අරුණි ශපීරෝ‍ වෙතින්

පොහොසත් අයට වාසි වෙන්නට දුප්පතුන් සූරා කෑම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 3, 2021

ස්වීඩනය යනු වෙළඳපොළ ක්‍රමයට නිදහස් ඉඩකඩක් සපයන ධනවාදී රටකි. කෝවිඩ්-19 වසංගතය පැතිර යද්දී අනෙක් රටවල් මෙන් බියට පත්ව සියල්ල වසා නොදමන ලද රටකි. 2020 දී ආර්ථිකය අඩපණව ගියත් 2021 ජූලි මාසය වෙද්දී ස්වීඩනය වසංගතයට පෙර පැවති තත්ත්වයට එන්නට සමත්ව සිටින බව වාර්තා වේ. ජනතාව අතර රැකියාවට යන අවසරය ලැබෙන්නේ කාටද, විවාහ මංගල උත්සව කී දෙනෙකුට සහභාගි විය හැකි ද, නිරෝධානය සඳහා විවෘත කාගේ හෝටලය ද යනාදිය රජය විසින් තීරණය කළ රටක් නොවේ. වෙළඳපොලට නිදහසක් නැති ක්‍රමවේද දියත් කරන ආකාරය දක්වමින් ධනවාදයේ ක්‍රමය අසාර්ථක යැයි කියන අයට ස්වීඩනය කදිම උදාහරණයකි. ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් ද මෙම නිදහස් වෙළඳපොල ක්‍රමය අනුව වසංගතය හමුවේ කටයුතු කළ අතලොස්සට ඇතුළත් බව කිව යුතුයි.

දැන් රජයේ මැදිහත්වීම් නිසාම (සමාජවාදී, කොමියුනිස්ට්වාදී ක්‍රම අනුව) අසරණ වූ ජනතාව සඳහා ආධාර සැපයීමට රජය ඉදිරිපත්ව සිටියි. මේ සටහන ලියන්නේ විවිධ ආණ්ඩු විසින් තම රටවල මුදල් ප්‍රසාරණය විසඳුමක් හැටියට ක්‍රියාත්මක කිරීම නිසා (එය ධනවාදී ක්‍රමය නොවේ) උද්ධමනය ඉහළ යාම සිද්ධ වෙමින් පවතින වාතාවරණයක දී ය.

ජනතාව බේරා ගන්නට සිද්ධ වෙන උවදුරු වැඩියෙන් ගෙනෙන්නේ ආණ්ඩුවයි. දුප්පත් පොහොසත් පරතරය වැඩිවෙනවා යැයි අනතුරු අඟවන දේශපාලකයන්ගේ බලයෙන් පිරි ආණ්ඩුව විසින් දුප්පතුන් නඟාලීම උදෙසා යැයි කියමින් ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදෙයි. ඒත් ඒ ප්‍රතිපත්ති නිසාම දුප්පතුන්ට ඉහළට නඟින්නට නොහැකි බවත්, ඔවුන් හා පොහොසතුන් අතර ඇති පරතරය තවත් වැඩිවෙන බවත් ආණ්ඩුවක් සිය ජනතාව වෙතින් වසන් කරයි.

නිදහස් සමාජයක, එනම් කැමැත්තෙන් නිර්මාණය කරන්නක් කැමැත්තෙන් මිල දී ගන්නෙකුට ඉඩක් ලැබෙන සමාජයක, ඒ නිදහස් ගණුදෙනුවට ඇති ඉඩකඩ නිසාම මුදල් නිෂ්පාදනය බිහිවේ. ඕනෑම අයෙකුට ඕනෑම නිෂ්පාදනයකට බහින්නට අවසර ඇත්නම්, කිසිවෙකුගේ භාණ්ඩ හෝ සේවා තවකෙකුට මිල දී ගන්නට නියමයක් නැත්නම්, එවිට පුද්ගලයෙකුගේ දේපල අයිතිය උල්ලංඝණය වෙන්නේ සියල්ලන්ටම හඳුනාගත හැකි මංකොල්ලකාරයන් වෙතින් පමණකි.

අද ලොව මුදල් නිෂ්පාදනය බහුතර වශයෙන්* ආණ්ඩුව අතට පත් වී තිබෙන්නකි. නිදහස් මිනිසුන්ගේ ගණුදෙනු අතර මැද්දට පැන සිටින භාගික සංචිත මහා බැංකු ක්‍රමය (fractional reserve banking) සහ ෆියැට් මුදල් (fiat money) යන පද්ධති දෙක නිදහස් ගණුදෙනු මූල ධර්මය උල්ලංඝණය කරන ලද්දකි. එයින් ෆියැට් මුදල් සහ මුදල් හිමිකම් ඔප්පු (money titles) නිෂ්පාදනය කරන ආණ්ඩුවේ බලධාරීන්ට අනෙකුත් අයගේ දේපල අයිතිය උල්ලංඝණයට හැකියාව පාදා දෙයි.

මහ බැංකුව අනෙක් බැංකු වලට වඩා දැඩි බලතල වලින් යුතු වෙයි. එහි ප්‍රතිපත්තිය ෆියැට් මුදල් නිෂ්පාදනය කිරීමෙන් එය ඔවුන්ගේම වාසියට නැවත බෙදාහරින සැලසුම්කරණයේ නියැළීමයි. අලුත් මුදල් සහ මුදල් හිමිකම් ඔප්පු මුලින්ම ලැබෙන අයට වාසි වෙන ආකාරයෙන් ආදායම් නැවත බෙදන සැලසුම්කරණය සිද්ධ වෙන්නේ මහ බැංකුවෙනි. එහි දී ඔවුන් සමඟ කුළුපග සබඳතා පවත්වන පිරිස් වලට වාසි වෙන්නේ සෙසු මුළු මහත් මහජනතාවගේ වියදමෙනි.

පොහොසත් අයට වාසි වෙන්නට දුප්පතුන් සූරා කෑම ආණ්ඩුව විසින් කරන්නේ උද්ධමනය ඇති කරන ෆියැට් මුල්‍ය ප්‍රතිපත්ති වලිනි. සෙසු පුරවැසියන් සමඟ මුදල් ගණුදෙනු කරන්නට සිද්ධ වූවා නම් පොහොසතුන්ට අහිමි වී යන බලය මෙහි දී පෝසත් අයට තව තවත් වැඩියෙන් හිමි වේ. එහි දී පෝසත් අයව ආරක්ෂා කෙරෙයි. ඔවුන් තවත් දීර්ඝ කාලයක් පොහොසතුන් සේ සිටීමටත් දුප්පතුන්ට තවත් දීර්ඝ කාලයක් දුප්පත් බවින් මිරිකෙන්නටත් සිද්ධ වේ. එහෙත් මුදල් නිෂ්පාදනය සහ ගණුදෙනු සඳහා නිදහස් ඉඩකඩ ඇති වාතාරවණයක දී එහෙම වාසියක් කිසිවෙකුට නොලැබේ.

මුදල් නිෂ්පාදනය ආණ්ඩුව යටතේ පවතින ක්‍රමය තවත් පවත්වා ගෙන යෑම නිසා, බලයේ ඉන්නා ආණ්ඩුව සමඟ දේශපාලනිකව සබඳකම් පවත්වන සුළු කොටසකට වාසිදායක ලෙසට රටේ ප්‍රතිපත්ති සැකසේ. දේශපාලන බලය සමඟ අතිනත ගෙන එවිට නෝට්ටු මුදල් නිෂ්පාදන මොනොපොලියෙන් බැංකු පවත්වාගෙන යෑමට අවසර ලැබෙන්නේ වරප්‍රසාද ලත් අයට පමණකි.

රටවැසියන් සියල්ලන් පාහේ මහ බැංකුව වැනි මුදල් අධිකාරියකට යට වී ආර්ථික කටයුතු කරන්නට සිද්ධ වීමෙන් ණයබර වැඩිවීම තවත් උත්සන්න වෙයි. එවිට සමාජයේ සදාචාර උවදුර වැඩියෙන් පැතිර යයි.

දේශපාලනයට යට නොවන, ආණ්ඩුවක මූල්‍ය මොනොපොලියකට යට නොවන, ආණ්ඩුවේ වැරදි නිසා පාඩු විඳින්නට සිද්ධ නොවෙන, ඉල්ලුම සහ සැපයුම අනුවම රඳා පවතින *බිට්කොයින් වැනි ගෝපිත මුදල් (crypto currency) භාවිතයකට නීතිමය අවසර ලාංකිකයනට කොතරම් නුදුරු කාලයක දී ලැබේදැයි සැක සහිතය.

Jörg Guido Hülsmann ලියූ How Inflation Helps Keep the Rich Up and the Poor Down ලිපිය ඇසුරිනි.