අරුණි ශපීරෝ‍ වෙතින්

බදු ගෙවන ජනතාව යනු කරකියාගත නොහැකි අතදරුවන් නොවෙති

Posted in Uncategorized by arunishapiro on මැයි 17, 2022

මැයි 16 වැනිදා අගමැති ලෙසින් රනිල් වික්‍රමසිංහ කළ විශේෂ ප්‍රකාශය අවසන් වූයේ හුණුවටයේ කතාවේ අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළ ගෲෂාටත් වඩා වැඩි වගකීමක් තමන් බාරගත්තා යැයි කරන සඳහනෙන්.

උද්ගත වී ඇති තත්ත්වය ධනවාදයේ, ගෝලීය ධනපති ක්‍රමයේ, ධනේශ්වර නිෂ්පාදන ආර්ථික ක්‍රමයේ යැයි කියන අය මෙන්ම එසේ නොකියන ලංකාවේ සාමාන්‍ය රටවැසියා ද රනිල් වික්‍රමසිංහ යනු සමාජවාදියෙක් යැයි කියා සලකන්නේ නැත. ඒත් රනිල් වික්‍රමසිංහ ගෙනෙන ලද යෝජනා සියල්ල ධනවාදී ආර්ථික ක්‍රමයෙන් කොතරම් ඈතක පවතින්නක්ද?

රටේ ජනතාව කරපින්නාගෙන වැල් පාලම මතින් එගොඩ කරන්නට යන අගමැතිවරයෙක් ධනවාදී ආර්ථික ක්‍රමයක නැත! ඒ ක්‍රමය පැහැදිලිවම සමාජවාදී ක්‍රමයයි!

ධනවාදී ක්‍රමය යනු ආර්ථික වර්ධනය සඳහා ජනතාවට ඉඩදී පැත්තකට වීමයි. එයට ඇති රාජ්‍ය මැදිහත්වීම් අඩු කිරීමයි.

සමාජවාදියෙක් වූ ද, සමාජවාදීන් විසින් කරන අකටයුතු තම ඇසින් දුටුවත් ඒ ගැන කිසිදු පසුතැවිල්ලක් නොදැක්වූ ද, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ව මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහට සිහිවීම යනු ලංකාව වැනි රටක කිසිදා ධනවාදී ආර්ථික දැක්මක් නොවූවා යැයි අපගේ කියමන සනාථ කරන්නකි.

මිනිසුන් දෙදෙනෙක්, දුප්පත් අයෙක් සහ පෝසත් අයෙක්, එකිනෙකාට මුණගැහෙන අවස්ථාවක් ගැන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් “හෝඩිය”* නමින් කවියක් ලිවීය:

ගැස්මක් ඇති දුප්පත් මිනිසා කීවේය:
මම දුප්පත් නොවූවා නම්, ඔබ පෝසත් නොවනු ඇත.

රනිල් වික්‍රමසිංහ කතා කළේ ලංකාවේ බහුතර විශ්වාසයට අනුවයි. ඒ බහුතර විශ්වාසය නම් අයෙක් දුප්පත්වී සිටින්නේ තවකෙක් ධනවත් වූ නිසා ය. ඉතින් ජන ජීවිතයේ සෑම සියළු කර්තව්‍යයක් සඳහාම රජය මැදිහත්වීම අවශ්‍ය යැයි සලකයි.

අද පවතින අර්බූදය විසඳන්නට අවශ්‍ය ජනතාව කරපින්නාගෙන එගොඩට ගෙන යන නායකයෙක් නොවේ. ජනතාවගේ ජීවිතවලට දමා ඇති බාධක ඉවත් කරන නායකයෙකි.

බදු ගෙවන ජනතාව යනු කරකියාගත නොහැකි අතදරුවන් නොවෙති.

රටේ භාණ්ඩාගාරය පුරවන්නට නම් බදු මට්ටම් වැඩි කිරීමෙන් පමණක් ඵලක් නැත. බදු මට්ටම් වැඩි කළොත් සිද්ධ වෙන්නේ බලා සිටිය දී රටෙන් පිටවී යන ව්‍යවසායක කුසලතා ඇති සංඛ්‍යාව වැඩිවීමයි.

බදු ගෙවන ජනතාවට නිදහසේ සිය ව්‍යවසායක කටයුතුවල නියැළෙන්නට අද පවතින නීති රෙගුලාසිවලින් අඩුගානේ සියයට තිහක්වත් අඩු කරදමන්නට යැයි කියා කිසිවෙක් යෝජනා කරන්නේ නැත්තේ ඇයි? රටේ ග්‍රාමසේවක නිලධාරී සිට නිදහස් හුවමාරුවට බාධා වෙන මැදිහත්වීමේ බාධක අයින් කර දමන්නට යැයි ඉල්ලා සිටීම අරගල බිමෙන් නම් කවදාවත් ඇසෙන එකක් නැත.

ඩොලර් මිලියන ගණන්වලින් වත්කම් ඇති ලංකාවේ රටවැසියන්ට (ඔව්, එහෙම අය ඉන්නවා) තරඟකාරී වූ සහ විනිවිදතාවයෙන් යුතු ටෙන්ඩර් හරහා රජය පාඩු ලබන ආයතන විකුණා දමන්නට පුලුවන. එයින් දින 40 ක් තිස්සේ වරායේ බාගන්නට බැරිව සිටින තෙල් සඳහා ගෙවන ආදායම් හොයාගත හැකියි. ඒ ආයතන විකුණා දැමුවාට පසු ඒවා ලාබ උපයද්දී නැවත ජනසතු නොකරන බව පොරොන්දු විය යුතුයි. එසේම මිල දී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ටත් විවෘත කරන්නේ නම්, පාඩු ලබන ආයතන ලාබ උපයන ආයතන බවට හැරෙද්දී, එයින් රටේ ජනතාවගේ බදු බර අඩු වී යයි.

එහෙත් සමාජවාදී දැක්ම ඇති නායකයන් පමණක් සිටින රටකින් එවැනි යෝජනාවක් දකින්නට ලැබේ යැයි කියා හිතන්නට හෝ නොහැකියි. ණය ආධාර ලබාගන්නට පමණක් කියන කරන දේවල්වලින් රටක් සමෘද්ධිමත් වේයැයි නොසිතන්න.

ඉතින්, ඔබ විසින් කළ යුත්ත කුමක්ද?

කාලයක් තිස්සේ ගෙම්බන් මෙන් හිමිහිට රස්නය වැඩිවෙන වතුරේ බැස හොඳින් සිටියත් දැන් වතුර නටන්නට පටන් ගෙන ඇත.

අනිකුත් සමාජවාදී රටවල රාජ්‍ය මැදිහත්වීම් වැඩිවීම නිසා ආර්ථික අර්බූද හටගත් කළ ජනතාව ජීවත්වෙන්නට තෝරාගත් මාර්ග කිහිපයක් මෙසේ වෙති.

හැකියාව ඇති සියල්ලන්ම පාහේ නීතිමය මාර්ගවලින් රට අත්හැර දමා ගියහ. අනිකුත් අය නීතිමය නොවූ මාර්ගවලින් රට අත්හැර දමා ගියහ. එසේ ගිය සමහරු අත්හැර දමා ආ රටවල අසාර්ථක ප්‍රතිපත්ති තමන් ආ රටවලටත් නිර්දේශ කරන්නට පටන් ගත්හ!

නිපදවන භාණ්ඩ විකිණීමටත් ඒවා මිල දී ගැනීමටත් කැමති අයව සම්බන්ධ කරදීමට හැකි අතරමැදි ව්‍යාපාර නිර්මාණයට ව්‍යවසායකයන් ඉදිරිපත් වෙද්දී ඒවා ස්වේච්ඡාවෙන් කරන අය පමණක් සිටින “සාමූහික” වෑයම්වලට වඩා සාර්ථක වූහ. (කියුබාව වසර 60 කට පෙර සිට ලංකාව අද දකිනවාටත් වඩා දරුණු වූ ආර්ථික ගැහැට විඳිමින් සිටින බවත්, වෙනිසියුලාවේ තත්ත්වය 1999 සිට මේ දක්වා කිසිත් ලෙසකින් යහපත් අතට වෙනස්වී නැති බවත් සලකන්න.) ඒ නිසා මෙවැනි ව්‍යවසායක වෑයම් තුළින් සැබැවින්ම සමහර අයගේ දිවිගලවා ගැනීමට පවා හැකියාව පෑදිණ.

පිටරට යන එන අය සමඟ රටේ සිටින ජනතාවගේ අවශ්‍යතා හා සම්බන්ධ කරන ව්‍යවසායක වෑයම් වෙනිසියුලාවෙන් දකින්නට ලැබිණ. විශේෂයෙන්ම තැපැල් මාර්ගවලින් එවන බඩු භාණ්ඩ රේගුවේ දී ම අතුරුහන්වීම පටන් ගනිද්දී පිටරට සිටින ඥාතීන් වෙතින් පවා හදිසි දේවල් ගෙන්වා ගැනීමට මෙවැනි පෞද්ගලික ව්‍යවසායකයන් සලසන සේවාවන් සොයාගැනීමට වෙනිසියුලානු ජනතාවට සිදු වූහ.

එකිනෙකා හා ගනුදෙනු කරන ක්‍රම සොයාගැනීම අප්‍රිකානු රටවල දකින්නට ලැබුණි. මොබයිල් ඇප් භාවිතය තුළින් ඔවුන් තමන් වාසය කරන ප්‍රදේශය ආසන්නව බඩු විකිණීම හා මිල දී ගැනීමේ යෙදුනේ අතරමැදියා අයින් කර දමමින්. World Economic Forum දක්වන පරිදි 2020 වසරේ දී පමණක්, අප්‍රිකානුවන් විසින් ඩොලර් බිලියන 490 ක් හුවමාරු කරගෙන ඇත්තේ මොබයිල් මුදල් සපයන්නන් පමණක් භාවිතයෙනි. ඒවාට බැංකු ගිණුමක් සම්බන්ධ නැත.

කුමන හෝ රැකියාවක යෙදීම රැකියාවක් නොමැතිව සිටීමට වඩා වැදගත්. ඒත් රටට ආදරයක් ඇතැයි කියන අය රජයේ රැකියාවක නියැළීම ඒ ස්ථාවරයට පටහැනි වූවක් බව පිළිගත යුතුයි!

*Alfabet (1934)
Said the poor man with a twitch:
Were I not poor, you wouldn’t be rich
The Collected Poems of Bertolt Brecht, translated by David Constantine and Tom Kuhn (New York: Liveright, 2018)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: