අරුණි ශපීරෝ‍ වෙතින්

“සංචිත ව්‍යවහාර මුදල්” යන්නේ සත්‍ය අර්ථය කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 9, 2017

(කලකට පෙර වෙනත් තැනක දැමූ මා කළ පරිවර්තනයක් මෙහි දී එකතු කරමි. මෙය බිට්කොයින් ආයෝජනයක් හැටියට ජනප්‍රිය වන්නට හේතුවීම සම්බන්ධයෙන් පමණක් නොව වර්තමානයේ සෑම ආණ්ඩුවකින්ම නිකුත් කරන මුදල් හි අගය බාල්දු වෙන්නේ කෙසේදැයි ගැනත් අවබෝධයට වැදගත් වේවි.)

ඇමෙරිකන් ඩොලරය ගැන කියද්දී එය “සංචිත ව්‍යවහාර මුදල්” හැටියට සලකන්නේ විදේශ රටවල් සිය වෙළඳ ගණුදෙනු පියවන්නට එය භාවිතා කරන හෙයිනි. කැනඩාවේ ජනතාව චීනයෙන් බඩු ගනිද්දී, කැනේඩියන් ඩොලර් වලින් ගෙවනවාට වඩා ඇමෙරිකන් ඩොලර් වලින් ගෙවනවා නම් ඊට චීනයේ වෙළෙන්ඳන් වැඩියෙන් කැමති බවක් පෙන්වීම මෙයට උදාහරණයකි. ජාත්‍යන්තර වශයෙන් වැඩියෙන්ම “අලෙවිකරණයට” හැකියාව ඇත්තේ ඇමෙරිකන් ඩොලරයයි. එනම්, ඇමෙරිකන් ඩොලරයෙන් ගෙවීම බොහෝ රටවල් විසින් බාරගන්නා බව පෙනී යයි. චීනය මෙන්ම අනිකුත් රටවල් වලටත්, වෙනත් රටවල් වලින් බඩු මිල දී ගනිද්දී ඔවුන්ට ඒ කැනඩාවෙන් ලැබුණු ඇමෙරිකන් ඩොලර් භාවිතා කරත හැකියි. එසේ නැතිව කැනේඩියන් ඩොලර් භාවිතා කළොත් කැනඩාවෙන් යමක් මිල දී ගන්නා තෙක් චීනය තමනට ලැබුණු කැනේඩියන් ඩොලර් ළඟ තබාගෙන සිටිය යුතුයි. මෙයාකාරයෙන් කටයුතු කරන්නට ලෝකයේ තම ව්‍යවහාර මුදල් මුද්‍රණය කරන සියල්ලන් විසින්ම පටන් ගතහොත් එවිට ජාත්‍යන්තර වෙළඳාම අඩුවෙන් සිද්ධ වෙන තත්වයකට පැමිණෙන අතර එහි වැය ද අධික වෙයි. තවත් විධි අනුව සලකද්දී එහි ප්‍රතිඵලය හරියට මහා අවපාතයට තුඩු දුන් 1930 දී ගෙනා ස්මූට්-හව්ලි තීරැ බද්ද තරම් වෙළඳාමට කරන බාධකයක් හා සමාන ප්‍රතිඵලයක් ගෙනෙත හැකියි.

ජාත්‍යන්තර වෙළඳාම කඩාවැටීමත් සහ යුද්ධත් අතර සම්බන්ධයක් දක්වන අය බොහොමයකි. “මායිම් හරහා භාණ්ඩ ගමන් නොකරද්දී, සොල්දාදුවන් ගමන් කරනු ඇත,” යැයි ශ්‍රේෂ්ඨ ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥයා වූ ෆෙඩ්රික් බැස්ටියාට් කීවේය. සම්පූර්ණ ආර්ථික සමෘද්ධියකින් යුතු ප්‍රමාණවත් ජීවන වියදම් මට්ටමක් අත්පත් කරගන්නට කිසිම දේශයකට තනිවම නොහැකියි. එනම්, පරිපූර්ණ ස්වයංපෝෂිත බවක් සියල්ලෙන්ම සාක්ෂාත් කරගන්නට එක දේශයකට තනිවම නොහැකියි. ඉතින් යම් රටකට අවශ්‍ය භාණ්ඩ සඳහා වෙළඳාමෙන් හුවමාරැවක් කරගත නොහැකි නම්, ඒ රට තම අසල්වැසියන් ආක්‍රමණය කරමින් ඔවුන් වෙතින් හොරකම් කරන්නට පෙළඹේ. මේ නිසා බොහෝ දුරටකට-සර්ව ලෙසකින්- පිළිගත් ව්‍යවහාර මුදල් යනු ලෝක සමෘද්ධියට හා සමානව ලෝක සාමයට ද අත්‍යාවශ්‍යම වූ සාධකයක් යැයි කිව හැකියි.

“සංචිත ව්‍යවහාර මුදල්” යන්නේ සත්‍ය අර්ථය කුමක් ද?

සංචිත ව්‍යවහාර මුදල් යන්න එහි සම්භවයට පාදක වූ අර්ථයෙන් තව දුරටත් පවතින්නක් නොවේ. වෙළඳ ද්‍රව්‍යයක් හා බැඳුණු (සාමාන්‍යයෙන් ඒ වෙළඳ ද්‍රව්‍ය රත්තරන් විය), නැවත එයට හුවමාරැ කරගත හැකි වූ, පොරොන්දු වූ හුවමාරැ අනුපාතිකයන් ද වූ, දැයකට සංචිත ව්‍යවහාර මුදල් යන වහර ආරම්භයේ දී යොදා ගැනිණ. ගෝලීය වශයෙන් සත්‍ය ලෙසින් භාවිතයේ පැවති සංචිත ව්‍යවහාර මුදල් වූයේ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමයි. රන් මිනුම පැවති යුගයේ දී පවුම ‘රත්තරන් හා සමානව අනගි’ වූ නිසා බොහෝ රටවල් රත්තරන් වලට වඩා පවුම ළඟ තබාගැනීම පහසු යැයි දුටුවහ. ලෝක වෙළඳාමේ යෙදුනු දැවැන්තයන් ඔවුන්ගේ වෙළඳ ගණුදෙනු කරන ලද්දේ රත්තරන් වලින් වුවත් ඔවුන් රත්තරන් වෙනුවට පවුම් බාරගත් අවස්ථා වූයේ ඒ පවුම් ඉදිරිපත් කරද්දී බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ් විසින් පිළිගත් ස්ථාවර විනිමය අනුපාතිකය අනුව එයට නියමිත රත්තරන් ප්‍රමාණය දෙනවා යන පිළිගැනීම මතයි. දෙවැනි ලෝක යුද්ධයේ අවසානය වෙද්දී, බ්‍රෙටන් වුඩ්ස් එකඟතාවයෙන් මේ තත්වය පිරිනැමුනේ ඇමෙරිකන් ඩොලරයටයි. “ප්‍රජාතන්ත්‍රවාදයේ යුදායුධ ගබඩාව” හැටියට මිත්‍රජාතීන් දෙවැනි ලෝක යුද්ධයට යන්නට පෙරම ඇමෙරිකාව විසින් ලෝකයේ වැඩිපුරම රන් ගබඩා කොටස හිමි රට විය. ටොන් 8,133.5 ක් සතු ඇමෙරිකාව තවමත් අනෙක් රටවල් සියල්ලටම වඩා (ජර්මනිය ටොන් 3,384.2) විශාලතම රන් තොගය අයිති රටයි.

බ්‍රෙටන් වුඩ්ස් හි එකඟතාවය අනුව, රත්තරන් අවුන්සයකට ඇමෙරිකන් ඩොලර් 35 ක් නියම වෙන පරිදි විනිමය අනුපාතිකය පවත්වා ගැනීමට හැකිවන ලෙස ෆෙඩරල් රිසව් නොහොත් ඇමෙරිකන් මහ බැංකුව විසින් ඩොලරය උද්ධමනය නොකරන්නේය යන කැපවීම උදෙසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මුලින්ම පිහිටුවනු ලැබීය. එදා බ්‍රිතාන්‍ය පවුමට ලැබුණු පිළිගැනීම අනුකරණයෙන්, වෙළඳ කටයුතු සඳහා තමන් සතු ඇමෙරිකන් ඩොලර් භාවිතයේ දී ඒවා “රන් හා සමාන” ලෙස දිගටම පැවතේවි යන්න වෙළඳ ගණුදෙනු කරන ලද රටවල් අතර පැවති විශ්වාසයයි.

ෆියාට් සංචිත මුදල් පැමිණීම

ඇමෙරිකන් මහ බැංකුව බ්‍රෙටන් වුඩ්ස් හි එකඟතාවය පවත්වාගෙන නොගියහ. නොගෙවූ මුදල් සඳහා ඩොලර් 35 කට රන් අවුන්සයක් බැගින් රත්තරන් ගබඩා කරගෙන සිටීමට එකඟ වූ පොරොන්දුව ඇමෙරිකන් මහ බැංකුව කඩද්දී එය නිරීක්ෂණයට පත් කරන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අහක බලාගෙන සිටියහ. 1960 ගණන් වල දී ලින්ඩන් ජොන්සන් ජනාධිපතිවරයා විසින් දරීද්‍රතාවයෙන් මුදවා ගන්නා සුබසාධන වැඩ පිළිවෙත් වලටත් වියට්නාම් යුද්ධයටත් භාණ්ඩාගාරයේ මුදල් වැය කරද්දී ඒවා කරන ලද්දේ භාණ්ඩාගාරයේ තැන්පතු වලින් නොව අලුතින් මුද්‍රණය කරන ලද මුදල් වලිනි. ඇමෙරිකාව ගබඩා කරගෙන සිටින ලද ඩොලර් 35 කට රත්තරන් අවුන්සය යන විනිමය අනුපාතිකය ඉක්මවා යන ලෙසින් නොගෙවූ ඩොලර් ප්‍රමාණයන් ඉහළ ගියේය. ඒ ගැන සොයා බලන්නට අවශ්‍ය යැයි මුලින්ම ඉල්ලා සිටියේ 60 ගණන් අවසන දී ප්‍රංශයයි. පසුව තවත් රටවල් ප්‍රංශය සමඟ එකතු වූහ.

රත්තරන් වෙනුවට ඩොලර් තබාගැනීමෙන් තුටු වූ ලෝකය පුරා පැවති මහ බැංකු එහි දී ඇමෙරිකාවට ප්‍රමාණවත් රන් සංචිත නොමැතිකමෙන් තමනට ආපහු දෙනවා කියූ පොරොන්දු ඉටු කරගත නොහැකිවේ යැයි සැක කරන්නට පටන් ගත්හ. ප්‍රංශය විසින් මූලිකත්වය ගෙන 60 ගණන් වල දී ඇමෙරිකන් මහ බැංකු චකිතයක් ඇති කරන්නට සමත් වීමෙන් 1958 දී ටොන් විසිදාහක් තිබුණු රත්තරන් සංචිතය 1970 වෙද්දී ටොන් අටදාහකට බහින ලදි. මුදවාගැනීම් හි වේගය වැඩිවෙද්දී එක්කෝ ඩොලර් සඳහා රත්තරන් දෙන වගකීම පැහැර හැරීම, නැත්නම් ඩොලරයේ අගය ඉහළ විනිමය අනුපාතිකයට නැවත අගය කිරීම විනා වෙන තෝරා ගැනීමක් ඇමෙරිකාව ඉදිරියේ නොතිබිණ. සැමදා ලැජ්ජාවට පත්විය යුතු තෝරාගැනීම ඇමෙරිකන් මහ බැංකුව විසින් කළහ. 1971 සැප්තැම්බරයේ දී ඇමෙරිකාව දෙවැනි විකල්පය තෝරාගෙන “රන් මිනුමෙන් අයින් වූහ”. (මම ගණන් බලා ඇති සැටියෙන්, 1971 දී ඇමෙරිකන් ඩොලර් සියල්ල සඳහා රත්තරන් හුවමාරැ කරන්නට ඇමෙරිකාවට සිද්ධ වූවා නම්, රන් අවුන්සයක් ඩොලර් 35 ක් වෙනුවට රන් අවුන්සයකට ඩොලර් 400 ක් බැගින් ගෙවමින් ඩොලරයේ අගය අඩු කරන්නට ඇමෙරිකාවට සිද්ධ වෙන තත්වයක් උදා වී තිබිණ.) කෙසේ වුවත්, වෙළඳාමේ යෙදෙන දැවැන්ත රටවල් සියල්ලම තවමත් පරිහරණය කළේ ඩොලරයයි. එය තවමත් ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු සඳහා අත්‍යාවශ්‍ය වූ වැදගත් මෙහෙය ඉටු කරමින් සිටින ලදි. ඩොලරය හා රත්තරන් අතර වූ සම්බන්ධය අයින් කරන ලද වුවත්, ඩොලරය ඉටු කළ මෙහෙය කරන්නට සමත් වෙනත් මුදල් වර්ගයක් ලොව නොවීය.

ඇයි තවමත් ඩොලරය සංචිත ව්‍යවහාර මුදල් ලෙසට පවතින්නේ

මුදල් හැටියට යොදාගන්නට නම් ජාත්‍යන්තර වෙළඳාම සඳහා ප්‍රයෝජනවත් වූ අංග දෙකකි: පළමුවැන්න, එය විශාල වෙළඳ දේශයක් විසින් නිකුත් කරන ලද්දක් වීමයි. දෙවැන්න, දීර්ඝ කාලීනව එහි අගය එම මුදලේ අඩංගු වී තිබීමයි. මේ සාධක දෙක නිසා සංචිත ව්‍යවහාර මුදලක් ලෙසින් ඉල්ලුමක් නිර්මාණය වේ. ඇමෙරිකන් මහ බැංකුව විසින් ඩොලරය උද්ධමනයට භාජනය කරමින් සිටියත්, එයින් කාලයාගේ ඇවෑමත් සමඟින් අනෙකුත් වෙළඳ ද්‍රව්‍ය හා සමගාමීව පවතින අගය හෑල්ලු වෙමින් පැවතියත්, ඇමෙරිකන් ඩොලරය හා තරඟ කරන්නට වෙන සත්‍ය තරඟකරැවෙක් ලොව නොසිටියේය. ජර්මන් ඩොයිෂ මාර්ක් එහි අගය වැඩියෙන් රඳවා ගන්නට සමත් වූවත් ජර්මන් ආර්ථිකය සහ එරට යෙදුනු වෙළඳාම ඇමෙරිකාවෙන් භින්න භාගයකි. එනම් යම් අයෙක් තමන් සපයන භාණ්ඩ සඳහා ගෙවීම් හැටියට ජර්මන් මාර්ක්ස් ලබාගත්තේ ද, ඔහුට ජර්මනියෙන් මිල දී ගන්නට තිබුනේ භාණ්ඩ අල්පයක් පමණි. ඇමෙරිකන් ඩොලර් සතු අයට ඇමෙරිකාවෙන් මිල දී ගත හැකි භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබුණි. ඒ නිසා මාර්ක් එකට තිබි ඉල්ලුම ඩොලරයට තිබි ඉල්ලුමට වඩා අඩු වූවකි. සියළු කොමියුනිස්ට් රටවල් වලට එරෙහි වූ බටහිර රටවල් හි හමුදාමය ආරක්ෂයා හැටියට ඇමෙරිකාවට මනෝමය සාධනීයකරණයක් ද ලැබුණු නිසාත් ඩොලරයට ඉල්ලුමක් පැවතිණ.

වර්තමානයේ දී අපිට වෙනසක ආරම්භයක් දකින්නට ලැබේ. ඩොලරය විශාල වශයෙන් උද්ධමනයට පාත්‍ර කරමින් සිටින ඇමෙරිකන් මහ බැංකුව එහි මිල දී ගැනීමේ හැකියාව අඩු කරමින් සිටින නිසා ලෝක වෙළඳාමේ යෙදෙන අනෙක් දැවැන්ත රටවල් වලට වෙනත්, වඩා හොඳ මුදල් වර්ගයක භාවිතය පටන් ගන්නට හොඳ අවස්ථාවක් පාදා දී ඇත. මෙය වැදගති. මන්ද, ඇමෙරිකන් ඩොලරය සඳහා සංචිත ව්‍යවහාර මුදලක් හැටියට පවතින ඉල්ලුම අඩුවීම යනු විදේශයන්හි සැරිසරමින් පවතින ඩොලර් ට්‍රිලියන ගණනක් නැවත ඇමෙරිකාවට ගලා ඒමයි. එවිට එක්කෝ ආර්ථික උද්ධමනයක්, නැත්නම් ආර්ථික අවපාතයක් නැත්නම් ඒ දෙකම සිද්ධ විය හැකි තත්වයක් උදා වේ. උදාහරණයක් වශයෙන් ගෝලීය මහ බැංකු කොටස් වලින් ඇමෙරිකන් ඩොලර් තබාගැනීම දැනට පවතින්නේ 62% ක් ලෙසයි. ඇමෙරිකන් ඩොලර් නෝට්ටු හැටියට නොව ඇමෙරිකන් භාණ්ඩාගාරයේ ණය හැටියට වෙනත් රටවල මහ බැංකු විසින් පොලියක් ලැබෙන භාණ්ඩාගාර ණයක් හැටියට මෙසේ ඩොලරය පවතී. විදේශයන් සතු ඇමෙරිකන් ණය වර්තමානයේ දී ඩොලර් ට්‍රිලියන 6.154 කි. ඇමෙරිකන් මුල්‍ය පදනම සේ පවතින ඩොලර් ට්‍රිලියන 3.839 සමඟ මෙය සසඳා බලන්න.

ඇමෙරිකන් ඩොලර් අනුව පවතින අභිධාන වත්කම් සඳහා විදේශීය ඉල්ලුම අඩු වී ගියොත්, භාණ්ඩාගාරයට ඒ අගයන් බැසීම පියවා ගන්නට හැකියාව ඇත්තේ ආකාර 3 කින් පමණි. ඉන් පළමුවැන්න නම් විදේශයන් විසින් දුන් ණය ගෙවා දමන්නට ඇමෙරිකන් වැසියන් ගෙවන බදු ඉහළ දමන්නට ඇමෙරිකාවට හැකියි. දෙවැන්න නම්, විදේශයන් විසින් දුන් ණය නැවත ෆිනෑන්ස් කරන්නට පොලී අනුපාතිකයන් ඉහළ දැමිය හැකියි. තුන්වැන්න නම්, තවත් මුදල් මුද්‍රණය කළ හැකියි. ඔව් එසේම ඔවුනට මේ තුනම එක එක ප්‍රමාණයන් වලින් ද කරගෙන යා හැකියි. බදු ඉහළ යැවීම හෝ පොලී අනුපාතිකය වැඩි කිරීම ප්‍රතික්ෂේප කර මුදල් මුද්‍රණය ගැන විශ්වාසය තැබුව හොත් (එය තමයි සිද්ධ විය හැකි යැයි බලාපොරොත්තු විය හැකි වූව, එසේත් නැත්නම් කේන්සියානු ධර්මය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රය වැළඳගැනීම) ඒ නිසා එවිට ණය නිදහස් කිරීම අනුව මුල්‍ය පදනම ඉහළ යනු ඇත. උදාහරණයක් හැටියට, ඇමෙරිකන් ඩොලර් අනුව පවතින අභිධාන වත්කම් සඳහා ඇති ඉල්ලුම 50% කින් පහළ ගියොත් (ඩොලර් ට්‍රිලියන 3.077) ඇමෙරිකන් මුල්‍ය පදනම 75% කින් ඉහළ යනු ඇත. එයින් රට තුල අනිවාර්යෙන්ම මිල උද්ධමනයක් හටගෙන දේශීය වශයෙන් කණගාටුදායක තත්වයක් ඇති වේ. මෙහි දී ජීවන මට්ටම අවදානමකට වැටේ.

වෙළඳ ගණුදෙනු තීරණයේ දී ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින ලෙසකට ඩොලරය පැවතීම බොහෝ දෙනාගේ යහපත පිණිස බව මෙහි දී අපි දකිමු. ඔවුන්ගේ ආනයන/අපනයන ගණුදෙනු ඩොලරයෙන් හැර වෙනත් මුදලකින් වෙද්දී ඩොලරයට ඇති ඉල්ලුම අඩු වීම නිසා ඇතිවන මිල උද්ධමනය වැළැක්වීමටත් සහ එයින් ඉහළ යන මිල ගණන් නිසා ඇමෙරිකන් ව්‍යාපාරයන්ට එල්ල වෙන පීඩනය වැළැක්වීමටත් ඒ නිසා ඩොලරයට ඉල්ලුමක් පවත්වා ගැනීම අවශ්‍යයයි.

සංචිත ව්‍යවහාර මුදල් හැටියට ඩොලරය හමුවේ පවතින තර්ජන

ඩොලරය සංචිත හුවමාරැ මුදල් හැටියට පවතිනවාට ඇති තර්ජනය හමුවේ ඊට පාදක හේතුව නම් ඇමෙරිකන් මහ බැංකුවේ ප්‍රතිපත්තිම වෙති. මගේ අදහස, වෙනත් රටවල් විසින් ඩොලරයට “පහර දීම” සඳහා ගෙන යන කුමන්ත්‍රණ නැති බවයි. එනමුත්, ශුන්‍ය පොලී අනුපාතික ප්‍රතිපත්ති (ZIRP) සහ ප්‍රමාණාත්මක ලිහිල් කිරීම්* (QE) තුලින් ඇමෙරිකාව සිය ඩොලරය දුර්වල කරනවා යන අවබෝධය අනෙක් රටවල් තුල ද වර්ධනය වෙමින් පවතියි. ඒ නිසා ලෝක වෙළඳාම කරගෙන යන්නට ඇමෙරිකන් ඩොලරය හැරෙන්නට වෙනත් හොඳ ක්‍රමයක් සොයා ගැනීමට අවශ්‍ය බව ඒ රටවල් දනිති. ඇමෙරිකන් මහ බැංකුවේ උද්ධමනවාදී ප්‍රතිපත්ති දිගටම අනුගමනය කරද්දී පවා, කෙටි කාලීනව මෙසේ ඩොලරයට සංචිත ව්‍යවහාර මුදල් හැටියට සිටිය හැකි වූයේ අනෙක් රටවල් විසින් ඔවුන්ගේ මුදල් ද උද්ධමනයට භාජනය කරන ලද නිසයි.

උදාහරණයක් හැටියට ජපානය විසින් ඔවුන්ගේ යෙන් ඇමෙරිකන් ඩොලරයට වඩා විශාල ප්‍රමාණයකින් උද්ධමනයට භාජනය කරන ලද්දේ මුදල් අවතක්සේරැ කර ඔවුන්ගේ ලැග සිටින ආර්ථිකයට ජවයක් දිය හැකි යැයි සිතා ගන්නා ලද අඥාන උත්සාහය නිසයි. ඉතින් අද ජර්මනියේ විරෝධය නොතකා යුරෝපීය මහ බැංකුව පවා ප්‍රමාණාත්මක ලිහිල් කිරීම් ක්‍රමයක යෙදෙන්නට සූදානම්ව සිටිති. ලෝකයේ මහ බැංකු සියල්ලම පාහේ මුදල් සැපයුම වැඩි කිරීමෙන් උද්ධමනයේ තර්ජනයක් නොමැතිව සමෘද්ධිය සාක්ෂාත් වෙනවා යන දෝෂ සහගත විශ්වාසයේ එල්බ සිටිති. මෙය ආර්ථික න්‍යයාට සහ ආර්ථික සත්‍යයතාවයට පටහැනි වූවකි. ලැග සිටින හෝ දුර්වල ආර්ථිකයෙන් ගොඩ එන්නට හෝ සමෘද්ධියට මුදල් මුද්‍රණයෙන් යා නොහැකියි. මුදල් සැපයුම වැඩි කිරීමෙන් සියල්ලන්ටම සමෘද්ධියක් නිර්මාණය නොවේ. එය කිසිදා කරන්නට නොහැකියි. තව දුරටත්, මේ වැරදි විශ්වාසය තවත් වැරදි විශ්වාසකට තුඩු දෙන්නකි. එනම්, ඉතිරි කිරීම් යනු සමෘද්ධියේ පදනම නොවේ, සමෘද්ධියේ පාර වියදම් කිරීම තුලින් සිද්ධ වේ යන වැරදි විශ්වාසයයි. මෙය ගොනාට පෙර කරත්තය ඉදිරියට දමන ආකාරයේ වැරැද්දකි.

තෙවැනි වැරද්ද නම් අනෙකුත් මුදල් හමුවේ සිදු කරන විනිමය අනුපාතිකය තුලින් සිය මුදලේ අගය අඩු කිරීමෙන් අපනයන මුල් කරගත් ආර්ථික ගොඩ යෑමක් ඉටුවේ යැයි සිතීමයි. එය යම් ගුප්තාකාරයෙන් මවන ලද එන්නතක් ශරීරගත කරවීමක් හා සමාන වී තිරසාර ලෙසින් ආර්ථික ගොඩයෑමක් සිද්ධ වනවා යන වැරදි විශ්වාස අල්ලා ගැනීමයි. එය සිද්ධ නොවන්නකි. ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රය සහ මුල්‍ය න්‍යාය ගැන වැඩි දුරට කියන්නට නොයා, මුදල් මුද්‍රණය නිෂ්පාදන ව්‍යුහයට බාධා කරනවා යැයි මට කියන්නට ඉඩ දෙන්න. එය එසේ බාධා කරන්නේ ධනවාදයේ “මිල හෙළිදරව් කරන ක්‍රියාවලිය” වංචා සහගත ලෙසින් මෙහි දී වෙනසකට භාජනය කරන නිසයි. මෙය සිද්ධ වෙද්දී, කිසිදාක ලාබයක් උපයත හැකි ලෙසකින් අවසන් නොවන ව්‍යාපෘති සඳහා මුල්‍ය වෙන් කෙරෙයි. බුබ්බුල (ආර්ථිකය හිටිහැටියේ ඉහළ යාමක්) නිර්මාණය වී එය පුපුරා යෑම (හිටිහැටියේ කඩා වැටීම) හට ගනී. ව්‍යාපාර බොහොමයකට හදිසියේ හානි පැමිණේ. එයින් ස්වභාවයෙන්ම හිඟ මුල්‍ය තව දුරටත් විනාශ වී යයි.

අනාගතයේ විය හැකි සෙනාරියන් (scenarios)

මේ මුදල් මුද්‍රණය කරන දර්ශනය ලොව හැම රටකම පැතිර ඇති හෙයින්, මුදල් උද්ධමනය කිරීම පළමුවෙන්ම නවතා දමන, වෙළඳාමේ යෙදෙන ප්‍රධාන රටකට, වර්තමානයේ ඩොලරය පෙන්වන බොරැ අගය නැතිකර දමන්නට ඉතා ඉක්මනින් හැකියාව ලැබෙන ඉඩකඩක් ඇත. පවතින අවදානම කුමක්දැයි කියා චීනය හඳුනන බවට සාක්ෂි ඇත. ඔවුන් සිය රන් සංචිත වැඩි කරන ලදි. එසේම රටෙන් රන් පිට වී යාම වැළැක්වීමටත් පාලන විධි ක්‍රම ස්ථාපිත කර ඇත. ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයත්, ලෝකයේ විශාලතම වෙළඳ ජාතියකුත් එකට එකතු වී ඔවුන්ගේ මූල්‍ය රත්තරන් හා සම්බන්ධ කරත හොත්, යුවාන් හි ඉල්ලුම වැඩි වී ඩොලරයට ඇති ඉල්ලුම එක රැයින් අඩු වී යනු ඇත.

එසේ නැතිනම්, දිගු කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබෙන යුරෝපීය අර්බූදය නිසා ජර්මනිය යුරෝ කලාපයෙන් ඉවත් වී යන තැනට කටයුතු සිද්ධ වී ඩොයිෂ් මාර්ක් නැවත භාවිතය පටන් ගැනීමට ඉඩ ඇත. එයින් යුරෝ මුදල් හි ඇති කුණුවීම සැක නැතිව ඔප්පු වෙනු ඇත. තිරසාර නොවන සුභසාධන රාජ්‍යයන්ට මුල්‍ය යොදවන්නට යුරෝපීය මහා ද්වීපයේ රටවල් බාගයක් පමණ මේ හවුලේ භාවිත කරන යුරෝව කොල්ලාකමින් සිටිති. ජර්මනිය යුරෝවෙන් ඉවත් වුවහොත් එක්සත් රාජධානියෙන් පිටත වූ යුරෝ කලාපය වැඩිපුරම ඩොයිෂ් මාර්ක් භාවිත කරන කලාපයක් බවට හැරෙනු ඇත. එවිට ඇමෙරිකන් ඩොලරය වෙනුවට ලෝකයේ ප්‍රධාන සංචිත ව්‍යවහාර මුදල් සඳහා මාර්ක් පත්වෙන්නට ඉඩක් ඇත.

පවතින ගැටළු සියල්ලම බිහි වූයේ සියළු මහ බැංකු වලට ෆියාට් මුදල් මුද්‍රණය කරත හැකියාව ලැබීම නිසයි. වෙළඳ ද්‍රව්‍යයක් පදනම් කරගත් මුදල් වෙනුවට අද මුදල් පදනම් වී ඇත්තේ ආණ්ඩු වලට නීති පනවත හැකි බලහත්කාරකම මත පමණි. මහ බැංකු යනු ඔවුන්ගේ රටේ මුදල් නීතිමය ලෙසකින් කූටානුකරණය (counterfeiters) කරන්නන් වෙති. මුදල් මුද්‍රණය කරන්න යැයි බලපෑම් එල්ල වෙන්නේ යුධ සහ සුභසාධන දෙකම රිසි දේශපාලනඥයන් වෙතිනි. යුද සහ සුභසාධන යන දෙකම දැඩි සේ මුල්‍ය ගිල දමන කටයුතු වන අතර ඒවා ප්‍රතිලාභ ලැබෙන “ආයෝජන” නොවෙති.

ශක්තිමත් මුදල් පවතින වාතාවරණයක දී, මුදල් සැපයුම උද්ධමනය කරත නොහැකි තත්වයක දී, යුද සහ සුභසාධන වල සත්‍ය ස්වභාවය ඉස්මතු වී පෙනී යයි. සමාජයක් විසින් අරමුදල් කොතරම් ඒවාට යට කරනවා ද නැද්ද යන්න ස්වභාවයෙන්ම දැක බලා ගන්නට අවස්ථාවක් පෑදේ. එහෙත් ෆියාට් මුදල් වාතාවරණයක දී, කිසිත් සෙවීමක් බැලීමක් නොමැතිව යුද සහ සුභසාධන වැය කෙටි කාලීනව වැඩි කරත හැකියි. මන්ද ඒවායේ අහිතකර ප්‍රතිඵල දැකගන්නට ලැබෙන්නේ කාලයක් ඉක්ම ගිය පසු නිසාවෙනි. එවිට පරිභෝජන වියදම් සහ එයින් ආර්ථිකයට සිද්ධ වෙන හානිය අතර සම්බන්ධය වටහා ගන්නට ජනතාවට ඉඩක් පෑදෙන්නේ නැත. ඉතින් යළි පියවා ගත නොහැකි ලෙසකින් තිරසාර ලෙසකින් ආර්ථිකය පවත්වා ගත නොහැකි ලෙසකින් යුද වියදම් සහ සුභසාධන වැය දෙකම ප්‍රසාරණයට බලයේ සිටින රජයට අවස්ථාව පෑදේ.

හොඳම පිළියම නම් මහා බැංකු මුළුමනින්ම අහෝසි කර දැමීමයි. සාමාන්‍ය වෙළඳ නීති වලට අනුකූලව පුද්ගලික ආයතන වලට මුදල් නිෂ්පාදනයට අවසර දීමයි. ශක්තිමත් මුදල් එවිට සියයට සියයක් රන්, රිදී වැනි වෙළඳ ද්‍රව්‍ය වල නෛසර්ගික අගයේ අනුග්‍රහයෙන් පවතිනු ඇත. මුදල් නිෂ්පාදනය කරන ඕනෑම අයෙක් ඔවුන් පොරොන්දු වූ විනිමය අනුපාතිකයට අනුව තිබිය යුතු වෙළඳ ද්‍රව්‍යයට වැඩියෙන් ඒ මුදල් සහතික සඳහා නැත්නම් ජංගම ගිණුම් සඳහා මුදල් නිකුත් කරන්නේ ද, වානිජ සහ අපරාධ නීති දෙකම යටතේ වංචා කරන ලද්දෙක් හැටියට දඬුවම් දිය හැකි වේ. රජය විසින් නීත්‍යානුකූල යැයි කියන (බොහෝ අවස්ථා වල දී) නීතිමය මුදල් පමණක් භාවිත කරත හැකියාව අහෝසි වී වෙනත් තරඟකාරී මුදල් භාවිතයට ද දිරිගැන්වීමක් සිද්ධ වේ. වෙළඳපොල විසින් හොඳ මුදල් මොනවාදැයි සොයා ගෙන අලෙවිකරණයට නොහැකි මුදල් අයින් කර දමනු ඇත. තවත් විදියකින් කිව්වොත් හොඳ මුදල් විසින් නරක නැත්නම් ගුණාත්මක බවෙන් අඩු මුදල් අයින් කර දමනු ඇත.

සංචිත ව්‍යාවහාර මුදල් සංකල්පය දිහා අපි වෙනස් විදියකට බැලිය යුත්තේ එය වැදගත් නිසායි. එය අපිට ලැබුණ වරප්‍රසාදයක් සහ වගකීමක් හැටියට අපි ඒ දිහා බැලිය යුතුයි. එය සෙසු ලෝකයට එල්ල කරත හැකි අවියක් ලෙසින් අපි භාවිතා කළ නොයුතුයි. නීතිමය මුදල් පමණක් භාවිත කරත හැකි නීති අඩු කරත හොත් හෝ අහෝසි කර දමන්නට හැකි නම්, එවිට අපිට මිල අනාවරණය කරගැනීමේ ක්‍රියාවලිය තුලින් හොඳම ශක්තිමත් මුදල් කුමක්දැයි කියා සොයා ගන්නට ඉඩක් පෑදේ. අපේ ඇමෙරිකන් ඩොලරයට එයට විය හැකි වූ හොඳම සල්ලි වෙන්නට -සත්‍යයෙන්ම ශක්තිමත් මුදල- ඉඩ දුන්නොත්, එවිට අපේ පුද්ගලික සහ සාමූහික සමෘද්ධිය ඉතා විශාල ලෙසින් ඉවැඩි වෙනු ඇත.

* *ලංකාවේ ඊට කියන්නේ “ගුණාත්මක ලිහිල් කිරීම” වුවත් මෙම ක්‍රමය ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන්ට අනුව ගුණාත්මක නොවන්නකි!!!

පැට්‍රික් බැරන් විසින් ඩොලරය සංචිත ව්‍යවාහාර මුදල් වීම වැදගත් ඇයි යන මාතෘකාව යටතේ මීසස් දිනපතා තීරැවට ලියන ලද සටහනේ පරිවර්තනයයි.

ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය -ඇඩම් ස්මිත්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2017

ඉතාමත් අපූරු ලෙස සංක්ෂිප්ත කළ ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය

ස්වභාවික සභානුභූතිය සද්ගුණයේ පදනම ලෙස

මිනිස් සත්වයන් සියල්ලන්ටම අනෙකා ගැන සංවේදී දැනුමක් ස්වභාවයෙන්ම පිහිටා ඇත. අයෙක් වේදනාවෙන් සිටිය දී අප අතර ඉන්න නරකම පුද්ගලයාටත් යම් දුකක් හිතට දැනේ. වෙනකෙකුට පහරක් වැදෙන්න යද්දී අපිත් ගැස්සෙමු. කඹයක් මත හිටගෙන දස්කම් පෙන්වන අයෙක් දකිද්දී අපිත් නොසන්සුන්ව ඇඹරෙමු. එසේම අපි අනුන්ගේ සතුට ද බෙදාගන්නෙමු. මෙයට අපි අනුකම්පාව යැයි කියමු.73

මිනිසා කොතරම් ආත්මාර්ථකාමී දැයි කියැවෙතත්, ඔහුගේ ස්වභාවයේ සමහර මූලධර්ම වලින් සාක්ෂි කියා පාන්නේ අනුන්ගේ වාසනාව ගැන ඔහුට උනන්දුවක් ඇති බවයි. එය දකින සතුට හැරෙන්නට, එයින් කිසිවක් ආපසු ලැබෙන්නේ නැති වුවත්, අනුන්ගේ සතුට පෑදීම ඔහුට අවශ්‍ය වූවකි.74

ඒත් මෙහි සීමාවන් ඇත. අපි අනිත් අය හා එකතුව දුක සහ සතුට බෙදා ගන්නේ ඔවුන් කරන ක්‍රියාවන් ඔවුන්ගේ ඒ හැඟීම් හටගත් සිද්ධියට අදාල පරිදි සුදුසු යැයි අපි සිතනවා නම් පමණි. අයෙක් දුකින් හඬා වැලපෙද්දී, අපට ඒ පුද්ගලයා එසේ වැලපෙන්නේ මන්දැයි දැන ගැනීමට උවමනාවක් ඇත. එනම්, අපේ අනුකම්පාව ඇති කරන ලද්දේ ඔවුන්ගේ දුක නම් ආවේගය නොවේ. අපිව උනන්දු කරවන්නේ ඔවුන්ගේ ආවේගය නොව, ඒ දුක ඇති වූයේ කුමන තත්වයක් නිසාදැයි කියා දැනගැනීමටයි. එසේම, දිමෙන්තියාව නිසා සමහරු ඉතා සතුටින් සිටිනු ඇත. මිය ගිය අයෙක්ට සංවේදී තත්වයක් නැති වෙන්නට පුළුවනි. නමුත් ඔවුන් ගැනත් අපි සංවේදී වෙමු. මන්ද, එවැනි අවසානාවන්ත තත්වයකට අපිත් පත්වෙන ආකාරය අපිට හිතාගත හැකි නිසයි. ඒත් යම් අයෙක් අනවශ්‍ය තරම් දුකකින් වැලපෙනවා යැයි දකිද්දී, අනවශ්‍ය කෝපයකින් හෝ අනවශ්‍ය ඇල්මකින් බැඳී ඇතැයි දකිද්දී, අපි එය ඒ පුද්ගලයාට හා අනිත් අයට ද හානිකර වූ තත්වයක් යැයි සලකා ඒ අය ගැන අනුකම්පාවක් ඇති කරගන්නේ නැත.

අනෙක් අතට, අපේ මත සහ ආවේග එයාකාරයෙන්ම බෙදාගන්නා අය හමුවෙද්දී අව්‍යාජ සතුටකින් අපේ සිත් පිරී යයි.75 අපේ හිත්වල තියෙන දෑ අනුන්ට කියද්දී ඔවුන් වෙතින් ලැබෙන සභානුභූතියෙන් අපේ සිත් සැනසේ. අප සමඟ එකඟ වෙන අයගේ අදහස් යුක්ති සහගත, සුදුසු හා ඔබින ඒවා හැටියට අපි සලකමු. නමුත් අනිත් අයගේ ආවේගයන් බෙදා නොගන්නා අවස්ථාවල දී, අපි ඔවුන්ගේ ක්‍රියාවන්ට හා මත වලට අප්‍රසාදය දක්වමු. ඔවුන් වැරදි කරනවා යැයි සිතමු. එය ඔවුන්ගේ මෙන්ම අපේ ද සිත් කනස්සල්ලට පත් කරයි.

එය එසේ වුවත්, ප්‍රේක්ෂකයෙක් හැටියට පමණක්, අපිට තවත් අයෙකුගේ ආවේගයන් වල රෞද්‍ර භාවය මුළුමනින්ම අත්දකින්නට නොහැකියි. අකටයුත්තකට ලක්වූ අයෙකුගේ දැඩි කෝපය, ළඟක දී සමීපවන්තයෙක් මිය ගිය අයෙකුට දැනෙන අතිශය ශෝකය අපිට එයාකාරයෙන් දැනගන්නට හැකියාවක් නැත. අපට දැනෙන අනුකම්පිත හැඟීම්, සත්‍ය වූවත්, එවැන්නා තුල වූ ආවේගයට වඩා බෙහෙවින් දුර්වල වූවකි.

අපි අනෙක් අයගේ ආවේග හඳුනා ගනිද්දී මේ අනික් අය ද අපේ ආවේග හඳුනා ගන්නා ප්‍රේක්ෂකයන් වෙති. ඔවුන්ට ලෙසින්ම තදින් අපිට දැනෙන්නේ නැතිබව ඔවුන් ද දකිති. මේ අසංගතය ඔවුන්ගේ සිත් කනස්සල්ලට පත් කරයි. ඒ නිසා ඔවුන් වැටී සිටින අභාග්‍ය තත්වය අපි දකින ආකාරයෙන් හැඩගස්වා ගන්නට ඔවුන්ගේ ආවේග මෙල්ල කරගන්නට ඔවුන් කටයුතු කරති. ටිකෙන් ටික අපි අනුන්ට පෙනෙන්නට සුදුසු වූ යැයි සිතෙන ආවේග හා ක්‍රියා මොනවාදැයි හඳුනා ගන්නෙමු. අපි ඒවා කොතරම් දුරකට පාලනය කරගන්නවා ද කියතොත්, පැත්තක් නොගන්නා ප්‍රේක්ෂකයෙක් අපේ මනෝභාවයන් සම්පූර්ණයෙන් බෙදාගන්නට තරම් ඒවා සුදුසු යැයි සිතන තරමට අපි එන්නෙමු. අපක්ෂපාතී ප්‍රේක්ෂකයා අනුමත කරන බව අපි දන්නා බැවින්, එයින් සතුටක් ලබන අපි, අනුන් ගැන සැබෑ සැලකිලිමත් බවක් පෙන්වන්නට තවත් දුරට පෙළඹෙමු.

ඉතින් ඒ නිසා, අනුන්ට වැඩියෙන් ද අප වෙනුවෙන් ටිකක් ද සංවේදී වීමේ දී, අපි අපේ ආත්මාර්ථකාමය මෙල්ල කරගැනීමේ දී, අපේ ගුණවත් හොඳහිතට ඉඩදීමේ දී, පරිපූර්ණ මිනිස් ස්වභාවය නිමැවේ. ඉතින් එයින් පමණක් මිනිස් වර්ගයා අතර පූර්ණ ප්‍රසන්න භාවය සහ ශිෂ්ටත්වය පිහිටන්නා වූ මනෝභාවයන්හි සුසංවාදයක් සහ ලාලසයක් ඇති කළ හැකියි.76

මෙයාකාරයෙන් ස්මිත් විසින් මිනිස් සද්ගුණයේ ප්‍රභවය පැහැදිලි කිරීම එවක දී සහමුලින් නව්‍ය උත්සාහයක් විය. සීනෝ වැනි පුරාතනයන් සිට ඩේවිඩ් හියුම් වැනි නූතනයන් දක්වා බොහෝ දාර්ශනිකයන් උත්සාහ කරන ලද්දේ ආචාර ධර්මීය ක්‍රියාවක් පුද්ගලයෙකුට නැත්නම් සමාජයට ප්‍රයෝජනවත් දෙයක් හැටියට පෙන්වන්නටයි. ආචාර ධර්මීය ක්‍රියාවක් සැබැවින්ම ප්‍රයෝජනවත් දෙයක් හැටියට දක්වන ස්මිත් ඒත් එය උවමනාවෙන් හිතාමතා කරන්නක් නොවන බව කියයි. ඒ වෙනුවට ඇත්තේ මිනිස් සත්වයාට එකිනෙකා සමඟ ස්වභාවික වූ සභානුභූතියකි. ඉතින්, අනිත් අය ඉවසන්නේ කොතරම්දැයි හා ඉවසා නොසිටින්නේ කොතරම්දැයි කියා අපි ඉතා ඉක්මණින්ම ඉගෙන ගන්නෙමු.

වේදනාව, කුසගින්න, නැත්නම් ආදරය වැනි ලාලසය ඒකීයපුද්ගලයාට ඉතා සුවිශේෂී වෙති. එනමුත් අනෙකා ගැන හැඟීම වැනි සමාජ ලාලසය ද ඇත. ද්වේෂය වැනි අනාශ්‍රේය වූ ලාලසය ද ඇත. සභානුභූතිය ප්‍රධාන භූමිකාවක් රඟන්නේ මේවායේ දී ය.77

කෙනෙක්ගේ දුකට වඩා සතුට හමුවේ සභානුභූතිය දක්වන්නට අපි වැඩියෙන් කැමැත්තෙමු. දුප්පත් අය තම දරීද්‍රතාවය සඟවා ගන්නේ සහ ධනවත් අය සිය ධනවස්තු හැමට පෙන්වන්නේ මේ නිසයි. මුදල් වලින් ඇත්තටම සතුට මිල දී ගන්නේ නැත. එහෙත් එය එසේ කරනවා යැයි අපි සිතමු. ඉතින් ධනවතුන්ට ඔවුන්ගේ මුදල් වලින් ඇත්තෙන්ම ලැබෙන අරුමෝසම් බඩු හා සුළු පහසුකම් වලට වඩා අපේ සම්පූර්ණ අවධානය, සභානුභූතිය සහ බුහුමන් වැඩි වටිනාකමෙන් යුතුයි.

73 ස්මිත් sympathy යනුවෙන් එය හැඳින්වීය. ඒ නිසා අපිත් එයම භාවිතා කරමු. ඒත් සහකම්පනය/සභානුභූතිය යන අර්ථ දැක්වෙන empathy යන්න එය අද වඩා නිවැරදිව විස්තර කරන වචනයයි.

74 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, I කොටස, I ඛන්ඩය, I පරිච්ඡේදය, 9 පිටුව, I වගන්තිය.

75 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, I කොටස, I ඛන්ඩය, II පරිච්ඡේදය

76 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, I කොටස, I ඛන්ඩය, V පරිච්ඡේදය, 25 පිටුව, 5 වගන්තිය.

77 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, I කොටස, II ඛන්ඩය

ඇඩම් ස්මිත් ලියූ ඉංග්‍රීසියෙන් නොව නූතන ඉංග්‍රීසි හුරුවට හැදූ සංක්ෂිප්ත පොතක් ඇඩම් ස්මිත් ඉන්ස්ටිටියුට් විසින් ප්‍රකාශනය කර ඇත. ඔවුන් විවෘත පරිහරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරති. එහි කොපිරයිට් අයිතියක් තිබුණ ද, භාවිතා කරන අයට බාගත කරගෙන, ‘සේව්’ කරගෙන, කැමති ආකාරයකින් නැවත බෙදාහැරීමට පුළුවන් පහත කොන්දේසි යටතේය: (1) ඇඩම් ස්මිත් ඉන්ස්ටිටියුට් සඳහන් කළ යුතුයි; (2) මෙම නිවේදනය සමඟ එහි වෙබ් ලිපිනය www.adamsmith.org සඳහන් කළ යුතුයි; (3) අන්තර්ගතය කිසිදු වෙනස් කිරීම් වලින් තොරව සම්පූර්ණයෙන් යොදාගත යුතුයි [විවේචනය හෝ සමාලෝචනය සඳහා කොටස් භාවිතය පුළුවනි]; (4) මෙය යළි-විකිණිය නොහැක; (5) මේ හා කරන ඕනෑම අන්තර්ජාල භාවිතයක දී එහි සබැඳිය info@adamsmith.org වෙත යැවිය යුතුයි.


මේ සටහන් පෙළේ සබැඳි අමුණා ඇති ස්මිත් විසින්ම ලියූ සහ ඔහු ගැන ලියැවුණ කෘති සියල්ල මා කියැවීමි. මෙම සංක්ෂිප්තය පරිවර්තනය කරන්නේ එහි මූලාශ්‍ර කියවන්නට මට මෙන් දීර්ඝ කාලයක් මිඩංගු කරන්නට නොහැකි අය පමණක් වෙනුවෙනි.

සහකම්පනය/සභානුභූතිය යන අර්ථ දැක්වෙන empathy යන වචනය ඉංග්‍රීසි භාෂාවට මුලින්ම එකතු වී ඇත්තේ 1909 දී.

නරකම අය උඩටම එන්නේ ඇයි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 3, 2016

img_1682

පිංතූරයේ තියෙන්නෙ අපේ ගම්පළාතේ චන්ද උණුසුම!!! කළින් චන්ද දමන ලද ඇමෙරිකන් පුරවැසියන් තම චන්දය වෙනස් කළ හැකිදැයි ගූගල් කර බලන්නට පටන් ගෙනලු.

ඇමෙරිකන් ජනාධිපතිවරු පනත් සම්මත කරන්නේ ලංකාවේ මෙන් රෑ දොළහට ක්‍රියාත්මක වන පරිදි නොව තම නිල කාලය අවසන් වූවාට පසුව ප්‍රතිඵල අත්විඳින්නට සිද්ධ වන පරිදියි! ඔබාමාගේ සෞඛ්‍ය පනතේ අයහපත් ඵලවිපාකයන් දැනෙන්නට පටන් ගෙන තිබුණ ද, වැය අඩු කරන්නට හැකි යැයි කියා පිහිටුවන ලද රක්ෂණ සෙන්ටර් එකින් එක වැසී ගිහින් ලබන වසරේ රක්ෂණ ආධික්‍යයන් දැඩි ලෙසින් ඉහළ යන බව දැන් ජනතාවට අවබෝධ වී ඇත. ඔබාමා සෞඛ්‍ය පනත ඉවත් කර දමා ඒ වෙනුවට වෙනකක් ගෙනෙන බව ඊයේ පෙරේදා ට්‍රම්ප් කීය. එයත්, ක්ලින්ටන්ගේ ඊමේල් අවුල එන්න එන්නම ඇයව යම් නීතිමය මාර්ගයකට ලක්වෙන බව පෙනෙන නිසාත්, ඩෙමොක්‍රැටික් පක්ෂයට චන්දය දුන් අය දැන් තම චන්දය වෙනස් කරගන්නේ කෙසේදැයි සොයනවා යැයි කියමින් ට්‍රම්ප් විස්කොන්සන් රැළියක දී එම ප්‍රාන්තයේ කළින් හෝ නොගිහින් චන්ද දැමූ අයට කළින් චන්දය අවලංගු කරමින්, 3 වතාවක් තුල චන්ද වෙනස් කරගන්නට හැකියාව ඇතැයි කීය. මිනෙසෝටා, මිචිගන්, පෙන්සිල්වේනියා, නිව් යෝර්ක්, කනෙටිකට් සහ මිසිසිපි ද මේ හා සමාන නීති පවතින ප්‍රාන්ත වෙති.

රත්තරන් පාට පාටියේ උප ජනාධිපති අපේක්ෂකයා හිලරි ක්ලින්ටන් ගැන හොඳ කියූ නිසා ලිබටේරියන් අය අතරත් දැමූ චන්ද වෙනස් කරන්නට සොයන අය සිටින බව දැනගන්නට ලැබේ.

“නරකම අය උඩටම එන්නේ ඇයි” නමින් පරිච්ඡේදයක් සිය “දාස භාවයට යන පාර” නැමති පොතේ එෆ්. ඒ. හයෙක් ලියුවේ 1944 දී ය. එය කියවා අවබෝධ කරගෙන ඇති අයෙකුට ඇමෙරිකාවේ වර්තමාන තත්වය පැහැදිලිව වටහා ගත හැකියි.

සමාජවාදය (අයෙක් උපයන ආදායමට තවකෙකුට අයිතියක් ඇතැයි කීම) ප්‍රචණ්ඩත්වයෙන් තොරව සමාජයක ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් නොවේ. ඊට ගත් ලොකු කුඩා උත්සාහයන් සියල්ලම වැරදී ගිය ද, යළි යළිත් තවත් විදියකින් ඊට උත්සාහ කිරීම සිද්ධ වේ. ඒ ඇයි? සමාජයේ වාසය කරන විශාලතම කේවල කල්ලිය මෙය කළ හැකි වූවක් යැයි තරයේ විශ්වාස කරන හෙයිනි.

සමස්ත සමාජයක් යම් ආකාරයකට සංවිධානය සඳහා යම් පිරිසකට සමාජයේ වෙසෙන බහුතරයකගේ කැමැත්ත කිසිම විටෙක ලැබෙන්නේ නැත. ලැබෙන්නේ විශාලතම වූ කේවල කල්ලියේ කැමැත්ත පමණකි. මේ විශාලතම වූ කේවල කල්ලිය හඳුනාගන්නට ලැබෙන්නේ බෙදී යන්නා වූ කුඩා කල්ලි සංඛ්‍යාව වැඩිවෙද්දීය.

ආණ්ඩුව හදන්න “අපි හා එක්වෙන්න” යැයි අහන්නට ලැබෙන්නේ අර විශාලතම වූ කේවල කල්ලිය හදාගන්නට අර අඳින අයගෙනි. එහෙත් සමාජයේ වාසය කරන බහුතරයේ කැමැත්ත මේ විශාලතම වූ කේවල කල්ලියෙන් විදහා පෑමක් සිද්ධ නොවේ. විශාලතම කේවල කල්ලියේ පැතුම් සමස්ත ජනතාවගේ පැතුම් යැයි බොහෝ දෙනෙක් වරදවා වටහා ගන්නකි. විශාලතම කේවල කල්ලිය යනු බෙදී වෙන් වී ගිය අය අතරේ සිටින විශාලතම කල්ලිය පමණකි.

අධ්‍යාපනය සහ බුද්ධිය ජනතාව අතර වැඩිවෙද්දී, ඒ ඒ පුද්ගලයාගේ දැක්ම සහ කැමැත්ත ද විවිධාකාර වෙති. එකම අගැයුම් පද්ධතියක් ගැන සමස්තයක් ලෙසින් පොදු එකඟත්වයක් දැක්වීම එහි දී අඩු වී යයි.

සමාජයක බහුතර ජනතාව යනු පහත් ආශාවන් ගෙන් යුතු හෝ පහත් ආචාර ධර්මයන් වලින් යුතු අය නොවේ. සමස්ත ජනතාව අතර, අගැයුම් එක හා සමාන වූවන් වෙතින් හැදෙන විශාලතම කේවල කල්ලිය තුල දකින්නට ඇත්තේ පහත් ආශාවන් සහ පහත් ආචාර ධර්ම වීම නිසා බොහෝ දෙනෙක් වරදවා එය සමාජයේ බහුතරයේ හැදියාව හැටියට සලකන්නට හුරු වී සිටිති. තවත් විදියකින් කිව්වොත්, අඩුම පොදු සාධකය තුලින් විශාලතම කල්ලිය එක්සත් වීමේ දී එය සමස්ත සමාජය යැයි වරදවා දකින්නට අපි හුරු වී සිටිමු.

එවැනි එක්සත් කිරීමක් සඳහා, ස්වාධීන අදහස් නැති, නිතර පාහේ තමනට ඇහෙන දෙයක් විචාරයෙන් තොරව පිළිගන්නා, වැඩිදෙනාගේ මතය නිවැරදි යැයි සිතන, රැල්ලට හැරෙන සුළු අයගේ සහයෝගය අවශ්‍යයයි. එවැනි අයගේ සහාය ලබාගන්නේ කුලාක්, යුදෙව්, ධනවාදීන්, වම්මු, සංක්‍රමණිකයන්, මුස්ලිම් යනාදී වශයෙන් සමාජයේ විවිධ සුළු කොටස් හතුරන් යැයි ලේබල් කර ඒ අය නිසා තමන්ට හිමිවිය යුත්ත අහිමි වී යාවි යන බිය පතුරවමිනි. තමනට හිමිවිය යුත්ත අහිමි නොවන ලෙසින් කටයුතු කළ හැකියාව ඇති තමනට චන්දය දීමෙන් පමණක් බව දැක්වීමෙනි. එහි දී සමස්ත සමාජයක විශාලතම වූ කේවල කල්ලිය නිර්මාණය වෙයි.

හයෙක් පොත ලියද්දී මහජන ප්‍රසාදය වැඩිවෙමින් තිබුනේ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයටයි. ඔවුන් පරදවා 1979 දී මාග්‍රට් තැචර් බලයට ආවේ දිගින් දිගටම සමාජවාදී පිළිවෙත් ගෙන ගිය නිසා හටගත් අසාර්ථක ආර්ථිකයක ලැග සිටි බ්‍රිතාන්‍ය වැසියන්ට අවම ආණ්ඩුවක කාලීන අවශ්‍යතාවය වැටහීමෙන් නොවේ.

වර්තමාන යුරෝපීය රටවල ජාතික පක්ෂ වලට සහ දක්ෂිණාංශ පක්ෂ චන්ද අපේක්ෂකයන්ට වැඩියෙන් ප්‍රසාදයක් ලැබී ඇත්තේ ද සංක්‍රමණික අවුල් නොමැති සමාජයක් හැදෙන්නේ කොහොමදැයි පැහැදිලි වීමෙන් නොවේ.

තව දින කිහිපයකින් ඇමෙරිකාවේ විශාලතම කේවල කල්ලිය, එනම් අඩුම අධ්‍යාපනයකින් සහ අඩුම බුද්ධියකින් යුතු විශාලතම පිරිස වෙතින් රටේ ජනාධිපති (හිලරි හෝ ට්‍රම්ප්) තෝරාගැනෙනු ඇත. එයින් ඇමෙරිකන් ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්ව ස්වභාවය කිසිත් ලෙසකින් අඩුවේ යැයි බලාපොරොත්තු විය නොහැකියි.

තමන්ට ආරක්ෂාව සපයන්නට, තමන්ගේ වත්කම දියුණු කරන්නට හා තමන්ගේ සුවසෙත සලසන්නට හැකියාව ආණ්ඩුවකට ඇතැයි විශ්වාස කරන අඩුම අධ්‍යාපනයක් සහ අඩුම බුද්ධියක් ඇති පුද්ගලයන් ආණ්ඩුවක ස්වභාවයෙන්ම ඇති ප්‍රචණ්ඩත්වයට වැඩි වැඩියෙන් බලය පවරති. ඉතින් නරකම අය උඩටම එති.

මතිග්‍රාහී තීරණ ගැනීම් -2 වැනි කොටස

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 23, 2015

පළමු කොටස මෙතැනින්. ඔබ ඉගෙන ගත් දැයක්, නමක් එතැන් පටන් නිතර හඳුනාගන්නට පෙනෙන්නට පටන් ගැනීමත් මිනිසා තුල පවතින මතිග්‍රාහී හැදියාවකි. අලුතින් වාහනයක් ගත්තාම ඒ වාහනය වැනි වාහන හැම තැනක දී ම වැඩියෙන් ඇසට හසු වේ.

අයෙක් වැරදි නිගමනයකට එළඹෙන්නේ එසේ විය හැකි බව තමන්ට මතක්කර නොගනිද්දීය. මිනිසා තුල ස්වභාවයෙන් පවතින යම් ලක්ෂණයක් හඳුනාගැනීමෙන් පසුව සහජයෙන් දක්වන ප්‍රතිචාරය වෙනුවට විචාරශීලීත්වයෙන් දක්වන්නකට වෙනස් කරගන්නට බොහෝ අයට පුළුවනි.

පහත ලැයිස්තුවේ ඇති ඒ ඒ මතිග්‍රාහී හැදියාවන් අඩුවැඩි වශයෙන් තමන්ට ඇතැයි හඳුනාගැනීමෙන් තමන් කරන තෝරාගැනීම්වල දී දෝෂ සහගත තීරණ ගැනීමෙන් ගැලවෙන්නට හැකියාව ලැබේ.

අයෙක් තුල ඇති හොඳ ලක්ෂණ දැකීම නිසා එයා ගැන වූ හැම දෙයක්ම ධනාත්මක ලෙසින් දැකීම.

පහසු ගැටළු ගැන පමණට වඩා වැඩියෙන් විශ්වාසයක් තැබීම සහ දුෂ්කර ගැටළු වල දී අවශ්‍ය පමණින් විශ්වාසය නොතිබීම.

බැටළුවන් මෙන් රැලේ දුවන හැදියාව. විශේෂයෙන්ම තීරණ ගැනීමට දුෂ්කර වූ හෝ අවිනිශ්චිත තත්වයන් හමුවේ දී අන්‍යයන් අනුගමනය.

සිද්ධ වී ඇති දෙයක් දුටු විට එය එසේ වෙනවාමයි තමන් සිතූ බව කියන හැදියාව.

සතියකින් ලැබෙන රුපියල් පන්දාහ වෙනුවට අද ලැබෙන රුපියල් 500 ගැනීමේ හුරුව හෙවත් පසුව ලැබෙන ලොකු ලාබයට වඩා දැන් ලැබෙන සුළු ලාබය බාරගැනීමේ හුරුව.

දුක අදහසක් පහළ වීමෙන් තමන්ටත් නොදැනීම කඳුළු වැගිරවීම වැනි පිටතින් පෙනෙන භෞතික ප්‍රතිචාරයක් දැක්වීමට හුරුවී සිටීම.

සිද්ධීන් පාලනයට හැකියාවක් තමනට ඇතැයි සිතීමේ හැදියාව. තමන් කැමති ක්‍රිකට් පිලට ජයග්‍රහණය ලැබීමට තමන් යම් පාට ඇඳුමක් ඇඳගෙන යාමෙන් පුළුවනැයි ද, සුදු ඇඳගෙන ගියාම නඩුවෙන් ජය ලැබෙනවා යැයි ද වැනි දේවල් සිතීමට පෙළඹීම.

දුර්වල එහෙත් සංස්ථායී (consistent) දත්ත වලින් විශ්වාසයෙන් යුතුව අනාවැකි කියන්නට පෙළඹීම.

තමන් ගන්නා ක්‍රියාවට කිසිත් බලපෑමක් සිද්ධ නොවෙද්දී පවා තොරතුරු එක්කාසු කරන හැදියාව. වැඩියෙන් තොරතුරු තිබීම හැම විටම වැඩියෙන් හොඳ වෙන්නේ නැත. එසේම දැනුම අඩුවෙන් ඇති විටෙක වැඩියෙන් නිවැරදි අනාවැකි කියන්නට හැකි යැයි විශ්වාසය.

අපේ කල්ලියේ අයව හැම විටම වෙනත් කල්ලියක අයට වඩා වෙනස් ලෙසකින් දැකීම.

වැඩියෙන් මුදල් හෝ සම්පත් කළින් කරන ලද ආයෝජනයක් අනුවම නැවතත් කිරීම. එය මෙවර කළ නොයුතු යැයි දැක දැකත් එසේම කරන්නට පෙළඹීම.

‘හොඳට වඩා නරක ශක්තිමත්’ යන හැඟීමෙන් යුතු සමහර අය ඵලදායී අවස්ථා දකිනවා වෙනුවට ඕනෑම තත්වයක් හමුවේ පවතින තර්ජන වැඩියෙන් දකිති. ඔවුන් ධනාත්මක අත්දැකීම් වෙනුවට තම ඍනාත්මක අත්දැකීම් ගැන වැඩියෙන් අවධානය යොමු කරති. මෙහි දී අලාබ මඟහරවා ගැනීමේ ප්‍රයත්නයන්ට යොමු වීමෙන් ලාබ උපයාගත හැකි ප්‍රයත්නයන් දැකීම මඟහැරී යන්නට පුළුවනි.

බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මන්දැයි කියා කළින් තීරණය කර ඇති විටෙක එය ඉබේටම එසේ සිද්ධ වීමට ඉඩකඩ වැඩිවෙන සේ තමන් කටයුතු කිරීම.

හානිකර ක්‍රියාමාර්ගය එතරම් පමණින්ම හානිකර වූ කිසිත් නොකර සිටීමට වඩා වැඩි යැයි තක්සේරු කිරීමේ හැදියාව.

අනතුරුදායක වූ හෝ ඍනාත්මක තොරතුරු හමුවේ දී ඔස්ට්‍රිච් කුරුල්ලා සේ එය නොදකින්නට ඔළුව සඟවා ගැනීමට තීරණය කිරීම.

තීරණය ගනිද්දී එහි අනගිත්වය ගැන නොසලකා එයින් ලැබෙන බව දන්නා ප්‍රතිඵලයෙන් පමණක් තීරණයේ හොඳ නරක මැනීම. ඒ ප්‍රතිඵලය ලැබීමට ඇති වාසනාව ගැන මෙහි දී සැලකෙන්නේ නැත.

තම හැකියාවන් ගැන පමණට වඩා විශ්වාසයක් ඇත්නම් ද දිනපතා වැඩි අවදානම් ගන්නට ද පෙළඹේ.

හටගත හැකි අනතුරුදායක හා ප්‍රචණ්ඩත්ව තත්වයන් සඳහා සූදානමක් නොමැතිව ලෝකය පවතිනවාට වඩා හොඳ තැනක් යැයි විශ්වාසයෙන් තමන් අනතුරු වලට ගොදුරු විය හැකි තත්වයන් හමුවට ගෙන යෑම. එහි අනිත් පැත්ත ඍනාත්මක තත්වයන් ඇතිවිය හැකි යැයි සිතා තමන්ගේ හා අනුන්ගේ කටයුතු වලට ඒ අනුව බලපෑම් ඇති කිරීම.

යමක් ගැන විශ්වාසය තැබූ පමණින් එය ඇති කරන්නට හැකියාව ඇතැයි විශ්වාස කිරීම. තමන් කොටස් වෙළඳපොල කොටස් ගත් නිසා ඒ විශ්වාසය එසේ තබමින් තවත් අය ද කොටස් වෙළඳපොල කොටස් ගෙන කොටස් මිල ඉහළ යාවි යැයි සිතීම.

යමක් කරන්නට කොපමණ කාලයක් යාවිදැයි අවතක්සේරු කිරීම. දහයට එන්නම් කියා පොරොන්දු වී ගෙදරින් දහයට පිටවෙන්නේ මේ අයයි!

මිල දී ගත්තාට පසුව මුදල් ගෙවූ නිසා එහි වටිනාකම එතරම් යැයි තරයේ විශ්වාස කිරීමට පෙළඹීම.

නවෝත්පාදනයක් වෙනුවෙන් පෙනී සිටින්නා එහි අගය හා ප්‍රයෝජනවත්බව ගැන පමණට වැඩියෙන් අගය කරමින් එහි සීමාවන් අඩුවෙන් දැක්වීම.

අනාගත වෙනුවෙන් ආයෝජනය වෙනුවට මේ මොහොත වෙනුවෙන් ක්‍රියා කිරීම.

තම තෝරාගැනීමේ නිදහස ඔප්පු කරනු පිණිස අයෙක් තමන් බලාපොරොත්තු වෙන දෙයට විරුද්ධ වූව කරන්නට ඇති කැමැත්ත.

පරණ දත්ත වලට වඩා වැඩියෙන් තැනක් දෙමින් නව තොරතුරු අගැයුම් කර බැලීම.

ආර්ථික සහ/හෝ අනෙක් කැමැත්තන් හි දී නොවෙද්දී පවා අනෙක් අගයන් වලට වැඩියෙන් ඉහළ තැනක් සාධාරණත්වය ගත යුතු යැයි විශ්වාසය.

අසාමාන්‍ය තත්වයකට ප්‍රතිචාරයක් හැටියට ක්‍රියාවක් ඉටු කරන පුද්ගලයන් තත්වය එතරම් අසාමාන්‍ය නොවූ විට ද වෙනසක් ගෙනාවා යැයි එහි කීර්තිය තමන්ට හිමිකර ගනිති. බොහෝවිට තත්වය ඉබේම සාමාන්‍ය තත්වයට නැවත පැමිණෙන්නට ඉඩ වැඩියෙන් තිබිණ.

පෙළඹවීම හමුවේ තමන්ව හික්මවා ගත හැකියාව ගැන පමණට වඩා වැඩියෙන් විශ්වාසයක් තැබීම.

පුද්ගලයෙකුගේ හෝ සංකල්පයක ඉතාමත් පහසුවෙන් හඳුනාගත හැකි ලක්ෂණ ගැන අවධානය යොමු කිරීමේ හැදියාව.

තමන් ලෝකය දකින ආකාරයෙන් තමන්ගේ අපේක්ෂාවන්ට බලපෑම් එල්ල වීමට ඉඩ දීම.

තමන්ගේ අසාර්ථක උත්සාහයන්ට වැඩියෙන් තම සාර්ථක වෑයම් බෙදාගන්නට සැවොම ඉදිරිපත් වෙති. සත්‍ය තත්වය ගැන වැරදි දැක්මක් ලැබීම සහ තත්වයන් නිවැරදිව තක්සේරු නොකිරීම සඳහාත් මෙයින් යොමුවේ.

එයාකාරයෙන්ම තත්වයන් පවත්වා ගැනීමට ඇති කැමැත්ත. මෙය ලාබ සොයනවාට වැඩියෙන් අලාබ මඟහැරීමේ හැදියාව මෙනි.

පුද්ගලයෙක් ගැන සත්‍ය තොරතුරු නොමැතිව පුද්ගලයා හෝ පිරිසක් තුල යම් ගුණාංග තිබිය යුතු යැයි බලාපොරොත්තු වීම.

නොනැසී ඉන්නා උදාහරණ වලට පමණක් සිත යොමු කිරීම නිසා පවතින තත්වය දෝෂ සහගතව විනිශ්චය කිරීම. අසාර්ථක වූ ව්‍යවසායකයන් ගැන අසා නැති බැවින් ව්‍යවසායකයෙක් වීම හරි ලේසි දෙයක් යැයි සිතීම. මේ හැදියාව නිසාම වාසනාව සහ වෙනත් සාධක වල වැදගත්කම නොසලකා හැර නොනැසී සිටීම අපමණ හොඳ බවකින් සැලකීම.

යම් භාණ්ඩයක අන්තර්ගත වූ සුදුසු යැයි කියන, සියල්ලන් පිළිගත් ආකාරයෙන් යම් ප්‍රශස්ත ඒකකයක් ප්‍රමාණයක් ඇතැයි විශ්වාසයක් පැවතීම. වැඩියෙන් විශාල ආහාර පිඟානක් ලැබෙද්දී වැඩියෙන් අනුභව කරන්නේ මේ නිසයි.

වැඩි අවදානම් තත්වයක දී සැලකිල්ල අඩුකිරීම එතරම් නොකළත්, කුඩා අවදානමක දී එය අවදානමක් නොමැති තත්වයකට අඩු කිරීම. කුඩා දේවල් වල දී සම්පූර්ණ පාලනයට කැමති වීම දකින්නට ලැබුණත් විශාල වූ ප්‍රතිඵලය කුමක්දැයි අවිනිශ්චිත අවස්ථාවන් හී දී සම්පූර්ණ පාලනය බාර ගැනීමට කැමති නොවීම.

සටහන 2013 අගෝස්තු 23 වැනිදා Gus Lubin විසින් Business Insider හි ලියූ 57 Cognitive Biases That Screw Up How We Think ඇසුරිනි.

ව්‍යවසායකයාට හදාගත හැකි හැදියාවන්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 9, 2015

ව්‍යවසායකයෙකු තුල ජන්මයෙන් පිහිටන ගති ලක්ෂණ ගැන පහුගිය සටහනේ සඳහන් කෙරුණි. මේ සටහන ව්‍යවසායකයාට පුහුණුවෙන් වෙනස් කරගත හැකි හැදියාවන් ගැනයි.

අනිත් සෑම වෘත්තිකයෙක් සේ, ව්‍යවසායකයා ද මිනිස් ගති ගුණාංග වලින් යුතු වූවෙකි. ‘හරි නිවිච්ච’ මනුස්සයෙක් යැයි අයෙක් දකිද්දී තවකෙක් එයාවම ‘නෝංජල්’ ලෙසින් දකින්නට ඉඩ ඇත. එනිසා අයෙකු තුල පවතින ‘යහපත්’ බව යනු සාපේක්ෂ අගැයුම් වලින් දක්වන මිනුම් වෙති. එනමුත් වෙළඳපොල ව්‍යවසායකයෙකුගේ සාර්ථකත්වයකට (එය මත ව්‍යාපාරයේ ද සාර්ථකත්වය රඳා පවතින බැවින්) බලපාන ගති ලක්ෂණ යම් අවස්ථාවක දී ඍනාත්මක බැවින් පිරී පවතී ද ඒවා වහා ධනාත්මක බවට හරවා ගන්නට අවශ්‍යයයි. වෙළඳපොල යනු දුර්වලයන්, කම්මැලියන් හා යථාර්ථයට මුහුණ නොදෙන අය වහාම පරාජය කරන තරඟයකි.

සතුටු කරන්නට අසීරු පාරිභෝගිකයන්, තමන් හා ගණුදෙනු කරන අනෙකුත් වෙළෙන්ඳන්, තමන් යටතේ වැඩ කරන අය හමුවේ සංවර හා සංසුන් ලෙසින් හැසිරීම ධනාත්මක ගති ලක්ෂණ ඇති ව්‍යවසායකයාගේ හැකියාවයි. එම හැකියාව ස්වභාවයෙන්ම නැති අය එමට ව්‍යවසායකයන් අතර සිටිති. ඉතින් මේ අය වෙළඳපොල ජයගන්නට කරන්නේ එක්කෝ තම හැදියාව වෙනස් කරගන්නට වෙහෙසක් ගැනීමයි. නැත්නම් ඉහත කාර්යයන් සඳහා සහජයෙන් දක්ෂ වෙනත් අය පත්කර ගැනීමයි.

වැඩ කටයුතු රාශියක නියැළෙන ව්‍යවසායකයාට ඉක්මන් තීරණ ගැනීමට නිතර සිද්ධ වේ. දාහක් දේවල් ගැන අදහස්, මත, දත්ත, තොරතුරු ව්‍යවසායකයාගේ මනසේ නිතර නළියයි. එකකින් තවකෙකට නිතර පීලි පනින හැදියාවක් මේ නිසා හට ගනියි. එයින් සමහර අවස්ථා වල දී තමන් යටතේ සේවය කරන, තමන් හා ගණුදෙනු කරන අයව මෙන්ම තම පාරිභෝගිකයන්ව ද අන්දුන් කුන්දුන් කරන්නට ව්‍යවසායකයා නොදැනීම කටයුතු කරයි. දාහක් වැඩ එකවර කරන්නට යද්දී අවධානය යොමු කළ යුතු කටයුත්ත මගහැරී යන අවස්ථා සහ තමන්ට සපයන වාර්තා වලට නිසි අවධානය දීමත් මගහැරෙන අවස්ථා සුලබ වේ.

අනුන්ව තක්බීරි කරනවා පමණක් නොව එහි දී තමන් විසින් තමාවම තක්බීරි කරගන්නා තත්වයකට ද ව්‍යවසායකයා මුහුණ දෙයි.

මහා කර්තව්‍යයන් කන්දරාවක් ඉදිරියේ තමන් අවධානය යොමු කළ යුතු ඒ ඒ කටයුත්තට නිසි අවධානයක් දෙනවා ද නැත්නම් හිස ගිනිගත්තෙකු සේ වැඩ කරනවාදැයි නැද්දැයි විමසා බැලීමට ඉඩකඩක් සැම විටම වෙන්කර තියන්නට ව්‍යවසායකයා අමතක නොකළ යුතුයි.

අනෙක් සියල්ලන් වෙතින් සර්ව සම්පූර්ණත්වය බලාපොරොත්තු වීම තමන්ගේ කාර්ය භාර්ය ද සර්ව සම්පූර්ණ ලෙසකින් ඉටු කරන්නට නිති වෙහෙසෙන ව්‍යවසායකයාගේ ගති ලක්ෂණයකි. තමන් හා සේවය කරන කණ්ඩායම අතර, ආයෝජන හවුල්කාරයන් අතර, සහ තම පාරිභෝගිකයන් අතර ද මේ නිසා සිත් අමනාපකම්, බලාපොරොත්තු කඩවීම් සහ සිත් තැවුල් හට ගැනීම දකින්නට ලැබේ.

ස්ටීව් ජොබ්ස් ඉහත ගති ලක්ෂණයෙන් යුතු ව්‍යවසායකයෙක් වූයේය. ඔහු හා වැඩ කරන්නට නොහැකි යැයි කියා අයින් වී ගිය සේවක සංඛ්‍යාව බොහෝ වූහ. ඔහු හැදූ කොම්පැණියේ ආයෝජකයන් විසින් වරක් ඔහුව නෙරපා හරින ලදි. ජොබ්ස්ගේ බලාපොරොත්තු පරිදි නිර්මාණයක් සර්ව සම්පූර්ණ නොවූ නිසා භාණ්ඩ වෙළඳපොලට ඒම ප්‍රමාද වීමෙන් ඇපල් පාරිභෝගිකයන් උරණ වූ අවස්ථා ඇත. ප්‍රමාදයන් නිසා ව්‍යාපාරයට අලාබ සිද්ධ වූ අවස්ථා තිබිණ.

දක්ෂ ව්‍යවසායකයා යනු යා යුතු වූ නියම මාර්ගය කුමක්දැයි තමන් තුල ඇති නිගමනය දැඩි සේ විශ්වාස කරන්නෙකි. තමනට කළ නොහැකි කාර්යයන් සඳහා අවශ්‍ය අය සහායට ගන්නෙකි. ව්‍යාපාරයක් යනු උද්ධච්ච හැදියාවට ඉඩ ඇති තැනක් නොවේ. පාරිභෝගිකයන්ගේ කැමැත්ත සපුරා ලන්නට යම් ව්‍යවසායකයෙක් ප්‍රතික්ෂේප කරන්නේ ද, එය ඉෂ්ට කරන ව්‍යවසායකයෙක් වහා ඉදිරිපත් වීම වෙළඳපොල තරඟයයි.

ව්‍යවසායකයා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ අනෙක් අය විසින් මෙතෙක් සපුරා නැති ඉල්ලුමක් දැක්ක නිසයි.

ව්‍යවසායකයෙක් වෙන පුද්ගලයෙක් බොහෝ විට අනුන් යටතේ, අනුන් සමඟ, අනුන් සඳහා සේවය කරන්නට අකමැති අයෙකි.

එහෙත් සාර්ථක ව්‍යාපාරයක් සඳහා කණ්ඩායමක් අවශ්‍ය වීම ව්‍යාපාරයේ යම් අවස්ථාවක දී අනිවාර්යෙන් මුහුණ දෙන්නක් බව ව්‍යවසායකයා වැඩිකල් නොගොස් වටහා ගනියි.

තමන් විසින් සියල්ල තීරණය කරන බලය යම් දුරකට අත්හරින්නට සිද්ධ වීම මේ නිසා ව්‍යවසායකයා අනිවාර්යෙන්ම මුහුණ දෙන ගැටුමක් වේ.

සමහර ව්‍යවසායකයන් යම් ව්‍යාපාරයක් ආරම්භ කර, එය කණ්ඩායමක් විසින් ගෙන යා යුතු තැනට පිවිසෙද්දී එයින් අයින් වී වෙනත් ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කරන හැදියාවකින් යුතු වෙන්නේ මේ නිසයි.

දැනුම හා විශ්වාසය මත කටයුතු කරන ව්‍යවසායකයා හැරෙන්නට දැඩි මමත්වයකින් කටයුතු කරන අය ද සිටිති. ශක්තිමත් ආත්ම විශ්වාසය සහ මමත්වය අතර වෙනස හඳුනා නොගත්තොත් ව්‍යාපාරය බංකොළොත් වෙන නිසා ඍනාත්මක හැදියාව වර්ධනය වෙන්නට පෙර එය මැඬ ගන්නට නිති අවධානයකින් යුතු වීම අවශ්‍යයයි.

ඇමෙරිකන් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙක් වූ, ලිබටේරියන් පක්ෂයෙන් ජනාධිපති තරඟයට ඉදිරිපත් වූ, ගැරී ජොන්සන් තුරුණු වියේ දී ව්‍යවසායකයෙක් වූයේය. සේවකයන් බඳවා ගැනීම හා සේවයෙන් නෙරපීම තමන් මුහුණ දුන් ඉතාමත්ම දුෂ්කර කාර්ය භාරය සේ ඔහු දැකීය. ව්‍යවසායකයා බොහෝ තීරණ ඉක්මණින් ගත හැකි අයෙක් වුවත්, ගත යුතු සමහර තීරණ හමුවේ දී ඒවා කල් දමන හැදියාවෙන් යුතු වීම නිසා ව්‍යාපාරයේ වර්ධනය බාල වීමත්, අලාබ වලට මුහුණ දෙන්නටත් සිද්ධ වේ. සේවකයන් බඳවා ගැනීම හා නෙරපා හැරීම කල් දමන හැදියාවෙන් යුතු වේ නම් ඒ සඳහා වෙන අයෙක් පත්කර නොගැනීම ව්‍යාපාරයේ දියුණුවට බාධාවකි.

අලුත් ගණුදෙනු කරුවන් සොයා ගැනීමට නිතර පාහේ නොදන්නා අය හමු වී කතා බහ කරන්නට සිද්ධ වීම ව්‍යවසායකයා හමුවේ ඇති තවත් අභියෝගයකි. නොදන්නා අයෙක් හා ගණුදෙනුවකින් ජයග්‍රහණයක් ලබද්දී වැඩි වැඩියෙන් නොදන්නා අය ගැන විශ්වාසය තැබීම සේ ම, අප්‍රසන්න ගණුදෙනුවකින් පසුව අලුත් අය හා එකතු වීමට භීතියක් ඇති කර ගැනීමත් ව්‍යවසායකයාට අහිතකර වූ හැදියාවයි. දෙපැත්තටම වාසි ලැබෙන ගණුදෙනු කරත හැකි යැයි විශ්වාසයෙන් ඒත් සෑම ගණුදෙනුවකම යම් අවදානමක් ඇතැයි සැලකිල්ලට ගැනීමට ව්‍යවසායකයා තමන්ට නිතිපතා මතක් කරගත යුත්තකි.

ව්‍යාපාරයේ වැඩ කටයුතු වලට දැඩි සේ ඇබ්බැහි වීමෙන් පවුලට හා හිතවතුන්ට දක්වන සැලකිල්ල සහ සමීපත්වය අඩු කිරීම නිසා ද පැතිර යන ‘නරක නාමයෙන්’ අනතුරුව ව්‍යාපාරයේ වර්ධනයත් සීමා විය හැකියි. තම දැක්මෙන් පමණක් ලෝකය දකින්නට හුරුවෙන ගතිය තමන්ගේ පවුල සහ සමීප හිතමිතුරන් වෙතින් ලැබෙන අවවාද, විවේචන වලින් දුරු කරගන්නට හැකියාව ද ලැබේ. දක්ෂ ව්‍යවසායකයා නොනිමෙන ආශාවකින් සහ සභානුභූතියෙන් ද යුතු වූවෙකි. එහෙත් ඒ ගති ලක්ෂණ නිසාම ව්‍යවසයාකයා දැඩි ආවේගශීලී අයෙක් ලෙසින් අන් අයට පෙනෙන්නට හා එසේ කටයුතු කරන්නට ද හැකියි. එහි දී ද ව්‍යාපාරයට අලාබ පාඩු සිද්ධ විය හැකියි.

වෙනස් වෙන්නට අකමැති හෝ ඒ සඳහා කාලය හා වෙහෙස වැය කිරීම අනවශ්‍ය යැයි සිතන බුද්ධිමත් ව්‍යවසායකයා තම ව්‍යාපාරයේ දියුණුව පිණිස තමන්ගේ දුර්වලතා පිළිගනියි. ඒ දුර්වලතා නැති දක්ෂයෙකුට ඒ කර්තව්‍යයන් මනා ලෙස ඉටු කරන්නට බලය පවරයි.

හැම දෙයක්ම හිඟ නම් තමයි අපේ රට සරුවෙන්නේ

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 20, 2014

“…. අපේ රටේ හදන දේම
ගත්තොත් අපි හැමදෙනාම
අප රට සරු වේවි හොඳට …” යැයි දරුවන්ට ගීයක් ගයන්නේ ජානකී සූරියාරච්චි විසින් ඇයගේ ‘සිංදු පීඩියා” නම් ලංකාවේ ප්‍රථම කාටූන් සංගීත ඇල්බම් එකේ ටිකිරි ගී අංක 49 ලෙසටයි.

“අපි පුළුවන් තරම් අපේ රටේ හදපු ඒවා ගන්න කොට තමයිලු අපේ රට සරුවෙන්නෙ,” යැයි ඇහෙන ළමා මනස, ගීතයේ රසාස්වාදය සමඟින් රටක ආර්ථිකයක් වැඩ කරන හැටි ගැන වැරදි දැක්මට හුරුවෙති.

මෙයින් කියැවෙන්නේ “හැම බඩුවක්ම හිඟ නම් තමයි අපේ රට සරුවෙන්නේ,” යන්න නොවේ ද?

බඩු හිඟ යුගයක් ලංකාවේ තිබිණ. මේ ටිකිරි ගීයේ දැක්වෙන පරිදි කඩ රාක්ක වල පිංතූරයක් නම් එදා ලංකාවේ දකින්නට නොමැති විය. දේශීය නිෂ්පාදන තෝරාගැනීමට කැමැත්ත එකකි. එහෙත් ඒ නිසා රටක් සරැවේ යැයි වැරදියට සිතීම වෙනකකි.

රටක බහුතරයක් ජනතාව මෙවැනි අදහස් විශ්වාසය කරන්නේ ලෝකයේ බහුතරයක් අර්ථ ශාස්ත්‍රඥයන් එය බැහැරලන ලද්දක් බව නොදැන. ආර්ථික විසංවාදයක් හැටියට මෙය 1867 වැනි ඈත අතීතයක දී ලොවට පෙන්වා දුන්නේ ෆෙඩ්රික් බැස්ටියාට් විසිනි.

මෙන්න ඔබ විසින් තනිවම කල්පනා කර විමසා බැලිය යුතු ප්‍රශ්න කිහිපයක්:

ඒකීය මිනිසාටත්, මිනිස්සු පිරිසක් ලෙසින් ජීවත්වන ඕනෑම සමාජයකටත් වැඩියෙන් හොඳ කුමක් ද? බඩු භාණ්ඩ බහුලව තිබීම ද? නැත්නම් හිඟ තත්වයන් පැවතීම ද?

බහුලත්වය නොව වෙළඳපොලේ භාණ්ඩ හිඟය වැඩියෙන් හොඳ යැයි කියන අය කවුද?*

බඩු හිඟයක් රටේ පැතිර යාම ගැන ප්‍රශංසා කරන දේශපාලනඥයෙක් කිසිම රටක දකින්නට ඉන්නවා ද? නැත්නම් එවැනි අවස්ථාවක දී හැම දේශපාලනඥයෙක්ම කරන්නේ හිඟය නැති කරන්නට මේ මේ දේවල් කරනවා යැයි පොරොන්දු ප්‍රකාශය ද?

වෙළඳපොලේ බඩු භාණ්ඩ බහුලව තිබුණොත් එවිට කුමක් වේදැයි ගැන ජනතාව බියකින් සිටිනවා ද?

පිටරටින් බඩු ගෙන්වීම නරකයි සහ පිටරටට බඩු යැවීම හොඳයි යන්න ඕනෑම රටක ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි ගැන නොදන්නා ලෝක වාසීන්ගේ විශ්වාසයයි.

දේශීය අපනයන නිෂ්පාදන වසර පහක් යද්දී දෙගුණයකින් වැඩි කළ යුතු යැයි යැයි 2010 දී බරක් ඔබාමා කියා සිටියේ එයින් මිලියන දෙකක රස්සා බිහිවෙනවා යැයි කියමිනි.

පිටරටට පටවන අපනයන යනු රටට ගෙනෙන ආනයන සඳහා ගෙවන මිලයි. ඒ නිසා රටක වැසියන් කළ යුත්තේ හැකිතරම් විශාල ප්‍රමාණයකින් ආනයන ගෙන්වා ගැනීම සඳහා හැකි තරම් කුඩා ප්‍රමාණයකින් අපනයන කිරීමයි කියා මුලින්ම පැහැදිලි කර දුන්නේ ඇඩම් ස්මිත් විසිනි. මිල්ටන් ෆ්‍රීඩ්මන් 1978 දී එය මෙසේ පැහැදිලි කළේය:

කෙටියෙන් කිව්වොත්, අපි පිටරටෙන් ගෙන්වන බඩු – අපි පිටරටට පටවන බඩු = අපේ ජීවන මට්ටම

අර්ථ ශාස්ත්‍රයට අනුව, සමාජයක ජීවන මට්ටම ඉහළින්ම පවතින්නේ රටට ගෙන්වන බඩු උපරිමයෙන් වැඩි කිරීමටත්, රට පටවන බඩු හැකිතාක් අඩු කරන්නටත් හැකියාව ලැබෙද්දී ය.

මෙහෙම හිතන්න: ඩිංගක් රට පැටවීමෙන් ගොඩක් රටට ගෙන්වා ගන්නට හැකියාවක් ලැබෙනවා නම් එයට අකමැති මන්ද?

බඩු විකුණන්නා සහ බඩු මිල දී ගන්නා අතර ගැටුමක් නොව ඇත්තේ කැමැත්තෙන් සිද්ධ වෙන හුවමාරුවකි. තමන් අහිමි කරගන්නට කැමති මුදලට වඩා බඩුව අගයකින් යුතු යැයි සිතන්නේ නැත්නම් අයෙක් මුදල අහිමි කරගන්නේ නැත. ඒ මිලට බඩුව ගන්නට සිද්ධ වීම ගැන සිතේ හටගත් අප්‍රසාදය වෙනකකි. ඒත් මුදල දී බඩුව ගෙන යෑමෙන් කියන්නේ ඒ මුදලට වඩා බඩුව අවශ්‍ය වූ බවයි. එනම් අහිමි කරගත් මුදලට වඩා හිමිකරගත් බඩුවේ අගයක් තිබුණ බවයි.

ලාබය සොයන චේතනාවෙන් කටයුතු කරන වෙළෙන්ඳන් මංකොල්ලකාරයන් හැටියට දකින හුරැව නිසා වෙළෙන්ඳා බඩුව ගන්න යැයි පාරිභෝගිකයාට බලහත්කාරකමක් නොකරන අවස්ථා පෙනෙන්නේ නැත.

වෙළෙන්ඳා* යනු ස්වභාවයෙන්ම වෙළඳපොලේ බඩු භාණ්ඩ හිඟයක් තිබෙනවාට, බඩු තොග අඩු වෙනවාට, බඩු මිල වැඩිවෙනවාට කැමැත්තක් දක්වන අයෙකි.

පාරිභෝගිකයා යනු ස්වභාවයෙන්ම වෙළඳපොලේ බඩු බහුලව තිබෙනවාට, තොග යහමින් තිබෙනවාට සහ අඩු මිලට බඩු ගන්නට හැකිවෙනවාට කැමැත්තක් දක්වන අයෙකි.

මෙම ස්වභාවික තත්වයන් යටතේ රටක නීතිය විය යුත්තේ වෙළෙන්ඳාගේ පැත්ත ගැනීම නොවේ. පාරිභෝගිකයාගේ පැත්ත ගැනීම ද නොවේ. විකුණන්නා සහ මිල දී ගන්නා, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා, ඉහළ මිල සහ අඩු මිල, හිඟය සහ බහුලත්වය යනාදියේ පැත්තක් ගැනීම නොව නීතිය කළ යුත්තේ මධ්‍යස්ථව සිටීමයි.

නීතිය මධ්‍යස්ථ වෙද්දී නීති සම්පාදකයන්ට සහ නීතිය ක්‍රියාත්මක කරන අයට අනුන්ට බලය පෙන්වත හැකියාව අහිමි වේ.

නීතිය මධ්‍යස්ථ නොවී පැති ගනිද්දී, සමාජයේ යහපත උදෙසා කියමින් අනුන්ට නීති දාන්නට රිසි බලලෝභීන්ට බලය පෙන්වත හැකියාව හිමි වේ.

බලය මේ තරම් ප්‍රමාණයෙන් තිබිය යුතු යැයි කියන්නට දන්නා ජගතෙක් ලොව නැත.

සියල්ලන්ටම සාධාරණයක් සිද්ධ කරත හැකි නියාමන ගෙනෙන්නට දන්නවා යැයි කියන විද්වතුන් වනාහී බලතණ්හාධිකයන්ට බලය පුදන්නට ඍජුවම හෝ වක්‍ර ආකාරයකින් සහාය දෙන අයයි.

ලාබ සොයන්නාව පහත් කරමින් අනුන්ට බලය පෙන්වන්නාව සහ අනුන්ට බලය පෙන්වන්නට සහාය දෙන්නන්ව ජාතියේ පිනට උපන් අය යැයි මෝඩකම චේතනාවක් කරගත් රටවැසියන් ප්‍රශංසා කරති.

ඒ අස්සේ මේ හුරැවෙන් යුතු වූ නූගත් වෙළෙන්ඳා ද කැමති හිඟ තත්වය පවත්වා ගන්නට නිසා ඔහුත් බලලෝභීන්ගේ සහාය පතයි. එවැනි රටවල ජනතාව හැමදාම හිඟය සහ හිඟනකම උරැමයක් කරගෙන සිටිති.

ඉතින් බහුලත්වය සොයන පාරිභෝගිකයා දේශීය භාණ්ඩ ගැනීමෙන් පමණක් තම රට තවත් සරුවේ කියා රැවටී බලලෝභීන්ගේ සහායෙන් හිඟ තත්වය පවත්වා ගෙන සිටින වෙළෙන්ඳා වෙතින් පමණක් බඩු මිල දී ගනියි.

මෙවැනි සටහන් සිංහලෙන් ලියන්නට වෙන කෙනෙක් නැති නිසා නොදන්නා අය පවා තරහා වෙන්න ඉඩ තිබෙද්දී මේවා මටම ලියන්නට සිද්ධ වේ. ඒත් මගේ අරමුණ කාටවත් පහර දීම නොවේ. සිංහලෙන් කියවන අනාගත පරම්පරාවකට හෝ ආර්ථිකය ගැන නිවැරදි දැක්ම සඳහා යා හැකි පාරක් පෙන්වීමයි. ඒ පාරේ යනවා ද නැද්ද තෝරා ගැනීම කියවන්නා සතුයි.

වසවිෂ, ආසනික් හා කොකා කෝලා

Posted in Uncategorized by arunishapiro on ජූලි 24, 2013

ස්වභාවික රසායන වලට වැඩියෙන් මිනිසා හදන ලද රසායන අහිතකර යැයි දුර්මතයක් ලොව පවතී. ජමනාරං හා පැණිදොඩම් යනාදී පැඟිරි පළතුරු වලින් ලැබෙන විටමින් සී –ඇස්කෝබික් අම්ලය– සහ මිනිසා විසින් හදන විටමින් සී හි කිසිදු රසායනික වෙනසක් නැත. එහෙත් පැඟිරි පළතුරක් අනුභවයේ දී ලැබෙන ලොඬිය (pulp) විටමින් පෙත්තකින් නොලැබේ.

පැලෑටි සහ සත්වයන් වෙතින් ලැබෙන රසායන හැම විටම “හොඳ” යැයි ද මිනිසා නිර්මාණය කරන ලද රසායන හැම විටම “නරක” යැයි ද සිතීම දුර්මතයකි.

ස්වභාවික රසායන බොහොමයකින් මිනිසාට මරණය ළඟා විය හැකියි. වසවිෂ ගැන කතාබහේ දී මාත්‍රය (dose) යන්න ඉතා වැදගත්. ඒ නිසා කෝපි බීලා කැෆීන් විෂවෙලා මරණය සිද්ධ විය හැකියි කියද්දී, ඒක අසත්‍යයක් නෙමෙයි. හැබැයි මැරෙන්න හැකි තරම් ගණනාවක් ගෙදර හදන කෝපි කෝප්ප පානය කරන්න හැකියාවක් අයෙකුට නැතැයි කීමත් අසත්‍යයක් නෙමෙයි.

මෙන්න මෙවැනි කතාබහේ දී තමයි වසවිෂ හා ආහාර ගැන බොහෝ අයට ලිහා ගන්න බැරි අවුල් හටගන්නේ.

ඉස්සෝ අපි බොහෝ දෙනෙකුට ඉතා රසවත් ආහාරයක්. ඒත් ඉස්සන්ට දැඩි අසාත්මිකතාවයක් ඇත්තෙකුට ඉස්සෙක් ගෑවිච්ච කෑමක් කැවුනොත්, හනිකට ප්‍රතිකාර ලබා නොදුන්නොත්, එය මරණය කැඳවන විෂක්.

ඒ ඒ පුද්ගලයාට අනුව පමණක් නොව, එකම පුද්ගලයාට ද, හැම විටෙකම මෙහෙමයි මේ මේ දේවල් වසවිෂ වෙන්නෙ කියා ද නිසැකවම නිශ්චිතවම අනාවැකි කියන්න බැරි වූවක්. ඒත් අපිට කාලාන්තරයක් තිස්සෙ වැරදි නිවැරදි කරගෙන ආපු නිසා වර්තමානයේ දී බොහෝ දුරට ජීවිත ආරක්ෂා කරගත හැකි දැනුම් සම්භාරයක් ලැබී ඇත. ඒ නිසා වතුර වැඩියෙන් බිව්වමත් විෂ වෙන්න පුළුවන් යැයි දන්නා අතර, හැබැයි මැරතන් දුවන්නෙක් හෝ අතදරුවෙක් නොවෙනවා නම් වතුර විෂවීම ඉතා දුලබ වශයෙන් දැකිය හැකි වූවක් යැයි කියාත් අපි දනිමු.

ඉතින්, ආසනික් හෝ කොකා කෝලා ‘ආහාරයක්’ වෙන අවස්ථාව සහ එය ඉක්මවා යන එනම් එය වසවිෂක් වෙන අවස්ථාව නොහොත් ‘කොම්ප්‍රොමයිස් ගහන්න බැරි අවස්ථාව’ හඳුනාගන්නේ කෙසේද?!!!!!!!

අපි කන ආහාර සහ බොන වතුර වලින් තමයි ආසනික් සිරුරට ඇතුල් වෙන්නෙ. වායුවෙන් ලැබෙන ආසනික් අඩුයි. කිලෝග්‍රෑම් 70 ක් පමණ බරක් ඇති සාමාන්‍ය පුද්ගලයෙක් තුල ආසනික් මිලිග්‍රෑම් 10 ක් පමණ අඩංගුයි. අක්මාව නොනවත්වා එය නිශ්කර්ශය (extract) කරමින් එය ප්‍රධාන වශයෙන් ඩයිමෙතිල්ආසනික් අම්ලය බවට හරවමින් මුත්‍රා සමඟ පිට කරයි. මේක අක්මාවේ වේගවත් ක්‍රියාවලියක් නිසා ඒ ආසනික් වලින් සිරුරට හානියක් නැත.

මෑත කාලයක් වනතුරු ආසනික් යොදා ගනු ලැබුවා ලෝක කුකුල් කර්මාන්තයේ උන්ගේ වර්ධනය රෙගුලාසි කරගන්නට. ඊයේ දාපු කෝක්-පෙප්සි අවුල මතකයිනෙ. ඉතින් කුකුල් කර්මාන්තයේ ආසනික් කතාවත් එහෙම එකක්. කුකුලන්ගේ අනුභවය ක්‍රමවත් කිරීමට ආසනික් සංයෝගයක් යොදා ගනිද්දී වෙළඳපොලට යවන බරට ළං වෙද්දී සති දෙකකට පෙර ආසනික් සංයෝගය නවත්වනවා. වෙළඳපොලට යද්දී ආසනික් හෝඩුවාවක් උන්ගෙ මස්වල කොහෙත්ම නැහැ. ජීර්ණය පහසු කරගැනීමට ආසනික් යනු කුකුලන් ස්වභාවයෙන් ඇහිඳ කන ආහාර අතර තියෙන්නක්. ඒත් ස්වභාවික හොඳයි හා මිනිසා විසින් හදන ලද්ද නරකයි කියන සමාජයේ පිළිගැනීම නිසා ඇමෙරිකන් කුකුල් කර්මාන්තයේ අය වර්තමානයේ දී ආසනික් කුකුල් ආහාර වලට කොයිම අවස්ථාවක දී හෝ එකතු කිරීමෙන් වැළකෙනවා. ඒ මහජන ප්‍රසාදය දිනාගන්නට … ඒත් ඉතින් ඒක අරාබීන් සතුටු කරනවා ද නැත්නම් යුදෙව්වන් සතුටු කරනවා ද වගේ එකක් .. දෙකෙන් කොයි එක කළත් ජයගන්නට බැහැ… ආසනික් කිසිම විටෙක භාවිතයක් නැතිව හදන කුකුල් මස් වල මිල ගණන් වැඩියි. ආසනික් කොයිම අවස්ථාවක දී වත් දාන්න එපා කියල ඇමෙරිකාවට කිව්වට ගෝලීය පාරිභෝගිකයා සත්‍යයෙන් යන්නෙ ආසනික දීලා කුකුලන් හදන රටවලින් අපනයනය කරන මිල අඩු කුකුල් මස් ගන්න!!!!!

මරණය කැඳවන ආසනික් ගැන අහලා තිබුණට බහුතරයකට එහි ඇති ශක්තිජනක හා ඖෂධ බව ගැන දැනුම අඩුයි. ඔස්ට්‍රියන්-හංගේරියන් හි ස්ට්‍රිරියන් ඇල්ප්ස් කඳුකර ගම්බද ජනතාව ද පුරාතනයක දී ආසනික් ට්‍රියොක්සයිඩ් යන්න ශක්තිජනක ඖෂධයක් ලෙසින් භාවිත කරන ලද්දක්.

ලියුකේමියා සහ ඇනීමියා සමනය කරන්නට ද ආසනික් යොදා ගැනෙනවා.

ඒත් පුරාතනයේ සිට මරණය කැඳවන්න යොදාගත් නිසා ආසනික් වලට ලැබිලා තියෙන නරක නාමයෙන් ගොඩ එන්න ඉඩ නොලැබෙන බව කියමින් ආසනික් ඖෂධය සහ ආසනික් වසවිෂ ගැන ඉංග්‍රීසි ලිපියක් මෙතැනින් කියවත හැකියි.

දැන් කොකා කෝලා ගැන.

මිනිසාගේ ආමාශයේ ඇති ග්‍රෑස්ටික් අම්ලයට මස්කටුවක් හෝ යකඩ ඇනයක් දාලා පර්යේෂණ පවත්වන්න හැකියාවක් නැහැනෙ. පුද්ගලයාට වෙනත් හානියක් සිද්ධ නොවී එය අත්හදා බලන්න හැකියාවක් ඇත්නම් කොකා කෝලා වල තියෙන අම්ලයට වඩා ආමාශයේ ස්වභාවයෙන් පවතින අම්ල සෑහෙන්න දරුණු යැයි අයෙකුට පහදා දෙන්න පහසුයි.

කොකා කෝලා වල තියෙන සිට්‍රික් අම්ලය දොඩම් ගෙඩියක තියෙන පැඟිරි වලින් ලැබෙන අම්ලයට වඩා අඩුයි. ඒ වගේ ම කොකා කෝලා වල තියෙන ෆොස්ෆොරික් අම්ල සාන්ද්‍රණය ද මස්කටුවක් එක රාත්‍රියකින් දිය කරන්න තරම් බලවත් නැහැ. ඒත් දවස් ගණනක දී එය වෙන්න පුළුවන් යැයි කියද්දී, ඒ කියන්නෙ ආමාශය ස්වභාවිකව කරන වෙනත් ක්‍රියාවන් උදා. වතුර බොන්නෙ නැතිව, මුත්‍රා පිට නොකර ඉන්නවා යැයි අදහස් වෙනවා!!!

මිනිස් ආමාශය තුල හයිඩ්‍රොක්ලොරික් අම්ලය වාස්සන (secrete) විශේෂිත සෛල තියෙනවා. හයිඩ්‍රොක්ලොරික් අම්ලයට පුළුවන් ඉතා පහසුවෙන් ඇනයක් දියකර හරින්න. ඒත් එහෙම කියද්දී ඇනයක් ආමාශයේ වෙන කිසිත් කරදරයක් නොකර දියවෙන තෙක් එක තැනක ඉඳීවි යැයි අදහස් වෙනවා!!!!

ආමාශයේ පවතින්නෙ pH of 2 වෙද්දී කොකා කෝලා ක්ලැසික් (අම්ල අධික වූ කොකා කෝලා නිෂ්පාදනය) හි තියෙන්නෙ pH of 2.5. අනෙත් පාන වල pH ගැන ඔය සෝඩා පාන විරෝධී සබැඳියෙන් කියවන්න.

කොකා කෝලා වල ඇති කාබොනික් අම්ල යනු ද ඉතා දුර්වල වූවක්. කාබනේටඩ් වතුර පානයන් ගැන කිසිත් නොකියන අය කොකා කෝලා හි එය දැකීමෙන් සිත් කරදරයට පත් වෙන්නෙ මොකද දන්නෑ!!!!

අනික තමයි කොකා කෝලා වල තියෙන සීනි නොහොත් high fructose corn syrup. කොකා කෝලා වල සීනි තියෙනවා කියමින් ඒක නොබී යහමින් සීනි දැමූ තේ කෝප්ප තුන හතරක් බොන අයත් ඉන්නවා.

ලියුකේමියා සහ ඇනීමියා ප්‍රතිකාර වලට ආසනික් යොදා ගන්නවා වගේ ආමාශ ශෝධනයක් (ගබ්සා සඳහා නෙමෙයි) ලෙසින් ද කොකා කෝලා යොදා ගැනෙනවා. වසර 10 ක් පුරා කරන ලද පර්යේෂණයකින් කොකා කෝලා වලට එය 90% ක් අවස්ථා වල දී කරන්නට හැකිවූවා යැයි කියද්දී 46 දෙනෙකුට එයින් සහනයත් 4 දෙනෙකුට පමණක් සැත්කම් වලින් අවහිරය ඉවත් කරගන්නට සිද්ධ වූ බවත් ලියැවෙන්නෙ මෙම විද්‍යාත්මක පර්යේෂණ සඟරාවේ.

ඒත් ආහාර සහ වසවිෂ අතර කොම්ප්‍රොමයිස් ගහන්න බැරි කොතැන දැයි සොයාගන්න නොදන්න අය හිතන්නෙ ආණ්ඩුවට හෝ රසායන විද්‍යාඥයන්ට සෑම පුද්ගලයෙක්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම ක්‍රියාත්මක කළ හැකි ආහාර පාන පිළිබඳ නීති මාලාවක් සකස් කරන්නට හැකියාව ඇතැයි නිසා ඊට නොමඳ උත්සාහයන් පුරාතනයේ සිට වර්තමානය දක්වා දකින්නට ලැබේ.

සදාචාරය අද්භූතයක් ද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 13, 2013

අප හැදී වැඩුනේ සදාචාර විනිශ්චයන් පැවති ලෝකයකයි. අනික් අය කරන කියන කටයුතු දිහා බලා ඒවායේ හරි වැරදි බව ගැන ඇහෙන්නට ලැබෙන වාතාවරණයකයි. අපි ඒ ඇහෙන දේවල් සමඟ වරෙක එකඟ වීමු. තවත් වරෙක එරෙහි වීමු. සමහර අවස්ථාවල දී අපි අයෙක් කළ ක්‍රියාව ගැන නොව, යම් ක්‍රියාවක් කළ තැනැත්තාගේ හැඟීම් ගැන නොව, ප්‍රතිචාරයක් දැක්වූයේ ඊට මුල් වූ මූල ධර්මය හෝ සිද්ධාන්තය ගැනයි.

අනුන්ගේ ක්‍රියා කලාපය ගැන පමණක් නොව අපි අපේ වැඩ ගැනත් විනිශ්චයන් අප වෙතම දී ගන්නෙමු. කාට නොකිව්වත් අපි කළ දෙයක් ගැන අපේ මිනුම් දඬු වලින් මැන බලා අපේ හිතට වද දෙන්නේ අපි පිළිගත් විශ්වාසයන්. යම් සදාචාරමය පද්ධතියකට අනුව කටයුත්තක් කළ නොහැකි වූ විට අපිට “ගිල්ටි” බවක් දැනෙයි. අපි පිළිගත් විශ්වාසයක් අනුව කටයුතු කළ හැකි වූ විට අපේ සිත සතුටින් පිරී ගොස් උතුම් වූ හැසිරීමක් අපි අතින් සිද්ධ වූවා යැයි ආඩම්බරයට පත් කරයි.

එහෙත් කල්පනා කරන්නට සිතක් ඇති මිනිසා පොඩ්ඩක් නැවතී වටපිට බැලුවොත්, තමන් අනුගමනය කරන සදාචාර පද්ධතිය එහි සෑම සියළු අංගයන් වලින් ම සර්වප්‍රකාරයෙන් ම තම හිත මිතුරන්, අසල්වැසියන් සහ රටවැසියන් ද පිළිපදින්න නොවෙන බව දකියි.

අපිට ඊටත් වැඩියෙන් දුෂ්කර එක රටක ජාතික මට්ටමෙන් අගයන සදාචාර පද්ධතියක් තවත් රටක එවැනිම ජාතික මට්ටමෙන් සලකන්නක් හා සසඳා බැලීමයි.

එසේම පුරාතනයේ පැවති සදාචාර පද්ධතියන් එලෙසින් පිළිගැනීමට ද නොහැකි බවක් ඒ ගැන තතු විමසා කල්පනා කරන අයෙකුට වැටහේ.

මෙසේ වැඩි වැඩියෙන් වෙනස්කම් ලොව ඇති බව දකිද්දී වුව ද සියළු සදාචාර පද්ධතියන් තුල දිවෙනා යම් හරයක් ඇති බවත් එය අපිට ප්‍රතික්ෂේප කරනු නොහැකි බවත් පෙනේ. යම් හැසිරීමකට හේතු වූ කාරණය කුමක් දැයි සොයා නොගත හැකි වුවත් අපි කුරිරිබව සලකන්නේ නොමනා ගති ලක්ෂණයක් හැටියට ය. එසේම අයෙක් විශ්වාසය කැඩෙන සේ කටයුතු කිරීම, බොරු කීම, හොරකම හෝ මිනීමැරීම යනාදිය හොඳ යැයි පිළිගන්නේ නැත.

හමුරාබියේ සඳහන් වන්නට පෙර, මනු දහමේ ලියැවෙන්නට පෙර ඒ ආචාර ධර්ම අදහස් ඒ ඒ සමාජයන් තුලින් දකින්නට ලැබුණු ඒවා විය. වාචික සහ ලිඛිත මාධ්‍යයන් වලින් ඒවා සමාජයක කතාබහට ලක්වෙද්දී නීති, විධාන, උපමා කතා යනාදියෙන් ඒවා ගැන දැන ගන්නට ලැබෙද්දී මිනිසා ද ඒ ගැන පහදා දීමක් ඉල්ලන්නට උත්සුක විය.

හැදියාව මෙසේ වීම හරි, මෙසේ වීම වැරදි යැයි තීරණය වූයේ කුමන කාරණා අරබයා දැයි විමසන්නට මිනිසා ඉදිරිපත් විය. ඒ ඒවාට අකමැති වූ නිසාම නොවේ. යමක් අනුගමනය කරන්නේ මන්දැයි යන්න දැනගැනීමට මිනිසා තුල කුතුහලයක් ඇත. ජානුගතව ලැබී ඇති තෝරාගැනීමක් නොමැති හැදියාවක නියැළීම සත්වයන් තුලින් දකින්නට හැකි වුව ද එය මිනිසා තුල අඩු ලක්ෂණයකි.

ඉතින් මිනිසා විමසන්නට වූයේ ඇයි යම් හැසිරීමක් වැරදි? තවත් හැසිරීමක් හරි? කියාය.

කවුද මෙහෙම තෝරා බේරා දුන්නේ? කියාය.

එය පැහැදිලි කරන ලොව මුල් ම න්‍යාය වූයේ දෙවියන් (දෙවිවරු) විසින් එසේ නියම කර ඇති නිසා බවයි. මිනිසාගේ සමහර ක්‍රියාවන් දෙවියන් සතුටු කරන බවත් සමහර ක්‍රියාවන් දෙවියන් අසතුටු කරන නිසත් පැහැදිලි කරන්නට මුල් වූ පිරිස දෙවියන්ගේ ආශීර්වාදය දිනාගන්නට සමත් වෙන අයට දෙවියන්ගෙන් තෑගි ලැබෙන බවක් කියා සිටියහ. අප්‍රසාදයට හේතු වන අයට දඬුවම් ලැබෙන බව කියා සිටියහ.

දේව භක්තිය මත පදනම් වෙන මෙම න්‍යාය තවමත් ලෝකයේ ප්‍රබල ලෙසින් පැවතෙන්නකි.

එහෙත් මුල් ක්‍රිස්තියානි දාර්ශනිකයන් විසින් ද මුහුණ පෑ ගැටළු දෙකක් මෙහි අන්තර්ගතයි.

පළමුවැන්න: මේ සදාචාර පද්ධතිය හිතුමතයේ හැදුනා වූවක් ද? දෙවියන්ගේ කැමැත්ත නිසා පමණක් වූයේ දෙවියන් එසේ නියම කළ නිසා ද? එහෙමත් නැත්නම් දෙවියන් යනු ස්වභාවයෙන් ම හොඳ නිසා දුෂ්ටත්වය නියම කරන්නට නොහැකි වූ නිසා මෙසේ හොඳ පමණක් නියම කළා ද? එහෙත් මෙසේ විචාරයට ගිය දාර්ශනිකයන් මුහුණ පෑවේ තවත් ගැටළුවකට: එහෙම නම් දෙවියන්ට පෙර හොඳ නරක, හරි වැරදි බව පැවතියා යැයි ද, එය දෙවියන්ට පරිබාහිරව එනම් දෙවියන් පවතින්නට පෙර සිට පැවතියක් ද?

දෙවැන්න: මේ සදාචාර පද්ධතිය දෙවියන්ගේ කැමැත්ත අනුව සැකසුනා වූවක් නම්, එහෙනම් අපි කොහොම ද දෙවියන්ගේ කැමැත්ත කුමක් දැයි හරියටම දැනගත්තේ?

දෙවියන්ගේ කැමැත්ත ගැන සාමාන්‍ය මිනිසාට කියාදෙන්නට ඉදිරිපත් වූවන් වෙතින් පව්කාර වැඩ ගැන ප්‍රමාණාත්මක ලෙසින් ලැබෙන පව් ගැන පැහැදිලි බවක් දැනගන්නට නොහැකියි. ඔවුන් විවිධ ආගම් වලට බෙදී, විවිධ නිකායන් වලට බෙදී ඒ ගැන තවමත් වාද කරමින් සිටිති.

මෙහි දී සමහරු සදාචාර හැසිරීම යනු “සිතට දැනෙන” දෙයක් යැයි ද කෙළින් ම ප්‍රතිභා ඥානයෙන් ලබා ගත හැකි වූවක් යැයි ද කියති. එක් මිනිසෙකුගේ සදාචාර හැඟීම තවත් මිනිසෙකුගේ සදාචාර හැඟීමට වඩා වෙනස් විදියකින් සිද්ධ වෙන්නේ කෙසේදැයි එයින් පැහැදිලි නොවේ. බොහෝ අවස්ථා වල දී හරි දේ කරන්නට යැයි හදන තෝරාගැනීමක් ඉදිරියේ දී “හිත කියන්නේ” කුමක් දැයි තෝරා බේරා ගැනීම තමන්ටම වුව ද ඉතා දුෂ්කරය.

තවත් පිරිසක් කියා සිටින්නේ සදාචාර අගැයුම් යනු සංශයවාදයක් හා නාස්තිකවාදයක් කියාය. සියල්ල ගොඩනැඟී ඇත්තේ පදනම් රහිත මිථ්‍යාමත තුලින් බවයි. එහෙත් මේ සංශයවාදියෙක් හෝ නාස්තිකවාදියෙක් හා පොඩ්ඩක් එරෙහි වීම ඔවුන්ගේ මතය සත්‍යයෙන්ම එය නොවන්න බව පැහැදිලි කරන්නකි!!!! ඔවුන් අචපල නොවෙති. එවැන්නක් කියන්නෙක්ව තදින් කෙනිත්තුවොත් ඔහු ඒ ගැන අවලාද කියන්නේ සදාචාර අගැයුම් වලට ඉතා සමාන වූ වදන් වලිනි!!! ඒවා ගැන සිංහලෙන් කතා කරන සමහරු නම් කිසිත් නොකළත් බලෙන්ම කොනක් අල්ලා ගෙන හැප්පෙන්නට ද එන්නේ තමන්ගේ වාදය ද කුමක් දැයි හරිහැටියකට නොදන්නා බව ඔප්පු කරමිනි!!!!!

ඉතින් අපේ සදාචාර පද්ධතිය යනු සමාජ පරිනාමයක දී භාෂාව මෙන්, ලෝකයේ නීති මෙන් කෙමෙන් කෙමෙන් වෙනස් වීම් වලට භාජනය වූවක් යැයි ද, ලෝක සමාජයක් තුල සාමය සහ සහයෝගීතාව වෙනුවෙන් පරිනාමය වෙමින් පවතින්නක් යැයි ද තවත් අදහසකි.

ඔබ ඉදිරියේ ඔබට රිසි වූ යම් දෙයක් ඇතැයි සිතන්න. අයෙකුට එය අඹ ගෙඩියක් විය හැකියි. තවත් අයෙකුට එය කීර්ති නාමයක් විය හැකියි. තවත් අයෙකුට එය ඊට රිසි බව දමනය කොට “යනකොට ගෙනියන්න හැකි” දෙයක් විය හැකියි.

යම් දෙයක් ගැන ආශාවක් උපන්නේ ඔබ තුලයි. ඒ ආශාව එම දැයෙහි අන්තර්ගත වූ වැරද්දක් නොවේ. එසේ ආශාවක් ඇතිවීම මිනිස් ස්වභාවය නිසා එවැන්නක් ඇතිවීම ඔබේ වැරැද්දක් ද නොවේ.

මෙහි දී අපි අවධානය යොමු කළ යුත්තේ කුමකට ද?

රිසි වූ දේවල් හඹා යෑමට කැමති අයට අනික් අයට පාඩුවක් නොවන පරිදි ඒ සඳහා ඉඩ දීම ද?

ආශාවන් කුමන දේවල් සඳහා පමණක් විය යුතු දැයි සහ ඒවා ලබාගත හැක්කේ කුමන ආකාරයෙන් පමණක් දැයි තීරණය කරන පිරිසකට බලය පැවරීම ද?

ආපසු හැරී බැලීම වෙනුවට තවත් ඉදිරිය දිහා බැලීම

Posted in Uncategorized by arunishapiro on මැයි 7, 2013

IMG_2697

ආපසු හැරී බැලීම (Looking Backward) නමින් සමාජවාදී උතෝපියාවක සිහිනයක් ගැන ප්‍රබන්ධයක් ලියන්නේ ඇමෙරිකාවේ එඩ්වර්ඩ් බෙලමි විසින් 1887 දී ය. පොත ඉක්මණින් ජනප්‍රිය විය. ‘බෙලමි සමාජ’ 162 කට වඩා සංඛ්‍යාවක් පොතේ අදහස් වෙනුවෙන් පෙනී සිටින්නට සැනෙකින් බිහිවුණි. ඒ සමඟින් පුද්ගලික දේපල ජනසතු කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ දේශපාලන ව්‍යාපාරය ජාතිකවාදය (දේශානුරාගය නොවේ) යනුවෙන් පැතිර ගියේය.

පොතේ අදහස් අගයමින් නිර්මාණ තවත් ගණනාවක් බිහිවිය. පොතේ අදහස් වලට විරෝධය පාමින් බිහිවූයේ නම් ඊට වඩා සුළු ප්‍රමාණයකි. ධනවාදීන් හැම විටම ව්‍යවසායකත්වයේ අවදානම සමඟින් දැඩි තරඟයක යෙදෙන නිසා ඔවුන්ට සමාජවාදී උතෝපියා ප්‍රබන්ධ වලට උත්තර බඳින්න වේලාවක් නැහැනෙ. 😀

මේ යුගය සමාජවාදයේ ආගමනය වළක්වන්නට කිසිවෙකුට බැහැයි කියා ලෝකයේ බහුතර ජනතාවක් රවටන්නට සමාජවාදී බුර්ජුවාසියට හැකි වී තිබි සමයයි. ඇමෙරිකාවේ එය පිළිනොගත් ස්වල්පයෙන් එක් අයෙක් වූයේ නිදහස් මුද්‍රණලායේ කර්තෘවරයෙක්ව සිටි රිචඩ් මිකායෙලිස් ය.

තවත් ඉදිරිය දිහා බැලීම නොහොත් Looking Further Forward (1890) මැයෙන් ප්‍රබන්ධයක් ලියා රිචඩ් මිකායෙලිස් පෙන්වන්නේ “ආපසු හැරී බැලීම” සිහිනය සාර්ථක වුවහොත් උදාවෙන සත්‍යය ලෝකය ගැනයි.

ඉතිහාසය දන්නා අය සෝවියට් රුසියාව පටන් ගන්නේ 1922 දී බවත් එය කඩා වැටෙන්නේ 1991 දී බවත් දනිති.

රිචඩ් මිකායෙලිස් 1890 දී ලියූ “තවත් ඉදිරිය දිහා බලමු” ප්‍රබන්ධය නිට්ටාවටම සෝවියට් දේශයේ අනාගත අවුල්ජාලය දිග හැරි හැටි පේනයක් කියන්නා සේ ලියා ඇති බව සෝවියට් දේශයේ සත්‍ය ඉතිහාසය දන්නා අයට පෙනී යයි.

කෙටියෙන් මේ ප්‍රබන්ධ දෙක දිග හැරෙන ආකාරය මෙසේ සටහන් තබමි. කැමති අයට ඉහත අමුණා ඇති සබැඳි වලින් ඔරිජිනල් කියවන්නට පුළුවන.

ආපසු හැරී බැලීම” ප්‍රබන්ධයේ කතා නායකයා වනාහී ජුලියන් වෙස්ට් නම් බුර්ජුවාසී පංතියේ සුදු තරුණයෙකි. නින්ද නොයන අවුලක් ඇති නිසා මෝහන ක්‍රමයකින් නින්දට පත්වන ඔහු ඇහැරෙන්නේ වසර 113 කට පසුවය. එනම් 2000 දී ය. ඔහු වාසය කළ බොස්ටන්, මැසචූසෙට්ස් හි දී ම ය. එය සමාජවාදී උතෝපියාවක් බවට පත් වී ඇත.

බුර්ජුවාසී ධනපති පංතියේ උප්පත්තිය ලද ඔහුට 1887 දී වයස 30 කි. රැකියාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැත්තේ ඔහු උපදින ලද්දේ පරම්පරාවන් තුනක් රකින්නට හැකි තරම් ධනයක් එක්රැස් කරන ලද මුත්තෙක් සිටි පවුලකට නිසාය. ඔහුගේ විවාහය කල් යන්නේ විවාහ වී පදිංචියට යන්නට සිටි නිවස කම්කරු වැඩ වර්ජනයක් නිසා ඉදිවීම ප්‍රමාද වීමෙනි. මෙය 1887 දී ඔහුගේ බලවත්ම හිස රදය විය. ඔහුට කළු වහල් සේවකයෙක් ද සිටියේය.

කතා නායකයාව මේ ප්‍රබන්ධයේ දී කෙළිදෙලෙන් දවස ගෙවන ධනවත් පංතියට ද, වහල් හිමිකරුවෙක් හැටියට ද නිරූපනය කරයි. එහෙත් සත්‍ය ඉතිහාසයේ ව්‍යවස්ථානුකූල වූ අධිකරණ නීති ගෙනැවිත් සාර්ථක ලෙසින් මැසචූසෙට්ස් හි වහල් ක්‍රමය අහෝසි වෙන්නේ 1781 දී ය. 1790 ජන සංඛ්‍යා ලේඛන වල මැසචූසෙට්ස් ප්‍රාන්තයේ කිසිම වහලෙක් නොසිටි බවත් එම ප්‍රාන්තය වහල් විරෝධී ව්‍යාපාරයේ කෙන්ද්‍රස්ථානයක් වූ බවත් සැලකෙන්නකි!!!!

ධනවාදයේ පීඩනයෙන් ගැල වී ජුලියන් වෙස්ට් අවදි වන 2000 වසරේ දකින ඇමෙරිකන් සමාජවාදි උතෝපියාව, සියළු දෙනාගේ ම සුබ සාධනය සලසන්නට හැකි ආකාරයෙන් වෙනස් වී ඇති ආකාරය ඔහුට සහ පාඨකයාට පැහැදිලි කර දෙන්නේ ඩොක්ටර් ලීට් ය.

1887 ධනවාදී සමාජයේ පුද්ගලික අයිතියෙන් වූ දේපල සියල්ල කැමැත්තෙන් මිනිසුන් විසින් 2000 දී පවතින සමාජවාදී ක්‍රමයේ ආණ්ඩුවට බාර දී සමාජවාදී ක්‍රමයට ඉතා සතුටින් අනුගත වී සිටිති.

ලෝකයේ යුද්ධ නැත.

පිස්සු හැදිච්ච ලෙසින් ධනවාදී ක්‍රමයක දී මිනිසුන් අතර සිද්ධ වූ තරඟය තව දුරටත් ලොව නැත.

දරීද්‍රතාවයට පත් වේ යැයි බියක් නැත.

පුද්ගලික ලාබ සෙවීමක් නැති නිසා තම බලය අපහරණයට යෙදීමේ අභිප්‍රේරණයන් මිනිස් ස්වභාවයෙන් තුරන් වී ගිහින් ය. ඒ ක්‍රමය වෙනස් වූ නිසා යැයි ගැලවෙන බෙලමි සමාජවාදී උතෝපියාවේ සුභසාධනයට විරෝධය පාන අය නිසැකයෙන්ම මානසික රෝගීන් විය යුතු නිසා ඔවුන් රෝහල් වලින් ප්‍රතිකාර ලබන බව කියයි.

“සියළු දුෂ්ටකම් වල ප්‍රභවය වූ” මුදල් ක්‍රමය අහෝසි වී ඇත. මුදල් නැති නිසා බැංකු ද නැත. රචකයා මෙසේ කියයි: “[ධනවාදී ක්‍රමය පැවතිය දී] බැංකු අධ්‍යක්ෂකවරයා රිදුම් දෙන තුවාලයක් රට ස්පන්දය කරන හදවතක් යැයි වරදවා සිතා සිටියේය.” මුදල් වෙනුවට හැමෝටම ක්‍රෙඩිට් කාඩ් පතක් ආණ්ඩුවෙන් නිකුත් කර ඇත. මිනිසුන්ට තමනට උවමනා බඩු තෝරා ගැනීමේ පීඩනයක් ද නැත. ජනසතු එකම කඩයෙන් එකම ආකාරයෙන් හැදුන බඩු පමණකින් ආණ්ඩුව විසින් තමනට පමණක් යැයි නියම කරන ලද්ද පමණක් ක්‍රෙඩිට් කාඩ් පතෙන් ගත හැකියි.

වයස 21 දක්වා අනිවාර්යෙන් පාසැල් යා යුතුය. ඉන්පසුව දැනුම සහ කුසලතාවය අනුව රස්සා නියම වේ. අනිවාර්ය පහළ රැකියාවන් කරන වසර 3 ක පුහුණු කාලයක් ද තිබේ. වෛද්‍යවරයන් ඉතා දුෂ්කර විභාග සමත් වූවන් නිසා හොඳ වෛද්‍යවරු සහ නරක වෛද්‍යවරු කියා දෙකොටසක් නැත. සියල්ලන්ම ඉතා හොඳ වෛද්‍යවරු වෙති.

සමාජවාදී ක්‍රමයට ජූලියන්ව එකතු කරගන්නේ ඩොක්ටර් ලීට් ආණ්ඩුවට ඊට ඔහු සුදුසු යැයි කීමෙනි. ජූලියන්ට ඉතිහාසය උගන්වන විශ්ව විද්‍යාල ගුරු පත්වීමක් තීරණය වේ. 😀

ජනතාවගේ ඉල්ලුම අනුව නියමිත ප්‍රමාණයට භාණ්ඩ සපයන්නට හැකි ස්වේච්ඡාවෙන් සේවය කරන කාර්මික නිෂ්පාදන හමුදාවක් සිටිති. එසේ ඉල්ලුමට අනුව සැපයුම සැලසිය හැකි කාර්යක්ෂම හා අමුද්‍රව්‍ය අපතේ නොයන සැලසුම් හැදීම රාජ්‍ය පරිපාලනයේ දක්ෂතාවයයි. කිසිම මිනිසෙකුගේ ශ්‍රමය වෙනකෙකුට වඩා ඉහළ නැත. වැඩියෙන් අපුල වැඩ මුරය මිනිත්තු දහයක් තරම් ඉතා කෙටි විය හැකියි. වැඩියෙන් අනතුරුදායක රැකියාවන් සඳහා වැඩියෙන් ගෙවීමක් නැත. ජාතික ස්තූතිය ඒ වෙනුවෙන් පිරිනැමෙන නිසා මහත් සංඛ්‍යාවක ස්වේච්ඡා සේවකයන් අනතුරුදායක රැකියා වෙනුවෙන් පෙළ ගැසෙති.

මිනිසුන් සිත් පීඩා කරදර නොමැතිව සමාජවාදී සමාජයේ එහා මෙහා යන දිහා බලා සිටින ජූලියන්ට අද්භූත ඉන්ද්‍රජාලයක් විසින් මිනිසුන්ගේ කන් වලට මෙසේ කොඳුරනවා යැයි සිතේ: ඔබේ පුතා ඔබේ සේවකයාගේ සේවකයා වේ දැයි කියන සහතිකයක් නැති ලෝකයක, ඔබේ දුවට පාන් වෙනුවෙන් ඇඟ විකුණන්න වේ දැයි කියන්න බැරි ලෝකයකින් ගැලවෙන්න හැකිවීම දැනගත්තාම ඔබ හොඳින් වැඩ කරන්නේ නැද්ද? එකම වැරැද්ද රචකයාට ප්‍රබන්ධය පටන් ගනිද්දී ලියූවක් අමතක වී තිබීමයි: ආරම්භයේ දී ජූලියන් පරම්පරා තුනක් වෙනුවෙන් මුදල් පොදි ගැසූ මුත්තෙක්ගේ රැකියාවක් නොකරන පුතෙකි!!!!!!!!!

ජුලියන් විවාහ වෙන්නට අදහස් කරගෙන සිටිය කාන්තාවගේ මිණිබිරිය සිහිනයේ දී ඔහුට හමුවෙයි. ඇය ඩොක්ටර් ලීට්ගේ දියණියයි. එසේම ඩොක්ටර් ලී විසින් ඇයව හඳුන්වන්නේ “නිතරම කඩේ යන්න හපනෙක්,” කියාය. සමාජයේ තරුණ වියේ සියල්ලන් රස්සාවල් කළ යුතු වුවත් ඩොක්ටර් ලීට් ගේ දියණිය කිසිත් රස්සාවක් කරන බවක් නොපෙනේ. එසේම ඩොක්ටර් ලීට් තම නිවහනේ බිම් මහලේ විද්‍යාගාරයක් හදන්නට යද්දී තමයි ජුලියන් නිදන විශේෂ පෙට්ටිය සොයා ගැනෙන්නේ. පොදු දේපල හිමි සමාජයක තමන් පදිංචි නිවසේ බිම් මහලේ විද්‍යාගාරයක් හදන්නට ඩොක්ටර් ලීට් කෙසේ විශේෂ අවසර හා අමතර අරමුදල් ලබා ගත්තේ දැයි විස්තරයක් නැත.

ජුලියන් නින්දෙන් අවදි වී තමන් දැක්කේ ඉතා අනගි සමාජයක සිහිනයක් බව වටහා ගනියි.

තවත් ඉදිරිය දිහා බලමු” ප්‍රබන්ධය දිග හැරෙන්නේ ද කතා නායකයා වූ ජුලියන් වෙස්ට් නම් බුර්ජුවාසියා ගැන කෙටි සඳහනකින්. එහි කතාව දිග හැරෙන්නේ ජූලියන් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙසින් කටයුතු කරද්දී හමුවෙන මහාචාර්ය ෆොරස්ට් හා කරන කතාබහෙන්. මහාචාර්ය ෆොරස්ට් ජූලියන්ට පෙර සිටි ඉතිහාස මහාචාර්යවරයාය. එහෙත් ඔහු ආණ්ඩු විරෝධී වූ නිසා මානසික රෝහලට නියම වූවත් ඩොක්ටර් ලී ගේ අනුකම්පාවට ලක් වී දේශනාගාරය පවිත්‍ර කරන රස්සාව ලැබෙයි.

ජුලියන් සමාජවාදී උතෝපියාව දැනගත්තේ ඩොක්ටර් ලීට් වෙතින් පමණක් යැයි පෙන්වා දෙන මහාචාර්ය ෆොරස්ට් පෙන්වා දෙන්නේ තමන් ධනවාදී ඉතිහාසය ඉගෙන ගත්තේ පුස්තකාලයේ වූ මහත් ගණනක ඉතිහාස පොත් සහ වාර්තා වෙතින් යැයි කියාය. ඔහු ඉතිහාසයේ දී කම්කරුවන් පැය අටකට වඩා වැඩ කරන්නට අකමැති වූ හැටි මතක් කරදෙයි. කාර්මික යුගයේ කම්හල් රස්සාවල් වලට ගිය කාන්තාවන් වැඩි වූ නිසා ගෘහ සේවිකාවන්ගේ පඩිය ද සැලකිය යුතු ලෙසින් ඉහළ ගිය සැටි මතක් කර දෙයි.

මහාචාර්ය ෆොරස්ට් පෙන්වා දෙන්නේ ස්වභාවික ලෝකයේ ඇති අසමානතා යනු ස්වභාවික තත්වය බවයි. ඒ අසමානතා සමාන කරලීම අස්වාභාවික තත්වය බවයි. අපි හැමෝම එක වගේ නම්, එහෙම නම් පමණක් එක් අයෙකුගේ ශ්‍රමයේ නිෂ්පාදනයෙන් එක හා සමාන වූ කොටසකට තවත් අයෙකුට අයිතියක් කිව හැකි සමාජවාදය ගැලපෙනු ඇත.

අපි හැමෝම එක වගේ ද? Are we all alike?!!!!!!

සමානාත්මතාවයේ නාමයෙන් වැඩියෙන් වෙහෙසන්නට කැමති ශ්‍රමිකයා වෙතින් සොරා ගෙන ඔහුගේ කම්මැලි සහෝදරයාට බෙදා දෙන හැදියාව යුක්ති සහගත දැයි මහාචාර්ය ෆොරස්ට් අසයි.

මිකායෙලිස් ලියන ප්‍රබන්ධය ගැන කණගාටු වෙන්නට කාරණා දෙකක් ඇත. එකක් මිකායෙලිස් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් යෝජනා කිරීමයි. අනෙක ඔහු මහාචාර්ය ෆොරස්ට් චරිතයෙන් පිරිනමන අනිත් කරුණු සියල්ල සෝවියට් දේශයේ ආරම්භයේ සිට අවසානය දක්වා ඔවුන්ට නිරාකරණය කරගන්නට නොහැකි වු ගැටළු වූ බව දැකීම හද කම්පා කරන සුළුය. මහත් රුසියන් ජනතාවකගේ ජීවිත අහිමි කරමින් සහ සෙසු අයගේ ජීවිතයේ මුළු කාලයක් පුරාම ඔවුන්ව අසරණ භාවයකට ඇදගෙන ගිය ආකාරය මොහු දැකියත් එය එසේ ම සිද්ධ වෙන්නට ලොව ඉඩක් ලැබීමයි.

ප්‍රබන්ධයේ පෙරවදන මිකායෙලිස් අවසන් කරන්නේ මෙසේය: “බෙලමි මහත්තයාට සහ ඔහුගේ අනුගාමීන්ට හුඟක්ම විශ්වාස නම් සහ්‍රසවර්ෂයේ දී මෙවැන්නක් පිහිටුවන්නට හැකි යැයි කියා, අයෝවා ප්‍රාන්තයේ ආගමික පදනමකින් හදාගත් සමාජවාදී අමානා සංගමය සේ පටන් ගන්නට ඔවුන්ට ඊට ඉඩ දෙන්න. ආණ්ඩුවේ හොඳ ඉඩම් අක්කර දහස් ගණනින් තවමත් තිබේ. ඒවායේ පදිංචි වී බෙලමි මහත්තයාට සහ ඔහුගේ යහළුවන්ට ලෝකයට පෙන්වන්නට පුළුවන් ඔවුන්ට කරන්න පුළුවන් හැටි! තමන්ගේ න්‍යායයන් අත්හදා බලා ඒවා නිවැරදි යැයි ඔප්පු කරන්නේ නැතිව ඔවුන් ඉල්ලා සිටිය යුතු නැහැ ඇමෙරිකාවේ ජනතාවගෙන් පවතින ආණ්ඩුව සහ සමාජය කඩා දමන්න කියල.”

බුද්ධිමතුන්ට පමණයි -හඳයාට දෘශ්ටි පාරවියලනයක් ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රයෙන්!!!

Posted in Uncategorized by arunishapiro on මාර්තු 4, 2013

IMG_5055

1932 දී “සමාජවාදය: ආර්ථික හා සමාජ අධ්‍යයන විශ්ලේෂණයක්” නමින් පිටු 500 ක පමණ පොතක් ලියූ ලුඩ්විග් වොන් මීසස් වියානා නගරයේ සිට ලොවට කියා දුන් ආර්ථික සත්‍යයන් වලින් හඳයාටත්, මගේ අඩවියට ගොඩ වැදෙන සියළු බුද්ධිමතුන්ටත් දෘශ්ටි පාරවියලනයක් ලබා දෙන්නට උත්සාහයකි මෙය. හඳයාගේ දේශනය මුල දී ‘වැඩිහිටියන්ට පමණයි’ යැයි කියැවුණි. මෙහි ලියන අදහස් ඕනෑම වයසක ඉන්නා බුද්ධිමතුන්ට පමණයි.

ඉහත පොතට පෙරවදනක් ලියන මීසස් මෙසේ කියයි: “නිරන්තරයෙන් ඇහෙන දෙයක් තමයි සමාජවාදය පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක් කිරීම ඵලකට නැති වැඩක් බව. මොකද විද්‍යාත්මක චින්තනයක් පසුපස යන්නට හැකියාව ඇති ඉතා සුළු පිරිසකට පමණක් එය වටහා ගත හැකි නිසා. මෙහෙම කියන අය කියන්නෙ, බහුතර සමාජයට මේවා හැමදාම වටහා ගන්න බැරි දේවල් වේවි. බහුතර සමාජයට සමාජවාදයේ ඇති ආකර්ශණීය වදන් වලින් ඔවුන්ව අපරීක්ෂාකාරී ලෙසින් සමාජවාදය ඉල්ලන්නට යොමු කරාවි. ඒ වදන් වලින් සිද්ධ වන මනබන්ධනයෙන් ඔවුන් සම්පූර්ණ ගැලවීමක් ලැබීමට සහ ඔවුන්ගේ තරහ පිරිමසා ගැනීමේ තෘප්තිය ඉල්ලාවි. ඉතින් ඒ නිසා ඔවුන් තව දුරටත් සමාජවාදය වෙනුවෙන් වෙහෙස වේවි, බටහිර ජාතීන් වසර දහස් ගණනක් ගොඩ නැඟූ ශිෂ්ඨාචාරය, එයින් අනිවාර්යෙන්ම විනාශය කරා ගෙන යාවි. ඉතින් අපිත් වෙන කරන්න දෙයක් නැති නිසා දොම්නසේ හා අවුලේ පැටලිලා ම්ලේච්ඡත්වයේ අන්ධකාරයෙන් විනාශ මුඛයට යාවි කියල.

ඒත් මම ඒ අඳුරු දැක්මේ කොටස් කාරයෙක් වෙන්නෙ නැහැ. එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එහෙම සිද්ධ විය යුතු නැහැ. එය ඇත්ත තමයි මිනිස් වර්ගයාගේ බහුතරයකට දුෂ්කර චින්තනයක් වටහාගත නොහැකි බව. සරල ප්‍රස්තුතයක් වුවත් වටහා ගන්නට නොහැකි අයට කොච්චර පාසැල් අධ්‍යාපනයක් ලැබුනත් සංකීර්ණ ප්‍රස්තුත වටහා ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැතිබව. එහෙත් ඒ අයට තමන්ට කියලා හිතන්න බැරි වුනාට ඒ බහුතර මහජනතාව අධ්‍යාපනයක් ලබා ඇතැයි හැඳින්වෙන නායක අනුගමනයක් දකින්නට තියෙනවා. ඉතින් අපි මේ අයට ඒත්තු ගන්වන්නට සමත් වුනොත්, එතකොට අපි ජය ලබනවා.” -ලුඩ්විග් වොන් මීසස්, සමාජවාදය: ආර්ථික හා සමාජ අධ්‍යයන විශ්ලේෂණයක්, 1932

ඕනෑම බුද්ධිමතෙකුට තම විශ්ලේෂණය තුලින් ඔප්පු කරගත හැකි පහත අදහස් ලැබෙන්නේ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රයෙන්. මෙය කියවන බුද්ධිමතාගේ කැමැත්ත අනුව එයාට නායකත්වයක් පෙන්වන තෝරාගැනීම කරත හැකියි. සුළු ජාතීන් අතර ඉතාමත් ම කුඩා කොටස නියෝජනය කරන ඒකීය පුද්ගලයාගේ අයිතීන් රැක ගැනීම එවිට එයාට තෝරා ගත හැකියි!!!!

දුරාචාර මොනොපොලියක් පැවතිය හැක්කේ පුද්ගලික අංශයේ කෑදරකම නිසා පමණක් යන්න බහුතරයක් හිතන හුරුවයි. ආණ්ඩුවේ මොනොපොලියක් සමාජයේ යහපත පිණිස පිහිටුවන ලද නිසා එය සදාචාරාත්මක වූවක් ලෙස බහුතරය සලකනවා. ඒත් ආණ්ඩුවේ මොනොපොලියක් හසුරුවන පුද්ගලයන් ද මිනිස් ස්වභාවයන් ඇති අයයි. අපි මේ අවස්ථාවේ දී ආණ්ඩුවේ සියල්ලන්ම සදාචාර යැයි මොහොතකට සලකමු. ඒත් පුද්ගලික අංශය සහ මහජන අංශය අතර එක පැහැදිලි වෙනසක් තියෙනවා. පුද්ගලික ව්‍යවසායකයා ලාබ සොයන සැලසුම් කටයුතු වල නියැළෙන්නේ තම පුද්ගලික දේපල අවදානමට තබමින්. ඒත් ආණ්ඩුවේ සේවකයා මහජන සුවසෙත පිණිස වියදම් සැලසුම් කරද්දී ඔහුගේ පුද්ගලික මුදල් අවදානමට තබන්නේ නැහැ. ඒ වගේ ම, පුද්ගලික අංශයේ එකිනෙකා අතර නිතැතින්ම හටගන්නා තරඟයක් පැවතිය දී, ආණ්ඩුවේ මොනොපොලියකට තරඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙත් නැහැනෙ. ඉතින් ඒ නිසාම ආණ්ඩුවේ මොනොපොලියකට වෙළඳපොලෙන් ලැබෙන දැනුම්දීම් (market signals) කිසිවක් දකින්නට හැකියාවක් ද ලැබෙන්නේ නැහැ.

ආර්ථිකයක නායකයෙක් නැත. ආර්ථිකයක් යනු හැඟීම් වලින් තොර වූ එසේම විචාරයෙන් ද තොර වූවකි. ආර්ථිකයක් ඉදිරියට යන මාර්ගයේ අවහිර බාධා ඇත් ද, එය ගමන නවතයි. අවහිර බාධා වැඩි වෙද්දී පීඩනයක් දැනෙද්දී ආපස්සට තල්ලු වී යයි. ඉදිරියට ගියත්, එකතැන හිටියත්, ආපස්සට තල්ලු වුනත්, ආර්ථිකය සතුටු වෙන්නේ, උත්සාහයක් ගන්නේ හෝ දුකින් තැවෙන්නේ නැත.

ඉදිරියට යනවා ද, එකතැන ලැග ඉන්නවා ද නැත්නම් ආපස්සට තල්ලු වෙනවා දැයි ආර්ථිකයට මාර්ගෝපදේශයක් ලබා දෙන්නේ වෙළඳපොලයි. වෙළඳපොල හැදෙන්නේ පාරිභෝගිකයන් වෙතිනි. යම් අඩුවක් දකිනා අයෙක්, ඒ අඩුව පිරිමසා ගන්නට ක්‍රමයක් දැක, එය පිරිමසා ගන්නට යමක් කරන්නා පාරිභෝගිකයාය. වෙළඳපොල යනු ඒකීය පාරිභෝගිකයන් එකතුවකින් හැදුනකි.

යමක් කරන්නටත්, වෙනකක් නොකර ඉන්නටත් තෝරා ගන්නා පාරිභෝගිකයා වෙළඳපොලට පණිවුඩයක් දෙන්නෙකි. මුදල් වලින් ගණුදෙනු සිද්ධ වෙන ආර්ථිකයක වියදමක් කරද්දී එයා වෙළඳපොලේ සියළු ම භාණ්ඩ වල අගයන් ගැන දැනුම් දීමක් සිද්ධ කරයි.

මිනිසා විසින් ආර්ථික භාණ්ඩ, පුද්ගලික කාලය, ශ්‍රමය ඕනෑම අවස්ථාවක දී යොදන්නේ තමනට වැඩියෙන් ම සතුටක් ගෙනෙන දැයටයි. දැන් තිත්ත කසාය බොන්නේ අනාගතයේ ලෙඩේ නිට්ටාවට ම සුව වෙන තෘප්තිය දැන් දැනෙන තිත්ත බවට වඩා ඉහළ වූ අගයෙන් වෙතැයි තෝරාගන්නා නිසාය.

මිනිසා ස්වභාවයෙන් ම අඩු උවමනාවෙන් ඇති අවශ්‍යතාවය සපුරාලීම පසෙකට දමා වැඩියෙන් ම හදිසි වූ අවශ්‍යතාවය සපුරාලන්නට තෝරා ගනියි. ආර්ථික ක්‍රියාවක යෙදෙන හැම පුද්ගලයෙකු ම අවශ්‍යතා දෙකකින් තෘප්තිමත් කරන්නට එකක් තෝරා ගන්නෙකි. එහි දී ඒ ආර්ථික ක්‍රියාවට හසුවෙන ආර්ථික භාණ්ඩයට අගයක් දෙන්නේ ඔහු විසිනි.

පාරිභෝගිකයන් තමන් ඉදිරියේ වූ ආර්ථික භාණ්ඩයක් තෝරා ගනිද්දී, පරිභෝජනයට සූදානම් වූ බඩුවකින් (first order goods = consumption goods = මිල දී ගත් සැණින් පරිහරණය කළ හැකි භාණ්ඩ = පරිහරණයෙන් පසුව අගය නොමැති වී යන භාණ්ඩ) තෘප්තිය ලැබෙන්නේ කෙසේදැයි තමන් විසින් ඍජුවම කියන්නට දන්නේ ය.

පාරිභෝගිකයා කරන ඒ තීරණය වෙළඳපොලට කියන්නේ ඔහු තෝරාගත් ආර්ථික බඩුව වැඩියෙන් අවශ්‍ය බව හා ඔහු තෝරා නොගත් ඒවා අඩුවෙන් අවශ්‍ය බවයි (වෙළඳපොල ඉල්ලුම). මෙය පැහැදිලි නොමැති වෙළඳපොලක පාරිභෝගික භාණ්ඩ හිඟ වී යද්දී, එහි දකින්නට ලැබෙන්නේ මූල්‍ය භාණ්ඩ (capital goods) පමණි. ඒවා පරිහරණය නොහැකියි. එනම් ඒ ඉහළ පර්යාය (higher order) භාණ්ඩ වැඩි වී ඒවායෙන් බිහිවිය යුතු පාරිභෝගික භාණ්ඩ වෙළඳපොලේ හිඟ වෙයි.

වෙළඳපොලේ තත්වයන් සංකීර්ණ වෙද්දී, එනම් ඉල්ලුම හා සැපයුම අනුව හුවමාරුවට පරිබාහිර ව සිද්ධ වෙන කටයුතු වැඩි වෙද්දී, පාරිභෝගිකයාට තමා සොයා යන භාණ්ඩය හා තමන්ට මිල දී ගන්නට ලැබෙන භාණ්ඩය අතර වෙනස කුමක් දැයි හඳුනාගැනීම දුෂ්කර වෙයි. එහි දී පාරිභෝගිකයා තෘප්තිමත් කරන තෝරා ගැනීමකට ඉඩක් ලැබෙන්නේ නැති නිසා පාරිභෝගිකයා විසින් (එනම් වෙළඳපොල විසින්) ආර්ථිකයට පැහැදිලි මඟ පෙන්වීමක් ද සපයන්නේ නැත. එවිට ඉදිරියට යන්න නොහැකි ආර්ථිකය එක තැන ලැග සිටියි.

වෙළඳපොල තත්වයන් සංකීර්ණ වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තීරණය කරන අය එනම් රාජ්‍ය, සමාජය හා ව්‍යවසායකයන් පනවන රෙගුලාසි වැඩි වීමෙනි. රෙගුලාසි ලිහිල් කිරීමෙන් උද්‍යෝගයක් ආර්ථිකයට ලැබෙනවා යැයි කියමින් ආර්ථිකයක් වැටෙද්දී රෙගුලාසි ලිහිල් කරනා අය ආර්ථිකයක් වැටෙන්නට පෙර, රෙගුලාසියක් පනවන්නට පෙර, ඒ ගැන කල්පනා කරන්නේ නැත්තේ මන්ද?

හුදකලාව වනාන්තරයක වාසය කරන අයෙකුට දඩයමේ යනවා ද නැත්නම් මී පැණි එකතු කරනවා ද යන දෙකෙන් එකක් තෝරා ගැනීම පහසුයි. එයාට තමන් සලකා බැලිය යුතු කාරණා පැහැදිලිව දැකිය හැකියි. මිනිස් සම්පත ස්වභාවික සම්පතට එකතු කර වස්තු සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය එහි දී කෙටි ය. එයට යන මුළු වැය හා එහි දී ලබාගත හැකි පරිභෝජන භාණ්ඩ ප්‍රමාණය කොතරම් දැයි සම්පුර්ණයෙන් ම දැනගත හැකියි.

එහෙත් දිය ඇල්ලකින් විදුලිබලය ගන්නවා ද නැත්නම් ගල් අඟුරු පතල ඒ විදියටම පවත්වා ගෙන යමින් ගල් අඟුරු වලින් වඩා කාර්යක්ෂමව වැඩ ගන්නවා ද යන දෙකෙන් එකක් තෝරා ගැනීම වූ කලී පහසුවෙන් ගත හැකි තීරණයක් නොවේ. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය දිගු ය. විවිධ ය. සාර්ථකත්වය රඳන සාධක අනේක ය. එවැනි සැලසුමක දී අපිට අපහැදිලි අදහස් වලින් තෘප්තිමත් විය නොහැකියි. ඒවා පහදා ගෙන ඒ අදහස් ක්‍රියාත්මක කිරීමෙන් ලාබදායක තත්වයක් ලැබේ දැයි ප්‍රවේශමෙන් ගණන් හදන්නට සිද්ධ වෙයි.

ඒත් ගණන් හදන්නට නම් අපිට ඒකකය (unit) කුමක් දැයි යන දැනුම අවශ්‍යයයි. ආර්ථික භාණ්ඩ පාවිච්චි කරන කැමැත්ත කියන ප්‍රකාශන වලින් (උදා: නොමිලේ අධ්‍යාපනය, සැමට සෞඛ්‍ය පහසුකම්, කලාත්මක අගයෙන් ඉහළ සිනමාව) අපිට ඒකකය කුමක් දැයි සොයාගත නොහැකියි. ආන්තික උපයෝගීතාවය (marginal utility) ද අපිට ඒකකයේ අගය කුමක් දැයි පෙන්වන්නේ නැත.

ආර්ථික භාණ්ඩයක ඒකකයන් දෙකක අගය එකකට වඩා වැඩි යැයි කිව නොහැකියි. ඒකකයන් දෙකක එකකට වඩා හෝ කුඩා ප්‍රමාණයකට වඩා වැඩියෙන් තිබුණාට ඒකකයන් දෙකක අගය එකකට වඩා වැඩි යැයි ආර්ථික ගණනයක (economic calculation) දී සැලකීම දෝෂ සහගතයි. මන්ද යම් භාණ්ඩයක අගය (value) මැනිය (measure) නොහැකියි; යම් භාණ්ඩයක ඇති අගයක් විසින් ඉටු කරන්නේ එය දකින පාරිභෝගිකයාට යම් පිළිවෙලක් හදා දීම (arrange) සහ ශ්‍රේණියක් (grade) ඉදිරිපත් කිරීම පමණයි. හුවමාරු ආර්ථිකයේ දී අගය තීරණය කරන්නේ එය මිල දී ගන්නා අවස්ථාවේ දී පාරිභෝගිකයා විසිනි.

පිළිවෙලක් නැති විටෙක, අපට ඇත්තේ කවුරු හෝ ඊට නිර්දේශ කළ අගයක් පමණක් නම්, (අද තෙල් මිල ….) එවිට අපි ගණනය කරන්නේ නිශ්චිත සාධක වලින් නෙමෙයි. ආර්ථික ගණනයක් හදන්නට අපිට වෙළඳපොලේ දී අපි තෝරා නොගන්නා දේවල් වලට යන වියදම කොපමණක් දැයි දැන ගැනීමට ද හැකිවිය යුතුයි. තෝරා ගැනීමකට ඉඩක් නැතිකළ මේ අවස්ථාව ද නැති වී යයි.

1. හුවමාරු ආර්ථිකයක දී භාණ්ඩවල වාස්තවික හුවමාරු අගය (objective exchange value) තමයි ගණනය කළ හැකි ඒකකය බවට පත්වෙන්නේ. තවත් විදියකින් කිව්වොත් හුවමාරු වෙළඳපොලක දී දැකිය හැකි මිල දර්ශකයෙන් එයින් අපිට හුවමාරුවට සහභාගී වී ඉන්නා සෑම පාරිභෝගිකයෙක්ම ඊට දෙන අගය මත ගණනය පදනම් කරගන්න පුලුවන්. එය හැමෝම අතර සිද්ධ වෙන විකිණීම හා මිල දී ගැනීම සිදුවෙද්දී දැනගන්නට හැකිවෙන දෙයක්. යම් වෙළඳපොලක් හැදී ඇත්තේ රාජ්‍ය ආයෝජන හා රෙගුලාසි හා මිල තීරණ මැදිහත් වීම් වලින් නම් එහි දී ඒකකයක අගය සොයාගන්න ක්‍රමයක් නැහැ.

2. මේ ගණනයට හැකියාව වෙළඳපොලට දෙන වැදගත් පණිවුඩය තමයි නිෂ්පාදන උපකරණ (means of production) නිසියාකාරව අපි පරිහරණය කරනවා ද නැද්ද කියල. සංකීර්ණ ක්‍රියාවලියක දී වියදම් ගණන් හදන්න කැමති අයට මෙහි දී පෙන්වනවා එහි අනෙත් කොටස් වල යෙදෙන අය අරපිරිමැස්මෙන් කටයුතු කරනවා ද නැද්ද කියල. දැනට තියෙන වෙළඳපොල මිල ගණන් යටතේ ඔවුනට ලාබයක් උපයන්නට බැරි නම් ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙන් (process of production), එතැන දී වෙළඳපොල පෙන්වන්නේ පැහැදිලිවම වෙනත් අයට සාර්ථක ලෙසින් ඒ ආර්ථික භාණ්ඩය නිෂ්පාදනය කරන හැකියාව තිබෙන බවයි. යම් වෙළඳපොලක් හැදී ඇත්තේ රාජ්‍ය ආයෝජන, රෙගුලාසි හා මිල තීරණයන් මැදිහත් වීමෙන් නම් අනෙක් කොටස් වල යෙදෙන අය අරපිරිමැස්මෙන් කටයුතු කරනවා ද නැද්ද සොයාගන්නත් බැහැ.

3. හුවමාරු අගය (exchange value) අනුව ගණන් හදද්දී අපිට පොදු ඒකකයක (common unit) අගය සොයා ගන්නට හැකියාව ලැබෙනවා. යම් ආර්ථික භාණ්ඩයක් වෙනුවට පාවිච්චි කළ හැකි වෙනත් ආර්ථික භාණ්ඩයක් අතර පවතින සම්බන්ධතාවය අපිට හුවමාරු ගණුදෙනු වල දී දකින්නට හැකිවෙන නිසා, අපිට කැමති භාණ්ඩයක් මෙහි දී තෝරාගත හැකියාව ද ලැබෙනවා. මුදල් ආර්ථිකයක දී අපි කොච්චර මුදල් ප්‍රමාණයක් වැය වී ඇත් ද කොච්චර මුදල් ප්‍රමාණයක් ලාබ ලැබී ඇත් ද අනුව ඒ තෝරා ගැනීම සිද්ධ කරනවා. යම් වෙළඳපොලක් හැදී ඇත්තේ රාජ්‍ය ආයෝජන මැදිහත් වීමෙන්, රෙගුලාසි හා මිල තීරණයන් වලින් නම් අපිට යම් සහයෝගයෙන් කරන ආර්ථික උත්සාහයක දී කැමති අමාත්‍යාංශයක් (පාඩු සිදු කරන) අත්හැර කැමති අමාත්‍යංශයක් (ලාබ උපදවන) තියාගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ!!!!!!

අපි ගණුදෙනු අගය (exchange value) පැත්තකට දාලා, ආත්මීය පරිහරණ අගය (subjective use value) භාවිතයෙන් අගය හොයන්නට ගියොත් අපේ ගණන් හැදීම අවුල්. ලාබ අලාබ පෙන්වන්නේ නැතිනම් වෙළඳපොලකට මාර්ගෝපදේශකයක් ලැබෙන්නේ නැති නිසා එයට නිෂ්පාදනය කළ යුත්තේ මෙනාවා ද නැත්තේ මොනවා ද යන්නත් එවිට දැනගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

අපිට බැහැ දිය ඇල්ලක් අසල විදුලිබලාගාරයක් හදද්දී එයින් පරිසරයේ ලස්සන නැතිවෙලා ගිහින් සංචාරකයන් එන්නෙ නැතිවීම ගැන ගණන් හදන්න. ඒකේ අනිත් පැත්තත් එහෙමයි. අපිට බැහැ අපි මේකට හරි ආසයි, මෙය අපිට ඉතා වැදගත් කියල ආර්ථික ගණනයක් කරන්න හුවමාරුවෙන් සිද්ධ වූ ගණුදෙනුවක ඒකකයක අගය අපි සතුව නැත්නම්.

බිල්ඩිමක ලස්සන, ජනතා සෞඛ්‍යය, ජාතියක අවංක බව යනාදිය වැටෙන්නෙ ආර්ථික ගණනයක් කළ නොහැකි අංශයට. ඒවා වැදගත් නැහැයි කියනවා කියල වරද්ද ගන්න එපා. ඒත් ඒවාට ගණුදෙනු හුවමාරුවක දී ලැබෙන, එනම් ආර්ථිකයට හෝ වෙළඳපොලක දී ලැබෙන එහි ඒකකයක අගය නොදන්නා නිසා අගැයුම් (evaluate) කරන්න නොහැකි වූවක්.

අම්මාගේ සෙනෙහස මිල කළ නොහැකියි!!!!! ඒත් ලෝකයේ මිල ගණන් නියම කරන්න වැඩියෙන්ම උත්සාහ කරන්නෙ මුදලට යට වෙන්න එපා කියන අයම වී ඇත්තේ කෙසේද?!!!!!

අපි නිශ්චිතව ම දන්නවා නම් ලස්සනට, නිරෝගී බවට, අවංකකමට මෙච්චර ගණාක් යනවා කියල, අන්න එදාට අපිට එය ගණනය කරන්න පුළුවන් හැකියාව ලැබී එය ආර්ථික ක්‍රියාවලියට යොදවා ගන්නේ කෙසේද යැයි සැලසුම් හදන්න පුළුවන්.

මෙය මුදල් ආර්ථිකයක හැටි.

එය හොඳ හෝ නරක යැයි කිව්වාට වැඩක් නැහැ, මොකද එය වෙනස් කළ නොහැකි මිනිස් ස්වභාවයේ සහ ස්වභාව ධර්මයේ හැදියාවක්.

ඉතින්, වෙළඳපොල හුවමාරුව තුලින් නිෂ්පාදන ඒකකයේ වැය (production unit cost) දැනගන්නට ලැබුණාට, රාජ්‍ය අමාත්‍යාංශ, මහජන හා පුද්ගලික බැංකු, පුද්ගලික ව්‍යාපාර සමඟින් සිද්ධ වෙන සංකීර්ණ ක්‍රියාවලියක දී එය කුමක් දැයි නිශ්චිතවම දැනගන්නට (ඒකකයක් හදාගත නොහැකියාව නිසා) හැකියාව නැති වී යනවා.

දීර්ඝ කාලීන සංවර්ධනයක් පවත්වා ගෙන යන්නට නම් වෙළඳපොලෙන් ලැබෙන මාර්ගපෝදේශකයක් ද අවශ්‍ය නිසා එය ලබාගත හැකි ක්‍රමයක් ද නැති වී යනවා.

හැබැයි, ඔය අමාත්‍යාංශ වල සහ ඉන් පිටත ඉන්න දේශපාලනඥයන් සහ ජනතා නායකයන් නම් ඕනෑ තරම් අතරමං පාරවල් වල යන්න මාර්ගෝපදේශක දේවි!!!!

දේශාභිමානය වෙනුවෙන් ගෙවිය යුතු මිල කුමක් දැයි දන්නා අයෙක් ලෝකයේ කොහේවත් නැහැ. එහෙම හැකියාවක් තියෙන කෙනෙක් හොයා ගන්නා තෙක් අපිට ලෝකයේ හැමෝටම දේශාභිමානය මෙයැයි කියා පාන ආර්ථික සැලැස්මක් හදන්නට ද නොහැකියි!!!!

ඒත් එහෙමයි කියල පුරාතනයේ සිට ඊට උත්සාහයක් අනුන්ගේ කරපිටින් ගෙන ගිය නායකයන් සිටියේ නැතිවා නොවේ. අදත් සිටින හා හෙටත් එවැනි උත්සාහයන් ගන්නා නායකයන් බිහිවෙන්නේ ද නැතිවා නෙමෙයි. ඒත් ආර්ථික කටයුතු (economic activity) නොවන ඕනෑ තරම් දේවල් තියෙනවා ජාතියක උදාරත්වය නංවාලන්නට අවශ්‍යතාවයක් කෙනෙකුට ඇත්නම්. 😀

මේක ලියාගෙන යද්දී මහ බැංකුවේ ආණ්ඩුකාරයා ගෙනෙනවා කියන “ලිබරල් සීමා” ගැන ප්‍රවෘත්ති වාර්තාවක් දැක්කා. සිරස්තලය කදිම උදාහරණයක් විරෝධෝක්තියක් -oxymoron යනු කුමක් දැයි කියන්නට; හරියට ‘මෝඩ පණ්ඩිතයෙක්’ කියනවා වගේ අදහසක් තමයි ‘ලිබරල් සීමා’ කියන එකෙන් එන්නෙත්!!!!!

වෙළඳපොල ලිබරල් නම් අක්ෂරය ප්‍රදර්ශනය කළ හැකි වාතාවරණයක් එහි පැවතිය යුතුයි!!!!!!!

ලිබරල් නොහොත් ලිහිල් ප්‍රතිපත්ති නැතිව කිසිම කර්මාන්තයක් නඟාලන්නට තියා පවත්වා ගෙන යන්නටවත් බැහැ කියන එක ඉහත අර්ථ ශාස්ත්‍ර විග්‍රහයෙන් බුද්ධිමත් අයට වැටහේවි.

ඉතින් හඳයාගේ සිනමා සිහිනයට යෝජනාවක් ඉදිරිපත් නොකර සටහන අවසන් කිරීම මදි නිසා, යෝජනාවක් ගෙනෙන්නම්. බේස්මන්ට් වල, ගරාජ් ඇතුලේ පටන් ගත් පුංචි උත්සාහයන් තමයි වෙළඳපොල දැනුම්දීම් වලට සවන් දීලා ලෝකයේ විශාල වශයෙන් ලාබ උපයන ව්‍යාපාර බවට පත් වී තියෙන්නෙ. ඉතින් පුංචි ලංකාවේ දක්ෂයන්ට එකතු වෙලා Colombo Online International Film Festival එකක් සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ සිනමාවට නව පණක් දෙන්න පුළුවන් ද? එය කිසිත් රාජ්‍ය බැඳියාවක් නොමැතිව ශ්‍රී ලංකා සිනමාවට ළැදි කිහිප දෙනෙකුගේ ආයෝජන අවදානමට තබා කළ හැකි වූවක්. එය ලෝකයේ වැඩි පිරිසක් වෙත අඩු වැයකින් ගෙන යන්නට හැකි උත්සාහයක්. රියැලිටි ෂෝ තත්වයකට ගෙන එන්නත් පුලුවන් සම්මාන දිනන රටවල අය සම්මානය ලැබූ බව දැනගන්න අවස්ථාවේ දී විඩියෝ මඟින් සම්බන්ධ වීමෙන්. ඒ වගේ ම ඒකක පිරිවැය ප්‍රතිලාභ (unit cost benefit) කොහොම දැයි එහි හැම අදියරක දී ම පහසුවෙන් දැනගන්නට හැකියාව ලැබෙනවා. ඇමෙරිකාවේ එහෙම වුනාට ආසියාවේ තවම කිසිවෙක් එවැනි උත්සාහයක් ගෙන තියෙනවා දැයි නොදනිමි.