අරුණි ශපීරෝ‍ වෙතින්

විවේචනාත්මක ජනවාර්ගික න්‍යාය නොහොත් ක්‍රිටිකල් රේස් තියරි

Posted in Uncategorized by arunishapiro on මැයි 10, 2021

ඇමෙරිකාවේ අධ්‍යාපනික සහ රාජ්‍ය ආයතන ඇතුළත මෙන්ම පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන ඇතුළත ද අද දකින්නට ලැබෙන මේ අලුත්ම මතවාදය “විවේචනාත්මක ජනවාර්ගික න්‍යාය” (Critical Race Theory -CRT) නමින් වූවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයට අලුත් මතවාදයක් වුවත්, මෙය ලෝකයට අලුත් වූවක් නොවේ. වෙනත් නම් වලින් සහ වෙනත් අරමුණු දක්වමින් වෙනත් ජන කොට්ඨාශ ඉලක්ක කරගත් මෙහි අඩංගු ලක්ෂණ මීට කලින් කිහිප වතාවක් ලෝකයේ දකින්නට ලැබුණි. අනුන්ගේ වෙහෙසේ ඵලදාවට තමන්ට අයිතියක් ඇතැයි සිතන පුද්ගලයන් අදත් සිටිති.

CRT යන්න පැහැදිලි කරන්නට මාක්ස්වාදයේ ඉතිහාසය සිහි කළ යුතු වෙයි. මාක්ස්වාදීන් දේශපාලන ක්‍රමයක් ගොඩ නැඟුවේ පංති ගැටුම යන න්‍යායය මතයි. ධනවාදීන් (මාක්ස් ඉදිරිපත් කළ වචනය) සහ වැඩ කරන ජනතාව අතර පවතින අසමතුලිත වූ බලය කාර්මික සමාජයන්හි ප්‍රධාන ලක්ෂණයක් යැයි මාක්ස් විශ්වාස කළේය. මේ අසමතුලිත බවට මාක්ස්ගේ විසඳුම වූයේ කුමක් ද? වැඩ කරන ජනතාව විසින් ඔවුන්ව සූරා කන හැටි හඳුනා ගෙන ධනවාදී පංතිය පෙරළා, නිෂ්පාදන ක්‍රම අල්ලාගෙන නව සමාජවාදී සමාජයක් හැදීම ඒ විසඳුම හෙවත් විප්ලවයයි.

20 වැනි සියවසේ මාක්ස්වාදී විප්ලවයන් රටවල් ගණනාවක දී දකින්නට ලැබිණ. මිලියන 100 ක් පමණ මරුමුවට ගෙන යන ලද ඒ විප්ලව ගැන ඔබට කොමියුනිස්ට්වාදයේ කළු පොත කියවා දැනගන්නට පුළුවනි.

ඒ විප්ලවයන්හි අසාර්ථකත්වය 1960 ගණන් මැද දී ගුලාග්, සාගත, බොරු නඩු ප්‍රදර්ශන පැවැත්වීම සහ සංස්කෘතික විප්ලවයන් හරහා බටහිර රටවල විසූ මාක්ස්වාදීන්ට පිළිනොගෙන ඉන්නට බැරි වූහ.

ඇමෙරිකාවේ මෙන්ම බටහිර යූරෝපීය රටවල්වල ද විශාල මැද පංතිය ඉතාමත් ඉක්මණින් ඉහළ යන ජීවන මට්ටම් වල සිටියහ. ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති 70 ගණන් වල දී යාන්තම් ටිකක් ලිහිල් වෙද්දී හනිකට පහළ මැද පංතියක් හැදුන හැටි දකින්නට ලැබිණ.

ඇමෙරිකාවේ වැසියන් පංති අරගලය යන්න කුමක්දැයි කියා පවා නොදැන සිටීම විශේෂයකි. අධ්‍යාපනය, වෙහෙස වීම, හොඳ පුරවැසිකම හරහා තමන් උපන් ජීවන මට්ටමෙන් ඉහළට යෑමට සෑම අයෙකුටම අවස්ථාව ලැබෙන බව ඔවුන් එකා මෙන් අත්දුටු ප්‍රතිඵලයයි.

ඒත් මාක්ස්වාදීන් ඔවුන්ගේ වාමාංශික දේශපාලනය අත් නොහැරියහ. 1960 ගණන් වල පැවති සමාජ අර්බූදයන් (දකුණු ප්‍රාන්තවලට ජිම් ක්‍රෝ නීති ගෙනාවේ වමට බර දේශපාලනඥයන් විසිනි) ඔවුන් ඔවුන්ගේ විප්ලවීය න්‍යායයට යොදා ගත්හ. ධනවාදීන් සහ වැඩ කරන ජනතාව අතර ගැටුම හෙවත් මාක්ස්ගේ ආර්ථික දයලෙක්තිය මේ ඇමෙරිකන් මාක්ස්වාදීන් විසින් වර්ගවාදය හා ජනවාර්ගික වූ විප්ලවීය ගැටුමක් යැයි කියන්නට පටන් ගත්හ.

1960 ගණන්වල පැවති සමාජ අර්බූද කාලයේ මාටින් ලූතර් කින්ග් ජූනියර් වැනි අය ඉස්මතු වූහ. ඔවුන් පෙනී සිටියේ සියල්ලන්ට එක සේ බලපාන නීතිය යටතේ නිදහස සහ සාමානාත්මතාවය යන ස්ථාවරයන්ටයි. ඒ හෙයින් පංති භේදය වාර්ගික භේදයක් කරන්නට ගිය අයට තැනක් නොලැබුණි.

අසාර්ථක වුවත් එය අලුත් සළුපිලි වලින් පොරවා ගෙනෙන වෑයම වාමාංශිකයන් අත්හැර නොදැමූහ. ජනවාර්ගික ගැටුම් ලෙසින් භේදය ඉදිරිපත් කිරීම 1990 ගණන් වල දී විශ්වවිද්‍යාල මට්ටමෙන් ඇරඹිණ. ඒවා බොහෝ කාලයක් යනතුරු විශ්වවිද්‍යාල වලට පමණක් සීමා වූහ.

CRT ඉගැන්වීම් සහ පුහුණු වැඩ සටහන් ඉතා කෙටි කාලයක දී රජයේ සහ පෞද්ගලික ආයතන ඇතුළත පැතිර ගියේය. හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් මෙයාකාර ජනවාර්ගික සංවේදීත්වයෙන් යුතු පුහුණු රජයේ වියදමින් රජයේ ආයතන (විශේෂයෙන්ම යුදහමුදාව) තුළ පැවැත්වීම තහනම් කරන විධායක නියෝගයක් අත්සන් කළේ ජනාධිපතිවරණයෙන් පරදින ලද පසුවයි. පුටුව බාරගත් වහාම ජනාධිපති බයිඩන් එය යළිත් ස්ථාපිත කළේය.

මෙම CRT වෙනුවෙන් පෙනී සිටින අය එය විස්තර කරන්නට යොදා ගන්නේ අන්‍යාර්ථයන් දැක්වෙන “සංස්කෘතික ප්‍රතිචාරමය ඉගැන්වීම්” (culturally responsive teaching), “සමාජ යුක්තිය” (social justice), බහුවිධත්වය සහ අන්තහ්කරණය (diversity and inclusion), සාධාරණතාව (equity) යනාදී පදවහරයි. මාක්ස්වාදය යැයි කිව්වොත් ඇමෙරිකාවේ බහුතරය එහි ඉතිහාසය ගැන දැනුවත් නිසා පිළිනොගන්නා බැවින් මෙවැනි අපූරු බස් වහරක් භාවිතය ඔවුන්ගේ අදහස් බෙදා හැරීමට පහසු විය.

සමානත්වය නොහොත් equality යන්න රට ආරම්භයේ පටන් පැවති මූල ධර්මයකි. ඉතින් ඒ නිසා ඒ හා සමාන හඬකින් යුතු ඊකුවිටි (සාධාරණතාවය) එතරම් තර්ජනයක් නොවන පදයක් හැටියට පිළිගැනීම දකින්නට ලැබිණ. නිදහස් ප්‍රකාශනයේ සඳහන්, එහි ආරක්ෂාව සඳහා සිවිල් යුද්ධයේ සටන් වැදුණ, 14 වැනි සහ 15 වැනි ව්‍යවස්ථා සංශෝධන වලට ඇතුළත්, 1964 සිවිල් අයිතීන් පනත සහ 1965 ඡන්ද අයිතීන් පනත හරහා නීතිගත වූ “සමානත්වය” මේ CRT වාදීන් ප්‍රතික්ෂේප කරති.

සුදු අධිපතිත්වය, පුරුෂෝත්තමවාදය, සහ පීඩනය වසන් කරගන්නටත් අවිචයනය (nondiscrimination) සඳහා පමණක් සමානත්වය නියෝජනය කරනවා යැයි ඔවුන් කියා සිටිති. CRT වාදීන් ගෙනෙන සමානත්වයට වෙනස් සාධාරණතාවය යනු අලුත් සළුපිළි පොරවන ලද මාක්ස්වාදයයි.

CRT න්‍යායවාදිනියක් සහ කැලිෆෝනියා ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්යවරියක් වන ෂෙරිල් හැරිස් (Cheryl Harris) විසින් පෞද්ගලික දේපල අයිතිය අත්හිටවා දැමිය යුත්තක් බව යෝජනා කරන්නේ සාධාරණතාවයේ නාමයෙනි. ඉඩම් සහ ධනය රජයට පවරාගෙන වාර්ගිකත්වය අනුව නැවත බෙදිය යුතු යැයි ඇයගේ විද්වත් ලිපිය දක්වයි.

බොස්ටන් විශ්වවිද්‍යාලයේ පිහිටන වර්ගවාදී-විරෝධී පර්යේෂණ සඳහා වූ කේන්ද්‍රයේ CRT න්‍යායවාදියා වන ඉබ්‍රම් ක්සොලානි කෙන්ඩි විසින් වර්ගවාද-විරෝධය සඳහා වූ ෆෙඩරල් දෙපාර්තමේන්තුවක් පිහිටුවා ගැනීම යෝජනා කළේය. එය, ඕනෑම මට්ටමක ආණ්ඩු තනතුරකට ඡන්දයකින් තෝරා පත්වන අයට යටත් නොවූ ස්වාධීනව පවතින දෙපාර්තමේන්තුවක් විය යුතු යැයි යැයි හේ කියා සිටියි. එසේම නිසි පමණින් “වර්ගවාදී-විරෝධී” නොවනවා යැයි සිතන අය සහ දේශපාලන නායකයන්ගේ ප්‍රකාශන අයිතිය කප්පාදු කරන්නටත් එයට බලය ලැබිය යුතු යැයි යෝජනා කළේය. ආණ්ඩුවේ සෑම මට්ටමකින්ම ගෙනෙන ඕනෑම නීතියක් ශුන්‍ය කරන්නට, නිෂේධනයට, හෝ මූලෝත්පාටනයට පරිපූර්ණ වූ බලයක් ද සතු විය යුතු යැයි ද හේ යෝජනා කළේය. ටයිම්ස් සඟරාව පළ කරන 2020 වසරේ වඩාත්ම බලපෑම් කළ හැකි 100 දෙනා අතරට කෙන්ඩි ද ඇතුළත් වීම ඉතින් පුදුමයක් නොවේ.

කොමියුනිස්ට්වාදයේ කළු පොත කියවා ඇති අයෙකුට මෙවැනි දෙපාර්තමේන්තුවක් පිහිටුවීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන කියන්නට අනවශ්‍යයයි.

මේ අයගේ “සාධාරණතාව” යන අර්ථය මත පදනම් වන රජයක් යනු පෞද්ගලික දේපල අයිතිය, ඒකීය පුද්ගල අයිතිය, නීතිය යටතේ සියල්ලන්ටම එක හා සමාන ලෙසින් සැලකිල්ල, ෆෙඩරල්වාදය, සහ නිදහස් භාෂණ අයිතිය යනාදී සියල්ල එකවර අහෝසි කර දමන්නට හැකියාව ඇති රජයකි.

එයාකාර ආණ්ඩුවකට ජනවර්ගයට අනුව ධනවස්තු නැවත බෙදන්නට, ජනවාර්ගික කණ්ඩායමට අනුව අයිතීන් තීන්දු කරන්නට, විචයනය පවත්වාගෙන යන්නට, සර්වබලධාරී නිලධාරිවාදී අධිකාරියක් සඳහා ඉඩකඩ පෑදේ.

“සැබැවින්ම වර්ගවාදී-විරෝධියෙක් වන්නට නම්, ඔබ සැබැවින්ම ධනවාදී-විරෝධියෙක් ද විය යුතුයි.” ඉබ්‍රම් ක්සොලානි කෙන්ඩි

මේවා ඇහෙද්දී ලංකාවේ වාමාංශිකයාගේ කටට කෙළ උණනු ඇත! එවැනි යෝජනාවක් කොමියුනිස්ට්/සමාජවාදී රටක දී ඉදිරිපත් කර ජීවිතය අහිමි නොවූ අයෙක් සිටීද?! එවැනි යෝජනාවක් පවා ගෙනෙන්නට සැබැවින්ම නිදහසක් ඇත්තේ තවමත් නිදහස් වෙළඳාමට සහ පෞද්ගලික අයිතිය වෙනුවෙන් පෙනී සිටින අය ජීවත්වන රටක් තුළ දී පමණි.

මහජන පාසැල් බොහොමයක් වැසී ගිය පසුගිය අවුරුද්ද තුළ දරුවන් සිය පංති කාමරයේ ඉගෙන ගන්නේ මොනවාදැයි කියා දැනගන්නට දෙමව්පියන්ට ඉඩකඩ පෑදිණ. බොහෝ දෙමව්පියන් තම නිවාස බදු වලින් පෝෂණය වෙන පාසැල් අධ්‍යාපනයේ ඇති අඩුපාඩුකම් සැබැවින්ම දකින්නට ගත්තේ ඒ කාලයේ දී ය.

බොස්ටන් නගරයේ මවක් සිය දරුවාගේ රසායන විද්‍යාව පංති කාලයේ දී එයට පිවිසි වැඩිමහල් සිසු සිසුවියන් ඉදිරිපත් කළ ක්‍රිටිකල් රේස් තියරි ඉදිරිපත් කිරීමක් ගැන ප්‍රශ්න කළේ රට පුරා ඒ ගැන අවධානය යොමු වෙමින් පැවතිය දී ය. ඇය තම නගරයේම සිටින කෙන්ඩිගේ යෝජනා ගැන කුමක් සිතනවා ඇතිද?

වර්තමාන බයිඩන් රජය මේ CRT මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නකි.

පසුගිය මාස කිහිපයේ දී ෆ්ලොරීඩා, අයිඩහෝ, අයෝවා, ලුයිසියෑනා, මිසූරි, නිව් හැම්ප්ෂයර්, ඔක්ලොහෝමා, රෝඩ් අයිලන්ඩ්, ටෙනසි, ටෙක්සාස්, වෙස්ට් වර්ජිනියා යනාදී ප්‍රාන්ත එක්කෝ CRT පාසැල් තුළ ඉගැන්වීම තහනම් කර ඇත, නැත්නම් තහනම් කරන්නට පනත් සකසමින් සිටිති.

ඇමෙරිකාවේ වාසය කරනවා නම් ඔබ මේ අලුත් මුහුණවරකින් එන මාක්ස්වාදය ගැන ඉගෙන ගන්නට හොඳම කාලයයි. කොමියුනිස්ට්වාදයේ කළු පොත කියවන්නට ඉතාමත්ම සුදුසු කාලයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: