අරුණි ශපීරෝ‍ වෙතින්

තොප්පි හදන්නා දායාද කළ මිටියාවතේ බොසා

Posted in Uncategorized by arunishapiro on මාර්තු 15, 2021

ජෝන් බැටර්සන් ස්ටෙට්සන් ව්‍යවසායකයෙක් වන්නට දැඩි ඕනෑකමකින් සිටියෙක් නොවේ. ඔහු පියා සමඟ තොප්පි හදන රැකියාවක නියැළුණි. පවුලේ දරුවන් 12 දෙනාගෙන් 8 වැනියා වූ ඔහුට තරුණ කාලයේ දී ම ක්ෂය රෝගය වැළඳී ඇතැයි දැනගන්නට ලැබිණ. වයස අවුරුදු 25 ට වැඩි කාලයක් ජීවත්වෙන එකක් නැතැයි කියා ඔහුගේ වෛද්‍යවරයා අනාවැකි කියන ලදි. මිය යන්නට පෙර බටහිර ප්‍රාන්ත බලාගන්නට යැයි කියාත්, එහි ඇති වියළි කාලගුණයෙන් තමන්ට යම් සහනයක් ලබාගන්නට කියාත් ඔහු උපන් නගරයෙන්, එනම් නිව් ජර්සි වලින් පිටත් විය. 

නගරයෙන් ගෙනෙන ලද ඔහුගේ ඩර්බි විලාසිතාවේ තොප්පිය මේ මිටියාවත් අතර පැතිර යන සැර අව්වට නුසුදුසු යැයි ඔහුට පෙනී ගියේය. පියා සමඟ එක්වී තොප්පි හැදූ නිසා ඒ ගැන යමක් කරන්නට හැකි දැනුමක් ඔහුට ද තිබුණි. වියළි පරිසරයේ කර්කශ අව්වේ වෙහෙසන සියල්ලන්ම තොප්පි පැළඳ සිටියත්, කිසිවෙක් ඒ දේශගුණයට සරිලන තොප්පියක් පැළඳ නොසිටින බව දකින තරුණ ස්ටෙට්සන් තමන් ජීවත්වෙන පරිසරයට ගැලපෙන පරිදි තොප්පියක් හදාගන්නට සමත් විය.

අපි සෑම දෙනෙක්ම පාහේ තැනට සුදුසු ආම්පන්නයක් නැතිකම කොතරම් වතාවක් නිරීක්ෂණය කර ඇත් ද?

ඒ ගැන යමක් කරන්නට ඉදිරිපත් වෙන්නේ කීයෙන් කී දෙනෙක් ද? එනම් අවශ්‍යතාවය නැත්නම් අඩුපාඩුව පිරිමසා ගත හැකි පරිදි අනගිත්වයෙන් යුතු ආම්පන්නයක් ඉදිරිපත් කිරීමට කාලයක් මහන්සියක් යොදවන්නේ අපි අතරින් කොයි තරම් පිරිසක් ද?

ඔහු නිර්මාණය කරන තොප්පියට ඔහු පළල් වාටියක් සහ ඔළුව උඩට තද නොවෙන සේ ඉහළට යන මුදුනක් එකතු කරන ලද්දේ ය.

කොටළුවෙක් දක්කාගෙන යන මනුස්සයෙක් ස්ටෙට්සන්ගේ තොප්පිය දැක, “ඔය තොප්පිය දෙනවා නම් මා ළඟ ඇති ඩොලර් පහේ රන් කාසිය දෙන්නම්,” යැයි කියා ඇත. ස්ටෙට්සන් එතැන දී ම ඔහුට තොප්පිය විකුණන ලදි.

ආපහු තම නගරය බලා යන ඔහු ඩොලර් සියයක ප්‍රාග්ධනයකින් ජෝන් බී. ස්ටෙට්සන් කොම්පැණිය ආරම්භ කළේය. ඒ 1865 දී ය.

මේ අලුත්ම පන්නයේ තොප්පිය පැළඳගත් පුද්ගලයෙක් යම් වැදගත් කාර්ය භාරයක් ඉටුකරන අයෙක් ලෙසින් යැයි දකින ලද නිසා, ස්ටෙට්සන් එය “මිටියාවතේ බොසා” (Boss of the Plains) යැයි හැඳින්වීය.

තොප්පියට ස්ටෙට්සන් යැයි නම වැටෙන්නේ සෑම තොප්පි වාටියකම ජෝන් බී. ස්ටෙට්සන් කොම්පැණිය යැයි රන් අකුරින් එම්බොස් කර තිබීම නිසයි.

කව්බෝයි තොප්පිය මුල් කාලයේ දී දකින එක් අයෙක් එය ඇස්වලට පමණක් නොව (අපි අද පළඳින ආකාරයේ අව්කණ්ණාඩි බිහිවෙන්නේ 20 වැනි සියවසේ දී ය) ගෙලට ද අව්වෙන් ආවරණයක් ලබාදෙන කුඩයක් ලෙසින් කටයුතු කරනවා යැයි කියයි. එමෙන්ම තමන්ගේ අශ්වයාට වතුර දෙන්නට බාල්දියක් එහි ඇතුළතින් ද, තමන්ට වතුර බොන්නට කෝප්පයක් එහි වාටියෙන් ද ලැබෙන බව කියයි. එසේම දැඩි රස්නය ඇති විටෙක පවන් ගහන්නට ද එය පාවිච්චි කළ හැකියාව ලැබෙන බව කියයි.

එහි මුල් මිල සාමාන්‍ය කව්බෝයි අයෙකුගේ මුළු මාසික වේතනයක් හා සමාන වූයේය. ඒත් වැඩිකල් යන්නට පෙර මුළු බටහිර ප්‍රාන්ත සියල්ලෙහිම ස්ටෙට්සන් තොප්පිය වඩාත්ම ජනප්‍රිය තොප්පිය බවට පත්විය. වැඩියෙන් විකිණෙද්දී, තොප්පියේ මිල අඩු කර ප්‍රමිතිය වැඩි කරන්නට ස්ටෙට්සන් කටයුතු කළේය. ඔව්, සැබෑ ව්‍යවසායකයා ලාබ උපයන්නේ එසේ බව ව්‍යවසායකත්වය යනු කුමක්දැයි කියා නොදන්නා අය අදත් විශ්වාස නොකරති.

තමන් පළඳින ස්ටෙට්සන් තොප්පිය තමන්ගේම වූවක් ලෙසින් වාටිය නවාගන්නටත්, මුදුන මැද්දෙන් යටට යන සේ හැඩ කරගන්නටත් ඒ ඒ අය පටන් ගත්හ. එසේම අනික් තොප්පි මෙන් ඉක්මණින් අබලන් වූයේ හෝ දිරාපත් වූයේ ද නැත.

එහි ප්‍රායෝගික බව හඳුනා නොගත් නැගෙනහිර නගරවාසීන් මේ ලොකු තොප්පි ගැන විසිළු කළ ද ස්ටෙට්සන් වෑයම අත්හැරියේ නැත. අලෙවිය කෙමෙන් වැඩිවෙද්දී තොප්පිය අගය කිරීමත් කෙමෙන් පැතිර යන්නට පටන් ගති.

වෙනත් පිටස්තර බලපෑම් නැති විට “මිල” එහි කාර්ය භාරය සෑම විටම මැනවින් ඉටු කරයි. කැමැත්තෙන් තොප්පි මිල දී ගන්නා අය වැඩිවීම නිසා තොප්පියේ ගුණාත්මක බව වැඩිකර මිල අඩුකරන්නට ස්ටෙට්සන්ට හැකියාව පෑදිණ. ස්ටෙට්සන් තොප්පි මිල දී ගන්නට ජනතාව ඉදිරිපත්වීමෙන් පෙන්වන ලද්දේ එය මිල දී ගන්නා අය තමන් සතු මුදලට වඩා එය වැඩියෙන් අගය කළ බවයි. තොප්පියේ වෙනස්කම් තුළින් නාගරික අයවත් ඊට කැමති කරවා ගන්නට ස්ටෙට්සන් සමත් වූයේය.

එය ගිම්හානයේ, සිසිරයේ, හේමන්තයේ සහ වසන්තයේ යන ඕනෑම කාලයක පැළඳිය හැකි වූවකි. එසේම ගවයන් දහස් ගණනක් සහ අක්කර දහස් ගණනක් අයිතිකාරයා මෙන්ම අශ්වබෙටි ඉවත්කරන සේවකයාත් පළඳින ලද්දකි. එය වැඩට දාගෙන යනවා මෙන්ම විවේකීව සිටිය දී ත් පළඳින්නක් බවට පත්විය.

1886 වසරේ ලෝකයේ විශාලතම තොප්පි කර්මාන්තශාලාව බවට පත්වෙන්නේ ස්ටෙට්සන්ගේ ෆිලඩෙල්ෆියාවේ තොප්පි කම්හලයි. එහි හාරදහසකට ආසන්න සේවකයන් සංඛ්‍යාවක් සිටියහ. 1906 වෙද්දී වසරකට තොප්පි මිලියන 2 ක් පමණ ඔවුන් නිම කළහ.

ජෝන් බී. ස්ටෙට්සන් අතින් හදන තොප්පි වෙනුවට එය යාන්ත්‍රිකව නිමකරන කර්මාන්තයක් බවට හැරවීය.

ස්ටෙට්සන් විසින් ඔහුගේ ජීවිත කාලය තුළ දී ම තම ධනය මුළුමනින්ම වාගේ දුප්පතුන් සඳහා වූ සමාජ සේවා කටයුතු මහත් රාශියක් සඳහා දානය කරන ලද්දේ ය. 1889 දී මධ්‍යම ෆ්ලෝරීඩාවේ ස්ටෙට්සන් විශ්වවිද්‍යාලය එසේ නම වෙනස් කරගැනෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන අායතනයට බෙහෙවින් පරිත්‍යාගශීලී වූ තොප්පි කර්මාන්තකරුවාට ගෞරව දැක්වීමටයි.

2 Responses

Subscribe to comments with RSS.

  1. indranathathenuwara said, on මාර්තු 30, 2021 at 7:17 පෙ.ව.

    මේ තොප්පි සාදන්නාගේ පින්තූරයක්, තොප්පියක පින්තූරයක් හෝ ඒ දැක බලා ගත හැකි ලිංකුවක් හෝ පළ කරන්නේනම් මැනවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: