අරුණි ශපීරෝ‍ වෙතින්

කැලෑ බළල් බැංකු ක්‍රමය ධනවාදය නොවේ

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 30, 2021

Frank Hollenbeck ලියූ Confusing Capitalism with Fractional Reserve Bank හි පරිවර්තනයකි.

වර්තමාන ලෝකයේ පවතින විනාශකාරී වූ මුල්‍ය සහ ආර්ථික තත්වය ගැනත් නොනවැතී ඇතිවෙන බුබ්බුල හා අවපාත ඉතිහාසයටත් වරදකරුවා යැයි ධනවාදයට අවලාදය එල්ල වේ. ධනවාදයට ඇති සහාය ලෝකය පුරා අඩු වී යමින් පවතී.

මෑතක දී පැවැත්වුන ගෝලීය මත විමසුමක දී පිළිතුරු දුන් අයගෙන් 25% ක් (2009 ට වඩා 2% ක වැඩි වීමක්) දකින්නේ නිදහස් ව්‍යවසායකත්වය යනු “අසාධ්‍ය දෝෂ වලින් පිරි නිසා වෙනස් කළ යුතු” වූවක් හැටියටය. 2009 දී මෙය පිළිගත් ස්පාඤ්ඤයන් 29% සිට 42% දක්වා ඉහළ ගිහින් ඇත්තේ, මත විමසුවේ වැඩියෙන්ම එසේ සිතන කොට්ඨාශය බවට පත්වීමෙනි. ඉන්දුනීසියාවේ එසේ සිතන අයගේ ප්‍රතිශතය 17% සිට 32% දක්වා ඉහළ ගියේය.

සියල්ලම යැයි කිව හැකි වුවත්, වැඩි වශයෙන්ම, බුබ්බුල සහ අවපාත පටන් ගැනෙන්නේ මුල්‍ය අංශයෙන් පමණට වඩා ණය නිර්මාණය වීම නිසයි. ඉහත මත විමසුමට සහභාගී වූවන්, වැරදියට අල්ලා ගෙන සිටින්නේ, භාගික සංචිත බැංකු ක්‍රමය මත පදනම් කරන ලද මූල්‍ය පද්ධතිය යනු ධනවාදයට නැතිවම බැරි වූවක් ලෙසයි. එය එසේ නොවේ. එය ප්‍රෝඩාවකි. දේපල අයිතිය උල්ලංඝණයකි. එලෙසින් එයට සැලකිය යුතු වූවකි.

අතීතයේ දී අපිට තැන්පතු බැංකු හා ණය දෙන බැංකු තිබිණ. තැන්පතු බැංකුවකට ඔබේ මුදල් දැම්මාම ඒ මුදල් ඔබේ කුලී ගෙවන්නටත් ආහාර වියදම් සඳහා ගෙවන්නටත් එතැන තිබුණි. එය සුරක්ෂිත විය. ණය දෙන බැංකු ක්‍රමය අවදානම් වූවකි. ඔබ ණය දෙන බැංකුවකට මුදල් දමද්දී, යම් කාල සීමාවකට ඒ මුදල් ආපසු ගත නොහැකි බැව් ඔබ දනියි. එසේම ඒ මුදල් නැවත කිසිදා දකින්නට නොලැබී යාවි කියන අවදානම ද ඔබ ගනියි. මෙම හේතුව නිසා ඔබට අවදානමට ගැලපෙන සහ ඔබ තෝරාගන්නා කාල පරිච්ඡේදයට සරිලන අගයක් අනුව ඔබට පොලියක් ලැබිණ. ඒ කාලයේ දී, තැන්පතු ලබාගත් බැංකු කරුවන් ඒවායෙන් ණය නිකුත් කරන ලද හොත් ඔවුන් නගරයේ එල්ලා මරා දැමෙන දඬුවම ලැබීමේ අවදානමට මුහුණ පෑහ.

19 වැනි සියවස මුල් කාලයේ දී තැන්පතු ක්‍රියාව සහ ණය දීමේ ක්‍රියාව ඒකාබද්ධ වී අලුත් පද්ධතියක් වානිජ (කොමර්ෂල්) බැංකු නමින් එළිබැස්සේය. ඉතා ඉක්මණින් මේ නව වානිජ බැංකු අවබෝධ කරගත්තේ, ණය නිකුත් කරන අරමුදල් ප්‍රභවයක් හැටියට ඔවුන්ට තැන්පතු වලට ඇඟිලි දමන්නට හැකියාව ඇති බවයි. එය ප්‍රධාන වශයෙන් ඔවුන් කරන ලද ප්‍රෝඩාවකි. එය ආණ්ඩු ඉක්මණින් අවබෝධ කරගන්නේ මෙම ප්‍රෝඩාව ආණ්ඩුවේ මුල්‍ය වැය සපුරා ගතහැකි කදිම පිළිවෙතක් බවයි. ඉතින් ආණ්ඩු විසින් ඒ ප්‍රෝඩාව තව දුරටත් වැරැද්දක් නොවන්නේය කියා නීති සම්මත කරගත්හ.

එක්සත් ජනපදය මේ නීතිය පිළිබඳව වැදගත් අර්ථකතනයක් දෙමින් Foley v. Hill නඩුවේ දී මෙසේ මුල්‍ය ලෝකයේ බැංකු ක්‍රමයන්ට අනුගමනය පිණිස පූර්වාදර්ශයක් පිහිටුවිය:
ෆෝලි එරෙහිව හිල් සහ අනිත් අය, 1948:
“මුදල්, බැංකුවට ගෙව්වාම, වියෝජකයේ (principal) මුදල් හැටියට පැවතීම නැවතේ; එතැන් පටන් එය බැංකුකරුගේ මුදල් වෙයි. ඔහු බැඳී සිටින්නේ ඔහුගෙන් එය ඉල්ලද්දී දෙන්නට හැකි පරිදි තමන් වෙතට ලැබුණු තැන්පතුවට සමාන කොටසක් ළඟ තබා ගැනීමටයි … බැංකුකරුවා බාරයේ තබන මුදල් යනු, සියළු අරමුණු සහ අදියස අනුව, ඔහුට කැමති ආකාරයට කටයුතු කළ හැකි වූ බැංකුකරුවාගේ මුදල් වෙයි. එයින් වැඩ ගැනීමට ඒ මුදල් යෙදවීම නිසා ඔහු විශ්වාසය කඩකරන චෝදනාවට වැරදිකරු නොවේ. ඔහු ගන්නා උපද්‍රව පිරි සමපේක්ෂණය (speculation) තුලින් වියෝජකය අනතුරට භාජනය කිරීම ගැන ඔහු උත්තර දීමට අවශ්‍ය නොවේ. ඔහුගේ වියෝජකයේ දේපල ලෙසින් සැලකීමට හෝ ළඟ තබා ගැනීමට ඔහු බැඳී නැත. නමුත්, ඔහු ආපසු ඉල්ලා සිටින විටෙක දී, වියෝජකයට ආපසු ගෙවන්නට කියා මුදල් බාරගත් ගිවිසුමකට එළඹි නිසා, ඔහුගේ අතට ලැබුණු ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක් ගෙවන්නට වගකිව යුතුයි.

ඉතින් තවත් විදියකින් කිවහොත්, ඔබ බැංකුවට දමන මුදල් තව දුරටත් ඔබේ මුදල් නොවෙයි. බැංකුකරුවාට ඒ මුදල් වලින් ඔහුට කැමති දෙයක් කරන්නට පුළුවනි. බැංකුවට එය රැගෙන කැසිනෝවකට ගිහින් රූලෙට් සෙල්ලම් කරන්න පුළුවනි. නීතියෙන් එය ප්‍රෝඩාවක් නොවේ. ඔබ ආපසු ඉල්ලද්දී ඔබේ මුදල් ඔවුන් අතින් නැතිකරගෙන නම් වෙන අයකුගේ මුදල් ඔබට දීමට හැකියාව ලැබෙන පරිදි මෙහි දී බැංකු නිරත විය යුත්තේ පොන්සි කූටෝපායකයි.

2008 බැංකු අර්බූදයෙන් පසුව කිසිවෙක් සිරගත නොවීමට ප්‍රධාන හේතුව ඔවුන් ප්‍රෝඩාව මෙසේ නීත්‍යානුකූල කරගෙන තිබීම නිසයි.

19 වැනි සියවසේ මුල්‍ය අර්බූද වල මූලික හේතුව මේ භාගික සංචිත බැංකු ක්‍රමයේ ඇති වංචාකාරී ස්වභාවයයි. බුබ්බුල හා අවපාත කරා දිවෙන ආකාරයට, ප්‍රමාණයට නොසරිලන සේ වැඩියෙන් ණය සපයන හැකියාවේ වර්ධනයක් නිර්මාණය කරගන්නට බැංකු වලට එයින් අවස්ථාව ලැබිණ. සෙමෙන් සංචරණය වෙන තැන්පතු වේගයටම ණය වර්ධනය වෙන්නේ ද, එවිට බුබ්බුල හා අවපාත යනු අතීතයේ සිද්ධ වූ දේවල් බවට පත්වෙනු ඇත.

රන් මිනුම විවේචනය කරන අය අතර (නම් වශයෙන් කිව්වොත් පෝල් කෘග්මන් සහ පිරිස) සාමාන්‍යයෙන් බුබ්බුල සහ අවපාත පෙන්වන්නේ හරියට ඒ නිසා මුල්‍ය ක්‍රමය බිඳ වැටුණා කියන්නටයි. ඔවුන් හේතුව (causation) හැටියට සමාගම (association) පටලවා ගෙන සිටිති. රන් මිනුම මේ මුල්‍ය භීති ඇති කළේ නැත. සත්‍ය හේතුව වූයේ රන් මිනුමට භාගික සංචිත බැංකු ක්‍රමය අනුබද්ධ කරගෙන තිබීමයි. මුදල් ප්‍රමාණය වැඩිකිරීමේ හැකියාව සීමා කරමින්, මේ අර්බූදයන් දැඩි විනාශකාරී ලෙසට පැතිර යාම සීමා කරන්නට රන් මිනුම උපකාරී විය.

ඇමෙරිකන් බැංකු ඉතිහාසයේ මුල් කාලීන කැලෑ බළල් බැංකුකරුවන්* කිසිවෙකුටත් පහසුවෙන් යන්නට නොහැකි ස්ථානයන්හි තම බැංකු පිහිටුවා ගත්තේ මේ කාරණය නිසයි. තම හිමිකම් පත් ඇත්තෙන්ම රත්තරන් වලට හරවා ගැනීමට එන පිරිස අඩු කරගන්නට එසේ බැංකු කටයුතු කළේ ඔවුන් බැංකු වෝල්ට් වල තියෙනවාට වඩා වැඩියෙන් ප්‍රමාණයක් රත්තරන් ඇතැයි කියමින් හිමිකම් පත් නිකුත් කළ නිසයි. යම් තැන්පතුකරුවෙක් අහම්බෙන් පැමිණ තම හිමිකම් ආපහු රත්තරන් වලට හරවන්න යැයි ඉල්ලුවොත් එවිට බැංකුකරුවන් ඔවුන්ව සැලකුවේ හොරුන් හැටියට. ඔවුන් ඔවුන්ගේම රත්තරන් ඉල්ලද්දී බැංකුවේ දේපල හොරකම් කරන අය හැටියට ඔවුන්ව කැලෑ බළල් බැංකුකරුවන් සැලකූහ.

1903 සහ 1907 මුල්‍ය භීති වලින් අනතුරුව භාගික සංචිත ක්‍රමය නිර්මාණය කරන ලද්දේ භාගික සංචිත ක්‍රමයේ ඍනාත්මක බලපෑම සමබර කරන්නට කියායි. එය පිහිටුවා ශතකයක් ගෙවී යද්දී, මහ බැංකුවට දිය හැක්කේ අසාර්ථක ලකුණු පමණකි. මුදල් යනු තව දුරටත් ගබඩා කිරීමේ අගයක් නැති වූවකි. ලෝකය එහි දරුණුතම මුල්‍ය අර්බූද දෙකකට මුහුණ පා ඇත. සමබර කරනවා වෙනුවට මහ බැංකුවට ආහාර සපයා මෘගයාගේ ප්‍රමාණය වර්ධනය කර ඇත. එය අපේක්ෂිත වූවයි.

ධනවාදය පිළිබඳ ඉහත සඳහන් මත විමසුමේ දී, එහි බාගයකට ආසන්න පිරිසක් (48%) කියා සිටියේ ධනවාදයේ ගැටළු විසඳාගන්නට තවත් රෙගුලාසි සහ ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතු බවයි. ජැනට් යෙලන් ද මේ දැක්මෙන් යුතුයි. ගෝලීය මුල්‍ය ක්‍රමයේ තවත් විනාශකාරී බුබ්බුල සහ අවපාත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ප්‍රධාන උපකරණය නම් පොලී අනුපාත නොව රෙගුලාසි විය යුතු යැයි ඔවුන් සිතති. මෙය ඉතාමත් බොළඳ හැදියාවකි. ණය නිකුත් කරන නිලධාරීන්ට (loan officers) වඩා නීති වලට අනුකූලතාවය දක්වන්නේ දැයි සොයාබලන නිලධාරීන් (compliance) දැනටමත් අපිට වැඩියෙන් සිටිති. මෑත කාලීන බැංකු නීති අනුව, ඩොඩ්-ෆ්‍රෑන්ක්, විකර්ස්, ලීකනෙන් යනාදී වාර්තා වලින් තත්වය තවත් තීව්‍ර කරන බව නිසැකය. සැමදාම රෙගුලාසිකරුවන්ට වඩා පියවරක් ඉදිරියෙන් ඉන්නට බැංකු වලට නව තාක්ෂණය සහ නව මුල්‍ය උපකරණ භාවිතා කරන්නට හැකියාව ඇත. අරටුව කුණු වී ගිය ක්‍රමයකට වෙළුම් පටි බඳිමින් අපි සිටින්නෙමු. වර්තමාන බැංකු ක්‍රමය යනු ධනවාදය නොවේ. එය ප්‍රෝඩාවකි. එද්දලවාදයකි. තම බලාපොරොත්තු සුන්වී යන බව දකින මැදිහත්වීම් ප්‍රිය කරන ආණ්ඩු ගිලෙන්නට යා නොදී තබාගන්නට ගන්නා උත්සාහයකි. එය ගලවා දැමිය යුතුයි. සියයට සියයක් සංචිත පවතින, ණය දෙන බැංකු (සියයට සියයක් වත්කම් වලින් මුල්‍ය සපයා ඇති ආයෝජන ආයතන = equity-financed investment trusts) යනු වෙනත් ව්‍යාපාර ලෙසින්ම පැවතෙන්නකි. අල පෙති හදන අයට හදනවාට වඩා වැඩියෙන් බැංකුකරුවන්ට කියා රෙගුලාසි හදන්නට එවිට අවශ්‍ය නොවේ.

*කැලෑ බළල් බැංකු ක්‍රමය යැයි හැඳින්වෙන්නේ 1816 සිට 1863 දක්වා බැංකු විසින් ෆෙඩරල් නොවූ ප්‍රාන්ත රෙගුලාසි පමණක් පිළිපැදි යුගයයි. අවදානම් ව්‍යාපාරික වෑයම් වලට තතු නොවිමසා හදිසි සමපේක්ෂයෙන් මුදල් නිකුත් කරන බැංකුකරුවා කැලෑ බළල් බැංකුකරුවා සේ හැඳින්විණ.

7 Responses

Subscribe to comments with RSS.

  1. naveensandeepa said, on ඔක්තෝබර් 1, 2021 at 12:21 පෙ.ව.

    ඒත් වෙනත් විකල්පයක් ගැන අදහසක් තිබේද?
    මම ඔබ ඇතුලු සියලු දෙනාම ඉන්නේ එම සිස්ටම් එක තුලය.
    හැමෝම පාවිච්චි කරන්නේ මවපු සල්ලිය. හැමෝම මුදල් ඉල්ලු විට සිස්ටම් එක අවුල් යා හැක. නමුත් නැවත යථා තත්වයට පත් වෙනවා නොවේද?

    • arunishapiro said, on ඔක්තෝබර් 2, 2021 at 9:22 පෙ.ව.

      විකල්ප ගැන කලින් ලියලා තියනව. සල්ලි මවන එක නවත්වන්න ඕන, මහ බැංකුව සහ 5 දෙනාගෙ මණ්ඩලයක් රටක සියළු දෙනාගේ වත්කම් හසුරුවන ක්‍රමය වෙනස් වෙන්නත් ඕන.

      • නවීන් සංදේශ කුමාර said, on ඔක්තෝබර් 2, 2021 at 8:19 ප.ව.

        කලින් ඒවා තවම කියවා නැත. ඒවා කියවීමට ඉදිරියේදි හැකි වනු ඇත.
        ඔබතුමියගේ අදහස පූර්ණ නිදහස් වෙලඳපොල ක්‍රමයේ ආකාරයෙන් ක්‍රියාත්මක වීමක් පිලිබඳව ද?

        • arunishapiro said, on ඔක්තෝබර් 3, 2021 at 11:44 පෙ.ව.

          නවීන් සංදේශ කුමාර, ඔව්. දුප්පතාගේ හිතසුව සඳහා දැනටමත් සාර්ථක විසඳුම් ලැබෙන්නේ ඊට ඉඩක් ලැබෙන තැන්වල දී පමණයි.

          • නවීන් සංදේශ කුමාර said, on ඔක්තෝබර් 12, 2021 at 8:34 ප.ව.

            පූර්ණ තරඟයක් කොහොමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නෙ නෑ නෙ.

            ඉතින් අපි ඒක ගැන මතක් කර කර කදුලු සලන එක ප්‍රායෝගිකද?

            ආර්ථික විද්‍යාවේ ගොඩක් සංකල්ප තියෙන්නෙ උපකල්පන මත.

            එතකොට ප්‍රායෝගික ලෝකෙට ගියාම ඒවයින් සෑහෙන තොගේකට කෙල වෙනව.

            උදාහරණයක් විදියට අර ඇඩම් ස්මිත් ජාතීන්ගේ ධනය පොතත් එක්කම තව පොතල් ලිව්වලු මිනිස්සුන්ට තියෙන්න ඕනි ethics code එක ගැන.

            එතකොට ඒකත් තිබුනොත් තමයි සර්ව සාර්ථක වෙන්නෙ. නමුත් හැමෝම දන්නෙවනෙ එහෙම නෑ කියල……….

            • arunishapiro said, on ඔක්තෝබර් 14, 2021 at 8:47 ප.ව.

              නවීන් සංදේශ කුමාර,

              ඇඩම් ස්මිත් ලියපු ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය කෘතිය මිනිස්සුන්ට තියෙන්න ඕනි ethics code එකක් ගැන නොවෙයි. මිනිසා කියන සත්වයා තුළ ස්වභාවයෙන්ම පිහිටා ඇති මනෝභාවයක් ගැනයි. 2017 දී මම සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමක් පරිවර්තනය කළා, දකුණු පැත්තේ (මොබයිල් එකෙන් බලනවා නම් පහළට යන්න) PDF හැටියට දාලා තියනවා. කියවලාම බලන්න.

  2. Sarath Perera said, on ඔක්තෝබර් 3, 2021 at 10:04 ප.ව.

    Mama arthika widyawe praweenayek nowunath obe lipi ithama asawen kiyawanawa.E wagema kihipa witak kiyawa therum ganna uthsaha karanawa.Sthuthiyi.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: