අරුණි ශපීරෝ‍ වෙතින්

වතුරට වඩා දියමන්ති මිල ඉහළ ඇයි?

Posted in Uncategorized by arunishapiro on මැයි 31, 2021

වතුර යනු ජීවත්වෙන්නට නැතිවම බැරි වූවක් වෙද්දී වතුරට වඩා දියමන්ති මිල ඉහළ ඇයි? මෙය දියමන්ති-වතුර විරුද්ධාභාසය (diamond-water paradox) නමින් ජනප්‍රිය වූවකි. එය මේ නමින් සඳහන් නොකර ඇඩම් ස්මිත් සිට සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් විසින් කාලයක් තිස්සේ විසඳා ගන්නට උත්සාහ ගන්නා ලද විරුද්ධාභාසයකි.

දියමන්ති වලට වඩා වතුර නැතිවම බැරි වෙද්දී, ඇයි මිනිසුන් දියමන්ති වලට මේ තරම් මුදලක් ගෙවන්නටත්, වතුර වලට ඩිංගක්, සමහර විට කීයක් හෝ වැය කරන්නටත් අකමැති?

සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ට එය පහදා ගන්නට බැරි වීමට හේතුව වූයේ මිනිසුන් “වතුර” සහ “දියමන්ති” අතර දෙකෙන් එකක් තෝරා ගැනීමක් නොකරන බව ඔවුන් නොදැකීම නිසයි. වතුර යැයි අපි කියද්දී කිසිවෙක් ලෝකයේ පවතින සියළු වතුර එයට අඩංගු කරමින් සැලකිල්ලට පාත්‍රය කරන්නේ නැත. එසේම දියමන්ති යැයි අපි කියද්දී ද කිසිවෙක් ලෝකයේ පවතින සියළු දියමන්ති එයට අඩංගු කරමින් සැලකිල්ලට පාත්‍රය කරන්නේ ද නැත.

යමක් තෝරා ගැනීම යනු ක්‍රියාවකි. ප්‍රැක්සිස් (praxis) යන පුරාතන ග්‍රීක වචනයෙන් කියැවෙන්නේ නිදහස් පුද්ගලයෙක් විසින් ක්‍රියාවක නියැළෙන්නට කරන තෝරා ගැනීම යන්නයි. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සෙන්ට් ඔගස්ටීන්, ඉමැනුවෙල් කාන්ට්, සොරෙන් කියකිගාඩ්, මාටින් හෛඩෙගර්, පාවුලෝ ෆ්‍රියෙර් හා ලුඩ්විග් වොන් මීසස් යනාදීන් මෙහි විවිධ අර්ථ කථනයන් දක්වා තිබෙන අය වෙති.

කාල් මාක්ස් සිය දාර්ශනික රචනා 11 කින් හැදෙන Theses on Feuberach හි නොකියා කියා ඇත්තේ “දාර්ශනිකයන් ඉටු කර ඇත්තේ ලෝකය විවිධාකාරයෙන් අර්ථ කථනය කර තිබීම පමණක් බවත්, එහෙත් කළ යුත්තේ ලෝකය වෙනස් කිරීම බවත් ය.” 19 වැනි සියවසේ සමාජවාදියෙක් වූ ඇන්ටෝනියෝ ලැබ්රියෝලා මාක්ස්වාදය යනු ප්‍රැකිස්ස් හි දර්ශනය ලෙසින් සැලකුවේය. නව සහශ්‍රසයේ දී ද මිනිස් ස්වභාවය කුමක් දැයි හඳුනා නොගත්තවුන්ට, නිදහස් පුද්ගලයෙක් විසින් ක්‍රියාවක නියැළෙන්නට කරන තෝරා ගැනීම අනේක විධ ආකාරයන් වලින් නිර්වචනය කරන්නට හැකි වූවාට, මාක්ස්ට හා අනෙක් සියළු මාක්ස්වාදීන්ට පවා එය වෙනස් කළ නොහැකි වූ බව ඔප්පු කර ඇත්තේ ලෝක ඉතිහාසයයි.

මාක්ස්ගේ ශ්‍රම න්‍යාය උත්සාහ කළේ යම් නිෂ්පාදනයක් කරන්නට කොතරම් ශ්‍රමයක් වැය වූවාදැයි අනුව භාණ්ඩයේ අගය කියන්නට ය. ශ්‍රම න්‍යාය මත පදනම් වූ මාක්ස්වාදී අදහස් නිසා තවමත් පොත් කියවන ලංකාවේ අය පොතක පිටු ගණන දිහා බලමින් සහ පොතක් අලෙවි කොමිස් මට්ටම් 20% හා 30% ක් වෙද්දීත් ලාබ උපයා ගන්නට හැකිනම් ඇයි පොතක් අඩු මිලකට දෙන්න බැරි යැයි අහමින් සිටින්නේ අගයක ප්‍රභවය සහ ස්වභාවය ගැන නොදන්නාකමෙනි.

අගයක ප්‍රභවය සහ ස්වභාවය ගැන කාල් මෙන්ගර් විසින් ලියන්නේ අර්ථ ශාස්ත්‍රයේ සිද්ධාන්ත (1871) නම් කෘතියේ තුන්වැනි පරිච්ඡේදයේය. සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ට එතෙක් විසඳා ගත නොහැකි වූ ගැටළුවක් විසඳන්නට හේ සහාය දෙන ලදි.

ක්‍රියාවක් කරන මිනිසෙක් නිශ්චිත ප්‍රමාණයන් වලින් යුතු භාණ්ඩ අතර තෝරා ගැනීමක් කරන්නෙකි. මෙය දියමන්ති-වතුර විරුද්ධාභාසය අනුසාරයෙන් පැහැදිලි කරන උත්සාහයක් හැටියට අප ඒ මිනිසාගේ තෝරා ගැනීම වතුර බැරල් එකක් සහ කැරට් දහයක දියමන්තියක් අතර වූවක් යැයි සලකා බලමු.

වතුර යනු දියමන්තියට වඩා ප්‍රයෝජනවත් වූවක් යැයි සෑම දෙනෙක්ම පිළිගනිති.

එහෙත් මෙතැන පිළිතුර වන්නේ, තෝරා ගන්නා අය විසින් එයට දෙන අගය මත ප්‍රයෝජනවත් බව පදනම් වෙනවා යන්නයි.

මිනිසෙක් පිරිසිදු වතුර උල්පතක් ඇති කන්දක් අසල වාසය කරන්නේ ද, වතුර බැරල් එකක් දෙන්නම් කිව්වොත් ඔහු ඔබ දිහා විමතියෙන් බලනු ඇත. මන්ද ඔහුට වතුර උල්පතෙන් පිරිසිදු වතුර නොමිලේ නිතිපතා ඕනෑ තරම් ප්‍රමාණයකින් ලැබෙන බැවිනි. සමහර විට වතුර බැරල් එකක් ලැබීම ඔහු ඍනාත්මක වූ ලෙසකින් ද සලකනු ඇත. ලස්සන පරිසරයේ සුන්දරත්වය බිඳ දමන බැරල් එකක් තමන් ළඟ තබාගැනීමට සිද්ධ වීම කරදරයක් යැයි හේ සිතනු ඇත.

එහෙත් මේ මිනිසාට දියමන්ති නැතැයි සිතමු. දියමන්තියක අයිතිය ඔහුට අනගි වූවක් විය හැකියි. ඔහුට එය වතුරට වඩා අගනා වූවක් ද විය හැකියි.

එහෙත් මේ මිනිසාම අපි හිතමු සහාරා කාන්තාරය තරණයට ගියා යැයි කියා. පිරිසිදු වතුර ඇති කන්ද අසල වාසයෙන් නික්ම වී එහි යෑම නිසා ඔහුගේ තත්වය වෙනස් වී ඇත. ඔහු සහාරා කාන්තාරය තරණය කරන්නේ ඔහු සතු දියමන්තිය ද පොකැට්ටුවේ දමාගෙන කියා යැයි ද අපි සිතමු. එසේ යද්දී ඔහු සතු බොන්නට තිබි වතුර සියල්ල ම අවසන් වී ඔහු පිපාසයෙන් පෙළෙන්නේ පමණක් නොව මරණයට ද ආසන්න වී ඇතැයි ද සිතමු. එවිට සමහර විට ඔහු එක වතුර කෝප්පයක් සඳහා සිය කැරට් දහයේ දියමන්තිය දෙන්නට ද ඉදිරිපත් වෙනු හැකියි. එහෙත් එසේම සමහර විට දියමන්තියට ඇති කෑදරකම නිසා මසුරු සිතක් ඇති ඒ මිනිසා තව දුරටත් වතුරට වඩා දියමන්තිය අගය කරමින් පිපාසයෙන් මිය යෑම වඩා හොඳ යැයි තෝරා ගන්නට ද ඉඩ ඇත.

භාණ්ඩයක අගය විෂයමූලික වූවකි. කැරට් දහයක දියමන්තියක් සහ වතුර බැරල් එකක් සඳහා විවිධ පුද්ගලයන් විසින් විවිධ අගයන් දෙන්නට පෙළඹෙනු ඇත. එසේම එකම පුද්ගලයෙක් විසින් වෙනස් අගයන් වෙනස් කාලයන් වල දී දෙන්නට ද පෙළඹෙනු ඇත.

මෙන්ගර් පැවසුවේ, “අගය ඒ නිසා භාණ්ඩයක නෛසර්ගික වූවක් නෙමෙයි. භාණ්ඩයේ ලක්ෂණයක් නෙමෙයි. අපේ උවමනාවන් තෘප්තිමත් කරගනු සඳහා අගය යනු අපි යම් භාණ්ඩයකට දෙන වැදගත්කම පමණකි.”

යම් උවමනාවක් තෘප්තිමත් කරගන්නට විවිධාකාර උත්සාහයන් හි යෙදෙන්නට හැකියාව මිනිසාට ඇත. අයෙක් මුලින් තමන් වැදගත් යැයි සිතන දේවල් සඳහා වතුර පාවිච්චියට ගන්නට සිය අතමිට වැය කරයි. මෙය තාර්කික අවශ්‍යතාවය මත එළඹෙන නිගමනයකි. අයෙක් මුලින් ම තෘප්තිමත් කරන්නේ එයා තමනට වැදගත්ම වූව යැයි සැලකෙන උවමනාවයි.

වතුර නැති අයෙක් වතුර මුලින් ම පානය පිණිස ගනියි. පිපාසයෙන් මැරෙන්නට සිද්ධ නොවන තරම් වතුර ප්‍රමාණයක් තමනට ඇතැයි දකිද්දී උයන්නට පිහන්නට වතුර පාවිච්චි කරගනු ඇත. එකිනෙකින් එකිනෙකට ලැබෙන අමතර වතුර බාල්දිය යනු වැදගත් යැයි නොසැලෙකන අනිකුත් දේවල් සඳහා යොදාගන්නා වතුර බවට පත්වේ. එහි දී කෙමෙන් ප්‍රයෝජනවත් බව යන්න අඩු වී යයි.

යමක අගය ගැන ගැටළුව තෝරාගැනීමක් ඉදිරියේ දී විසඳී යන්නකි. අවිනිශ්චිත ලෝකයක වැරදි සිදුවීම් නිතර දකින්නට හැකියි. තෝරාගැනීමේ ක්‍රියාවක් කරන්නා හැම විටම තීරණයක් ගන්නේ අවිනිශ්චිත අනාගතයක් ගැනයි. ඒ නිසා වැරද්දක් සිදුවීම නිරන්තරයෙන් අපේක්ෂා කළ යුත්තකි. නිශ්චිතව සිද්ධ වෙන්නේ මෙසේ යැයි දන්නා ලෝකයක අප ජීවත්වෙන්නේ නම්, එවැනි ලෝකයක යමක් තෝරාගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලය වෙනස් කරන්නට නොහැකි නම්, එවිට තෝරාගැනීම් කරන්නට අවශ්‍යතාවයක් නැත. එහෙත් එවැනි නිශ්චිත ලෝකයක අප ජීවත් නොවන නිසා අපට ක්‍රියාවන් තෝරාගන්නට සිද්ධ වී ඇත. අප අනුමාන කරන දේවල් මෙන් ම නොසිතු දේවල් ද සිද්ධ විය හැකියි. අයෙක් සතු වතුර වෙනත් අයෙක් සොරාගත්තේ ද නැවත ඒ ගැන තීරණයක් ගන්නට සිද්ධ වෙද්දී ඒ අය විසින් වතුර සඳහා දෙන අගය වෙනස් විය හැකියි.

2 Responses

Subscribe to comments with RSS.

  1. wachana.lk said, on ජූනි 15, 2021 at 3:27 පෙ.ව.

    වටිනා කියන ලිපියක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: