අරුණි ශපීරෝ‍ වෙතින්

හිඟය යන සත්‍යය නොසලකා හරින මාක්ස්වාදය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 12, 2022

මිනිසා නැමති සත්වයා උපත්තියේ දී අසරණයෙකි. තම වෙහෙසෙන් උගත යුතු දෑ අතපසු කරන්නේ ද මිනිස් සත්වයාට ජීවිතය පවත්වාගැනීම සඳහා සහජයෙන් දායාද වී ඇති කොටස ඉතාමත් අල්පයකි. එනමුත්, තමනට දැනුම ලබාදෙන අනෙකුත් අය අභිභවා යා හැකියාව මිනිස් සත්වයාගේ අපූරු ලක්ෂණයකි. මිනිස් වර්ගයාගේ ප්‍රගතිය සිද්ධ වූයේ ඒ හැකියාව පිහිටා ඇති නිසයි.

ඉතිහාසයේ විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරන ලද අපූරු අදහස් ගැන දැනගන්නට හැකියාවක් නොමැති නම්, එනම් තමන්ගේ දැනුම සීමාවෙද්දී සිතුවිලි ද සීමාවක් තුළ කොටුවී පවතී.

ග්‍රීක දාර්ශනිකයෙක් වූ ඇරිස්ටෝටල් සතුට නොහොත් සාර්ථකත්වය (eudaimonia) ගැනත් සද්ගුණය නොහොත් විශිෂ්ටත්වය (aretê) ගැනත් සොයා බැලුවේය. ජීවිතය වඩාත්ම සාර්ථක ලෙසින් සතුටින් ගෙවන්නට නම් මිනිස් සත්වයාට අවශ්‍ය ගතිගුණය ලෙසින් ඔහු මේ සද්ගුණය/විශිෂ්ටත්වය යන්න ඉදිරිපත් කළේය.

මිනිසා විසින් සොයා යා යුතු ඉහළම දැය නම් සද්ගුණය තුළින් සාක්ෂාත් කරගන්නා සතුට වෙයි. අයෙක් තමන්ට හැකි පමණින් තමන්ගේ විශිෂ්ටතම වූ හැදියාවෙන් ජීවත්වන්නේ නම් එවැනි අයෙක්ට සතුටින් ජීවත්වන්නට හැකියි.

සද්ගුණවත් ආචාර ධාර්මික මනෝභාවයක් මිනිසා තුළ ස්වභාවයෙන්ම පිහිටා ඇතැයි කියා අදහසක් ඇඩම් ස්මිත් ඉදිරිපත් කළේය.

ඔබට ලබාගත හැකි ඉහළම විශිෂ්ටත්වය වෙනුවෙන් ඔබ වෙහෙසිය යුතු යැයි කියද්දී ඔබ සොයන විශිෂ්ටත්වය ඔබේම වූවකි. සෑම මිනිසෙකුම තමන් විසින් කැමති අකමැති දේවල් පිරුණ අවුලක් මැදින් තමන්ගේ විශිෂ්ටත්වය සලසා ගත හැකි ආකාරය තමන් විසින් පාදාගත යුත්තෙකි. එක් පුද්ගලයෙකුට සුදුසු වූව කුමක්දැයි කියන්නට තවත් පුද්ගලයෙකුට නොහැකියි. එසේම, ඔබේ නොහැකියාව වෙනත් කාරණා නිසා යැයි කියන අයගේ මුලාවට රැවටීමෙන් අවසානයේ දී ඔබ සොයන විශිෂ්ටත්වයට ඔබට ළඟාවිය නොහැකි නිසා ඔබ ඉච්ඡාභංගත්වයෙන් පිරී ගිය අයෙක් බවට පත්වෙයි.

කාල් මාක්ස්ට කළින් විවිධ ආගමික ශාස්තෘවරු තමන් විසින් තම විශිෂ්ටත්වය සොයා යන්නට කම්මැලි වූ අයට කරුමය, ඉරණම යනාදී වශයෙන් ගැලවීමේ මාර්ග ඉදිරිපත් කර තිබුණි. ඒවා ඇත්තද නැත්තද යැයි කියා ඔප්පු කළ නොහැකි ආකාරයෙන්, සිතට තාවකාලික සහනයක් ලබාදෙන පරිද්දෙන් ප්‍රදානය වූහ.

සෑම මිනිසෙක්ම තමන්ගේ හැකියාවට අනුව සාක්ෂාත් කරගත හැකි විශිෂ්ටත්වය කරා යා යුතු යැයි කියා නියමයක් ලොව නැත. එහෙත් යම් පුද්ගලයෙක් තමන්ගේ විශිෂ්ටතම සද්ගුණවත් හැදියාවෙන් දිවිගෙවන්නේ ද ඔහු සතුටින් සිටින්නෙකි. එය අත්හදා බලා එය සත්‍යයක් දැයි කියා දැනගන්නට හැකියාව ඇත්තේ ද තමන්ටම පමණකි.

සාමූහික සැලසුම් හරහා අනුන් කියන පරිද්දෙන් ජීවත්වන්නට සිද්ධ වූ මිනිස් කොට්ඨාශයන් තුළ සද්ගුණවත් හැදියාව සහ සතුට නොමැති වූ බව ඉතිහාසය අපිට පෙන්වයි. ඒ නිසාම එවැනි සැලසුම් දැඩි වූ සමාජවලට දීර්ඝ කාලීන පැවැත්මක් ද නොමැති වූහ. එසේම තවමත් එවැනි සැලසුම් වැඩියෙන් පවතින සමාජවලින් මිනිසුන් පළා යන්නට මාර්ග සොයන බව දකින්නට ලැබේ.

මිනිසාගේ ශ්‍රමබලය ඔහු රිසි සේ යොදවන්නට ඉඩකඩ ලැබෙන නිදහස වෙනුවට මිනිස් ස්වභාවයට කිසි ලෙසකින් නොගැලපෙන ක්‍රමයක් කාල් මාක්ස් ඉදිරිපත් කළේය. මිනිසා යනු යම් දක්ෂතාවයක් තමන් විසින්ම වර්ධනය කරගත යුත්තෙකි.

“කොමියුනිස්ට් සමාජයක, යම් ක්ෂේත්‍රයකට පමණක් විශේෂිත වූ ක්‍රියාවක් පමණක් කරන්නට අවශ්‍ය නොවෙද්දී ඔහු කැමති ඕනෑම අංශයකින් දක්ෂයෙක් වන්නට සෑම අයෙකුටම හැකියාව ලැබෙද්දී, සමාජය විසින් පොදු නිෂ්පාදනය නියාමනය කරද්දී ඒ අනුව අද මට එක දැයක නියැළෙන්නටත් සහ හෙට වෙන දැයක නියැළෙන්නටත් හැකියි; උදේට දඩයමේ ගොස්, දවල් කාලයේ මාළු බා, හවස්වරුවේ ගව පට්ටිය බලා ගන්නටත්, රෑ කෑමෙන් පසු විවේචනයේ යෙදෙන්නටත්, මට මනසක් තියෙන ලෙසින්.” කාල් මාක්ස්, ජර්මන් පරමාදර්ශය (The German Ideology, 1845)

ඕනෑම මිනිසෙක් ඕනෑම රැකියාවක් කරන්නට සුදුසු වූවෙක් හෝ උවමනාවක් ඇති වූවෙක් නොවේ. ඒකීය පුද්ගල විශිෂ්ටත්වය නොසලකා හරින ලද සමාජවාදය පිළිගත්තවුන් අතර වර්තමානයේ ද ඕනෑම රැකියාවක් ඕනෑම පුද්ගලයෙක්ට බාර දිය හැකි යැයි යන පිළිගැනීම ඇතිබව දකින්නට පුළුවනි. අනුන් වෙනුවෙන් තීරණ ගැනීමට ඇති බලය පැවරීම හරහා එය සිද්ධ වෙයි.

සැබැවින්ම දඩයමක් සාර්ථක කරගන්නට උදේට ඔහේ දඩයමේ යන ගමනකින් නොහැකි බව දඩයමේ ගිය ලද්දෙක් දන්නේ ය. දඩයම් යුගයේ ජීවත්වූවන් අතින් වෙනත් නිෂ්පාදන බිහිනොවූයේ ඒ නිසයි. මාළු බාන්නට යෑම යනු මාළු අල්ලාගැනීමට සමත්වීම නොවේ. එක මාළුවෙක් හෝ අල්ලාගන්නට තමන් විසින් ගත් වෑයමක් සාර්ථක වූ අයෙක් එය වටහා ගත්තෙකි. ගව පට්ටියක සිටින්නේ උදේ දවල් රෑ රැකබලා ගත යුතු සත්වයන්ය. උදේට මහපාරට අත්හරින ගවයන් හවස්කාලයේ ගිහින් දක්කාගෙන එන සිරිත මෑතක දී පවා ලංකාවේ දී දැක්කෙමි. ඒ කාල් මාක්ස්ගෙ ගොන්නු වෙන්නැති!

ඒකීය පුද්ගලයන්ගේ නිදහස් වෑයම් සඳහා ඉඩදෙනවා ද නැද්ද, ඉඩදෙන්නේ නම් ඒ කෙසේද යනාදී වශයෙන් ජීවිතයේ හැම අදියරක දී ම පාහේ ගැනෙන තීරණ ලංකාව වැනි රටක තීන්දු වෙන්නේ මේ කොමියුනිස්ට් සමාජයක් වෙනුවෙන් කාල් මාක්ස් ඉදිරිපත් කළ අදහස අනුවයි. ඒත් ලංකාවේ වාමාංශිකයන් මෙන්ම තමන් වාමාංශිකයන් නොවේ යැයි කියාගන්නා අයත් රටේවත් දකින්නට නැති ධනවාදයකට විරුද්ධව හඬ නඟති.

පරිභෝජනය සඳහා භාණ්ඩ තිබිය යුතුයි. තමන්ගේ ශ්‍රමය තම කැමැත්ත සොයා යෑම සඳහා යොදා ගැනීමට එරෙහිවන මාක්ස් කොමියුනිස්ට්වාදයේ දී “කාටවත් අයිති නැති ශ්‍රමය” හරහා මිනිසාට අවශ්‍ය සියළු දේ ලැබෙන බව කියා සිටියේය. එය කෙසේ වෙනවාද යන්න ඔහු කිසිතැනක පැහැදිලි නොකළේය.

තමන් කැමති නිෂ්ටාව (end) ලබාගැනීම සඳහා අනෙකා උපායක් (means) හැටියට දෙදෙනාගේම කැමැත්ත ඇතිව දෙදෙනා විසින්ම යොදාගැනීමත් කාල් මාක්ස් හෙළා දුටුවේය. මාක්ස්ට අනුව මිනිස් සබඳතා යනු හැමෝම මිල ගණන් නොමැතිව එකිනෙකා හා නිදහසේ කටයුතු කරන “සමිතියකි”. ඒත් එය සිද්ධ වෙන්නේ කෙසේදැයි කියා ඔහු කිසිතැනක පැහැදිලි නොකළේය. එය අත්හදා බැලූ කිසිදු අවස්ථාවක සාර්ථක නොවූවකි.

ජීවත්වන සෑම මිනිසෙකුටම ලැබෙන්නේ දවසකට පැය 24 ක් පමණි. කොතරම් ධනවත් වුවත් කොතරම් දුප්පත් වුවත් කොතරම් තරුණ හෝ කොතරම් මහළු වුවත් එය එසේය.

පැය 24 කට වැඩියෙන් කාලයක් දිනයකට ලබාගත නොහැකි බැවින් අපි එයට හිඟය යැයි කියමු.

කාලය උවමනා තරමින් ඇත්නම් එහි අගයක් නැත. අපි කාලයට අගයක් දෙන්නේ එය හිඟ බැවිනි. අනෙක් එවැනි දැයටත් අගය ලැබෙන්නේ එයාකාරයෙන්මයි. සියල්ල එකවර සපුරාගත නොහැකි නිසා අපි වැදගත් දේ මොනවාදැයි කියාත් අවැදගත් දේ මොනවාදැයි කියාත් සලකා බැලිය යුතු වේ.

ඒත් ඒ හිඟය සැලකීමට ගැනීම බැහැර ලා මේ මේ අවධියේ දී පාසැල් දරුවන් විසින් හැදෑරිය යුතු පාඨමාලා මෙසේය, පාසැල් දරුවන් විසින් පෙනී සිටිය යුතු විභාග මෙසේය, රැකියා නියුතු අය සේවය කළ යුතු කාලය සහ වේතන මෙසේය යනාදී වශයෙන් අනුන්ගේ විශිෂ්ටත්වය සාධනය කරන ක්‍රමය තමන් දන්නවා යැයි කියාගත් වැඩ පිළිවෙලවල් තුළ මහජනතාව කොටුකර තබා ඇත. එහි දී ඒකීය පුද්ගලයා හොයන සද්ගුණවත් විශිෂ්ටත්වය සඳහා ඉඩකඩක් ඇතිවීම වැළකී යයි.

සමාජය යනු එකෙක් වෙනුවට තවකෙක් පත් කළ හැකි පුද්ගලයන් එකතුවක් නොව, හිඟයට මුහුණ පා සිටින විවිධ විෂම කුසලතාවලින් පිරි ඒකීය පුද්ගලයන් එකතුවක් යැයි කියා අවබෝධ කරගන්නේ කවදාද?

වතුරට වඩා දියමන්ති මිල ඉහළ ඇයි?

Posted in Uncategorized by arunishapiro on මැයි 31, 2021

වතුර යනු ජීවත්වෙන්නට නැතිවම බැරි වූවක් වෙද්දී වතුරට වඩා දියමන්ති මිල ඉහළ ඇයි? මෙය දියමන්ති-වතුර විරුද්ධාභාසය (diamond-water paradox) නමින් ජනප්‍රිය වූවකි. එය මේ නමින් සඳහන් නොකර ඇඩම් ස්මිත් සිට සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් විසින් කාලයක් තිස්සේ විසඳා ගන්නට උත්සාහ ගන්නා ලද විරුද්ධාභාසයකි.

දියමන්ති වලට වඩා වතුර නැතිවම බැරි වෙද්දී, ඇයි මිනිසුන් දියමන්ති වලට මේ තරම් මුදලක් ගෙවන්නටත්, වතුර වලට ඩිංගක්, සමහර විට කීයක් හෝ වැය කරන්නටත් අකමැති?

සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ට එය පහදා ගන්නට බැරි වීමට හේතුව වූයේ මිනිසුන් “වතුර” සහ “දියමන්ති” අතර දෙකෙන් එකක් තෝරා ගැනීමක් නොකරන බව ඔවුන් නොදැකීම නිසයි. වතුර යැයි අපි කියද්දී කිසිවෙක් ලෝකයේ පවතින සියළු වතුර එයට අඩංගු කරමින් සැලකිල්ලට පාත්‍රය කරන්නේ නැත. එසේම දියමන්ති යැයි අපි කියද්දී ද කිසිවෙක් ලෝකයේ පවතින සියළු දියමන්ති එයට අඩංගු කරමින් සැලකිල්ලට පාත්‍රය කරන්නේ ද නැත.

යමක් තෝරා ගැනීම යනු ක්‍රියාවකි. ප්‍රැක්සිස් (praxis) යන පුරාතන ග්‍රීක වචනයෙන් කියැවෙන්නේ නිදහස් පුද්ගලයෙක් විසින් ක්‍රියාවක නියැළෙන්නට කරන තෝරා ගැනීම යන්නයි. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සෙන්ට් ඔගස්ටීන්, ඉමැනුවෙල් කාන්ට්, සොරෙන් කියකිගාඩ්, මාටින් හෛඩෙගර්, පාවුලෝ ෆ්‍රියෙර් හා ලුඩ්විග් වොන් මීසස් යනාදීන් මෙහි විවිධ අර්ථ කථනයන් දක්වා තිබෙන අය වෙති.

කාල් මාක්ස් සිය දාර්ශනික රචනා 11 කින් හැදෙන Theses on Feuberach හි නොකියා කියා ඇත්තේ “දාර්ශනිකයන් ඉටු කර ඇත්තේ ලෝකය විවිධාකාරයෙන් අර්ථ කථනය කර තිබීම පමණක් බවත්, එහෙත් කළ යුත්තේ ලෝකය වෙනස් කිරීම බවත් ය.” 19 වැනි සියවසේ සමාජවාදියෙක් වූ ඇන්ටෝනියෝ ලැබ්රියෝලා මාක්ස්වාදය යනු ප්‍රැකිස්ස් හි දර්ශනය ලෙසින් සැලකුවේය. නව සහශ්‍රසයේ දී ද මිනිස් ස්වභාවය කුමක් දැයි හඳුනා නොගත්තවුන්ට, නිදහස් පුද්ගලයෙක් විසින් ක්‍රියාවක නියැළෙන්නට කරන තෝරා ගැනීම අනේක විධ ආකාරයන් වලින් නිර්වචනය කරන්නට හැකි වූවාට, මාක්ස්ට හා අනෙක් සියළු මාක්ස්වාදීන්ට පවා එය වෙනස් කළ නොහැකි වූ බව ඔප්පු කර ඇත්තේ ලෝක ඉතිහාසයයි.

මාක්ස්ගේ ශ්‍රම න්‍යාය උත්සාහ කළේ යම් නිෂ්පාදනයක් කරන්නට කොතරම් ශ්‍රමයක් වැය වූවාදැයි අනුව භාණ්ඩයේ අගය කියන්නට ය. ශ්‍රම න්‍යාය මත පදනම් වූ මාක්ස්වාදී අදහස් නිසා තවමත් පොත් කියවන ලංකාවේ අය පොතක පිටු ගණන දිහා බලමින් සහ පොතක් අලෙවි කොමිස් මට්ටම් 20% හා 30% ක් වෙද්දීත් ලාබ උපයා ගන්නට හැකිනම් ඇයි පොතක් අඩු මිලකට දෙන්න බැරි යැයි අහමින් සිටින්නේ අගයක ප්‍රභවය සහ ස්වභාවය ගැන නොදන්නාකමෙනි.

අගයක ප්‍රභවය සහ ස්වභාවය ගැන කාල් මෙන්ගර් විසින් ලියන්නේ අර්ථ ශාස්ත්‍රයේ සිද්ධාන්ත (1871) නම් කෘතියේ තුන්වැනි පරිච්ඡේදයේය. සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ට එතෙක් විසඳා ගත නොහැකි වූ ගැටළුවක් විසඳන්නට හේ සහාය දෙන ලදි.

ක්‍රියාවක් කරන මිනිසෙක් නිශ්චිත ප්‍රමාණයන් වලින් යුතු භාණ්ඩ අතර තෝරා ගැනීමක් කරන්නෙකි. මෙය දියමන්ති-වතුර විරුද්ධාභාසය අනුසාරයෙන් පැහැදිලි කරන උත්සාහයක් හැටියට අප ඒ මිනිසාගේ තෝරා ගැනීම වතුර බැරල් එකක් සහ කැරට් දහයක දියමන්තියක් අතර වූවක් යැයි සලකා බලමු.

වතුර යනු දියමන්තියට වඩා ප්‍රයෝජනවත් වූවක් යැයි සෑම දෙනෙක්ම පිළිගනිති.

එහෙත් මෙතැන පිළිතුර වන්නේ, තෝරා ගන්නා අය විසින් එයට දෙන අගය මත ප්‍රයෝජනවත් බව පදනම් වෙනවා යන්නයි.

මිනිසෙක් පිරිසිදු වතුර උල්පතක් ඇති කන්දක් අසල වාසය කරන්නේ ද, වතුර බැරල් එකක් දෙන්නම් කිව්වොත් ඔහු ඔබ දිහා විමතියෙන් බලනු ඇත. මන්ද ඔහුට වතුර උල්පතෙන් පිරිසිදු වතුර නොමිලේ නිතිපතා ඕනෑ තරම් ප්‍රමාණයකින් ලැබෙන බැවිනි. සමහර විට වතුර බැරල් එකක් ලැබීම ඔහු ඍනාත්මක වූ ලෙසකින් ද සලකනු ඇත. ලස්සන පරිසරයේ සුන්දරත්වය බිඳ දමන බැරල් එකක් තමන් ළඟ තබාගැනීමට සිද්ධ වීම කරදරයක් යැයි හේ සිතනු ඇත.

එහෙත් මේ මිනිසාට දියමන්ති නැතැයි සිතමු. දියමන්තියක අයිතිය ඔහුට අනගි වූවක් විය හැකියි. ඔහුට එය වතුරට වඩා අගනා වූවක් ද විය හැකියි.

එහෙත් මේ මිනිසාම අපි හිතමු සහාරා කාන්තාරය තරණයට ගියා යැයි කියා. පිරිසිදු වතුර ඇති කන්ද අසල වාසයෙන් නික්ම වී එහි යෑම නිසා ඔහුගේ තත්වය වෙනස් වී ඇත. ඔහු සහාරා කාන්තාරය තරණය කරන්නේ ඔහු සතු දියමන්තිය ද පොකැට්ටුවේ දමාගෙන කියා යැයි ද අපි සිතමු. එසේ යද්දී ඔහු සතු බොන්නට තිබි වතුර සියල්ල ම අවසන් වී ඔහු පිපාසයෙන් පෙළෙන්නේ පමණක් නොව මරණයට ද ආසන්න වී ඇතැයි ද සිතමු. එවිට සමහර විට ඔහු එක වතුර කෝප්පයක් සඳහා සිය කැරට් දහයේ දියමන්තිය දෙන්නට ද ඉදිරිපත් වෙනු හැකියි. එහෙත් එසේම සමහර විට දියමන්තියට ඇති කෑදරකම නිසා මසුරු සිතක් ඇති ඒ මිනිසා තව දුරටත් වතුරට වඩා දියමන්තිය අගය කරමින් පිපාසයෙන් මිය යෑම වඩා හොඳ යැයි තෝරා ගන්නට ද ඉඩ ඇත.

භාණ්ඩයක අගය විෂයමූලික වූවකි. කැරට් දහයක දියමන්තියක් සහ වතුර බැරල් එකක් සඳහා විවිධ පුද්ගලයන් විසින් විවිධ අගයන් දෙන්නට පෙළඹෙනු ඇත. එසේම එකම පුද්ගලයෙක් විසින් වෙනස් අගයන් වෙනස් කාලයන් වල දී දෙන්නට ද පෙළඹෙනු ඇත.

මෙන්ගර් පැවසුවේ, “අගය ඒ නිසා භාණ්ඩයක නෛසර්ගික වූවක් නෙමෙයි. භාණ්ඩයේ ලක්ෂණයක් නෙමෙයි. අපේ උවමනාවන් තෘප්තිමත් කරගනු සඳහා අගය යනු අපි යම් භාණ්ඩයකට දෙන වැදගත්කම පමණකි.”

යම් උවමනාවක් තෘප්තිමත් කරගන්නට විවිධාකාර උත්සාහයන් හි යෙදෙන්නට හැකියාව මිනිසාට ඇත. අයෙක් මුලින් තමන් වැදගත් යැයි සිතන දේවල් සඳහා වතුර පාවිච්චියට ගන්නට සිය අතමිට වැය කරයි. මෙය තාර්කික අවශ්‍යතාවය මත එළඹෙන නිගමනයකි. අයෙක් මුලින් ම තෘප්තිමත් කරන්නේ එයා තමනට වැදගත්ම වූව යැයි සැලකෙන උවමනාවයි.

වතුර නැති අයෙක් වතුර මුලින් ම පානය පිණිස ගනියි. පිපාසයෙන් මැරෙන්නට සිද්ධ නොවන තරම් වතුර ප්‍රමාණයක් තමනට ඇතැයි දකිද්දී උයන්නට පිහන්නට වතුර පාවිච්චි කරගනු ඇත. එකිනෙකින් එකිනෙකට ලැබෙන අමතර වතුර බාල්දිය යනු වැදගත් යැයි නොසැලෙකන අනිකුත් දේවල් සඳහා යොදාගන්නා වතුර බවට පත්වේ. එහි දී කෙමෙන් ප්‍රයෝජනවත් බව යන්න අඩු වී යයි.

යමක අගය ගැන ගැටළුව තෝරාගැනීමක් ඉදිරියේ දී විසඳී යන්නකි. අවිනිශ්චිත ලෝකයක වැරදි සිදුවීම් නිතර දකින්නට හැකියි. තෝරාගැනීමේ ක්‍රියාවක් කරන්නා හැම විටම තීරණයක් ගන්නේ අවිනිශ්චිත අනාගතයක් ගැනයි. ඒ නිසා වැරද්දක් සිදුවීම නිරන්තරයෙන් අපේක්ෂා කළ යුත්තකි. නිශ්චිතව සිද්ධ වෙන්නේ මෙසේ යැයි දන්නා ලෝකයක අප ජීවත්වෙන්නේ නම්, එවැනි ලෝකයක යමක් තෝරාගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලය වෙනස් කරන්නට නොහැකි නම්, එවිට තෝරාගැනීම් කරන්නට අවශ්‍යතාවයක් නැත. එහෙත් එවැනි නිශ්චිත ලෝකයක අප ජීවත් නොවන නිසා අපට ක්‍රියාවන් තෝරාගන්නට සිද්ධ වී ඇත. අප අනුමාන කරන දේවල් මෙන් ම නොසිතු දේවල් ද සිද්ධ විය හැකියි. අයෙක් සතු වතුර වෙනත් අයෙක් සොරාගත්තේ ද නැවත ඒ ගැන තීරණයක් ගන්නට සිද්ධ වෙද්දී ඒ අය විසින් වතුර සඳහා දෙන අගය වෙනස් විය හැකියි.

නූතන මනසට අතිශයෙන් නුහුරු මතියක්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 22, 2021

මතියක් (notion) කියන්නෙ තමන් දන්න, තමන් අත්දැකපු, හෝ තමන්ට පරිකල්පනය කළ හැකි (imagine) සංකල්පයක්, හැඟීමක්. දර්ශනය යන විෂයයේ දී සැබෑ වස්තු සහ ප්‍රපංඥ වල දී ඒවායේ ප්‍රධාන ලක්ෂණ පිළිබඳ සබඳතාවයන් වලින් මනසේ ඇති කරගන්නා වූ සංකල්පයක් නැත්නම් හැඟීමක් අපි මතියක් හැටියට සලකනවා.

මොකද්ද මේ නූතන මනසට අතිශයෙන් නුහුරු මතිය?

සද්ගුණය වනාහී එහි නෛසර්ගික වූ අරමුණ හා බැඳී පවතිනවා යන මතිය.

මේ විදියෙ වචන වලින් මේ විදියෙ අදහස් ගැන කතා කරන්න නොදන්න සමාජයක දී එහි පුරවැසියන් අතර රටේ නීති ගැන දැනුම අවම වෙනවා. එහි දී අලුතින් ගෙනෙන ඕනෑම නීතියක් දිහා බලන්න හුරුවෙන්නෙ එය පැනවීම සඳහා නීතිමය බලයක් පාලනයේ සිටින ආණ්ඩුවට ඇතැයි යන විශ්වාසයෙන්.

දකුණතින් බාගත කරගත හැකි “කොමියුනිස්ට්වාදයේ කළු පොත” කියවලා ඇති අය දන්නවා කොමියුනිස්ට් රටවල්වල මිලියන 100 ක් පමණ ජනතාවක් මිය ගියේ ඒ රටවල බලයේ සිටි ආණ්ඩු විසින් පනවන ලද නීති නිසා කියල. සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ නාට්සීන් විසින් යුදෙව්වන්ව මරා දැමුවේත් ජනතාව පත්කරගත් ආණ්ඩුවක් විසින් ගෙනෙන ලද නීති අනුව.

ආණ්ඩුවකට ගෙනෙන්න හැකි නීතිය සහ ස්වභාවික නීතිය අනුව ආණ්ඩුවක් ගෙනෙන නීතිය අතර ඇති වෙනස ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන් ඇමෙරිකන් විප්ලවය සහ ප්‍රංශ විප්ලවය අතර වෙනස දිහා බැලුවම.

ජෝන් ලොක් විසින් ඉදිරිපත් කරපු සිද්ධාන්ත, ඒ කියන්නෙ ඒකීය පුද්ගලයා සතු අයිතීන්, සමාජ සද්ගුණයක ඇති අගය, ඒකීය පුද්ගලයන්ගේ අයිතීන් ආරක්ෂා කරන විදියට සැකසුණ රාජ්‍ය පාලන ක්‍රමයක් යනාදිය ඇමෙරිකන් විප්ලවයෙන් දකින්න ලැබෙනව.

ඡෝන් ජාක් රූසෝ විසින් ඉදිරිපත් කරපු “පොදු කැමැත්ත” අනුව, ඒ කියන්නෙ පරණ විදියට හිතන පතන යදම් වලින් නිදහස් වෙච්ච, තවත් විදියකින් කිව්වොත් සද්ගුණයෙන් නිදහස් වූ අපෝහන (reason) ක්‍රමයක් අනුවයි ප්‍රංශ විප්ලවය හටගත්තේ. මේ පරණ විදියට හිතන එක අත් හරින්න කියන එක දේශපාලන ගුණ්ඩුවක් විතරක් නෙමෙයි. පරණ විදිය මොකක්ද කියා නොදන්නා අය ඒ තමන්ට දෙන එකම ක්‍රමය වූ අලුත් හිතන ක්‍රමය නිසා තමන්ගේ හෘද සාක්ෂිය කියන දේ මොකද්ද කියා වටහා ගන්න අසමත්. මිනිස් නිදහස යනු කුමක්ද කියා වටහා ගන්න අසමත්.

අපි ජීවත්වෙන්නෙ භෞතික ලෝකයක. ගස් ගල් කඳු වනාන්තර වැනි එක එක දේවල් පිරිච්ච, ඒ වගේම පරිසිද්ධි (facts) බහුල ලෝකයක. ගහක් ගලක් කියන්නෙ හොඳ හෝ නරක දෙයක් නෙමෙයි, ඒක ගහක් නැත්නම් ගලක්. ඉපදුනාම මැරෙනවා. ඒක පරිසිද්ධියක්. ඒකෙන් අගැයුමක් ලැබෙන්නෙ නැහැ. මෘග ආකාරයකින් පෙනෙන පරිසිද්ධි මහත් රාශියකින් අපි ජීවත්වන ලෝකය පිරිලා තියනව.

ඒ විදියට තමයි නූතන දාර්ශනිකයන් බොහොමයක් හිතන්නෙ.

ඇරිස්ටෝටල් වැනි ග්‍රීක දාර්ශනිකයන් සහ ඒ අනුව යන ජෝන් ලොක්, එංගලන්තයේ නීති ගැන අටුවා ටීකා බොහොමයක් ඉදිරිපත් කළ 18 වැනි සියවසේ විනිසුරුවෙක් වූ සර් විලියම් බ්ලැක්ස්ටොන්, දේශපාලන දාර්ශනිකයෙක් වූ ප්‍රංශ ජාතික මොන්ටෙස්ක්‍යු යනාදීන් ඒ විදියට නොහිතන ලද අයයි.

ස්වභාව ධර්මයේ යම් අරමුණක් හොයාගන්න වෑයමක් ඔවුන් අතින් සිද්ධ වෙනව. ස්වභාව ධර්මය හුදු ස්වභාව ධර්මය පමණක් නොවේ. එහි යම් සද්ගුණයක් අඩංගු වෙනව කියල ඔවුන් මතියක් ගොඩනඟා ගන්නව.

ලෝකයේ නැත්නම් ස්වභාව ධර්මයේ ඇති සෑම වස්තුවක් තුළම යම් අරමුණක් සාක්ෂාත් කරන ධාරිතාවක් අඩංගු යැයි ඔවුන් අදහස් කරනව. එනම් ලෝකයේ ඇති සෑම වස්තුවක්ම යම් අවසානයක් ඉලක්ක කරගත්තක්, එයට ඔවුන් යොදා ගන්න ග්‍රීක වචනය ටෙලොස් (telos).

යම් වස්තුවක නෛසර්ගික වූ අගය යනු එහි අරමුණ සාක්ෂාත් කරගත හැකි ධාරිතාවේ පවතින්නක්.

උදාහරණ විදියට ගත්තොත්, මුරුංගා ගහක් ගත්තොත් එයින් මුරුංගා ලැබෙනවා නම්. මල් පැලයක් ගත්තොත් එහි මල් පිපෙනවා නම්. ඔරලෝසුවකින් හරියට වේලාව කියන්න පුළුවන් නම්. එළදෙනක් නම් කිරි එරෙනවා නම්, යනාදී වශයෙන් අරමුණ සපුරනවා නම් එය සද්ගුණවත් වස්තුවක්.

මිනිස් සත්වයා කියන්නෙත් ටෙලොස් අඩංගු වූවෙක්. සතෙක්, මෘගයෙක් විදියට කටයුතු කරන්නෙ නැතිව මිනිස් විදියට කටයුතු කරන හැකියාව සතු වූවෙක්. ඒ කියන්නෙ අපෝහනය (reason), විනිශ්චය කරත හැකියාව (judge), සහ විචාරවත් ලෙසින් සලකා බැලිය හැකියාව (deliberate) යනු මිනිසා තුළ පවතින ටෙලොස් කියා ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන දෙන්නාම එකඟ වෙනවා. මේ අවසාන අරමුණ සද්ගුණය හා බැඳී පවතින්නක් මිසෙක එයින් නිදහස් වූවක් නොවේ.

අපේ අපෝහන හැකියාව භාවිතා කරල අප අවට ඇති සියළු දැයේ අරමුණ තීරණය කරන්න හැකියාවක් මිනිසා යන සත්වයාට තියෙනවා යැයි ඇරිස්ටෝටල් පෙන්වා දුන්නා.

අද අපි ඒ සද්ගුණය හා බැඳී පවතින අපෝහන (reason) හැකියාව ගැන ඉගෙනීම අත්හැරලා. ඒ නිසා වියවුල් මතවාද බොහොමයක පැටලිලා. හිතන්නෙ තනිකරම හැඟීම් වලින් මිසක් බුද්ධිය භාවිතයෙන් නොවේ. එහි දී සද්ගුණය තවත් පිරිහෙනවා. පුද්ගලික අයිතීන් ආරක්ෂා නොකර පොදු කැමැත්ත ඉටු කරන්න හැකි යැයි විශ්වාස කරනවා.

මිනිස් සත්වයා කියන්නෙ උපන්නාට පසුව තමන් විසින් සියල්ල ඉගෙන ගන්න ඕන සත්වයෙක්. මිනිස් සත්වයාට කියල දෙන්න කවුරු හරි කෙනෙක් ඉන්නත් ඕන. දැනුම කියන්නෙ අපි පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යා යුත්තක්. අපි යම් පරම්පරාවකට දැනුම ලබා දීම අමතක කරල, අතපසු කරලා දානවා නම්, එහි දී ඵලවිපාක විඳින්නෙ ඒ පරම්පරාව විතරක් නෙමෙයි.

ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් දක්වන මිනිසා තුළ පවතින ටෙලොස් අනුව තමයි ස්වභාවික නීතිය ඇතිවෙලා තියෙන්නෙත්. ඉතින් එයට පටහැනි නීති පැනවීමේ දී, එනම් යම් සමාජයක් මිනිසා මෘගයෙක් විදියට සලකනවා නම්, අපිට එහි දී අත් විඳින්න ලැබෙන ප්‍රතිඵලත් අමානුෂික වෙනවා.

ප්‍රතිකාර සහ ප්‍රතිචාර

Posted in Uncategorized by arunishapiro on මාර්තු 26, 2020

ලෝකය පුරා නිවාස අඩස්සියේ සිටින අය ගෙන් දැන් කඩදොර සහ රැකියා ස්ථාන විවෘත කරන්න යැයි ඉල්ලීමක්, හෙමින් හෙමින් ඇහෙන්නට පටන් ගෙන. වෛරසය පැතිරයාම මර්ධනය කරන්නට හැකි එකම ක්‍රමය වනුයේ නිවාස අඩස්සිය නම්, ඒ නිසා ඇතිවන ආර්ථික අලාබ මෙන්ම එයින් ඇතිවන අනෙකුත් අයහපත් සෞඛ්‍ය තත්වයන් නිසා මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිද්ධවිය හැකියාවත් ගැන කතාබහ පටන්ගෙන ඇති බව දකින්නට හැකියි.

ප්‍රතිකාර සහ ප්‍රතිචාර සම්බන්ධයෙන් මිනිසා සිතන්නට හුරුවෙන්නේ කෙසේදැයි (මිනිස් ස්වභාවය) ගැන ලියන සටහනකි මේ.

රෝගයක් සුවකරන්නට අනුගමනය කළ යුතු දෑ පිළියම් නැත්නම් ප්‍රතිකාර ලෙසින් දැක්වෙයි. බෙහෙත් මෙන්ම ඒවා ගන්නට පෙර ආහාරයක් අනුභව කළ යුතුද, ඒවා ගැනීමෙන් පසු රිය පැදවිය නොයුතුද යනාදී වශයෙන් ප්‍රතිකාරය සඳහා තවත් පිළිපැදිය යුතු උපදෙස් ලැබේ.

ප්‍රතිචාරයක් යනු කුමක්ද? යමකට ප්‍රතිචාරයක් (reaction) දැක්වීම යන්න අයෙක් වටහා ගන්නේ කුමක්ද?

මිනිස් සත්වයාට තමන් මුහුණ පාන නුහුරු සිද්ධියක් හමුවේ ඒ ගැන යම් පියවරක් ගන්නට සිද්ධ වෙයි. එය සතුටුදායක සිද්ධියක් හෝ ඛේදනීය සිද්ධියක් විය හැකියි. ඒ දෙකේදීම අවශ්‍ය නිසියාකාර ප්‍රතිචාරයක් දැක්වීමයි. සිද්ධිය සහ ඉන් ඇතිවන ඵලවිපාක ගැන ඉක්මණින් සොයා බලා, එයින් ලබාගත හැකි අවසන් ඉලක්කය කුමක්දැයි තීරණය කරගත යුතුයි. අනතුරුව ඒ ඉලක්කය කරා යන්නට හොඳම ක්‍රමය කුමක්දැයි ගණනය කරයි.

පාසැලේ තැන් තැන්වල කට්ටි පනිමින් සිටියදී ගුරුවරුන්ට අසුවෙන්නට යන කළ, ඔවුන්ට පෙනී සිට ගැලවෙන්නටත්, ඔවුන්ට නොපෙනෙන සේ මාරුවී යන්නටත් දක්වන ප්‍රතිචාරය මේ ආකාරයෙන්, වහාම තෝරා ගැනීමේ කල්පනා ශක්තිය සහ හැකියාව ඔබට තිබුණා නොවේදැයි කල්පනා කර බලන්න. ඒ ප්‍රතිචාරය ගැනීමට, කළින් අවස්ථා හා ඒ නිසා ලැබුණු ඵලවිපාක හේතු වූවා නේදැයි කියාත් සිහි කරන්න.

මත්පැන් පානයෙන් වැළකීමෙන් මේ මේ රෝගාබාධ වලින් ආරක්ෂා විය හැකි යැයි ගැන දැනුම ලොව තිබුණත්, අනාගතයේ විය හැකි තත්වය නොසලකා හැර අද සතුට පිණිස මත්පැන් සහ සිගරට් පානය තෝරාගන්නා අය ලොව සිටිති.

තෝරාගැනීම් පැහැදිලි කරන්නට ඇරිස්ටෝටල් යොදාගත් වචනයක් වූයේ prohairesis යන්නයි. බොහෝවිට එය ඉංග්‍රීසියෙන් පරිවර්තනය වෙන්නේ “choice” කියායි. pro යන්නෙන් කළින් (before) නැත්නම් පක්ෂපාතීව (in favor of) යන්නත්, hairesis යන්නෙන් ගන්න, නැත්නම් අල්ලාගන්න, හෙවත් තෝරාගන්න (choose) යැයි කියැවේ. ඉතින්, prohairesis යනු පුද්ගලයෙකුට නිදහස් තෝරාගැනීම් අතරින් සිහිනුවණින් කල්පනා කර යම් ක්‍රියාවක නියැළෙන්නට හැකියාවයි.

මුහුණ දෙන සිද්ධීන් ගැන තෝරාගැනීම් නොකර සිටීමට කිසිවෙකුට නොහැකියි. කුමන සමාජයීය පසුබිමක, කුමන දේශපාලන ක්‍රමයක ජීවත් වුවත්, පුද්ගලයා තමන් හමුවේ දිගහැරෙන සිද්ධියේ දී තමන් විසින් තෝරාගැනීමක් කළ යුතුයි.

තමන් කරන තෝරාගැනීම සඳහා පුද්ගලයා තොරතුරු ලබාගන්නේ කොතැනින්ද?

යල්පැන ගිය සහ ඔප්පු නොකරන ලද මතවාද තමන් පිළිපැදිය යුතු සත්‍යය ලෙසින් බාරගෙන තම ‘තෝරාගැනීම’ කරන්නේද, ඒ පුද්ගලයාගේ ජීවිතයට සහ ඒ නිසා ඔහු ජීවත්වන සමාජයට එයින් යහපතක් සිද්ධ නොවේ.

පැතිර පවතින තොරතුරු අතරින් සත්‍යය කුමක්ද යැයි කියා තෝරාගන්නට, එනම් එයට පක්ෂපාතීව එය අල්ලාගන්නට (prohairesis), මිනිසා තුල ස්වභාවයෙන්ම පවතින හැකියාවක් ඇත. අසත්‍ය මතවාද වැඩියෙන් පැතිර පවතින පරිසරයේ දී මිනිසා එයට දැඩි වෙහෙසක් ගත යුතුවේ.

සැබෑ තතු වසන් කරමින් නීති ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකින් හටගෙන පැතිර යන අවාසනාවන්ත තත්වයක් මැඬලීම දුෂ්කර වූවකි.

එසේම සියල්ලන්ගේම සිත් සැනසීම පිණිස ඕනෑවට වඩා වැඩියෙන් ප්‍රතිචාර දක්වන නීති ක්‍රියාත්මක කිරීමෙන්ද ඇතිවෙන්නේ අවසානාවන්ත තත්වයකි. ඇමෙරිකාවේ දේශපාලනඥයන් තමන් යමක් කළා යැයි පෙන්වන්නට අනුන්ගේ සල්ලි නැවත බෙදාහරින ගිවිසුමකට අත්සන් කර අද ‘වීරයන්’ වී සිටිති.

සිහිනුවණින් කටයුතු කිරීමට මිනිසා නොදන්නේය යන්න සියල්ලන් සඳහා සැලසුම් ගෙනෙන්නට රිසිවූ අයගේ මතයයි.

ඒත්, අද කදිම ලෙසින් පෙනී යන්නේ සියල්ලන් සඳහා සැලසුම් වැඩිවූ වාතාවරණයක හැදෙන වැඩෙන මිනිසා තම හිතසුව පිණිස තීරණ ගැනීමේ හැකියාවක් නොදක්වන බවයි. උතුරු කොරියාව වෙඩිතබා මරන්නටත්, රුසියාව වසර පහක් සිර දඬුවමක් නියම කරන්නේ නිදහස් රටවල මිනිස්සු රජය කියන්නටත් පෙර ගෙවල්වලට වැදී දොරවල් වසාගනිද්දීය.

දැඩි නීති වැඩියෙන් දකින්නට ලැබෙන්නේ සාමූහිකත්වයේ බලය ගැන ප්‍රශංසා කරන බහුතර රටවැසියන් සහ ඒ සඳහා පෙනී සිටින පාලකයන් බලයේ සිටින රටවල්වලින් වීම අරුමයක් නොවේ.

සැබෑ තතු සැඟවීමත් එමෙන්ම ඕනෑවට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීමත් දෙකම නුසුදුසු වෙන්නේ ඇයි?

තත්වයට හටගෙන එතැනින් ලෝකය පුරා පැතිර ගිය ආකාරය අද උවමනාවක් ඇති අයෙකුට පහසුවෙන් සොයාගැනීමට හැකියි. ඒත්, එයින් තමන්ට පෞද්ගලිකව සිද්ධ වෙන හදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තවමත් අපහසුයි.

යම් සිද්ධීන් දිග හැරෙද්දී ඒ ගැන “යමක් නොකිරීමත්”, මෙන්ම “උවමනාවට වැඩියෙන් යමක් කිරීමත්” යන දෙකේම ඵලවිපාක ගැන අයෙක් සිහිනුවණින් බලන්නේ කෙසේද?

වෛරසය වැළඳීම ගැන බියවෙන පුද්ගලයා ඒ ගමන්ම මේ තත්වය නිසා තමන්ගේ ජීවිතය උඩ යටිකුරු වී තිබීම ගැනත් බියව සිටියි.

දන්නා කියන හැමෝම මේ දිනවල වසංගත පාලනය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ගත්තවුන් මෙන් හැසිරීම, (ඒවා සැබැවින්ම විශ්වාස කරන අය අඩු නිසා), මෙහි දී අපි බැහැරකට දමමු. ඒත්, රටේ දේශපාලනඥයන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරු, පමණක් නොව මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් ද, විවිධ අදහස්, ප්‍රතිවිරුද්ධ අදහස් සහ ‘මෝඩ තකතීරු’ නිර්දේශ ගෙන ඒම නිසා ඒ ගැන තම සිහිනුවණ අනුව තීරණයක් ගන්න කැමති පුද්ගලයා තව දුරටත් පඹ ගාලක පැටලේ.

ඉහළින් එන නිවේදන සහ තමන් අවට අනිකුත් අයගේ හැසිරීම් අනුව ජීවිතයේ මුහුණ දෙන සිද්ධියකට ප්‍රතිචාර දක්වන්නට මිනිසා හුරුවී සිටියි. නමුත් මිනිසා හැම විටෙකම ඒ ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේ සුවසෙත වෙනුවෙනි.

සියල්ලන්ට එක නීතිය පවතින රටක බහුතරය පෝලිම් නොකඩා ඉන්න හැදියාවත්, නීතිය විවිධ ලෙසින් ක්‍රියාත්මක වන රටවල්වල බහුතරය පෝලිම් කඩාගෙන යන හැදියාවත් මිනිසා ස්වාර්ථය වෙනුවෙන් අනිකුත් අයගේ හැසිරීම් අනුව යමින් දක්වන ප්‍රතිචාරයයි.

අපි දන්නවාට වැඩියෙන් යමක් අපි දන්නවා යැයි සිතාගෙන සිටීම මිනිස් හැදියාවකි. එලෙස සිටියදී හිටිහැටියේ ඇතිවූ නොදන්නා තත්වයක් හමුවේ කටයුතු කරන්නේ කෙසේදැයි කියා මිනිසාට සිතාගත නොහැකියි. ඒ තත්වය තවත් බරපතල වනුයේ අපිට සිහිනුවණින් කටයුතු කිරීමට ඉඩක් නොලැබී යද්දී ය. එක්කෝ ඒ ගැන ඊට කළින් අත්දැකීම් නැත. නැත්නම් ප්‍රමාණවත් තොරතුරු නැත. තමන්ගේ රජය නිතරම බොරු කියනවාය යන්න 2020 වසරේ ජීවත්වන සෑම පුරවැසියෙක්ම යම් තරමකට හෝ විශ්වාස කරයි.

නුහුරු තත්වයක් පැන නැඟී ඇති විට, “පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීම, පමණට වඩා අඩුවෙන් ප්‍රතිචාර දැක්වීමට වැඩියෙන් සුදුසු” යැයි අහන්නට ලැබේ. පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීම හොඳ යැයි කීම මතුපිටින් නිවැරදි යැයි පෙනෙන්නකි. අඩුවෙන් ප්‍රතිචාර දැක්වීම නිසා, හදිසි අවස්ථාවක දී සිද්ධ වෙන අවසන් ප්‍රතිඵලය මරණය වේ නම්, එම ඛේදනීය තත්වය එයින් මඟ හරවා ගත හැකියාව ලැබේ යැයි එයින් හැඟවේ. අඩුවෙන් ප්‍රතිචාර දැක්වීම නිසා ඇතිවන තත්වය ගැන දැනගත හැකියාවක් අපිට නොලැබෙන නිසා, “පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීම සුදුසුයි” කියන අය වැරදි යැයි කියා පෙන්වන්නට ඉඩක් ලැබෙන්නේම නැත.

දේශපාලන බලතණ්හාධිකයන් විසින් හටගෙන තිබෙන තත්වය ගැන ජනතාව දැනුවත් කර ඔවුන් විසින් ඔවුන්ගේ සෞඛ්‍යය රැකගන්නට සිහිනුවණින් කටයුතු කරන්න යැයි දැනුම් දීම වෙනුවට අද දිග හැරෙන්නේ හැමදාම ඔවුන් යත්න දැරූ සියල්ලන්ටම නීති හදන්නට හැකි ඒත් විවිධ අයට විවිධ ලෙසින් නීති මෙහෙයවන වෑයම් සඳහා කදිම අවස්ථාවක් පෑදී තිබීමයි.

පුද්ගලයෙක් විසින් තමන්ට ගන්නා තීරණයක දී, පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වූයේ නම් එහි දී ඇතිවෙන ඵලවිපාකය ඔහු සහ ඔහුගේ සමීපතයන්ට පමණක් බලපායි. එක් පුද්ගලයෙක් ගත් තීරණයක්, සමස්ත සමාජයකට බලපාන්නේ ඉතා අඩු ප්‍රමාණයකිනි.

ඒත් එක් පුද්ගලයෙක් ආණ්ඩුවේ බලය සියතට ගෙන ප්‍රතිචාර දක්වන්නේ නම් එහි දී සමස්ත සමාජයට දැඩි බලපෑමක් කළ හැකියි. ‘සාමූහික බලය’ යැයි අයෙක් රවටන බලය හැම විටම සියල්ලන්ගේ බලය නොව ‘එක පුද්ගලයෙක්’ නැත්නම් ‘පුද්ගලයන් කිහිපදෙනෙක්’ අත පවතින බලයයි. ඉතින් ඒ එක පුද්ගලයා හෝ පුද්ගලයන් කිහිපදෙනා විසින්, නොහොත් ආණ්ඩුවක් විසින් පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීමේ දී එයින් එම සමාජයේ සියල්ලන්ටම ඵලවිපාක විඳින්නට සිද්ධ වේ.

ඇඩම් ස්මිත්ගේ අදිසි හස්තය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 28, 2016

නිදහස් වෙළඳපොල රසිකයන් වෙතින් ඇඩම් ස්මිත් උස්සා තමන්ගේ කඳවුරට දමා ගැනීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් යැයි කියාගත්තවුන් උත්සාහයක් ගත්තේ 2011 දී ය. එමා රොත්ස්චයිල්ඩ් නම් කේම්බ්‍රිජ් අර්ථ ශාස්ත්‍ර ඉතිහාසඥවරිය සහ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක ගෝර්ඩන් බ්‍රවුන්, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලන මහාචාර්ය ඉයෙන් මැක්ලීන් සහ චිකාගෝ හි ඉලිනොයි විශ්ව විද්‍යාලයේ දර්ශන මහාචාර්ය සැමුවෙල් ෆ්ලයිචකර් යනාදීන් ඊට උත්සාහ කළ අය අතර සිටියහ.

ඇඩම් ස්මිත් ‘රැඩිකල් සාමානාත්මතාවාදියෙක්’ යැයි ඔවුන් කියති. ආර්ථික ලිබරල්වාදය අනුමත කරන ස්මිත් වෙළඳපොල අසාර්ථකත්වය අගයන ලද්දෙක් වූවා යැයි ඔවුන් කියති. “මිනිස් සමානාත්මතාවය” සහ “සාධාරණ බෙදාහැරීම” වෙනුවෙන් “රුදුරු නිදහස් වෙළඳපොල ධනවාදය” ස්මිත් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ යැයි ඔවුන් කියති.

ඇඩම් ස්මිත් යනු කුලිය ඉල්ලන ඉඩම් අයිතිකරුවන්ගේ, ඒකාධිකාර වෙළෙන්ඳන්ගේ, සහකාරීව වානිජ සැලසුම් හදන ව්‍යාපාරිකයන්ගේ මිතුරෙක් නොවනවා යැයි ද ඔවුන් කියති. රජයේ අධීක්ෂණය යටතේ නොමිලේ බෙදන අධ්‍යාපනය, විසල් පරිමාණයේ මහජන කටයුතු, ගිනි පොලි නීති, ප්‍රගතිශීලි බදු පමණක් නොව නිදහස් වෙළඳාමට සීමා දැමීම වෙනුවෙන් ද ඇඩම් ස්මිත් පෙනී සිටියා යැයි ද කියති.

ඔව්, ඔවුන් මේ කියන්නේ ස්කොට් ජාතික දාර්ශනිකයා වූ අප සියල්ලන්ම දන්නා ‘ජාතීන්ගේ ධනය’ පොත ලියූ ඒ ඇඩම් ස්මිත් ගැනම තමයි!!!

ඉතින් සුප්‍රසිද්ධ ඒ ‘අදිසි හස්තය’ නම් ස්මිත්ගේ අදහස ගැන මොවුන් කුමක් කියත් ද?

අයෙක් තම ස්වාර්ථය සොයා යද්දී, [සෑම ඒකීය පුද්ගලයෙක්ම] විසින් සමාජයේ එය ප්‍රවර්ධනය කිරීමට අත දෙන්නා වූව?

ලුඩ්විග් වොන් මීසස් සිට නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටින අර්ථ ශාස්ත්‍රඥයන් බාධක නොමැති වෙළඳපොල ගැන වූ බලවත් සංකේතයක් හැටියට මෙතෙක් සලකා තිබෙන්න?

ඇඩම් ස්මිත් විසින්ම “ස්වභාවික නිදහසේ ක්‍රමය” යැයි හැඳින්වූව?

මේ නව අර්ථකතනයන් සපයනවුන් ස්මිත්ගේ ‘අදිසි හස්තය’ යන්න “නිකමට ලියූ, උපහාසාත්මක වූ” සඳහනක් යැයි දක්වමින් ස්මිත් ඊට වැඩියෙන් පක්ෂපාතී වූයේ “උදව්කරන අතක්” වෙනුවෙන් යැයි කියති. ‘ආචාර ධර්ම මනෝභාවයන්ගේ න්‍යාය’ (1759) සහ ‘ජාතීන්ගේ ධනය’ (1776) යන නම් වලින් ස්මිත් ලියූ ප්‍රධාන කෘති ද්විත්වයේම “අදිසි හස්තය” සඳහන් වී ඇත්තේ එක වතාවක් බැගින් පමණක් යැයි ද ඔවුන් උලුප්පා දක්වති.

ඒ ගැන කොතරම් අඩුවෙන් ස්මිත් කියා ඇත්තේ ද කිව්වොත් 19 වැනි සියවසේ ඇඩම් ස්මිත්ගේ අදහස් පිළිබඳ සංවාදයන්හි මේ සඳහන ගැන කතාබහක් ඇති වූයේ ඉතා කලාතුරකිනි. ජාතීන්ගේ ධනය කෘතියේ වසර ශතකයේ අනුස්මරණය සඳහා 1876 දී උත්සව පැවැත්වෙද්දී ද ඒ ගැන කිසිත් අවධානයක් එල්ල වූයේ නැත. විසිවැනි සියවස පටන්ගෙන කාලයක් යනතුරු ද, “අදිසි හස්තය” යන්න විෂය අනුක්‍රමණිකා සංලේඛයක් හැටියට කිසිම විෂයයකට එකතු වූයේ නැත. නූතන පුස්තකාල සංස්කරණයට මැක්ස් ලර්නර් නැමැත්තා එය සූචියක් (index) එකතු කරන ලද්දේ 1937 දී ය. ඉතින් පැහැදිලිවම විසිවැනි සියවස තෙක් අදිසි හස්තය යන්න පාඩුවේ ඉන්න දෙන්න (laissez faire) හි ජනප්‍රිය සංකේතයක් නොවීය.

ඉතින් ඉහත සඳහන් කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ඇඩම් ස්මිත්ගේ මනෝභාවයන් නිවැරදිව තක්සේරු කර ඇත් ද?

ඔහු ‘ස්වභාවික නිදහසේ ක්‍රමය’ යැයි හැඳින්වූවට ඒ රූපක වාක්‍යය (metaphor) කේන්ද්‍රීය වූවක් ද නැත්නම් එය අද්දරකින් තිබුනක් හෙවත් උපාන්තික වූවක් ද?

මිල්ටන් ෆ්‍රීඩ්මන් මේ අදිසි හස්තය සංකේතය යනු සහයෝගීතාවයෙන්, ස්ව රෙගුලාසිකරණයෙන් “අපේ ආහාර, අපේ වස්ත්‍ර, අපේ නිවාස නිෂ්පාදනයට … මැදිහත්වීමක් නොමැතිව මඟපෙන්වීමක් ගෙනෙන වෙළඳපොලේ බලය” ගැන කියා පාන “තීක්ෂණ බුද්ධියක්” ලෙස හඳුන්වයි. අර්ථ ශාස්ත්‍රඥ ජෝර්ජ් ස්ටීග්ලර් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය කෘතියේ වැඩියෙන්ම වටිනා වූව හැටියටත් “සියළු අර්ථ ශාස්ත්‍රයන්ගේ වැඩියෙන්ම වැදගත් ස්වාධීන ප්‍රස්තුතය” හැටියටත් අදිසි හස්තය සලකයි.

අර්ථ ශාස්ත්‍රඥ ගැවින් කෙනඩි ඔහු ලියන ලද මුල් රචනාවල දී අදිසි හස්තය යනු ස්මිත් විසින් පසුව සිතූවක් පමණක් යැයි ද, සීමිත අගයකින් යුතු “නිකමට කියූ රූපක වාක්‍යයක්” යැයි ද කියා ඇත. අර්ථ ශාස්ත්‍ර ඉතිහාසඥ එමා රොත්ස්චයිල්ඩ්ට අනුව “ස්මිත් අදිසි හස්තය එතරම් ඉහළින් සැලකුවේ නැතැයි මම සඳහන් කරන්නට කැමැත්තෙමි … එය ඔහුගේ න්‍යායට වැදගත් නොවූ ස්මිත්-නොවූ’ අදහසකි,” යැයි ද එය ‘මඳක් ironic විහිළුවකට’ වඩා වැඩි වූවක් නොවේ යැයි කියයි.

කවුද නිවැරදි?

මේ විවාදයට වැදගත් රසවත් සොයාගැනීමක් ඉදිරිපත් කරන්නේ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර මහාචාර්ය ඩැනියෙල් ක්ලයින් විසිනි. අපේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බැස්ටියාට් සංගමයේ රැස්වීමකට අපි මහාචාර්ය ක්ලයින් ගෙන්වා ගෙන ඇත්තෙමු. ඔහු ඇඩම් ස්මිත් ගැන කළ දේශනයට සවන් දීමටත් එය අවසානයේ දී ඔහු වෙතින් ප්‍රශ්න අහන්නට තරම් මම වාසනාවන්ත වූ බව මෙහි දී සඳහන් කළ යුතුමයි.

සැන්ටා ක්ලාරා විශ්ව විද්‍යාලයේ දේශපාලන දාර්ශනිකයෙක් වන පීටර් මිනොවිට්ස් ‘අදිසි හස්තය’ සඳහන් වාක්‍ය්‍ය ස්මිත්ගේ පොත් දෙකේ මැද්දක පැවතේ යැයි කියන ලද්දක් ඇසී ක්ලයින් විසින් ගවේෂණයක් පටන් ගත්තේය. මේසන් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක බ්‍රැන්ඩන් ලූකාස්ගේ සහායෙන් ඔහු සිය ගවේෂණ තව දුරටත් ගෙන ගියේය. ස්මිත් විසින් “සිය ග්‍රන්ථයන් මැද්දෙහි ‘අදිසි හස්තයකින් මඟ පෙන්වීමක් ලැබීම’ ගැන සඳහන දැඩි අරමුණකින් යුතුව තබන ලද්දක්” යැයි ද ඒ සංකල්පය “ස්මිත්ගේ චින්තනයේ විශේෂ සහ ධනාත්මක වැදගත්කමකින්” යුතු යැයි ද 2011 මාර්තු මාසයේ දී Ecnomics Affairs නම් ශාස්ත්‍රීය සඟරාවෙන් ක්ලයින් හා ලූකාස් වාර්තා කළහ.

ක්ලයින් සහ ලූකාස් ඔවුන්ගේ පරිපූර්ණ තොරතුරු නොමැතිව එළඹුන නිගමන මූලික කරුණු දෙකක් මත පදනම් කරගනිති. පළමුවෙන්ම, ඒ රූපක වාක්‍යය පවතින ස්ථානයයි. “අදිසි හස්තයකින් මඟ පෙන්වීමක් ලැබීම” (led by an invisible hand) යන එකම සඳහන ‘ජාතීන්ගේ ධනයේ’ පළමු හා දෙවැනි සංස්කරණ දෙකේ හරි මැද්දෙන්ම වගේ ලියා තිබීමයි. එය මැද්දෙන් ඉවතට ගිහින් ඇත්තේ පසු සංස්කරණ වල දී සූචිය සහ අනෙකුත් කරුණු එකතු කරන ලද බැවිනි.

එසේම නැවතත් ‘සදාචාර මනෝභාවයන්ගේ න්‍යායේ’ අවසන් සංස්කරණයේ ද එය නැවතත් ‘හරියටම මැද්දේ’ දිස්වෙයි. 1759 පළමු සංස්කරණයේ හරි මැද්දේ පැවතුනේ නැතැයි ඔවුන් පිළිගනිති. පොතේ මැද එය ලියා තැබීම මුලින් ඔහුගේ අරමුණක් නොවුනා යැයි ද ..[එහෙත් පසුව] 1776 වෙද්දී, ස්මිත් විසින් එහි කේන්ද්‍රීය බව ගැන උනන්දු වී ඇතැයි” ද ක්ලයින් හා ලූකාස් දක්වති. ස්මිත් විසින් ‘අදිසි හස්තය’ යන්න පොතේ මැද්දට ළං කර ගන්නට, පළමුවෙන් භාෂාවන්ගේ සම්භවය ගැන වැදගත් රචනාවක් එකතු කිරීමෙන් සහ අවසානයේ පළමු සංස්කරණයට බොහෝ පරිශෝධනයන් කිරීමෙන් ද උත්සුක වූවා යැයි ඔවුන් පෙන්වා දෙති.

දෙවැනිව, ඔවුන් දක්වන්නේ, ඉතිහාසඥයෙක් හා ආචාර ධර්ම දාර්ශනිකයෙක් හැටියට ඇඩම් ස්මිත් වාස්තු විද්‍යාවේ, සාහිත්‍යයේ, විද්‍යාවේ සහ දර්ශනයේ මැද තත්වය (middleness) වැදගත්කමක් ගැන නිතර අදහස් දක්වා ඇති බවයි. උදාහරණ වශයෙන්:

* ඇරිස්ටෝටල්ගේ ස්වර්ණමය මධ්‍යපථය, “එකිනෙකට විරුද්ධ දුරාචාරයන් මැද්දේ” යම් සද්ගුණයක් පැවතීමේ අදහස ගැන ස්මිත් යම් පාක්ෂික බවකින් ලියා ඇත. එනම්, බියගුළුබව (cowardice) සහ අවදානම් නොතැකීමේ (recklessness) යන අන්ත දෙක මැද්දේ නිර්භීත බවේ ප්‍රධාන සද්ගුණය ඇතැයි කීම.
* තාරකා විද්‍යාව සහ පුරාතන භෞතික විද්‍යා ගැන ස්මිත් ලියූ රචනාවන්හි, ඔහු නිව්ටෝනියානු මධ්‍යම බලවේගයන් සහ වාර පරිභ්‍රමණයන් ගැන ලියා ඇත.
* වාග් කෞශල්‍ය පිළිබඳ ස්මිත් කළ දේශන වලින් ක්ලයින් සොයා ගත්තේ, තුසිඩිඩීස් නම් වූ ග්‍රීක කිවිඳාගේ කවි ස්මිත් අගයන ලද බවයි. කවියේ මැද්දේ තබා ඇති වචනයක් දෙකක් ගැන ඉතා වෙහෙසක් ගත්තා යැයි තුසිඩිඩීස් නිතර කියන ලද්දකි.

ක්ලයින්ට හා ලූකාස්ට අනුව අදිසි හස්තය යනු ස්මිත්ගේ “ස්වභාවික නිදහසේ ක්‍රමය” ගැන ප්‍රධාන තේමාව නියෝජනය කරන්නයි. ඒ නිසාම එය ඔහුගේ කෘතීන් හි මැද්දේ දකින්නට ලැබෙන්නයි. මේ සොයා ගැනීම, එය සත්‍ය්‍ය නම්, අදිසි හස්තය උපාන්තික වූවක් නොව ඇඩම් ස්මිත්ගේ දර්ශනයේ කේන්ද්‍රයයි.

ක්ලයින් හා ලූකාස්ගේ ලැයිස්තුව නීතිඥයෙක් විසින් පරිවේෂණීය සාක්ෂි යැයි හඳුන්වනු ඇත. නැත්නම් මේ දෙදෙනා කියන විදියට එය ‘උපස්ථිතිවාදී” (impressionistic) වෙයි. එම ලැයිස්තුව සම්පූර්ණයෙන් ගනිද්දී එය එක්කෝ සුවිශේෂී සොයාගැනීමකි නැත්නම් කෙනඩි කියන විදියට ‘අපූරු සම්පාතයකි.

ස්මිත් ගැන හදාරන විශේෂඥයන් කිහිප දෙනෙක් ක්ලයින් හා ලූකාස්ගේ සොයාගැනීම් ප්‍රිය කරති. අදිසි හස්තය නිකමට දැක්වූ රූපක වාක්‍ය්‍යක් හැටියට දැක සිටි කෙනඩි දැන් මෙය දැඩි අරමුණකින් යුතුව හරි මැද්දට ගෙන යන්නට ගත්තාය කියන උපන්‍යාසය වැඩියෙන් නිවැරදි වීමට හැකියාව පිළිගනියි. සෙන්ට් ඇන්ඩෲස් විශ්ව විද්‍යාලයේ ඇඩම් ස්මිත් ගැන විශේෂඥයෙක් වූ ක්‍රේග් ස්මිත් “මේ ගැන ඍජු සාක්ෂි නොමැති නිසා’ තවමත් සැකයෙන් පසුවෙයි. ස්මිත් විසින් දැඩි උවමනාවකින්ම සිය දර්ශනයේ ප්‍රියතම සංකේතය සැඟවූවාය යන්න “මට පේන්නේ … ස්මිත්-නොවන විලාසයක්,” යැයි ඔහු කියයි. සාමාන්‍යයෙන් ස්මිත් කරන ‘සුමට සරල හා දක්ෂ ලෙසකින්’ අදහස් දැක්වීමට පටහැනි යැයි ඔහු කියයි. “අදිසි හස්තය” යන කෙටි වහර ඔහුගේ කෘතීන් මැද තැබීම සරල නොවිය හැකියි, ඒත් එය සුමට හා දක්ෂ නොවන්නේ ද?

ඒ ගැන ස්මිත් කළ පාපෝච්චාරණයක් ගැන වාර්තාවක් නැති නිසා අපි මේ ගැන සත්‍යය කිසිදා දැන නොගන්නෙමු. වාසනාවට ස්මිත්ගේ දර්ශනයේ කේන්ද්‍රය කුමක්දැයි හඳුනාගන්නට ‘අදිසි හස්තය’ පොතේ මැද පැවතීම සාධකයක් හැටියට තබාගන්නට අවශ්‍ය නොවේ.

ජාතීන්ගේ ධනය සහ සදාචාර මනෝභාවයන්ගේ න්‍යාය යන පොත්වල පරිච්ඡේද ගණනාවක් තුලින් ‘අදිසි හස්තය’ තේමාව තව තවත් විස්තර කෙරේ. ඒකීය පුද්ගලයන් ස්වාර්ථය පිණිස කටයුතු කරද්දී එයින් මහජනතාව නොදැනුවත්වම යහපත සාක්ෂාත් කරගන්නා අදහස, එහෙමත් නැත්නම් ඒකීය පුද්ගලයන්ගේ හැදියාවන් ගැන සීමා පැනවීම් නැති කරද්දී “ඔවුන්ගේ තත්වයන් වැඩියෙන් හොඳ වීම” සමාජය පැවතියාට වඩා යහපත්වීම යනාදිය විස්තරාත්මකව කියවත හැකියි. වෙළඳ බාධක, රජය විසින් පිරිනමන වරප්‍රසාද, රැකියා රෙගුලාසි යනාදිය අයින් කිරීම වෙනුවෙන් ස්මිත් නැවත නැවතත් තහවුරු කරන ලද අදහස් වූහ.

සදාචාර මනෝභාවයන්ගේ න්‍යාය හි ස්මිත් මෙසේ ලියයි:
සැලසුම් හදන මිනිසා … ඔහු හිතන්නේ චෙස් ලෑල්ලක විවිධ ඉත්තන් හසුරුවන අතකින් සේ විශිෂ්ට සමාජයක විවිධ සාමාජිකයන් හසුරුවන්නට ඔහුට හැකි යැයි කියාය. චෙස් ලෑල්ලේ විවිධ ඉත්තන්ට අතෙන් ගෙනෙන සෙලවීම හැරෙන්නට වෙනත් චලන සිද්ධාන්තයක් නොමැති බව ඔහු නොසලකා හරියි. එහෙත් මිනිස් සමාජයේ ඒ දැවැන්ත චෙස් ලෑල්ලේ නම් සියළු ඉත්තන්ට තමන්ගේම වූ චලන සිද්ධාන්තයක් ඇත. එය නීති සම්පාදකය විසින් කරන්නට අදහස් කරන්නෙන් සහමුලින් වෙනස් වූවකි. ඒ සිද්ධාන්ත දෙක මුණගැසී එකම පැත්තක් වෙතට යන්නේ ද, මිනිස් සමාජයේ සෙල්ලම පහසුවෙන් සහ සුසංයෝගයකින් සිද්ධ වෙයි. එය සතුටු හා සාර්ථක වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. ඒවා දෙපැත්තට ඇදී යන්නේ හෝ වෙනස් වෙන්නේ ද, එතකොට සෙල්ලම දොම්නස් ලෙසකින් සිද්ධ වෙයි. එවිට සමාජයක් හැම තිස්සේම ඉහළ මට්ටමක පෙරළියකින් පවතී.

ස්මිත්ගේ තර්කය සංසන්දනාත්මකය. ක්ලයින් කියන්නේ නිදහස් මූලධර්මය පිළිපැදීම එය නොකරනවාට වඩා හොඳින් ප්‍රතිඵල ගෙනෙන බවයි. කෙනත් ඇරෝ, ජෝසෆ් ස්ටිග්ලීස්, ෆ්‍රෑන්ක් හාන් වැනි අය දුර්ලභ ශ්‍රේෂ්ඨත්වයක් හැටියට අදිසි හස්තය හඳුන්වා ස්මිත් විකෘති කරති. මුග්ධත්වය, අනුවණ ක්‍රියා, දේශපාලන බලයෙන් කරත හැකි යැයි සිතන දේවල්, දේශපාලන පරිසරවේදයේ දූෂණය හා ව්‍යාධිය ගැන කරුණු ස්මිත් ඇසුරින් දක්වන්නට යෑම අනවශ්‍ය වූවකි. නිදහස් මූලධර්මය යනු ආචාර ධාර්මික, සංස්කෘතික හා දේශපාලන නාභීය ලක්ෂ්‍යයක් හැටියට ස්මිත් දකියි. මැදිහත්වීම් වලින් පිරුණු දරුණු මුලාවක් වෙනුවට නිදහස් මූලධර්මය යනු වටිනා සහ වැඩක් ගත හැකි මූල ධර්මයක් යැයි ස්මිත් දකියි.

ඉංග්‍රීසියෙන් කියවන්න කැමති අයට මෙයට පාදක කරගත් FEE සටහන Adam Smith Reveals His (Invisible) Hand මෙතැනින් කියවන්නට හැකියි.

 

දරැවන් 669 ක් බේරාගත් වීර පුරැෂයා මිය යයි

Posted in Uncategorized by arunishapiro on ජූලි 2, 2015

800px-Nicholas_Winton_in_Prague

මෙය ලෝර්න්ස් රීඩ් විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද සටහන ඇසුරිනි.

මෙය හවුලේ ලියන (මට පුද්ගලිකව දෙවතාවක් හමු වී කතාබහ කරන්නට අවස්ථාව ලැබුණු) ලෝර්න්ස් රීඩ් මහතා පහුගිය මැයි මාසයේ දී මේ වීරයා යළි හමුවීය. 2015 මැයි 19 වැනිදා මේ කතාවේ වීරයා සිය 106 වැනි උපන්දිනය සැමරීය. 2015 ජූලි 1 වැනිදා ඔහු මිය ගියේය.

සත්‍යම වූ වීරයෙක් තමන් එවැන්නෙක් හැටියට හිතන්නේ නැත. තමන් එවැන්නෙක් යැයි දැන්වීම් දමන්නේ නැත. කීර්තිය හෝ වස්තු සම්පත් ලබාගැනීම සඳහා, තමන් වීරයෙක් වෙන ක්‍රියා කටයුතු වල යෙදෙන්නේ නැත. යම් ගැටළුවක් තමනට නිරාකරණය කරන්නට හැකියාව ඇතැයි සිතෙන්නේ නම් ආණ්ඩුවක් විසින් එය කරන තෙක් බලාගෙන සිටින්නේ ද නැත.

1938 සිසිරයේ දී බොහෝ යුරෝපීයයන්ව සෑහීමකට පත්වී සිටින තත්වයකට නලවන ලද්දේ බ්‍රිතාන්‍ය අගමැති නෙවිල් චේම්බලේන් විසිනි. සැප්තැම්බර් අග මියුනික් හි දී චෙකොස්ලෝවැකියාවෙන් විසාල කොටසක් දීමෙන් චේම්බලේන් විසින් ඇඩොල්ෆ් හිට්ලර්ව සංසුන් කර ඇතැයි මේ අය සිතූහ. 1940 දී බලයට පත්වෙන වින්ස්ටන් චර්චිල් එය විශ්වාස කළේ නැත. එය විශ්වාස කළේ නැති අය අතර අපේ කතාවේ වීරයා, එවක 29 හැවිරිදි ලන්ඩනයේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙකු වූ නිකලස් වින්ටන් ද විය.

පෙර වසර කිහිපයේ දී ජර්මනියට ව්‍යාපාර කටයුතු සඳහා බොහෝ වතාවක් ගිය වින්ටන් යුදෙව්වන් අත් අඩංගුවට ගන්නා හැටි, පීඩාවන්ට ගොදුරැ වෙන හැටි සහ ගුටිබැට කන හැටි දුටුවෙකි. 1938 නොවැම්බර් 9 වැනිදා ක්‍රිස්ටල්නාහ්ක්ට් යැයි සුපතල සිද්ධියේ දී නාට්සි මැරවරයන් ජර්මනිය පුරා යුදෙව්වර මරණයට පත් කරමින් යුදෙව් සිනෙගෝග, ගෙවල් සහ ව්‍යාපාර විනාශ කළහ. එයින් හිට්ලර්ගේ අභිප්‍රායන් මැනවින් දිස්විය. යුදෙව් සරණගාතයන් දහස් ගණනින් ජර්මනිය හැර දමා, එවිට නාට්සි විසින් අධිවාසයට නොගත් චෙකොස්ලෝවැකියාවට, විශේෂයෙන්ම ප්‍රාග් වෙතට පළා ගියහ. සීතල හේමන්තයේ මැද ඔවුන් සිටියේ යාන්තමින් අටවා ගත් කටුක තත්වයන් පැවති සරණාගත කඳවුරු වලයි.

යහළුවෙක් සමඟ වසර අවසානයේ දී ස්විට්ස්සර්ලන්තයට ස්කි (හිම කඳු වලින් පහතට වේගයෙන් බහින ක්‍රීඩාව) ට්‍රිප් එකක් යන්නට වින්ටන් සූදානමින් සිටියේය. නමුත් යාළුවා ඔහුට ප්‍රාග් වලට එන්නැයි ආරාධනා කළේය. මොකද ඔහුට ‘කඩිනමින් පෙන්වන්නට අවශ්‍ය දැයක්’ තිබෙන බව කියමිනි. එය සරණාගතයන් හමුවේ තිබි ප්‍රශ්නයයි.

වින්ටන් දුටුවේ ප්‍රාග් අසල කඳවුරැ වල සීතලේ හැහෙමින් සිටින අනාථ සහ දෙමව්පියන්ව අත් අඩංගුවට ගනිද්දී අවතැන් වූ දරැවන්වයි. ජීවිතය පුරා රටේ පදිංචිකරැවන් සහ පුරවැසියන්ව සිටි ඒ කඳවුරු වල සිටි වැඩිහිටියන් තමනට කුමක් වුවත් ඒ දරැවන්ව හෝ බේරාගන්නා ලෙස ඉල්ලා සිටියහ. ඒ රටත්, සෙසු යුරෝපයත් අල්ලා ගන්නා තෙක් නාට්සි නවතින්නේ නැතැයි වින්ටන් සේ ම ඒ අයටත් දැනී තිබුණි. චෙකොස්ලෝවැකියාවේ ඉතිරියත් නාට්සි අල්ලා ගත්තොත් තමනට කුමක් වේදැයි ඔවුන් ඔවුන් සිතමින් සිටිය දී මේ යහපත් මිනිසාට ඒ ගැන යමක් කරන්නට සිත් පහළ විය.

මෙසේ සිර වී සිටින මේ තරම් පවුල් සංඛ්‍යාවක් සඳහා තනි විදේශිකයෙකුට කරන්නට දෙයක් නැතැයි සිතීම පහසු දැයකි. තත්වය නොසලකා හැර තමන්ගේ සුව පහසු ජීවිතයට නැවත පිවිසෙමින් ස්විට්සර්ලන්තයේ සංචාරයට යන්නට වින්ටන්ට හැකියාව තිබිණ. ඔහු මුහුණ පෑ තත්වය හමුවේ වෙනත් බොහොමයක් දෙනා අහක බලාගෙන වෙනතක යනු ඇත. “අපේ කාලයේ පවතින සාමය” ගැන කතාබහ තිබුණ ද එය අවසන් කරන ඔරලෝසුවේ කණිසම වදින බව වින්ටන් දැන සිටියේය. උදව් කරන්නට නම් එය හනිකට කළ යුතුව තිබිණ. ඊ ළඟට ඔහු ගත් පියවර නිසා නාට්සි සිර කඳවුරැ වල දී නියත මරණ වලට මුහුණ නොදී දරැවන් 669 ක් ගලවා ගන්නට හැකියාව ලැබිණ.

ඒ දරැවන්ව බාරගන්නා රටකට ඔවුන් ආරක්ෂිතව ගෙන ඒම පහසු කාර්යයක් නොවීය. ලන්ඩනයට යන ඔහු ලෝකයේ විවිධ රටවල ආණ්ඩු වලට ලිපි ලියන්නට පටන් ගත්තේය. ඇමෙරිකාව ද ඇතුළුව ඒ හැම රටක්ම පාහේ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරද්දී මහා බ්‍රිතාන්‍ය සහ ස්වීඩනය ඔවුන්ව බාරගන්නට කැමැත්ත පළ කළහ. ඔහුගේ මව ද ඇතුළුව උදව් කරන්නට කැමති පිරිසක් ඔහු රැස් කරගත්තේය.

ප්‍රාග් හි සිටි ලන්ඩන් කණ්ඩායමේ සහායකයා ට්‍රෙවර් චැඩ්වික් නැමති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. පිටත් කරන්න හදන දරැවන්ගේ තොරතුරැ ඔවුන්ගේ දෙමව්පියන් වෙතින් එකතු කරගෙන වින්ටන්ට යැවීම ඔහුගේ කාර්යය විය. වින්ටන් කළේ ඒ දරැවන්ව බලා කියා ගන්නට කැමති නිවහන් සෙවීමයි. ඔහුගේ ලැයිස්තු වල පන්දාහක් දරැවන් සිටින ලදි. ගෙවීමක් අය නොකර බ්‍රිතාන්‍ය පුවත්පත් හදාගන්නට කැමති දෙමව්පියන් අවශ්‍ය යැයි කියූ වින්ටන්ගේ දැන්වීම් පළ කරන ලදි. දරැවන් කොටසකට ප්‍රමාණවත් තරමින් නිවහන් සොයාගත හැකි වූ විට වින්ටන් ඊට අවශ්‍ය ලියකියැවිලි බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළේය. ඒ දරැවන්ව බ්‍රිතාන්‍යයට ගෙන ඒමට දුම්රිය සහ නැව් ගමන් සංවිධානයට චැඩ්වික්ට සහාය දුන්නේය.

ඒ මෙහෙයුම සඳහ අරමුදල් හොයාගැනීම ද කළේ ඔහුගේ ප්‍රධානත්වයෙනි. වියදම් අතර බ්‍රිතාන්‍ය රජය විසින් ආපසු යවන්නට අවශ්‍ය වන අනාගත වියදම යැයි කියමින් අය කරන ලද පවුම් 50 ක් ද විය. එහෙත් 1939 වසන්තය හා ගිම්හානය ගෙවී යද්දී අවදානම පහ වී දරැවන්ව ආපසු යවත හැකි වේ යන අපේක්ෂාවත් නැති වී ගියේය.

හිතාගත නොහැකි වූවක් සිතේ මවා ගන්න: ප්‍රාග් හි දුම්රිය නැවතුම්පොලක්. වේදනාවෙන් පෙළුන දෙමව්පියන් සහ ඥාතීන් විසින් දරැවන්ව දුම්රියට නංවන හැටි. ඒ බොහොමයකගේ අවසන් සමුගැනීම් වෙන හැටි. පිරිමි සහ ගැහැණු දරැවන් අතර වයස අවුරැදු පහකට අඩු අය බෙහෙවින් සිටියහ. අවිනිශ්චිත අනාගතයක් වෙතට ඇදෙන දුම් දමමින් ඉදිරියට යන දුම්රිය කවළු වලින් ඔවුන් එළියට මුහුණු දමන හැටි. තම පවුල් සමඟ නැවත ඔවුන් එක්වේදැයි කිසිවෙක් නොදත් හැටි.

‘වින්ටන්ගේ දරැවන්’ අතර පළමු 20 ප්‍රාග් වලින් පිට වෙන්නේ 1939 මාර්තු 14 වැනිදායි. හිට්ලර්ගේ හමුදාව ඊ ළඟ දවසේ මුළු චෙකොස්ලෝවැකියාවම අල්ලා ගත්තහ. ඒත් ස්වේච්ඡාවෙන් මේ මෙහෙයුමේ යෙදන ලද්දවුන් සිය වැඩ කරගෙන ගියහ. සමහර අවස්ථාවල දී ඔවුන් දරැවන්ව ජර්මන් අය අතරින් සඟවාගෙන යන්නට හොර ලියකියැවිලි ද හදාගත්තහ. සැප්තැම්බර් 1 වැනිදා දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වෙද්දී, දුම්රිය මාර්ගයෙන් ගිය විවිධ කණ්ඩායම් අටක් විසින් රටෙන් දරුවන් 669 ක් පිටකරගෙන තිබුණහ. තුන්වැනි කණ්ඩායමේ තවත් දරැවන් 250 ක් පිටවෙන්නට හිටියත්, එය ඔවුන් විසින් බලාපොරොත්තු වූ විශාලතම සංඛ්‍යාවයි, එහෙත් යුද්ධය ආරම්භයත් සමඟ නාට්සීන් සියළු පිටත්වීම් නවතා දැමූහ. වසර හයකට පසු මිත්‍ර පාක්ෂිකයන් ජය සමරද්දී ඒ දරැවන් කිසිවෙක් ජීවතුන් අතර සිටියේ නැත. දෙමව්පියන් අතර ද ඉතිරිව හිටියේ ඛේදනීය වූ සොච්චමකි.

ඒ බේරාගත් දරැවන් අතරින් අයෙකු වූ වේරා ගිසින් දක්වන අන්දමට “සරණාගත කඳවුරැ වලට දැමූ චෙක් යුදෙව් දරැවන් 15,000 දෙනාගෙන් දිවි ගලවා ගත්තේ අතලොස්සක් පමණි. මගේ පරම්පරාවේ චෙක් යුදෙව් දරැවන් අතරින් වැඩි කොටසක් බේරා ගත්තේ වින්ටන් විසිනි.”

වේරාගේ කතාව විශේෂයෙන් හදට දැනෙන්නකි. 1939 ජූනි 30 වැනිදා වින්ටන්ගේ දරැවන් ප්‍රවාහනය කළ පස්වැනි දුම්රිය මෙහෙයුමෙන් ඇය එන්නේ වයස අවුරැදු 10 දී ය. නමවැනි දුම්රියෙන් එන්නට නියමිත වූ ඇයගේ ඥාතීන් දෙදෙනෙක් නිදහස ලබන්නට සමත් නොවූහ. ඇයගේ මව පිටුවහල් කරන ලද බර්ගන්-බෙල්සන් සිරකඳවුර මුදවා ගැනීමෙන් දින දෙකකට පසුව ඇයගේ මව ටයිෆස් බෝවෙන රෝගය වැළඳී මිය ගියාය. 1944 දෙසැම්බරයේ නාට්සි විසින් පෙරගමන් යද්දී ඇයගේ පියාට වෙඩි තබා මරා දමන ලදි. නිකලස් වින්ටන් නොවන්නට තමන්ගේ ඉරණම කුමක් වේද යන්න ගැන වේරාට සැකයක් නොවීය.

ඔහු එය කළේ මන්ද? එයින් ලැබෙනවා යැයි සිතූ ප්‍රශංසා අරබයා නොවේ. ශතක බාගයක් පුරා සිය සාර්ථක මෙහෙයුම් ගැන ඔහු කිසිම කෙනෙකුට නොකීමෙන් එය පැහැදිලි වෙයි. 1988 දී ඔවුන්ගේ නිවසේ වහළ අසල කාමරයක් සුද්ද කරද්දී ඔහුගේ භාර්යාවට එහි වූ වාර්තා සහ පින්තූර ඇලවූ පොතක් රුගත් පුස් බැඳුන පෙට්ටියක් හමුවිණ. එහි වූයේ ඔහුගේ මෙහෙයුමට හවුල් වූවන් විසින් එකතු කරන ලද ලියකියැවිලි සහ චෙක් දරැවන්ගේ පින්තූරයි. මහජනතාවට වින්ටන්ගේ කතන්දරය අහන්නට ලැබෙන්නේ ඉන් අනතුරැවයි. එතෙක් කාලයක් පුරා දරැවන් සහ ඔවුන්ගේ පවුල් වල අය ඒ ජීවිත බේරාගන්නට මූලික වූ “ඉටුදෙවියා” කවුදැයි කියා දැන සිටියේ නැත.

2006 දී නිකලස් සහ ඔහු විසින් බේරාගත් වේරා සමඟ නිකලස්ගේ නිවහනේ දී මේ සටහන ලියන අය හමුවූහ. අනිත් හැමෝම මඟ හරිද්දී ඒ අභියෝගය ඔහු බාරගත්තේ මන්දැයි ඔවුන් නිකලස් වෙතින් විමසීය. නිකලස් එවිට 97 වියැතිය. එහෙත් ඔහුගේ පෙනුමත්, ඔහු කතාබහත් ඊට වඩා අඩු වයසේ අයෙක් මෙනි. මේ අයව සතුටින් පිළිගත් ඔහු විසිත්ත කාමරය මැදින් වත්තේ පිටුපසට ගොස් ඔවුන් සඳහා නැවුම් මල්බෙරි කැඩීය. ඔහු ඒ වයසේ දී ද සිය නිවහන අසල වත්ත බලා කියා ගන්නා ලදි.

මේ නිහඬ මනුස්සයෙකි. එක්තරා ආකාරයකට ඔහු මතක් කරන්නේ ඇරිස්ටෝටල්ගේ මහඟු මිනිසා (නිකමාකියන් ආචාර ධර්ම වල සඳහන්) ය. ඇරිස්ටෝටල් කියූවේ හොඳ-ආත්මයක් ඇති මිනිසා වාසි ලබන්නට ලැජ්ජා වන්නේය කියායි. එසේම ඔහු ලැබුනාට වඩා වැඩියෙන් ආපසු ගෙවන බවයි. නිකලස් වෙතින් ආඩම්බර කතා ඇහෙන්නේ නැත. ඔහු කළ දැයට විශේෂ වැදගත්කමක් දී ඔහු කතා නොකරයි. අභියෝගය බාර ගත්තේ මන්දැයි යන්නට, “එය තමයි කළ යුතුව තිබුනු දැය ඒ නිසා මම හිතුව මට උදව් කරන්න පුළුවන් කියල,” ඔහු යමක් පැහැදිලි කරන විලාසෙන් කියන ලදි. එය හොඳක් නිසා පමණින් හොඳක් කරන පුද්ගලයෙකු වෙත ආකර්ශනය වීම අයෙකුට වළක්වාගත නොහැකි වූවක් යැයි මේ සටහන ලියන ඔවුන් සටහන් තබති.

“හොඳේ බලය” (The Power of Good) නම් මේ කතාව අලලා නිර්මාණය වූ, ජාත්‍යන්තර එමි සම්මානයක් දිනාගත් වාර්තා චිත්‍රපටියේ චෙක් නිෂ්පාදක මටෙජ් මිනැක්ට නිකලස් කියන්නේ ඒ ගැන නිහඬව සිටියේ එය ඔහුගේ ජීවිතයේ කුඩා අංගයක් වූ නිසා කියායි. ඔහු කොටස් වෙළඳපොල සේවය කරමින් සිටිය දී, මෙහෙයුම පැවති කාලය මාස අටකි. එය ඔහුගේ විවාහයට පෙරතුව සිද්ධ වූවකි. ඒත් ඔවුනට මේ උත්තරයෙන් ද සෑහීමකට පත්විය නොහැකි විණ. ඔවුන් ඒ ගැන තවත් හාරා ඇවිස්සූහ.

“යුද්ධය පටන් ගෙන ප්‍රවාහනය ඇණ හිටියාම, මම ක්ෂණිකව රාජකීය ගුවන් හමුදාවට ගියා. එතැන මම වසර පහක් හිටිය. සාමය උදාවෙද්දී මම වයස 35 ක පිරිමියෙක් හැටියට රට පුරා ගිහින් කොල්ලො කෙල්ලො හොයන්නෙ කොහොම ද?” යැයි නිකලස් විමසා ඇත. යුද්ධය අවසන දී නිකලස් වින්ටන් සිය ජීවිතය යළි අරඹන කටයුතු වලින් කාර්ය බහුල විය. වසර හයකට පෙර ජීවිත බේරාගන්නට කරන ලද කටයුත්ත දැන් අවසන් වූවකි. ඔහු සිතූ පමණින් ඒ දරැවන් ආපහු ඔවුන්ගේ දේශයට නැවත ගොසිනි (සමහර අය එසේ යන ලදි). “ඔවුන් කොහේ හිටියත් ආරක්ෂිතව සහ රුකවරණය යටතේ ඉන්නවා ඇතැයි සිතන්නට මට හොඳ හේතුවක් තිබුණ,” යැයි ඔහු කියන ලදි. ඒ දරැවන් අතර දොස්තරවරැ, හෙදියන්, ගුරැවරු, සංගීතඥයන්, කලාකරැවන්, ගත්කරැවන්, ගුවන් නියමුවන්, විද්‍යාඥයන්, ඉංජිනේරැවන්, ව්‍යවසායකයන් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සාමාජිකයෙක් ද වෙයි. 2009 දී ඔවුන්ගේ, ඔවුන්ගේ දරැවන් සහ මුනුපුරැන්, මී මුනුපුරන් සංඛ්‍යාව පනස්දාහක් පමණ වෙති.

මෑත කාලීන සම්මුඛ සාකච්ඡා වල දී පෙනෙන්නේ මේ වැඩිහිටියන් වූ “වින්ටන් දරැවන්ට” ඔවුන්ව බේරාගත් අය ගැන දැඩි අගය කිරීමක් පමණක් නොව, තම තමන්ගේ ජීවිත ඉහළ ලෙසින් හා පරිපූර්ණ ලෙසින් ගෙවන්නට ද ළැදියාවක් ඇති බවයි. ඔවුන් බොහොම දෙනක් අනිත් අයට උදව් කිරීම තමන්ට උදව් කරන ලද ලන්ඩන් කොටස් වෙළඳපොල තැරැව්කරැවාට කරන ගෞරවයක් ලෙස සැලකූහ. “ජීවිතය කොතරම් වටිනවා ද යන්න අපිට අවබෝධයක් තියෙනව,” වේරා මේ සටහන ලියන ලද අයට කියන්නේ, “අපේ දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ මතකය සදා පවතින්නට ද අපි අනිත් අයට උදව් කරනවා,” කියායි.

බ්‍රිතාන්‍යයට පැමිණ වසර ගණනාවකට පසු වේරා තමන්ව හදා ගන්නට ගත් තාත්තා වෙතින් විමසා ඇත්තේ, “ඇයි මාව තෝරාගත්තේ?” කියායි. ඔහුගේ පිළිතුර ඒ 669 දෙනාට නිවහන් සැපයූ අයගේ චිත්තාවේගයන් මනාවට පිළිබිඹු කරයි: “මම දැන සිටියා මට ලෝකය බේරාගන්නට බැරි බව. මම දැන සිටියා මට යුද්ධය නවත්වන්නට බැරි බව. ඒත් මම දැන සිටියා මට එක මිනිස් ආත්මයක් බේරාගන්නට හැකි බව.”

නිකලස් වින්ටන් කොතරම් නිහතමානීදැයි කිවහොත් ඔහු කොතරම් සුවිශේෂී දැයි අනිත් අයට කියන්නට සිද්ධ වෙන්නේ ඔහු එය එපා කියද්දීය. ඔහුව දැන හඳුනාගත් අනෙක් “වින්ටන් දරැවන්” ලෙසින්, වේරා නිතර පාහේ තම ජීවිතය රැකුනේ ඔහු නිසා බව ඔහුට මතක් කරයි.

අනෙක් අය වින්ටන්ට මතක් කරන්නේ මෙයයි: “ඔබ බේරාගත්තේ දරැවන් 669 ක් පමණක් නොවේ. ඔබේ කතන්දරය ඔසවා තබන්නේ ජීවිත අනතුරක පැවතිය දී ආදරණීය උදව්වක් දීමේ ආචාර ධාර්මික ව්‍යක්තභාවයයි. කවදා හෝ දිනයක, කවදා හෝ තැනක, සමහර විට තවත් මිනිහෙක් හෝ ගැහැණියක්, මෙවැනි වූ තත්වයකට මුහුණ දෙනවිට, ඔබේ උදාහරණය මතක් වෙලා ඔවුන් එවැනි අනගි වැඩක් කරාවි. මේ නිසයි මේ කතාව ලෝකය දැනගත යුත්තේ. ඒ නිසයි ඔබ එසේ හිතුවේ නැතත් අපි ඔබව වීරයෙක් හැටියට සලකන්නේ.”

1988 දී බ්‍රිතාන්‍ය පුරා පෙන්වන ලද “එයයි ජීවිතය” (That’s Life) නම් වූ රෑපවාහිනි වැඩසටහනක් වින්ටන්ගේ කතාව ප්‍රසිද්ධ කර ඔහුගේ ‘දරැවන්’ බොහොමයක් හා ප්‍රථම වතාවට හමුවන්නට ඔහුට අවස්ථාව පාදා දුනි. ඒ අය ඔහුව නිතර හමුවන්නට ආහ. ලියුම් කියුම් මගින් සබඳතා පවත්වන ලදි. ඔහුගේ බිරිඳ වූ ග්‍රෙටේ අභාවයට පත් වූ පසු ඔවුන් ඔහුගේ තනිකම මැකූහ. නිකලස්ගේ නිවසට සැතපුම් කිහිපයක් ඈත වාසය කරන වේරා ඔහු බලන්නට නිතර ගියේය. “නිකලස් වින්ටන් සහ බේරාගත් පරම්පරාව: එක ජීවිතයක් බේරා, ලෝකය බේරා ගැනීම,” නමින් ඇය සම්පූර්ණ කතාව ලියන්නට සහාය වූවාය.

ඔහු නොසෙවූ නම්බුනාම ආණ්ඩු විසින් ප්‍රදානය කර ඇත. 1999 දී එලිසබෙත් රුජින, එඩින්බර්ග් ආදිපාද සහ චාල්ස් කුමරා වැනි කුඩා කල්ලියක් පමණක් ලබා ඇති සම්මාන ද ඔහුට පිරිනැමී ඇත. රුජින විසින් නයිට් පදවියක් ද, ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් ඔහුගේ “නිර්භීතකම සහ කරැණාව” පසසා ලියුමක් ද යවා ඇත. වේරාගේ පොත සමඟ “මගේ සියළු ආදරණීයයන්” (All My Loved Ones) සහ “හොඳේ බලය” (The Power of Good) යන වාර්තා චිත්‍රපටි සෙමන් ලොව වටා පැතිර යයි.

ප්‍රචණ්ඩත්වය සහ කෲරත්වයෙන් බැට කන ලෝකයක, දශක දහයකට පමණ පෙර කරන ලද නිකලස් වින්ටන්ගේ පරාර්ථකාමී ක්‍රියාවන් අපි සියල්ලන්ටම බලාපොරොත්තු සපයන්නකි. “දුෂ්ටත්වය රජයන්නට අවශ්‍ය වනුයේ හොඳ මිනිසුන් කිසිවක් නොකර සිටීම පමණයි,” යැයි එඩ්මන්ඩ් බර්ක් වරක් කියා ඇත. අප අතරේ නිකලස් වින්ටන් වැනි මිනිසුන් සහ ගැහැණුන් සිටිනවා යැයි දැන ගැනීම, එවැනි ඉඳුරාම ශිෂ්ට වූ මිනිසෙක් දුෂ්ටත්වය ජයගත්තා යන්න දැනීම භාග්‍යයකි.

සාමය, සතුට, සම්පත

Posted in Uncategorized by arunishapiro on ජූනි 26, 2013

අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දී කරන්නට තෝරාගන්නේ අපට වැඩියෙන් ම “සම්භෝගය” ගෙන දෙන දේවල් නොවෙති. අප තෝරාගන්නේ වඩාත්ම අඩුවෙන් අතෘප්තියත් වඩාත්ම වැඩියෙන් තෘප්තියත් ලබාදෙන දේවල් ය. කෙටි කාලීන හා දීර්ඝ කාලීන ඵලවිපාක ගැන සිතා කරන තෝරාගැනීමකට හැකියාවක් තිබීම මිනිස් සිතට පමණක් ඇති ස්වභාවයකි.

බියක් ජනිත වීමෙන්, කෝපාවිෂ්ටයෙන්, හෝ ලාලසාවක් නිසා හටගන්නා ආවේගයකින් අපි කටයුතු කරන්නේ නම් එය වැඩියෙන්ම තෘප්තියක් කෙටි කාලයක දී ලැබෙන ක්‍රියාවකි. දීර්ඝ කාලීන ඵලවිපාක නොසලකා අපි මොහොතක තෘප්තියක් වැඩියෙන්ම ගෙනෙන ක්‍රියාවන් හි යෙදෙන්නේ ආවේගයන්ට ඉඩ දීම හේතුවෙනි. ආවේගයක් හටගත් පසු සංසුන්ව හිතා බලා ඉන්පසු ක්‍රියාවේ නිරත වෙද්දී අපි ක්‍රියා කරන්නේ දීර්ඝ කාලීනව වැඩියෙන් තෘප්තියක් (නැත්නම් අඩු අතෘප්තියක්) ගෙනෙන දැයෙහි ය.

අප අපේ ක්‍රියාවේ සද්ගුණවත් ගැන විනිශ්චයක් කරන්නේ නම් (විශේෂයෙන්ම අනුන්ගේ ක්‍රියාවන් හි ඇති සද්ගුණය ගැන විනිශ්චයන් කරන අය ද) විමසිය යුත්තේ මෙසේය:
ක්‍රියාවක් තෝරාගන්නා ඒකීය පුද්ගලයාගේ දීර්ඝ කාලීන නිරෝගී බව, සතුට හා යහපත සලසන ක්‍රියාවන් සහ රීතීන් මොනවා ද?
සම්පූර්ණ සමාජයේ, නැත්නම් සියළු මිනිස් සංහතියේ නිරෝගී බව, සතුට හා යහපත වැඩියෙන්ම සැලසෙන ක්‍රියාවන් සහ රීතින් මොනවා ද?

ඇරිස්ටෝටල් ඉදිරිපත් කළ සංකල්පයක් වන ඉයුඩෙමෝනියා යන්න නිරෝගී බව, සතුට හා යහපත යන තුනම එකතු වී හැදෙන්නකි. නිකෝමාකියන් ආචාර ධර්ම ගැන අහන්නට ලැබුනත් ඊට කළින් ලියන ලදැයි සැලකෙන ඉයුඩෙමියන් ආචාර ධර්ම ගැන සාමාන්‍යයෙන් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙහි දී සතුට සොයා යන ගමන ගැන කියද්දී සැලකිල්ලට පාත්‍ර වනුයේ ඇරිස්ටෝටල් ගෙනෙන ඉහත ඉයුඩෙමෝනියා අදහසයි.

ඇමෙරිකන් විකටයෙක් වූ ජෝර්ජ් කාලින් සතුට ගැන මෙසේ කියන ලදි. “බඩු එකතු කරගත් පමණින් සතුට ලැබේවි යැයි බලාපොරොත්තු වෙන එක හරියට සැන්විචස් මුළු ඇඟ පුරාම අලවලා එයින් බඩගින්න නිවේ යැයි හිතන එක වගේ.”

තමනට සතුට ලැබෙන්නේ කුමන මාර්ග වලින් දැයි නොදන්නා අයෙක් නැත. එහෙත් යම් තෝරාගැනීමකට පෙර එයින් සම්පූර්ණ සමාජයේ සතුට වැඩි වේ ද, තමන්ගේ සතුට ද දීර්ඝ කාලීන පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා දැයි මොහොතක් නැවතී සිතන්නේ කීයෙන් කී දෙනෙක් ද?

සතුට යන්න ගැන හෝ මැන ප්‍රමාණාත්මක ලෙසින් දැක්විය නොහැක: එක ක්‍රියාවකින් ලැබෙන සතුටක් ගනින්නේ හෝ මනින්නේ තවත් ක්‍රියාවකින් ලැබෙන සතුටක් සමඟ ද? නැත්නම් එක ක්‍රියාවකින් ලැබෙන සතුට නැවත පසුව එම ක්‍රියාවේ දී ම වැඩි කාලයක් නියැළෙද්දී ලැබෙන සතුට සමඟ ගැන මනිනවා ද?

සතුට, තෘප්තිය, නොසන්සුන්කමක් ඉවත් කිරීම ගැන කතාබහේ දී වැඩියෙන් හා අඩුවෙන් යන්න භාවිතා කළ හැකි වුවත් ඊට වඩා නිශ්චිත වූ ප්‍රමාණාත්මක ලෙසින් දැක්වීමක් කළ නොහැකියි. සතුටක් හා තෘප්තියක් හෝ නොසන්සුන් බවක් අඩු හෝ වැඩි යැයි සසඳා බලන්නට හැකි වුව ද ඒ අතර ප්‍රමාණාත්මක ලෙසින් අගැයීමක් කරන්නට නොහැකිය.

අපොයි ඒක කළා නම් මීට වඩා දහස් ගුණයක් හොඳ යැයි අයෙක් කියද්දී එහි දී එකකින් අනෙකට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලැබෙන සතුට ගැන අදහසක් මිසෙක සත්‍යයෙන්ම දහස් ගුණයක් දැයි මැන බලන්නට අවශ්‍ය මිනුමක් කිසිවෙකුට නැත.

ඕනෑම අවස්ථාවක දී අප ඉදිරියේ ඇති තෝරා ගැනීම් තුලින් අපි අඩුවෙන් හා වැඩියෙන් ලැබෙන සතුට අනුව ඒවා එක, දෙක, තැන යනුවෙන් නොදැනීම වර්ග කරමු. තෝරා ගත් අංක එක කිරීම නිසා වැඩියෙන් තෘප්තියක් ලැබෙන බව යමක් අංක එකට දමන අය විශ්වාස කරයි.

මෙයාකාරයෙන් විමසා බලා නැති අයට කලබල වී යමක් තෝරාගත් පසු තෝරා නොගත් දේවල් ගැන තව දුරටත් සිත් තැවුල් ඇතිවේ. ඔවුන් තෝරාගත් දෙයින් සතුටු වෙනවා වෙනුවට නොගත් දේ ගැන දුක් වන්නට වැඩි කාලයක් වැය කරති.

දවසේ පැය විසිහතර පුරා කරන තෝරා ගැනීම් වල දී බියක්, කෝපාවිෂ්ට වීමක් හෝ ලාලසාවක් නිසා හටගන්නා ආවේගයකින් යමක් තෝරා ගන්නවා වෙනුවට මඳක් සංසුන්ව තීරණයක් ගන්නේ නම් ප්‍රතිඵල වැඩියෙන් යහපත් දැයි ඔබටම අත්හදා බැලිය හැකි වූවකි.

දීර්ඝ කාලීන ඵලවිපාක ගැන සිතා බැලිය හැකි මෙහෙයුම් පද්ධතියක් මිනිස් මොළයේ ඇති බැවින් එය පාවිච්චියට ගත යුත්තේ ද මිනිසාම ය!!!!

එසේම, ක්‍රියාවක් තෝරාගන්නා මිනිසාට පමණක් තමන්ගෙ ඉයුඩෙමෝනියා සහ මිනිස් සංහතියේ ඉයුඩෙමෝනියා යන දෙකටම එය බලපාන්නේ කෙසේදැයි ද විමසීමට ද හැකියාවක් ඇත. ස්වභාවයෙන් පිහිටා ඇති මිනිස් මොළය භාවිතයට ගනිද්දී සද්ගුණවත් ලෙසින් කටයුතු කරන තෝරා ගැනීම ඇත්තේ ද හිතන්නට හැකි මිනිසා අතේය.

ඉයුඩෙමෝනියා සංකල්පයේ නිරෝගී බව ප්‍රාර්ථනය සංවර්ධිත ලෝකයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා සෞඛ්‍ය පහසුකම් වර්ධනයත් සමඟ පැත්තකට තල්ලු වී ගියේය. ලෝක ආර්ථික දියුණුවත් සමඟින් 70 ගණන් වල දී ප්‍රථම වරට ශාරීරික ව්‍යායාම් වලට කාලයක් මිඩංගු කරන සාමාන්‍ය ජනතාවක් ලොව දකින්නට හැකිවිය. වර්තමානයේ දී ඒඩ්ස් හා පිළිකා රෝග වලට ප්‍රතිකාර සොයා ගන්නට මිනිසා සමත් වෙනු දැකිය හැකියි. නොසන්සුන්බව අඩු සිරුරක නිරෝගී බව වැඩිවේ යැයි වෛද්‍ය විද්‍යාවේ ගවේෂණ පැහැදිලි කරන්නට පටන් ගති. නිරෝගී බව ප්‍රාර්ථනා කරනු වෙනුවට දීර්ඝ කාලීන නිරෝගී බවෙන් ජීවත්වෙන්නට අදිටන් කරගත් මිනිසුන් ඒ සඳහා තෝරා ගැනීම් කළහ.

ජෝන් ලෙනන් ඇමෙරිකන් ආණ්ඩුව එහි වැසියන් ගැන ඔත්තු බලනවා යැයි කියූ කාලයේ දී දැඩි අවශ්‍යතාවයක් වූ සාමය වැඩියෙන් තෘප්තියක් ගෙනෙන නොම්මර එකේ සතුටක් බවට පත්විය. සාමය නැත්නම්, නිරෝගී බවෙන් ඇති ඵලක් ඇත් ද?

වෙනස් කරගත හැකි සිතුවිලි වලින් දීර්ඝ කාලීන නිරෝගී බවක් සොයා යන්නට හැකි වුව ද, වෙනස් කරගන්නා සිතුවිලි වලින් දීර්ඝ කාලීන සාමයක් සොයා යන්නට හැකි ද? පළමුවැන්න තම සිතුවිලි වලින් ඉෂ්ට කරගත හැකි වූවකි. දෙවැන්න බහුතරයක් විසින් කළ යුතු වූවකි.

ඉතින් බහුතරයකට එය ඒත්තු ගන්වන්නේ කෙසේද?!!!!!!

නායක භූමිකා වලට වඳින පුදින යුගය ලොව අවසන් වෙමින් යනවා ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 9, 2013

Mask

නැත්නම් එය මිනිස් ස්වභාවයක් නොවූ නිසා එය යම් ඵෛතිහාසික ක්‍රියාවලියකින් පසුව නැවතත් ක්‍රමයෙන් යථා තත්වයට පැමිණෙමින් සිටිනවා ද?!!!!!!

ගෘහ ජීවිතය හැර දා දෙවියන්ගේ සේවයට එකතු වූ සාධූන්, සන්නාසීන් සහ අනාවැකි කියනවුන් පුරාතන ලෝක ඉතිහාසයේ හැම පැත්තකින් ම දකින්නට හැකියි. දෙවියන්ගේ වාක්‍යයන් අර්ථකතනය කරපු අය හා දේවාල සිද්ධස්ථාන බලා කියාගත්තවුන් සිටියා මිසෙක ඔවුන් විද්වතුන් යැයි එවක සමාජය විසින් සලකන ලද්දේ නැත. ඔවුන් අතරින් පිරිසක් ජනතාවට දෙවියන් වෙතින් ආරක්ෂාව හා තෑගි ලබාගත හැකි මැදිහත්කරුවන් වූහ. තව සමහරු වනගත වී තම මෝක්ෂය සෙවූහ. ඔවුන් කියන්න සැලකිල්ලට නොගෙන තම සුබසිද්ධිය සලසා ගත් බහුතරයක් එකල සමාජයේ විසූහ.

හමුරාබි නීති සංග්‍රහයේ වරදකරුවා යැයි ඔප්පු කරන තෙක් නිර්දෝෂී යැයි ද, ඇසට ඇසක් වැනි දඬුවම් ද සමන්විත ලොව මුල් ම නීති සම්ප්‍රදාය බිහිවෙන්නේ ක්‍රි. පූ. 1772 දී. ඒ දෙවියන්ගේ ආශීර්වාදයෙන් රටේ පාලකයා වූවා යැයි කියන රජතුමාගේ අදහස් අනුව ය.

ඊ ළඟට අපිට දකින්නට ලැබෙන්නේ දේව විශ්වාසයෙන් ගොඩනැඟි සත්ව බිලිපූජා වැනි පිළිවෙත් අනුගමනය නොකළ විද්වත් පිරිසක් ලොව බිහි වූ බවයි. බ්‍රහ්ම නමින් ලෝකය මැවූ දෙවියන් අදහන හින්දු ආගමට බැහැරව යමින් ආලාර කාලාම, උද්‍රක රාමපුත්ත, නිගන්ඨ නාථ පුත්ත, අජිත කේස කම්බල, පකුධ කච්චායනය, සංජය බෙල්ලට්ඨි පුත්ත යනාදීන් තමන් විසින් නිර්මාණය කරගත් සාම්ප්‍රදායික හින්දු නොවන විධි ක්‍රම වලින් සත්‍යය ගවේෂණයේ යෙදුනහ. ගෞතම බුදුන් ද ලෝකය මැවූ දෙවියෙක් ඇතැයි යන සංකල්පයෙන් බැහැරක වූ සත්‍යය සොයා ගිය ගවේෂකයෙකි. දඹදිව රජදරුවන්ට ධර්මය කියා දුන්නෙකි. දෙවියන් එපා කියූ නිසා නොව (ධම්මපදයේ දණ්ඩ වර්ගයේ) “තමන්ව උපමාවට ගෙන අනුන්ට වදහිංසා නොකරන්න” යැයි දැක්මක් කියා දුන්නේ ය.

චීනයේ බිහි වූ කොන්ෆියුසියස් ගුරුවරයෙකි, දාර්ශනිකයෙකි, දේශපාලනඥයෙකි. කොන්ෆියුසියස් ද “තමන්ට සිද්ධ වෙනවාට අකමැති වූව අනුන්ට නොකරන්න,” යැයි කියා දුන් අයෙකි.

බටහිර ලෝකයෙන් ඇරිස්ටෝටල් මහා ඇලෙක්සැන්ඩර්ට පාලන තන්ත්‍රය කියා දෙන්නට ගියා සේ, ඉන්දියාවේ කෞටිල්‍ය වැනි රජවරුන්ට පාලනය ගැන සහ ආර්ථිකය ගැන උපදෙස් දුන් විද්වත් යැයි සැලකෙන පඬිවරුන් ගැන ඊ ළඟට අහන්නට ලැබෙයි.

විද්වතුන් ගේ සංඛ්‍යාව ලොව වර්ධනය වෙන්නේ දීර්ඝ කාලයක් පුරා ය. කාලයා ගේ ඇවෑමෙන් ඔවුන් ඇරිස්ටෝටල් හා කෞටිල්‍ය වැනි රජවරුන්ට උපදෙස් දෙන හා කුලීනයන්ට දැනුම සපයන කාර්ය භාරයෙන් වෙනස් වී, සම්පූර්ණ සමාජයටම දැනුම බෙදන විද්වතුන්, ගුරුවරුන් සහ විශේෂඥයන් බවට පත්වූහ.

මේ නිසා කාර්මික විප්ලවයක් හටගෙන ඇති බව ලෝකවාසීන් හඳුනාගන්නා කාලය පැමිණෙද්දී මුද්‍රණය පැතිර යාමත් සමඟ මහජනතාවට දැනුම බෙදන ලෙසින් මහත් පිරිසක්, සමහරු උගත් ලේඛකයන් ලෙසින් ද, අනතුරුව රේඩියෝ පඬිවරුන්, ඊ ළඟට රූපවාහිනියේ පෙනී සිටින විශේෂඥයන් යනාදී අනේක විධි ජනකායක් විද්වත් යැයි හැඳින්වෙන ගොඩට එකතු වී සිටියහ.

එහෙත් තවමත් බහුතරය නූගත් සමාජය යැයි ද යමක් කමක් දන්නා සුලුතරය විද්වතුන් යැයි ද සලකන හුරුවක් ඇත.

එහෙත් තවමත් දෙවියන් වෙතින් ලැබුනු විශේෂ වරප්‍රසාදය නිසා එක මිනිහෙක් අනෙක් මිනිහාට වඩා බුද්ධියෙන් උසස් යැයි සිතන හුරුවක් ඇත.

දෙවියන්ගෙන් පැවත එන රජවරුන් සේ වෙස්වළා ගත් බලතණ්හාධික පීඩකයන් ගෙන් ලෝකය ගැලවුනේ 17-18 වැනි සියවස් පුරා තුල දී සිද්ධ වූ මොළයේ බුද්ධි පරිනාමයෙනි. ඉතින්, අනුන්ට වඩා යම් බුද්ධියක් ඇති නිසා අනුනගේ ජීවිත හසුරුවන්න හැකියාව ඇති අය ලෙසින් තවමත් එන වෙස්වළා ගෙන එන විද්වතුන් ගෙන් මිදෙන්නේ ද දැනුම තුලින් සිද්ධ වෙන මොළයේ බුද්ධි පරිනාමයකිනි.

විමසිය යුත්තේ ඔබේ යහපත ඉටු කරන්නට ඔබට වඩා දන්නා කෙනෙක් ලොව සිටිනවා ද?!!!!!!!!!!!!

පුරාතනයේ සන්නාසීන් හා යතිඳුන් තම මෝක්ෂය සොයා ගිය හෝ දුප්පතුන්ට ආවතේව කිරීම තුලින් මෝක්ෂය සෙවූ අයයි. ජනතාවගේ කැමැත්ත අනුව ඔවුනට දානමානාදිය සැපයූහ. අනතුරුව පල්ලි පංසල් සම්ප්‍රදායක් සැලසුම් කරන ලද රජවරු පල්ලි පංසල් සංස්ථාව රකින්නට ජනතාව වෙතින් අය කරගන්නා බද්දෙන්, යතිඳුන් ලවාම ඒ සේවය සපයන්නට සමත් වූහ!!!!!

ඉතින් එසේ සමාජ සුබසාධනය සැලසුම් වූ පසු පල්ලි පංසල් සංස්ථාවේ පැවැත්ම රඳන්නේ දුප්පතුන්ගේ පැවැත්ම මත පමණි. දුප්පතුන් නැත්නම් සුබසාධන සේවා මෙහෙයවන පල්ලි පංසල් සංස්ථාවට ජනතාව වෙතින්ම අය කරගන්නා බදු ලැබෙන්නේ ද නැත.

මේ ඵෛතිහාසක යුගයේ දී ධනවතුන්ට නිතර අහන්න ලැබෙන්නේ දානය මනා කියා පමණක් නොව ධනවස්තු එක්කාසු කිරීම නොමනා කියාය. ක්‍රිස්තුස් වහන්සේ අනුකරණයට පිවිසෙන්න, එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් පමණක් ලබා ගන්න. ඊට එහා ධන වස්තු සොයා යෑම නරකයි යන්න බටහිර සමාජය වෙත පිරිනැමුනකි.

අපි ලෝකයට කිසිවක් ගෙනාවේ නැහැ, ඒ නිසා අපි කිසිවක් අරගෙන යන්නේ ද නැහැ, ආහාර සහ වස්ත්‍ර ප්‍රමාණවත් අපිට සතුටු වෙන්නට, ධනවස්තු සොයා යන අය පරිහානියට යති, මුදල් වලට ඇති ආදරය තමයි සියළු දුෂ්ටත්වයේ ප්‍රභවය -යනාදිය පෙර අපර දෙදිගින් ම දකින්නට හැකිවේ.

වාචික සම්ප්‍රදායෙන් පූජකවරු අතර පමණක් හුවමාරු වෙමින් පැවති ක්‍රිස්තියානි ධර්මය, සාමාන්‍ය ජනතාවට කියවිය හැකි බයිබලය වර්තමානයේ පිළිගැනෙන පරිදි සකස් වීම සමාප්ත වෙන්නේ 1611 දී ඉංග්‍රීසි බසෙනි.

පසුකාලයේ දී සිංහලෙන් කියවන්නට හැකියාව ලැබෙන සේ මුල් පාලි ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ එය අධ්‍යයනය සඳහා පාලි පාඨ සංගමයක් 1881 එංගලන්තයේ දී පිහිටුවා ගත් පසු පමණි.

ඉතිහාසය දිග හැරෙන ලෙසින් ධර්මය ලියැ වී ඇත් ද?

තමන් අකමැති වූව අනුන්ට නොකරන්න කියන තැනින් පටන් ගත් විද්වත් දැක්ම, දුප්පතුන් අගය කරන්න ධනවතුන් ප්‍රතික්ෂේප කරන්න යැයි වෙනස් වූවා ද?

ධර්මය වදාරන පඬිවරුන්ට පමණක් සීමා නොවී සාමාන්‍ය ජනතාවට තමන් පාවිච්චි කරන භාෂාවෙන් එය ප්‍රදානය වෙද්දී ඇත්ත මොනවා ද, බොරු මොනවා ද කියා තෝරා බේරාගෙන පීඩකයන් වෙතින් ගැල වී විද්වතුන් වන්නට හැමෝටම හැකිවේවි ද?!!!!!!!!!

ඉතිහාසය එපා යැයි ඵෛතිහාසික වාර්තා පුච්චා ඉතිහාසය මකා දැමීම නොව පැරණි සම්ප්‍රදායන් ඇති වූයේ මන්ද ඒවා තුලින් ඉගෙන ගත හැකියාව ඇත්තේ මොනවා ද, පවත්වා ගෙන ආරක්ෂා කරගත යුතුවන්නේ මොනවා ද, අත්හල යුත්තේ මොනවා ද යන්න ගැන විමර්ශනය කරන යුගයක් බිහිවේවි ද?!!!!!!!!!!

එම්පෙඩක්ලීස්ගේ බල්ලා

Posted in Uncategorized by arunishapiro on මාර්තු 25, 2013

IMG_1607

එම්පෙඩක්ලීස් බහුවිධ න්‍යාය මතධාරියෙකි. පරම සත්‍යය යනු එකක් නොව විවිධත්වයෙන් යුතු වූවක් යැයි හේ සැලකීය. එසේ සලකන්නට පටන් ගත් දාර්ශනික සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස හැඳින්වෙන්නේ එම්පෙඩක්ලීස් ය.

ග්‍රීක යටත් විජිතයක වාසය කළ ඔහු අග්නි, වායු, පෘතුවි සහ ජලය යන හතරෙන් සියල්ල නිර්මාණය වී ඇතැයි විශ්වාස කළේය. වෙනස හා චලනය විග්‍රහ කරන්නට ඔහු යොදාගත්තේ ආදරය සහ කලහය යන දෙකෙන් ලැබෙන බල ශක්ති දෙකයි. ආදරය විසින් එකිනෙකට සම්බන්ධයක් නොමැති දෑ ගෙනැවිත් නව එකතුවක් නිර්මාණය කරයි. කලහය විසින් පරණ හවුල් කෑලි කෑලි වලට කඩා විනාශ කර දමයි.

පසු කාලයක දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් එම්පෙඩක්ලීස්ගේ ඉහත මතය Eros = ජීවිත ආශාව සහ Thanatos = මරණ බිය යන නම් වලින් විග්‍රහ කළේය. එම්පෙඩක්ලීස් හා එකඟ වෙන ෆ්‍රොයිඩ් මේ බල ශක්ති දෙක සියළු ඓන්ද්‍රීය (organic) ද්‍රව්‍යයන් හි පදනම හදන බව පිළිගත්තේය.

පරිනාමය ගැන මුල් අදහසක් ද ගෙනෙන එම්පෙඩක්ලීස් ආදරය විසින් විවිධ වර්ගයන් හි රාක්ෂයන් එකට එකතු කළා යැයි පැවසීය. අවසානයේ එයින් ජීවිත ගලවා ගන්නට හැකි වූ පිරිස ඉතිරි වූයේ යැයි ඔහු කියන ලදි. ඇරිස්ටෝටල් ඒ අදහස ගැන කිව්වේ සම්භාවිතාවට අනවශ්‍ය වැදගත් ස්ථානයක් දී ඇතැයි කියාය.

හැමදාම බල්ලා එකම බිම් ගඩොලක් (ටයිල් එකක්) මත නිදන්නේ ඇයි දැයි විමසූ විට එම්පෙඩක්ලීස් කියා සිටියේ බල්ලාට ඒ බිම් ගඩොල හා සමානකමක් ඇතැයි කියාය. ඒ සමානකම (likeness) නිසා නිදාගන්නට එතැනට නිතර පැමිණෙන බවයි. එම්පෙඩක්ලීස් ගැන මෙම සඳහන ලැබෙන්නේ ඇරිස්ටෝටලේ ගේ ආචාර ධර්ම වලිනි.

ඉතින් ඔබ නිතර යන එන බ්ලොග් අඩවි සමඟ ඔබ තුල ඇති සමානකමක් ඔබ දකිනවා ද?!!!!!

ඔබත් හැසිරෙන්නේ එම්පෙඩක්ලීස්ගේ බල්ලා වගේ ද?!!!!!

අහඹු ලෙසින් හටගන්නා සම්භාවිතාවන්ට ඉඩ දී යෝග්‍යතමයන් පමණක් අනාගතයේ ඉතිරි වේවි ද?!!!!!!!!

නැත්නම්

නොදන්නා දේවල් ගැන සොයා බලන්නට හැකි ලෙසකින් වූ මොළයක් ඇති ඔබ එය පාවිච්චියට ගන්නට පටන් ගන්නවා ද?!!!!

හුරු පුරුදු තැන ප්‍රිය කළත් නුහුරු තැන් මොනවා දැයි සොයා දැනගන්නට හැකි මොළය ඔබ පාවිච්චියට පටන් ගන්නවා ද?!!!

යෝග්‍යතමයෙක් වන්නට හැකි මොළයක් ඔබටත් ඇති නිසා එය පාවිච්චියට පටන් ගන්නවා ද?!!!!!!

තර්කය යනු විචාරයේ විද්‍යාව සහ කලාවයි -ජෝන් ස්ටුවර්ට් මිල්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2013

විභාගයක් සමත් වෙන්න වගේ ම ජීවිතය ජයගන්නත් අවශ්‍ය වූ කුසලතාවයක් තමයි තර්කය. මිනිසාට ස්වභාවයෙන් ම තාර්කික හැකියාවක් පිහිටලා තියෙනවා. ඒ ජීවිතය ආරක්ෂා කරගන්නට. එහෙත් එහි ප්‍රාථමික බවෙන් එහාට වර්ධනය කරගන්න සමත් වෙන අය අඩුයි. මූලික හේතුව තර්කය ගැන කියා දෙන්න කෙනෙක් නැතිකම. අනෙක ඕනෑකමක් නැතිකම.

තර්කයේ විද්‍යාව සිද්ධ වෙන්නෙ අපි විචාරයක යෙදනා විට හටගන්නා මානසික ක්‍රියාවලිය විශ්ලේෂණයෙන්.

තර්කයේ කලාව සිද්ධ වෙන්නේ එහි රීති, අර විශ්ලේෂණයේ පදනම් වී ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යන්නට ලැබෙද්දී.

පවතින තත්වයකට වඩා හොඳ තත්වයකට යන්නට (improve) අපේ වැරදි නිවැරදි කරගත හැකියාව, මේකට ඉංග්‍රීසියෙන් එක වචනයක් තියෙනවා emendation කියලා, එය තමයි තර්ක ශාස්ත්‍රයේ ඇති වැදගත් ම ලක්ෂණය.

තර්ක ශාස්ත්‍රය අපිට ලබාදෙන්නේ:
මානසික ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි අවබෝධයක්
එය පදනම් වෙන කොන්දේසි මොනවා ද යන්න ගැන වැටහීමක්
එහි පියවර මොනවා ද
රීති පද්ධතියක් ගොඩනඟා ගත හැකි එකම පදනම
කොහෙද යා යුත්තේ කියා ඕනෑම ක්‍රියාවලියකට මාර්ගෝපදේශයක් දීම

ඕනෑම කලා කටයුත්තක දී එහි මූලික කටයුතු සඳහා විද්‍යාවේ සහාය අත්‍යාවශ්‍යයයි. විද්‍යාවක් නැතිව කලා නිර්මාණයක් බිහිවෙන්න ඉඩක් නැහැ. ඒත් එයින් කියැවෙන්නෙ කලා නිර්මාණයක් කරන අයෙක් එහි මූලිකව අන්තර්ගත වෙන විද්‍යාව පහදා ගන්නට දන්නවා කියලා නම් නෙමෙයි. කලාකරුවා දැන සිටියත් නැතත් කලා කෘතියේ නිර්මාණයට මුලින්ම විද්‍යාව උදව්වට ඇවිත්.

සංවාක්‍යයවාදය (syllogism) තමයි බහුතරයක් තර්කය හැටියට දන්නෙ. සාමාන්‍ය ප්‍රස්තුත වලින් විශේෂ ප්‍රස්තුතයකට පැමිණීම. තමන් දැනටමත් සත්‍යය යැයි පිළිගත් ප්‍රකාශයකින් වෙනත් ප්‍රකාශ සත්‍යය දැයි සොයා ගැනීම.

ඇරිස්ටෝටල් තර්ක ශාස්ත්‍රයේ දී නොහොත් වාද න්‍යාය (theory of argumentation) වල දී මුලින්ම පද (terms) මොනවා දැයි හඳුනාගන්න අවශ්‍යයයි. ඊ ළඟට ප්‍රස්තුත අවබෝධය අවශ්‍යයයි. එහි දී නිර්වචන (definitions) සහ විභජන (divisions) යනු කොටස් දෙකක්. වාදය (argumentation) එන්නෙ අන්තිමට. ඒත බහුතර සමාජයක් එතැනින් තමයි පටන් ගන්න හුරු වෙලා තියෙන්නෙ. ඒ නිසාම ඔවුන්ගේ වාදයන් දෝෂ සහිතයි.

තර්කයේ යෙදෙන භාෂාව කුමක් වුවත් එය තථ්‍යරූපී ලෙසින් යොදා ගත යුතුයි. එසේම තර්කයේ දී වර්ගීකරණය නිශ්චිතව කරන්නත් ඕනෑ.

සත්‍යය සොයන්නාට මිනිස් අවබෝධය වැඩ කරන හැටි කියා දෙන විද්‍යාව තමයි තර්කය.

අපිට තර්කයෙන් අපේ දැනුම අනිත් අය හා බෙදා ගන්න පුලුවන්. ඒත් තර්කයේ පරම අරමුණ වෙන්නේ තමන්ගේ ම සිතුවිලි වලට මාර්ගෝපදේශකයෙක් වීමයි.

සත්‍යය යනු කුමක් දැයි වටහා ගන්නට ක්‍රම දෙකක් තියෙනවා.

පළමු ක්‍රමය තමයි යමක් ගැන කෙළින්ම සත්‍යය අවබෝධය. බඩගිනියි කියලා කවුරුත් අත දරුවෙකුට වත් කියලා දෙන්න අවශ්‍ය වූවක් නෙමෙයි. සවිඥානය සහ සහජ ඥානයෙන් ශාරීරික වූ සංවේදන සහ මානසික සංවේදන වලින් අපිට සත්‍යය දැනගන්නට පුලුවන්.

දෙවැනි ක්‍රමය තමයි නිගමනය නැත්නම් අනුමේයය (inference) ඥානය. අනිත් සත්‍යයන් තුලින් තවත් සත්‍යයක් අවබෝධය. මුල් ප්‍රස්තුත වලින් තමයි අනිත් සියල්ලේ නිගමනයන් කරා එළඹෙන්නේ. ඉතින් මුල් ප්‍රස්තුත වල දී කරන පිළිගැනීම අනුව තමයි පසුව එන ප්‍රස්තුත පිළිගැනීම සිද්ධ වෙන්නෙ.

සමහර අයගෙ දුර්මතය තමයි බටහිර තර්ක ශාස්ත්‍රයේ දී කළු කපුටා සුදු කරන්න පුලුවන් කියල. මූලික ප්‍රස්තුතය නිවැරදිව පාවිච්චි කරන අයෙකුට එහෙම සත්‍යයක් අසත්‍යයක් කරන්න තර්කය සහාය දෙන්නෙ නැහැ.

අපිට කිසිම ඥානයක් පාදා ගන්නට තාර්කික විචාරයෙන් බැහැ දැනට සලකා බලන්නට පූර්වගාමී වූ ප්‍රස්තුතයක් නැත්නම්.

දැන් අයෙක් තමාට බඩගිනියි කියලා දැන ගැනීම ඍජු ඥානයක් වෙද්දී, නිගමන වලින් අපි ලබා ගන්නේ යම් තැනක අපි නැති වෙලාවට සිද්ධ වෙන දේවල් ගැන ඥානයයි. ඒ ඥානය ඉතිහාසයේ වාර්තා වලින් ලැබෙන නැත්නම් ගණිතමය ප්‍රමේයයන් වලින් ලැබෙන ඥානය හා සමාන වූවක්.

ඉතින් අපිට මේ ලෝකයේ දැනුමක් ලබාගන්න හැකි දේවල් එක්කෝ ඍජු ඥානය, නැත්නම් නිගමන ඥානය යන දෙකෙන් එකකට අයිති වෙනවා. ඒ දැනුම ප්‍රාථමික දත්ත වලින් ලබාගත හැකි වූවක්, නැත්නම් ඒ දත්ත වලින් නිගමන කරා එළඹෙන්න හැකි වූවක්.

ඍජු ඥානයෙන් අපිට ලැබෙන දැනුම කිසිම කෙනෙකුට ප්‍රශ්න කරන්න බැහැ. මට බඩගිනියි කියල මම කිව්වොත් එය මගේ දැනුමයි. තව කාටවත් බැහැ කියන්න, අපි මේ දැන් කාලා ඉවර වුනා විතරයි, ඔයාට බඩගිනි දැනෙන්නෙ කොහොම ද කියලා!!!! මට ඇති ඍජු ඥානය තහවුරු කරන්න කිසිම විද්‍යාවක් අපිට අවශ්‍ය නැහැ. කිසිම කලාවකින් අපිට මේ වැනි ඍජු දැනුමක් ප්‍රශ්න කරන්න අවසරයක් ලැබෙන්නේ ද නැහැ. අයෙක් කිව්වොත් අපොයි ඒ නිර්මාණය මට කිසිම ලෙසකින් රසවත් නැහැ කියලා අපිට එය එසේ නොවේ යැයි කියන්න බැහැ. අනෙකාගේ ඍජු දැනුමට අපිට හැකියාවක් නොමැති නිසා, ඍජු ඥානය යන කොටස ගැන තාර්කික පදනමක් ද අවශ්‍ය නැහැ.

නමුත් නිගමන වලින් එළඹෙන ඥානය … අන්න එය තමයි ප්‍රස්තුත වල නිරවද්‍යතාවය ගැන ප්‍රශ්න කරන්නට අපිට හැකි එකම ස්ථානය. එතැන දී තමයි අපිට අනෙක් අයගේ අදහස් හා එකඟ නොවී ඔවුන් වැරදි අපි නිවැරදි යැයි ඥානය පාදා දෙන්නට හැකි එකම අවස්ථාව.

තර්කය ගැන ලියන්නේ ජෝන් ස්ටුවර්ට් මිල් ලියූ A System of Logic (1882) ඇසුරිනි.

තර්කය ගැන කළින් ලියූ සටහන් කිහිපයක්:
එදිනෙදා ජීවිතයට තර්කයේ වැදගත්කම
අද දිනය ඊයේ දුර්මත වලින් පිරි හෙට දිනයක් ද?
මෝහයෙන් විතර්කය නොහොත් argumentum ad ignorantiam
තර්කයේ දුර්මත ගැන ආයෙත්