, එමෙන්ම රජ පවුලේ කුමාරයෙකුට දාව උපදින දරුවෙක් රජ කුමරෙක් වෙන්නේ ද නැත.

එලිසබෙත් රැජිනගේ වැඩිමහල්ම පුතා වන චාල්ස් කුමාරයාගේ දෙවැනි කසාදයේ කැමිලා කෝන්වෝල් හි ආදිපාදවරිය වෙනවා මිසෙක ඇය කුමාරියක් යැයි හැඳින්වෙන්නේ නැත.

චාල්ස් කුමාරයාගේ වැඩිමහල්ම පුතා, රැජිනගෙන් පසු ඔටුන්නට හිමිකම් කියන දෙවැනියා, විලියම් කුමාරයා ය. එසේම ඔහු කේම්බ්‍රිජ් හි ඩ්‍යුක්වරයා ද වෙයි.

එලිසබෙත් රැජින ද ඩ්‍යුක් පදවියක් උසුලන්නීය, ඇය ලැන්කැස්ටර් හි ඩ්‍යුක්වරයා යි. ඩ්‍යුක්වරයෙකුගේ බිරිඳ ඩචස් නැත්නම් ආදිපාදවරියකි. නමුත් රැජින ආදිපාදවරයෙකි!

වැඩවසම් ක්‍රමය ක්‍රි. පූ. 1000 දී පමණ බටහිර යුරෝපයේ දකින්නට ලැබෙන්නකි. රජවරු අයිති කරගත් ඉඩම් වලින් කොටසක් වංශවතුන්ට (nobles, පහළ තත්වයන් දරන වංශවතුන්ට (vassals) බෙදා දුන්නේ තමන්ගේ බලය පවත්වා ගැනීම සහ වස්තුව වැඩි කරගැනීම සඳහා යුද්ධ වලට ආම්පන්න සහ සොල්දාදුවන් ලබා ගැනීම පිණිසයි. ඉඩම් ප්‍රදානයක් (Fief) ලැබෙන පහළ වංශවතුන් ඒ වෙනුවෙන් පක්ෂපාතීත්වය සහ හමුදා සේවය සපයන ලදි.

ඉතින් ඔවුන් නිතිපතා යුද්ධ කළහ. ඔවුන් ආගම සඳහා යුද්ධ කළහ. ඔවුන් වික්‍රමාන්විත සංචාර සඳහා යුද්ධ කළහ. ඔවුන් ධනවස්තු සඳහා යුද්ධ කළහ.

එංගලන්තයේ පළමු ඩ්‍යුක් පදවිය (dukedom), කෝන්වෝල් හි ඩ්‍යුක්වරයා යන නාමය, තෙවැනි එඩ්වර්ඩ් රජු විසින් ඔහුගේ වැඩිමහල්ම පුතා සඳහා නිර්මාණය කරන ලද්දකි. ඒ 1337 දී ය.

වංශවතුන් අතර ඩ්‍යුක් පදවි ඇති රජ පරම්පරාවේ නොවන අය ද සිටිති. නමුත් රජකමට උරුමකම් කියන පරම්පරාවේ අය අතර පහළම පදවිය ඩ්‍යුක් හෙවත් ආදිපාද තනතුරයි.

එලිසබෙත් රැජින විසින් විලියම් කුමරාගේ පුතා, එනම් එංගලන්තයේ ඔටුන්නට හිමිකම් කියන තෙවැන්නා, කේම්බ්‍රිජ් හි ජෝර්ජ් කුමරා හැටියට, විලියම් කුමරාගේ වැඩිමහල් දියණිය, කේම්බ්‍රිජ් හි ෂාලට් කුමාරිය හැටියටත්, විලියම් කුමරාගේ දෙවැනි පුතා කේම්බ්‍රිජ් හි ලුවි කුමරා හැටියටත් පදවි ප්‍රාප්ත කරන නියෝගයක් නිකුත් කළා ය.

රැජනගෙන් පසුව ඔටුන්න උරුම වෙන පිළිවෙල චාල්ස් කුමාරයා, විලියම් කුමාරයා, ජෝර්ජ් කුමාරයා, ෂාලට් කුමාරිය, ලුවි කුමාරයා, සහ හැරී කුමාරයා වෙති. එනම් චාල්ස් කුමාරයාගේ දෙවැනි පුතා වන හැරී අද තම සහෝදරයාගේ දරුවන් තිදෙනාට පසුව ඔටුන්න හිමිකම් කියන තත්වයට පහත වැටීම සාම්ප්‍රදායික පිළිවෙතයි.

ඉතින් රැජින විලියම් කුමාරයාගේ දරුවන්ට වංශවත් තනතුරු පැවරුවත් හැරීගේ පුතාට කිසිදු වංශවත් නිලයක් පවරා නැත. මේගන් ආදිපාදවරිය එය තමන්ගේ හමේ පාට නිසා පුතා වින්දිතභාවයක් අත්විඳින ලෙසින් අඟවන්නට යයි.

නමුත් එලිසබෙත් රැජිනගේ එකම දියණිය, ඈන් කුමාරියගේ වැඩිමහල් දරුවා සහ එකම පුතා වන පීටර් පිලිප්ස් ද කිසිදු වංශවත් නිල තනතුරක් නොමැත්තෙකි. ඔහු බ්‍රිතාන්‍ය ඔටුන්නේ උරුමක්කාරයන් ලැයිස්තුවේ 16 වැනි තැනේ සිටින්නා ය. ඈන් කුමාරියගේ දියණියට ද වංශවත් නිල තනතුරුක් නැත. ඒත් ඔවුන් රජ පවුලේ සාමාජිකයන් වෙති. මේගන් විවාහයෙන් ආදිපාදවරියකගේ තනතුරුක් ලැබුවා ය. ඒත් තමනට හමේ පාට නිසා වෙනස් විදියකට සලකනවා යැයි ලෝකයට හඬ ගා කීමෙන් පෙනී යන්නේ ඇය කුමාරයෙක් හා විවාහ වූවත් සැබැවින්ම රජ පෙළපතේ වංශවත් නිල ප්‍රදානය වෙන ආකාරය ගැන සොයා බලා නැතිකමයි.

ජුලියා කුවින් ලියූ “බ්‍රිජටන්: ඩ්‍යුක් සහ මම” ජනප්‍රිය ප්‍රබන්ධය වෙනස් විදියකට හරවා නෙට්ෆ්ලික්ස් හරහා ඉදිරිපත් කළ ටෙලිනාට්‍ය නරඹන්නට ලෝකයේ බොහෝ දෙනෙකුට හැකියාව පෑදුණි. ඵෙතිහාසික එංගලන්ත රජවාසලේ හමේ පාට කළු වූ ඩ්‍යුක්වරුන් දකින්නට නොමැති වූහ. ටෙලිනාට්‍යයේ රඟපාන කඩවසම් හේස්ටින්ග්ස් හි ආදිපාදවරයා, නොහොත් සයිමන් අපිට පැය කිහිපයකට සැබෑ ඉතිහාසය අමතක කරවන්නට සමත් වෙයි.

වින්දිතභාවයේ සංස්කෘතිය තුළින් ලැබෙන්නේ සත්‍යය බැහැරකට ලා තමන්ගේ හිතට දුකක්, පීඩාවක් හෝ යම් නුරුස්නා බවක් දැනෙන අනුන්ගේ ඕනෑම ක්‍රියාවක් හෙළා දකින්නට ක්‍රමවේදයක් ද?

වින්දිතභාවයේ සංස්කෘතිය තුළින් ලැබෙන්නේ සත්‍යය සාධක නැති විට බොරු ඇඟවීම් වලින් නොමඟ යවන අදහස් ප්‍රචාරයට හැකියාවක් ද?

වින්දිතභාවයේ සංස්කෘතියට ඉඩදීම සැබෑ වින්දිතයන්ට කරන අසාධාරණයක් නොවන්නේ ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

<span>%d</span> bloggers like this: