අරුණි ශපීරෝ‍ වෙතින්

රජයට පින්සිද්ධ වෙන්න ළමයින්ට කන්න ලැබෙනවා

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 8, 2022

රජයේ ඉහළ නිලතලයක් උසුලන අයෙකුගේ මාර්ගයෙන් පාසැල් ළමුන්ට බෙදන ආහාර වේලක් සඳහා අනුමැතිය ලබාගැනීමට කලකට ඉහත දී සමත්වීම ගැන මගෙ යාළුවා ඒ අයට පින්දෙමින් කතා කළේය. තම දරුවන්ට ආහාර වේලක් දීමට පවා දෙමව්පියන් අසමත් වන්නේ මෙසේ රජය හරහා බෙදීමට පටන් ගැනීම නිසා යැයි පැහැදිලි කිරීම කොතැනින් හෝ පටන් නොගන්නේ ද ලංකාව අදටත් වඩා අවාසනාවන්ත තත්ත්වයකට පත්වනු ඇත.

1979 දී මාග්‍රට් තැචර් අගමැතිනිය වෙද්දී මහා බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ඉතා දුබල තත්ත්වයකට වැටී තිබිණ. ජනසතු කරන ලද කර්මාන්ත ක්ෂේත්‍රය මහජනතාවගේ බදු මුදල් ගිල දමමින් අකාර්යක්ෂම ලෙසින් නිෂ්පාදනයේ යෙදී සිටියේය. ක්‍රමවත් බව අඩුවෙද්දී ඔවුන් තව තවත් රජයේ සහනාධාර උද්යාචනය කරමින් සිටියේය. වැඩ වර්ජන නිරතුරුවම පැවතීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් දීර්ඝ කාලවලට මෙන්ම නිතිපතා නැවතිණ. වැඩ වර්ජනවල දී ප්‍රචණ්ඩත්වය ද දකින්නට ලැබිණ.

බ්‍රිතාන්‍ය ජනගහනයෙන් විශාල කොටසක් නිවාස, අධ්‍යාපනය සහ ජීවිකාව සඳහා රජයෙන් යැපෙන ලද අයයි. නිෂ්පාදනයේ යෙදෙන අය (රජයේ නොවන රැකියාවන්හි නියැළෙන ලද අය) මහා බදු බරක් උසුලන ලද්දහ. උපයන ආදායමෙන් 83% ක් තරමට බදු මට්ටම් ඉහළ ගොස් තිබුණි. රැකියාවල නියැලී සිටි මිලියන 25 ක ජනතාවගෙන් 29.3% ක් සේවය කළේ රජයේ හෝ ජනසතු කරන ලද කර්මාන්තවලයි. මහජනතාව ජීවත්වූ ගෙවල්වලින් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් රජයේ ආයතන හරහා කුලියට ගන්නා ලද ඒවා වූහ.

දක්ෂිණාංශය (ටෝරි) සහ වමාංශිකය (ලේබ) වරින්වර ආණ්ඩු කළ ද ඔවුන්ගේ ප්‍රතිපත්තිවලින් ඇතිවූයේ “සමාජවාදී රැචටයක්” (socialist ratchet) යැයි කීත් ජෝසෆ් කියා සිටියේය. ලේබ පක්ෂය විසින් බ්‍රිතාන්‍ය තව තවත් වමට ගෙන යද්දී ටෝරි අය නිකම් බලා සිටියා යැයි මාග්‍රට් තැචර් කියා සිටියාය. එතෙක් සිද්ධ වූයේ බියර් සහ සැන්විච් බුදිමින් ඩවුනින් වීදියේ අංක 10 නිවසේ දී වෘත්තීය සමිති නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ විශාල සමාගම්වල කර්මාන්ත නියෝජිතයන් ගෙනෙන නීති පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමයි. නිදහස් සමාජයක් සඳහා නීතියේ රීතිය (rule of law) පැවතීම අවශ්‍ය යැයි කියා මාග්‍රට් තැචර් ඒ වෙනුවෙන් තදින් පෙනී සිටියාය. බියර් සහ සැන්විච් බුදිමින් ඩවුනින් වීදියේ අංක 10 හි එක්රොක් වූ කල්ලිය සියළු බ්‍රිතාන්‍යයයන් වෙනුවෙන් නීති හැදීම ඇය අවසන් කර දැමුවාය.

1979 අයවැයේ දී බදු 3% කින් අඩු කිරීම ඇය බදු අඩු කිරීමට ගත් පළමු පියවර විය. එසේම ඇය රජයේ වියදම් ද 3% කින් අඩු කළේය.

නමුත් තැචර් කාලයේ වැටී සිටි ආර්ථිකය ගොඩ ආවේ පනවා තිබූ නියාමන බහුතරයක් ඉවත් කරන්නට ඇය සමත් වූ නිසයි. වේතන සහ බඩු මිල සඳහා වූ පාලන රෙගුලාසි ලිහිල් කරන්නටත් විනිමය හුවමාරු පාලන ලිහිල් කරන්නටත් ඇය පියවර ගත් නිසයි.

වර්තමානයේ දී මෙන්ම ලෝකයේ හැම පැත්තකම ඉන්ධන මිල ඉහළ ගොස් තිබිණ. වර්තමානයේ දී මෙන්ම රටවල් බොහොමයක් අවපාතය සහ විරැකියාව ඇතිවීම වළක්වා ගන්නට යැයි කියා මුදල් ප්‍රසාරණය කිරීම පටන් ගෙන තිබිණ.

ඇයගේ පක්ෂයම ඇයට එරෙහි වූ අවස්ථා නොමඳ වූහ. 1979 අයවැයෙන් රජයේ වියදම් අඩු කළ ඇය 1980 අයවැයේ දී ද තවත් රජයේ වියදම් අඩුකරන ලද්දාය. ඇයගේ පක්ෂය තුලින්ම ඇයව පන්නා දමන්නට ගත් කුමන්ත්‍රණ වූහ. 1981 ආර්ථිකය යහපත් අතට හැරෙන්නට පටන් ගති. ආර්ථිකයේ වාර්ෂික සියයට තුනක වර්ධනයක් දකින්නට ලැබිණ.

අගමැතිනිය වෙන්නට පෙර වයස 32 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇය අධ්‍යාපනය සහ විද්‍යාව සඳහා වූ රජයේ ලේකම්වරිය ලෙසින් කටයුතු කළේය. පාසැල් යන හැම දරුවෙකුට “නොමිලේ” බෙදන කිරි ව්‍යාපෘතිය නවතා දැමීම සම්බන්ධයෙන් ඇය එවක දී ප්‍රසිද්ධියක් අත් කරගත්තාය. ඇයට “මාග්‍රට් තැචර් – මිල්ක් ස්නැචර් (කිරි හොරකම් කරගත් අය) යැයි නමක් ද පටබැඳී තිබුණි.

නමුත් රටක දියුණුව ඇතිවනුයේ රජය හරහා බෙදීමෙන් නොවේ යැයි ඇය ප්‍රතිපත්ති වෙනස් කරමින් ආර්ථිකය යහපත් අතට හරවා ප්‍රතිඵල ගෙනැත් පෙන්වා දුන් තැනැත්තිය වූවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: