අරුණි ශපීරෝ‍ වෙතින්

ආසියානුවන් ශුද්ධකරණය සහ ඇමෙරිකන් සමාජය

Posted in Uncategorized by arunishapiro on ජූලි 15, 2021

මේ කියන ආකාරයේ ශුද්ධකරණය අහන්නට ලැබෙන්නෙ අපිට සෝවියට් ඉතිහාසය නැත්නම් මාඕ කාලයේ චීනයෙන්…ඊට පස්සෙ කාම්බෝජය වැනි රටවල් වලින්. දේශපාලන පක්ෂයේ සිටින ප්‍රතිවිරෝධී අදහස් ඇති අයගේ පටන් විවිධ ආකාර වලින් සමාජයක ඒ ඒ ජන කොට්ඨාශයක් ඉලක්ක කරගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් හිමිහිට උදුරා ගැනීමක් සිද්ධ වූ ආකාරය අපිට ඉතිහාසයෙන් පෙනී යනවා. ඒ ගැන අදහසක් ලබාගන්නට, තවමත් කියවලා නැති අයට කොමියුනිස්ට්වාදයේ කළු පොත (දකුණු පැත්තෙන් PDF බාගත හැකියි) උපකාරී වේවි.

හොංකොං වැනි චීනයේ විශේෂ පරිපාලනය යටතේ පවතින්නක ජනතාව පහුගිය දිනවල දී සහ කියුබාවේ වැසියන් වර්තමානයේ දී නිදහස ඉල්ලා ඇමෙරිකන් කොඩි අරන් මහපාරට බහිද්දී, ඇමෙරිකාවේ සමහර ප්‍රාන්ත නිදහස අතිශයෙන් කප්පාදු කරන පිළිවෙත් ක්‍රියාත්මක කරනවා.

මේවා ඇමෙරිකාවේ වැසියන් බහුතරයක් පෙනී සිටින පිළිවෙත් කියල වරදවා වටහා ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහත් උත්කර්ශවත් ලෙසින් වර්ණනා කරන අයම තමයි මේ නිදහස කප්පාදු කරන හැටි නොදැක්කා වගේ ඉන්නෙ. හිතන්න ඇමෙරිකාවට විරුද්ධ වෙමින් ඇමෙරිකන් කොඩිය පුච්චන සීන් එකක් හාවානා වලින් දකින්නට ලැබුණ කියල. එහෙනම් අපේ සිංහල පත්තරවල සහ අනෙකුත් සමාජ මාධ්‍ය වලින් ඡායාරූප එක්ක අපි කියුබාව සමඟ නැඟී සිටිමු කියල පුවත් දකින්නට තිබුණ. කියුබානු වැසියන්ට උද්ඝෝෂණයට අයිතියක් ඇතැයි කියල අහන්නට තිබුණ. ඒත් ඇමෙරිකන් කොඩිය උස්සන් කියුබාවේ අය නිදහස ඉල්ලා පාරට බහිද්දී ඒ අය ගොඩක් නිහඬයි.

පහත ලියන කොටස, 2021 ජූලි 13 වැනිදා වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්‍රයේ ඔපීනියන් කොටසේ පළ වූ විලියම් මැක්ගරන් ලියූ ලිපියක් අනුසාරයෙන්.

වර්ජීනියා ප්‍රාන්තයෙ ෆෙයාර්ෆැක්ස් කවුන්ටිය කියන්නෙ මෙරට ධනවත් අය බොහොමයක් ජීවත්වන නගරයක්. එහි පිහිටා ඇති මහජන පාසැල් මෙරට අනිකුත් එවැනි පාසැල් වගේම නඩත්තු වෙන්නෙ ඉඩම් හා නිවාස වලින් කවුන්ටියට ගෙවන බදු වලින්. ආසියාතිකයන් බොහොමයක් ජීවත්වන කවුන්ටියක්. ඒ වගේම ආසියාතික සම්භවයකින් එන ඇමෙරිකන් පාසැල් සිසුන් මෙහි පිහිටන විද්‍යාව සහ තාක්ෂණය සඳහා වූ තෝමස් ජෙෆර්සන් හයි ස්කූල් නමැති උසස් පෙළ සිසු සිසුවියන් සඳහා වූ පාසැල රටේ සියළුම පාසැල් අතරින් අංක 1 ස්ථානයට ගෙනි යන්නට සමත්වෙලා තියනවා.

පහුගිය දෙසැම්බර් මාසයේ දී, පාසැල ගැන තීරණ ගන්න බලය පැවරිලා තියන කවුන්ටියේ පාසැල් මණ්ඩලය (මහජන චන්දයෙන් තේරී පත්වන අය) මෙතෙක් පැවති ජනවර්ගය ගැන නොසලකා හරින ඇතුල්වීමේ විභාගය වෙනුවට වෙනත් ක්‍රමයක් ගේනවා. ඒ තමයි ලකුණු වලට අමතරව ආසියාතික ළමයි අඩු කිරීමට ක්‍රමවේදයක්. පහුගිය වසරේ 73% ක් වෙච්ච ආසියාතික ළමයි සංඛ්‍යාව හා සසඳන විට මේ වසරේ ඇතුල්වෙන අය ප්‍රතිශතය 54% ක් දක්වා අඩුවෙලා. අනිත් සේරම ජනවර්ග, ලතිනෝ, සුදු සහ කළු අය වැඩිවෙලා. මේ අලුත් ක්‍රමයෙන් දක්වන්නෙ ආසියාතික පාසැල් දරුවන් සමඟ හුදු ලකුණු වලින් පමණක් තරග කරන්න අනිත් අයට හැකියාවක් නැතැයි කියා ඔවුන් සැලකීම. ඔවුන් කියලා කියන්නෙ බදු මුදල් වලින් සාධාරණත්වයක් ඉටුකරන්න කියල හැමදාම බංකොළොත් ප්‍රතිපත්ති හදන අයට!

පීඩකයන් සහ පීඩිතයන් කියන දෙවර්ගයක් හදාගන්න අයට ඕන. එහෙම හදාගෙන පීඩකයන් පරාජය කරන්නට ඔවුන් මහජනතාවගේ බදු මුදල් මෙහෙම මෙහෙම යොදවන්න ඕන කියල පිළිවෙත් හදනවා. වර්තමාන ඇමෙරිකාවේ පීඩකයන් කියල හැඳින්වෙන්න සුදු හම තියන අයව. පීඩිතයන් තමයි සුදු නැති අනිත් සියල්ලන්. ඒත් ඉතින් සුදු හමක් නැති කොට්ඨාශයට ආසියාතිකයන් වැටුනට, ඔවුන් ආර්ථික අතින් රටේ ඉහළ ආදායම් ලබන සහ උගත් කොට්ඨාශයක්. පීඩිතයන් කියල කියන්නම බැරි කොටසක්!

විවිධ ජනවර්ග කණ්ඩායම් වලින් හැදෙන (ලාංකික, ඉන්දියානු, දකුණු කොරියානු—ෆෙයාර්ෆැක්ස් නගරයේ ගොඩක් ඉන්නවා—පාකිස්ථාන, බංගලාදේශි, පිලිපීන, මැලේසියානු…) ආසියාතිකයන් කියන්නෙම තවත් අපූරු මිශ්‍රණයක්. ඉතින් මේ පීඩක සහ පීඩිත කියල දෙකකට බෙදාගන්න හදන අයට එක්කො ආසියාතිකයන් ජනවාර්ගික සුළු පිරිසක් කියල සලකන්නෙ නැතිව ඉන්න සිද්ධ වෙනවා, නැත්නම් ඔවුන් සුදු හමට ගෑවිච්ච කණ්ඩයාමක් කියල හඳුන්වන්න සිද්ධ වෙනවා. මොකද ඔවුන්ට පීඩිතයන් කියන්න බැරි නිසා.

ඇමෙරිකාවේ ජීවත්වන ආසියාතික අයට හැබැයි තෝරාගැනීමක් තියෙනවා. මේ වගේ කවුන්ටි අත්හැරලා ගිහින් ඔවුන්ට ජනවර්ගය නොසලකා ලකුණු පමණක් සලකා බඳවා ගන්නා අධ්‍යාපන ආයතන වෙතට යා හැකියි. ස්වොත්සාහයෙන් ඉහළ ආදායම් උපයන්නට සමත් පිරිසක් තම දූ දරුවන්ගේ අනාගතය ගැන සලකා වෙන කවුන්ටියකට යද්දී, ඔවුන්ගේ බදු මුදල් ද ඔවුන් සමඟ යනවා. එතකොට තව දුරටත් තෝමස් ජෙෆර්සන් උසස් පාසැල රටේ අංක 1 තැනේ ඉන්න එකකුත් නැහැ. සාර්ථක දෙයක් අසාර්ථක බවට හරවන ලද බංකොළොත් ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය නැවතත් දකින්නට ලැබේවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: