අරුණි ශපීරෝ‍ වෙතින්

නිර්ධන පංතියේ පළමු විප්ලවය ගැන ඔබට අසන්නට ලැබී නැති කොටස

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 19, 2022

නිර්ධන පංතියේ අභිප්‍රායයන් කුමක් වී දැයි කියා නිර්ධනයන් වෙතින් සටනට පෙර විමසන ලද අවස්ථා ඉතිහාසයේ සොයාගන්නට නොහැකි තරම් ය. නිර්ධන පංතිය වෙනුවෙන් කියා නිර්ධන නොවූ අය විසින් පාලන බලය අල්ලා ගන්නා ලද අවස්ථාවන් නම් වාමාංශික ඉතිහාසයෙන් එමට දැකිය හැකියි. ඒ සෑම අවස්ථාවක දී ම නිර්ධනයන්ට අත්වූයේ ඉතා ඛේදනීය වූ තත්ත්වයන්ය.

නිර්ධන පංතියේ පළමු විප්ලවය හැටියට බොහෝ වාමාංශිකයන් දක්වන්නේ පැරිස් ප්‍රජාසංඝය (කොමියුනය) බිහි වූ 1871 නැඟී සිටීමය.

ප්‍රංශය ගැන කාල් මාක්ස් ඉදිරිපත් කළ කෘති ත්‍රිත්වය මෙසේය: ප්‍රංශයේ පංති අරගල (The Class Struggles in France, 1848-1850), ලුවි බොනපාට්ගේ දහඅට වැනි බෘමෙයර් දිනය (The Eighteenth Brumaire of Louis Bonaparte) සහ ප්‍රංශයේ සිවිල් යුද්ධය (The Civil War in France).

දාස් කපිතාල් හි මෙන්ම කොමියුනිස්ට් මැනිෆෙස්ටෝවේ ද සඳහන් කරන ලද ප්‍රාග්ධන හිමියන් සහ ශ්‍රමිකයන් අතර ගැටුමක් පවතින ධනවාදී සමාජය ගැන දක්වන වියුක්ත (abstract) ප්‍රස්තුතයන්ට අනුකූල නොවන ආකාරයෙන් වෙනස් මාර්ගයක් කාල් මාක්ස් මෙහි දී අනුගමනය කර ඇත.

කොමියුනිස්ට් මැනිෆෙස්ටෝවේ (1848) මූලික සංකල්පය නම් “පංතිය” සහ “පංති අරගලයයි.” ඒත් කිසිම අවස්ථාවක මාක්ස් පංතිය යනු කුමක්දැයි කියා ලියුවේ නැත. ඔහුගේ ලියැවිලි තුළ “පංතිය” නොවන්නේ මොනවාදැයි කියා නම් බෙහෙවින් දකින්නට හැකියි.

වැඩකරන ජනතාවට වඩාත්ම සුදුසු දේශපාලන ක්‍රමය සමාජවාදය යැයි කාල් මාක්ස් ලියද්දී, පංති කැමැත්ත තුළින් ඒකීය පුද්ගලයාගේ සිතුවිලි තීන්දු කරන බව කාල් මාක්ස් අභ්‍යූපගමනය කරන ලදි. එය කිසිම ලෙසකින් ඔප්පු කරන්නට ඔහු සමත් නොවූ නිසා ඔහු පංතිය යන්න කුමක්දැයි ලියන්නට ද ගියේ නැත.

“කැමැත්තන්” (interests) මිනිසාගේ අදහස් සහ සිතුවිලිවලින් ස්වාධීනව පවතින්නක් යැයි මාක්ස් විශ්වාස කළේය. පංති කැමැත්තන් ඒකීය පුද්ගලයන්ගේ සිතුවිලි තීරණය කරන නිසා විවිධ පංති අතර විසඳාගත නොහැකි පරිද්දෙන් ගැටුම් ඇතිවෙනවා යන්න මාක්ස්ගේ මතයයි. එහි දී විසඳුම සමාජවාදී පාලන ක්‍රමයයි.

මිනිසාට කැමැත්තන් ඇත, ඒ නිසා මිනිසුන් ඒ කැමැත්තන් අනුව ක්‍රියා කළ යුතුය යැයි කීමෙන් පමණක් ඒකීය පුද්ගලයාගේ කැමැත්ත පිළිබඳ ගැටළුව විසඳිය නොහැකි බව කාල් මාක්ස් පිළිගත්තේ නැත. වර්තමානයේ බොහෝ පිරිසක් මේ පරස්පරය හඳුනාගන්නට අසමත්ව සිටිති.

මිනිසුන්ට කැමැත්තන් ඇති හෙයින් ඒවායේ අවසන් නිශ්ටාවන් මොනවාද?

එම නිශ්ටාවන් වෙත ළඟාවීමට ඔවුන් යොදාගන්නා ක්‍රම මොනවා ද?

ඒ ප්‍රශ්න දෙක වැඩකරන ජනතාව වෙතින් අහන්නට වාමාංශිකයන් අකමැති වෙති. ඔවුන් ඒවා වැඩකරන ජනතාව වෙතින් නොවිමසා විසඳුම පමණක් සමාජවාදය හැටියට දිගින් දිගටම පිළිගන්වති.

1848 දී කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව ලියද්දී විප්ලවය අත ළඟ යැයි කියා මාක්ස් විශ්වාස කළේය. එහෙත් ඔවුන්ගේ පළමු ජාත්‍යන්තරය එවක ලන්ඩනයේ විසූ වැඩකරන ජනතාවගේ ප්‍රසාදයට පාත්‍ර වූයේ නැත. වැඩ කරන ජනතාවගේ කැමැත්තන් වෙනස් බව පෙනී යද්දී කාල් මාක්ස් මැදිහත්වීම් මෙහෙයුම් දහයක ලැයිස්තුවක් ලිවීය. ඒවා අතර ආදායම් බදු, උරුමයෙන් ලැබෙන වත්කම් මූලෝත්පාටනය, සහ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ වූහ. අනිවාර්යෙන්ම එන සමාජවාදය එසේ ආවේ නැති නිසා එය ගෙන්වා ගැනීමට මේ මැදිහත්වීම් අවශ්‍ය යැයි මාක්ස් කියා සිටියේය.

ප්‍රංශයේ පිහිටවනු ලැබූ දෙවැනි ජාත්‍යන්තරය ද සාර්ථක නොවීය.

ඉතින් මැදිහත්වීම් හරහා සමාජවාදය ගෙනෙත හැකි යැයි 1848 දී කාල් මාක්ස් විශ්වාස කළේය. ඒත් 1859 දී, එනම් කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව ලියා වසර 11 ක් ගෙවී යද්දී මාක්ස් සහ එංගල්ස් නීති සම්පාදනය හරහා කරන මැදිහත්වීම් ප්‍රතිපත්ති අත්හැර දමා එක රැයින් කරන රැඩිකල් වෙනසකින් සමාජවාදය ගෙනෙත හැකි යැයි කියා සිටියහ.

ධනවාදී අදියර අත්හැර සමාජවාදය කරා යා හැකි යැයි කියා කාල් මාක්ස් තමන්ගේ රුසියානු හිතවතෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරක් ලිවීය. ඒත් එක රටකට එසේ කළ හැකි නම්, එනම් අනිවාර්යෙන්ම මුහුණ දෙන්නට වෙන අදියරක් අත්හැරිය හැකි නම්, එහි දී ඔහුගේ සමස්ත දැක්ම ප්‍රතික්ෂේප වෙන බව වැටහුණ නිසා ඔහු ඒ සටහන පළ කළේ නැත. ඒත් කාල් මාක්ස්ගේ ලිපි අතරින් එය දකින එංගල්ස් එය පිටපත් කර වේරා සසුලිච් (Vera Zasulich) වෙත යැවීය. ඇය එය මුද්‍රණය කළාය. බොල්ෂෙවික් පක්ෂය ඒ ලිපිය තම වාසියට යොදා ගත්හ.

1870 දී ප්‍රංශ වැසියන් සහ ජර්මන් වැසියන් යුද්ධ කළේ එරට පාලනය කළ අයට යුද්ධ අවශ්‍ය වී තිබීම නිසා මිසෙක ඒ යුද්ධ එම රටවල වැඩකරන ජනතාවගේ කැමැත්ත වූ නිසා නොවීය. වර්තමානයේ දී ද බොහෝ යුද්ධ හටගන්නේ පාලකයන්ගේ කැමත්ත නිසා මිසෙක වැඩකරන ජනතාවගේ කැමැත්ත නිසා නොවේ.

ප්‍රංශ විප්ලවය ගැන ඔබට අසන්නට ලැබී නැති කොටස මම 2012 දී මෙසේ ඉදිරිපත් කළෙමි:
හිමිතැන නොදැන මිනිස් ඝාතනයක් කළ ප්‍රංශ විප්ලවය

ප්‍රංශ විප්ලවයෙන් පසුව එරට බිහි වූයේ නිදහස් වෙළඳපල ධනවාදී ක්‍රමයක් නොවේ. වාමාංශිකයන් එය “නව ධනවාදී සමාජ ක්‍රමය” යැයි හැඳින්වූයේ ඔවුන් එය නිදහස් වෙළඳපල ධනවාදය නොවන බව කියන්නට අකමැති වූ නිසයි.

නිදහස් වෙළඳපල ධනවාදයක් නොපැවති නිසාම, එනම් දේපල අයිතියේ ආරක්ෂාව, ඒකීය පුද්ගල නිදහස, සීමිත ආණ්ඩුව යනාදිය නොපැවති හෙයින් සමාජයේ ගැටුම් සහ ප්‍රතිවිරෝධතා දිගින් දිගටම දකින්නට ලැබුණි.

ප්‍රංශයේ වැඩකරන ජනතාව අතිශය ඛේදනීය වූ තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටියහ.

පැරිස් ප්‍රජාසංඝය වෙනුවෙන් වැඩකරන ජනතාව නැඟී සිටිනවා යැයි අහන්නට ලැබෙද්දී කාල් මාක්ස් ලියුවේ ඔවුන් “බලාපොරොත්තු සුන්වීම නිසා යෙදෙන අනුවණ ක්‍රියාවක” නියැළෙනවා කියායි. මාක්ස් උපදෙස් දුන්නේ ඔවුනට ජනරජය හා එකතුවී වැඩ කරන්නට යැයි කියායි. මාක්ස් ඔහුගේ ලිපිය අවසන් කළේ “ජනරජයට දීඝායූ වේවා” (Vive la République) කියායි. ඒත් ඉතා ඉක්මණින් එය වැඩකරන ජනතාවගේ විප්ලවයක් හැටියට දක්වා ඊට සහාය දීමට මාක්ස් එකතු වූයේය. දින 72 ක දී සමාජවාදයකින් තොරව එහි නිමාව දකිද්දී මාක්ස් එය පංති සටන ගැන ලියන්නට අවස්ථාවක් කරගත්තේ ය.

වර්තමාන වාමාංශිකයන් කාල් මාක්ස්ගේ ප්‍රංශයේ සිවිල් යුද්ධය පොත විප්ලවවාදීන්ට කොමියුනිස්ට් සමාජයක් සඳහා නිවැරදි මඟ පෙන්වන්නක් යැයි සලකති.

කාල් මාක්ස් ලියූ දේ හැරෙන්නට පැරිස් ප්‍රජාසංඝයේ පරමාදර්ශ ගැන ලෝකයේ වැඩි පිරිසක් දැනගන්නේ බ්ලාන්කි (Blanqui) ගේ ජැකෝබින්වාදය සහ පෘඩොන් සහ බකුනින් ඉදිරිපත් කළ ජාත්‍යන්තරවාදය යන පැතිකඩවලින්. එහෙත් ඊට වෙනස් වූ දැක්මක් ලොවට ඉදිරිපත් කළ ඉතිහාසඥයන් සහ සමාජවිද්‍යාඥයන් සිටින බව ඔබ දැන සිටිනවා ද?

1871 මාර්තු 18 දින දකින්නට ලැබෙන ජනතා විරෝධය යනු ප්‍රංශ රජය එහි අධිකාරි බලය යළි ස්ථාපිත කරගන්නට ගත් වෑයමකට එරෙහිව හට ගත්තකි. රාජාණ්ඩු ක්‍රමයකට නිරතුරුව කැමත්තක් දක්වන සහ පරාජිත වූ යුද්ධයෙන් පීඩාවට වැඩියෙන්ම මුහුණ දී සිටි අගනගරය ගැන කිසිදු අනුකම්පාවක් නොදක්වන ජාතික මන්ත්‍රණ සභාව ගැන පැරීසියේ වැසියන්ගේ අකමැත්ත දැඩි වී තිබිණ.

උදා වී තිබුණේ බලයේ සිටින අධිකාරිය අසාර්ථක යැයි ප්‍රංශ ජනතාවට පැහැදිලිවම පෙනී ගිය අවස්ථාවකි.

නව දේශපාලන ක්‍රමයක් ගැන සාකච්ඡා ඇති වූයේ එවැනි පසුබිමක.

ආඥාදායක සහ මධ්‍යගත වූ පාලන ක්‍රමයට ප්‍රතිචාර වශයෙන් වාම අදහස් ඇති අය, නගරසභා ලෙසින් නිදහස ඉල්ලා සිටින්නට එකමුතු වූ සිටියේ දෙවැනි අධිරාජ්‍ය (Second Empire) සමයේ ය. මෙය ප්‍රංශයේ සියළු නගරවලට ලබා ගැනීමට හැකියාවක් ඇතැයි සිතීම නිසා අනෙක් නගරවලින් ද තවත් ජනතාවක් ඊට එකතු වූහ.

ඒත් වටලෑම (siege) කාලයේ දී පැරිසිය තුළ මේ නගර සභා ආණ්ඩු ඉල්ලා සිටීමේ උද්යාචනය 1793 විප්ලවීය ප්‍රජාව සඳහා වූ උද්යාචනයක් බවට හිමිහිට හරවාගන්නා ලද්දේ ය.

එයින් සියළු දෙනාගේම ගැටළු විසඳන්නට හැකියාව ලැබෙනවා යන මිථ්‍යාව ඉදිරිපත් කෙරිණ. Conseil fédéral des sections parisiennes de l’Internationale සහ Chambre fédérale des sociétés ouvriéres යන ආයතන කියා සිටියේ මේ විසඳුම් ලබාදෙන සමාජ ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්නේ ප්‍රජාසංඝය වෙතින් කියායි.

1793 ජැකොබින් ප්‍රජාවගේ ආගමනයක් නැවත ඇතිවීම තරයේ ප්‍රතික්ෂේපක කළ, එසේම විශාල සමාජ ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් නොවූ ඒත් විමධ්‍යගත රජයක් කැමති වූ මධ්‍යස්ථ රිපබ්ලිකන් අය ඒ විසඳුම ඉල්ලා සිටියේ නැත.

කෙසේ වෙතත්, ප්‍රජාව යන වචනය මධ්‍යස්ථ රිපබ්ලිකන්, දේශප්‍රේමීන් සහ සහ සමාජ ප්‍රතිසංස්කරණ රිසි වූ සියල්ලන්වම එකමුතු කරන ලද්ද වූයේය.

ප්‍රංශයේ සිවිල් යුද්ධය හි ප්‍රජාසංඝය විස්තර කරද්දී මාක්ස් යොදාගන්නේ අප්‍රේල් 19 වැනිදා ප්‍රකාශිත නිල ප්‍රකාශයයි. පියෙර් ඩෙනිස් (Pierre Denis) සහ ලුවි චාල්ස් ඩෙලික්ලූස (Louis Charles Delescluze) ලියන ලද එය උලුප්පා දැක්වූයේ සමාජ ප්‍රතිසංස්කරණ සහ දේශපාලන විමධ්‍යගත කිරීම් ය. දේශපාලන විමධ්‍යගත යන්නෙන් ඔවුන් අදහස් කළේ හැකි තරම් ජනතාවක් තීරණ ගැනීමේ ක්‍රියාවලියට දිගින් දිගටම සම්බන්ධ කරගැනීමයි. එහි දී මැන්ඩේට් (mandates) සහ අවලංගු කිරීම් (revocation) සඳහා තේරී පත් වූ නියෝජිතයන්ට සහ බලධාරීන්ට මුහුණ දෙන්නට සිදුවේ.

පැරීසියේ වැඩි ජනතාවගේ කැමැත්ත ලබාගැනීම ඉලක්ක කරගෙන එම නිල ප්‍රකාශය ඉදිරිපත් කළ බව ප්‍රජාසංඝයේ අනිකුත් සාමාජිකයන් එහි දී දැක්වූ අදහස්වලින් පෙනී යයි.

දේශපාලන තීරණ ගන්න යැයි අභ්‍යන්තර ලෙසින් සහ හමුදා ප්‍රතිචාර දක්වන්න යැයි බාහිර ලෙසින් පැරීසියට එල්ල වූ පීඩන හමුවේ නීතිමය ආණ්ඩුවක් අයින්වීම නිසා අනපේක්ෂිත ලෙසින් බලයට පත් වූවන්ගේ ප්‍රතිචාරයක් හැටියට ප්‍රජාසංඝය වටහා ගන්නට පුළුවනි.

හටගත් විවිධාකාර වූ අර්බූද ඉදිරියේ දී ජැකොබින්-ජාත්‍යන්තරවාදී හවුලේ පරමාදර්ශ පහසුවෙන් හඳුනාගත හැකි නිශ්චිත ඒවා නොවූහ. නගරයේ වැසියන් කල්ලි ගැසී විසඳුම් ඉල්ලා ගෙනෙන ලද පීඩනය හමුවේ ප්‍රජාසංඝයට දේශපාලන නායකයන් තෝරා ගන්නා ලද්දේ හිතාමතා ය. ඔවුන්ගේ ඒකීය පුද්ගල ලක්ෂණ, පුද්ගලික හැදියාව සහ පසුගිය අරගලවල දී ලත් අත්දැකීම් ගැන වැඩි අවධානයක් යොමු කෙරිණ.
ඔව් ඉතින් පංති කැමැත්ත වෙනුවෙන් සටන් කරන්න එදත් ඒකීය පුද්ගල ලක්ෂණ, පුද්ගලික හැදියාව සහ පෞද්ගලික අත්දැකීම් අවශ්‍ය වූණා!

කොමියුනිස්ට්වාදීන් පැරිස් ප්‍රජාසංඝය දක්වන්නේ කොමියුනිස්ට් විප්ලවයේ ශ්‍රමිකයන් වෙතින් හටගත් පළමු සටන ලෙසිනි. එහෙත් සාමූහික දේශපාලන සවිඥානයක් පැරිස් ප්‍රජාසංඝයේ තිබුණා ද යන්න සැක බව දක්වන ඉතිහාස සටහන් බොහොමයකි.

පැරිස් ප්‍රජාසංඝයේ මන්ත්‍රණ සභාවට තෝරා ගන්නා ලද අය සහ ප්‍රජාසංඝය ආරක්ෂා කරගන්නට පෙනී සිටි අය වෙතින් මීට උදාහරණ පෙන්විය හැකියි.

“ප්‍රජාසංඝය යනු අවහිරයක් (barricade) මිසෙක ආණ්ඩුවක් නොවේ යැයි මේ මිනිස්සුන්ට කිසිත් ලෙසකින් අවබෝධ වෙන්නේ නැහැ.” P. O. Lissagaray විසින් මහජන ආරක්ෂා කමිටුව පිහිටුවීම ගැන පැමිණිලි ගෙනෙන ප්‍රජාසංඝ සාමාජිකයන් සුලු පිරිස සම්බන්ධයෙන් කියන ලදි.

අපැහැදිලි පරමාදර්ශ වලින් සාමූහිකයක් රැස් කරගන්නට පහසුයි. ඒත් අර්බූදයක දී යම් ක්‍රියාපටිපාටියක් ගැනීම අත්‍යවශ්‍යයයි. ක්‍රියාවේ ස්වභාවය ගැන සමූහයේ එකඟත්වය ලබාගැනීම දුෂ්කර වූවකි.

ප්‍රජාසංඝය තුළ විසූ සේවානියුක්තිකයන් අතර වේතන බොහෝ දුරට සමානව පවත්වා ගැනීමට, පල්ලියෙන් අයින් වීම සහ අධ්‍යාපනය ආගම්වල බලපෑමෙන් මුදා ගැනීම යනාදියට ප්‍රජාසංඝයේ මන්ත්‍රණ සභාව එකඟ වුවත් දේපල සබඳතා වෙනස් කිරීමේ දී සාමූහිකය කැමති කරවා ගන්නට නොහැකි විය.

නගරසභාවේ පැවති බඩු උකස්කරන සාප්පුවල තිබුණ බඩු නිදහස් කිරීම ගැන ප්‍රජාසංඝයේ සාමාජිකයන් ෆ්‍රෑන්ක් 20 කට වැඩි ඒවා ද නැත්නම් 30 කට වැඩි ඒවා ද වශයෙන් තර්ක කළහ. අවසානයේ දී ඇඳුම්, ලී බඩු, පොත් සහ මෙවලම් පමණක් ඒවායෙන් මුදල් නොගෙවා අයින් කරගන්නට ඉඩ දුන්හ.

වසර ගණනාවක් තිස්සේ රාත්‍රී වැඩ මුරය ගැන විරෝධය පාමින් සිටි බේකරි ශ්‍රමිකයන්ගේ අර්බූදය හමුවේ සේවා යෝජකයන් හා සේවා නියුක්තියන් අතරට මැදිහත්වීමට Billioray සහ Viard යන ප්‍රජාසංඝ සාමාජිකයන් දෙදෙනා විරෝධය ප්‍රකාශ කළහ. රාත්‍රී වැඩ මුරය අයින් කළ ද උදෑසන පහේ කණිසම යනු දවසේ වැඩ පටන් ගන්නා අවස්ථාව හැටියට ස්ථාපිත කිරීම “ප්‍රජාසංඝය විසින් හඳුන්වා දෙන ලද එකම සැබෑ සමාජවාදී නීතිය” යැයි ලියො ෆ්‍රෑන්කල් (Leó Frankel) විසින් කියන ලදි. ඔහුට අනුව එය යුක්ති සහගත නිසා සේවා යෝජකයන්ගෙන් විමසා බැලීම නුවුමනා විය.

ඒත් දේපල අයිතිය ගැන තැකීමක් දැක්වීම ප්‍රජාසංඝයේ මන්ත්‍රණ සභිකයන් අතර පොදුවේ පැවති මතයයි. ෆ්‍රෑන්කල් පවා “අනෙක් සියල්ල කෙසේ වෙතත් බංකොළොත්වීම් සිදු නොවන්නට සුළු ව්‍යාපාරිකයන්ට කාලයක් දිය යුතු” බව කියා සිටියේය.

බෝම්බ හෙළන ලද පැතිවල සරණගාත වූවන්ට අත්හැර දමා ගිය ගොඩනැඟිලිවල පමණක් පදිංචි වීමට අවසර දීම මගින් දේපල අයිතිය රැකීම සිද්ධ වූයේ ය. එයාකාරයෙන්ම අත්හැර දමා ගිය වැඩපොලවල් භාවිතය නීතියෙන් ස්ථාපිත වුවත් ප්‍රජාසංඝය කඩා වැටෙන්නට පෙර එය නීතියක් හැටියට ක්‍රියාත්මක නොකරන ලද්දේ ය.

හමුදා නිල ඇඳුම් නිපදවන අය සඳහා වරප්‍රසාදිත තත්ත්වයන් හිමි විය යුතු යැයි ද එය ශ්‍රමිකයන්ගේ සමිතියෙන් සිදුවිය යුතු යැයි ද, එසේම එය සාපේක්ෂිතව වැඩියෙන් වේතන ගෙවන සේවා යෝජකයන්ට බාර කළ යුතු යැයි ද ෆ්‍රෑන්කල් යෝජනා කළේය. ඔවුන් සේවා නියුක්තියන් සහ සේවා යෝජකයන් අතර එවක පැවති ගිවිසුම් ප්‍රතිසංස්කරණය කරන්නට අත දැම්මේ නැත. එනමුත්, කම්කරු කොමිසමේ මුලසුන දැරූ ෆ්‍රෑන්කල් පවා විශ්වාස කළේ මාර්තු 18 වැනිදා විප්ලවය මුළුමනින්ම කම්කරු පංතියේ විප්ලවයක් කියායි!

අකාර්යක්ෂම තත්ත්වයන් හමුවේ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා අලුත් කමිටුවක් පත් කරගන්නා ලදි. මැයි 17 වැනිදා Ostyn එහි රැස්වීමක දී මෙසේ කියා සිටියේය. “…මට අවුරුදු 48 ක්, මම කිසිම ජනප්‍රිය මන්ත්‍රණ සභාවකට කවදාවත් බැඳිලා නැහැ. මම වැඩ කරන පංතියේ කෙනෙක්. මම මේ දේශපාලන කුඩුකේඩුකම් (malice) ගැන කිසිවක් දන්නේ නැහැ. මෙතැන මම දකින දේවල් මාව පුදුමයට පත් කරනවා. මේ මන්ත්‍රණ සභාව වැඩියෙන් හොඳ, වැඩියෙන් වටින දෙයක් වේවි කියලයි මම බලාපොරොත්තු වුනේ.”

ශිල්ප ශාස්ත්‍රයන්හි නියැළුන ලද අය බහුල ලෙසින් සිටි කම්කරුවන් අතර පහත මැද පංතියේ යැයි සැලකෙන අය, එනම් කුඩා කඩ සාප්පුවල රැකියා කළ සහ කුඩා වැඩපොලවල් අයිති අය විශාල පිරිසක් සිටියහ. ඔවුන් සියල්ලන්ම බදු සහ කුලී ගෙවීම් යළි පිහිටුවන්නට යන තියේර්ස් රජයේ තර්ජනය හමුවේ අනාරක්ෂිතව සිටි සහ බෙහෙවින් දුප්පත් අය වූහ.

ප්‍රංශ යුද්ධය යනු සුළු පිරිසක් විසින් පාලනය තමනට වාසිවෙන පරිද්දෙන් ගෙන යාමට එරෙහිව දුප්පතුන් එකා මෙන් සහභාගී වූවකි. ඔවුන් ඉල්ලා සිටියේ සියල්ලන්ටම රැකියා අවස්ථා පාදන්න යැයි කියායි. මිනිස් උදාරත්වයට ඉඩ දෙන්න යැයි කියායි. ඉතින් දූසමාන පරමාර්ශ දක්වමින් සාමූහික මෙහෙයුමක් හදාගත හැකිවිය. ඒත් එය කම්කරුවන්ගේ නැත්නම් වැඩකරන ජනතාවගේ නැඟී සිටීමක් යැයි කියන්නට නොහැකියි.

ප්‍රජාසංඝය පටන් ගත්තේ දැඩි උනන්දුවකිනි. පළමු මැතිවරණයට චන්දදායකයන් 229,167 ක් සහභාගී වූහ. අප්‍රේල් 1 වැනිදා වෙද්දී ඉතිරිව සිටියේ 53,680 ක් පමණි. වාසෙයි (Versailles) හමුදාවට දෙන පළමු ප්‍රහාරයට ලක්ෂයක පිරිසක් එකතු වූහ. ඉන්පසුව 30-35,000 ක් සටන් සඳහා එක්රැස් (mobilize) කරගැනීමත් දුෂ්කර විය.

එහි දී ප්‍රජාසංඝයේ නීති තව තවත් නපුරු (repressive) වූහ. වහාම සහ දැඩි සමාජ විප්ලවයක් සඳහා බුර්ජුවාසියට සහ දේපලවලට පහර දීමත් පටන් ගැනිණ. මැදිහත්වීම් හරහා නොහැකි යැයි ද, එක රැයින් කරන රැඩිකල් වෙනසක් අවශ්‍ය යැයි ද ලියන ලද මාක්ස් මතය ප්‍රජසංඝයේ තනතුරු දරමින් සිටින වාමාංශිකයන්ගේ මතය විය.

“අපි ඔබට රැකියා පොරොන්දු වුණා, ඉතින් අපි එය ඔබට දෙන්නම්, ඒත් අපි මුලින් අරගලය කළ යුතුයි, ප්‍රජාසංඝය පාගා දමන්නට එන ප්‍රාග්ධන හිමියන්ට සහ සහ ධනවත් අයට විරුද්ධව. අපි ජයග්‍රහණය කරන එක සහතිකයි, ඒත් අපිට මේ සහයෝගය සෑම කෙනෙක් වෙතින්ම අවශ්‍යයයි. අපේ පියවරුන්ගෙන්, අපේ සැමියන්ගෙන්, අපි හොයන කීර්තිමත් අරමුණ, ශ්‍රමිකයන්ගේ නිදහස සඳහා අපේ සහෝදරයන් සටන් කරනවා…”

විශාල සංවිධාන හරහා කම්කරුවන් වැඩියෙන් සහභාගී වෙන බවක් පෙනිණ. ඒත් පංති අරගලය ගැන බොහෝ දෙනෙක් අතර වැඩි දැනුමක් නොවීය. දෙවැනි ජනරජයේ දී ජාතික මන්ත්‍රණ සභාව සඳහා වැඩකරන ජනතාව විසින් ප්‍රසාදය දක්වන ලද මැද පංතියේ චන්ද අපේක්ෂකයන්ව එහි දී ප්‍රතික්ෂේප වෙන්නට පටන් ගැනිණ. උදාහරණයක් හැටියට “එයා අපේ කෙනෙක් නොවේ, එයා බුර්ජුවාසි පංතියේ,” යැයි වික්ටර් හියුගෝ ගැන කියනු ලැබීය. පංතියේ අය කවුදැයි කියා තෝරාබේරා ගත නොහැකිව පැරිස් ප්‍රජාසංඝය අවුලක පැටලී සිටියහ.

ප්‍රජාසංඝය යනු නීතිමය ආණ්ඩුවක් හැටියට පිළිගන්නවාදැයි විමසද්දී, මේසන් බාස් රැකියාව කළ Léopold Caucheteux කියා සිටියේ “නැහැ, මම ඒක පිළිගත්තේ මට දවසකට ෆ්‍රෑන්ක් 2 ක් සහ සෙන්ටීම් 50 කුත්, මගේ භාර්යාවට සෙන්ටීම් 75 කුත් දෙන නිසයි, ඒකෙන් මගේ දරුවන්ට කන්න දෙන්න පුලුවන් නිසා.”

යන්ත්‍ර හසුරුවන ශිල්පියෙක් ලෙසින් රැකියාව කළ Emile Guillaume කියා සිටියේ ද එවැනිම හේතුවකි. “මට දරුවන් 7 ක් ඉන්නවා. මගේ භාර්යාව අසනීපෙන්. මට මගේ පවුලට කන්න දෙන්න වෙන ක්‍රමයක් තිබුණේ නැහැ.”

පළතුරු වෙළෙන්ඳෙක් වූ 51 වියැති François Godin “ජර්මන් වටලෑමේ දී මාත් එක්ක සේවය කළ අසල්වැසියන් හැමෝම එන්න කිව්ව නිසා මම බැහැයි කියන්න අකමැති වුණා. ඔවුන් හැම විටම මාව සොයාගෙන ආව…”

ප්‍රසියාවට එරෙහිව යුධ වැදි සේනාංකය සමඟ දිගටම රැඳී සිටිය අය ද පැරිස් ප්‍රජාසංඝය තුළ සිටියහ. ඔවුනට වෙන දේශපාලන දැක්මක් නොවූහ. ලිපිකරුවෙක් වූ Hippolyte Bisson එසේ ය.

පිත්තල වැඩකරන ශිල්පියෙක් වූ Hippolyte Fretel බිය නිසා රැඳී සිටියේය. “අනිත් අය තර්ජන කරපු නිසා මට පාගමන් යන්න සිද්ධ වුණා. ප්‍රජාසංඝයේ යුද්ධාධිකරණය හමුවට ගෙන යාවි කියල බයක් තිබුණ.”

මේසන් බාස් රැකියාව කළ Florent Bartholemy කියා සිටියේ මෙයයි: “මම වැඩ කරන තැනට ඔවුන් මාව සොයාගෙන ආවා. වෙඩි කන්න නැත්නම් පාගමන් යන්න සිද්ධ වුණා.”

අවසානයේ දී විප්ලවය තුළ මිනිස් ඝාතන සිද්ධ වූයේ සමාජවාදී ව්‍යාපාරයට කීර්තිමත් වීරයන් සහ මෘතවීරයන් ලබා දෙමින්. ප්‍රංශයේ වැඩකරන ජනතාවට අතිශය ඛේදනීය වූ තත්ත්වයන් අත් කරමින්.

මෙය ප්‍රාග්ධන හිමියන් සහ කම්කරුවන් අතර අරගලයක් හැටියට ප්‍රජාසංඝයේ නායකයන් බහුතරය විසින් දකින ලද්දා යන්නට තමන් එකඟ වුවත්, ඒ අය පැරිස් විප්ලවයේ අර්ථය ගැන කිසිම පැහැදිලි බවකින් තොර වූවා යැයි කියා අර්ථ ශාස්ත්‍රඥ මහාචාර්ය එඩ්වඩ් එස්. මේසන් (Edward S. Mason) පෙන්වා දුන්නේ ය. ලුවි ග්‍රීන්බර්ග් (Louis M. Greenberg) වැනි ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ මෙයට බහුතර වැඩකරන ජනතාව එකතු වූයේ එය ඒකීය පුද්ගල නිදහස සහ විමධ්‍යගත රජයක් සඳහා වූ අරගලයක් හැටියට ඔවුන් දකින ලද නිසයි. මේ අදහස් සුලු පිරිසක් දරන අදහස් නොවූවත් ඒවා පරිවර්තනය වීම සිදුනොවන බැවින් සිංහල පාඨකයාට දැනගන්නට නොලැබී යයි.