අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිසාගේ අදහස්වල ප්‍රභවය කොතැනද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 27, 2021

ඵෙතිහාසික ක්‍රියාවලිය තුළින් අනිවාර්යෙන්ම උදාවෙන අනාගත තත්ත්වය, එනම් විද්‍යාත්මක සමාජවාදය ගෙනහැර පාන ලද කාල් මාක්ස් එහි ආගමනය කිසිම කෙනෙකුට නවත්වන්නට නොහැකි වූවක් යැයි කියා සිටියේය. මාක්ස් සහ එංගල්ස් දෙදෙනාගේ ලියැවිලි හරහා “දළඹුවෙක් සමනලයෙක් බවට හැරෙන” සහ “මවක් තම ගර්භාෂයෙන් දරුවෙක් ප්‍රසූත කරන” යනාදී රූපාන්තර පද වහර තුළින් ධනවාදී සමාජයෙන් පසුව එන ඒ අනාගත තත්ත්වය යනු විද්‍යාත්මක සමාජවාදය යැයි හැඳින්විණ.

මෙය ලියාගෙන යන සටහන් පේලියක් නිසා ආරම්භයේ සිට කියැවීමෙන් අවබෝධය පහසුවෙනු ඇතැයි සිහිකරමි.

ඉතින් නැවතත්, කෙටියෙන්, හෙගලියානු අපෝහකවාදයෙන් කාල් මාක්ස් එළඹෙන ලද “විද්‍යාත්මක සමාජවාදයේ” සාරය මෙයයි: විරුද්ධ පැති දෙකකින් හටගැනෙන අරගල, එනම් දේශපාලන සිද්ධීන් ඒවායේ ප්‍රතිඵල දක්වා, අවසාන ලෙසින් ඒවායේ ආර්ථික හේතු දක්වා, ආපසු සොයා බැලීමේ දී ඒවා අලුත් තත්ත්වයක සංශ්ලේෂණයක් කරා යෑම අනිවාර්යෙන්ම සිදුවීම.

අනාගතයේ නිසැකවම එන අලුත් අදියරට දායක වන මාක්ස්ගේ භෞතිකවාදී නිෂ්පාදක බලවේග මොනවාද? පංති අරගලයක් ගැන කියා සිටි මාක්ස් “පංතිය” යන්න කුමක්දැයි කියා කොතැනක හෝ ලියා නැති සේ ම (මේ ගැන සටහනක් වෙනම බලාපොරොත්තුවන්න) ඔහු “භෞතික නිෂ්පාදන බලවේග” යනු මොනවාදැයි කියා ද කොතැනක හෝ ලියා නැත.

1847 දී ඔහු ප්‍රංශ බසින් ලියූ “දර්ශනයේ දරීද්‍රතාවය” (Misère de la philosophie) නමැති කෘතියේ “අත්-මෝල විසින් ඔබට වැඩවසම් ස්වාමියා සිටින සමාජය ලබාදෙයි” සහ “හුමාලයෙන් දුවවන මෝල විසින් ඔබට කර්මාන්ත ප්‍රාග්ධන හිමියා සිටින සමාජය ලබාදෙයි” යැයි සඳහන් කර තිබේ.

මේවා හැරෙන්නට වෙනත් යන්ත්‍ර සමාජයට පැමිණීම නිසා එයින් සමාජවාදය නිර්මාණය වන බව සඳහන් කර තිබීමත් මාක්ස්ගේ ලියැවිලි තුළින් දැකිය හැකියි. ඔහුගේ ලියැවිලි තුළින් දකින මේ භෞතික නිෂ්පාදක බලවේග යනු ඒ නිසා උපකරණ සහ යන්ත්‍ර බව සැලකේ.

මාක්ස්ට කලින් හර්මන් ලුඩ්විග් ෆර්ඩිනැන්ඩ් වොන් හෙල්ම්හොල්ට්ස් (Hermann Ludwig Ferdinand von Helmholtz, 1821-1894) සහ ලියොපොල්ඩ් වොන් රෑන්ක් (Leopold von Ranke, 1795-1886) දෙදෙනා ඉතිහාසය යනු තාක්ෂණයේ ඉතිහාසය යැයි කියා තිබුණහ. ඉතින්, ඉතිහාසයේ කාර්යය වනුයේ ඒ ඒ යුගයේ දී මහජනතාව විසින් යම් නිශ්චිත තාක්ෂණයක් භාවිතා කළේ මන්දැයි පැහැදිලි කිරීම යැයි ඔවුන් කියා සිටියහ.

උපකරණ, යන්ත්‍ර එනම් භෞතික නිෂ්පාදක බලවේගය නිසා මිනිසාගේ මොළයේ අදහස් ඇතිවෙනවා යැයි මාක්ස් කියා සිටීම ඒ නිසා අලුත් අදහසක් නොවූයේය. මාක්ස් විසින් උපකරණ හා යන්ත්‍ර හරහා ඇතිවන අදහස්වල නිෂ්පාදනය ඊළඟට තාක්ෂණික අදහස්වල වෙනස්වීම යන තත්ත්වයට රැගෙන යන ලදි. ආර්ථික තත්ත්වයන් මත මෙම වෙනස්වීම පදනම් වූ බව මාක්ස්ගේ මතය විය.

සෑම අලුත් යන්ත්‍රයක් ගැනම ඇහෙද්දී ඔවුන් ඒ නිසා ඉතා සතුටට පත්වූ බව මාක්ස් සහ එංගල්ස් දෙදෙනා අතර හුවමාරු වූ ලිපිවලින් දැනගන්නට ලැබේ. ධනේශ්වරයේ ඒ යන්ත්‍ර පසුපසින් සමාජවාදය අත ළඟම එනවා යැයි එවක ඔවුන් අපේක්ෂා කළ නිසයි.

ඔහු ජීවත්ව සිටි කාලයේ පැවති සියළු අර්බූදයන්ට උපකරණ (tools) වගකිව යුතු නැතැයි කියා ද මාක්ස් කියා සිටියේය.

මාක්ස්වාදයේ අදහස්වලට මෙයින් ඇති බලපෑම කුමක්ද?

17 වැනි සියවස මුල දී විසූ රෙනෙ ඩෙකාට් නමැති දාර්ශනිකයා විශ්වාස කළේ මිනිසාට මනසක් තියෙනවා සහ මිනිසාට හිතන්න පුළුවන් යැයි කියායි. ඩෙකාට්ට අනුව අනෙකුත් සත්වයන්ට හිතන්න නොහැකි නිසා ඔවුන් යන්ත්‍ර පමණක් වෙති. උපකරණ සහ යන්ත්‍ර ඇති කාර්මික යුගයක ඔහු ජීවත්වූ බැවින් සත්තු යාන්ත්‍රික යැයි දක්වන න්‍යායක් හදන්නට ඩෙකාට්ට සිද්ධ වූවා යැයි මාක්ස් කියා සිටියේය.

මිනිසාගේ සංවේදීය අත්දැකීම් වලින් මිනිසාගේ මනසේ සියල්ල නිර්මිත යැයි ජෝන් ලොක් (1632-1704) නැමති අනුභූතිවාදයේ දාර්ශනිකයා දැක්වීම මාක්ස්ට අනුව බුර්ජුවාසියේ පංති දැක්ම ප්‍රකාශයකි.

ඉතින් ඩෙකාට්ගේ දැක්මට මාක්ස් දුන් පිළිතුර ඩෙකාට් යන්ත්‍ර හඳුන්වාදෙන යුගයක ජීවත්වීම නිසා ඔහු සත්වයන් යන්ත්‍ර හැටියට පැහැදිලි කළා යන්නය.

ඉතින් ජෝන් ලොක්ගේ දැක්මට මාක්ස් දුන් පිළිතුර ලොක් බුර්ජුවාසී පංතියේ දැක්ම වෙනුවෙන් පෙනී සිටියා කියාය.

ඒ අනුව මාක්ස් ගෙනෙන්නේ අදහස්වල ප්‍රභවය ගැන එකිනෙකට පරස්පර වූ පැහැදිලි කිරීම් දෙකකි. මිනිසා තුළ අදහස් ඇතිවීම භෞතිකවාදී නිෂ්පාදක බලවේග, එනම් උපකරණ හා යන්ත්‍ර මත පදනම් වෙන්නේ නම්, එහෙනම් දෙවැන්න, පංති දැක්ම අනුව අදහස් තීරණය වෙනවා යන්න පරස්පරවිරෝධීය.

භෞතික නිෂ්පාදන බලවේග නිසා ඕනෑම කෙනෙක් සිතන සිතුවිලිවල ප්‍රතිඵලයෙන් ඔහුගේ පංති දැක්ම පෙනෙනවා යැයි මාක්ස් කියා සිටියි.

මාක්ස්ට අනුව ඔබ හිතන්නේ ඔබට හිතන්න යැයි ඔබේ “කැමැත්තන්” (interests) බලකරන අන්දමටයි. ඔබ හිතන්නේ ඔබේ පංති “කැමැත්ත” අනුවයි. ඔබේ “කැමැත්තන්” ඔබේ මනසෙන් සහ අදහස්වලින් ස්වාධීනව පවතින්නකි. මේ ලෝකය තුළ ඔබේ “කැමැත්තන්” පවතින්නේ ඔබේ අදහස්වලින් බාහිර ලෙසිනි. ඒ අනුව ඔබේ අදහස්වලින් ලැබෙන ප්‍රතිඵලය සත්‍යය (truth) නොවේ.

කාල් මාක්ස්ට ප්‍රථමයෙන් යුරෝපයේ පැවතියේ දෘෂ්ටිවාද (ideology) පිළිබඳ කතිකාවකි. සත්‍යය ගැන කතිකාවක් නොවේ. මාක්ස් දෘෂ්ටිවාදය යන්න වෙනත් අර්ථයකින් භාවිතා කරන්නට පටන් ගත්තේ ය. දෘශ්ටිවාදයක් යනු පංති සාමාජිකයෙක් විසින් සිතන ධර්මයකි. මේ ධර්ම අත්‍යවශ්‍යයෙන්ම “සත්‍යය නොවන” ඒවාය. ඒවා පංතියේ කැමැත්තන් විභාවනය කරනවා පමණකි.

ඉතින්, අනාගතයේ යම් දිනයක පංති භේදයක් රහිත සමාජයක් උදාවෙනු ඇත. එක පංතියක්, එනම් වැඩකරන පංතිය විසින් පංති රහිත සමාජයට මාර්ගය පාදනු ඇත. වැඩකරන ජනතාව විසින් සියළු පංති මූලෝත්පාටනය කර දමා රන් යුගය, එනම් පංති රහිත සමාජය ගෙන්වා ගනු ඇත.

විශ්ව ලෙසින් පවතින තාර්කික බවක් ලොව නැතැයි මාක්ස් කියා සිටියේය. මාක්ස්ට අනුව සෑම පංතියකටම ඔවුන්ට විශේෂ වූ තර්කාන්විත බවක් ඇත. එහෙත් ඉතින් අනාගතයේ සත්‍යය තාර්කික බව නම් වැඩකරන ජනතාවගේ තාර්කික බවයි.

එම අදහස් මාක්ස්ගේ වෙද්දී ඒවා අගයන අය එදත් අදත් ඒවා වර්ගවාදීන් විසින් දක්වන අදහස් බව නොදැක්කා සේ සිටිති. විවිධ ජනවර්ගවලට ඔවුන්ගේම කියා තර්ක ඇතැයි ද, ඔවුන්ගේ තර්ක අනෙක් ජනවර්ගවලින් වෙනස් යැයි කියද්දී, ආර්යන් (ජර්මන්) තර්කය සැබෑ තර්කය යැයි කියාගැනීමත් ඒ තර්කයෙන්ම සිද්ධවෙන බව ගැන කල්පනා කරන්නේ නැත.

අදහස් වලින් සංවාද කරන්නට නොහැකි වූ කළ කාල් මාක්ස් ඔහු ජීවත්ව සිටිය දී අනෙකා පංති දැක්ම අනුව කතා කරනවා යැයි කියා ඇඟබේරාගත්තා සේ, මතවාදය පැහැදිලි කරන්නට නොයා අදත් ඒ වෙනුවට කුමන හෝ පරිභව ලේබලයක් අලවා අයින් වෙන අය සිටිති.

කලින් ලියූ සටහනක්:
ඔබේ විශ්වය කොහොමද?

<