අරුණි ශපීරෝ‍ වෙතින්

ක්ලීන් සූට් ඇන්ඳාම සිත පිරිසිදු වේ ද?!!

Posted in Uncategorized by arunishapiro on ජූනි 9, 2011

මිනිස් ස්වභාවය අමතක කර මිනිසා වෙනුවෙන් සැලසුම් ගහනා ලෝක ස්වභාවය නිස්සාර වූවක් යයි කළින් කියා ඇත්තෙමි. එය ඔප්පු කර ඇත්තේ ඉතිහාසයයි. සැලසුම් ගහන්නන්ට එය අමතක වෙද්දී මතක් කර දිය යුත්තකි. නමුත් එසේ පෙන්වා දීමට ඉහත ‘සංකල්පය’ නුහුරු සමාජයක දුෂ්කර ය. පුද්ගල අයිතීන් උදුරා ගත නොහැකි අයිතීන් සේ ස්ථාපිතයෙන් බිහි වූ රටක එය පහසුය. ඉතිහාසයේ පටන් යම් යම් අවස්ථාවල දී පාලකයෝ සහ සැලසුම් ගහන්නෝ ඵල රහිත සැලසුම් ගැසූ කළ, ඉන් ගැල වී යළි පුද්ගල අයිතිය රකින, මිනිස් ස්වභාවය දකින, ප්‍රතිපත්ති වලට එන්නට ඇමෙරිකානුවන් සමත් වූහ.

ආධාර පිණිස මුදල් එකතු කර ඇති අය දන්නා සත්‍යයක් නම් “මචං කීයක් හරි දාපන්” කිව්වාම “මචං රුපියල් පනහක් දාපන්” කියනවාට වඩා වාසි සහිත බව ය.

“රුපියල් පනහක් දාන්න නෑනේ මචං” කීම පහසුය. මන්ද ඇත්තෙන්ම සාක්කුවේ රුපියල් පනහක් නැති අවස්ථා වැඩි නිසා ය. නමුත් කීයක් හරි දාපන් කියද්දී කීයක් හරි නොදා ඉන්න හැකියාව අඩු ය. එසේම මුදල් එකතු කරන අය දන්නා සත්‍යය නම් එවිට සමහර පිරිසකගෙන් රුපියල් පනහකට වඩා වැඩි මුදලක් නිශ්චිතවම ලැබෙන බවයි.

නමුත් සැලසුම් ගහන්නෝ මිනිස් ස්වභාවය එසේ වන්නේ යැයි අමතක කරති. තමන් විසින් සාධක සොයා බලා (කළින් සටහනක කිව්වා මෙන් සියළු සාධක සොයා බැලීමට නොහැකි බව නොදැක ඉන්නට ඇස් පියාගෙන) තමන් විසින් තීරණය කරන ගණන අය කරගන්නට ඔවුන් සැලසුම් හදති. ඒ සැලසුම් ක්‍රියාත්මක කරති. ඒවා ඵල රහිත වූ විට ඒ සැලසුම් වල ඇති අඩුපාඩු නිසා නොවේ යයි සිතති.

ඇමෙරිකන් සැලසුම් ගහන්නෝ විසින් Keeping the Internet Devoid of Sexual Predators Act 2008 දී අනුමත කරගත්තකි!! එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ ලිංගික අපචාරයේ යෙදී දඬුවම් විඳි අයෙක් සිය කැමැත්තෙන් ම අන්තර්ජාලයේ සහ ලිංගික අපරාධ මර්ධන සංවිධානවල ලියා පදිංචි වීමයි!!

බලහත්කාරයෙන් යමක් ස්ථාපිතයට යද්දී සත්‍යග්‍රහ කිරීම ද මිනිස් ස්වභාවයයි. මෙය පොඩි දරුවෙක් බලා කියා ගත් ඕනෑම අයෙක් අත්දැක ඇත්තකි!! වටහා ගත් පසු කැමැත්තෙන් කරන දෑ සඳහා කුඩා දරුවන්ව බලහත්කාරයෙන් අවනත කරගන්නට ගියොත් අවනත නොවී, නොකර ඉන්නටම ක්‍රම හා විධි ඔවුන් සොයා ගනිති.

ලිංගික අපචාරයේ යෙදෙන අය කුඩා දරුවෝ කියනවා නොවේ. දරුවන් ලවා ඔවුන් අකමැති වැඩ ගන්නට ඉතා දුෂ්කර සේ, කැමැත්ත සාධකයක් වුව ද, ක්‍රියාත්මක කළ නොහැකි නීති වලින් ඵලක් නැත කීමයි. හිතන්නට නොහැකි අයට මෙම පනත නිසා තමන් ආරක්ෂිත යැයි වැරදි හැඟීමක් ලැබේ. එය පවත්වා ගෙන යන වැය මුදල් නාස්තියකි.

අවදානම් සත්ව පනත (Endangered Species Act) කළින් කියූ ‘නොසිතූ ප්‍රතිඵල’ ගෙන දුන්නක් විය. යම් අවදානම් සත්ව කොට්ඨාශයක් භූමියක් වාසස්ථානය කරගත් නිසා, එතැන අයෙක් පරම්පරා ගණනාවක් ජීවත් වී සිටිය ද, ඒ පුද්ගලයාට තම පදිංචිය නැති වූ පනතකි එය. තම වතුපිටි යම් අවදානම් සත්ව කොට්ඨාශයකට ප්‍රිය වූ වාස භූමියක් වේ යැයි බිය වූ දේපල හිමියෝ එවැනි සත්තු ප්‍රිය කරනා ගස් කොළන් කපා දමා එවැනි වතුපිටි තම භුක්තිය සඳහා තබාගන්නට යුහුසුළු වූහ. එපමණක් නොව අවදානම් වන්නට ඉඩක් ඇති සත්තුන්ට ද අවශ්‍ය වාතාවරණය ඉවත් කරන්නට උත්සාහ ගත් අය ද වූහ. මේ අයහපත් ප්‍රතිඵලය අත් විඳින්නට ලැබිච්ච සත්තු අතර cactus ferrugnious pygmy owl සහ red cockaded woodpecker උදාහරණ වෙයි.

සුබ සාධනයෙන් ජීවත් වන දුප්පතාට පරිසරය රැකගන්නට නීති දැමීම ඵලක් නැත. සාගතයෙන් පෙළෙන අයෙකුට පරිසරය ගැන හිතන්නට සිහියක් නැත්තේ ය. එහෙයින් පරිසරය රැකීමේ වගකීම ද පැවරෙන්නේ ධනවතුන්ට ම ය.

රාත්‍රිය පුරා මගේ නිවස අසල ‘හූම් … හූම් …’ කියනා බස්සෙකි. මා වාසය කරන්නේ වන ජීවි පැවැත්ම සඳහා වෙන් කරන ලද විශාල ඉඩක් සහිත පරිසරයක ය. සංචාරක පෙදෙසක භූමිය ඉතා ඉහළ මිලක පැවතුනත්, ඒ කැලෑව අපි කැමැත්තෙන්ම ගෙවන බදු සහ පුද්ගලික පරිත්‍යාග මුදල් වලින් රැකෙන්නකි. අපි ජීවත් වන්නට මෙතැන තෝරා ගත් නිසා ඒ ආරක්ෂිත ප්‍රදේශය රැක ගන්නට, වාසය කරන සත්තු රැකගන්නට අපි කැමැත්තෙන් බදු සහ පරිත්‍යාග මුදල් ගෙවමු.

මධ්‍යගත සැලසුම්ක් ගහන්නට නොගොස් පුද්ගල කැමැත්තට ඉඩ දුන් අවස්ථා වල දී පැහැදිලිවම පෙනී යන්නේ මිනිසා ස්වභාවයෙන් මානව හිතවාදී මෙන්ම තම සෙසු ප්‍රාණීන් හිතවාදී ද වන බවයි.

Laurie Marker අප්‍රිකානු චීටා (කපටි අය නෙවෙයි, කකුල් හතරේ සතා!!) වෙනුවෙන් වසර 37 ක සිට මහත් සේවයක් කරන්නියකි. පැයට හැතැප්ම 70 ක වේගයෙන් දුවන චීටා කටු පඳුරු නිසා ඇස් අන්ධ කර ගන්නේ ය. එය සත්ව ලෝකයේ ස්වභාවයයි. මෙය දකින ඇය කටු පඳුරු කපන මැෂින් යොදා පඳුරු කපා එයින් ඉන්ධන කුට්ටි හදන්නට සැලස්මක් දියත් කරන්නී ය. මේවා eco block නමින් දකුණු අප්‍රිකානු හා යුරෝපයේ රටවල් වලට විකුණා ඇය තව තවත් අප්‍රිකානු චීටා වෙනුවෙන් සේවය කරන්නීය. ඇයගේ Cheetah Conservative Fund එක්සත් ජාතීන් විසින් හෝ සැලසුම් ගහන රටක් විසින් පටන් ගත්තක් නොවේ. එසේම ප්‍රතිඵල සාර්ථක වූ වෑයමකි. අද අන්ධ නොවුන චීටාවරුන්ට!! මෙන්ම දිවියන්ට ද ඒ පෙදෙස් අභය භූමි වී ඇත.

සමනලයන් හා bumble bee සඳහා වෙනම වැවුණු මල් පාත්ති කැපිටලිස්ට් ඌරෝ ජීවත්වන පරිසරයේ ඇත්තේ ය. ඒවායෙහි ඇත්තේ උන් ප්‍රිය කරන මල් වර්ග ය. කැපිටලිස්ට් ඌරන් නොව සමනලයන් හා bumble bee කැමැති මල්!!

මදුරුවන් සිය ආහාරයේ සුළු කොටසක් කරගන්නා දම්පාට මාටින් කුරුල්ලන්ට තම නිවාස අසල වාසස්ථානය පිණිස කැපිටලිස්ට් ඌරන් කුරුළු ගෙවල් හදා දෙති.

එසේම, දම්පාට මාටින් කුරුල්ලන් මදුරුවන් සියල්ල අනුභව නොකරන නිසා!! ලෝක මැලේරියා මර්ධනය සඳහා ගැහැණු මදුරුවන් මරන ලේසර් විජට්ටුව නිර්මාණය කරන්නේ ලොව හැමෝම දන්නා කැපිටලිස්ට් ඌරා වන බිල් ගේට්ස් ආයෝජනයෙන් ය. පිරිමි මදුරුවන්ට වඩා ගැහැණු මදුරුවා බර වැඩි ය. ඒ නිසා ඇය තටු ගහන frequency නිශ්චය කර (පිරිමි මදුරුවාට වඩා සෙමෙන් තටු ගහන) ඇයව නසා දමයි.

ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ හා කැලිෆෝර්නියා ඩේවිස් විශ්ව විද්‍යාලයේ මදුරු මර්ධනයට ජානුමය විසඳුමක් ද විමර්ශනය වෙයි.

අනාගත ලංකාවේ මැලේරියා පමණක් නොව ඩෙංගු, චිකන්ගුන්යා යනාදියත් මර්ධනය කරගන්නට ඒකීය පුද්ගලයන්ටම හැකියාව ලැබේවි ද?

ඉන්ධන හිඟයි කියා ලෝකයා කෑ ගහද්දී ඉන්ධන තැන්පතු වලින් ජීවත් නොවී current income ඉන්ධන වලින් වැඩ ගන්නට නොහොත් සූර්යාලෝකයෙන් වැඩි ප්‍රයෝජන ගන්නට ද ආයෝජන හැකියාව ඇත්තේ ධනවාදීන්ට ම ය. සෙසු ලෝකයා කෑ ගහමින් සිටිය දී ධනවාදීන් ඔවුන් සඳහා ද පරිසරය බේරා ගන්නට වැඩ කරති. බිය නොවන්න, ඉඳහිටක තම ආණ්ඩුව හදා ගන්නට දෙවුර හැකිළුවත්, ඔබ කරපින්නාගෙන ධනවාදී ඇට්ලස් යෝධයා තවමත් ඉදිරියට ම යන්නේ ය.

බිල් ගේට්ස් ඇතුළු තිදෙනෙක් ප්‍රමුඛ පුද්ගලික කොම්පැණිය Intellectual Ventures නම් වෙයි.

ඔව්, ඔවුනට ගෝලීය උණුසම අඩු කරගන්න විජට්ටුවක් ද ඇත!! එය garden hose to the sky නම් සුරතල් නාමයෙන් ඔවුන් කියද්දී එහි විද්‍යාත්මක නම startospheric shield for climate stabilization වෙයි.

සැලසුම් ගහන්නෝ වියදම් කරන්නේ අනුන්ගේ මුදල් නිසා, වැය කරන්නේ අනුන්ගේ කාලය නිසා, ඔවුනට මුදල් වැය හා කාලය වැය ගැන එතරම් කැක්කුමක් නැත. නමුත්, පුද්ගලික වෑයමක දී ආයෝජනයත් කාලයත් ඉතා වැදගති.

IV කොම්පැණිය තමනට වසර 3 ක දී අහස් කුසට යවන පයිප්පය වැඩ කරවන්නට හැකි යයි කියති. එය හදන්නට යන මුදල මිලියන $150 ක් ද වසරක operating වැය මිලියන $100 ක් යැයි ද කියති. එනම් මිලියන $250 කින් ගෝලීය උණුසුම ආපස්සට ගෙන යා හැකිය.

සංසන්දනය කර බලන්න: ගෝලීය උණුසුම සඳහා වෙහෙසෙන Grantham Research Institute on Climate Change and the Environment හි සභාපති බැරන් Nicholas Stern ඊට වැය කරන්නට අවශ්‍ය යැයි කියන වාර්ෂික ට්‍රිලියන $1.2 සමඟ.(Nicholas Stern, Towards a Global Deal on Climate Change, UNECOSOC, June 30, 2008) ගෝලීය උණුසුම ගැන මහජනයා දැනුවත් කරන්නට සෙසු ලෝක සංවිධාන වැය කරන මුදල් සමඟ.

බිල් ගේට්ස් ගහන්නේ ඒකීය පුද්ගලයා තම කැමැත්තෙන් ගහන සැලසුම් ය. ඔහු නිපදවන මදුරු නාශක විජට්ටුව මිල දී ගන්නට මිනිසුන් microsoft විජට්ටු ගන්නට එනවා සේ එයි ද?!! නැත්නම් ඔහු අප්‍රිකාවට සහ ඉන්දියාවට ඒවා නොමි‍ලේ බෙදා දෙයි ද? තණ්හාධික ධනකුවේරයා මේ විජට්ටුව නිර්මාණයට ආයෝජනය කරන ලද්දේ මදුරුවන් නිසා ලෝකයේ වාර්ෂිකව මිය යන 881,000 ක් ජනයා සහ මැලේරියා වැළ‍ඳෙන මිලියන 247 ක් බේරා ගන්නට බව දකින්නේ කවුද? ඔහුට ඇමෙරිකාවේ අයට පමණක් විකුණන microsoft විජැට්ටු වලින් ධනය තව තවත් එක්කාසු කිරීම ඊට වඩා පහසු බව නොදකින්නේ කවුද?

ධනවාදය කියැවීමෙන් ධනවත් වන්නට හැකි යයි ද කීවෙමි. ලෝකයට ඇති උවදුරු ගැන ප්‍රචාරය කිරීමෙන් පමණක් ඵලක් ඇත් ද? නැත්නම් ඒ උවදුරු මඟ හරවා ගෙන, මිනිසාගේ පැවැත්ම සහ ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරගත හැකි ඒකීය උත්සාහයෙන් ඵලක් ඇත් ද? ධනවත් වනුයේ දෙවන උත්සාහයේ යෙදෙන්නා ය. පළමුවැන්නේ යෙදෙන්නා ඉදිරි අනාගත‍යක දී ලොව මෙතෙක් කාලයක් බිත්තර කඩමින් සිටි කෙනෙක් හා සමාන ‍වනු ඇත.

ධනවත් වෙන්න නම් තැන්පතු තිබිය දී, ණය නොගෙන, හැම විටම current income වලින් ජීවත් වන්නට වෙර දැරිය යුතුය.

එසේම ධනවත් වෙන්නට අවශ්‍ය අයෙකු මෙය ද මතකයේ තබාගත යුතුයි. ඉහළින් පත්කරන ලද අයෙකු බලය/වගකීම ගන්නා (සියළු සාධක සොයා බැලීමට නොහැකි නිසා) මහා පරිමාණ මධ්‍යගත සැලසුමකට වඩා ව්‍යාපාරයේ බලය/වගකීම ඒ ඒ අංශවල ඒකීය පුද්ගලයන් අතර බෙදී යන ලෙසින් සකස් කරන ව්‍යුහයක ලාභ වැඩි ය.

අහන්නට පෙර: ටෙනසි විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආචාර ධර්ම (Business Ethics) පාඨමාලාවක් මා විසින් සකසන ලද විෂයමාලා වැඩසටහනකින්, මා විසින් තනියම තීරණය කරන ලද ලකුණු ක්‍රමයක් අනුව අධ්‍යාපනික වසර දෙකක් උගන්වා ඇත්තෙමි. එහි ඉගෙන ගත් MBA සිසුකැල අතර මා ජනප්‍රිය ගුරුවරියක් වූයෙමි; ඔවුන් සමඟ නිතර බියර් බොන්නට (හෙට දෙන බියර් වලට නොව) මට ආරාධනය කළහ!! මා එතැනින් අස්වූයේ දියණියගේ අධ්‍යාපනය මගේ වගකීම කරගන්නට මිසක් ඒ තනතුරෙන් පහ කරන ලද නිසා නොවේ!!

ක්ලීන් සූට් ඇන්ඳාම සිත පිරිසිදු වේ ද?!!

ඩර්ටි මාටිනි බිව්වාම සිත කිළිටි වේ ද?!!

ඔටුනු පැළඳි ‍ලෝකය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 28, 2011

විලියම්-කේට් මංගල්‍ය සමරනු වස් මෙසේ ලියමි!!!!

අධිරාජ්‍යවාදී හා රාජාණ්ඩු විරෝධී යැයි කියා ගන්නා වැඩි පිරිසක් ලෝකයේ ඉන්නවා ද? නැත්නම් එහෙම යැයි කියනා අය වැඩියෙන් ලොව සිටිනවා යයි අපි සිතනවා ද?

මෙන්න අද ලෝකයේ පවතින රාජාණ්ඩු සහ පරම ආණ්ඩු ගැන විස්තර ටිකක්.

රාජාණ්ඩුව (monarchy) නම් සියළු බලතල තනි පාලකයෙක් (monarch=single ruler) යටතේ පවතින රටක් ආණ්ඩු කරන ක්‍රමයකි. රජකම බොහෝවිට හිමි වන්නේ පරම්පරා උරුමයෙනි. උරුමයෙන් නොව සටන් බිමක දී රජකම අල්ලා ගත් පාලකයෝ ලෝක ඉතිහාසයේ සිටියහ. ඔවුන් හැඳින්වෙන්නේ ජනප්‍රිය රාජාණ්ඩු (popular monarchy) වශයෙනි. ‘රෝමවරුන්ගේ රජු’ එවැන්නක නිදසුනකි.

රජෙක් ඉන්නා රාජධානි වර්ග පරම රාජාණ්ඩු (absolute monarchy), ව්‍යවස්ථාදායක රාජාණ්ඩු (constitutional monarchy), ෆෙඩරල් රාජාණ්ඩු (federal monarchy) යනාදියයි.

අද ලෝකයේ රාජාණ්ඩු ඇති රටවල් 44 කි. එයින් 16 ක ඔටුන්න හිමි වන්නේ දෙවන එලිසබෙත් මහ රැජිනට ය. එහෙත් කිසිවෙක් එංගලන්තය අධිරාජ්‍යවාදී යැයි අද නොකියති!!!!

පරම රාජාණ්ඩුව (absolute monarchy) නම් ඔටුන්න හිමි අයගේ බලය වෙනත් කිසිම ව්‍යවස්ථා නීතියකින් සීමිත නොවී තිබීමය. පරම රාජාණ්ඩු තවමත් පවතින දේශයන් මෙසේය. බෲනෙයි (Hassanal Bolkiah -සුල්තාන්), ඕමාන් (Qaboos bin Said Al Said -සුල්තාන්), කටාර් (Hamad bin Khalifa AlThani -එමිර්), සවුදි අරාබිය (Abdullah bin Abdul Aziz -රජු), ස්වාසිලන්තය (Mswati III-රජු) සහ වතිකානුව (Pope Benedict XVI – මහරජු – Sovereign).

වතිකානුව මෙන් ම ඉරානය (Ali Khamenei -සුපිරි නායකයා -Supreme Leader) ද අයිති වන්නේ දේවාධිරාජ්‍යයන් (Theocracies) ට ය. ඒවායේ දී රටේ පාලනය රටේ ආගම අනුවත්, ආගමික සභාව මඟින් රටේ ප්‍රධානියා තීරණය කිරීමත් සිද්ධ වේ.

ඉරානයේ සුපිරි නායකයාට ඉරාන භූමියේ (2010 සංඛ්‍යා ලේඛන අනුව ජනගහණය 74,700,000) සඳහා ආගමික නීති පැනවීමට බලය තියෙද්දී වතිකානුවේ මහරජුට මුළු ලෝකයේ ම කතෝලික ආගමික බැතිමතුන් සඳහා (විකිපීඩියාවට අනුව ලෝක කතෝලික බැතිමත් ජනගහණය 6,442,583,922) ආගමික නීති පැනවීමට බලය ඇත් ද?

ව්‍යවස්ථාදායක රාජාණ්ඩු වල චාරිත්‍රානුකූල බලතල ඇති ඔටුන්න හිමි අය ඔහුගේ හෝ ඇයගේ බලය පාවිච්චි කරන්නේ ආණ්ඩුවේ කැමැත්ත ඇතිව ය. ආණ්ඩු බලයට පත්වන්නේ ජනතාව තෝරා පත් කර ගත් පිරිසකි.

එවැනි ව්‍යස්ථාදායක රාජාණ්ඩුවක වසර 59 ක් රජකමේ ඉන්නා දෙවන එලිසබෙත් මහ රැජින යටතේ ඇති රාජධානි 16: එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිව් ගිනි, ජැමෙයිකාව, ඇන්ටීගා හා බාර්බුඩා, බහාමාස්, බාර්බඩෝස්, බෙලීස්, ග්‍රැනඩා, සෙන්ට් කිට්ස් සහ නේවිස්, සෙන්ට් ලුසියා, සෙන්ට් වින්සන්ට් හා ග්‍රැනඩින්ස්, සොලොමන් දූපත් හා ටූවාලු.

ඊ ළඟට ඉතිරිය මෙසේය: ඇන්ඩෝරා (Joan Enric Vives Sicília සමඟ Nicolas Sarkozy -සම කුමරුන්), බෙල්ජියම (දෙවැනි ඇල්බට් -රජු), කාම්බෝජය (Norodom Sihamoni -අධිරාජ්‍යයා), ඩෙන්මාර්ක් (Margrethe II -රැජින), ජපානය (අකිහිතෝ -අගරජ), ලෙසෝතෝ (Letsie III -රජු), ලක්ස්ම්බර්ග් (හෙන්රි -ග්‍රෑන්ඩ් ඩ්‍යුක්), මැලේසියාව (Mizan Zainal Abidin නොහොත් සම්පූර්ණ නාමය Al-Wathiqu Billah Tuanku Sultan Mizan Zainal Abidin Ibni Al-Marhum Sultan Mahmud Al-Muktafi Billah Shah -රජු නොහොත් Yang di-Pertuan Agong නමින් හැඳින්වෙන තනතුර), නෙදර්ලන්තය (Beatrix Wilhelmina Armgard -මහරැජින), නොර්වේ (පස්වැනි හරාල්ඩ්), ස්පාඤ්ඤය (Juan Carlos I -රජු), ස්වීඩනය (Carl XVI Gustaf -මහරජ) සහ තායිලන්තය (වසර 64 ක් රජකමේ ඉන්නා Bhumibol Adulyadej නොහොත් Rama IX).

ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් තිබිය දී, අගමැතිවරයෙක් සිටිය දී, ඔටුන්න හිමි අයට දේශපාලන බලය කැමති පරිදි පාවිච්චි කළ හැකි රාජාණ්ඩු මෙසේය. බහ්රේන් (Hamad ibn Isa Al Khalifa -රජු), භූටාන් (Jigme Khesar Namgyel Wangchuck -රජු), ජෝර්දාන් (දෙවැනි අබ්දුල්ලා -රජු), කුවෙයිට් (Sabah Al-Ahmad Al-Jaber Al-Sabah -එමිර්), ලීෂන්ස්ටයින් (Hans-Adam II නොහොත් Johannes (Hans) Adam Ferdinand Alois Josef Maria Marko d’Aviano Pius von und zu Liechtenstein -කුමරු), මොනාකෝ (දෙවැනි ඇල්බට් නොහොත් Albert Alexandre Louis Pierre Grimaldi -කුමරා), මොරොක්කෝ (Mohammed VI -රජු), ටොන්ගා (George Tupou V -රජු), එක්සත් අරාබි එමයිරේට්ස් (Khalifa bin Zayed Al Nahyan -ජනාධිපති).

ඔය ලැයිස්තු වල නම් තියන අය ඉස්සරහා දී ඔවුන් සිටගෙන සිටිනවා නම් අවසර නැතිව තමන්ට වාඩි වෙලා ඉන්න බැහැ. ඒ ඒ අයගෙ සම්ප්‍රදාය අනුව ආචාර සමාචාර කරන්න ඔවුන් හමුවන්න කලින් පුහුණුවකුත් ලැබෙනවා. බිල් ගේට්ස් ඉදිරියේ දී නම් ඉන්න පුටුවෙන් නැඟිටින්නෙ නැතිව එයාව තුට්ටුවකට ගණන් නොගෙන ඉන්න පුළුවන්!!! ඔබාමා ඉස්සරහා දී ත් කැමති කෙනෙක් එහෙම කළාට නීතියෙන් දඬුවමක් නැහැ.

මහජන චන්ද විමසීමකින් තොරව, ආණ්ඩුව හා පාලන පක්ෂය විවේචනය කරනු නොහැකි, එක දේශපාලන පක්ෂයකට පමණක් බලය ඇති පරම ආණ්ඩු රටවල් මෙසේය. කියුබාව (කොමියුනිස්ට් පක්ෂය -රාවුල් කැස්ත්‍රො -ජනාධිපති), උතුරු කොරියාව (කම්කරු පක්ෂය -කිම් යොන්ග්-ඉල් -සුපිරි නායකයා), ඉරිත්‍රියාව (Isaias Afewerki -ජනාධිපති), ලාඕස්, ලිබියාව (මුමාර් ගඩාෆි -අරගලයේ මඟපෙන්වන්නා හා නායකයා), චීන සමූහාණ්ඩුව (Hu Jintao -චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා සහ ජනාධිපති), සිරියාව (Bashar al-Assad -ජනාධිපති), ටර්ක්මෙනිස්තාන් (Gurbanguly Berdimuhamedow -ජනාධිපති), වියට්නාමය (Nguyễn Phú Trọng -මහ ලේකම්, චීන කොමියුනිස්ට් පක්ෂය).

හොස්නි මුබාරක් එළවා දැමූ මිලිටරි ජුන්ටා පාලන ක්‍රමය ඇති ඊජිපත්තුවේ Mohamed Hussein Tantawi -මිලිටරි හමුදා‍වන්හි සුපිරි කවුන්සිලයේ සභාපති වෙයි. මිලිටරි ජුන්ටාවක් සමඟින් පාර්ලිමේන්තු ජනරජයක් ඇති ෆීජි හි Epeli Nailatikau ජනාධිපතිවරයා ය. එහෙත් තවමත් දෙවැනි එළි‍සබෙත් රැජින ද එහි Paramount Chief නාමයෙන් පිදුම් ලබන්නී ය.

උපත්තිය නිසා විශේෂ සැලකිලි නොලැබී හැමටම පොදුවේ “ඔබ දැන් රටේ පුරවැසියෙක්, ඔබට චන්දය ප්‍රකාශ කරන්න සහ ආණ්ඩුව විවේචන කරන්න නිදහස තියනවා” කියන රටවල් ලෝකයේ කොච්චර හිඟ ද?

මේ තරම් පිරිසක් ඔටුනු පළඳින ලෝකයේ දී, බලහත්කාරයෙන් පුරවැසියන් පාලනය කරන ලෝකයේ දී, යටත් විජිතයක් නැති, වසර හතරකින් පසු ගෙදර යවත හැකි ජනාධිපතිවරයෙක් ඉන්නා ‘ඇමෙරිකන් අධිරාජ්‍යවාදයක්’ ගැන කතා කරන්නේ මන්ද?!!!!!

ඔය සියළු බල ලෝභී පාලකයෝ ඉන්නවා මදිවාට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයකුත් පත් කරගෙන ඇත්තෙමු. ඔවුන්ට අයත් භූමියක් නැත. පුරවැසිකම කියන ජනකොට්ඨාශයක් නැත. ඒත් භූමි අයිතිය ඇති අයට නීති දැමිය හැකිය. ජනකොට්ඨාශ වලට බලපෑම් කළ හැකිය. චීනයට හා රුසියාවට නොකරන බලපෑම් දුප්පත් ශ්‍රී ලංකාවට කළ හැකිය!!!

පැය දස දහසක රීතිය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 27, 2011

බිල් ජෝයි මිචිගන් විශ්ව විද්‍යාලයට යන්නේ වයස 16 දී ය. එහි නව කොම්පියුටර් සෙන්ටරය පටන් ගත් වසර වූ 1971 දී ය. පළමු වසර සිසුවෙක් හැටියට ඔහු අහම්බෙන් කොම්පියුටර් සෙන්ටරයට ගොඩ වැදෙයි. එදා පටන් කොම්පියුටර් ලෝකය ඔහුගේ ලෝකය ද වෙයි.

Sun Microsystems සම නිර්මාතෘ, බර්ක්ලේ විශ්ව විද්‍යාලයේ UNIX Operating System, Java programming language, Jini / JavaSpaces, JXTA, SPARC,vi, NFS, csh, BSD සහ Solaris යනාදියට ඔහු ප්‍රසිද්ධිය උසුලයි.

1970 ගණන් වල දී ජෝයි පරිගණක ගැන ඉගෙන ගනිද්දී ඒවා කාමර තරම් විශාල වූ ඒවාය! එක කොම්පියුටරයක්, අද වයර්ලස් ෆෝනයකට වඩා අඩු හැකියා වලින් යුතු වූ අතර මිල ඩොලර් මිලියන ගණනකින් විය. ඒ නිසා කොම්පියුටර් දුලබ ය. කොම්පියුටරයක් හොයා ගත්තොත් එය පාවිච්චියට ඉඩක් ලබා ගැනීම දුෂ්කර ය. පාවිච්චියට ඉඩක් ලබා ගත්තොත් ඊට ලැබෙන කාලයට මහත් වියදමක් දරන්නට වෙයි.

මිචිගන් විශ්ව විද්‍යාලයේ කොම්පියුටර් සෙන්ටරයේ දී සිසු සිසුවියනට කොම්පියුටර් පාවිච්චියට අවසර ලැබුනේ පැයක කාලයකි. කවුදෝ සිසුවෙක් ‘කාලය සමානයි’ සහ අකුරක් යොදා ගැනීම මඟින් (t=k) කැමති කාලයක් එය පාවිච්චි කරත හැකි බව සොයාගෙන තිබුණි. බිල් ජෝයි වැඩි කාලයක් ගෙව්වේ කොම්පියුටර් සෙන්ටරයේය.

මිචිගන් විශ්ව විද්‍යාලයේ දී පැය අටක් හා දහයක් අතර කාලයක් කැප කරන බිල් ජෝයි පශ්චාත් උපාධිය සඳහා බර්ක්ලේ විශ්ව විද්‍යාලයට ගිය විට දිවා රෑ ඊට ‍කාලය යොදවන ලදි. පාසැලේ දී කොම්පියුටර් නොදත් හේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා පශ්චාත් උපාධි සමයේ දෙවන වසර වෙද්දී අද දිනයේ ද භාවිතා කෙරෙන කොම්පියුටර් තාක්ෂණය ඉදිරිපත් කරන්නට සමත් වෙන්නේ කොහොම ද?

ඔහු තමන් කොම්පියුටරය හඳුනා ගත් දිනයේ සිට අලුත් ඉදිරිපත් කිරීමක් ‍ලොවට දායාද කරන්නට ගෙවී ගිය කාලය පැය දස දහසක් පමණ යැයි ගණන් බලා කියයි. තවත් විදියකින් කිව්වොත් බිල් ජෝයි දක්ෂයෙක් වන්නේ එම ක්ෂේත්‍රයට පැය දස දහසක් කැප කිරීමෙනි.

බීට්ල්ස් සංගීත කණ්ඩායමේ කතාව ද එසේම ය. ජර්මනියේ හැම්බර්ග් නුවර නයිට් ක්ලබ් වල වැඩියෙන් සංගීතය සැපයුනේ එංගලන්තයේ ලිවර්පූල් වලින් ආ කණ්ඩායම් වලිනි. ඔවුනට ලොකු මුදලක් ලැබුනේ නැත. සංගීතය වාදනය වූ සමාජ ශාලා ශබ්ද ශ්‍රවණය මනාව බෙදාහරින්නට ඉදි කරන ලද ගොඩනැඟිලි නොවීය. ප්‍රේක්ෂකයෝ සංගීතය අගය කළ හෝ ඒ ගැන හොඳින් දත්තෝ නොවූහ.

ලිවර්පූල් හි පැයක සංදර්ශනයක් පවත්වන්නට හුරු වී සිටි ඔවුන් ඒ පැයේ දී ප්‍රදර්ශනය කළේ ඔවුන්ගේ වඩාත්ම හොඳ සංගීතයයි. හැම සංදර්ශනයකම එකම සංගීත එකතුවක් ඉදිරිපත් කළහ. එහෙත් හැම්බර්ග් යන ඔවුනට පැය අටක් සංගීතය සපයන්නට නියම වුණි. ඒ නිසා එකම සංගීත එකතුව නැවත නැවත ඉදිරිපත් කරනවාට වඩා වේදිකාවේ දී ම අලුත් සංගීතය නිපදවීම ඔවුනට නොකර බැරි කාර්යයක් විය.

පැය අටක් බැගින් සතියේ දවස් හතම ඔවුන් සංගීතය සැපයීය. 1960 සිට 1962 දක්වා බීට්ල්ස් කණ්ඩායම පස් වතාවක් හැම්බර්ග් ගියහ. පළමු වතාවේ ඔවුන් සංදර්ශන 106 ක්, එකක් පැය පහකට වඩා කාලයක් වූ, පැවැත්වූහ. දෙවැනි වතාවේ ඔවුන් සංදර්ශන 92 ක් පැවැත්වූහ. රෑ 12:30 ට අවසන් කළ ප්‍රදර්ශන පසුව උදෑසන දෙක දක්වා ඇදී ගියහ. තුන්වැනි වතාවේ ඔවුන් සංදර්ශන 48 ක් (වේදිකාවේ ගෙවූ මුළු කාලය පැය 172 ක්) පැවැත්වූහ. හැම්බර්ග් පැවැත්වූ අවසාන සංදර්ශන දෙක තවත් පැය 90 ක කාලයක් ගත්තේ ය. වසර දෙකහමාරක් ඇතුලත ඔවුන් රාත්‍රී 270 ක් සංගීතය සපයා ඇත.

1964 දී ඇමෙරිකාවේ චාරිකාවකින් සංගීත ලෝකය අල්ලා ගනිද්දී ලිවර්පූල් වලින් ආ ඒ පස්දෙනාගේ සංගීත කණ්ඩායම, ඒ වනවිට සජීවී සංදර්ශන 1200 ක් පවත්වා තිබුණි. අද දිනයේත් එතරම් වාර ගණනක් සජීවි සංදර්ශන පවත්වා ඇති සංගීත කණ්ඩායමක් සොයා ගැනීම අසීරු වූවකි.

ඔවුන්ගේ ජයග්‍රහණය හුදු හැකියාව නිසා පමණින් ලැබුණා නොව ඊට කරන ලද කැපවීමෙන් ද අත්වූවකි.

බිල් ගේට්ස් උපාධිය අතහැර ගියෙක් සේ ලෝකයා දකියි. එහෙත් උපාධිය නැමති සහතිකය නොසොයන බිල් ගේට්ස් කැප කළේ දැනුම සොයන්නට කාලයයි. 1971 දී මාස හතක කාලයක් තුල Information Sciences, Inc. නොහොත් ISI හි දී බිල් ගේට්ස් ඇතුළු සගයෝ පැය 1,575 ක් ගෙවා දැමූහ. එනම් දවසකට පැය අටක් බැගින් සතියේ දවස් හත පුරා ඔවුන් කොම්පියුටර් සොයා ගැනීම් වලට කාලය වැය කළහ. ඔවුන් එදා සතියේ දවස් හතක්, දවසකට පැය අටක්, කොම්පියුටරයේ හිටියේ අන්තර්ජාලයේ මිතුරු හමුවට නොවේ!

බිල් ගේට්ස් උපාධිය හැර දා යන්නේ ඉතිහාසය, ඉංග්‍රීසි වැනි උපාධියට අනිවාර්ය විෂයයන්ට කාලය කැප නොකර තනිකරම කොම්පියුටර් සඳහා කාලය කැප කරනු පිණිස. දෙවැනි වසරෙන් හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ඉවත් වී තම කොම්පියුටර් ආයතනය පටන් ගනිද්දී බිල් ගේට්ස් කොම්පියුටර් programming සඳහා නොකැඩී වසර හතක් කැප කර තිබුණි. එනම්, ඔහු පැය දස දහසකට වඩා කාලයක් කැප කර තිබුණි.

ඔබගේ ජීවිතයේ පැය දස දහසක් කැප කර ඉගෙන ගත් දැයක් තිබෙනවා ද?

ඔබ ඉගෙන ගත්තේ අ.පො.ස. සහතික හා උපාධි සහතික ලබා ගැනීමට පමණක් ද?

ඔබ සොයන්නේ කුමක් ද? ඔබට ලැබෙන්නේ ද එයයි.

බිල් ජෝයි, බීට්ල්ස්, බිල් ගේට්ස් සහ පැය දස දහස රීතිය ගැන විස්තර Malcolm Gladwell ලියූ OUTLIERS (2008) පොතෙනි. පින්තූර විකිපීඩියාවෙනි.

හිතට සනීප බොරු බැහැර ලා ශෝකාන්විත සත්‍යයට මුහුණ දීමට කාලයයි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 4, 2011

පසුගිය සටහනට Grey දාපු ප්‍රතිචාරයට පිළිතුරු එතන ලියනවාට වඩා සටහනක් හැටියට මෙසේ එක් කරමි. ප්‍රතිචාරයට ඉතාමත් ස්තූතියි.

ඔබ ලියූ අදහස් ඔයාට හිතෙන හැටිය විතරක් නෙමේ ලෝකයේ පොදු ජනමතය.

//කිසිම රටක් වෙන රටක් තමන්ගේ රට ඇතුලේ වැඩවලට ඇගිලි ගහනවට කැමති නෑ. අර කතාවක් තියෙන්නේ කපුටාගේ ගෙදරට උකුස්ස රිංගනකොට කපුටා උනත් නිකන් ඉන්නේ නෑ කියලා. ඔය කතාව ඇමරිකාව කවදාවත් තේරුම් ගන්නේ නෑ. මොකද ඒ කන්සෙප්ට් එක ඇමරිකානු සංස්කෘතියේ නැති නිසා.//

සහමුලින් ම වැරදියි. ඇමෙරිකාව මුලින් ම බිහිවෙන්නෙ ස්වාධීනත්වය සඳහා වූ අරගලයකින්. ස්වාධීන බව පවත්වා ගන්නට ඇමෙරිකාව දියත් කරපු නිදහස් අරගලය, බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වී සිටීමට අකමැත්ත නිසාම තමයි ප්‍රථම වරට ලෝකයේ රජු මුල් වූ ආණ්ඩු ක්‍රමයක් නැතිව ගිහින් ජනතාව විසින් තෝරා පත් කරගන්නා ආණ්ඩු ක්‍රමය බිහිවෙන්නෙ.

//ඇමරිකානු සිතීම තුල තියෙන්නේ යමක් ඕනේ නම් ගිහින් ගනින් වැඩේ කෙරෙනවනම් ඊට එළියේ තියෙන දේවල් වැඩක් නැහැ කියලා. නමුත් අපේ සිතුවිලි දහරාව තුල එහෙම හිතන එක වැරදියි. අපිව පොඩි කාලේ ඉදන්ම පුරුදු කරලා තියෙන්නේ අනුන්ට කරදරයක් වෙන්න වැඩ කරන්න එපා වගේ කතා කියලා. ඉතින් අපි සැහෙන්න ලේඩ් බැක් අප්රෝච් එකක් තියෙන්නේ ඔය වගේ වැඩ වලදී, ඇමරිකාවේ (යුරෝපයටත් වඩා) ඔය ගෝ ගේට් අප්රෝච් එක වැඩියි.//

නැවතත් සහමුලින් ම වැරදියි. ඇමෙරිකාවේ Bill of Rights මඟින් 1791 දී නිවසකට කඩා වැදී සෙවීම (search) හා ‍භාණ්ඩ අල්ලා ගැනීමට (seizure) විරුද්ධව ස්ථාපිත Fourth Amendment අයිතිය ගැන කියවන්න.

ඉරාකයට, ඇෆගනිස්තානයට හෝ ලිබියාවට බෝම්බ වැටෙද්දී ඇමෙරිකානුවන් කී දෙනෙක් උඩ පැන පැන අත්පුඩි ගසමින්, අහසට වෙඩි තබමින් සතුට පළ කරාදැයි කියන්න?

2001 සැප්තැම්බර් 11 වැනිදා අමතක ද? අහිංසක ජනතාව 3,000 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් කිරීම මොන ‘ක්‍රියාවක්’ ලෙස ද ඔබ හඳුන්වන්නේ?

ඒ ආරංචිය ඇසී ලෝකය කම්පා වෙද්දී ගාසා තීරයේ ප්‍රීති ඝෝෂා ගැන පලස්තීනයේ නායකයෝ ඒ පුංචි ළමයින්ගෙ වැඩක් යයි කියා ඇඟ බේරා ගන්නේ හොඳ හැදියාව එය නිසා ද?

ඇමෙරිකාවේ Foreign Visitors Program යනු විවිධ රටවල් වලින් ඇමෙරිකාවේ නිදහස නැමති සංකල්පය කියා දෙන්නට ඇමෙරිකන් ජනතාවගේ බදු මුදල් වලින් වැය කරන වැඩ සටහනකි. විවිධ රටවල ආණ්ඩු විසින් අනුමත කර එවන අය සාදරයෙන් පිළිගෙන ඔවුනට කන්න බොන්න දී, ඉන්න නවාතැන් දී ඇමෙරිකාව ලෝකයේ කැමැත්ත දිනා ගන්නට මුදල් වැය කරයි.

2001 සැප්තැම්බර් 8 වැනිදා චීනයේ ප්‍රවීන මාධ්‍යවේදීන් පිරිසක් ඉහත වැඩ සටහන අනුව ඇමෙරිකාවේ ආරාධනය ලැබ මෙහෙ ඇවිත් සිටියහ. ඔවුන් රැස්ව සිටි ශාලාවේ තිබූ රූපවාහිනියෙන් World Trade Center වෙතට මුල් ගුවන් යානාව කඩා වදිනවා බලා සිටියහ. දෙවැනි ගුවන් යානාව කඩා වදිනවා දැකි සමහරු හිඳි ආසන වලින් නැඟිට අත් පොළසන් දුන්හ. සටහන අවසන නම ලියා ඇති පොතෙන් කතාව මුළුමනින්ම කියවත හැකිය.

රජුට හා ඒකාධිපතියන්ට හිස නොමා, ඒකීය පුද්ගලයාගේ නිදහස් අයිතිය අගයන සිතීම තමයි ‘තමන් විසින් තම වැඩය’ කරගත යුතු යන්න. ඔයා කියන පසුබෑම් ගතිය තියෙන්නෙ හැම දෙයක් ම අනුන් විසින් කර දිය යුතු යන අදහසේ එල්බ සිටින නිසා. තමන් විසින් තම වැඩය කරගන්නා අනුන්ගෙ ස්වාධීන අයිතිය ද අගයනවා. ඒකීය වූ පුද්ගලයාගේ දියුණුව ඔහු විසින් සලසා ගත යුතුය යන්නට හිස නමනවා. ඒ නිසාම තමයි අද දිනයේ පවා ඇමෙරිකන් ධනපතියෝ හම්බ කරන ධනය ගැන අපිට අහන්න ලැබෙන්නෙ. ඔබ කියන ‘අනුන්ට කරදරයක් වෙන්න වැඩ කරන්න එපා’ කියන රටේ ධනපතියෝ හම්බ කරන මුදල් ගැන ඒ ඒ රටවල Forbes වගේ වාර්තා පළ වෙන්නෙ නැත්තෙ ඇයි? ඇමෙරිකන් ජනාධිපතිගේ වාර්ෂික ආදායම් බදු වාර්තාව ලෝක ප්‍රසිද්ධයි. වෙනත් රටකින් එහෙම ආදායම් බදු වාර්තා ප්‍රසිද්ධ කරනවා ද?

//සදාම් තර්ජනයක් කියලා හිතුවා එහෙම නැත්නම් සදාම්ගේ තෙල් ටික වටිනවා කියලා හිතුවා. ගියා ගැහුවා ගත්තා. ඇමරිකානු ජනතාව නෙවෙයිනේ ඉරාකේ ඉන්නේ, ඉතින් ඒ චින්තනයට බාදාවක් නෑ. ඔසාමා ඇමරිකානු අභිමානයේ හදවතටම ගැහුවා, තාම ඒ හිත වේදනාවට එක පස්සේ පන්නනවා. තලිබාන් කාරයෝ ටික නිකන් ඉල්ලන් කෑවා ඔසමත් එක්ක සෙට් වෙලා.//

2011 සැප්තැම්බර් 11 වැනිදා අහිංසක ජනතාව 3,000 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් කිරීම ඇමෙරිකානු අභිමානයේ හදවතට ගැසීම යැයි ලෙස ද ඔබ හඳුන්වන්නේ?!!! එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නොදකිනවා ද?

//ගියා ගැහුවා ගත්තා// කියන ඔබ ඉරාකයට ගහලා ඉරාකයේ තෙල් ඇමෙරිකාව පාවිච්චි කරනා ආකාරය පෙන්වා දෙන්න. 2009 දෙසැම්බරයේ ඉරාක තෙල් වෙන්දේසියේ දී රුසියාව තමයි වඩාත් ම විසාල හා දිගු කාලීන තෙල් ගිවිසුම් ලබන්නේ. ඊ ළඟට යුරෝපීයයන් විසින්. තතු හරි හැටියට නොසොයා අනුන් කියනා දේ හැමට පැහැදිලි සත්‍යයක් සේ කියන්නට යාම කියවන්නාගේ ඥානයට නිගාවකි.

ඉරාකයට පහර දීමට මමත් විරුද්ධ වුනා ඒ සටන් පටන් ගන්නටත් පෙර. නමුත් ඔබ කියන යම් රටක ඇමෙරිකන් විරෝධී චින්තනය පැතිර යෑම නිසා ඇමෙරිකාවට අවදානමක් ඇති වේ යන සරල පිළිගැනීම නිසා නොවේ. එසේම සදාම් තම විරුද්ධවාදීන් හා අකමැති ආගමිකයන් මරණ ත්‍රස්තවාදියෙක් නිසාත් නොවේ.

ඇමෙරිකන් නිදහස් විප්ලවය නිසා පටන් ගත් ප්‍රංශ විප්ලවයට එදා ඇමෙරිකාව සහාය වුනේ නැහැ. ඔවුන් ඉදිරිපත් කළ එකම හේතුව යම් රටක ඇතුලේ වැඩ වලට අත ගහන්න ඕන නැහැ කියන මතය. ඇමෙරිකාව සිටි ඒ ස්ථාවරයට අපි නැවත යා යුතුය යන්න මගේ දැඩි කැමැත්ත නිසා.

//ලිබියාවත් එක්ක ඇමරිකාවට ගහන්න ලොකු හේතුවක් තිබ්බේ නෑ. තිබ්බනම් එකම දේ ලොකර්බි ගුවන් අනතුර. එකත් ලොකුවට දැනුනේ ස්කොට්ලන්තෙට මිසක් ඇමරිකාවට නෙවෙයි. නමුත් ලිබියාවත් තෙල් තියෙන රටක්. ගහල අල්ලගත්තොත් ලාභ ලබන්න පුළුවන් රටක්. අනික තියෙන තැන අනුව අප්රිෙකා මහාද්වීපයට බලය පතුරවන්න පුළුවන් වගේම යුරෝපයත් ගොඩක් ලගයි.//

මගේ සටහනේ දාපු ලිබියානු තෙල් ගැන සිතියම බලන්න. ලිබියාවේ තෙල් ඇමෙරිකාවට වඩා අවශ්‍ය අනිත් යුරෝපීය රටවල් දිහා ඔබ නොබලා ඉන්නේ ඇයි?

ඉරාකයේ තෙල් ලාබ ලද විදියට ම ද ඇමෙරිකාව ලිබියාවේ තෙල් ලාබ ලබන්නේ?!!!

එසේම, අප්‍රිකා මහා ද්වීපයට ඇමෙරිකාව කරන බලපෑම් මොනවා දැයි විස්තර කියන්න.

යුරෝපයට ‍ගොඩක් ළඟයි යනුවෙන් අදහස් කරන්නෙ ඇමෙරිකාව ඊ ළඟට යුරෝපයටත් බලය පතුරවන්න යනවා දැයි කියන්න ද?

//අර ඊජිප්තුවේ හිටපු සෙට් එකක් දගලලා රටේ ජනදිපතිව එලව ගත්තම අනිත් ඔක්කොම රටවල් හිතුවා අපිටත් එහෙම කරන්න පුළුවන් කියාල. වැඩිය ඕනේ නෑ අපේ ජෙප්පොත් හිතුවා. ඉතින් ටියුනිසියාවේ ගහගන්න පටන් ගත්තා. එච්චර වටිනා රටක් නෙවෙයි. කවුරුවත් වැඩිය ගණන් ගන්නේ නෑ, යේමන් වල ගහගන්නවා. යෙමනුත් දැනට ලොකු අවුලක් තියෙන රටක් නෙවෙයි, බහරේන් වල පටන් ගත්තා. එහෙ ඉන්නේ ඇමරිකාවට ෆුල් සපෝර්ට් රජෙක් ඉතින් එක්ව මරාගෙන හරියන්නේ නැනේ. සෞදි අරාබියට කියලා හමුදාව දාල කෙරලි ගහපු උන්ව මැරුවා. ලිබියවෙත් පටන් ගත්තා කැරලි. පරණ කෝන්තර ඔක්කොම එකක් ඔන්න බ්රිලතාන්යනයි, ප්රතන්ශයයි එකතු වෙලා ගහනවා, ඇමරිකාවත් උදවු කරනවා.

මම ගදෆිවත්, අහමදජින්වත්, කෑස්ත්රෝය වත් හරි කියන්නේ නෑ. එයාලගේ වඩා අනුමත කරන්නෙත් නෑ. ඔය ත්‍රස්තවාදියා කියන වචෙනේ සාපේක්ෂ දෙයක්. ගඩාෆිට අනුව ඔබාමා ත්‍රස්තවාදියා මොක තමන්ට විරුද්දව ඉන්න කැරලි කාරයෝ ටිකකට උදවු කරන නිසා. ඔබාමට අනුව ගඩාෆි ත්‍රස්තවාදියා අහිංසක මිනිස්සු මරණ නිසා. ඒ වගේම රට ඇතුලේ කරන වැඩ නිසා ඔබාමා සමහර විට රටේ ජනතාවට ත්රාස්තවාදියෙක් වෙනවා. ඒ වගේම තමා අනිත් අප්රිේකානු රටවලට සාපේක්ෂව ලිබියාව හොද ආර්ථික තත්වයක් තියන්න ඉන්නවා. ඉතින් ගඩාෆි හොද මිනිහෙක් වෙනවා. ඔය වගේ ගොඩක් දේවල් කියන්න පුළුවන්.//

ත්‍රස්තවාදීයා යන්න තමන්ට කැමති පමණින් කෙනෙකු හඳුන්වන්න භාවිතා කරගන්නට නොහැකි ය. ත්‍රස්තවාදියෙක් යනුවෙන් හඳුන්වත හැක්කේ තමාගේ කැමැත්ත පිළිගන්නේ නැති අයව හා අරගලයකට සම්බන්ධ නැති අයව බියට හා මරණයට පමුණුවන අයෙකි.

මා ඔබාමා මත දැක්මට විරුද්ධ බව ප්‍රසිද්ධියේ කිව්වත්, ඔහුට ලියා යැව්වත් ඔහු තම මතය ගැන කියා ලිපියක් එව්වා මිසක මා හිරබාරයට දාන්න, දඬුවම් හා හිංසා දෙන්න හෝ මරණ තර්ජනයක් කර නැත!!

ඔබාමා රටේ නීතියෙන් මස් වෙළඳාමට, මත්පැන් වෙළඳාමට, අමු මිරිස් වෙළඳාමට තහනමක් නැති විට මස් වෙළඳාම, මත්පැන් වෙළඳාම, අමු මිරිස් වෙළඳාමට තහනම් දමා නැත.

පුද්ගල නිදහස අගයන්නා වූ බුදුන් දෙසූ ධර්මය පිළිපදින උගත් බෞද්ධාගමිකයන්ගේ සිත් වේදනා ඇති කරමින් බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධූ කියා පුදන ත්‍රස්තවාදියෙක් ඉන්නා රටක ‘අනුන්ට කරදරයක් වෙන්න වැඩ කරන්න එපා’ කියනා වැසියෝ නිදහස ගැන කුමක් දන්නේ ද?!!

//අනික ඔය ගහගන්න රටවල් බහුතරය මුස්ලිම් රටවල්, ඉස්ලාම් ආගමට අනුව හැදිච්ච මනසක තියෙනවා එයාල තමා උසස්ම අය අනිත් උන් වැඩක් නෑ කියලා. උන්ට ඇමරිකාව පෙන්නේ ක්රි ස්තියානි රටක් කියලා. අර මනස හිතන්නේ එයාල විතරයි ඉන්න ඕනේ කියලා. ඉතින් අනිත් ඔක්කොම මැරෙන්න ඕනේ, ලොකුම සතුරා තමා බලවත්ම රට, ඇමරිකාව. ඉතින් ඔය දෙක බොහොම ලස්සනට ගැටෙනවා.

එහෙම නැත්නම් දරුණුවට සමාජවාදී රටවල්. ඇමරිකාව කොහොමත් සමාජවාදයට විරුද්ද මානසිකත්වයකින් තමා ඉන්නේ. අර රටවලුත් එහෙමයි. මම මේ කියන්නේ සාමාන්යා ජනතාවගේ මනසින් නෙවෙයි. ඩිසිෂන් ගන්න ලෙවල් එකේ ඉන්න අයගේ ලෙවල් එකෙන්. ඉතින් ආයෙම ගැටීම තමා තියෙන්නේ.//

එතකොට දහස් ගණනක හින්දු පිරිසක් ඉන්දියාවේ අයෝධ්‍යා හි 1992 දී 16 වැනි ශ. ව. මුස්ලිම් පල්ලියකට කඩා වැදී එය සුන්නත් දූලි කර දැමුවේ ඇයි?

2001 දී තලිබාන් විසින් වසර 1,500 ක් පරණ Bamyan බුද්ධ ප්‍රතිමා ඩයිනමයිට් ගහලා විනාශ කළේ ඇයි?

හින්දු අය වාසය කළ ඉන්දියාව 2001 දී දරුණු සමාජවාදී රටක් ද? ක්‍රිස්තියානි රටක් ද? මුස්ලිම් බහුතරයක් සිටි රටක් ද? තලිබාන් අයට බුද්ධාගමේ ප්‍රතිමා දැක්කම සමාජවාදය මතක් කළා ද? ක්‍රිස්තියානි දහම මතක් කළා ද? ඔවුන් සියල්ලම //ඩිසිෂන් ගන්න ලෙවල් එකේ ඉන්න අයගේ ලෙවල් එකෙන්// නෙමෙයි කියා පැත්තකට දාමු ද?

//කොහොමත් අන්තිමට මට පෙන්නේ නම් අර පුටින් කියපු එකම තමා. මේ යන්නේ කෘසේඩ් එකක්. දෙපැත්තෙන්ම. මුන් ඔක්කොම ගෙනල්ලා ගේම් තියරි එක ඉගැන්නුවනම් සමහරවිට සහයෝගෙන් ඉන්න එක වැඩිය වාසියි කියලා තේරුම් ගනීවි. එතකන් අර ඉරාකේ වගේ සදාකල් ඇනකොටා ගැනිලි තමා.//

ඇයි පූටින් UN Resolution 1973 විරුද්ධව චන්දය ප්‍රකාශ නොකළේ?

//ඉතින් මට හිතෙන්නේ නම් ඔතන දෙපැත්තම හරි වගේම දෙපැත්තම වැරදියි. කොහොමත් දේශපාලනයේ සුදු, කළු කියලා පෙන්නුවට ඔක්කොම අළු පාටයි අඩු වැඩි වශයෙන්. අපි දාගෙන ඉන්න කණ්ණාඩියේ පාට අනුව අපිට ඒ කළු හෝ සුදු පාට හොදට කැපිලා පේනවා.//

මම දකින්නෙ ලිබියාවේ ගඩාෆි නම් වූ ත්‍රස්තවාදියා නිදහස් ඒකීය පුද්ගල අයිතිය පිළිනොගන්න, තම කැමැත්තට එරෙහි වන අය මරා දාන, මැරවරයෙක් හැටියට. ඔහු වැරදියි.

මම දකින්නේ ලිබියන් තියා වෙන කිසිම රටක් සමඟ වෙළඳ ගණුදෙනු හැරෙන්නට වෙනත් ගණුදෙනු අවශ්‍ය නැති බව.

ඊ ළඟට, මායිම් වහලා සරණගාතයන්ට ඇතුල් වීමට ඉඩ නොදී සිටීම. ඔවුන් හදාගත් නායකයෝ කරන වැඩ වලින් ඔවුන්ම ප්‍රතිඵල අත් දැකපුවාවේ.

USAID 2010 වසරේ දී ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදලින් එකතු කර බෙදා දුන්නු බිලියන 16 වගේ මුදල් ලෝකයාට බෙදා දීම වහාම නතර කරලා, සුනාමියක්, භූමි කම්පාවක දී රටේ ජනතාවගේ කැමැත්ත පරිදි ඒ ඒ පුද්ගලික අයට හා සංවිධාන වලට ඒ ඒ රටවලට උදව් කිරීමේ අයිතිය දෙන්න ඕනා.

බිල් ගේට්ස් වැනි අය කරන වැඩ සටහන් වලටත් බදු ගැසීම. ඔහු අප්‍රිකාවේ මැලේරියා මර්දනය සඳහා බිලියන ගණන් වියදම් කරනවා. එයාගෙ වැඩ සටහන් හරි ගියොත් මිලියන දස ගණනින් අද මිය යන දරුවන් හෙට දිනයක දී වැඩිහිටි ජීවිත ගෙවන්නට වරම් ලබයි. නමුත් ඒකත් ඇමෙරිකන් බලය පැතිරීමක් කියන්න ඉඩ තියන නිසා අඩු ගානේ බිල් ගෙන් අපි බදු ටිකක් වත් අය කරගන්න ඕනා!!!

ලෝකයේ අනිත් රටවල් වලට බෝම්බ දාන්න යන්න ඕන නැහැ. අල්ලස් දෙන්න යන්න ඕන නැහැ. ඔවුන්ට තමන්ගෙ පාඩුවේ ඉන්න දෙන්න ඕනා.

හිතට සනීප බොරු බැහැර ලා ශෝකාන්විත සත්‍යයට මුහුණ දීමට කාලයයි -Time to face tragic truth and dispel feelgood falsehood. (සංකල්පය John Derbyshire ලියූ We are Doomed නැමති ග්‍රන්ථයෙනි.) කැල්ගෙ කාටූනය පෙබරවාරි 26 දින The Economist සඟරාවෙනි.

මහා දානපතියෝ ද? දේශපාලන රූකඩයෝ නටවන්නෝ ද?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 10, 2010

මුදල් නැතිව දේශපාලනය කරන්නට බැරිය. එහෙත් මුදල් තිබුණු පමණින් දේශපාලන‍ ජය අත්පත් කරන්නට ද බැරිය. තමන්ට මුදල් දෙන අයගේ ඉල්ලීම් අහක දමන්නට ද බැරිය. එහෙත් තමනට මුදල් ලැබෙන්නේ තම මත හා එකඟ හෝ සානුකම්පික අදහස් ඇති අයගෙන් වීම වසන් කරන්නට ද බැරිය.

පරිත්‍යාගශීලීත්වය අගයන සමාජය ලොව හැමදාම තිබිණ. අද අමුතුවෙන් ඒ ගැන පොත් පළ වූවාට, බිල් ගේට්ස් හා වොරන් බෆට් තම වස්තුවෙන් භාගයක් දන් දෙන්නට සුපිරි ධනවතුන් කැමති කරවා ගැනීම ගැන ප්‍රවෘත්ති ලියවුනාට එය අමුතු අදහසක් නොවේ. එදාට වඩා මුදල් වලින් බොහෝ දේ මණින ලොවක මේවා ක්‍රමයෙන් අගට එකතුවන බිංදු ගණන ගැන කියන ආවේගාත්මක බයිලා පමණි.

“ඇමෙරිකන් සිහිනය” හෙවත් ඕනෑම තරාතිරමක අයෙකුට මහා බිලියනපතිවරයෙක් වන්නට හැකියාව ඇති දේශපාලන වාතාවරණ ඇති රටවල් ලොව අල්පයකි. අද කොමියුනිස්ට් චීනයත් එයට දායක වීම මෑතක දී චීනයේ බිහිවූ චැන් ගුවාන්බායෝ වැනි ධනවතුන් දිහා බලන කල පෙනෙයි. දුප්පත් අයෙක් ධනවත් වීම නිසා දුප්පත් කාලයේ විඳි ගැහැට අමතක වී නොයයි. ඒ නිසාම උරුමයෙන් නොව තම වෑයමින් ධනවත් වූ බොහෝ අය තම ධනය පරිත්‍යාගයට යුහුසුළුය.

පරිත්‍යාගශීලී බව නොමඳ කාඩැසියන් කුමරියන් හෝ පැරිස් හිල්ටන් වැනි අයට මුදල් යනු කුමක්දැයි නිවැරදි වැටහීමක් නැත. එවැනි අය තවමත් සිටින්නේ අතලොස්සකි. ඔවුනට වඩා ඉහළින් හා බහුලව සිටින්නේ තමන් විසින් තම වස්තුව උපයා ගත් ධනවත් පිරිසකි. නමුත් ජනමාධ්‍ය හා සාමාන්‍ය ජනතාවගේ දැක්ම හුරුව ඇත්තේ වස්තුව ඇති ධනවතා දිහා වපර ඇසින් බලන්නටය. මෙය අතීතයේ පටන් එන සිරිතකි. මන්ද එකළ කොල්ල කා හෝ උරුමයක් නොමැතිව පුද්ගලයෙකුට ධනවතකු වන්නට හැකියාව නොතිබි නිසාය. අද දවස එසේ නොවූවත් ඒ ගැන අපගේ චින්තනය වෙනස් වී නැත.

කාඩැසියන් කුමරියන්ට, පැරිස් හිල්ටන්ට හා බ්‍රිතාන්‍ය මහ රැජිනට කිසිත් නොකියන අප “විසල් තෙල්” හා “විසල් ආයතන” හා “කර්මාන්ත ගොවිපල” වලින් ධනය උපයාගත්තෝ හෑල්ලු කරන්නට පෙළ ගැසෙමු. කාඩැසියන් කුමරියක් සමරිසියන් සඳහා වස්තු දානය “හොඳ” යයි සලකමු. පැරිස් හිල්ටන් කුඩා දරුවන් වෙනුවෙන් ද, මහරැජින ආබාධිත අය වෙනුවෙන් ද කරන පරිත්‍යාගශීලී ක්‍රියා අගය කරමු. එහෙත් තම වෙහෙසින් දුප්පත් බව ජයගෙන බිලියනපතිවරයෙක් වී තමන් අගයන ගති පැවතුම් ඇති පිරිසකගේ වෑයමකට කරන පරිත්‍යාගය විවේචනය කරමු. කල්පනා කර බලන්න, ඉහත සියල්ලම නීති විරෝධී නොවන දානමය ක්‍රියාවන්ය. එහෙත් එකක් “හොඳ” යයි කියන අප අනික “හොඳ නැහැ” යයි කියන්නේ ඇයි?

බිල් ගේට්ස්, වොරන් බෆට්, චැන් ගුවාන්බායෝ හා ජෝර්ජ් සොරොස් වැන්නෝ සිය වස්තු කන්දරාව පරිත්‍යාග කරන්නේ තමනට උවමනා විදියටය. අප්‍රිකාවේ ඒඩ්ස් රෝගය ජයගන්නට බිල් ගේට්ස් අරමුදල දැනටමත් දානය කරන ලද මුදල අතිමහත්ය. එහෙත් මෙවසරේ දී අප්‍රිකාවට කොන්ඩොම් බිලියනයක් අවශ්‍ය යයි කීම හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අතර කිසිම “හොඳ නරකක්” කිසිවෙක් කතා කළා ද? තම රටවැසියන් ණය බරින් මිරිකී ඉන්නා කල බ්‍රිතාන්‍ය ඔවුනට කොන්ඩොම් මිල දී ගන්නට පවුම් මිලියනයක් පරිත්‍යාග කිරීම එරට බදු ගෙවන වැසියෝ කැමැත්තෙන් කරන ලද්දක් ද? තවත් රටක වැසියන්ට මරණය ගෙන දෙන රෝග වැළඳීම සිතට දුක් ගෙන දුන්න ද ඊට හේතුව ඔවුන්ගේ ලිංගික හැසිරීම යයි අවබෝධයක් ලබා දීම මිස තව තවත් ඊට හවුල් වන්නට කොන්ඩොම් බෙදා දීම පිළියමක් වන්නේ කෙසේද?

ජෝර්ජ් සොරොස් හංගේරියාවේ උපන්, එංගලන්තයේ උගත්, ඇමෙරිකන් හා බ්‍රිතාන්‍ය කොටස් වෙළඳපලින් සිය සුපිරි ධනවත් බව ලබාගත්තෙකි. ඔහු ලෝකය පුරා දේශපාලන නිදහස් අරගල සඳහා සිය ධනය පරිත්‍යාග කරයි. 70 ගණන්වල අප්‍රිකාවේ අපාතීඩ අරගල වලින් පටන් ගෙන මෑතක වූ ජෝර්ජියාවේ රෝස අරගලය දක්වා ඔහුගේ දේශපාලන දානමය කටයුතු පැතිර ගියේය. නොබෝදා ඔහු නිව් යෝර්ක් නගරයේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇති Human Rights Watch වෙත ඩොලර් බිලියනයක පරිත්‍යාගයක් කළේ ලෝකයේ මානව අයිතීන් ආරක්ෂාවටය. මේ පරිත්‍යාගයෙන් ඔහු කරන අභියෝගය නිසා තවත් ඩොලර් බිලයනයක පරිත්‍යාග ලබන්නට Human Rights Watch හැකියාව පෑදේ. එහෙත් ඔහුගේ කටයුතු ගැන කිසිත් “නරක” නොදකින නිව් යෝර්ක් සඟරාව බිලියනපති කෝක් සහෝදරයෝ කරන පරිත්‍යාග වල “නරක” ලියති.

තමන්ගේ ධනය තමන්ට රිසි සේ බෙදා දෙන්නට නොහැකි ද? තමන් විශ්වාස කරන දැය නංවා ලන්නට බිල් ගේට්ස්, වොරන් බෆට් හා ‍ජෝර්ජ් සොරොස්ට ඇති අයිතිය කෝක් සහෝදරයන්ට අපි නොදෙන්නේ ඇයි?

ඇමෙරිකාවේ යමක් වසන් කිරීම ඉතා අපහසුය. පැත්තට ලැදි මාධ්‍යය වුවත් යටිමඩි ගහන්නට තැත දරන තොරතුරු පසුපස හඹා යන්නේ සත්‍යය කවදා හෝ එළියට එන බව දන්නා නිසාය. තේ පාටි සංවිධානයේ එකමුතු එකම වූ සංවිධානයක් නැත. තේ පාටි දේශප්රේයමියෝ, තේ පාටි සීඝ්‍රගාමීය, තේ පාටි ජනකාය යනාදී මූලික සංවිධාන ද, ඒ හැරුණු කොට එය තවත් සංවිධාන ගණනාවක එකතුවකි. මෙම සංවිධාන සියල්ලේම මුල් පුටුව හොබවන එක් අයෙක් නොමැත. එයම එහි සුවිශේෂිත්වයයි. ඔවුන් සියල්ලගේම බලාපොරොත්තු විවිධාකාර වූවත් ඔවුනතර දුවන ඒකීය වූ ලක්ෂණය නම් ආණ්ඩුව කුඩා ප්‍රමාණයකට නැවත ගෙන ඒමය. ඇමෙරිකන් සිහිනය සැබෑ වන්නට ඇති අවස්ථා අඩු කරමින් ආණ්ඩුව ක්‍රමයෙන් විශාල වී (ජෝර්ජ් බුෂ් ද ඊට දායක වූවෙකි) අද එහි බරින් ජනතාව හෙම්බත්ව සිටිති.

ඇමෙරිකාවේ චන්ද කටයුතු සඳහා වැය කරන මුදල් ගැන අයවැය වාර්තා තැබීම නීතිමය රෙගුලාසියකි. සොයන්නට කාලය ඇත්තෝට කවුරු කොපමණක් මුදල් කාට දුන්නාට ද කියා සොයා ගන්නට පුළුවන. ඒ නම් පසුපස ඉන්නා හැඟවුන අමුත්තෝ කවුදැයි කියා නම් සොයාගැනීම පහසු නැති වුවත් අද දිනයේ ඊට කැප වූවෝද නොමඳය.

තේ පාටි සීඝ්‍රගාමීයේ දේශපාලන ක්‍රියාකාරී කොමිටිය Our Country Deserves Better PAC නමින් පෙනී සිටින්නේ ය. මෙවැනි දේශපාලන ක්‍රියාකාරී කොමිටි ඒ ඒ සෙනෙට් හා කොන්ග්‍රස් සභිකයන්ට කරන පරිත්‍යාග ගැන විස්තර පසුපස යාම ජනමාධ්‍ය වල හැදියාවය. එහෙත් විස්තර පල කිරීම බොහෝ විට පැත්තට නැඹුරු වන වැල් වටාරමකින් ලියැවේ.

දත්ත පෙන්වන OpenSecrets.org දක්වා ඇති පරිදි 2010 දී ඔබාමාගේ රජයට වඩාත්ම මුදලක් පරිත්‍යාග කර ඇත්තේ නීතිඥයෝ, සෞඛ්‍ය සේවාදායකයෝ, කොටස්වෙළඳ පල ගණුදෙනු කරුවෝ, නිවාස ගොඩනැඟිලිකරුවෝ හා රක්ෂණය විකුණන්නෝය. ඔහුගේ නව නීති දිහා බලද්දී මුදල් වලින් ක්‍රියාදාමය වෙනසකට භාජනය නොවේ යයි කෙසේ කියත හැකිද?

ඊ ළඟට පුද්ගලයකුට නොව පොදුවේ යම් අරමුණක් අරභයා නායකත්වය දෙන දේශපාලන ක්‍රියාකාරී කොමිටියන් (political action committees -PAC) ද ඇත. මේ මුදල් පරිත්‍යාග දිහා බලද්දී 2010 දී ඩෙමොක්‍රැටික් පක්ෂයට $12,266,031 හා රිපබ්ලිකන් පක්ෂයට $12,105,586 මෙවැනි ක්‍රියාකාරී කමිටු 348 ක් මඟින් මුදල් පරිත්‍යාග කර ඇත.

ඩෙමොක්‍රැටික් පක්ෂයට රිපබ්ලිකන් පක්ෂයට වඩා වැඩියෙන් මුදල් පරිත්‍යාග ලැබී ඇත. රිපබ්ලිකන් පක්ෂය ගැන ඇති අමනාපය නිසා ජනතාව එයට මුදල් තව දුරටත් පරිත්‍යාග නොකරනවා ඇත. එසේම ලිබටේරියන් අදහස් ඇති කෝක් සහෝදරයෝ දෙදෙනාත් රිපබ්ලිකන් පක්ෂය ගැන ඇති කළකිරීම නිසා තම පරිත්‍යාග තේ පාටි සංවිධාන වලට දෙනවා ඇත.

මයික්‍රසොෆ්ට් ආයතනයට ඩෙමොක්‍රැටික් පක්ෂයට මුදල් පරිත්‍යාග කිරීමට ඇති අවසරය කෝක් සහෝදරයන්ට තේ පාටි සංවිධානයන්ට මුදල් පරිත්‍යාග කිරීමට නැත්තේ ද?

තේ පාටි සංවිධානය තනිකරම තෙල් සල්ලි වලින් ගොඩනැඟුන සංවිධානයක් යයි කීම රටේ දේශපාලන තත්වය නොදන්නා අයෙකුගේ බහකි. මුදල් විසි කිරීමෙන් දේශපාලන ජයක් නොලද සුප්‍රසිද්ධ මහා ධනකුවේරයා වූයේ ස්ටීව් ෆෝබර්ස්ය. ඔහුගේ දේශපාලන අරමුණු ද අද තේ පාටි සංවිධානවල හඬ නඟනා අදහස් වලින් වෙනස් නොවීය. නමුත් ඔහුගේ රැස්වීම් අහන්නට ජනතාව රොක් වූයේ නැත. මුල් තේරුම් වටයෙන් නාම යෝජනාවක් ලබා ගන්නටවත් ඔහු සමත් වූයේ නැත. සල්ලි වලින් ජනතා හදවත් දිනන්නට නොහැකිය. කෝක් සහෝදරයෝ දෙදෙනාට තෙල් මුදල් පරිත්‍යාග කළ පමණින් යම් අරගලයක ආරම්භයක් පටන් ගත නොහැකිය. දහස් සංඛ්‍යාත පුද්ගලයෝ එක් රොක් වන්නේ තමන්ට ද යම් අවබෝධයක්, අප්‍රසාදයක් ඇති වූ නිසාය.

නිදහස යනු මාක්ස්වාදියාට හෝ කොමියුනිස්ට්වාදියාට හෝ ප්‍රජාතන්ත්‍රවාදියාට හෝ ලිබටේරියන්වාදියාට කැමති අරගලයට කැමති මුදලක් පරිත්‍යාග කරත හැකියාවයි. එසේම ටෙරී ජෝන්ස්ට කුරානය පිළිස්සීමටත්, ඉරානයේ අයට ඇමෙරිකන් කොඩිය හෝ ක්‍රිස්තියානි බයිබලය පිළිස්සීමටත්, අල් කයිඩාට ඇෆගනිස්තාන් බුදු පිළිම විනාශයටත් ඉඩකඩ තිබීමයි. නිදහස යනු ඒවා නොහොබිනා කම් දැයි කතාබහෙන් අපට කිසිත් ජීවිත, සාමජයීය හෝ ආර්ථික හානි නොවීමය.

ප්‍රංශ සවාරිය, රොබට් බර්ඩ් සහ තිරිඟු ව්‍යසනය

Posted in Uncategorized by arunishapiro on ජූලි 8, 2010

ප්‍රංශ සවාරිය ආරම්භයේ දීම තරඟකරුවෝ තුවාල ලැබූහ. සවාරිය ජයගන්නට හැකියාව තිබූ සමහර අයට තරඟයෙන් ඉවත්වන්නට ද සිද්ධ වුණි. ඇමෙරිකාවේ රූපවාහිනියෙන් නරඹන්නට හැකි ක්‍රීඩා තරඟවලින් වඩාත්ම ආකර්ශණීය ලෙසින් ඉදිරිපත් කරන වැඩසටහන ප්‍රංශ සයිකල් සවාරිය බව මගේ මතයයි. ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සමඟ සයිකල් පැදි මගේ ඥාති පුත්‍රයා මේ ඉරිදා දිනයේ වොෂිංටනයේ පාපැදි සවාරියක තරඟ වදියි. අංක 24 Guy East ට ජය වේවා!

ටෙනිස් නිවේදකයෝ බොහොමය මෙන්ම ප්‍රංශ සවාරියේ නිවේදකයෝ සෑම දෙනෙක්ම පාහේ ක්‍රීඩාවේ හිටපු තරඟකරුවෝය. සමානකම් එතැනින් නවතී. ටෙනිස් ක්‍රිඩා නිවේදකයෝ දුර්වලම වූ ප්‍රචාරය දෙන්නෝ වෙති. ඒ නිසා ටෙනිස් තරඟ සජීවිව නැරඹීම වෙනුවට පසු ප්‍රචාරයන් මා නරඹන අවස්ථා බොහෝය. මන්ද එවිට වැඩ සටහන මෙහෙයවන්නේ වෙනත් පිරිසක් බැවිනි. සජීවී ලෙසින් බලන්නට නම් එක්කෝ තරඟ පිටියට යමි. නැතිනම් හඬ නිවා දමා තරඟය නැරඹමි. දෙවැන්නේ එකම අඩුපාඩුව එවිට ටෙනිස් බෝලය පිත්තේ හා පිටියේ වැදෙන හඬ ද නැතිව යාමයි.

පාලිත පෙරේරා මගේ පියාගේ හිතවතෙකි. මම කුඩා කාලයේ ඔහු අප නිවසට ද ආ ගිය කෙනෙකි. පාලිත පෙරේරාගේ ක්‍රිකට් නිවේදනයන් ක්‍රිකට් පිස්සුව නැති මා වැන්නෝ ද රස වින්ඳහ. 1963 වැනි අතීතයක දී ලාංකික ක්‍රීඩා ලෝකයට ස්වකීය වූ නිවේදන ශෛලීය එකතු කරමින් “දැවී ගියා”, “කඩුල්ල” වැනි වචන ඔහුගේ නිර්මාණ වූ බවත් “නොයිඳුල්” ඕවරය (දැන් කියන්නේ මහාචාර්ය විනී විතාරණට අනුව “නි-ලකුණු” ඕවරය කියාය) කරුණාරත්න අබේසේකරයන්‍ ගෙන් බවත් සිළුමිණ පත්‍රයේ පළ වූ ලිපියකින් කියැවේ. සිළුමිණේ පළ වූ එම ලිපියේම සඳහන් පරිදි පාලකයෝ විසින් කරන බලපෑම් නිසා තමාගේ නිවේදන ශෛලිය වෙනස් කරන්නට සිද්ධ වූ අවස්ථාවක් ඔහුගේම වදනින් මෙසේය.

“ඔය අතරේ ගුවන්විදුලියේ බලධාරිනුත් අපිට පාරිභාෂික වචන කීපයක් දුන්නා, ඒවා කියන්න කියලා. ‘ස්ලිප්’ ’(Slips) කියන වචනයට අපිට කියන්න කිව්වෙ ‘ලුහුට්ටා’ කියලා. ඉතින් ඒ අනුව දවසක් මම තරඟයක් විස්තර කරගෙන ගියා.

“වැට රකින්නා ළඟින්ම ලුහුට්ටන් පේළියක් ඉන්නවා. පළමු ලුහුට්ටා, දෙවැනි ලුහුට්ටා, තුන්වැනි ලුහුට්ටා… දැන් මෙන්න ලුහුට්ටන් අතරින් පන්දුව ලුහුටලා හතරේ සීමාවට යනවා.”

“ඕක අහගෙන හිටපු නරඹන්නන් මට ‘හූ’ කියන්න පටන් ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාව නොදැන හදන වචන වලින් ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”

පාලකයෝ විසින් තමන් දන්නවා යයි සිතා කරන වැරදි ක්‍රියා මාර්ග බොහොමයකි. පුද්ගලික ආයතනවල රැකියා අහිමිවන්නට හේතුවන ක්‍රියා පටිපාටි ආණ්ඩුවක් මඟින් කරද්දී ඒ අයට බලපාන්නේ නැත්තේ ඇයි? අපි පුද්ගලික සමාගම් වලින් වගකීමක් බලාපොරොත්තු වුවද නිතරම ආණ්ඩු කරන වරද වලට සමාව දෙන්නේ ඇයි?

දේශපාලනයට කත් අදින්න අකැමති බව නිසා තැනක් නොලැබුණු පාලිත පෙරේරා දැන් ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා ගිහින්ය. වයසට ගියවිට තරුණ කැළට තැන දීම මනා බව මහත් උජාරුවෙන් කියනා අය ආණ්ඩුවල නායකයෝ වයසට පත්වෙද්දී බලයේ ඉන්නා බ්‍රිතාන්‍යයේ මහ රැජින, කියුබාවේ නායකයා වූ ෆිඩෙල් කැස්ත්‍රෝ, රුසියාවේ ව්ලැඩමියර් පූටින් වැන්නන් ගැන කිසිත් වරදක් නොදකිති.

පසුගියදා ඇමෙරිකාවේ වයෝවෘද්ධ සෙනෙට් සභිකයෙක් අභාවයට පත්විය. රොබට් බර්ඩ් වයස 92 වී මරණයට පත්වෙන තෙක් බලයේ සිට ඇමෙරිකන් ඉතිහාසයේ වඩාත්ම දිගු කාලයක් සේවය කළ සෙනෙට් සභිකයා හා කොංග්‍රස් සාමාජිකයා වූයේය. එසේ දිගු කාලයක් මුදුන් පෙත්තක සිටියාට වරදක් නැත්තේ එවැන්නා කරන්නේ මහජන සේවය යයි කියා ගන්නා නිසාද?

රඟපාන්න බැරි වුවත් චිත්‍රපටි බොහොමයකට රිංගාගත් පමණින් ජනතාව ප්‍රිය කරන නළු නිළියෝ එපමණය. ඈෂ්ටන් කුචර්ට මිලියන පහක ට්විටර් යහළුවෝ සිටිති. නමුත් ඔහුගේ රංගනය ගැන පසසන අයෙක් සිටිත් ද? ජනප්‍රියත්වය පමණක් කොයිතරම් ලොකු ආයුධයක් ද?

ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන් එක් කාලයක ජීවත් වූයේ අප පදිංචිව සිටි නිවසට අල්ලපු නිවසේය. ඔහුගේ “ඔබට ජය ශ්‍රී, මම ධර්ම ශ්‍රී” යන වැඩසටහනින් පසු සමුගන්නා ආශීර්වාදය එකළ සිංහල සේවයට ඉතා කලාතුරකින් සවන් දුන් අයකු වූව ද මගේ මතකයෙන් කිසිදිනෙක බැහැරව නොයයි.

ඇමෙරිකන් ටෙනිස් ක්‍රීඩා නිවේදකයකු වන Dick Enberg ගේ වඩාත්ම සුපතළ කියමන “Oh, my!” වූයේය. Enberg ට ටෙනිස් ක්‍රීඩා ලෝකය ඔහුගේ නිවේදන හැකියාව අගැයීමට විශේෂ සමරු උත්සවයක් පැවැත්විය. එහෙත් පාලිත පෙරේරා හා ධර්ම ශ්‍රී වික්‍රමසිංහ වැන්නන්ට ලංකාවේ අයගෙන් වැඩි අගයක් ලැබුණා ද?

අපි බොහෝ අවස්ථාවල අගැයිය යුත්තන් අගය නොකරන්නේ මන්ද? අගය කරන්නට තරම් නොවූ අයට මහත් ප්‍රසිද්ධියක් හා තෑගි බෝග හා සම්මාන දෙන්නේ ඇයි?

ධනවත් අයට ඇති නොකැමත්ත සේම ක්‍රීඩා තරඟයකින් නිතරම ජය ගන්නා ක්‍රීඩකයා ද පරදිනවා දකින්නට බොහෝ නරඹන්නෝ කැමතිය. එසේම නළුවෝ (රඟපාන්න හැකි හා නොහැකි) මෙන්ම වැඩක් කරන හා නොකරන දේශපාලනඥයෝ ධනවත් වූවාට කිසිත් නොකියන්නෝ වෙනත් මාර්ගවලින් ධනවත් වන අයට, ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය ලබන අයට අප්‍රසාදය දක්වති.

ඕනෑම ක්‍රීඩා තරඟයක දී කිසි දිනෙක දිනා නොමැති පිළට මෙන්ම අළුතින් නැඟ එන ක්‍රීඩකයා පසුපසින් ද පෙළ ගැසී දිරි දෙන නරඹන්නෝ ඒ පිළ හෝ ඒ ක්‍රීඩකයා මුදුනට නැඟි කල ඔවුන්ව හැර දමා යති. නමුත් වෙනත් ක්ෂේත්‍රවල මුදුන් හිනි පෙත්තේ සිටිනා අයට දෙන කැපිල්ල ඉහළට නැඟගත් නළුවන්ටත් දේශපාලනඥයන් වෙතටත් නොදක්වන්නේ ඇයි?

මා අගයන වීර මනුෂ්‍යයෝ අතරින් අයෙක් වන නෝර්මන් බෝර්ලාවුග් අභාවයට පත්වූයේ වයස අවුරුදු 95 දීය. රොබට් බර්ඩ් වෙත වූ සැලකිලි හා පුද සම්මාන සාම තෑග්ග දිනුවත් නෝර්මන් බෝර්ලාවුග්ට නොලැබුණි. බෝර්ලාවුග් නොබෙල් සාම තෑග්ග දිනුවේ 1970 දීය. ඒ කාලේ නම් සාම තෑග්ග වැඩක් කරපු අයෙකුට දුන් සමයක් බව නිසැකය!

මගේ බ්ලොග් පෝස්ට් එකකට ලියූ කොලූගේ ප්‍රතිචාරය මෙහිදී මතකයට නැඟුණි. අද ලෝකයේ ධනවතුන් වැඩි වී ඇත්තේ ඇයි? උත්තරය කෙටියෙන් කිව්වොත් නෝර්මන් බෝර්ලාවුග් වැනි අය නිසාය. තිරිඟු වගාවේ ව්‍යසනය නම් ඊට වැළ‍ඳෙන නැටි මළකඩයකි (Puccinia graminis). “මළකඩ කිසිවිටෙක නිදියන්නේ නැත” යයි කියූ බෝර්ලාවුග් තිරිඟු මළකඩයට ගොදුරු නොවෙන ජානුවක් Sr31 සොයාගත්තේය. ජානු ඉංජිනේරු මාර්ගයකින් නොව හරස් උත්පාදනය (cross breeding) නොහොත් දෙමුහුන් කර (?) සොයා ගන්නා ලද්දකි. එයින් ලෝකයේ තිරිඟු වගාවේ සාර්ථකත්වයෙන් මිලියන ගණනින් මනුෂ්‍යයන්ගේ සාගතය නිවන්නට තනි පුද්ගලයෙක් සමත් විය.

අද නැවතත් පරිණාමය වන තිරිඟු නැටි මළකඩ හිස ඔසවා ඇත. නිදිනොයන මළකඩය අප්‍රාණික කර තිබූ කාලය අවසන් වේගන යමින් පවතී. එක බාධකයක් වෙනුවට බාධක සමූහයක් සොයන්නට බිල් ගේට්ස් පදනම සමඟින් පැළෑටි වවන්නෝ එක්ව නැටි මළකඩයට එරෙහි සටනක් දියත් කර ඇත. ව්‍යසනයක් පැමිණෙන්නට පෙර ඒ ගැන වෙහෙසෙන්නේ දේශපාලනයේ නොයෙදෙන අයයි. දේශපාලනඥයෝ ව්‍යසනය පැමිණි පසු තමනට එයින් ලකුණු දා ගන්නේ කෙසේදැයි විමසන අයයි.

බෝර්ලාවුග්ගේ ශිෂ්‍යයෙක් වන William Wagoire 1998 දී නිරිත දිග උගන්ඩාවේ නැවතත් නැටි මළකඩය හිස ඔසවන බව දුටුවේය. අද දිනයේ Ug99 හැඳින්වෙන මළකඩ රෝගය සුළඟින් හමා ගොස් කෙන්යාවට හා ඉතියෝපියාවට ද අනතුරුව යෙමෙන් රාජ්‍යයටත්, දකුණු අප්‍රිකාවටත් ගොඩවැදී ඇත. මේ වනතුරු තිරිඟු වගාවේ යෝධයින් වන චීනය, ඉන්දියාව, ඇමෙරිකාව හා රුසියාවට රෝගය තවම ළඟා වී නැත. එහෙත් අනතුර ළඟාවෙන තෙක් නොසිට ගැලවෙන මාර්ග සොයන්නට කිසිත් ජනප්‍රියත්වයක් නොලැබ වෙහෙස වන්නෝ නොමඳය.

පාන් අත ළඟටම ගෙන දෙන තෙක් බලා සිට පාන් මිල ගණන් ගියා යයි අවලාද කියන අය අපට කන්න පාන් හදන තිරිඟු නිෂ්පාදනයට ඇති මේ උවදුර ගැනත්, එය ජයගන්නට සටන් වදිනා විද්‍යාඥයෝ පිරිස ගැනත් පොඩ්ඩක් කල්පනා කළ යුතුය. දේශපාලනඥයාට කරත හැක්කේ කුමන හෝ විජ්ජාවක් පා පාන් මිල පාලනය කිරීම පමණි. එහෙත් තිරිඟු පැළෑටි ලොවෙන් වඳ වී ගියොත් ධනවත් අය කෙසේ වෙතත් දේශපාලනඥයෝට ද පාන් කියනු නොහැකි වෙයි ද?

තිරිඟු නැටි මළකඩ පිළිබඳ විස්තර 2010 ජූලි 3 “ද ඉකොනොමිස්ට්” සඟරාවේ පිටු 14-16 හා 57-58 ඇසුරෙනි.

දානය, දානපතියා හා ධනවතා

Posted in Uncategorized by arunishapiro on ජූලි 2, 2010

ලෝකයේ ඇමෙරිකන් ඩොලර් මිලියනකට වඩා වත්කම ඇති අය (ලංකාවේ අය ද ඇතුළුව) අතේ පයේ ඇඟිලිවලට වඩා පෞද්ගලිකව දන්නා හඳුනන බව මෙම ලිපිය කියවා ඒ ගැන කල්පනා කරද්දී පෙනී ගියේය. ඒ බොහොමයක් අය තුලින් අද දිනයේ දිස්වන්නේ නුරුස්නා ගතියකි. මව්පිය උරුමයෙන් මෙන්ම තමන් විසින්ම උපයාගත් මුදලින් ධනවත් වූ‍වෝ මේ අය අතර සිටිති. දේශපාලනයෙන් ධනවත් වූවෝ ඒ සලකා බැලීමට ඇතුලත් නොමැත.

Dish Network පටන්ගත් Charlie Ergen ටෙනසි ප්‍රාන්තයේ Oak Ridge නගරයේ උපන් ටෙනසි විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබුවෙකි. ඔහු සතු දේපළ අතර කොලරාඩෝ ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානයක් ආශ්‍රිතව බෝට්ටු තොටුපළක් විය. ෆෙඩරල් ආණ්ඩුව, ප්‍රාන්ත ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු මඟින් පරිසර රකින පිළිවෙත්, බදු පිළිවෙත් හා රෙගුලාසි වලින් පිරුණු නීති රීති මධ්‍යයේ ඔහු මේ බෝට්ටු තොටුපළ පවත්වාගෙන ගියේය. මෙම වසරේ මුල දී පාලකයෝ විසින් තවත් රෙගුලාසි දැඩි කිරීමක් සිදු කළහ. ඒ පරිසරය ආරක්ෂා කිරීමට නොව පැහැදිලිවම ධනවතාගෙන් වැඩි මුදලක් අය කරගැනීමටය. ධනවතා කළේ බෝට්ටු සියල්ලටම ඉවත් කරගන්නට ඒවා අයිතිකරුවන්ට කාලය දී තොටුපළ මුළුමනින්ම ගලවා ගෙන ඉවත්ව යාමය.

එයින් තොටුපළ ආශ්‍රිතව ආපනශාලා හා වෙනත් සේවා සැපයූ අයගේ ආදායම් නැතිව ගියේය. තොටුපළේ රැකියා නැතිව ගියේය. පළාතට, ප්‍රාන්තයට, හා ෆෙඩරල් ආණ්ඩුවට ද මෙතෙක් ලැබුණු බදු සියල්ල අහිමි විය.

ජාතික වනෝද්‍යානයේ ජලාශයේ ජලක්‍රීඩාවෙන් සතුටු වූයේ හා පරිසරයේ සුවය වින්ඳේ හුදෙක් ධනවතුන් පමණක් නොවේ. ධනවතා එය පවත්වාගෙන ගිය නිසා දුප්පත් අයට ද එම පහසුකම් වලින් ධනවතුන්ට වඩා අඩු වියදම් දරා ධනවතුන් හා සමාන පහසුකම්, සුවය හා සතුට ලබාගැනීමට හැකිවුණි.

ව්‍යවස්ථාදායකයෝ විමසා නොබලා දියත් කරන ලද තවත් ප්‍රතිපත්තියක් වූයේ රටේ අඩු ආදායම් ඇති අයට පහසුවෙන් නිවාස අයිතිය කීමට බැංකු ණය මුදල් ලබා දීමයි. මෙසේ අඩු ආදායම් ඇති අයට පහසු මට්ටමින් යුතු බැංකු ණය ලබා දිය හැක්කේ වැඩි ආදායම් ලබන අය මහත් දේපල බදු ගෙවන බැවිනි.

අනුන්ගේ වියදම් ද තමන් දරනා බව අවබෝධ වූ ධනවතුන් බොහොමයක් තමන් විසින් නඩත්තු කරන ලද අමතර නිවෙස් විකුණා දමන්නට විය. ඔවුන් ධනවත් නිසා පාඩු විඳගෙන නිවෙස් විකුණා දමත ද හැකිය. පළාත්, ප්‍රාන්ත හා ෆෙඩරල් බදු හා වෙනත් රෙගුලාසි වැඩි වෙද්දී ඔවුන් සිය අමතර ව්‍යාපාර ද වසා දැමූහ. අළුත් ව්‍යාපාර ආරම්භ නොකළහ.

දැන් වෙළඳපොලේ නිවෙස් අතිරික්තයකි. නිවෙස්වල වටිනාකම අඩුවෙද්දී අර ව්‍යාපාරයන් නැතිව යාම නිසා අඩු ආදායම් ඇති අයගේ රැකියාවන් ද නැතිවිය. සහන දීමනාවෙන් වුවද ගෙවත හැකි මුදල් ගෙවන්නට ඇති වත්කම් නැතිව ගියේය.

බදු ක්‍රමය නිසාම නිවෙස් මිලදී නොගන්නා අය ලෝකයේ වර්ධනය වන්නට පටන් ගෙනය. බදු නිසාම ව්‍යාපාර අරඹන්නට, ආයෝජනයට අදිමදි කරන අය වැඩිය. කන්නට බොන්නට හා ඉන්නට සෑහෙන පමණට පමණක් මුදල් හොයන්නට මෙයින් පුද්ගලයාව හැඩගැසේ. රටක පෞද්ගලික ව්‍යාපාර නැතිව ගියකල රැකියා අවස්ථා ලබාදීම රජයේ ඒකාධිකාරය වෙයි.

තණ්හාවට වතුපිටි හා මුදල් පොදි ගහන්නට, දේපල එක්රැස් කරගන්නට මිනිසා තුල වූ කැමැත්ත සුන්කරලන්නට සමත් වූයේ දානපතියෝ වීමෙන් දිව්‍යලෝකයට යනවා යයි කීම නොවෙයි. ආදායම් උපයන අයට, නිෂ්පාදනයේ නියුතු අයට තමන්ගේ උත්සාහය වෑයම නිසා ඇතිවන ප්‍රතිඵලය වන ලාභයෙන් කොටසක් කිසිත් නොකළ අයට ගෙවන්නට වන රෙගුලාසි පැනවිමය. කාර්යක්ෂම වූ නිෂ්පාදනය හා උත්සාහය අඩාල කරන වෙනත් ක්‍රියාවක් ලොව නොමැතිය.

දානය මනා යයි පිළිගැනීමක් ලොව ඇත. එසේ නම් හැම පුද්ගලයෙකුම දානපතියෙක් විය යුතු නොවේද?

“අපි දිව්‍යලෝකයට යන්නට කැමතිය එහෙත් අදම යන්නට කැමති නොවෙමු.” (මෙය සංගීත කණ්ඩයාමක් විසින් ගයන ලද ගීතයක් ද වෙයි.)

දානය මනා යයි පිළිගනිමු. එහෙනම් දන් දෙන්නට යයි නිතර නිතර මතක් කළ යුතු ද? දානපතියෙක් වන්නේ කෙසේද යන්න ගැන Giving -the sacred art, Creating a Li‍festyle o‍‍f Generosity, Lauren Tyler Wright (2008) වැනි පොත් පළවීම දානය ගැන අපට අමතක වී යාම නිසා සිද්ධ වූවක් ද? නැතහොත් “කවුරුන් හෝ පිරිසක් විසින්” තීරණය කරන ආයතනයකට, සංවිධානයකට, පංසලකට හෝ පල්ලියකට දානය ලබා ගැනීම පිණිස කියන්නක් ද?

ඔබ ලැබූ ජයක් නිසා තෑග්ගක් වශයෙන් රසකැවිල්ලක් ඔබට ලැබුණා යයි සිතන්න. එය තනිවම අනුභව කළ නොහැකි විශාල ප්‍රමාණයකි. ඔබ කැමති අයෙකුට ඉතිරිය දෙනවා ද නැතහොත් “පැත්තක සිටි කෙනෙක්” ඔබට න‍ියෝග කරන අයෙකුට ඉතිරිය දෙනවාද යන දෙකෙන් ඔබ වඩා ප්‍රිය කරන්නේ කුමක් ද?

ඇමෙරිකන් රජය විසින් කෙනෙකු උපයාගන්නා ලාභයන්ට වැඩි වැඩියෙන් බදු ගහද්දී රජය පිළිගත් දානමය පරිත්‍යාගවලට සහන ලබා දෙති. නුදුරු කාලයක දී මෙය නවතා දමන්නට අදහසක් මේ දිනවල කතාබහ වෙයි. මෙයින් සහන බෙදා දීමේ ඒකාධිකාරයක් ගොඩ නඟා ඇති රජයට දානපතියා වීමේ වරප්‍රසාදයටත් ඒකාධිපතියා වන්නට අවස්ථාව පෑදේ.

බදු සහන නොමැති වූ කළ ධනපතියා ධනය දානය කිරීමෙන් බැහැරව තම මුදල් වෙනත් දෙයට වියදම් කරනු ඇත. ආයෝජනයට නොව වියදම් කරන්නට යොමු කිරීමෙන් දිගුකාලීන යහපතක් රටක නැතිබැරි අයට සිද්ධ නොවේ. බලයෙන් ස්ථාපිත කරන යම් අරමුණකට පමණක් සීමා වූ නීති වලට වඩා තර්කානුකූලව වටහාගත හැකි පැහැදිලි සැමටම සමානාත්මතාවය වර්ධනය කරන පිළිවෙත් බුද්ධිමතා පිළිගනියි.

රජය විසින් තීරණය කර බෙදා දෙන “දානමය ඒකාධිපති” බවට අකමැති වන සමහර අයවළුන් තමන්ගේ ධනය කැමැත්තෙන්ම බෙදා දීමට තමන්ගේම වූ දානමය සංවිධානය ආරම්භ කරති. මිලියන 5 ක් ට්විටර් “යහළුවන්” ඉන්නා ජනප්‍රිය නළු Ashton Kutcher හා ඔහු භාර්යාව වන Demi Moore ද අනිකුත් සුප්‍රසිද්ධ ජනප්‍රිය ධනවතුන් අනුගමනය කර තමන්ටම දානමය සංවිධාන අරඹති. බිල් ගේට්ස් හා වොරන් බෆට් අද දිනයේ ධනපතියන්ට තමන් හා එකතුවන්න යයි කියන්නේ ඔවුන්ගේ දානපති සංවිධානය මඟින් ධනපතියන්ට තමන් තීරණය කරන අයෙකුට දානමය පරිත්‍යාගයන්ට අවස්ථාව සලස්වා දීමට ද? රජයට ඒකාධිකාරයක් ලැබීම නවතන්න ද? නැත්නම් ඔවුන් තුල වූ හුදු දානමය පරිත්‍යාගශීලීත්වය නිසාමද?

දානය නිසා ලැබෙන පින, ප්‍රසිද්ධිය, සමාජ තත්වය, සතුට, යම් අරමුණක් සාක්ෂාත් වීම යනාදී වූ කිසිම දෙයක් නැත්නම් දානයක් කරන්නට කෙනෙක් ඉදිරිපත් වෙයිද? සුද්දා දානය දීම නතර කළ දාට බලපෑම් සුද්දන්ටම පමණක් ද? මෙම පළාතට, මෙම ප්‍රාන්තයට, මෙම රටට පමණක් ද?

බීපී තෙල් ව්‍යසනය, ආණ්ඩුවාදය සහ කාලයේ චෛතන්‍යය

Posted in Uncategorized by arunishapiro on ජූනි 18, 2010

ලුයිසියානාවේ තෙල් හිඳින ඉංග්‍රීසිකාරයන්ව වොෂිංටනයට කැඳවා තෙල් මුහුදට ඉහිරුවාට ඇඟිලි උරුක් කොට පොඩි දරුවන්ට සේ අවවාද කළේ ඇමෙරිකන් ආණ්ඩුවයි. කළකට පෙර බ්‍රිටිෂ් පැට්‍රෝලියම් තම වෙළඳනාමය බීපී යන අකුරු දෙකට වෙනස් කළේ ගෝලීය වෙළඳපොල හා වෙළඳාම් කරද්දී බ්‍රිතාන්‍යය යන නාමය පාවිච්චියෙන් පාඩුවක් ලැබේවි කියා සිතා විය හැකියි. ලොකු ජයක් අත්පත් කරගත්තාම උපන් රට ගැන විපරම් කරනා සේම ලොකු වැරැද්දක් කළ විට ද උපන් රට සිහි කරති. බෙන් ජොන්සන් ලෝකයේ වේගවත්ම මිනිසා වී ඔලිම්පික් පදක්කම දිනාගත් විට කැනඩාවේ අගමැති ඔහු කැනේඩියානු වැසියෙකු වීම ගැන සතුට පළ කළේය. එහෙත් බෙන් ජොන්සන් තහනම් උත්තේජක පාවිච්චියේ නිරත වූවා යයි දැන ගනිද්දී ඔහු ජැමෙයිකාවෙන් ආ සංක්‍රමණිකයෙක් බව පැතිර ගියේය.

බිල් ගේට්ස් සහ ඔමහාවේ දිවැස් කියන්නා එකතුව පසුගිය ජූනි 16 වැනිදා තවත් තමන් වැනි වූ අනිකුත් සුපිරි ධනවතුන්ට අභියෝග කරමින් තම ධනයෙන් හරි අඩකටත් වඩා සමාජයට පරිත්‍යාග කරන්නට පොරොන්දු ලියුම් අත්සන් කර ගැනීමේ ව්‍යාපාරයක් පටන් ගත්හ. මෙයින් සුපිරි ධනවතු‍න් අතර ප්‍රසිද්ධියේ තම වස්තුව බෙදා දීම දිගින් දිගට ගලා යන රැල්ලක් වෙයි ද? ඔවුන් සියළු පරිත්‍යාග කරනුයේ තමන් විසින් අරඹන ලද දානපති ආයතන මඟිනි. පරිත්‍යාගයන් ලැබෙන්නේ ඔවුන් විසින් තීරණය කරන සුබ සාධන කටයුතුවලටය. එයින් දානපතියන් වීමේ දී ද ඔවුන් තම ධනය නිසා වෙනසක් ඇති කරන “බලය” අත්පත් කරගනිති.

මේ Georg Wilhelm Friedrich Hegel ඇතුළු ජර්මන් රොමැන්තිකවාදීන් විසින් කතාබහට ලක් කරන ලද “කාලයේ චෛතන්‍යයයි”. එනම් the spirit of the times හෝ the spirit of the age ලෙසින් හැඳින්වෙන Zeitgeist නම් වූ ජර්මන් වචනයෙන් ඉදිරිපත් කරන ලද යුගයේ චින්තන රැල්ල ගලායන ආකාරයයි.

හේගල් විසින් ඉදිරිපත් කරන දර්ශනය මුළුමනින්ම ගත්කළ හෙගලියානු චින්තනය ගැන අංශුමාත්‍රයක් අවබෝධය හැකි වන්නේය. එක් එක් අංශ වෙන වෙනම සලකා බලද්දී දර්ශනය කුමක්දැයි වටහා ගැනීමට ඇති ඉඩකඩ මඟහැරී යයි. මෙම සටහනේ “කාලයේ චෛතන්‍යය” (Zeitgeist) ගැන පමණක් සැලකිල්ලට ගන්නේ අනිකුත් හේගලියානු දර්ශනයේ පසුබිම තුලිනි.

සත් ගුණවත් වූ දේ බුද්ධිවාදී යයි ද බුද්ධිවාදී දේ සත් ගුණවත් යයි ද හේගල් පවසයි. කල්පනා කිරීමේ ශක්තියක් නොහොත් බුද්ධියක් (intellect) ගැන කතා කරන ඔහු මනස යනු විෂයගත වූ (subjective) අන්තරාවාදී වූවක් සේ සලකයි. විෂයමූලික වූ (objective) බුද්ධිය නම් මනස ඒ තුල වූ නීති පිටතට එල්ල කර මිනිස් ලෝකයක් හැදීමකි. එවිට නීති (laws) මිනිසාට එන්නේ පිටතින්ය. සත් ගුණවත් බව මිනිසාගේ ඇතුලත පවතී. ආචාර ධර්ම වනාහී මේ දෙකේම සංකලනයෙන් බහිවර්තනය හා අන්තරාවර්තනය මඟින් ඇතිකර ගන්නා නීති වන්නේය.

මිනිසාගේ කල්පනා ශක්තිය හෝ බුද්ධිය ගැන කතාබහේ දී මීට අදාළ වන බටහිර ග්‍රීක රෝම සම්ප්‍රදායත් ඊට වෙනස් වූ ජර්මන් විඥානවාදයත් හා පෙරදිග (ප්‍රාචීන) සම්ප්‍රදායික අදහස් අතර පැහැදිලි වෙනස්කම් මෙසේය. පෙරදිග අයවළුන් අදහස් කර සිටියේ හුදෙක් “එක් කෙනෙකු” නිදහස් බවය. ග්‍රීක හා රෝම ලෝකය පිළිගත්තේ “ඇතැමෙකු” නිදහස් බවය. ජර්මන් ලෝකය “සියල්ලෝම” නිදහස් බව කියා සිටියහ.

හේගල් ඉදිරිපත් කරන අපෝහවාදය (dialectic) නම් ප්‍රවාදය (thesis), ප්‍රතිවාදය (anthesis), හා සහවාදය (synthesis) නැමති තුනෙන් ගොඩනැඟියකි. ඉතිහාසයේ සෑම මොහොතක්ම ධන හා ඍන යන දෙකෙහි ප්‍රතිවිරුද්ධතාව මතින් බිහිවන්නකි. ධන හා ඍන එකිනෙකට විරුද්ධය. එහෙත් එකිනෙක මත රඳා පවතී. ප්‍රවාදය සහ ප්‍රතිවාදය අතර ඇති ඝට්ටනය නිසා ඉතිහාසයේ මොහොතක් විනාශයට පත්වෙයි. එය පිළිස්සී ගිය අළු වලින් නව ඉතිහාසයමය මොහොතක් (සහවාදය) හට ගනී. මෙයින් පැරණි ඉතිහාස මොහොතේ හොඳම හරිය ඉදිරියට ගෙන යාම කෙරෙයි. හේගල්ගේ මෙම සර්වශුභවාදී දැක්මට අනුව ලෝකයේ ප්‍රගතිශීලීත්වය ඉතිහාසය විසින් ගොඩනඟන්නකි.

ඉතිහාසයට සිද්ධ වන්න පුද්ගලයාට ද සිද්ධ වේ. අප ජීවිතයේ විවිධ අවස්ථාවල දී අප ගැනත් නිදහස ගැනත් විවිධ වූ මත තුලින් ගමන් කරමු. එක අවස්ථාවක දී අපි විශ්වාස කරන්නේ අනිත් අයගේ ආධිපත්‍යයෙන් අපට ගැලවිය හැක්කේ ඔවුන් අ‍පගේ ආධිපත්‍යයට යටත් කර ගැනීමෙන් කියාය. අනතුරුව ඔවුන් අපගේ ආධිපත්‍යයට හසුවීම නිසා නිදහස ලබනවා වෙනුවට අපි ද ඔවුන්ගේ ආධිපත්‍යයට යටත් වෙමු.

මම කවුද? මම අධිරාජ්‍යයාය. ඒ යටත්වැසියන් විසින් මම අධිරාජ්‍යයා යයි සලකන තාක් කල් පමණි. ඒ හැඳින්වීම නැතිව ගිය කළ මම නිකමෙකි. මේ හේතුවෙන් යටත්වැසියන් යටත් කරගෙන ඉන්න අධිරාජ්‍යයෙක් වන්නට ගන්නා නිරත්තර උත්සාහයේ දී “යටත්වැසියා” දැන් “අධිරාජ්‍යයා” වන අතර මම “යටත්වැසියා” බවට පත්වේ.

හේගල් ඇතුළු ජර්මන් චින්තකයෝ කියනා පරිදි මෙසේ විචාරයට ගිය විට විචාරය (reason) කපටි කෙරුවාක් සේ හැ‍ඟෙන නිසා විචාරයෙන් ඵලක් නැත. ලෝකයේ හා එහි වසන ජනතාවගේ අභිවෘද්ධිය සිද්ධ වන්නේ සමූහක් (collective) විසින් සමූහය වෙනුවෙන් මේ ප්‍රවාදය, ප්‍රතිවාදය හඳුනාගෙන සහවාදය තුලින් ඉදිරියට යාමෙනි. නමුත් “බලය” ඇත්තෝ කෙදිනක තම බලය “බල කිරීමකින් තොරව” අත්හරින ලද්දේ දැයි ඔවුන් විමසා ඇති බව නොපෙනේ.

පුද්ගල හා ලෝක අභිවෘද්ධිය සලසනවා යයි කියන මෙම හෙගලියානු දර්ශනය මත ගොඩනැ‍‍ෙඟන දේශපාලන මතය අනුව පුද්ගලයාගේ ජීවිතය හා සේවය අයිති ඔහු වාසය කරන රටට හා ජාතියටය. මෙය ආණ්ඩුවාදයයි (statism). සමූහයාගේ හිත සුව පිණිස එක් පුද්ගලයෙකුගේ අයිතිය කඩ කිරීමට ආණ්ඩුවට බලය ලැබේ. අයින් රෑන්ඩ්ට පෙන්වා දෙන්නේ ආණ්ඩුවාදය අනුව රජයක් නම් පොලිස්කාරයෙක් නොව සමූහයාගේ හිතසුව පිණිස යන නාමයෙන් ගන්නා ක්‍රියාදාමයක දී නීතිමය බලතල නොමැති අයගේ වස්තු, දිවි බේරාගත නොහැකි අයගේ “පුද්ගලික අයිතීන්” යනාදිය කප්පාදු නීතිමය ලෙසින් ඉටු කරන දාමරිකයෙකි කියාය.

ඇමෙරිකාවේ මුහුදු වෙරළබඩ නිවාස අයිතියට හිමිකම් කිව හැක්කේ ඉතා සුළු ධනවත් පිරිසකටය. මුහුදු තීරයක නිවසක් හිමි කරගන්නා අයිතිකරුවා මහත් බදු ප්‍රමාණයක් ගෙවිය යුතුය. සාගරය හා පරිසරය රකින ක්‍රියාදාම බොහොමයකට යටත් විය යුතුය. වෙරළබඩ නිවස අයිති වුවත් මුහුද අසල ඇති තෙත වැල්ලට අයිතිය කිව නොහැක. නිවස ඉදිරියෙන් ඇති මුහුදට අයිතියක් නැත. මුහුදු සුළඟ නිසා තීන්ත ගා නිතරම අළුත්වැඩියා කරන්නටත්, චණ්ඩමාරුත, කුණාටු, මුහුද ගොඩ ගැලීම් වලින් අබලන් වෙද්දී තමන් විසින්ම නැවත තම නිවස ගොඩනඟා ගත යුතුය.

අළුත්ම මහජන සුවසෙත සලකන ක්‍රියාදාමයක් ලෙසින් අද දිනයේ මුහුදු වෙරළබඩ නිවෙස් හිමි අයගේ ඉඩමේ වටිනාකමට සරිලන කිසිම මුදලක් නොදී ඉඩමෙන් කොටසක් රජයට ගන්නට හැකි යයි සුපිරි උසාවිය තීන්දුවක් දී ඇත. මෙයින් මහජන සුඛ වින්දනය සඳහා තවත් වෙරළබඩ ඉඩ ප්‍රමාණයක් ලැබේ. නිවෙස් අයිතිකරුවන් වෙනදා මෙන්ම බදු ගෙවිය යුතුය. අවට පරිසරය ආරක්ෂා කරගත යුතුය. ස්වභාව ධර්මයාගෙන් වන ගැහැට වලින් නිවස ආරක්ෂා කරගෙන තම වියදමෙන් නඩත්තු කරගත යුතුය. මේ ආකාරයට ආණ්ඩුවාදය මඟින් පුද්ගලයාගේ අයිතියට බලපෑම් සිදුකල හැකියි.

හේගලියානු ජර්මන් රොමැන්තිකවාදයට අනුව “කාලයේ චෛතන්‍යය” අවබෝධයෙන් පොදු සමාජයේ යහපත වෙනුවෙන් කළ යුතු ක්‍රියාකාරකම් දියත් කරන පුරෝගාමීයෝ geistreich නොහොත් කාලයේ චෛතන්‍යයෙන් පිරි වූවෝ (rich in spirit) වෙති. “සියල්ලෝම” නිදහස් වුවත් “සමහර” වූ කාලයේ චෛතන්‍යයෙන් පිරි වූ‍වෝ විසින් “ඇතැමෙක්” වෙත පීඩන එල්ල කළ හැකිය. එදා හිට්ලර්ගේ ජර්මනිය සහ අද ඇමෙරිකන් රජයත්, බිල් ගේට්ස් හා වොරන් බෆට් ඇතුළු දානපති ධනපතියෝ ද වෙනස් වූ ආකාර වලින් පොදු සමාජයේ හිතසුව අරබයා ඇප කැප වී සිටින geistreich වන්නෝ ද?

මෙයාකාරයෙන් ආණ්ඩුවාදය පිළිගන්නේ නම් “කාලයේ චෛතන්‍යය” අනුව එක් එක් පුද්ගලයා තමාට කිසිම රැල්ලට හසුනොවී සිටිය නොහැකියි යන්න පිළිගන්නෙක් වන්නේය. එය පිළිගන්නා අයට පහත ප්‍රස්තුතය ද පිළිගන්නට සිද්ධ වේ. එනම් යම් පිරිසක් විසින් තවත් පිරිසකට හිංසා පීඩාකර, යටත් කරගෙන, කොල්ල කා, මරණයට ද පත්කළ හැකි අයිතිය සත් ගුණවත් කියාය. මෙයින් “පුද්ගල අයිතීන්” (individual rights) නැති වී ගොස් ගෝත්‍රික සමාජයක මෙන් පුද්ගලයාගේ, රටේ හා ලෝකයේ ඉදිරිගමන සඳහා නිෂ්පාදනය කිරීම වෙනුවට බලය ඇත්තෝ විසින් තීරණය කළ ඇතැම් පිරිසක වෙතින් කොල්ලා කෑම හෝ සූරා කෑමක් ඇරඹෙයි.

පිටස්තරයා විසින් පසුගිය සටහනට දැක්වූ ප්‍රතිචාරයේ Zeitgeist සඳහන වෙනුවෙන් පිටස්තරයාට බෙහෙවින් ස්තූතියි.

ඔමහාවේ දිවැස් කියන්නා, බුද්ධිමතා සහ විද්වතා

Posted in Uncategorized by arunishapiro on මාර්තු 1, 2010

අද උදෑසන අවදි වූයේ ඔමහාවේ දිවැස් කියන්නා Oracle of Omaha ලෙසින් නම් දරන වොරන් බෆට්ගේ (Warren Buffet) කටහඬ‍ටය. සාමාන්‍යයෙන් ජනමාධ්‍ය සාකච්ඡා වලට සහභාගී නොවෙන ඔහු ඊට හේතුව ලෙසින් කියන්නෙ එයින් තමාට කිසි ලාබයක් නැති බවයි. 2008 දී ඔහු ලෝකයේ වඩාත්ම ධනය ඇත්තා විය. තම ධනයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක් පරිත්‍යාග කර අද ඇමෙරිකාවේ දෙවැනි ධනපතියා සේ නම් දරන ඔහු බිල් ගේට්ස් (මුලටම ඉන්නා ධනපතියා) සමඟින් ලොව වඩාත්ම විශාල පුද්ගලික සමාජ සේවා සංවිධානයේ දානපතියෙක් ද වන්නේය. තමාගේ අභාවයෙන් පසු සිය ධනයෙන් සියයට අසූපහක්ම ඒ සංවිධානයට පරිත්‍යාග කරන බවට ඔහු පොරොන්දු වී ඇත. ඔහුගේ වයස අවුරුදු 79 කි.

NBC රූපවාහිනියෙන් ඔහු කතාවට එක්වුනේ තමන්ගේ කොටස් වෙළඳපලේ ආයෝජනයන්හි නිෂ්පාදනයන් ද පසුබිමට එක් කර ගනිමිනි. කොකා කෝලා කේස් දෙකක් අසලින්ම තිබුණු අතර ඔහු වරින් වර චෙරි කෝක් බෝතලයෙන්ම උගුරක් දෙකක් බිව්වේ කැමරාව ඔහු වෙතට හැරී තිබිය දී ය. ලාබය ගැන සිතන්නාට ඕනෑම අවස්ථාවක දී එයින් ලාබයක් ලබා ගැනීම අමතක නොවේ.

කොකා කෝලා හා තරඟ කරන පෙප්සි කෝලා කොම්පැණියේ අද සභාපති හා විධායක නිලධාරිනිය ඉන්ද්‍රා නූයි නැමති ඉන්දියා-ඇමෙරිකන් කාන්තාවකි. ඇය ද වොරන් හා කතාවට එක් වූවාය. දෙදෙනාගේම මතය වූයේ තවත් වසරක් යන තුරු ඇමෙරිකන් ආර්ථිකයේ පැහැදිලි ඉහළ යාමක් සිද්ධ නොවන බවයි.

මේ දෙදෙනාම අද රට පාලනය කරන අයට වඩා රටේ විපර්යාස ගැන මැනවින් දන්නා බව කතාබහෙන් පෙනුනි. වොරන් බෆට් ගඩොලක මිල සත තිස්පහක් යයි දැන සිටියේය. ඔහුට ඇක්මි ගඩොල් සමාගම අයිතිය. වැඩ සටහන් නිවේදකයා සිතුවේ ගඩොලක මිල සත දහයක් කියාය. ඉන්ද්‍රා නූයි ඇමෙරිකානුවන් කාබනේට් සෝඩා බීම අඩු කර වෙනත් බීම වර්ග සොයා යන බව දැන සිටියේය. ඇත්ත ඇති සැටියෙන් පිළිගන්නට නොබියව ඉදිරිපත් වන නිසාම මේ දෙදෙනාට තමන් දරන උසස් තනතුරු දරන්නට හැකියාව ඇත.

බුද්ධිමතා (wise) හා විද්වතා (intellectual) අතර වෙනසක් ඇත් ද? මේ ගැන ලිය වී ඇති පොත් රාශියකි. ඇල්ෆ්‍රඩි නෝර්ත් වයිට්හෙඩ් පවසා ඇති අන්දමට “විද්වත්ඥානය (intelligence) නම් හැකියාවෙන් පිටත වූ යමක් ඉක්මණින් තේරුම් ගැනීමට සහ ඒ තේරුම් ගැනීම අනුව බුද්ධිමත්ව ක්‍රියාකාරී වීමට පුළුවන්කමක් තිබීමය.” -ඇල්ෆ්‍රඩ් නෝර්ත් වයිට්හෙඩ්, “දෙසැම්බර් 15, 1939” -(1954)

මේ නිර්වචනයට අනුව වොරන් බෆට් විද්වතෙක් නොවන්නේය. ඥානය (intellect) යනු බුද්ධිය (wisdom) නොවේ. බුද්ධිමත් නොවන විද්වතකු ලෙස නම් ගන්නේ ජෝන් රෝව්ල්ය (John Rawls). ඔහු ඉදිරිපත් කළ යුක්තිය පිළිබඳ න්‍යාය -A Theory of Justice පොතේ ඔහු යුක්තිය අනිකුත් සියළු සමාජ සලකා බැලීම් පරදවා වැඩි අගයකින් පෙන්වීම මීට පැහැදිලි උදාහරණයක් ලෙස දාර්ශනික ආචාර්යවරු නිතරම පෙන්වති. යම් දේවල් දෙකක් අතර අගැයුම් දෙකක් ඇත්නම් එකක් අනිකට වඩා අගැයුමෙන් වැඩි නොවේ. දියමන්තියක් සතයකට වඩා අගයෙන් වැඩි විය හැකිය. එහෙත් සත සංඛ්‍යාව ඉහළ යද්දී ඒවායේ අගය දියමන්තියට වඩා වැඩිවෙයි. වොරන් බෆට් අද ජනමාධ්‍ය සාකච්ඡාවේ දී පැහැදිලිව කිහිප වරක් උලුප්ප උලුප්පා කීවේ තමන් නොදන්නා දේට අත නොගහන බවය. නැතහොත් තම හැකියාවෙන් පිටත වූ යමක් තේරුම් ගැනීමට ඔහුට නොහැකි බවය.

සංකීර්ණ වූ අදහස් හසුරුවන්නට හා වටහා ගන්නට ඇති හැකියාව විද්වත් බවට සාධක වුවද එයින් බුද්ධිමත් බව නොහැ‍ඟෙන්නේ බුද්ධිමතාට ඥානය හා විනිශ්චය එකතු කර මහත් හේතු සංඛ්‍යාවකින් අදාල හේතු වෙන් කරගත හැකි වීමය. තවත් ආකාරයකින් කිවහොත් විනිශ්චයක් නැති ඥානය විද්වත් බවයි. බුද්ධිය නම් ඥානය, දැනුම, අත්දැකීම් සහ විනිශ්චය යනාදී සියල්ල එකතුවකින් අවබෝධයක් ලබාගත හැකිවීමේ හැකියාවයි.

බුද්ධිය සඳහා ආත්ම-හික්මීමක්, ලෝකයේ ඇත්ත ඇති සැටිය ගැන අවබෝධයක්, තමන්ගේ අත්දැකීම් වල සීමාවන් ගැන දැනීමක් හා විචාරය අවශ්‍යයය. විද්වත් බවේ විරුද්ධ පැත්ත වන්නේ යමක් තේරුම් ගැනීමේ දී ඇතිවන මොට බව හෝ ඒ අනුව ක්‍රියාකරන වේගයේ දුර්වල බවයි. එහෙත් බුද්ධිමත් බවේ විරුද්ධ පැත්ත වන්නේ මෝඩකමයි.

මුදල් උපයන්නට දක්ෂයෙක් වූ පමණින් කෙනෙකුව සමාජයේ විද්වතෙක් සේ සැලකෙන්නේ නැත. මොළයේ ශෛල්‍යකර්ම කරන ශල්‍ය වෛද්‍යවරයෙක් හෝ අහස් උසට බිල්ඩින් ගොඩනඟන්නට දන්නා ඉංජිනේරුවා විද්වත් කියා සමාජයේ කිසිවෙක් සලකන්නේ නැත. ඔවුන් ක්‍රියා කරන්නේ තමන් ලබාගත් දැනුම අනුවය. ඔවුන් ඉදිරියේ ඇති ගැටළු ඔවුන් විසඳන්නේ තමන්ගේ පුද්ගලික අදහස් අනුව නොවේ. තමන් ඉගෙන ගෙන ඇති විද්‍යානුකූල සිද්ධාන්තයන්, තමන්ගේ අත්දැකීම්, කියවා හෝ පවත්වා ඇති පර්යේෂණ හා පළපුරුදුකම් අනුව ගැටළුව ඉදිරියේ විසඳුම ඔවුන් සොයා ගනිති.

ඊට වෙනස් වන විද්වතා අදහස් ඉදිරිපත් කරන්නේ ඒවා තමන් විසින් ක්‍රියාත්මක කරන්නට නොවේ. ග්‍රන්ථ කතෘවරු, ඇකඩමියාවේ අය වැන්නන් ඉදිරිපත් කරන මතවාදය හෝ අදහස ක්‍රියාවට නංවන්නේ ප්‍රතිපත්ති සැලසුම් කරන ආණ්ඩු, සමාජ සේවකයෝ, පොලීසිය වැනි ඒවා ක්‍රියාවට නංවන අය වෙති. ලංකාවේ නලින් ද සිල්වා, දයාන් ජයතිලක, අර්ජුන ද සොයිසා, සුසන්ත ගුණතිලක, ශ්‍රී ලාල් ලක්තිලක යනාදීන් විද්වතුන් සේ සැලකිය හැකි ද? ඔවුන් කියන ලියන අදහස් වලට පක්ෂ හා විපක්ෂ අය ද, ඒ නිසා තම ජීවිත හැඩගස්වා ගන්නා අයත් සිටී ද? ඒ අයගේ අදහස් නිසා සමාජයේ වෙනසක් සිද්ධ වේ ද?

වෛද්‍යවරයා ලෙඩාගේ රෝගයට කෙළින්ම දායක වෙයි. රෝගය සුව වී ගෙදර යාම හෝ මරණයට පත්වීම දකියි. ඉංජිනේරුවා ඉදි කරන බිල්ඩින් භූමියේ කාලය ගත කර ගොඩනැ‍ඟෙන බිල්ඩිම ශක්තියෙන් ඇත්දැයි දකියි. ඇද වැටී විනාශ වෙනවා දැයි දකියි. අදහසකින් පටන් ගන්නා බුද්ධිමතාගේ වෑයමේ අවසානය ප්‍රතිඵලයකි. විද්වතාගේ අවසන් ප්‍රතිඵලය අදහසක්ම වෙයි.

ජෝනාස් සාල්ක්ගේ අවසන් ප්‍රතිඵලය එන්නතකි. බිල් ගේට්ස්ගේ අවසන් ප්‍රතිඵලය කොම්පියුටර් ක්‍රියාකරන පද්ධතියකි. ඔවුන් බුද්ධිමතුන්ය. ඔවුන්ගේ කාර්යය අදහසකින් පටන් ගෙන නිෂ්පාදනයකින් නිමාව දැක්කේය. එහෙත් ඇඩම් ස්මිත් හා කාල් මාක්ස් වැන්නන්ගේ දායකත්වය අදහසකින් පටන් ගෙන අදහසකින්ම නිමා විය. ඒ බුද්ධිමතුන් හා විද්වතුන් අතර ඇති පැහැදිලි වෙනසකි.

බුද්ධිමතුන්ට වඩා විද්වතුන් සමාජ විපර්යාසයන් ඇති කරනවා ද? ඔවුන් ඉදිරිපත් කරන අදහස් ක්‍රියාත්මක කරන්නට ඔවුන් කෙළින්ම දායක නොවන නිසා ඔවුන්ගේ මතවාදයන් නිසා අපහසුවට පත්වන සමාජය ප්‍රතිඵල ගැන ද ඔවුන් කෙළින්ම විවේචනයට භාජනය වෙනවා ද?

කාල් මාක්ස් හා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දෙදෙනා 19 වැනි ශ.ව. දී විද්වත් අදහස් ඇති පොත් ලියා වඩාත්ම බලපාන සමාජ විපර්යාසයන් ඇති කළ දෙදෙනාය. නමුත් මේ අයගේ අදහස් සමාජය කලාතුරකින් කියවා, ඊටත් වඩා අඩුවෙන් අවබෝධයක් ලබා ඇති අදහස් වෙති. නමුත් ඔවුන්ගේ අදහස් ලෝකය වටා මහත් විද්වතුන් ර‍ාශියක් අවදි කරවීම නිසා, ඒ විද්වතුන් මඟින් සාමාන්‍ය ජනයාට බලපෑම් එල්ල කළහ.

මාග්‍රට් තැචර් හා රොනල්ඩ් රේගන් යන දෙදෙනාගේ දේශපාලන යුගය ෆෙඩ්රික් හයෙක් හා මිල්ටන් ෆ්‍රීඩ්මන් යන අයගේ විද්වත් අදහස් වල ප්‍රතිඵලයකි. විනිසුරු ඔලිවර් වෙන්ඩල් හෝම්ල්ස් පවසන ආකාරයට හයෙක් යනු මිය ගොස් වසර සීයක් ගත වී අමතක වී ගියාට පසුත් ඔහු ගැන කිසිත් නොදත් අයෙකු හයෙක්ගේ චින්තනය නිසා හැදියාව වෙනස් කරගන්නට බලපෑම් කරනු ඇතැයි කියාය.

ආතර් සී. ක්ලාක්ගේ විද්වත් අදහස් නිසා අද සැටලයිට් තාක්ෂණය බිහිව ඇත. එය ඔහුගේ විද්‍යා ප්‍රබන්ධවල වූ අදහසකි. ක්‍රියාවට නැඟුවේ ඔහු නොව වෙනත් අයයි. ඇල්බටි අයන්ස්ටයින්ගේ විද්වත් අදහස් නිසා පරමාණු බෝම්බය බිහි විය. ඔහු තනිවම බෝම්බය නිපැදවූයේ නැත.

විද්වත් අදහස් ඉදිරිපත් කරනා අය ඊට වගකීමක් දරනවා ද? මුදල් ආයෝජනය කරන්නෙක් වොරන් බෆට් දුන් උපදෙස් නිසා සිය ආයෝජනය නැති කර ගත්තා නම් ඔහු බෆට්ගේ අදහස් ප්‍රතික්ෂේප කරනු ඇත. බෆට්ගේ බර්ක්ෂයර් හැතවේ කොම්පැණියේ තවත් ආයෝජන කිරීම නතර කර බෆට් බංකොලොත් කරනු ඇත. එතැන් පටන් වොරන් බෆට්ට වෙන කිසිවකුට උපදෙස් දෙන්නට නොහැකිය. ඉංජිනේරුවෙක් ගොඩ නඟන ලද බිල්ඩිමක් කඩා වැටුනු කල ඒ ඉංජිනේරුවාව වෙන කිසිවෙක් නැවත පාවිච්චි නොකරති. රෝගියා මරණයට පත්වෙන වෛද්‍යවරුන් වෙත අප යන්නේ නැත.

පිටතින් පැහැදිලිව පෙනෙන නිසි හෝ අනිසි ප්‍රතිඵල බුද්ධිමතුන් වෙතින් දැකිය හැකි වුවද විද්වතුන් වෙතින් එසේ දැකිය නොහැක. සංකීර්ණ, කුතුහලය දනවන, නව සොයා ගැනීම්, ප්‍රගතිශීලී අදහස් අපි අගයන්නටත් සරල, යල්පැන ගිය, ප්‍රගතිශීලී‍ නොවූ අදහස් ප්‍රතික්ෂේපයටත් අප හුරු ව ඇත්තෙමු. යම් අදහසක් ගැන අපි දැනගන්නේ කෙසේද? කෙනෙකු ලියූ පොතක් කියවා තනිවම ලබා ගන්නා අවබෝධයකින් ද? නැතහොත් ඒ පොත ගැන තව අය කියනා දේ අසා ඒ දෙවැනි අයගේ මතයෙන් ද? බොහෝවිට අපි අහන්න කියවන්න පුරුදුව ඇත්තේ ද අපි කැමති අයගේ අදහස් පමණි.

ඔලිම්පික් අවසන් කරමින් කැනඩාවේ පිරිමි අයිස් හොකී කණ්ඩායම තියුණු සටනකින් පසු රත්තරන් පදක්කම දිනා ගත්හ. ඇමෙරිකන් පිල සාමාන්‍ය කාල වේලාවේ අවසාන මිනිත්තු කිහිපයේ දී ලකුණකින් පිටුපස සිටියහ. ඇමෙරිකන් පුහුණුකරු ඔවුන්ට යම් උපදෙස් දීමක් කරනවා දකිනු ලැබිය හැකිවිය. සාමාන්‍ය කාල වේලාවේ අවසානයට පෙර ඔවුන් 2-2 ලෙසින් ලකුණු සම කරන්නට සමත් වූහ. කාලයෙන් එහා තරඟ වැදුණු හොකී කණ්ඩායම් දෙකේ ජය තීරණය කරන ගෝලය මෙහෙය වූ කැනඩාවේ උපදේශකරුවාගේ අදහස සංකීර්ණ ද, ප්‍රගතිශීලී ද, යල් පැන ගියා ද කියා කිසිවෙක් සොයන්නේ නැත. මන්ද ප්‍රතිඵලය වූ ජය පමණක් සැලකිල්ලට ගැනෙන නිසාය.

නමුත් විද්වතුන් ඉදිරිපත් කරන අදහස් ක්‍රියාත්මක කරන්නේ විද්වතා නොවන නිසා එය සහතික කරගත හැකියාව නැතිව යයි. ඔබාමාගේ සෞඛ්‍ය පනත වෙනුවට අළුතින් පනතක් සකස් කළ යුතු යයි අද වොරන් බෆට් කියා සිටියේය. ඔහු ඔබාමාට මැතිවරණයේ දී දිනන්නට අත දුන්නෙකි. අද දිනයේ ද ඔහු ඔබාමාගේ ප්‍රතිපත්ති බොහොමයක වැරැද්දක් නොදකී. නුදුරු දිනයක දී සම්මත කරන පනත ක්‍රියාවට නැ‍ඟෙන්නේ 2018 න් පසු නිසා එහි සාර්ථක බවට හෝ අසාර්ථක බවට වගකිව යුතු අය රට පාලනයේ නොසිටිනු ඇත.

1939 දී ජර්මනියේ දර්ශනය හැදෑරූ ඡොන් පෝල් සාත්‍රේ ‍සිය රටට පැමිණ කීවේ හිට්ලර්ගේ ජර්මනියේත් ප්‍රංශයේත් තමා වෙනසක් නොදකින බවයි. 1968 දී පෝල් එයර්ලික් කියා සිටියේ මනුෂ්‍යයාට කන්න දෙන අරගලය අවසන්ය, 1970 ගණන් වෙද්දී මිලියන දහස් ගණනින් ජනයා සාගතයෙන් මැරී යනු ඇත කියාය. නොබෙල් තෑග්ග දිනූ ඇල් ගෝර් කියූ තරමට ලෝකයට පරිසර විනාශයෙන් හානියක් වේදැයි අනාගතයේ පෙනී යනු ඇත. නමුත් මේ අය සියල්ලෝටම ඒ අය ඒ අදහස් කියූ දා සේම අද දිනයේ ද විවේචනයට ලක් නොවෙති. අනාග‍තයේ ද අපකීර්තියට පත් නොවෙනු ඇත.

බුද්ධිමත් විද්වතුන් නැතැයි කියනවා නොව විද්වතකු වූ නිසාම බුද්ධිමත් නොවන බව සටහන් කරන බව සලකන්න. එසේම බුද්ධිමතුන් තම ක්‍රියාවන්ට වගකීමක් දැරිය යුතු අතර විද්වතුන්ට එසේ වගකීමක් නැති බවත් පෙන්වා දීමකි.

මෙහි ඇති විද්වත් අදහස් තැන තැන අසා හා කියවා ඇත්තා සේම පහත පොත් ද ඇසුරෙනි. The Giver, Lois Lowry (1993); Flowers for Algernon, Daniel Keyes -novel (1966); The Burden of Bad Ideas: How Modern Intellectuals Misshape Our Society, Heather MacDonald (2000); Public Intellectuals, Richard Allen Posner (2003); Intellectuals and Society, Thomas Sowell (2009); Intellectuals, Paul Johnson (1990).

සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙකු බිහිකරයි ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 26, 2010

“All power tends to corrupt; absolute power corrupts absolutely.”  – Lord Acton (1834-1902), British historian

බලය ඇති අයෙක් බලවතා ලෙසින් හැඳින්වේ. කියුබාවේ ජනාධිපති වූ ෆිඩෙල් කැස්ත්‍රෝ වසර 50 කට ආසන්න කාලයක් බලවතෙක් විය. රුසියාවේ ව්ලැඩමියර් පූටින් ද බලවතෙක් වෙයි. ඒ ඔහුට ජනාධිපති තනතුරේ සිටි කාලයේ මෙන්ම අද දිනයේ ද රටේ ආණ්ඩුවට බලපෑම් කරන්නට හැකියාව ඇති නිසාය. උතුරු කොරියාවේ සුප්‍රීම් ලීඩර් සේ නම් දරන කිම් යොන්ග් ඉල් ටද බටහිර පරමාණු අවි ඇති රටවල් පවා භය ගැන්විය හැකි බලය ඇත. මැසචූසෙට්ස්හි ටෙඩ් කෙනඩ් ද වසර 50 කට ආසන්න කාලයක් (මිය යනතුරුම) සීමිත බලයකින් වූවෙකි. ජෝර්ජ් බුෂ්ට වසර අටක් බලය තිබුණි. සෑම ඇමෙරිකන් ජනාධිපතිවරයෙකුටම ඇත්තේ සීමිත වූ බලයකි. ඔබාමාට වසර හතරකට තිබූ බලය වසරකින් අහිමි වී ඇත. පාප් වහන්සේට මුළු ලෝකයේම වාසය කරන කතෝලික ආගමිකයෝ සඳහා වූ සීමිත බලයක් තිබේ.

එංගලන්තයේ මහරැජින වන දෙවන එලිසබෙත්ට ධනයත් බලයත් (රටේ පාලනය සඳහා) තිබූ කාලයක් විය. එහෙත් අද ඇයට වඩා හැරී පොටර් ලියූ ජේ.කේ.රෝලින්ස්ට ධනයත් බලයත් (තරුණ කැළට බලපෑම් කරත හැකි) ඇත.

මයික්‍රොසොෆ්ට් හි බිල් ගේට්ස් ට සිය ජීවිතයේ දී වියදම් කර නිම කල නොහැකි තරම් ධනයක් ඇත. එහෙත් ඔහුගේ බලය පරිගණක ක්ෂේත්‍රයට පමණක් හා එක කාලයකටත් පමණක් සීමා වුනි.

ධනවතා යනු ධනය අනෙක් අයට වඩා යහමින් ඇත්තෙකි. එහෙත් ධනය පමණක් තිබීමෙන් ධනවතෙකු‍ට පාලකයෙකුට ඇති හා සමාන බලයක් නැත. මන්ද පාලකයාට නීති ගෙනැවිත් ධනවතාගේ ධනය ප්‍රජා සතු කර හැකි බලය නිසාය. නැතහොත් නීති පනවා තව තවත් ධනය උපයා ගන්නා මාර්ග අහුරන්නට හැකියාව ඇති නිසාය. ධනවත් වූ පමණින් අයෙකුට පාලකයාට හා සමාන බලයක් තිබේද?

පාලකයාගේ බලය ද සීමිතය. වෙන කිසිත් නිසා නොව ටෙඩි කෙනඩි මෙන් කවදා හෝ පාලකයා මිය යන නිසාය.

ලෝඩ් ඇක්ටන්ගේ ප්‍රකාශය දේශපාලන පාලකයෝ, නැතිනම් ජනතාව විසින් පත්කර ගන්නා ලද්දෝ, හෝ අරගලයකින් ආණ්ඩුව පෙරලා පාලනය අත්පත් කරගෙන ජනතාවගේ නාමයෙන් ජනතාවට බලය පෙන්වන අයට පමණක් සීමා වෙනවා ද? නැත‍ෙහාත් සම්පූර්ණ බලයක් ලැබීම නිසා සෑම අයෙක්ම දූෂිතයෙක් බවට පෙර‍ෙල් ද?

කළින් සඳහන් කර පරිදි වමේ මූලික සංකල්පයක් නම් මිනිසා ස්වභාවයෙන්ම ගුණවත් බවයි. ඔහු නරක් වන්නේ සමාජයේ ඵල විපාක නිසාය. දකුණේ මූලික සංකල්පයක් නම් මිනිසා ස්වභාවයෙන්ම නරක් වූ අයෙකි. ඔහු පාලකයෝ (දෙවියන්වහන්සේ, ආගමික නායකයෝ, වැඩිහිටියෝ, ගුරුවරුන්ගෙන්) පෙන්වන හරි මඟ නිසා වැරදි කිරීමෙන් තොර වෙති.

ධනවතුන්ට ඊර්ෂ්‍යයා කරන, ද්වේශ කරන පිරිස මෙම බලවත් හා ධනවත් අය දෙකම එක ගොඩට දමා ඇති බවක් පෙනෙයි. එසේම තම පැත්තේ මූලික සංකල්පය අමතක කර දමා ඇත. සියළු ධනවතුන්ට අකැමැත්ත බය නැතුව පළ කරන්නෝ බලවතාට වැඳ පුදාගෙන වඩාත් කාලයක් මුරුංගා අත්තේ තියා ගන්නේ කවර හේතුවක් නිසාද? ජනතාවට සෙත සලසන නාමයෙන් (එසේ කළාත් නැතත්) බලවත්කම පෙන්වීම සද්භාවයක් ද? ධනවත් වූ නිසාම එය අසත්පුරුෂ භාවයක් ද?

ධනවතුන්ට ද්වේශ කරන්නට අප හුරු වී ඇත්තේ ඇයි? අපට වඩා ඇති අයෙකු ගැන යාන්තමින් හෝ ඊර්ෂ්‍යාවක් නැතැයි කියත හැකිද? තවත් කෙනෙකු දියුණු වනවා දැක ප්‍රීති වනවාට වඩා අපට වඩා දුප්පත් අය දැක අප එසේ දුප්පත් නොවීම ගැන කාටවත් නොකියා සතුටු වනවාද? පරාර්ථකාමීත්වය හොඳ යයි හැමෝම පිළිගන්නා නමුත් ආත්මාර්ථකාමීත්වය හොඳ යයි කියන්නට කිසිවෙක් නැත්තේ සැබැවින්ම අපි ආත්මාර්ථකාමී මනුෂ්‍යයෝ නිසාද? නැතහොත් අප උපතින්ම සද්භාවයෙන් තොර වූවන් නිසා සද්භාවය නැමැත්ත ළඟාවිය නොහැකි සංකල්පයක් යයි සලකා එය කරා යන්නට අප නිති වෑයම් ගන්නෝද?

ඇති අයට ඊර්ෂ්‍යා කිරීම පටන් ගත්තේ කොහොමද? වලව්වේ හාමු වලව්වේ උපන් නිසා, උජාරුවෙන් යන එන, අනිත් අයට වඩා කැපී පෙනෙන සේ අඳින පළඳින හා වැඩි දෙනෙකුට නැති කෑම කන බොන නිසා ද? රටේ රජ්ජුරුවෝ ආමන්ත්‍රණයේ දී පස්වාන් දහසකට බුදු වන්න කියා පටන් ගෙන අවසානයේ දී බලුගැත්තාට සමාවන්න කියාගත යුතු නිසා ද? කකුලෙන් අදිද්දී ඉහළට බඩ ගා ගත් ගමේ කොල්ලා දැන් ටයිකෝට් ඇඳගෙන ගමේ කාටවත් කතා නොකර නගරයට වී ඉන්නා නිසා ද? අපිට නැති දේ යහමින් තියාගෙන කිසිත් නොකළ අපිට බෙදා නොදෙන නිසා ද?

ඈත අතීතයේ දී ධනවත් වන්නට එක්කෝ පාරම්පරික දායාද ලැබිය යුතු විය. එක්කෝ තෑගි වශයෙන් රජුගේ සිත් දිනා ගත්තකු විය යුතුය. නැතහොත් හොර මැරකමින් කොල්ලා කා ලබා ගත්තකු විය යුතුය. තම ශ්‍රමයෙන්, තම උත්සාහයෙන්, තම කැපවීමෙන් හෝ තම බුද්ධියෙන් ධනවත් වන්නට මාර්ග ඈත අතීතයක නොතිබුණි. එකළ ධනවතා හා බලවතා එකම විය. ධනවත් වූ බලවතාට ද්වේශ කළ අය එසේ ද්වේශ කළේ තම තත්වය දියුණු කරගන්නට ධනවත් වූ බලවතා පාර වසා තිබීම නිසා යැයි කිව හැකිය.

එහෙත් අද දිනයේ ධනවතාට ද්වේශ කරන්නෝ එසේ ද්වේශ කරන්නේ ඇයි? අදත් එසේ තමාටත් ධනවත් වන්නට හැකි මං මාවත් වසා ඇතැයි සිතන්නෝ ඉන්නා රටවල නැති අය ඇති අයට අකැමැත්ත වැඩි ද? ඇති අයට බැන වැදී නැති අයට ලබා දෙනවා යයි කී පමණින් (එසේ කළාත් නැතත්) එවන් අයට කැමැත්ත වැඩි ද?

අද ලෝකයේ ධනවතුන් වඩාත්ම ඉන්නා රට ඇමෙරිකාවයි. සමහර බිලියනපතියන් දැලි රැවුල හරියට කපන්න තරමටවත් නොවැඩුණු තරුණ පිරිසකි. ඔවුන් හා කතාබහෙන් සොයා ගන්නට හැකි වන්නේ ඔවුන් සිය ධනය සොයා ගත්තේ රටට ලෝකයට සේවය කිරීමේ අරමුණින් නොව, මුදල් උපයා ගැනීමේ ද අරමුණින් නොව නව නිර්මාණ බිහි කිරීමට සිත නළියන නිසා දිවා රෑ ඊට වෙහෙස වීමෙනි. ඔවුන්ගේ නව නිර්මාණ මීට කලින් බොහෝ ජනතාව තමාට අවශ්‍ය යැයි දැන‍ෙගන ද නොසිටි ඒවා වෙති. ඒ නිර්මාණ ඔවුන් ඉදිරිපත් කිරීම නිසා විවිධාකාරයෙන් (ඔවුන් ද සිතූ නොපරිදි) ලෝක ජනතාවට එකිනෙකා හා පණිවුඩ හුවමාරුවට, තම රැකියාවන් වඩාත් කාර්යමශීලීව ඉටු කිරීමට, ඒ තාක්ෂණය වෙනත් පැති වලට යොදා ගැනීමට මෙන්ම ලෝකයේ සාමය තහවුරු කරන මාර්ග ද පෑදී ඇත. 

ධනවත් වූ එවැනි තරුණ බිලියනපතියෝ අද ඇඟලා ගන්නේ ටයි කෝට් නොව අනෙක් අය අඳිනා ආකාරයේ ඇඳුම්ම වෙති. ඔවුන් සමහරු තවම කාර්යාලයට යන්නේ බයිසිකලයෙනි. කන්නේ සිය කොම්පැණියේ අනෙකුත් සේවකයන් කන කෑම බීමමය.

නමින් කී පමණින් ඔබ දන්නා ධනපතියෙක් උදාහරණයට ගන්නෙමි. ඇපල් මැකින්ටොෂ් කොම්පැණියේ ස්ටීව් ජෝබ්ස් එවැන්නෙකි. ඔහු අද තරුණයෙක් නොවේ. අද ඔහු පිළිකා රෝගයෙන් පෙළෙයි. ඔහුගේ වසරක වේතනය ඩොලරයක්ය. ඔහු ඩොලරයකින් ජීවත් වන්නේ කෙසේද?

ඇපල් කොම්පැණිය ඇමෙරිකාවේ කොටස් වෙළඳපලට එකතු වූයේ 1980 දීය. 1985 දී ඔහුව එයින් නෙරපා දමන ලදි. එතෙක් ඔහු සැලකිය යුතු මුදලක් හම්බ කරගෙන සිටියේය. 1985 ග්‍රීෂ්ම ඍතුවේ දී ඔහු ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක ඇපල් මැක් කොටස් විකිණුවේය. ඔහු සිය මුදල් ඇමෙරිකානු කොටස් වෙළඳපොලේ ආයෝජනය කළා නම් 1985 ත් අදත් සසඳන විට S&P 500 කොටස් වෙළඳපොලේ පස් ගුණයකින් වැඩි වී ඇත. Nasdaq හත් ගුණයකින් වැඩි වී ඇත. අනුමානයෙන් මෙසේ සලකන්නේ වැටුණු කොටස් වෙළඳපොලේ ඕනෑම කෙනෙකු අවම වශයෙන් හම්බ කරගත් මුදල්ය.

1997 දී ජොබ්ස් නැවතත් ඇපල් කොම්පැණියට පැමිණියේය. 1998 සිට අද දක්වා ඔහුගේ වේතනය වසරකට ඩොලරයකි. අද බිලියන 1.2 මැක් ‍කොටස් ඔහු සතු වුවත් 98 න් පසු ඔහු ඒ එකක්වත් විකුණා නැත. 2006 දී පික්සාර් ඇනිමේෂන්ස් ස්ටුඩියෝ වෝල්ට් ඩිස්නි සමාගමට විකිණීමෙන් ඔහුට බිලියන 4.4 ක කොටස් ලැබුණි. ඩිස්නි කොම්පැණිය තම ආයෝජකයන්ට එක කොටසකට සත 35 ගණනේ ශුද්ධ ලාභයෙන් පංගු කාරයන්ට ලැබෙන මුදල ගෙවති. අද ජොබ්ස් ගේ කොටස් 138 කට එසේ ලැබෙන ඩිවිඩන්ට් කොටස වසරකට මිලියන 48 ක් වෙයි.

ධනවතෙකු නිසා කෑදරයෙකු හෝ ධන‍වතෙකු නිසා නිතැතයෙන්ම නොහොබිනා පුද්ගලයෙකු වේ නම් ජොබ්ස් 98 සිට අද දක්වා වසර 11 ක කාලයක් ඩොලරයට වැඩ කරන්නේ තමාට තව තවත් මල්ල පුරවා ගන්නට නීතියෙන්, සමාජ චාරිත්‍ර වාර්ත්‍ර වලින්, හැකියාවෙන් අවස්ථාව තිබිය දීය. පිළිකා රෝගයෙන් පෙළෙද්දී වැඩට යාමට වෙනුවට තමන්ට ඕනෑ අකාරයේ සුඛෝපභෝගී ලෙසින් අවසන් කාලය ගත කිරීමට ඉඩ තිබිය දීය. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමාගේ මඟ පෙන්වීම යටතේ තවත් නව නිර්මාණ ලෝකයට දීමට බව පෙනේ.

හෙට (27) නිකුත් කරන නව මැක් නිර්මාණය (සමහරු ඊට අයි‍ටැබ්ලට් කියති) ගැන ඇති කසුකුසුව නිසා මෙය ද සටහනට එක් කරමි. මෙතෙක් අප කොම්පියුටරයේ අකුරු ගහන්නට යොදා ගත්තේ ඈත අතීතයක දී (මෙය කියවන සමහර දරුවෝ උපදින්නත් පෙර) පැවති උඩ පැන පැන ගහනා යතුරු ලියනයේ නොහොත් ටයිප් රයිටරයේ අකෘතියකි. එහෙත් නව මැක් නිර්මාණය කී බොර්ඩ් එක වෙනුවට මොනිටර් එකම පාවිච්චි කිරීමට යන බවට ආරංචි ඇත. අළුත් අංග ලෙස කොමිපියුටරය හසුරුවන පුද්ගලයාගේ ඇස්වල ඉරියව් අනුව මොනිටර් එකේ පහළට ඇස් දිව යද්දී ඉතිරිය උඩට ඉබේටම එන්නත්, ප්‍රශ්නයක් අවුත් නළල රැලි ගන්වන විට උදව්කාරයා ඉබේම එන්නත් වැනි කී බෝර්ඩ් එකේ ටයිප් කරනවා වෙනුවට, කර්සර් පොයින්ට් කර කර ෆයිල් අරින්න හදනවා වෙනුවට ඇස් වලින්, වදනින් වැඩ ගත හැකි පාවිච්චි කරන්නාට පහසු පුවරුවක් ඉදිරිපත් කරන්නට යන බව ආරංචි මාර්ග වලින් කියැවෙයි. කොටින්ම කියතොත් අයිෆෝනය වැනි ඇඟිල්ලෙන් තල්ලු කර, තට්ටුවක් දී, ෆයිල් කොපි කරන්නත්, මාරු කරන්නත් හැකියාව ඇති වනු ඇත. එතකොට කී බෝර්ඩ් එකටත්, මීයාටත් විශ්‍රාම දිය හැකි වන්නේය. සුළු ඉඩක් ගැනීමත්, තැන තැන ගෙන යාමටත් පහසුය. මට මැක් කොම්පැණියෙන් ගෙවීමක් නැති බව නැවත මතක් කරමි. මේ අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරුය.

මා මැක් කොම්පැණිය ගැන වැඩිය කියන එක් හේතුවක් නම් එය කවුරුත් දන්නා කොම්පැණියක් වීමය. අනෙක මයික්‍රොසොෆ්ට් පාව්ච්චි කළ අයෙකු එහි ඇති කරදර ගැන දන්නා නිසා මැක් ගැන කතා කිරීම ගැන තරහ නොවනු ඇතැයි සිතාය. තවද දෙකම පරිහරණය කර ඇති නිසා වඩා හොඳ මැක් යයි අත්දැකීම ඇති නිසාත්ය.

තාක්ෂණයට වමත් දකුණත් දෙපැත්තම විරුද්ධය. තාක්ෂණය නිසා තමාට ජනතාව සම්පූර්ණයෙන්ම පාලනය කර ‍ගැනීමට නොහැකියාව දෙපැත්තේම විශ්වාසයයි. වම තාක්ෂණය නිසා මනුෂ්‍යයා වැරදි කරන්නට පෙළඹෙනවා යයි සිතද්දී, දකුණ තාක්ෂණය නිසා පාලකයෝ අනුමත සද්භාවය නැතිව යයි සිතති. නමුත් තාක්ෂණය නිසා ධනවත් වන අය ගැනත්, සම්පූර්ණ බලය නිසා බලවත් වන අය ගැනත් සලකා බලන්න. ඒ දෙදෙනාගෙන් වඩා දූෂිතයෙක් අප බිහිකර ගන්නේ කොයි පැත්තෙන් ද?  

නෙදර්ලන්තයේ හා ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල මනෝවිද්‍යා ආචාර්යවරු කණ්ඩායමක් මෑතක දී පර්යේෂණ පවත්වා සොයා ගත්තේ බලය ලැබීම නිසා කෙනෙක් දූෂණයට යොමු වෙයි කියාය. බලය නිසා දූෂණයට යොමු වන්නා අනෙක් අයට කෛරාටික ලෙසින් තමා පිළි නොපදින එහෙත් අනිත් අය පිළිපැදිය යුතු ඉහළ සද්භාවයකට යා යුතු යැයි කියා සිටියි. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ඔව්හු  Psychological Science  සඟරාවේ පළ කළහ. මෙහිදී ඔවුන්ගේ පර්යේෂණයට භාජනය වූවෝ ගැන යමක් කිය යුතුය. ඔවුන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වූහ. ඔවුන් තවම තමන්ගේ මහන්සියෙන් හෝ දැනුමෙන් ධනය සොයා නොගත්තවුන් වීම ගැන පර්යේෂණයේ සැලකිල්ලක් නොදක්වා තිබීම ම‍ෙග් කණගාටුවට හේතු වෙයි. මන්ද ඉතා ධනවත් එහෙත් බලය අනිසි ලෙස පාවිච්චි කරන කිසිවෙක් ඔවුන් සිය පර්යේෂණයට යොදා නොගැනීම පර්යේෂණයේ ප්‍රතිඵල වල නිවැරදි භාවයට පාඩුවක් සිදු කරයි.

තම දියුණුව සලසා ගත හැකි මාර්ග තිබියදී, පාලකයෝ මාරු කරත හැකි මං මාවත් තිබියදී, නීති රීති වෙනස් කරගත හැකි ක්‍රම සහ විධි තිබියදී, ඒ හැමෙකක් ගැනම විරෝධය පළ කරන්නා කුසීතයෙකි. තමා වෙහෙසක් ගන්නට අකැමති නිසා, තමාට යන මාර්ගයක් තෝරා ගැනීමට උවමනාවක් නැති නිසා, අනුන් අනුකරණයෙන් සියල්ලේම වැරදි පෙන්වා දීම ලෙහෙසි පහසු කාර්යයකි. ගැටළු විසඳීම අපහසුය. ගැටළු පෙන්වා දීම ඉතා පහසුය.

සිහි බුද්ධියෙන් යුතු පුද්ගලයෙකුට අද පැතිරෙන විකාර ලෝකයේ යථාර්ථවාදීව ජීවත් වන්නට හැකිද? පිළිවනි. එහෙත් ඒ තමා ආත්මාර්ථකාමී වුවහොත් පමණි. නැතහොත් පරාර්ථකාමී වන්නට ආත්මාර්ථකාමී විය යුතුය යයි කිවහොත් නිවැරදි වෙයි.

ආත්මාර්ථකාමී යනු බාහිර බඩු භාණ්ඩ ගොඩ ගසා එකතු කර ගැනීමක් නොවේ. සිය අධ්‍යාත්මය දිහා බැලීමකි. මෙහිදී මා අදහස් කරන ආත්මාර්ථකාමීත්වය නමි හොඳ නරක ගැන අගැයුමක් දීමට පසුබට නොවන අයෙකු වීම යන්නයි.

එසේ කරන්නට තමා හොඳ අයෙකු වන්නට වුවමනාය. තමාගේ ප්‍රතිපත්ති තමා පිළිපදිනා කෙනෙකු විය යුතුය. ‍එසේ නොවී දෙන අගැයුම කෛරාටික විකාරයකි.

තමා හොඳ අයෙකු වන්නට අවශ්‍ය යන ප්‍රස්තුතය නිසාම බොහෝ අයෙක් සද්භාවය ගැන අගැයුමක් කියන්නට පසුබට වෙති. අනිත් අයව විනිශ්චය කරන්න නම් තමාව විනිශ්චය කිරීමට අන් අයට ද අයිතියක් ඇතැයි පිළිගැනීමට සිදුවන නිසාවෙනි. ඒ නිසා අත්සන් ගසා ගාන නොලියපු චෙක් පතක් අනිත් අයට දෙන්නේ තමාට ද එසේම අත්සන් ගැසූ නමුත් ගණන ලියා නැති චෙක්පතක් ලැබේ යයි අපේක්ෂාවෙනි.

පරිසරයේ ඇති විකාර දැක දැක ඒවා ගැන කිසිත් නොකියන ලෝකයකට අද අප පිවිස ඇත්තෙමු. අප ඊට ගොඩ වී ඇත්තේ අපේ උවමනාවකට නොවූවත් එහි ලැග සිටින්නේ අපේ කැමැත්තෙන් ද කියා තමා විසින් තමාගෙන් ප්‍රශ්න කළ යුතුය.

විකාරයන් පැතිරීමට ඉඩ දෙන ක්‍රම බොහෝය. වඩාත්ම ඉක්මණින් විකාර පැතිරෙන්නේ ඊට කිසිත් ප්‍රතිචාර නොදක්වා නිහඬ වන ජනතාවක් සිටිනා සමාජයේය. මේ නිසා විකාරයේ ‍නියැළෙන වාග් සටනින් ජය ගන්නා (අනිත් අය නිහඬ බැවින්) සුළු පිරිස තමා හරි යයි සිතති. කිසිත් තනිවම නිශ්චය කරගත නොහැකි රැල්ලට පෙරළෙන්නෝ අර සුළු පිරිස කියන්න අනුගමනය කරති.

ඒ හැරෙන්නට විකාර පැතිරෙන තවත් ක්‍රමයකි. විකාරය මෙයයි පෙන්නා දෙන්නෝ එය තේරුම් ගත හැකි ආකාරයට පෙන්වා දීම වෙනුවට කැඳ හැලියේ කළතා ගත් කාටවත් වටහා ගත නොහැකි කරුණු පෙන්වීමය. එසේම යමක් වැරදි බව පුන පුනා කියන්නෝ එය වැරදි ඇයි දැයි කියා නැතිකමය. ඉතින් අනුගමනය කරන්නාට පෙනෙන්නේ වැරදි පෙන්වන අයගේ අඩුපාඩු මිස වැරැද්දේ ඇති අඩුපාඩුව නොවේ.

උදාහරණයක් ගත් කළ, ලාංකික රූපවාහිනියේ වැඩ සටහන් වල දුර්වලතා, වැරදි ගැන පත්තර වලට ලියන්නෝ මහත් රාශියකි. එහෙත් ඒ අය දුර්වලතාවයේ අඩුපාඩුව කුමක්දැයි ‍නොකියයි. වැඩ සටහන් හි විකාශනය වන දේ ප්‍රමිතියෙන් තොර යයි කීම පහසුය. එහෙත් එය ප්‍රත්‍යක්ෂ සත්‍යයක් නොවේ. ප්‍රමිතියෙන් තොර වීමේ ඇති වැරැද්ද කුමක්දැයි පෙන්වා දිය යුතුය. එසේ කරන්නට දැනුම නැති නිසා සංකර වීම වැරදි යයි සියල්ලෝ පිළිගන්නා සත්‍යයක් ලෙසින් කතා කරද්දී, එය නොදන්නා අය (විශේෂයෙන්ම තරුණ කැළ) ඊට සවන් නොදෙති.

හොඳ නරක ගැන තවෙකෙකුට විග්‍රහ කරන්නට ඉඩ නොතබා තමා ඒ ගැන තම බුද්ධියෙන් සොයා බැලිය යුතුය. ලොව වැඩියෙන් සිටින්නේ බුද්ධිමත් පුද්ගලයෝය. නැතිනම් මේ වනවිට මනුෂ්‍යයා ලෝකයෙන් වඳ වී ගොස්ය. එකෙක් ඔසාමා බින් ලාඩන් වූ පමණින් සියල්ලෝම බින් ලාඩන්ලා නොවෙති. නමුත් ‍බින් ලාඩන් හඳුනාගත් කළ නිහඬව සිටීම බුද්ධිමත් පැවැත්මක් නොවේ.

විකාර දකිනා කළ පෙළපාලි යන්නට හෝ පෝස්ටර් ගහන්නට අවශ්‍ය නැත. එහෙත් තම අකැමත්ත ප්‍රකාශ කළ හැකි මාර්ග ඉදිරියේ නිහඬතාවය දැක්වීම ද සුදුසු නැත. වැරදි පෙන්වා දීමෙන් මොළයේ වැඩීමට බාධා ඇතිවේ යන නූතන පිළිගැනීම නිසා කිසිම හරි වැරැද්දක් නොදන්නා පරම්පරාවක් ඇති වී ඇත. ඔව්හු දෙවියන්වහන්සේ හෝ ආගමික සංස්ථා නිර්දේශ කර ඇති ගුණ ධර්ම (ඒවායෙහි හරි වැරදි වෙනම කතාවකි) පිළිගන්නේ  නැත. එසේම සිය කල්පනා ශක්තිය මෙහෙයවීමට ද ඉගෙන ගෙන නැත. හිතට දැනෙන ආවේග මත හරි වැරදි අගැයුම් දීම අද පවතින ආචාර ධර්ම මිම්ම වී ඇත. ඒ නිසාම එක දිනෙක වැරැද්ද තව දිනෙක නිවැරදි යයි කියා ගන්නට ඔවුනට හැකියාව ලැබී ඇත. අනේ මං දැනගෙන හිටියේ නෑ යයි කීම නිදහසට හේතු ලෙසින් ඉදිරිපත් කිරීමට හුරු පුරුදු වී ඇත.

‍දැන කළත් නොදැන කළත් වරැද්ද වැරැද්දම වෙයි. නොදැන කළ නිසා සමාව දිය හැකිය. එහෙත් එය වැරැද්දක් කළා වීමෙන් ගැලවීමක් නොවන්නේය.

ආචාර ධර්ම යනු අභූත වූ ෆැන්ටසියක් නොවේ. එය සමාජ සම්ප්‍රදායක් ද නොවේ. එය අත්හැර දැමිය හැක්කක්ද නොවේ. එය පරාධීන වූ සුඛෝපභෝගීත්වයක් ද නොවේ. ආචර ධර්ම වනාහි මනුෂ්‍යයාගේ පැවැත්මට විෂයමූලික වශයෙන් අතිශයින් අවශ්‍ය වූවකි.

සටහන අද දිග එකක් වුනාට කමක් නැතැයි සිතමි. අන්තර්ජාලයේ ලංකාවේ චන්ද ප්‍රතිඵල වැටෙන තෙක් කියවන්නට දේත් තියෙන්න ඕනනෙ!