අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස කුමක් දැයි ලෝකයට කියා දුන් ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 6, 2013

IMG_4995

පැහැදිලි කරන ලද සත්‍යයන් මහත් රාශියක් ලෝකයේ තියෙනවා. ඒත් ඒවා වටහා ගන්නට හා පිළිපදින්නට උත්සාහයක් ගන්නා අය ලොව ඉන්නේ අල්පයකි.

“ඕනෑම කෙනෙකුට වෑයම අත්හැරිය හැකියි. එය ලෝකයේ ඉතාමත් පහසුවෙන් කළ හැකි වූවයි. ඒත් ඔබ වටා සිටිනා සියළුම අය විසින් ඔබ උත්සාහය අත්හැර දමන්නේ මන්දැයි ඔවුන්ට වැටහෙනවා යැයි කියද්දී, උත්සාහය අත් නොහැර සිටින්නේ නම්, එයයි සත්‍ය ශක්තිය.” -කියුවේ කවුදැයි සටහන් වී නැති අනගි ප්‍රකාශයකි

“Anyone can give up, it’s the easiest thing in the world to do. But to hold it together when everyone else would understand if you fell apart, that’s true strength.” -Unknown

නිදහස කුමක් දැයි ලෝකයට කියා දුන් ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්ථය ගැන වාද ආරම්භ වූයේ එය අපරානුමත වෙන්නටත් කළින්. එංගලන්තයේ ජෝන් ලොක් සහ එංගලන්තයෙන් පැමිණ ඇමෙරිකාවේ පදිංචි වූ තෝමස් පේන් වැනි දාර්ශනිකයන්ගේ අදහස් විචාරයෙන් ඇමෙරිකන් ආදීපීතෘවරුන් විසින් ලියා අත්සන් තබන ලද නිදහස් ප්‍රඥප්තිය (1776 ජූලි 4) හා ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිදහස වෙනුවෙන් තවමත් නිර්භයව පෙනී සිටින ලොව වැදගත්ම ලියැවිලි වෙති. ව්‍යවස්ථාව අපරානුමත කරගන්නට පෙර, 1787 ඔක්තෝබරයේ සිට 1788 මැයි දක්වා කාලය තුල දී ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, ජේම්ස් මැඩිසන් හා ජෝන් ජේ යන තිදෙනා විසින් රචනාවන් 85 ක් ලියූහ. ඒවා The Federalist Papers යනුවෙන් හැඳින්වේ.

ඔවුන් එම රචනා Publius යන අන්වර්ථ නාමයෙන් පුවත්පත් වලත්, පත්‍රිකා වශයෙනුත් බෙදා හැරියහ. Publius Valerius Publicola පුරාතන රෝමයේ විසූ වංශවතෙකි. ඔහු රෝම රාජාණ්ඩුව පෙරළා රෝම ජනරජය පිහිට වූ නායක වංශවතුන් හතර දෙනාගෙන් එක් අයෙකු විය. “ජනතාවගේ හිතවතා” යන්න ඔහුට පටබැඳි සුරතල් නාමය විය. ආදීපීතෘවරුන් පාවිච්චි කරන ලද්දේ එයයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ඔටුන්නට එරෙහි කුමන්ත්‍රණ හිස් අහිමි වෙන වරදක් යැයි සැලකුනේ 1817 දී ඌව කැරැල්ලෙන් පටන් ගත් ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ අයට පමණක් නොවේ!!!!!

වර්තමානයේ දීත් ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වාද බහුලයි. එක කල්ලියක් විහාරික ව්‍යවස්ථාවාදී (living constitutionlism) නමින් හැඳින්වෙති. ඔවුන්ට අනුව නූතන අවශ්‍යතා අනුව ව්‍යවස්ථාව පරිනාමය විය යුතුයි. අනෙක් කල්ලිය නම් මෞලිකතාවාදීන් (originalism) වෙති. ඔවුන්ට අනුව ව්‍යවස්ථාවේ අර්ථයන් එය අපරානුමත වූ කාලයේ තේරුම් වලින් වටහා ගත යුතුයි. යම් වගන්තියක් පරිනාමය විය යුතු ද, ඔවුන් කියා සිටිනුයේ, ඒ සඳහා Article V යන්නෙන් විධිමත් ප්‍රතිසංශෝධන පියවර පැහැදිලි කර ඇති බවයි. ඒ වගන්තිය රාජ්‍ය බලය අවම කර ජනතාවට වැඩි බලය තහවුරු කරන ලද්දකි.

විධායක, නීති සම්පාදක හා අධිකරණය යන තුන් කට්ටුවට අතර බෙදී යන පාලන බලය නිසා ඇමෙරිකාවේ සුපිරි උසාවියට නිතරම ව්‍යවස්ථාව හා ගැටෙන නීති සම්පාදන ගැන තීන්දු ලියන්නට සිද්ධ වෙයි. මෞලිකවාදී කල්ලියේ යැයි සැලකෙන සුපිරි උසාවි විනිසුරු ක්ලැරන්ස් තෝමස් ව්‍යවස්ථාවේ ඔරිජිනල් අදහස් මොනවා දැයි විමසන්නට පරණ ලියකියැවිලි නිතරම සහාය කරගනියි. උදාහරණයක් ලෙසින්, 2010 දී McDonald v Chicago හි ඔහු වහල්ක්‍රමය අහෝසිය වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් වූ Frederick Douglass සිට ඉංග්‍රීසි ජුරි සභිකයෙක් වූ William Blackstone වැනි පරිශ්‍රයක් තුලින් ලියැවිලි උපුටා තම අදහස් දැක්වීය.

ඉහත සඳහන් කළ “ෆෙඩරලිස්ට් රචනා” සුපිරි උසාවි තීන්දු වල දී 300 වතාවකට වඩා යොදාගෙන ඇත. නීති විමසුම් ලිපි 6000 කට වඩා ප්‍රමාණයක් මෙම ෆෙඩරලිස්ට් රචනා සලකා බලති. එසේම උසස් පෙළ පාසැල් සහ විශ්ව විද්‍යාල අධ්‍යයනයේ දී කොටසක් වශයෙන් ද මේ රචනා භාවිතය සිද්ධ වේ.

ව්‍යවස්ථාවේ අදහස් වටහා ගන්නට හැකියාව ලැබෙන අතකොළුවක් වශයෙන් සුවිශේෂී ස්ථානයක් ෆෙඩරලිස්ට් රචනා ලබා ඇතැයි කියන අයට America’s Constitution: A Biography (2006) ලියූ Akhil Reed Amar නම් යේල් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්යවරයා ද අයත් වෙයි. එහෙත්, ඔහුගේ ඉහත පොතේ ඔහු විසින්ම මුලින් ගෙනෙන රීතියක්; ව්‍යවස්ථාවේ ලියැවී නැති දේවල් ගැන සලකද්දී ඒවා එහි ලියැවී ඇති ප්‍රධාන අරමුණ සහ පැහැදිලි අර්ථයන්ට කිසිසේත්ම පටහැනි නොවිය යුතුයි, යන තමන්ගේ ම රීතිය කඩ කර ඇත!!

ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි ලියැවී නැති දේවල් ගැන සඳහන් කරන්නේ එහි නව වැනි සංශෝධනයේය: “ව්‍යවස්ථාව මඟින් පැහැදිලිව කියා නොමැති සමහර අයිතීන්, ජනතාව සතුව පවතින අයිතීන් ප්‍රතිශේධනය (deny) කරන හෝ ඒවාට නිගා කරන ලෙසින් යොදාගත නොහැක.”

මේ දිනවල නැවතත් වරක් සිත සතුටෙන් පිරී යන්නට, සොඳුරු මිනිසාගේ ආරක්ෂාව අරබයා ලියැවුන ලොව අනගි අදහස් පිරි “ෆෙඩරලිස්ට් රචනා” මම කියවමින් සිටින්නෙමි!!!!