අරුණි ශපීරෝ‍ වෙතින්

බර්ලින් තාප්පයේ කෑල්ලක් අතගා බැලුවෙමි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 14, 2021

ඒ සවුත් ඩකෝටා ප්‍රාන්තයේ රැපිඩ් සිටී නගරයේ මැද පිහිටන අනුස්මරණ උද්‍යානයේ (Memorial Park) ඇති බර්ලින් තාප්ප ස්මාරකයයි. 1989 නොවැම්බර් මාසයේ දී ජර්මන් ජනතාව විසින් කඩා දමන ලද, බ්‍රැන්ඩන්බර්ග් ගේට් සහ චෙක්පොයින්ට් චාලි අතර වූ බර්ලින් තාප්පයේ කොටස් දෙකක් එහි ප්‍රදර්ශනයට තබා ඇත.

එතැන සිටගෙන සිටිය දී ඒ තාප්පය නිසා ශෝචනීය තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිද්ධ වූ අය ගැන මම සිහි කළෙමි. කිසිත් අමුත්තක් පිටතින් පෙන්වන්නේ නැති කොන්ක්‍රීට් කුට්ටි දෙකක් වුවත්, ඉතිහාසය දන්නා අයෙකුට, වොෂිංටන් ඩීසී නගරයේ පිහිටන සමූලඝාතන (holocaust) කෞතුකාගාරයේ දී ඇතිවන විදියේ සිත් සසල කරවන තත්වයක් මෙතැන දී ද හටගැනීම වළක්වන්නට අසීරුයි.

1961 වසරේ අගොස්තු 13 වැනිදා, (අදට වසර 60 කට පෙර) රාත්‍රියේ දී බර්ලින් තාප්පයේ අත්තිවාරම වැටුණි. ඔව්, බොහෝ රාජ්‍ය බලාත්කාරකම් සිද්ධ වන්නේ පුරවැසියන් නිදාගෙන සිටිය දී ය. මධ්‍යම රාත්‍රී දොළහත් සහ අරුණෝදයත් අතර කාලයේ දී පුරවැසියන් සිරකරුවන් බවට පත්කරන මායිම කටුකම්බි ටොන් 150 කින් වට කෙරුණි.

බර්ලිනයේ බොහෝ වැසියන් ගිම්හානයේ උණුසුම අත්විඳ, මල්වෙඩි උත්සවයක් නරඹා, අයිස් ක්‍රීම් කා, සතුටින් නින්දට ගොස් සිටියහ. ජනතාවගේ යුදහමුදා මූලස්ථානයේ දී හමුදාවේ ඉහළම තනතුරු හොබවන ලද නිලධාරීන් සොසෙජ්, වහුමස්, දුම් ගසා උයන ලද සැමන්, සහ කැවියාර් වලින් රස නහර පිනවාගෙන තමන් ඉදිරියේ රාත්‍රී 8 ට විවෘත කරන්න නියමිත ලියුම් කවර අරින්නට බලාගෙන සිටියහ.

වනවදුලක පිහිටන ලද සිය නිවාඩු නිවසේ එළිමහනේ පවත්වන සාදයකට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියල්ලන්වම කැඳවන ලද්දේ නැගෙනහිර ජර්මනියේ නායකයා වූ වෝල්ටර් උල්බ්‍රිහ්ක්ට් ය. එහි දී ඔවුන්ව කාමරයකට කැඳවන නායකයා තමන් ජර්මනියේ නැගෙනහිර සහ බටහිර අතර මායිම වසා දමන බව දැනුම් දුන්නේ ය. “රෝස් මෙහෙයුම” නමින් එය හැඳින්විණ.

1961 ගිම්හානය වෙද්දී නැගෙනහිර ජර්මනිය හැරදා යන ලද පුරවැසියන් සංඛ්‍යාව මිලියන තුනකි. රට හැර ගිය අය නිසා සමහර නගරවල එකදු වෛද්‍යවරයෙක් හෝ ගුරුවරයෙක් නොසිටියහ. සමාජවාදී ප්‍රතිපත්ති එපා වූ ජනතාව බඩුමුට්ටු අරන් මායිමෙන් අනිත් පැත්තට යෑම නැවැත්වීම ඔවුන්ට කළ හැකි වූයේ එසේ මධ්‍යම රාත්‍රී දොළහට ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තියකින්; එනම්, ජනතාව අනිත් පැත්තට ගිය මායිම දිගට කටුකම්බි වැටක් දැමීමෙන්.

රාත්‍රී එකට වීදිවල ලයිට් සියල්ල නිවා දැමුණහ. අනිත් පැත්තට ජනතාව යන ස්ථාන සඳහා කොතරම් හමුදා භටයන් සංඛ්‍යාවක් මුර කිරීම පිණිස පත්කරනවාදැයි කියා උල්බ්‍රිහ්ක්ට් කලින්ම තීරණය කර තිබුණි. ට්‍රක් රථවලින් ඒ තැන්වලට ගෙන ගිය ඔවුන් තුවක්කු අමෝරාගෙන ස්ථානයේ සිටිය දී දෙවැනි කණ්ඩායමක් ට්‍රක් රථවලින් බැස කටුකම්බි දැමීම පටන් ගත්හ. බටහිර බර්ලිනයට යන මඟ ආවරණය කරමින් දස දහසක් සොල්දාදුවන් පෙළ ගැසී කටුකම්බි දැමීම පටන් ගත්හ. කම්හල් සේවකයන් අතරින් තෝරාගත් විශේෂ පුහුණුවක් ලැබූ මිලීෂිය භටයන් 12,000 ක සාමාජිකයන් ඒ අතර වූහ.

මේ කටුකම්බි ටොන් 150 ක ප්‍රමාණය ඊට කලින් සති කිහිපයේ දී බටහිර ජර්මනියෙන් මෙන්ම බ්‍රිතාන්‍යයෙන් ද රහසේ මිල දී ගන්නා ලද තොගයකි. ඒවා විවිධ තැන්වල ගබඩා කරන ලද නිසා ඒ විවිධ පොලිස් ස්ථානවල සේවය කරන ලද්දවුන් ඒවා කුමකටදැයි කියා නොදැන සිටියහ.

බටහිර ජර්මනිය හෝ බටහිර රටවල් සමඟ යුද්ධයකට යන්නට බියෙන් ඔවුන් බටහිර ජර්මනියෙන් මිලිමීටරයක් හෝ අල්ලා නොගත්හ. ඉතින් ඒ නිසා ඒ කටුකම්බි උද්‍යාන මැද්දෙන්, ගෙවල් මැද්දෙන්, සොහොන් පිටි මැද්දෙන්, නගර මැද්දෙන් ඇදී ගියහ.

අවිගත් කණ්ඩායම් පාන්දර එකහමාරට බටහිර බර්ලිනයට දුවන ප්‍රවාහන පහසුකම් සියල්ල නවත්වා දමන ලදහ. දුම්රිය පීලි දෙකට බෙදා, දුම්රිය ස්ථානවලට සීල් තැබූහ. එය පුරවැසියන් සියල්ලන්ම පාහේ නිවාඩු ගන්නා ලද ඉරිදා උදෑසනකි.

උදේ හය වෙද්දී වීදි 193 ක්, බටහිර ජර්මනියට යන ස්ථාන 68 ක්, සහ දුම්රිය ස්ථාන 12 ක් වසා දමන්නට සොල්දාදුවන්ට හැකිවී තිබුණහ.

උදෙන්ම වැඩට යන්න නැඟිටගත් ජනතාව සිද්ධ වී ඇත්තේ කුමක්දැයි කියා සිතාගත නොහැකි බැවින් මහපාරේ තුෂ්ණිම්භූතව එහා මෙහා ඇවිදින්නට වූවා යැයි වාර්තා වලින් දැක්වේ. කටුකම්බි මායිමට ගිය මිනිසුන් ඒ ගැන කෝප වූ විට ඔවුන්ට කඳුළු ගෑස්වලින් සංග්‍රහ කෙරිණ.

ලවුඩ්ස්පීකර් බැඳගත් වෑන්වලින් පැමිණි නිලධාරින් මායිම වසා දමන ලදැයි ජනතාවට අනතුරුව දැනුම් දුන්හ. දුම්රියෙන් අනිත් පැත්තට යන්නට හැදූ අයට දුම්රිය තව දුරටත් අනිත් පැත්තට නොයන බව දැනගන්නට ලැබුණි. දුරකතන ඇති අය බටහිර ජර්මනියේ ඥාතීන්ට සහ හිතමිතුරන්ට කතා කරන්නට තැත් කරද්දී ඒ ලයින් කපා ඇති බව දැනගන්නට ලැබුණි.

වැඩි දවසක් යන්නට මත්තෙන් කටුකම්බි වැට කොන්ක්‍රීට් තාප්පයක් බවට හැරිණ.

1961 සිට 1989 දක්වා තාප්පෙයන් එහා පැත්තට යන්නට සමත් වූ සංඛ්‍යාව පන්දහසකට අධික වෙති. 140 දෙනෙක් පැන යන්නට තැත් කරමින් මිය ගියහ. හොරෙන් පැන යන්නට නැගෙනහිර ජර්මානුවන් උමං 70 ක් කැන තිබුණහ. එයින් 19 ක් සාර්ථක ලෙසින් භාවිතා වූවා යැයි කියැවේ.

ටනල් 29 (Tunnel 29) යන නමින් බර්ලින් තාප්පය යටින් අනිත් පැත්තට පලා යන්නට සමත් වූවන්ගේ සැබෑ කතන්දරයක් හෙලෙනා මෙරිමන් (Helena Merriman) අපිට 2021 අගෝස්තු අන්තිමට ගෙනෙන්නට නියමිතයි. එය යොආකිම් රුඩොල්ෆ්ගේ කතන්දරයයි.

3 Responses

Subscribe to comments with RSS.

  1. Sarath Perera said, on අගෝස්තු 14, 2021 at 10:25 ප.ව.

    Thank you for the historically important post.

  2. Dayaratne said, on සැප්තැම්බර් 12, 2021 at 12:11 ප.ව.

    Good post


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: