අරුණි ශපීරෝ‍ වෙතින්

යන මාර්ගය දැන්වත් වෙනස් කරන්න!

Posted in Uncategorized by arunishapiro on මාර්තු 30, 2022

අනුගමනය කරන වැරදි පිළිවෙත් නිසා ඇතිවන දුර්භාග්‍ය තත්ත්වය ගැන වසර 13 ක් තරම් කාලයක සිට නිතිපතා ලියමින් සිටින බ්ලොග් එකකි මෙය. මෙහි අදහස් ඉඳහිටෙක ප්‍රධාන මාධ්‍යයන් හරහා කතාබහට ලක් කළ කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට (ඒ අයට මගේ ස්තූතිය) අද මුහුණ දෙන ඵලවිපාක අත්විඳින්නට සිද්ධවේ යැයි මෙය කියවන්නට පැමිණි බහුතරය විශ්වාස නොකළහ.

මෙහි දී ඉදිරිපත් කළ අදහස් සොයා බැලීම වෙනුවට රටක ආර්ථිකය හසුරවන්නටත් ලෝකයේ පරිසරය රැකගන්නටත් රජයක නියාමන වැඩි කිරීම අවශ්‍ය යැයි කියන්නට මෙහි ආ ගිය බහුතරය පෙළ ගැසෙන ලද්දහ. ඒ ලංකාවේ සිට මෙය කියවන අය පමණක් නොවේ. ඔවුන් බහුතරය බටහිර රටවල වාසය කරන අය වෙති.

“ආර්ථික පින්තූරය මුළුමනින්ම සැකසෙන්නේ නිරන්තර වූ කුඩා වෙනස්කම් තුලින්” යන ෆ්‍රීඩ්රික් ඒ. හයෙක් ලියූ සත්‍යය, එනම් ඒ නිසා රජයක් සමාජයේ දැනුම භාවිතය නොදන්නවා යැයි මේ අය තවමත් පිළිනොගනිති.

සමෘද්ධිය සඳහා ඇත්තේ එක මාර්ගයක් පමණි. එනම් රජයේ නියාමන අවම කර, දේපල අයිතිය සහ නීතියේ රීතිය ආරක්ෂා කර, වෙළඳපලට ඉඩදීමයි. බටහිර රටවල් සියල්ලම සමෘද්ධිය කරා ගියේ ඉහත පිළිවෙත් අනුගමනය කළ කාලයන්හි දී ය. ඒවායෙන් ඈත්වෙද්දී දුර්භාග්‍ය කරා ද, ඒවා යළි ස්ථාපිත කරගනිද්දී සමෘද්ධිය කරා ද ඔවුන් ගමන් කරති.

අනිකුත් සියළු පිළිවෙත් දුර්භාග්‍යයය කරා යන මාර්ග වෙති.

ඒ දුර්භාග්‍ය කාලයට දැන් ලංකාව පිවිස ඇත. ලංකාව අද වැටී සිටින්නේ වෙනිසියුලාව, සිම්බාබ්වේ, ලෙබනන්, තුර්කිය, සූඩාන් යනාදී රටවල් හා සමාන තත්ත්වයටයි. ඒ එකදු රටක් හෝ සංක්‍රමණිකයන් හෝ සරණාගතයන් ලෙසින් මිනිසුන් ඇතුල්වන්නට තැත්කරන රටවල් නොවෙති. ඒවා මිනිසුන් අත්හැර යන රටවල් වෙති.

මිනිසා යනු රැකියාවක් සඳහා ශ්‍රමය වෙහෙසන්නට අකමැති සත්වයෙකි. මිනිසා යනු ඒත් බොහෝ දේ තමන් සතු කරගන්නට කැමති සත්වයෙකි.

මෙම මිනිස් ස්වභාවයන් නිසා ඔහු මුදල් උපයන්නට රැකියාවක නියැළෙයි. මුදල් උපයන හැකියාව ඇතිවන්නේ වෙළඳපලට භාණ්ඩ හා සේවා සැපයීමේ දී පමණි.

රජයේ රැකියා යනු මුදල් උත්පාදනය කරන රැකියා නොව රටවැසියන්ගේ මුදල් වැය කරන රැකියාවන් වෙති. රජයේ රැකියා යනු වෙළඳපලට බාධක පනවන රැකියා මිසෙක ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලන රැකියා නොවෙති.

1980 ගණන් මැද දී ලංකාව අත්හැර දා බටහිර රටවල්වලට පැමිණි බොහෝ දෙනෙක්, තවමත් තරයේ අල්ලාගෙන සිටින දැක්ම අද ලංකාවේ වාසය කරන බහුතර වාසීන්ගේ දැක්මෙන් වෙනස් නොවේ. ඔවුන් තමන් කළ කී වාමාංශික දේශපාලන කටයුතු නිසා තවදුරටත් ලංකාවේ වාසය ආරක්ෂිත නොවූ නිසා මෙන්ම ඒ පිට දමා ආර්ථික වාසි පිණිස බටහිර රටවල්වලට ගිය අයයි.

ජෝ බයිඩන්ගේ පුතා සහ මහින්ද රාජපක්ෂගේ පුතා ගැන සටහනක් මා ලියුවේ 2009 දී ය. අද එහි සඳහන් වැඩිමහල් පුතා වූ බෝ බයිඩන් ජීවතුන් අතර නැත. ඒත් ඇමෙරිකන් ජනතාවට අද දැනගන්නට ලැබී ඇත්තේ ඉතා දූෂිත සහ අසික්කිත ලෙසින් කටයුතු කර ඇති දෙවැනි පුතා වූ හන්ටර් බයිඩන් ගේ ක්‍රියාකලාපයයි. ජනතාව අඳුරේ සහ පෝලිම්වල සිටිය දී flyboard රසාස්වාදයක් අත්වින්ඳ මහින්ද රාජපක්ෂගේ පුතා වෙනුවට බංගලාදේශයෙන් ණය ආධාර ඉල්ලන තත්ත්වයට රට වට්ටන ලද මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙක් වන ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලෝකයාට අහන්නට සිද්ධ වී ඇත.

ආදායම් බදු අයින් කර දැමීම රටේ සියල්ලන්ටම නිර්දේශිත විය යුතුයි යන්න ශ්‍රී ලංකා වානිජ්‍ය මණ්ඩලයේ එවක සභාපති ධූරය හොබවන ලද අනුර ඒකනායක විසින් ඉදිරිපත් කළ යුතු වූ යෝජනාව යැයි මම 2009 දී ලිව්වෙමි. ඉහත සඳහන් කළ රටවල් වෙනුවට ලංකාව අද බර්මියුඩා, මොනාකෝ, බහාමාස්, සහ UAE යනාදී රටවල් සමඟ වැටුණා නම් අත්හැර දමා යනවා වෙනුවට රටට ආයෝජන සඳහා ඇදී එන අයව බාරගන්නට තවත් ගුවන්තොටුපලක් හදන්නට සිද්ධවෙනවා නොවේද! ඒත් ඉතින් තවමත් රටේ ඉන්නේ පෝසතුන් ගෙන් කපාගෙන තම පාලකයන්ගේ පසුම්බි තරකරන්නට කැමති බහුතරයයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය ගැන දකින්නට ඇති සංවාද සොච්චම සමඟ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ප්‍රොෆයිල් පිංතූර දැමූ අයත් සහ විල් ස්මිත් දුන් කම්මුල් පහර ගැන ලියූ මහා රැල්ලත් සසඳා බලද්දී, ලංකාවේ අයට ලෝකයේ යුද්ධ ගැන අහන්නට ලැබෙන්නේ ඇමෙරිකාව ගෑවෙන තැනේ පටන් බව ඔප්පු කරයි. මේ කියමන ගැන සැක දුරු කරගන්නට අවශ්‍ය නම් ඔය අමුණා ඇති පෝස්ට් එකේ කමෙන්ට් කියවා බලන්න!

සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙකු බිහිකරයි ද? වසර 18 කට ආසන්න කාලයක් බලයේ සිටින ව්ලැඩ්මියර් පූටින් යුක්රේනය ආක්‍රමණය කර දරුවන් සිටින තැනක් යැයි මහ ලොකු අකුරින් ලියා ඇති ගොඩනැඟිල්ලකට බෝම්බ දැම්මේ ය. ඒත් දරු බර උසුලමින් සිටි කාන්තාවට තුවක්කුවක් මාන ලද ෆ්ලොයිඩ් වෙනුවෙන් පෙනී සිටි මහා අවිහිංසාවාදී ලාංකිකයන් කිසිවෙක් යුක්රේනයේ දරුවන් නොදැක්කා සේ සිටියහ.

ෆ්‍රෙඩ්රික් බැස්ටියාට් ලියූ “ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සම” සිංහල බසට පරිවර්තනය කළේ 2014 දී ය. තවමත් ලංකාවේ වැසියන් දැඩි සේ කරපින්නාගෙන ඉන්නේ දේශීය වෙළඳපල දේශීය කර්මාන්ත සඳහා වෙන්කර තබාගැනීම සුදුසු යැයි කියන විශ්වාසයයි.

පාලකයන් වෙනස් කරන්නට මහමඟට බහින්නට අද ලංකාවේ වැසියන් සූදානම් වෙමින් සිටිති. ඒත්, ලංකාවේ බහුතර වැසියන් තමන් කරපින්නාගත් වැරදි දැක්ම වෙනස් කරන්නට සූදානම් නැත. ඒ වැරදි දැක්ම කරපින්නාගෙනම කෙසේ හෝ බටහිර රටකට පැනගන්නට හැකිනම් ඔවුන් අතර බහුතරය එය කරනු ඇත. බටහිර රටවලට පැනගත් අය අතර බහුතරය ද ඒ වැරදි දැක්ම වෙනුවෙන්ම තව දුරටත් පෙනී සිටිති. එහි හානිය දකින්නට ඔවුන් ඇස් ඇර නොබලති.

පාලකයන් මාරු කළාට රටක් දියුණු නොවේ. අනුගමනය කරන වැරදි පිළිවෙත්වලින් අයින් වෙන්නේ කවදාද රටක දියුණුව ඇරඹෙන්නේ එදාටයි.

බටහිර රටකට පිවිසි පමණින් ඔබගේ දියුණුව සාක්ෂාත් වුවත් එරට ද තමන් අත්හැර දමා ආ වැරදි මාර්ගයේ යන රටක් බවට හරවන පිළිවෙත් සඳහා ඔබ පෙනී සිටින්නේ නම් ඔබ ඔබගේ දරුමල්ලන්ට දායාද කරන්නේ තමන් හැර දමා ආ රටේ තත්ත්වයයි. ඔබට එන්නට බටහිර රටක් තිබුණි. ඔබේ දරුවන්ට යන්න තැනක් නැතිවන තත්ත්වයක් දායාද නොකරන්න.

ඔබ ඇමෙරිකාවේ වාසය කරන්නේ නම්, ඇමෙරිකාවට පදිංචියට එන්න අදහස් කරනවා නම් එයත් ලංකාවක් නොකරන්න යැයි කරුණාවෙන් ඉල්ලා සිටිමි!

ජෝ බයිඩන්ගේ පුතා සහ මහින්ද රාජපක්ෂගේ පුතා

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 4, 2009

ජෝ බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයාය. ඔහුගේ පුතා බෝ බයිඩන් නමින් වෙයි. බෝ බයිඩන් පුතණ්ඩියා ඉරාකයේ යුද වැදී ආපසු රටට පැමිණ සිටී. නුදුරු අනාගතයේ දී ඩෙලවෙයාර් ප්‍රාන්තයේ චන්දය ඉල්ලන්නට හේ සූදානම් වෙයි. ඔහු ඉල්ලන්නට යන්නේ ජෝ බයිඩන් තාත්තා උප ජනාධිපති වශයෙන් පත් වූ පසු හිස් ව ඇති සෙනෙට් තනතුරය.

මුලු මහත් ලෝකයටම නිදහස හා අයිතිවාසිකම් ගැන කියා දෙන්නට යන ඇමෙරිකාවේ වැඩවසම් ක්‍රමවාදයක් ඇති බව පෙනෙන්නේ බුෂ් තාත්තා සහ බුෂ් පුතා, කෙනඩි පරමිපරාව, බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් යනාදී නූතන පුද්ගලයන් දිහා බලනා විටය.

ඉතින් වැඩවසම් ක්‍රමයක් පැවති ලංකාව වැනි රටක, නිදහස ගැන ලෝකයට කියා නොදෙන්නට යන රටක, මහින්ද රාජපක්ෂ තමන්ට පෙර හිටි අනිකුත් නායකයන් අනුගමනය කරමින් තම පුතණ්ඩියාට රට බාර දෙන්න‍ට මග පාදා දීමට ගන්නා උත්සාහය ගැන වැරැද්දක් කිය හැකිද?

බෝ බයිඩන් පුතා ඉරාකයේ යුද්ධයට ගිය පමණින් ඔහු වීරයෙකු වූයේ කෙසේද? ගුරවරයෙකු තම පන්තියේ ළමුන් විභාගයකට ඉදිරිපත් කර ඔවුන් සියල්ලෝම විභාගයෙන් පාස් වූ පමණින් වීරයෙකු වන්නේ නැත. වෛද්‍යවරිය රෝගියෙකු සුව කළ පමණින් ඇය වීරවරියක වන්නේ නැත. තමන්ගේ රැකියාව ඉටු කළ පමණින් ඒ පුද්ගලයා විරයෙකු බවට පත් කිරීමට අපි කැමැත්ත දුන්නේ කවදාද? සරත් පොන්සේකා නම් වූ අණදෙන නිලධාරියා යුද්ධය නිසියාකාරව මෙහෙයවා ඒ අනුව යුද්ධය ජය ගැනීම නිසා ඔහු වීරයෙක් වන්නේ කෙසේද? 9/11 දා නිව් යොර්ක් නගරයේ කටයුතු නිසි ලෙසින් කළ නිසා එහි නගරාධිපති රටේ ජනාධිපති වන්නට ඉල්ලා කොළේ ඉරා ගත්තේය. ජනතාව‍ට හැමදා කොළේ වහන්න ලේසි නැත.

මේ විහිලුකාරයින්ට ඔවුන් නටන මෝඩ නැටුම් ඵල රහිත යයි පෙන්වන්නට අපි සතු වටිනා ආයුධය වූ චන්දය කිසිදා අමතක නොකරමු. සැමියාගේ පුතිපත්ති බලා ඔහු මරා දැමූ නිසා බිරිදටත්, තාත්තාගේ හැකියාව බලා පුතාටත්, රැකියාව නිසි පරිදි කළ නිසා විරයෙක් සේ සලකා අණදුන්නාටත් චන්දය දෙන යුගය දැන් අවසන් කළ යුතු කාලයයි.

ඡායාරූපය මහින්ද රාජපක්ෂ ඩොට් කොම් වෙබ් අඩවියෙනි.