අරුණි ශපීරෝ‍ වෙතින්

නිෂ්පාදනය අඩාල කරන ආණ්ඩුවෙන් බෙදන ණය සහනාධාර

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 4, 2021

ආණ්ඩුවෙන් කරන එදිරිවාදිකම් ගැන සේ ම ව්‍යවසායකයා ආණ්ඩුව කරන දිරි ගැන්වීම් වල දී ද බිය විය යුතුයි. පුද්ගලික ණය සහතික කිරීම හෝ ආණ්ඩුවෙන් කෙළින් ම යම් ක්ෂේත්‍රයන් නංවාලන්නට දෙන ණය සහනාධාර ආණ්ඩුවක් කරන දිරි ගැන්වීම් වලට අයිති වෙයි.

කාට හරි මුදල් ණයට දෙන අයෙක් යනු දැන් වියදම් කිරීමේ හැකියාව තිබුන ද එසේ කිරීම අත්හරින්නෙකි. එහි දී මුදල් ණයට දෙන්නා බලාපොරොත්තු වෙන්නේ තමන් දැන් වියදම් නොකළ නිසා අනාගතයේ වියදම් කරන්නට වැඩියෙන් ප්‍රතිලාභයක් ලැබේ යැයි කියාය. මුදල් ඉල්ලා ගන්නා අයෙක් එසේ ඉල්ලා ගන්නේ එය ආයෝජනයෙන් තමනට ලාබයක් තබාගෙන, තමන් ගත් ණය ආපසු ගෙවා දැමිය හැකි යැයි අපේක්ෂාවෙනි.

පුද්ගලික ණයක් දෙන අයෙක් හෝ (රජය විසින් වගකීම දරන්නේ නැති) බැංකුවක් ණයක් නිකුත් කිරීම ඒ අය විසින් ගන්නා අවදානමකි. එහි දී ණය දෙන්නාට වැඩියෙන් වැදගත් වෙන්නේ ණය ගන්නා විසින් ලබාගත් ණය ආයෝජනය කරන්නේ කුමන ක්ෂේත්‍රයක දැයි කියා නොවේ. ණය දෙන්නාට වඩා වැදගත් වූව නම් ණය භාවිතා කර ණයගත්තා විසින් ලාබයක් උපයා ගත්තා ද නැද්ද යන්නයි. ණය ලබාගත් අය අතර ණය ආපසු ගෙවන්නට නොහැකි අයත් සිටින නිසා ගත් ණයට වැඩියෙන් ආපසු ගෙවීමක් සිදු නොවන්නේ ද බැංකුවක් හෝ පුද්ගලික ණය දෙන අයෙක් බංකොළොත් වෙයි.

ආයෝජනයෙන් පසු ලාබ උපයා ආපසු ගෙවිය හැකි ණය ලබාගත් අය වැඩියෙන් ණය ලබන්නට සුදුස්සෝ වෙති. ඉතින් යම් අයෙක් ලබාගත් ණය කලට වේලාවට ගෙවා දමන්නේ ද එයා නැවත නැවතත් ණය පහසුවෙන් ලබා ගනියි. එවැනි අයට ණය දෙන ආයතන තව තවත් ණය දෙන්නට හැකියාව ද ලබති. ණය ගෙවන්නේ නැති අයට ණය දෙන යම් පුද්ගලයෙක් වේ ද, යම් බැංකුවක් වේ ද, ඒ අය, දුන් ණය එකතු කර ගැනීමට නොහැකි වීම නිසා බංකොළොත් වෙති.

ස්වභාවික වරණයකින් ඒ නිසා ණය දෙන්නට සුදුසු අය හා ණය ගන්නට සුදුසු අය නිදහස් වෙළඳපොලක දී දිගින් දිගටම ගණුදෙනු කරනවා දකින්නට ලැබෙයි.

එහෙත් මැදිහත් වීම් වලින් වෙළඳපොල මෙහෙයවන්න දන්නවා යැයි සිතන ආණ්ඩුවක් එසේ ස්වභාවික වරණයෙන් ඒ ක්‍රියාවලිය සිද්ධ වන්නට ඉඩ නොදෙයි. රස්සාවල් ඇති කරන්නට හෝ යම් ක්ෂේත්‍රයක් නංවාලීම තම අතට ගත් නිසා ආණ්ඩුව විසින් එක් කොටසක් තෝරාගෙන අනික් කොටසට වඩා තෝරාගත් කොටසට විශේෂ සැලකිලි දක්වති.

ආණ්ඩුවක් ණය සහනාධාර බෙදන වගකීම රජය යටතේ කරද්දී අසාර්ථක වෙන ආකාර කිහිපයකි.

1. ආණ්ඩුවක් විසින් ණය බෙදන්න යද්දී එක්කෝ පුද්ගලික ණය දෙන අයගේ ඉපැයුම් බදු මගින් භාවිතා කරති. නැත්නම් විදේශ ණය ආධාර මඟින් ලබා ගනිති. රස්සාවල් වැඩි කරන්නට හෝ ක්ෂේත්‍රයක් නංවාලන්නට මිසෙක ආණ්ඩුවක් විසින් ලාබයක් උපයන්නට ණය දෙන්නට ඉදිරිපත් වෙන්නේ නැති නිසා, ණය ගෙවිය හැකි සුදුස්සන් සෙවීම ආණ්ඩුව අතින් මඟ හැරේ. ආණ්ඩුව අසාධාරණයක් සිදු කරන්නේ ණය ගෙවිය හැකි අයව නොසලකා හැර නිෂ්පාදනයෙන් අඩු ප්‍රතිඵල ගෙනෙන අයට ණය සැපයීමෙනි.

2. ආණ්ඩුවේ නිලධාරීන් ණය නිකුත් කරන්නේ තමන් විසින් පුද්ගලික අවදානමක් නොගෙන ය. ඒ නිසා පොලී අනුපාතය අවදානම් අනුපාතය හා ගලපන්නේ ඔවුන්ට පරිබාහිරව හදන ලද දත්ත ලැයිස්තුවක් විමසා බැලීමෙන් පමණකි. පුද්ගලික ණයක් දෙන අයෙක් හෝ පුද්ගලික බැංකුවක් ණය ආපසු නොගෙවීම නිසා බංකොළොත් වූවත් ආණ්ඩුවක ඉන්නා පාලකයන් හෝ ආණ්ඩුවේ නිලධාරීන් ආණ්ඩුව විසින් බෙදා හරින ලද ණය ආපසු නොලැබීම නිසා පුද්ගලික බංකොළොත් බවක් අත් විඳින්නේ නැත.

3. කිසිම බංකොළොත් බවින් ඉන්නා ක්ෂේත්‍රයකට ණය දීම පුද්ගලික ණය දෙන්නෙකුට හෝ පුද්ගලික බැංකුවකට කළ නොහැකියි. අසාර්ථක ආයෝජන සහ අසාර්ථක ණය දෙන්නන් එහි දී වෙළඳපොලෙන් අයින් වී සාර්ථක ආයෝජකයන් සහ සාර්ථක ආයෝජකයන් සොයාගන්නට දන්නා ණය දෙන අය පමණක් වෙළඳපොලේ ඉතිරි වේ. බංකොළොත් බවින් ඉන්නා ක්ෂේත්‍රයන් රටට අත්‍යාවශ්‍ය සේවා යැයි කියමින් ආණ්ඩුවක් පමණක් ඒවා ණය සහනාධාර වලින් රැක ගනියි. ඒවා සාර්ථක ලෙසින් පුද්ගලික අංශයෙන් සිද්ධ කළ හැකි දැයි කියා බලන්නට කිසිත් ඉඩක් නොදේ.

ආණ්ඩුවක් ණය සහනාධාර බෙදා හැරීමේ යෙදෙන විට, සමාජයේ සීමිත වූ දේපල ප්‍රමාණයක් සුදුස්සන් අතට පත්ව වැඩි දියුණුවීම නැවතී ඒවා නුසුදුස්සන් අතට බෙදා දී බංකොළොත් වීම දකින්නට ලැබේ. රජයක් මැදිහත් නොවන පුද්ගලික අංශයේ ස්වභාවය ඊට ඉඩක් නොදෙයි. නුසුදුස්සා වනුයේ ණය දෙන්නා හෝ ණය ගන්නා යන අයෙන් කවුරුන් හෝ වුවත් එයාව බංකොළොත් කරන බැවිනි.

ණය ලබා ගැනීමට සුදුස්සා කවුද යන්න තීරණය කරන්නේ එවැන්නා ඉතිරි කිරීම් හා කළින් කරන ලද ගණුදෙනු වලින් තම සාර්ථකත්වය පෙන්වා ඇත්නම් පමණි. මෙහි දී වෙළඳපොල ඉතා දරදඬු හා අමානුෂික යැයි කියන්නට අයෙක් ඉදිරිපත් වෙනු ඇත. එහෙත් ඒ දරදඬු බව හා අමානුෂික බව යනු සුදුස්සන් වෙතට සම්පත් බාර දී නුසුදුස්සන් වෙතින් සම්පත් බංකොළොත් වීමේ හැකියාව ආරක්ෂා කරන බව දකින්නට නම් ළඟ නොබලා දුර බලන්නට උත්සාහ කළ යුතුයි. එයම සමාජයේ උන්නතියට ද එයම සමාජයේ සාධාරණත්වයට ද එයම සමාජයේ ආචාර ධර්මයන් ද ආරක්ෂා කරයි.

හෙන්රි හැස්ලිට් ලියූ “අර්ථ ශාස්ත්‍රය එක පාඩමකින්” (Economics in One Lesson, 1946) පොතේ “නිෂ්පාදනය වෙනතක යවන ණය” (Taxes discourage Production) යන පරිච්ඡේදයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: