අරුණි ශපීරෝ‍ වෙතින්

2020 ඇමෙරිකන් ජනාධිපතිවරණය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 26, 2020

මම ඇමෙරිකාවට පැමිණියේ 1989 ගිම්හානයේ දී ය. එවක දී රොනල්ඩ් රේගන්ගේ උප ජනාධිපති ලෙසින් කටයුතු කළ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් රටේ ජනාධිපතිවරයා ලෙසින් වැඩ පටන් ගෙන තිබුණි. ඔහුට දෙවැනි වාරයක් නොලැබෙන හේතුව, රහස් පරීක්ෂක කතාවක් මෙන් ලියන ලද බදු අබිරහස, කළින් දවසක මම පරිවර්තනය කළෙමි. බිල් ක්ලින්ටන්ගේ පළමු වාරය පටන් ගනිද්දී මට ඇමෙරිකන් පුරවැසිභාවය ලැබී තිබිණ. ඔහුගේ දෙවැනි වාරය සඳහා ටෙනසි ප්‍රාන්තයේ නොක්ස්විල් නගරයේ පැවැත්වෙන ලද චන්ද රැළියකට ගිය මට (හමේ පාට නිසා යැයි සිතමි) සභාවේ ඉදිරියෙන්ම අසුන් ගන්නට පුටුවක් සහ ක්ලින්ටන් සහ ගෝර් දෙදෙනාට අතට අත දෙන්නටත් අවස්ථාව ලැබිණ.

ඊ ළඟට පත් වූයේ ජෝර්ජ් ඩබ්. බුෂ් විය. ඔහු නොක්ස්විල් නගරයේ ගුවන්තොටුපොළට පැමිණ, කිසිදු හැඟීමක් ඇති නොකරන කතාවක් පවත්වා නික්ම ගියේය. බහුතරයට වැඩි එක ‘දිස්ත්‍රික්ක චන්දයකින්’ බුෂ් ජනාධිපතිවරයා වෙන්නේ අනෙක් අපේක්ෂකයා වූ ගෝර් වෙත වක්‍ර ආකාරයකින් ක්ලින්ටන්ගේ අනියම් පලහිලව්ව ඇඳී තිබුණ හෙයිනි. 22 වියැති මොනිකා ලුවින්ස්කි සමඟ “කිසිදු ලිංගික සම්බන්ධයක් නැතැයි,” දිවුරුම් යටතේ ක්ලින්ටන් කියන ලද බොරු ප්‍රකාශය නිසා නියෝජිත සභාවෙන් ඔහුව “විශ්වාස භංගයට” පත්ව සිටියේය.

හිලරි ක්ලින්ටන් ඉහළින්ම දිනන බවත් ඇය පහසුවෙන්ම ඩෙමොක්‍රැටික් පක්ෂයේ නාම යෝජනාව ලබාගන්නා බවත් මාධ්‍ය විසින් කියද්දී කිසිවෙක් නම හෝ අසා නොතිබුණ බරක් ඔබාමා නාම යෝජනාවත්, 2008 ජනාධිපතිවරණ ජයත් ලබාගන්නට සමත් විය. ඒ වසරේ මම ප්‍රථම වරට චන්ද පොළක වැඩට ගියෙමි. ඔබාමාගේ දෙවැනි ජනාධිපතිවරණයට ජනතාව සහභාගී වූයේ වැඩි උනන්දුවක් නැතිවයි. 2012 දී මම රොම්නි රැළිය නරඹා පැමිණ වෙන අයෙකුට චන්දය දුනිමි. 2014 දී මම නැවතත් චන්ද පොළක වැඩට ගියෙමි.

2016 දී ද හිලරි ක්ලින්ටන් දිනන බවට කල් තියාම පැවති පොදු මතය වූයේය. ඩොනල්ඩ් ට්‍රම්ප් දිනාවි යැයි ප්‍රසිද්ධියේ කියූ අය අතලොස්සක් වූවා පමණක් නොව “නිහඬ බහුතරය” යන වචනය එදා අද තරම් අහන්නට නොතිබුණකි. CNN හි මැතිවරණ ප්‍රතිඵල ඉදිරිපත් කරන ලද ස්වරය වෙනස්වීම බලා සිටිය දී පැහැදිලිවම ඔවුන්ව ද පුදුමයට පත් කරන ලද බව පෙනිණ. එදා මම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ චන්ද පොලේ වැඩට ගිය බැවින් ගෙදර එන්නට පෙර නියම වූ කර්තව්‍යයක් හැටියට අපේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය වූ ට්‍රම්ප් ජයග්‍රහණය චන්ද ස්ථානයේ දොරේ අලවා ආවෙමි.

තව සතියකින් පැවැත්වෙන්නට නියමිත 2020 ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඩෙලවෙයාර් ප්‍රාන්තයේ වාසය කරන, ඔබාමාගේ උප ජනාධිපති හැටියට කටයුතු කළ ජෝ බයිඩන් තරඟ කරයි. ඔහු පහසුවෙන්ම දිනන්නට නියමිත යැයි ප්‍රධාන මාධ්‍ය විසින් කාලයක් තිස්සේ ස්ථාවරයක සිටිය දී “නිහඬ බහුතරය” ගැන කසුකුසුවක් පැත්තකින් දිගින් දිගටම අහන්නට ලැබිණ.

අවුරුදු 30 ක් ඇමෙරිකාවේ මැතිවරණ ගැන යම් අවධානයක් දක්වන ලද මට මෙවර මැතිවරණය අරුම පුදුම මැතිවරණයක් ලෙසින් පෙනී යයි.

ප්‍රාන්ත සහ ජනාධිපතිවරණ මුල් මැතිවරණ දෙකක් සඳහා දැනටමත් මම චන්ද පොලට වැඩට ගියෙමි. කෝවිඩ්-19 වසංගතය මැද්දේ එක් වතාවක් කල් දමා වෙනත් දිනයක පවත්වන ලද්දා වුවත් ඒ මුල් මැතිවරණ දෙකේ දී ම මෙතෙක් දකින්නට නොලැබුණු තරම් ජනකායක් චන්දපොල වෙත ඇදී ඒම දකින්නට හැකියාව ලැබිණ. එසේම තැපෑලෙන් යවන ලද චන්ද සංඛ්‍යාව මේ වෙද්දී වාර්තාගත ලෙසින් ඉහළ ගොස් ඇත.

යම් පක්ෂයක යැයි කියාගන්නා අය සියල්ලන්ම චන්ද පොලට ගියොත් ඒ පක්ෂය අනිවාර්යෙන්ම ජයග්‍රහණය ලබයි. නමුත් ඇමෙරිකන් චන්ද බලය ඇති අයගෙන් සාමාන්‍යයෙන් චන්දය ප්‍රකාශ කරන්නේ බාගයකට යාන්තම් වැඩි සංඛ්‍යාවක් පමණි. ජනාධිපතිවරයා හැටියට කවුරු පත් වුවත් රටේ ව්‍යවස්ථාව සියල්ලන්ටම සාධාරණයක් ඉටු කරන නිසා රට එතරම් වෙනසකට භාජනය නොවෙනවා යැයි දැඩි විශ්වාසය ඊට ප්‍රධාන හේතුවයි.

වාර්තා තබාගන්නට පටන් ගත් පසුව එනම් 1828 සිට අද දක්වා පැවති ඇමෙරිකන් මැතිවරණ ඉතිහාසයේ 80% කට වැඩි සංඛ්‍යාවක් චන්ද පොළට යන ලද අවස්ථා තුනක් ඇත. පළමුවැන්න, ”1837 භීතිය” න් පසුව ආර්ථිකය නැවත ස්ථාවරයකට පත් නොවී තිබිය දී ය. දෙවැන්න, සිවිල් යුද්ධයට උත්ප්‍රේරකයක් වූ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති තනතුරට පත්වෙන ලද 1860 නොවැම්බර් 6 වැනිදා මැතිවරණයයි. වාර්තාගත ඉහළම සංඛ්‍යාවක් චන්ද පොළට යන්නේ 1876 නොවැම්බර් 7 වැනිදාය. මැතිවරණ ප්‍රතිඵල ගැන වැඩියෙන්ම වියවුල් ඇති ඇමෙරිකන් ජනාධිපතිවරණය එයයි. අද දක්වාම, අඩුම ‘දිස්ත්‍රික්ක චන්ද’ වාර්තා වූ ඒත් ජනතාව 81.8% ලෙසින් වැඩියෙන්ම චන්දය ප්‍රකාශ කරන ලද මැතිවරණය එයයි. අවසානයේ දී, රිපබ්ලිකන් පක්ෂයේ රුතෆෝර්ඩ් බී. හේස් ජනාධිපති යැයි පිළිගැනීම සිදු වූයේ ඩෙමොක්‍රැටික් පක්ෂය විසින් ‘ප්‍රතිසංස්කරණ” නවත්වා දැමීමත් සහ දකුණේ ෆෙඩරල් හමුදා භටයන් ඉවත් කිරීමත් සඳහා කේවල් කිරීමෙන් පසුවයි.

ඉතාමත් තියුණු ලෙසකින් දේශපාලන පක්ෂ දෙක අනුව රට බෙදී ඇති 2020 දී ඒත් චන්දදායකයන් අතරින් 80% ක් චන්දය ප්‍රකාශ කරාවි යැයි අපේක්ෂා කළ නොහැකියි.

2016 දී ට්‍රම්ප් වෙත අප්‍රසාදය දක්වන ලද්දේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ අය පමණක් නොවේ. පසුගිය මැතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ බොහොම දෙනෙක් ඔහුට චන්දය දී නැත. ඒත් මෙවර ඔහුට රිපබ්ලිකන් පක්ෂයේ වැඩි පිරිසක් චන්දය දෙන්නට ඉදිරිපත්ව සිටිති.

නොවැම්බර් 3 වැනිදා මමත් නැවතත් චන්ද පොලේ වැඩට යමි. අපේ ප්‍රාන්තයේ ජනාධිපතිවරණ ‘දිස්ත්‍රික්ක චන්ද’ 3 ක් ඇත. ජෝ බයිඩන්ට ජය ගනීවිද?

චන්ද පොළක වැඩට ගියෙමි -නැවතත්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 10, 2014

ඊයේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ මුල් මැතිවරණය (primary) පැවැති දිනයයි. එහි දී චන්දය ප්‍රකාශයට හැකියාවක් ලැබෙන්නේ රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රැටික් පක්ෂ දෙකෙන් චන්දය ප්‍රකාශය කරන අයට පමණි. ස්වාධීන අපේක්ෂයන් අතර පක්ෂයක් නියෝජනය කළ යුතු එක් අයෙක් තෝරාගැනීමක් නැති නිසාත්, ලිබටේරියන් පක්ෂය ඉදිරිපත් කරන්නේ ඒ ඒ ඒ නියෝජිත ආසනයට එක් අයෙක් බැගින් නිසාත්, ඔවුන් මේ මුල් මැතිවරණයට සහභාගී නොවෙති.

මම 2008 දී ටෙනසි ප්‍රාන්තයේ චන්ද පොළක වැඩට ගියෙමි. ප්‍රාන්ත අතර නීති රෙගුලාසි වෙනස් නිසා චන්දයට කළින් ඒ සඳහා ඩෙලවෙයාර් හි පැවැත්වූ පංතියකට ගිහින් වෙනස්කම් ගැන ඉගෙන ගත යුතු විය.

ඩෙලවෙයාර් හි චන්ද දායකයෙක් හැටියට රෙජිස්ටර් වෙද්දී තමන් කුමන දේශපාලන පක්ෂයේ දැයි නැත්නම් ස්වාධීන දැයි කියා සිටිය යුතුයි. මැතිවරණයට පෙර යම් කාල සීමාවක් තුල දී පක්ෂය මාරු කළ හැකියි. සාමාජික ගාස්තු ගෙවීමක් නැත.

විකිපීඩියාව දක්වන පරිදි, ටෙනසි ඇතුළු ප්‍රාන්ත 22 ක් අනුගමනය කරන පිළිවෙත අනුව මුල් මැතිවරණයක දී පවා චන්දය දෙන්නට කැමති පක්ෂයක් තෝරා ගැනීම එම දිනයේ චන්ද පොළට ගිය විට දී සිද්ධ කරන්නකි.

චන්දය දෙන්නට රෙජිස්ටර් වූ චන්ද දායකයන් රිපබ්ලිකන් ලෙසින් වැඩියෙන් තමන්ව හඳුන්වාගෙන ඇත්තේ වයෝමින් ප්‍රාන්තයේ පමණි.

මෙරිලන්ඩ්, කෙන්ටකි, වෙස්ට් වර්ජිනියා, පෙන්සිල්වේනියා සහ ලුයිසියානා හි වැඩි වශයෙන් චන්ද දායකයන් රෙජිස්ටර් වී ඇත්තේ තමන්ව ඩෙමොක්‍රැටික් පක්ෂයේ අය හැටියට හඳුන්වා ගනිමිනි.

ඩෙලවෙයාර් හි චන්දය දමන්නට පැමිණෙන අය තමන්ගේ ඡායාරූපයක් ඇති හැඳුනුම්පතක් පෙන්වන්නට අවශ්‍ය නැත. චන්දය දමන්නට මෙතැනට යන්න යැයි චන්ද කාර්යාලයෙන් එවූ ලියමන, තමන්ගේ චෙක්පොත, විදුලි හා ජල පහසුකම් ගෙවූ බිල්පතක්, නම සහ ලිපිනය ඇති ව්‍යාපාරයේ ලෙටර් හෙඩ් එකක් වුවත් ඒ සඳහා ප්‍රමාණවත්.

ඊයේ අපේ චන්ද දිස්ත්‍රික්කයේ චන්දය ප්‍රකාශ කරන්නට රෙජිස්ටර් වූ දෙදාහක් පමණ පිරිසක් අතරෙන් පැමිණි තුන්සිය පනහකට අධික වූ පිරිස අතර බහුතරය පුංචි කාලේ සිටම එකිනෙකා දැන හඳුනන අයයි.

මැතිවරණ කටයුතු වල යෙදුනු අපි සියල්ලන්ම ස්වේච්ඡාවෙන් එතැන එදින පමණක් වැඩ කරන්නට ආ අය මිසෙක ඩෙලවෙයාර් ප්‍රාන්තයේ හෝ අපේ දිස්ත්‍රික්කයේ හෝ රටේ ෆෙඩරල් ආණ්ඩුවේ සේවකයන් නොවූහ.

මැතිවරණයට බලපාන සේ කිසිත් පුද්ගලික මුදලක්, වාසියක් ලබා නොගත්තා යැයි උදේ හයට වැඩ පටන් ගනිද්දී අපි වාචිකව පොරොන්දු වීමු. චන්ද දමන යන්ත්‍ර වල අගුල් විවෘත කිරීම පටන් ඒවා වසා නැවත රාත්‍රී අටට අගුල් දමන තෙක් අනුගමනය කළ යුතු පිළිවෙත් සියල්ල නියම කර තිබූ අන්දමින් අකුරක් නෑර අපි අට දෙනාම එක සේ අනුගමනය කළෙමු.

විශේෂයෙන්ම, අප අට දෙනා අතර කිසිම දේශපාලන කතාබහක් සිද්ධ නොවීය. විහිළු තහළු සහ පළාතේ කයි කතන්දර නොමඳව අසන්නට ලැබිණ. ලංකාව තියෙන්නේ කොහේදැයි පවා අසා නොතිබි දෙතුන් දෙනාත් දවස අවසානය වෙද්දී ලංකාව ගැන බොහෝ තොරතුරු දැනගත් අය වූහ. 🙂

ප්‍රාන්තයේ කොංග්‍රස් සභිකයා සහ වසමේ පොලිසීයේ ලොක්කා (Sheriff) ද පැමිණියේ තමන් කුමන පක්ෂයක් හෝ කුමන චන්ද අපේක්ෂකයෙක්ව ප්‍රමෝට් කරනවා යැයි කියත නොහැකි ලෙසකටයි. ඔවුන් ද කිසිත් දේශපාලන කතාබහකින් තොරව තම චන්දය දී, සුව දුක් විමසා, මේ චන්ද වැඩ කරන්නට අපේ කාලය දුන්නාට ස්තූති කර පිටව ගියහ. මෙහෙ පොලිසීයේ ලොක්කා තෝරා පත්වෙන්නේ ද ජනතාවගේ චන්ද වලිනි.

අපේ දිස්ත්‍රික්කයේ චන්ද ප්‍රකාශ කළ අය අතර ළාබාලම චන්ද දායකයා මගේ දියණිය වීමෙන් මගේ සිත කනස්සල්ලට පත් විය. එහෙත් ඇයට චන්ද අපේක්ෂක නාම ලේඛනය දෙන බොත්තම අනිත් පැත්තේ සිට ඔබන්නට ලැබෙද්දී නම් මගේ සිත සතුටෙන් උතුරා ගියේය. තිස් වියැති අය තුන් හතර දෙනෙක් පමණක් සිටි අතර චන්දය ප්‍රකාශ කළ බහුතරය වයස 50-90 අතර අයයි.

එසේම අපේ දිස්ත්‍රික්කයේ ඊයේ චන්දය දුන් අය අතර ආසියානු කලාපීය පුරවැසියෙකුට සිටියේ මා පමණි. කවදාවත් චීනෙට ගිහින් නැති පළාතේ චීනා එන තුරු අපි හැමෝම බලා සිටිය ද දවස පුරාම වරින් වර වැස්ස පාත් වූ නිසා වෙන්නැති ඔහු පැමිණියේ නැත.

දුරකතනය පාවිච්චි කිරීම හදිසි අවශ්‍යතා සඳහා පමණක් තබාගෙන අවම වශයෙන් සිදු කළ යුතු යැයි අපට කියා තිබිණ. චන්ද වැඩ කටයුතු කළ අප කිසිවෙක් පුද්ගලික කතාබහෙන් තම සෙල් ෆෝන් වල එල්ලී සිටියේ නැත.

චන්දය දුන්නා යැයි පෙන්වත හැකි රිසිට් පතක් ටෙනසි ප්‍රාන්තයේ දී අපි බෙදා දුන්නෙමි. මෙහෙ දී එවැනි කිසිවක් නොවීය. ඇඟිල්ලක් පාට කිරීමක් සිද්ධ නොවේ. චන්දෙ දුන්නා යැයි සඳහන් වෙන එකම තැන චන්ද ලැයිස්තුවේ නම අසලින් ගහන අත්සන් පාර පමණි.

චන්දය පැවැත්වුනේ අපේ වසමේ ගිනි නිවන හමුදා ස්ථානයේය. චන්ද කටයුතු කරන කාලය තුල දී ඡායාරූප ගැනීම තහනම් විය. උදේ හයේ සිට රාත්‍රී අට දක්වා ගිනි නිවන හමුදාවේ රථය පිටත් වී ගියේ එකම එක වතාවකි. ඒ වයසක අයෙකුව ගෙදර සිට රෝහල වෙත රැගෙන යෑමටයි. ඇඟට හරි නැති බවක් දැනෙනවා නම් ඉස්පිරිතාලෙට යන්නැයි තමන්ගේ දොස්තර කියූ නිසා එයා සූට්කේස් එකක් ද පැක් කරගෙන ගිනි නිවන හමුදාව අමතන ලද්දේය. ඉතින් ඔවුන් ඔහුව ඉස්පිරිතාලයට ගෙනිහින් හැරලූ බව නලා හඬ ගැන ඇසූ අපට දැනුම් දුන්හ!!!!

ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අප වාසය කරන සසෙක්ස් කවුන්ටියේ බහුතරය අපව ආණ්ඩු කරන්නට යැයි අනුන් නීති රීති ගෙනෙනවාට වැඩිය කැමැති අය නොවෙති. එහෙත් කවුරැන් හෝ චන්ද බහුතරයක් ලබා නීති රීති ගෙනෙන්නේ ද, ඒවා මට පමණක්, මේ මේ අවස්ථාවේ දී පමණක්, කියා විශේෂ වාසි බලාපොරොත්තු වෙන අය ද නොවෙති.

චන්දය ප්‍රකාශ කරන්නට ආ මේ වයසක ඇත්තන් මිය ගිය පසු පළාතේ හැදියාව කුමන ආකාරයකින් වෙනස් වී යාවිදැයි කිව නොහැකියි. අප අට දෙනා නොවැම්බර් 4 වැනිදා මහ මැතිවරණයේ දී යළි හමුවෙමු යැයි කියමින් සමුගත්තෙමු.

වර්ජීනීයාවේ රොම්නි රැළිය බලා අවුත් අද චන්දය දුන්නේ වෙන කෙනෙකුට

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 6, 2012

මා අගයන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති අපේක්ෂකයෙක් මෙවර සිටී. ඔහු ජනාධිපතිවරණය දිනන්නේ නැතිබව කිසිදු සැකයකින් තොරව දනිමි. එහෙත් පැරදෙන අයෙකුට චන්දය දුන්නේ අනාගතේ ජය පිණිසයි. 2008 චන්ද පොලක වැඩට ගිය මා එදාට වඩා ජනතා උනන්දුවක් අද චන්දය දාන්නට ගියවිට දැක්කෙමි.

ඩෙමොක්‍රැටික් පක්ෂය නම් බදු අය කර භාණ්ඩාගාරය හිස් කරන අයයි. රිපබ්ලිකන් පක්ෂය නම් ණය අරගෙන භාණ්ඩාගාරය හිස් කරන අයයි. බරක් ඔබාමා වනාහී භාණ්ඩාගාරය හිස් කර, ණයත් අරගෙන බදුත් වැඩි කරන අයෙකි. එහෙත් ඔහුට එරෙහිව එදා චන්දය නොදුන්නෙමි. මා එදත් චන්දය දුන්නේ ධනවාදී යැයි කියාගත් එහෙත් එසේ නොවූ රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව ලිබටේරියන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාටය. මෙවරත් චන්දය දුන්නේ ධනවාදී කියාගත් එහෙත් ධනවතුන් ගෙන් අරගෙන දුප්පතුන්ට බෙදන මෙහෙයක නිරත වෙන්නට ඉදිරිපත් වී ඉන්නා රිපබ්ලිකන් පක්ෂයට එරෙහිවය.

තෙවැනි පක්ෂ හා ස්වාධීන ජනාධිපති චන්ද අපේක්ෂකයන් ඇමෙරිකන් මැතිවරණ වල සැමදා සිටියහ. ලිබටේරියන් අදහස් මොනවා දැයි දැනගන්නට ලෝකයේ වැඩි උත්සාහයක් නොවූව ද, අද මැතිවරණයේ ප්‍රතිඵල දැකි පසු ලෝකයේ ටික දෙනෙක් හෝ ලිබටේරියන් පක්ෂය පෙනී සිටින්නේ මොන ප්‍රතිපත්ති සඳහා දැයි විමසනු ඇත් ද? මා හඹා යන්නේ ඒ ජයග්‍රහණයයි. ලෝකයේ දුප්පතුන් අවම කරන එකම ක්‍රමය වූ ධනවාදය සදා දිනේවා!!!!!!

ඊයේ වර්ජීනීයාවේ ෆෙයාර්ෆැක්ස් නගරයේ පැවති රැළියේ දී මිට් සහ ඈන් රොම්නි දැකගන්නට හා ඔවුන්ගේ පොරොන්දු අහන්නට මට අවස්ථාවක් ලැබුණි. මගේ හිත වෙනස් කරන්නට සමත් කිසිවක් ඔවුන් කීවේ නැත.

වඩාත්ම සිත ඇදී ගියේ, ශාලාව වෙත යද්දී දැකි, සීතල සිසිරයේ ගහක් යට වාඩි වී කුතුහලය පිරුණු මුහුණකින් කතන්දර පොතක් කියවන මේ පුංචි කොල්ලාටයි.

මා චන්දය දුන් ගැරී ජොන්සන්ට, චන්දය දෙන්න කියන බල්ලාගේ පින්තූරය www.facebook.com/govgaryjohnson වෙතිනි.

චන්ද පොළක වැඩට ගියෙමි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 27, 2010

<p> <font size=”3″>ඇමෙරිකාවේ 2008 ජනාධිපති මැතිවරණයට මාත් ගියා චන්ද පොළක රෙජිස්ටාර් හැටියට වැඩට.  ඊට මාස දෙකකට කළින් පංති දෙකකට සහභාගී වෙන්නත් සිද්ධ වුනා. මම විතරයි ඒතැන හිටියේ ආසියාතික කෙනෙකුට.

ටෙනසි ප්‍රාන්තය ඇමෙරිකාවේ උතුරත් දකුණත් වෙන්වෙන මායිමක තියෙන්නෙ. බයිබල් බෙල්ට් කියලා සමහරු හඳුන්වන්නෙ ඒ පැත්තෙ වැඩිපුර ඉන්නෙ බයිබලය අදහන ක්‍රිස්තියානි අය නිසා. ලංකාවේ වගෙ කතෝලික අය නෙමේ වැඩිය ඉන්නෙ බැප්ටිස්ට්, මෙතඩිස්ට්, ප්‍රෙස්බටේරියන්, මෝර්මන්, යෙහෝවා වගේ ආගම් අදහන අය. ඒ කියන්නෙ එයාල අදහන්නෙ එකම බයිබලයත් නෙමෙයි.

ඇමෙරිකාවේ දකුණු පළාතේ අය අතීතයේ සිට කළු හම ඇති අයට සලකන ආකාරය ගැන පොත පතින් කියවලා ඇතිනෙ. ඉතින් ටෙනසි අය කියන්නෙ එයාල දකුණේ කියලා හැදියාව අතින්. උතුරේ කියලා සම මානව අයිතීන් අතින්. තව විදියකින් කිව්වොත් උතුරේ අය අයිස් තේ දෙන්නෙ සීනි නැතුව. දකුණේ අයට සීනි දාලමයි අයිස් තේ හදල දෙන්නෙ. කළු අයට අතීතයේ වාර්තා වලට අනුව වැඩි හිරිහැරයක් ටෙනසි අය කරල නැහැ. හැබැයි වැඩි උදව්වකුත් දීලා නැහැ. පැත්තකට වෙලා හිටිය වගේ පෙනෙන්නෙ.

චන්ද මධ්‍යස්ථානේ වැඩට පුහුණු වෙන්නයි චන්දෙ දවසෙ වැඩ කරන්නයි ගෙවීමක් දෙනවා. ඒක පැයකට ‍ඩොලර් දහයයි. වේටර් වැඩක් කරලා ඊට වඩා දහ ගුණයක් හම්බ කරගන්න පුළුවන් සිකුරාදා රෑ එක පැයකින් ලැබෙන ටිප්ස් වලින්. වන්ද මධ්‍යස්ථානේ වැඩ කරන්න එන්නෙ හැට පැනපු අයයි මං වගේ හැටට ළං වෙන්න ඉන්න අයයි තමයි! විශ්‍රාමිකයෝ.

තමන්ගෙ පක්ෂය මොකක්ද කියලා කියන්න ඕනා. චන්ද මධ්‍යස්ථානයට හැම පක්ෂයෙන්ම අයෙක්ව වැඩට යොදා ගන්න අවශ්‍ය නිසා. හැබැයි පක්ෂෙට කොහේවත් බැඳිලා තියෙන බවක් පෙන්වන කඩදාසි ඕන නැහැ. කවුරුත් ප්‍රශ්න කරන්නෙ නැහැ පක්ෂෙ ඔප්පු කරන්න කියල. ඒ කියන්නෙ මනුෂ්‍යයා අනිවාර්යෙන්ම අවංකයි කියල පිළිගන්න ප්‍රතිපත්තියක් එතන තිබුනෙ. මං ඉතින් මෙහෙ පක්ෂෙකට බැඳිලා නැති නිසා හිතට ආපු පක්ෂෙ නම කිව්වා.

සේරම වැඩ කොම්පියුටර් වලින්. හැට පැනපු ආච්චිලා සීයලා මාර දක්ෂයි. පොඩ්ඩක් හෙමින්. ඒ වුනාට සේරම නීති දන්නවා. සේරම ප්‍රෝගෑම් වැඩ කරන හැටි දන්නවා. අමතක වෙන අයටයි, චන්දෙ දෙන්න එන අයටයි කියල දෙන්නත් කාණ්ඩෙ ඉන්නවා. හැබැයි එයාලා කවුරුත් ඔයා බුලත් කොළේට දාන්නෙ මෙහෙමයි, ඔයා හංසයට දාන්නෙ මෙහෙමයි නම් කිව්වෙ නෑ. නමක් කියන එකෙන් හැම තිස්සෙම වැළකිලා සිටිය.

චන්ද මධ්‍යස්ථානයට ගියේ උදේ පාන්දර 7 ට. මහජනයාට චන්දය පාවිච්චි කරන්න පුළුවන් උදේ 8 සිට රෑ 8 වෙනතෙක්. 7 ඉඳන් 8 ට දොරවල් අරිනකම් මේස, පුටු හරියට තියෙනව ද බැලුවා. චන්ද කොම්පියුටර් මැෂින් ඇවිත් හයි කරලා, සෙකියුර් දුරකතන වයර් වලින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැටි බලාගෙන හිටිය. ඒකත් චන්ද රෙජිස්ටාර්ගෙ වැඩට අයිති. එයාල ඒ මැෂින් වෙනස් නොකරනවා ද බලන එක. මේ පැත්තට ඉස්සෙල්ලා යන්න, ඊ ළඟට අර පැත්තට යන්න, අන්තිමට මෙතැනින් පිට වෙන්න කියන බෝඩ් කෑලිත් ගහනවා බලාගෙන හිටියා. ඊට පස්සෙ එතන මධ්‍යස්ථානාධිපති අපිට ප්‍රතිඥාවක් ගන්න කිව්වා හොර බොරු වංචා නොකරන බවට. එයා වගන්තිය කියද්දී අප දකුණු  අත උස්සගෙන එකඟ වුනා.

උදේ 8 ට දොරවල් අරින කොට පෝලිමේ මිනිස්සු බලාගෙන ඉන්නවා. හැබැයි කළින් ඇවිත් හිටගෙන හිටියා කියලා කවුරුත් කුණු කුණු ගාන්නෙ නැහැ. පෝලිම් වල හිටගෙන ඉන්න පුරුදු ජාතියක් නොවුනට පෝලිමේ ඉන්න වුනාම හරි ෂෝක් එකට පිළිවෙලට පෝලිම් පනින්නෙ නැතුව ඉන්න අය.

අපේ ළඟ තියෙන චන්ද ලැයිස්තුවෙ නම තියෙනවා නම් රියැදුරු බලපත්‍රය, පාස්පෝ‍ට්, වතුර බිලක් හෝ ලයිට් බිලක් වගේ එකක් පෙන්නලා වුනත් චන්දෙ දාන්න පුළුවන්. චන්දෙ දාන්න රෙජිස්ටර් වෙච්ච බව පෙන්වන හැඳුනුම් පතේ පින්තූරයක් නැහැ. මුලින්ම ආවම අහනවා ගෙදර ඇඩ්‍රස් එක. උපන් දිනයත් අපේ ලිස්ට් එකේ සඳහන්. ඉතින් අනූවක පුරුෂයෙක් ආවම දහ අටක එක්කෙනා නෙමෙයි කියල දන්නවා. සමහර අය චන්දෙ දාන මධ්‍යස්ථානය නොදැන වැරදිලා ඇවිත් හිටියා. ඒ අයට යන්න ඕන තැන හොයලා දීලා නියම තැනට යැව්වා.

පැත්තක මේසයක කෑම බීමත් ගොඩ ගැහෙන්න ගත්ත. සමහර චන්දෙ දාන්න එන අය කෑම බීමත් ගෙනැත් දුන්නා වැඩ කරන අපිට කන්න. ඉතින් ඉඩක් ලැබෙන හැටියට ගිහින් මොනවා හරි දේකුත් කටට හලාගෙන එනවා. වැඩ කරපු කාණ්ඩෙ එකට පුහුණුව ලබපු කාණ්ඩෙ නෙමෙයි. දවස ඉවර වෙනකොට අළුත් යාළුවෝ ගොඩයි. දේශපාලනය ගැන කවුරුත් කතා කළේ නැහැ. ඒකට නම් වෙලාවක් තිබුනෙත් නැහැ. ගොඩක් සෙනඟ ආපු නිසා.

නම තියනවද බලල, දෙනවා චන්දය දාන්න ඉල්ලුම් පත්‍රයක්. එකේ නමයි අත්සනයි ගහන්න ඕනා. ඊට පස්සෙ යවනවා බැලට් ක්ලාක් ළඟට. එයා රැන්ඩම් අංක 4ක නොම්මරයක් එක්ක යවනවා මැෂින් එක ළඟට. මැෂින් එකට අර රැන්ඩම් නොම්මරේ දැම්මම වැටෙනවා චන්දෙ දාන අයගෙ කොට්ඨාශයේ විස්තර. නමට දෙන නොම්මරේ ගැහැව්වම විස්තර ඉබේම වැටෙන්න ප්‍රොග්‍රෑම් එක හදල තියෙන්නෙ. නමට දෙන නොම්මරේ තියන කොළ කෑල්ල තමයි චන්දෙ දැම්මා කියන රිසිට් පත. ඉතින් ඒ නොම්මරේ ගහන්න පුළුවන් චන්දෙ දෙන එක්කනා. චන්දෙ දුන්නට පස්සෙ ඒ නොම්මරේ අවලංගුයි. දෙසැරයක් ගහන්න බෑ.

චන්දෙ දාන ස්ක්‍රීන් එක හරි පහසුයි. ඒක ගෙදර දී පුහුණු වෙන්න අන්තර්ජාලයෙන් පුළුවන්. ඉතින් කැමැති කැමති අයට චන්දෙ දීලා ස්ථිර කරන බොත්තම එබුවම චන්දෙ වැටෙන්නෙ. කොහොමද කියලා දැනගන්න කැමති අය මේ ලින්ක් එකෙන් ගිහින් චන්දෙ දාන හැටි සෙල්ලම් කරලා බලන්න. වම් පැත්තෙන් තියෙන අංක හතර ගහන්න දකුණු පැත්තෙ අන්තිමට තියෙන රවුම කරකවන්න කර්සර් එකෙන් පුළුවන්. රතුපාට හයිලයි‍ට් වැටුනම එන්ටර් ක්ලික් කරන්න.

http://www.hartintercivic.com/files/eSlate.swf

චන්දය දාන හැටි ප්‍රාන්ත අනුව ඒකම විදියකට නැහැ.  කොම්පියුටර් වලින් චන්දය දාන පහසුකම ඇමෙරිකාවේ හැම චන්ද මධ්‍යස්ථානයකටම තිබුනෙත් නැහැ.

රෑ අටට මිනිත්තුවක් දෙකක් තියෙද්දි දෙන්නෙක් දුවගෙන ආවා. ඉක්මණින් ඒ අයව ඇතුලට අරන් දොර අගුල් දැම්මා. එළියේ පෝලිමක් තිබුණ නම් ඒ අය චන්දෙ දාලා ඉවර වෙනකම් අපි ඉන්න ඕනා. හැබැයි හොඳ වෙලාවට එහෙම පෝලිමක් තිබුනෙ නෑ.

කොම්පියුටර් චන්ද මැෂින් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා පොඩ් ගැජට් එකක්. ඒක ටයිප් රයිටරයක් හා කඩවල රිසිට් නිකුත් කරන මැෂිමට අතර මැදි එකක්. චන්දෙ පටන් ගන්න කළින් ඒකෙ මුකුත් වැදිලා නෑ කියල අත්සන් ගහල සහතික කරන්න ඕනා. චන්ද දාලා අවසානයි කියල මැෂින් එකින් එක වහද්දි අර ගැජට් එකෙන් රිසිට් පතක් වගේ දිග කොළයක් වැදෙන්න පටන් ගත්තා. ඒ කොළේ අපිට පේන වෙලාවෙම පළාතෙ පත්තර වලට, රූපවාහිනි, රේඩියෝ වලට තොරතුරු දෙනවා. චන්ද මධ්‍යස්ථානයෙන් කෙළින්ම නගරයේ හා ප්‍රාන්තයේ මූලික මධ්‍යස්ථාන වලටත් තොරතුරු යවනවා. මේ කොළේ අන්තිමට මං එක පක්ෂයක් වෙනුවෙනුත් තවත් කෙනෙක් අනිත් පක්ෂය වෙනුවෙනුත් අත්සන් ගහලා සහතික කළා අපි ඉදිරියේ මේක ප්‍රින්ට් වුනේ කියලා. පක්ෂ දෙකක අය මිසක් පක්ෂ මොනවද කියල ප්‍රශ්න ආවේ නැහැ.

ඒක වැදිලා නතර වුනාම එතන හිටි අපි වගේම,  ඊට වෙන කොහේ හරි සිට සම්බන්ධ වෙලා හිටිය මාධ්‍යවේදියෝ සහ ප්‍රාන්තයේ චන්ද නිලධාරීන් පුතිඵල දකිනවා. රෑ 8:30 වෙනකොට ශාලාවත් අස් කරලා, පුතිඵලත් දැනගෙන අපි ගෙදර ගියේ. ඒ හිටපු අය හමේ පාට වෙනස් කියල මට කිසිම වෙනසක් කළේ නැහැ. සමහර ආච්චිලා සීයලා නම් වයස දැක්කම වහල්ලු අයිති කරගෙන හිටිය අයත් වෙන්න ඕන.

2009 මැතිවරණයේ ඇමෙරිකාවේ ජනාධිපති වශයෙන් තෝර ගත්තෙ බරාක් ඔබාමා වුනාට අද නම් ඇමෙරිකාවෙ ඔබාමාට චන්දෙ දීපු කෙනෙක් හොයා ගන්නත් නැහැ. කවුද දන්නෑ චන්දෙ දීලා එයාව ජනාධිපති කළේ! ඇඹුල් වෙනකොට ඇඹල‍යෝත් දාලා යනවයි කියනවානේ. </font></p>