අරුණි ශපීරෝ‍ වෙතින්

ඵලදායී ශ්‍රමය හා නිෂ්ඵල ශ්‍රමය අතර වෙනස හඳුනාගන්න

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 7, 2021

දරුවන්ට උගන්වන පාඩම් ගෙදරටම ගෙනෙද්දී, ගුරුවරුන් උගන්වන හැටි දැනගන්නට දෙමව්පියන්ට අවස්ථාවක් පෑදිණ. දරුවන් ඉගෙන ගන්නේ මොනවාදැයි කියා වැඩි අවධානයක් යොමු නොකළ දෙමව්පියන්ට පවා ඔවුන්ගේ පාඩම් අහන්නට ලැබිණ. ළමා වයසේ වැඩි කාලයක් අධ්‍යාපනයට යොදවන හැදියාව අතිශයෙන්ම ඉහළ ගොස් ඇත. ඒත් ලබාගන්නා දැනුම ඇත්තෙන්ම ඉහළ මට්ටමකින් යුතුද?

අනුන් හදන ප්‍රතිපත්තිවලට කොටුවී පමණක් අධ්‍යාපනය ලබාගන්නට සිද්ධ වී ඇති රටවල දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් ද දැනුම වර්ධනය සඳහා ඇති සැබෑ නිදහස ගැන පෙනී සිටින්නට නොදනිති. ඒ නිසා ඔවුන් තව දුරටත් ඉල්ලා සිටින්නේ යල්පැන ගිය අයහපත් ප්‍රතිපත්තීන්ම පමණකි.

පෞද්ගලික ව්‍යාපාරිකයෝ ගගනගාමීන් වෙන්නට සමත් වූ වර්තමානය නිසා නුදුරු අනාගතයේ අපිට ලෝකයේ සිටින බිලියනපතිවරු වෙනුවට ට්‍රිලියනපතිවරු දකින්නට ලැබෙද්දී, ඒ අජටාකාශ ගමන් හා සම්බන්ධයෙන් බිහිවෙන අලුත් භාණ්ඩ හා සේවා ගැන සිතා බලන්න. අජටාකාශයේ සිට මෙහෙයවන්නට හැකි පරිද්දෙන් අපේ වාහනයේ, බෝට්ටුවේ, බයිසිකලයේ පවා ඇති තාක්ෂණයේ කොතරම් දියුණුවක් හටගනීවි ද?

ඉන්ටනෙට් නිසා ලෝකයේ සිද්ධ වූ දියුණුව, එනම් ඉන්ටනෙට් තාක්ෂණය පැතිර යාම නිසා බිහිවූ රැකියා හා පහසුකම් සලකද්දී, ඊළඟට එන අජටාකාශ ගමන් නිසා ඇතිවන ලෝක දියුණුව කෙසේ වේදැයි ගැන නිකම් සිතා බලන්න.

90 ගණන් මුල දී ඇමෙරිකාවේ වාසය කළ අපිට ඉන්ටනෙට් පහසුකම් මුලින්ම ලැබෙද්දී, ගූගල් කියා කොම්පැණියක් නොතිබිණ. 1998 දී බිහිවූ ගූගල් හි නිර්මාතෘවරු අද ලෝකයේ බිලියනපතිවරු අතර හයවැනි සහ හත්වැනි බිලියනපතිවරුන් වෙති. ඒ වසර තිහක පමණ කාලයක් ඇතුළත ය.

ගගනගාමීන් වන්නට ලෝකයේ ඕනෑම කෙනෙකුට ටිකට්පතක් මිලදී ගැනීම පමණින් හැකියාව පෑදෙන තාක්ෂණික යුගයක බිහිවෙන නවෝත්පාදන ගැන හිතන්නට හැකියාව ඇත්තේ අනුන් හදන ප්‍රතිපත්තිවලට කොටුවී අධ්‍යාපනය ලබාගන්නා අය කියා ඔබ සිතනවා ද?

මුළු ළමා කාලයම අධ්‍යාපනයට යට කිරීම අනිවාර්ය වූ රටක බිහිවෙන උගතුන්ගේ අපේක්ෂාව රජය ලවා වේතන වැඩි කරවාගන්න උද්ඝෝෂණයේ යෙදීම ද?

විකල්ප සොයා ගැනීම කළ යුත්තේ දැනට පවතින ආයතන හරහා නොවේ. අනුන් වෙනුවෙන් ප්‍රතිපත්ති හදන රටවල ඒවා අසාර්ථක යැයි ඔප්පු වී හමාරය. ඉතින් විසඳුම අනුන් වෙනුවෙන් තවත් ප්‍රතිපත්තී හැදීම නොවේ.

නිෂ්ඵල ශ්‍රමය යන අදහස ඇඩම් ස්මිත් වෙතින් දකින්නට ලැබුණි.

දේශපාලකයන්, නීතීඥයන්, පැවිද්දන්, විනෝදාස්වාදය සපයන අය, සහ වෙනත් විවිධාකාර උගතුන් වසරක් තුළ වැඩ වර්ජනයක සිටියා නම් එයින් මහජනතාවට ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස අහිමි නොවන බව ඔහු පෙන්වා දුන්නේ ය. මෙහි දී ඇඩම් ස්මිත් කායික වූ ශ්‍රමයක් වැඩි අගයකින් වූවක් ලෙසින් පෙන්වා දෙන්නට ගියේ නැත. එසේම උගතුන් අනවශ්‍ය යැයි කියන්නට ද ගියේ නැත. මූලික අවශ්‍යතා සපයන අයගේ වැදගත්කමක් ඇතිබව උලුප්පා දැක්වූවා පමණකි.

සාරවත් නොවන ශ්‍රමයට වේතන ගෙවනු ලබන්නේ ප්‍රාග්ධනයෙන් නොව ආදායමෙන් බව ජාතීන්ගේ ධනය කෘතියේ ඇඩම් ස්මිත් පැහැදිලි කරන ලදි. මෙය වර්තමානයට ද වැදගත් වූවකි. පෞද්ගලික අංශයේ මෙන්ම රජයේ සේවකයන්ගේ ද වේතන කොම්පැණියේ හෝ රටේ ආදායම අඩුවෙද්දී ඉහළ යන්නේ නැත. ප්‍රාග්ධනය ගැන නිසි වැටහීමක් නැති අය මේ සත්‍යය අවබෝධ කරගන්නට අසමත් වෙති.

සාරවත් නොවන ශ්‍රමයක් සපයන අයට රස්සා ලැබී ඇත්තේ යම් කාල පරාසයක දී ජනතාව අත ඒ සඳහා වැය කළ හැකි මුදල් පැවතීම අනුවයි. කන්න, අඳින්න, සහ වාසස්ථානයට හැකියාව ලැබෙන ජනතාව විනෝදාස්වාදයට මුදල් වැය කරද්දී නවකතා ලියන අයට, සංගීතඥයන්ට, චිත්‍රපටි සහ වේදිකා නාට්‍යවල රැඟුම් දක්වන අයට ආදායම් උපයත හැකි මාර්ග පෑදේ.

වැඩවසම් යුගයේ පැහැදිලි රස්සා නැතිව කුමන හෝ වැඩපලක් වෙනුවෙන් දවසේ පඩියක් උපයාගත් අය බොහොමයක් වූහ. බහුතරය ආහාර, ඇඳුම් හා වාසස්ථාන නොමැතිව මිය ගියහ.

ප්‍රාග්ධනය යොදවා ලාබ උපයන්නට වාතාවරණයක් ඇතිවෙන්නට පටන් ගත් පසුව මෙවැනි අයට දවසේ පඩියෙන් නොව මාසික වේතන ලබාගන්නට අවස්ථා පෑදිණ. තවත් විදියකින් කිව්වොත්, සාරවත් නොවූ ශ්‍රමය වැය කිරීමෙන් පහසු ජීවිතයක් ගෙවන්නට හැකි මාර්ග පෑදිණ.

කර්මාන්තයක ඕනෑම කාර්යාවස්ථාවක දී හෝ එහි යම් කාර්යාවස්ථා පංගුවක දී යම් ක්‍රියාවක දිගින් දිගට ම නිරත වීම ශ්‍රමය යන වචනයෙන් අර්ථ කරන්නේ “දේශපාලන ආර්ථිකය ගැන නිබන්ධනයක්” යැයි පොතක් ලියූ ශෝන්-බැප්ටිස්ට් සේ විසිනි.

කර්මාන්තයක නිෂ්පාදනයක් නිර්මාණය කරනු පිණිස කුමන අවස්ථාවක දී හෝ යොදවන ශ්‍රමය ඵලදායී වූවකි. ඉතින් පර්යේෂණාත්මක හෝ පාවිච්චියට ගත හැකි ලෙසින් න්‍යායයක් සපයන්නාගේ ශ්‍රමය එහි දී ඵලදායී වූවකි. කායික වූ කිසිත් ශ්‍රමයක් යෙදෙව්වේ නැති වුවත් ගවේෂකයාගේ හෝ නිෂ්පාදනය සඳහා සූක්ෂම කාර්යාවලියක් සැලසුම් කරන්නා ගේ ශ්‍රමය ඵලදායී වූවකි. නිෂ්පාදන ක්‍රියාවලියේ දී හැම පංගුවකම නියැළෙන කම්කරුවාගේ ශ්‍රමය ඵලදායී වූවකි. කෘෂිකර්මයේ යෙදෙන දවසේ කම්කරුවා මෙන් ම නැවක් ගුවන්යානයක් මෙහෙයවන නියමුවා ගේ ශ්‍රමය ද ඵලදායී වූවකි.

යම් කර්මාන්තයක නිෂ්පාදනයක් බිහි නොකරන ශ්‍රමය නිෂ්ඵල වූවකි. නිදහස් වෙළඳපොලක දී සාමාන්‍යයෙන් එවැනි කටයුත්තක නියැළීම අයෙක් ස්වේච්ඡාවෙන් බාර ගන්නේ නැත. මන්ද, නිදහස් වෙළඳපොලක දී යම් කර්මාන්තයක නිෂ්පාදනයක් බිහි නොකරන ශ්‍රමයක් යනු එයට සරිලන ගෙවීමක් නොලැබෙන්නකි. නිදහස් වෙළඳපොලක් නොමැති වර්තමානයේ දී එසේ නිෂ්ඵල ශ්‍රමය වෙහෙසන අය ඥාතී සබඳතා හෝ දේශපාලන සබඳතා මත පුටු රත් කරන අය වී සිටිති. එසේ ශ්‍රමය වැය කිරීමෙන්, නිෂ්පාදනයක් බිහිනොවන නිසා ලැබෙන සමාජීය වූ සුබසාධනයක් ද නැත.

නිෂ්පාදනයක් බිහි නොකරන ශ්‍රමය බොහෝ විට යොදා ගැනෙන්නේ අන් අයෙකු සතු භාණ්ඩ වංචාවෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් උදුරා ගැනීමටයි. විකුණාගත නොහැකි භාණ්ඩයක හෝ සේවාවක ගුණ වැයීමටයි. වෙළඳපොල නිදහස් නොවන නිසා, ශ්‍රමය වැය කරන්නාට යොදවන ලද නිෂ්ඵල ශ්‍රමයට සරිලන වේතනයක් තීරණය ද නොමැතියි. එහි දී නිෂ්ඵල ශ්‍රමයෙන් දැන් නිෂ්පාදනයක් බිහි නොවීම පමණක් නොව එය සමාජයේ ඵලදායී ලෙස ශ්‍රමය යොදවන අයට කරන අපරාධයක් බවට ද පත්වෙයි. නිෂ්ඵල ශ්‍රමිකයා අතින් සිද්ධ වෙන්නේ එක පුද්ගලයෙකු වෙතින් තවත් පුද්ගලයෙකුට බලහත්කාරයෙන් ධනවස්තූන් ස්ථානමාරු කරන අපරාධයක නියැළීමත් සමාජයේ ඵලදායී ලෙසින් ශ්‍රමය යොදවන අයගේ වේතනයන් තීරණයට දුරාචාර වූ බලපෑම් කිරීමත් ය.

මිනිසා ස්වභාව ධර්මය හා ගැටෙන්නේ තම සුභ සාධනය සලසා ගැනීමට ය. එසේම තවත් පුද්ගලයන් හා වෙසෙන මිනිසා, සමාජයක අනෙකුත් මිනිසුන් හා සබඳතා පවත්වන්නේ ඒවායෙන් තමන්ට හා තම පවුලේ අයගේ සුභ සාධනයට අවහිරයක් නොවෙනවා නම් පමණකි. මිනිසා තමන් කළින් වැය කළ ශ්‍රමයේ ඵලදාව ද නව නිෂ්පාදනයක් බිහි කරන්නට යොදා ගන්නට මැළි නොවන්නෙකි. නමුත් කළින් වැය කළ ශ්‍රමයේ ඵලදාව බලහත්කාරයෙන් යම් නිෂ්පාදනයක් සඳහා යොදවන්නට යැයි බලපෑමක් සිද්ධ වෙන්නේ ද, එවිට නිදහස කප්පාදු වී යයි. සමාජයේ නිදහස් කැමැත්තෙන් සිද්ධ වෙන සබඳතා අවහිර වී යයි.

නිෂ්ඵල ශ්‍රමයේ යෙදෙන අය වැඩිවෙන සමාජයක, නිෂ්පාදනයන් බිහි නොකරන්නට ශ්‍රමය වැය කරමින්, ශ්‍රමයට සරිලන වේතනයක් නොලැබ බහුතරයක් විසින් සිය ශ්‍රමය අපෙත් යවයි. එසේ නිෂ්ඵල ශ්‍රමයක් වැය කරන අය වැඩි වෙද්දී සමාජයේ අවුල් වියවුල් වැඩි වේ. ඵලදායී ශ්‍රමයේ යෙදෙන අයට අවහිර ඇති වේ. අපරාධ වැඩි වී නිෂ්පාදන බිහි වීම අඩු වී ශ්‍රමය තව තවත් අපතේ යයි.

ශ්‍රමය වෙහෙසා නොසිටින අයෙක් ලොව නොමැති ය. තමන් යොදවන ශ්‍රමය ඵලදායීත්වයෙන් යුතු වූවක් ද නැත්නම් නිෂ්ඵල ලෙසින් වැය කරන්නක් ද යැයි විමසා බැලීමෙන් මුල් ම හා අවසන් වාසිය ද ලැබෙන්නේ ශ්‍රමය වෙහෙසන ශ්‍රමිකයාට ම ය.

ගගනගාමීන් වන්නට ලෝක ජනතාවකට ඉඩකඩ පෑදී ඇති වර්තමානයේ දී මේ ශ්‍රමය නමැති සංකල්පය ගැන දැන්වත් නිසි අවබෝධය ලබන අය ඉක්මණින් සහ වැඩියෙන් ජීවිත තව තවත් පහසු සහ සාරවත් කරගන්නා පුද්ගලයන් වෙනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: