අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වදේශීන් සහ ඉංග්‍රිසීන් -16 වැනි සියවස වර්ජීනියාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 7, 2013

IMG_5060

වර්ජීනියාවේ ජේම්ස්ටවුන් පිහිටුවා ගත් ඉංග්‍රීසි ජාතිකයන් ශතකයක් පුරා එහි වූ ස්වදේශී ඉන්දියානුවන් සමඟ ජීවත් වූහ. හැමවිටම සාමයෙන් නොවේ, ඒත් හැම විටම එකිනෙකා මරා ගැනීමෙන් ද නොවේ. 1590 දී A Brief and True Report of the New Found Land of Virginia ලියන තෝමස් හැරියට් එහි තමන් ලියන විස්තර වලට ජෝන් වයිට් විසින් අඳින ලද, මෙම සටහනට එකතු කරන ලද වැනි, පින්තූර ද එකතු කර ඇත. ඒ පින්තූර ඇන්ඩෲ නිකල්ස් බ්‍රිතාන්‍ය යටත්විජිත ලංකාවට පැමිණ අඳින ලද පින්තූර හා පෙනුමින් සමාන වෙයි.

එංගලන්තයේ සහ යුරෝපයේ අය නොහඳුනන මත්ස්‍ය වර්ග රාශියක් වර්ජීනියාවේ ඇල දොල ගංගා මාර්ග වලින් දකින්නට ලැබෙන බව ලියන තෝමස් හැරියට් “මේ මිනිසුන් වතුරට ඇවිද යමින්, සමහර විට පාරැවල පැද යමින්, මේ නොගැඹුරු ජලයේ මසුන් අල්ලන හැටි දැකීම සුන්දර ය. අනාගතය වෙනුවෙන් වස්තු සම්පත් එක්කාසු කරන්නට යැයි වූ කිසිම සිත් කරදර වලින් තොරව ජීවත් වෙන ආකාරයක් මෙහි දී දකින්නට ලැබේ,” යැයි ලියා ඇත.

පසුකාලීන පුරාවිද්‍යා සොයා ගැනීම් ඔප්පු කරන්නේ ඉංග්‍රීසින් එද්දී 11,000 කාලයක් පුරා පටොමික් ගඟ අසබඩ ස්වදේශීන් ජීවත් ව සිටි බවයි.

ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්නේ කෙසේදැයි සොයා බලන්නට ප්‍රංශයෙන් එන ඇලෙක්සිස් ඩ ටොක්විල් එකල වාසය කරනා කළු (වහල්), සුදු (බහුතරයා, මැද පංතිය) සහ රතු (ඉන්දියන් නොහොත් ස්වදේශී ඇමෙරිකානුවන්) යැයි වර්ග තුනක් විමර්ශනය කරයි. ඔවුන් හා කතාබස් කරන්නට ගන්නා උත්සාහයන් හි දී ඔහු ඔවුන් අසලට එනවාට කිපුණ ගැහැණුන් දරුවන් ද තල්ලු කරමින් වනයට රිංගා ගත් අවස්ථා ගැන ද ඔහු සටහන් කරයි!!!!

ඔහු ‘රතු ඉන්දියානුවා’ ගැන මෙසේ ලියයි: “අපේ හැදියාවට අනුව හැඩ ගැසීමට වඩා ඔහුට ඔහුගේ ම්ලේච්ඡ ජිවිතය ඉතා අගනේ ය. එය තම වර්ගයා ගේ වැදගත් ලක්ෂණයක් හැටියට ඔහු සලකයි. ශිෂ්ඨාචාර වන්නට හැකි සෑම දියුණු කටයුත්තක්ම ප්‍රතික්ෂේප කරන ඔහු සමහර විට එය එසේ කරන්නේ යුරෝපීයයන් වගේ පෙනෙනු ඇතැයි සිතා නිසා නොව ඔහු හුවා දක්වන රදළ බව අහිමි වී යාවි කියා විය හැකියි.”

ටොක්විල් විසින් ස්වදේශී ඇමෙරිකානුවන් රදළ සේ සැලකෙන කාරණය පසු තැනක දී හඳුනාගන්නට ලැබෙයි. ස්වදේශී ‘රතු’ ඉන්දියානු පිරිමියා වහලෙක් සේ ශාරීරික ශ්‍රමය වෙහෙසීමට අකමැතිය. කෘෂිකර්මයට එතරම් කාලයක් ඔහු වැය නොකරයි. යුරෝපීය රදළයන් ලෙසින් ඔවුන් දඩයමේ යන්නටත්, සටන් කරන්නටත් සහ දඩයම හා සටන් ගැන කතා කරමින් ඉන්නටත් කාලය වැය කරයි. මැද පංතියේ අය කරන වාල් වැඩ ඔවුනට අප්‍රියය.

ශිෂ්ඨාචාරය යනු දීර්ඝ කාලීන සමාජ ක්‍රියාවලියකි. එකම ස්ථානයක දී ඇතිවෙන, එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට බාර කරන්නකි. කළින් අය ගේ අත්දැකීම් වලින් පෝෂිත වන්නකි. එහෙත් දඩයමෙන් ජීවත්වෙන අය හඹා යන්නේ ඔවුන් දඩයම් කරන සත්තුන් ය. ටොක්විල් පෙන්වන්නේ ඉංග්‍රීසි ජාතිකයන් රටට ගොඩබැසීමත් සමඟ ඔවුන් සමඟ සටනින් දිනන්නට බැරි යැයි වටහාගත් ස්වදේශීන් රට ඇතුලට සංක්‍රමණය වෙන්නට පටන් ගත් ආකාරයයි.

කැනඩාවේ ජෙසුයිට්ස් සහ නව එංගලන්තයේ පියුරිටන් කණ්ඩායම් විසින් ස්වදේශීන් අතර දැනුම බෙදන්නට උත්සාහයන් ගන්නා ලදැයි ටොක්විල් ලියන්නේ ‘කැබින් එකේ පටන් ගත් ශිෂ්ඨාචාර උත්සාහයන් කැළෑවේ දී නැති වී ගියා,’ කියාය. ටොක්විල් තමනට හමු වූ නොයෙකුත් ස්වදේශී ගෝත්‍රික කල්ලි ගැන සටහන් ලියා ඇත. ඒ හැම අවස්ථාවක දී ම ඔහුට පෙනී යන්නේ ස්වදේශී පිරිමි කෘෂිකර්මයේ යෙදීම (cultivate the soil) ඉගෙන ගන්නට ඇති අකමැත්තයි. එය නොමැතිව ඔවුනට අනාගතයේ කුමක් වේ දැයි කිහිප වතාවක් ඔහු ප්‍රශ්න කර ඇත.

ඇමෙරිකාවේ ම්ලේච්ඡයන්ට විනාශය වළක්වා ගැනීමට ඇත්තේ ක්‍රම දෙකක් යැයි ටොක්විල් ලියයි: එක්කෝ යුද්ධය, නැත්නම් ශිෂ්ඨාචාර වීම. ඔවුනට තව දුරටත් යුද්ධයෙන් ජයගත නොහැකි බව දැනගත්තාම ඔවුන් ශිෂ්ඨාචාර වීම තෝරා නොගන්නේ මන්දැයි අහන ටොක්විල් ශිෂ්ඨාචාර වීමට බලය ඔවුන් සතුව පවතින විට එය පාවිච්චි නොකරනවා නම් නව එංගලන්තයේ නැරගන්සෙට්ස්, මෝහිකන් හා පිකුවොඩ්ස් සේ මෙන් බටහිර මිනිසාගේ මතකයේ පමණක් ඔවුන් ජීවත් වූ බවට සටහනක් තබා වඳ වී යනු ඇතැයි අනාවැකි කියයි.

ඩෙලවෙයාර් ගඟ අසබඩ ජීවත් වූ ලෙනපිස් වසර 150 කට පමණ පෙර එහි (1682 දී) ගොඩබැසි විලියම් පෙන් විසින් දකින ලද ජනතාවකි. ඇලෙක්සිස් ඩ ටොක්විල් එද්දී (1835) ඔවුන් සහමුලින් වඳ වී ගිය ගෝත්‍රයකි. හිඟා කමින් සිටින අයිරොකුවා ගෝත්‍රයේ අවසන් කිහිප දෙනෙක් තමනට හමු වූවා යැයි ටොක්විල් ලියයි. ඔවුන් රට මැද්දට පළා ගියා පමණක් නොව ලෙඩ රෝග හැදී මිය යෑම සහ වෙනත් ජාතීන් ගෙන් රට පිරී යද්දී ඔවුනට එතෙක් දඩයම් කරගත හැකි වූ සතුන් සීපාවුන් පළාතෙන් පළා යද්දී ආහාර සොයා ගන්නට මාර්ග අහිමි වූ බව ද සටහන් කරයි.

ටොක්විල් සටහන් තබන්නේ මෙසේය: ස්වදේශීන් විසින් නිපදවා ගත් එකම උපකරණ වූයේ ඔවුන් ගේ දඩයම් උපකරණයි. ඔවුන් බිව්වේ ගඟේ ගලා ගිය වතුරයි. ඔවුන්ගේ ඇඳුම් නිමැවුනේ ඔවුන් දඩයම් කර අනුභව කරන ලද සත්ව හම් වලින් පමණයි.

එසේ සරල ජීවිත ගෙවූ ස්වදේශීන්ට යුරෝපීයයන් තුවක්කු, විස්කි හා යකඩ පෙන්වූ කල ඒවා ලබාගන්නට හුවමාරු කරගත හැකි වූයේ වනයේ සුලබව පවතින සත්ව හම් පමණකි. ඉතින් ඔවුන් සත්වයන් හඹා ගියේ ජීවත්වන්නට පමණක් නොව යුරෝපීයයන්ට ඒවා විකුණන්නටත්ය.

යුරෝපීයයන් වැඩි වැඩියෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වෙද්දී ස්වදේශීන් කලබල වූයේ නැතැයි ලියන ටොක්විල් එහෙත් වනාන්තරයේ වූ සත්වයන් කළබල වී පළා යන්නට පටන් ගත්තා යැයි සටහන් තබයි. 1829 දී ක්ලාක් සහ කාස් දෙදෙනා “මීහරකුන් නිතරම පළා යන බව,” වාර්තා කර ඇත. මීහරක්, එල්ක් හා බීවර් යන සත්වයන් දඩයමෙන් ආහාර සොයාගත් ස්වදේශීන්ට තව දුරටත් තමන්ට ආහාර පිණිසත් යුරෝපීයයන් හා ගණුදෙනු පිණිස සත්ව හම් එකතු කරන්නටත් හැකියාව නොමැති වී ගියේය.

හරියට සලකා බැලුවොත්, යුරෝපීයයන් නෙමෙයි ස්වදේශීන්ව රට මැද්දට පළවා හැරියේ, සාගතයයි ඔවුන්ව රට මැද්දට පළවා හැරියේ, යැයි මෙහි දී ටොක්විල් ලියයි.

එහෙත් අනතුරුව ඉංග්‍රීසි යටත්විජිත ආණ්ඩුව විසින් ස්වදේශීන්ට විශේෂිත ඉඩම් නිර්දේශ කරද්දී ඔවුන් අමාරුවේ වැටී අවසන් බව ටොක්විල් කියයි. දඩයම් කරන ජනතාවකට, පරිසරයෙන් ලැබෙන දෙයක් පරිහරණයෙන් ජීවත් වූ ජනතාවකට තව දුරටත් එසේ ජීවත්වීමට ඉඩකඩක් ලැබෙන භූමියක් නොමැති විය. නිදහස් අරගලය දිනා ඇමෙරිකන් ආණ්ඩුව ස්ථාපිත වෙද්දී එසේ රට මැද්දට පළා ගිය ස්වදේශීන් බොහොමයක් රජයෙන් දුන් ඉඩම් කොටස් වල හිර වී සිටියහ.

බොහිමියන් රැප්සිඩි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 9, 2011

කැප්ටන් ගාසියාගේ අනාගත බලාපොරොත්තුව එයාගෙ රුවල් නැවේ නැඟලා ග්‍රැනඩාව දක්වා ගමන් කරන්න. මඟ දී හමුවෙන දූපත්වල නැවතිලා ගමන් විඩා හරිමින් ඊට ඉතිරි ජීවිත කාලයම ගන්න.

අපි කැරිබියන් මුහුදේ දකුණේ වූ ග්‍රැනඩාව පැත්තට නොගිහින් බටහිර පැත්තට ඇදුනා. දැන් වේගයෙන් රුවල් නැව ගියාට මේ පැත්තේ මුහුද නැගෙහිර පැත්තෙ තියන දූපත් ළඟින් යද්දී වගේ රැල්ල පෙරළන්න හදන්නෙ නැහැ. රුවල් නැව පැත්තකට ඇලවෙලා වතුර උඩින් ඇදිලා යන්නෙ කිසි සද්දයක් නැතුව. කැප්ටන් ගාසියා එයාගෙ අයිපොඩ් සංගීතය දාලා මුළු නැවටම ඇහෙන්න. කුවීන්ස්ලා කියන බොහිමියන් රැප්සිඩි ඇහෙද්දී මට මගෙ දුවයි එයාගෙ යෙහෙළියයි දවසක් ගමනක් යද්දී පැය ගාණක් නොනවත්වාම ඒක ගයපු හැටි මතක් වුනා.

මතක ද ඩැනියෙල් ක්‍රෙග් වතුරේ හිටගන්නවා කැසිනෝ රොයාල් චිත්‍රපටියේ ජේම්ස් බොන්ඩ් හැටියට? අන්න එතැන වගේ තමා පුවෙර්තො රිකෝ දූපතේ දකුණු වෙරළ හැතැප්ම ගණනාවක් එක දිගටම. මේ පින්තූරය අපි නැවතිච්ච පොන්සෙ හිල්ටන් කැසිනෝ හෝටලේ අමුත්තන්ට දෙන සඟරාවකින්. මගේ සුද්දත් තරුණ කාලේ ඔය වගේමයි පෙනුම!!!!

අපි පොන්සෙ නගරයට යද්දී වේදිකා එහෙම ගහන හැටි දැක්කා සතියක් පුරා පවත්වන පොන්සෙ කානිවල් එකට. කොරොස්ම කාලය (lent) නොහොත් ක්‍රිස්තියානි අය යමක් අත්හැර දාලා (හාමතේ ඉඳලා පව් කමාකරගන්න) දවස් 40 පටන් ගන්න කළින් අන්තිමට පවත්වන උත්සවය. ඊයේ තමා Fat Tuesday අවසන් වුනේ.

පුවෙර්තො රිකෝ කතෝලික ඇදහිල්ල පොඩ්ඩක් වෙනස්. හැබැයි රෝමානු කතෝලික සංස්ථාව ඒක ‍එහෙමයි කියලා පිළිගන්න කැමති නැතිලු. මෙහෙට බලහත්කාරයෙන් ඇදගෙන ආවනෙ අප්‍රිකාවෙන් කළු අයව. ඉතින් එයාලා ආවට, එයාලව කතෝලික ආගමට හැරෙව්වට, ඒ අය හොරෙන් තම ඇදහීම් කරගෙන යෑම නවත්වලා නැහැ. ඒකට හරියන්න මේ අයගේ ඇදහිලි වලට දූපත්වාසී ස්වදේශී ඇමෙරිකානුවන් ද පිළිපැද්ද චාරිත්‍ර වාරිත්‍ර එකතු වෙනවා.

හරියට ලංකාවේ පන්සල් යන ගමන් කෝවිලටයි, යක් ඇදුරාටයි, නැකැත හදා ගන්නටයි සේරම යනවා වගේ.

Santería නමින් හැඳින්වෙන ඇදහිල්ල අප්‍රිකාවේ යොරූබා වෙතින් ආපු එකක්ලු. කියුබාවේ කතෝලික අයත් මේක විශ්වාස කරනවාලු. Orishas වගේ අප්‍රිකානු දෙයියෝ, හෙනට අධිපති Chango, ගින්න, යකඩ හා යුද්ධයට අධිපති Ogun වගේ අයව සෙන්ට් පීටර් හා සෙන්ට් ජේම්ස් වගේ සාන්තුවරයෝ එක්ක එක පේළියට වන්දනා කරන්න ජනතාව පුරුදු වෙලාලු. දෙයියො වැඩිවෙන කොට ආරක්ෂාව වැඩි නිසා වෙන්නැති.

රෝමානු කතෝලික දහමෙන් ආපු අදහසක ලෝකෙ ඉන්න වැඩි පිරිසක් අදත් එල්ලීගෙන ඉන්නවා. ඒක තමයි Mea Culpa නොහොත් ‘මගේ වරැද්ද’ කියන සංකල්පය. ජීවත් වූ පමණින් වැරදි කරනවා කියන ‍’වද්‍යතාවය’ (guilt) පිළිගන්න අය හැමෝම උත්සාහ කරන්නෙ වැරදි නොකර ඉන්න.

පොන්සෙ නගරයේ පැවැත්වෙන කානිවල් එකේ දී caretas වෙස් මූණු (කඩදාසි තලපයෙන් හදපු) දාගත්ත අය දකින්න පුළුවන්. බයවෙන්න අං ගොඩාක් එක්ක, උල් දත් දිගට දිස්වෙන, එළියට නෙරපු බෝල ඇස් එක්ක භාගයක් යක්කු භාගයක් සත්තු හැඩරුව වෙස්මුණු වල දකින්න පුළුවන්. කානිවල් එකේ දී මේවා ඇඳගෙන යන අයට කියන්නෙ වෙහීගැන්ටෙස් (vejigantes) කියල. එයාල වවුලෝ වගේ පාවෙන සැහැල්ලු දිගු ඇඳුම් වලින් සැරසිලා එන්නෙ.

මධ්‍යතන ස්පාඤ්ඤයේ මේ අය සිටි බව කියැවෙනවා. 1605 දී Miguel Cervantes ලියපු ඩොන් කිහූටේ (Don Quixtoe) කතාවේ මේ චරිත ඉන්නවා. සම්ප්‍රදායික පාට කළු, රතු හා කහ පාට වුනාට අද පැස්ටල් පාට හැම එකක්ම පාවිච්චියට අරගන. මේ අය හරක් මුතාශ්‍රය නැත්නම් ‘හුලං බොක්ක’ (vejigas) ලොකු පොල්ලක දාගෙන පාරේ යන එන අයට පොඩි තට්ටුවක් දානවලු. පව් කරන අයට කොරොස්ම කාලයට පල්ලි යන්න මතක් කරන්න. අද හුලං බොක්ක වෙනුවට බැලුම් බෝල හා ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරනවාලු.

පහුගිය දවසක ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ Brock Bastian ඔප්පු කළා වේදනාවකින් අපිට වද්‍යතාවය (guilt) අඩු කරගන්න පුළුවන් බව. ඉතින් අර කතරගම කොකුවල එල්ලිලා යන අය හා බටහිර ලෝකයේ පිටට තලාගන්න අය එහෙම කරාම එයාලට හිතට සහනයක් එන එක මනෝවිද්‍යාත්මක සත්‍යයක්. මාව මහාචාර්ය බැස්ටියන් ඒ පර්යේෂණයට ගත්ත නැති එක පාඩුවක්. ස්වභාවයෙන් ම ඒ හැදියාව තියෙන්නක් ද නැත්නම් විශ්වාසයෙන් උපන්නක් ද කියන එක ගැන පර්යේෂණයේ සාධකයක් වෙනවා මාව ගත්තා නම්!!!

පශ්චාත් අධිරාජ්‍යවාදී වද්‍යතාවය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 8, 2011

නෑ නෑ සංචාරක සටහන් අතහැරලා ගිහින් නැහැ තාම!!

පුවෙර්තො රීකෝ හා ඇමෙරිකාවේ දේශපාලන සබඳතා වලින් වැඩි ලාභ ලබන්නෙ පුවෙර්තො රීකන් වැසියන් ය. මන්ද අද සංචාරක සේවා හැරෙන්නට එහි වෙනත් නිෂ්පාදනයක් නොකෙරෙන නිසා ය. බිලියන ගණනින් සමාජ සුබ සාධන ඔවුන් ලබන්නේ ඇමෙරිකාවෙනි. දූපත් වාසීන් වෙතින් ඇමෙරිකාවේ ෆෙඩරල් ආණ්ඩුවට ආදායම් බදු කපා නොගැනේ.

ඇමෙරිකන් පුරවැසිකම තිබීමේ අගය වැසියෝ මනාව දනිති. ඇමෙරිකාවෙන් වෙන්වීමට වෙහෙසන දේශපාලන පක්ෂයට ලැබෙන්නේ 5% ක චන්ද පමණකි. අද දූපතෙන් අවුත් ඇමෙරිකාවේ පදිංචි වී රැකියා කරන පුවෙර්තො රීක වැසියන් සංඛ්‍යාව මිලියන හතරක් පමණය. එනම් දූපතේ ජීවත්වන මුළු සංඛ්‍යාව හා සමාන වේ.

කතෝලික පූජකවරු සහ මිෂානාරීවරු සමූහයක් එදා ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් පිටුපසින් ආහ. පුවෙර්තො රීකෝ හි Taínos මුල් වැසියන් හා කළු වහල් ජනතාව කතෝලික ආගමට හැරවීම ඔවුන්ගේ අභිප්‍රාය විය. ෆර්ඩිනැන්ඩ් රජු තම මුදලින් ෆ්‍රැන්සිස්කන් ආශ්‍රමයක් හා තවත් පල්ලි ඉදි කරන්නට මුදල් පරිත්‍යාග කළේය. අළුතින් අල්ලා ගත් නව දේශයන්හි ඉඩම් තෑගි ලැබූ ප්‍රභූන් වෙතින් එවැනිම වූ පරිත්‍යාග රජතුමා බලාපොරොත්තු වූයේය.

ඔවුන්ගේ පරිත්‍යාතග වලින් කතෝලික පාසැල් ඉදිකර දිවයිනේ දරුවන්ට කියවන්නට, ලියන්නට, ගණන් කරන්නට ඉගැන්වූහ. ක්‍රිස්තියානි සොහොන් බිම් ගොඩ නැඟූහ. දිවයිනේ දෙමාපියන්ට තම දරුවන්ට පාසැල් යන්නට ඇඳුම් අරන් දෙන්නට වත්කමක් නැති බව දැනගත් ෆර්ඩිනැන්ඩ් රජු ස්පාඤ්ඤ රජුගෙන් වස්ත්‍ර සඳහා මුදල් ලබා දුන්නේ ය.

පුවෙර්තො රීකෝ දූපත ඇමෙරිකාව යටතට ගද්දී එහි 1/3 ක් ජනතාව මුලාටෝ නොහොත් කළු-සුදු මිශ්‍ර අය හා කළු වහල් සම්භවයෙන් ආ වූ අතර, ඔවුන් මුදල් හෝ ඉඩම් නැති ඉතා දුප්පත් අය වූහ. ජනගහණයෙන් 12% ක් පමණි ලියන්නට කියවන්නට දත්තේ. 8% ක් පමණි පාසැල් ගියේ. ස්පාඤ්ඤ ඉඩම් හිමි රදළයෝ දූපතේ 2/3 ක් අයිති කරගෙන සිටි ජනගහණයෙන් 2% ක් පමණ අතලොස්සකි.

කුලෙබ්‍රා දූපතෙහි සිට ආපසු එද්දී අප ආවේ Vieques (ව යන්න උච්චාරණය බ හැටියට) දූපත පසු කරමිනි. එය නිව් යෝර්ක් හි මෑන්හැටන් දූපත මෙන් දෙගුණයක ප්‍රමාණයකි. මෑන්හැටන් දූපතේ මිලියන එකහමාරකට වඩා ජනතාවක් ජීවත් වෙති. බියේකේස් දූපතේ ඉන්නේ දහදාහකි. ඔවුනට පොල් ගස් වලින් ආවරණය වූ සුදු වැලි වෙරළවල් 40 ක් සතුය. ඒ පැත්තෙන් රුවල් නැව යද්දී හරියට කොරෝනා දැන්වීමක දූපතක් සිහි කරවයි!

බෝවා නමින් කැප්ටන් ගාසියා අපට හඳුන්වා දුන් මුහුදු පක්ෂියා තමන්ගෙ ඡායාව දකිද්දී එය මාළුවෙක් යැයි සිතා මුහුදට පැන තම සෙවනැල්ල අල්ලන්නට තැත් කරනා හැටි අපි බලා සිටියෙමු. කට කතාවට කෙනෙක් බෝවා වගේ යැයි කියන්නේ ඒ වගෙ වැඩ කරන අයටලු!

බියේකේස් දූපතේ මදුරු බොක්කට ඇදෙන සංචාරකයෝ වැඩියෙන් මුහුදු වතුරට බහින්නේ රාත්‍රී කාලයේය. එය Phosphorescent Bay යනුවෙන් ද හැඳින්වේ. ස්වභාවික අරුමයක් වන මෙහි බෝට්ටුවක් ගිය මාර්ගය වතුරේ දිලිසෙයි. අතක් දමා වතුරේ දීප්තිමත් ආලෝකයකින් රටා ඇඳිය හැකිය. පිහිනන අය වටා දිළිසෙන නිවි නිවී පත්තු වෙන ආලෝක දිස්වෙයි. අතෙන් ගලා යන වතුර හරියට බැබළෙන කළාමැඳිරියන් පිරිසක් අත හැරියා වැනි ය.

මේ ස්වභාව ධර්මය අපූරුව කරන්නේ මිලියන ගණනින් එහි වාසය කරන ඇසට නොපෙනෙන තරම් කුඩා වූ dinoflagellates (pyrodunium bahamanese) නම් වූ ජීවින් ය. උන් ඉන්නා වතුරට බලපෑමක් සිද්ධ වූ කල උන් ලුසිෆරින් නැමති රසායනය නිකුත් කරති. එය ඔක්සිජන් හා ක්‍රියාකාර වී ලයිට් පත්තු කරති!

ස්පාඤ්ඤ ආක්‍රමණිකයෝ බියේකේස් දූපත රත්තරන් නැති නිසා වැඩකට නැති දූපත් las islas inútiles යැයි හඳුන්වා නොසලකා හැර දැමූවකි. එය ප්‍රංශ හා බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් අතටත් පසුව පුවෙර්තෝ රීකෝව එය 1854 දී තම අයිතියට පත්කර ගත්හ.

අමෙරිකන් හමුදා එහි අක්කර 26,000 ක් (හෙක්ටයාර් 10,522) 1941 දී තම නාවුක හමුදාව පුහුණු කිරීමටත් යුධ අවි පත්තු කර බලන පර්යේෂණ පැවැත්වීම සඳහා අයිති කරගත්හ. මෙය දූපත් වාසී ඉල්ලීම නිසා වසන ලද්දේ 2003 තරම් මෑතක දී ය.

සීනි හා අන්නාසි වගා භූමිවල සුන්බුන් අද එහි දකින්නට ඇත්තේ ඉහත කාලයක සරු කෘෂිකාර්මික ආර්ථිකය හුවා දක්වමිනි. බියේකේස් වැසියෝ අද මත්ද්‍රව්‍යයට මහත් සේ ඇබ්බැහි වී සිටිති. එහි රැකියා විරහිත පිරිස පුවෙර්තෝ රිකෝහි වැඩිම සංඛ්‍යාව යැයි කැප්ටන් ගාසියා අප හා කීවේය.

ඔවුන් තම දූපතට ඇමෙරිකන් නාවුක හමුදා වලින් සිදු වූ ‘අපහරණය’ සඳහා වන්දි ඉල්ලා නඩුවක් දමා ඇත. ඒ නඩුව සමාදාන කරන්නට එක බියේකේස් වැසියෙක් වෙනුවෙන් ඩොලර් 300,000 ක වන්දියක් ගෙවීමට ඇමෙරිකාව සූදානම් වුවත් ඔව්හු එය බාරගෙන නැත!?! 1992 දී මැක්ඩොනල්ඩ් ‍උණු කෝපි කෝප්පය උකුලට හලාගත් ස්ටෙලා ලීබෙක්ට මිලියන 2.7 ක් දඬුවම් වන්දි ගෙවන්නට ජූරිය කැමැති වූ බව ඔවුනට ඇහුණා වන්නට ඇත!!! නැත්නම් සමහර විට 2010 දී ස්වදේශී ඇමෙරිකානු කෘෂිකාර්මික ජනතාවට (Keepseagle v. Vilsack) ඇමෙරිකන් රජය ගෙවූ මිලියන 680 ක වන්දිය ගැන ඇහුණා විය හැකිය!!!

මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේ කුලල් කා ගන්නා හැටි දකින විට එයත් කුමන අධිරාජ්‍යවාදී බලපෑමක් පිටින් පටවයි දැයි බලා සිටිමි!! තීරශ්චීන විද්‍යාවන්ට තවමත් ගැල් වී සිටින, බඩ ගාමින් මිනිසෙක් තවත් මිනිසෙකුට වැඳ වැටෙන‍, අනුන්ට පහර දීමේ දී නැතිවන්නේ තම නිදහසම ද නොවේ දැයි නොදන්නා, නොදියුණු චින්තනයේ හැදියාව නොවේදැයි හිතන්නට උවමනාවක් නැතියාව විශ්මයක් නොව දුකකි.

එහෙම රටවල් හැර දා ආ අපි අද දියුණුව ලද හැක්කේ එකිනෙකා හා මතවාදීව විරුද්ධ වුවත් මනුෂ්‍ය හිතවාදීව කටයුතු කිරීමෙන් බව පුන පුනා දකිමු. එදා තිබි අධිරාජ්‍යවාදයට බැන වදිනා අයට අද මනුෂ්‍ය හිතවාදය අමතක වී ගොස් ය.

ඉතින් ඇමෙරිකන් ආර්ථිකයේ තමන් කල පව් ගැන පශ්චාත් අධිරාජ්‍යවාදී වද්‍යතාවයක් (post imperialist guilt) තිබූ කලක දී ඔවුන්ව වන්දි ගෙවන්නට පොළඹවා ගන්නට ඉඩ තිබුණත්, අධිරාජ්‍යවාදයට හසු වූ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් වැඩි අද ඇමෙරිකාවේ එවැනි වද්‍යතාවයක් ඇති වෙන්නට ඉඩක් නැත. මන්ද අපි අපේ ඈයෝ තනිවම නටනා රඟ දන්නා නිසාය.

කැප්ටන් ගාසියා හා අප බියේකේස් දූපතට ගොඩ වැදුනේ නැත. අපි තවත් එවැනි දිළිසෙන ජීවීන් වසන වෙරළක් බලා ගියෙමු. තමන් විසින් උත්සාහයක් නොගෙන අනුන් ගෙන් යැපෙන්නට පමණක් බලාගෙන ඉන්නා අයට මතක් නොවන්නේ ඔවුන් නැති වුවාට ලෝකය නවතින්නේ නැති බවයි.

අපි රාත්‍රිය ගෙවන්නට ගල්පර වලින් වට වූ වතුර මට්ටම අඩු තැනකට පිවිසියෙමු. රුවල් නැව් දැනටමත් තැන් අල්ලා ගෙන ය. වතුරේ පාවෙන බෝයාව (buoy) නැමති පතුලට බරක් දමා රඳවා තිබෙන්න අපේ නැංගුරම සේ පාවිච්චියට ගත්තෙමු. නැව් නවත්වා ඇති තැන්වලට ළඟා වෙද්දී වේගය අනුමත සීමාවෙන් නැව රැගෙන යා යුතුය. සුදුසු වේගයට වඩා වැඩියෙන් යන අය අශීලාචාර සේ පමණක් සිතති. ඊට දඬුවම් දෙන්නට හෝ අනිසි වේගයට ටිකට් කඩන්නට කවුරුත් නැත. එහෙත් සැවොම එක සේ නීතිය පිළිපදිති. මම අහවලා නිසා මම හයියෙන් ගියාට කමක් නැහැයි හැසිරීම් දකිනු නැත.

අප වටා වූයේ ප්‍රංශ කොඩි දමාගත් නැව් හතරකි. ඔවුන් එකිනෙකා හඳුනන අය බව දකින්නට වැඩි කාලයක් නොගියේය. ඩිංගියට නැඟි අයෙක් තවත් රුවල් නැවකට ගොඩවෙයි. ඉන් ඩිංගියට ගොඩවෙන දෙදෙනා තවත් රුවල් නැවක් කරා යති. රෑ පුරා ඔවුන් ඩිංගි වලින් එකිනෙකා හමුවන්නට එහා මෙහා ගියෝය. අපි ඒ කුඩා වරාය ප්‍රංශ කෙළවර (french corner) යයි නම් කළෙමු.

විස්මිත මිනිසත් බව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 2, 2011


පැය හතරක දී අපි සීතල පරිසර‍යෙන් පියාඹා ගොස් උණුසුම් දේශගුණයකට පා තැබුවෙමු.

පුවෙර්තො රීකෝ භූමියේ ගුවන් යානයේ රෝද වැදෙද්දී ඇතුලත සිටි පුවෙර්තො රීකන් මඟීන් හා එකතුව අත්පුඩි ගහන්නට අපි ද එකතු වුනෙමු. එසේ අත්පුඩි ගැසීම නන් දෙස සැරිසරා ආපසු තම උපන් බිමට එන පුවෙර්තො රීකන් ජනයාගේ චාරිත්‍රයකි.

කොතරම් ගුවනින් ගමන් ගියත් ගුවන් යානාවකින් බසින හැම අවස්ථාවක දී ම පියාඹා යන්නට මඟ පාදා ගත් මිනිසාගේ හපන්කම ගැන මට දැඩි ආඩම්බරයක් දැනේ.

තද සුළඟින් පිරි දූපතක් මෙන් ම ආර්ද්‍රතාවයෙන් ද අඩු නිසා ඉහින් කනින් දහදිය වැගිරීම සිදු නොවීය.

අපි කුලියට ගත් වාහනයේ අධිවේගී මාර්ගය සඳහා මුදල් ඉබේ කැපෙන ස්ටිකරයක් අලවා ඇතැයි කුලියට දුන් ආයතනය කීහ. එවැනි බාධක ඇති තැන් වලින් auto expreso ලේන් එකෙන් යද්දී අපිට කොළ ලයිට් ‍නොවැටීම නිසා පසු පසින් ආ මඟීන් හෝන් ගැසූහ. ආපසු වාහනය බාර දෙන්නට ගිය විට ඒ ස්ටිකරය වාහනයේ අලවා නොතිබුණු බව දැනගන්නට ලැබිණ. ස්ටිකරය අලවන්නට අතපසු වීමේ වගකීම ඔවුන් බාරගත්හ.

සියළු මාර්ග සංඥා ස්පාඤ්ඤ බසෙනි. මාර්ගයේ දුර සමහර විට කිලෝ මීටර් වලින් ද, සමහර විට සැතපුම් වලින් ද සටහන් ය. වේග සීමා සඳහන් පුවරු කොයි මිනුමෙන් දැයි දන්නේ දන්නෝ පමණි!!!

වසර 250 කට වඩා කාලයක් මහන්සි වී ඉදි කරන ලද පවුරු බලකොටු ස්පාඤ්ඤ ආක්‍රමණිකයන්ගේ හුරුව නොමැකී යන සේ අද දිනයේ ද දකිනු හැකිය. ඔව්, ඒ පවුරු බැන්ඳේ අප්‍රිකාවෙන් පැහැර ගෙන ආ වහල් ජනතාව විසින් ය. පුවෙර්තො රීකෝ හි වහල් සේවය තහනම් කරන ලද්දේ 1873 දී ය.

අද දිනයේ වැඩියෙන් ම එහි ඉන්නේ ස්පාඤ්ඤ උරුමයෙන් යුතු අයයි. ඊ ළඟට කළු ඇමෙරිකානුවන් 7% ක් පමණ හා ඉන්දියාවෙන් ආ අය මෙන් ම චීන්නු ද දැකිය හැකිය. ස්වදේශී ඇමෙරිකානුවන් ඉන්නේ 0.2% පමණි.

රෝමානු කතෝලිකයන් වැඩි පිරිසක් ද, ‍වෙනත් ක්‍රිස්තියානි ආගම් අදහන අය ද අතරේ මුස්ලිම් පල්ලියක් ද දකින්නට ලැබුණි. මහායාන බුද්ධාගම අදහන සුළු පිරිසක් ද සිටිති.

දූපතේ ඇති එළවළු හා පළතුරු ඓන්ද්‍රීය පැළ තවාන කරගෙන යන්නේ සාධු ගෝවර්ධන නමින් පෙනී සිටින සුද්දෙකි. ලංකාවේ වැවෙන හැම පළතුරක් ම හා හැම එළවළුවක් ම පුවෙර්තො රීකෝ හි ද වවනු හැකි බව මේ සුද්දාගෙ වෙබ් අඩවියට ගියාම දකින්නට පුළුවන.

තායිලන්තයෙන් ගෙනැවිත් මෑතක දී හඳුන්වා දුන් රඹුටන් පුවෙර්තො රීකෝ පසෙහි සරු ලෙසින් වැවී ඇත. රඹුටන් වගාව කරන්නා මේ පැතිවල දූපත් වලින් එන ඉල්ලුමට සරිලන සේ සැපයුමක් දෙන්නට වගාව තවම පැතිරී නැතැයි කියයි.

නිතර හමන තද සුළං නිසා සුළඟට ඔරොත්තු දිය හැකි වූ වගාවන් දූපතට සීමා වේ.

දූපතේ වූ ප්‍රධාන නගරයේ අවන්හලක හෝ දූපතේ මං මාවත් අසල ඇති කඩ ලෑල්ලක විකුණන්නේ මෙක්සිකෝවෙන් හා වෙනත් කැරිබියන් දූපත් වලින් ගෙනැවිත් පුවෙර්තො රීකෝ හි ටින් කරන ලද පළතුරු යුෂ ය. සීතල කරන ලද කුරුම්බාවක් (coco frio) පානයට මිල දී ගත හැකිය.

කෙසෙල්, දෙල්, පොල්, මඤ්ඤොක්කා හා අන්නාසි වගා භූමි දැක්කේ ඉතා අඩුවෙනි. මේ අවාරය දැයි මා සැක කළෙමි. රඹුටන්, මැංගුස් ටින් හා අඹ අවාරය වූවාට ගස්ලබු, පැෂන් ෆෲට් (පාර්චා) ඇතුළු වසර පුරා ඉදෙන පළතුරු නැති වීමට හේතුව වෙනකකි.

කුසීත ජනතාවක් රජයෙන් ලැබෙන සුබ සාධන මත ජීවිතය ගෙවන්නට අද පුරුදු වී සිටිති.

දූපතේ ආණ්ඩුවේ සේවකයෝ වැඩි ය. ආණ්ඩුවේ වැඩ කරන්නෝ විසින් රෙගුලාසි බොහොමයක් දැඩි සේ පවත්වා ගෙන යන නිසා සාමාන්‍ය පුද්ගලයෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට කරදර නොවී රැකියා විරහිත හෙයින් තමාට මසකට ලැබෙන ඇමෙරිකන් ඩොලර් 1,800 න් සුව පහසු දිවියක් ගෙවයි. සෙසු ඇමෙරිකාවේ මෙන් නොව පුවෙර්තො රීකෝ හි සෞඛ්‍ය සේවාවන් ද නොමිලේ සැපයේ.

විස්මිත කරවන හැකියාවන් සතු මිනිසා මහා සාගර පරදවා පැමිණ මෙසේ අද දිනයේ අරමුණක් නොමැති වූ කල කොතරම් පරාධීන ජීවිත ගෙවනවා දැයි මට සිතුණි.

මේ ගමනේ දී පෙරළෙන රැළි මතින් යන්නට සමත් මිනිසා ගැන ද මහත් ආඩම්බරයක් සිතට දැනුණි. තව තොරතුරු ඉදිරියට. තවමත් රුවල් නැව පැද්දෙන තාලයට මිස ගොඩබිමට මොළය හුරු වී නැත!!!

රත්තරන් සොයා යමි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 20, 2011

readytogo



දූපතක් සොයා ගත්තෙමි. සොයන්නට උදව් දුන් හැමට තුති. එවන ලද යෝජනා අතරෙන් ඉබිසා වැඩියෙන්ම හිත ගිය දූපතයි. ඒත් මේ දවස්වල ගිහින් වැඩක් නෑනේ හීතල නිසා!!

‘ධනවත් වරාය’ නොහොත් ‘හොඳ වරාය’ නමින් හැඳින්වෙන පුවෙර්තො රිකෝ දූපතට මමත් මගෙ සුද්දාත් යන්නෙමු. මෙය ඇමෙරිකාවේ දූපතක් වුවත් එය ඇමෙරිකන් ප්‍රාන්තයක් නොවේ. එය ස්පාඤ්ඤ ඇමෙරිකානු යුද්ධය අවසන් කරමින් පැරිස් ගිවිසුම මඟින් ඇමෙරිකාවට ලැබී ඇත්තේ 1898 දී ය.

පොන්සෙ ද ලියොන් නැමැත්තා ස්පාඤ්ඤයේ උපන්නෙකි. ක්‍රිස්ටෝෆර් කොලොම්බස් 1493 දී දෙවන වතාවට ‘ඇමෙරිකාව’ බලා එද්දී පොන්සෙ ද ලියොන් ඔහු හා නැව් ගත්තේ ය. අද හයිතිය හා ‍ඩොමිනිකන් ජනරජය පිහිටන එදා හිස්පැනියෝලා නම් වූ දේශයේ ස්පාඤ්ඤ සොල්දාදුවෙක් සේ පොන්සෙ ද ලියොන් සේවය කරන ලදි.

1508 දී පුවෙර්තො රිකෝ දූපතේ සැරිසරා එහි රත්තරන් ඇති බව ඔහු සොයා ගත්තේය. ඔහු එහි ආණ්ඩුකාරයා ලෙසට පත්වීය. හොඳ ආණ්ඩුකාරයෙක් සේ සැලකුණ ද ඔහුව විරුද්ධ පක්ෂය විසින් 1512 දී නෙරපා හරින ලදි.

අරගොන් ඔටුන්න හිමි දෙවැනි ෆර්ඩිනැන්ඩ් රජුගෙන් බහාමාස් හි බිමිනි දුපත ස්පාඤ්ඤ යටත් විජිතයක් කරගන්නට ඔහුට අවසර ලැබුණි. බිමිනි හොයා යන ගමනේ දී ඔහු ෆ්ලොරීඩාවේ ඊසාන දිග වෙරළට ගොඩ බැස්සේ ය.

ස්පාඤ්ඤකාරයොන්ට ඒ දවස්වල ගෝලීය පිහිටීම් පද්ධතියක් (GPS) තිබුන නම් ඉතිහාසය වෙනස් ව කියැවෙයි ද?!!

1513 වසන්තයේ දී පොන්සෙ එය දූපතක් යැයි සිතා ‘ලා ෆ්ලොරිඩා’ යයි නම් කළේය. ඒ පාස්කු සමයේ මල් (Pascua Florida = Flowery Easter) පිපී තිබි කාලයයි. ස්පාඤ්ඤය වෙනුවෙන් උතුරු අමෙරිකාවේ තැනක් අල්ලා ගත් ප්‍රථම ගවේෂකයා පොන්සෙ ද ලියොන් වන්නේ ය.

1514 දී ඔහු ආපහු ස්පාඤ්ඤයට ගියේ රත්තරන් පේසෝ පන්දාහක් රැගෙන ය. ෆර්ඩිනැන්ඩ් රජු ඔහුව ආපසු පුවෙර්තො රිකෝ වෙත හරවා එවීය.

අවවාදයි! රජෙකුට කවදාවත් රත්තරනින් තෑගි ගෙනියන්න එපා!!!

බිමිනි හා ෆ්ලොරිඩා (තවමත් ඔවුන් ඒ දෙකම දූපත් යැයි සිතන නිසා) යටත් විජිත කරන්නට ඔහුට අණ ලැබුණි. පුවෙර්තෝ රිකෝ හි ඔහු සැන් හුවාන් නගරය ඉදි කරන්නට අණ දුන්නේ ය. අද එය එහි අගනුවර වෙයි.

1521 දී පොන්සෙ මිනිසුන් 200 ක් හා යටත් විජිතයක් ආරම්භ කරන්නට අවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන ෆ්ලොරිඩා බලා නැව් නැඟ්ගේය. කළුසා ස්වදේශී ඇමෙරිකානුවන් විදින ලද විෂ ඊතලයක් කළලයේ වැදී ඔහුව කියුබාවට ගෙන යන ලදි. 1521 ජුනි මාසයේ දී ඔහු කියුබාවේ හවානා නගරයේ දී මිය ගියේය.

කාසා බ්ලාන්කා (ඔරිජිනල් වයිට් හවුස්!) පොන්සෙ වෙනුවෙන් ඉදි කරන ලද නිවහනයි. එහෙත් ඔහු එහි වාසය නොකළේය. එය ඉදි වූ ඉඩම ඔහුට ප්‍රදානය කරන ලද්දේ ස්පාඤ්ඤ රාජ්‍යයට ලබා දුන් සේවය පිණිසයි. අද කාසා බ්ලාන්කා පොන්සෙ වෙනුවෙන් වූ කෞතුකාගාරයකි.

නමුත් කාසා බ්ලාන්කා යනවාට වඩා වැඩි පිරිසක් ගොඩ වැදෙන්නේ කාසා බකාර්ඩි වෙතට ය. රම් දේවස්ථානය යැයි හැඳින්වෙන මෙය කියුබාවට ගොඩ වැදුනා හා සමාන යයි සංචාරක පොත් පෙන්වති. 1862 දී දොන් ෆකුන්ඩෝ බකාර්ඩි මාසෝ විසින් සැන්තියාගෝ ද කියුබාවේ ආරම්භ කරන ලද බකාර්ඩි රම් නිෂ්පාදනය අද ඇමෙරිකාවේ රම් වෙළඳපොලෙන් 75% ක් අයිති කරගෙන සිටියි. කියුබාවෙන් පුවෙර්තො රිකෝ වෙත බකාර්ඩි රම් ඉස්කාගාරය (ඩිස්ටිලරිය) ගෙනාවේ 1958 දී ය. 1960 දී කියුබාව ෆි‍ඩෙල් කැස්ත්‍රො යටතට පත් වී කියුබානු වැසියන් සතු සියළු පුද්ගලික දේපල හා ව්‍යාපාර රාජ සන්තක වූ කල බකාර්ඩි රම් ලෝකයට ඉතිරි වූයේ පුවෙර්තෝ රිකෝ තිබි ඉස්කාගාරය නිසාය.

‘දකුණේ මුතු ඇටය’ නම් වූ විරුදාවලිය ලත් පොන්සෙ නගරය පුවෙර්තො රිකෝ දූපතෙහි අගනුවර වන සැන් හුවාන් වෙතින් සැතපුම් 75 (කිලොමීටර් 121) ඇති කුඩා නගරයකි. එය අද කැරිබියානු මුහුදේ ඇති පුවෙර්තො රිකෝ දූපතේ ප්‍රධානතම නැව් වරාය වෙයි.

අපි යන්නේ සංචාරකයෝ වැඩිය නොයන පැතිවලට ය. සියඹලා මුහුදු වෙරළ වැනි කවුරුත් නොදන්නා තැන් සොයා ය. පොන්සෙ ද ලියොන් සෙවූ රත්තරන් සෙවීම කෙසේ වෙතත් රත්තරන් වටින අත්දැකීමක් සොයා ගන්නට හැකිවන්නේ එවිට ය.

චේජනාගෙ පිටුවේ ප්‍රතිචාරයක් දාලා Dee දීපු (දිරච්ච ලණුවක් නම් නෙවේ) ‘මාව අල්ලන්න එපා’ නිදි කරවන්නත් පුළුවන් වෙයි!! Dee ඔත්තුව දුන්නාට ස්තූතියි.

මාරයා මල්ලීට කියුබන් සුරුට්ටුවක් ගන්නත් පුළුවන්!

මමයි මගෙ සුද්දයි රෑ දවල් ගෙවන්නට හිතාගෙන ඉන්නේ රුවල් නැවක. ‍ඒ පැත්තෙ කොණක් බර්මියුඩා ත්‍රිකෝණයටත් අයිතියි. ඉතින් අභූත බලවේගයකට අහුවෙලා අතුරුදහන් නොවුනොත්, පහුගිය දවස්වල ‍ෆිඩෙල් ගැන මතක් කරපු දෑ නිසා කියුබාවටම රුවල් නැව පාවෙලා නොගියොත්, පස්වැනි “කැරීබියන් මුහුදුකොල්ලකරුවෝ” රූගත කරමින් ඉන්න ජොනී ඩෙප් දැකලා මුහුදට පැන්නෙ නැත්නම්, ආවට පස්සෙ පින්තූර ටිකක් දාන්නම්.


මේ පින්තූරය Google Images වෙතින්

ඇමෙරිකාව

Posted in by arunishapiro on සැප්තැම්බර් 27, 2009

බරක් ඔබාමාට ලැබුණු නොබෙල් තෑග්ග

බටහිරට කත් අදින, එහෙමත් නැත්නම් දක්ෂිණාංශ නැඹුරුවට බර නිසා නෝර්වේ වලින් නොබෙල් සාම තෑග්ග බරක් ඔබාමා‍ට දුන්නා කියල ලංකාවේ අය කියනවා. යුද්ධයක් ඉවර කරපු නිසා මහින්ද රාජපක්ෂට සාම තෑග්ග දෙන්න තිබුණනෙ කියලත් කියනවා. දෙවැනි කතාව ඇත්ත. ඒ දෙන්න ගෙන් නමි සුදුස්සා මහින්ද රාජපක්ෂ තමයි අවිවාදයක් නැතුව. මොකද බරක් ඔබමා තාම කරපු කෙංගෙඩියක් නැති නිසා. හැබැයි අර කලින් ලියපු මතය නම් වැරදි. ඇමෙරිකානු ඉතිහාසයටම එක්වෙන ඉතාමත් වාමාංශික ජනාධිපතිවරයා තමයි බරක් ඔබාමා. ඒක අද ඇමෙරිකාවෙ ඉන්න හැමෝම පිළිගන්න අදහසක්. එයා ඉදිරිපත් කරන අදහස්, කියන කතා, ඉදිරියට ගෙනෙන පුතිපත්ති සේරම බැලුවම වමේ අදහස් තමයි ඒ වල තියෙන්නෙ.  හැබැයි මෙතෙක් කාලයක් කිසිම කෙනෙකුට තමන්ගෙ අදහස් හා පවත්වපු කතා නිසා නොබෙල් තෑග්ග නම් ලැබුනේ නැහැ. ඉතින් බරක් ඔබාමා කළේ මොනවාද කියන එක හැමෝටම පුශ්නයක්. යුරෝපය වාමාංශිකයි කියන අදහස ඇමෙරිකාවෙ අය දරන්නෙ. මොකද සේරම සමාජ සේවා කටයුතු රජයේ බලපෑම යටතේ කෙරෙන නිසා. ඇමෙරිකාවෙත් ඒ වගේම රජයේ බලපෑම අනුව සමාජ සේවා කටයුතු කෙරෙනවාට යුරෝපය කැමති. ඒ වගේම සුපර් පවර් එකක් හැටියට ඇමෙරිකාව තමන්ගේ හිතුමතයට යුද්ධ කරන එකත්, බලවත් බව ලෝකෙට පෙන්නන එකත් යුරෝපයට රුස්සන්නෙ නැහැ. ඔබාමා ඒවට තිත තියන්න හදන නිසා තමයි යුරෝපය ඔබාමාට කැමති. ඇමෙරිකාවෙ අය නමි වොෂිංටන් වල ඉන්න ටික දෙනෙක් ඇරුණාම ඔය තෑග්ග ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ. වැඩි මතය මෙහෙත් එයා සුදුසුස්සා නොවන බවයි.

තේ පාටි සංවිධානය

අද ඇමෙරිකාවේ දහස් ගණන් ජනතාව “තේ පාටි සංවිධානයන්ට” එකතු වෙති. සැප්තැම්බර් 12 වැනිදා වොෂිංටන් නුවරට එක්රැස් වූ ජනතාව මිලියන දෙකක් ලෙසින් ගණන් බලා ඇත. මෑතක දී ඇමෙරිකානුවන් සිය අකැමත්ත ප්‍රකාශ කරන්නට පෙළපාලියක් ලෙසින් රැස්වුනු විශාලතම ජන රැලිය එයයි.

තේ පාටි සංවිධානයේ මූලාරම්භය වූයේ බ්‍ර්තාන්‍යය අධ්රාජ්‍යය විසින් ඇමෙරිකානු යටත් විජිතයට පැන වූ බදු පද්ධතියයි. තමන්ගේ මතය නොවිමසා තමන්ට බදු පැනවීම ගැන එරෙහිව ඇමෙරිකාවෙහි වූ බ්‍ර්තාන්‍යය යටත් වැසියෝ මහා බ්‍ර්තාන්‍යයට එරෙහිව කැරළි ගැසූහ. තේ කොළයටත් බද්දක් පැනවීම නිසා බොස්ටන් නුවර 1773 දී ස්වදේශී ඇමෙරිකානුවන් ලෙසින් වෙස් ගත් බොස්ටන් නුවර වැසියෝ වරායේ වූ තේ ගබඩා කළ නැවි වලට පැන තේ පෙට්ටි මුහුදට විසි කළහ. බ්‍ර්තාන්‍යය ලංකාවට ගෙනා තේ ඒ අතර තිබූ බව සඳහන්ය. අදත් ඇමෙරිකාවෙහි තේ පානයට වඩා කෝපි පානයට ඔවුන් අතර වැඩි කැමැත්තක් ඇත්තේ මෙම සිද්ධිය හේතු කරගෙන බව සමහර අයගේ මතයයි.

පසුගිය කාල වකවානුව තුළ ඇමෙරිකානු රජය විසින් ජනතාවගේ කැමැත්ත අකැමත්ත විභාගයට නොගෙන හිතුමතයේ බදු පනවා රජය විසින් නොයෙකුත් සේවාවන් ජාතික කිරීමට ගන්නා උත්සාහයට හා රජයේ මහා පරිමාණ වර්ධනය හා රජයේ වැය ඉතා ඉහළට යෑම විරුද්ධව නැඟ එන මෙම තේ පාටි සංවිධානයේ ප්‍රධානියෙක් නැත. ඔවුන් පක්ෂ දේශපාලනයක නොයෙදෙති. ප්‍රාන්ත මට්ටමින් ගොඩනැඟී ඇති මෙම තේ පාටි ව්‍යාපාරයට දිනෙන් දින එක්වන සංඛ්‍යාව මහත්ය. ඔවුන්ගේ දැනට ඇති එකම අරමුණ රජය ජනතා‍වගේ හඬ අහන්නට නම්වා ගැනීම පමණකි.

ඇමෙරිකන් ඉතිහාසය නොදන්නා අය වෙත

නව ලෝකය සොයා ගිය ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස් නොදන්නාකමට ඇමෙරිකානුවන්ට “රතු ඉන්දියානුවන්” යයි කීවේ තමා පැමිණියේ ලෝකය වටා ගොස් ඉන්දියාවට යයි සිතා ගෙනය.

බ්‍ර්තාන්‍යය හා ප්‍රංශය ඇමෙරිකාව අල්ලා ගැනීමට යුද්ධ කළේ “රතු ඉන්දියානුවන්” හා එකතුව වුවත් ඒ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් නොව තමන්ට රට අල්ලා ගැනීමටය. මේ කාලයේ ඇමෙරිකානුවන් කියා කොටසක් නොවීය.

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට යටත් වූ ඇමෙරිකාවට අප්‍රිකාවෙන් වහළුන් ගෙනෙන ලද්දේ ඉංග්‍රීසිකාරයා මිස ඇමෙරිකන්කාරයා නොවෙයි.

ඇමෙරිකන්කාරයා අප්‍රිකාවෙන් වහළුන් ගෙන ඒම නීතියෙන් නතර කළ ප්‍රථම රට වෙද්දී එකළ බ්‍ර්තාන්‍යය හා ප්‍රංශය තවමත් අප්‍රිකාවෙන් වහළුන් අල්ලා ගෙන යෑම කළහ.

අද ඇමෙරිකාවේ “ස්වදේශී ඇමෙරිකානුවන්ට” ඔවුන් උපන් භූමිය අයිතිය. බලපත්‍ර නොමැතිව නිදහසේ දඩයමට, මසුන් මැරීමට, බදු නොගෙවා ඉන්නට, සූදු කෙළියේ ආදායම් ලබන්නට, නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට යනාදී අනිකුත් ඇමෙරිකානුවන්ට නැති සහන රැසකි.

ලංකාවට හෝ ඉන්දියාවට කළින් ත්‍රස්තවාදී කොටි තහනම් කළේ ඇමෙරිකාවයි.

සුනාමියෙන් බැට කෑ ලංකාවට ආධාර දෙන්නට ලංකාව කොහෝදැයිවත් නොදන්නා ඇමෙරිකානුවෝ ඉදිරිපත් වූහ. එහෙත් 9/11 විපැත්තියේ දී ලංකාවෙන් නමි කිසිම කෙනෙක් ඇමෙරිකාවට උදවි කරන්නට තියා අනේ අපොයි කියන්නට වත් ඉදිරිපත් වුනේ නැත.

ඇමෙරිකාවට බනින කෙනෙක් සිටී නම් ඔහු හෝ ඇය දුරකතන, සෙල් ‍ෙෆාන්, රූපවාහිනිය, පෝලියෝ වැනි එන්නත් හා අන්තර්ජාලය භාවිතයෙන් වැළකිය යුතුය. මන්ද ඒ සියල්ල ලොවට දායාද කළේ ඇමෙරිකාව නිසාය.

ඇමෙරිකාවට බැනීම ස්ටයිල් එකක් වුනේ අද ඊයේ නොවේ. පිටරට ඉන්නා අය පමණක් ද නොවේ. තමන්ගේ රටේ ඉන්න බයට ඇමෙරිකාවට හොරෙන් ඇතුල් වී මෙහි ඇති මානව අයිතිවාසිකම් වලින් සුවසෙත සලසා ගෙන තම තමන්ගේ ආර්ථිකය දියුණු කරගෙන ඇමෙරිකාවට දොස් කියන්නේ ප්‍රසිද්ධියේමය. ඒ හැම දෙයකටම නිදහසක් ඉතිහසායේ පටන් සලසා දී ඇති  ලෝකයේ එකම රට ඇමෙරිකාවයි.

මතක තියාගන්න, ද ඇලමෝ

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 15, 2016

IMG_4593

1718 දී එංගලන්තය ස්පාඤ්ඤයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළහ. ප්‍රංශය ඇමෙරිකාවේ නිව් ඕර්ලීන්ස් නමින් දේශයක් පිහිටුවන ලදි. සැන් පේඩ්‍රෝ දිය උල්පත් අසල සැන් ඇන්ටෝනියෝ ඩ වෙලේරෝ නමින් මිෂනාරියක් ස්පාඤ්ඤයන් ඉදි කළහ.

ස්පාඤ්ඤයන් මිෂනාරි හැදුවේ මේ ප්‍රත්‍යන්ත දේශයන්හි ස්වදේශීන්ව කතෝලික ආගමට හරවා, යුරෝපීය කුඩා කර්මාන්ත දැනුම ලබා දී, සිය අධිරාජ්‍යයේ පුරවැසියන් කරවන්නටයි. ස්වාධීන වූ මිෂනාරියට පල්ලියක්, ධාන්‍යාගාරයක්, වාසස්ථාන කුටි, කම්හල්, වගාබිම් හා තණබිම් අඩංගු විය.

අද ඇලමෝ පවතින තැනට, ටිකක් ඈතක පිහිටුවන ලද ෆ්‍රැන්සිස්කන් නිකායේ සැන් ඇන්ටෝනියෝ ඩ වැලේරෝ නම් මිෂනාරිය 1724 දී ගෙනෙන ලදි. කුටි, කාර්යාල, මුළුතැන්ගෙය හා ආහාර ගන්නා ශාලාව 1724 දී නිම විය.

1744 දී පළාතේ හුණුගල් වලින් එහි පළමු පල්ලිය නිර්මාණය විය. ඒත් එය හරියට හැදුවේ නැති බැවින් 1756 වෙද්දී මුළුමනින්ම කැඩී බිඳී ගියේය.

1778 දී ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ ආර්ථිකය දුර්වල වීමත් සමඟ ටෙක්සාස් පැත්තේ හංවඩු නොගැසූ ගවයන් සියල්ල ස්පාඤ්ඤ ඔටුන්නට අයිති බවට ප්‍රකාශයක් නිකුත් කෙරිණ. එසේම ගවයන් ගාල් කරද්දී, විකුණද්දී හා මස් පිණිස ගනිද්දී හරක් බද්දක් ස්පාඤ්ඤ රජයට ගෙවිය යුතු යැයි නීතියක් ස්ථාපිත විය. හරකාබාන වස්තුව ලෙස සැලකූ මිෂනාරි වලට හරක් බද්ද නිසා ගව නඩත්තුව දරාගත නොහැකි වැයක් බවට පත් විය. සුබසිද්ධිය සහ ආරක්ෂාව සපයනවා කියූ ආණ්ඩුවට ඒ දෙකම කරන්නට නොහැකි බව පෙන්වන ලදි.

හතුරු ගෝත්‍රික කණ්ඩායම් වලින් ජීවිතාරක්ෂාව සොයා පැමිණි පයායා ස්වදේශීන් ඇලමෝ වටා කූඩාරම් බැඳගෙන ජීවත් වූහ. ඔවුන්ගේ ජනගහණය කළින් කලට අඩු වැඩි වෙමින් පැවතිණ. 1739 දී කතෝලික ආගම වැළඳගත් ස්වදේශීන් 300 ක් සිටිය ද 1793 දී ස්පාඤ්ඤයන් මිෂනාරිය වසා දමද්දී ඒ අවට සිටියේ ස්වදේශීන් 57 කි. ඔවුන් අතර ඇලමෝ හි ඉඩම් කොටස් හැටියට බෙදා හැරිණ.

මිෂනාරිය වැසී යාමත් සමඟ ස්පාඤ්ඤයන් ඇලමෝ ගොඩනැඟිල්ල හමුදා බැරැක්කයක් හැටියටත්, රෝහලක් හා බලකොටුවක් හැටියටත් යොදා ගන්නා ලදහ. ස්පාඤ්ඤ ටෙක්සාස් හි ප්‍රථම රෝහල හැටියට 1805 දී ඇලමෝ යොදා ගැනෙයි. ඒ ප්‍රත්‍යන්ත දේශයේ ස්පාඤ්ඤ සොල්දාදුවන්ට වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙනි.

ස්පාඤ්ඥ අධිරාජ්‍යයෙන් නිදහස් වී මෙක්සිකෝ රට ස්වාධීන වෙන්නේ 1821 දී. ඔවුන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඇති ජනරජයක් පිහිටුවා ගත්හ. එහි ජනාධිපති වනුයේ ඇන්ටෝනියෝ ලෝපෙස් ඩ සැන්ටා ඇනා නමැති ඇමෙරිකාවේ උපන් ක්‍රියෝල (යුරෝපීය සහ කැරීබියන් කළු මිශ්‍ර අයට කියන නම) ස්පාඤ්ඤයෙකි. මෙක්සිකෝ නිදහස් අරගලයේ දී ඔහු මුලින් සටන් වැදුනේ නිදහස ඉල්ලන මිශ්‍ර ජාතික විප්ලවකරුවන්ට එරෙහිව ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ කිරුළ වෙනුවෙනි. පසුව ඔහු මෙක්සිකෝවේ නිදහස වෙනුවෙන් සටන් වදින්නට එකතු වෙයි. සටන් බිමේ කෲරත්වය නිසා ඔහුව ‘බටහිර නැපෝලියන්’ නමින් හැඳින්වෙයි.

1833 දී මෙක්සිකෝවේ ජනාධිපති වන සැන්ටා ඇනා බදු ඉහළ යවයි. ජනතාවට තමන්ව ආණ්ඩු කරගත නොහැකි යැයි කියන ඔහු මෙක්සිකෝවේ ව්‍යවස්ථාව බැහැරලා, කොංග්‍රසය විසුරුවා හැර, තමන් ආඥාදායෙක් යැයි ප්‍රකාශ කරයි. පුරවැසියන්ට සිය තුවක්කු ළඟ තබාගැනීම තහනම් කරයි. විරුද්ධවාදීන් පරාජයට හමුදා බලය යොදා ගනියි. මධ්‍යම පාලන ආණ්ඩුවට නතු නොවන ප්‍රාන්තයන්ට දඬුවම් දෙයි.

මෙක්සිකෝවෙන් නිදහස ඉල්ලන ටෙක්සාස් අරගලය හටගන්නේ ඒ කටයුතු වලට උරණ වූවන් වෙතිනි. ටෙක්සාස් ප්‍රදේශයේ ඉපදුන ඇමෙරිකානුවන් -ටෙක්සියන් සහ ටෙක්සාස් හි මුල් පදිංචිකරුවන් -ටෙහානෝ අය ස්වේච්ඡාවෙන් සටන් බිමට පිවිසියහ.

ගොන්සාලෙස් උපනිවේෂයේ ආරක්ෂාවට කාලතුවක්කුවක් තිබිණ. සැන්ටා ඇනා තුවක්කු අයිතිය තහනම් කළ නිසා මෙක්සිකන් හමුදාව ඒ කාලතුවක්කුව රැගෙන යන්නට එන බව අසා ගොන්සාලේස් වැසියන් ‘ඇවිත් අරගන්න‘ යැයි හඬ නඟා ඇත. ගොන්සාලේස් සටන කාල තුවක්කුව ඇවිත් අරගන්න ඉඩ නොදුන් ජයග්‍රහණයයි. එය සමරන කොඩිය අද ටෙක්සාස් හි නොයෙකුත් තැන්වල ලෙළ දෙයි.

1835 දෙසැම්බර් හි දී මෙක්සිකන් හමුදාවේ ජනරාල්වරයා වූ මාටින් පර්ෆෙක්ටෝ ඩ කොස් යටත් කරගන්නට සමත් වූ විප්ලවවාදීන් ඇලමෝ ටෙක්සාස් යටතට පවරා ගත්හ.

ඇලමෝ අල්ලා ගත් ටෙක්සිකන්-ටෙහානෝ අය පරාජයට 1836 පෙබරවාරි 23 වැනිදා සැන්ටා ඇනා මෙක්සිකන් හමුදාව රැගෙන පැමිණියේය. ඇලමෝ ආරක්ෂාවේ අණදෙන නිලධාරියා ලෙසින් විලියම් බී. ට්‍රැවිස් පත්විය. සැන්ටා ඇනාගේ 1,800 කින් යුතු භට හමුදාව දැක ට්‍රැවිස් ඇලමෝ හි කොටු වී සිටින අයගේ උදව්වට එන්න යැයි කියමින් හතුරු හමුදා මැදින් පණිවිඩයක් යවයි.

ගොන්සාලෙස් නම් ළඟපාත ගමකින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 32 ක් පැමිණෙති. එහෙත් ඇලමෝ ආරක්ෂාවට හිටියේ 200 කට අඩු පිරිසකි. දවස් 12 ක් දිවා රෑ සටනින් යුතුව මෙක්සිකෝ හමුදාවෙන් ඇලමෝ ආරක්ෂා කරගන්නට මේ සුළු පිරිස සමත් වූහ.

එහෙත් 1836 මාර්තු 6 වැනිදා හිමිදිරියේ සැන්ටා ඇනා තාප්පයෙන් ඇතුලට යන්නට අදිටන් කරයි. තාප්පය උඩ සිටි ට්‍රැවිස්ගේ හිසට වෙඩි පහරක් වැදී ඔහු සටන ආරම්භයේ දී ම මිය යයි. කිනිසි සටන් සඳහා නම් දැරූ ජේම්ස් බුවි සටන පටන් ගන්නට පෙර රෝගාතුර වී ලෙඩ ඇඳේ සිටියේය. ඇතුලට ආ මෙක්සිකන් සොල්දාදුවන්ගේ බයිනේත්තු වලින් ඔහු මිය යයි. රැකූන් තොප්පිය පැළඳගත් ටෙනසි කොංග්‍රස් සභිකයෙක්ව සිටි ඩේවි කොක්‍රෙට් ද එහි සටන් කර මිය ගිය අය අතරට එකතුයි.

ඇලමෝ පරාජිතයන්ට යටත්විය හැකි සමාවක් සැන්ටා ඇනා වෙතින් නොලැබුණි. හිරු පායද්දී සටන අවසන්ව තිබිණ. ඉතිරි සියල්ලන්වම මරා දැමිණ. ඔවුන්ගේ සිරුරුවලට ගිනි තැබූහ. කාන්තාවන්, දරුවන් සහ ට්‍රැවිස්ගේ නිදහස් කළු සේවකයා වූ ජෝ පමණක් සැන්ටා ඇනා ඉතිරි කරන ලද්දේ ඇලමෝ විස්තරය අනිත් අයට කියන්නටයි.

ඇලමෝ සටන ඇහින් දැක, වාචික විස්තර ඉතිහාසයට එකතු කරන්නේ සූසැනා ඩිකින්සන්.

සටන් බිමේ ඉතිරිව සිටි එකම ටෙක්සාස් හමුදාව වූයේ කර්නල් ජේම්ස් ෆැනින් ගේ කණ්ඩායමයි. ට්‍රැවිස් එවූ පණිවිඩය නිසා ඔවුන් ගෝලියාඩ් සිට ඇලමෝ වෙත එන්නට සූදානම් වෙද්දී සැන්ටා ඇනාගේ හමුදාවට අසුවූහ. 350 ක පිරිසකින් යුතු යුද සිරකරුවන් හැටියට ඔවුන්ව මරා දමන්නට යැයි සැන්ටා ඇනා අණ දුන්නේය. ඒ 1836 මාර්තු 27 වැනිදායි. මෙක්සිකන් සොල්දාදුවන්ට කන්නලව් කරමින් කිහිප දෙනෙකුගේ ජීවිත බේරාගන්නට ෆ්‍රැන්සිටා ඇලවේස් මැදිහත්වීමෙන් සමත් වූවාය.

ඇලමෝ ගැන අසා කම්පාවට පත්ව සිටි ටෙක්සාස් වැසියන් ගෝලියාඩ් සටන ගැන අසා මෙක්සිකෝවෙන් වෙන් වෙන්නට දැඩි අධිෂ්ඨාන ධෛර්යයක් වර්ධනය කරගත්හ. ටෙක්සාස් විප්ලවයේ තීරණාත්මක දවසක් වූයේ 1836 අප්‍රේල් 21 වැනිදායි. සෑම් හියුස්ටන් සිය ස්වේච්ඡා කණ්ඩායම සමඟ ඉතා කෙටි වූ සැන් ජැසින්ටෝ සටනේ දී ‘මතක තියාගන්න ගෝලියාඩ්’ සහ ‘මතක තියාගන්න ද ඇලමෝ’ යනාදියෙන් හඬ නඟමින් නව ජවයකින් සටන් වැදී සැන්ටා ඇනා අල්ලා ගන්නට සමත් වූහ. සෑම් හියුස්ටන් සැන්ටා ඇනා ඝාතනය කළේ නැත. ටෙක්සාස් හි ස්වාධීනත්වය පිළිගන්නට යැයි කියා ඒ වෙනුවෙන් ඔහුව නිදහස් කළේය.

ඇලමෝ ගොඩනැඟිල්ල ඇමෙරිකන් හමුදාවේ බඩු බෙදාහරින ඩිපෝවක් බවට පත්විය. ඉන්පසු 1877 දී එය ප්‍රතිසංස්කරණය වී ජර්මන් සංක්‍රමණිකයෙකුගේ සිල්ලර බඩු විකුණන කඩයක් විය. ගංවතුරකට පසුව ඔහු ද ගොඩනැඟිල්ල අත්හැර දමා ගිය පසු මෙවැනි ඵෛතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානය ජරාවට යනවා දැක ‘ටෙක්සාස් ජනපදයේ දියණියන්’ නම් වූ සංවිධානය 1905 දී එය පූජනීය ස්ථානයක් සහ කෞතුකාගාරයක් හැටියට නඩත්තුව බාරගෙන ගොඩනැඟිල්ල මිල දී ගත්හ. ඔවුන් එය 2011 දක්වා සංරක්ෂණය කළහ. දැන් එය ටෙක්සාස් ප්‍රාන්තය සතුව තිබේ.

පල්ලිය ඇතුලත ඡායාරූප ගන්නට අවසර නැත. ඇලමෝ නැරඹීමට ගාස්තුවක් අය නොකෙරේ. සමරු විකුණන කඩයක් හා පින්තූර ගන්නට අවසර නැති සිහිවටන පිරි කෞතුකාගාරයක් ද එහි පවතී. ඇමෙරිකාවේ ඉතිහාස රූපවාහිනි නාලිකාව ඇලමෝ ගැන නිෂ්පාදනය කළ වාර්තාකරණයක් එහි දී නරඹන්නට හැකියි. සටන නිරූපනය කරන ප්‍රදර්ශනය සහ ‘ඇවිත් ගන්න’ යන කොඩිය සහ ප්‍රතිමාව ඇති ඡායාරූප ගත්තේ බටහිර කලා කෞතුකාගාරයේ දී ය. සැන්ටා ඇනාගේ “මම දෙවියන් වූයේ නම්, මම ඊටත් වඩා වෙන්නට පතමි,” කියමන රැගත් තෙල්සායමේ පින්තූරය ගත්තේ ටෙක්සාස් සඳහා සටන අත්දැකීම නමින් වූ කෞතුකාගාරයෙනි.

තුවක්කු ළඟ තබා ගැනීමේ අයිතිය වෙනුවෙන් ටෙක්සාස් වැසියන් එදා සටන් නොකළා නම්, දෙවියන්ටත් වඩා වෙන්නට රිසි කෲර ආඥාදායකයාගේ සිතැඟි වලට යටත්ව ඔවුන්ට ජීවිතය ගෙවන්නට සිද්ධ වෙනවා ඇත.

IMG_4581

IMG_4512

IMG_4514

IMG_4519

IMG_4530

IMG_4524

IMG_4526

IMG_4548

IMG_4549

IMG_4568

IMG_4573

IMG_4635

IMG_4830

IMG_4833

IMG_4836

IMG_4837

IMG_4838

18 වැනි ශත වර්ෂයේ දී ප්‍රංශ ඔම්ලට් නොහැදුන හැටි

Posted in Uncategorized by arunishapiro on ජූනි 29, 2012

18 වැනි ශත වර්ෂය අග දී ප්‍රංශයේ වූයේ වැඩවසම් ක්‍රමයයි. උප්පත්තියෙන් ධන වස්තු හිමිවන රටක් වූවත් තම වස්තුව කා බී විනාස කල රදළයා ධනවතෙක් වූයේ නැත. එහෙත් රදළයන් බදු වලින් නිදහස් වූහ. රදළ පවුල් වල වැඩිමලා ලෙසින් පවුලේ වස්තුව උරුම නොවූ පුත්තු පල්ලි වල බිෂොප් තනතුරු වලට පත් වූ අතර යුධ හමුදාවෙහි හා නාවුක හමුදාවෙහි උසස් තනතුරු දැරූහ. රජය, රට හා හමුදාව රකින බදු ගෙවීමත් සහ පල්ලිය රක්ෂණයත් බාර ව තිබුණේ රදළ නොවූවන්ට ය. උපත්තියෙන් හිමි වූ උරුමයක් නොමැති ඔවුන් ශ්‍රමය විකිණීමෙන් ජීවිකාව සොයා ගත්හ. රදළයෙකු ලැජ්ජා වූයේ ශ්‍රමය විකිණීමෙන් ජීවිකාව උපයා ගැනීමටයි.

මහා බ්‍රිතාන්‍ය්‍ය, ඉතාලිය සහ ස්පාඤ්ඤය මෙන් ලොව භූමිය අල්ලා ගන්නට සටන් වැදි ප්‍රංශය එකළ ලෝකයේ නව මෝස්තර නිර්මාණයේ කේන්ද්‍රස්ථානය විය. ඒ අධිරාජ්‍ය්‍යන් සියල්ල ම පාලනය වූයේ ඔටුන්න පැළඳි අයෙකු යටතේ ය. යටත් විජිත වලින් කොල්ලා කා ගත් ධන සම්පත් සහ බදු ගෙවන්නට සිද්ධ නොවූයෙන් රදළ ප්‍රංශ පවුල් සුපිරි ජීවිත ගෙවූහ. දශක දෙකක් පුරා ධාන්‍ය අස්වැන්න දුර්වල වූයේ ඉඩෝරය සහ හරකුන්ට හැදි ලෙඩ රෝග නිසාය. පාන් මිල අධික විය!!!!

18 වැනි ශත වර්ෂයේ ඇමෙරිකාවේ වැසියන් වෙතින් බදු අය කළේ යටත් විජිත අධිරාජ්‍ය්‍යා වූ මහා බ්‍රිතාන්‍ය්‍යි. තමන්ව නියෝජනය කරන්නෙක් මහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ නැති නිසා, මහා බ්‍රිතාන්‍ය්‍යට බදු ගෙවන්නට ඇමෙරිකානුවන් විරුද්ධ වූහ. බදු නිසා හටගත් ඇමෙරිකන් අරගලය නිදහස් විප්ලවයක් බවට හැරෙද්දී ප්‍රංශය කුහුලින් ඇමෙරිකාව දිහා බලා සිටියේ ය.

ප්‍රංශ හමුදාවන් රජයේ රැකවරණය හා ප්‍රතිසාදන යටතේ වූ හමුදාවන් ය. ඉහළ තනතුරු හෙබුවේ රදළ පවුල් වල අයයි. මහා බ්‍රිතාන්‍යයට විරුද්ධව සටන් පටන් ගත් ඇමෙරිකන් නිදහස් අරගලයේ වූයේ සාමාන්‍ය ජනතාවයි. සන්නාලියන්, යකඩ තලන්නන්, වඩුකාර්මිකයන් හා ගොවියන් ය. ඔවුන් සටන් වැදුනේ එවක පැවති මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව ය. ඔවුන්ට යුද පුහුණුවක් නොතිබිණ. ආණ්ඩුවක රැකවරණයක් හෝ හමුදා නඩත්තුවට මුදල් නොතිබිණ. ඔවුනට වූයේ එකම අරමුණකි. ඒ බ්‍රිතාන්‍ය්‍ය පනවන බදු බරින්, බ්‍රිතාන්‍ය පනවන නීති රෙගුලාසි වලින් ඉවත් වීමට ය.

ජෝර්ජ් වොෂිංටන් නම් ඇමෙරිකන් යුද හමුදාවට එක් වූ, තනිවම ඉගෙන ගෙන මිනින්දෝරුවෙක් වූ මිනිසාගේ නායකත්වය යටතේ සාමාන්‍ය රටවැසියන් වෙතින් හැදි ඇමෙරිකන් විප්ලවීය හමුදාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාට එරෙහිව සටන් ඇරඹූහ. Horatio Gates නැමති විශ්‍රාම ලත් බ්‍රිතාන්‍ය සොල්දාදුවා ඇමෙරිකන් අරගලය ගැන අසා වොෂිංටන් හමු වී ඇමෙරිකන් අරගලයට එකතු වූයේය. ඔහු ඇමෙරිකන් යුද හමුදාවේ ප්‍රථම Adjutant General බවට පත් කර ගැනිණ.

අවි ආයුධත් නැති, සල්ලිත් නැති, පුහුණුවත් නැති රටවැසියන් වෙතින් හැදි යුද හමුදාවක් එහෙන් මෙහෙන් අවි ආයුධ එකතු කරගෙන, එහෙන් මෙහෙන් සෙබලුන් එකතු කරගෙන, එහෙන් මෙහෙන් සල්ලි එකතු කරගෙන ලෝකයේ බලවත් අධිරාජ්‍යයක් හා සටන් කරන්නට යන්නේ කෙසේදැයි, තවත් අධිරාජ්‍යවාදියෙක් වූ ප්‍රංශය කුහුලින් බලා සිටියේ බ්‍රිතාන්‍ය පරාජය කරන්නට හැකියාව ඇත්නම් ඇමෙරිකාවට ආධාර එවන්නට ය. ප්‍රංශ සහ ස්වදේශී ඉන්දියානු යුද්ධ නොහොත් French and Indian War වල වසර හතක් පුරා උතුරු ඇමෙරිකාව තුල සටන් වැදියේ මහා බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය හා ප්‍රංශ අධිරාජ්‍ය්‍යයි. එහි ජයග්‍රහණය මහා බ්‍රිතාන්‍යයට ලැබුණි. ඒ අප්‍රසාදය ප්‍රංශයට තිබිණ.

ප්‍රංශ හා ස්වදේශී ඉන්දියානු යුද්ධ වල දී හිස් වන්නට පටන් ගත් මහා බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය්‍යේ භාණ්ඩාගාරය, ඔවුන් විසින් පැනවූ බදු ගෙවන්නට අකමැත්තෙන් ඇමෙරිකානු යටත් විජිත වැසියන් ඇරඹූ ඇමෙරිකන් අරගලයේ දී, තවත් අඩු වන්නට විය. අඩුවන භාණ්ඩාගාර පුරවන්නට වැඩි කරන බදු නිසා යටත් විජිත ඇමෙරිකානුවන් පමණක් නොව මහා බ්‍රිතාන්‍යයේ ජනතාව ද ඔටුන්න හා උරණ වන්නට පටන් ගත්හ. නියං, ලෙඩ හරක්, ඉහළ යන ජීවන වියදමෙන් හා බදු බරින් පීඩිත ව සිටි ප්‍රංශ ජාතිකයන් ද, භාණ්ඩාගාරය පුරවන විසඳුමක් හැටියට තවත් බදු බර වැඩි කරන ඔටුන්න හා රදළයන් වෙත විරෝධය දැක්වූයේ කැරලි කෝලාහල, මංකොල්ලා කෑම් හා වර්ජනයන් වලිනි.

යටත් විජිත ඇමෙරිකානුවන් තමන් වැඩියෙන් පානයට කැමති තේ ගෙන්වන ඒකාධිකරය අයිති වූ මහා බ්‍රිතාන්‍ය තේ බද්දක් පැනවීම නිසා තේ පෙට්ටි බොස්ටන් වරායේ දී මුහුදට හෙලූහ. තේ බීම වර්ජනය කරමින් ඇමෙරිකාවේ කෝපි බොන්නට පටන් ගැනුණි.

එකල ඔටුනු පැළඳි ලෝකයට එරෙහිව පැති දෙකක් සටන් කළහ.

ඔටුන්නෙන් පාලනය වන බහුතරයා ගැන “ඔටුන්නට” තොරතුරු ලබාගත නොහැකියාව ලෝක ස්වභාවයක් බව දැකි, එසේම සතුට සොයා යෑම තමන් විසින් කළ යුත්තක් මිස වෙනත් අයෙකු විසින් තමන්ට නිර්දේශ කළ යුත්තක් නොවන මිනිස් ස්වභාවය බව වටහා ගත්තේ එක පැත්තකි.

අනිත් පැත්ත හිතුවේ ඔටුන්න ඉවත් කිරීමෙන් ජනතාවගේ සුව සෙත සැලසෙනවා කියාය. ඒ කෙසේදැයි ඔවුන් සොයා බැලුවේ නැත. රදළයන් හා ධනපතියන් සතු බලය ආවේ කොහෙන් ද, දූෂිත ආණ්ඩු සහ දූෂිත ධනපතියන් යනු කවුරුන් දැයි ඔවුන් සොයා බැලුවේ නැත. කැති මුගුරු හා ගිලටිනයෙන් රදළයන් වත්, ඔවුන්ට වාසි ප්‍රදානය කරන ඔටුන්නත් ඉවත් කිරීමෙන් විසඳුම ළඟා වෙනු ඇතැයි පමණක් සිතූහ. ඒ අනිත් පැත්තයි.

කැරලි කෝලාහල, මංකොල්ලා කෑම් හා වර්ජනයන් වලින් නොව ඇමෙරිකාවේ විප්ලවීය අරගලය සිද්ධ වූයේ තමන්ගේ සතුට සොයා යන අයිතිය හා නිදහස උදෙසා, තමන් නියෝජනය නොකර තමන්ට නීති රෙගුලාසි හා බදු පැනවූ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය්‍යා නැමති සතුරා ඉවත් කරන අරමුණින්, ඒ බ්‍රිතාන්‍ය හමුදාව හා සටන් වැදි ඇමෙරිකන් විප්ලවීය හමුදාව විසිනි.

ඒ ඇමරිකන් උත්සාහයට මහා බ්‍රිතාන්‍යයෙන් සහ ප්‍රංශයෙන් නිදහස කුමක් දැයි වටහා ගත්තෝ එකතු වූහ. ඔවුන් රදළයෝ වූහ. ඔවුන් වැඩ කරන ජනතාව වූහ. ඔවුන් ධනවතුන් වූහ. ඔවුන් දුප්පතුන් වූහ. ඔවුන් සිය කැමැත්තෙන් විප්ලවයට එකතු වූ අයයි. විප්ලවයට එකතු නොවූ අයගේ හිස් ගසා දමන්නට තර්ජනයක් නොවීය. ඔවුන් හා සබඳතාවයන් හා ගණුදෙනු පමණක් නවතා දැමිණ.

ඇමෙරිකන් විප්ලවීය හමුදාව සටන් වැදුනේ එවක පැවති යුද නීති අනුව ය. භීෂණයෙන් නොවේ. මැසචූසෙට්ස්හි විරුද්ධවාදීන් අවි ගබඩා කර ඇත්දැයි බලන්න පැමිණ බොන්න නැවතිච්ච තැබැරූම අදටත් එලෙසින් පවතී.

ඒ ඇමෙරිකන් උත්සාහයේ මහා බ්‍රිතාන්‍ය හමුදාවන්ට එරෙහිව සටන් එක පැත්තකින් යද්දී අනිත් පැත්තෙන් විවිධ මත දැරූ මහා ප්‍රාඥයන් ස්වල්පයක් සිය ඒකීය මොළයන් වෙහෙසුවේ රටවැසියන් සියල්ලන්ට ම බාරගත හැකි පාලන ක්‍රමයකට විසඳුමක් තමන් නිදහස් කරගන්නා රට වෙනුවෙන් ගෙනෙන්නට ය.

ජෙනරාල් හොරේෂියෝ ගේට්ස් විසින් සරටෝගා සටන ජයගත් සැනින් කුඩාරම්, ඇඳුම්, තුවක්කු හා ලොව අනගි වෙඩි බෙහෙත් තොග පිටින් රැගත් ප්‍රංශ නැව් ඇමෙරිකාවෙහි නිව් හැම්ප්ශර් වෙත ළඟා වූහ.

පින්තූර: මේරිලැන්ඩ් හි බර්ලින් නගරයේ පිහිටන Tea by the Sea අවන්හලේ දී.

ජීවත්වන ඉතිහාස ටුවර් එකක්

Posted in Uncategorized by arunishapiro on ජූලි 11, 2011

Little Women නවකතාව ලියූ Louisa May Alcott ගේ Orchard House නිවස බලන්නට ගියෙමි. ඒ මැසචූසෙට්ස් ප්‍රාන්තයේ කොන්කෝඩ් නම් කුඩා ගමේ දී ය. 2010 දී ගමේ ජනගහණය 17,668 කි. ඇය ජීවත් වූ නිවස ඉදි කරන ලද කාලය දළ වශයෙන් 1690-1720 අතර දී යැයි සැලකේ. ඇල්කොට් පවුල 1858 සිට 1877 දක්වා එහි ජීවත් වී ඇත. ඇයගේ පියා එම නිවසත් ඊට යාබද වූ නිවස සහ අක්කර 12 ක ඉඩම මිල දී ගෙන ඇත්තේ 1857 දී ඩොලර් 945 කට ය. 1868 දී එම නිවසේ දී ලුයිසා සිය පියා හදා දුන් රාක්ක මේසයක හිඳගෙන ඉහත කියූ නවකතාව ලියා ඇත. ඔවුන් පරිහරණය කරන ලද බඩු භාණ්ඩ බොහොමය අද දිනයේ ද නිවසේ සුරක්ෂිතව පවතී. ප්‍රවේශ පතක් මිලට ගෙන ඇතුලට යා හැකිය. එහි දී ඔවුන් විසින් නිවසේ විස්තර කියන චාරිකාවකට සහභාගී වී තොරතුරු බොහොමයක් දැන ගැනීමට පුළුවන.

ඇයගේ නිවසට යන පාර දිගේ තවත් ඵෛතිහාසික නිවාස පේලියකි. ඒවායේ අද ජීවත්වන අයට තම නිවහන දිහා බලමින්, එහි විස්තර පුවරු කියවමින්, පින්තූර ගන්නා සංචාරකයන් හොඳට හුරු පුරුදු බව පෙනුනි. ඈත අතීතයක බිහි වූ ලේඛකයෝ, කවියෝ හා නිදහස් අරගලයේ පුරෝගාමීන් රටට දුන් දායාද අද දිනයේ ද හොඳින් ආරක්ෂා කරගෙන ඒවා රසවත් බවකින් බෙදා ගැනීම ජීවත්වන ඉතිහාසයේ කොටසකි.

ඒකීය පුද්ගලවාදය අගැයූ ඇමෙරිකන් දාර්ශනික Ralph Waldo Emerson ගේ නිවහන ද අද ඒ ගමේ තිබෙනා වූ පුද්ගලික කෞතුකාගාරයකි. මේ ඔහු ගද්‍ය පද්‍ය හා දාර්ශනික රචනාවන් ලියූ නිවහනයි.

කොන්කෝඩ් මිදි ගෙඩිය ලොවට ඉදිරිපත් කළ Ephraim Bull නැමැත්තා ද එය නිපදවන්නේ එහි ලෙක්සින්ටන් පාරේ නිවහනක දී ය. ඔහු මුලින් හැදූ මිදි වැල තවමත් එහි වැවෙමින් පවතිනවාලු!!!

පරිසර හිතවාදයට සහ වහල් ක්‍රමය අහෝසියට මහත් සේවයක් කළ Henry David Thoreau කොන්කෝඩ් ගමේ උපදින්නේ 1817 දී ය. ඔහු ජීවත්වන්නේ 1849 දී ඉදි කරන ලද නිවසකය. ඔහු මිය ගිය පසු ලුයිසා ඒ නිවස මිලට ගෙන එහි පදිංචියට යන්නීය. ඇයගේ Jo’s Boys (1886) නවකතාව ලියැවෙන්නේ එහි දී ය. එය අද පුද්ගලික නිවහනකි. එදා තිබි විදියට අදත් දැකිය හැකිවීම ඉතා අපූරු ය.

ඇමෙරිකන්කාරයා යැයි කී විට විජට්ටු සමඟ නවීනකරණයේ ආම්පන්න වලින් ගහණ පරිසරයක නිවහනක ජීවත්වන්නට කැමති අයෙක් හිතේ මැවේ නම් එය සම්පූර්ණ දැක්ම නොවේ. මේ ඇමෙරිකානුවන් අතීතයේ වැදගත්කම දැනගෙන එය ආරක්ෂා කරගන්නා අය වෙති. කොන්කෝඩ් ගමට ගොඩ වැදෙන සංචාරකයෝ ද ඇමෙරිකන් ජීවත්වන ඉතිහාසය දැන ගැනීමට ප්‍රිය කරන්නෝ වෙති.

ඉතිහාස තොරතුරු වලට අමතරව ගම අද දිනයේ සාහිත්‍ය සම්මන්ත්‍රණ හා වැඩමුළු පවත්වන ස්ථානයකි. ගිම්හානයේ පරිසරය ඉතා සෞම්‍ය ය. හිතන්නටත් ලියන්නටත් කැමති අයට ගම ඒ සඳහාම වූ අභය භූමියක් වැනි ය.

ගමේ පාරවල් පනින සුදු ඉරි ගැසූ තැන්වල හිට ගනිද්දී ම වාහන නැවතේ. වැඩි වේලාවක් යන්නට මත්තෙන් එය දුටු මමත් දියණියත් පාර පනින්නට දෝ නැද්දෝ යයි තීරණය කරන්නට පෙර එවැනි තැන්වල හිටගෙන සිටීමෙන් වැළකුණෙමු. මන්ද ඊට ළඟා වෙද්දීම වාහන නවතින්නට පටන් ගත් බැවිනි. සමහර විට කෝන්කෝඩ් ගමේ අය සංචාරකයන්ට බෙහෙවින් කැමති වෙන්නැති. නැත්නම් සුදු ඉරි ළඟ නවත්තන්නෙ නැති වාහන වලට ලොකු දඩ වදිනවා ඇති.

1775 අප්‍රේල් 15 වැනි දා නිදහස් අරගලයේ මුල් ම වෙඩි හඬ ලෝකයට ඇසුනා යැයි කියන කොන්කෝඩ් නගරයේ උතුරු පාලම ඇතුළු ඵෛතිහාසික ස්ථාන බොහොමයකි. Sleepy Hollow Cemetery ‍යේ මිහිදන් වූවන් අතර Henry David Thoreau, Nathanial Hawthorne, Louisa May Alcott, සහ Ralph Waldo Emerson යන අයගේ සොහොන් වෙති.

ස්වදේශී ඉන්දියානුවන් ජීවත් වූ කාලයේ දී ගම හැඳින්වී ඇත්තේ Musketaquid නාමයෙනි. යුරෝපීය ආගමනයත් සමඟ වසූරි වසංගතයන් පැතිර යාමෙන් මිය ගියේ පදිංචියට ආ යුරෝපීයයන් පමණක් නොව මෙහි වාසය කළ ස්වදේශී ඉන්දියානුවන් ද වෙති. ඉතිරි වූ ඉඩම් කැබලි ස්වදේශී ඉන්දියානු‍වන් වෙතින් සාමකාමී ව මිලට ගත් නිසා නගරය කොන්කෝඩ් ලෙසින් නම් කෙරුණි.

වහල් ක්‍රමය අහෝසි කරන්නට ගත් වෑයමේ දී දකුණෙන් පළා ආ කළු වහලුන් ආවේ අහසේ තරු දිහා බලාගෙන උතුරට ගමන් කරමිනි. Big and Little Dippers තරු වලට කළු ඇමෙරිකානු වහල් ජනතාව දුන් නාමය The Drinking Gourd නම් වෙයි. වැඩියෙන් අහසේ රෑට බැබළෙන උතුරු තරුව මේ තරු පොකුරු වලින් ඔවුනට උතුරට මඟ පෙන්වා දුන්හ. වහල් සේවයෙන් නිදහස ලැබූ අය වාසය කළ නිවාසයන්හි ද ස්මාරක පුවරු අද කියැවිය හැකිය. තවමත් සිවිල් අයිතීන් හා නිදහස අගයන සංවිධාන බොහොමයක් මෙහි පවතී.

පරණ ගොඩනැඟිලි අතර මෑතක දී ඉදි කරන ලද මහජන පුස්තකාලය ගමේ විශාලතම ගොඩනැඟිල්ලයි.

1747 දී Ephraim Jones ඉදි කළ Wright’s Tavern එක 1775 අප්‍රේල් මාසයේ දී නිදහස් අරගලය වෙනුවෙන් පාවිච්චියට ගන්නෙ Amos Wright නිසා ඉන්පසු එය හැඳින්වෙන්නෙ ඔහුගේ නමින්. රතු කෝට් බ්‍රිතාන්‍ය හමුදාව මෙහි අවි ආයුධ ගබඩා කර ඇත්දැයි සොයන්න පැමිණ අනතුරුව බොන්න නැවතුණු බව ඉතිහාසය කියයි.

අපි රෑ කෑමට ගියේ 1716 දී පටන් පැවතෙන Colonial Inn අවන්හලට. මෙවැනි තැනක් කෞතුකාගාරයක් පමණක් නොවී තවමත් ව්‍යාපාරයක් ලෙසින් පැවතීම නිසාම එහි පැවැත්ම තවත් දිග කාලයක් පුරා රැකේවි. ඵෛතිහාසික චරිත කාපූ බීපු තැනක ගිහින් කන්න බොන්න ඇමෙරිකන් ඉතිහාසය කියවපු කවුද අකමැති? හොල්මන් පවා ඉන්නවාලු !! එළිමහනේ තිබිච්ච පුටු සේරම පිරිලා නිසා අපි දෙන්නා රෑ කෑමට ඇතුලට ගියා.

හාවඩ් විශ්ව විද්‍යාලය හා MIT තියන්නෙ වැඩි ඈතක නොවේ. මෙහෙම ගමක් ආරක්ෂිතව පැවතීම ඇමෙරිකාව දියුණු ලෝකයට යන ගමනේ දී අතීතය අමතක නොකරන බව පැහැදිලිවම දක්වන්නකි.

ධනවාදයේ පදනම

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2011

18 වැනි ශ. ව. දී ලෝකයේ හැම අයෙකුට ම නිවහල් මිනිසකු වන්නට ඉඩක් නොවීය.

ඒ සමය එංගලන්තයේ ජනගහණය ඉක්මණින් වර්ධනය වූ සමයකි. ජාතික ආදායම ඉහළ ගියේය. මහා මාර්ග දියුණුවක් ඇති වූයේය. කියැවීම හා ලිවීම මහජනතාව අතර වර්ධනය වූයේය. එංගලන්තයේ ජනගහණය මිලියන දහයකට අඩු විය. රදළ රාජාණ්ඩුවකින් රට පාලනය විය. රට තුල පැතිර ගිය කම්හල් නිසාත්, ඇමෙරිකාව ඇතුළු සරු බිම් තිබි යටත් විජිත නිසාත්, බ්‍රිතාන්‍යය ලොව මහත් අධිරාජ්‍යයක් බවට පත්වෙමින් තිබියේය.

බ්‍රිතාන්‍යයේ පාලන බලය හිමි වූයේ රදළ පංතියේ සාමාජිකයන් (british aristrocrats) දළ වශයෙන් 200 පිරිසකට ය. ඩ්‍යුක්වරුන් (Duke) සිටියේ 28 කි. නමුත් ඔවුන් සතු දේපල හා තත්වය නිසා දේශපාලනයට අසමාන අන්දමින් බලපෑම් කරන්නට ඔවුනට හැකිවිය. උප්පත්තිය නිසා ලබන රදළ පංතියේ තනතුරු ඉහළ සිට පහළට මෙසේය. රජු, රැජින හා කුමරු කුමරියන්; ඩ්‍යුක්, ඩචස්; මාර්කි, මාචිනෙස්; අර්ල්, කවුන්ටස්; වයිකවුන්ට්, වයිකවුන්ටස්; ලොර්ඩ්, ලේඩි. මේ රදළ පංතිය House of Lords නම් වූ පාර්ලිමේන්තු ඉහළ සභාවේ අසුන් ගත්තේ උපන් උරුමය නිසා ය. මරණය නිසා පමණක් ඔවුන් විශ්‍රාම යති. 1778 දී චැතැම් හි අර්ල්වරයා ඒ ඉහළ සභාවෙන් සමුගත්තේ කතාවක් පවත්වමින් සිටිය දී අතරමැද දී හැදිච්ච හෘදයාබාධයකිනි!

ඊට අමතරව පාර්ලිමේන්තුවේ ඉහළ සභාවේ සිටියේ රජු පත්කරන ප්‍රභූ දේවසභා නියෝජිත පිරිසකි.

ඒ 200 ක රදළ පංතිය ඉහළ සභාවේ අසුන් ගනිද්දී ඔවුන්ගේ පුතුන්, ඥාතීන්, මිතුරන් සමාන්‍ය අයගේ සභාව (House of Commons) වූ පහළ සභාවේ අසුන් පිරවූහ. එකළ බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියනුයේ සෑම වසර 5 කට ම සැරයක් මේ පහළ සභාවේ මන්ත්‍රී ආසන 558 පුරවන්නට මහා මහැතිවරණයක් පැවැත්වීම නිසයි.

එදා මහා මැතිවරණයක දී චන්දය දෙන්නට හැකිවූයේ භූමියට හිමිකම් කියූ අයට පමණකි. ඒ කාලයේ දී එංගලන්තයේ කාන්තාවන්ට භූමි අයිතිය නොවීය. මිලියන 10 කට අඩු ජනගහණයක භූමි අයිතිය හිමි වූයේ 3,000 ක ආසන්න පිරිසකට පමණි. එනම් ජනගහණයෙන් 3% ක පිරිසකට ය!

නීතියේ අඩුපාඩු නොමඳ වූ නිසා රදළ පංතියට හා ධනවතුන්ට පාර්ලිමේන්තු ආසනයක් ලබන්නටත්, ව්‍යවස්ථාවට බලපෑම් කරන්නටත් හැකියාව තිබූ නිසා ‘එකළ තිබි ප්‍රජාතන්ත්‍රවාදයෙන්’ ඔවුනට එතරම් බලපෑමක් නොවීය. රදළ පංතිය තම මුදල් හා වෙහෙස යෙදුවේ පහළ සභාව තමනට කැමති අය 200 පමණ පිරිසකගෙන් පුරවන්නට ය. ඉතිරිය කැමති අයට අයිති කරගන්නට (තරඟයට) ඔවුන් ඉඩ දුන්හ.

අද බ්‍රිතාන්‍යයේ රදළ උප්පත්තිය හා රැජින පත් කරන දේවසභා නියෝජනය කරන (peerage) ඉහළ සභාවේ සාමාජික සංඛ්‍යාව 786 කි. රටේ ජනතාව තෝරා පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 650 කි.

18 වැනි ශ. ව. දී යුරෝපා සහ ආසියානු රටවල් පාලනය වූයේ රජ පරම්පරා අතිනි. ප්‍රංශයේ සිටියේ 16 වැනි ලුවී (Louis XVI) රජු ය. වසර 18 කට ආසන්න කාලයක් බලයේ සිටි ඔහු සිහසුන ලබන්නේ වයස 20 පිරෙන්නට පෙර ය. ඔහු විවාහ වන්නේ අවුරුදු 15 දී ය. චාරිත්‍රානුකූලව ඔහුට වතුර වීදුරුවක් දෙන්න සේවකයන් හතර දෙනෙක් අවශ්‍ය වුණි. ප්‍රංශය මරා දමන ලද එකම රජු ඔහු ය.

ඉන්දි‍යාවේ බ්‍රිතාන්‍ය පාලනයට අමතර ව මහාරාජා පවුල් නොයෙකුත් ප්‍රාන්ත පාලනයේ යෙදී සිටියහ.

අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, අරාබි හා අප්‍රිකානු ගෝත්‍රික පාලනයන් හා රාජාණ්ඩු තිබුණි.

ඇමෙරිකාව සමහර පැති ස්වදේශී ඉන්දියානුවන් ගෝත්‍ර නායකයන් අතින් පාලනය විය. සමහර පැති ස්පාඤ්ඤ, ප්‍රංශ, නෙදර්ලන්ත රාජාණුඩුවන්ට අයිති වූහ. ස්වදේශී ඉන්දියානු ගෝත්‍රයන්ට වාසභූමි පරිහරණයට අයිතියක් තිබිණ. ස්වදේශී ඉන්දියානු ආකල්පය වූයේ භූමිය හැමට අයිතියි, ඒකීය පුද්ගලයාට ඊට අයිතියක් කිව නොහැකියි කියා ය.

මීට බෙහෙවින් වෙනස් වූයේ 18 වැනි ශ. ව. යටත් විජිත ඇමෙරිකාවට ගොඩ වැදුනේ සංක්‍රමණික පිටරැටියන් පිරිසකි. 18 වැනි සියවසේ යටත් විජිත ඇමෙරිකාවට ගොඩ බැස්සා වූ ඕනෑම සංක්‍රමණිකයෙකුට භූමි අයිතියක් ලබා ගැනීමට ඉඩක් හා අවසරයක් ලැබුණි. එකළ නන් දෙසින් යටත් විජිත ඇමෙරිකාවට ගොඩ බැස නව දේශය තම ස්ථිර වාසස්ථානය කරගත් ජනතාව අතර ප්‍රභූ පංතියේ රදළයන්‍ කිසිවෙක් නොවූහ. තාවකාලිකව රැඳී සිටි රදළයන් ඒ ඒ රාජාණ්ඩු නි‍යෝජනය කරන්නට එවන ලද්දෝ පමණකි. ඔවුන් ආපසු කැඳවන්නට ඒ ඒ රාජාණ්ඩු වලට බලය තිබිණ.

රජ පවුලට, ප්‍රභූ පංතියට, ධනවත් වෙළඳ ව්‍යාපාරික පවුලකට අයත් නොවී තමන් කැමැති රැකියාවක් කරන්නට, ගොවිතැන් කටයුතු වල නිරත වෙන්නට, කෙටියෙන් කියතොත් තම ශ්‍රම මහන්සියෙන් තම දියුණුව සලසා ගන්නට ඉඩක් තිබිණ. සෙසු ලෝකයේ පුද්ගලයා තමා පාලනය කළ රජතුමාට, ගෝත්‍රික නායකයාට හෝ අධිරාජ්‍යයට දී, ඉතිරිය තමන්ට තබා ගන්නට වෙහෙසෙද්දී යටත් විජිත ඇමෙරිකානුවන් වෙහෙසුනේ තනිකරම තමන් වෙනුවෙන් පමණකි. ඔවුන් මුල් කාලය තුල දී බ්‍රිතාන්‍යයට බදු ගෙව්වේ නැත. බ්‍රිතාන්‍ය දමා තිබූ වෙළඳ තහනම් හා සම්බාධක නොතකා ඔවුන් බ්‍රිතාන්‍ය හා සටන් වැදි අන් රටවල් සමඟ ද වෙළඳ ගණුදෙනු කළහ. බ්‍රිතාන්‍යය වෙළඳ තහනම් හා සම්බාධක දමා තිබුනේ සියළු වෙළඳාමෙන් තමනට පමණක් වැඩි වාසි ලබනු පිණිස ය.

යටත් විජිත ඇමෙරිකාවේ භූමි අයිතිය සඳහා ප්‍රංශ හා ස්පාඤ්ඤ සටන් වලට වැය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මුදල් ය. ප්‍රංශ හා ස්වදේශී ඉන්දියානුවන් අතර යුද්ධයේ ජය බ්‍රිතාන්‍යයටයි!!! බ්‍රිතාන්‍යයේ වාර්ෂික යුද වියදම පවුම් මිලියන 6.5 සිට 14.5 දක්වා ඉහළ ගියේය.

යටත් විජිත ඇමෙරිකන් ප්‍රාන්ත 13 හි වාසය කළේ මිලියන 2 ක පමණ ජනතාවකි. කැනඩාවේ මහා විල් ආශ්‍රිත පදිංචි වූ ප්‍රංශ ජනතාව ද ප්‍රංශ සහ බ්‍රිතාන්‍යය පාලනයට යටත් විය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආධිපත්‍යය පවත්වා ගන්නට මේ වැය දරන්නට සිද්ධ වීමේ දී ඇමෙරිකානුවන් බ්‍රිතාන්‍ය හා සමඟ කරන වෙළඳ ගණුදෙනු වලින් ලැබෙන මුදල් මදි යැයි ද ඇමෙරිකාව ප්‍රංශ හා ස්පාඤ්ඤ හමුදා වලින් රැක ගැනීම සඳහා යුද මෙහෙයන් වලට ඇමෙරිකානුවන් බදු ගෙවිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය කියා සිටියේය.

මේ බදු අය කෙරුනේ යටත් විජිත ඇමෙරිකාවේ විසූ සංක්‍රමණිකයන් ගෙනි. බ්‍රිතාන්‍යයේ වැසියන් වෙතින් මේ බදු අය වූයේ නැත. දැන් මෙහි දී සුවිශේෂී වෙනස්කම හඳුනා ගත යුතුය. සංක්‍රමණිකයා වෙහෙසෙන්නේ තමන් වෙනුවෙන් පමණකි. බ්‍රිතාන්‍ය වැසියාගේ දේපල අයිතිය බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සමඟ බැඳී තිබෙන නිසා ඔහු සේවය කරන්නේ තමන් වෙනුවෙන් පමණක් නොවේ.

යුද සඳහා මුදල් වැය දැරුවත් සටන් වැදියේ තමන් යැයි කියූ ඇමෙරිකානුවන්, තම රජය සේ සලකන බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවට තමන් පමණක් බදු ගෙවන්නේ ඇයි යන්න විමසූහ. එසේ නම් බ්‍රිතාන්‍ය වැසියන් ද බදු ගෙවිය යුතු යැයි ඇමෙරිකානුවන් කීහ. බ්‍රිතාන්‍ය වැසියන් ඊට කැමැති නැත්නම් ඇමෙරිකානුවන් කියා සිටියේ ඇමෙරිකාව ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍ය රජයෙන් හමුදාවක් අවශ්‍ය නැතැයි කියාය.

‘නිවහල් මිනිසා’ ස්වාධීන වූ ඒකීය පුද්ගලයෙක් යන සංකල්පය යුරෝපීයයන්ට එදා නොවැටහුණි. ගෝත්‍රික වූ ආකල්පය තුලින්, ගෝත්‍රය නම් අස්තිත්වයයි (entity). මිනිසා වනාහි සාමූහික ගෝත්‍රය තුල වූ කැප කළ හැකි එක් අංශුවක් පමණි යන ආකල්පයෙන් යුතු විය. උප්පත්තිය නිසා ඉහළ සභාවේ පුටුවක් හිමිවීම සහ රටවැසියෙකු වූ පමණින් හමුදා සේවය අනිවාර්ය කරන පිළිවෙත් පවතිද්දී යුරෝපයේ ‘වහල් මිනිසා’ තවමත් දකිනු හැකිය.

මෙය පාලකයන්ට ද දාසයන්ට ද එක ලෙසින් බලපෑ සංකල්පයකි. පාලකයාට බලය පවත්වා ගත හැක්කේ තම ගෝත්‍රයට කරන සේවය, එනම් ගෝත්‍රයට ආරක්ෂාව සලසා දීම මත ය. රදළයාගේ ජීවිතය හා වස්තුව අයිති රජුට ය. පුද්ගලික දේපලට වූයේ උරුමක්කාරයන්ට පැවරෙන්නා වූ, සීමිත පිරිසකට පමණක් අයිති කරගත හැකි වූ, de facto අයිතිය මිසක නීතියෙන් ඕනෑම අයෙකුට අයිති කරගත හැකි වූ, නීතියෙන් ඕනෑම අයෙකුට විකුණත හැකි වූ de jure අයිතියක් නොවේ. නීතියෙන් සියළු දේපල අයිතිය ගෝත්‍රයේ ප්‍රධානියා වූ රජුට ය. රාජකීය අවසරයෙන් පමණක් එහි ඵල භුක්ති විඳින්නේ ය. රජුට දේපල ඕනෑම විටෙක ආපසු ගන්නට, වෙන කෙනෙකුට පවරන්නට හැකියාව ඇත.

භූමියට තනි අයිතියක් කියන්නට ලොව ප්‍රථම වතාවට ඉඩ ලැබීම නිසා ඇමෙරිකාවේ ‘නිවහල්’ මිනිසා තුලින් ‘නිවහල්’ චින්තනයට මඟක් පෑදුණි. එනම්, අනුන්ගේ ප්‍රසාදය දිනා යමක් ලබා ගන්නවාට වඩා තම වෙහෙස මහන්සියෙන් තමන්ට ලබාගත හැකි, ඒ ලැබූ වස්තුව කිසි විටෙක අනුන්ට උදුරා ගන්නට බැරි, ‘පුද්ගලික අයිතිය’ යන සංකල්පය බිහි විය.

යුරෝපීයයන් සහ අද ලෝකයේ ද නිවහල් පුද්ගලයා යන සංකල්පයේ අරුත හැටියට බොහෝ අය සිතා ඉන්නේ එදා රජුට අයිති වූ රටවැසියා සේ අද ඉන්නේ ආණ්ඩුවට අයිති වූ රටවැසියෙක් කියා ය. රජුට හෝ ආණ්ඩුවට ‘පුද්ගලයාට අයිතියක්’ කිය නොහැකි බව ‘ඇමෙරිකන් නිවහල් මිනිසා’ අර්ථකතනය වෙයි.

පුද්ගලික අයිතිය පිළිබඳ ‘ගෝත්‍රික’ ආකල්පය පවුලක් තුලින් ද දිස්වෙයි. පවුලක ඒ ඒ සාමාජිකයාගේ කාර්ය භාර්ය පවුලේ සුබ සාධනය සඳහා ද නැත්නම් ඒකීය සාමාජිකයාගේ කාර්ය භාරය ස්ව සුබ සාධනය ද යන්න විමසන්න. දෙමාපියන් විසින් දරුවන් වෙත පටවා ඇති බලපොරොත්තු; ජාතිය, කුලය, සමාජ තත්වය හා බැඳී තිබීම නිසා දරුවන් යම් රාමුවක හිර වී සිටීම. ස්ව කැමැත්ත පසු පසට ගොස් පවුලේ කැමැත්ත ඉදිරියෙන් සිටීම. පවුලේ ඒකීය සාමාජික බලතල හා අයිතීන් එක හා සමාන මට්ටමකින් නොතිබීම.

මේ ආකාරයෙන් බලද්දී, සමානාත්මතාවය පතුරවත හැකි වඩාත් ම පැහැදිලි මිනුම් දණ්ඩ ‘පුද්ගලික අයිතිය’ වෙයි. එය ඒකීය පුද්ගලයා අයිති කරගත් භූමිය, මුදල්, භාණ්ඩ යනාදී දේපල පිළිබඳ අයිතියක් පමණක් නොවේ. එය ඊට වඩා ඉහළින් වූ ‘ස්වාධීන කැමැත්ත’ ගැන වූ ඒකීය පුද්ගලයා යනු ‘කිසිවෙකු යටතේ නොවන්නා’ යන්න ගැන වූ පුද්ගලික අයිතියකි. එවැනි සංකල්පයක් එදා ලෝකයේ වෙන කිසි රටකින් දැකිය නොහැකි ය. අද දිනයේ ද මේ සංකල්පය සත්‍යයයෙන් වටහා ගන්නට ලොව බොහෝ පිරිසකට අසීරු වී ඇත.

අද දිනයේ ද ඇමෙරිකාවට අතේ සතේ නැතිව ගොඩ බහින සංක්‍රමණිකයෙකුට ස්ව උත්සාහයෙන් පමණක් එහි ඉහළ තලයේ ධනවතකු වන්නට ඉඩකඩ ඇත්තේ මේ නිසාය. එය අද දිනයේ ද වෙනත් කිසිම රටකින් දකිනු නොහැකිය. ඇමෙරිකාවේ දී ඔබ විනිශ්චය වන්නේ, ඔබට සැලකිලි ලැබෙන්නේ, ඔබගේ කුල පරම්පරාව, අධ්‍යාපනය, මුදල් බලය යනාදියෙන් නොව ‘ඔබ යන මිනිසා’ කවුදැයි අනුව ය.

සංක්‍රමණික‍යෙකුගේ දරුවෙක් වූ බරාක් ඔබාමා ජනාධිපති වෙන්නේත්, ස්ටීව් ජොබ්ස් නැමති හදාගත් දරුවා ධනකුවේරයෙක් වෙන්නෙත්, තැබෑරුමක් අතු ගෑ ‍ජෝන් බේනර් කතානායකයා වෙන්නේත්, ඩොමිනික් ස්ට්‍රවුස් කාන් නැමති රටක ජනාධිපතිවන්නට හැකියාව තිබූ අයකු වෙතින් අතවරයට ලක් වූ හෝටල් කාමර සුද්ද කරන කාන්තාවට නීතිය කැඳවන්නට බලයක් ලැබෙන්නේත්, නිවහල් පුද්ගල අයිතියට තැනක් ලැබෙන එකම රට තවමත් ඇමෙරිකාව නිසාවෙනි.

ධනවාදයේ පදනම නම් මේ පුද්ගල අයිතිය වෙයි. තමා ජීවත් වන්නේ තමන් වෙනුවෙනි. වෙන කිසිවෙක් වෙනුවෙන් නොවේ.