අරුණි ශපීරෝ‍ වෙතින්

පරිපූර්ණත්වය සොයමින් යථාර්ථය නොසැලකීම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 27, 2015

bastiatbanner1

වෙළඳපොලක් සාර්ථක ලෙස වැඩ කරන්නේ අපරිමේය පිරිසක් පරිපූර්ණ තොරතුරු සහිතව එකිනෙක අතර වෙනසක් නොමැති වෙළඳ ද්‍රව්‍ය ගණුදෙනු කරන්නේ නම් පමණක් යැයි තවත් බහුලව පැතිර ඇති දුර්මතයකි.

පරිපූර්ණ තරඟකාරීත්වයෙන් යුතු වෙළඳපොලක ඒකීය පුද්ගලයෙක් මිල දී ගැනීමේ හෝ විකිණීමේ මිල ගණන් වලට බලපෑමක් සිදු නොකරයි යැයි මේ අය කියති. එසේම ඔවුන් පරිපූර්ණ වෙළඳපොලේ නිෂ්පාදන සියල්ල ස්වකීල (homogenous) වේ යැයි කියති. නිෂ්පාදන සහ මිල ගණන් ගැන ලැබෙන තොරතුරු වැයකින් තොර යැයි කියති. පවතින වෙළඳපොල පරිපූර්ණ තරඟකාරීත්වයකින් යුතු නැතැයි කියති. එහි දී ඔවුන් යෝජනා කරන්නේ පවතින වෙළඳපොල පරිපූර්ණ නොවන නිසා ආණ්ඩුව මැදිහත් වී වරද නිවරද කළ යුතු යැයි කියායි.

ආර්ථික ගණුදෙනු පැහැදිලි කරගැනීමට විසංයුක්ත ආදර්ශයන් උපකාර වෙන අවස්ථා ඇත. ඒත් න්‍යයාත්මක විසංයුක්ත සඳහා “පරිපූර්ණ” වැනි අදහස් ගණනාවක් හැඟවෙන වචනයක් යොදා ගනිද්දී, දරුණු හානියක් සිද්ධ කරන්න පුළුවනි.

වෙළඳපොලේ යම් තත්වයක් “පරිපූර්ණ” තරඟකාරීත්වයෙන් යුතු සේ නිර්වචනය කරන්නට යද්දී, එවිට අනෙක් සියල්ලම යම් ආකාරයකින් “අසම්පූර්ණ” වෙන නිසා, ඒවා වැඩි දියුණු කළ යුතු යැයි හැඟවේ.

කාට ද ඒ වෙළඳපොල වැඩි දියුණු කරන ආයතනය පැවරෙන්නේ?

ලංකාව පුරා නොමිලේ බෙදන සේවයක් සියල්ලන්ටම සෙත සැලසෙන අනගි ලෙසකින් පවත්වාගෙන යා හැකි සමාජවාදී ක්‍රමයක් ලොව ඇතැයි විශ්වාස කරන අය බොහෝ වෙති. තම වැය තමන්ට ගෙවා ගන්නට සිද්ධ වුවහොත් දුප්පතුන්ට අවශ්‍ය දේවල් ලැබෙන්නේ කොහෙන්දැයි ඇසීම මේ අයට පුරුදු සිරිතයි. සියළු දත්ත එය එසේ නොවන බව සනාථ කරද්දීත් මිනිසුන් සිය වත්කම් වලින් පරිත්‍යාගශීලී නොවෙන බව කියති. ඔවුනට අවශ්‍ය තම තමන්ගේ වත්කමෙන් පරිත්‍යාගයට ඉඩ දෙනවා වෙනුවට වත්කම් ඇත්තන් යැයි හඳුන්වාගත් ලද්දවුන් වෙතින් බලහත්කාරයෙන් උදුරා දුප්පතුන් යැයි හඳුනා ගන්නා ලද්දවුන්ට පරිත්‍යාග කරන බලය වෙනකෙකුට පැවරීමටයි. හිතුමතයේ තීරණය වෙන අසාර්ථක ක්‍රම වලින් දිගින් දිගටම මැදිහත්වීම් වලින් කාගෙන් අරන් කාට බෙදන්නේ ද යන බලයේ දිගටම රැඳී සිටීමට පාලක පංතියකට බලය පැවරෙයි.

“පරිපූර්ණ” තරඟකාරීත්වය යනු පරිකල්පන ආදර්ශයක් පමණි. එයින් අපට වැදගත් දත්ත අපෝහනයට ඉඩක් පෑදෙයි. සම්පත් කෙසේ යොදා ගැනෙනවා ද යන්න තීරණයට ලාබය මුල් වීම ඒ තුලින් දකින්නට ලැබේ. සාමාන්‍යයෙන් පවතිනවාට වඩා යම් වෙළඳ ද්‍රව්‍යයකට ලාබ වැඩි වෙද්දී තරඟකරැවන් විසින් සැපයුම වැඩි කරන්නට එක් රොක් වෙති. එවිට මිල පහළ යයි. ලාබ අඩු වේ.

මුදල් සල්ලි (cash) කොපමණක් තබා ගන්නවා දැයි යන අවිනිශ්චිත තත්වයේ දී ද අපිට එය පහදා ගත හැකියාව ලැබෙන්නේ මුදල් කාසි පිළිබඳ තොරතුරු අසම්පූර්ණ බැවිනි. තොරතුරු සඳහා වැයක් නැතිනම් එවිට හැමෝම තම මුදල් සියල්ල ප්‍රතිලාභ ලැබෙන අවස්ථාවේ එළියට ගත හැකියාව ලැබෙන පරිදි ආයෝජනය කරනු ඇත. නමුත් මුදල් සල්ලි කියා දෙයක් පවතින බැවින් පෙන්නුම් කරන්නේ තොරතුරු හිඟයේ ඇති ලක්ෂණයකි.

“පරිපූර්ණ” තරඟය යනු වෙළඳපොල වැඩි දියුණු කරන්නට දෙන මාර්ගෝපදේශකයක් නොවේ. එය සත්‍ය ලෝකයේ තරඟ කොන්දේසි වලින් විසංයුක්ත කරගත් වෙළඳපොල ක්‍රියාවලිය ගැන පරිකල්පන ආදර්ශයක් සඳහා යොදාගන්නා දුර්වලතා පිරි පදයක් පමණි.

යම් රජයකට “පරිපූර්ණ” ලෙසකින් වෙළඳපොල හසුරැවන්නට හැකි ආයතනයක් වෙන්නට නම්, එම රජය ද “පරිපූර්ණ” ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති වලින් යුතු වේ යැයි අපි අපේක්ෂා කරමු. එනම් අපරිමේය චන්දදායකයන් සහ චන්ද අපේක්ෂයක් විසින් කිසිම ප්‍රතිපත්තියක් ඒකීය පුද්ගල බලපෑමකින් තොරව කරනවා යන්නයි. සියළු ප්‍රතිපත්ති ස්වකීල බවත්, ඒ ප්‍රතිපත්ති වලට යන වැය හා ප්‍රතිලාභ ගැන තොරතුරු කිසිම වැයකින් නොවන බවත් එහි දී ගම්‍ය වේ. එවැනි තත්වයක් කිසිම විටෙක විද්‍යාමාන නොවන්නකි.

ප්‍රතිපත්ති සමූහයක් අතරින් ඒ ඒ තෝරාගැනීම් කරද්දී තෝරා ගැනෙන්නේ සැබැවින්ම පවතින තෝරාගැනීම් අතරින් බව යන්න විද්‍යාත්මක ක්‍රමයට අනුකූල වූවයි. ඉහත ඡේදයේ විස්තර කර ඇති ආකාරය අනුව දේශපාලන තෝරාගැනීම් සහ වෙළඳපොල තෝරාගැනීම් යන දෙකම “අසම්පූර්ණ” වේ. එහෙනම් තෝරාගැනීම සිද්ධ විය යුත්තේ සත්‍ය ලෙසම පවතින වෙළඳපොල සහ දේශපාලන ක්‍රියාවලිය තුලින් මිසෙක “පරිපූර්ණ” යැයි කියන තත්වයක් හා සසඳා බලා නොවේ.

සැබෑ වෙළඳපොල යනු තොරතුරු සපයන්නට සහ එහි ගණුදෙනු කරන එකිනෙකාගේ යහපත පිණිස කටයුතු කරන්නට අනේක විධි වලින් සහාය වෙන්නකි.

මිනිසුන්ට තොරතුරු සොයාගන්නට සහ සහයෝගීතාවයෙන් කටයුතු කරන ක්‍රමවේද සඳහා රාමුවක් වෙළඳපොල සපයා දෙයි. දැන්වීම්, ණය සපයන ආයතන, ප්‍රසිද්ධිය, වෙළඳ ද්‍රව්‍ය හුවමාරැවට, වෙළඳ කොටස් හුවමාරැවට, සහතික නිකුත් කරන මණ්ඩල, සහ වෙනත් ආයතන බොහොමයක් වෙළඳපොල තුලින්ම බිහිවෙන්නේ එකිනෙකාගේ යහපත සාධනය සහයෝගීතාවයෙන් කරගන්නටයි.

පරිපූර්ණ නැතැයි කියා වෙළඳපොල එපා කියන්නේ නැතිව අපි තවත් සොයා බැලිය යුත්තේ මිනිස් සුභ සාධනයේ අසම්පූර්ණතා වැඩි දියුණු කරලීමට වෙළඳපොල තුලින් පොට පාදා ගැනීමටයි.

අවසාන වශයෙන් කිය යුතුව ඇත්තේ, තරඟය යන්න වැඩියෙන් හොඳට හඳුනා ගන්නට නම්, එය වෙළඳපොල තත්වයක් හැටියට නොව ප්‍රතිවිරෝධී චර්යාත්මක ක්‍රියාවලියක් (process of rivalrous behavior) ලෙසින් දැකිය යුතුයි. ව්‍යවසායකයන්ට අනෙකුත් ව්‍යවසායකයන් හා තරඟ කරන්නට වෙළඳපොලට ඇතුල් වෙන්නට නිදහස ඇත්නම්, පාරිභෝගිකයන්ට තමන් කැමති නිෂ්පාදකයන්ව තෝරා ගන්නට නිදහස ඇත්නම්, එවිට පාරිභෝගිකයන්ගේ හැදියාවට තරඟ කරන නිෂ්පාදකයන් අතර ඇති ප්‍රතිවිරෝධී (rivalry) චර්යාව නිසා වැඩියෙන් වාසි ලැබෙන්නේ පාරිභෝගිකයන්ටයි.

මාර්තු 31 වැනිදා පෙව 11ට කොළඹ 5, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේ දී පැවැත්වෙන “ධනවාදයේ සදාචාරාත්මක බව” දේශනයේ කථිකයා වන ටොම් ජී. පාමර් ලියූ “වෙළඳපොල මිථ්‍යාවන් විස්සක්,” යන ලිපිය ඇසුරිනි.

තොරතුරු සපයන්න කියා කරන තොරතුරු අවහිරය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 26, 2015

bastiatbanner1

සර්ව සම්පූර්ණ තොරතුරු මත වෙළඳපොල රඳා පවතී යැයි ද, තොරතුරු සපයන්නට ආණ්ඩුවේ රෙගුලාසිකරණය අවශ්‍ය වේ යැයි ද වෙළඳපොල ගැන වූ තවත් දුර්මතයකි.

මේ දුර්මතයේ සිටින අය කියන්නේ, වෙළඳපොල කාර්යක්ෂම වීමට නම් වෙළඳපොලේ සියළු දෙනාම තම තමන්ගේ ක්‍රියාවන් නිසා ඇතිවන වැය කුමක්දැයි සම්පූර්ණයෙන් දැන සිටිය යුතු බවයි. කට්ටියකට අනෙක් අයට වඩා වැඩියෙන් තොරතුරු ඇතිනම්, එවිට ඒ අසසමිතියන් නිසා අකාර්යක්ෂම වූ ද, අයුක්ති සහගත වූ ද ප්‍රතිඵල ගෙනෙන බවයි. ප්‍රතිඵල කාර්යක්ෂම කරනු සඳහාත් යුක්ති සහගත කරනු සඳහා ආණ්ඩුවක් මැදිහත් විය යුතු බව මේ දුර්මතයේ එල්බ ගත් අය පවසති.

වෙනත් අපිට අවශ්‍ය සෑම දෙයක්ම ලෙසින්, තොරතුරු ද සෑම විටම මිල අධික බවකින් යුතු වූවකි. එනම්, අපිට එයින් වැඩියෙන් ලබන්නට නම් යමක් ඒ වෙනුවෙන් කැප කරන්නට සිද්ධ වේ.

තොරතුරු යන්න ද වෙළඳපොලේ හුවමාරැ වන නිෂ්පාදනයක් වෙයි. උදාහරණයක් වශයෙන් අපි තොරතුරු ඇතුලත් පොත් මිල දී ගනිමු. ඒ පොතේ අඩංගු තොරතුරු අපි අත්හරින මුදලට වඩා වැඩි යැයි අපි සලකන නිසයි.

ප්‍රජාතන්ත්‍රය වැඩ කරන්නට තොරතුරු කොතරම් අවශ්‍ය සේ ම, වෙළඳපොල වැඩ කරන්නටත් ඊට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය නැත.

වෙළඳපොලේ ගැවසෙන අයට තොරතුරු ඉහළ වැයක් යන්නක් යැයි කියද්දී, ඒ අයම විසින් දේශපාලනයේ ගැවසෙන අයට තොරතුරු කිසිත් ගාස්තුවකින් තොරව ලැබෙන්නේ යැයි කියන්නේ ද, එය ඉතාමත් විනාශකාරී වූ අතාත්වික තත්වයක් මවා පෑමකි.

දේශපාලනඥයන්ට සේ ම, චන්දය ප්‍රකාශ කරන්නාට ද, සර්ව සම්පූර්ණ තොරතුරු ලබාගත හැකියාවක් නැත.

විශේෂයෙන්ම, අවශ්‍ය ප්‍රමාණයට තොරතුරු රැස් කරන්නට දේශපාලනඥයන්ට සහ චන්දදායකයන්ට ඇති දිරිගැන්වීම වෙළඳපොලේ කටයුතු කරන්නෙක්ට වඩා අඩුවෙන් වූවකි. මන්ද ඔවුන් වියදම් කරන්නේ තමන්ගේ මුදල් නොවන නිසයි. චන්දදායකයා නොමිලේ WiFi ගෙනෙන්නට කැමති යැයි චන්දය ප්‍රකාශ කිරීමේ දී ඔහු එකඟතාවය පෙන්වන්නේ රජයේ මුදල් වැය කිරීමට මිසෙක ඔහුගේ පසුම්බියෙන් මුදල් ඊට ගෙවීමට නොවේ. නොමිලේ WiFi ගෙනෙනවා යැයි යෝජනා කරන දේශපාලනඥයා ද එහි වැය ගෙවන්නට පොරොන්දු වෙන්නේ ඔහුගේ පසුම්බියෙන් ද නොවේ.

නමුත් වෙළඳපොලේ බඩුවක් මිල දී ගන්නා වියදම් කරන්නේ තමන්ගේම මුදල්. ඒ නිසා කැමැත්ත ප්‍රකාශ කරන භාණ්ඩය ගැන හැකි තරම් පමණින් තොරතුරු එක්රැස් කරගැනීමට තමන්ගේ මුදල් වැය කරන්නා ප්‍රවේශම් වෙයි.

දොස්තරවරැන්ට හැම විටම වෛද්‍ය කටයුතු ගැන රෝගීන්ට වඩා වැඩියෙන් දැනුමක් ඇත. අපේ රෝග අපි සුව කරන්නට නොයා අපි වෛද්‍යවරැ වෙත යන්නේ ඒ නිසයි. කොයි දොස්තර ද ලෙඩ සුව කරන්න සමර්ථ, ලැබෙන ප්‍රතිකාර නිවැරදි ද, ඒ දැනුම සඳහා අවශ්‍ය ගාස්තුවට වඩා වැඩියෙන් ගෙවනවා ද, යනාදිය ඒ නිසා පාරිභෝගිකයා නොදන්නවා යැයි චෝදනා එල්ල වෙයි.

ඊට පිළියම හැටියට රජය විසින් වෛද්‍යවරුන්ට බලපත්‍රයක් දීම නිර්දේශ කෙරෙයි. බලපත්‍රයක් සතු වෛද්‍යවරයා ප්‍රතිකාර කරන්නට සුදුස්සෙක්, සමර්ථ වූවෙක්, සහ වගකිව යුතු වූවෙක් යන්න ගැන ජනතාවට සහතිකයක් ප්‍රදානය වෙයි.

නමුත් වෛද්‍ය වෘත්තිය සේ ම, අනෙක් වෘත්තීන් දිහා බලද්දීත්, බලපත්‍ර සතු අය ගැන කරන ලද අධ්‍යයන වලින් පෙනී යන්නේ එය එසේ නොවන බවයි.

බලපත්‍ර නිකුත් කිරීම ද්වීමය වූවකි. එක්කෝ බලපත්‍රයක් ඇත. නැත්නම් බලපත්‍රයක් නැත.

ඊට වෙනස් ක්‍රමාන්ව ලෙසකින් සහතික ඉදිරිපත් කිරීමක් වෙළඳපොල තුලින් ලැබේ. ඉල්ලුම වැඩි දොස්තරවරැ සිටිති. ඉල්ලුම අඩු දොස්තරවරැ සිටිති. සෞඛ්‍ය පහසුකම් සැමට එකසේ නොමිලේ බෙදනවා යැයි කියන රටවල ද එවැනි අය සිටිති!!!

වෘත්තියක යෙදෙන අයෙක් බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝණය කරද්දී එය රජය විසින් අහෝසි කරයි. වෘත්තියට නොගැලපෙන සේ කටයුතු කිරීම යන කොන්දේසියේ දී ඇමෙරිකන් වෛද්‍යවරැ විසින් දැන්වීම් දැමීමත් වෘත්තීමය ගෞරවය රකින කොන්දේසියක් උල්ලංඝණයකි. දැන්වීම් යනු ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවා මොනවා ද, ඒවායේ ප්‍රමිතිය කුමක් ද, ඒවායේ මිල ගණන් කෙසේද යනාදී තොරතුරු සපයන්නට වෙළඳපොල පරිනාමය වී ඇති ආකාරයයි.

ඉතින් බලපත්‍ර නිකුත් කිරීම යනු තොරතුරු අසසමිතියට ඇති විසඳුම නොව එහි හේතු කාරකයයි.

අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද ලියූ රොහාන් සමරජීව විසින් ලංකාවේ කොණ්ඩ අලංකාරයේ යෙදෙන අයට ඇමෙරිකාවේ මෙන් බලපත්‍ර නිකුත් කළ යුතු යැයි නිර්දේශ කර තිබුණි. එය ඇමෙරිකාවටත් නොගැලපෙන ආර්ථික ක්‍රමවේදයකි. බලපත්‍රයෙන් ලාබයක් ලබන්නේ එය නිකුත් කරන ප්‍රාන්ත රජයයි. පාරිභෝගිකයා නොවේ. බලපත්‍රයක් තිබුණ පමණින් වෘත්තියේ යෙදෙන්නා කොණ්ඩ අලංකාරයේ යෙදෙන්නට කොතරම් සුදුසු වූවෙක් ද, කොතරම් සමත් වූවෙක් දැයි දැනගන්නට කිසිත් හැකියාවක් නැත. එම පොතේ වූ බොහොමයක් ආර්ථික ක්‍රමවේදයන් කිසිම රටකට ගැලපෙන්නේ නැති බව මීට කළින් ඒ පොත කියවන්නට ලැබුණ පසු සටහන් තැබුවෙමි. නිවැරදි ක්‍රමවේදය කියා දෙන්නට මෙහෙන් කෙනෙක් ලංකාවට එවන්නේ ඒ නිසයි!!!!

මාර්තු 31 වැනිදා පෙව 11ට කොළඹ 5, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේ දී පැවැත්වෙන “ධනවාදයේ සදාචාරාත්මක බව” දේශනයේ කථිකයා වන ටොම් ජී. පාමර් ලියූ “වෙළඳපොල ගැන මිථ්‍යාවන් විස්සක්” යන ලිපිය ඇසුරිනි.

අනවශ්‍ය ගෞරවය සහ වැරදි මතයේ එල්බ සිටීම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 24, 2015

ගෞරවය: අයෙක්ව හෝ දෙයක් ඔවුන්ගේ හැකියාවන්, ගුණාංග නැත්නම් ජයග්‍රහණයන්හි ප්‍රතිඵල තුලින් දැඩි සේ අගය කිරීම

තම දරැවාට ශිෂ්ඨ සම්පන්න වූ වැඩිහිටියෙක් වෙන්නට මාර්ගය පෙන්වා දුන් අම්මා තාත්තාට ගෞරවයක් පුදන්න අවශ්‍ය ද?

කම්හලේ සේවකයා වැඩ මුරය අවසන් කළා යැයි ඔහුට ගෞරවයක් පුදන්න අවශ්‍ය ද?

රෝහලේ වෛද්‍යවරයා ලෙඩුන් සුව කළා යැයි කියා ඇයට ගෞරවයක් සමාජයෙන් ලැබිය යුතු ද?

පුද්ගලික ව්‍යාපාරිකයෙක් මෙතෙක් වෙළඳපොලේ නොතිබූ භාණ්ඩයක් නිර්මාණය කර එයින් පාරිභෝගිකයන් සතුටු කරමින් නව රස්සාවල් බිහි කළා යැයි ගෞරව දැක්විය යුතු ද?

රටේ නායකයෙක් අල්ලස් නොගත්තා යැයි කියා ඒ ගැන ගෞරවයක් හිමි විය යුතු ද?!!!!

නැතිනම් ඒවා ඒ ඒ අය විසින් එසේ ඉටු කරනු ඇතැයි අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතු දේවල් ද?!!!!

ඒත්, ඉපදුන හැටියේ දරැවන් මරා දමන දෙමව්පියන්, ජවයෙන් යුතුව වර්ජනයට දුවන ඒත් වැඩට කම්මැලි සේවකයන්, දිවිනසා ගන්නට ජනේල වලින් පනින්නට හිතෙන තරමට ලෙඩුන්ට අතවර කරන වෛද්‍යවරැ, පාරිභෝගිකයන් රවටන ව්‍යාපාරිකයන්, අල්ලස් ගන්නා දේශපාලනඥයන් ගැන නිතර ඇහෙද්දී ජනතාව හුරු වී සිටින්නේ තමනට නියමිත කාර්ය භාරය ඉටු කරන අයව ගෞරවයෙන් පිදිය යුත්තන් සේ දකින්නට ද?!!!

තම යුතුකම් හා වගකීම් පැහැර හරින අය බහුල වූ පමණින්, සමාජයේ තමන් විසින් කළ යුතු වූවේ යෙදෙන්නාට ගෞරවයක් දීම අනවශ්‍ය වූවකි. යුතුකම් හා වගකීම් පැහැර හැරීම සාමාන්‍යයක් යැයි සිතන, වැරැද්ද නිවැරද්ද කුමක්දැයි හරිහැටියට නොදත්, විකෘති සමාජයක් එවිට බිහි වෙයි.

මගේ මතයට ගෞරවයක් ලැබෙන්නේ අනුන්ගේ මතයකට ගෞරවයක් දැක්වීමෙන් පමණක් ද? මෙය පටලවා ගත් අය බොහොමයක් අනුන්ගේ මත සියල්ලටම ගෞරව කළ යුතු යැයි කියති. හිට්ලර්ගේ මතයට ගෞරව කළ යුතු ද? නැත්නම් ඔහුගේ මතය විනාශකාරී වූවක් යැයි කියා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ඔහුට යම් මතයක පිහිටා සිටිත හැකි අයිතිය පමණක් බාරගත යුතු ද? හිට්ලර් හෝ ඔසාමා බින් ලාඩන් හෝ ප්‍රභාකරන් හෝ යම් මතයක එල්බ සිටි පමණින් සිද්ධ වෙන හානියක් නැත. හානිය ඇතිවෙන්නේ ඔවුන් ඒ මතය තුලින් හානිකර ආකාරයෙන් ක්‍රියා කරන්නට පටන් ගන්නා විටයි. අපි මතයට එරෙහි වී එය ප්‍රතික්ෂේප නොකරන්නේ ද, එහි දී ඔවුන්ගේ ක්‍රියාවන්ට එරෙහි වීමේ හැකියාව ද අහිමි කර ගනිමු.

අපි හැකිතරම් උත්සාහ ගත යුත්තේ පවතින දුර්මතයන් බිඳ හෙළන්නටයි. එවිට සමාජය ප්‍රකෘති තත්වයකට ගෙන එන්නට හැකියාව ලැබේ. ආසියාවේ ජීවත් වෙන නිසා හෝ ලංකාවේ ජීවත්වන නිසා කියා මිනිසාට උපතින් පිහිටා තිබෙන යමක් අවබෝධයට හැකියාවේ කිසිත් අඩුවක් නැත. අඩුව ඇත්තේ ඔවුන්ට නිතර දෙවේලේ බෙදන දහ ජරාව වෙනුවට ජීවිතයට වැදගත් අදහස් ලැබීමේ දැඩි හිඟකම පමණයි.

වෙළඳපොල වෙත විශ්වාසය තබාගත හොත් ඒකාධිකාරයන් බිහිවෙනවා ඇතැයි යන්න තවත් බහුලව බෙදන ලද, විමසිල්ලෙන් තොරව අදහන දුර්මතයකි. මේ අය හිතන්නේ ආණ්ඩුව මැදිහත් නොවුන හොත්, නිදහස් වෙළඳපොල ගැන විශ්වාස තැබීම නිසා, ලාභ සොයන සමාගම් විසින් සුළු නිෂ්පාදකයන්ව පළවා හැර විශාල සමාගම් ටිකක් පමණක් ඉතිරි වී සියළු භාණ්ඩ විකුණන අයිතිය අල්ලා ගනු ඇත කියායි. ඒකාධිකාරයන් බිහිකිරීම වෙළඳපොලේ ස්වභාවය යැයි ඔවුන් වරදවා වටහා ගෙන සිටිති. මේ අයගේ දෝෂ සහගත විශ්වාසය ආණ්ඩු යන මහජන පොදු යහපත සාධනයට පෙළඹී සිටින්නක් බැවින් ඔවුන් ඒකාධිකාරයන් මෙල්ල කරන්නට කටයුතු කරන බවයි.

ඒකාධිකාරය රකින්නේ ආණ්ඩුව ද නිදහස් වෙළඳපොල ද යන්න පැහැදිලිව පෙන්වන කදිම උදාහරණයක් මෑතක දී ලියුවෙමි.

තමන් කැමති කල්ලි සහ පුද්ගලයන්ට ඒකාධිකාරයන් පවරා දෙන්නට හැකියාව ඇත්තේ ආණ්ඩුවටයි. එය නිතර පාහේ කරන්නේ ද ආණ්ඩු විසිනි. වෙළඳපොලට ඇතුල් වෙන්නට හා එහි තරඟ කරන්නට යම් අයට ඉඩ දී අනෙක් අයට තහනම් කිරීම ඒකාධිකාරයයි.

නිදහස් වෙළඳපොල යනු ඕනෑම අයෙකුට ඊට එකතු වෙන්නත් එය අත්හැර යන්නත් හැකි තැනකි. කැමති අයෙකු වෙතින් මිල දී ගන්නට හෝ කැමති අයෙකුට විකුණන්නට හැකි තැනකි. වෙළඳපොලේ යම් ආයතනයක් අනෙක් අයට වඩා ලාභ උපයන්නට සමත් වෙන්නේ ද, එවිට ඒ ලාභ ආකර්ෂණය කරගන්නේ ඔවුන්ගේ තරඟකාරයන්වයි. එහි දී තරඟකාරයන් වැඩි වෙද්දී ලාබ අඩු වී යයි.

වෙළඳපොල විසින් නිතර පාහේ ඒකාධිකාරයන් බිහි කරනවා නම්, එහෙනම් මෙපමණ පිරිසක් ආණ්ඩුවලට හේත්තු වෙමින් ඒකාධිකාරයන් ලබා ගන්නට වෙහෙස වෙනවා දකින්නට අපිට ලැබෙන්නේ නැත. එවිට ඔවුන් තමන්ට වඩා බලයෙන් අඩු තරඟකාරයන් සහ පාරිභෝගිකයන් පරදුවට තබා වෙළඳපොල තුලින් ඒකාධිකාරයන් ලබා ගන්නවා ඇත. නමුත් අපිට වැඩියෙන් දකින්නට ලැබෙන්නේ පැරදෙන ආණ්ඩුවෙන් පැන දුව ගිහින් දිනපු ආණ්ඩුවට හේත්තු වෙන අය නොවේ ද?

වංචා දූෂණ අල්ලස් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අංගයක් හැටියට සලකන සමාජයක් ඒවායෙන් ගලවා ගන්නට හැකියාව ඇත්තේ දුර්මතයන් මොනවා දැයි කියා ඒ දුර්මතයන්හි එල්බ සිටීමෙන් දුක්විඳින්නේ ඔවුන්ම බව පහදා දීමෙනි. නැතිව දැන් සිටින පීඩකයන් පළවා හැර වෙනත් පීඩකයන්ට ඉඩ දීමෙන් නොවේ.

වෙළඳපොල තුලින් ඒකාධිකාරයක් බිහිවෙනවා යන දුර්මතය පිළිබඳව අදහස් ලියන්නේ, මාර්තු 31 වැනිදා පෙව 11ට කොළඹ 5, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේ දී පැවැත්වෙන “ධනවාදයේ සදාචාරාත්මක බව” දේශනයේ කථිකයා වන ටොම් ජී. පාමර් ලියූ “වෙළඳපොල ගැන මිථ්‍යාවන් විස්සක්” යන ලිපිය ඇසුරිනි.

ආදරය සහ මිත්‍රත්වය පිටාර ගලන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2015

විමසිල්ලකින් සොයා බැලීමකින් තොරව සත්‍යය යැයි අල්ලා ගෙන සිටින තවත් දුර්මතයක් නම් වෙළඳපොල නිසා ගිජු බව සහ ආත්මාර්ථකාමය වර්ධනය වෙන බවයි. එය විශ්වාස කරනවුන් කියනුයේ වෙළඳපොලේ ගැවසෙන මිනිසා අඩුම මිලට පමණක් බඩු හොයනවා කියායි. නැත්නම් ඉහළම ලාභ උපයනවා කියායි. ඒ හෙයින් වෙළඳපොල ගණුදෙනු කරන අය ගිජු බව සහ ආත්මාර්ථකාමයෙන් පමණක් පෙළඹෙන අනිත් අය ගැන නොතකන අය බවයි.

නමුත් විමසා බලන්නෙකුට පෙනී යන්නේ වෙළඳපොල යනු පුද්ගලයාගේ ගිජු බව හෝ ආත්මාර්ථකාමය වර්ධනය කරන හෝ අවහිර කරන තැනක් නොවන බවයි. වෙළඳපොලක් යනු වඩාත්ම පරාර්ථකාමී වූව මෙන්ම වඩාත්ම ආත්මාර්ථකාමී වූවටද එක සේ ඉඩ ලබා දෙන සාමකාමී තැනක් පමණි.

අනුන්ට උපකාර වනු පිණිස ජීවිතය කැප කරන අයත් ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට වෙළඳපොල භාවිතා කරයි. ඒ අය සේ ම තම වත්කම් වැඩි කරගන්නට වෙහෙසෙන්නා ද වෙළඳපොල භාවිතා කරයි. සමහර අය තම වත්කම් වැඩි කරගන්නේ අනුන්ට උදව් පදව් කරත හැකියාව වැඩි වර්ධනය කරගන්නටයි. බිල් ගේට්ස් මෙන්ම ජෝර්ජ් සෝරෝස් ද වර්තමානයේ මේ දෙවැනි කොටස පෙන්වන නිදසුන් වෙති. ඔවුන් මහා ධනස්කන්ධයන් උපයා ගැනීමේ තවමත් නියැළෙන්නේ ඔවුන්ගේ දානමය කටයුතු වලින් අනුන් උපකාර කිරීම සඳහායි.

තෙරේසා මව්තුමිය වැන්නියකට අවශ්‍ය තමන්ගේ වත්කමෙන් වැඩි පිරිසක් වෙනුවෙන් ආහාර පාන, ඇඳුම් හා ඖෂධ සපයන්නටයි. ඇයගේ උදව් පතා එන අයට ඒවා අඩු මිලට ගත හැකියාව ඇයට පාදා දෙන්නේ වෙළඳපොලයි.

වෙළඳපොල නිසා වත්කම් නිර්මාණය වෙයි. අනතුරුව සමාජයක අවසානාවන්තයන්ට උදව් පදව් කරන හැකියාව වැඩි වර්ධනය කරන්නේ ද වෙළඳපොලයි. දානපතියන්ට දානමය කටයුත්තේ යෙදෙන්නට හැකියාව පාදා දෙන්නේ වෙළඳපොලයි.

සාමාන්‍යයෙන් කරන වැරැද්දක් නම් මිනිසුන්ගේ අරමුණු සමඟ ඔවුන්ගේ “ස්වාර්ථය” ඈඳාගෙන අනතුරුව එය “ආත්මාර්ථකාමය” සමඟ පටලවා ගැනීමයි. වෙළඳපොලක ගණුදෙනු කරන ජනතාවගේ අරමුණු ඔවුන් ගැනම වූවක් බව සැබෑය. එහෙත් මගේ අරමුණ යනු මගේ පවුලේ සාමාජිකයන්, මගේ යහළුවන්, මගේ අසල්වැසියන් ගැනත් සමහර විට කිසිදා දැක හමු වී නොමැති අයගේ යහපත ගැනත් ඇති තැකීමකින් හටගත්තා වෙන්නට හැකියි.

ඉතින්, වෙළඳපොල යනු මගේ, මම දන්නා හඳුනන අයගේ පමණක් නොව කොහෙත්ම නොදන්නා අයගේ උවමනාවන් ගැන පවා තැකීමක් කරන්නට හැකි ලෙස නිර්මාණය වී ඇති තැනකි.

මිනිස් සමාජයක් වෙනුවෙන් අඩිතාලම වැටෙන්නේ ආදරය සහ මිත්‍රත්වය මතින් නොවේ. ආදරය සහ මිත්‍රත්වය යනු එකිනෙකාගේ යහපත පිණිස කටයුතු කරගනිද්දී, ලොකු කුඩා සෑම කල්ලියක් තුලින් ම, හටගන්නා ඵලදාවයි. එහෙම අන්‍යෝන්‍ය ප්‍රතිලාභයන් නොමැති නම් සමාජයක් බිහිවෙන්නේ නැත.

එකිනෙකාට යහපතක් සිද්ධ නොවනවා නම්, A කරන හොඳ B ට සිද්ධ වන හානිය නම්, එවිට ඔවුන් කිසිදාක ගණුදෙනුවක් නොකරති. කිසිදාක එකමුතුව වැඩ කරන අය නොවෙති. කිසිදාක මිත්‍රත්වයක් ඇතිකර නොගනිති.

සහයෝගීතාව විශාල වශයෙන් ඉවැඩි කරන්නේ වෙළඳපොලයි. කවදාවත් පුද්ගලිකව නොදන්නා අය අතර පවා සහයෝගයට අවස්ථාවක් එයින් පාදා දෙයි. ඔවුන් එකම ආගම අදහන්නේ නැති වෙන්නට පුළුවනි. එකම භාෂාව කතා නොකරනවා විය හැකියි. කිසිදා මුණ ගැහෙන්නේ ද නැතිවනු ඇත.

කැමති නම් කියවන්න: මම පැන්සල

වෙළඳාමෙන් පුද්ගලයාගේ ජීවිතයට වැඩි වාසියක් ලැබීම මෙන්ම, පැහැදිලිව නිර්වචනය කරන ලද සහ නීත්‍යානුකූලව ආරක්ෂා වෙන දේපල අයිතීන් නිසා වෙළඳාමට පහසුදායක ප්‍රවේශයක් ද ලැබීමෙන් සිද්ධ වෙනුයේ නන්නාදුන අය අතර පවා පරිත්‍යාගශීලීත්වයට අවස්ථාව පෑදීමයි. ආදරය හා මිත්‍රතත්වය දේශ සීමාවන් සහ මායිම් වලට ඔබ්බෙන් පිටාර ගැලීමයි.

මාර්තු 31 වැනිදා පෙව 11ට කොළඹ 5, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේ දී පැවැත්වෙන “ධනවාදයේ සදාචාරාත්මක බව” දේශනයේ කථිකයා වන ටොම් ජී. පාමර් ලියූ “වෙළඳපොල ගැන මිථ්‍යාවන් විස්සක්” යන ලිපිය ඇසුරිනි.

අයුක්තියේ නියැළෙන්නට හැකි අසාධාරණ බලය ඉවත් කරමු

Posted in Uncategorized by arunishapiro on මාර්තු 22, 2015

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙසින් සිට නිදහස ලැබුවත් ලංකාවේ ජනතාව දාස භාවයට යන පාරේ තවත් දිගටම ගමන් කිරීම නවතා දමා නැත. රත්තරන් වෙරළේ වැසියන් මෙන්ම ලංකාවේ වැසියන් ද ප්‍රයෝජනවත් මෝඩයින්ට රැවටී කල් ගෙවති.

මේ මෝඩයන් පාලන බලයෙන් පන්නා දැමීමෙන් ඵලක් නොවේ. මේ මෝඩයන් බලයෙන් පහ කර ගෙදර යැව්වාම වෙන්නේ ඔවුන් වෙනුවට වෙනත් මෝඩයන් ඒ තැන් වලට රිංගා ගැනීම පමණකි. මෝඩයන් කියා බනින්නට පුළුවන්කම පවා තහනම් කිරීම මෝඩයන්ගේ ගතියයි.

දුරාචාරය පිරි වෙළඳපොල යැයි බොරැ කියා හංවඩු ගසා, එය පාලනයට සදාචාරයෙන් පිරුණු ආණ්ඩුවක් සෙවීමේ නිශ්ඵල වෑයම තුල තවත් කොපමණ කාලයක් ලැග ඉන්නවා ද?

යම් පුද්ගලයෙක්ට කළ නොහැකි කර්තව්‍යයක් පටවා එය කරන්නට යැයි කීමෙන් ඵලක් නැත. මෙය වැඩි වාදයකින් තොරව බොහෝ දෙනෙක් පිළිගනිති. මන්ද, සෑම පුද්ගලයෙක්ම පාහේ යම් යම් දේ කරන්නට නොහැකි අයව දන්නා හඳුනන නිසයි.

එහෙත් එසේම ආණ්ඩුවකට ද කළ නොහැකි කර්තව්‍යයක් බාර දී ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි යැයි කියද්දී, එය පිළිගන්නට බහුතරය අකමැති වෙති. ආණ්ඩුවක් විසින් පොරොන්දු වූ පරිදි ඉටු කර නැති අවස්ථා ඕනෑ තරම් දන්නා අයෙක් වුවත්, මේ ආණ්ඩුවට බැරි වුනාට වෙන ආණ්ඩුවකට පුළුවන් යැයි පමණක් තවත් දිගින් දිගටම කියමින් සිටියි.

එසේ සිටින්නේ තමන් ඉදිරියේ අතපය බැඳ දමා හිරකර තබද්දී වුවත් සදාචාරාත්මක ලෙසින් ප්‍රතිඵල ගෙනෙන වෙළඳපොල නම් යාන්ත්‍රණය නොදැක්කා සේ ය.

වෙළඳපොල දුරාචාරයෙන් පිරි වූවක් යැයි ද, ජනතාව ඉදිරියේ පවතින හැම වැරැද්දක්ම ධනේශ්වරයේ ඵලවිපාකය යැයි ද කියන අය වැඩියෙන් පැතිර සිටිය දී, ඒ මිථ්‍යාවෙන් අන්ධ වූ මිනිසුන්ට සත්‍යය දකින්නට නොහැකියි.

ධනේශ්වරයේ ඵලවිපාකයන් දකින්නට ඇත්තේ බටහිර දියුණු රටවල් වලයි. ධනේශ්වර වන්නට සොච්චමක් සමත් වෙද්දී, බහුතරයක් වූ දුප්පත් මිනිසුන්ගේ ජීවිත සමෘද්ධිමත් වෙති.

යහපාලනයට හැකියාව ඇති සොච්චමක් සොයන හැදියාවක් ධනේශ්වරයට එරෙහි වූවන්ගේ හුරු පුරැද්දක් වුවත්, ධනවත් වෙන්නට හැකියාව ඇති සොච්චමක් පමණක් ලොව සිටින බව ඔවුන් පිළිනොගනිති. ඒ සොච්චම විසින් මහත් ධනස්කන්ධයන් රැස් කරන්නට සමත් වෙද්දී අනෙක් සියළු දෙනාගේ ද ජීවිත සමෘද්ධිමත් වෙන බව ද ඔවුන් පිළිනොගනිති.

අධර්මිෂ්ඨ ආණ්ඩුවක රැකවරණයෙන් පමණයි දුරාචාර ධනේශ්වරය එළිබහින්නේ. එවිට යුක්ති සහගත අන්දමින් මහත් ධනස්කන්ධයක් උපයා ගැනීමේ හැකියාව පුරවැසියාට අහිමි වී යයි.

ගණුදෙනුවක් හෝ හුවමාරැවක් සිද්ධ වෙන්නට නම් යුක්ති සහගත බවක් පදනම් විය යුතුයි. අයියෝ ඕක සාධාරණ මිලක් නෙමෙයි කියා තමන් සමඟ කේවල් කරන වෙළෙන්ඳා වෙතින් ඉවත් වී යන අවස්ථා කොතරම් අත්දැක තිබෙනවා ද? ඒත් ඒ මිල සාධාරණ නැතැයි කියන පාරිභෝගිකයා, ඒ වෙළෙන්ඳා විසින් විකුණන්නට තබා ඇති බඩුව බලහත්කාරයෙන් පැහැර ගෙන යන්නේ නැත. එහෙම යන අයව අපි හඳුන්වන්නේ පාරිභෝගිකයෙක් කියා නොව හොරෙක් කියායි. මංකොල්ලකාරයා කියායි.

මිල මුදල් වලට බඩු භාණ්ඩ ගණුදෙනු කරන ජනතාව ඒ නිසා හොරැන් ගෙන් වෙනස් වූවන් වෙති. ඔවුන් ආචාර ධාර්මික වූ අයයි. අනිත් අයගේ දේපල අයිතියට ගෞරවයක් දක්වන අයයි.

ගණුදෙනුවක් කරන්නේ නීතිය අනුගමනය කරන නිසයි. සදාචාරාත්මක බැඳීමකින් සිටින නිසයි. ගණුදෙනුවක් සිද්ධ වෙද්දී සම්පත් එක් අයෙකු වෙතින් තවත් අයෙකුට පැවරීමක් සිදුවේ. ගණුදෙනුවක් නැත්නම් හැමෝම තමන් සතු වූ දේවල් වල අයිතිය තබා ගනිති. ගණුදෙනුවක් වෙන සෑම අවස්ථාවකම දී ම එය සිද්ධ වෙන තැන වෙළඳපොලක් කියා හැඳින්වේ. පොල, කෝපි කඩේ, සුපර් මාකට්, වෙළඳ සංකීර්ණය හෝ අන්තර්ජාලය ද ගණුදෙනුවක් සිද්ධ වෙන්නේ නම් එතැන යුක්තිගරැක වෙළඳපොලකි.

යුක්තිගරැක ස්වභාවය නිසා පමණක් මිනිස්සු වෙළඳපොලේ ගණුදෙනු කරන්නට පෙළඹී නැත. තමන්ගේ සිතුම් පැතුම් පමණක් නොව අනුන්ගේ සිතුම් පැතුම් ගැන ද කල්පනා කර බලන්නට හැකියාවක් ඇති එකම සත්වයා මිනිසායි. වෙළඳපොල අපිට ඒ ඉඩකඩ පාදා දෙයි.

හංදියේ කඩෙන් කන හැම වතාවකම අයෙක් රෝගී වෙනවා නම් ඒ හංදියේ කඩෙන් ආහාර ගැනීමෙන් ඒ පුද්ගලයා වැළකෙයි. ඔහු අනිත් අයටත් අනතුරැ අඟවයි. ඒ හංදියේ ආහාර රස නැත්නම් එක පාරක් ආහාර ගත් අයෙක් නැවතත් එහි ගොඩ නොවදියි. අනිත් අයටත් දැනුම් දෙයි. වැඩිකල් නොගිහින් හංදියේ කඩය බංකොළොත් වී යයි.

ගණුදෙනු කරන අයට අනුන්ගේ තැනට තමන්ව දමා ඔවුන්ගේ රැචි අරැචිකම් මොනවා වේදැයි සොයා බලන්නට ඉඩ ප්‍රස්ථාව වෙළඳපොල විසින් සපයන්නකි.

ප්‍රචණ්ඩත්වය වෙනුවට වෙළඳපොල කැමැත්තෙන් කරන ගණුදෙනු වලට ඉඩ පාදයි. සමාජයක සාමාජිකයන් ලෙසින් අනිත් අය ගැනත් සලකා බලන්න යැයි නිතරම මතක් කිරීමක් සිද්ධ කරයි.

එහෙත් වෙළඳපොල යනු යුක්ති සහගත, සදාචාර ගණුදෙනු වලට ඉඩ ලැබෙන තැනක් නොවේ යැයි ජනතාව රැවටී සිටිති. ඒ නිසා කැමැත්තෙන් ගණුදෙනු කරන නිදහස් මිනිස්සු අතර මැද්දට පැන ඒවා කෙසේ කවුරුන් විසින් සිද්ධ කළ යුතු දැයි තීරණය කරන්නට බලලෝභීන් පිරිසකට බලය දී ඇත.

බලලෝභීන්ට බලය පිරිනමන්නට නිදහස් ජනතාවක් රවටා තිබීම යනු මිනිස්සුන්ව කොයි තරම් වහල් බවකට ඇද දමා තිබීමක් ද?!!!

හැමදාමත් කරන මේ මෝඩයන් පළවා හැර වෙන මෝඩයන් පත් කරගන්නවා වෙනුවට අයුක්තියේ නියැළෙන්නට ලැබෙන අසාධාරණ බලයක් ඔවුන්ට පැවරීමෙන් වැළකී සිටීම ඊට වඩා සුදුසු නැද්ද?!!!

මාර්තු 31 වැනිදා පෙව 11 ට කොළඹ 5, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේ දී පැවැත්වෙන “ධනවාදයේ සදාචාරාත්මක බව” දේශනයේ කථිකයා වන ටොම් ජී. පාමර් ලියූ “වෙළඳපොල ගැන මිථ්‍යාවන් විස්සක්” යන ලිපිය ඇසුරිනි.

රත්තරන් වෙරළේ ප්‍රයෝජනවත් මෝඩයා

Posted in Uncategorized by arunishapiro on මාර්තු 18, 2015

මැන්ඩෙ බසින් ඝානා යන වචනයේ අර්ථය “රණශූර රජු” යන්නයි. රණශූර රජු යන්න ඝානා අධිරාජ්‍යයේ රජවරැන්ට මධ්‍යකාලීන යුගයේ දී ප්‍රදානය වූ නම්බු නාමයකි. ගෝත්‍රික කල්ලි වලින් සෑදුන ඝානා දේශ සීමාවන්ට මුලින්ම රිංගා ගත් යුරෝපීයයන් පෘතුගීසීන් වූහ. රත්තරන් සහ ඇත්දළ සොයා එන සෙසු යුරෝපීයයන් වහලුන් මිල දී ගත්තේ අවි සහ නිමි භාණ්ඩ හුවමාරැවෙනි. යුරෝපීයයන් සමඟ ගණුදෙනු වලින් අවි ආයුධ ලත්තන් අනෙකුත් ගෝත්‍රික කල්ලි සමඟ සටන් වැද යටත් කරගන්නට හැකි වූ ගෝත්‍රික කල්ලියව යුරෝපීයයන්ට වහල් වෙළඳාම පිණිස විකුණූහ. ඒ 1600 ගණන් හි දී ය.

1807 වෙද්දී බ්‍රිතාන්‍ය විසින් රත්තරන් වෙරළේ වහල් වෙළඳාම තහනම් කරන ලදි. අවි ආයුධ හා නිමි භාණ්ඩ හුවමාරැ වූයේ කොකෝවා, රත්තරන්, දැව සහ පාම් තෙල් වලටයි. මුහුදුබඩ දක්වා පාලන දේශ සීමාව ගෙන යන්නට සමත් වී රත්තරන් වෙරළේ යුරෝපීයයන් සමඟ කළ වෙළඳාම අල්ලා ගන්නේ අශාන්ති ගෝත්‍රයේ රජු වූ ඕසෙයි බොන්සූ (පාලනය 1804-1824) විසිනි. අකාන් බසින් බොන්සූ යන්නේ අර්ථය තල්මසා නොහොත් මුහුදේ සිටින විශාලතම බලවත්ම මාළුවා යන්නයි. බොන්සූ 1824 දී මිය ගිය විට අශාන්ති දේශයේ බලය අල්ලා ගන්නට බ්‍රිතාන්‍ය හමුදාව යුද වැදිණ.

1833 වෙද්දී බ්‍රිතාන්‍ය උපනිවේෂ සියල්ලේම වහල් ක්‍රමය ආලෝපනය වූ අතර බ්‍රිතාන්‍යයන්ට අයිති වහලුන් සියල්ලම නිදහස් කෙරිණ. 1850 වෙද්දී ඩෙන්මාර්කය විසින් ඔවුන් සතු බලකොටු ඇතුළු අනෙකුත් හිමිකම් කියූ දෑ මහා බ්‍රිතාන්‍යයට ස්ටර්ලින් පවුම් දහ දාහකට පවරා දේශයෙන් අයින් වූහ. දැන් පළාතේ ඉතිරි වූ යුරෝපීය බලවත් බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයි. ආශාන්ති ගෝත්‍රිකයන් එහෙත් දිගින් දිගටම විරෝධතා දැක්වීමට සටන් වැදීම නැවැත්වූයේ නැත.

1884 දී බර්ලිනයේ පැවති සාකච්ඡාවකින් බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජු විසින් අප්‍රිකාවේ සීමා මායිම් අලුතින් අඳින්නට සෙසු යුරෝපීයයන්ව කැමති කරවා ගති. හිටිහැටියේ අප්‍රිකාව පුරා විසිර තිබුණ ගෝත්‍රික රාජධානි දහස් ගණනක් යුරෝපීය උපනිවේෂ 50 ක් බවට හැරිණ. වර්තමාන ඝානාවේ එක කොටසක් බ්‍රිතාන්‍යයටත් ජර්මන් ටොගොලන්ඩ් වලටත් බෙදිණ.

අප්‍රිකාවේ ගෝත්‍රික කල්ලි පරදවා බලය අල්ලා ගත් යුරෝපීය ගෝත්‍රික කල්ලි තම යුද ජයග්‍රහණයන් එසේ බෙදා ගත්තා නොවේද?!!!!

බ්‍රිතාන්‍ය යටත්විජිත ආග්‍රාණ්ඩුකාරයා වූ ෆෙඩ්රික් හොජ්සන් විසින් අශාන්ති ගෝත්‍රයේ රත්තරන් බංකුව, ඔවුන්ගේ දේශයට ගෝත්‍රයේ පාලක අයිතිය පෙන්වූ සලකුණ, බ්‍රිතාන්‍ය රජයට පවරා ගත් බව කියැවේ. පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මන් පළාත් ද බ්‍රිතාන්‍යයට ලැබිණ.

බ්‍රිතාන්‍ය යටත්විජිත ඝානා වැසියෙක් වූ ක්වාමෙ න්ක්රෑමා 1935 දී රත්තරන් වෙරළෙන් එංගලන්තයේ ලිවර්පූල් බලා පිටත් වූයේය. එහි දී ඇමෙරිකන් එම්බසියෙන් ශිෂ්‍ය වීසාවක් ලබාගන්නා ඔහු ඇමෙරිකාවට පැමිණියේය.

ක්වාමෙ න්ක්රෑමා ලෙනින් ගැන ඉගෙන ගන්නේ ඇමෙරිකාවෙන්. හැම විෂයයකටම අදාල නිබන්ධයක් ලියද්දී අප්‍රිකාවේ නිදහස සහ යටත් විජිත අරගලය කොතැනකින් හෝ ඊට ඈඳා ගැනීම ඔහු වෙතින් දකින්නට ලැබුණු ලක්ෂණයක් බව ඔහුගේ ඇමෙරිකන් ගුරැවරයෙක් පවසයි.

ඔහුට ඇමෙරිකාවේ වාසය කරන ට්‍රොට්ස්කිවාදීන් ඇසුරට ඉඩ පෑදෙයි. ඇමෙරිකාවෙන් එංගලන්තයට යන ඔහු අප්‍රිකානු සමාජවාදය ගොඩ නඟන්නේ එංගලන්තයේ රැඳී සිටිමිනි. අප්‍රිකානු ගෝත්‍රිකවාදය හෙමින් ඉවත් කරමින් ඒ වෙනුවට ‘එක මිනිසෙකුට එක චන්දයක්’ ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදය ගෙනැවිත් කොමියුනිස්ට් හෝ සමාජවාදී ආර්ථික ක්‍රමයක් පිහිටුවීම සඳහා ඔහු සියළු තොරතුරැ එකතු කරගන්නේ සහ පුහුණුව ලබන්නේ ලන්ඩනයේ වාසය කරද්දී ය.

1947 දී යුනයිටඩ් ගෝල්ඩ් කෝස්ට් කන්වෙන්ෂන් නමින් නව දේශපාලන පක්ෂයක ලේකම් හැටියට න්ක්රෑමා පත් වෙයි. 1948 දී යටත්විජිත විරෝධි උද්ඝෝෂණයකින් 29 ක් මරැමුවට පත්ව සිය ගණනක් තුවාල ලබති. පක්ෂයෙන් ඉවත් වී යන න්ක්රෑමා කන්වෙන්ෂන් පීපල්ස් පාටි (CCP) පටන් ගනියි. එම පක්ෂයට ඉතාමත් ඉක්මණින් අප්‍රිකාවේ ජාතික ව්‍යාපාරයන් මුල් කරගත් දේශපාලනයේ ප්‍රධාන තැනක් හිමිවිය. එහි සටන් පාඨය නිදහස. සැමවිට ඉදිරියට, ආපස්සට කිසිවිට නැත, කියායි.

පක්ෂය පළමු මැතිවරණයක දී ලබාගත් ජය අනුව න්ක්රෑමා අප්‍රිකාවේ ප්‍රථම අගමැතිවරයා වෙන්නේ 1952 දී ය. බ්‍රිතාන්‍ය ආග්‍රාණ්ඩුකාර සර් චාල්ස් ආර්ඩන්-ක්ලාක් යටතේ ඔහු 1954 දී සහ 1956 දී නැවත නැවතත් අගමැති ධූරයට තේරී පත්වේ.

ගෝල්ඩ් කෝස්ට් උපනිවේෂය ඇතුළු ස්වාධීන පළාත් හතරක එකතුවෙන් ඝානා යන රට 1957 දී යුරෝපීය යටත්විජිතවාදයෙන් ස්වාධීනත්වය ලැබූ මුල්ම අප්‍රිකානු කලාපීය රට බවට පත්විය.

ක්වාමෙ න්ක්රෑමා ඝානාවේ පළමු ජනාධිපතිවරයා විය. ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වර්ධනය වුව ද ඝානාව යනු එහි ගෝත්‍රික කල්ලි අතර වැඩි ඇයි හොඳයියක් පැවති රටක් නොවේ. න්ක්රෑමාගේ දේශපාලන චින්තනයේ හවුල්කාරයන් වූයේ චේගුවේරා වැනි අයයි.

1958 දී රටට එරෙහිව කටයුතු කරනවා යැයි සැක කටයුතු පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට හැකි නීතියක් සම්මත කර ගැනිණ. ඒ සැකයට පාත්‍ර වූ පුද්ගලයන්ව වසර පහක් විනිශ්චයක් නොදී සිරබාරයේ තැබිය හැකියාව ඔවුන් හදාගත්හ. එක දේශපාලන පක්ෂයක් ඇති රටක් බවට එය හැරෙමින් පැවතිණ.

බ්‍රිතාන්‍යයන් ආපසු බාර දෙන විට රත්තරන් වෙරළ අප්‍රිකාවේ වඩාත්ම දියුණු දේශය විය. පාසැල්, දුම්රිය මාර්ග, ඉස්පිරිතාල සහ දියුණු ආර්ථිකයක් පැවතිණ.

න්ක්රෑමා ඝානාව වේගයෙන් කාර්මීකරණය කරන්නට උත්සාහ කළේ සමාජවාදයෙන්. ආණ්ඩුවේ සල්ලි වලින් පාසැල්, මහා මාර්ග ඉදි කරමින් නොමිලේ සෞඛ්‍ය සේවයත් නොමිලේ බෙදන අධ්‍යාපනයත් පිහිටුවීය. 1961 දී පිහිටුවන ලද ක්වාමේ න්ක්රෑමා අයිඩියලොජි ඉන්ස්ටිටියුට් තුලින් ඝානාවේ රාජ්‍ය සේවකයන් පුහුණුව පටන් ගැනිණ. 1964 දී විශ්ව විද්‍යාලයට ඇතුල්වෙන සිසුන්ට එහි දී සති දෙකක “අයිඩියලොජි පුහුණුවක්” අනිවාර්ය විය. නිදහස් නොවූ අධ්‍යාපනය නොමිලේ යැයි කියමින් බෙදූ ඔහු කියා සිටියේ “පක්ෂයේ අයිඩියලොජිය ආගම හා සමාන බව පුහුණුකරැවන් අවබෝධ කරගත යුතු බවත්, එය හිතෛෂී ලෙස සහ දැඩි හිතෛෂී ලෙසින් භාවිතයට ගත යුතු බවත්” ය.

1964 දී හත් අවුරැදු සංවර්ධන සැලැස්මක් මඟින් මුල්‍ය විනාශ කරන මහජන ඉදිකිරීම් රටපුරා ගෙන ගිය ඔහු 1966 දී බලයෙන් පහ වෙද්දී ඇමෙරිකන් ඩොලර් බිලියනයක් පමණ ඒවා සඳහා වැය කරන ලදැයි සැලකේ.

රටේ ජනතාව පිට පටවන වැය බව නොදැන, වොල්ටා ගඟ හරහා වේල්ලක් ඉදි කළේ 1961 දී. එය ඉදි කරන්නට සමාජවාදය වැළඳගත් න්ක්රෑමා හවුල්කර ගන්නේ ඇමෙරිකන් වාල්කෝ කොම්පැණියයි.

තමන්ව අප්‍රිකාවේ ලෙනින් හැටියට සැලකූ ඔහුට 1963 දී ලෙනින් සාම තෑග්ග ද හිමිවිය.

1967 දී න්ක්රෑමා “අප්‍රිකන් සමාජවාදයට නැවත පිවිසුමක්,” නමින් ලිපියේ මෙසේ ලියයි: “අපි දන්නවා “සාම්ප්‍රදායික අප්‍රිකන් සමාජය” බිහිවූයේ සාමානාත්මතාවාදයේ සිද්ධාන්ත ඇසුරින් බව. එහි සත්‍යයෙන් වැඩ කරද්දී කෙසේ වෙතත් එහි අඩුපාඩු බොහොමයක් තියෙනවා. එහි මානුෂික ආවේගය තමයි හැබැයි අපි යොදාගත යුත්තේ අපිව සම්පූර්ණ අප්‍රිකානු සමාජවාදී ප්‍රතිසංස්කරණයක් කරා ගෙන යන්නට.”

නිදහස වෙනුවෙන් පෙනී සිටිය ද, හේ නිදහස කුමක්දැයි නොදත්තෙකි. සැමවිටම ඉදිරියට කියා ගත්ත ද, ඔහු ගමන් කළේ ආරම්භයේ පටන්ම ආපස්සටයි.

මේ සටහන ලියන්නේ අෆ්‍රිකානුස් කෝෆි අකොසාහ් සමඟ ෆේස්බුක් චැට් වලින් කිහිප වතාවක් සම්බන්ධ වී ඒ ඝානාවේ තරැණයා විසින් නිදහස උදෙසා කරන අනගි මෙහෙය අගයන්නටයි. බටහිර ගැත්තෙක් යැයි හංවඩු ගැසී ඇති ඔහු සැබැවින්ම සාක්ෂාත් කරගත හැකි ඉදිරි අනාගතය වෙනුවෙන් කැප වී සිටින්නෙකි.

Posted in Uncategorized by arunishapiro on මාර්තු 16, 2015

කවුද රැසියාවේ අව්‍යාජ දේශප්‍රේමියා?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 14, 2015

රැසියන් ඉතිහාසය ගැන දන්නා අය ලොව අල්පයකි. රැසියාව ප්‍රිය කරන වාමාංශික සහෝදර සහෝදරියන් වුව ද කැමත්ත දක්වන දේ දිහා බලමින් අකමැති දේ නොපෙනෙන්නට පැත්තකට දමන හුරැවෙන් යුතුයි. තවත් පිරිසක් ඇමෙරිකාවට ඇති ද්වේශය නිසා රැසියාව තුල සිද්ධ වෙන්නේ මොනවාදැයි ගැන කිසිත් සොයා බැලීමක් නැතිව ව්ලැඩමියර් පූටින්ට ආවඩති.

පහුගිය දා රැසියාවේ විරැද්ධ පක්ෂයේ දේශපාලනඥයෙක් වූ බොරිස් නෙම්ට්සොව් වෙඩි පහරක් වැදී මිය ගියේය. ඔහුට වෙඩි තැබූ අය අත්අඩංගුවට ගැනේවි යැයි බියකින් නොසිටියහ. පිටුපසින් නෙම්ට්සොව්ට වෙඩි තැබූ ඝාතකයන් එය සිදු කළේ මොස්කව් නගරය මධ්‍යයේය. ඔවුන් නගරයෙන් පැන යන්නට උත්සාහ නොගත්හ. ක්‍රෙම්ලිනය වටා ගොස් රැසියන් පාර්ලිමේන්තුව වන ඩූමා පසු කරගෙන ගිය ඔව්හු පළා ගිය වාහනය පුළුස්සා දැමුවේ ද නැත.

මෙම හැදියාවෙන් ඝාතකයන් චෙච්නියාවේ ජනාධිපති රාමසාන් කඩිරොව්ගේ හෙංචයියන් යැයි සැකයක් පහළ විය. චෙච්නියන් ජනාධිපති රාමසාන් කඩිරොව් රැසියන් ජනාධිපති ව්ලැඩමියර් පූටින්ගේ සමීප හිතවතෙකි. කඩිරොව් හිටපු හමුදා නායකයෙකි. රාමසාන් කඩිරොව්ගේ පියාව ඝාතනය වූ පසුව කිසිවෙක් නොදත් පුතාව හැමෝම දන්නා අයෙක් බවට හැරෙව්වේ පූටින් විසිනි. ඒ චෙච්නියාවේ අවුල් විසඳන්නටයි. චෙච්නියාවේ රැසියන් යුද්ධ අවසන් ද? යන මාතෘකාවෙන් මා කළින් ලියා ඇති ලිපියක් ඒ සබැඳියෙන් කියවත හැකියි.

රැසියාවේ නීති පැත්තකට දමා ආරවුල් විසඳන්නට කියා පූටින් විසින් කඩිරොව්ට නිදහසේ කටයුතු කරන්නට සෑහෙන බලයක් පවරන ලදි. රැසියාව යටතේ පවතින චෙච්නියාව රාමසාන් කඩිරොව්ගේ පාලනය යටතේ විසංයුක්ත ඉස්ලාමීය දේශයක් බවට හැරී ඇත. කඩිරොව්ට භටයන් විසිදාහකින් යුතු ඔහුගේම යුද හමුදාවක් ඇත. ඔහුගේම වූ නිල නොවන බදු ක්‍රමයක් ඇත. එසේම ඔහු විසින් පනවන ලද ඉස්ලාමීය ආගමික නීති ද ඇත. ඔහු රැසියාවේ පළාත් අතර වැඩිම ශක්තියක් පෙන්වන්නට හැකි නායකයා වෙයි.

ඔහුගේ ආරක්ෂක සේනාවට මොස්කව් වල විශේෂ වරප්‍රසාද හිමිවේ. පැහැරගෙන යාම්, වධහිංසා, සහ මුදල් ගන්නට කරන බලහත්කාරකම් යනාදියට වරදකරැවන් වී අත්අඩංගුවට පත් වූ මේ ආරක්ෂක සේනාවේ අය ඒවායෙන් නිදහස් වූහ. 2006 දී ඇනා පොලිටිකොව්ස්කායා නැමති වාර්තාකාරියව මරා දමන ලදැයි සැකයට පාත්‍ර වූ අය චෙච්නියාවට ගොස් කඩිරොව් අසල වාසය කළේය. ඔහු අනතුරැව මරණයට වරදකරැ හැටියට ජීවිත කාලයට සිර දඬුවමක් ලැබුව ද මරණය සිද්ධ කරන්න යැයි අණ දුන්නේ කවුදැයි කියා හෙළි වූයේ නැත. කඩිරොව් විසින් තර්ජනය කරන ලද මානුෂික අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිණියක් වූ නතාලියා එස්ටමිරොවා චෙච්නියාවේ දී මරා දැමුනු විට ඒ ගැන කිසිවෙක් ප්‍රශ්න නොකළහ. කඩිරොව්ගේ එදිරිවාදියෙක් වූ රැස්ලාන් යමාදේව් ට්‍රැෆික් තදබදය අස්සේ මොස්කව් හි මහජන ගොඩනැඟිල්ලක් අසල දී වෙඩි තබා මරා දැමිණ. ජෝර්ජියාවට එදිරිව රැසියානු-හිතවාදී පෙරමුණක් මෙහෙයවූ යමාදේව්ගේ සහෝදරයාව ඩුබායි හි දී ඝාතනය විය. පොලීසිය වරෙන්තුවක් නිකුත් කළේ කඩිරොව්ගේ ඥාතියෙක් හා ඔහුගේ දකුණු අත හැටියට හැඳින්වෙන පුද්ගලයෙකුටයි. 2009 දී කඩිරොව්ගේ වධහිංසා සහ ඝාතන මෙහෙයුම් ගැන ප්‍රසිද්ධියේ කතා කළ හිටපු ආරක්ෂක භටයෙක්ව වියානාවේ දී මරා දැමිණ. ඉතින් බොරිස් නෙම්ට්සොව්ගේ මරණයට සැක කරැවන් යැයි කඩිරොව්ගේ නිල නොවන හමුදාවේ පස් දෙනෙක් අත් අඩංගුවට ගැනෙද්දී, ඔවුන් අතර සවුර් දදෙව් නම් එහි “උතුරැ බැටෑලියන්” හි හිටපු කමාන්ඩර් ද සිටීම ගැන, මේ තතු දන්නා කිසිවෙක් පුදුමයට පත් නොවූහ.

රැසියන් ආරක්ෂක අංශ කියන්නේ දදෙව් සහ ඔහුගේ සගයන් නෙම්ට්සොව් මරණයට සැලසුම් හදා අනතුරැව ඔහු මරා දැමුවා කියායි. එහෙත් චෙචෙන් සටන්කාමීන් කඩිරොව්ගේ අනුදැනුමක් නැතිව කිසිත් නොකරන බවත් තතු දන්නා සියල්ලන්ම දනිති.

එසේම පූටින් සේවය කළ ඉස්සර KGB නමින් හැඳින්වුන දැන් FSB නොහොත් ෆෙඩරල් ආරක්ෂක අංශය හැටියට හැඳින්වෙන්නේ ඒජන්තවරැ ද නිතරම නෙම්ට්සොව් පසුපස යන්නා බවත් තතු දන්නා සියල්ලන්ම දනිති.

රැසියන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට සහ ආරක්ෂක අංශයට පූටින් විසින් නිදහසේ කටයුතු කරන්නට ඉඩ දී ඇති රාමසාන් කඩිරොව් ගැන කිසිත් ප්‍රසාදයක් නැත. චෙච්නියාවේ රැසියන් නිලධාරීන් ද මේ දේශපාලන අධිකාරියට එතරම් කැමැත්තක් නොදක්වති. විප්ලවකාරීන් සමඟ පැවති ගැටුමක දී මේ උතුරැ බැටෑලියන් එක විසින් පාවා දුන්නා යැයි 2010 දී රැසියන් හමුදාව දෝෂාරෝපණයක් ද එල්ල කරන ලදි.

ලිබරල් පුවත්පතක් හැටියට සැලකෙන නොවායා ගැසෙටා මෙසේ අසයි: ක්‍රෙම්ලිනයට සහාය දෙන බලකණු දෙකක් ඔළු හප්පා ගෙන සිටිති. දැන් ඔවුන් එකිනෙකාගෙන් ඈත්ව විරැද්ධ පැති වලට ගමන් කරති. ඔවුන් ක්‍රෙම්ලිනයට බලකර සිටින්නේ රැසියාවේ අව්‍යාජ දේශප්‍රේමියා කවුදැයි තෝරාගන්නට කියායි.”

ඉතින් දැන් දෙපැත්තක එදිරිවාදීන් හමුවේ ව්ලැඩමියර් පූටින් විසින් තම සහාය දෙන්නට එක පැත්තක් තෝරා ගත යුතුව ඇත. ඔහු තම FSB පැත්ත තෝරා ගනීවි ද? නැත්නම් චෙච්නියන් යහළුවන් තෝරා ගනීවි ද? මේ සටහන ලියුවේ හුණුවටයේ කතාව තේමාවට උපයෝගී කරගනිමින් The Caucasian connection සිරස්තලයෙන් පළ වූ ද ඉකොනොමිස්ට් සඟරාවේ ලිපිය ඇසුරෙනි.

සුභ සාධන ආණ්ඩුවකින් එල්ල වෙන අවදානම ගැන ජනතාව දැනුවත් කරන්නට කාලය අපතේ නොහරින්න යැයි කියන පහත විඩියෝවේ සිටින යූරි බෙස්මෙනොව්ට ලංකාවෙන් ලුලුම්බා විශ්ව විද්‍යාලයට ගිය අපේ සහෝදරයන් (ප්‍රයෝජනවත් මොට්ටයන්) කී දෙනෙක් හමු වී ඇත්දැයි එය නරඹද්දී මට සිතුණි.

කියුබාවට ඇමෙරිකන් හාල්, රැසියාවේ නෙම්ට්සොව් සහ දළෙයි ලාමාට ලැබෙන චීන ආඥාවක්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 13, 2015

2013 වසරේ දී ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද ඩොලර් මිලියන 350 ක වටිනාකමෙන් යුතු ආහාර ප්‍රමාණයක් කියුබාවට අපනයනය කර ඇත. ඒ 2014 දෙසැම්බර් 17 වැනිදා නව වෙළඳ එකඟතාවයක් ඔබාමා ගෙනෙන්නට පෙරයි. කියුබාව විසින් තෙවැනි රටක බැංකුවක් හරහා ගෙවන මුදල් වලට ඇමෙරිකාව බඩු විකිණීම මේ නව එකඟතාවයෙන් අහෝසි වෙයි. දැන් අතරමැදියෙක් නැතිව මුදල් බැංකු ගිණුමට එන අතරමඟ දී නැවට බඩු පුරවාගෙන ගමන ආරම්භ කළ හැකියි.

කියුබාවට වෙළඳ ද්‍රව්‍ය විකුණන අනිත් අය හා තරඟයට මෙයින් ඇමෙරිකන් නිෂ්පාදකයන්ට අවස්ථාවක් උදාවෙයි. බ්‍රසීලයට සහ වියට්නාමයට වැඩියෙන් කියුබාවට සහල් යවන්නට ඇමෙරිකාවට හැකිවේ යැයි ද, දැනට කියුබාවට ඇමෙරිකන් සහල් අපනයනය නොකළ ද, එම වෙළඳ කොටසෙන් 90% ක ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකි යැයි ද අපේක්ෂා වේ.

2013 දී කියුබාව විසින් ආනයන කරන ලද ආහාර අතර වැඩිම වැයක් ගියේ, එනම් ඩොලර් මිලියන 140 ක වටිනාකමකින් යුතු වූයේ, අධිශීතල කරන ලද (frozen) කුකුල් මස්. නව රෙගුලාසි නිසා ඩොලර් බිලියන 4.3 ක් දක්වා කියුබාව විසින් අපනයන කරන ආහාරවල වටිනාකම ඉහළ යාවි යැයි වෙළඳපොල සමපේක්ෂකයන් අදහස් දක්වති. ඒ අපනයන අතර කුකුල් මස් වලට අමතරව තිරිඟු, සහල් සහ ලුණු ඉහළම තැනක් ගනු ඇතැයි ද ඔවුන් අපේක්ෂා කරති.

ඒ මෝඩ රැසියානු “විරෝධතා” වෙනුවෙන් ජීවිතය පුදන ලද බොරිස් නෙම්ට්සොව් පෙබරවාරි 27 වැනිදා වයස 55 දී වෙඩි පහරකින් මිය ගියේය. පාලකයෙක් වන්නට බොරිස් යෙල්ට්සින් විසින් පුහුණු කරන ලද වුවත්, දේශපාලන දැක්මක් මිනිස්සු මේ තරම් තදින් අල්ලා ගන්නේ මන්දැයි කිසිදා වටහා නොගත් (ද ඉකොනොමිස්ට් සඟරාව කියන අන්දමට) නෙම්ට්සොව් යනු භෞතික විද්‍යාඥයෙකි. ඔහු කොමියුනිස්ට් නොවීය. යෙල්ට්සින්ගේ උප අගමැති හැටියට පත් ව සිටිය දී පවා කිසිත් උජාරැ පාට් පෙන්වන ලද්දෙක් නොවීය. ඔහුව අත්හැර දමන්නේ යෙල්ට්සින් විසින්මයි. සමාජවාදයට එරෙහි වූවන්ට ඒ ගැන ප්‍රසිද්ධියේ කියන්නට සමාජවාදී රටක ඉඩක් නොලැබෙන බව ඔහුගේ ඝාතනයෙන් පෙනුනත් එවැනි අය සමාජ විරෝධීන් කියා මරා දැමීම කමක් නැතැයි කියන අය රැසියාවේ පමණක් නොව තවත් රටවල ද අඩු නැත.

ඒ අස්සේ දළෙයි ලාමාට පුනරැප්පතිය අවසන් කිරීම තහනම් කරන්නේ චීන සමූහාණ්ඩුවයි!! තමාගේ නැවත උපත්තියක් සිද්ධ නොවන බවට දළෙයි ලාමා කියූ ප්‍රකාශයක් ගැන උරණ වී ඇති චීන සමූහාණ්ඩුව ඔහුට එහෙම තීරණයට හැකියාවක් නැතැයි කියා සිටී. වර්තමාන දළෙයි ලාමා යනු 14 වැනි සියවසේ විසූ භික්ෂුවකගේ 14 වැනි නැවත උප්පත්තිය යැයි ටිබෙටන් බෞද්ධාගමිකයන් අතර පවතින විශ්වාසයකි. පවතින සම්ප්‍රදාය අනුව ඔහු මිය ගියාට පසුව ඊ ළඟ දළෙයි ලාමා කවුදැයි තීරණය වේ. ටිබෙටන් ජනතාවගේ කැමැත්ත අනුව නැවත උප්පත්තියක් සිද්ධ නොවීම ගැන කියන අතරම ඔහු ජීවතුන් අතර සිටිය දී ම ඊ ළඟ දළෙයි ලාමා පත් කිරීමක් ගැනත් ප්‍රසිද්ධියේ කතාබස් කර ඇත. එමෙන්ම, සමහර විට ටිබෙට් වලින් එහා රටක ඉපදේවි යැයි ද කියාත් ඔහු කියා ඇත.

ඒත් එහෙම කරන්න දෙන්න බැහැයි චීන කොමියුනිස්ට් පක්ෂය කියා සිටියි. වාර්ෂික සමුළුවේ දී වාර්ගික සහ ආගමික කටයුතු කමිටුවේ මුලසුන දරන Zhu Weiqun කියන්නේ දළෙයි ලාමා හැටියට ඊ ළඟ පත් කරන්නේ කවුද යන්න චීන සමූහාණ්ඩුවේ තීරණය බවයි.

කාලීන තොරතුරැ දේශපාලන දැක්ම අනුව වාර්තා වීම අද ඊයේ පටන් ගැනුනක් නොවේ. ඒත් කැමති අයට කැමති දේශපාලන දැක්ම අනුව කාලීන තොරතුරැ කියැවීම තෝරාගැනීමේ නිදහස ඇත්තේ ලොව හැම රටකම නොවේ!!!!

නිතර කියැවෙන හණමිටිය අංක 1 -විෂමතාවය හැම තැනම පවතී

Posted in Uncategorized by arunishapiro on මාර්තු 11, 2015

ක්ලිෂේ (cliché) යනුවෙන් සැලකෙන්නේ මුල් චින්තනයේ තිබි අර්ථය හිඳී ගිය, පමණට වඩා වැඩියෙන් භාවිතයට ගත්, වාක්‍යයක් හෝ මතයකි. “ප්‍රගතිශීලිවාදයේ ක්ලිෂේස්” යටතේ ආර්ථික අධ්‍යාපනය සඳහා වූ පදනම විසින් ලියාගෙන යන ලිපි පෙළ සඳහා පොදු නිර්මාණශීලී අවසරය යටතේ මම සිංහල පරිවර්තන මෙසේ ඉදිරිපත් කරන්නෙමි.

#1 — ආදායම් විෂමතාවය හටගන්නේ වෙළඳපොල බලය තුලින් සහ ඊට ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍යයයි

විෂමතාවය හැම තැනම පවතී. වැසි වනාන්තරයේ, අනෙකුත් සියළු පැළෑටි සහ සතුන්ට වැඩියෙන් මැහෝගනී ගස් විසින් වතුර සහ හිරැ එළිය ලබා ගනිති. අපේ ආර්ථික පරිසර පද්ධතියේ දී, ව්‍යවසයාකයන් සහ ආයෝජකයන් විසින් අනෙකුත් අපට වැඩියෙන් වත්කම් පාලනයේ යෙදෙති. මැහොගනි ගස් ගැන සිත් කරදර කර නොගත්ත ද, ධනවතුන් ගැන මහත් සිත් තැවුලට පත්වීමක් දකින්නට ලැබේ. එනමුත් විෂම වූ ආකාරයෙන් සම්පත් බෙදී පැවතීම පැහැදිලි කරත හැකි ඉතා හොඳ හේතු පවතී.

සමහර විෂමතා හටගන්නා ප්‍රභවය අනෙකුත් ඒවාට වඩා හොඳ වූ ඒවායි. උදාහරණයක් වශයෙන්, එද්දලවාදයෙන් හටගන්නේ නුසුදුසු විෂමතාවන් වෙති. ඒ නිසා ආර්ථික ව්‍යවසායකයෙක් සහ දේශපාලන ව්‍යවසාකයෙක් අතර පැහැදිලි වෙනස කුමක් දැයි දැන සිටීම අපට වැදගත් වූවකි. ආර්ථික ව්‍යවසායකයා සමාජයට අගයක් නිර්මාණය කරන්නෙකි. දේශපාලන ව්‍යවසායකයා අනුන් වෙතින් තමන්ගේ මල්ල පුරවා ගන්නට සම්පත් මාරැකරන්නෙකි. ඔහු එසේ කරන්නේ සහනාධාර බෙදන්නට, විශේෂ වරප්‍රසාද සහ තරඟය ඇණ හිටුවන නීති ගෙනෙන්නට යැයි උසිගැන්වීමෙනි. මේ ධනවාදීන් යැයි කියාගත් එද්දලයන් අව්‍යාජ ව්‍යවසාකයන් වෙතින් වෙන්කර ගන්නට හැකි නම්, එවිට අපිට වැඩ කරන අයත් තම මල්ල පුරවාගන්නා අයත් වෙන් කර හඳුනා ගන්නට ද ලැබේ. අවංක ව්‍යවසායකත්වයෙන් පැවතෙන විෂමතාවය යනු වැරැද්දක් ඇතැයි පෙන්වන එකක් නොව, හැම පැත්තකින්ම සිද්ධ වෙන වැඩි දියුණුව පෙන්නුම් කරන්නකි. නිර්මාණශීලී කටයුතු සහ හුවමාරැව තුලින් හැමෝම සිටිනවාට වඩා හොඳ තත්වයකට ගෙන යන ක්‍රමයේ දී, සමහර පිරිසක් ධනවතුන් වෙති. එය ක්‍රමයේ ස්වභාවික ලක්ෂණයකි. මුල්‍ය හොඳින් හසුරැවන ලද්දවුන් හැටියට ව්‍යවසායකත්වයට සහ ආයෝජකයන්ට පාරිතෝෂිකයක් ලැබෙන ක්‍රමයකි. ජනතාව විසින් මුල්‍ය මනා ලෙසින් හසුරැවන්නේ නැති විටෙක අනිවාර්යෙන්ම ඔවුන් අසාර්ථක වෙති. එනම්, අයහපත් ආයෝජන කරන සහ පාරිභෝගිකයන්ට හොඳින් නොසලකන අය වැඩිකල් ධනවතුන් වී සිටින්නේ නැත.

විෂමතාවය ගැන කන් කෙඳිරිගානවා ඇසෙන විට අපි වහාම විමසිය යුත්තේ, “ඉතින් ඇයි?” කියායි. ඇමෙරිකාවේ සිටින සමහර බුද්ධිමත් වූ (එසේම සමහර ධනවත්ම වූ අය පවා) දුප්පතුන් ගැන තැකීමක් කරන්නේ ධනවතුන් විසින් පාලනය කරන වත්කම් ගැන ඇති තැකීමෙනි. දුප්පතාට නැත්තේ ධනවතාට ඇති හෙයින් යැයි කියන පැරණි ශූන්‍ය ඓක්‍ය (zero-sum) චින්තනයෙන් මෙය පැවත එන්නකි. එහෙත් අයෙක් අනෙකා පාවා දෙමින් වැඩි හොඳ ජිවිතයක් ගත කරන්නේ එද්දලවාදයෙනි. එය සිද්ධ වෙන්නේ අවංක ව්‍යවසායකත්වයේ හා නිදහස් හුවමාරැවේ කොන්දේසි යටතේ නොවේ.

පර්යේෂකයන්ට සහ සංවර්ධකයන්ට වෙනුවට නීතීඥයන්ට සහ රජයට බලපෑම් කරන කල්ලි වලට මහත් මුදල් කන්දරාවල් දෙමින් කටයුතු කර නැත්නම්, ධනවතුන් ධනවත් වී ඇත්තේ මහත් පිරිසකට මහත් අගැයුම් නිර්මාණය කරන්නට සමත් වීමෙනි. එහෙයින් සුපිරි ධනකූවේරයන් නොසිටීම යනු සෙසු ජනතාව, විශේෂයෙන්ම දුප්පත් අය, ඉදිරියේ වූ අහිතකර ලක්ෂණයකි. එයින් දැක්වෙන්නේ මේ දෙකින් එකකි: එක්කෝ නිර්මාණය වී ඇත්තේ ඉතාමත් සුළු අගයක් බවයි (අපේ ජීවිත වලට ලැබී ඇත්තේ හොඳ දේවල් අල්පයක්, අයිෆෝන්ස් සහ චොක්ලට් ට්‍රෆ්ල්ස් වැනි). එහෙම නැත්නම් සිද්ධ වී ඇත්තේ, අගය නිර්මාණය කරන මුල්‍ය බාරකරැවන් වෙන්නට හැකි වැදගත් දිරිගැන්වීම් සියල්ල ජනතාව වෙතින් ඉවත් කරන ලද ආණ්ඩුව විසින් රැඩිකල් විදියට නැවත බෙදාහැරීමේ යෙදී සිටීමයි.

ආයෝජන වලට යොදවන ලද හෝ බැංකු ගිණුම් වල සම්පත් පවතින විට ඒවා අකර්මන්‍ය ලෙස පවතින්නේ නැත. බොහෝ ධනවතුන් තම මිලියන ගණන් මුදල් මෙට්ටයන් යට සඟවා තබන්නේ හෝ රත්තරන් කාසි පුරවන ලද පොකුණු වල නාන්නේ නැත. ආර්ථික ස්ථාවරත්වයෙන් යුතු කොන්දේසි සපුරද්දී, මේ සම්පත් නිරතුරැව ක්‍රියාශීලී වෙති. ස්ථාවර වාතාවරණයක දී, එයින් කොටසක් දුර බැහැරක වූ කඩකාරයාගේ නිර්මාණශීලීත්වයට ඉඩදෙන ණයක් හැටියට එළියට බසී. එහෙමත් නැත්නම් වෙළඳ ද්‍රව්‍ය වල මිල ස්ථාවර කරන එකවර වත්කම් මිල දී ගන්නා සහ විකුණන අයෙකු අතින් තවත් කොටසක් පරිහරණයට ගැනේ. තවත් කොටසක් තම මුල් නිවහන මිල දී ගැනීමට හැකියාව ලැබෙන පරිදි හෙදියකට ණයක් හැටියට ලැබේ. සාමාන්‍ය අවස්ථා හමුවේ දී මේ සියල්ලම හොඳ දේවල් වෙති. ඒත් මේ ආර්ථික ජාලාවන්ට යන්නට පෙර රජය විසින් මැදිහත් වී බහුතර සම්පත් අල්ලා ගනිද්දී ඒවා ආණ්ඩුවේ නිලධාරිවාදය තුල නාස්ති වී යයි -සමෘද්ධිය මිය යන්නට ඇතුල් වන සුළි සුළඟකි.

එසේම අපි මතකයේ තබා ගත යුත්තේ, අපේ සමානාත්මතාවය පවතින වෙළඳපොල නිසා, අපි බහුතරය රජවරැන් සේ ජීවත්වන බවයි. වත්කම් පරතරය මෝඩ භක්තියෙන් හැම විටම එළියට ඇද ගත්ත ද, වත්කම් පරතරය යනු ජීවන මට්ටමේ පරතරය නොවේ. ඩොන් බෝර්ඩෝ නම් අර්ථ ශාස්ත්‍රඥයා අපිට මතක් කරන්නේ බිල් ගේට්ස්ගේ ධනය ඔහුගේ ධනයට වඩා හැත්තෑ දහස් ගුණයකින් බවයි. එහෙත් ඔහු විමසන්නේ මහාචාර්ය බෝර්ඩෝට වඩා හැත්තෑ දහස් ගුණයක් කැලරි අනුභවයට බිල් ගේට්ස්ට හැකියාව ඇත්දැයි කියායි. බිල් ගේට්ස්ගේ කෑම වේල හැත්තෑ දහස් ගුණයකට වඩා රසයෙන් වැඩි දැයි කියායි. බිල් ගේට්ස්ගේ දරැවන් හැත්තෑ දහස් ගුණයකට වඩා අධ්‍යාපනය ලබා ඇත්දැයි කියායි. බිල් ගේට්ස්ට යුරෝපයට හෝ ආසියාවට හැත්තෑ දහස් ගුණයකට වැඩි වේගයෙන් සහ වැඩි ආරක්ෂාවකින් යුතුව යා හැකිදැයි කියායි. බිල් ගේට්ස් හැත්තෑ දහස් ගුණයකට වඩා වැඩි කාලයක් ජීවත් වේදැයි කියායි. වර්තමානයේ දී ඇමෙරිකාවේ ඉතාමත් දුප්පත් කොටස පවා 18 වැනි සියවසේ කිසිවෙකුටත් වඩා හොඳ සහ ලොවෙන් තුනෙන් දෙකකට වඩා හොඳින් ජීවත් වෙති.

අනෙකුත් අය විෂමතාවය ගැන කන් කෙඳිරිගාන හැටි ඇසෙද්දී, අපි අපෙන් ඇසිය යුත්තේ මෙයයි: ඔවුන් ඇත්තෙන්ම දුප්පතුන් ගැන තැකීමකින් යුතු ද? නැත්නම් ඔවුන් ධනවතුන් ගැන තරහෙන් සිටිනවා ද?

මෙන්න මෙහෙමයි වෙනස කියන්නෙ: කවුරැ හෝ “පරතරය” ගැන කුනු කුනු ගාද්දී, අහන්න, දැන් ධනවත් අය තවත් ධනවත් වෙද්දී අප අතර ඉන්න දුප්පත්ම දුප්පත් අයගේ තත්වය මීට වඩා දියුණු වෙනවා නම් එයට ඔවුන් කැමති දැයි කියා?

ඇය “නැහැයි” කිව්වොත්, ඇය පිළිගෙන ඇති බව පෙන්වන්නේ, ඇයගේ තැකීම වනුයේ ධනවතුන්ට ඇති දේ ගැන මිසෙක දුප්පතුන්ට නැති දේ ගැන නොවන බවයි.

ඇය “ඔව්” කිව්වොත්, ඉතින් එවිට එහෙම යැයි කියන “පරතරය” අදාල නොවන්නකි.

එවිට රජයේ සහනාධාර වලින් ජීවත් වෙන්නට ගෙවනවා වෙනුවට දුප්පත් අයගේ තත්වයන් වැඩි දියුණු කරන සුජාතක කාරණයන් ගැන කතාබහ කරන්නට යා හැකියි. තවත් විදියකින් කිව්වොත්, අපි අර්ථාන්විතව කතාබස් කළ යුත්තේ සාපේක්ෂක දරීද්‍රතාවය ගැන නොව නිරපේක්ෂක දරීද්‍රතාවය ගැනයි.

ආදායම් විෂමතාවය ගැන බොහෝ කතාබහේ දී දකින්නට ලැබෙන ආවේගශීලී වූ ගතිකයක් ඇත. තවකෙකුට වඩා අඩුවෙන් ඇතැයි අයෙක් දකියි. ඒ ගැන ඊර්ෂ්‍යාවක් පහළ වෙයි. සමහර විට අනිකාට වඩා වැඩියෙන් තමනට ඇතැයි දකියි. ඒ ගැන ගිල්ටි බවක් දැනෙයි. එහෙමත් නැත්නම් වෙනත් අයෙකුට වෙනත් තවත් අයෙකුට වඩා ඇතැයි දකියි. ඒ ගැන කෝපයක් පහළ වේ.

ඊර්ෂ්‍යාව, ගිල්ටි බව, කෝපය.

මෙවැනි හැඟීම් තුලින් ද සමාජ ප්‍රතිපත්ති හැදෙන්නට අවශ්‍ය?

ධනසම්පත් වල සම්භවය ගැන අවබෝධයක් හටගනිද්දී, එනම් අවංක ව්‍යවසායකයන් සහ මුල්‍ය බාරකරැවන් විසින් සහජයෙන්ම විෂමතාවයෙන් පිරි පරිසර පද්ධතියකින් හටගත්තක් බව, එවිට අපි අපේ ප්‍රාථමික ආවේගයන් බැහැර ලා ඉදිරියට යන්නට ඉගෙන ගනිමු.

සමාලෝචනය:
ආර්ථික විෂමතාවය යනු, ඒකීය පුද්ගලයන් නිර්මාණය වී ඇති පෞරැෂ අංගයන් මෙන් මිනිස් සංහතියේ ලක්ෂණ නිර්වචනය කරන්නකි.
ආර්ථික විෂමතාවය වෙළඳපොල තුලින් ස්වභාවයෙන්ම හට ගනිද්දී, එයින් වැඩිපුරම පෙන්වන්නේ ඒකීය පුද්ගලයන්ට අනික් අයගේ උවමනාවන් සපුරාලන්නට ඇති හැකියාවයි. ආර්ථික විෂමතාවය දේශපාලන සබඳතා වලින් හට ගනිද්දී එය පෙන්වන්නේ අසාධාරණ සහ දූෂිත වූ බවයි.
දේශපාලනයෙන් හෝ (බර්නි මෑඩොෆ් වැනි වංචනකියන් වෙතින්) නොවන ආර්ථික විෂමතාවය හටගනිද්දී එයින් සමස්ත සමාජයේ ම ජීවන මට්ටම අනිවාර්යෙන්ම ඉහළ යයි.
“දුප්පතුන්” ගැන ඇති කැක්කුම බොහෝ විට “ධනවතුන්” ගැන ඇති ඊර්ෂ්‍යාව නැත්නම් අවඥාව වසා ගන්නා තැතකි.

ඉංග්‍රීසියෙන් කියවන්න කැමති අයට:
Clichés of Progressivism #1 –Income Inequality Arises From Market Forces and Requires Government Intervention by Max Borders

Follow

Get every new post delivered to your Inbox.

Join 252 other followers