අරුණි ශපීරෝ‍ වෙතින්

වේතනයක් ලබන රැකියාවෙන් අනුන්ට යහපතක් සිදුවේ

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 14, 2021

වෙළඳපොළ කාර්යක්ෂම ලෙසින් වැඩ කරන්නේ ලාබය නිසයි. ඕනෑම මිනිසෙක් ශ්‍රමයක් වෙහෙසන්නේ ලාබයක් අරමුණු කරගෙනයි. වේතන මාර්ගයෙන් ලබන මුදල් තමන්ගේ ලාබය සරල ලෙසින් පෙන්වන්නකි.

මිනිසා යනු විවිධ විෂම වූ ආශාවලින් යුතු වූවෙකි. ඍජු හුවමාරුවෙන් පමණක් ඒ විවිධ මිනිසුන්ගේ විවිධ ආශා සපුරාලීම අසීරු වූවකි. සිප්පි කටු වැනි ද්‍රව්‍යයක් මුදල් ලෙසින් භාවිතය පටන් ගැනෙනුයේ වැඩි පිරිසක් අතර හුවමාරුව පහසු කිරීම සඳහා ය. විවිධ විෂම ආශාවන් ඉටුකරන්නට නම් විවිධ විෂම පුද්ගලයන් විවිධ විෂම රැකියා කිරීම අවශ්‍ය වේ. තවත් විදියකින් කිව්වොත් විවිධාකාර දේවල් විවිධාකාර වූ මිනිසුන් විසින් නිෂ්පාදනය කළ යුතුයි. වෙළඳපොළක් හසුරුවන කර්තව්‍යයට රජයක් නුසුදුසු වනුයේ මේ නිසා ය.

විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍යයක් ලෙසින් ඉදිරිපත් කළ ස්ටාර් ට්‍රෙක් හි එන එන්ටර්ප්‍රයිසස් යානාවේ පළමු කපිතාන්වරයා කැප්ටන් ජේම්ස් ටයිබීරියස් කර්ක් හැටියට මුලින්ම රඟපෑවේ විලියම් ෂැට්නර් නැමති නළුවාය. 90 වියැති වයසේ පසුවන නළුවා අද සැබැවින්ම අජටාකාශයට ගිහින් එන්නට සමත් වූයේය.

නිවැරදි දේවල් (The Right Stuff, 1979) නමින් ටොම් වුල්ෆ් ලියූ පොත මර්කරි ව්‍යාපෘතියේ ගුවන් නියමුවන්ගේ අත්දැකීම් ඇසුරින් තොරතුරුවලින් පිරී ගිය අපූරු පොතකි. ඒ නමින්ම 1983 දී සිනමා වෑයමක් ද එළිදකින ලද්දේය. ඇමෙරිකාවේ ගගනගාමීන් බිහිවෙන්නට මාර්ගය පාදන්නට ගුවන් නියමුවන් ලෙසින් කළ ඔවුන්ගේ විස්මය ජනක උත්සාහයන් හා පුහුණුව පමණක් නොව කායික සවිමත් බවද හේතු වූහ. ඇස් පෙනීමේ ඇබිත්තන් අඩුපාඩුවක් තිබීම වැනි යම් කායික අඩුපාඩුවක් හේතුවෙන් අයෙකුට එදා අජටාකාශයට යෑම අහිමි විය. අජටාකාශ ගමන් ආරම්භයෙන් පසුව ඇඟේ බර හෝ ඇස් පෙනීම හෝ වයස යන අඩුපාඩු නොසලකා සංචාරකයන් හැටියට අජටාකාශයට ගිහින් එන්නට දොරවල් විවෘත වූයේ ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතයි.

මා හා කැළණිය විශ්වවිද්‍යාලයේ සිටි මිතුරෙකුගේ පුතෙක් දැන් ඉලාන් මස්ක්ගේ ස්පේස් එක්ස් හි රැකියාව අරඹා ඇත. ලාබයක් උපයන හැකියාව බහුතර ජනතාවක් අතර වැඩිවෙද්දී ඒ සමාජයේ වැසියන්ගේ විවිධාකාර ආශාවන් සපුරාගැනීමේ හැකියාවත් වැඩිවෙයි. ලාබයක් උපයන හැකියාව රට පාලනයේ යෙදෙන අතලොස්සක් අතර පමණක් රැඳී පැවතිය දී ඒ සමාජයේ වැසියන්ට එදිනෙදා අවශ්‍යතා සපුරාගන්නට පවා පෝලිම්වල කාලය නාස්ති කරන්නට සිද්ධ වේ.

මගේ වෙහෙසෙන් මම උපයන මුදලක් මගේ කැමත්ත පිණිස වියදම් කරන ආකාරයට බාධා පමුණවන්නට ඉදිරිපත්වන බහුතරය ඔවුන්ගේ වියහියදම් ගැන එයාකාරයෙන්ම සලකන්නේ නැත. තමන්ගේ වියහියදම් පමණක් ආචාර ධර්මීය යැයි ඔවුන් සිතති.

අයෙකුට වාහන කිහිපයක් තිබෙන්නට පුළුවන. තවත් අයෙකුට ඇඳුම් මහා රාශියක් තිබෙන්නට පුළුවන. තවත් අයෙක් කඳු නැඟීමට ප්‍රියකරනවා විය හැකියි. වේදිකා නාට්‍ය හෝ සිනමා නිර්මාණ හදන්නට තවත් කෙනෙක් ප්‍රිය කරනවා විය හැකියි. තමන් ප්‍රිය කරන දේවල් සඳහා ඉඩකඩක් අවහිර වෙද්දී මිනිසා යන සත්වයා කම්මැලියෙක් වෙයි. ඔහු වෙහෙසෙන්නේ මුදල් ගොඩගහන්නට නොවේ. ඔහු වෙහෙසෙන්නේ මුදල්වලින් ගත හැකි දේවල් අත්විඳින්නටයි.

ආහාර, වස්ත්‍ර සහ ඉඳුම් හිටුම් සඳහා තමන් උපයන ආදායම මුළුමනින්ම වැය නොවෙද්දී, එසේම අවුරුදු අනූවකට වඩා කාලයක් ජීවත්වන්නට හැකි ලෙසින් ආයුෂ කාලය දීර්ඝ වෙද්දී, මේ තමන් ප්‍රියකරන අනෙකුත් දේවල් තමන්ගේ මුදල් වලින් මිල දී ගෙන පරිභෝජනයෙන් සතුටුවීම නිසා සමාජයක උන්නතිය සිද්ධ වෙනවා මිසෙක පරිහානියක් සිද්ධ නොවේ.

නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට මෙය දැකීමට හැකියාවක් නැතැයි කියා මහාචාර්ය ඩීඩ්‍ර මැක්ක්ලොස්කි ඇයගේ බුර්ඡුවා උදාරත්වය පොතෙන් පෙන්වයි. තම රැකියාව අනුන්ට යහපතක් කරන බව සාමාන්‍ය පුද්ගලයා සැබැවින්ම විශ්වාස නොකරන බව ඇය කියයි. එය එවැන්නෙකුට රස්සාවක් පමණි. මම රැකියාවක් කරන විදියට රඟනවා, ඒ සඳහා මට වේතන ගෙවනවා කියා එවැන්නෙක් සිතයි. ස්වේච්ඡා සේවය නැත්නම් දුප්පතුන් වෙනුවෙන් වෙහෙසීම යනාදිය පමණක් “සමාජයට ආපහු යමක් දීම” හැටියට එවැනි සාමාන්‍ය පුද්ගලයා සිතන බව ඇයගේ මතයයි.

අර්ථ ශාස්ත්‍රඥයෙක් එය වෙනස් විදියකට දකියි. වෙළඳපොළ, නවොත්පාදන, සංචාරකයන් අජටාකාශයට ගෙන යා හැකි පෞද්ගලික අජටාකාශ යානා බිහිවීම පරාර්ථකාමී වූ ක්‍රියා හැටියට දකියි. අපි සමාජයට යහපත් කරන්නේ අපි හොඳින් යමක් කිරීමෙනි. අප නියැළෙන රැකියාවල දී, නැත්නම් මහා දැවැන්ත අජටාකාශ ගමන් ව්‍යාපාරවල දී යන දෙකේ දී ම, සිද්ධ වෙන්නේ පාරිභෝගිකයාට අලුත් විදියකට යමක් කරන්නට සහාය වීමයි.

“සෑම ඒකීය පුද්ගලයෙක්ම, ඒ නිසා තමනට හැකි පමණින් තමන්ගේ ප්‍රාග්ධනය යොදවන්නට වෙහෙසක් ගනියි…වැඩියෙන්ම ඉහළ අගයක් එයින් ලබාගන්නට; සෑම පුද්ගලයෙක්ම ඒ නිසා සමාජයේ වාර්ෂික ආදායමට එකතු කරන්නට අනිවාර්යෙන්ම තම ශ්‍රමය යොදවන්නෙකි. ඇත්තෙන්ම ඔහු මහජන සුභසිද්ධිය ප්‍රවර්ධනය කිරීමට අදහස් කරන්නෙක් නොවේ, එසේම එය කොපමණ දුරකට ප්‍රවර්ධනය කරනවාදැයි කියා හෝ ඔහු දන්නේ නැත…ඔහුගේ අරමුණ ඔහුගේ සතුට වැඩිකරගැනීමයි. එහි දී, අනෙක් අවස්ථාවල දී මෙන්ම, ඔහුගේ නොවූ අරමුණක කොටසක් ඉටු කිරීම සඳහා ඔහුව හසුරුවන්නේ අදිසි හස්තයකිනි. එය ඔහුගේ අරමුණක කොටසක් නොවූවා කියා එයින් සමාජයට අහිතකර තත්වයක් සිදු නොවේ. ඔහුගේම වූ අරමුණු හඹා යද්දී ඔහු නිතරම සමාජයේ සුභසිද්ධිය ප්‍රවර්ධනය කරනු ලබන්නේ එය ඔහු සැබැවින්ම අරමුණු කරනවාටත් වඩා කාර්යක්ෂම ලෙසකිනි. මහජන සුභසිද්ධිය වෙනුවෙන් යැයි කියා වෙළඳාමේ යෙදුණ අය විසින් කරන ලද වැඩි හොඳක් ගැන මම කිසිදා අසා නැත්තෙමි.” ඇඩම් ස්මිත්, ජාතීන්ගේ ධනය 1776.

සබැඳි සියල්ලම මා කලින් ලියන ලද සටහන් වෙති.

3 Responses

Subscribe to comments with RSS.

  1. Sarath Perera said, on ඔක්තෝබර් 15, 2021 at 9:12 පෙ.ව.

    Gives food for thought.

  2. sandhakadapahana sindiya said, on නොවැම්බර් 9, 2021 at 4:02 ප.ව.

    මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය “1. දේශපාලන වගතුග” කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: