අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වෛරීත්ව ණය නොගෙවා සිටියොත්?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 6, 2022

ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බූදයට විසඳුම් ලෙසින් මේ දිනවල ඉදිරිපත් කරන මතිමතාන්තර බොහෝ වෙති.

ඒ එකතුවට ඉදිරිපත් කරන මේ විසඳුම එයාකාරයෙන්ම ක්‍රියාවට නැංවිය යුතු වුවත් සිද්ධ වෙනුයේ මෙයින් කොටසක් ක්‍රියාවට නංවා අර්බූදය තව දුරටත් බරපතල වන ප්‍රතිපත්තිවල දිගින් දිගටම නියැළීමයි.

විවෘත ආර්ථිකය යැයි කියා අතිශයෙන්ම සංවෘත වූ ආර්ථික ප්‍රතිපත්ති කරපින්නාගත් දේශපාලකයන් හා රටවැසියන් සිටින රටකින් වෙනසක් බලාපොරොත්තු විය නොහැකියි.

සිංගප්පූරුව පෙන්වමින් වෙනිසියුලාව අනුගමනය දිගින් දිගටම සිදුවේවි. එනම් මෙතෙක් කාලයක් සිද්ධ වූ ලෙසින්ම දූෂණ සහ වංචා සිද්ධ වෙන ක්‍රමය වෙනස් කරන්නට කිසිවෙක් ඉල්ලා සිටින්නේ නැති බව පිළිනොගැනීම ලංකාවේ දුර්භාග්‍යයයි.

රටක් දියුණු වෙන්නට නම් සැබැවින්ම ඉල්ලා සිටිය යුතු වෙනස කුමක්ද? තම වෙහෙසේ ඵලදාව භුක්ති විඳීමට රාජ්‍ය මැදිහත්වීම් නොමැති වෙළඳපල සහ එහි ආරක්ෂාව සඳහා නීතියේ රීතිය පවතින වාතාවරණයයි.

දේපල අයිතිය වෙනුවෙන් පෙනී සිටින අයෙක් හැටියට රාජ්‍ය ණය ප්‍රජහනය වෙනුවෙන් පෙනී සිටිය හැකිද?

ස්වෛරීත්ව ණය, ජාතික ණය, රටක ණය නැත්නම් රාජ්‍ය ණය යනු රජය විසින් ජනතාවගේ අනාගත ආදායම් හිලව්වට තබා ගන්නා ලද ණයයි. මේ ණය ලබාගත්තේ පාලකයන් විසින් වුවත් එයට මහජන ණය කියා කියැවේ. වාර්ෂිකව දකින අයවැය පරතරය මෙයයි. රජයට ලැබෙන ආදායමට වඩා රජයක් විසින් වැය කරන ලද මුදල මෙයයි.

ජාතික ණය ප්‍රජහනය (Repudiating the National Debt) නමින් මුරේ රොත්බාඩ් නැමති ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයා ලියා ඇති ලිපියෙන් අනුන් කළ වැරදි වලට තමන් ණය නොගෙවා සිටීම ගැන අපූරු පැහැදිලි කිරීමක් ලබාගන්නට ඔබට පුළුවනි.

ණය නොගෙවා සිටීමෙන් පසුව ඉක්මණින් කළ යුත්ත නම් රටේ පුරවැසියන්ට ඔවුන්ගේ වෙහෙසේ ඵලදාව භුක්ති විඳීමට සහ එහි ආරක්ෂාව සඳහා නීතියේ රීතිය පවතින වාතාවරණයක් සාධනයයි.

මුරේ රොත්බාඩ් විසින් පෞද්ගලික ණය සහ රාජ්‍ය ණය අතර වෙනස පැහැදිලි කරයි. මෙය ලිපියේ පදනම වෙයි.

රාජ්‍ය ණය සුරැකුම්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යනාදියෙන් යම් රටක ආණ්ඩුවක් පොරොන්දු වෙන්නේ එරට වැසියන් අනාගතයේ දී උපයන වත්කමෙන් කොටසක් බෙදා දීමටයි. මෙය එරට පුරවැසියන්ගේ කැමැත්ත විමසා බලා කරන ලද්දක් නොවේ. රජයේ වැය ඉහළ යද්දී ඒවා පියවා ගන්නට එරට වැසියන්ගේ අනාගත වත්කම් වෙනත් අයට පොරොන්දු වීම යන්න යුක්ති සහගත නොවේ.

මේ රාජ්‍ය ණය සුරැකුම්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යනාදියෙන් ලාබ උපයන අයෙක් අපරාධ ක්‍රියාවලියට ආධාර දීම සහ අනුබල දීම කරන්නෙක් යැයි කීම යුක්ති සහගත යැයි මුරේ රොත්බාඩ් පෙන්වා දී ඇත.

ඉතින් යම් රටක වැසියන් ඒ ණය ගෙවීම් ප්‍රජහනය කිරීමට තීන්දු කළොත් එයින් ආර්ථිකයට මහත් විනාශකාරී ඵලවිපාක සිදුවේවිද? ණය ගෙවීම් ප්‍රජහනය කළොත් එවැනි රටකට නැවතත් ණයක් දෙන්නේ කවුද? ඒත් මෙහි දී පැන නැඟිය යුතු නිවැරදි ප්‍රශ්නය නම් රාජ්‍ය වැය ලෙසින් තව තවත් පෞද්ගලික ප්‍රාග්ධනය නාස්ති කළ යුත්තේ මන්දැයි කියා යැයි රොත්බාඩ් පෙන්වා දෙයි. ජාතික වශයෙන් ණය ගැනීමේ අනාගත හැකියාව කප්පාදු කර දැමීම පමණක්ම ණය ගෙවීම් ප්‍රජහනය කිරීමට සුදුසු යහපත් හේතුවක් යැයි ඔහු කියයි.

අවශ්‍ය කරනුයේ ඉතිරි කිරීම් වැඩි කිරීමත්, පෞද්ගලික ව්‍යවසායකය තුළ ආයෝජන වැඩි කිරීමත්, කප්පාදු කළ රාජ්‍ය සේවාවන් සහිත කුඩා අයවැයකින් යුතු වූ අවම ආණ්ඩුවකි. ජනතාවටත් ආර්ථිකයටත් සමෘද්ධිමත් විය හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ රජය කෙසඟ වී හාමතයේ සිටිනවා නම් පමණක් යැයි රොත්බාඩ් පෙන්වා දෙයි.

එහෙත් ලංකාව එවැනි අවම රජයක් කරා ගෙනයන්නට වර්තමානයේ මහමඟට බැස සිටින කිසිදු කෙනෙකු එකඟ වේ යැයි සිතිය නොහැකියි.

ඉතින් සිද්ධ වෙනුයේ වෙනිසියුලාවේ පිළිවෙතයි. රාජ්‍ය ණය ප්‍රජහනය කිරීමත් අනතුරුව රටේ ආර්ථිකය නංවාලීම සඳහා කිසිදු ප්‍රතිපත්තිමය වෙනසක් ඇති නොවීමත් ය. 2017 දී ඇමෙරිකන් ඩොලර් වලින් නිකුත් කළ 2019 දී සහ 2024 දී කොටස් වශයෙන් ගෙවිය යුතු වූ ස්වෛරී බැඳුම්කර දෙකක් වෙනිසියුලාව විසින් ප්‍රජහනය කළහ. ඊට අමතරව කූපන් ගෙවීම් වශයෙන් කළ යුතු වූ මිලියන 200 ක් සහ තවත් නියමිත වූ බැඳුම්කර ගෙවීම් ඩොලර් මිලියන 420 ක් ඔවුන් ප්‍රජහනය කරන ලදහ. ඔව්, වෙනිසියුලාවේ රජය විසින් ඔවුන්ගේ ජනතාවට ඉතාමත් නින්දිත වූ ආකාරයෙන් සලකද්දී පවා, එහි දේශපාලකයන් ජනතාවගේ වත්කම් කොල්ලාකමින් ධනකුවේරයන් සේ දිවිගෙවද්දී පවා, මේ බැඳුම්කර වලින් ලාබ උපයන්නට සමහර ආයෝජකයන් ඉදිරිපත් වූහ. රට තුළ ඇති මුදල් හිඟය සඳහා ඔවුන් දිගින් දිගටම මුදල් “අච්චු ගසමින්” උද්ධමනයට දායක වෙති.

ඉතින් වර්තමාන රජයේ ඉහළ පුටු හොබවන අය වෙනස් නොවූවත් ලංකාව අනාගත දවසක ඉදිරිපත් කරන සුරැකුම්පත් හා බැඳුම්කර වලින් ලාබ උපයන්නට කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැතැයි කියා නොසිතන්න.

මෙසේ ණය ප්‍රජහනය කළ රටවල් අනතුරුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා ඉදිරිපත් වෙති. 2012 දී ග්‍රීසිය ද, ආර්ජන්ටීනාව දෙවරක් ද ඩොලර් වලින් ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන ලදහ.

ඒත් මෙයාකාරයෙන් ණය ප්‍රජහනය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා ඉදිරිපත්වන රටවල පාලකයන්ගේ සහ ජනතාවගේ අරමුණ දිගින් දිගටම ණය ලබාගැනීමයි. එවැනි රටවල් එකක් හෝ සිටින තත්ත්වයෙන් ඉහළට නැඟ සමෘද්ධිමත් රටවල් වී නැත.

තම පාලකයන් ගන්නා ලද වැරදි තීරණ නිසා ආර්ථික බංකොළොත් භාවයට පත් වූ රටවල් ඒ වැරදි ප්‍රතිපත්ති වෙනස් කරන ලද නිසා පමණක් සමෘද්ධිමත් වන්නට සමත් වූහ.

ස්වෛරීත්ව ණය ගෙවීම් වැඩියෙන්ම පැහැර හරින රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ලතින් ඇමෙරිකාවේ රටවල් වෙති. මෑත කාලයේ ණය ගෙවීම් 10 ක් පැහැර හරින ලද වෙනිසියුලාව සහ ඉක්වදෝරය ඒ රටවල් අතර ද ඉදිරියෙන්ම සිටින රටවල් දෙකයි. 2017 දී වෙනිසියුලාව බිලියන ඩොලර් 65 ක බැඳුම්කර ගෙවීමක් පැහැර හැරියේය. සීඝ්‍රයෙන් දියුණුවන රටක් යැයි හඳුන්වන බ්‍රසීලය ද නව වතාවක් ණය ගෙවීම් පැහැර හරින ලදහ.

1998 ණය අර්බූදයේ දී සීඝ්‍රයෙන් පහළ ගිය තෙල් මිල නිසා රුසියාව මහජන ණය ගෙවීම පැහැර හැරීම නිසා තවත් රටවල් ගණනාවක් ද ණය ගෙවීමට නොහැකි තත්ත්වයට පත් වූහ. ඒ ණය ගෙවීම් පැහැර හැරීම් බොහොමයක් වළක්වාගන්නට හැකියාව ලැබුණේ IMF විසින් මැදිහත්වීම නිසයි. මෙහි දී සෝවියට් දේශයේ ණය රුසියාවට ගෙවන්නට සිද්ධ වීම යුක්ති සහගත ද යන ප්‍රශ්නය පැන නඟියි.

රටක් හැටියට ලෝකයේ රාජ්‍ය ණය බර වැඩියෙන්ම උසුලන්නේ ඇමෙරිකන් රජයයි. ඇමෙරිකාව තම ණය පැහැර හැරියොත් සමස්ත ගෝලීය ආර්ථිකයම කඩා වැටෙනු ඇත. මේ ක්‍රමය අතිශයෙන් අසාධාරණ වූ ද අයුක්ති සහගත වූ ද ක්‍රමයකි. ඒත් වර්තමාන ඇමෙරිකාවේ වාසය කරන බහුතරය ද රජයේ මැදිහත්වීම් අවම කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නෝ නොවෙති.

රාජ්‍ය ණය ගෙවීම පැහැර හැරීම පමණින් රට දියුණු වෙන්නේ නැත. ණයවලින් ජීවත්වන ක්‍රමය වෙනස් කළ යුතුයි. සිස්ටම් චේන්ජ් කියා ඉල්ලා සිටිය යුත්තේ එයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: