අරුණි ශපීරෝ‍ වෙතින්

අර්බූදයෙන් ගොඩ එන්න නම් අර්බූදයට වැටුණ ආකාරය දැනගත යුතුයි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 12, 2022


ශ්‍රී ලංකාවේ පාලකයන් විසින් ලබාගන්නා ලද අභ්‍යන්තර ණය ගෙවීම පැහැර හරින්නට තීරණය කර ඇති බව අද නිවේදනය කරන ලදහ. ඒ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ජනතාවගේ අනාගත වත්කම් හිලව් කරමින් ගන්නා ලද ණය ගෙවීම මෙසේ පැහැර හැරීම සහ රාජ්‍ය වැය අඩු කරන පිළිවෙත් කිසිවක් ඉදිරිපත් නොකර සිටීමෙන් ඔවුන් තවත් දුර්භාග්‍යයට ඇද දමන්නේ ලංකාවේ ජනතාවයි.

ලංකාවේ ජනතාවට අත්‍යාවශ්‍ය බඩු මිල දී ගැනීමට ප්‍රමාණවත් තරමින් විදේශ මුදල් රටේ භාණ්ඩාගාරයට නොමැතිකම ගැන නොදන්නා වැඩිහිටියෙක් අද ලංකාවේ ඇත්දැයි සැකයි.

ඒත් එසේ රටේ භාණ්ඩාගාරයට මුදල් නැති වී ගියේ කෙසේදැයි දන්නා වැඩිහිටියන් අද ලංකාවේ කී දෙනෙක් සිටිනවා ද?

පාලන බලයේ සිටින රාජපක්ෂ පවුලේ අය මහජනතාවගේ මුදල් වංචාවෙන් සහ දූෂණයෙන් කොල්ලා කන ලද බව මහජන මතය වුවත් කොල්ලකෑවේ කෙසේදැයි කියා පැහැදිලි කරන්නට යැයි කිව්වොත් බොහෝ දෙනෙකු එය කෙසේ සිද්ධ වූවාදැයි කියන්නට නොදනිති.

රටේ බහුතර ජනතාව ද රටේ භාණ්ඩාගාරයේ මුදල් කොල්ලාකෑමට සහාය දුන්නා පමණක් නොව ඉදිරියේ දී ද මුදල් කොල්ලාකෑමේ ක්‍රමය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව ද ඔවුන් කිසිසෙත්ම පිළිගන්නේ නැති වූවකි.

ඇඩ්වොකාටා ආයතනය විසින් ලංකාවේ රජයට අයත් ව්‍යවසායක (state owned enterprises -SOE) ප්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය ගැන දැන් කාලයක් තිස්සේ කතාබහ කරමින් සිටිති. SOE අත්විඳින අලාභ ගැන ඔවුන් පර්යේෂණ වාර්තා සම්පාදනය කරති. 2021 වසරේ පළමු මාස 7 තුළ දී ලංකාවේ විශාලතම SOE පහ විසින් අත්විඳි අලාභය රුපියල් බිලියන 91.6 ක් යැයි ඔවුන් පෙන්වා දුන්හ. 2021 අගෝස්තු 31 වෙද්දී සිලෝන් පෙට්‍රෝලියම් සංස්ථාව රුපියල් බිලියන 61.9 ක් ද, ශ්‍රී ලංකා ගුවන් සේවය රුපියල් බිලියන 24.8 ක් ද, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය රුපියල් බිලියන 3.2 ක් ද, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 0.9 ක් ද, ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 0.8 ක් ද අලාභ ලබමින් සේවා පවත්වති.

රට මුහුණ පා ඇති අර්බූදයෙන් ගොඩ එන්නට හැකිවනුයේ මෙම විශාලතම SOE පහ පෞද්ගලීකරණය කරන්න යැයි එක හඬින් ඉල්ලා සිටින ජනතා නියෝජනය රට තුළ වැඩි වෙන්නේ නම් පමණි. එහෙත් එය සිදුවේවි යැයි හුස්ම අල්ලාගෙන බලාගෙන ඉන්න නම් එපා!

තෙල් නිධි ඇති වෙනිසියුලාව සමඟ ලෝකයට විකුණන්නට කිසිවක් නොමැති ලංකාව සංසන්දනය කරන්නේ මන්දැයි යන්න අයෙක් වෙනත් තැනක නඟන ලද ප්‍රශ්නයකි. වෙනිසියුලාවේ තෙල් නිධි ඇති බව සැබෑ ය. ඒත් වෙනිසියුලාවේ පාලකයන් ආර්ථිකයට කරන ලද රාජ්‍ය මැදිහත්වීම් නිසා තෙල් නිධි තිබුණත් ඒවායේ කැනීම් සහ පිරිපහදු කිරීම් ඇන හිටීමත් අක්‍රමවත් වීමත් සමඟ ඒ රට දුර්භාග්‍යයට පත් වූ ආකාරය ලංකාවේ අය දැන සිටිය යුත්තකි.

ලංකාව වැටී සිටින තත්ත්වයට වඩා ආර්ථික ව්‍යසනයකට මුහුණ පාන ලද වෙනිසියුලාව එවැනි තත්ත්වයකට පත්වූයේ කෙසේදැයි යන්න ඉතා සවිස්තරව සටහන්ගත වී ඇත.

1910 ගණන් සිට 1930 ගණන් දක්වා හුවාන් විසෙන්ටෙ ගෝමෙස් (Juan Vicente Gómez) නැමති ආඥාදායකයා විසින් වෙනිසියුලාව නූතනකරණය කරමින් දේශීය සහ විදේශීය වෙළඳපල ව්‍යවසායකයන්ට වෙළඳාම සඳහා ඉඩකඩක් පාදා දෙන ලද්දේ ය. එරට සොයා ගැනෙන තෙල් නිධි වත්කම් ඇතිවන්නේ කෙසේදැයි කියා නිදහසේ උරගා බලන්නට ඔවුනට හැකියාව පෑදිණ. 1950 ගණන් වෙද්දී ලතින් ඇමෙරිකාවේ වඩාත්ම සමෘද්ධිමත් රටක් බවට හැරෙන්නට වෙනිසියුලාවට හැකියාව ලැබිණ.

1950 ගණන් වල දී මාකෝස් පෙරේස් හිමේනස් (Marcos Pérez Jiménez) විසින් ගෝමෙස් ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්ති දිගින් දිගටම ගෙන ගියේය. දළ ජාතික නිෂ්පාදිතයේ ඒක පුද්ගල මට්ටම අනුව ලෝකයේ හතරවැනි ස්ථානය ගත් එවක වෙනිසියුලාව එරට ඉතිහාසයේ වඩාත්ම ආර්ථික සමෘද්ධියක් උසුලන ලද යුගය වූයේය.

වෙනිසියුලාවේ සමෘද්ධිය තෙල් සොයාගැනීම නිසා පමණින්ම සිද්ධ වූවක් නොවේ. 1920 සිට එරට නිදහස් වෙළදපොල වාතාවරණයක් පැවතිණ. දේපල ආරක්ෂාව ආරක්ෂා කරන විශිෂ්ට ක්‍රමයක් පැවතිණ. ඉතාලියෙන්, පෘතුගාලයෙන්, සහ ස්පාඤ්ඤයෙන් සංක්‍රමණික ශ්‍රමය ආකර්ශනය කරගන්නට ආගමන ප්‍රතිපත්ති තිබිණ. මේ නිසා 1940 ගණන් සහ 1970 ගණන් දක්වාම සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ඔවුනට හැකියාව පෑදී තිබිණ.

ආඥාදායක ගෝමෙස් බලයේ සිටි කාලයේ මෙන්ම හිමේනස් බලයේ සිටි කාලයේ ද දැඩි ලෙසින් දේශපාලන මැඬපැවැත්වීම් වෙනිසියුලාවේ දකින්නට ලැබිණ. ඒත් ඉහතින් සඳහන් කළ ලෙසින් හිමේනස්ගේ පාලන කාලය යනු වෙනිසියුලාවේ ආර්ථිකයේ වඩාත්ම සමෘද්ධිමත් කාලය වූයේය.

හිමේනස්ගේ පාලන කාලයේ වෙනිසියුලාවේ ධනවාදී ක්‍රමය බොහෝ දුරට නොකැඩී පැවතිය ද, කෙමෙන් කෙමෙන් රාජ්‍ය මැදිහත්වීම් ඒ තුළට රිංගන්නට පටන් ගත්තේ ය. ඔහු විසින් එද්දල (ගජමිතුරු) ධනවාදයට පිවිසෙන ලද්දේ ය. මහජන පහසුකම් සඳහාත් වානේ කර්මාන්තය වැනි වැදගත් ක්ෂේත්‍රයන්ට (strategic industries) රාජ්‍ය මැදිහත්වීම් වැඩිකරන ලද්දේ ය. එසේ වුවත්, හිමේනස්ගේ පාලනය විදේශ ආයෝජනවලට විවෘතව සිටියහ. ආර්ථිකයේ බොහෝ අංශවල මිල ගණන් ක්‍රමයට මැදිහත්වීම් නොකළහ. සුබසාධන රාජ්‍යයක් පැතිරවීමට කටයුතු නොකළහ.

දේශපාලන මැඬලීම් හේතුවෙන්, 1950 ගණන්වල දී සීඝ්‍රයෙන් ඉහළ යන ආර්ථිකයක් රටේ වුවත්, වාමාංශික පැත්තට නැඹුරු වූ ක්‍රියාකරුවන් හිමේනස්ගේ ආණ්ඩුවට විරෝධය පාන්නට පටන් ගත්හ. රජය පෙරළන කුමන්ත්‍රණයකින් වාමාංශික ක්‍රියාකරුවන් 1958 දී හමුදාව සමඟ එකතුව හිමේනස් රජය පෙරළා බලය අල්ලා ගත්හ. ඔහුගේ පාලන කාලයේ දී එරට ඉතිහාසයේ වඩාත්ම ආර්ථික සහ සමාජයීය සමෘද්ධිමත් සමය සටහන් කරන්නට සමත් වුවත් අවසානයේ දී හිමේනස්ට සිද්ධ වූයේ රටින් පළා ගොස් වෙනිසියුලානු විද්වතුන් සහ දේශපාලන එලීට් අයගේ ගැරහීමට ලක්ව ජීවත් වන්නටයි.

රජය පෙරළන ලද කුමන්ත්‍රණයෙන් පසුව 1958 දී වොල්ෆ්ගැන්ග් ලැරාසබාල් (Wolfgang Larrázabal) නමැති නාවුක නිලධාරියෙක් ජනාධිපති තනතුරට ටික කලකට පත්ව ඒ වසර අවසානයේ මහ මැතිවරණයක් පැවැත්විණ.

1959 සිට 1964 දක්වා රටේ ජනාධිපතිවරයා වූයේ රොමුලෝ බෙටන්කෝට් (Rómulo Betancourt) නමැති සමාජ ප්‍රජාතන්ත්‍ර දේශපාලන නායකයාය. වෙනිසියුලාවේ දීර්ඝතම වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන සමය දකින්නට ලැබෙන්නේ මේ හතරවැනි ජනරජය සමයේ ය. 1961 දී රටට ආණ්ඩුව විධායකය, නීති සම්පාදකය සහ අධිකරණය යනාදී වශයෙන් කොටස් තුනකට බෙදන ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලදි. වෙනිසියුලාවේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකාරී භූමිකාවක් පිහිටුවන ලදි.

වෙනිසියුලාවේ පාලන බලයට වරින් වර පත්වෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ඇතිකරගන්නා වූ පුන්ටෝ ෆිහෝ සම්මුතිය (Punto Fijo Pact) මාර්ගයෙන් මේ දේශපාලන පිළිවෙත තව දුරටත් තහවුරු කරගන්නා ලදි.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්නා අවංක පිළිවෙතක් හැටියට දක්වන ලද්දා වුවත්, මේ පිළිවෙත නිසා සිද්ධ වූයේ ආර්ථික සහ ආයතනික වූ පදනම ක්‍රමයෙන් ගලවා දමන්නට සමත්වෙන සමාජවාදයට ඇතුල් වන්නට ඉඩ ලැබීමයි.

වර්තමාන වෙනිසියුලාවේ අප දකින කඩා වැටීම එක රැයකින් සිද්ධ වූවක් නොවේ. වර්තමාන ලංකාවේ දකින්නට ලැබෙන ලෙසින්ම, එය ද දශක ගණනාවක් තිස්සේ හිමින් හිමින් පටන් ගත් ආයතනික පදනම දිරායෑමේ ප්‍රතිඵලයයි. ඉඩම් පනත්, සහතික මිල, සලාක ක්‍රමය, අත්‍යවශ්‍ය පහසුකම් සඳහා රාජ්‍ය සංස්ථා යනාදිය ඇති වූයේ කුමන කාලයේ දැයි කියා ඔබ තනිවම සොයා බලන්න. ඊට කලින් රුපියලේ අගය සහ ඊට පසුව රුපියලේ අගය කුමක්දැයි කියා ඔබ තනිවම සොයා බලන්න.

තවදුරටත් කොමියුනිස්ට් නොවේ යැයි ද, තමන්ගේ මාක්ස්වාදී හැදියාව අත්හැර දමා සමාජවාදයක් පිහිටුවන්නට ආවා යැයි කියූ රොමුලෝ බෙටන්කෝට් ආර්ථික කටයුතුවලට දිගින් දිගටම රජයේ මැදිහත්වීම් වැඩි කරන ලද්දේ ය. වෙනිසියුලාවේ පැට්‍රෝලියම් ක්ෂේත්‍රය සහමුලින් ජනසතු කිරීම සඳහා එවක පෙනී සිටි ශිෂ්‍ය ක්‍රියාකරුවන් සහ විද්වතුන්ට බෙටන්කෝට් ද ඇතුළත් ය. විදේශීය අතපෙවීම් සහ බලපෑම් වලින් ස්වාධීනව සිටින්නට නම් රජය තෙල් ක්ෂේත්‍රයේ සම්පූර්ණ අාධිපත්‍යය ලබාගත යුතු යැයි විශ්වාස කළ කණ්ඩායමේ අයෙකි.

තෙල් කර්මාන්තය ජනසතු කිරීමෙන් ලාබ පැට්‍රොල් ලබා දීමත්, සියල්ලන්ටම හැම අවධියකම ලබාගත යුතු අධ්‍යාපනය නොමිලේ ලබා දීමටත්, සෞඛ්‍ය සේවා ඇතුළු තවත් බොහෝ මහජන සේවා නොමිලේ සැපයීමටත් ඔවුන් පෙනී සිටියහ.

මේ පොරොන්දුවලට රටේ මධ්‍යම පංතිය සහ අඩු ආදායම් උපයන ලද ජනතාව රැවටුනහ. වසර ගණනාවක් යන තෙක් බෙටන්කෝට්ගේ පක්ෂයේ බහුතරය වූයේ ඔවුන් ය.

රජය විසින් තෙල් නිෂ්පාදනය කර, කළමනාකරණය කර, රජය හරහා පරිපාලනය කරමින් පෞද්ගලික අංශය එයින් සහමුලින්ම ඉවත් කිරීමත්, රටේ ආර්ථිකය මධ්‍යම සැලසුම්කරණය හරහා නියාමනය කිරීමත් ඔවුන්ගේ ආර්ථික සංවිධාන ක්‍රමය විය.

බෙටන්කෝට්ගේ ආණ්ඩුව ව්‍යසනකාරී ප්‍රතිපත්ති කිහිපයක් ස්ථාපිත කරන ලදහ. ඒවා අතර
1. වෙනිසියුලාවේ බොලිවාර් මුදලේ අගය අඩු කිරීම
2. ඉඩම් හිමියන්ගේ දේපල අයිතිය අවතක්සේරු කරමින් ඒවායේ අනවසරයෙන් පදිංචිය දිරිමත් කරන ඉඩම් ප්‍රතිසංස්කරණ ගෙන ඒම
3. ධනීය අයිතීන්* මත පදනම් වන ව්‍යවස්ථාදායක ක්‍රමයක් පිහිටුවීම සහ ආර්ථික කටයුතුවල දී වෙනිසියුලාවේ ආණ්ඩුවට ක්‍රියාකාරී භූමිකාවක් පැවරීම

බෙටන්කෝට්ගේ ආණ්ඩුව විසින් සැලකිය යුතු බදු ඉහළ දැමීම් ගෙනෙන ලද අතර ආදායම් බදු තෙගුණයකින් වැඩි වී ගියහ. මේ බදු ඉහළ දැමීම් සමඟ රජයේ වියදම් ද වැඩිකරන ලදි. සමාජ සුබසාධන වැඩ සටහන් වැඩි කිරීම නිසා අයවැය හිඟ වැඩි වන්නට වූහ. මේ අයවැය හිඟ දිගින් දිගටම වැඩි වර්ධනය වීම උගෝ චෑවේස් බලයට එන්නටත් පෙර පටන් දකින්නට ලැබුණි.

තෙල් කර්මාන්තය ජනසතු කිරීම

බෙටන්කෝට්ගේ පාලන කාලයේ දී ඔහුට එය කරන්නට බැරි වුවත්, ඔහුගේ ආණ්ඩුව ඒ ක්ෂේත්‍රයට මැදිහත්වීම් සඳහා පදනම දමන ලදහ.

1970 ගණන්වල දී තෙල් විශාල වශයෙන් උත්පාතය (boom) හේතුවෙන් සහ ඉන්ධන අර්බූදය නිසා ඉහළ ගිය මිල ගණන් හමුවේ වෙනිසියුලාව මහත් ලාබ උපයන්නට සමත් විය. එවක පාලනයේ සිටියේ කාලෝස් අන්ද්‍රේස් පේරේස් ය. 1975 දී පේරේස් පැටෝලියම් ක්ෂේත්‍රය ජනසතු කරන්නට සමත් වූයේය.

වෙනිසියුලාවේ රජයේ ස්වභාවය මූලික වශයෙන් වෙනස් මාර්ගයකට හරවන්නට සමත් වනුයේ මේ තෙල් කර්මාන්තය ජනසතු කිරීමත් සමඟයි. ජීවිතය, නිදහස සහ දේපල ආරක්ෂාව වැනි නිදහස් අයිතීන් වෙනුවෙන් පුරවැසියන් රජයට බදු ගෙවීම වෙනුවට රජය විසින් පුරවැසියන්ව රජයේ ආධිපත්‍යයට හසුකරගෙන සිටීම සඳහා නොයෙකුත් සහනාධාර දීම පටන් ගන්නා ලදි.

තෙල් ජනසතු කිරීම: ඌරන්ට කෑම දෙන කොරහක් දේශපාලකයන්ට ලැබීම

රජය විසින් අල්ලා ගන්නා ලද මේ බලයෙන් වාසිගෙන පේරේස් විසින් සුබසාධන රාජ්‍ය විසල් කරන ලද්දේ ය. මහජනතාව ඊට හුරේ දැමූහ. එහි ප්‍රථිපලයක් ලෙසින් අයවැය හිඟ වුවත් රජය විසින් වියදම් කිරීම දේශපාලන පංතිය විසින් ප්‍රීතියෙන් වැළඳ ගත්හ. වෙනිසියුලාවේ මුල්‍ය කටයුතු වල දී විදේශ සහ මහජන ණය එන්න එන්නම ඉහළ දැමීම සාමාන්‍යයක් බවට හැරිණ.

මේ අවස්ථාවේ දී, වෙනිසියුලාවේ ආර්ථිකය දැඩි සේ දේශපාලනීයකරණය වී තිබිණ. මහජනතාව සංසුන් කරන්නට සමාජ සේවා ව්‍යාපෘති සහ මහජන පහසුකම් ඉදිකිරීම් සඳහා ගලා එන තෙල් මුදල් යොදා ගැනිණ.

මේ උත්පාත අවධිවල දී සැබෑ වත්කම් නිර්මාණයක් සිද්ධ නොවීම සත්‍යය තත්ත්වය වූයේය. තෙල් සල්ලි රජය විසින් හිතුමතය අනුව නැවත බෙදාහැරීමේ යෙදීමත්, සිවිල් සමාජය සහ පෞද්ගලික ආර්ථික ක්‍රියාකරුවන් විසින් සාම්ප්‍රදායිකව නියැළෙන ලද කර්තව්‍යයන් වලින් ඔවුන් ඉවත්කර දැමීමත් සිද්ධ විය. දේශපාලකයන් සහ රජයේ නිලධාරීන් විසින් ව්‍යාපාර අධීක්ෂණය කරද්දී සිද්ධ වෙන්නේ දේශපාලන පක්ෂ මතවාදය සහ රජයේ වාසිය අනුව තීරණ ගැනීම සිද්ධවීම මිසෙක කාර්යක්ෂම සහ පාරිභෝගික කැමැත්ත අනුව තීරණ ගැනීමක් නොවේ.

පැටෝලියම් කර්මාන්තය ජනසතුකරණය රටේ ආර්ථික අවපාතයට වහාම හේතුවක් නොවූවත්, 80 ගණන් සහ 90 ගණන්වල දී පැහැදිලිවම දකින්නට ලැබෙන ආයතනික ජරාපත්වීමට පදනම එයින් වැටෙන ලද්දේ ය.

සටහන මෙම ලිපිය ඇසුරිනි. දෙවැනි කොටස ඊ ළඟට.

* අයිතීන් ගැන කියැවෙන රාජ්‍ය ව්‍යවස්ථාවන් ඉතිහාසයේ පටන් මෑත කාලයක් වනතුරු දක්වන ලද්දේ ඍන අයිතීන් ගැනයි. එනම් රජයක් විසින් පුරවැසියෙකුගේ ජීවිතයට මැදිහත්විය නොයුතු දේ ගැනයි. නමුත් මෑත කාලයක දී පටන් සුබසාධන රාජ්‍ය ක්‍රමය තුළින් ධනීය අයිතීන් ගැන ගෙනෙන පනත් දකින්නට ලැබේ. රජය විසින් පුරවැසියාගේ ජීවිතයට මැදිහත්වී රජයේ සේවාවන් ලබාදීම. උදාහරණ හැටියට නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, නිවාස, සමෘද්ධි දීමනා, රැකියාවක් නොකළත් ආදායමක් යනාදිය සැපයීම. රටක ජනතාව දුප්පතුන් කරන්නේ සහ රටක ජනතාව ලැබෙන සේවාවන් හි ප්‍රමිතිය පහළ වැටෙන්නේ මෙවැනි සේවාවන් රජයේ මැදිහත්වීමෙන් බෙදන්නට යෑම නිසා බව පැහැදිලිකර දීම ඕනෑම ආර්ථිකයක් වැඩකරන ආකාරය කෙසේදැයි කියා ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන් විසින් මේ වෙද්දී අත්හැර දමා ඇත.

විමසිය යුතු වැදගත්ම ප්‍රශ්නය: ජනතාවට අත්‍යාවශ්‍ය දේවල් මිල දී ගන්නට රජය මැදිහත්වීම අවශ්‍ය ඇයි?!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: