අරුණි ශපීරෝ‍ වෙතින්

මහා පරාක්‍රමබාහුගේ ආර්ථික ප්‍රතිපත්ති: අද ඉගෙන ගත හැකි පාඩම් එහි තියෙනවා ද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 1, 2012

දෙමළ මහා සෑය, පොළොන්නරුව

ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ලියන ලද Economic Policies of Parakramabahu the Great: What lessons are there for today? ලිපියේ සිංහල පරිවර්තනයයි.

******

ලංකා ඉතිහාසයේ රන්වන් යුගය

මහා පරාක්‍රමබාහු නොහොත් පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමය, ලංකා ඉතිහාසයේ රන්වන් යුගය සේ එවක දී සැලකිණ. ඒ ඔහුගේ පාලන සමයේ දී ඔහු රටට ගෙනා අතුල්‍ය සමෘද්ධිය නිසයි.

පරාක්‍රමබාහු රජතුමා සිංහාසනයට පත් වූයේ 1153 දී බෙදී තිබුණ රටක් ඒකීය පාලනයක් යටතට ගෙනැවිත් ය. හේ වසර 33 ක් පුරා, එනම් 1186 වසරේ, වයස 63 දී මිය යන තෙක් මුළු රටම පොළොන්නරුවේ සිට පාලනය කළේය.

ඔහුගේ පාලන සමයේ දී රටේ වූ ආර්ථික සමෘද්ධිය සිත්ගන්නා මාතෘකාවකි. අද ලංකාව එය විමර්ශනය කළ යුතුය. විශේෂයෙන්ම ඔහු ගෙනා ආර්ථික ප්‍රතිපත්ති මොනවාදැයි හඳුනාගෙන ඒවායෙන් අද රටට උගත හැකි පාඩම් මොනවා දැයි සොයා බැලිය යුතුය.

මූලික හා ද්විතීය මූලාශ්‍ර භාවිතය

මෙය ලියන කතුවරයා ඉතිහාසඥයෙක් නොවන්නේය. මූලික ඵෛතිහාසික මූලාශ්‍ර සහ අනිකුත් ඉතිහාසඥයන් විසින් ලියා ඇති තොරතුරු වලින් මහා පරාක්‍රමබාහු විසින් භාවිතයට ගත් ආර්ථික ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්නේ මෙහි දී ඒවායේ ඇති වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති මොනවා දැයි විමසන්නටය.

ප්‍රධාන මූලික මූලාශ්‍රය නම් මහාවංශයේ දෙවැනි කොටසේ එන චූලවංශයයි. 1877 දී ප්‍රකාශිත බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර විලියම් හෙන්රි ග්‍රෙගරි ගේ ඉල්ලීම පරිදි, පූජ්‍ය හික්කඩුවේ සිරි සුමංගල ථෙරනුවන් හා පන්ඩිත බටුවන්තුඩාවේ විසින් කරන ලද සිංහල පරිවර්තනයයි. චූලවංශයේ වීරයා ලෙසින් දැක්වෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාය. සමකාලීන ශ්‍රී ලංකා කතුවරයන් ලෙසින් ම, චූලවංශයේ කතුවරයා ද ඔහුගේ උපත ගැන හා කරන ලද වීර ක්‍රියාවන් ලිවීමේ දී අතිශයෝක්තිය පාවිච්චියට ගෙන ඇත.

කෙසේවුවද, මහා පරාක්‍රමබාහුගේ පාලන සමය ගැන ලියන චූලවංශයේ කොටස, රජුගේ පාලන සමයෙන් පසු වසර 50-100 කට පමණ පසු ලංකාවට බුරුමයෙන් පැමිණි, ධම්මකිත්ති නම් වූ බෞද්ධ භික්ෂුවක් විසින් ලියා ඇතැයි සැලකේ. ඒ නිසා, චූලවංශයේ වාර්තා වන පරිසිද්ධි, අනෙකුත් අය වෙතින් අසන්නට ලැබුණ ද, ඒවා ග්‍රන්ථාරූඪ වූ කාලයේ දී ප්‍රවර්තමාන වන්නට ඇත.

ද්විතීය මූලාශ්‍ර ලෙසින් භාවිතා කරන අනිකුත් ඉතිහාසඥයන්ගේ ලියැවිලි අතරට මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ සී. ඩබ්ලිව්. නිකලස් අයත් වෙති. ලංකා විශ්ව විද්‍යාලය ප්‍රකාශිත ලංකා ඉතිහාසය 1 වැනි වෙළුම 2 වැනි කොටස සහ 1955 දී ලංකා ඉතිහාස ජර්නලයේ විශේෂ නිකුත් කිරීමක් ලෙසින් පළ කරන ලද පොළොන්නරු යුගය භාවිතයට ගැනෙයි.

බදු ගැන, විදේශයන් සමඟ කරන ලද වෙළඳ ගණුදෙනු ගැන සහ ඒ සමයේ භාවිතා කරන ලද කාසි ගැන කතුවරයා ආශ්‍රිත කරගන්නේ එච්. ඩබ්ලිව්. කොඩ්රින්ග්ටන් ලියා ඇති පුරාණ ඉඩම් බුක්තිය සහ ආදායම යන්නයි. එසේම ඩබ්ලිව්. අයි. සිරිවීර ලියූ ප්‍රාග්-වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය අධ්‍යයනය සහ නන්දසේන මුදියන්සේ විසින් සිංහලට පරිවර්තනය කරන ලද මහා පරාක්‍රමබාහු ගැන ලියැවුනු ගල් විහාර සෙල් ලිපියන් ද සැලකිල්ලට ගෙන ඇත.

කෞටිල්‍යගේ සුචච ගෝලයා

චූලවංශයට අනුව පරාක්‍රමබාහු රජතුමා විවිධ කලාවන්, විද්‍යාවන් හා කුසලතා වලින් නිපුණ වූවෙකි. ඔහු විශිෂ්ට වෛද්‍යවරයෙකි. සම්ප්‍රදාය අභිබවා යන්නට හැකි වූ ඉංජිනේරුවෙකි. අශ්වයන් හා අලි ඇතුන් පිට යන්නට දක්ෂයෙකි. බුද්ධාගම ඇතුළු බොහෝ ආගම් පිළිබඳ දැනුම තිබියෙකි. ධනු ශිල්පය හා කඩු හරඹයට විශේෂ දස්කම් දැක්වූ කුසලතා සම්පන්න යුද ශිල්පියෙකි. වාග් කෞශල්‍යයෙන් යුතු, නැටුම් දත්, කවි හා සංගීතය මැනවින් දත්තෙකි. අනේක වූ නීති සිද්ධාන්ත පිළිපැදියෙකි.

නමුත් ඔහුගේ වැදගත් ම කුසලතාවය සේ සඳහන් වන්නේ චානක්‍යගේ ප්‍රඥාව පරිශීලනයට ඔහුට තිබි හැකියාවය. චූලවංශය කියන පරිදි පුරාණ ඉන්දියාවේ නන්ද රාජවංශය මූලෝත්පාටනය කළ අය සේ සැලකෙන්නේ චානක්‍ය නම් බ්‍රාහ්මීයාය. මෙහි දී සැලකෙන්නේ චානක්‍ය හෙවත් කෞටිල්‍ය නම් වූ පුද්ගලයාය. ඔහු ක්‍රි. පූ. 4 වැනි සියවසේ විසූ රාජ්‍ය තාන්ත්‍රික ගුරුවරයෙකි. ඔහු අර්ථ ශාස්ත්‍රය ගැන මුලින් ම පොතක්, -අර්ථශාස්ත්‍ර- නමින් ලියන ලද්දාය. ඊට අමතරව ආචාර ධර්ම ගැන ද, නීතිය සහ සදාචාරය ගැන ද චානක්‍ය නීති නොහොත් චානක්‍ය ගේ ආචාර ධර්ම නමින් පොතක් ලියුවෙකි.

රජවරුන් වෙන්නට ඉන්නා අයට අර්ථ ශාස්ත්‍රය, දේශපාලනය, විදේශීය සබඳතා, යුද ක්‍රම, රාජ්‍ය පරිපාලනය, කළමනාකරණය, ආණ්ඩුක්‍රමය හා නීතිය යනාදිය උගන්වන අර්ථශාස්ත්‍ර නම් වූව පාඨමාලා පොතකි. ඉන්දියාවේ රජවරුන්ගේ පුරුද්ද වූයේ කෞටිල්‍ය අනුගමනයයි. චූලවංශයට අනුව වසර 1,500 කට පසුව වුව ද, මහා පරාක්‍රමබාහු රජතුමා කෞටිල්‍යගේ ප්‍රඥාව අධ්‍යයනය කරන ලද්දෙකි. එනම්, අර්ථශාස්ත්‍ර සහ චානක්‍ය නීති යන දෙකම හදාරා තිබියෙකි.

චූලවංශ කර්තෘවරයාට අනුව තවත් කුතුහලය දනවන්නා වූ කරුණක් නම්, කෞටිල්‍ය තරම් සුප්‍රසිද්ධ වන්නටත්, කෞටිල්‍යගේ ප්‍රඥාව විදහා පාමින් තම රාජධානියේ වැසියන්ට සමෘද්ධිය හා සුබසාධනය ගෙන ඒමටත් මහා පරාක්‍රමබාහු තුල වූ දැඩි තිරසාර ගතියයි (64 පරිච්ඡේදය: 46-51 වගන්තිය). සම්පූර්ණ මහාවංශයේ ලාංකික රජතුමෙක් කෞටිල්‍යගේ ප්‍රඥාව අනුගමනය කළා යැයි සඳහන් වන්නේ මෙහි පමණකි. ඒ නිසා එය චූලවංශය ලියූ අයගේ හුදු නිර්මාණයක් වන්නට නොහැකිය.

පරාක්‍රමබාහු ප්‍රතිපත්ති ගැන සමපේක්ෂණයන් (speculations)

ඉතින්, පරාක්‍රමබාහු රජතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති පදනම් වෙන්නේ කෞටිල්‍යගේ ආර්ථික සිද්ධාන්ත මත යැයි සමපේක්ෂණය කිරීම යුක්ති සහගතය. කෞටිල්‍ය විසින් නිර්දේශ කරන ලද්දා වූ බොහොමයක් ඔහුගේ ප්‍රතිපත්ති අතර දකින්නට හැකියාව ඇත. ඔහු විසින් පනවන ලද බදු කෞටිල්‍ය විසින් නිර්දේශ කරන ලද ඒවාය. මහ මුහුදේ අතරමං වෙන නැව් රජු විසින් ගලවා ගත් කළ ඒවාට සැලකිය යුත්තේ කෙසේදැයි කෞටිල්‍ය විසින් කියා ඇති ආකාරයෙන් ම රජතුමා කටයුතු කර ඇත.

තම සේවකයන් පුහුණු පුරුදු කරන්නේ කෙසේද යන්නට ඉහළ වැදගත්කමක් දිය යුතු යැයි කෞටිල්‍ය නිර්දේශ කර ඇත. පරාක්‍රමබාහු රජතුමා එය එසේම කර ඇත. ප්‍රතිපත්ති සැකසීමට පුහුණුවක් ඇති අයෙක් වීම වැදගත් යැයි කෞටිල්‍ය කියා ඇත. චූලවංශය දක්වන පරිදි පරාක්‍රමබාහු රජතුමා ප්‍රතිපත්ති සැකසීමේ නිපුණත්වයක් දැක්වූවෙකි. ඒ නිසා, පරාක්‍රමබාහු රජතුමා විසින් ගෙන යන ලද ආර්ථික ප්‍රතිපත්ති ගැන සමපේක්ෂණය කරද්දී, කෞටිල්‍ය ගේ ආර්ථික සිද්ධාන්ත සහ ඒවායේ ආනුබුද්ධිය මෙහි දී පරාක්‍රමබාහු රජතුමා ගැන තිබෙනා වූ මූලාශ්‍ර නිහඬ තැන් වල දී පාවිච්චියට ගෙන ඇත.

මහා පරාක්‍රමබාහු විසින් භාවිතා කරන ලද රාජ්‍ය ධනවාදය

කෞටිල්‍ය ගේ ආර්ථිකය වූයේ අද හැඳින්වෙන රාජ්‍ය ධනවාදයයි. එනම් පොදු ව්‍යවසායන් පැවතීම සහ ඒ පොදු ව්‍යවසායන්හි ඉලක්කය වූයේ රජතුමාට අතිරික්තයක් ඉපැයීමයි. කෞටිල්‍ය අවධාරණය කළේ පාඩු ලබන ව්‍යවසායන් බාර නිලධාරීන් ගැන රජු අවධානයෙන් සිටිය යුතු බවයි. මන්ද, පාඩු ලබද්දී, ඒවායේ වැඩ කරනා ජනතාවගේ ශ්‍රමයත් ඒ නිලධාරීන් විසින් පරිභෝජනය කරනු ලබන්නේය. අද ආර්ථික භාෂා ව්‍යවහාරය අනුව එයින් අදහස් වෙන්නේ යම් ව්‍යාපාරයක් වියදම් පියවන්නට ආදායමක් උපයන්නේ නැත්නම් එය ඒ ව්‍යාපාරය කරගෙන යන්නට පාවිච්චියට ගන්නා මූලද්‍රව්‍ය පවා නාස්ති කරන්නකි.

ඊජිප්තු භූගෝල ශාස්ත්‍රඥයකු වූ අයිඩ්‍රිස් උපුටා දක්වන මහාචාර්ය පරණවිතාන විසින් මහා පරාක්‍රමබාහු විසින් යෙදුනු ලාබ ලැබූ වාසිදායක ව්‍යාපාරයක් ගැන සඳහන් කර ඇත. 1154 දී, මුළු රටේම සුපිරි නායකයා වූ පසු, මධ්‍යසාරය පිරි නැව් රටට ගෙනෙන ලද විට පරාක්‍රමබාහු රජතුමා ඒ මධ්‍යසාරය මුළුමනින් මිල දී ගෙන එය ඔහු විසින් තීරණය කරන ලද්දා වූ මිලකට වැසියන්ට විකුණන ලදි.

ව්‍යාපාරයක් ලෙසින් මධ්‍යසාරය වෙළඳාම කෞටිල්‍ය විසින් ඔහුගේ රජවරුන්ට ද නිර්දේශ කරන ලද්දකි. මන්ද එයින් රටවැසියන්ගේ බීමත්කම පාලනයට පමණක් නොව විකුණන මධ්‍යසාරයේ ප්‍රමිතිය ගැන ද සොයා බැලිය හැකි නිසාය. ලාබ උපයන ව්‍යාපාරයක් ලෙසින් පරාක්‍රමබාහු රජතුමා මධ්‍යසාර වෙළඳාමේ යෙදුනේ එය පොදු ව්‍යවසායක් ලෙසින් ගෙන යමිනි. මෙයින් සමපේක්ෂණය කළ හැකි වෙන්නේ ඒ යුගයේ දී රජතුමා අලි ඇතුන්, ඇත්දළ, මුතු මැණික්, කුළුබඩු හා ලී වැනි ලංකාවේ නිපදවන ලද දෑ සහ ලංකාවට ආනයනය කරන ලද අනෙකුත් භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නට ඇතැයි ද කියාය.

බජට් යනු අතිරික්ත බජට් විය යුතුයි

කෞටිල්‍ය විසින් නිර්දේශ කරන බජට් අතිරික්ත බජට් වෙති. බජට් එකක් හැදීමේ අරමුණ රජුගේ භාණ්ඩාගාරය තර කිරීමය. ඉතින් අතිරික්ත බජට් නැතිව ඒ අරමුණ සාක්ෂාත් කරගත නොහැකිය.

මහා පරාක්‍රමබාහු රජතුමා දක්ෂිණ දේශයේ පාලකයා වෙද්දී, උතුරෙන් පිහිටියේ කලා ඔයයි. නැගෙනහිරින් සිරීපාදයයි. දකුණින් බෙන්තොට ගඟයි. චූලවංශය කියන පරිදි ඔහු තම භාණ්ඩාගාරික, අද මුදල් ඇමති වැනි තනතුර, කැඳවීය. තරුණ රජු භාණ්ඩාගාරික වෙතින් ඇසුවේ රටේ අනෙකුත් පාලකයන් දෙදෙනා සමඟ යුද වැද රට එක කොඩියක් යටතේ එක්සත් කරන්නට තමනට සෑහෙන්නට වත්කම ඇත්දැයි කියාය.

චූලවංශය කියන පරිදි භාණ්ඩාගාරික විසින් භාණ්ඩාගාරය විවෘත කර එය හිස්බව රජුට පෙන්වීය. එය වහාම පුරවන්නට තීරණය කළ රජු අන්තරාංග දූර නමින් කළු ගඟ, සිංහරාජ වනාන්තරය හා බෙන්තර ගඟ මායිම් වන්නට විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීය. ඒ කළින් සඳහන් කළ භාණ්ඩ ආනයනය හා අපනයනය සඳහාය. ඔහුගේ අභිප්‍රාය වූයේ තම හමුදාමය මෙහෙයුම සඳහා ප්‍රමාණවත් අවි මිල දී ගැනීමට හැකි තරම් ලාබ ඉපැයීමටය. මෙහි දී අතිරික්තයක් උපදවා ගැනීම ඔහුගේ බජට් ප්‍රතිපත්තියේ වැදගත් අරමුණක් වන්නට ඇත.

අද, මෙවැනි ප්‍රතිපත්තියක්, විශේෂයෙන්ම ආණ්ඩුවක් දැඩි සේ ණය වූවාම, වැදගත් වෙයි. එහි දී නිපදවන අතිරික්තයෙන් ආණ්ඩුවට තමන් ගත් ණය පියවා අධිමාත්‍ර ණය වලින් රට නිදහස් කරගත හැකිය. ඇමෙරිකන් ආණ්ඩුව දැඩි සේ ණය වලින් පීඩා විඳිද්දී 1988 සහ 1999 බිල් ක්ලින්ටන් ආණ්ඩු සමයේ දී අනුගමනය කරන ලද පිළිවෙතක් වූයේ මෙයයි.

වෙළඳාමෙන් ලැබි ලාබ වලට අමතරව, රජතුමා විසින් ආර්ථික කටයුතු වලට බදු පැනවූහ. රජුගේ භාණ්ඩාගාරය පිරවීමට කෘෂිකර්මයට ද බදු පැනවූ බව කියැවේ. මෙය කෞටිල්‍ය විසින් රජදරුවන්ට දෙන ලද අනුශාසනා හා එකඟව යන්නකි. ඒ අනුව, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සියයට 17 ක් ද, වතුර ඇදීමේ දී ශ්‍රමයෙන් අදිනවා නම් පහෙන් එකක් ද, ගවයන් යොදා අදිනවා නම් හතරෙන් එකක් ද, යාන්ත්‍රික අදිනවා නම් තුනෙන් එකක් ද බදු පනවන ලදි. ස්වභාව ධර්මයෙන් ලැබෙන්නා වූ වතුර පාවිච්චියේ දී හතරෙන් එකක් බදු පනවන ලදි. එහි දී කෘෂිකාර්මික කටයුතු සඳහා බදු සියයට 37 හා 50 අතර විය. ඊට අමතරව, වෙළඳාම, කාර්මික හා අත්කම් යනාදියට අර්ථශාස්ත්‍ර පොතේ කියා ඇති පරිදි බදු පනවන ලදි.

යටිතල පහසුකම් සඳහා ආයෝජනය

1140 දී දක්ෂිණ දේශයේ පාලකයා වූ පසු සහ අනතුරුව 1153 දී මුළු මහත් ද්වීපයේ ම නායකයා වූ පසු, පරාක්‍රමබාහු රජතුමා විසින් දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කරන ව්‍යාපාරයක් දියත් කරන ලදි. එහි අරමුණ වූයේ පුරාතන ලංකා වැසියන්ගේ ජීවිකාව වූ කෘෂිකර්මය නඟාලීමය. ජනතාවගේ සුභ සාධනය සලසනු පිණිස නගර නිර්මාණයට ද හේ අත දැම්මේය. පුරාණ වැසියන්ගේ අධ්‍යාත්මික උවමනාවන් තෘප්තිමත් කරනු පිණිස හෙතෙම දැඩි සේ ආගමික ගොඩනැඟිලි සඳහා ද ආයෝජනය කළේය. කෘෂිකර්මයට නොනැවතී වතුර සැපයීම සඳහා දහස් ගණනින් කුඩා වැව්, සිය ගණනින් මහා වැව්, ඇල දිය මාර්ගයන් සහ සොරොව් ඉදි කළේය.

බ්‍රිතාන්‍ය යුගයේ රචකයෙක්, මිනින්දෝරුවෙක් හා භූගෝල ශාස්ත්‍රඥයෙක් වූ ආර්. එල්. බ්‍රොහියර් සිය ‘සිලෝන් දකිනා පරිදි’ පොතේ සටහන් තබන්නේ පරාක්‍රම සමුද්‍රයේ පස් බැම්ම සැතපුම් අටහමාරක් දිගින් සහ අඩි සියයක් උසින් තිබෙද්දී එහි කියුබික් යාර මිලියන හතරාමාරක් පස් තිබෙන්නට ඇතැයි කියාය. මෙවැනි දැවැන්ත ඉදිකිරීමක් සඳහා බ්‍රොහියර් අනුමාන කරන්නේ මිනිසුන් දාහක් පමණ දිවා රූ වසර 12 ක් තිස්සේ වෙහෙසෙන්නට ඇතැයි කියාය. අදත් මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සම්පූර්ණ කරනු සඳහා සැලසුම් කිරීම හා කළමනාකරණය හිතාගන්නට අපහසු වූ අභියෝගයකි.

ඔහුගේ නාගරික සැලසුම් අරමුණු කරගත්තේ රටවැසියන්ට සහ රටට පැමිණෙන දහස් ගණනින් වූ වෙළෙන්ඳන්ට සුවපහසු වාතාවරණයක් ඉදි කරන්නටය.

මෙම උත්සාහය සමාන වෙන්නේ නූතන සිංගප්පූරුවේ “බටහිර ක්ෂේම භූමියක්” හදා සංවර්ධිත රටවල පුරවැසියන්, තාක්ෂණය හා ආයෝජනය ගෙන්වා ගන්නට දරනා ප්‍රතිපත්ති වලටය. මෙවැනි දැවැන්ත යටිතල පහසුකම් සපයන සැලසුම් වලට කරන ලද ආයෝජන වලින් පරාක්‍රමබාහු රජතුමා දේශීය කෘෂිකර්මය සංවර්ධනය කළේය. සිංහල කඩු හා නැව් වැනි කර්මාන්ත දියුණු කර වෙළඳාමට අත දුන්නේය. ආර්ථිකයේ මේ කුළුණු තුනෙන් ලංකාවට, එහි වැසියන්ට හා රජුට විශාල සමෘද්ධියක් ගෙන ආ යුතුව තිබිණ.

වස්තුව නිර්මාණයට භාණ්ඩ අන්තරාල වෙළඳාම

මහා පරාක්‍රමබාහු රජතුමාට ලෝකයේ හැම රටක් සමඟම වාගේ වෙළඳ ගණුදෙනු තිබිණ. චීන, කාම්බෝජ, බෙංගාල, පර්සියාව, මැද පෙරදිග, ඊජිප්තුව සහ ග්‍රීසිය වැනි රටවල රජදරුවන් නිකුත් කරන ලද කාසි ඔහුගේ සමයේ රටේ නොයෙක් පැති වලින් හමු වී ඇත. මේ සෑම රටකින් ම පාහේ බඩු පුරවා ගත් නැව් ලංකාවට පැමිණ තම රට රටවල භාණ්ඩ මෙහි ගබඩා කර ඇත. ලංකාව ඒවා ගබඩා කර ලෝකයේ වෙනත් පැති වලින් ආ වෙළන්ඳන්ට නැවත විකුණා ඇත.

අද මේ ආකාරයේ වෙළඳාමට කියන්නේ “අන්තරාල වෙළඳාම” (entrepot trading) කියාය. ඒ කාලයේ ලංකාව අන්තරාල වෙළඳාමෙන් යුතු වූ බව අනුමාන කළ හැකිය. සිංගප්පූරුව එහි ආර්ථික සංවර්ධනයේ මුල් කාලයේ කටයුතු කළ අන්දමින් ලංකාව එදා කටයුතු කරන්නට ඇත. මහා පරාක්‍රමබාහු රජතුමා බුරුමය ආක්‍රමණය කළ එක හේතුවක් හැටියට දැක්වෙන්නේ තම වෙළඳ ගණුදෙනු ආරක්ෂා කර ගැනීමටය.

චූලවංශයට අනුව ලංකාව රිදී කාසි තිහකට අලියෙක් බැගින් බුරුමයෙන් අලි මිලට ගෙන ඇත. කළින් දැනුම් දීමක් නොකර බුරුමයේ රජු විසින් ලංකා නැව් වලට අලි විකිණීම නවතා දමන ලදි. අනතුරුව ඔහු නැවත අවසරය දෙන විට මිල රිදී කාසි දාහේ සිට තුන්දාහ දක්වා ඉහළ දමා වෙළඳාම වළක්වන ලදි. වෙළඳාමට දැමූ මේ ඒකපාර්ශවික වූ බාධා නිසා උරණ වූ පරාක්‍රමබාහු රජතුමා බුරුමය ආක්‍රමණය කර නැවත ඒ රට සමඟ වෙළඳ සබඳතා පටන් ගත්තේය.

මහා පරාක්‍රමබාහු විසින් ලංකාවට හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්ති කිහිපයක්

පරාක්‍රමබාහු රජතුමා ලංකාවට හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්ති කිහිපයකි. ලංකාවේ රජතුමෙක් විසින් පිහිටුවන ලද මුල්ම සහ එකම අපනයන සැකසුම් කලාපය ඉහත සඳහන් කළ ඔහු පිහිටුවන ලද අන්තරාංග දූර නම් වූවයි. මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙන පරිදි, අන්තරාංග දූර නිලතලය තිබුනේ රජතුමාව දිවා රෑ දෙකේම හමුවිය හැකි විශේෂ නිලධාරියෙකුටය. එවැනි මහත් බලතල ලත්තෙක් ඒ සඳහා පත් කිරීමෙන් ඔහු ඒ කලාපයට දී තිබුණ වැදගත්කම පෙනී යයි.

චූලවංශය කියන පරිදි, තම මාලිගාවේ ඇතුලතම, මහජන සේවකයන් සඳහා පුහුණුවක් ලබාදෙන විශේෂ පාසැලක් ඔහු පිහිටුවන ලදි. මෙහි උගන්වන ලද විෂයයන් අතර අශ්වයන් හා අලි ඇතුන් බලා කියාගන්නා විද්‍යාවන්, ධනු ශිල්පය හා කඩු හරඹයට විශේෂ තැනක් දුන් යුද ක්‍රමයන්, සංගීතය, ගායනය, නර්තනය, ගද්‍ය හා නොයෙක් විදේශීය භාෂා ඇතුලත් කලාවන් ද විය.

විදේශ භාෂාවන් ඉගැන්වීමේ අරමුණ වන්නට ඇත්තේ මහජන සේවකයන්ට ලංකාවට එකළ පැමිණි අනේක වෙළඳුන් හා කතාබස් කරන්නට සහාය වනු පිණිස වෙන්නට ඇත. එවක පැවති වෙළඳ සබඳතා සලකද්දී, චීන, සියම්, බුරුම, ඉන්දියානු, පාර්සි, ග්‍රීක් සහ ඊජිප්තු යනාදිය එහි දී උගන්වන ලද භාෂාවන් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

එසේම ඉතිහාසයේ පළමු වරට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යා හැකි පිළිවෙතක් ද ඔහු ඉදිරිපත් කරන ලදැයි සැලකේ. චූලවංශයට අනුව බෞද්ධ භික්ෂූන් විවිධ නිකාය වලට බෙදී එකිනෙකා හා විවෘතව උරණ වී සිටියහ. චූලවංශය දක්වන පරිදි සමහරු තම දරුවන් හා පවුල් ගැන පමණක් අවධානය යොමු කරමින් ජීවත් වූ නිසා සමාජය ඔවුන්ව දූෂිත සේ සලකන ලද්දේ එය බෞද්ධ ස්වාමීන්වහන්සේලාට අකැප වු චර්යාවක් හේතුවෙනි. පරාක්‍රමබාහු රජතුමා ඔවුනට කැමැත්තෙන් සිවුරු හැර යන්නේ නම් මාසික විශ්‍රාම වැටුපක් දෙන්නේ යැයි පොරොන්දු විය. චූලවංශය සඳහන් කරන්නේ බොහෝ දූෂිත භික්ෂූන් ඒ මාසික විශ්‍රාම වැටුප ගෙන කැමැත්තෙන්ම පැවිදි බවෙන් අහක් වූ බවයි. අනතුරුව ඉතිරි වූ භික්ෂූන්ට රජතුමා විසින් හැසිරිය යුතු ප්‍රතිපත්ති මාලාවක් ගෙනාවේය. එය පරාක්‍රමබාහු කතිකාවත යැයි ඔහුගේ ගල් විහාර සෙල් ලිපියේ සඳහන් වෙයි.

හැම සමෘද්ධියක් පිටුපසින් ම එන්නේ ආපත්තියයි

ඔහුගේ පාලන සමය අවසාන වෙද්දී, රාජධානිය දරුණු ආර්ථික ගැටළු වලට මුහුණ පාන්නට ඉඩ තිබුණි. ඔහු නිරත වූ වැය පියවන නොලද යුද, කෘෂිකාර්මික ඉඩම් වැඩියෙන් පරිහරණය කිරීම නිසා කෘෂිකාර්මික නිෂ්පාදනයේ පිරිහීම, යුද වලටත්, විදේශ කලාකරුවන් හා ශ්‍රමිකයන්ටත් ගෙවන ලද රත්තරන් රටෙන් පිටට ඇදී යාමත් යනාදිය මේ දුෂ්කරතා සමයේ පටන් ගැනිණ.

රජු විසින් නිකුත් කරන ලද රත්තරන් කාසි නිපැදවීම බාල ලෝහ වලින් නිකුත් කරන්නට පටන් ගෙන ඇත. අද ප්‍රතිපත්ති හා සංසන්දනය කරද්දී මෙය වැඩියෙන් මුදල් නෝට්ටු අච්චු ගැසීම වැනිය. එහි දී මුදල් නිෂ්පාදනයට යන වැය මුදලේ අගයට වඩා අඩුය. අර්ථ ශාස්ත්‍රඥයන් ස්වාමි පුරස්කාරය (seigniorage) නමින් හඳුන්වන මෙයින් රජුට විශාල ලාබයක් සොයාගන්නට හැකිවිය.

කෙසේ වුවත්, එය දුර්වල ආර්ථිකයක ලක්ෂණයකි. විදේශිකයන් දකින්නේ රටේ මුදල් වටිනාකම වැඩිවීමක් ලෙසය. ඔවුන් ලංකාවට විකුණන බඩු සඳහා දැන් ඔවුනට ගෙවන්නේ මිල ඉහල අගයක් නියම කරන ලද්දා වුවත් බාල ලෝහ කාසි වලිනි. එහි දී වෙළෙන්ඳෝ තමන් විකුණන භාණ්ඩ වල මිල ඉහළ යවන්නට ඇත. එවිට රටට ගෙනෙන බඩු වල ඇති තරඟකාරීත්වය නැති වී යයි.

වෙළඳ ගණුදෙනු සිද්ධ වෙන ආර්ථිකයක, අගයෙන් වැඩි කරන ලද මුදල් තිබීම ආර්ථික සාපයකි. මන්ද එය මුලින් ආනයන අඩු කර පසුව අපනයන ද අඩු කරන බැවිනි. එසේම වෙළඳාම වෙනත් ස්ථානයක් කරා යෑමට හේතු පාදක වෙයි. ක්‍රමයෙන් රටක ආර්ථිකයක් මේ ආකාරයෙන් පහත වැටෙද්දී රටක් බදු ඉහළ දමයි. රටේ පුරවැසියන්ගේ දේපල බලහත්කාරයෙන් පවරා ගනියි. මහජනයා දෝෂාරෝපණය කරද්දී හිතුමතයට අනුව ඔවුන් සිරගත කරයි. පරාක්‍රමබාහු යුගයේ අවසානයේ දී සිද්ධ වූයේ මෙයයි.

ඉතින්, මුලින් මහා පරාක්‍රමබාහු රජතුමාව අතිශය ප්‍රසාදයකින් යුතුව, රටේ හැම පුරවැසියක්ම සමෘද්ධිමත් හා ධනවත් කළ පාලකයෙක් සේ හැඳින්වූවාට, පසුව, ඔහුගේ අභාවයෙන් අනතුරුව, රජකම ලත් ඥාති පුත් දෙවැනි විජයබාහුට රට වැසියන්ට සහනාධාර දෙන්නට සිද්ධ වූවා යැයි චූලවංශය සටහන් තබයි. දෙවැනි විජයබාහුට ඔහුගේ මාමා විසින් හිතුමතයේ බන්ධනාගාරයට දැමූ අයව නිදහස් කරන්නට ද සිද්ධ විණ. මහා පරාක්‍රමබාහු රජු විසින් අයිති කරගත් ඔවුන්ගේ වස්තු ආපසු දෙන්නට සිද්ධ විය. පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් වසර හතරකින් පසුව, නිස්සංක මල්ල රජතුමාට, කළින් පරාක්‍රමබාහු රජතුමා පනවා තිබූ ඉහළ බදු අඩු කර සහනාධාර පැකේජයක් ලංකාවේ ජනතාවට දෙන්නට සිද්ධ විය.

සමහර විට, අයෙක් සමපේක්ෂණය කරන්නේ, අනුකම්පා සහගත වූ රජතුමෙකුට වුවත්, තම පාලනයේ මුල දී කැප වී සිටි ආණ්ඩු ප්‍රතිපත්ති දිගට ම ගෙන යමින්, වසර 33 ක් පාලනය යනු යහ පාලනයට හැකි කාලයේ දීර්ඝත්වය වැඩියි කියා විය හැකිය.

****

පරිවර්තනයට අමුණන පින්තූරය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදි කරන ලදැයි සැලකෙන පොළොන්නරුවේ දෙමළ මහා සෑයයි. ඔහු ඉන්දියාවේ සෝලි රාජධානිය ආක්‍රමණය කළ පසු රටට ගෙනා දමිළ සිරකරුවන් යොදවා ඉදි කරන ලදැයි සැලකේ. එය අඩි 570 (මීටර් 186) උසට ඉදි කරන්නට ඔහුට අවශ්‍ය වූයේ ඉන්දියාවේ සිට එය දකින්නට හැකිවනු පිණිසය. එහෙත් ඒ දැවැන්ත උත්සාහය සම්පූර්ණ කරනු නොහැකිව මේ ‘කුඩා’ ස්ථූපය ඉදි කර ඇත.

පසුව එකතු කරන ලදි: දෙමළ මහා සෑය යනුවෙන් හඳුන්වා පින්තූර සහ විස්තර සමඟ අන්තර්ජාලයේ සිංහල, ඉංග්‍රීසි වෙබ් අඩවි කිහිපයක සහ ඒ නමින් ම ගූගල් ඉමේජස් හි ද පින්තූර ඇති මෙය රන්කොත් වෙහෙරයි. මෙය ඉදි කරන ලද්දේ නිස්සංක මල්ල රජතුමා විසිනි.

Advertisements