අරුණි ශපීරෝ‍ වෙතින්

තෝර්ස්ටීන් වෙබ්ලන් (Thorstein Veblen) සහ උත්කර්ෂණ පරිභෝජනය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 30, 2020

ඇමෙරිකාවේ වැසියන් නොවැම්බර් මාසයේ අන්තිම බ්‍රහස්පතින්දා සමරන ‘ස්තූතිය පුද කිරීමේ’ උත්සවයෙන් පසු දිනය, එනම් කළු සිකුරාදා යැයි හැඳින්වෙන්න, ඊ ළඟට එන නත්තල් උත්සවය වෙනුවෙන් තෑගි මිල දී ගැනීමේ පළමු දිනය හැටියට සාමාන්‍යයෙන් සැලකේ.

මෙම දිනයට කළු සිකුරාදා කියා නම වැටුනේ කෙසේදැයි විමර්ශනය කළ අයෙකුට දැනගන්නට ලැබෙන්නේ 1950 ගණන් වල දී දවස් හතරක නිවාඩුවක් හදාගන්නට ඇමෙරිකන් අය සිකුරාදා දවසේ නිවාඩු ගැනීම නිසා එම සිරිත පටන් ගැනුණ බවයි.

දැන් අපිට ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ දිනයට අමතරව ‘සයිබර් මන්ඩේ’ හෙවත් අන්තර්ජාලය හරහා විශේෂ වාසි ලබාගත හැකි සඳුදා දිනයක් ද, එමෙන්ම ‘ට්‍රැවල් ටියුස්ඩේ’ හෙවත් සංචාරය සඳහා මහත් ලාබදායක වාසි ලබාගත හැකි අඟහරුවාදා දිනයක් බවට ද පත්ව ඇත.

පරිභෝජනය කවුරු කෙලෙසින් කළ යුතුද යන්න ගැන තවත් කෙනෙකුට තීරණය කළ හැකියාව ඇතැයි සිතන අය ලොව එමට සිටිති.

වැය කරන්නේ තම වෙහෙසෙන් උපයා ගන්නා ලද මුදල් නම් ඒවා උපයාගත් අයට රිසි සේ යෙදවීම නිසා සමාජයේ සම්පත් නාස්තියක් වේ යැයි සිතන අය සිටිති. ලංකාවේ සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් තම උපන්දින සාදය ජයටම පැවැත්වීම එදා ආන්දෝලනාත්මක විය. ඒ ගැන “මේක නාස්තියක් නෙමේද?” කියා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකින් ද ඔහුගෙන් විමසන ලදි.

ඉතින් අයෙක් තම පෞද්ගලික මුදල් වලින් උත්සව පැවැත්වීම සම්පත් නාස්තියක් යැයි හෙළා දකින අදහස මුලින්ම න්‍යායයක් ලෙසින් ලෝකයට ගෙනෙන ලද්දේ, ඔව්, ඔව්, ඒකත් එන්නේ ඇමෙරිකන්කාරයෙක් ගෙන් තමයි!

ඒ 19 වැනි සියවස අග සහ 20 වැනි සියවස මුල දී ය. ඔහු නමින් තෝර්ස්ටීන් වෙබ්ලන් නම් විය.

ඔහු අර්ථ ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ හුදු පැත්තකින් පමණක් සිටියෙකි. විස්කොන්සින් ප්‍රාන්තයේ ‘ගොවි’ පවුලකින් එන ඔහු නොර්වේජියන් සම්භවය තිබි අයෙකි. ගෙදර දී නෝවේජියානු බස කතා කරන ලද බැවින් ඔහු ගැටවර විය තෙක් ඉංග්‍රීසි ඉගෙන ගෙන නොතිබුණි.

‘උත්කර්ෂණ පරිභෝජනය’ (conspicuous consumption) යන පද වහර ඔහු ඉදිරිපත් කරන ලද්දකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධිය ලබාගන්නේ එයටයි. ‘විවේක සුවයෙන් පසුවෙන පංතියේ න්‍යාය” (The Theory of the Leisure Class) යන පොතෙන් ඔහු ඉහත පද වහර ඉදිරිපත් කළේය.

අයෙක් තම සමාජ තත්වය (පංතිය) හෝ නිපුණත්වයන් ගැන අනෙක් අයට කියා පාන ක්‍රමවේදයක් හැටියට උත්කර්ෂණ පරිභෝජනයේ යෙදෙයි. ඉතින් එයට හැකියාව ඇත්තේ විවේක සුවයෙන් පසුවෙන පංතියටයි.

දඩයමේ යෑමේ සහ මසුන් මැරීමේ යෙදී සිටිමෙන් මිනිසා ගොවිතැනට හැරුනේ ඇයි, එහි හේතුව සමාජමය සහ සංස්කෘතිකමය වේයැයි ද, එහෙනම් ඒ සමාජමය සහ සංස්කෘතික හේතු මොනවාදැයි කියා අවබෝධ කරගැනීම වැදගත් යැයි වෙබ්ලන් සැලකීය.

ඒත් ඔහුගේ අදහස් එවක අර්ථ ශාස්ත්‍රඥයන්ගේ අවධානයට පත් වූයේ නැත. ඉතින් හාස්‍යය උපදවන ශෛලියෙන් ‘විවේක සුවයෙන් පසුවෙන පංතියේ න්‍යාය’ යන පොත ඔහු 1899 දී ලියන ලදි. එයින් සමාජ අධ්‍යයනය ආර්ථික විශ්ලේෂණයට ඈඳන්නට හේ සමත් වූයේය.

සමාජ තත්වයක් සොයා යන වෑයම තුළින් මනුෂ්‍ය හැදියාවට අභිප්‍රේරණයක් ලැබෙන්නේ යැයි වෙබ්ලන් කියා සිටියේය.

මෙහි දී අපට වෙබ්ලන්ගේ සමාජ තත්වය ගැන සිහි නොකර සිටීමට නොහැකි යැයි සමාජ අධ්‍යයන ශාස්ත්‍රවේදියෙකු වන ඩේවිඩ් රීස්මන් පෙන්වා දෙයි. වෙබ්ලන් විසූ නොර්වේජියානු ප්‍රජාව කොතරම් හුදකලාව ජීවත් වුවාද කියතොත් ඔහු එයින් ඉවත්ව යද්දී, “එක අර්ථයකින් එහි දී ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූවා,” යැයි ඇමෙරිකන් ඉතිහාසඥයෙක් වූ ජෝර්ජ් එම්. ෆ්‍රෙඩ්රික්සන් කීය.

ඔහුගේ දෙමව්පියන්ට දරුවන් දොළොස්දෙනෙක් සිටියහ. වෙබ්ලන් පවුලේ හතරවැනි දරුවායි. දෙමව්පියන් නෝර්වේ වලින් පැමිණෙන විට ඔවුන් අත වැඩි මුදලක් හෝ අධ්‍යාපනයක් නොතිබුණත්, පියා වඩුවැඩට දක්ෂයෙක් වූයේය. ‘ඇමෙරිකන් සිහිනය’ සාර්ථක වීමෙන් පවුලේ ව්‍යාපාරය සමෘද්ධිමත්ව ඔවුන් තම දරුවන්ව ඉහළ අධ්‍යාපනය වෙත මුදල් ගෙවා යවන්නට සමත් වූහ. වෙබ්ලන්ගේ සහෝදරියක් වූ එමිලි ඇමෙරිකන් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගන්නට සමත් ප්‍රථම නොර්වේජියානු සංක්‍රමණික තැනැත්තියක් බවට පත්වෙන්නීය. වෙබ්ලන් පවුලේ වැඩිමහල් දරුවා වූ ඇන්ඩෲ වෙබ්ලන් අයෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ physics ආචාර්යවරයෙක් බවට පත්වෙන අතර ඔහුගේ පුතා පසු කාලයක දී ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගණිතඥයන් අතරට පත්වෙන ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඔස්වෙල්ඩ් වෙබ්ලන් ය.

මිනෙසෝටා හි ලිබරල් ආට්ස් උගන්වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වූ කාල්ටන් කොලෙජ්, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය, යේල් විශ්වවිද්‍යාලය යනාදියෙන් වෙබ්ලන් අධ්‍යාපනය ලබා ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සේවයට ඔහු දැඩි සේ වෑයම් කළ ද, ඔහුගේ පිළිවෙලක් නැති පෙනුම, සහ ආචාරශීලී නොවූ හැදියාව සමඟ ආගම ගැන ඔහු තුළ වූ සැකය ප්‍රසිද්ධියේ කියා පෑමත් නිසා එවක අධ්‍යාපන ආයතන ඔහුට රැකියාවක් දීමට පසුබට වූහ. ඒ හේතුවෙන් 1884 සිට 1891 දක්වා වෙබ්ලන් තම පවුලේ අයගේ සහ භාර්යාවගේ පවුලේ අයගේ පිහිටෙන් ජීවත් වූයේය.

1892 දී අලුතෙන් හදන ලද චිකාගෝ විශ්වවිද්‍යාලය වෙබ්ලන්ගේ ගුරුවරයෙක් සේවයට බඳවා ගන්නා අතර ඒ මාර්ගයෙන් වෙබ්ලන්ට සහායක ගුරුපත්වීමක් ලැබේ.

ප්‍රාථමික මට්ටමකින් සමාජය කොටස් දෙකකට බෙදී ඇතැයි වෙබ්ලන් කියයි. ව්‍යාපාරිකයන්, නීතීඥයන්, සහ වෙනත් වෘත්තීයවේදීන් සිටින “විවේක සුවයෙන් පසුවන පංතිය,” එක කොටසකි. අනෙක් කොටස “වැඩ කරන පංතියයි”, කලින් කී පංතියේ ධන වස්තූන් ඇතිවෙන්නේ මේ පංතියේ ශ්‍රමයෙනි.

වැඩ කරන පංතියේ නිෂ්පාද්‍යතාවය තුළින් උසස් පංතියට ඔවුන්ගේ ජවය විවේකී සුවයෙන් පසුවෙන කටයුතු වල යෙදී “උත්කර්ෂවත් පරිභෝජනයේ” යෙදෙන්නට හැකියාව ලැබෙනවා යැයි වෙබ්ලන් කියා සිටියි.

මොනවාද මේ උත්කර්ෂවත් පරිභෝජනයට අයිති දේවල්?

ටෙනිස් ක්‍රීඩාව, අශ්ව රේස්, ආගම, සහ වේදිකා සහ ඔපෙරා වැනි කලා ප්‍රසංග වලට සහභාගී වීම සහ ඉහළ ඝනයේ වස්ත්‍ර හැඳීමයි.

වෙබ්ලන්ට අනුව “අගනා භාණ්ඩ වලින් උත්කර්ෂවත් පරිභෝජනයේ යෙදීම විවේකී සුවයෙන් පසුවෙන පිරිමින්ගේ හොඳ නම පවත්වාගෙන යෑමේ ක්‍රමයයි.”

පහළ පංතිවල සාමාජිකයන් ඒ අතරේ දී තමන්ගේ ‘තත්වය ඉහළ යැයි පෙන්වීම’ සඳහා හැකි සෑම විටෙකම උසස් පංතිවල පරිභෝජන විලාසිතාවන් අනුකරණයේ යෙදෙති.

වෙබ්ලන් මේ න්‍යාය යොදාගත්තේ ධනවාදය විවේචනය කරන්නටයි. වැඩි ප්‍රායෝගික භාණ්ඩ නිෂ්පාදනයෙන් අවධානය වෙනතක යෑම නිසා නිෂ්පාද්‍යතාවය සහ ඉහත සඳහන් ලෙසින් බඩු මිල දී ගැනීමේ කටයුතු යනු සමාජයට නාස්තිකාර වූ ලෙසින් වෙබ්ලන් දැක්වීය.

අර්නස්ට් හෙමින්ග්වේගේ ‘ගැට්ස්බි’ නැත්නම් එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරාල්ඩ්ගේ ‘රබර් චෙක්’ (කලින් ලියූ සටහනක් මෙතැනින්) යනාදියෙන් වෙබ්ලන්ගේ අදහස් ඇමෙරිකන් කලා නිර්මාණයන්ටත් එකතු වූ බව පෙනී යයි.

පරිභෝජනවාදය ගැන වැඩියෙන් කතා කරන අද වාමාංශිකයන් පවා අල්ලාගෙන සිටින්නේ වෙබ්ලන් කියූවයි.

චර්යාමය අර්ථ ශාස්ත්‍රයක් ගැන කතා කරන්නට යන්නේ ද, මිනිස් හැදියාව කුමක්දැයි කලින් පහදා ගත යුත්තකි. සමස්ත සමාජයේ ජීවත්වන සෑම ඒකීය මිනිසෙකු අතරින්ම දකින්නට නොහැකි ලක්ෂණයක් නම්, එය සමාජයක පවතින පොදු මිනිස් හැදියාවක් යැයි කියා සලකන්නට නොහැකියි.

විවේකී සුවයෙන් පසුවෙන ‘උසස් පංතියක්’ ලෝකයේ සිටින්නේ නම්, එයට සත්‍යයෙන්ම අයිති වෙන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණක් වේදැයි කියා ඔබ සිතනවාද?

ජෙෆ් බේසෝස්, ඉලාන් මස්ක්, බිල් ගේට්ස් මෙන්ම ලංකාවේ උපන්දින සාදයක් දමා නාස්තිකාරයෙක් යැයි අහගත්ත චන්දිමාල් ද තම පෞද්ගලික වත්කම් සඳහා ඔවුන්ගේ වෙහෙස මහන්සිය යෙදෙව්වේ වෙනත් සාමාන්‍ය රටවැසියෙකුට වඩා වැඩියෙන් ද අඩුවෙන් ද?

ආදරය සහ මිත්‍රත්වය පිටාර ගලන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2015

විමසිල්ලකින් සොයා බැලීමකින් තොරව සත්‍යය යැයි අල්ලා ගෙන සිටින තවත් දුර්මතයක් නම් වෙළඳපොල නිසා ගිජු බව සහ ආත්මාර්ථකාමය වර්ධනය වෙන බවයි. එය විශ්වාස කරනවුන් කියනුයේ වෙළඳපොලේ ගැවසෙන මිනිසා අඩුම මිලට පමණක් බඩු හොයනවා කියායි. නැත්නම් ඉහළම ලාභ උපයනවා කියායි. ඒ හෙයින් වෙළඳපොල ගණුදෙනු කරන අය ගිජු බව සහ ආත්මාර්ථකාමයෙන් පමණක් පෙළඹෙන අනිත් අය ගැන නොතකන අය බවයි.

නමුත් විමසා බලන්නෙකුට පෙනී යන්නේ වෙළඳපොල යනු පුද්ගලයාගේ ගිජු බව හෝ ආත්මාර්ථකාමය වර්ධනය කරන හෝ අවහිර කරන තැනක් නොවන බවයි. වෙළඳපොලක් යනු වඩාත්ම පරාර්ථකාමී වූව මෙන්ම වඩාත්ම ආත්මාර්ථකාමී වූවටද එක සේ ඉඩ ලබා දෙන සාමකාමී තැනක් පමණි.

අනුන්ට උපකාර වනු පිණිස ජීවිතය කැප කරන අයත් ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට වෙළඳපොල භාවිතා කරයි. ඒ අය සේ ම තම වත්කම් වැඩි කරගන්නට වෙහෙසෙන්නා ද වෙළඳපොල භාවිතා කරයි. සමහර අය තම වත්කම් වැඩි කරගන්නේ අනුන්ට උදව් පදව් කරත හැකියාව වැඩි වර්ධනය කරගන්නටයි. බිල් ගේට්ස් මෙන්ම ජෝර්ජ් සෝරෝස් ද වර්තමානයේ මේ දෙවැනි කොටස පෙන්වන නිදසුන් වෙති. ඔවුන් මහා ධනස්කන්ධයන් උපයා ගැනීමේ තවමත් නියැළෙන්නේ ඔවුන්ගේ දානමය කටයුතු වලින් අනුන් උපකාර කිරීම සඳහායි.

තෙරේසා මව්තුමිය වැන්නියකට අවශ්‍ය තමන්ගේ වත්කමෙන් වැඩි පිරිසක් වෙනුවෙන් ආහාර පාන, ඇඳුම් හා ඖෂධ සපයන්නටයි. ඇයගේ උදව් පතා එන අයට ඒවා අඩු මිලට ගත හැකියාව ඇයට පාදා දෙන්නේ වෙළඳපොලයි.

වෙළඳපොල නිසා වත්කම් නිර්මාණය වෙයි. අනතුරුව සමාජයක අවසානාවන්තයන්ට උදව් පදව් කරන හැකියාව වැඩි වර්ධනය කරන්නේ ද වෙළඳපොලයි. දානපතියන්ට දානමය කටයුත්තේ යෙදෙන්නට හැකියාව පාදා දෙන්නේ වෙළඳපොලයි.

සාමාන්‍යයෙන් කරන වැරැද්දක් නම් මිනිසුන්ගේ අරමුණු සමඟ ඔවුන්ගේ “ස්වාර්ථය” ඈඳාගෙන අනතුරුව එය “ආත්මාර්ථකාමය” සමඟ පටලවා ගැනීමයි. වෙළඳපොලක ගණුදෙනු කරන ජනතාවගේ අරමුණු ඔවුන් ගැනම වූවක් බව සැබෑය. එහෙත් මගේ අරමුණ යනු මගේ පවුලේ සාමාජිකයන්, මගේ යහළුවන්, මගේ අසල්වැසියන් ගැනත් සමහර විට කිසිදා දැක හමු වී නොමැති අයගේ යහපත ගැනත් ඇති තැකීමකින් හටගත්තා වෙන්නට හැකියි.

ඉතින්, වෙළඳපොල යනු මගේ, මම දන්නා හඳුනන අයගේ පමණක් නොව කොහෙත්ම නොදන්නා අයගේ උවමනාවන් ගැන පවා තැකීමක් කරන්නට හැකි ලෙස නිර්මාණය වී ඇති තැනකි.

මිනිස් සමාජයක් වෙනුවෙන් අඩිතාලම වැටෙන්නේ ආදරය සහ මිත්‍රත්වය මතින් නොවේ. ආදරය සහ මිත්‍රත්වය යනු එකිනෙකාගේ යහපත පිණිස කටයුතු කරගනිද්දී, ලොකු කුඩා සෑම කල්ලියක් තුලින් ම, හටගන්නා ඵලදාවයි. එහෙම අන්‍යෝන්‍ය ප්‍රතිලාභයන් නොමැති නම් සමාජයක් බිහිවෙන්නේ නැත.

එකිනෙකාට යහපතක් සිද්ධ නොවනවා නම්, A කරන හොඳ B ට සිද්ධ වන හානිය නම්, එවිට ඔවුන් කිසිදාක ගණුදෙනුවක් නොකරති. කිසිදාක එකමුතුව වැඩ කරන අය නොවෙති. කිසිදාක මිත්‍රත්වයක් ඇතිකර නොගනිති.

සහයෝගීතාව විශාල වශයෙන් ඉවැඩි කරන්නේ වෙළඳපොලයි. කවදාවත් පුද්ගලිකව නොදන්නා අය අතර පවා සහයෝගයට අවස්ථාවක් එයින් පාදා දෙයි. ඔවුන් එකම ආගම අදහන්නේ නැති වෙන්නට පුළුවනි. එකම භාෂාව කතා නොකරනවා විය හැකියි. කිසිදා මුණ ගැහෙන්නේ ද නැතිවනු ඇත.

කැමති නම් කියවන්න: මම පැන්සල

වෙළඳාමෙන් පුද්ගලයාගේ ජීවිතයට වැඩි වාසියක් ලැබීම මෙන්ම, පැහැදිලිව නිර්වචනය කරන ලද සහ නීත්‍යානුකූලව ආරක්ෂා වෙන දේපල අයිතීන් නිසා වෙළඳාමට පහසුදායක ප්‍රවේශයක් ද ලැබීමෙන් සිද්ධ වෙනුයේ නන්නාදුන අය අතර පවා පරිත්‍යාගශීලීත්වයට අවස්ථාව පෑදීමයි. ආදරය හා මිත්‍රතත්වය දේශ සීමාවන් සහ මායිම් වලට ඔබ්බෙන් පිටාර ගැලීමයි.

මාර්තු 31 වැනිදා පෙව 11ට කොළඹ 5, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේ දී පැවැත්වෙන “ධනවාදයේ සදාචාරාත්මක බව” දේශනයේ කථිකයා වන ටොම් ජී. පාමර් ලියූ “වෙළඳපොල ගැන මිථ්‍යාවන් විස්සක්” යන ලිපිය ඇසුරිනි.

නිතර කියැවෙන හණමිටිය අංක 1 -විෂමතාවය හැම තැනම පවතී

Posted in Uncategorized by arunishapiro on මාර්තු 11, 2015

ක්ලිෂේ (cliché) යනුවෙන් සැලකෙන්නේ මුල් චින්තනයේ තිබි අර්ථය හිඳී ගිය, පමණට වඩා වැඩියෙන් භාවිතයට ගත්, වාක්‍යයක් හෝ මතයකි. “ප්‍රගතිශීලිවාදයේ ක්ලිෂේස්” යටතේ ආර්ථික අධ්‍යාපනය සඳහා වූ පදනම විසින් ලියාගෙන යන ලිපි පෙළ සඳහා පොදු නිර්මාණශීලී අවසරය යටතේ මම සිංහල පරිවර්තන මෙසේ ඉදිරිපත් කරන්නෙමි.

#1 — ආදායම් විෂමතාවය හටගන්නේ වෙළඳපොල බලය තුලින් සහ ඊට ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍යයයි

විෂමතාවය හැම තැනම පවතී. වැසි වනාන්තරයේ, අනෙකුත් සියළු පැළෑටි සහ සතුන්ට වැඩියෙන් මැහෝගනී ගස් විසින් වතුර සහ හිරැ එළිය ලබා ගනිති. අපේ ආර්ථික පරිසර පද්ධතියේ දී, ව්‍යවසයාකයන් සහ ආයෝජකයන් විසින් අනෙකුත් අපට වැඩියෙන් වත්කම් පාලනයේ යෙදෙති. මැහොගනි ගස් ගැන සිත් කරදර කර නොගත්ත ද, ධනවතුන් ගැන මහත් සිත් තැවුලට පත්වීමක් දකින්නට ලැබේ. එනමුත් විෂම වූ ආකාරයෙන් සම්පත් බෙදී පැවතීම පැහැදිලි කරත හැකි ඉතා හොඳ හේතු පවතී.

සමහර විෂමතා හටගන්නා ප්‍රභවය අනෙකුත් ඒවාට වඩා හොඳ වූ ඒවායි. උදාහරණයක් වශයෙන්, එද්දලවාදයෙන් හටගන්නේ නුසුදුසු විෂමතාවන් වෙති. ඒ නිසා ආර්ථික ව්‍යවසායකයෙක් සහ දේශපාලන ව්‍යවසාකයෙක් අතර පැහැදිලි වෙනස කුමක් දැයි දැන සිටීම අපට වැදගත් වූවකි. ආර්ථික ව්‍යවසායකයා සමාජයට අගයක් නිර්මාණය කරන්නෙකි. දේශපාලන ව්‍යවසායකයා අනුන් වෙතින් තමන්ගේ මල්ල පුරවා ගන්නට සම්පත් මාරැකරන්නෙකි. ඔහු එසේ කරන්නේ සහනාධාර බෙදන්නට, විශේෂ වරප්‍රසාද සහ තරඟය ඇණ හිටුවන නීති ගෙනෙන්නට යැයි උසිගැන්වීමෙනි. මේ ධනවාදීන් යැයි කියාගත් එද්දලයන් අව්‍යාජ ව්‍යවසාකයන් වෙතින් වෙන්කර ගන්නට හැකි නම්, එවිට අපිට වැඩ කරන අයත් තම මල්ල පුරවාගන්නා අයත් වෙන් කර හඳුනා ගන්නට ද ලැබේ. අවංක ව්‍යවසායකත්වයෙන් පැවතෙන විෂමතාවය යනු වැරැද්දක් ඇතැයි පෙන්වන එකක් නොව, හැම පැත්තකින්ම සිද්ධ වෙන වැඩි දියුණුව පෙන්නුම් කරන්නකි. නිර්මාණශීලී කටයුතු සහ හුවමාරැව තුලින් හැමෝම සිටිනවාට වඩා හොඳ තත්වයකට ගෙන යන ක්‍රමයේ දී, සමහර පිරිසක් ධනවතුන් වෙති. එය ක්‍රමයේ ස්වභාවික ලක්ෂණයකි. මුල්‍ය හොඳින් හසුරැවන ලද්දවුන් හැටියට ව්‍යවසායකත්වයට සහ ආයෝජකයන්ට පාරිතෝෂිකයක් ලැබෙන ක්‍රමයකි. ජනතාව විසින් මුල්‍ය මනා ලෙසින් හසුරැවන්නේ නැති විටෙක අනිවාර්යෙන්ම ඔවුන් අසාර්ථක වෙති. එනම්, අයහපත් ආයෝජන කරන සහ පාරිභෝගිකයන්ට හොඳින් නොසලකන අය වැඩිකල් ධනවතුන් වී සිටින්නේ නැත.

විෂමතාවය ගැන කන් කෙඳිරිගානවා ඇසෙන විට අපි වහාම විමසිය යුත්තේ, “ඉතින් ඇයි?” කියායි. ඇමෙරිකාවේ සිටින සමහර බුද්ධිමත් වූ (එසේම සමහර ධනවත්ම වූ අය පවා) දුප්පතුන් ගැන තැකීමක් කරන්නේ ධනවතුන් විසින් පාලනය කරන වත්කම් ගැන ඇති තැකීමෙනි. දුප්පතාට නැත්තේ ධනවතාට ඇති හෙයින් යැයි කියන පැරණි ශූන්‍ය ඓක්‍ය (zero-sum) චින්තනයෙන් මෙය පැවත එන්නකි. එහෙත් අයෙක් අනෙකා පාවා දෙමින් වැඩි හොඳ ජිවිතයක් ගත කරන්නේ එද්දලවාදයෙනි. එය සිද්ධ වෙන්නේ අවංක ව්‍යවසායකත්වයේ හා නිදහස් හුවමාරැවේ කොන්දේසි යටතේ නොවේ.

පර්යේෂකයන්ට සහ සංවර්ධකයන්ට වෙනුවට නීතීඥයන්ට සහ රජයට බලපෑම් කරන කල්ලි වලට මහත් මුදල් කන්දරාවල් දෙමින් කටයුතු කර නැත්නම්, ධනවතුන් ධනවත් වී ඇත්තේ මහත් පිරිසකට මහත් අගැයුම් නිර්මාණය කරන්නට සමත් වීමෙනි. එහෙයින් සුපිරි ධනකූවේරයන් නොසිටීම යනු සෙසු ජනතාව, විශේෂයෙන්ම දුප්පත් අය, ඉදිරියේ වූ අහිතකර ලක්ෂණයකි. එයින් දැක්වෙන්නේ මේ දෙකින් එකකි: එක්කෝ නිර්මාණය වී ඇත්තේ ඉතාමත් සුළු අගයක් බවයි (අපේ ජීවිත වලට ලැබී ඇත්තේ හොඳ දේවල් අල්පයක්, අයිෆෝන්ස් සහ චොක්ලට් ට්‍රෆ්ල්ස් වැනි). එහෙම නැත්නම් සිද්ධ වී ඇත්තේ, අගය නිර්මාණය කරන මුල්‍ය බාරකරැවන් වෙන්නට හැකි වැදගත් දිරිගැන්වීම් සියල්ල ජනතාව වෙතින් ඉවත් කරන ලද ආණ්ඩුව විසින් රැඩිකල් විදියට නැවත බෙදාහැරීමේ යෙදී සිටීමයි.

ආයෝජන වලට යොදවන ලද හෝ බැංකු ගිණුම් වල සම්පත් පවතින විට ඒවා අකර්මන්‍ය ලෙස පවතින්නේ නැත. බොහෝ ධනවතුන් තම මිලියන ගණන් මුදල් මෙට්ටයන් යට සඟවා තබන්නේ හෝ රත්තරන් කාසි පුරවන ලද පොකුණු වල නාන්නේ නැත. ආර්ථික ස්ථාවරත්වයෙන් යුතු කොන්දේසි සපුරද්දී, මේ සම්පත් නිරතුරැව ක්‍රියාශීලී වෙති. ස්ථාවර වාතාවරණයක දී, එයින් කොටසක් දුර බැහැරක වූ කඩකාරයාගේ නිර්මාණශීලීත්වයට ඉඩදෙන ණයක් හැටියට එළියට බසී. එහෙමත් නැත්නම් වෙළඳ ද්‍රව්‍ය වල මිල ස්ථාවර කරන එකවර වත්කම් මිල දී ගන්නා සහ විකුණන අයෙකු අතින් තවත් කොටසක් පරිහරණයට ගැනේ. තවත් කොටසක් තම මුල් නිවහන මිල දී ගැනීමට හැකියාව ලැබෙන පරිදි හෙදියකට ණයක් හැටියට ලැබේ. සාමාන්‍ය අවස්ථා හමුවේ දී මේ සියල්ලම හොඳ දේවල් වෙති. ඒත් මේ ආර්ථික ජාලාවන්ට යන්නට පෙර රජය විසින් මැදිහත් වී බහුතර සම්පත් අල්ලා ගනිද්දී ඒවා ආණ්ඩුවේ නිලධාරිවාදය තුල නාස්ති වී යයි -සමෘද්ධිය මිය යන්නට ඇතුල් වන සුළි සුළඟකි.

එසේම අපි මතකයේ තබා ගත යුත්තේ, අපේ සමානාත්මතාවය පවතින වෙළඳපොල නිසා, අපි බහුතරය රජවරැන් සේ ජීවත්වන බවයි. වත්කම් පරතරය මෝඩ භක්තියෙන් හැම විටම එළියට ඇද ගත්ත ද, වත්කම් පරතරය යනු ජීවන මට්ටමේ පරතරය නොවේ. ඩොන් බෝර්ඩෝ නම් අර්ථ ශාස්ත්‍රඥයා අපිට මතක් කරන්නේ බිල් ගේට්ස්ගේ ධනය ඔහුගේ ධනයට වඩා හැත්තෑ දහස් ගුණයකින් බවයි. එහෙත් ඔහු විමසන්නේ මහාචාර්ය බෝර්ඩෝට වඩා හැත්තෑ දහස් ගුණයක් කැලරි අනුභවයට බිල් ගේට්ස්ට හැකියාව ඇත්දැයි කියායි. බිල් ගේට්ස්ගේ කෑම වේල හැත්තෑ දහස් ගුණයකට වඩා රසයෙන් වැඩි දැයි කියායි. බිල් ගේට්ස්ගේ දරැවන් හැත්තෑ දහස් ගුණයකට වඩා අධ්‍යාපනය ලබා ඇත්දැයි කියායි. බිල් ගේට්ස්ට යුරෝපයට හෝ ආසියාවට හැත්තෑ දහස් ගුණයකට වැඩි වේගයෙන් සහ වැඩි ආරක්ෂාවකින් යුතුව යා හැකිදැයි කියායි. බිල් ගේට්ස් හැත්තෑ දහස් ගුණයකට වඩා වැඩි කාලයක් ජීවත් වේදැයි කියායි. වර්තමානයේ දී ඇමෙරිකාවේ ඉතාමත් දුප්පත් කොටස පවා 18 වැනි සියවසේ කිසිවෙකුටත් වඩා හොඳ සහ ලොවෙන් තුනෙන් දෙකකට වඩා හොඳින් ජීවත් වෙති.

අනෙකුත් අය විෂමතාවය ගැන කන් කෙඳිරිගාන හැටි ඇසෙද්දී, අපි අපෙන් ඇසිය යුත්තේ මෙයයි: ඔවුන් ඇත්තෙන්ම දුප්පතුන් ගැන තැකීමකින් යුතු ද? නැත්නම් ඔවුන් ධනවතුන් ගැන තරහෙන් සිටිනවා ද?

මෙන්න මෙහෙමයි වෙනස කියන්නෙ: කවුරැ හෝ “පරතරය” ගැන කුනු කුනු ගාද්දී, අහන්න, දැන් ධනවත් අය තවත් ධනවත් වෙද්දී අප අතර ඉන්න දුප්පත්ම දුප්පත් අයගේ තත්වය මීට වඩා දියුණු වෙනවා නම් එයට ඔවුන් කැමති දැයි කියා?

ඇය “නැහැයි” කිව්වොත්, ඇය පිළිගෙන ඇති බව පෙන්වන්නේ, ඇයගේ තැකීම වනුයේ ධනවතුන්ට ඇති දේ ගැන මිසෙක දුප්පතුන්ට නැති දේ ගැන නොවන බවයි.

ඇය “ඔව්” කිව්වොත්, ඉතින් එවිට එහෙම යැයි කියන “පරතරය” අදාල නොවන්නකි.

එවිට රජයේ සහනාධාර වලින් ජීවත් වෙන්නට ගෙවනවා වෙනුවට දුප්පත් අයගේ තත්වයන් වැඩි දියුණු කරන සුජාතක කාරණයන් ගැන කතාබහ කරන්නට යා හැකියි. තවත් විදියකින් කිව්වොත්, අපි අර්ථාන්විතව කතාබස් කළ යුත්තේ සාපේක්ෂක දරීද්‍රතාවය ගැන නොව නිරපේක්ෂක දරීද්‍රතාවය ගැනයි.

ආදායම් විෂමතාවය ගැන බොහෝ කතාබහේ දී දකින්නට ලැබෙන ආවේගශීලී වූ ගතිකයක් ඇත. තවකෙකුට වඩා අඩුවෙන් ඇතැයි අයෙක් දකියි. ඒ ගැන ඊර්ෂ්‍යාවක් පහළ වෙයි. සමහර විට අනිකාට වඩා වැඩියෙන් තමනට ඇතැයි දකියි. ඒ ගැන ගිල්ටි බවක් දැනෙයි. එහෙමත් නැත්නම් වෙනත් අයෙකුට වෙනත් තවත් අයෙකුට වඩා ඇතැයි දකියි. ඒ ගැන කෝපයක් පහළ වේ.

ඊර්ෂ්‍යාව, ගිල්ටි බව, කෝපය.

මෙවැනි හැඟීම් තුලින් ද සමාජ ප්‍රතිපත්ති හැදෙන්නට අවශ්‍ය?

ධනසම්පත් වල සම්භවය ගැන අවබෝධයක් හටගනිද්දී, එනම් අවංක ව්‍යවසායකයන් සහ මුල්‍ය බාරකරැවන් විසින් සහජයෙන්ම විෂමතාවයෙන් පිරි පරිසර පද්ධතියකින් හටගත්තක් බව, එවිට අපි අපේ ප්‍රාථමික ආවේගයන් බැහැර ලා ඉදිරියට යන්නට ඉගෙන ගනිමු.

සමාලෝචනය:
ආර්ථික විෂමතාවය යනු, ඒකීය පුද්ගලයන් නිර්මාණය වී ඇති පෞරැෂ අංගයන් මෙන් මිනිස් සංහතියේ ලක්ෂණ නිර්වචනය කරන්නකි.
ආර්ථික විෂමතාවය වෙළඳපොල තුලින් ස්වභාවයෙන්ම හට ගනිද්දී, එයින් වැඩිපුරම පෙන්වන්නේ ඒකීය පුද්ගලයන්ට අනික් අයගේ උවමනාවන් සපුරාලන්නට ඇති හැකියාවයි. ආර්ථික විෂමතාවය දේශපාලන සබඳතා වලින් හට ගනිද්දී එය පෙන්වන්නේ අසාධාරණ සහ දූෂිත වූ බවයි.
දේශපාලනයෙන් හෝ (බර්නි මෑඩොෆ් වැනි වංචනකියන් වෙතින්) නොවන ආර්ථික විෂමතාවය හටගනිද්දී එයින් සමස්ත සමාජයේ ම ජීවන මට්ටම අනිවාර්යෙන්ම ඉහළ යයි.
“දුප්පතුන්” ගැන ඇති කැක්කුම බොහෝ විට “ධනවතුන්” ගැන ඇති ඊර්ෂ්‍යාව නැත්නම් අවඥාව වසා ගන්නා තැතකි.

ඉංග්‍රීසියෙන් කියවන්න කැමති අයට:
Clichés of Progressivism #1 –Income Inequality Arises From Market Forces and Requires Government Intervention by Max Borders

මාර්ග නීතිය සහ සදාචාර නීතිය

Posted in Uncategorized by arunishapiro on ජූලි 3, 2013

IMG_7241

රතු ලයිට් පත්තු වෙන්නේ මිනිසුන් ඒ ඉදිරියෙන් හිතුමතයට නවත්වා තබන අදහසින් නොවේ. මාර්ග සංඥා දක්වන ලයිට් ඇත්තේ වඩාත්ම සුමට ආකාරයකින්, බාධා වලින් තොරව, හදිසි අනතුරු වලින් තොරව, අවම ගැටුම් වලින් නිදහසේ ගමනාගමන පහසුව සැමට හැකිවීම සඳහා ය.

හිතුමතයේ එළිබහින මාර්ග නීති නැතැයි නොකියමි. එංගලන්තයේ හා ලංකාවේ වාහන පාරේ වම් පැත්තෙන් ධාවනය වෙද්දී ඇමෙරිකාවේ වාහන දකුණු පැත්තෙන් ධාවනය කළ යුතු යැයි මාර්ග නීතිය කියයි!!!!

එහෙත් මාර්ග නීතියක් ස්ථාපිත කරගත් පසු, එය මහමග යන හැම දෙනාටම දැන්වූ පසු, එයට අනුකූල ලෙසින් හැමෝම හැසිරීම අපේක්ෂා වෙයි. මාර්ග නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අපිට ඒ ඒ පුද්ගලයාගේ පුද්ගලික කැමැත්තට අනුව වැඩ කරන්නට හැකි යැයි ඉඩ දිය නොහැකියි. අයෙකුට මම ලංකාවේ රිය පැදෙව්වෙ වම් පැත්තෙන් නිසා ඇමෙරිකාවේ දී ත් මම කැමති මට හුරු පැත්තෙන්ම යන්න කියා පාරේ වම් පැත්තෙන් රිය පදවා ගෙන යාමට නොහැකියි.

මෙය සියල්ලන් අනුගමනය කරන්නට එකඟ වූ නීතියක් පමණින්, සියල්ලන්ගේ ම යහපත පිණිස අනුගමනය කරන්නට සිදුවන්නකි. එහි දී ඒකීය පුද්ගලයාගේ යහපත සැලසෙද්දී සියල්ලන්ගේ ම යහපත ද සැලසේ.

පටු පාරක පාර මැද්දෙන් යන්නේ ද, එලෙසම තමන් ඉදිරියට එන වාහනයක් ඇත්නම්, එය ඔහුට නියමිත පැත්තෙන් ද තමන් තමනට නියමිත පැත්තෙන් ද එකිනෙකා පසුකර යනු ඇතැයි විශ්වාසයෙන් රිය පදවන්නට හැකියාව යනු සහයෝගයෙන් පාරේ ගමන් කරන අභිප්‍රාය දෙදෙනාම ඉටු කර ගැනීමයි.

එහි දී සහයෝගය දක්වන්නේ අනෙකා මත විශ්වාසයක් තැබීමට හැකියාව මත අනෙකා ද එසේම නීති ගරුකව හැසිරෙන්නේ යැයි බලාපොරොත්තුවෙනි.

ආචාර ධර්මයේ දී මෙන්ම නීතියේ දී ද සම්ප්‍රදායිකව පිළිගත් රීති අනුගමනය කරන්නේ ඒවාට එරෙහිව යන්නට පැහැදිලි වෙනස් හේතු නොමැති නම් ය. එහි දී අනුගමනය කිරීම පිහිටුවා ගත් රීතියෙන් ඔප්පු කළ යුතු යැයි අපේක්ෂා නොවේ. රීතිය කැඩීම හෝ වෙනස් කරන්නේ නම් පමණක් ඒ මන්දැයි ඔප්පු කළ යුත්තකි.

ගිනි නිවන හමුදාව ගින්නක් නිවන්නට යන මෙහෙයුමක දී රතු ලයිට් වල නැවතී සිටිය යුතු නැත. පොලිස් රියක් අපරාධකරුවෙක් මර්ධනයට යන්නේ ද රතු ලයිට් වල නැවතී සිටිය යුතු යැයි අපේක්ෂාවක් නැත. ගිලන් රථයක් රෝගියෙක් ඉස්පිරිතාලයට අරගෙන යන්නේ ද රතු ලයිට් මැදින් ගියාට කිසිවෙක් අමනාප නොවෙති. මේ අවස්ථා වල දී මාර්ග නීතිය කැඩීමට බලයක් සියල්ලන්ගේ ම කැමැත්තෙන් ඒ සුවිශේෂී අයට ඉඩ දීමක් සිද්ධ වේ.

එහි දී නීතිය කැඩීම හෝ වෙනස් කිරීම මන්දැයි සැමට අවබෝධ වෙන සේ ඔප්පු කළ හැකියාව ඇත. සැමගේ යහපත වෙනුවෙන් ගිනි නිවන රථයට, පොලිස් රියට හා ගිලන් රථයට යන්නට ඉඩ දී අනෙක් අය මඳක් නැවතී සිටීම යනු කවදා හෝ තමන්ගේ උදව්වට එද්දී එසේම අනෙක් අය නැවතී ඔවුනට ඉඩ දීම ගැන විශ්වාසයක් තබා ගතහැකි යැයි බලාපොරොත්තුවෙනි.

අයෙක් මිනිසෙකු වූ පමණින් එයාගේ ඒකීය පුද්ගලත්වයට ගරු කිරීමක් සහ ඒකීය පුද්ගලයාගේ ශ්‍රමයට හා දේපලට එයාට අයිතියක් ඇතැයි පිළිගැනීමක් අවශ්‍ය සමාජයේ ශිෂ්ඨචාර ලෙසින් වාසය කිරීමේ දී ලැබෙන ගැටුම් අඩු, බාධා වලින් තොර, හදිසි අනතුරු අවම හා පහසු ලෙසින් ජීවිතය ගෙවන්නට හැකිවන වාතාවරණයක් ලබා ගැනීමටයි.

එය අවබෝධයෙන් දියුණු වූ ජාතීන් එය අවබෝධ නොවූ නොදියුණු ජාතීන් ආක්‍රමණය කර ශිෂ්ඨ නීති සම්ප්‍රදායක් පිහිට වූහ. ඒවා අවශ්‍ය මන්දැයි කියා නොදී නීති ස්ථාපිතයෙන් ඵලක් නොවේ.

මහපාරේ නීති වලට ගරු කළ යුත්තේ තම ජීවිතය ද එයින් ආරක්ෂා වන නිසා යැයි අවබෝධයක් නැත්තා දඩ කොළයට බියක් ඇත්නම් පමණක් පොලිස් නිලධාරියෙක් දකිද්දී පමණක් මාර්ග නීති අනුගමනය කරයි.

පුද්ගලික දේපල නීති වලට ගරු කළ යුත්තේ තම දේපල ද එයින් ආරක්ෂා වන නිසා යැයි අවබෝධයක් නැත්තා අනුන්ගේ ශ්‍රමයෙන් බිහි වූ නිෂ්පාදන හොරෙන් බාගෙන තවත් අයටත් බෙදා දෙයි. පොලිසීය පෙනෙන මානයක නැත්තේ ද නීති අනුගමනය කළ යුත්තේ තම යහපත පිණිස බව අවබෝධයක් නැති නිසා තමන්ට වාසි ලැබෙනවා යැයි කියමින් කඩන නීති වලින් තමන් අවාසි ලබන බව නොදකියි.

අපිට මේවා දියුණු කරගන්න සල්ලි නැහැ ඒ නිසා රජය මැදිහත් විය යුතු යැයි සිතයි. ඒත් බිල් ජෝයි, ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් රජයේ මැදිහත්වීම් ඉල්ලුවේ නැත්තේ මන්දැයි සොයා නොබලති.

ඕනෑම කර්මාන්තයකට රජයක් මැදිහත් වන සෑම අවස්ථාවක දී ම රජයේ ප්‍රසාදය ලබන අයට විශේෂ සැලකිලි ලැබේ. ඒ විශේෂ සැලකිලි නිසා බිහිවෙන්නේ වෙළඳපොලේ පාරිභෝගිකයා විසින් තීරණය කරන අනගි භාණ්ඩය නොවේ. වෙළඳපොලේ පාරිභෝගිකයා විසින් ඉල්ලන මිලට නොවේ.

රට ඇතුලත යමක් නිෂ්පාදනය වෙන්නේ ද ආණ්ඩුවේ ප්‍රසාදය දිනාගත් අයට වැඩි වරප්‍රසාද ලැබීමෙනි. පරිගණක මෘදුකාංග හදන අයෙකුට ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවකින් මොකක් වෙළඳපොලට හැදුවත් හොඳ ගතමනාවක් ලැබෙන්නේ නම් අනගි වූවක් හදන්නට එයා වෙහෙසෙන්නේ කුමකට ද? ලංකාවට බඩු ආනයනය කරන්නට ඕනෑම අයෙකුට වරම් නැත. ඒ නිසා මිල අඩු අනගි බඩුවක් රටට එන්නට ආණ්ඩුවේ ප්‍රසාදය දිනාගත් මොනොපොලියන් අතැති අය ඉඩ නොදෙති.

වෙළඳපොල හෙවත් පාරිභෝගික ඉල්ලුම යනු මාර්ග නීති හා සමාන වූවකි. හැමෝම නීති අනුගමනයෙන් හැමෝටම වාසි ලැබෙන බව නොදන්නේ ද, වෙළඳපොල විකෘති වෙන හැම අවස්ථාවක දී ම පාඩු සිද්ධ වෙන්නේ පාරිභෝගිකයාට ය.

රිය අනතුරු හැම තැනම දකින්නට ලැබෙන්නේ හැමෝම තමන්ට ලැබෙන ගරුසරුව ඉල්ලා සිටියාට බහුතරයක් අනෙක් පුද්ගලයා ද ගරු සරුවක් ලබන්නට සුදුසු අයෙක් යැයි අවබෝධයක් නැති නිසයි.

බාල බඩු වෙළඳපොලේ වැඩි තමන්ගේ ශ්‍රමයට නිසි වේතනයක් ඉල්ලා සිටියාට අනෙකාගේ ශ්‍රමයට ද නිසි වේතනයක් දීම අවශ්‍ය යැයි අවබෝධයක් නැති බහුතරයක් සමාජයේ සිටින නිසයි.

ආචාර ධාර්මික හා සදාචාර නීති වලට පදනම් වූ බුද්ධිමය විචාරයේ චින්තනය අවබෝධයට ඉඩක් නොලැබි නොදියුණු රටවල ජනතාව එහෙයින් දියුණු රටවල ආක්‍රමණිකයන් ගෙනා දියුණු රටවල නීති පද්ධති ස්ථාපිත කරගත්ත ද ඒවා අවබෝධයට හැකියාවක් නොලැබි නිසා ඒවා අනුගමනයෙන් තොරවී සිටිති. ඒවා වෙනස් කරගත යුතු සුවිශේෂී අවස්ථා ගැන ද නොසලකති.

එක ලෝක පාසැලක්: අධ්‍යාපනය ගැන නැවත සිතා බැලීමක්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 27, 2012

The Future of Education

දැනුම සොයා යන අයට පුරාතනයේ ලැබුනේ උපන්නේ කොතැනක ද අනුව අධ්‍යාපනයට අවස්ථාවක් හිමි අහිමි වීමයි. මානුෂික අයිතිවාසිකම් මොනවා දැයි කතාබහත් සමඟින් අධ්‍යාපනයට අයිතිය මිනිස් සනුහරේ සෑම සාමාජිකයෙකුටම ඇතිබව ලොව බහුතරයක් පිළිගත්හ. අධ්‍යාපනය අහිමි කරන සාම්ප්‍රදායික නීති රීතින් ශිෂ්ඨාචාර ලෝකයේ ආලෝපනය විය. අද වේදාන්ත ධර්මයන් කියවන්නට බ්‍රාහ්මණ කුලයේ උපදින්නට අවශ්‍ය නොවේ. හරක් මස් කන පරසුද්දාටත් එය හදාරන්නට හැකිය.

සාම්ප්‍රදායික අහිමිය නීති වලින් කටු ගෑවෙද්දී, අධ්‍යාපනය යනු නොමිලේ ලැබිය යුත්තක් යැයි කියමින් අනුන්ගේ පසුම්බියට අත දමන්නට පසුබට නොවෙන අය, බහුතරය කොල්ල කා මැදපංතියට නොමිලේ අධ්‍යාපනය හිමිකරගන්නට නීති පනත් ගෙනෙන්නට උත්සුක වූහ. තම පසුම්බියෙන් වැය නොවෙන කල අත දිග හැර නාස්තිය මිනිස් ස්වභාවයකි. නොමිලේ ලැබෙනවා යැයි කියන අධ්‍යාපනයේ වැය ඉහළ ගියේ අනාගත පරම්පරා ණයගැත්තන් කරවමින් පමණක් ම නොවේ. දූෂණයට ඉඩ ලැබෙන මධ්‍යම සැලසුම්කරණයේ යෙදෙමින් ජෝසප් ස්ටාලින්ලා අදත් කියන්නේ මේ ඉන්න අයට කරන්නට බැහැ, ඒත් අපිට කරන්නට පුලුවන් කියාය!!!!

පුරාතනයේ මෙන්ම වර්තමානයේ ද, පාකිස්තානයේ මලාලා යුසාෆ්සායි මෙන් ජීවිතය පරදුවට තබා සාම්ප්‍රදායට එරෙහිව දැනුම සොයා ගිය/යන අය සොයාගත හැකියි.

පුරාතනයේ මෙන්ම වර්තමානයේ ද දැනුම සොයන්නට කැමැත්තක් තිබි සුනීතලා සෝපාකලාට උපන් තැන නොබලා දැනුම බෙදූ/බෙදන අය සොයාගත හැකියි.

1976 දී ලුයිසියානාවේ නිව් ඔර්ලියන්ස් නගරයේ දී, බංගලාදේශී පියෙකුටත් ඉන්දියාවේ කල්කටාවෙන් ආ මවෙකුටත් දාව උපදින්නේ සැල්මන් අමින් කාන් ය. ඔහුව ඇතිදැඩි කරන්නේ නොයෙකුත් රැකියාවන් හා ව්‍යාපාර කරමින් ජීවිකාව උපයන ඔහුගේ මව විසිනි. ඔහු ගිය මහජන පාසැල් වල සමහර ළමුන් සිරගෙදරින් එළියට ආ අය වූහ. සමහර ළමුන් රටේ ඉහළම විශ්ව විද්‍යාල බලා යන තරම් බුද්ධියෙන් යුතු වූහ. සැල්මන් ගණිතයට ප්‍රමුඛත්වය දී පළමු උපාධියක් ලබා ගනියි. අනතුරුව ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු සහ පරිගණක විද්‍යාවට තවත් පළමු උපාධියක් ලබා ගනියි. මේ දෙකෙන් ම MS උපාධියක් ලබාගන්නේ මැසචූසෙට්ස් තාක්ෂණ ආයතනයෙනි (MIT). හේ හාවඩ් බිස්නස් පාසැලෙන් MBA උපාධියක් ද ලබයි.

කොටස් වෙළඳපොලට සම්බන්ධ වූ විශ්ලේෂකයෙකු සේ රැකියාව කරන අතර තුර දී ඔහුට සිය ඥාති සහෝදරියක් වූ නාඩියාට ගණිතය කියා දෙන්නට අවස්ථාවක් ලැබෙයි. ඔහු අන්තර්ජාලයෙන් Yahoo! හි ඩූඩල් නොට්පෑඩ් භාවිතයෙන් ඒ වෑයමේ යෙදෙද්දී ඔහු දැනගන්නේ තවත් ඥාතීන් හා යහළුවන් ඔහුගේ සරල පැහැදිලි ඉගැන්වීම් සොයා එන බවයි. 2006 දී ඔහු YouTube මඟින් තම ටියුෂන් පංති කැමති අයෙකුගේ පරිහරණය පිණිස බෙදා හැරීම පටන් ගනියි. මිලියන 200 ක් ඒවා බලන බව දකින සැල්මන් රැකියාවට ආයුබෝවන් කියා 2009 දී කාන් ඇකඩමිය යූටියුබ් මඟින් දියත් කරයි. එහි දැනට මිලියන 200 කට වඩා පාඩම් සංචිතයක් ඇත.

සැල්මන් කාන් ඇරඹූ කාන් ඇකඩමියේ ඉලක්කය “එක ලෝක පාසැලක්: අධ්‍යාපනය ගැන නැවත සිතා බැලීමක්” ඉදිරිපත් කිරීමයි.

අධ්‍යාපනය අගය කරන අය සහ අධ්‍යාපන ලබාගන්නට උත්සාහයක් ගන්නා අයට අත දීමට ඉදිරිපත් වෙන දානපතියන් ලෝකයේ හැමදාම සිටින බව ඔප්පු කරමින් නන් ආකාර වලින් සහයෝගය සැල්මන් කාන් වෙත ගලා එයි. 2009 දී කාන් ඇකඩමිය මයික්‍රොසොෆ්ට් කොම්පැණියේ තාක්ෂණික තිළිණයක් ලබයි. 2010 දී ගූගල් විසින් ඩොලර් මිලියන දෙකක් පරිත්‍යාග කරන්නේ තවත් පාඨමාලා හදන්නට සහ කාන් ඇකඩමියේ ප්‍රධාන පුස්තකාලයේ තියෙනා දැනුම වඩාත්ම ප්‍රචලිත භාෂා වලට පරිවර්තනය කරනු සඳහාය. 2011 දී සැල්මන් කාන්ට TED හි කතාවක් පවත්වන්නට බිල් ගේට්ස් ආරාධනා කරන්නේ තම දරුවන් ද කාන් ඇකඩමියෙන් දැනුම ලබන බව කියමිනි. අද කාන් ඇකඩමිය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ පරිත්‍යාග ලාභියෙක් ද වෙයි.

ඉතින්, අයෙක් කියන්නට හැකියි අපොයි පරිගණක හැමෝටම නැහැනෙ කියා. ලෝකයේ බිලියන 6 කට වසර විස්සකට පෙර දී සෙල් ෆෝන් ද තිබුනේ නැත. ආණ්ඩු මැදිහත් නොවෙනවා නම්, ඇමෙරිකාවේ මෙන් සෙල් ෆෝන් කොම්පැණි වලින් සේවාවට ගිවිසුම අත්සන් කරද්දී කැමති සෙල් ෆෝනයක් නොමිලේ ලබා ගැනීම ඕනෑම රටක තරඟකාරී වෙළඳපොලක දී දකින්නට ලැබෙනවා නිසැකය. පරිගණක නැති එහෙත් ස්මාට් සෙල් ෆෝන් පහසුකම් ලැබිය හැකි ලොව බිලියන 6 ට දැනුම යනු ඇඟිල්ල අසලට ගෙනැවිත් දෙන, තම උත්සාහය හා ඕනෑකම අනුව වඩවා ගන්නක් වීමට බාධක ලෙසින් පවතින්නේ ලෝක ආණ්ඩු සහ ඒ ආණ්ඩුවේ අයට ඉල්ලා අස්වෙන්න එවිට තමන්ගෙ ආණ්ඩුවට කළ හැකි යැයි උදාර චේතනා ගැන පාරට්ටු බාන ජොස්ප් ස්ටාලින්ලා පමණි.

ඉතින්, අයෙක් කියනවා නම් අධ්‍යාපනය යනු රජයක් විසින් තව තවත් සැලසුම් කළ යුතු යැයි කියා, බලහත්කාරයෙන් ගන්නා බදු මුදල් නැත්නම් නිසි අධ්‍යාපනයක් සියල්ලන්ටම ලබා දෙන්නට නොහැකි යැයි කියා, එවැන්නා අනුන්ගේ පසුම්බියට හිරිකිතයක් නැතිව අත දමන්නට බලලෝභී පාලකයන්ට උදව් කරන්නෙකි.

එසේ නොමැති වූවන් ස්වේච්ඡාවෙන් කාලය හා ශ්‍රමය වෙහෙසා පාඩම් හදා මුළු ලෝකය පුරා බෙදා හරිති. ඒවා නොයෙක් භාෂා වලට පරිවර්තන කරන්නට සහාය වෙති. සිංහල භාෂාවෙන් දැනුම කාන් ඇකඩමියේ විජට්ටු භාවිතයෙන් බෙදා හරින්නට මාතර රාහුල විද්‍යාලයේ තඹරු විජේසේකර සිසුවා ගෙන ඇති උත්සාහය අගනේය.

අතලොස්සකට පමණක් සීමා වූ විජට්ටු බහුතරයා වෙතට නොමිලේ ගෙන යන්නට වෙහෙසෙන්නේ ඒකීය මිනිසාට දායාදව ඇති සුවිශේෂී වූ නිර්මාණශීලීත්වය අගය කරනා අයයි. එහෙම නැතිව අනුන්ගේ යහපත සලසන්නට අනුන්ගේ පොකැට්ටු වලට අත දාන්නට අවසරය නීතියෙන් ලබා ගන්නට උද්ඝෝෂණ කරන අය නොවේ. ඒ උද්ඝෝෂණ කරනා අයට හවුල් වෙන අය ද නොවේ.

මෙය එක ලෝක පාසැලක් විය යුතු නැත. තමන් කැමති මතවාදයන් උගන්වද්දී නිදහස් ලෝකයේ දී ලැබෙන බහුතර කැමැත්ත කෙසේදැයි සොයා බලන්නට නම් අනුන්ගේ පොකැට්ටු වලට බහින්නේ නැතිව තමන්ගේ පොකැට්ටු වල ඇති මුදල් හා තමන්ගේ කාලය වැය කර මෙවැනි උත්සාහයක් කර බැලිය යුතුයි!!!!!! 😀

දැනුම සහ මතිය අතර වෙනස නොදන්නා විද්වතුන් සහ සමාජය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 10, 2012

විද්වතා නොහොත් intellectual ගැන ගොඩක් ඉස්සර ලිව්වා. කෙටියෙන් කිව්වොත් අපි විද්වත් යැයි අදහස් කරන්නෙ අදහසක් නිර්මාණය කරන කෙනෙක්ව. එයින් අදහස හරි ද වැරදි ද කියා කියැවෙන්නේ නම් නැහැ!!! නමුත් සමාජයේ හුරුව විද්වත් අයෙක් කියන අදහස් නිවැරදි යැයි සොයා නොබලා පිළිගැනීම.

සමහර විට ඉතා ඈත අතීතයක, මුළු ලෝකයේ හැම පැත්තකින් ම දකින්න තිබිච්ච ලක්ෂණයක් මීට සාධක වෙන්න පුළුවන්. ඒක තමයි අධ්‍යාපනය යම් පිරිසකට පමණක් සීමා වී තිබීම. පොත් කියවන්න හැකියාව සහ ලියන්න හැකියාව තිබ්බෙ පූජක පක්ෂයට, රජ දරුවන්ට, රදළයන්ට. ඉතින් ඒ අයට දාගෙන යන්න සපත්තු හදන්න දන්න මිනිසාට දැනුමක් (knowledge) තිබ්බා කියල කවුරුත් කිව්වෙ නැහැ. පුටුවක් හදන්න දැනුමක් තිබ්බ වඩුවා, කුඹුරක් කොටලා වගාවක ඵලදාව ගන්න දැනුම තිබි ගොවියා, අසිපතක් හදන්න දන්න වානේ වැඩකාරයා එහෙම දැනුමැතියෙක් කියා නෙමෙයි සැලකුනේ. පරම්පරාවෙන් පරම්පරාවට යන කුසලතාවයක් (skill) ගෙන ගිය කෙනෙක් හැටියට විතරයි පිළිගැනුනේ. ඒත් ඵෛතිහාසික යුගයන් දිහා බලද්දී ඒවායේ දැනුම වර්ධනය වෙලා ක්‍රමවේදයන් පරම්පරාවෙන් පරම්පරාවට දියුණු වූවා. ඒ දැනුම නැතිව විද්වත් අයට ජීවිතය ගෙනියන්න අපහසු වෙන තරමට!!!

අද ලෝකය කැමති ඕනෑම කෙනෙකුට දැනුම සහ ඥානය සොයා යන්න ඉඩක් සලසලා තියෙනවා. ඒත් පටු චින්තයෙන් වූ අය තාම හිතන්නෙ ඒ දියුණුව ලැබුනේ අයිතීන් හා වරප්‍රසාද දිනාගත් පමණින් කියල. ඒ දියුණුව සඳහා තම මුදල්, තම කාලය හා තම උත්සාහය කැප කළ අය නිසා එයින් ඵල ප්‍රයෝජන තමන්ට ද ලැබුනා යැයි දකින්නෙ නැහැ.

2012 නොබෙල් රසායන විද්‍යා තෑග්ග ලාභීන් දෙදෙනා Robert J. Leflowitz සහ Brian K. Kobilka. ඔවුන් කරලා පෙන්නපු දැයක් තියෙනවා. ඒත් 2009 දී බරක් ඔබාමාගේ සාම අදහස් වලට ලැබිච්ච තෑග්ගට තවම කරලා පෙන්වපු දෙයක් නැහැ. හිතන්න ඕන මේ දැය: විද්‍යාඥයන්ගේ දැනුම පෙන්වත හැකියාව කොතරම් දැයි තීරණය කරන මති බලයක් ජනාධිපති සතු රටවල් කොතරම් ද? අර දෙන්නා අසාර්ථක වුවහොත් නැතිවෙන්නෙ ඔවුන්ගේ ශ්‍රමය, කාලය හා මුදල්. ජනාධිපති අසාර්ථක වුවහොත් රටම ඉවරයි.

කාල් මාක්ස් ගෙනාවේ “ශ්‍රමය” (labor) ගැන විද්වත් අදහසක්. කාල් මාක්ස් කවදාවත් කම්හලක රස්සාවක් කරපු හෝ කම්හලක අයිතිකාරයෙක් වූ අයෙක් නොවේ. එයා ඒවා ගැන කියවන්නෙ අනිත් අය ලියපු පොත් වලින්. මාක්ස්ගේ මතිය: නිෂ්පාදනයක් බිහිකරන්නට අමුද්‍රව්‍ය හා උපකරණ භාවිතා කරන පුද්ගලයාගේ ශ්‍රමය තමයි වස්තුවේ සත්‍යය නිදානය කියල. ශ්‍රමය බහුලව තියෙන ඒත් තාක්ෂණය හා ව්‍යවසායකත්වය (entrepreneurship) අඩුවෙන් තියන ඉන්දියාව, චීනය වගේ රටක් ශ්‍රමය අඩු තාක්ෂණය හා ව්‍යවසායකත්වය වැඩියෙන් තියන ඇමෙරිකාව වගේ රටක් එක්ක තරඟ කරන්න අසමත් ඇයි කියල කවුරුත් අහන්නෙ නැහැ.

ජෝර්ජ් ඕර්වෙල් දක්ෂ නවකතාකරුවෙක්. ඒත් එයා හිට්ලර් ගැන කියූ විද්වත් අදහස් විශ්වාස කළ අයෙක් සිටියේ නම් ඒ තවත් විද්වතෙක් විතරයි!!!!

බර්ට්‍රන්ඩ් රසල් දාර්ශනිකයෙක්, තර්ක ශාස්ත්‍රඥයෙක්, ගණිතඥයෙක්, ඉතිහාසඥයෙක්. 1930 ගණන් වල හිට්ලර් ජර්මනියේ අවි ආයුධ වලින් සන්නද්ධ වෙද්දී එයා බ්‍රිතාන්‍යයට යුද හමුදා, නාවුක හමුදා සහ ගුවන් හමුදා සියල්ල අහෝසි කරලා නිරායුධකරණය කරන්න යැයි විද්වත් අදහසක් ගෙනාපු අයෙක්.

නෝම් චොම්ස්කි සෑහෙන දක්ෂ භාෂාවේදියෙක්. ඒත් එයා ඉදිරිපත් කරපු දේශපාලන මති තමයි එයාගේ අසාර්ථක විද්වත් අදහස් වෙන්නේ.

අදත් මේ හුරුව සමාජයේ තියනවා. අපි ලෙඩ දුරු කරන්නට ක්‍රමවේද හොයාගත් දක්ෂ වෛද්‍යවරයන්, පාලම් හා ගොඩනැඟිලි නිර්මාණය කරන ඉංජිනේරුවන්, ව්‍යාපාරයක් දියුණු කරන්න සමත් වූ බිල් ගේට්ස් සහ වොරන් බෆට්ලා විද්වත් යැයි හඳුන්වන්නේ නැහැ. ඔවුන්ගේ වෘත්තීය දැනුම ගැන නොව ඔවුන් යම් සමාජ මතියක් (notion) ප්‍රකාශ කරනවා නම් එතැන දී පමණක් එයා විද්වත් යැයි සලකනවා.

මෑතක සිට අපි මේ විද්වත් තත්වය බාර දෙන්නෙ යම් දැනුමක් සතු වූවන්ට විතරක් නෙමෙයි. යම් කුසලතාවයක් සතු වූවන්ට ඒ සඳහා කියන ප්‍රකාශයන්ටත් නෙමෙයි. කුමක් හෝ සිද්ධියක් නිසා සමාජයේ ජනප්‍රියත්වයක් ලබන්න හැකි වූ අයත් කියන ඕනෑම දේවල් විද්වත් යැයි දැන් සලකන්නට පටන් ගෙන.

රඟපෑමෙන් ධනස්කන්ධයක් එකතු කරගත් ඩැනී ග්ලවර් උගෝ එක්ක යද්දී වෙනිසියුලාවේ මිනිස්සු හිතන්නෙ ඇමෙරිකන් ධනවාදී අයත් අපේ බෙදා දෙන ක්‍රමයට කැමතියි කියලා ද? රට හැදෙන්න ශ්‍රමය තිබුනාම ඇති තාක්ෂණය හා ව්‍යවසායකත්වය අනවශ්‍යයි කියා ද?!!!!

අද ප්‍රවෘත්තියක් වාර්තා කියන වාර්තාකරුවා ද විද්වත් යැයි සලකන්නට පටන් ගෙන. ඉස්සර හිටියෙ ප්‍රවෘත්තියක් වාර්තා කරන අය. අද ප්‍රවෘත්තියක් තමන්ට උවමනා විදියට කපලා, කොටලා, විද්වත් සමාජයේ පවතිනවා යැයි කියන අදහස් වලට ගැලපෙන්නට ලියලා, ඒකට සහාය දෙන තවත් විද්වතෙක් ද සහභාගී කරගෙන විද්වත් ප්‍රවෘත්තියි ඉදිරිපත් කරන්නේ!!!!

නිර්මාණයක් බිහි කරන්නා ඒ නිර්මාණයේ ගුණ අගුණ ගැන වගකීමක් ගන්නවා. ඒත් විද්වත් මතියක් ඉදිරිපත් කරන අයෙකු වෙතින් එහෙම වගකීමක් සමාජය බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. පාලම කැඩුනොත් හදපු ඉංජිනේරුවාව උසාවියට ගෙන යන්න පුළුවන්. ඒත් සමාජ ඉංජිනේරුවා ඉදිරිපත් කරන මතියක් වැරදුනාට කිසිත් ගානක් නැහැ. ප්‍රධාන හේතුව මේකයි. සමාජ ඉංජිනේරුවා ගේන මතිය ක්‍රියාත්මක කරන්නට වෙන්නෙ වෙන අයට. සැකසුම් පරිපාලන නිලධාරියෙකුට. දියත් කිරීම් සමාජ සේවා නිලධාරීන් යටතේ. ඉතින් වැඩේ වැරදුනාම වැරැද්ද අනිත් අයගේ, රස්සා නැතිවෙන්නෙ එයාලගේ. වැරදි මති ගෙනෙන සමාජ ඉංජිනේරුවන් තවත් වැරදි මති ඉදිරිපත් කරමින් කාලාන්තරයක් විද්වත් අයෙක් ලෙස එයාව පිළිගත් සමාජයේ වැජඹෙනවා.

සමහර විද්වත් අදහස් වල ඇත්තේ මතියක් නොව දැනුමක් යැයි වැඩිකල් නොගිහින් දැනගන්නට පුළුවන්. කාලයකට සීමා නොවෙන විද්වත් අදහස් ඉතිහාසය පුරා දැනුමැත්තන් වෙතින් ප්‍රදානය වී තියෙනවා. දැනුම සොයන්නන් සොයා යා යුත්තේ ඒ විද්වත් අදහස් තුලින්.

කුමක් ද එහි දී පාවිච්චි කළ යුතු ක්‍රමවේදය? බුදුන් කාලාමයන්ට කියා දුන් විද්වත් අදහස. වාර්තා වලින් කිව්ව නිසා, කොහෙන් හරි ඇහුණ නිසා හෝ සම්ප්‍රදාය නිසා විශ්වාස නොකරන්න. ගුරුවරයා කිව්වත් විශ්වාස කරන්න එපා. තමන් විසින් සොයා බලන්න.

කළු ඇමෙරිකානු අර්ථ ශාස්ත්‍රඥයෙක් වන Thomas Sowell නැමති විද්වතා එය පාවිච්චියට ගන්නේ නම් ඒ ක්‍රමවේදයට වසර 2601 ක් උරුමය කියූ අපි නොගන්නේ ඇයි?!!!!!!!!

ස්වභාවයෙන් ම මොළය නිර්මාණය කර ඇත්තේ ත්‍යාගශීලී ධනවතුන්!!! අරුණි ශපීරෝ ගේ අඩ නිරුවත් ඡායාරූප සහිතයි!!!

Posted in Uncategorized by arunishapiro on මැයි 10, 2012

මිනිස් සතා තුල ප්‍රාජක 4 ක් ඇති බව පෙන්නුම් කරන පර්යේෂණය ultimate game. චර්යා අර්ථ ශාස්ත්‍රඥයන් විසින් නිර්මාණය කරන ලද්දකි මේ.

පර්යේෂණය සඳහා ‘යෝජනා කරන්නා’ (proposer) සහ ‘ප්‍රතිචාර දක්වන්නා’ (responder) වශයෙන් සසම්භාවී (random) දෙදෙනෙක් තෝරා ගැනෙයි. පර්යෙෂණය පවත්වන්නා විසින් ‘යෝජනා කරන්නාට’ යම් මුදල් ප්‍රමාණයක් දෙයි. එය රුපියල් දෙදාහක්, සියයේ නෝට්ටු වලින් දුන්නා යැයි කියමු. ඒ නෝට්ටු සියල්ල ‘යෝජනා කරන්නාට’ පර්යේෂකයා දෙන්නේ ‘ප්‍රතිචාර දක්වන්නාට’ පෙනෙන්නට ය.

‘යෝජනා කරන්නා’ එයින් තමන් කැමති ප්‍රමාණයක් තෝරාගෙන එය ‘ප්‍රතිචාර දක්වන්නා’ ඉදිරියේ “එක්කෝ ගන්න නැත්නම් නොගන්න” (take it or leave it) යෝජනාවක් කළ යුතුයි.

‘ප්‍රතිචාර දක්වන්නා’ ඒ යෝජනාව බාරගත්තේ නම්, එයාට දෙන්නට යෝජනා කළ මුදල් ප්‍රමාණය අයිති කරගත හැකියි. ඉතිරිය ‘යෝජනා කරන්නට’ තියාගන්නට අවසර ලැබේ.

‘ප්‍රතිචාර දක්වන්නා’ ඒ යෝජනාව බාරගත්තේ නැත්නම්, දෙන්නාට ම කිසි මුදලක් තියාගන්න අවසර නැත.

මේ සෙල්ලමේ දී මුදල් දිනාගන්නට හෝ දිනා නොගන්නට දෙදෙනාටම ලැබෙන්නේ එකම එක අවස්ථාවක් පමණි.

ඉතිරිය කියවන්නට පෙර, ඔබ ‘යෝජනා කරන්නා’ ලෙස තෝරා ගැනුන හොත් කොතරම් මුදලක් ‘ප්‍රතිචාර දක්වන්නාට’ දුන්නොත් කොතරම් මුදලක් ඔබට තබාගත හැකිදැයි තීරණය කරන යෝජනාව, ඔබ ඉදිරිපත් කරන්නේ කෙසේදැයි හිතා බලන්න!!!!

විචාරයට හැකි, ආත්මාර්ථකාමයෙන් යුතු වූ ඕනෑම පුද්ගලයෙක් යෝජනා කරන්නේ කුඩා ම වූ මුදල් ප්‍රමාණය යැයි neoclassical economic තියරියෙන් කියයි. එනම් සියයේ කොළයක් යෝජනා කර ඉතිරි සියල්ල තමන්ට තබා ගනු ඇත. මන්ද, ‘ප්‍රතිචාර දක්වන්නා’ එය ප්‍රතික්ෂේප කළහොත් ඔහුට සියයක් වත් නොලැබෙන නිසාය. කිසිම මුදලක් ලැබෙනවාට වඩා කීයක් හෝ නිකම් ලැබීමට අයෙක් එකඟ වනු ඇත.

ඒත්, මිනිස් ප්‍රාජක හතර ගැන දන්නා අය අනාවැකි කියුවේ, අ) හැකි තරම් මුදල් ප්‍රමාණයක් හිමි කරගන්නට, ඒ හා සමානව ආ) අනික් එක්කෙනා හා හොඳ ආකාරයකින් හැසිරෙන්නට හෝ අඩුගානේ ඔහු ඇ) තරහකාරයෙක් කරනොගන්නට හැකියාව ඇති මුදල් ප්‍රමාණයක් ‘යෝජනා කරන්නා’ විසින් තීරණය කරනු ඇතැයි කියාය. ඒ සියල්ල සපුරා ගත්තොත් සියළු ප්‍රාජක ඉෂ්ට කරගන්නට සමත් වෙන්නෙක් කියාය. හෑල්ලුවට ලක්කරන යෝජනාවක් කළහොත් ‘ප්‍රතිචාර දක්වන්නා’ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන්, සල්ලිත් නැහැ, හිත හොඳ අයෙකුත් නැහැ, සමහර විට නැති තරහකාරයෙක් ඇතිවෙයි කියා සිතන්නට ප්‍රජාක 4 වැඩ කරන මොළයට හැකි බවයි.

දෙන්නාම දන්නවා රුපියල් දෙදාහක් කියන්නේ ඔවුන්ට බෙදාගන්නට ලැබෙන සල්ලි වාසනාවක් බව. අහඹු ලෙසින් තීරණය වෙච්ච නිසයි ‘යෝජනා කරන්නාට’ ලැබෙන්නේ පළමු පියවර ගන්නට හැකියාව. ඒත් ‘යෝජනා කරන්නා’ දන්නවා ‘ප්‍රතිචාර දක්වන්නාටත්’ ඇත්තේ තමන්ට ඇති මිනිස් ප්‍රාජක 4 ම බව. ඒ නිසා සියයේ එක කොළයක් දුන්නොත් ඒක එයාව පාච්චල් කිරීමක් සේ සලකන්නට ඉඩ ඇති බව. එයා “උඹ මට දෙන්නෙ එහෙනම් එච්චරයි ද? ඒකත් උඹ ම තියා ගනින්,” කියා දෙන්නාට ම නොලැබෙන්නට යෝජනාව පිළිනොගෙන නැඟිට යා හැකි බව. ඉතින් දෙන්නාටම නිකම් ලැබෙන සල්ලි ලබා ගන්න නම් දෙන්නාටම වාසිදායක ගණනක් තීරණය කරන්න ඕන.

මේ ultimate game පර්යේෂණය කාර්මික දියුණුව ඇති රටවල කරද්දී පෙනී ගියේ මෙහෙම: ‘යෝජනා කරන’ බහුතරය විසින් තම සම්පූර්ණ මුදල් ප්‍රමාණයෙන් 44% ක් දෙන්න යෝජනා කරපු බවයි. කිසිම ‘ප්‍රතිචාර දක්වන්නෙක්’ 20% කට වඩා අඩු යෝජනාවක් බාරගෙන නැති බවයි. කාර්මික නොවන රටවල කරද්දී දවස් දෙක තුනක වේතනයට සරිලන ප්‍රමාණයකින් මුදල් ඉදිරිපත් කෙරෙනවා. එවැනි රටවල් 15 කින් පෙනී ගියේ අඩුම යෝජනාව 26% ක් සහ වැඩිම යෝජනාව 58% ක් දක්වා සිද්ධ වූ බවයි.

පර්යේෂණයට සහභාගී වූ කිසිම රටක බහුතරයා, වැඩියෙන් ම තියාගෙන අඩුවෙන් ම දෙන්න යෝජනාව කරන්න කැමති වුනේ නැහැ.

ඒ කියන්නෙ මිනිසා ස්වභාවයෙන් ම සල්ලි වලට කෑදර වූවෙක් නොවෙයි!!!!!!

මිනිසාගේ මොළය හැදිලා තියෙන්නේ ස්වභාවයෙන් ම, බෙදා හදා ගන සතුටු වෙන්නයි. මොළය සතුටෙන් පිරෙද්දී මොළයෙන් නිෂ්පාදනය කරන ඔක්සිටෝසින් ගත පුරා දුවනවා. නියුරොලොජි සහ නියුරෝවිද්‍යාත්මක අර්ථ ශාස්ත්‍රයේ යෙදෙන Paul J. Zak, ව්‍යාපාර හා අර්ථ ශාස්ත්‍රයේ ඉන්නා Angela A. Stanton සහ Endocrinology අංශයේ Sheila Ahmadi විසින් කරන ලද තවත් පර්යේෂණයක් මෙසේ පෙන්වයි. තමන්ට පාඩු විඳගෙන අනුන්ට උදව් කිරීම මිනිස් සතාගේ සාමාන්‍ය හැදියාවක්. සාමාන්‍යයෙන් අනිකා බලාපොරොත්තු වෙනවාට වඩා වැඩියෙන් දෙන්නයි කැමති. සහානුභූතිය නිසා මේ සිද්ධ වෙනවා යැයි කීම තමයි පෙනී යන්නේ. ඔක්සිටෝසින් 40 IU (oxytocin -OT) දුන් අයත්, ප්ලේසිබෝ දුන් අයත් අතර කරන ලද ඉහත වැනි මුදල් බෙදාගන්නා පර්යේෂණයක දී OT ලැබුන අය 80% කින් ත්‍යාගශීලී බවෙන් වැඩි වූවා.

ඉතින් ධනපතියන් වැඩි වැඩියෙන් මුදල් එක්කාසු (acquire) කරගනිද්දී ඔවුන්ගේ හැකියාවන් නිසා ලැබෙනා මුදල් ලාභ වලින් මොළය සතුටින් පිරෙනා නියුරෝරසායන දුවද්දී වැඩියෙන් ත්‍යාගශීලි වනවා මිසක වැඩියෙන් තණ්හාධික වෙන්නේ නැහැ!!!!

මනෝව්‍යාධිකයන් අතින් දුවනා ආණ්ඩුවලට හේත්තු වී ජනතාවගේ ලේ උරාබොන රූකඩ තඩියන් (උකුණන්) නම් ස්වඋත්සාහයෙන් වූ ධනපතියන් නොවන බවත්, බහුතර ධනපතියන් වනාහි සිය වෙහෙසින් ධනය උපයන බිල් ගේට්ස් වැන්නෙක් සිය බූදලය ලෝක සමාජයට දෙන්නේත්, 1998 සිට මැරෙන තුරා ඇපල් කොම්පැණියෙන් ස්ටීව් ජොබ්ස් වැන්නෙක් වසරකට ඩොලරයක වේතනයක් ලැබුවේත් මන්දැයි වටහා ගන්නා අය පීඩිකයෝ කවුදැයි පීඩිතයෝ කවුදැයි වටහා ගන්නට හැකියාව ලැබුනෙකි.

නිදහස් වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම යම් මාත්‍රාවකට හෝ තියෙනා ඇමෙරිකාවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ පහළ යනවා. ඒත් ඇමෙරිකාවේ ඉන්නේ කෑදර ධනපතියන් යැයි කියනා අනිත් රටවල බඩු මිල කවදා හෝ පහළ යන්නේ නැත්තේ ඇයි යැයි දන්නවා ද? 2000 දී සිට අද දක්වා බලද්දී, මේ ගිම්හානයේ ගුවන්යානා ටිකට්පත් මිල 20% කින් අඩුවෙලා! ඇමෙරිකාවේ තෙල් මිල ඉහළ යද්දී තෙල් ධනපතියන්ට බැන වදින මිනිස්සු හා මාධ්‍යවේදීන් මේ දිනවල තෙල් මිල බැස තිබීම ගැන නොදන්නවා වගේ ඉන්නෙ.

මනෝව්‍යාධිකයන්ට රැවටී ඉන්නා රූකඩයන් සහ තතු සොයා ළඟට ම ගෙනැවිත් දෙනවිට නොදන්නාකම නිසා නොව නොසලකා හැරීම නිසා තව දුරටත් “කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි” යන මුලාවෙන් සිටින්නේ නම් ඒ එවැන්නාගේ අභාග්‍ය්‍යයි. 😦

ලෝක මට්ටමින් පෙන්වන දත්ත කියන්නේ සල්ලි වලට වඩා ඔබ්බෙන් යන්නා වූ rational self-interest එකක් මිනිස් චර්යාවට බලපාන බවයි.

බර්ලිනයේ Institute for Advance Studies හි Joseph Henrich කියන්නේ “ලෝකයේ නන් දෙස වාසය කරනා මිනිසුන් විසින් ආර්ථික ගණුදෙනු ගැන මුලාවක් කර ඇත,” කියායි.

මේ පර්යේෂණය ඔප්පු කරන්නේ ලෝකයේ වාසය කරන බහුතර ජනතාව ‘සාධාරණ’ ගණුදෙනුවක් සොයා යන්නෝ බවයි. එයට ඔවුන් පෙළඹෙන්නේ ඔවුන් සතු වූ ප්‍රාජක හතර සපුරාගන්නට වූ ස්වභාවික උවමනාවකින්.

මිනිසාට එක්කාසු (acquire) කරන්නට සිතෙනා මොළයේ පාලන මෙහෙයුම් පද්ධතියක් ස්වභාවයෙන් ලැබිලා තියෙනවා කිව්වොත්, හරි වැඩේ නේද වෙන්නෙ අර ධනවත් හැමෝම සල්ලි පස්සෙ හඹන කුහක මිනිස්සු යැයි අනුන්ව මුලාවෙන් රවටන අයට අලුත් මුලාවක් හදා ගන්න වෙනවා!!!!!

ඇමෙරිකන් වෙරළ මුර කරන හමුදාව!

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 17, 2012

ඇමෙරිකන් වෙරළ මුර කරන හමුදාව අපේ රුවල් නැව ළඟට ආපු එක වෙලාවක අපි ගිය නැව අයිති කැප්ටන් සාර්ජන්ට් හබලක් අතට අරගෙන “වෙරළ මුර කරන හමුදාවෙන් පැනලා යන මගේ ක්‍රමය” කියලා නැව ඇතුලේ හබල් ගාන හැටි රඟ පෑවා. මේ ඒක දැකලා වෙරළ මුර කරන හමුදාව හැරිලා ආපහු ගිය හැටි සුදු අප්පුහාමි අතින් වූ විඩියෝව.

බලය ඇත්තෝ තම බලය වැඩි කරගන්නට ගන්නා නිති උත්සාහය අවම කරන්නට හැක්කේ ව්‍යවස්ථාව රකිනා නීති පිළිපදින සමාජයකට පමණි. අළුත් විජට්ටු ඇතිව කැමරා බිහිවීම නිසා අද යමක් සිදුවෙද්දී ම එය ලෝකය පුරා බෙදාහරින්නට පුළුවන. ඒ නිසා පොලීසියෙන් පහර දෙන විට, අත් අඩංගුවට ගන්නා විට, කැමරාවෙන් පින්තූර ගන්නා අය ලොව බහුල වුණි. ඉන් “මහජන ආරක්ෂාව” සලසන අයගේ බලය අඩු විය!!! කැමරාවලට එරෙහිව යුධ ප්‍රකාශ වුණි. බලය ඇත්තා හැමදාම හදන්නේ බලය වැඩි කරගන්නටත්, ඇති බලය රැක ගන්නටත් ය. එහෙත් රටේ ව්‍යවස්ථාව රකිනා අය ඉන්නා නිසා ඔවුන්ට ඇමෙරිකාවේ දී ඉඩ අවම වෙයි. ඇමෙරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධන අයිතිය ආරක්ෂා කරමින්, ව්‍යව්සාථානුකූල නීතිය රැකි තීන්දුවක් මෙසේ නියම විය.

ලතාවන් අවුල් කරන නිදහස නැතිව ඉදිරි ගමනක් නැත. විරෝධතා, ඝට්ටන, වියවුල් වලට බිය වී දැඩි නීති වලින් රට පාලනය කරන්නට ගිය සමාජ එක තැන හිර වී සිටිති. බලය වැඩි කරගන්නට උත්සාහයක් ගන්නා අය හැමදාම සිටිනවා සේ ම, ජනාධිපතිවරයා සිට පළාතේ පොලිස් නිලධාරියා දක්වා යම් අයෙක් ව්‍යවස්ථානුකූල නීති කඩන්නේ නම් ඒ වෙනුවෙන් විරෝධය දක්වන ඇමෙරිකානුවන් සිටීම ද මහා ඇමෙරිකන් පර්යේෂණයයි!!!

විසල් ආණ්ඩුවට විරුද්ධව ඇමෙරිකාව පටන් ගත් දා පටන් පුරවැසියන් විසින් විරෝධතාවය දැක්වූවා. ඇමෙරිකාවේ නිදහස් ප්‍රඥප්තියේ මැද කොටසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මහරජ්ජුරුවන්ට විරුද්ධව කරන චෝදනා වල එකක් තමයි අසීමිත බලැති ආණ්ඩුව. ඒ නිසා තමයි ඇමෙරිකන් ව්‍යවස්ථාවේ බලය බෙදී යන ලෙසින් ආණ්ඩුව තුන් කට්ටුවකින් හැදෙන්නෙ. මිනිස් ස්වභාවය දන්නා අය අතින් ලියැවුනු ව්‍යවස්ථාවක්. බලය අල්ලා ගන්නට ලොව කැමැත්ත හා උත්සාහය නැති රටක් ඇතැයි සිතීම මිනිස් ස්වභාවය නොදන්නා අය රවටන්න හැකි වූවක් මිසක් සත්‍යයක් නෙමෙයි.

මිනිස් ස්වභාවය දන්නා අය විසින් ලියන ලද ව්‍යවස්ථාවෙන් කරන්නේ “මහා ඇමෙරිකන් පර්යේෂණයක්” (The Great American Experiment). එනම් ලොව එතෙක් විසඳා නැති විදියකට ගැටළු විසඳන්නට හැකි රටක් බිහි කිරීම. රටට ආ සංක්‍රමණිකයන් අතර පරම්පරා අයිතීන් වලින් නොව ස්ව උත්සාහයෙන් ඉඩම් හිමියන් වන්නට, රදළ කුලය නිසා නොව උත්සාහය නිසා නීතිඥවරයෙක් හෝ වෙළඳ ව්‍යාපාරිකයෙක් වන පර්යේෂණ වලට ඉඩ ලැබුණ.

18 වැනි ශ. ව. දී ලෝකයේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් ගැන ද පර්යේෂණ පැවැත්වුණා. ඒ අදහස් තවමත් හරි හැටියට අවබෝධයට නොහැකි ඇමෙරිකානුවන් ද ඇතුළු පිරිස ලොව බොහොමයි. ඒත් … ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට මහත් ජනතාවක් 2012 දී ඇමෙරිකන් ව්‍යවස්ථාව ගැන සොයා බලන්න උත්සුක වෙලා බව රොන් පෝල් නැමති ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති අපෙක්ෂකයාට ඇති කැමැත්තෙන් පෙනී යනවා.

මහා ඇමෙරිකන් පර්යේෂණය අවසන් නැහැ. තෝමස් එඩිසන්ගේ චිත්‍රපටි කැමරාවෙන්, ගෝලීය උණුසුම අඩු කරන බිල් ගේට්ස් විජට්ටුවෙන්, කුණු විකුණලා ධනපතියෝ වෙන අයගෙන්, ගුවන්යානා වලට හැරවෙන කාර් වලින් ඇමෙරිකන් පුරවැසියන්ට විතරක් නෙමෙයි ලෝක පුරවැසියන් වෙනුවෙන් ද තවමත් පර්යේෂණ පැවැත්වෙනවා. සමහර දේවල් ලෝකයා දන්නෙවත් නැහැ. නිදසුනක් හැටියට චිලේ රටේ දවස් 69 ක් හිර වෙලා හිටිය පතල්කරුවන්ව Copiapó පතලෙන් බේරාගන්නට ඔවුන් හිර වී ඉන්නා හැටියට අනුව පොළව කනින යන්ත්‍රයට (Schramm T130XD) අළුත් කෑලි හදන්න, පතල කඩා වැටුනාට පස්සෙ පටන් ගන්නෙ, ඇමෙරිකන්කාරයෙක් (Center Rock, Inc., of Berlin, Pennsylvania). යන්ත්‍රයට අළුත් කෑලි හදලා පාර්සල් පෝස්ට් වලින් තැපැල් කරලා යවන්නෙ!! අළුත් විදියකට ගැටළුව විසඳන්න සමත් වෙන ඇමෙරිකානුවන් පතල් කනින කේෂ්ත්‍රයේ ද ලොව අනිත් රටවල් සියල්ලට ම වඩා ඉදිරියෙන් ඉන්නා බව පෙන්නනවා.

ඇමෙරිකාව තෙල් වලට යුද කරනවා කියන අය නොදන්නා කාරණයක් තමයි තෙල් නිධි රටක තිබුණාට මදි, කැනීම්, ගැනීම්, පිරිසිදු කිරීම් සියල්ල කරන්න දන්නෙ නැත්නම් ඵලක් ගන්න බැහැ කියන එක. අමුද්‍රව්‍යයක් තිබුණාට මදි. එයින් වැඩක් ගන්න හැකියාවක් දන්නෙ නැත්නම්.

තෙල් කැනීම් හා පිරිසිදු කිරීම් තාක්ෂණය ලෝක වෙළඳපොලට අනිත් රටවල් වලට වඩා ඉහළින් හා අඩු මිලට ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාවේ පුද්ගලික කොම්පැණි. ඇමෙරිකන් ආණ්ඩුව සතු තෙල් කොම්පැණි නැහැ!!! පටන් ගත් දා පටන් අළුත් විදියකට ගැටළු විසඳන්න හුරු වෙච්ච මිනිසුන් ඉන්නා රටක්. ආණ්ඩුවක් කියන විදියට ජීවත් වූ මිනිසුන් අඩු රටක්. ඔවුන්ට වඩාත්ම ඉහළ නිෂ්පාදන ලෝකයට බිහි කරන්න තවමත් හැකියාව ඇතැයි වැටහෙන්නෙ, හිතන්න නිදහසක් ඇත්නම් තමයි අළුත් දෑ ලොවට බිහි කරන්න පුළුවන් යැයි, වැටහෙන අයට පමණයි.

සෝවියට් රුසියාවේ කඩා වැටීමෙන් පස්සෙ රුසියාවට නැඟී සිටින්න ඇමෙරිකාව ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් වලින් ණය ආධාර දී අත දුන්නේ ඇයි? චීනය කඩා වැටුණාට පස්සෙ චීනයට නැඟිටින්න ඇමෙරිකාව ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් වලින් ණය ආධාර දී අත දුන්නේ ඇයි?

රුසියාව අද යුරෝපයේ බොහෝ රටවල් වලට තෙල් සපයන්නට සමත් වෙනවා. ඒත් ඇමෙරිකාවේ තාක්ෂණයට ළං වෙන්න ඔවුන්ට තම රටේ පවතින හිතන හැටි වෙනස් කරන්න සමත් වෙන්නේ නැත්නම් බැහැ. චීනයටත් හිතන හැටි වෙනස් නොවන තෙක් එයම බලපානවා.

මහා ඇමෙරිකන් පර්යේෂණය සඳහා කැප වූ පිරිසක් තවම ඇමෙරිකාවේ ඉන්නවා. පුරවැසියන්ට සිතන්න නිදහසක් දුන්නාම ලෝකයේ ඕනෑම රටක පුරවැසියන්ට සංවර්ධනය වෙන්න පුළුවන් යැයි විශ්වාසයෙන් අනිත් රටවල් වලට ඔවුන් උදව් කරන්නෙ කැමැත්තෙන්. ඇමෙරිකාවේ සමහර අයට මේක වටහා ගන්න බැරි නිසා, ඔබාමා වැනි අය පුරවැසි චින්තනයට වැට බැඳ, ආණ්ඩුවේ සැලසුම් වලට තැන දෙන්නට යෑමෙන්, කොහොම ද අනිත් රටවල බහුතරය මෙය වටහා ගනියි කියා හිතන්නෙ?

ඒ අය දකින්නේ ඇමෙරිකාව තම යුද බලයෙන් ලෝකය “අල්ලා” ගන්නට “යත්න දරන” බවක්. නැහැ, ඇමෙරිකාව නැමති රට උපන් දා සිට එය යුද බලයෙන්, තාක්ෂණයෙන් පමණක් නෙමෙයි, පුරවැසි අයිතීන් හා එරටේ පුරවැසියාගේ යහපත විතරක් නෙමෙයි ලෝක පුරවැසියාගේ යහපත වෙනුවෙන් ද, බැරී බ්ලම්බර්ග් වැනි අළුත් විදියකට හිතා ගැටළු විසඳන්නට සමත් වූ අය පිරි, ලෝකයේ ම ඉදිරියෙන් ඉන්නා රටක්. අල්ලා ගන්න දෙයක් නැහැ … නිදහස කුමක් දැයි අවබෝධයෙන් තොර නිසා දැනටමත් බොහෝ අය පරාජය වී අවසන්. ඔවුන් පැරදී ඉන්නේ තමන් විසින්ම වැට බැඳගත් පටු චින්තනයේ මානසික වහල් බවින්.

ස්ටාලින්ගේ දුව, මැඩෝනා, බ්‍රිට්නි සහ ලේඩි ගාගා

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 6, 2011

ජෝසප් ස්ටාලින්ගේ (ලංකාවේ ඉන්න එක්කෙනා නෙමෙයි රුසියාවේ මිලියන 20 ක් ජනතාව මරා දැමූ අයගෙ) දුව නොබෝදා මිය ගියා ය. 1926 පෙබරවාරි 28 දා උපන් ඇයගේ නම ස්වේට්ලානා ස්ටාලිනා විය. ස්ටාලින් මිය ගිය පසු ඇය තම මවගේ වාසගම පාවිච්චි කරන්නට පටන් ගත්තා ය. ඇය තෝරාගත් ජීවිත සහකරුවන් ඇයට අහිමි විය. ඇයට තෝරා දුන් සැමියා ඇය අත්හැර ගියේය. ඉන්දියාවට යන ඇය හින්දු ඇදහිලි තම ජීවිතයට එකතු කර ගනියි. ඇමෙරිකාවට පැන එන ඇය ලානා පීටර්ස් නමින් ජීවත් වෙයි. ඇමෙරිකාව අතහැර රුසියාවට යන ඇය නැවත රුසියාව අතහැර ඇමෙරිකාවට එන්නීය. ඇයගේ ජීවිතයේ සියළු සිදුවීම් ලෝකයා දත්හ. ඒත් එයින් ඇය ධනවත් වූයේ නැත. සතුටක් ලැබුවේ නැත. ජීවිතය පුරා ඇය සෙවුයේ කුමක් දැයි ඇය දැන සිටියේ නැත. තම ජීවිතයේ කුමක් හෝ අඩුවක් ඇති බව පමණක් දත්තා ය.

මැඩෝනා ලොව සුපතල ගායිකාවක් වන්නට පෙර ඇය පැතුවේ නාට්‍යාංගනාවක් වන්නට ය. එහෙත් නිව් යෝර්ක් නුවර නර්තනය හදාරන ඇයට දස්කම වැඩියෙන් ඇත්තේ රංගනයට නොව ගායනයට බව අවබෝධය හැකිවිය. ගායිකාවක් වන ඇය ලෝක වේදිකාවේ තවමත් රැඟුම් දක්වන්නියකි. ඇය තමනට ඇති කුසලතාවයෙන් මුදුන් හිනි පෙත්තකට නඟින්නට දිවා රෑ නොබලා වෙහෙසුන අයෙකි. දක්ෂතාවයක් ඇතැයි කිසිවෙක් පිළිනොගත් කාලයේ දී ඇය තම හැකියාව ගැන තිබූ විශ්වාසයේ සැකයක් ඇති කර නොගත් අයෙකි.

බ්‍රට්නි ස්පියර්ස්ට දැන් වයස 30 කි. ඇය නිසා මහත් මුදල් කන්දරාවක් හම්බ කරගන්නට පපරාට්සි ඡායාරූප ශිල්පියන්ට හැකිවිය. 2007 වසර තුල දී X17 ඡායාරූප ඒජන්සිය ඇමෙරිකන් ඩොලර් මිලියන 2.5 ක බ්‍රිට්නි ඡායාරූප විකුණා ඇත. බ්‍රිට්නි මෙන් අඳින්නට, බ්‍රට්නි මෙන් හැසිරෙන්නට අතේ තියන සල්ලි වියදම් කරන ඇමෙරිකන් හා අනිකුත් රටවල කෙල්ලෝ අතර ඇත්ත බ්‍රිට්නි තම ජනප්‍රියත්වයෙන් සල්ලි උපයා ගන්නීය. ඇයගේ සිංදු ඇල්බම් ලෝකය පුරා මිලියන 100 කට වඩා අලෙවි වී ඇත.

නිව් යෝර්ක් නගරයේ උපන් කෙල්ලක් විශ්ව විද්‍යාලයට යන්නේ ගායනය හදාරන්නට ය. ඇයගේ ගුරුවරුන් ඇයට ගායන ක්ෂේත්‍රයේ ඉහළකට යන්න තරම් කුසලතා නැති බව කියයි. එය පිළිනොගන්නා ඇය විශ්ව විද්‍යාලය හැර දමා ගොස් තමන් සුප්‍රසිද්ධ ගායිකාවක් වන බව හැමට කියයි. ඇයගේ පෙම්වතා ජයගත් කිසිවක් පෙනෙන්නට නැති ඇයගේ ‘ආත්ම වර්ණනා’ තවත් අසාගෙන ඉන්නට බැරි යැයි කියා ඇයව අතහැර දමා යයි. තම අතීතය සිද්ධ වූ විදියට ම මතකයේ තබා ගැනීම රසවත් නැතැයි කියා ඇය තම අතීතය ගැන රසවත් කතන්දර හදා ගනියි. ඒ නිසා ඉහළ කියූ ටික සත්‍යය ද නැත්නම් ඇයගේ මනසේ ඇඳි කලාත්මක ප්‍රබන්ධයක් දැයි කිව නොහැකිය. ඇය ලොව සුපතල වන්නේ ලේඩි ගාගා නමිනි. “ද ඉකොනොමිස්ට්” සඟරාව ඇයගේ ජනප්‍රියත්වය හා බැඳි නායකත්වය සසඳන්නේ මදර් තෙරේසාගේ ජනප්‍රියත්වය හා බැඳි නායකත්වය සමඟයි!!!

උදෑසන නැඟිට දිනපතා දස දහසක් දෙනා කරන කටයුතු වල ම නිරත වෙන ජනතාවක් ලෝකයේ වාසය කරති. ඒ අය අතර සමහර පිරිසක් කටයුතු සූක්ෂම ලෙසින් කරති. තවත් අය කළ යුත්ත පමණක් කරති. ඉතිරිය කර කී දෑ නැවත කරන්නට තවත් අයෙකුට සිද්ධ වේ. ඔවුනට වෙනස් වන සොච්චමක් හැමෝම යන මාර්ගයෙන් වෙනස් මඟක යති. එසේ වෙනස් මඟක යෑම අවදානමක් ගැනීමකි. වෙනස් මඟක යන අයගේ අනුගාමීන් වන්නේ අර හැමෝම කරනා කටයුතු වල නිරත වෙන දස දහස් ජනතාව ය. මැඩෝනා, බ්‍රිට්නි හා ලේඩි ගාගා නැත්නම් ඔවුන් අනුගාමීන් වෙන්නට වෙනත් කවුරු හෝ සොයා ගනිති.

ඇයි මැඩෝනා, බ්‍රිට්නි හා ලේඩි ගාගා ජනප්‍රිය වී එවැනි ම වූ ගායන රංගන කුසලතාවයක් ඇති වෙනත් අයගේ අනුගාමීන් නොවන්නට කවුරුත් නොයන්නේ? ලෝකයේ නන් දෙස සමාජ සේවා කරන ක්‍රිස්තියානි සහෝදරියන් අතරින් ඇයි මදර් තෙරේසා ලොව සුපතල වූයේ? අවදානම් ගන්නා අය අතරින් සමහර අය පමණක් දස දහස් ජනතාවකගේ සිත් අල්ලා ගන්නට සමත් වෙන්නේත් අනිත් අය ගැන අපි නොදන්නේත් මුල් කොටස පමණක් සතු ස්වභාවික වූ කුසලතාවයට එකතු වන නොපසුබට උත්සාහය, අත්හැර නොදමන විශ්වාසය සහ ඉහළට නඟින්නට ඇති නොනිමෙන උවමනාව නිසා ය.

තමනට ඇති ස්වභාවික බුද්ධිය කුමක් දැයි අවබෝධයට හැකියාව ඇත්තා, අනිත් අයට වඩා වැඩි යමක් සතු වූවෙකි.

තමන්ගේ කැමැත්ත කුමක් දැයි දන්නා අයෙක්, අනිත් අයට වඩා වැඩි යමක් සතු වූවෙකි.

තමන්ගේ ස්වභාවික බුද්ධියට අනුව තම වෙහෙස යොදන්නට කැමැත්ත ඇති පුද්ගලයෝ ඉහත දෙගොල්ලන්ට ම වඩා යමක් සතු වූවන් ය.

අවදානම් ගන්නා අය අතරින් දස දහස් ජනතාවකගේ සිත් අල්ලා ගන්නට සමත් වෙන්නේ, ලොවට අළුත් දෑ ගෙනෙන්නට සමත් වෙන්නේ එවැනි අයයි. ඔවුන් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, තෝමස් අල්වා එඩිසන්, ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වන්නට හෝ නැත්නම් Matthieu Ricard මෙන් ලොව වඩාත් ම සතුටින් කාලය ගෙවනා පුද්ගලයා වන්නට හැකියාව ඇත්තෝ ය.

අයෙක් මහත් කැමැත්තක් දක්වන්නකට සහජ කුසලතාවයක් නැතිවිය හැකිය. කැමැත්ත ඇත්තට කුසලතාවය නැත්තෙන් ඉහළට යන්න නම් එයා වඩා වැඩියෙන් මහන්සි විය යුතු වෙයි. කැමැත්තක් නැති වූවක කොතරම් වෙහෙසුනත් එයින් ලැබෙන ජයේ සතුට ද අඩු ය. කැමැත්ත ඇති දේවල් කරන්නට ඉඩක් ලැබෙන සමාජයක් ධන සම්පත් වලින් පිරී යයි. කැමැත්තට ඉඩ නොලැබෙන සමාජයක් දුප්පත්කමෙන් ගොඩ එන්නට කොතරම් සැලසුම් ගැහැව්වත් අසාර්ථක වෙති.

ස්වභාවික බුද්ධිය යම් අංශයකට වැඩියෙන් දක්ෂ වන ලෙසින් පුද්ගලයාට හිමි වී ඇත්තේ මිනිස් වර්ගයාගේ උන්නතියට එවැනි විවිධ හැකියාවන් අවශ්‍ය නිසා ද?

ඔබේ ස්වභාවික බුද්ධිය කුමකට ද දැනගත්තා යැයි සිතමු. ඒත්, ඔබේ කැමැත්ත කුමකට ද? එය තමයි ඩොලර් හැටහතරේ ප්‍රශ්නය. මේ ඇමෙරිකන් කියමන එන්නෙ මේ වැඩ සටහනෙන්: that’s the $64 question.

ඉන්දියාවේ කොන්ඩොම් සහ ඒඩ්ස් සඳහා නව බෙහෙත්

Posted in Uncategorized by arunishapiro on ජූලි 15, 2011

ඉන්දියාවේ ජනගහණයෙන් පිරිමි අයට සාපේක්ෂව කාන්තාවන් ඉන්නේ දළ වශයෙන් මිලියන 35 ක් අඩුවෙනි. ආර්ථික විද්‍යාඥ Amartya Sen “සොයාගත නොහැකි කාන්තාවන්” (missing women) ගැන කියයි.

ජාතික සෞඛ්‍ය වාර්තාවක දී ඉන්දියානු පිරිමි 51% ක් බිරිඳට තඩිබෑම යුක්ති සහගත යැයි කියන ලදි. පුදුමය එය නොවේ. පුදුමය නම් 54% ක් කාන්තාවන් ද එය සමඟ එකඟ වීමයි!! තඩිබෑම යුක්ති සහගත වූ අවස්ථා හැටියට සැලකූ උදාහරණ දෙකක් මෙසේය: ආහා‍ර වේල පිළියෙල කරද්දී එය පිළිස්සී යාම, නොකියා ගෙදරින් බැහැරක ගියොත්.

ඉන්දියානු කාන්තාවන් අතර අපේක්ෂා නොකරන ලද ගැබ්බර වීම් සහ HIV/AIDS ඇතුළු ලිංගිකව බෝවෙන රෝග වැළඳීමේ ඉඩකඩ ද වැඩි ය. ඊට එක හේතුවක් නම් ඉන්දීය කොන්ඩොම් 15% ක් නිසි ආකාරයෙන් ක්‍රියා නොකිරීම ය. ඒ ඇයි කියා සොයා බැලූ Indian Council of Medical Research මෙවැනි අපූරු දැනුමක් ලැබුණි.

ලෝක‍ සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව කොන්ඩොම් නිපැදවීමේ දී ඉන්දියාවේ 60% ක පිරිමින්ගේ පුරුෂ අවයවය ඉහත සංවිධානයේ නිර්දේශයට වඩා කුඩා වීමය. ඉන්දියානු පිරිමි දාහකට අධික සංඛ්‍යාවකගේ පුරුෂ අවයවය මැන බලා ඡායාරූප ගත කරන වසර දෙකක අධ්‍යයනයකින් පසුව ඉන්දියානු විද්‍යාඥයෙක් කියා සිටියේ “කොන්ඩොමය ඉන්දියාවට අනුචිත විදියට හදා නැත” කියාය.

ගැහැණු දරුවන්ට දෙන දෑවැදි තහනම් කරන්නට සහ ගැහැණු දරුවන් උපදින්නට පෙර ගබ්සා කිරීම් තහනම් කිරීම නීතියෙන් සිදු වුවත් ඒ නීති පිළිපැදීම රටේ ජනතාව අතින් සිදු නොවීය. ‘අප්නා බෙටි, අප්නා ධාන් (මගේ දියණිය, මගේ වස්තුව) වැනි ව්‍යාපෘතියන් යටතේ ගම්බද කාන්තාවන්ට ගැහැණු බබාලා ගබ්සාවෙන් වැළකීමට මුදල් ගෙවන ලදි. ඒවාට ජාත්‍යන්තර සංවිධාන වලින් ද මුදල් ආධාර ලැබුණි.

එසේම ඉන්දීය රජය කුඩා කොන්ඩොම් නිෂ්පාදනයට ද පොරොන්දු විය.

මෙවැනි වෑයම් සංකීර්ණ වූ අතර ඉතා අධි වැයකින් ද යුතු වූහ. සාර්ථක ප්‍රතිඵල මඳ විය.

එහෙත් ප්‍රතිඵල උදා වූයේ නොසිතූ විදියකින් ම ය. Ultrasound මැෂිමක් මෙන් මෙය ද තාක්ෂණය මත පදනම් වෙයි. ඒත් ගැහැණු ගැන දක්වන සැලකිල්ල අඩු ය. එය බබාලා ගැන සැලකිල්ලක් ද නොදක්වයි. එය ඉන්දීය රජයෙන් දියත් කරන ලද්දක් ද නොවීය. එය කිසිවකුට උදව් කිරීමට බිහි වූවක් ද නොවුණි. එහෙත් නොසිතූ ප්‍රතිඵල ලබා දෙන ලදි.

2001 සිට 2006 දක්වා ඉන්දියාවේ මිලියන 150 කට ප්‍රථම වරට කේබල් මඟින් රූපවාහිනිය නරඹන්නට ඉඩ පෑදී ඇත. කේබල් සහ සැටලයිට් රූපවාහිනිය ව්‍යාප්ත වීම නිසා රජය විසින් මෙහෙය වූ රූපවාහිනි ප්‍රචාරයන් දකින්නට නොහැකි වූ ඈත පිටිසර ගම්මාන වල ඉන්දියානුවන්ට හදිසියේ ම කාලය ගෙවන්නට තවත් විනෝදයක් ලැබුණි!!!

ඇමෙරිකන් ආර්ථික විද්‍යාඥයන් වන Emily Oster සහ Robert Jensen දෙදෙනා ගමෙන් ගමට කේබල් රූපවාහිනිය යද්දී එය ඉන්දීය කාන්තාවන්ට බලපාන හැටි ගැන පර්යේෂණයක් පැවැත්වූහ. වැඩිපුර ගම්බද නිවාස අයත් ඉන්දියානු රාජ්‍ය සමීක්ෂණයක නිවාස 2,700 ක දත්ත ඔවුන් විභාග කරති. වයස 15 ට වැඩි කාන්තාවන්ගෙ ජීවන රටාවන් ගැන විමසද්දී රූපවාහිනියේ ආගමනයත් සමඟ ඒ ගම්බද කාන්තාවන් භාර්යාවන්ට තඩිබෑම් විඳගෙන සිටීම, පුතෙක් ලැබීම වඩා ප්‍රිය කිරීම යනාදියට තිබි හැදියාව වෙනස් කරගෙන ඇත.

අයෙක් තමන්ගේ හැදියාව මෙසේ යැයි කීම හා සත්‍යයෙන් ම පවතින ඔවුන්ගේ හැදියාව අතර වෙනසක් ඇත. ආර්ථික විද්‍යාඥයන් එම හැදියාවන් හඳුන්වන්නේ මෙසේ යැයි කීම (declared preferences) සහ සත්‍යයෙන් පැවතීම දක්වන (revealed preferences) යනුවෙනි. එමනිසා, නිසි පර්යේෂණයක දී තමන්ගේ හැදියාව මෙසේ යැයි අයෙක් කියන තොරතුරු සත්‍යයක් දැයි සෙවීමට ඒ අයගේ ජීවිතයේ ප්‍රතිඵල දිහා බැලිය යුතුය.

ඔස්ටර් සහ ජෙන්සන් දෙදෙනා සොයාගත් විස්තර අනුව කේබල් රූපවාහිනිය නැති අයට වඩා එය ලබාගත් ග්‍රාමීය ඉන්දියානු පවුල් අතර අඩු දරු උප්පත්ති දකින්නට ලැබිණ. ගබ්සා පහළ ගිහින් ය.

ඉන්දියාවේ කේබල් රූපවාහිනිය පෙන්වන ක්‍රිකට් මැච් වැඩි වුනොත් ඉන්දීය කාන්තාවගේ ජීවිතය තවත් සරු වෙනවා නිසැක ය!!!

ඉන්දියාව ගැන විස්තර බොහොමය Steven D. Levitt සහ Stephen J. Dubner ලියූ Super Freakonomics (2009) පොතෙනි. පහත දැක්වෙන්නේ ලෝකයේ විවිධ රටවල පුරුෂ අවයවයේ දිග පිළිබඳව කරන ලද සමීක්ෂණ වාර්තාවක ප්‍රතිඵලයකි. ප්‍රංශ සමීක්ෂණය පවත්වා ඇත්තේ ප්‍රංශයේ අය විසින් ම බව ද සැලකිය යුතු යැයි සමීක්ෂණ වාර්තාව සපයන්නෝ කියති.

නොබෝදා ඒඩ්ස් බෝවීම අඩු කරගනු සඳහා නව බෙහෙතක් ද සොයා ගැණින. 1981 දී ලෝක අවධානයට ලක්වෙන ඒඩ්ස් රෝගයෙන් 2011 වෙද්දී මිලියන 25 ක් මියගොස් ය. තවත් මිලියන 34 ක් ඉන් පෙළෙති. ධනවත් ලෝකයේ සමරිසියන් රෝගයට හා නිවාරණයට අවධානයක් ලබා ගැනීමට ක්‍රියාශීලී වී දුන් තල්ලුවෙන්, ලෝක විද්‍යාඥයන්ගේ සහයෝගයෙන් සහ බිල් ගේට්ස් වැන්නවුන්ගේ මුදල් පරිත්‍යාගයෙන් හා ජෝර්ජ් බුෂ් පුතා වැනි රාජ්‍ය නායකයන්ගේ සහායෙන් ද අද ඒඩ්ස් හොඳ කරන්නටත් සහ තවත් අයෙකුට නොහැදෙන බෙහෙත් ද සොයා ගෙන ඇත.

ඒඩ්ස් වලින් ප්‍රථම සුවය ලබාගත් බව සටහන් වන්නේ බර්ලිනයේ ලියුකේමියාව වැළඳී ඒ ‍ඒඩ්ස් රෝගියාට HIV-resistant stem cells ප්‍රතිකාරයෙන් පසුව ය. ඉන් දියත් වන පර්යේෂණ වලින් අද සියැටල් නගරයේ Fred Hutchinson Cancer Research Center එය හීනයක් නොව සුවය ලබා දිය හැකි ප්‍රතිකාර මාර්ගයක් බව පැහැදිලි කරගෙන ඇත. HIV නැති එහෙත් වැළඳෙන්නට හැකි ඉහළ ප්‍රවණතාවයක් ඇති සමරිසි පිරිමින් 2,500 ක සහභාගීත්වයෙන් පාවිච්චි කරන ලද Truvada නැමති බෙහෙත් පෙත්ත නිසා 73% කින් ‍ HIV බෝවීම අඩු කරගත හැකි යැයි සොයාගෙන තිබේ.

ලෝකයේ ගැටළු බොහොමය විසඳන්නට ක්‍රමවේද සොයාගන්නට වෙහෙසෙන අය ලොව සිටිති. බොහෝ විටෙක ලෝකයා ඉදිරියේ ඇති ප්‍රධාන ගැටළුව නම් විසඳුම් නොමැති වීම නොව විසඳුම් බෙදාහැරීමට තමන් විසින්ම තෝරා පත්කර ගත්තවුන් දමා ඇති බාධාවන් ය.

ඉන්දියානු සංචාරයක දී ඉන්දියානු කොන්ඩොම් පරිහරණයේ දී ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශයන්ට අනුව ද නැත්නම් ඉන්දියානු නිර්දේශයන්ට අනුව ද කොන්ඩොම් නිපැද වී ඇත්තේ දැයි කියා සොයා බලන්නට ද මතක තියා ගන්න!!!

ගැහැණුන්ට වඩා පිරිමි සංඛ්‍යාව ලොව වැඩි වී යාමෙන් එකගෙයි කෑම ලෝකයාම පටන් ගනිවී ද?

පිරිමි සමරිසියන් වැඩිවේවි ද?

අනාගතයේ දී ඉන්දියාවේ පිරිමියෙක් හා ආවාහ වන්නට කැමති කාන්තාවන්ට තෝරා ගැනීම් බොහොමයක් තිබෙයි ද?