අරුණි ශපීරෝ‍ වෙතින්

ග්‍රීක සංස්කෘතියෙන් දායාද වූ සමාජමය මතවාද තුනක්

Posted in Uncategorized by arunishapiro on මැයි 2, 2021

ලෝකය ඉදිරියට යද්දී තත්වයන් වෙනස් වෙන ආකාරය අපිට දකින්නට හැකි වූවකි. යෞවනයේ දී අපි මුහුණ දෙන අලුත් තත්වයන් මහා වෙනස්කම් ලෙසින් දුටුවත් කාලයාගේ ඇවෑමෙන් වයසින් මුහුකුරා යද්දී, අපි දුටු වෙනස්කම් එතරම් අමුතු අපූරු වෙනස්කම් නොවන බව අපි වටහා ගනිමු.

හිටිහැටියේම අපේ නිවසේ සිටින සුරතල් බල්ලා සුරතල් පූසෙක් බවට හැරී නැත. හිටිහැටියේම කාමරයේ දොරෙන් එළියට නොයා බිත්තියෙන් අනිත් කාමරයට යන හැකියාවක් අපිට ලැබී නැත. හිටිහැටියේම ඔළු ගෙඩි හතරක් වර්ධනය වූ කෙනෙක් ගැන අපි දන්නේ නැත.

ඉතින්, අපි මුහුණ දෙන වෙනස්කම් යනු අපිට හුරුපුරුදු වූ වෙනස් නොවන දේවල් මහත් රාශියක් ඇති වාතාවරණයක දී දකින්නට ලැබෙන හුරුපුරුදු වෙනස්කම් වෙති. මේ වෙනස් නොවන දේවල්, ස්වභාව ධර්මයේ නීති (laws of nature) කියා බටහිර දර්ශනයේ දී හඳුන්වනු ලැබේ.

අපි යම් කටයුත්තක් කරද්දී අපේක්ෂා කළ යුතු දැය කුමක්දැයි යන්න අපි දැන සිටිමු. විවෘත දොරකින් අපිට එළියට යා හැකියි. බිත්තියක් හරහා අපිට ගමන් කරන්නට නොහැකියි. අපි ඒ දැය කරන්නට යද්දී ස්වභාව ධර්මය විසින් ප්‍රතිඵලය වෙනස් කරන්නේ නැත.

මේ ගැන විමසා බලන්නට අපට හැකියාව දෙන්නේ මිනිස් මොළයක ස්වභාවයෙන්ම පිහිටා ඇති අපෝහන (reason) කුසලතාවයයි. එය ස්වභාවයෙන් පිහිටන්නකි. ඒත් මිනිසා විසින් උවමනාවෙන් වර්ධනය කරගත යුත්තකි.

ස්වභාවික නීතිය (natural law) යන සංකල්පය ලෝකයේ ප්‍රථම වරට බිහිවෙන පුරාතන ග්‍රීසියේම ඒ ගැන මතවාද දෙකක් හට ගැනුණි.

(a) ස්වාභාවික තත්වය (state of nature) සමඟ මෙන්ම නිදහස් ලෙසින් එකඟ වන්නට හැකි සමාජ ගිවිසුමක් හා බැඳී පවතින ඒකීය පුද්ගල වූ ස්වභාවික නීතිය.

(b) ස්වභාවික නීතිය ප්‍රදානය කරන ලද්දා හැටියට දෙවියන්වහන්සේ සලකන පාරභෞතිකවාදය තුළ පදනම් වන ස්වභවික නීතිය.

ප්ලේටෝට කලින් විසූ සෝෆිස්ට් නොහොත් විතණ්ඩවාදීන් අතර මුල් කාලීන අය අතර සිට හෙරක්ලයිටස් තුළින් ද මේ මතවාද දකින්නට ලැබුණි.

“සියල්ල ප්‍රවාහය වෙති, කිසිවක් එලෙසින්ම නොපවතී,” එය හෙරක්ලයිටස්ගේ දර්ශනයයි. මේ නොනැවතී වෙනස්වන තත්වය යනු වෙනස් නොවන තත්වයක් යැයි ඔහුගේ නිගමනය විය. මූලික ස්වභාවික නීතිය එයයි.

එය අහඹු නොවන්නකි. අවිචාරී වෙනස්කම් හෝ අවනීතියක් ඇති කරන්නක් නොවේ. එය විශ්ව අපෝහනයයි. ස්වභාවික ලෙසින් සිදුවන වෙනස්කම් යනු අපෝහනයෙන් පාලනය වෙන සම්මත ක්‍රමයයි. ඒ නිසා, මිනිසාගේ ස්වභාවය සහ මිනිසාගේ ඒකීය පුද්ගල වූ සහ මිනිසාගේ සමාජ ජීවිතයේ ඇති ආචාර ධාර්මීය ඉලක්කයන් ද විශ්වයේ පවතින මෙම පොදු නීතිය යටතේ පවතින්නකි.

බෞද්ධාගමේ එන පළමු චතුරාර්ය සත්‍යය “දුක්ඛ අරියසච්චං” යන්න ද එවැනි වෙනස් නොවන තත්වයකි, නැතහොත් ස්වභාවික නීතියකි. එය දුක යන සරල සිංහල වචනයෙන් දැක්වීම නිසා එහි අඩංගු වන අසම්පූර්ණ, අනිත්‍ය, අප්‍රමාණවත් යනාදී අර්ථ රාශියක් මඟහැරී යයි. නමුත් එය සදාතනික සත්‍යයයකි.

හෙරක්ලයිටස්ගේ දර්ශනය මෙන්ම බෞද්ධ දර්ශනයේ ද ප්‍රායෝගික ඉලක්කයක් ඇත. නීතියන්හි අගය පැහැදිලි කරන්නටත්, අපෝහනය භාවිතා නොකරන මහජනතාවගේ චපල ස්වභාවය හමුවේ ඔවුන්ව මෙල්ල කරන්නටත් එය අදහස් කරයි. තෝරා බේරාගන්නට අපෝහන හැකියාවක් නොසතු මහජනතාව විවිධාකාර මත පැතිර යද්දී ඒවාට පහසුවෙන් ගොදුරු වෙති.

වර්තමානයේ දකින්නට ලැබෙන පරිදි කුටිල ජනනායකත්වයක් පුරාතන ග්‍රීසියේ ද පැතිර ගියේය. ඒ විතණ්ඩවාදීන් (සෝෆිස්ට්) වෙතිනි. විරුද්ධාභාස කියමන්, සරල ලෙසින් දක්වන සටන් පාඨ වලින් ජනප්‍රියත්වයක් සහ ආදායම් උපයන්නට හැකියාව පාදා ගත් විතණ්ඩවාදීන් යථාර්ථවාදී විප්ලවීය දර්ශනයක් ඉදිරිපත් කළ අය හැටියට ජනප්‍රිය වූහ.

ප්‍රජාතන්ත්‍රවාදී වූ නීති යනු ග්‍රීක නගර රාජ්‍යයයේ ආඩම්බරයයි. හෙරක්ලයිටස් ඒ නීති යනු නගරය වටකර බැඳ ඇති තාප්ප තරම්ම වටිනා යැයි සලකන ලද්දෙකි. දාර්ශනිකයන් නීති (nomoi) ගැන කතාබහ කළේ අතිශය ගෞරවයකිනි. තමනට වැනි නගර රාජ්‍යයක් නොමැති අයව ඔවුන් ම්ලේච්ඡයන් යැයි සැලකූහ.

“දෙවියන් විසින් සියළු මිනිසුන් නිදහස් ලෙසින් නිර්මාණය කරන ලදි; ස්වභාව ධර්මය කිසිදු මිනිසෙක් වහලෙක් කර නැත,” -ඇල්සිඩාමස් (විතණ්ඩවාදියෙක්)

“නීතිය ඉදිරියේ ඔවුන් එසේ නොවූවත් ස්වභාව ධර්මයට අනුව සියළු මිනිසුන් ඥාතීන් සහ එක හා සමාන පුරවැසියන් වෙති.” -හිපියාස් (විතණ්ඩවාදියෙක්)

ග්‍රීක සමාජ සහ ආර්ථික ක්‍රමය ගොඩනඟන ලද වහල් ක්‍රමය සඳහා වූ ආචාර ධාර්මික සහ නීතිමය පදනම ඒ අනුව සම්පූර්ණයෙන් ඉවත් කරත හැකියාව ලැබිණ.

පළමු මතවාදය:

එය සම්ප්‍රදාය වූ නිසා හෝ සමාජයේ පැවැත්මට ඒවා සුදුසු යැයි ඔප්පු වීම නිසා හෝ පමණින් ඒ නීති වැදගත් වේ කියා විතණ්ඩවාදීන් සැලකුවේ නැත. පාලකයන්ගේ වාසියට හදාගෙන ඇති ඒ නීතිවල නෛසර්ගික අගයක් නැතැයි කියන ලද විතණ්ඩවාදීන් එහි දී ස්වභාවයෙන් නිවැරදි වූ නීතිවල පමණක් එවැනි අගයක් අඩංගු යැයි කියා සිටියහ.

දෙවැනි මතවාදය:

ස්වභාවික නීතියෙන් ලැබෙන නිදහස, සියළු මිනිසුන් එක හා සමානය යන්නත්, ඒ නිසා මිනිස් අයිතීන් සහ මිනිස් සංහතිය ගැන අදහසක්, එනම් නගර රාජ්‍යයට වඩා සුපිරි වූ ලෝක ප්‍රජාවක් (civitas maxima) යන්න ඊළඟට දකින්නට ලැබෙන මතවාදයයි.

තෙවැනි මතවාදය:

රාජ්‍යය හෝ නගරය යනු අත්‍යාවශ්‍යය වූවක් නොවන්නේය, එහි පටන් ගැන්ම යම් අවශ්‍යතාවයක් නිසා නොව, නිදහස් මිනිසා විසින් ගන්නා ලද තීරණයක් නිසා යන මතවාදය අනතුරුව දකින්නට ලැබුණි.

දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සඳහා නැවත නැවත ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් මේ මතවාදයන් යළි යළිත් විප්ලවීය චින්තකයන් විසින් විප්ලවීය ආවේගයන් වලින් ඉදිරිපත් කරති.

යථානුභූතවාදය නොහොත් ධනීයවාදය (ධනාත්මක චින්තනය නොවේ) ලෙසින් පසුකාලීන ලෝකයේ දී වර්ධනය වෙන්නේ මේ මුල් කාලීන විතණ්ඩවාදීන් විසින් පෙනී සිටින ලද ස්වභාවික නීතිය යන සංකල්පයේ ඉහළින් සඳහන් කරන ලද පළමු මතයයි (a).

ස්වභාවික තත්වය අනුව, එය ශුභවාදී හෝ අශුභවාදී යැයි දක්වන ආකාරය අනුව, මිනිසාව දේශපාලනමය ලෙසකින් සංවිධානය කිරීම සිද්ධ වේ. ස්වභාවික තත්වය ගැන ශුභවාදී දැක්ම අනුව රජයකට මේ ස්වභාවික නීතීන් වෙනස් කරන්නට හෝ අවලංගු කරන්නට ඉඩක් ලැබෙන්නේ නැත.

ස්වභාවික තත්වය අශුභවාදී ලෙසින් දකින අය, එය රජයේ කැමැත්ත (will of the state) අනුව ඒකාබද්ධ කරගනිති. මෙහි දී ඔවුන් ධනීයවාදය (positivism) වෙත හැරෙති.

කලින් ලියූ සටහනක්: හෙරක්ලයිටස් කියූ වෙනස අදටත් ගැලපේ ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: