අරුණි ශපීරෝ‍ වෙතින්

ග්‍රීක සහ රෝම ඉතිහාසය වර්තමානයට ප්‍රයෝජනවත් ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 10, 2021

මම ලංකාවේ දී උසස් පෙළ පංතියේ ඉගෙනගත් තරම් “මෑත කාලය” දක්වා ග්‍රීක සහ රෝම ඉතිහාසය විෂයයක් වූයේය. මා ඉගෙන ගත් පාසැලේ එම විෂය හදාරන්නට හැකි වූයේ ඉංග්‍රීසියෙන් පමණකි. අද එය විෂයයක් හැටියට ලංකාවේ කිසිදු හෝ පාසැලක උගන්වනවාදැයි කියා මම නොදනිමි. ඉතිහාසය, භූගෝලය, දේශපාලන විද්‍යාව යන විෂයයන් එකතු කර සමාජ අධ්‍යයන හැටියට ඉදිරිපත් වූ පසුව අද ඒ එකක් හෝ ගැන හරි හැටියට නොදන්නා අය වැඩි බවක් පෙනී යයි.

පුරාතන ග්‍රීකයන් මිනිස් ශිෂ්ටාචාරයට අවශ්‍ය මූලධර්ම තුනක් ඉදිරිපත් කළා යැයි කිව හැකියි. ස්වභාව ධර්මය දෙස අවධානය යොමු කරමින් අපේ ජීවිතයේ අරමුණ ගැන සොයා යන්නට අපිට හැකියාවක් පුරාතන ග්‍රීකයන් පාදා දුන්හ. ස්වභාව ධර්මය ගැන ඉගෙන ගැනීම සඳහා අපිට අපෝහන (reason) හැකියාව යොදාගත හැකි ආකාරය පුරාතන ග්‍රීකයන් පහදා දුන්හ. ඒ බුද්ධිමය විචාරාත්මක හැකියාව තව දුරටත් වැඩි දියුණු කරගන්නා ආකාරය පුරාතන ග්‍රීකයන් අපට පහදා දුන්හ.

කෙටියෙන් කිව්වොත්, පුරාතන ග්‍රීකයන් විසින් අපට ස්වභාවික නීතිය, විද්‍යාව සහ ආගමික නැඹුරුවක් නොමැතිව ආණ්ඩුවක් හදන්නේ කෙසේ දැයි පෙන්වා දුන්හ.

බොහෝ රටවල්වල වර්තමානයේ දකින්නට ලැබෙන පුරවැසියන් වෙත පැනවී ඇති සිවිල් නීති පද්ධති සඳහා පදනම පුරාතන රෝම නීතියෙන් දායාද වූවයි. පුරාතන රෝමයේ නීති ක්‍රමය වසර 1,500 ක කාලයක් පුරා පැවතෙන ලද්දකි.

පුරාතන රෝමය යැයි සලකන යුගය ක්‍රි. පූ. 600 දී පටන් ගන්නා ලද්දයි. එට්රුස්කන්ස් (Etruscans) රජවරුන් ලෙසින් බලය අල්ලාගත් කාලයයි. ප්‍රජාපීඩක රජුන්ට එරෙහිව කැරලි ගැසූ රෝමානුවන් එට්රුස්කන්ස් රජවරුන් පරාජය කර රෝම ජනරජය පිහිටුවා ගත්හ. ජනරජයක දී පුරවැසියන්ට තම නායකයා තෝරාගැනීමේ ඡන්දයක් හිමිවේ. නායකයා ජනතාවගේ නියෝජිතයෙක් වෙයි. අලුත් නීති යෝජනා කරන්නට සහ සම්මත කරන්නට රෝම ජනරජයේ සෙනෙට් සභාවක් පැවතිණ.

රෝම නීතියේ පදනම යැයි සැලකෙන්නේ දොළොස් පුවරුව (Twelve Tablets) ය. දොළොස් පුවරුවේ නීතිය (Law of the Twelve Tablets) යැයි ද කියැවෙන එය පුරාතන රෝමයේ නිර්මාණය වූයේ ක්‍රි. පූ. 451 සහ 450 දී ය. ඒවා ඒ වෙද්දී රටේ පැවති නීති වූහ. ඒවායෙන් නීති සංග්‍රහය සැකසීම සඳහා කමිටුවක් (decemviri) පත් කෙරිණ. එසේම ප්‍රථම වරට ආණ්ඩුවක් විසින් සම්මත කරන ලද නීති සංග්‍රහය යැයි ද එය සැලකේ.

සියළු පුරවැසියන්ට එක හා සමාන ආකාරයෙන් සලකන්නට යැයි එහි ලියැවී තිබුණි. සියළු වැසියන් නොව සියළු පුරවැසියන් යන්න මෙහි දී වැදගත්කමකින් යුතුයි. රෝමයේ වාසය කළ සියළු වැසියන් රෝම පුරවැසියන් නොවූ බව සිහි කළ යුත්තකි. රෝම අධිරාජ්‍යයේ සියළු නිදහස් වැසියන් පුරවැසියන් බවට පත්වෙන්නේ ක්‍රි. ව. තුන්වැනි හතරවැනි සියවස්වල දී ය. රට රටවල් කෙමෙන් කෙමෙන් බටහිර අර්ථයෙන් නිදහස් වැසියන් හැටියට තම රටවැසියන්ට සලකන්නට එකතු වූහ. එහෙත් උතුරු චීනයේ මිලියන 12 ක් පමණ සිටිනවා යැයි කියන මුස්ලිම් වීගර් (Uighurs) වැනි ජන කොට්ඨාශයකට වෙනස් ආකාරයෙන් සැලකීම වර්තමානයේ පවා දකින්නට හැකියි.

සාමාන්‍ය ජනතාව (plebeians) ගේ හිතසුව පිණිස යැයි කියන ලද මෙම නීතිවල අරමුණ ධනවත් වංශවතුන් (patricians) සහ පැවිද්දන් (pontifices) විසින් අනිසි ලෙසින් කරන බලපෑම් අවම කිරීම යැයි කියැවිණ. දැඩි අවශ්‍යතාවයක් ඇති සහ වඩාත්ම ප්‍රයෝජනවත් යැයි සැලකෙන නීති ලැයිස්තුව සම්පාදනයට බලය (imperium) පැවරුනේ වංශවතුන් දහ දෙනෙකු වෙතයි.

එහි නීති අනුව උසාවියක දී පෙනී සිටින්නට යැයි පුරවැසියෙක්ව කැඳවන්නේ නම් ඔහුට උසාවියේ පෙනී සිටින්නට සිද්ධ විය. උසාවියක දී බොරු කියන ලද්දේ නම්, යම් ගොඩනැඟිල්ලකට ගිනි තැබුවේ නම්, එසේම වගා කටයුතුවල දී මැජික් භාවිතා කරන්නේ නම් යනාදී අපරාධ සඳහා මරණ දඬුවම ලැබිණ. ව්‍යාපාරික හෝ දේශපාලනික රැස්වීම් රාත්‍රියේ පැවැත්වීම තහනම් වූහ. රෝමයෙන් නෙරපා හැරීම, දේපල පවරා ගැනීම මෙන්ම වන්දි ගෙවීම ද දඬුවම් හැටියට දකින්නට ලැබිණ.

මේ නීති බොහොමයක් එවක සමාජයේ පැවතී නීති වූහ. ඒවා ආණ්ඩුව හරහා සම්මත වීමත් සමඟ නීති මොනවාදැයි කියා ප්‍රථම වරට සාමාන්‍ය වැසියන්ට පැහැදිලිවම දැනගන්නට ලැබුණි. ක්‍රි. පූ. 449 දී සාමාන්‍ය ජනතාව අතරෙන් මතු වූ විරෝධතාවයක් නිසා නීති කමිටුවට විසුරුවා හැරිණ. නීතිය සඳහන් කරන සැබෑ ලෝහ පුවරු සියළු පුරවැසියන්ට දැකිය හැකි සේ ඉදිකරන ලදි.

වංශවතුන් සහ සාමාන්‍ය ජනතාව අතර විවාහ තහනම්වීම වැනි මුල්ම පුවරුවල පැවති සමහර නීති පසුව ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණය වූහ.

ක්‍රි. ව. 814 දී සිදු වූ ශුද්ධ රෝම අධිරාජ්‍යයේ එම්ප්‍රදෝරුවා වූ ශාර්ලමන්‍ය (Charlemagne) ගේ මරණයෙන් පසුව බටහිර සහ මධ්‍යම යුරෝපයේ හැම අත පටන් ගත් කුඩා රාජධානි සමඟ බිහිවෙන වෝහාර නීතිය (common law) සඳහා පදනම වූයේ ද පුරාතන රෝමානු නීතියයි. කලින් නඩු සහ ඒවායේ දී විනිසුරුවන් ගත් තීන්දු මතින් අලුත් නඩු විසඳීමේ ක්‍රමය හැටියට එය සැලකේ.

මෙසපොටේමියාව යුද ජයකින් අල්ලා ගත් පාලකයා, බැබිලෝන අධිරාජ්‍යය නිර්මාණය කළ බැබිලෝන පළමු රජු හෙවත් හමුරාබි රජු සාධාරණ නීති සහ සාධාරණ පාලනයක් ගෙන ගිය අයෙක් යැයි කියැවේ. දඬුවම් ලැබේවි යන බියට නොව නීතියට ඇති ගෞරවය නිසා පුරවැසියා ලවා නීතිය රැකීම ඔහු විසින් අපේක්ෂා කරන ලද්දේ ය. තම රාජධානියේ පවතින නීති පැහැදිලිව ලියමින් ඒවා ජනතාව දැන සිටින නීති බවට හරවමින්, එසේම උස් පහත් හෝ ධනවත් දුප්පත් භේද නොමැතිව සියල්ලන්ම එකසේ නීතිවලට වගකිව යුතු අය ලෙසින් සලකන ලද ලෝකයේ ප්‍රථම පාලකයා ලෙසින් ඔහුව හැඳින්වේ.

බ්‍රිතාන්‍යය සහ බ්‍රිතාන්‍ය යටත්විජිතයන් පුරාතන රෝමානු නීතිය අනුව නීති සකස් කරද්දී ඇමෙරිකාවේ නීති පද්ධතියේ ප්‍රභවය පුරාතන ග්‍රීසියේ නීතිය අනුව සැකසිණ.

පුරාතන ග්‍රීසියේ නීතිඥයන් කියා නීතිය උගත් වෘත්තීයවේදීන් සිටියේ නැත. විනිසුරුවන් කියා විශේෂ පිරිසක් නොසිටියහ. නීතීඥයන් පෙනී සිටිනවා වෙනුවට සාමාන්‍ය වැසියන් තම තමන්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටියහ. නඩුවක තීන්දු විනිසුරු අත නොව ජූරියක් අත පැවතිණ. සමහර ජූරි සභා කොතරම් විශාල වූවාදැයි කියතොත් ඒවායේ 500 ක් තරම් පිරිසක් සිටියහ. එසේම ඒ නඩු විභාග වසර ගණනාවක් තිස්සේ ඇදගෙන යන නඩු නොවූහ. නඩු විභාගයක දී ඒ ඒ අයට තමන්ගේ තර්ක ඉදිරිපත් කරන්නට ඉඩදෙන කාලය මනාව හසුරුවා ගත් පුරාතන ග්‍රීකයන් ජූරිය ලවා දවසේ අවසානය වෙද්දී නඩු තීන්දුව ඉදිරිපත් කරන්නට කටයුතු කළහ.

ක්‍රි. පූ. 800 ගණන්වල දී වංශවතුන් සහ හමුදා පාලකයන් විසින් නායකත්වය දෙන ලද නගර-රාජ්‍ය (city-states නැත්නම් polis) යන සංකල්පය ග්‍රීසියේ දකින්නට ලැබිණ. සොලොන් (Solon) නම් ඇතීනියානු නායකයා විසින් ක්‍රි. පූ. 594 දී නීති සම්පාදනය කරමින් ආණ්ඩුව සහ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළේය. වහලුන් නිදහස් කරන ලැබූ අවස්ථා දකින්නට ලැබුණත් ඒ ඇතීනියානු සමාජයේ පුරවැසියෙක් හැටියට සැලකෙන ලද්දේ රටවැසියන් අතර සෑම පහකින්ම එක් අයෙක් පමණකි.

දෙවියන් වෙතින් ප්‍රදානය වූවා යැයි සැලකෙන, ආගමික නායකයන් හරහා පැමිණෙන ලද, අනතුරුව ජනතා නියෝජිතයන් වෙතින් සංශෝධනයට ලක්වෙන නීතිය මුල්ම වතාවට දාර්ශනික වූ විචාරයට ලක්වෙන්නේ පුරාතන ග්‍රීසියේ දී ය. පුරාතන ග්‍රීකයන් වෙතින් ලැබෙන පළමු දායාදය ස්වභාවික නීතියේ දර්ශනයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: