අරුණි ශපීරෝ‍ වෙතින්

තෝරු මෝරු අස්සේ හාල්මැස්සා ගැන කීමෙන් ඵලක් ඇත් ද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 11, 2021

මියන්මාර් (එදා බුරුමය) යනු 1939 ගණන් පටන් “බුරුමයේ කොමියුනිස්ට් පක්ෂය” සහ “සමාජවාදී පක්ෂය” යනාදියෙන් බෙහෙවින් වමට බර වූ රටකි. බ්‍රිතාන්‍යයන් වෙතින් ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගත් පසුව වැඩිකල් නොගිහින් “සුදු කොඩි කොමියුනිස්ට්වාදීන්” සහ “රතු කොඩි කොමියුනිස්ට්වාදීන්” කැරලි ගසන ලද රටකි. දෙවැනි ලෝක යුද්ධය සමයේ චීන කොමියුනිස්ට් කුවොමින්ටෑන්ග් හමුදා උතුරු බුරුමයේ දුෂ්කර පළාත්වල වසර ගණනාවක් තිස්සේ පාලනය කරන ලද රටකි.

වර්තමානයේ දකින්නට හැකි අර්බූදය එක වාමාංශික කල්ලියක් තවත් වාමාංශික කල්ලියක් බලයෙන් ඉවත්කර තබන්නට ගන්නා උත්සාහයයි.

එය මියන්මාර් රටට නුහුරු වූවක් නොවේ. එක වාමාංශික දේශපාලන පක්ෂයක් හරහා රටක් පාලනය කිරීම ගැන පෙරුම් පුරන දේශපාලන දැක්ම ආවඩන අය අද ඇමෙරිකාවේ ද හිරිකිතයක් නැතිව එළිපහළියේ ඒ අදහස් දක්වන කාලයයි.

ඉතින් ඒ නිසා මියන්මාර් ජනතාවට අත්වෙන්නේ අතිශයෙන්ම කණගාටුදායක ඉරණමකි.

ඔවුන් හමුවේ ඇති තෝරාගැනීම නරකයන් දෙදෙනාගෙන් කවුදැයි කියායි. නරකයන් දෙදෙනා අතර වැඩියෙන්ම නරකයා මියන්මාර් ජුන්ටා ය. ඒත් මහ ලොකු වෙනසක් නැත. ඒ ගැන අහන්න රොහින්ජා (Rohingya) ජනතාව ගෙන්.

වර්තමාන ඇමෙරිකාව මියන්මාර් හමුදා ජුන්ටාව ගැන වැඩි දෙයක් නොකරන බව පෙන්වන ලද්දේ කවුරුත් එතරම් ගණනකට නොගන්නා සම්බාධක කිහිපයක් පැනවීම පමණක් සිදු කළ හෙයිනි.

යුරෝපීය යුනියනය තවමත් ඔවුන් ගෙනෙන සම්බාධක මොනවාදැයි කියා හෙළිකර නැත. එයින් පෙනෙන්නේ ඒවා ඇමෙරිකාවටත් වඩා අඩු බලපෑමක් ඇතිකරන ඒවා වෙන බවයි.

ඉන්දුනීසියාව අලුත් මැතිවරණයක් පවත්වන්නට යැයි කියා හමුදා ජුන්ටාව කැමති කරවා ගන්නට ගත් සාකච්ඡා ද මියන්මාරයේ වැසියන් අතර ප්‍රසාදයට පත් නොවිණ. ඔවුන් කියා සිටින්නේ නොවැම්බර් මැතිවරණයෙන් දිනපු අයට ආපහු රට බාර දිය යුතු බවයි. එහි දී ඉන්දුනීසියාවේ විදේශ ඇමතිවරිය තමන් මියන්මාර් වෙත යන්නට සිටි සංචාරයක් මේ හටගත් ජනතා අප්‍රසාදය නිසා නැවත්වූවා යන ඕපාදූපය ප්‍රතික්ෂේප කළාය. කෙසේ හෝ බැංකොක් හි දී මියන්මාර් හමුදා ජුන්ටාවේ නියෝජිතයෙක් තායිලන්ත සහ ඉන්දුනීසියන් නියෝජිතයන් රහසිගතව හමුවන්නට සමත් වූහ.

කාම්බෝජය, තායිලන්තය, වියෙට්නාම්, සහ පිලිපීනය යන රටවල් මේ හමුදා ජුන්ටාව බලය අල්ලා ගැනීම ගැන යමක් කිරීම යනු දේශයක ස්වෛරීත්වයට ඇඟිලි ගැසීමක් යැයි කියා අත් සෝදා ගන්නට සමත්ව සිටිති.

අනෙක් අතට, දැනටමත් චීනයෙන් පැමිණ ඇති තාක්ෂණවේදීන් මියන්මාර් ඉන්ටනෙට් firewall සඳහා සේවා සපයමින් සිටින බව පැතිර යන ආරංචියකි. එසේම මියන්මාරයේ මහා පරිමාණයේ මහජන ඉදිකිරීම් සඳහා චීනය දැනටමත් ඉදිරිපත්ව ඇතැයි ද ආරංචි වෙයි.

ඒවා සත්‍යය වීම කෙසේ වෙතත්, ඇමෙරිකාව, යුරෝපය, සහ ඉහත සඳහන් කළ ආසියානු රටවල් එසේ පැත්තකට වී සිටින පිළිවෙත සත්‍යයක් නිසා, ලංකාව වැනි රටක විදේශ ඇමතිවරයෙකුට, සිංගප්පූරුව සහ බෲනායි රටවල විදේශ ඇමතිවරුන්ට මෙන් නිර්භීත වන්නට හැකි ද? අනික, තමන්ගේ මෙන්ම රටේ ද දේශපාලනය මියන්මාරයේ දේශපාලනයට වඩා මහත් වෙනස් නොවේ නම්, එහි දී ගැටුමේ පැත්තකට වී සිටිනවාට වඩා කළ යුත්තේ තමන් වැඩියෙන්ම සමීප අදහස් වලට හවුල්වීම නොවේ ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

<span>%d</span> bloggers like this: