අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝකයේ ආශ්චර්යයමත් බවක් ඇතැයි කියා ඔබ දකිනවා ද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 26, 2021

හිතා බැලීමට කාලයක් මිඩංගු කළ නිසා මිනිස් සත්වයා තමන් ඉදිරියේ පැවති මූලික අභියෝග ජයගත්හ. යමක් කරන්නට පෙර ඒ ගැන හිතා බලන්නට තත්පර කිහිපයක් හෝ වැය කිරීම අතපසු කරන අය අද අපිට නිතර දකින්නට ලැබෙති. ඒත් ඔවුන්ගේ ජීවිත පවා ආරක්ෂා කරන්නට වර්තමානයේ දී ද හිතා බලන්නට කාලයක් මිඩංගු කරන අය නිසා හැකියාව පෑදී ඇත.

මිනිසා යන අපූරු සත්වයා මුලින්ම කල්පනා කරන්නට පටන් ගත්තේ තමන් ඉදිරියේ පවතින අභියෝග ජයගන්නටයි. ජීවිතය රැකගන්නට හැකියාව ලැබෙද්දී මිනිසා ඉර හඳ හා තරු ගැන කල්පනා කරන්නට විය.

නීතියක් පැනවීමෙන් සියල්ලන්ගේම යහපත උදෙසා කටයුතු කළ හැකි යැයි විශ්වාස කරන අය අද බොහෝ වෙති. එහෙත් ඒ ගැන ඔබ කොතරම් දුරට කල්පනා කර තිබෙනවා ද? ඒ ගැන හිතාබලන්නට ඔබට ඇත්තේ කුමන පසුබිමක් ද?

ලෝකයේ ආශ්චර්මයයමත් බව, ඒ ගැන ඇති කුතුහලය නිසා දර්ශනය බිහිවිය. ස්වභාවික නීතිය ද දර්ශනය තරම්ම පැරණි වූවකි. පෙරදිග දර්ශනය තුළ ස්වභාවික නීතිය දකින්නට ලැබෙනවා ද යන්න විසංවාදයට ලක් වූවකි. මින්ග් සම්ප්‍රදායයේ කොන්ෆියුසියානුවාදී දාර්ශනිකයෙක් වූ වැන්ග් යැන්ග්මින්ග් (Wang Yangming 1472-1529) ස්වභාවික නීති න්‍යායයක් ඉදිරිපත් කළ අයෙක් හැටියට සැලකේ.

නීතියක් ස්ථාපිතය, එනම් නීති සම්පාදනය කිරීම හිතාමතා කරන්නකි. මිනිසාගේ සියළු නවෝත්පාදන අතර මහත්ම ව්‍යසනයක් ගෙනෙන (ගින්නට සහ වෙඩි බෙහෙත් වලටත් වැඩියෙන්) සොයා ගැනීම නීති සම්පාදනයයි.

ඒ අර්ථයෙන් ගනිද්දී නීතිය (law) යන්න කිසිවෙක් විසින් “සෙයාගනු ලැබූවක්” නොවේ.

නීති සම්පාදනය (legislation) යන්න මිනිසාගේ මෙතෙක් ඉතිහාසය ගත්විට එහි මෑතක දී දකින්නට ලැබෙන්නක් යැයි කිව හැකියි.

එයින් යම් හොඳ තත්වයක් සාක්ෂාත් කරගන්නට අවශ්‍ය වූ මහා බලයක් සපයන උපකරණයක් මිනිසුන් අතට පත්විය. එහෙත් තිබුණාටත් වැඩි දුෂ්ටත්වයකට නොහැරෙන ලෙසින් එය පාලනය කරගන්නට මිනිසා තවමත් නොදනියි.

නීති සම්පාදනය යන බලය නිසා මිනිසාට අලුත්ම අවස්ථා පෑදිණ. මේ නීති සම්පාදන බලය කා අත තිබිය යුතු ද? වැඩියෙන් අවධානය එයට යොමු වූ නිසා නීති සම්පාදනයේ බලය කොතරම් පුළුල් ලෙසකින් යොදා ගත යුතුද යන්නට වැඩි අවධානයක් යොමු වූයේ නැත.

නරක මිනිස්සු අතට ඒ බලය පැවරුනොත් පමණක් එයින් හානියක් වේ යැයි කියා අප විශ්වාස කරනවා නම් එවිට එය අතිශය අනතුරුදායක බලයක් කියා අපි හඳුනාගන්නේ නැත.

සමාජයක බලාත්මක කරන මේ මේ විදියට කටයුතු කළ යුතුයි කියා දක්වන රීති යන අර්ථයෙන් සැලකෙන නීති සමාජය තරම්ම පැරණි කාලයක දී පටන් ගැනුණ ලද ඒවා වෙති. සමාජයක ඒකීය පුද්ගලයන්ට සාමකාමීව වාසය කරන්නට ඉඩකඩක් පෑදෙන්නේ මේ පොදු රීති අනුව කටයුතු කිරීමෙන් පමණකි.

සියල්ලන්ටම බලපාන පරිද්දෙන් නියෝග නිකුත් කරන්නට හැකි තරමකට භාෂාව දියුණු වන්නට පෙර පටන්ම ඒකීය පුද්ගලයෙකුව යම් කල්ලියක සාමාජිකයෙක් ලෙසින් එකතු කර ගත්තේ ඒ කල්ලියේ රීති වලට අනුකූලව ඔහු කටයුතු කරනවා නම් පමණි. එවැනි රීති අද වුවත් හරියට වචන වලින් කියන්නට නොහැකියි. කණ්ඩායමකට එකතු වෙන අලුත් පුද්ගලයා එයට අනුකූලව ක්‍රියා කරන්න නොදන්නේ නම් කණ්ඩායම හිමිහිට ඒ පුද්ගලයා වෙතින් ඈත් වෙති. නැත්නම් මඟ හරිති. එසේ සිද්ධ වෙන්නේ බලාත්මක බවක් නොමැති කැමැත්ත අනුව එකතුවෙන්නට හැකි කණ්ඩායම් තුළ පමණක් බව කිව යුතු නැතැයි සිතමි.

රීති (rules) සහ නීති (laws) මිනිස් කැමැත්තෙන් ස්වාධීනව පවතින්නක් හැටියට ඒ ගැන හැදැරීම පටන් ගැනෙද්දී සලකන ලදි. අභූත බලයක් විසින් නීති හැදුවා යන්න, නැත්නම් දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ලද සදාකාලීන සත්‍යයන් හැටියට ඒවා සැලකෙන ලද කාලයේ ඒවා මිනිසාට වෙනස් කරත නොහැකි ඒවා යැයි ද සැලකිණ.

සියළු නීති මිනිස් ක්‍රියාවන් පාලනය කරන්නට නීති සම්පාදනය තුළින් ගෙනෙන ලදැයි කියා අනෙක් අතට නූතන මිනිසා විශ්වාස කරයි.

ඒත් නීතිය යනු නීති සම්පාදනයට වඩා බෙහෙවින් පුරාතන වූවකි. මිනිසාට නීතිය වෙනස් කරන්න අවශ්‍ය යැයි සිතෙන්නට පෙර ලෝකයේ නීතිය පැවතිණ.

නීතිය වෙනස් කරන්න හැකියාව මිනිසාට ඇතැයි කියන විශ්වාසය දකින්නට ලැබෙන්නේ සම්භව්‍ය ග්‍රීසියේ දී ය. එ්ත් ග්‍රීසියේ ද එය ඵල දැරුවේ නැත. යළිත් එය දකින්නට ලැබෙන්නේ මධ්‍යතන යුගයේ හිමිහිට කළඑළි බැස වැඩි වැඩියෙන් පිළිගැනීමකට පාත්‍ර වෙද්දී ය.

සියළු නීති යනු නීති සම්පාදකයාගේ නිදහස් කැමැත්ත අනුව සිද්ධ වූ නවෝත්පාදනයක් ලෙසින් අද ඇති පිළිගැනීම ඒ නිසා පරිසිද්ධිමය ලෙසින් වැරදි වූවකි.

සෑම ශිෂ්ටාචාරයකම මුල් කාලීන සිරිත් විරිත් සහ නීති යනු දෙවියන් නැත්නම් ආගම් විසින් තීන්දු කරන ලද ඒවා හැටියට සැලකුණි. ජනතාව ජීවත් වූයේ දෙවියන් අතින් හැඩ ගැසුණු සමාජ පිළිවෙලක් අනුව යැයි විශ්වාස කෙරිණ. සියළු නීති හැඩගැසෙන්නේ දේවත්වයේ අනුහසින් යන්න පුරාතන ග්‍රීසියේ ද පැවති විශ්වාසයයි. ජර්මානු ම්ලේච්ඡ යුගයන්හි විසූ ජන කණ්ඩායම් ද නීතිය යම් පූජනීය වූ ආකාරයකින් සැලකූහ. වර්තමාන ලෝකයේ නීතිය හැඩගසන්නට පුරෝගාමී වූ රෝමානුවන් අතර පවා එවැනිම වූ ආකල්පයක් පැවති බව දකින්නට හැකියි. රෝමයේ ද මුලින්ම පැවති නීති දිව්‍යමය අනුහසින් ගෙනෙන ලද නීති යැයි සැලකිණ. නිවැරදි වූව, දිව්‍යමය නීතිය, දිව්‍යමය වදන්, නැත්නම් “ධර්මය” යැයි හඳුන්වන්න අර්ථවත් වෙන පූජනීය නීති (fas) සහ ලෞකික නීති (ius) යැයි ද්විත්වයක් පසුකාලීන රෝම යුගයේ දී දකින්නට ලැබේ. අනතුරුව පූජකයන්ගේ (පැවිද්දන්ගේ) රහස් නීති වලින් විමුක්තිය ලබමින් රෝම නීතිමය විචාරාත්මක බුද්ධියක් ඇති විය. එය හටගත්තේ ලෝකයේ ආශ්චර්යයමත් බවක් ඇතැයි දකින ලද අය ඒ ගැන දිගින් දිගට හිතාබලන්නට වෑයමක් ගත් නිසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: