අරුණි ශපීරෝ‍ වෙතින්

බුර්ඡුවා උදාරත්වය-ඩීඩ්‍ර මැක්ක්ලොස්කි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 9, 2021

චීනය 1978 දී ත්, ඉන්දියාව 1991 දී ත්, අත්පත් කරගන්නට ඉඩදුන්නේ මහත් දීර්ඝ කාලාන්තරයක් පුරා ඔවුන්ගේ බුර්ඡුවාසියට අහිමි කරන ලද උදාරත්වය සහ නිදහස යැයි මහාචාර්ය ඩීඩ්‍ර එන්. මැක්ක්ලොස්කි තම “බුර්ඡුවා උදාරත්වය” (2010) නම් වූ පරිසිද්ධි සහ අදහස් පිරුණ පොතෙහි ලියන ලද්දා ය.

බුර්ඡුවාසී යන වචනය ප්‍රංශ භාෂාවේ bourgeoisie යන්නේ පුළුල් අර්ථයෙන් ඇය භාවිතා කරන්නීය. එනම්, වෘත්තීමය පුහුණුව ලද නැතහොත් අධ්‍යාපනයක් නිමා කරන ලද නැතහොත් කර්මාන්ත ක්ෂේත්‍රයේ මුලිකත්වය ගන්නා ලද මැද පංතියයි. බුර්ඡුවා යන්න එහි විශේෂණ පදයයි.

ඇය කියන්නේ වෙළඳපොළ සහ නවොත්පාදන ගැන පොදු මතයේ හටගත්තා වූ වෙනසක් නිසා කාර්මික විප්ලවයත් අනතුරුව නූතන ලෝකයත් හැඩගැසුණ බවයි. වයඹ දිග යුරෝපා රටවල 17 වැනි සහ 18 වැනි සියවස් හි දී මේ අලුත් වෙනස මුලින්ම දකින්නට ලැබුණි. ඒ වෙනස නම් හදිසියෙන්ම වාගේ ඕලන්ද සහ බ්‍රිතාන්‍ය දේශයන්හි ප්‍රථමයෙන් ද, පසුව ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ ද, ඉහළ හෝ පහළ මැද පංතිය යනු උදාරත්වයකින් යුතු සහ නිදහස් අය හැටියට කතාබහට ලක්වෙන්නට පටන් ගැනීමයි. එය නූතන ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලය හැටියට ඇය දක්වයි.

සියවස් දෙකකට පෙර ලෝකයේ දකින්නට ලැබුනේ වර්තමාන බංගලාදේශයේ පවතින ආර්ථික වාතාවරණයකි. සාක්ෂරතාවයට හිමිකම් කියන්නට හැකි වූයේ එවැනි සමාජයක ජීවත් වූවා නම් සහ වාසනාවන්තයෙකු වූවා නම් පමණි. තමන් පීඩා විඳින රෝගාබාධ මොනවාදැයි කියා නොදැනම මිය යෑමත්, කාලයෙන් කාලයට හාමතයේ ඉන්නට සිද්ධ වීමත් සුලබ වූහ.

සියවස් දෙකක් ඉක්ම යද්දී හයාමාර ගුණයකින් වැඩි වූ ජනතාවක් පෝෂණය කරන්නට ලෝකය සමත්ව ඇත. 1800 වසරේ දී අයෙක් ආදායම් උපයන්නට සහ පරිභෝජනය කරන්නට සමත් වූවාට වඩා දහ ගුණයකින් ඒවායෙහි නියැළෙන්නට වර්තමානයේ සාමාන්‍ය පුද්ගලයෙකුට හැකියාව පෑදී ඇත. හාමතයෙන් මිය යෑම ලෝකයේ අවම මට්ටමකට පත්ව ඇති අතර සාක්ෂරතාවය සහ ජීවිත කාලය ලෝක ඉතිහාසයේ ඉහළම මට්ටමකට පත්ව තවත් ඉහළ යන අන්දම දකින්නට ලැබේ.

හොකී පිත්තක උපමාවක් ආශ්‍රයෙන් ඇය තම පැහැදිලි කිරීම ඉදිරිපත් කරයි. 1800 ගණන් දක්වා දිනකට උපයන ලද ආදායම එකම මට්ටමක ලැග එයාකාරයෙන්ම පැවතීම හොකී පිත්ත ලෙසත්, 1800 න් පසුව වේගයෙන් ඉහළ යන්නට පටන් ගත් ආකාරය හොකී පිත්තේ තලය ලෙසත් ඇය දක්වයි. හොකී පිත්තේ තලය (blade), එනම් දියුණුව හටගත් ආකාරය සහ දියුණුව ඉහළට වර්ධනය වීම පැහැදිලි කරන්නට අර්ථ ශාස්ත්‍රය අසමත් බව ඇයගේ මතයයි.

ලෝකය වෙනස් වූයේ කෙසේදැයි කියා දත්ත දක්වමින් ගවේෂණය කරන ඇය ආදායම් ඉහළ ගියේ සාමාන්‍යයෙන් දකින අර්ථ ශාස්ත්‍රය නිසා නොවන බව ගෙනහැර පායි. එනම් ඇය පෙන්වා දෙන්නේ එසේ සිද්ධ වූයේ යුරෝපීයන්ගේ වෙළඳාම හෝ ඕලන්ද ආයෝජන හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හෝ නොර්වේජියානු නැව්වල නැවියන්ගේ ශ්‍රමය සූරාකෑම තුළින් නොවන බවයි.

අනෙකුත් බොහෝ ඉතිහාසඥයන් සහ අර්ථ ශාස්ත්‍රඥයන් ලෙසින්ම ඩීඩ්‍ර මැක්ක්ලොස්කි ද දක්වන්නේ ආයෝජන සහ සූරාකෑම විසින් නොව නවොත්පාදනය නිසා කාර්මික විප්ලවය හටගත් බවයි. එහෙත් එම නවෝත්පාදන හටගත්තේ කතාබහ, ආචාර ධර්ම සහ අදහස් නිසා බව යැයි කීමෙන් ඇය ඉහත දැක්වූ අනෙකුත් අයගෙන් වෙනස් වන්නීය.

සියවස් තුනකට පෙර ඕලන්දය සහ එංගලන්තය වැනි ස්ථානවල මැද පංතිය ගැන කතාබහ සහ චින්තනය වෙනසකට ලක්විය. නවෝත්පාදන සහ වෙළඳපොල ගැන සාමාන්‍ය කතාබහට ප්‍රසාදයක් ලැබිණ. එනමුත් චීනයේ, ඉන්දියාවේ සහ අප්‍රිකාව යන රටවල එවැනි චින්තන වෙනසක් මෑතක් වනතුරු දකින්නට නොලැබුණ බව ඇය දක්වයි.

වයඹ දිග යුරෝපයේ මැද පංතිය විසින් නියැළෙන අලෙවිකරණය සහ නවෝත්පාදන සඳහා ලැබුණ යහපත් ප්‍රතිචාරය 1700 ගණන්වල දී දකින්නට ලැබිණ. ඒ රටවල් සීඝ්‍රයෙන් ඉහළ ආදායම් උපයන රටවල් බවට හැරුනේ ඒ නිසා යැයි ඇය දත්ත හා තොරතුරු සහිතව මෙම පොතෙන් පහදා දෙයි.

ඔක්තෝබර් 18 වැනිදා ලංකාවේ සවස 6:30 ට ඔබට ඇයගේ කතාවකට සවන් දී ප්‍රශ්න උත්තර සැසියකට ද සහභාගී විය හැකියාව ගැන වැඩි විස්තර පහත දැක්වේ. මට ඉඩකඩ ලැබෙන අවස්ථාවල දී ඇයගේ බුර්ඡුවා උදාරත්වය පොතෙන් බිඳක් මම මෙහි සටහන් තබන්නම්.