අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිස් සිතක ඇති තවත් අපූර්ව ලක්ෂණයක්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 22, 2021

අනෙක් මිනිසෙකුගේ මානසික තත්වයක් මනාව හඳුනාගැනීමේ අපූර්ව හැකියාව ඇත්තේ තවත් මිනිසෙකුට පමණි. එකම ප්‍රශ්නය නැවත නැවත අසද්දී එකම උත්තරය දෙන හුරුව බොහෝ දෙනෙකුට තිබුණ ද, එකිනෙකා හා කතාබහේ දී ඕපපාතික වූ අදහස් හුවමාරුවක් පමණක් ඇත්තේ ද මිනිසාට පමණි. භාවිතයට ගන්නා බවක් පෙනෙන්නට නොතිබුනත්, තම විශ්වාසයන් එසේ විශ්වාස කරන්නේ මන්දැයි විචාරය කරත හැකියාවෙන් ද මිනිසා යුතුයි.

මේ සියල්ලේ මිනිසා නිරත වෙන්නේ මිනිස් සිතක ඇති අපූර්ව හැකියාවක් නිසායි. එය හියුගෝ මර්සියෙර් (Hugo Mercier) සහ Dan Sperber විසින් හඳුන්වා දෙන්නේ නියෝජන නියෝජනය (representing representations) කළ හැකියාව හෙවත් පාරනියෝජන (metarepresentations) බිහිකරන හැකියාවක් ලෙසටයි. “වැස්සක් වහීවි යැයි අමර විශ්වාස කරන බව සාමා විශ්වාස කරනවා,” වැනි වාක්‍යයක් වටහා ගැනීම තනිකරම මිනිස් ස්වභාවය සතු වූවකි.

මේ හැකියාව නිසා අමර කඩේ නොයා ගෙදර ඉන්නට තීරණය කළ බව හෝ කඩේ යනවා නම් කුඩයක් අරන් යන බව ද අනුමිතියට හැකියාව ලැබේ. මේ හැකියාව මිනිසාට ලැබෙන්නේ තම සිතුවිලි අතර උපදින ඕනෑම සිතුවිල්ලක් අනුන් වෙත ද ආරෝපණය කරන්නට හැකියාව සහජයෙන්ම පිහිටා තිබීමෙනි.

මෙහි දී අදහස් වෙන්නේ මම හිතන තරම් තර්කානුකූලව හා හැඟීම් වලට වහල් නොවී අනුන් ද හිතන්නේය යැයි සිතීමක් පිළිබඳව නොවේ.

පාවිච්චියට නොගන්නා නමුත් එසේ ද සිතීමට හැකියාව මිනිසාට ඇත. අපේම වූ නියෝජනයන් අනුන්ට ආරෝපණයට හැකියාව අපට ඇතිවා සේ ම, අප ජයගත් දුර්වලතාවයන් වලින් තවමත් අනුන් වහල් වී සිටිය දී, අප තුල ඒවා තවදුරටත් නැති වුව ද, ඒවා අනුමිතියට (inference) අපට හැකියාව ඇත.

ක්‍රෝධය, වෛරය හා ඊර්ෂ්‍යාවෙන් පීඩා විඳින්නෙකු නොවෙද්දී පවා ඒවායේ ග්‍රහණයේ පසුවෙන අයගේ හැඟීම් හඳුනාගන්නා හැකියාව අපට ඇත.

ඒ අනුව අනුමිතියන් ගොඩනඟා ගෙන එයින් ප්‍රයෝජන ගන්නට හැකියාව ද මිනිසාට ඇත.

මේ අපූර්ව හැකියාව විසින් මිනිසාට සමාජයක වාසයේ දී අනෙකුත් මිනිසුන් හඳුනාගැනීමට ඉඩක් විවෘත කර දී ඇත.

අපේ විශ්වාසයන් බොහොමයක් ගොඩනැඟී ඇත්තේ අනෙකුත් අය හා කරන ලද අදහස් හුවමාරුවෙනි. මිනිසුන් ඔවුන්ගේ විශ්වාස, උවමනාවන්, ආශාවන්, බිය හා ආදරය යනාදිය ගැන අනුන් හා කියති. ‘වැස්සක් වහීවි’ යන්නට වඩා ඔබ්බකට යන ‘අමර විශ්වාස කරනවා වැස්සක් වහීවි’ යන්න වැනි සංකල්පයක් වටහා ගැනීමට තිබෙන හැකියාවෙන් අපට හේතු ගැන අදහසක් ඇතිකරගත හැකියි.

වැස්සක් වහීවි යැයි අමර විශ්වාස කරද්දී ඇයි එයා එහෙම කියන්න හේතුව? එය අපි කඩේ යා නොයුතු යැයි කියන්නට ගෙනා හොඳ තර්කයක් ද? අමර විශ්වාස කරන්න සාමා ද විශ්වාස කරන්නේ නම්, එනම් වැස්සක් වහීවි යන්නට එකඟ වෙන්නේ ද, එවිට සාමා විසින් අමර කඩේ යා නොයුතු බවට ගෙනෙන තර්කය පිළිගන්නට ද එකඟ වෙනු ඇත.

අනුන්ගේ නියෝජන අපේ කරගන්නටත් අපේ නියෝජන අනුන්ගේ කරගන්නටත් පුළුවන් හැකියාව නිසා කදිම විසඳුම් සොයාගන්නට මිනිසාට අවස්ථාවන් පෑදී ඇතත්, එම විසඳුම් සොයා ගත්තේ නියෝජන පමණකින් නොවේ. ඒ සඳහා වාග් කෞශල්‍ය සහ චර්යා ඉඟියන් ද උදව් උපකාරයට ගනියි. එසේම අයෙක් තුල ඇති සියළු නියෝජන සැලකිල්ලට ගැනීමක් අනවශ්‍ය වේ. සමහර විට අමර වැසි දවසක කඩේ යන්නට කැමති අයෙක් විය හැකියි. ඒ නිසා වැස්සක් වහීවි යැයි අමර කියන්න සාමාට ඇහෙද්දී ඇය ‘වැස්සක් වහීවි’ යන්න ගැන ඇති සියළු නියෝජන අමරගේ ප්‍රකාශය තුලින් පමණක් ලබන අනුමිතියන් වලින් බලාපොරොත්තු නොවේ.

අනුමිතියන් (inference) අවශ්‍ය ඇයි?

මනෝවිද්‍යාව පහදන පරිදි කළින් පහදා ගන්නා ලද නියෝජනයන් මත පදනම් වූ නව නියෝජනයන් බිහිකිරීම යනු අනුමිතියයි. කළින් පැවති විශ්වාසයක් තුලින් අළුත් විශ්වාසයක් බිහිවීමේ දී එය සවිඥානිකව කරන ලද්දක් හෝ උවමනාවකින් කරන ලද්දක් ද විය හෝ නොවිය හැකියි.

විචාරය නිසා මිනිස් මනසකට හැදියාවෙන්, සහජ ආශයෙන් හා සංජානනයෙන් ඔබ්බට යා හැකියාව ලැබේ. එහෙත් මේ ගැන සොයා බලද්දී දැනගන්නට ලැබෙන්නේ බොහෝ විටෙක අනුමිතියන් කරා එළඹෙන්නේ ප්‍රතිභානයෙන් උත්පාදනය වූ විශ්වාස (intuitive beliefs) තුලින් මිසෙක ඒ විශ්වාසයන් අල්ලා සිටින්නේ මන්දැයි ගැන වූ හේතු පිළිබඳ අවබෝධයකින් තොරව සිද්ධ වීම නිසා බවයි.

අයෙක් තමන් යම් විශ්වාසයක් අල්ලා ගත්තේ මන්දැයි ප්‍රතිභානයෙන් නොව හේතු ගැන දැනීමකින් සිටින්නේ ද ඒවා කල්පනාවෙන් බිහි වූ විශ්වාස (reflective beliefs) වෙති. මෙසේ විමසිල්ලකින් පසු යම් විශ්වාසයක් පිළිගැනීමට සවිඥානිකව දක්වන හේතුව නම් ඒවා ඉදිරිපත් කරන ලද මූලාශ්‍රය ගැන ඇති පැහැදීම නිසාය. එසේම කළින් පිළිගන්නා ලද්දකට පටහැනි වූවක් විචාරයට ලක් කරද්දී පිළිගැනීමට නොහැකි යැයි ද අවබෝධ වීමෙන් එය ප්‍රතික්ෂේපයට ද ඉඩ තිබේ. මෙවැනි අවබෝධයක දී නිගමනය ගැන පමණක් නොව එම නිගමනය පිළිගැනීමට යුක්ති සහගත වූ තර්කයක් ඇත්දැයි විමසා බැලීමක් සිද්ධ වේ.

බොහෝ අයට තමන් තුල පවතින ප්‍රතිභාන අනුමිතියන් වලට තාර්කික වූ යුක්තිසහගත හේතුවක් ඇත්දැයි සොයා බලන හැදියාවක් නැත. එහෙත් තම විශ්වාසයන් එසේ අල්ලා ගෙන සිටින්නේ මන්දැයි විචාර බැලීමට නම් ඒ විශ්වාසය තමන් පිළිගෙන සිටින යුක්ති සහගත පදනම කුමක් දැයි කියා ද විමසා බැලිය යුතුයි.

ඔබ පෙනී සිටින විශ්වාසයන් එසේ විශ්වාස කරන්නෙ මන්දැයි කියා විචාරය කර බලන්න, තමන් ගැනම අපූරු දේවල් දැනගන්නට ඔබට හැකිවෙයි.

මුළු ලෝකයේම රේඩියෝ මාධ්‍යවේදියෙක් හැටියට වැඩියෙන්ම ආදායමක් උපයන්නට සමත් වූ රෂ් ලිම්බෝ මිය ගිය වගයි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 17, 2021

ඇමෙරිකන් දේශපාලනය ගැන විමසිලිමත්ව සිටින අයෙක් රෂ් ලිම්බෝ යන නාමය දැන සිටින්නකි. ඔහුව මහත් සේ අගයන පිරිසක් මෙන්ම ඔහුගේ නම පවා අසන්නට අකමැති පිරිසක් ද ඇමෙරිකාවේ සිටිති.

වයස අවුරුදු 16 දී ප්‍රථම වරට රේඩියෝ රස්සාවක් ලබන ඔහු රේඩියෝ මාධ්‍යයට ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම මහත් සෙයින් ඇලුම් කරන්නට පටන් ගනියි. විවිධ ප්‍රාන්ත වල විවිධ රේඩියෝ නාලිකා ගණනාවක් තුළ විවිධ අන්වර්ථ නම් යොදා ගනිමින් සේවය කරන ඔහුව පටන් ගත් කාලයේ පටන් තැන් ගණනාවකින් අස්කර දැමීමත් සිද්ධ විය.

මුළු ඇමෙරිකාවටම ඇහෙන්න ඔහුට කතා කරන්නට අවස්ථාව ලැබෙන්නේ ඔහු “ද රෂ් ලිම්බෝ ෂෝ” නමින් 1988 දී පටන් ගත්, සෑම සතියේ දවසකම දහවල් 12 සිට සවස 3 දක්වා පැය තුනක් පවත්වාගෙන ගිය රේඩියෝ වැඩ සටහන නිසයි.

ලෝකයේ රේඩියෝ මාධ්‍යවේදියෙකුට සිහින මවන්නට හැකි අසන්නන් රැසක් සතියේ සෑම දිනයකම පාහේ ඔහුට සවන් දෙන්නට එකතු වූහ. සතියකට එකතු වෙන අසන්නන් සමුච්චිතය මිලියන 15.5 ක් යැයි රේඩියෝ මාධ්‍යය වෙනුවෙන් ඇති සඟරාවක් 2019 දෙසැම්බර් මාසයේ දී ප්‍රසිද්ධ කළේය. 2020 නොවැම්බර් මාසය වෙද්දී අසන්නන් සංඛ්‍යාව මිලියන 20 කට වැඩි වූ බවක් දත්ත ඉදිරිපත් කරන අයගෙන් දැනගන්නට ලැබුණා යැයි රෂ්ගේ වැඩ සටහනේ දී සඳහන් කරනු ලැබීය.

හිතන්න, සෑම සතියක දී ම ඔබට මිලියන විස්සක් අමතා කතා කරන්න අවස්ථාවක් ඔබ විසින්ම වර්ධනය කරගත්තාය කියා?

ඔහු රට පුරා දේශන පවත්වන්නට ද ගියේය. 1990 දී පවත්වන ලද දේශන 45 ක් සඳහා ඔහු ඩොලර් ලක්ෂ තිස්හයක් උපයන්නට සමත් වූවා යැයි කියැවේ. ඔහු 2014 දී පමණ ෆිලඩෙල්ෆියා නගරයේ අතුරු සිදුරු නැතිව පිරී තිබුණ නාට්‍ය ශාලාවක දී පැවැත්වූ දේශනයක් අහන්නට මමත් ඩොලර් අසූවක් පමණ ටිකට් පතක් මිල දී ගෙන ගියෙමි.

කොන්දේ අමාරුවකුත් අනතුරුව වැරදුන සැත්කමක් නිසාත් ඔහු වේදනා නාශක බෙහෙත් වලට ඇබ්බැහිව සිටියේය. ඒ ගැන සිය රේඩියෝ ෂෝ එකෙන් අසන්නන් වෙත දන්වන ඔහු එදින වැඩ සටහන අවසන් කළ පසුව එයින් ගැලවෙන්න ප්‍රතිකාර ලබාගන්නා මධ්‍යස්ථානයකට ඇතුල් විය. තවත් සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වන බිල් මෙයර් එ් ප්‍රවෘත්තිය ඇසුණ විට එදින සවස ඔහුගේ ටෙලිවිෂන් වැඩ සටහනේ දී මෙවැනි කතාවක් කී බව මගේ මතකයේ ඇත: කවුද කියන්නෙ මත්ද්‍රව්‍ය ගත්තම මනසට හානි වෙනවා කියල, බලන්නකො රෂ් දිහා.

ඔහුගේ කන් ඇසීම කෙමෙන් දුර්වල වී ගොස් ඇසීමේ හැකියාව සම්පූර්ණයෙන් නැවතිණ. කොක්ලියර් ඉම්ප්ලාන්ට් සැත්කමෙන් පසුව ඔහු දිගටම තව වෘත්තියේ යෙදුනේය. ඒත් ඔහුට 2001 ට කළින් නිකුත් නොවන ලද සිංදු ඒ හේතුව අහන්නට හැකියාවක් නැතැයි කියැවේ.

2008 දී තම වැඩසටහන සඳහා වසර අටක කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන ඔහුට මිලියන $400 ක් එ් සඳහා ගෙවීම් වශයෙන් ලැබෙන බව එවක දී ඔහු කියා තිබිණ.

ඔහු විවාහ වී සිටින්නේ ඔහුගේ හතරවැනි භාර්යාව සමඟයි. ලිම්බෝ මිය ගිය බව ඔහුගේ පෙබරවාරි 17 වැනිදා වැඩසටහන පටන් ගනිමින් නිවේදනය කළ සිටියේ කැතරින් නැමති ඒ හතරවැනි භාර්යාවයයි.

ඕවර්ටන් ජනේලය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 16, 2021

ආධුනිකයන් විසින් වෘත්තීය පුහුණුව ලද අයට වඩා හොඳින් ප්‍රතිඵල පෙන්නනවා නම් ඒ වෘත්තියේ කුමක් හෝ අඩුපාඩුවක් ඇති බව පෙන්වා දුන්නේ තෝමස් සෝල් (Thomas Sowell) නම් ඇමෙරිකන් අර්ථ ශාස්ත්‍රඥයායි.

එය තව දුරටත් පැහැදිලි කරන්නට ඔහු වෛද්‍ය වෘත්තියෙන් උදාහරණයක් ගෙන දක්වයි. වෛද්‍ය අධ්‍යාපනයක්, පුහුණුවක් නැතිව ගෙදර කුස්සියේ ඇති පිහි වලින් සැත්කම් කරන්නට ඉස්පිරිතාලයේ ඉන්නා වෛද්‍යවරැන්ට වඩා හොඳ හැකියාවක් ඇත්නම් සම්පූර්ණ වෛද්‍ය වෘත්තියම අපකීර්තියට පත් වේ.

එහෙත් වර්තමානයේ දී අධ්‍යාපනය සපයන්නට කිසිත් පුහුණුවක් නොමැති දෙමව්පියන් ගෙදර පාසැල් වලින් තම දරැවන්ට උගන්වා ඉහළ උපාධි ඇති මහා වැයක් දරන පාසැල් ක්‍රමයට වඩා සාර්ථක ප්‍රතිඵල ලබන්නට සමත් වෙති. ඒත් තවමත් අපි මේ අධ්‍යාපනය බෙදන වෘත්තියේ යෙදෙන අයව ඒ ගැන මහා දැනුමක් සතු විශේෂඥයන් හැටියට සලකමු.

මෙවැනි තත්වයක් උදා වී ඇත්තේ මධ්‍යම සැලසුම් ක්‍රමයකින් ආර්ථිකය හසුරැවන්නට යන නිසා බව තෝමස් සවෙල් පැහැදිලි කරයි.

ඉහළ අධිකාරියකින් සැමට බලපාන තීරණ ගෙනෙද්දී, අධ්‍යාපන දෙපාර්තමේන්තුවකින් කුමන විෂයයන් සමත් විය යුතු ද නැද්ද හෝ කුමන විෂයයන් අධ්‍යයනය කළ යුතු ද නැද්ද යනාදිය තීරණය වෙද්දී ඒවායේ සැලසුම් හදන්නට උපදෙස් දෙන විශේෂඥයන් මහා විශාල සංඛ්‍යාන දත්ත දිහා බලමින් ඒ තීරණ ගෙනෙති. ඔවුන් නිරීක්ෂණයට ගන්නා ඒ දත්ත සමූහය සාමාන්‍ය ජනතාවට වටහා ගත නොහැකියි. ඔවුනට ඒවා දකින්නට ද ලැබෙන්නේ නැත.

කාලයෙන් කාලයට ඔවුන්ගේ ක්‍රමය වෙනස් කරද්දී මේ මධ්‍යම සැලසුම්ගත ආර්ථිකයන් තමන්ගේ අසාර්ථක තත්වයන් වසා ගන්නේ ඒවා කළින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති යැයි දක්වමිනි. නැත්නම් “අලුත්” “යහපත්” “නවීන” සමාජයක් ගොඩනඟන්නට වෙනත් ප්‍රතිපත්ති ගෙන ආ යුතු යැයි කියමිනි.

නිදහස් වෙළඳපොල ආර්ථිකයන්ට වඩා මහත් පසුපසකින් මේ මධ්‍යම සැලසුම්ගත ආර්ථිකයන් සිටින බව නොකියා මේ විශේෂඥයන් ඒ හැමදාම ගෙනෙන සැලසුම් වල අසාර්ථක බව පටවන්නේ ඔවුන්ගේ සැලසුම් හැදීමේ ක්‍රමය මත නොව වෙනත් කුමන හෝ කාරණයටයි.

වෙළඳපොලට තීරණය කරන්න ඉඩක් නොදෙන විට කොතරම් ඉහළ උපාධි තිබුණත්, කොතරම් දත්ත එකතු කළත්, කොතරම් සැලසුම් හැදුවත් ආර්ථිකය සාර්ථක බවක් කරා ගමන් කරන්නේ නැත. ආර්ථිකය දුර්වල වෙද්දී ඒකීය පුද්ගලයන්ට ද පැහැදිලි ආදායම් මාර්ගයක් තෝරා ගැනීමේ හැකියාව මැකී යයි. එවිට ඒ ඒ කාලයට ආණ්ඩුවෙන් කියන ඒ ඒ විෂය හදාරා ඊ ළඟට රැකියාවක් ආණ්ඩුවෙන්ම ලබා දෙන තුරැ බලා සිටින්නට සිද්ධ වේ.

ජෝසෆ් පී. ඕවර්ටන් නැමැත්තා මිචිගන් හි මහජන ප්‍රතිපත්ති සඳහා වූ මැකිනැක් කේන්ද්‍රයේ විධායක තනතුරක් දරන කාලයේ නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වල අරමුණ පැහැදිලි කරන ක්‍රමයක් නිර්මාණය කළේය. මෙය ඕවර්ටන් ජනේලය හැටියට හැඳින්වේ. ඕවර්ටන් ජනේලය කියන්නේ ප්‍රතිපත්ති සාධනයේ දී හමුවෙන ඕනෑම ගැටළුවක් ඉදිරියේ එය නිරාකරණය කරන්නට පිවිසෙන ක්‍රම මහත් සංඛ්‍යාවක් තිබෙන බව පෙන්වීමයි. ඒවා අක්ෂ රේඛාවක පිළිවෙලකට තැබිය හැකියි.

ආණ්ඩු පාලනය අවශ්‍ය යැයි කියන විසඳුම් (මෙය නිදහස් වෙළඳපොල සංවිධාන වෙනුවෙන් සකස් කරන ලද්දක් බව නැවත මතක් කරමි) එහි වැටෙන්නේ අවසානයටයි. ඒකීය පුද්ගලයාට නිදහස සහ වගකීම ලැබෙන විසඳුම් මුලින් තිබේ.

ඕනෑම ප්‍රතිපත්ති සම්පාදනයක දී දේශපාලනඥයන් මේ විසඳුම් වලින් උපකුලකයක් පමණක් ප්‍රායෝගික ඒවා යැයි සලකති.

අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ දී එක් අන්තයක පවතින උදාහරණයක් නම් රජයේ පාසැල් වලට පමණක් ඉඩ දී පුද්ගලික පාසැල් තහනම් කිරීමය. අනෙක් අන්තයේ ඇත්තේ රජයේ පාසැල් අධ්‍යාපනය බෙදීමෙන් සහමුලින් ඉවත් වීමය.

බොහෝ සමාජ වල මේ අන්ත දෙක සාකච්ඡාවට ලක්වෙන්නේ නැත. අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතාබහේ දී හැම විටම කතාබස් වෙන්නේ රජයේ පාසැල් වලට කොතරම් ප්‍රමාණයකින් අරමුදල් වැඩි කළ යුතු ද යන්න ගැනයි.

මේ ගැන කතාබහක් සමාජයේ පටන් ගැනෙද්දී, මෙතෙක් කාලයක් එක අන්තයක් පමණක් දැන සිටි ජනතාවකට, එනම් රජය පමණක් අධ්‍යාපනය බෙදන්න දන්නවා යැයි විශ්වාස කළ ජනතාවක් අනෙක් ආකාර ගැන කතාබහට ඉඩක් පාදා ගනිති. අනතුරැව ඔවුන් තම රජයෙන් තමන් කැමති වෙනත් ආකාර වලින් අධ්‍යාපනය ලබා දිය නොහැකි මන්දැයි විමසන්නට හා ඉල්ලා සිටින්නට පටන් ගනිති.

රටේ පාලන බලයේ සිටීමට නම් ජනතාව කැමති දේවල් කරන්නට සිද්ධ වෙන නිසා, රජයක් ජනතාවගේ ඉල්ලීමට සවන් දෙන්න උත්සාහයක් ගනියි. ඒත් හැමදාම ඉල්ලන්නේ අරමුදල් වැඩි කරන්න කියා පමණක් නම්, එය රජයට කරදරයක් වුවත් සතුටු කරදරයකි. කාලයෙන් කාලයට පොඩ්ඩක් පොඩ්ඩක් අධ්‍යාපන සඳහා වැය කරන අරමුදල් ඉහළ යවමින් අපි කොතරම් ඇප කැප වී අධ්‍යාපනය බෙදනවා දැයි කියන්නට පුළුවන්කම ලබා ගනිති.

ඉතින් මෙන්න අධ්‍යාපනය සපයන ආකාර සඳහා දේශපාලන ප්‍රතිපත්තියක් පෙන්වන ඕවර්ටන් ජනේලයක්:

-රජයේ පාසැල් කිසිවක් නොතිබීම
-තමන් තෝරන අධ්‍යාපන සඳහා පමණක් දෙමව්පියන් වැය දැරීම
-පුද්ගලික හා ගෙදර පාසැල් රෙගුලාසිකරණයෙන් තොරව විපරමින් පමණක් සිටීම
-ටියුෂන් ගාස්තු සඳහා බදු සහන
-ටියුෂන් ගාස්තු සඳහා රජයෙන් වවුචර පත්
-පුද්ගලික හා ගෙදර පාසැල් අඩු රෙගුලාසිකරණයෙන්
-රජයේ මුදලින් එහෙත් ස්වාධීනව පැවැතෙන පාසැල්
-රජයේ පාසැල් කැමති එකක් තෝරාගැනීමට අවසර
-රජය මඟින් නියෝග කරන අධ්‍යයන පරිපාටිය අනුගමනයට සිද්ධ වීම
-පුද්ගලික හා ගෙදර පාසැල් ඉතා දැඩි රෙගුලාසිකරණයට යටත් වී. දෙමව්පියන් දෙවතාවක් වැය ගෙවීම
-ගෙදර පාසැල් තහනම්
-පුද්ගලික පාසැල් තහනම්
-රජයේ පාසැල් පමණකින් අනිවාර්ය අධ්‍යාපන වැඩ සටහනක් ලැබීම

තව විස්තර සඳහා මෙතැනින් ගිහින් බලන්න: http://www.mackinac.org/OvertonWindow

අඩු රෙගුලාසිකරණයෙන් යුතු, එනම් ගෙදර දී ඉගෙන ගන්නා බවට දෙමව්පියන් සහතිකයෙන් කැමති කෙනෙකු වෙතින් අධ්‍යාපනය ලබා රජය පවත්වන විභාගයට පෙනී සිටින්නට ඉඩ ලැබෙන ක්‍රමයක් හෙවත් ගෙදර පාසැල් ක්‍රමයකට (home school) ඉඩ ලැබෙනවා නම් වර්තමාන ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් කියා නාස්ති වෙන වැයෙන් මහා විශාල ප්‍රමාණයක් ඉතිරි කරගන්නට හැකියාව ලැබේ. ඒ ඒ විෂයයන් උගන්වන දක්ෂ ගුරැවරැන්ට අන්තර්ජාලයෙන් මහා පිරිසකට එකවර පාඩම් උගන්වා නව ආදායම් මාර්ග ඇති කරගන්නට හැකියාව පෑදෙනු ඇත. වෙළඳපොලට ටිකක් හෝ ඉඩක් ලබා දෙන විට වෙළඳපොල විසින් අපූරැ ආකාරයෙන් අඩු වැයෙන් වැඩි ප්‍රතිඵල සපයන්නට සමත් වෙයි. මන්ද, වෙළඳපොල යනු සංඛ්‍යාන දත්ත දිහා බලා අනුන්ට සැලසුම් හදන විශේෂඥයෙක් නොව ඒ ඒ අයට ඒ ඒ අවස්ථාවේ දී වැඩියෙන්ම වටිනාකමක් ඇත්තේ කුමක් ද එය සපයන්නට හැඩ ගැසෙන, අපි සියල්ලන්ගේම කැමැත්ත හා අකමැත්ත සොයා බලා අඩුපාඩු පුරවන්නට දත්, අපූරැ යාන්ත්‍රණයක් නිසයි.

අවදානමක් ගත්තා නම් අද කොහොමද?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 12, 2021

බිට්කොයින් යනු බුබ්බුලයක් යැයි ද එය පුපුරා යාවි යැයි ද කියා සිතීම සාධාරණ වූ සැකයකි. ඊට අවදානමක් ගන්නා ඕනෑම පුද්ගලයෙක් එය එසේ නොවන්නේය කියා කියන්නේ නැත.

ටෙස්ලා කොම්පැණිය විසින් පහුගියදා බිලියන 1.5 කට බිට්කොයින් මිල දී ගැනීම නිසාත්, අනාගතයේ දී බිට්කොයින් දී ටෙස්ලා වාහන මිල දී ගන්නට හැකියාව පාදන බව ප්‍රචාරය වීමත් නිසා ඒ ගැන ඇති අවධානය ඉහළ යන්නටත්, ඒ නිසාම බිට්කොයින් මිල ඉහළ යෑමත් දකින්නට ලැබුණි.

බිට්කොයින් ගැන බ්ලොග් සටහනක් මම මුලින්ම එකතු කරන ලද්දේ 2013 දී ය. ඉන්ටනෙට් හරහා බිට්කොයින් වලින් සිද්ධ වූ පළමු ගණුදෙනුව, එනම් (Laszlo Hanyecz) බිට්කොයින් දහදාහකට පිට්සා දෙකක් මිල දී ගැනීම ගැන ඒ සටහනේ ලියුවෙමි. බිට්කොයින් වලින් පිට්සා මිල දී ගන්නට කැමැති යැයි ලැස්ලෝ ඉල්ලීමක් ඉන්ටනෙට් හි සටහන් තබයි. 2010 මැයි 22 දින ඒ ඉල්ලීම සපුරාලන්නට බාර ගන්නා jercos විසින් බිට්කොයින් දහදාහකට පිට්සා දෙකක් ලාස්ලෝට ඩිලිවරි කරන්නට එකඟ විය.

එදින පටන් බිට්කොයින් පරිහරණය කරන්නන් අතර මැයි 22 දිනය “බිට්කොයින් පිට්සා දිනය” හැටියට හැඳින්වෙන්නට පටන් ගැනුණි.

එසේම බිට්කොයින් දහදාහක් සඳහා ලබාගත් පපා ජෝන්ස් පිට්සා දෙකේ දවසේ වෙළඳපල අගය කුමක්දැයි කියා දක්වන @TheBitcoinPizza නමින් ට්විටර් ගිණුමක් ද ඇත. එයට අනුව මෙය ලියද්දී ඒ 2010 ගණුදෙනුවේ පිට්සා දෙකේ දැන් අගය ඇමෙරිකන් ඩොලර් 468,681,974.75 කි.

මෙය ලියද්දී බිට්කොයින් එකක් ඇමෙරිකන් ඩොලර් 47,753.30 කි.

2010 ජූලි 28 දා බිට්කොයින් ගැන දන්නා අය අතලොස්සක් වූ කාලයේ දී එකක් ගන්නට ආයෝජකයන් ගෙව්වේ සත 6 කි. 2011 දී එය $3.19 කි. 2012 දී එය $13.54 කි.

මම මෙහි ප්‍රථම බිට්කොයින් සටහන පළ කරන්නට ඒ ගැන තතු සොයද්දී බිට්කොයින් එකක් $300 ක් පමණ විය. ඒ වසරේ මම සහභාගී වූ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර සම්මන්ත්‍රණයක දී හිතවතුන් අතර බිට්කොයින් නොමිලේ බෙදා දුන් අය සිටියහ. ඔවුන් කතා කළේ ඒවායෙන් මිල දී ගත හැකි භාණ්ඩ තියෙන්නේ කොතැනකදැයි කියායි. ආයෝජනය සඳහා තබා ගැනීම ගැන කතා කළ අය සිටියේ ඉතා අල්පයකි. බොහොමයකට එය හුවමාරු මුදලක් කිරීමේ දැඩි උවමනාවක් ඇති බව පෙනිණ. 2013 දෙසැම්බර් මාසයේ දී ප්‍රථම වරට බිට්කොයින් මිල සැබෑ ඉහළ යෑමක් පෙන්නුම් කළේය. බිට්කොයින් එකක් $638 ක් විය.

අලුතින් එන ඩිජිටල් මුදල් වලින් යම් ප්‍රමාණයක් නොමිලේ බෙදා හරිමින් ඒවා ප්‍රචලිත කරන්නට ගන්නා උත්සාහයන් අද පවා දකින්නට ලැබේ. ආයෝජන කරන අය එකම තැනක සියළු වත්කම් තියාගන්නට අකමැතියි. ඒ නිසා මෙවැනි වෑයම් වෙත ඇදී යන අය නොමඳව සිටිති. වත්කම් වැඩි කරගන්නට අවදානම් නොගෙන නොහැකියි. ඒත් තමන් ගන්නා අවදානම් මොනවාදැයි කියා හැකි තරම් දුරකට සොයා බලන්නට අවදානම් ගන්නට යන්නා දැන සිටිය යුතුයි.

රුසියාවේ උද්ඝෝෂණ සහ ඇමෙරිකාවේ වාරණ

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 3, 2021

නොවිචොක් නැමති විෂ වායුවෙන් පසුගිය ගිම්හානයේ දී රෝගාතුර වූයේ ඇලෙක්සියි නැවල්නි නැමැත්තාය. ඒ පූටින්ට විරෝධය දක්වන්නට යෑම නිසයි. වංචා සහ දූෂණ වලට එරෙහිව ක්‍රියාකරුවෙක් ලෙසින් සහ “රුසියාවේ අනාගත සඳහා පක්ෂයේ” නායකයා හැටියටත් කටයුතු කරන ඔහු දේශපාලනයට බහින්නට පෙර නීතීඥයෙක්ව සිටියෙකි. නැවල්නි සමාජ මාධ්‍ය වලින් ජනතාව සමඟ සම්බන්ධතාවය පවත්වා ගත් අයෙකි. “යූ ටියුබ්” සහ “ට්විටර්” ඔහුගේ අනුගාමිකයන්ගේ ප්‍රියතම ක්‍රමවේද වෙති. දැන් ඔහුගේ අනුගාමිකයන් විසින් ඊට “ටෙලිග්‍රෑම්” ද එකතු කරගෙන ඇත.

රජයේ දූෂණ ගැන හෙළි කරන්නට යද්දී, හෙළිදරව් කරන්නාගේ වංචා නිසා ඔවුන්ව අත් අඩංගුවට ගැනීම අද ඊයේ යොදා ගත් උපක්‍රමයක් නොවේ. ඉතින් කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ යැයි තෝරා බේරාගත නොහැකිව මිනිස්සු සාමාන්‍යයෙන් පැත්තක් නොගෙන සිටිති. ඒත් රුසියානුවන්ට තව දුරටත් පැත්තකට වී බලාගෙන සිටින්නට නොහැකි කාලය උදා වී ඇති බවක් පෙනී යයි.

විෂ වායුව රෝගාතුර වූ නැවල්නිගේ ජීවිතය බේරාගන්නට ඔහුව ජර්මනියට රැගෙන යන ලදි. ඒත් වෙනත් රටක සිට තමන්ගේ රටේ විප්ලවයක් ගෙන යාමට ජනතාව උසිගැන්විය නොහැක. නැවල්නි නැවතත් රුසියාවට ගියේය. ඒ පසුගිය ජනවාරි 17 වැනිදාය. ඔහුව වහාම අත් අඩංගුවට ගැනිණ.

“පූටින්ට මාලිගාවක්” නමින් නිර්මාණය කරන ලද වාර්තාකරණයක් එම අවස්ථාවේ දී සමාජ මාධ්‍ය හරහා රුසියානු සමාජයට බෙදා හැරිණ. නැවල්නි නිදහස් කළ යුතු යැයි ද, පූටින් අයින් වී ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු යැයි ද, රට පුරා උද්ඝෝෂණ පටන් ගැනුණි.

පෙබරවාරි 2 වැනිදා නිවැල්නිට වසර දෙකහමාරක් දණ්ඩන ජනපදයක සිර දඬුවමක් ගෙවිය යුතු බව තීන්දු කරන ලදි. ඔහු රඳවා ඇති මාට්‍රොස්කායා ටිෂිනා සිරගෙය ඉස්සරහින් ද පෙළපාලි යන්නට රුසියානුවන් සමත් වූ බව කියැවේ.

රුසියාවේ ගම් නගර වලින් ජනතාව පාරට බැස සිටිති. නැවල්නිට දක්වන සහායටත් වැඩියෙන් ඔවුන් පූටින්ට දක්වන විරෝධය ඉස්මතුව පෙනී ගියේය. උද්ඝෝෂණ මැඬලීම සඳහා රට පුරා පන්දාහකට අධික පිරිසක් පොලිස් අත් අඩංගුවේ පසුවෙති. මොස්කව් වලින් පමණක් 1,600 කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් අතරට නැවල්නිගේ භාර්යාව යුලියා නැවල්නායා ද අයත් වන්නීය. සෙන්ට් පීටර්ස්බර්ග් හි 1,150 කට වැඩි පිරිසක් අත් අඩංගුවට පත්ව ඇත.

සමාජ මාධ්‍ය වලින් සෙනඟ කැඳවන ක්‍රමයෙන්, කලින් තෝරාගත් තැනේ පොලිස් නිලධාරීන් බහුලව ඇත්නම් වෙනත් තැනක දී රැස්වන්නට යැයි “ටෙලිග්‍රෑම්” හරහා දැනුම් දීමට ඔවුන් ඉක්මණින් සමත් වෙති.

පෙබරවාරි 6 වැනි ඉරිදා පවත්වන්නට නියමිත සියළු උද්ඝෝෂණ නීති විරෝධී බව පොලීසිය විසින් අනතුරු අඟවා ඇත. ඒවාට සහභාගී වන අයට සිර දඬුවම් ලැබෙන බවත් දන්වා ඇත. නගර තුළ ඇති දුම්රිය ස්ථාන වසා දමා, ක්‍රෙම්ලිනය අසල වීදි අවුරා, අවන්හල් සහ කඩවල් වලට දිගටම වසා තැබිය යුතු බවටත් නියෝග ලැබී ඇත.

ඉතින් සියළු රුසියානුවන් සාමකාමීව ඉරිදාට ගෙදර සිටීවි ද?

නැත්නම් වසර 30 කට ආසන්න කාලයක් බලයේ සිටින පාලකයෙක් බලයෙන් පහ කරන්නට යාවි ද?

ලෝකයේ නිදහස්ම දේශයන් වූ හොංකොං සහ ඇමෙරිකාව තුළ මේ දිනවල නිදහස් අදහස් ප්‍රකාශයට ඉඩකඩ නැති බවත් සඳහන් කළ යුතුයි. ඒ මා වැනි පෞද්ගලික මත දක්වන අයට නොවේ. නිවැල්නි වැනි බලයේ සිටින පාලකයන්ට එරෙහිව පොදු සටන් මෙහෙයවන අයට සහ එවැනි අයගේ අනුගාමිකයන්ටයි.

නවසීලන්තය දියුණු වුනෙත් එහෙමයි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 22, 2021

අලුත් දේශපාලන පක්ෂ හතු සේ පිපෙමින් පවතින අද ලංකාවේ ඒත් තවම වෙළඳාමට ඇති බාධක සැබෑ ලෙසින් අඩුවෙන සහ රාජ්‍ය මැදිහත්වීම් අවම කරන්නට දැක්මක් සතු පක්ෂයක් දකින්නට නැත. ඒ සියල්ලම ගෙනෙන ප්‍රතිපත්ති වලින් දකින්නට ලැබෙන්නේ, හැමදාම දියුණු වෙන තැනේ ලැග සිටින රටක් වෙනුවෙන් ගෙනෙන්නේ දියුණු රටවල් සමෘද්ධියෙන් පසුව වැඩ අවුල් කරගත් ප්‍රතිපත්ති බවයි. දියුණු රටක ප්‍රගතිය පවා අඩාල කරන ප්‍රතිපත්තියක් ඔවුන් වෙනස් කරගනිද්දී ලංකාවට ඒවා යෝජනා කිරීම කොතරම් ඛේදනීය ද?

ජාතීන්ගේ ධනය එකරැස් වූයේ කෙසේදැයි කියා ඇඩම් ස්මිත්ගේ පහදා දීම අදටත් වළංගු වූවකි. ඒත් ඉතින් සිංහලෙන් ඒ පොතේ ඇත්තේ මොනවාදැයි දැන ගැන දැනගන්නට ලැබෙන්නේ මේ බ්ලොග් අවකාශයෙන් පමණක් වෙද්දී, ජාතීන්ගේ ධනය වියදම් කරන ක්‍රම සඳහා පෙනී සිටීම පමණක් වැඩියෙන් යෝජනා වීම පුදුමයක් නොවේ.

නවසීලන්තය වසර 40 කින් පසුවත් ශක්තිමත්ව වැඩෙන්නේ වෙළඳාමට බාධා ඉවත් කළ ප්‍රතිසංස්කරණ නිසයි. ලංකාවටත් ඉගෙන ගත හැකි හොඳ මොඩල් එකක් එහි ඇත.

මෙම සටහනේ ඉතිරිය ගෙනෙන ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියැවිය හැකියි.

1950 වසරේ දී ග්‍රහලෝකයේ වඩාත්ම ධනවත් රටවල් දහය අතරේ නවසීලන්තය සිටින ලදි. එහි නිදහස් ආර්ථිකයක් මෙන්ම ව්‍යවසාය සහ දේපල සඳහා ශක්තිමත් ආරක්ෂාවක් ද පැවතිණ. අනතුරුව බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව ඇතුළුව බටහිර ලෝකයේ බොහෝ රටවල් වල වර්ධනය වූ සුබ සාධන රාජ්‍ය අදහස් වල බලපෑම නවසීලන්තයට ද ඇතුල් විය. ඒ අනුව ආර්ථික ජීවිතය ආණ්ඩුව අතට පවරන ලද හැරුම සිද්ධ විය.

ඊ ළඟ වසර විස්ස ගෙවී යන්නේ විසල් ආණ්ඩුව සහ ආර්ථිකය එක තැන ලැග සිටින තත්වයක් ඉදිරිපත් කිරීමෙනි. එය ඇතිවෙන්නේ මෙම ප්‍රතිපත්ති නිසයි: අතිශයෙන් ඉහළ ගිය තීරු බදු, ගොවිපල නිෂ්පාදන සඳහා රාජ්‍ය මහා පරිමාන සහනාධාර, විශාල මහජන වැය, දිගින් දිගටම පවතින අයවැය පරතරය (වියදම් කරන සල්ලි වලට වඩා ලැබෙන සල්ලි හිඟ වීම), ඉහළ යන උද්ධමනය, ශ්‍රම ගැටළු, ඉහළම ආදායම් උපයන අය සඳහා වූ 66% ක ආන්තික ආදායම් බදු මට්ටම, සහ මහත් වාසි රැසක් බෙදන ලද සුබ සාධන ක්‍රමය.

ඒ අවුරුදු වල දී මධ්‍යම ආණ්ඩුව විසින් දුම්රිය, ටෙලිසන්නිවේදනය, සහ විදුලි බලය බෙදා හැරීමේ ක්ෂේත්‍රය සඳහා ඒකාධිකාරියක් පිහිටුවා ගෙන සිටියහ. ඉතින් 1975 සිට 1983 දක්වා කාලයේ දී වර්ධනය වූ දේවල් වූයේ විරැකියාව, බදු, සහ රජයේ වියදම් වූහ.

අසාර්ථක ආණ්ඩු වැඩ සටහන් ගණනාවකින් පසුව සහ ආර්ථික විනාශය ඔවුන් හමුවේ ඇස් අයා සිටිය දී, නවසීලන්තයේ නායකයන් විසින් 1984 දී බැස්සේ දියුණු රටක් විසින් කවදා හෝ ගන්නා ලද වඩාත්ම පරිපූර්ණ වූ ආර්ථික නිදහස්කරණය සඳහා වූ වැඩ සටහන් වලටයි.

වසර දෙකකට අඩු කාලයක දී ගොවි ක්ෂේත්‍රය සඳහා සපයන ලද සහනාධාර නවතා දැමිණ. ක්ෂණිකව තීරු බදු වලින් තුනෙන් දෙකක් කපා හරින ලදි. අද තීරු බදු සාමාන්‍යය 1.4% කි. බොහෝ ආනයන රටට ඇතුල් වෙන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් —නැත්නම් ඊට ඉතා ආසන්න—ලෙසකිනි, කෝටා නැත, ඩියුටි නැත, අනෙක් වෙනත් බාධක නැත.

බදු කපා හැරිණ. ඉහළම අය ගෙවන මට්ටම 33% ක් දක්වා අඩු කරන ලදි. විසල් ආණ්ඩු රිසි වූවන් බලයේ සිටිය දී පැවති මට්ටමෙන් බාගයකි.

1980 ගණන් මැද සිට 1990 ගණන් දක්වා, නවසීලන්තයේ ආණ්ඩුව විසින් ආණ්ඩුව කරගෙන ගිය මුදල් අහිමි වන ව්‍යාපාර දුසිම් ගණනක් විකුණා දැමූහ. 1984 දී ආණ්ඩුවේ ශ්‍රම බලකාය 88,000 කි. මෑත කාලීන ලෝකයේ වෙනත් කිසිදු ආණ්ඩුවකට වැඩියෙන් රැඩිකල් විදියට ප්‍රමාණය අඩු කරන ලද පසුව, 1996 දී එරට රජයේ සේවයේ ශ්‍රම බලකාය 36,000 කට අඩුවෙන් සිටියහ—එනම්, 59% ක් අඩු කිරීමකි.

නවසීලන්තයේ අලුත් ව්‍යාපාරයක් පිහිටුවීම ඉක්මන් සහ පහසු කරන ලදි. එය විශාල වශයෙන් සිද්ධ වූයේ මූලෝත්පාටනය නොකළ රෙගුලාසි අවසානයේ දී සියල්ලන්ටම එක සේ සහ සංස්ථිතික ලෙසින් යොදා ගැනීමෙනි. ඒ අවස්ථාවේ දී ම, අනිවාර්යෙන් ලබාගත යුතු වෘත්තීය සමිති සාමාජිකත්වය මූලෝත්පාටනය කරන ලදි. එසේම විවිධ ශ්‍රම වෙළඳපොලවල් තුළ පැවති වෘත්තීය සමිති ඒකාධිකාරයන් ද අහෝසි කර දැමිණ.

මේ අපූරු වෙනස්කම් නිසා අතිශයෙන් විශාල වාසි අයත් වූහ. ජාතික අයවැය සමතුලිත කරන්නටත්, උද්ධමනය සැලකිල්ලක් නොදැක්වෙන තරම් මට්ටම් වලට වේගයෙන් බැස යන්නටත්, ආර්ථික වර්ධනය වාර්ෂිකව 4-6% අතර වේගයෙන් ඉදිරියට යන්නටත් හේතු වූහ.

නවසීලන්තයේ ජාතික ආණ්ඩුව ප්‍රධාන දේශපාලන පක්ෂ අතර මාරු වී ගියත්, දශක හතරකට ආසන්න කාලයකට පෙර ගෙනෙන ලද ඒ ප්‍රතිසංස්කරණ බොහෝ දුරට නොවෙනස්ව පැවතුණහ.

ඉතින් මගේ හිතවත් ලෝරන්ස් ඩබ්. රීඩ් ලියූ ඉහත ලිපිය සිංහලෙන් කියවන්නට තරම් නිර්භීත වන අයගෙන් මට අහන්නට ඇත්තේ එක ප්‍රශ්නයකි: නවසීලන්තය දියුණු වූ ඒ ප්‍රතිපත්ති ලංකාවට නරක නම් ඒ ඇයි?

ගෑස්ලයිටිං (gaslighting)

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 21, 2021

ලංකාවේ ඉපදිච්ච අපිට මේ වචනය හුරු පුරුදු නැති වුණාට අර්ථය ලේසියෙන්ම වටහා ගන්න පුළුවන්, මොකද අත්දැකීම් ඇති වෙන්න තියන නිසා.

පද වහර ලැබෙන්නේ 1938 දී පැට්‍රික් හැමිල්ටන් ‘ගෑස් ලයිට්’ නමින් ලියන වේදිකා නාට්‍යයකින්. වේදිකා නාට්‍යය කොතරම් ජනප්‍රිය වූවා ද කිව්වොත් ඉන්ග්‍රිඩ් බර්ග්මන් සහ චාල්ස් බොයර්, ජෝසෆ් කොටන් යනාදීන් ඉන්න සිනමා වෑයමක් ද එයින් බිහි වූවා.

ඉතින් ඒ කතාව අනුව, සැමියාගේ වෑයම තමයි භාර්යාවට පිස්සු හැදිලා ඇතැයි කියා ඇයටත් අනිත් අයටත් විශ්වාසයක් ඇති කිරීම. ඔවුන් දෙදෙනාගේ පරිසරයේ පොඩි පොඩි දේවල් මැනිපියුලේට් කරලා (ජර්මන් අය ඉංග්‍රීසි වචනය ජර්මන් කරගෙන නිසා අපිටත් එහෙම යොදාගන්න පුළුවන්) ඇයට වැරදිලා සහ ඇයගේ මතකයේ ඇති දේවල් වැරදි කියල පෙන්වනවා.

වේදිකා නාට්‍යයේ නම, හඟවන්නේ ඒ පීඩක සැමියා ඔවුන්ගේ නිවහනේ විදුලි බලය ‘ඩිම්’ කරලා, අනතුරුව කිසි වෙනසක් නැති විදියට බොරුවට මවා පෑම. එයින් භාර්යාවට තමන්ගෙ ඇස් වලින්ම දකින දේ ගැන සැකයක් ඇති වෙනවා. භාර්යාව දිගින් දිගටම අහනවා ඇය ‘ඩිම්’ වෙච්ච විදියට දකින ලයිට් ගැන සැමියා වෙතින්. ඒත් යථාර්ථය පැත්තකට දාලා සැමියා දිගින් දිගටම කියා සිටිනවා ලයිට් ඒ විදියටම තියනවා, ඇයට තමයි පිස්සු හැදිලා තියෙන්නෙ කියල.

මෙහි බ්ලොග් සටහන බෙදාගන්නා අයගේ ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියැවිය හැකියි.

අපි වාසය කරන වර්තමාන ඇමෙරිකාව නිරන්තරයෙන් ගෑස් ලයිටිං තත්වයක පවතින්නක්.

අපි අපේ ඇස් දෙකෙන් දකින දේවල් වලට වඩා ජනමාධ්‍ය වලින් ඇහෙන දේවල් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වද්‍ය යථාර්ථය (false reality) ගැන අපි ප්‍රශ්න කළොත්, නැත්නම් අපි දකින්නෙ සැබෑ යථාර්ථය (actual reality) කියල අපි කිව්වොත්, ජාතිවාදී නැත්නම් අනුන්ගේ මත නොඉවසන නැත්නම් පැහැදිලිවම පිස්සු හැදිච්ච අය හැටියට අපිට අපවාද එල්ල වෙනවා.

එයා උදාහරණ හැටියට නිව් යෝර්ක් ප්‍රාන්තය ගෙනහැර පානව. වෙනත් කිසිම ප්‍රාන්තයකට වැඩියෙන් නිව් යෝර්ක් වල කෝවිඩ්-19 නිසා මිය යෑම සිද්ධ වූ බවත්, රටේ සියළුම කෝවිඩ්-19 නිසා සිද්ධ වූ මිය යෑම් වලින් පහෙන් එකක් එම ප්‍රාන්තයේ සිද්ධ වූ බවත් සත්‍යය වෙද්දි, වෙනත් කිසිම ප්‍රාන්ත ආණ්ඩුකාරයෙකුට වඩා හොඳින් නිව් යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වසංගතය මෙහෙයවපු ආකාරය ගැන අහන්න ලැබෙනවා. නිව් යෝර්ක් වලට බෙහෙවින් අඩු වසංගත බෝවීම මට්ටම් ගැන සහ මිය යෑම් සංඛ්‍යා ලැබෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරු ගෙන ගිය ප්‍රතිපත්ති වෙනුවෙන් අපි පෙනී සිටියොත්, එවිට අපි විද්‍යාවට එරෙහි සහ ජනතාව මිය යා යුතු යැයි කියන අය හැටියට හංවඩු ගැහෙනවා.

අපි දකිනවා කඩ මංකොල්ලයේ යෙදෙන සෙනඟ. වීදුරු කඩමින් සහ කාර් සහ ගොඩනැඟිලි වලට ගිනි තියමින්. ඒත් අපිට කියන්නෙ, ඒවා පිටුපස්සෙන් දකින්න ලැබෙද්දී වාර්තාකරුවන් වාර්තා කරන්නෙ, ඒවා සාමකාමී උද්ඝෝෂණ කියල. ඒ මංකොල්ලයෙන් සහ ගිනි තැබීම් වලින් නගර විනාශයක් සිද්ධ වෙනවා කියල අපි හැඳින්වූවාම ජාතිවාදී යැයි කියැවෙන්නෙ අපිටයි. මේ බ්ලොග්කරුවා අහනවා මෙහෙම. ඉතින්, අපි අපෙන් අහගන්නවා, මට පිස්සු ද? නැහැ, ඔයාව ගෑස් ලයිට් කරනවා විතරයි.

ජනාකීර්ණ නගර (inner-cities) බොහොමයක දකින අපරාධ, ඝාතන, කල්ලි ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය හොරෙන් විකිණීම, වාහන වලින් යන ගමන් වෙඩි තැබීම, අවි අතැති අය මංකොල්ල කෑම් යනාදියේ ප්‍රධාන ගැටළුව අපි දකිනවා. ඒත් අපිට කියන්නෙ ඒ අපරාධයක් නොවේ කියල, ඒ ජනාකීර්ණ නගර වල ඉන්න පොලීසිය තමයි ගැටළුව කියල. අපි පොලීසියේ අරමුදල් ඉවත් කරලා නීති ක්‍රියාත්මක කරන අයව ඒ අපරාධ වැඩි තැන් වලින් අයින් කරන්න අවශ්‍යයයි කියල. එතකොට ඒවා ආරක්ෂිත තැන් බවට පත්වෙනවා කියල. ඒ අපරාධ වැඩි තැන් වලට වැඩියෙන් පොලීසිය අවශ්‍ය බව අපි කිව්වොත්, එතකොට අපි සුදු සුපිරිවාදීන් සහ ජාතිවාදීන් යැයි චෝදනා ලබනවා. ඉතින්, අපි අපෙන් අහගන්නවා, මට පිස්සු ද? නැහැ, ඔයාව ගෑස් ලයිට් කරනවා විතරයි.

ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා සංක්‍රමණිකයන් බාර ගන්නා රට ඇමෙරිකාවයි. හොරෙන් එන්න එපා කියල ලංකාවේ පත්තර වල ඔස්ට්‍රේලියාව දානවා වගේ දැන්වීම් ඇමෙරිකාව දාලා තියෙනවා දැකල එහෙම තියනවද! සංක්‍රමණිකයන්ගේ වඩාත්ම විශාල බහුතරය ‘වෙනස් පාට හම් ඇති පුද්ගලයන්’. ඒ අය ඉපදුන රටවල් වල ඔවුනට නැති ආර්ථික අවස්ථා සහ නිදහස තමයි ඔවුන් මෙහි දී භුක්ති විඳින්නෙ. ඒවා නැහැ කියල ආපු ලාංකික අයත් මේ දවස්වල ඇමෙරිකාවේ ගෑස් ලයිට් දාන අයට එකතු වෙලා ඉන්නවා. ඒක වෙන කතාවක්! ඉතින් අපිට කියන්නෙ, මේ ග්‍රහ ලෝකයේ ඇති වඩාත්ම ජාතිවාදී සහ පීඩක රට ඇමෙරිකාව කියල. අපි එකඟ නොවුනොත්, අපිව ජාතිවාදී සහ විදේශිකයන්ට බිය අය හැටියට චෝදනා කරනවා. ඉතින්, අපි අපෙන් අහගන්නවා, මට පිස්සු ද? නැහැ, ඔයාව ගෑස් ලයිට් කරනවා විතරයි.

ධනවාදී රටවල් තමයි ලෝකයේ වඩාත්ම සමෘද්ධිමත් රටවල්. ජීවන මට්ටම් ඉතාමත් ඉහළ ලෙසින් පවතින්නෙ ධනවාදී රටවල් වල. ලෝකයේ ඇති වෙනත් කිසිම ආර්ථික ක්‍රමයකට වඩා, ඔවුන්ගේ වෑයම නිසා සහ හැකියාව නිසා දුප්පත් අය වැඩියෙන් මධ්‍යම තත්වයකට, සමහර විට ධනවත් තත්වයකට පවා, යන ආර්ථික ඉනිමඟ නඟින්නට සමත් වෙන හැටි අපි දකිනවා. ඒත් අපිට කියන්නෙ ධනවාදී ක්‍රමය ජනතාව පාගා ගෙන ඉන්නට හැඩගසා ඇති ක්‍රමයක් කියල. ඉතින්, අපි අපෙන් අහගන්නවා, මට පිස්සු ද? නැහැ, ඔයාව ගෑස් ලයිට් කරනවා විතරයි.

20 වැනි සියවසේ දී කොමියුනිස්ට් රටවල් මිලියන 100 කට වැඩි ජනතාවක් මරා දමා තියෙනවා. සිංහලෙන් ඒ ගැන ඔබට කියවන්නට ලැබෙන එකම තැන මෙම බ්ලොග් එක පමණයි. දකුණත ඇති ‘කොමියුනිස්ට්වාදයේ කළු පොත’. පුරවැසියන්ගේ මූලික මානුෂීය අයිතීන් ඉවත් කරලා, ඔවුන්ගේ ජීවිතයේ සෑම පැතිකඩක්ම කෙසේ සිද්ධ විය යුතුදැයි නියම කරලා, ඔවුන්ගේම පුරවැසියන්ට වහල් විදියට සලකලා, ඔවුන්ගේ ආර්ථික සමතලා කරලා දැමීම. ඒත් අපිට කියන්නෙ කොමියුනිස්ට්වාදය තමයි සාධාරණතම, වඩාත්ම අපක්ෂපාත, නිදහස්ම, සහ ලෝකයේ ඇති වඩාත්ම සමෘද්ධිමත් ආර්ථික ක්‍රමය කියල. ඉතින්, අපි අපෙන් අහගන්නවා, මට පිස්සු ද? නැහැ, ඔයාව ගෑස් ලයිට් කරනවා විතරයි.

මේ ගෑස් ලයිටින් උදාහරණ අතර වැඩියෙන්ම අදහා ගන්නට බැරි තරම් වූ උදාහරණය තමයි “සුදු කැඩෙන සුලු බව” (white fragility) සංකල්පය. බ්ලොග්කරුවා කියන්නේ මෙසේය: ඔයාගෙ ජීවිතය පුරාම ඔයා හොඳ පුද්ගලයෙක් වෙන්න වෑයම් කරමින් ඉන්නවා, අනික් අයට සාධාරණව සහ ගෞරවයෙන් සලකන්න වෑයම් කරමින්. ජාතිවාදය සහ අනුන්ගේ මත නොඉවසීම ඒවායේ සියළු ආකාර වලින්ම ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඔබ මිනිස්සුන්ට සලකන්නේ තනිකරම ඔවුන්ගේ හමේ පාට අනුව නොව ඔවුන්ගේ හැදියාව අනුවයි. ඔබ ජාතිය නැත්නම් ජන වර්ගය අනුව වෙනසක් කරන්නෙ නැහැ. ඒත් ඔයාට කියන්නෙ ඔයා ජාතිවාදියෙක් කියල, ඔයා කරපු කිසි දෙයක් හෝ කියපු කිසි දෙයක් නිසා නෙමෙයි. තනිකරම ඔයාගෙ හමේ පාට නිසා පමණක්. ඔයා දන්නවා නිතැතයෙන්ම ඔවුන්ගේ හමේ පාට නිසා පමණින් ඔවුන් ජාතිවාදියෙක් කියා චෝදනා කිරීම යන්නම ජාතිවාදයක් බව. ඔයා දන්නවා ඔයා ජාතිවාදී නොවන බව. ඉතින් ඔයාව සහ ඔයාගෙ හැදියාව ආරක්ෂා කරගන්න ඔයා යනවා. එතකොට ඒත් ඔයාට කියන්නෙ තමන්ව ආරක්ෂා කරගන්න යෑම ඔයාගේ ජාතිවාදය ඔප්පු කරන්නක් බවයි. ඉතින්, අපි අපෙන් අහගන්නවා, මට පිස්සු ද? නැහැ, ඔයාව ගෑස් ලයිට් කරනවා විතරයි.

ඇමෙරිකන් දේශපාලනය තුළ වඩාත්ම ප්‍රථුල ලෙසින් දැකිය හැකි විනාශකාරී ක්‍රමවේදය හැටියට ගෑස් ලයිටින් පත්ව සිටිනවා. එය අපේ දේශපාලන ක්‍රමය වෙනුවට විය යුතු සම්පූර්ණ අනික් පැත්තයි. එය යොදා ගන්නේ බොරු සහ මනෝවිද්‍යාත්මක බලාත්මක බවයි. ඇත්ත සහ විද්වත් සංවාදය නොවේ. ඉතින්, අපි අපෙන් අහගන්නවා, මට පිස්සු ද? නැහැ, ඔයාව ගෑස් ලයිට් කරනවා විතරයි.

පිස්සු අයට බැහැ තමන්ට පිස්සුද කියල විමර්ශනය කරන්න. ඉතින් තමන්ව විශ්වාස කරන්න, තමන්ගේ හෘදය සාක්ෂිය විශ්වාස කරන්න. ඔබට කියන දේවල් වෙනුවට ඔබේ ඇස් වලින් දකින දේවල් විශ්වාස කරන්න. කාටවත් කියන්න ඉඩ දෙන්න එපා ඔබට පිස්සු කියල. මොකද ඔබට එහෙම නැහැ, ඔයාව ගෑස් ලයිට් කරනවා විතරයි.

මිනිස්සු විශ්වාස කරන දෙය සත්‍යයට උඩින් පවතී, කියල සොෆක්ලීස් කියා තියෙනවා. ඉතින් අන්න ඒක තමයි මාධ්‍ය විසින් සූරා කන්නට වෑයම් කරන්නෙ.

ස්කැන්ඩිනේවියාව දියුණු වූයේ සමාජවාදයෙන් නොවේ

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 19, 2021

තොරතුරු බෙදා හැරීම අනුව ජනමතය වෙනස් කළ හැකි වුවත්, සැබෑ තතු වෙනස් වීමක් එයින් සිද්ධ නොවේ. ප්‍රොපගැන්ඩා වලින් සැබෑ තොරතුරු වෙන් කර හඳුනා ගන්නට අපොහොසත් වෙද්දී කරදරයට වැටෙන්නේ වේදිකාවල කෑ කෝ ගහන අය නොව ජීවිතය ජයගන්නට තීරණ ගන්නා ඒකීය පුද්ගලයායි.

ස්කැන්ඩිනේවියානු රටවල් යනු නෝර්වේ, ස්වීඩන් සහ ඩෙන්මාර්ක් දේශයයි.

නෝර්ඩික් රටවල් යනු ඩෙන්මාර්ක්, නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, අයිස්ලන්තය, සහ ඒවායේ අයිතිය යටතේ පවතින ග්‍රීන්ලන්තය, ෆරෝ දූපත් (Faroe Islands), ස්වාල්බාර්ඩ්, ජැන් මයෙන් (Jan Mayen) සහ ඔලන්ඩ් දූපත් (Åland) යන දේශයන් වෙති.

ඒවායේ වාසය කළේ පරම්පරා ගණනාවක් තිස්සේ ඒ දේශයන් හි ම උපත ලැබූ අයයි. 1954 වසරේ පටන් නෝර්ඩික් රටවල් සඳහා පොදු ශ්‍රම වෙළඳපොලක් බිහි විය. 1994 වසරේ පටන් සමස්ත නෝර්ඩික් කලාපයම යුරෝපීය යුනියනයේ ශ්‍රම වෙළඳපොලේ කොටසක් බවට හැරිණ. එනම්, වසර 65 කට ආසන්න කාලයක් පුරා නෝර්ඩික් රටවල වැසියන්ට අනෙක් නෝර්ඩික් රටක වැඩ කරන්නටත් සහ නිදහසේ ජීවත් වෙන්නට අවකාශය ලැබී තිබිණ. ඒ හැරෙන්නට ඒ මුල් කාලයේ දී පාකිස්තානය සහ තුර්කිය වැනි රටවල් වලින් ද ශ්‍රමිකයන් බඳවා ගැනීම සිද්ධ වූහ. අද මේ රටවල් තම වාසස්ථාන කරගත් ශ්‍රී ලාංකික සම්භවය ඇති අය සුළු ප්‍රමාණයක් සිටිති.

2013 වෙද්දී ස්කැන්ඩිනේවියානු රටවල් වල සංක්‍රමණිකයන් ගෙන් බාගයක් පමණ ආසියාවෙන්, අප්‍රිකාවෙන්, සහ ලතින් ඇමෙරිකාවෙන් පැමිණි අය වූහ. ඊ ළඟට ඒවා වෙත වැඩියෙන් ඇදී ගියේ නැගෙනහිර යුරෝපීයයන්ය. උතුරු ඇමෙරිකාවෙන්, ඔස්ට්‍රේලියාවෙන්, සහ නවසීලන්තයෙන් ඒ රටවල් කරා ඇදී යන සංක්‍රමණිකයන් එහි සංක්‍රමණික කණ්ඩායම් අතර ඇති ඉතාම කුඩාම පිරිස වෙති.

ලංකාවේ පුරවැසියන් මැද පෙරදිග රැකියා වලින් උපයාගන්නා ආදායම් නිසා ලංකාව කොතරම් ධන වත්කම් උපයන්නට සමත් වූවාද කියා අද ජීවත්වෙන අය දනිති. ඉතින් හිතන්න, ඉහත සඳහන් කළ නෝර්ඩික් රටවල් අතරින් රැකියා පාදාගන්නට හැකි ඉඩකඩක් ඔවුනට තිබීම ගැන. ඇමෙරිකාවේ එක ප්‍රාන්තයකට සීමා නොවී වෙනත් ප්‍රාන්තයක රැකියාවක් සොයා යාමට ඉඩ ලැබීම ලෙසින් එයින් තරඟකාරී ශ්‍රම වෙළඳපොලක් බිහි වේ.

ශ්‍රමයට අඩුම මිල ගෙවා (එය සංක්‍රමණිකයාගේ රටේ දී උපයාගන්නට හැකියාව නොමැතිකම නිසා) බඳවා ගත හැකියාව නිසා ශ්‍රමිකයන් මහත් පිරිසකට රැකියා අවස්ථා පෑදෙන්නේ එවැනි තරඟකාරී වෙළඳපොලක දී ය.

සිරියාව සහ ඉරාකය වැනි මැද පෙරදිග රටවල් වලින් සරණාගතයන් ලෙසින් මෙම රටවලට පැමිණි මහත් පිරිස අද සංක්‍රමණිකයන්ගේ විශාලතම කොට්ඨාශය වෙති. 1920 ගණන් සිට දේශපාලන සරණාගතයන් ලෙසින් පෝලන්තයෙන් පැමිණි අය මෙන් නොව මේ අය සෙසු සමාජයෙන් පැහැදිලිවම වෙනස් ආකාරයකින් හැසිරෙති. සෝමාලියාව වැනි රටවල් වලින් අද ඇදී එන සංක්‍රමණිකයන් අතර සිටින ගැහැණු ළමයින් ශ්‍රම බලකායට එකතු නොවී සිටීමටත් සහ අධ්‍යාපනය අත් හැරීමටත්, එසේම එවැනි රටවල් වලින් එන පිරිමි ළමුන් අධ්‍යාපනය නිමා කරන්නට අසමත් වීමත් යන ගැටළු පැන නැඟී ඇත.

ඉතින් එම පසුබිම නොසලකා හැර සුබ සාධන රාජ්‍යය ගැන කතා කිරීම නුසුදුසුයි.

සංක්‍රමණිකයන් ඇදී යන්නේ අතීතයේ පටන් නෝර්ඩික් සහ ස්කැන්ඩිනේවියානු රටවල පැවති යුදෙව්-ක්‍රිස්තියානි පදනමෙන් බිහි වූ ශ්‍රමය වෙහෙසීම උදාර ලෙසින් සැලකෙන අදහස් නිසා ද, නැත්නම් සුබ සාධනයෙන් ජීවත්වෙන්නට හැකි යැයි හිතන අදහස් නිසා ද යන්න ඒ රටවල් වල අනාගතය තීරණය කරන්නට සමත් වනු ඇත.

රජය හරහා බෙදා හරින සුබ සාධනය නිසා පමණක් ස්කැන්ඩිනේවියානු රටවල් පැසසුමට ලක් විය යුතු යැයි කියා දැක්වීම, එමඟින් සමාජවාදයේ සාර්ථකත්වය කියා පාන රටවල් හැටියට ඒවා දක්වන්නට ගන්නා වෑයම විහිළුවකි. අල්ප පිරිසක් විසින් ඉදිරිපත් කරන මේ විහිළුව නිසා ඇස් රතු වෙන්නේ ඒ විහිළුකාරයන්ගේ නම් නොවේ.

ස්කැන්ඩිනේවියානු රටවල් වල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පටන් ගත්තෙ ඉතාමත් හෙමින්.

ස්වීඩනයේ කතාවත් ඩෙන්මාර්ක් කතාව හා සමානයි. එය සෙසු යුරෝපීය රටවල් ලෙසින්ම 1870 සිට 1970 දක්වා කාලයේ ආර්ථික වර්ධනයකින් යුතු විය. මේ සියක් වසරක කාල වකවාණුවේ දී ස්වීඩනයේ පැවතියේ අවම ආණ්ඩු ප්‍රතිපත්ති වූහ. ලෝක යුද්ධ දෙකේ දී ම අපක්ෂපාතීව ඉන්නට සමත් වීමෙන් සෙසු යුරෝපයේ දකින්නට ලැබුණු විනාශය එහි එලෙසින් සිද්ධ වූයේ නැත. ඒ නිසා මහා බ්‍රිතාන්‍යයට වඩා තුන් ගුණයකින් ජීවන මට්ටම් දියුණු කරගන්නට හැකියාවක් ඔවුනට ලැබිණ.

එහෙත් 70 ගණන් වල දී ඉහළ බදු බරක් සහ විශාල රාජ්‍ය අංශයක් පිහිටුවා ගැනීම නිසා ස්වීඩනයේ ධන සම්පත් නිර්මාණයේ වේගය අඩු වී ගියේය. 1970 ගණන් වල දී මහා බ්‍රිතාන්‍යයට වඩා 21% කින් වැඩි වී පැවති ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය (GDP per capita) මේ විශාල රාජ්‍ය අංශය සහ ඉහළ බදු බර නිසා ඔස්ට්‍රියාව, බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය හා සසඳන විට ස්වීඩනයට ඒ සියල්ලටම වඩා බෙහෙවින් පහතකට 1970 සිට 2008 දක්වා කාලයේ වැටී තිබුණි.

ඉතින් ස්වීඩන ආර්ථික සහ සමාජමය ක්‍රමය, වාමාංශිකයන් උත්කර්ෂවත් ලෙසින් පසසන කොමියුනිස්ට් නොවන සහ නිදහස් වෙළඳපොල නොවන තෙවැනි ක්‍රමය හෙවත් ‘ස්වීඩන් මොඩලය’ ස්වීඩනයේ මුළු ඉතිහාසයේ ඉතා කෙටි කාල වකවාණුවකි, 1960 ගණන් මැද පටන් ගෙන 1990 ගණන් මුල දක්වා පැවතෙන ලද, එනම් දශක තුනකට පමණ වඩා වැඩි නොවූ කාලයකි.

ෆින්ලන්තය සංවර්ධිත වූයේ වෙනස් ආකාරයකටයි. රුසියාවේ පාලනයෙන් පසුව ලේ හැලෙන සමාජවාදී විප්ලවයක් අසාර්ථක වීමෙන් සුබ සාධන රාජ්‍යයක් බිහි විය. ඒත් ෆින්ලන්තයේ බදු ඵෙතිහාසික ලෙසින් ඩෙන්මාර්ක් සහ ස්වීඩන් වලට වඩා අඩු මට්ටම් වලින් පැවතිණ.

ඛනිජ තෙල් සම්පත් නිසා පසු දශකයන් හි ධනවත් වෙන නොර්වේ රාජ්‍යයත් එසේම ඵෙතිහාසික ලෙසින් අඩු බදු මට්ටම් වලින් යුතු වූයේය.

අද වාමාංශිකයන් උත්කර්ෂවත් ලෙසින් පසසන අති සුවිශේෂී ජාතික ආදායම් වර්ධනය නෝර්ඩික් රටවල් වල සිද්ධ වූයේ සුබ සාධන රාජ්‍යය නැඟී එන්නට පෙර බව තතු විමසා බලන්නට වෙහෙසක් ගන්නා ඕනෑම අයෙකුට පහසුවෙන් සොයාගත හැකි වූවකි. සමෘද්ධිය සිද්ධ වූයේ කෙසේ දැයි නොපෙන්වා ප්‍රතිඵලය පමණක් පෙන්වීම නොමඟ යැවීමකි.

ස්වීඩනයේ සාර්ථක ව්‍යවසායක වෑයම් බිහි වූ රන් යුගය හැටියට සැලකෙන්නේ 19 වැනි සියවස අග සිට පළමු ලෝක යුද්ධය පටන් ගන්නා තෙක් වූ කාලය යැයි ස්ටෙන් ඇක්සෙල්සන් (Sten Axelsson) නමැති ස්වීඩනයේ අර්ථ ශාස්ත්‍රඥයා පෙන්වා දෙයි. 1970 වසරෙන් පසුව ස්වීඩනයේ අලුත් ව්‍යාපාර පටන් ගැනීම සැලකිය යුතු ලෙසකින් පහත ගියේය.

2004 වසරේ ස්වීඩනයේ පැවති ඉහළම ආදායම් උපයන ව්‍යාපාර 100 න් 38 ක් ම රටේ ඇතුළත පැවති පෞද්ගලික අයිතියෙන් යුතු වූ වෑයම් වූ අතර, එයින් 21 ක් 1913 ට කලින් අරඹන ලද ව්‍යාපාර වූහ. එයින් 15 ක් 1914 සහ 1970 අතර කාලයේ අරඹන ලද ව්‍යාපාර වූහ. කොතරම් රැකියා සංඛ්‍යාවක් ඇත්දැයි අනුව ස්වීඩනයේ මේ විශාලතම ආයතන 100 ශ්‍රේණිගත කරන්නේ නම්, ඒ විශාල ව්‍යවසායක සමාගම් කිසිවක් 1970 න් පසුව අරඹන ලද ඒවාට අයිති නැත.

ඉතින්, මේ හා සසඳන්න, 2002 දී ඇමෙරිකාවේ පුරවැසිකම ලබාගත් ඊලාන් මස්ක් ගෙනෙන ව්‍යවසායක වෑයම් සමඟ. ඔහු විසින් 30,000 කට වැඩි පිරිසකට රැකියාවන් ලබා දෙන්නට සමත් වීම සමඟ. එයින් 12,000 ක් නම් වෙළඳපොලෙන් නොව රජය මැදිහත්වීමක්!

පිරිසකගෙන් බලහත්කාරයෙන් අයින් කරගත් ශ්‍රමයේ ඵලදාව තවත් පිරිසකට බෙදා දෙන රටක් සමෘද්ධිමත් සහ යුක්ති සහගත රටක් වෙන්නේ නැත.

මිනිසුන් උපන් රටවල් අත්හැර දමා යන්නේ තම පෞද්ගලික සුබ සිද්ධිය සලසා ගැනීමටයි. තරඟකාරී වෙළඳපොල නිසා ලැබුන සහ ලබාගන්නට හැකි සමෘද්ධිය සහ යුක්ති සහගත බවින් සැප ලබමින් තරඟකාරී වෙළඳපොලට අවමාන කිරීමත්, සුබ සාධන රාජ්‍යය වර්ණනා කිරීමත් නිසා සිද්ධ වෙන්නේ ඊ ළඟට ජීවිත සමෘද්ධිමත් කරන්නට වෙහෙසෙන තරුණ පරම්පරාවල් නොමඟ යැවීමයි.

කලින් ලියූ සටහනක්:
ස්වාල්බාර්ඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරය

ඩෙන්මාර්ක් හි පල්ලි ස්වාධිකාරය සහ ආගමික නිදහස

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 18, 2021

ඩෙන්මාර්ක් නමැති කුඩා රටේ බහුතරයකට ආගම ඇදහීමක් නැතැයි කියා එකිනෙකා සමඟ කියා ගනිමින් ලංකාවේ වාමාංශිකයන් මහත් සෙයින් සතුටු වෙති.

ඒත් ඩෙන්මාර්ක් යනු ක්‍රිස්තියානි අගැයුම් රකින රටක් යැයි කිව්වොත් ඔවුන් එය නොදැක්කා සේ සිටිනු ඇත. සමහර විට එය “පොඩි පොඩි කරෙක්ෂන්” වලට අයිති වෙනවා ඇති. නමුත් එවැනි “පොඩි පොඩි කරෙක්ෂන්” වලට වාමාංශිකයන් ශ්‍රී ලංකාවේ දී නම් කිසිම ඉඩක් නොදෙනු ඇත. සමෘද්ධිය සහ යුක්ති සහගත බව ඇති වූ පදනම සහ පවතින ආකාරය මුළුමනින්ම නොසලකා හැර, තමන් සිතින් මවා ගත් වාමාංශික ආකල්ප නිසා ඩෙන්මාර්ක් දියුණුව ලැබුවා යැයි කියමින් සිටිනු ඇත!

ඩෙන්මාර්ක් ජනගහනයෙන් සියයට 87% ක් ඩෙන්මාර්ක් හි ඉවැන්ජලිකල් ලූතරන් පල්ලියේ සාමාජිකයන් බව ඔබ දන්නවා ද?

රටේ ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ ඩේනිෂ් ජාතික පල්ලිය යනු ඉවැන්ජලිකල් ලූතරන් පල්ලිය වේ යැයි සහ එයට රජයෙන් ආධාර දිය යුතු යැයි ද ලියා ඇති බව ඔබ දන්නවා ද?

පල්ලියේ නීති සම්පාදක අධිකාරිය ඩේනිෂ් පාර්ලිමේන්තුව බව ඔබ දන්නවා ද? මෑත අවුරුදු වල පල්ලියේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු සඳහා වසම් කවුන්සිල් වලට වඩාත් පුළුල් ආර්ථික නිදහසක් ලබා දීමට පරිපාලනයේ ඉහළම අධිකාරිය වූ පැවිදිසි කටයුතු (Ecclesiastical Affairs) අමාත්‍යාංශය විසින් ආණ්ඩුව වෙනුවෙන් නීති සම්පාදනය කර ඇති බව ඔබ දන්නවා ද?

Folkekirken යැයි කෙටියෙන් නමින් හැඳින්වෙන ඩෙන්මාර්ක් ඉවැන්ජලිකල් ලූතරන් පල්ලියේ සාමාජිකත්වය ජනගහනයෙන් සියයට 87 කි.
ප්‍රසාද ස්නාපනය (බෞතීස්ම) වීම අලුතින් උපදින සියළුම දරුවන්ගෙන් සියයට 80 කි.
වයස 13-14 ත් අතර දරුවන් අතර අභිවෘද්ධි ආලේපනය (confirmation) වීම සියයට 79 කි.
සියළුම විවාහ වන ඩෙන්මාර්ක් ජනතාව අතරින් පල්ලියේ විවාහය සිද්ධ වීම සියයට 54 කි.
පල්ලියේ අවමංගල්‍ය කටයුතු පැවත්වීම රටේ සියළුම මරණ වලින් සියයට 93 කි.

එවැනි දත්ත ලැබෙන “පොඩි කරෙක්ෂන්” එකකට ලංකාවේ රජය මුදල් සහ නීතිමය පහසුකම් සපයන යම් ක්‍රිස්තියානි පල්ලියකට හෝ යම් බෞද්ධ පන්සලකට ඉඩක් දීමට වාමාංශිකයන් කොතරම් පිරිසක් ප්‍රසිද්ධියේ පෙනී සිටීවිද!!!

රටේ රජ පවුලේ අයෙක් Folkekirken සාමාජිකයෙක් විය යුතුයි.

පල්ලිය නඩත්තුව සඳහා වසරකට DKK මිලියන 4,000 කට වැඩියෙන් වැය වෙයි. මෙහි බහුතර මුදල, එනම් DKK මිලියන 3,000 ක් ගෙවන්නේ පල්ලියේ සාමාජිකයන් විසින් පල්ලි බද්ද (Church Tax) හරහාය. රජය විසින් DKK මිලියන 500 ක් නැත්නම් පල්ලියේ මුළු වැයෙන් සියයට 12 ක් රජය විසින් ගෙවනු ලබයි. අයවැයේ ඉතිරි DKK 500 පල්ලියේ ආදායමෙන් පියවෙන්නෙ. වෙනත් රටවල ඇති ලූතරන් පල්ලි වලට වෙනස් වෙමින් Folkekirken පල්ලියට ඔවුන් වෙනුවෙන් කතා කරන්නට හෝ තීරණ ගන්නට විශේෂ සභාවක් නැහැ. එවැන්නක් හදන වෑයමකට කිසිදා එකඟතාවයක් ලැබී නැහැ.

ඔව්, ඩෙන්මාර්ක් වල පල්ලි බද්දක් තියෙනව. දළ ආදායමෙන් 0.87% ක් මේ Folkekirken පල්ලියට යනව.

ඒ වෙනුවට පල්ලිය තමයි භූමදාන කටයුතු, උප්පත්ති, නම්, සහ මරණ ලියා පදිංචි කරන අධිකාරි හැටියට කටයුතු කරන්නේ. ඊට අමතරව ඵෙතිහාසික පල්ලි සහ පල්ලි ලැයිස්තු පවත්වාගෙන යන වගකීම බාර අයත් ඔවුන්.

සෑම ඩේනිෂ් පාස්පෝට් එකකම ජුට්ලන්ඩ් (Jutland) හි ජෙලින් (Jelling) වල දකින්නට ලැබෙන ගලේ පින්තූරයක් ඇති බව ඔබ දන්නවා ද? මේ ගල හැඳින්වෙන්නේ ඩේනිෂ් ජාතියේ බෞතීස්මය සහතිකය හැටියටයි. ගලේ කෙටූ අකුරු පුරාණ රූනික් (runic) අක්ෂර වලින් ලියැවී ඇත. එහි කියැවෙන්නේ “ඩේනිෂ් අයව ක්‍රිස්තියානුවන් කළ තැනැත්තා” හැරල්ඩ් බ්ලූටූත් (Harold Blue Tooth) රජු බවයි. සටහනට දමන පිංතූරය එයයි.

ඒත් ඩෙන්මාර්ක් පුරවැසියන්ගේ ක්‍රිස්තියානි බව පැහැදිලි කිරීම එතරම් පහසු නැත. ශිෂ්ටාචාරයේ අද්දරක මුහුදු මංකොල්ලකරුවන් හැටියට සිටීම තව දුරටත් ශිෂ්ට ලෝකයට නුසුදුසු බව දකින ඩේනිෂ් වයිකිං අය එවක සෙසු යුරෝපයේ පැවති ශිෂ්ට බව තමන්ට ද අවශ්‍ය බව දකින ලදි. 1986 කෝපන්හේගන් වල දී ප්‍රකාශනය කරන ඩේනිෂ් ශුද්ධ වචනය (Danish Gospel) අනුව “ඔවුන් ක්‍රිස්තියානි වූහ, ක්‍රිස්තියානි ලෝකය හැදුනේ එහෙමයි.”

වයිකිං අය වැළඳගත්තේ සැබැවින්ම ක්‍රිස්තියානි අාගම ද නැත්නම් ඔවුන්ගේ එවක පැවති පිළිවෙත් අලුත් නමක් යටතේ ගෙන යන්නට වයිකිං අය පටන් ගත්තා දැයි කියා කෙනෙකුට අහන්නට පුළුවන්. ලංකාවට ආ බෞද්ධාගම තුළ අද දක්වාම දකින්නට ඇති පිළිවෙත් දකින අයෙකුට ඒ ගැන පහසුවෙන් පැහැදිලි කරගත හැකියි.

ඩෙන්මාර්ක් පල්ලියේ ඉතිහාස කතාව ඩේනිෂ් සංස්කෘතියට ක්‍රිස්තියානි ආගම ඇතුල් කරන ලද සාර්ථකත්වයේ කතාව වෙයි. එයට වසර 1000 කට වැඩි ඉතිහාසයක් ඇත.

ආගමික කටයුතු ගැන වර්තමානයේ එරට දැඩි උනන්දුවක් පවතී. සංක්‍රමණික නොවන ඩේනිෂ් ජාතිකයන් අතර පල්ලි සාමාජිකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. ඩෙන්මාර්ක් හි පල්ලිය කියද්දී සැලකෙන්නේ එහි Folkekirken -ඉවැන්ජලිකල් ලූතරන් පල්ලියයි. මහජන සේවා සංවිධානයක් හැටියට පෙනී සිටින පල්ලියට ජනතාව බැඳෙන්නේ බෞතීස්මය හරහා ය. පල්ලියේ සාමාජිකයන්ගෙන් සියයට 80% ක් පමණ බිළිඳුන් හැටියට බෞතීස්ම කර ඇත. අද වයස අවුරුදු 12 ත් 14 ත් අතර සිටින යෞවනයන්ව ඔවුන්ගේ confirmation අවස්ථාවේ දී බෞතීස්ම කරනු ලබයි. පාදිලිවරයා සමඟ ඊට සූදානම් වන පංති වලට සහභාගී වීමෙන් අනතුරුව අද වයස අවුරුදු 13-14 ත් අතර සිටින යෞවන ඩේනිෂ් පිරිසෙන් 80% ක් පමණ confirmation කරනු ලබති. සෑම වසමකින්ම (parish) පිළිගැන්විය යුතුම වූ එකම ඉගැන්වීම එය පමණි. 1987 සිට කැමැත්තෙන්ම confirmation සූදානම සඳහා වයස අවුරුදු 8 ත් 10 ත් අතර දරුවන්ට ලබා දීම වැඩි වී ඇත.

ජනගහනයේ වැඩිහිටියන් වසමේ වැඩ වලට පල්ලියට වැඩියෙන් එකතු වෙන්නට පටන් ගෙන සිටිති. අධ්‍යයන කණ්ඩායම් සහ දේව ධර්මය ගැන පාඨමාලා වලින් එන්න එන්නම වසම් වලින් ක්‍රිස්තියානි ආගමේ මූලික අගැයුම් ගැන උපදෙස් දෙන්නට පටන් ගෙන ඇත.

අදට ගැලපෙන වේදිකා නාට්‍යයක් ඇති මධ්‍යම රාත්‍රී දේව මෙහෙයක් ඇත්නම්, එහෙමත් නැත්නම් සංගීතමය දේව මෙහෙයක් පැවැත්වේ නම්, එහෙමත් නැත්නම් සුප්‍රසිද්ධ නළුවෙක් හෝ නිළියක් නැත්නම් කතුවරයෙක් එන්නේ නම්, පල්ලි පිරී යන බව පෙනී යයි. එසේම පවුලේ අය සියල්ලන්ටම එකට සහභාගී විය හැකි දේව මෙහෙයන් ද විශාල සෙනඟක් ඇද ගන්නා ඒවා වෙති. ඇමෙරිකාවේ වෙරළබඩ පුංචි ගමක ජීවත්වෙන බෞද්ධාගමේ මම මෙහි ක්‍රිස්තියානි පල්ලියක පැවති සංගීතමය දේව මෙහෙයකට සහභාගී වූයෙමි. ඔව්, එය අතිශයින්ම අපූරු අත්දැකීමකි!

ඩෙන්මාර්ක් වල ඇත්තේ එක පල්ලියකි, ඉවැන්ජලිකල් ලූතරන් පල්ලියයි. එහි වසම් 2,000 ක් ගණනක් ඩෙන්මාර්කයේ පිහිටයි. වසම් වලට මූලික Folkekirken ක්‍රිස්තියානි පදනම පමණක් අනුගමනය කරමින් ඒත් කැමති ලෙසින් වෙනස් වෙනස් ආකාර වලින් කටයුතු කරගෙන යාමට නිදහස ඇත.

වසමක ප්‍රමාණය 100 සිට 20,000 ක් දක්වා ජනතාවක් සිටින පරිදි විවිධ වෙති. පල්ලියේ සාමාජිකයන් පමණින් පිරී ගිය වසම් බොහොමයකි. පල්ලියේ සාමාජිකයන් සුලුතරයක් පමණක් සිටින වසම් අල්පයක් ඇත. ඒවා විශේෂයෙන්ම වෙනත් ආගමිකයන් වාසය කරන විශාල නගර වල පිහිටන ඒවා වෙති.

ඩේනිෂ් ව්‍යවස්ථාවේ 66 වැනි වගන්තියේ ඩේනිෂ් ජන පල්ලියක් (Danish Folk Church) පිහිටුවීම නීතියෙන් ස්ථාපිත කර ඇත. එසේම එයින් අභ්‍යන්තර සහ බාහිර පල්ලි කටයුතු තුළ රාජ්‍ය බලය සීමිත කර ආගමික නිදහසට ඉඩ දී ඇත. වසම් වලට ස්වාධීන ලෙසින් කටයුතු කරගෙන යාමට ඉඩ ලැබී තිබුණත්, දිගින් දිගටම නීති සම්පාදකයන් පල්ලිය සහ රජය අතර වෙන්වීම සාක්ෂාත් කර නොගත්හ. ඒ නිසා Folkekirken පල්ලිය රජය හා ඉතාමත් සමීපව ඇඳී පවතින්නකි.

ඩෙන්මාර්ක් හි ආගමික නිදහස 1849 සිට පැවතිණ. ඩෙන්මාර්ක් ව්‍යවස්ථාවේ 67, 68 සහ 70 යන වගන්නති වලින් ඉඩකඩ ලබා දී ඇත. එයින් වෙනත් ක්‍රිස්තියානු ප්‍රජාවන් ද ආගමික සභා පිහිටුවා ගන්නට සමත් වූහ. ඩෙන්මාර්ක් තුළ විවිධ ක්‍රිස්තියානු නිකායන් 15 කට වැඩි සංඛ්‍යාවක් ඇති අතර යුදෙව්, මුස්ලිම්, සහ වෙනත් ආගමිකයන්ට ද නිදහසේ තම ආගම් අදහන්නට ඉඩ ඇත.

ඩෙන්මාර්ක් හි ආගමික නිදහස තිබුණත්, ක්‍රිස්තියානි පල්ලියේ එක නිකායක් සමඟ, එනම් ඉවැන්ජලිකල් ලූතරන් පල්ලිය සමඟ විශේෂ සබඳතාවයක් රටට ඇත. හැමෝටම සම අයිතීන්, ඒත් එක් ආයතනයකට විශේෂ වරප්‍රසාද. ආගමට ඇති නිදහස යනු ආගම් සඳහා ඇති සමානාත්මතාවයක් නොවේ යන්න ඩෙන්මාර්ක් පිළිවෙතයි.

මූලාශ්‍ර මත පදනම් වූ තොරතුරු අවශ්‍ය අය කියවන්න: Church Autonomy: A Comparative Survey by Gerhard Robbers, Peter Lang Publishing, Frankfurt am Main, 2001

මමත් ඔබට ඩෙන්මාර්ක් ගැන කියන්නම්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 16, 2021

ඩෙන්මාර්ක් රටේ වාසය කරන සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කරනවා යැයි හැඟෙන ලංකාවේ අයෙක්, බදු වැඩි රටක ඒ නිසා ඇති උත්කර්ෂවත් ජීවිතය ගැන ලියූ වර්ණනාව සෑහෙන වේගයකින් හැමෝම බෙදාගත්ත. “මම ඔබට ඩෙන්මාකය ගැන කියන්නම්.” එහෙම තමයි එයා පටන් ගන්නෙ.

ඉතින් ඇමෙරිකාවේ ජීවත්වන මාත් හිතුවා ඩෙන්මාර්ක් ගැන ලියන්න.

බදු පනවලා හැමෝටම සමානාත්මතාවය හදන්න යෝජනා කරන්න කලින් ඩෙන්මාර්ක් ධනවත් රටක් වූයේ කොහොමද කියල හොයල බලන්න ඕන. එරට මිනිසුන් අතර එකිනෙකා ගැන ඉහළ විශ්වාසයක් තිබුණ. ශ්‍රමය වෙහෙසීමට කැමති වූ දැඩි විනයක් ඔවුන් අතර තිබුණ. සමාජමය වශයෙන් එකිනෙකා සමඟ ගැටුම් තිබුනෙත් නැහැ, හේතුව 1980 ගණන් වෙනකම් ඩෙන්මාක් හි සුළුජාතීන් කියාගත් අය හිටියෙ 1% ක් පමණයි. විශාලතම පිරිස සුදු හමැති අය 98.7% ක්, ග්‍රීන්ලන්තයෙන් ආ ස්වදේශීන් 0.5% ක් සහ ආසියානුවන් 0.5% ක් වගේ.

1870 සිට 1970 ගණන් වෙන තෙක් නෝර්ඩික් රටවල් යැයි හැඳින්වෙන රටවල් ලෝකයේ වඩාත්ම වේගයෙන් සංවර්ධන වෙච්ච රටවල්. ඒ වනාන්තර පෞද්ගලීකරණය කිරීම (ඔව්, ඒක වැදගත් කියල සමාජවාදීන් කිසිදා පිළිගන්න එකක් නැහැ) සහ ව්‍යාපාර පහසු කරවන ප්‍රතිපත්ති පිහිටුවා ගැනීම නිසයි. කෘෂිකර්මයෙන් වැඩියෙන්ම ලාබ උපයන්න හැකියාව පාදා දීමත් ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම සඳහා නිදහස දීමත් නිසා. තවත් විදියකින් කිව්වොත් බාධා ගොඩක් අඩු වෙළඳපොල ක්‍රමය නිසා.

1870 සිට 1924 දක්වා අතර කාලය කාර්මීකරණය වූ ලෝකයේ වර්ධන වේගයේ හය වැනි ඉහළම ස්ථානයේ සිටින්නට ඩෙන්මාර්ක් සමත් වූවා. කාලයෙන් කාලයට ඉස්මතු වෙන සමාජවාදී ප්‍රතිපත්ති පටන් ගන්නෙ 1924 න් පසුව. මධ්‍යස්ථ බදු වලින් ඉහළම බදු වලට යන්නෙ 1970 ගණන් වල. ඔව්, 70 ගණන් වල දී ආර්ථිකය එක තැන ලගින්න පටන් ගත්තම ඩෙන්මාර්ක් වල මිනිස්සු පෙළපාලි ගියා. බදු පහළ දැම්මා. සමාජවාදී ප්‍රතිපත්ති වැඩි වෙද්දී රටේ දියුණුව අඩුවෙද්දී ඩෙන්මාර්ක් වැසියන්ට ඒ වැරදි ප්‍රතිපත්ති වලින් අයින් වෙන ආණ්ඩුවක් ලැබෙනවා, හැමදාම එකම ප්‍රතිපත්තියේ ඉන්න ලංකාවේ වගේ නෙමෙයි.

ඩෙන්මාර්ක් කියන්නෙ ව්‍යාපාර සඳහා වඩාත්ම අඩු රෙගුලාසි ඇති රටක්. පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂා කරන රටක්. ඒ දෙක විතරක් වුණත් ඇති රටක් දියුණු වෙන්න, ඒත් මේ අය විසින් උත්කර්ෂවත් කරලා ලියන්නෙ උපයන ලද ධනය නැවත බෙදා හරින ක්‍රම ගැනයි.

වැරැද්ද අන්න එතනයි.

“මොකද ලංකාවෙ අපි හුඟ දෙනෙක් හිතන්නෙ එහෙම සමාජක්‍රමයක් ප්‍රායෝගික නැහැ කියල…”

මෙසේ අගයන සමාජ ක්‍රමය කුමක් ද?

එය ධනවාදී ආර්ථික ක්‍රමයක් මත ගොඩනැඟී ඇති සමාජ ක්‍රමයක්. 2016 දී හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශනයක දී එවක අගමැති ලාස් ලුකෙ රස්මුසන් මෙසේ කියා සිටියේය:
“මම දන්නවා සමහර අය නෝර්ඩික් ආකෘතිය යම් ආකාරයක සමාජවාදයක් හැටියට පෙන්වන බව. මම කැමතියි එක දෙයක් පැහැදිලි කරන්න. ඩෙන්මාර්ක් කියන්නෙ සමාජවාදී සැලසුම්ගත ආර්ථිකයකින් බෙහෙවින් ඈතක තියෙන්නක්. ඩෙන්මාර්ක් කියන්නෙ වෙළඳපොල ආර්ථිකයක්.”

“ඩෙන්මාකයට කිසිම ස්වභාවික සම්පතක් නැහැ…”

ඛනිජ තෙල්, ස්වභාවික ගෑස්, වැලි කැට, වැලි, හුණු ගල්, රටහුණු, මැටි සහ ලුනු ඩෙන්මාර්ක් රටේ ඇති ස්වභාවික සම්පත් අතර වෙති. ඩෙන්මාර්ක් සමාගම් මෙන්ම විශාල ජාත්‍යන්තර සමාගම් විසින් ද මේ ස්වභාවික සම්පත් කැනීම් කටයුතු කරති. ඩෙන්මාර්ක් හි උතුරු මුහුදේ (North Sea) ඇති ඩේනිෂ් ඛනිජ තෙල් නිධි වලින් වසරකට බොර තෙල් ලීටර් බිලියන 10 ක් පමණ කැනීම් සිද්ධ වේ. එයින් ඩෙන්මාර්ක් රට තෙල් වලින් ස්වයංපූරිත වෙති. ජාත්‍යන්තර වශයෙන් සලකද්දී ඔවුන්ගේ අපනයන ප්‍රමාණය ඉතා අල්ප වීම හේතුවෙන් තෙල් අපනයනකරුවෙක් හැටියට එරට සැලකෙන්නේ නැත.

ඩෙන්මාර්ක් හි ඇති බොහෝ පැට්‍රල් ෂෙඩ් ජාත්‍යන්තර කොම්පැණි වලට අයත් වෙති. ඒත් පැට්‍රෝලියම් නිෂ්පාදන ඩෙන්මාර්ක් තුළ අලෙවි කරන OK amba හට රට ඇතුළත පැට්‍රල් ෂෙඩ් 680 කට වැඩි සංඛ්‍යාවක් අයිතියි. බන්කර් ශිපින් (bunker shipping) කියා හැඳින්වෙන වෙළඳාම, එනම් නැව් කර්මාන්තය සඳහා තෙල් අලෙවිය ද ඩෙන්මාර්ක් රටේ ප්‍රධාන ව්‍යාපාරයකි. යුනයිටඩ් ශිපින් ඇන්ඩ් ට්‍රේඩිං කොම්පැණිය වැනි සමාගම් පිරිවැටුම් අනුව ඩෙන්මාර්ක් හි විශාලතම කොම්පැණි 20 අතරට ද අයිතියි.

උතුරු මුහුදෙන් ලබාගන්නා ස්වභාවික ගෑස් (natural gas) නිසා ඩෙන්මාර්ක් රට එයින් ද ස්වයංපූරිත වෙති.

“රටේ හැම තැනම හරි පිලියෙවලට නඩත්තු කරල…”

වසර 125 ක් පුරා කාලයක සිට ඩෙන්මාර්ක් රට කිසිම පෞද්ගලික කොම්පැණියක් උවමනාවෙන්ම ජනසතු කර නැත. ඊට කලින් ජනසතු කරන ලද ඒවා කොතරම් අල්පයක් දැයි කිව්වොත් කිසිවෙක් ඒ ලැයිස්තුවක් පවා හදා නැත.

“…ඩෙන්මාක් ජාතිකයන් වෙලදාම් කරන්න තියෙන කැමැත්ත ඉතාම අඩුයි…”

පිටසක්වලින් ඇවිත් වෙන්නැති එහෙනම් රටේ 99% කට වැඩි වෙළඳාම් කටයුතු කරන්නෙ.

රටේ කැළෑ වලින් 2/3 ක් හැරෙන්නට නිෂ්පාදන අයිතිය (production ownership) මුළුමනින්ම පෞද්ගලික දේපල අයිතියේ පවතී. වෙළඳාම සහ මුල්‍ය සියයට 99% කට වැඩියෙන් ඇත්තේ පෞද්ගලික දේපල අයිතියේය, 2002 න් පසුව කුඩා පෞද්ගලික සමාගම් වැඩි වී ඇත. කර්මාන්ත ක්ෂේත්‍රය 99% කට වැඩියෙන් ඇත්තේ පෞද්ගලික දේපල අයිතියේය. සේවා ක්ෂේත්‍රය 99% කට වැඩියෙන් ඇත්තේ පෞද්ගලික දේපල අයිතියේය.

මත්පැන් පෙරීමේ මොනොපොලියක් 1923 සිට 1973 දක්වා එරට පැවතිණ. ඔවුන් එය මොනොපොලියක් යැයි දැක්වීම වසන් කළේ නැත, ආයතනයේ නම Danish Alcohol Monopoly විය. ඩේනිෂ් ‘ස්නැප්ස්’ වාසි වන ආකාරයෙන් මත්පැන් විකුණන බදු පනවන ලද්දා වුවත්, අපනයනය සඳහා බද්දක් කිසිවිටෙක නොවීය. 1973 දී මොනොපොලිය ඉවත් කරන ලද අතර බදු එක හා සමාන කරන ලදි. ඩේනිෂ් මත්පැන් මොනොපොලියේ ඉස්කාගාරය ස්වීඩිෂ් රාජ්‍යයේ මත්පැන් මොනොපොලිය වෙතට විකුණා දැමිණ.

“හැම කෙනෙකුටම අමතන්නෙ මුල් නමින් පමණයි. නොදන්න නොහදුනන කෙනෙකුට පවා ලිපි ශීර්ෂයක අමතන්නෙ ආදරණීය….ඊළඟට මුල් නම..පමණයි.”

ඔබ නැතිව ඔයා කියන “du” යොදා ගත්තත්, ඩේනිෂ් අය පළමු වතාවට ලියුමක් හෝ ඊ මේල් එකක් යවද්දී ආදරණීය ලාස් කියල ලියන්නෙ නැහැ. ආදරණීය ලාස් ලූකෙ රස්මුසන් කියල මුල් නම, මැද නම සහ වාසගම ඔක්කොම සහිතවයි ලියන්නෙ. ව්‍යාපාරික කටයුතු කරන අය ඒ.

“මිනිසුන් මේ බදු ගෙවන්නෙ ඉතාම සතුටින්.”

1960 ගණන් තරම් කාලයේ දී පවා ඩෙන්මාර්ක් වල බදු ආදායම එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 25 ක් පමණයි. ඒ කියන්නෙ අනෙකුත් සංවර්ධිත රටවල් වලට වඩා වැඩි වෙනසක් නැහැ.

1972 දී පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්නට සමත් වන අලුත්ම අලුත් පක්ෂය වහාම ඩෙන්මාර්ක් වල දෙවැනි විශාලතම දේශපාලන පක්ෂය වූයේ ඇයි දන්නවාද? ආදායම් බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීම ඇතුළු බදු කපා දැමීම වෙනුවෙන් පෙනී සිටින Fremskridtspartiet පක්ෂය. ඒත් පක්ෂයට බදු ගැන අමතක වෙලා වෙන සමාජ අර්බූද ඇදලා ගන්නවා, පක්ෂයේ ජනප්‍රියත්වය බහිනවා.

ඩෙන්මාර්ක් වල ගොවීන් 5,000 ක් 1979 දෙසැම්බර් මාසයේ කෝපන්හේගන් සහ තවත් නගර 11 ක ඔවුන්ගේ ධාන්‍ය අස්වැන්නට පනවන්න යන 0.11% ක windfall බද්දකට එරෙහිව විරෝධය පාන්න එකතු වෙන්නෙ මාර්ග තදබදයක් ඇති කරමින්. උද්ඝෝෂණයෙන් පසුව ආණ්ඩුව බද්ද 0.07% දක්වා අඩු කරනවා.

ධන වස්තු බද්ද (wealth tax) පැනවෙන්නෙ පුද්ගලයෙකුගේ මුළු ආදායමට, නැත්නම් මුළු වත්කම් වල වෙළඳපොල අගයෙන් එයාගේ වගකීම් අඩු කරල. ධන වස්තු මොනවද කියල නිර්වචනය කරන ආකාරය අනුව බද්ද නිර්වචනය කරන්න හැකියාව ලැබෙනව. ඩෙන්මාර්ක් සමාජවාදී පැත්තට බරවෙච්ච කාලයේ, රටේ අනෙක් අයට සාපේක්ෂව 98% කට වඩා ඉහළ ධන වස්තු ඇති අයට ධන වස්තු බද්දක් පැනවිලා තිබුණ. එයින් හටගත් හානිකර ඵලවිපාක දකින්නට ලැබෙද්දී 1997 දී මේකට දැඩි විරෝධයක් එල්ල වෙනව. 1980 ගණන් දක්වා ඒ 2% ක ඉහළම ධනවතුන්ගේ ධන වස්තු සඳහා 2.2% ක් ආන්තික බද්දක් තියනව. 1989 වෙද්දී බද්ද 1% ක් දක්වා අඩු කරනව. 1997 දී ඒ බද්ද මුලෝත්පාටනය කරලා දානව.

සමාජයේ ශ්‍රමය වෙහෙසන සෑම අයෙක්ම එකා හා සමාන වූ සතුටකින් බදු ගෙවනවා කියල හිතන් ඉන්න අය ඒත් ලෝකෙ බොහොමයි.

“ඉතා ගුණාත්මක නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවය..”

2006 සිට 2016 දක්වා අතර කාලයේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ වලින් සිටින අයගේ ප්‍රමාණය 22% ක් දක්වා වර්ධනය වූණා. ඩෙන්මාර්ක් තුළ අමතර (complementary) රක්ෂණ ලබාගන්න පුලුවන්, රජයේ ක්‍රමය හරහා නොමිලේ නොලැබෙන දන්ත සහ ඇස් සඳහා වූ සේවාවන් ඇතුළුව මුළුමනින්ම ගෙවන්නෙ නැති දේවල් සඳහා.

නොමිලේ සපයන සෞඛ්‍ය සේවා සඳහා බලාගෙන ඉන්නට සිද්ධ වෙන එක ගැන ගොඩක් අය කතා කරන්නෙ නැහැ. 2007 දී ඩෙන්මාර්ක් ආණ්ඩුවට වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා බලාගෙන සිටින්නට සිද්ධ වෙන කාලය මාසයක් පමණක් වෙනවා යැයි සහතිකයක් දෙන්නට සිද්ධ වුණා. 2009 දී කළ විමර්ශනයකින් හෙළි වූයේ බාගයකට ආසන්න ඩේනිෂ් වැසියන් අනවශ්‍ය තරම් දීර්ඝ කාලයක් තම වාරය එන තෙක් බලාගෙන ඉන්නට සිද්ධ වීම ගැන අප්‍රසාදය දැක්වූ බවයි.

“පෞද්ගලික නොවූ පාසැල්,…”

2019 වසරේ මිලියන 5.8 ක් ජීවත්වන ඩෙන්මාර්ක් වල පෞද්ගලික පාසැල් 556 ක් තියෙනව. මිලියන 21.8 ක් ජීවත්වන ලංකාවේ පෞද්ගලික පාසැල් තියෙන්නෙ 98 යි. ඒ ගැන ඒ ඇති.

“ඩෙන්මාකයේ…ඇඳුම් පැලදුම් වලට කිසිම තත්වයක් නොදීම..”

ඩෙන්මාර්ක් වැසියන් වසරකට ඇඳුම් සඳහා ඩොලර් බිලියන 4.7 ක් වැය කරනවා. සපත්තු සඳහා ඩොලර් බිලියන 1.2 ක් වැය කරනවා. කෝපන්හේගන් වල ෆැෂන් සතියක් ද පැවැත්වෙනවා. ඩෙන්මාර්ක් වල රෙදිපිළි කර්මාන්තය ඈත කාලයක සිට පැවතෙන්නක්. ලංකාවේ වගේ පිටරටින් රෙදි ගෙන්වන්න තහනම් රටක් නෙමෙයි. ඒ නිසා රෙදි සහ ඇඳුම් පිටරට පටවන එක ඔවුන්ගේ හතරවැනි විශාලතම අපනයනය වුනත්, රටට රෙදි ගෙන්වීමට වඩාත්ම පහසු යුරෝපීය රටක්. ආනයන බාධක සහ නීති ලිහිල් නිසා ඉන්දියාවේ අපනයනකරුවන් මෙය යුරෝපීය ටෙස්ට් මාකට් එකක් හැටියට යොදාගන්නවා. 2006 දී එළිමහනේ සිටිය දී අඳින ඇඳුම් ආනයන කරන යුරෝපීය රටවල් අතරින් නව වැනි විශාලතම රට වූයේ ඩෙන්මාර්ක්.

මෙයා ලියන එක බෙදාගත්තු තැනක ඩෙන්මාර්ක් වල මින්ක් සත්තු මරා දාපු හැටි ගැනත් බෙදාගෙන තිබුණ. ඩෙන්මාර්ක් කියන්නෙ ලෝකයේ මින්ක් සත්ව ලොම් නිෂ්පාදනය කරන දෙවැනි විශාලතම රට. ඒ වගේම අමු සත්ව හම් අපනයනය කරන විශාලතම රට. මින්ක් සත්ව පාලනයෙන් 2015 දී DKK බිලියන 11 ක් උපයාගෙන තියනව. ඩෙන්මාර්ක් වල සත්ව ලොම් සඳහා සතුන් ඇති දැඩි කරන පූර්ණ කාලීන ගොවිපොලවල් 1,350 ක් ද, කුඩා පරිමානයේ ගොවිපොලවල් 1,500 ක් ද තියෙනවා. මින්ක් සත්ව පාලනයේ සේවය කරන 4,300 ක ජනතාවක් සිටිනවා. 2010 සිට 2015 දක්වා කාලයේ දී මින්ක් සත්ව ලොම් ඇති හම (pelt කියන්නෙ) මිලියන 14 ක සිට මිලියන 18 ක් දක්වා පමණ වැඩිවෙනවා. ඔව්, බදු නිසා ලැබෙන වාසි ගැන කියද්දී සමහර සමාජවාදීන් කැමති නැහැ මෙවැනි ව්‍යාපාර වලින් ලැබෙන බදු නිසා තමන්ගේ ජීවිතයේ සමෘද්ධියට හේතු වූවා කියල කියන්න.

“වැඩිහිටි බොහෝ කාන්තාවන් කිසිම මේකප් භාවිතයක් නැහැ…”

හැරී කුමරු හා විවාහ වූ මේගන් මාකල් මේකප් දාන්නෙ නැහැ කියල හිතපු අයත් හිටියනෙ. දාලා නැති ගානට මේකප් දාන එක අඩු වැයකින් කරන්න පුලුවන් කියල හිතන අයත් ඉන්නවා.

“මෙහි සමාජ විද්‍යාඥයන් කියන විදියට ඔවුන් බයම රටේ පෝසතුන් වැඩි වෙනවට..හරියට ඇමෙරිකාව වගේ වෙනවට..පෝසතුන් වැඩි වෙද්දි සමාජ පරතරයක් ඇතිවෙනව..පෝසතුන් පහල පන්තිය ගැන බයෙන් සැකෙන් බලනව..එතකොට පහල පන්තියෙ ඇතිවන ආත්ම අභිමානය හීන වීම නිසා ඔවුන් වැරදි කරන්න බය නැති වෙනව..මොකද වැරදි නොකරත් වපර ඇහින් බලද්දි ඔවුන්ට රකින්න අභිමානයක් නැති නිසා…”

මිලියන 5.8 ක් ජීවත්වන කුඩා රටක් වුවත්, ඩෙන්මාර්ක් හි ඉන්න පෝසතුන්ට ඩොලර් බිලියන 8 ක වත්කමක් ඇති Anders Holch Povlsen, බිලියන 6.2 ක් ඇති Niels Peter Louis-Hansen, බිලියන 4.7 ක් ඇති Kjeld Kirk Kristian සහ Sofie සහ තෝමස් යන ලෙගෝ කොම්පැණියෙ අයිතිකරුවන් බිලියන 4.7 ක් බැගින්, Lars Larsen ට බිලියන 4.5 ක්, Martin Møller Nielsen ට බිලියන 1.6 ක් ද, බිලියන 1 ක වත්කමක් බැගින් ඇති Anna සහ Andre Kasprzak ඇතුළත්.

හොඳ වේලාවට සමාජ විද්‍යාඥයන් බය වුනාට ඩෙන්මාර්කයේ වෙළඳාමට නිදහස දේශපාලනඥයන් විසින් අවුරලා දාලා නැත්තෙ!