අරුණි ශපීරෝ‍ වෙතින්

විද්‍යාවෙන් බියගන්වා අවිද්‍යාත්මක විසඳුම් ගෙනෙන හැටි

Posted in Uncategorized by arunishapiro on ජූලි 30, 2013

“මිනිසුන් ඔවුන්ගේ ස්වචාරයන් (idiosyncrasies) වලින් ජීවත් වී ඔවුන්ගේම රෝග වලින් මිය යති,” -වියට්නාමයේ කියමනකි.

මිනිස් ස්වභාවය සෑම මනුෂ්‍යයෙකුට ම පිහිටා තිබිය ද, ඒ ස්වභාවයෙන් ඒ ඒ ඒකීය මිනිසා කටයුතු කරනා ආකාරයන් විවිධ වෙයි. හදිසි කෝපය මිනිස් ස්වභාවයක් වුවත් එය දමනය කරගත් බොහොමයක් මිනිස්සු අප අතර සිටිති. වාසය කරන පළාත අනුව පරිසරයෙන් සිද්ධ වෙන බලපෑමත්, පළාතේ නීති රැකෙන/නොරැකෙන විදිය අනුවත්, විලාසිතා රැල්ලක් එන යන ආකාරයෙන් වගේ ම ඒකීය පුද්ගලයා තුල වූ ස්වාධීන ඕනෑ එපාකම් අනුව ද විවිධ කොන්දේසි යම් තීරණයක් ඉදිරියේ කරළියට පැමිණෙති.

කොතරම් හොඳින් අධ්‍යයනයක් හදා ගත්ත ද, ඒ අධ්‍යයනය කරන ලද පරීක්ෂකමාන්‍යයන්ට බැහැරින් එහි ප්‍රතිඵල නිතැතයෙන් ම අදාල කළ නොහැකියි. වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ ආර්ථික සහ අධ්‍යාපන මට්ටම, ජනවර්ගත්වය, දැනට පවතින සෞඛ්‍ය තත්වය යනාදියත්, අළුතින් ගෙනෙන රෙගුලාසි, සමාජ වැඩ සටහන්, ආහාර වට්ටෝරු නිර්දේශ යනාදී මෙකී නොකී සියල්ල යම් අයෙක් ගන්නා තීරණ වලට බලපාන ඒවා වෙති.

ඉතින් කිසියම් අධ්‍යයනයක් කරන්නට මිනිසා විසින් හදන ලද කොන්දේසි මෙන්ම ස්වභාවික ලෝකය ද ප්‍රවෛගික (dynamic) වූවකි. මිනිසා මෙන් ම පරිසරය ද වෙනස්කම් වලට භාජනය වෙමින් පවතින්නකි. එක කාලයක දී එකතු කරන ලද තොරතුරු තවත් කාලයක දී තව දුරටත් සත්‍යය දැයි සොයා නොබැලීම දැඩි අඩුපාඩුවකි. මෙසේ කියද්දී මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය ගැන සත්‍ය යැයි ඔප්පු කරන ලද වෙනස් නොවන සිද්ධාන්ත ගැන සැක පළ කිරීම බහුතරයාගේ සාමාන්‍ය සිරිතයි. එහෙත් ඔවුන් සැක පහළ කරගත යුතු වූව නොහොත් මිනිස් ස්වභාවයේ සහ ලෝක ස්වභාවයේ නිතර පවතින විවිධ වෙනස්කම් මොනවා දැයි විමසීමට අමතක කර දැමීම ද සාමාන්‍ය සිරිතයි!!!!!!

වෛද්‍ය විද්‍යාවේ දී කාලය යනු වැදගත් භූමිකාවක් ගන්නා සංදර්භයකි. යම් ඖෂධයක්, ඌනපූරණයක් හෝ පෝෂණ ක්‍රියාවලියක් සිරුරට බලපාන ආකාරයේ කෙටි කාලීන බලපෑම් සහ දීර්ඝ කාලීන බලපෑම් අතර ඇත්තේ වැදගත් වෙනසකි.

එහෙත් මෙහි දී තවත් බැහැර කළ නොහැකි දැඩි සේ වැදගත් වූ කාරණයක් ඇත. බෙහෙතක් තවම සොයාගෙන නැති රෝගයකින් පීඩා විඳින තම දරුවා මරණයට ළං වී ඉන්නේ නම් පමණක් බොහෝ දෙනෙකුට මෙය පහසුවෙන් වැටහුන ද, එය රටාවෙන් බැහැර සසම්භාවී වූවක් නිසා බහුතර මිනිසුන්ට පහදා ගත නොහැකි වූවකි. දීර්ඝ කාලීන ප්‍රතිඵල දැනගන්නා තෙක් හැමවිටම යම් ඖෂධයක් භාවිතා නොකර සිටීමට නොහැකියි. සායනික නැහැසුම් (clinical trials) දීර්ඝ කාලයක් පුරා පැවැත්වීමට යන වැය කොතරම් අධික වූයේ ද කියතොත් දැන් බෙහෙත් මිල වැඩියි කියනා අයට එවිට මොන අඳෝනා නැඟුවත් එය භාවිතයට නොලැබේ. මන්ද එවිට නිෂ්පාදනයක් සිද්ධ නොවෙන නිසයි.

අවදානම් යනු ජීවත්වන මිනිසා විසින් මුහුණ දිය යුත්තකි. මරණයෙන් ගැලවෙන්නට නොහැකි සේ, රෝග වලින් පීඩා විඳීමෙන් ගැලවෙන්නට නොහැකි සේ, උපන් නිසා මිනිසාට අවදානම් වලට මුහුණ දීමෙන් ගැලවී ඉන්නට ද නොහැකියි. මෙය යම් භාස්මික මට්ටමකින් දන්නා මිනිසා ඔහුව බියගන්වන වාර්තාවක් ඇහෙද්දී වැඩියෙන් ඒවාට ඇදී යාමට හුරුවක් ඇත. එසේම රටාව දකින්නටත් සසම්භාවීත්වය නොදකින්නටත් ස්වභාවයෙන් හැදී ඇති නිසා බියගන්වන වාර්තා තුල ඇති අවදානම ගැන බියවෙනවා මිසෙක ඒ ගැන විමසා බලන හැකියාවෙන් අඩු වෙයි.

මිනිසා විසින් හදන ලද රසායන යනු ආරක්ෂිත යැයි ඔප්පු කර පෙන්වන තුරු භාවිතයට නොගත යුතු දැයක් යැයි මේ බිය උපදවමින් ලියැවෙන වාර්තා කියා සිටිති. එය කියවන බහුතරයා හිතන්නේ ඕනෑම සාන්ද්‍රණතාවකින් (concentration), සෑම නිරාවරණයක දී ම (exposure), සහ වෙනත් සංයෝග සමඟින් එකතු වී පාවිච්චියට ගනිද්දී පවා පරිපූර්ණ ලෙසකින් එය ආරක්ෂිත තත්වයකින් ලැබිය යුතු බවකි.

සියළු තාක්ෂණයන් ගැන විද්‍යාත්මක වූ අවිනිශ්චිත බවක් ඉහත සඳහන් කළ හේතු නිසා පවතී. ඒ නිසාම අවදානම් ඇත. විද්‍යාව දන්නා අය වුවත් ජනතාව බියගන්වන හුරුවක ඉන්නේ නම් එවිට මේ වැදගත් විද්‍යාත්මක ලක්ෂණය අමතක කර දමති.

ඒකීය මිනිසා අවදානමක් ගන්නේ එයින් ලැබෙන මහත් ප්‍රතිඵල වැඩි බැවිනි. ප්‍රාග්ධනය නෛසර්ගිකව ලාබයක් උපදවනවා යැයි වරදවා සිතන හුරුවෙන් යුතු වූ අයට, ලාබයක් සොයන්නට ලැබෙන්නේ අවදානමක් ගන්නා අයට යැයි නොදකින අයට, මෙය තේරුම් කර දීම ඉතා අපහසු වූවකි!!! එසේ කිව්වාම සමහරු හිතන්නේ අනුන් අවදානමට තබන අය ලාබ උපයනවා කියාය!!!!

මිනිසා විසින් හදන ලද රසායන යනු කෘමීන් සහ වෙනත් රෝග කාරක භාවයන් විනාශ කර මරා දමන්නට හැකි ඒවාය. ඒවා එහෙම වූයේ නැත්නම් ඒවායෙන් මහජනතාවට ඵලදායක නොවේ. ඖෂධ නිසාම අවදානම් පවතින අතර ඒවායෙන් ලැබෙන අතුරු ඵලයන් ද ඇත. එහෙත් ඒවා භාවිතයට ගන්නේ ඊට වඩා අහිතකර වූ ප්‍රතිඵල වලින් ගැලවෙන්නට ය.

කෘමිනාශක යොදන්නේ වගා විනාශ වී නොයා දී සාගතයකට මුහුණ දීමෙන් ගැලවෙන්නට ය.

ලංකාවේ දොස්තරවරුන් අනවශ්‍ය බෙහෙත් නියම කරනවා සහ අනවශ්‍ය වාර්තා ඉල්ලා සිටිනවා යැයි හෙදියන් පැමිණිලි කළ නිසා දොස්තරවරුන් සැත්කම් වර්ජනයක ඉන්නා ප්‍රවෘත්තියක් කියැවීමි!!!!! ලංකාවේ දරුවන්ගේ කන් රැදාවට දෙන ඇමොක්සිසිලින් මෙන් ම වෙනත් වැඩිහිටියන්ට දෙන ඖෂධ සහ ඒවායෙහි සාන්ද්‍රණතාවන් හා ප්‍රමාණයන් කියවද්දී ලංකාවේ මිනිස්සු මෙහෙම සැර බෙහෙත් බොමින් කෘමිනාශක වලින් ලැබෙන අවදානම් ගැන කතා කරන්නේ මන්දැයි සිතුණු අවස්ථා අපමණය!!!!!!

එවැන්නක් ගැන උගත් අයකු ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවක ලැබුණු උත්තරය නම් “අපේ අයට එක පාරෙන් හොඳ වෙන්න සැර බෙහෙතක් දුන්නෙ නැත්නම් එයා වෙන දොස්තර කෙනෙක් ළඟට යනවා,” කියාය!!!!!!

ලංකාවේ පළ වූ බිය උපදවන ප්‍රවෘත්ති වාර්තාවක් ගැන විමසා බලමු:
සිරස්තලය: කෘෂි-රසායන: ලංකාවේ නිහඬ මාරයා
කර්තෘ: පාඨලී චම්පික රණවක

පළමු පින්තූරය පැල ගොයම් කුඹුරක් මැදින් රසායන ගසන ටැංකියක් සමඟ ගමන් කරන ලාංකිකයෙකි.

නොදන්නා අවිනිශ්චිත වකුගඩු රෝගයක නව වර්ගීකරණය ගැන ජනතාවට කියන රණවක මහතා එය හැදෙන්නේ කුමන හේතු නිසාදැයි සොයා ගැනීම විද්‍යාඥයන්ගේ කාර්ය භාරය බව පවසයි. ඒවා මොනවා දැයි සොයාගත්තාම ප්‍රතිපත්ති හදනා අයට සහ අදාල නිලධාරීන්ට මේ රෝගයෙන් ගැලවෙන්නට අවශ්‍ය නිශ්චිත ප්‍රතිකාර්මික ක්‍රියාවන් ගන්නට හැකි යැයි කියයි.

මෙය වගකීමෙන් කළ හැකි එකම ආකාරය මේ රෝග නිදානය ගැන වූ නොදන්නා හා අවිනිශ්චිත බව ඉවත් කිරීමෙන් බව මම ද රණවක මහතා හා එකඟයි!!!!

මේ රෝගය පවතින පළාතේ වැසියන් සෑම වසරක දී ම “සිය ගණනින් මිය යන” බව වාර්තා වී ඇතැයි ඔහු ඊ ළඟට කියයි. 10,000 කට වඩා දැඩි සේ රෝගී වූවන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ලියාපදිංචි යැයි ද කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව උතුරු මැද පළාතේ මිලියන 1.3 ක වැසියන් ගෙන් 15% ක් නොහොත් එක්ලක්ෂ අනූපන්දාහක් ජනතාව මේ රෝගයෙන් පෙළෙති. එපමණක් නොව දැන් එය උතුරු, නැගෙනහිර, වයඹ, සහ ඌව දිස්ත්‍රික්කයන් පුරා ද පැතිර යන බව කියයි.

ඊ ළඟට එන්නේ ආසනික් වසවිෂ ගැන වූ විස්තර හා රූප සටහන් කොටුවකි. එහි පැත්තක දත්ත වලට අනුව මේ අවිනිශ්චිත නොදන්නා රෝගයෙන් විසිදාහක් මරණ සිද්ධ වී ඇතැයි ද පනස්දාහක් ඌවේ සහ උතුරු මැද දිස්ත්‍රික්ක වල දී ඊට ගොදුරු වී සිටින බවත් කියයි. “සිය ගණනින් මිය යන” බව කිව්වා මිසෙක වසරක දී සීයේ ඒවා කීයක් ද කිව්වේ නැති නිසා විසිදාහක් මරණ කොපමණ කාලයක් තිස්සේ සිද්ධ වූවා දැයි පාඨකයාට සිතාගත නොහැකියි.

කේ. වනිගසූරිය 2012 දී ලියන ලද අන්තර්ජාලයේ ඇති විද්‍යාත්මක ලිපියක කියැවෙන්නේ මෙය පසුගිය දශකයේ හඳුනා ගත්තක් කියාය.

එසේ නම්, වසර විස්සක් තුල දී වසරකට දාහක් පමණ මිනිසුන් මේ රෝගය නිසා මිය ගිහින් ද?

රණවක මහතාට අනුව තතු විමර්ශනය කරන ලද විද්‍යාඥයන් හේතු හැටියට දක්වා ඇත්තේ මේවාය: අහිතකර වතුර සහ පසේ ෆ්ලෝරයිඩ් වැඩි තැන්පතු තිබීම; ජලාශ වතුර නයිට්‍රීකරණය සහ ඇල්ගේ පැලෑටි වර්ධනය; පර්යේෂකයන් අතර කොටසක් “ප්‍රගල්භ ලෙසින් කියා සිටියේ” (boldly claim) මේ රෝගයට හේතුව heavy metal සහ රසායනික පොහොර හා කෘමිනාශක වැඩි වශයෙන් පාවිච්චි කිරීම නිසා බව යැයි ද ඔහු ලියයි. බටහිර නොවන ඇකඩමියාවේ පිරිසක් මේ පළාතේ භාවිතා වන කෘසි රසායන වල තියෙන කැඩ්මියම් (Cd) සහ ආසනික් (As) මෙයට හේතු යැයි අඟවා (suggested) ඇතැයි ඔහු කියයි. දෙයියන්ගේ උපදෙස් අනුව හේතු සොයා ගැනීම ගැන ද සඳහන් කරන රණවක මහතා අනතුරුව කියන්නේ හම්බන්තොට වැනි පෙදෙස් වල, කෘෂි රසායන භාවිතා වූවත් මෙය කෘෂි රසායන වලින් හැදෙන්නක් නම් ඒ පෙදෙස් වල ජනතාව මේ රෝගයෙන් පෙළෙන බවක් දැක්වෙන්නේ නැත්තේ මන්දැයි විද්‍යාඥයන් වාද කරන ලද බවයි.

2012 Journal of the College of Community Physicians of Sri Lanka හි කේ. වනිගසූරියගේ ලිපියේ අනුමිතිය පෙන්වන්නේ බහුවිධ සාධක, එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක පරිසර සාධක සහ සමහර විට ජානුගතව පිහිටා ඇති තත්වයක් (genetic predisposition) ද රෝග නිදානයට හේතු “විය හැකි” කියාය. රණවක මහතාගේ ලිපිය මුල දී ඔහු ද දියවැඩියාව, අධ්‍යාතතිය වැනි හේතු ද නිදන්ගත වකුගඩු රෝගයට හේතු විය හැකි බව සඳහන් කර ඇත. නමුත් ඉහත විද්‍යාඥයන්ගේ හේතු දක්වන වගන්තියේ ඒවා සඳහන් නොවේ. එහි දී පාඨක අවධානය යොමු කරන්නේ රෝග නිධානයට හේතු සම්බන්ධයෙන් නොයෙක් රසායනික නම් වලට ය.

“ප්‍රගල්භ ලෙසින් කියා සිටින” පමණින් එය විද්‍යාත්මක අනුමිතියක් වේ ද? ඒ පර්යේෂකයන් කවුරුන් ද? ඔවුන් විද්‍යාත්මක සත්‍යයක් ඉදිරිපත් කර ඇත්නම් ඇයි ඒ ගැන පියවරක් රජයට වහාම ගන්නට නොහැකි?!!!!

“ප්‍රගල්භ ලෙසින් කියා සිටින” දේවල් විද්‍යාත්මක සත්‍යයක් යැයි ඔප්පු කළ හැකිනම් එක්කෝ කෘෂි රසායන නිවැරදිව භාවිතා කරන හැටි කියා නොදුන් අය වරදකරුවන් ය. නැත්නම් නිවැරදිව භාවිතා කළ නමුත් අනිසි සංයෝග වලින් දැඩි හානි පමුණුවන කෘෂි රසායන රටට විකුණා ඇත්නම් ඒ විදෙස් රසායන කොම්පැණි වලින් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වලට ඩොලර් වලින් විශාල වන්දි මුදල් ලබාගත හැකියාව ඇත. එසේම ඒවා සොයා නොබලා රට ඇතුලට ගන්නට අවසර දුන් අයට දැඩි දඬුවම් දිය යුතුයි!!!

ලෝක සෞඛ්‍ය සංවිධානයට රෝග නිධානය (etiology) කුමක් දැයි කියන්නට නොහැකි වූ බව රණවක මහතා පවසයි.

එහෙත් ඒ සඳහනට යටින් ඇත්තේ මේ කාටූනයයි: එකක් කියා වෙනකක් පෙන්වා බිය උපදවන අපූරුව!!!
agri chemical cartoon

කැබිනට් උප කමිටු, පාර්ලිමේන්තු විශේෂ කමිටු සහ විද්‍යාත්මක කමිටු පත් කරන ලද ද, ඒවායෙන් නිර්දේශයන් ඉදිරිපත් කරන ලද ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනය සහ දත්ත සහ තවත් පුරෝගාමී විද්‍යාඥයන් 43 දෙනෙකුගේ අධ්‍යයනයන් සියල්ලම ලංකාවේ දේශපාලනයේ බලගතු පිරිසක් විසින් පරිසිද්ධි දියාරු කරන උත්සාහයක් ඇතැයි හේ අනතුරුව කියා සිටියි. මෙය පුවත්පතේ නැවත වරක් රතු අකුරින් ද සඳහන් වේ.

ලංකාවේ අහිංසක වැසියන් දාහකට බැගින් වසරක් වසරක් පාසා මරණය කැඳවන්නක් ගැන පරිසිද්ධි දියාරු කරන්නට සමත් ලංකා දේශපාලනයේ බලගතු පිරිස කවුරුන් දැයි අපිත් දැනගන්නට කැමැත්තෙමු!!!!!!! සමහර විට සියල්ලට සවන් දෙන ඔබාමා නම් දැනටමත් දන්නවා ඇති!!!! 😀

ඊ ළඟට එන්නේ WHO සංවිධානයේ Dr. F. R. Mehta විසින් විශේෂ විද්‍යාඥ සැසිවාරයක දී WHO අධ්‍යයනයේ රෝග නිධානය කුමක් දැයි කියන්නට නොහැකි වූ සොයා ගැනීම් පැහැදිලි කරන ලද හැටියි. මේ නිදන්ගත වකුගඩු රෝගයට හේතුව මිනිසා විසින් හදන ලද රසායාන වැඩියෙන් භාවිතයයි. හේතුව පැහැදිලිවම එය නම්, එහෙනම් එය WHO සංවිධානයේ වාර්තාවේ ලියන්නට බැරි වූ හේතුව අර ලංකා දේශපාලනයේ බලගතු පිරිස ද?!!! එහෙම නම් ඇයි කාටූනයේ ඒ අය නැත්තේ?!!!!

මේ රෝගය ගැන වූ නොදන්නා හා අවිනිශ්චිත බව ඒ විශේෂ විද්‍යාඥ සැසිවාරයේ දී ඉවත් වී ඇත්නම් මීට වඩා ඒ ගැන විස්තර පාඨකයාට නොදෙන්නේ මන්ද?!!!!!! ඒ ගැන විද්‍යාත්මක ලිපියක් විද්‍යාත්මක සඟරාවක පළ නොකරන්නේ ඇයි?!!!!

සමහර විද්‍යාත්මක යැයි කියා ගන්නා අධ්‍යයන වල දත්ත බෙහොමයක් පෙන්වා දත්ත සොයාගත් හැටි ගැන සහ අනුමිතිය කුමක් දැයි වාක්‍යයක් තුල සැඟවේ. මෙහි දී අනුමිතිය පමණකි. දත්ත සියල්ල නොමැත.

අවසානයේ දී, හරි නිගමනයක් නොමැතිව ඉදිරිපත් කෙරුණු WHO වාර්තාව ගැන වාද කිරීම අවශ්‍ය නැතැයි රණවක මහතා කියයි. අවශ්‍ය පියවර ගන්නට විධිමත් ලෙසින් හදාගත් දත්ත (methodically adopted data) සෑහේ යැයි ඔහු කියයි. එම විධිමත් ලෙසින් හදාගත් දත්ත කෙසේ හදාගත්තා දැයි හෝ ඒ හදාගත් දත්ත මොනවා දැයි දන්නේ කවුරුන් ද? ඇමතිවරයා ද? අර ලංකා දේශපාලනයේ බලගතු පිරිස ද? විදේශීය රසායනික ආයතන ද? රටේ වෛද්‍යවරුන් ද? රටේ ජනතාව ද?

මෙතෙක් වාද කරන ලද විද්‍යාඥයන් දැන් එකඟ ද?!!!!!

රණවක මහතාගේ ලිපිය විද්‍යාත්මක සඟරාවකට ලියන ලද විද්‍යාත්මක ලිපියක් නොව සාමාන්‍ය මහජනතාවට කියවන්න ලියපු ලිපියකි!!!!! ඒ නිසා ඒ පැහැදිලි කිරීම් අවශ්‍ය නැත!!!!!

ඉතින් කෘෂි රසායන වැඩියෙන් භාවිතය නිසා රෝගය හැදේ යන නිගමනය කරා පැමිණිය ද, විධිමත් ලෙසින් හදාගත් දත්ත නොපෙන්වා, ඊ ළඟ පියවර ලෙස කර්තෘ යෝජනා කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින්, වගාබෝග සඳහා යොදන මිනිසා විසින් හදන ලද රසායන භාවිතයේ රෙගුලාසි දැඩි කළ යුතුයි කියාය. මිනිසා විසින් හදන ලද රසායන ආනයන සහ රසායන දැමූ ආහාර ආනයන කරන විට ද රෙගුලාසි දැඩි කළ යුතුයි. පවතින රෙගුලාසි වල ඇති අඩුපාඩු මොනවා දැයි දන්නේ කවුද?!!!!!

අහා … අලස ජනතාවක් නැති කරන්නට සැලසුමක් හැදූ ප්‍රතිසංස්කරණවාදී මිකායෙල් ගොරබචොව් මතක් වුනා!!!!

රණවක මහතා අර නවසීලන්තයෙන් ආනයන කර ලංකාවේ විකුණන කිරිපිටි වල Dicyandiamide තිබුණ කිව්වම (කොච්චරක් තිබුණ දැයි කිව්ව ද?!!) සෞඛ්‍ය අමාත්‍යාංශය එහි DCD නැහැයි කියනවා.

පර්යේෂණ හා තාක්ෂණ අමාත්‍යාංශයේ ඉන්නේ විද්‍යාව දන්නා අය ද?!!!!!

අර මිනිස්සු මරන්න ලෑස්ති ලංකා දේශපාලනයේ බලගතු පිරිස ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද?!!!!!

කළු කණ්ණාඩි සහ ටයිකෝට් දාගත්තු තරබාරු විදේශිකයාගේ කාටූනය කවදා හෝ වෙනස් වේවි ද?!!!!! 😀

පරිසරයට හානි නොවීම සඳහා අරමුණු කරගත්, මිනිසාටත් හානියක් නොවන DCD නැති කිරිපිටි ගැන රණවක මහතා වැඩියෙන් සතුටු විය යුතුයි නේද?!!!!!!!

ජානු මොඩිෆයි කරපු ඒවා කන ඇමෙරිකන් අපිට .. බීජයේ ජානු වල දී කෘමිරසායන හැකියාවන් ඇතිව වෙනස් කරලා තියෙද්දී පැල වලට වැඩිපුර රසායන ගහන්න අවශ්‍ය නෑනේ .. ඉතින්, ෆ්‍රැන්ක්ස්ටයින් ආහාර ලංකාවට නුදුරු අනාගතයේ දී ආනයන කරනවාට රණවක මහතාගේ අනුමැතිය ලැබේවි ද?!!!!!

අලස ජනතාවක් නැති කරන්නට සැලසුමක් හැදූ ශ්‍රේරේෂ්ඨ ගොර්බචොව්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 20, 2013

ussr-1

ලෙනින් ගේ සටන් පාඨය, “මාක්ස්වාදය සර්වබලධාරියි මන්ද එය සත්‍යයක් නිසා,” යැයි ලියැවුනු පෝස්ටරය සෝවියට් යුනියනයේ හැම තැනම දකින්නට ලැබුනක් යැයි ලියන්නේ යූරි එන්. මල්ට්සෙව් විසිනි. ඔහු මිකායෙල් ගොර්බචොව් ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණවාදී අර්ථ ශාස්ත්‍රඥයෙක් ලෙසින් සේවය කළ අයෙකි. මේ සටහන ඔහු Requiem for Marx (1992) පොතට ලියන ලද පෙරවදන ඇසුරිනි.

කාලය නැමති සිත් පිත් නැති ගුරුවරයා විසින් පෙන්වා දුන් වේදනාකාරී පාඩම් ඉගෙන ගන්නට එවක දී ද විරුද්ධත්වය දැක් වූ අය සමෘද්ධිය කරා යන අදහස් අනුගමනය කිරීම තව දුරටත් ප්‍රතික්ෂේප කළ හැටි මේ පෙරවදන විස්තර කරයි.

සමාජවාදී විප්ලවකරුවන් ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන් ගේ ප්‍රධාන තුරුම්පුව නම් ද්වේෂයයි. ලෙනින් දේශපාලනය සැලකුවේ පලිබෝධ සැලසුමක් ලෙසින් යැයි සෝවියට් රුසියාවේ උපන් මල්ට්සෙව් කියයි. පුද්ගලික මොනොපොලියන් සමාජයේ විනාශය ඇති කරනවා යැයි සැලකූ ලෙනින්, ආණ්ඩුවේ මොනොපොලියන් සද්ගුණයෙන් යුතු වූ බව ඇදහීය. මොනොපොලිය යනු මොනොපොලිය නොවන්නේ දැයි ඇසූ අය සෝවියට් රුසියාවේ මිලියන ගණනකින් අතුරුදහන් වී ගියහ.

අගය කළ යුතු ප්‍රතිසංස්කරණවාදියෙක් යැයි “ශ්‍රේරේෂ්ඨ ගොර්බචොව්” නමින් ඇමෙරිකාවේ මහාචාර්යවරයෙක් ඔහු ගැන නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතට ලියන ලදි. එහෙත් ඇත්ත තත්වය දැන සිටියේ ප්‍රතිසංස්කරණ ගෙනෙන්නට වෙහෙස වූ මල්ට්සෙව් වැනි අර්ථ ශාස්ත්‍රඥයන් ය. කාල් මාක්ස් ගේ කොමියුනිස්ට්වාදයේ බංකොළොත් බවින් ඇද වැටෙන සෝවියට් යුනියනය බේරාගන්නට ඉදිරිපත් වූ අර්ථ ශාස්ත්‍රය ඔවුනට ලැබුනේ ලුඩ්විග් වොන් මීසස් වෙතිනි.

ගොර්බචොව් ප්‍රතිසංස්කරණවාදියෙක් කියා රුසියන් ජනතාව පිළිනොගත්හ. බංකොළොත් බවින් සියල්ල ඔවුන් වටා කඩා වැටෙද්දී සමාජවාදී සැලසුම් පද්ධතිය බේරාගන්නට කටයුතු කළ අයෙක් ලෙස ඔවුන් ගොර්බචොව් දුටුවහ.

ගොර්බචෝව්ට කිසිම අර්ථ ශාස්ත්‍ර දැනුමක් තිබුනේ නැතැයි ඔහුගේ පාලනයේ සේවය කළ මල්ට්සෙව් අර්ථ ශාස්ත්‍රඥයා ලියයි. ගොර්බචොව් සිතුවේ කොමියුනිස්ට්කාරයෙක් ලෙසින් පමණකි. එනම්, අණ නිකුත් කිරීමෙන් හා අණට කීකරු වීම ඉල්ලා සිටීමෙන්, ඒ ආඥා මිනිස් ස්වභාවයන්ට කෙතරම් පටහැනි වූවත්, කෙතරම් දරුණු වූවත්, කෙතරම් අදම්‍ය (perverse) වූවත්, තමන් අරමුණු කරගන්නා ප්‍රතිඵලය සාක්ෂාත් කරගත යැයි කියාය.

බලයට පත් වූ සැනින් යාන්තමින් ඉතිරි වී තිබි සෝවියට් වෙළඳපොල ක්‍රියාකාරීත්වය ඔහු මුළුමනින් විනාශ කරන ලදි. ඔහු විශ්වාස කළේ සමාජවාදී ක්‍රමය හොඳට වැඩ කරන බවත්, මිනිසුන් අලස බවට පත් වී තිබීම, මත්පැනින් කාලය ගෙවන්නට හුරු වී තිබීම, “වංක ලෙසින් ආදායම්” එකතු කරන්නට හුරු වී තිබීම යනාදී, සමාජවාදී සද්ගුණයන් වලින් බැහැර වී සිටින නිසා කොමියුනිස්ට් යාන්ත්‍රණයේ දුර්වලතා හටගෙන රුසියාව බංකොළොත් වූ බවයි. ඒ නිසා ඔහුගේ පළමු ප්‍රතිසංස්කරණය වූයේ “ජනතාවගේ චින්තනය නැවත හැඩගැස්වීමයි.”

මත්පැනට එරෙහි ව්‍යාපාරය වහාම පටන් ගැනිණ. රටේ බේබද්දන් අනවශ්‍ය යැයි පක්ෂ නායකයන් දැඩි අවධාරණයෙන් කියා සිටියහ. මත්පැන් ගන්ධයක් ඇති අයව පොලීසි වලට අල්ලා ගෙන යන්නට විණ. පොලිස් ස්ථාන ජනගහණයෙන් පිරී යද්දී, දහස් ගණනින් ජනතාව අඳුරු රැයක සීතලේ නගරයෙන් සැතපුම් 15 ක් පමණ ඈතකට රථ වලින් ගෙන ගොස් දමා ඒම නිතිපතා සිද්ධ වූ ක්‍රියාමාර්ගයක් විය. හැම රාත්‍රියක දී ම, බේබද්දන් යැයි ලේබල් ඇලවිච්ච අය සැතපුම් ගණන් හේමන්ත සීතලේ ආපහු නගර වලට ඇවිද ගෙන එනවා දකින්නට ලැබිණ.

90% කට වඩා මත්පැන් විකුණන කඩ සංඛ්‍යාවක් වසා දැමිණ. නොසිතූ ප්‍රතිඵල දකින්නට හැකිවිණ!!!! සීනි, රැවුල කැපූ පසු තවරන පුයර හා ජනේල පවිත්‍ර කරන ද්‍රව්‍ය කඩවල් වලින් අතුරුදහන් වන්නට පටන් ගැනිණ. මේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් “කසිප්පු” පෙරීම රට තුල එක වසරක් ඇතුලත දී 300% ඉහළ ගියේය.

මත්පැන් වෙනුවට පානය කරන ලද මේ සුරා වලින් 13,000 – 25,000 ක් අතර සංඛ්‍යාවක් මරුමුවට පත්වූහ. ඊට වඩා පිරිසක් මිය ගියා යැයි කියන්නේ රාජ්‍ය නිල නියෝග අනුව දෙන මත්පැන් ඇබිත්ත ගැනීමට පැය පහක් පමණ සීතලේ පෝලිම් වල ලගින්නට සිද්ධ වීමෙනි.

මේ අතර මරණයට පත් වූවන්ට ඒ ඉරණම නියම විය යුතුයි කියූ ගොර්බචොව් ප්‍රමුඛ පක්ෂයේ හිතවාදීන්, බටහිර රටවල් වලින් ගෙවල් වලට හා කාර්යාල වලට ගෙනැවිත් බෙදූ අනගි මත්පැන් බිව්වහ.

6,000% වශයෙන් බදු පනවන ලද නිසා මත්පැන් වලින් රජය ලද ආදායම එහි ප්‍රධාන ආදායමක් බවට පත්විය. එහෙත් අනික් ආදායම් අඩු වී ආණ්ඩුවේ බජට් එකෙන් රූබල් බිලියන 25-30 ක් අඩු වී යන බව කාලය නැමති ගුරුවරයා සිත් පිත් නැති ලෙසින් කියා දුන් විට ඔවුන් මතට තිත ප්‍රතිපත්තිය නැවතූහ.

තමනට කළින් සිටි නායකයන්ට කියා දුන්නා සේ කාලය නැමති ගුරුවරයා ගොර්බචෝව්ට ද ඉගැන්වූයේ මතින් සිටිනා මිනිසුන් පාලනය පහසු යැයි කියාය. මතින් සිටිනා මිනිසුන්ට නින්දාව සහ තමන්ව අපයෝජනය කිරීම පහසුවෙන් දරාගත හැකි බවයි.

සියළු ක්ෂේත්‍රයන්ට හානිකර බලපෑම් කරමින් මේ සැලසුම නිසා ආර්ථිකයට දරුණු පහරක් වැදෙද්දී, මධ්‍යම බැංකුව සල්ලි අච්චු ගහන්නට පටන් ගති. මුදල් වැඩිවිය. භාණ්ඩ අඩුවිණ. පාරිභෝගිකයන් මෙතෙක් කල් රාජ්‍ය වෙළඳ සැල් වලින් ලබා ගත්තේ ජීවත්වන්නට පමණක් සරිලන භාණ්ඩ පමණි. දැන් අලුතින් ලැබුණ සල්ලි නිසා ඔවුන් බඩු භාණ්ඩ මිල දී ගන්නට පොර කෑමෙන් දැවැන්ත බඩු හිඟයක් පටන් ගැනිණ.

ඊ ළඟට ගොර්බචොව් පිවිසුනේ “වංක ආදායමට” එරෙහි වූ වැඩ පිළිවෙලකට ය. නිල වේතනයට පිටතින් වූ අනෙක් සියළු ආදායම් මාර්ග නැති කළ යුතු යැයි ඔහු කියා සිටියේය. අයෙක් තම ගෙයි කාමරයක් කුලියට දෙනවා නම් එය වංක ආදායමකි. සියළු වංක පුද්ගලයන් එහි දී දැඩි දඬුවම් ලබති. එහෙත් ගැටළුව වූයේ රුසියාවේ එවැනි නිල නොවන රස්සාවකින් ආදායමක් සොයා නොගත් කිසිම පුද්ගලයෙක් නොවීමයි. නිල ආදායම ජීවත් වන්නට ප්‍රමාණවත් වූයේ නැත. වංක නොවූයෙක් නොසිටියේ දැනටමත් එවැන්නා මිය ගොසින් නිසාය.

“නීති විරෝධී” යැයි සැලකුණු පිටිසරබද වැසියන්ගේ නිවාස අසලින් වගා කර තිබුණු පළතුරු හා එළවළු වතු දහස් ගණනින් බුල්ඩෝසර් වලට යට විය. ගොවීන් ගේ “නීති විරෝධී” පොලවල් වසා දැමිණ. නීති විරෝධී ලෙස විදේශ මුදල් හුවමාරු කරන තැන් අල්ලා ගත්හ. නිල නොවන ප්‍රවාහන සැපයීම තහනම් විය. ලාබයක් සොයා ගනු පිණිස කාමරයක් කුලියට දුන් නිසා නිවාසයම රජය සතු වීමෙන් නිවාස වෙළඳපොල අර්බූදයක් පටන් ගැනිණ.

සියළු භාණ්ඩ නිල වශයෙන් විකිණීම රෙගුලාසි කරනු පිණිස සියළු භාණ්ඩ වලට සහතිකයක් නිකුත් කෙරිණ. සහතිකයක් ලබාගනු පිණිස විකුණන්නට කළින් කුමක් විකුණන්නේ දැයි රජයට දන්වා අනුමැතිය ලබා ගැනීමට සිද්ධ විය. ඒත් අනෙක් හැම අවස්ථාවක දී වගේ ම රජයේ සුළු බලධාරීන් ඉහළ අල්ලස් ගනිමින් ඒ සහතික නිකුත් කළහ.

සමූපාකාර වල මිල පාලනය දැඩි විය. රාජ්‍ය වෙළඳසැල් හැම එකකම එකම මිලට බඩු විකුණන ලදි. හරක් මස් කිලෝවක් රූබල් 4 ක් යැයි නිර්දේශ කරන ලදි. මොස්කව් වැඩ කළ මේ අර්ථ ශාස්ත්‍රඥයා සිතුවේ වෙළඳපොලේ හරක් මස් අතුරුදහන් වී යාවි කියාය. එහෙත් ඔහු නොසිතූ ප්‍රතිඵලයක් අත් දැක්කේය. වෙළන්ඳන් රූබල් 4 ක් වටිනා මස් සමඟ තඩි මස් කටුවක් ද එකතු කර කිලෝවක් මැන දුන්හ!!!!!!!! ඉල්ලුම හා සැපයුම එකඟ වී හරක් මස් හිඟයක් හට ගත්තේ නැත.

එහෙත් හා මස් සඳහා එය කළ නොහැකි විණ. කිලෝවක් රූබල් 3 කට විකුණද්දී බර වැඩි කරන්නට තරම් ලොකු හා මස් කටුවක් ඔවුනට නැති වූ නිසාය!!!!! වෙළඳපොලෙන් හා මස් අතුරුදහන් විණ.

වංක ආදායමට එරෙහි ව්‍යාපාරයෙන් නිල නොවන ආර්ථිකය තවත් නිල බවින් නොවූ ආර්ථිකයක් කරා දිව්වේය. ඒ නිසාම එය අකාර්යක්ෂම වූවක් ද විය. පාරිභෝගිකයන්ට ඒ නිසා දැඩි ඉහළ මිලක් ගෙවන්නට සිද්ධ විය. මන්ද කළුකඩයක් ගෙන ගිය හැම කෙනෙක්ම එහි අවදානම වැඩි නිසා තමන් විකුණූ දෑට එකතු කළේ දැඩි ආධික්‍යයකි (premium).

රුසියන් රාජ්‍ය නිලධාරීන් අලුත් නීතියක් එනවාට බොහොම කැමති අයයි. එවිට ඔවුනට තවත් අල්ලසක් එකතු කරගන්නට අවස්ථාවක් පෑදෙන නිසාය. නීති කඩනවාට ලැබෙන දඬුවම් බරපතල වෙද්දී ඔවුනට වාසි වැඩියි. එයින් ජනතාව බිය කරගන්නට හැකියාව වැඩියෙන් ලැබෙයි. ඉහළ නිලතල දරන අයට තමන්ට පහතින් ඉන්නා අයව පාලනය කරගන්නත්, එසේම පහළ ඉන්නා අයට ඉතා ඉහළ පුටුවක් කරා යන්නත් හොඳ ඔත්තුවක් සෑහේ.

පළමු වසරේ දී 150,000 ක පිරිසක් වංක ආදායම් චෝදනාවට හසු වී සිරගත වූහ. එයින් 24,000 ක් රජයේ ඉහළ නිලධාරීන් වූහ. කිසිම අයෙක් නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් හෝ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් සිරගත නොවූහ. එසේ සිරගෙදරට යැවුන සමහරු වෙනත් අයෙකු ගේ පුද්ගලික තරහ මරහකින් ගැලවෙන්නට බැරි වූ නිසා වූහ. නැත්නම් ඔවුන්ගේ කළුකඩ අයිති තරඟකරුවන් ඉල්ලා සිටි අල්ලස් දීමට නොහැකියාව නිසා වූහ.

රජයේ නිලධාරීන් කෙළින්ම මුදල් අල්ලස් ගන්නට මැළි වූහ. ඒ නිසා ඔවුන් පොලීසිය මාර්ගයෙන් ඒ කටයුත්ත ඉටු කරවා ගත්හ. පුද්ගලික කෝන්තරයක් හොඳ මිනිහෙක්ව වරදකරුවෙක් කරන්නට ප්‍රමාණවත් විණ.

මහාචාර්යවරුන් හොඳ ලකුණු දෙන්නට අල්ලස් ගත්හ. නීතිය සමඟ විශ්ව විද්‍යාලයන් තුල මහත් වෙනස්කම් රාශියක් ඇති වී සංකීර්ණ පද්ධතියක් තුලින් තොරතුරු හා අල්ලස් හුවමාරුව පටන් ගැනිණ.

හැම නිෂ්පාදන ක්ෂේත්‍රයක්ම දැඩි සේ සහනාධාර වලින් ගෙන ගිය නිසා, සමූපාකාර වල මිල පාලනය සිද්ධ වූ නිසා, රෝගී වී තිබි වෙළඳපොල තවත් විනාශ වී ගියේය. ඉතින් 1986 දී පටන් ගත් වංක ආදායම් සොයන මෙහෙයුම වසරකින් නැවතුනේ කාලය නැමති ගුරුවරයා විසින් එහි අනිසි ඵලවිපාක පිළිනොගෙන සිටින්නට බැරි සේ ඔප්පු කර පෙන්වූ නිසයි.

එහෙත් අයෙක් සිතන්නට පුළුවනි දැන්වත් ගොර්බචොව් ඇතුළු සමාජවාදීන් පාඩමක් ඉගෙන ගත්තා යැයි කියා!!!!!!

ඔහු ගෙනෙන තෙවැනි උත්සාහය වෙන්නේ “ශ්‍රම ශික්ෂණයක්” ඇති කරලන්නටයි. රටේ ජනතාව ලවා නිසි කලට වේලාවට වැඩට පැමිණ වැඩියෙන් හොඳින් වැඩ කරවා ගැනීමට ඔහු සැලසුමක් ගෙනාවේය.

අයෙක් පැය තුනක් පරක්කු නම් ඔහුගේ රස්සාව අහිමි විය. රස්සාවක් වෙනස් කරන්නට සති දෙකක දැන්වීම වෙනුවට මාස දෙකක් දැන්විය යුතු විය. වැඩට එන්න මිනිත්තු දහයක් ප්‍රමාද වූවෙකුට සියළු වැරදි වලට වරදකරු යැයි ලේබල් කර හෙළා දකින්නට වේතන ලබමින් පැය තුනක රැස්වීම් පැවැත්වූහ. දහවල මහමඟ ගමන් කරනා අයව නවතා අන්ඩතේට්ටම් කරමින් ප්‍රශ්න කළහ.

ආර්ථිකයට කිසිත් උද්දීපනයක් “ශ්‍රම ශික්ෂණ” වැඩ පිළිවෙලින් ලැබෙන්නේ නැතැයි කියා දෙන්නට කාලය නම් ගුරුවරයා ඉතා ඉක්මණින් සමත් වූයේය!!!!!!

ගොර්බචොව්ගේ අවසාන වෑයම වූයේ භාණ්ඩ වලට නව ප්‍රමිති මට්ටමක් හැදීමටයි. මධ්‍යම සැලසුම් විසින් කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු යැයි හැම විටෙක ම කියා තිබුණත්, එතෙක් එහි ප්‍රමිතිය ගැන කිසිවක් කියා නොතිබුණි. ඉතින් නව නිලධාරීන් 150,000 ක් ප්‍රමිති මට්ටම් සොයා බලන්නට රජයට බඳවා ගන්නා ලදි.

හැම රාජ්‍ය ආයතනයකම නව අංශයක් මේ ප්‍රමිති මට්ටම් සොයා බැලීම පිණිස පිහිටුවන ලදි. එයින් අල්ලස් ගැනීමට තවත් අලුත් මාර්ගයක් බිහිවිය. තවත් අල්ලස් වැඩි වී එය ද අසාර්ථක උත්සාහයක් විය.

කාලය නම් ගුරුවරයා කියා දුන් පාඩම් එකකින් වත් ගොර්බචෝව් යමක් ඉගෙන ගත්තේ නැත. ඔහු තව දුරටත් විශ්වාස කළේ “පාලනයෙන් යුතු, රෙගුලාසි වලින් යුතු, සමාජවාදී වෙළඳපොල” ගැනයි. මේ අදහසට සහාය දෙන්නට මාක්ස් හා ලෙනින් වෙතින් සටන් පාඨ සොයා දෙන්නට ඔහු මහාචාර්යවරුන්ට මුදල් ගෙවීය. එහෙත් පාරට්ටු බෑමෙන් නිෂ්පාදන බිහි නොවන බව වැඩි කල් යන්නට පෙර කාලය විසින් පෙන්වා දුනි.

ආණ්ඩුවේ බජට් වියදම් අඩු කරමින් මේ අලුත් සමාජවාදී වෙළඳපොල නිර්මාණයට තවත් උත්සාහයක් ගැනිණ. ප්‍රොපගැන්ඩා වලින් පෙන්නුවේ පක්ෂ ලොක්කන් වීදි වල හිඟා කද්දී නිදහස් වෙළඳපොලෙන් මුදල් සෙවූ තරබාරු ධනවතුන් ඔවුනට කොපෙක් එකක් විසිකරන චිත්‍රපටිය. ඒවා දුටු ජනතාව බියෙන් තැතිගෙන 1987 අග භාගය වෙද්දී රස්සාව නැතිවේ යැයි බියෙන් කිසිත් ගණුදෙනු කිරීම නතර කළහ.

අමාත්‍යාංශ වලින් 30-50% අතර සංඛ්‍යාවක් නෙරපා හරින්නට ගොරබචොව්ට සිද්ධ විය. රජයේ නිලධාරීන් 600,000 කගේ රස්සාවල් බජට් කට් නිසා අහිමි විය. අනතුරුව හේ එම අමාත්‍යාංශ ප්‍රතිසංස්කරණයට කියා අලුතින් 720,000 ක් බඳවා ගත්තේය!!! ඔවුන් අතර වැඩි දෙනෙක් අර රස්සා අහිමි වූවන් ය. නැවත බඳවා ගත්තේ 35% ක් වේතන ඉහළ යවමිනි!!!! ඉතින් අර්ථ ශාස්ත්‍රය නොදත් ගොර්බචොව්ගේ බජට් කට් වලින් සිද්ධ වූයේ බජට් එකේ 20% ක් වැය වැඩිවීමකි!!!!!

යුද හමුදාවේ පඩි ගෙවීමට, සුබ සාධන මුදල් ගෙවීමට සහ ආණ්ඩුවේ ව්‍යවසායකයන් කරගෙන යාමට තවත් නොහැකි තරම් තත්වයට එද්දී ගොර්බචොව් වටා සිටි නිලධාරීන් කලබල වූහ. මුදල් ඇමති ව්ලැඩමියර් ඔර්ලොව්, රාජ්‍ය බැංකු සභාපති වික්ටර් ගෙරෂැන්කෝ සහ බජට් සභාපති වික්ටර් කුසරෙන්කෝ ඒ අයයි. මධ්‍යම සෝවියට් රජය අනිවාර්යෙන් ම කඩා වැටෙන බව ඔවුන් හනිකට ගොරබොචොව්ට දන්වා යැවූහ.

රජය ඇතුලෙන් බලය අල්ලා ගන්නට කුමන්ත්‍රණ පටන් ගැනිණ. බොරිස් යෙල්ට්සින් ආණ්ඩු පාලනය අල්ලා ගනිද්දී 1991 දෙසැම්බර් 8 වැනිදා, වයස 74 ක් වූ සෝවියට් යුනියන බංකොළොත් රාජ්‍යයක් ලෙසින් මිය ගියේය.

අනුන් ගේ ජීවිත සැලසුම් කරන්නට ඉදිරිපත් වෙන අය ඒ සඳහා ලොව සදා වෙහෙසෙනු ඇත. ඔවුන් ගන්නා තීරණ වලට ඔවුන්ගේ අතින් කිසිත් වියදමක් ගෙවන්නට හෝ පුද්ගලික අලාබයක් විඳින්නට සිද්ධ නොවී ඔබ වෙනුවෙන් තීරණ ගන්නට ඔවුන්ට බලය දෙන්නේ කවුදැයි කියා හිතා බලන්නට ඔබ සූදානම් ද?

ලබන වසර කිහිපයේ දී හැමෝගේ ම ධනය අඩුවෙන්නේ කොහොම ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 9, 2012

ධනවාදය කුරුවල් වෙලා යැයි සතුටින් හුරේ දමනා සමාජවාදීන් හෙට අනිද්දාට හනිකට තමන්ගේ පොකැට්ටු හිස් වෙද්දී, ධනවතාගේ පොකැට්ටුවට වැටෙන ගානත් අඩුවෙලා යැයි විකෘති සතුටකින් කල් ගෙවනු ඇත. වහල් මිනිස් චින්තනය එසේ වෙද්දී නිවහල් මිනිසා තම ප්‍රතිපත්ති වෙනුවෙන් ඉතා ආඩම්බරයෙන් පාඩු විඳ ගන්නට කළින් ම සූදානම් වූ අයෙකි.

බහුතර සමාජය නොදකින්නේ ධනවාදයේ ලේබල් ගසාගෙන සමාජවාදී සැලසුම් ක්‍රියාත්මක කිරීම අලුත් විලාසිතාවක් නොවන බවයි. ධනවාදය අසාර්ථක යැයි හිතන අය අසාර්ථක වී ඇත්තේ සමාජවාදය යයි නොදැක තවමත් අසාර්ථක මාර්ගයට කැමති වෙති.

ලබන වසර කිහිපයේ දී ලෝකයේ හැමෝගේම ධනය අඩුවේ. වඩා පාඩු විඳින්නේ දුප්පතුන්ය. මන්ද කාලාන්තරයක් තිස්සේ මූලධනයක් එකතු කරගත් රටවල් වලට හා ධනවතුන්ට කිසිත් ආයෝජනයක් නොකර අඩු වී යන මූලධනයේ පාඩු විඳ දරාගත හැකියාව ඇත.

ධනවාදය නම් ඒකීය පුද්ගලයන් තම වස්තුව රැස් කරගන්නා ආර්ථික ක්‍රමයයි. දුප්පත් රටවල ඉන්නා අය මේ ක්‍රමය අත්හදා බලනවා වෙනුවට ධනවාදී යැයි ලේබල් ගසා ගත් රටවල් දැන් කරන සමාජවාදී සැලසුම් වල හැමදාම නියැළී සිටියහ.

පාන් ගෙඩියක් ගන්නට හිමිදිරි උදෑසන නැඟිට පෝලිම් වලට එකතු වූ ජනතාවක් සිටි සිරිමාවෝගේ ලංකාවෙන් ආ මම අද වැඩියෙන් කෑවොත් තරබාරු වෙන නිසා පාන්ගෙඩියේ ඉතිරිය විසි කරන සමාජයක සිටිමි.

මෙවැනි සුඛෝපභෝගී සමාජයක් ලැබී ඇත්තේ මන්දැයි එනම් අවම පඩියකින් ජීවත්වෙන්නෙකුට වුවද පාන් ගෙඩියක් ගන්නට පෝලිමේ සිටින්නට සිදු නොවන සමාජයක් ඇත්තේ මන්දැයි විමසූ විට සමාජවාදියා උඩ පැන පැන කියන්නේ තෙවැනි ලෝකයෙන් සූරා කෑ නිසා කියාය.

නූතනයේ ලංකාවේ කම්හල් ශ්‍රමිකයෙකුට වුවත් මධ්‍යයතන යුගයේ රජෙකු ජීවත් වූ මට්ටමකින් ඉන්නට කිව්වොත් වහාම පාරට බැස වර්ජනය කරනු ඇත. මූලධනය සූරා කෑවා නම් එසේ ජීවන මට්ටම ඉහළ ගොස් ඇත්තේ මන්දැයි කියන්නට නොදනී.

පරිගණකයක්, ටෙලිවිෂන් එකක්, සෙල් ෆෝන් එකක් නැති ජීවිතයකට ආපසු යන්නට කැමති කවුද?!!!!

එදා සෙල් ෆෝන් නොතිබි අපිට අද මොන සෙල් ෆෝන් එක ද වඩා හොඳ යැයි වාද කරන්නට හැකියාව ලැබී ඇත!!!!

සමහරු හිතන්නේ එකම ධනයක් ලොව සැරිසරනවා කියාය. එය එක පැත්තකින් අඩු වී තවත් පැත්තක වැඩි වෙනවා කියාය. එහෙත් ලෝකයේ ධනය වැඩි කරගත හැකියාව ඇත්තේ එකම එක මාර්ගයකින් පමණි. එනම් එකතු කරගත් හෝ ණයට ගත් මූලධනය අවදානමක් ගෙන ආයෝජනය කිරීමෙනි.

බටහිර දියුණු රටවල ධන සම්භාරය දුප්පත් රටවල් වලට වඩා වැඩි ඇයි? ශතක ගණනාවක් පුරා මූලධනය එකතුව, ඒවා කැමති පරිදි ආයෝජනයෙන් සිදු වූ කර්මාන්ත හා උපකරණ වැඩි දියුණුව හා නිෂ්පාදනය නිසා තවත් වැඩියෙන් ගොඩ ගැසුණු මූලධනය එකතුව නිසාය.

1963 දී The Economic Role of Savings and Capital Goods ලියන ලුඩ්විග් වොන් මීසස් මෙසේ කියයි.

පඩිය වැඩි කරන්නට නම් ඒ ඒ ශ්‍රමිකයා වෙනුවෙන් වැඩියෙන් මූලධනය ආයෝජනයෙන් මිස කළ හැකි වෙන ක්‍රමයක් නැත. මූලධනය වැඩියෙන් ආයෝජනය කරන එක ක්‍රමයක් නම් ශ්‍රමිකයාට වඩා කාර්යක්ෂම උපකරණ ලබා දීමයි. වඩා හොඳ උපකරණ හා මැෂින් වල ආධාරයෙන් නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන්නටත් නිෂ්පාදනයේ අනගි බව වැඩි කරගන්නටත් හැකියාව ලැබේ. එවිට එක පැයක ශ්‍රමයෙන් නිම කළ දැයට වැඩියෙන් ලාබයක් සොයාගන්නට අයිතිකරුවා සමත් වෙයි. අනිත් අයිතිකරුවන් ද හොඳ ශ්‍රමිකයන් තමන් යටතේ වැඩට ගන්නට වලිකන හෙයින් ශ්‍රමයට වැඩියෙන් පඩි ගෙවීමක් ද සිදුවේ.

වැඩියෙන් නිෂ්පාදනයට අතදෙන ශ්‍රමිකයා වැඩියෙන් පඩි ලබනවා පමණක් නොව, වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදනය වෙද්දී ඒවා ලාබයෙන් ද යුතු වේ. එවිට පාරිභෝගිකයා ද වාසි ලබයි. හැමෝගේ ම ධනය වැඩිවේ.

උදාහරණයක් මෙසේය. Y ඉල්ලුම යටතේ X සැපයුමෙන් A විජට්ටුව නිෂ්පාදනය කරනවා යැයි සිතමු. A විජට්ටු සියයක නිෂ්පාදන වැය ඩොලර් දාහක් යැයි සිතමු. එවිට එකක නිෂ්පාදන වැය ඩොලර් 10 කි. දැන් නිෂ්පාදකයාට අලුත් මැෂිමක් ගැන දැනගන්නට ලැබේ. එයට ආයෝජනය කළහොත් විජට්ටු දෙසියයක් සපයන්නට හැකිය. ඔහු තමාගේ හෝ අනාගතයේ යම් පොරොන්දු වූ දිනයක පොලියක් සමඟ ගෙවන්නට පොරොන්දු වෙන මූලධනයක් ආයෝජනය කරන්නට අවදානමක් ගනියි. විජට්ටු නිෂ්පාදනය දෙගුණයකින් වැඩිවීම නිසා දැන් එකක නිෂ්පාදන වැය ඩොලර් පහකි.

සෑම ආයෝජනයක්ම නිෂ්පාදනයේ ප්‍රමාණය වැඩි කරගන්නට කරනා ආයෝජනයන් නෙවෙයි. එහෙත් සෑම නිෂ්පාදකයෙකුට අවශ්‍ය වෙන්නේ වැඩියෙන් භාණ්ඩ හා අනගි සේවා සපයා වැඩියෙන් ලාබ සොයන්නටය. ඒ නිසා මූලධනයෙන් අවදානමක් ගෙන කරන ආයෝජනය නිසා වැඩියෙන් නිෂ්පාදන බිහි වී, වැඩියෙන් පඩි තීරණය වී අඩු මිලෙන් භාණ්ඩ වෙළඳපොලට ඉදිරිපත් වෙයි. මෙය ධනවාදයයි.

ජෝර්ජ් රීස්මන් Capitalism (1990) යන පොතේ තවත් ආකාරයක් මෙසේ සඳහන් කරයි.

ඉල්ලුමේ වෙනසක් නොමැති කල, දෙගුණයකින් නිෂ්පාදනය වැඩි වීම නිසා භාණ්ඩයේ මිල භාගයකින් අඩු වී, පඩියේ වැඩිවීමක් සිද්ධ නොවී එහෙත් පාරිභෝගිකයාට මිල දී ගන්නා බලය දෙගුණයකින් වැඩි වී යයි.

එසේම ඔහු මෙසේ ද කියයි.

ශ්‍රමිකයාගේ නිෂ්පාදන හැකියාව පඩිය තීරණය කරන්නයි. ශ්‍රමිකයාගේ නිෂ්පාදන හැකියාව වැඩි කරන්නට හැක්කේ මිනිස් මොළයට හැකි පමණින් ශ්‍රමිකයා භාවිතා කරන උපකරණ දියුණු කිරීමෙනි. ඒවා දියුණු කරන්නට නම් මූලධනයක් ආයෝජනයක් අත්‍යාවශ්‍යය වෙයි.

ඇමෙරිකාව උපන් දා සිට අද දක්වා රටේ වස්තුව වැඩි වූයේ නිෂ්පාදනය පිණිස මූලධනයක් ආයෝජනය කරන්නට අවදානමක් ගත් අය මේ රටේ වැඩියෙන් සිටි නිසයි. ඒවරි දූපතෙන් ලැබෙන ටැබැස්කෝ සෝස් ව්‍යාපාරය මෙන් වසර සිය ගණනක් පුරා මූලධනය තම ව්‍යාපාරයේ දියුණුවට යොදවන ලද අය සිටියහ. එවැනි දිගු කාලයක් තිස්සේ සාර්ථකත්වයෙන් තවමත් දුවන ව්‍යාපාර ලෝකයේ වැඩියෙන් ම ඇති රට ඇමෙරිකාවයි. ඇමෙරිකාවට ඒ හැකියාව ලැබුනේ කාගෙන්වත් කොල්ලා කා ගත් නිසා නොව යම් පුද්ගලයෙක් තමන්ගේ හෝ ණයට ගත් මූලධනය ආයෝජනයට අවදානමක් ගත් කල රජය මැදිහත් වී ප්‍රතිපත්ති වෙනස් නොකළ නිසාය.

මූලධනය ආයෝජනය ආණ්ඩුවකට කරත හැකි දෙයක් නොවේ. වෙළඳපොල යනු අයෙකු හෝ පිරිසක් හසුරැවන්න දන්නා කෘතිම පද්ධතියක් නොවේ. මූලධනය එකතුව, මුදලක් ගෙවා භාණ්ඩයක් මිල දී ගැනීම සහ ආයෝජනය යනු වෙළඳපොල ගණුදෙනු වල දී මිනිස් කැමැත්ත අනුව ස්වභාවයෙන් සිද්ධ වෙන්නකි. එය සමාජයේ වාසය කරන හැමෝම තම තම කැමැත්ත අනුව සිද්ධ කරන මිනිස් ක්‍රියාවලියකි. එය කුමන භාණ්ඩයකට දැයි, කුමන සේවාවකට දැයි, කොතරම් ප්‍රමාණයක් දැයි, කොතරම් මිලකට දැයි, යනාදී වශයෙන් තීරණ කරන්නට ආණ්ඩුවක් ගන්නා හැම පියවරක දී ම වෙළඳපොල ස්වභාවික ක්‍රියාවලිය බිඳ වැටේ.

නිදහස් වෙළඳපොලක දී අයෙක් බේගල් කියා නොව බේගල් හදා ධනවත් වෙයි. අයෙක් නරක් වී යන කෙසෙල් විකුණා ධනවතෙක් වෙයි. අයෙක් කුණු වලින් ධනවතෙක් වෙයි. අයෙක් තම සහෝදරියට සුවයක් ගෙනෙන්නට විජට්ටුවක් නිපදවා ධනවතෙක් වෙයි. ඔවුන් රටේ සැබෑ ආර්ථික නායකයන්ය. ඔවුන් කතා පවත්වා, රිබන් පටි කපා, රටේ ආර්ථිකය නඟාලනවා යැයි පොරොන්දු දී අනුන්ගේ ධනය ආයෝජනය කරන අය නොව තමන් ණයට ගත් හෝ තමන් එකතු කරගත් මූලධනයක් ආයෝජනය කර ලාබයක් සොයන්නට අවදානමක් ගන්නා අයයි.

ඔවුන් දිනුවොත් ජයගන්නේ හැමෝම. ඔවුන් පැරදුනොත් පාඩු විඳින්නේ ඔවුන් පමණි.

රටේ නායකයා ආර්ථික නායකයෙක් වෙන්න ගිහින් අනිවාර්යෙන් ම පැරදුනාම පාඩු සිද්ධ වෙන්නේ හැමෝටම.

මෝටර් රේස් වලට බදු සහන ලැබෙන සේ සහ සිල්ලර බඩු වලට වැට් බදු එකතු කරන වැනි ආර්ථික සැලසුම් වෙළඳපොල ස්වභාවික ක්‍රියාවලිය බිඳ දමන්නකි. එහි දී මූලධනය එකතුවක් සිද්ධ නොවේ. ආණ්ඩුව විසින් එක පැත්තක ඇති සල්ලි තවත් පැත්තකට තල්ලු කරනවා පමණි. ආණ්ඩුවට හේත්තු වී ඉන්නා බඩ තඩි මුදලාලිලා වෙළඳපොල හසුරුවන ඇඟිලි ගැසීම් වල දී රජයේ අභිප්‍රායන් හා අනුමැතියන් කළින් දන්නා හෙයින් මහජන බදු මුදලින් තම පසුම්බි තර කරගනිති. අනතුරුව එකතු කරගත් ඒ මූලධනය වෙළඳපොලෙන් ලාබ ලබාගත හැකි වෙන රටක ආයෝජනය කරති. එවිට මූලධනය තව තවත් එකතු වෙන්නේ නිදහස් වෙළඳපොල ඇති සමාජයේය. ධනවාදයට බනින වාමාංශිකයන් කොල්ලා කන්නේ තමන්ගේ ජනතාවය. ඒ කොල්ලා කාපු ධනය කැමැත්තෙන් එවන්නේ කොල්ලා කනවා යැයි කියා අවලාද කියනා අය වෙතටම ය. ආර්ථිකය හසුරැවන්නට නිතර ඇඟිලි ගැසීම අසාර්ථක නිසා මූලධනය එකතුවක ආයෝජනයෙන් ලාබයක් උපයන්නට හැක්කේ එසේ ඇඟිලි ගැසීම් අඩුවෙන්ම ඇති ආර්ථිකයේ දී ය. එවැනි ආර්ථකයන් ලොවේ අඩුවෙද්දී සියල්ලන් ම දුප්පතුන් වෙති.

දැන් මෙහෙත් ආර්ථික නායකයෙක් රටේ නායකයෙක් වී ඇති බැවින් හෙට අනිද්දා ඇමෙරිකාවේ ආර්ථිකය තවත් හැකිළෙන විට ලෝකයේ ම මූලධනය ආයෝජනය වීම අඩුවීම නිසා මූලධනය එකතුවීම ද අඩුවෙනු ඇත. කාලාන්තරයක් තිස්සේ ගොඩ ගසා ගත් මූලධනය එකතුවක් ඇති රටක වැසියන්ට එය ආයෝජනය නොකර වසර කිහිපයක් පාඩු විඳ දරා ගත හැකියාවක් තිබේ.

අපට තවත් කාලයක් යනතුරු බාගයක් කා පාන්ගෙඩියේ ඉතිරිය කුණු බක්කියට විසිකළ හැකිය!!!!

ඇමෙරිකාවේ ණය ආධාර වලින් යැපෙනා රටවල් වලට කුමක් වේ ද?

ඇමෙරිකාවේ නිෂ්පාදන වැය ඉහළ යද්දී ආයෝජකයන් නිෂ්පාදනයෙන් ඉවත් වෙද්දී ඇමෙරිකන් ආහාර වලින් බඩ පුරවා ගන්නට බලාගෙන සිටින අයට කුමක් වේ ද?

තමන්ගේ ජනතාවගෙන් කොල්ල කා ඇමෙරිකාවේ ආයෝජනය කරන්නට හිතනා අයට කුමක් වේ ද?!!!!!!

ආරේ ගුණ නෑරේ

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 4, 2010

මෙයින් කියන්නේ පුද්ගලයා හුරු පුරුදු දෑ ගුණ යැයි අල්ලා ගෙන සිටීම ද? නැතහොත් හුරු පුරුදු දෑ හි ගුණ ඇති නිසා ඒවා අත්නොහරින්න කියා ද? නැත්නම්, පරම්පරාගතව ගුණ පැවතේ කියා ද?

වසර 118 ක් තිස්සේ කියවන්නට ලියන්නට නොදත්තෝ බහුතරයක් විසින් කරගෙන යන්නා වූ සාර්ථක ව්‍යාපාරයක් ගැන අහන්නට ලැබෙන්නේ ඉන්දියාවෙන්. එය ටිෆින් නොහොත් දිවා ආහාර පෙට්ටි රැගෙන යන්නා වූ dabbawallah ගේ කතන්දරයයි.

මුම්බායි නගරයේ පමණක් සඳුදා දිනයේ සිට සෙනසුරාදා දක්වා 200,000 කට අධික පිරිසකට පනස්දාහක සේවක පිරිසක් විසින් දිවා ආහාර පෙට්ටි එහා මෙහා ගෙන යති. එක් අයෙක් සාමාන්‍යයෙන් පෙට්ටි 40 ක් පමණ ආහාර පිළියෙල කරදෙන නිවසින් රැගෙන කාර්යාලටත් එතැනින් අහවර වූ හිස් පෙට්ටි නැවත නිවසටත් ගෙන යති. එය ඔවුන්ගේ රැකියවයි.

මුලින්ම මෙය පටන් ගැනුනා යයි කියන්නේ එක් බැංකු නිලධාරියෙක් තම බිරිඳ පිසූ කෑම කාර්යාලයේ දී ද දිවා ආහාරයට ගන්නට කැමති වූ නිසා ය. ඒ වසර ශතකයට පෙර දී ය. හුරු පුරුදු ගෙදර ඉයූ රස ආහාර වේලට ඇති ආශාව ලෝක කීර්තියට පත් ව්‍යාපාරයක් වන්නට සමත් වූයේ ‘ආරේ ගුණ නෑරේ’ නිසා ද?

Forbes Global මේ ව්‍යාපාරයට සිග්මා හයක කාර්යක්ෂම ප්‍රමිතියක් දී ඇත. dabbawallah සංගමයේ සභාපති මනිෂ් ත්‍රිපති හාවඩ් විශ්ව විද්‍යාලයටත් (Harvard business school) ලෝකය පුරා Pos Malaysia වැනි වෙනත් ව්‍යාපාරික හමුවන් වෙත ද ගොස් මේ දක්ෂ පිරිසගේ සේවය ගැන කතා පවත්වයි.

දිවා ආහාර පෙට්ටි එහා මෙහා ගෙනියන මේ ව්‍යාපාරයේ උසස් තනතුරු හා පහත් තනතුරු කියා නැත. සියල්ලෝම සේවකයෝ ය. අයිතිකාරයෝ, විධායක නිලධාරියෝ හෝ සුපිරින්ටැන්ඩන්වරු නැත. උදෑසන අටට පමණ නිවෙස් වලින් දිවා ආහාර පෙට්ටි එකතු කරගෙන යන ඔවුන් ආපහු නිවෙස්වලට හිස් පෙට්ටි ගෙනි යන්නේ සවස් කාලයේ ය. බිරිඳ වෙතින් සැමියාට යන ටිෆින් පෙට්ටිය මහමඟ දී දළ වශයෙන් හතර වතාවක් අතින් අතට මාරු වෙයි. බෙදාහැරීමේ සැලැස්ම ශතවර්ෂයකට එහා සැලසුම් කරන ලද්දකි. අද දිනයේ විශේෂඥයෝ එය විමසුමට භාජනය කරද්දී සොයාගෙන ඇත්තේ මේ සැලැස්ම යටතේ වැරැද්දක් වීමේ ප්‍රතිශතය මිලියන 16 ක එහා මෙහා යාමේ දී එකක් යැයි කියාය.

මනිෂ් ත්‍රිපති කියන්නේ සැමියා බිරිඳට ආදරය නොදැක්වූ දාට ඔවුන්ගේ රැකියාව ලොවින් තුරන් වේ කියා ය. Dabbawallah රැකියාවේ යෙදෙන්නේ මාරතී කුලයේ අයය. ඔවුන් එකම DNA ජානුවකින් පැවත ඒ යයි ද, අවශ්‍ය පමණට වඩා වැඩි කුසලතා ඇති අයෙක් රැකියාවට ගන්න එපා එවිට ඔහු ප්‍රශ්න ගොඩක් අහනු ඇතැයි ද මනිෂ් කතා පවත්වද්දී විහිළු කරයි.

මේ කතාව කියවද්දී මට මතක් වුනේ අද කතාබහේ පවතින තරබාරු හා කැහැටු ප්‍රතිපත්ති ගැන ය. කෑම යහමින් ඇති ලෝකයක පුද්ගලයෝ කෙමෙන් තරබාරු වෙති. ඔවුන් තම හැදියාව වන ‘ආරේ’ ගැන කතාබහට වඩා කතාබහේ යෙදෙන්නේ කෑම බීමේ ‘ගුණ’ ගැන ය!

පළාතට ආවේණික ආහාර එදා අපි කැලෙන්, වෙලෙන්, ඉනි වැටෙන් නි‍යරෙන් හොයා ගත්තා යැයි කියන පහත ‘තරුණි’ ලිපිය කියවන්න. අද සුපර් මාකට් යන්නා උත්සාහගන්නේ, ලෝකයේ නන් දෙසින් ආ කෑම, රාක්කයෙන් බක්කියට දා ගන්නට වෙහෙසක් පමණි. එහි දී තෝරා ගන්නා කෑම ‘රාක්කයේ ජීවිතය’ (shelf life) කොතරම් ගෙව්වා ද යන්න ගැනත්, එහි ගුණ අගුණ ශරීරයට බලපාන්නේ කෙසේ ද යන්න ගැනත් වඩා වෙහෙසන පුද්ගලයෝ කොතරම් ප්‍රමාණයක් එය ශරීරගත කරනවා ද යන්නට දෙන්නේ ඉතා අඩු අවධානයකි.

අඩුවෙන් කා මහත් වූ අයෙක් මා හට තවමත් මුණ ගැසී නොමැත!

ලංකාවට ආවේණික මුකුණුවැන්නා වගාවක් සරුව පවත්වා ගෙන යන ලංකාවෙන් ආ අයෙක් මේ අහලක පදිංචියි. කංකු වගාව කාලයක් මෙහි ජනප්‍රිය වුව ද එය ලෙඩ රෝග පතුරුවාලනවා යැයි තහනමකට ද භාජනය විණ. පහුගිය දවසක Puerto Rico eating pumpkin ගෙඩියක් ඒ ර‍ටින් මෙහි අවුත් ජීවත්වන මිත්‍රයන් වෙතින් තෑගි ලැබිණ. එය ලංකාවේ වට්ටක්කා ගෙඩියක් හා බෙහෙවින් සමාන ය. තම තම රටට ආවේණික ආහාර තම තමන් යන නුහුරු දේශවලට රැගෙන යාම ‘ආරේ ගුණ නෑරේ’ ගති විලාශයක් ද? ගුණ කෙසේ වෙතත් හුරුව ඇති රස කැමැත්ත නම් නෑරේ නිසා ද?

ලංකාවේ දී ප්‍රිය කරපු අගුණ කොළ මැල්ලුම ගැන මතක්වෙද්දී තවමත් කටට කෙළ උනයි. එය බෝතල් කරන්නට බැරි, හදපු ගමන් කන්නට අවශ්‍ය නැවුම් මැල්ලුමක් නිසා මේ පැත්තට එවන්නට හැකි dabbawallah සැලසුම්ගත විධියක් කවුරු හෝ සකස් කරනු තුරු පෙරුම් පුරමි!

ටිෆින් පෙට්ටියේ පින්තූරය TFODE අඩවියෙනි. පුංචි කාලේ කාපු කෑම රහ මතක් කරලා හිත් රිදවන තරුණි ලිපිය එව්වාට නයෝමාල් ට ගොඩක් ස්තූතියි. කුරක්කන් තලප හදන්නට සති අන්තයේ තැතක් ගනිමි. මේ දිනවල ඩෙලවෙයාර් ප්‍රාන්තයේ මුව දඩයම් කාලයයි. වට්ටක්කා ගෙඩියත් ළඟ ඇති නිසා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ මුතුලතා බෝමුල්ල විසින් වට්ටෝරුවේ කියූ ආකාරයටම රස බලන්නට වුවත් හැකියි.

තර ප්‍රතිපත්ති හා කැහැටු ප්‍රතිපත්ති

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 18, 2010

ඇමෙරිකන් ජනාධිපතිවරුන්ගේ බිරින්දෑලා තම සැමියාගේ නිල කාලය තුල දී රටට කරන සේවයක් තෝරා එයට සහයෝගය දීම සම්ප්‍රදායකි. ජෝර්ජ් බුෂ් තාත්තාගේ නිල කාලයේ ඔහුගේ බිරිඳ වූ බාර්බරා බුෂ් දරුවන් කියවීමට ලැදි කිරීම ඇයගේ සේවය කර ගත්‍තීය. පාසැල් වලට ගිය ඇය දරුවන්ට පොත් කියවීම පුවත්පත් වලින් හා රූපවාහිනියෙන් දකිනු හැකිවිය. ළමා පොත් ප්‍රදර්ශන හා ළමා පොත් මුද්‍රණයට රජයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ඉඩකඩ හා මුදල් වලින් මහත් රුකුලක් එකල ලැබුණි. එහෙත් බ්‍රිතාන්‍යයේ ජේ. කේ. රෝලින්ස් “හැරී පොටර්” පොත් පෙළ මඟින් කියවීමේ රුචිය ඉතා සුළු කාලයක දී ඇමෙරිකාවේ මහත් ලෙසින් වර්ධනය කළේ බාර්බරා බුෂ්ට ඇමෙරිකන් ආණ්ඩුවෙන් තිබුනු සහයෝගය හා සැලසුම් ප්‍රතිපත්ති කිසිත් නැතිවය.

අද දවසේ මිෂෙල් ඔබාමා ඇමෙරිකාවේ පාසැල් වයසේ දරුවන්ගේ තරබාරුකම නැති කරන්නට විශේෂ බල කණ්ඩායමක් දියත් කරයි. ඇ‍යගේ විශේෂ අවධානය යොමු වන්නේ පහළ ආදායම් මට්ටම් වල ඉන්නා දරුවන් අතර ඇති තරබාරුකමය. පාසැල් කැන්ටිමේ ඇති කෑම වෙනස් කරන්නට හා පාසැල් වල ඇති ආහාර කාසි දමා ගතහැකි මැෂින්වලින් වඩා පෝෂ්‍යදායක ආහාර දීමටත් මෙම සැලසුමේ අරමුණු අතර වෙයි. පෝසත් ළමයි අතර ඇති තරබාරුකමට පිළියම් ගැන කිසිත් කියා නැත!

ප්‍රංශයේ 1970 ගණන්වල දියත් කරන ලද නිසි ආහාර සැලසුමක් ගැන මෙහිදී මතකයට නැ‍ඟෙයි. ආණ්ඩුව මඟින් දරුවන් සිටින මව්වරුන් වෙත ඒ වැඩ සටහන ඉලක්ක කර ගැනුනි. සෑම මවක්ම තම දරුවාට දිය යුතු පෝෂ්‍යදායී ආහාර, හා ගතයුතු කෑම ප්‍රමාණය පිළිබඳව දැනුවත් කරන ලදි. පින්තූර හා වැඩමුළු මඟින් එය පරම්පරාවක් තුල හිතේ සටහන් වන පරිදි තහවුරු කිරීම නිසා අද දිනයේ ද ප්‍රංශ ජාතිකයන් තුල තරබාරුකම ප්‍රශ්නයක් නොවේ යයි සැලකේ.

පුද්ගලයෙකු විසින් අනුභව කළ යුතු ආහාර ප්‍රමාණය ගැන දැනුවත් කිරීම සඳහා මා වරක් මගේ දුවගේ නැටුම් කණ්ඩ‍ායමේ කුඩා දැරියන්ට පෝෂණය පිළිබඳ දැනුමැත්තියකට ආරාධනා කළෙමි. ඇය රබර් වලින් සෑදු කෑම ආකෘති සාකච්ඡාවට ගෙන ආවාය. එක් වේලකට කන්න සුදුසු තේ කෝප්පයක් වත් නොපිරෙන්නට ඇති බත් ප්‍රමාණය දැක්ක විට අපි කොතරම් අනවශ්‍ය ප්‍රමාණයක් කන්නට හුරු වී ඇත්දැයි වැටහුණි.

1988 දී ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිව් මෙක්සි‍කෝවේ හා ඇරිසෝනාවේ පවත්වන ලද විධිමත් පර්යේෂණ ප්‍රතිඵලයක් වූයේ නිසියාකාර ආහාර ගැනීමේ ප්‍රතිපත්තියකින් සෞඛ්‍යය යහපත් වුවද එයින් තරබාරුකම අඩු නොවේය කියාය. සමහර පුද්ගලයෝ ස්වභාවයෙන්ම තරබාරු අතර සමහර අය ස්වභාවයෙන්ම කෙට්ටු ශරීර ඇති අය වෙති.

තරබාරුකම පමණින් කෙනෙක් සෞඛ්‍ය සම්පන්න නොවන්නේ ද? කෙට්ටු නිසාම කෙනෙකු මනා සෞඛ්‍යයෙන් ද යුතු නැද්ද? මෙය තවමත් ස්ථිරව පහදා ගැනීමට දත්ත ප්‍රමාණවත් ලෙසින් කිසිවෙක් ඉදිරිපත් කර නැත.

මේ අතර ස්පාඤ්ඤයේ රෑ දහයට පෙර බර අඩු කරන දැන්වීම් තහනම් කරන්නට යයි. මන්ද ඒවායේ ශරීරයේ බර අඩු කරගන්නට කරන පෙරැත්තය නිසා දරුවෝ නොකා නොබී සිට රෝගී වන්නට ඉඩකඩ වැඩිකමය. මත්පැන් දැන්වීම් වලට වඩා මෙම බර අඩුකරන දැන්වීම් නිසා ළමා මනසට හානියක් වන බව ස්පාඤ්ඤයේ මතයයි.

පහුගිය දවස්වල හිම වැටී පළාතම වැසී, ඇමෙරිකන් ආණ්ඩුවත් නිවාඩු යද්දී, පෙන්සිල්වේනියාවේ, මේරිලන්ඩ් හා වර්ජීනියා ප්‍රාන්ත වල දරුවන් බඩගින්නේ හිටි බව ද ප්‍රවෘත්තියකි. විශාල ළමුන් ප්‍රමාණයක් පාසැලේ දී ලැබෙන අඩු මිලට හා නොමිලේ දෙන ආහාර වලින් යැපෙන බවත් පාසැල් වසා දමා ඇති නිසා මේ දරුවන් බඩගින්නේ යයි ද එහි කියැවුනි. මේ දරුවන් පාසැල් එන්නේ අඩු ආදායම් පවුල් වලිනි. ඔවුන්ගේ දෙමවිපියෝ දිනපතා ආදායමක් උපයා ගන්නා කම්කරු රැකියාවල යෙදෙන්නෝ වෙති. එසේම මෙම දරුවන් බො‍ෙහාමයක් රටේ හොරෙන් පදිංච් වී ඉන්නා දෙමව්පියන්ගේ ද දරුවන් වෙති. එනිසාම ඔවුනට සමාජ සේවා සැලසුම් යටතේ ලැබෙන ආහාර මිල දී ගතහැකි මුද්දර (මුදල්) ලැබෙන්නේ ද නැත. මේ දිනවල ඒ දරුවන්ගේ දෙමාපියවරු ආහාර ගත්තා ද නොගත්තා ද යන්න නම් වාර්තාවේ කතිකා වූයේ නැත….ඒ අය දරුවන්ට කෑම නොදී තමන් පමණක් කෑවා ද? නැතහොත් ඔවුනුත් බඩගින්නේ සිටියා ද?

පසුගිය ජනාධිපති දිනයේ දී, පෙබරවාරි 15 දා (නිවාඩු දිනය) කැපිටල් හිල් (එය කුඩා කන්දකි) 9/11 පසු මහජනතාවට වසා තිබුණු අවහිර ඉවත් කර එහි හිම ක්‍රීඩා කරන්නට විවෘත වුනි. අන්න එය නම් රජයෙන් වොෂිංටනයේ දරුවන්ට බර අඩු කරගන්නට ලබා දුන් මනා අවස්ථාවකි.

70 ගණන්වල ඇමෙරිකාවේ බාර්බී නම් බෝනික්කිය නිසා මහත් කලබැගෑනියක් විය. බාර්බී සුදුහම ඇති, විශාල කොණ්ඩයක් ඇති (බ්ලොන්ඩ් පැහැති), සිහින් සුඟක් යනාදියෙන් යුත් බෝනික්කියකි. ඇයගේ පෙනුම තමන්ට ද ලබා ගන්නට කුඩා ගැහැණු දරුවන් නොකා නොබී සිටියා යයි අවලාද ඇසුණි. බාර්බිගේ හැඩය මඳක් වෙනස් වී දැන් විවිධ පැහැති ඇති කොණ්ඩ හා විවිධ පැහැති ඇති ඇස්, හම ආදියෙන් යුත් බෝනික්කියන් බිහි වී ඇත. බෝනික්කියක් යනු සත්‍යය කෙනෙකු නොවේ යයි දරුවාට කියා දෙන්නට කිසිවෙක් ඉදිරිපත් වුනා ද?

අද ඇමෙරිකාවේ මහත් සිරුරු ඇති දරුවන් වැඩියෙන් ඉන්නේ අඩු ආදායම් හා කළු ජාතික පවුල් අතර යයි කියන රජය, තරබාරුකම නැති කරන ප්‍රතිපත්තිය යටතේ විශාල වෙළඳසැල් වලට අඩු ආදායම් ලබන අය ඉන්නා පැති වලට තම කඩ ගෙනයන්න යයි යෝජනා කරයි. එළවළු හා පළතුරු වඩා සුලබ එවැනි විශාල වෙළඳ දාමයන්හි බව විශ්වාසය හෙයිනි. එහෙත් හන්දිය කෙළවරේ ඇති චීන කඩයකට ගොඩ වැදී අයෙකුට එහි විකුණන අනේක පළතුරු හා එළවළු දැකීමට පුළුවන. නීතියක් දමා වෙළඳහලකට පැත්තකට ගොස් වෙළඳාම් කරන්න යයි කීමට අවශ්‍ය නැත. එළවළු හා පළතුරු වැඩියෙන් විකිණේ නම් ඒ පැත්තට වෙළඳසල් බලහත්කාරයෙන්ම ගොඩ වදිනු ඇත. එසේම අද ඇමෙරිකාවේ සුපර් වෝල්මා‍ට් දාම හලකට ගොඩ වැදි කෙනෙකුට ද එහි විකුණන පළතුරු හා එළවළු දකිනු හැකිය.

ජෝර්ජ් බුෂ් තාත්තා ජනාධිපතිව සිටිය දී අයෝවා ප්‍රාන්තයේ ග්‍රොසරි හලකට ගොඩ වී එහි කොම්පියුටර් කෑෂ් රෙජිස්ටරය දැක පුදුම වීම එදා ‍මාධ්‍යවේදියෝ ‍බෙහෙවින් විනෝදයට පත් කරන ලද්දකි. ඒ ඔහු සමාජයෙන් ඈත් වී රටේ ඇති තත්වය නොදන්නා බව පෙන්වීම නිසාය. අද මිෂෙල් ඔබාමා ඇමෙරිකන් වෙළඳහලේ විකිණීමට ඇති එළවළු හා පළතුරු ගැන නොදැන සිටීම ගැන නම් කිසිවෙක් කිසිවක් කීවේ නැත්තේ කළු ජනාධිපතිගේ කළු බිරින්දෑට විහිළු කිරීම නුසුදුසු යයි සිතනා නිසාද?

ඇමෙරිකාවේ මහාමාර්ග වල ගමන් කරනා අයෙක් හැම හැතැප්ම සියයකටම එකක් හෝ ඇති මැක්ඩොනල්ඩ් ආපනශාලා දාමය දකිනු ඇත. මන්ද මහාමාර්ග වල ගමන් කරන අය එහි ගොඩවැදී ආහාර මිල දී ගන්නා නිසාය. එහි දැන් එළවළු විකිණීම‍ට තිබුණ ද, පළතුරු කෝප්ප විකිණීමට තිබුණ ද බොහෝ අය තවමත් වැඩියෙන් මිල දී ගන්නේ හැම්බර්ගර් වෙති.

ඇමෙරිකාවේ ලෝකයේ අන් කිසිම රටකට වඩා අඩු මිලට ඉතා පහසුවෙන් පෝෂ්‍යදායී ආහාර ලබාගත හැකිය. මෙය Unprotected Thoughts හි බ්ලොග් සටහනක් වශයෙන් එක්ව ඇත්තේ 2006 දීය. අද දිනයේ ද ඇමෙරිකාවේ මිල ගණන් වල මෙහි සඳහන් වනවාට වඩා සැලකිය යුතු ඉහළ යාමක් දකින්නට නැත. ලෝකයේ නන් දෙසින් එන ආහාර අද ඈත පිටිසර ගම්මානවල ඇති වෙළඳසැල්වල පවා විකිණීමට ඇත. කොයිතරම් ප්‍රතිපත්ති ස්ථාපිත කළත් අවසානයේ පුද්ගලයා‍ තෝරා ගන්නේ තමන් කන්නට කැමැති දේ ද? තමනට ගුණදායක දේ ද? පහසුවෙන් මිල දී ගත හැකි දේ ද?

1862 සිට අද දක්වාම ඇමෙරිකන් ආණ්ඩුව පෝෂණ ප්‍රතිපත්ති සැලසුම් කරති. 1979 වෙද්දී එවැනි ප්‍රතිපත්ති සැලසුම් 350 කි. 2010 ට නව ප්‍රතිපත්ති අවශ්‍ය ද? තවමත් තරබාරුකම නැති කරගන්නට රජයට නොහැකි වී ඇත්තේ රටේ ජනතාව පෝෂණයට අකැමති නිසා ද? නැතහොත් එය පුද්ගල කැමැත්ත අකැමත්ත අනුව එක් එක් පුද්ගලයා විසින් තීරණය කළ යුත්තක් නිසා ද?

මේ කිසිම ප්‍රතිපත්තියකින් ශරීරයේ නිසි බර පවත්වා ගන්නා අයට නම් විශේෂ ප්‍රතිලාභ ලැබී නැති බව ද සටහනට එක් කළ යුතුය. ඒ ඇයි?

කියවන්නට හෝ ආහාර අනුභවයට ප්‍රතිපත්ති සාදා සැලසුම් දියත් කරන රජයන් ඊ ළඟට පුද්ගලයා‍ෙග් ජීවිතයේ තව මොන මොන දේවල් වලට ඇඟිලි ගහන්නට එයි ද? රස්සාවල් නැතිකම ප්‍රශ්නය වි තිබියදී තරබාරුකමට පිළියම් සෙවීම ගැන ද විහිළුවක් කිසිවෙකුගෙන් අහන්නට ද නොලැබුණි. පෝසත් අය අතින් වැරැද්දක් වූ විට විහිළුවට භාජනය කිරීම මනා වුව ද, දුප්පත් හා සුළු ජාතීන්ට විහිළු කිරීම නොමනා ද?

හැම දෙයක්ම වෙන අයෙකු වෙත පැවරීමෙන්, අපගේ දරුවන්ගේ බර අඩු කරන්නට ද රජයට බාර දීමෙන් අපි අපගේ වගකීම් වලින් තව තවත් ඈත් වෙනවා ද? මම කරන්න ඕන නැහැ ඒකත් රජයෙන් කරාවි යන්න අද පිළිගැනීම වි තිබේ ද? එවිට මගේ කාර්යභාරය වන්නේ කුමක් ද?