අරුණි ශපීරෝ‍ වෙතින්

දුප්පතුන් ජයගැනීම බුර්ජුවාසියේ ජයග්‍රහණයෙන් සිද්ධවෙයි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 10, 2021

මහාචාර්ය ඩීඩ්‍ර නැන්සන් මැක්ක්ලොස්කි ලියූ පොත් සහ ලිපි අල්පයක් කියවා සහ ඉන්ටනෙට්වලින් ඇයගේ දේශන කිහිපයක් අසා තිබූ මට ඇයගේ සජීවි දේශනයක් අහන්නට මෑතක දී අවස්ථාවක් පෑදුණි. ඒ සවුත් ඩකෝටා ප්‍රාන්තයේ රැපිඩ් සිටී නගරයේ පසුගිය ජූලි මාසයේ පැවති නිදහස් උත්සවයේ (Freedom Festival) දී ය. අදහස් සහ තොරතුරු මහත් රාශියක් ඇය රසවත් ලෙසින් ඉදිරිපත් කළේ ප්‍රේක්ෂක අවධානය මනාව පවත්වා ගනිමිනි.

බුර්ඡුවා උදාරත්වය නමැති පොතේ මහාචාර්ය ඩීඩ්‍ර මැක්ක්ලොස්කි විසින් විදුලි බල්බය යනු ආලෝකය සඳහා ඉටිපන්දමට වඩා ගොඩක් වැඩියෙන් සුදුසු පරිභෝජන භාණ්ඩයක් බවට පත්වූයේ කෙසේදැයි යන්න විස්තර කරයි. රජයේ ප්‍රතිපත්තියක් නිසා නොව කාර්යක්ෂම ලෙසින් ආලෝකය ලබාගැනීම සඳහා වෙහෙසෙන ලද මිනිස්සු නිසා ලෝකයට ඒ පරිභෝජන භාණ්ඩය ලැබිණ.

ලංකාවේ ගම් පළාත්වල රාත්‍රී කාලයේ දී පොතක් පතක් කියැවීමට නම් බොහෝ දෙනෙකුට භූමිතෙල් දැමූ කුප්පි ලාම්පු එළියෙ පිහිට පැතීමට සිදුවීම 1980 ගණන් දක්වා පැවතෙන ලද්දකි. කොළඹ ජීවත් වූ අපිට ගමකට ගිය විට එහි දී රෑ බෝ වෙද්දී පළාතම අඳුරේ ගිලී යන බවක් දැනුණි. හිරු බැස ගිය පසු සවස 8 පමණ වෙද්දී නිදි යහන් වෙත යෑම එවක ගමේ අයගේ සිරිත විය. කොළඹ දී මෙන් රෑ නමයට කෑමෙන් පසුව තවත් පැයක් හමාරක් තනිවම පොතක් කියවන්නට විදුලි ආලෝකයක් ලබාගැනීම යනු ගමක ජීවත්වූ අයෙකුට අතිශය සුඛෝපභෝගී පරිභෝජනයක් විය. 1990 ගණන්වල දී ඇමෙරිකාවේ සිට කොළඹට යද්දී මුළු අගනගරයම අඳුරේ යැයි සිතිණ.

විදුලි බලය ගමට ගියේ රාජ්‍ය මැදිහත්වීම් හෝ විදේශ ආධාර නිසා නොවේ. 60 ගණන්වල සාමාන්‍ය ජනතාවට වැසුණු දොරවල් විවෘත වීමෙන් 1980 ගණන්වල දී පිටරට අධ්‍යාපනය සහ රැකියා සඳහා රටෙන් පිටව යෑමට යළි නිදහස ලැබුණි. ඒ නිදහස නිසා ඔවුන් අලුත් ආදායම් මාර්ග සොයාගෙන වත්කම් වැඩිකරගන්නටත් එතෙක් නොලැබු පරිභෝජනයට හිමිකම් කියන්නටත් සමත් වූහ. එසේ පිටරට රැකියා සඳහා යෑමට හැකියාව ලැබීමත් සමඟ ඒ රැකියා සොයාගිය අයගේ දරුවන් එතෙක් තම දෙමව්පියන්ට ඉඩක් නොලැබුණ අධ්‍යාපනය ද ඒ නිසාම ඉහළ ආර්ථික තත්ත්වයන් ලබාගන්නට සමත් වූහ. අද ඒ දරුවන්ගේ දරුවන් අධ්‍යාපන සහ ආර්ථික ජයග්‍රහණ ලබා සිටිති. දරුවන් 669 ක් බේරාගත් වීරයාගේ වෑයම නිසා ඒ දරුවන් පසුකාලයක දී කොතරම් අධ්‍යාපනික සහ ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගත්තාදැයි මතකද? අපිට එවැනි උදාහරණ පෙන්වන්නට නැතත්, (දුප්පත්කම නිසාම ලංකාවේ මිය යන සංඛ්‍යාව ගණනය අසීරු නිසා) රටේ වත්කම් සහ අධ්‍යාපන මට්ටම් යම් කාල වකවාණුවල දී ඉහළ ගිය හැටි දකින්නට හැකියි. නමුත් ලංකාවේ ආණ්ඩු පිළිවෙත වූයේ විදේශ රැකියාවල නියැළෙන ලද්දන් ගෙනෙන වත්කම්වලින් කොටසක් රජයට ලබාගන්නටත්, ඒ විදේශ මුදල් එලෙසින්ම තමන් සතුව තබා නොගැනීමට හැකිවන මුල්‍ය ප්‍රතිපත්ති ගෙන ඒමත් ය.

ඉතින් ලංකාවේ අය තම ආදායමෙන් ආහාර, ඇඳුම් සහ ඉඳුම් හිටුම් සඳහා ගෙවන ප්‍රතිශතය අඩුවී ගියේ නැත. රට යන්න අවසර දුන්නත්, ඒ ගියවුන් උපයාගත් වත්කම් ආපහු රටට ගෙනාවත්, පරිභෝජනය සඳහා පනවා ඇති රාජ්‍ය මැදිහත්වීම් කිසිසේත්ම නිදහස් නොවීය.

රොබට් ෆොජෙල් (Fogel) උපුටා දක්වන මහාචාර්ය මැක්ක්ලොස්කි තම බුර්ඡුවා උදාරත්වය පොතේ රාජ්‍ය මැදිහත්වීම් අඩු දේශයක පරිභෝජන වැය අඩුවී ගිය ආකාරය මෙසේ පෙන්වයි. 1875 දී ඇමෙරිකාවේ සාමාන්‍ය පවුලක් තම ආදායමෙන් සියයට 74 ක් ආහාර, ඇඳුම් සහ ඉඳුම් හිටුම් සඳහා ගෙවා ඇත. 1995 දී එය සියයට 13 ක් පමණකි. එන්න එන්නම ඇමෙරිකාවේ විවිධ ආණ්ඩු තම මැදිහත්වීම් වැඩි කළා වුවත්, ඉඳහිටෙක පත්වෙන ආණ්ඩුවක් මැදිහත්වීම් අඩුකරන නිසාත්, එසේම ඇමෙරිකාවේ ආරම්භය මැදිහත්වීම් ඉතාමත් අවම වූ රාජ්‍යයක් වීමේ ඵල තවමත් භුක්ති විඳිය හැකියාව රටේ ජනතාවට ඇත. නමුත් ලංකාව වැනි රටවල රාජ්‍ය මැදිහත්වීම් ආණ්ඩුවක් වෙනස්වීම නිසා තව තවත් ඉහළ යනවා මිසෙක කවදාවත් පහළ යන බවක් දකින්නට නැත.

මම පූර්ණ වෙළඳපොල නිදහස වෙනුවෙන් පෙනී සිටීම ගැන ප්‍රශ්න කරන අයට කියන්නට ඇත්තේ වෙනසේ ආරම්භය එසේ විය යුතුයි කියායි. නැත්නම් ලංකාව වැනි රටක වෙනසක් කියා දෙයක් සිද්ධ නොවේ. අනෙක් හැම අවස්ථාවක දී ම, ඔබේ වෙහෙස මහන්සියට අනෙකෙකුට අයිතියක් කියන්නට හැකියි. අපි පෙනී සිටිය යුතු වනුයේ වෙහෙසේ ඵලදාව තමන් රිසි සේ භාවිතයට ඉඩදෙන වාතාවරණයටයි. කෙටි හෝ කාලයක් එවැනි නිදහසක් ලැබෙනවා නම් පමණක් ලංකාවේ වැසියන්ට දුප්පත්කමින් ගොඩ එන්නට හැකියාව පෑදේ.

බුර්ඡුවා ජනතාවට නිදහස ලැබෙන රටවල භාණ්ඩවල සැබෑ වැය සියවස් ගණනාවක දී පහත බැසීම ආලෝකය යන උදාහරණයෙන් පෙන්විය හැකි යැයි ඇය කියයි. ක්‍රි. පූ. 9000 පමණ දී පැය දහසක ආලෝකය (thousand lumen hours of lighting) සඳහා පැය හැටක ශ්‍රමයක් (දර කෝටු අහුලාගන්නට) යොදවන්නට සිද්ධ විය. 1800 දී ඉටිපන්දම් වලින් එපමණ ආලෝකයක් ලබාගැනීම සඳහා පැය පහක් යොදවන්නට සිද්ධ විය. 1900 දී භූමිතෙල් සහ විදුලි බලය නිසා (ඒවා එතරම් දියුණු තත්ත්වයක නොපැවතියද) ශ්‍රමය වැය වූයේ මිනිත්තු 22 කි. 1992 වෙද්දී එම ප්‍රමාණය ලබාගැනීමට පැයකින් 0.00012 ක ශ්‍රමයක් වැය වන බව ගණන් බලා ඇත.

ඉටිපන්දම්වලින් ආලෝකය සපයන ලද යුගයේ යුරෝපයේ සාමාන්‍ය වැඩිහිටියෙක් සීත කාලයේ දී දිනකට පැය දහයක කාලයක් නින්දෙන් ගෙවා ඇත.

නවෝත්පාදනය (එනම් අලුත් සහ දියුණු කරන ලද්ද) කාර්මික විප්ලවයේ දී දකින්නට ලැබෙන්නයි. කාර්මික විප්ලවය ඇතිවෙන්නට හේතු වූ නවෝත්පාදන බිහිවූයේ රජයක් පෙරමුණ ගත් නිසා නොවේ. පුංචි මෙවලම් ඇති අය මෙන්ම ලොකු උපකරණ ඇති අය ද නවෝත්පාදන ගෙන ඒම සඳහා විවිධ වෑයම් යෙදවූහ. ඔවුන් නවෝත්පාදන හැදුවේ කර්මාන්තශාලා සඳහා පමණක් නොවේ. මහා පරිමාණයෙන් අලෙවිය සඳහාම නොවේ. පවතින පරිභෝජන භාණ්ඩයක් සඳහා වැඩියෙන් කාර්යක්ෂම වූවක් වෙළඳපොළට ගෙන අරමුණ ඇතිව කටයුතු කළේ නම් එයින් ආදායම් වැඩිකරගන්නට බුර්ඡුවා ජනතාවට හැකියාව ලැබුණි. ඒ වෘත්තීන්වල යෙදීම සමාජයේ පහත් තත්ත්වයක් යැයි සැලකීම නැවතී යාම ඒ වෑයම් සියල්ලටම හේතු වූහ.

මෙහි දී ඩවුන්ටන් ඇබී නරඹා ඇති අයට සිහිකරන්නට සිද්ධියක් මතක් විය. බදු ගෙවන්නට පවා නොහැකි තරමට අතමිට මුදල් හිඟව යද්දී රොබට් ක්‍රෝලි සිය නිවහන නරඹන්නට එන අයට එය විවෘත කරමින් ටිකට් නිකුත් කර මුදල් එකතු කරගන්නට පටන් ගනියි. නිවහන නරඹන්නට පැමිණි බුර්ඡුවා කොළු පැංචෙක් රොබට්ගේ නිදනකාමරයට ඇතුල්ව ඔවුන් මෙහි ජීවත්වන්නේ ඇයි? මීට වඩා සුවපහසු නිවසක් මිල දී නොගන්නේ මන්දැයි කියා විමසයි. ඒ 1925 වසර පිළිබිඹුවකි. සමහර රදළයන්ටත් වඩා සුවපහසු ජීවිත ගෙවන්නට බුර්ඡුවා ජනතාව පටන් ගත් කාලයයි.

මෙහි දී නවෝත්පාදනයක් ඉදිරිපත් කරන්නෙකුට වෙළඳපොළ තරඟය සඳහා ඉඩක් ලැබීමේ ආරම්භය සිද්ධ වූයේ එතෙක් පහළ සමාජ තත්ත්වයකින් සලකන ලද අය වෙතින් ඔවුන්ගේ සමාජ තත්ත්වයේ අවනම්බුව අයින් වී ගිය නිසා යැයි ඩීඩ්‍ර මැක්ක්ලොක්ස්කි පෙන්වා දෙයි. එය රජයක් හෝ ප්‍රභූ පංතියක් විසින් නව ප්‍රතිපත්ති ගෙනැවිත් කරන ලද්දක් නොවේ. තම පරිභෝජන භාණ්ඩ කාර්යක්ෂම වීමත් ඒ නිසා තම ජීවිත යහපත් වීමේ ප්‍රතිඵල දකින ජනතාවගේ අදහස් වෙනස්වීමක් සිද්ධ වීමයි. මොකක්ද මේ වෙනස් වූ අදහස? බිස්නස්කාරයා නැතිනම් වෙළෙන්ඳා පහත් සමාජ මට්ටමක සිටින්නෙක් යැයි කියන අදහස වෙනස්වීමයි.

ලංකාවේ වාසය කරන අයත් ලොව අනෙකුත් රටවල අය සේ ම කාර්යක්ෂම පරිභෝජන භාණ්ඩ සඳහා දැඩි කැමැත්තක් දක්වති. ඒවායෙන් තම ජීවිත යහපත් වීමේ ප්‍රතිඵල භුක්ති විඳිති. එහෙත් ලංකාවේ අයට නිදහස් වෙළඳපොළ රටාවකින් දායාද වූ දේශීය පරිභෝජන භාණ්ඩ භුක්ති විඳින්නට ලැබී ඇත්නම් ඒ ඉතාමත් ඉතා අල්පයක් නිසා ඔවුනට බුර්ඡුවාසියට දිය යුතු නිදහස ගැන එතරම් දැනුමක් නැතිබව මගේ මතයයි. එවැනි අත්දැකීම් ලැබෙන වාතාවරණයක් තිබුණා නම් තමන්ට අවශ්‍ය හැම දෙයක්ම සංවර්ධනයට හා ප්‍රවර්ධනයට හැම අවස්ථාවක දී ම රාජ්‍ය මැදිහත්වීම් ඉල්ලීම ලංකාවේ ජනතාවත් අත්හරිනු ඇත.

බුර්ඡුවාසිය ජයග්‍රහණය කරද්දී දුප්පත්කම අඩුවී ගිහින් ඇත්තේ මෙසේය: වසර 200 කට පෙර ලෝකයේ 85% ක් ජනතාව ජීවත්වූයේ දැඩි දරීද්‍රතාවයෙනි. අද ලෝකයේ දැඩි දරීද්‍රතාවයෙන් සිටිනුයේ 9% ක පිරිසකි. එනම් බුර්ජුවාසියට ජයගන්නට නොහැකි ලෙස රාජ්‍ය මැදිහත්වීම් වැඩි රටවල ජනතාවයි.

මෙයට එකතු කර ඇති සබැඳියන් මා කලින් ලියන ලද සටහන් වෙත ඔබව ගෙන යනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: