අරුණි ශපීරෝ‍ වෙතින්

ණය බර කරගහ ගත් ආණ්ඩුවක් බේරාගන්නට හැකි එකම ක්‍රමය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 8, 2022

17 වැනි සියවසේ දී එංගලන්තයේ එක රජෙක්ගේ හිස ගසා දමා අනෙකාව රටෙන් පළවා හැර තිබුණි. මධ්‍යම පාංතිකයන් වූ ලෙවෙලර්ස් Levellers නමින් තමන්ව හඳුන්වා ගත් පිරිස, ජනතාව සතු අයිතීන් වලට ඇඟිලි ගහන්නට පාර්ලිමේන්තුවට පවා බලයක් නැතැයි කියා සිටි අය වූහ. ආගම ඒකීයපුද්ගලයාගේ හෘදය සාක්ෂිය වේ යැයි ද, රජයට ඒ ගැන කිසිත් සම්බන්ධයක් නැතැයි ද කීහ. ස්වභාවික නිදහසට එරෙහි නිසා තෝරාගන්නා පිරිසකට හෝ පුද්ගලයන්ට ඒකාධිකාර පිරිනමන බලයක් ආණ්ඩුවට නැතැයි කීහ. ජෝන් ලොක් ස්වභාවික නීතිය ගැන වූ සම්ප්‍රදායෙන් නිදහස් මිනිසා යන සංකල්පය ගොඩනැඟීය. සෑම මිනිසෙක්ම උප්පත්තියේ දී නිදහස් යැයි හේ කීය. මිනිසා උපදින්නේ ඔහුගේ ජීවිතයට, නිදහසට හා දේපල වලට ඇති අයිතියකින් යුතුවයි. ඒවා ආරක්ෂා කර දීම පමණක් රජයේ කාර්ය භාරය යැයි ලොක් පහදා දුන්නේය.

ප්‍රංශයේ ‘ස්වභාවික අන්දමින් පාලනය කිරීමට’ වෙනුවෙන් පෙනී සිටි පිරිසක් වූහ. පියෙර්-පෝල් මරසියෙර් ඩ ලා රිවියෙර්, ෆ්‍රැන්සුවා කෙස්නෙ වැනි අර්ථ ශාස්ත්‍රඥයන් පෞද්ගලික දේපල අයිතිය සහ නිර්බාධ වෙළඳාම වෙනුවෙන් පෙනී සිටි අයයි.

ඉහත කියූ පිරිස නියෝජනය කළ ඡාක් ටියුගෝ නමැති අර්ථ ශාස්ත්‍රඥයාව ප්‍රංශයේ නව රජු වූ 16 වැනි ලුවි විසින් 1774 අගෝස්තුවේ දී රටේ මුදල් කටයුතු බාරකාරත්වය පවරන ලදි. රටේ භාණ්ඩාගාරය සහ ආණ්ඩුවේ මුල්‍ය කටයුතු මහා අර්බූදයකට වැටී තිබුණි. ණයට යට වී තිබුණ රටේ බදු ආදායම අයවැය පියවා ගන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.

ආණ්ඩුව බංකොළොත්වීම වළක්වා ගන්නට, ඒත් බදු ඉහළ නොයවා සහ වියදම් පියවා ගන්නට ණය ද නොගෙන එය කරගන්නට නම්, ආණ්ඩුව දැඩි ලෙසකින් වියදම් කිරීම අඩු කළ යුතු බව හේ කියා සිටියේය. තමන්ට සියල්ලන්ගේම විරෝධය එල්ල වෙන එක නියත බවත් ඊට මුහුණ දෙන්නට තමන් සූදානම් යැයි ද හේ ලියුමකින් ලියා යැවීය.

ප්‍රංශය ඇතුලත සියළු ධාන්‍ය වෙළඳාම් සඳහා පනවා තිබූ සීමාවන් ටියුගෝ විසින් ඉවත් කළේය. කැමති ආකාරයකින් තමන්ගේ ඉරිඟු හෝ පිටි වෙළඳාමේ යෙදෙන්නටත්, විකුණන්නට හෝ මිල දී ගන්නටත් රාජධානියේ කැමති තැනකට ගෙනිහින් වෙළඳාමේ යෙදෙන්නටත් නිදහස සැලසුවේය. බදු එකතු කරන අයට දෙන පත්වීම් සඳහා අල්ලස් ගැනීම නතර කළේය. ප්‍රංශයේ විසූ විදේශිකයන්ට පනවන ලද සීමාවන් අහෝසි කළේය. ප්‍රංශ ජනතාව අතර තිබූ විවිධ බදු මට්ටම් අහෝසි කළේය. ප්‍රාන්තයන්හි අධිකාරි බලය අඩු කරමින්, නිෂ්පාදකයන්ට හා වෙළෙන්ඳන්ට ඇති රෙගුලාසි අඩු කළේය. නීතිමය තහනම් ඉවත් කරමින් ඒකාධිකාර ඉවත් කළේය. අලුත් තරඟකරුවන්ට වෙළඳපොලට ප්‍රවේශ වන්නට ඉඩ දුන්නේය.

අල්ලස් ලබාගැනීමට තම තනතුරු පාවිච්චි කළ රාජකීය අතරමැදියන්ගේ දේශපාලන වරප්‍රසාද ඉවත් කරන්නට ඊ ළඟට ටියුගෝ කටයුතු කළේය. ටියුගෝට කෙළවීම පටන් ගත්තේ එවිටයි. රදළයන් සහ ආගමික නායකයන් ද ඔහුට එරෙහිව පෙළ ගැසුනහ. තරඟයට මුහුණ දෙන්නට අකමැති වූ ඒකාධිකාර භුක්ති විඳිමින් සිටි නිෂ්පාදකයන් ද විරෝධය පාන්නට එකතු වූහ.

1776 මැයි 12 වැනිදා රජු ටියුගෝව තනතුරෙන් පහ කරන ලදි. 1789 දී සිද්ධ වූ බිත්තර කඩා ඔම්ලට් නොහැදූ විප්ලවය වෙත ඔවුන් ගමන පටන් ගත්හ.

මිනිස්සුන්ට ස්වභාවික අයිතීන් භුක්ති විඳින්නට ඉඩ ලැබෙද්දී සමාජය ඉබේම සංවර්ධිත වෙන බව, ඩේවිඩ් හියුම්, ඇඩම් ස්මිත් වැනි ස්කොට්ලන්ත බුද්ධිමතුන් පෙන්වා දුන්හ. ඒත්, ජාතීන්ගේ ධනය සැබැවින්ම වැඩි වර්ධනය වෙන ක්‍රම තෝරාගැනීමට ඉඩක් ලැබීම ලොව වැඩි කාලයක් පැවතුනේ නැත.

දිනෙන් දින වැඩිවෙන ණය බර කරගහ ගත් ආණ්ඩුවක් බේරාගන්නට හැකි එකම ක්‍රමය, එනම් රජයේ වියදම් අඩු කරන පිළිවෙත යෝජනා කළ අර්ථ ශාස්ත්‍රඥයාව ඒ මුල් උත්සාහයේ දී ම කපා හැරි ලෙසින්ම තවමත් එය සිද්ධ වේ. රජයේ වැය අඩු කරන්නට අකමැති අය කවුරැන්දැයි කියා විමසා බලන්නට රටවැසියන් වෙහෙසක් නොගනිති. මන්ද, ඔවුන් දකින්නේ රජය දෙන දීමනා, සහනාධාර පමණකි. තව තවත් සහනාධාර ලබා දිය යුතු යැයි ඉල්ලා සිටිති. වියදම් කරන රජය, ඒවා බෙදා දෙන වැය බර පටවන්නේ තමන්ගේම කරපිට යැයි ඔවුන් මොහොතක් නැවතී කල්පනා කරන්නේ කවදා ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: