අරුණි ශපීරෝ‍ වෙතින්

මරණයේ ආර්යාව – සෝවියට් මහා දේශප්‍රේමී යුද්ධය

Posted in Uncategorized by arunishapiro on ජූනි 10, 2017

යුක්රේනය හා රුසියාව අතර මිත්‍ර සබඳතා ගොඩනඟන උත්සාහයක් හැටියට 2015 දී සෝවියට් යුක්රේනය ගැන චිත්‍රපටියක් හදන්නට රුසියාවේ අවසරය සහ සහයෝගය ලැබුණි. එය 1921-22 දී යුක්රේනයේ මිලියන 2-3 කට මරණය කැඳවූ ලෙනින් ගැන හෝ 1933 දී හලඩමෝ වෙතින් මිලියන 4-5 කට මරණය කැඳවූ ස්ටාලින් ගැන හෝ නිමැවෙන සිනමා කෘතියක් නොවිණ.

මෙය සෝවියට් රුසියාවේ සහ සෝවියට් යුක්රේනයේ පොදු හතුරා වූ නාට්සීන් ගැනයි. යුක්රේන නගරයක් වන ඔඩෙසා හි වසරකට අඩු කාලයක දී නාට්සි සොල්දාදුවන් 309 ක් ඝාතනය කළ ලුඩ්මිලා පැව්ලිචෙන්කෝ නම් 25 වියැති යුක්රේනයේ උපත ලැබූ සෝවියට් ස්නයිපර් සෙබළියගේ ජීවිත කතාව ඇසුරින් හදන ලද සිනමා නිර්මාණයකි.

මොස්කව් සහ කියේව් නගර දෙකේම උත්සවාකාරයෙන් එහි මංගල දර්ශනය පෙන්වන ලදි. “එක ඉතිහාසයකට හිමිකම් කියන අපි අඩුම ගානේ පැය දෙකක කාලයක් තුල දී හෝ මේ චිත්‍රපටියෙන් ජනතාව එක්සත් කරනු ඇති කියා මම බලාපොරොත්තු වෙනවා,” යැයි යුක්රේනයේ උපන් රුසියාවේ ජීවත්වන චිත්‍රපටියේ අධ්‍යක්ෂ සර්ගෙ මොරිට්ස්කි එහි දී පවසා ඇත.

චිත්‍රපටිය ‘සෙවැස්ටපොල් සටන’ යන නමින් රුසියාවේ දර්ශනය කරන ලදි. එය යුක්රේනයේ දී පෙන්වූයේ ‘විනාශ කළ නොහැකි’ යන නමිනි. ඊයේ පෙරේදා මම එය නැරඹුවේ නෙට්ෆ්ලික්ස් වෙතිනි.

ස්ටාලින් දිහා නොබලා හිට්ලර් දිහා පමණක් බලන්නට මුළු ලෝකයම දක්කන ලද කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩාවට බටහිර රටවල් සහාය වූ ආකාරය මෙම චිත්‍රපටියේ සඳහන් නොවේ. ඇමෙරිකන් ජනාධිපති ආර්යාව වූ එලිනෝර් රූසවෙල්ට් සහ මරණයේ ආර්යාව නමින් හැඳින්වුන ලුඩ්මිලා පැව්ලිචෙන්කෝ දෙදෙනා හමුවන දර්ශන කිහිපය සෙබළියක් වූවාට ඇය ස්ත්‍රියක් ද වන්නීය යන්නට වැඩි අවධානයක් දෙයි.

සෝවියට් පාලනය යටතේ ක්‍රයිමියාවේ වෙරළබඩ ‘වැසුණු නගර’ බොහොමයක් වූහ. විශේෂ අවසර නොමැතිව ඒවාට ඇතුල්වීමට පිටස්තරයන්ට තහනමක් පැවතිණ. සෙවැස්ටපොල් ද එවැන්නකි. වෙරළබඩ අසල විවේකයට, සනීප ගන්නට හෝ ලෙඩ දුක් සුවයට පක්ෂයට හිතැති බව නිසා වරම් ලැබූ නිකොලායි ඔස්ත්‍රොවෙස්කි වැනි අය දිග ලැයිස්තු වලට නම් එකතු කරමින් තමන්ගේ වාරය එනතුරු බලා සිටියහ. සමහරු මිය ගියහ. ඉන්ධන හිඟයෙන් දිගටම පැතිර ගිය සීතල ඔරොත්තු නොදීමත්, පෝෂ්‍යදායක ආහාර හිඟයත් නිසා ක්ෂයරෝගයෙන් පෙළෙන ලද බොහෝ අය සෝවියට් දේශයේ සිටියහ. ඔස්ත්‍රොවෙස්කි වැනි අය වෛද්‍ය සේවා ලබාගන්නට සමත් වූවත් අතපය කැඩී ගිය බහුතර සොල්දාදුවන් යළි සමාජයට යැවීම වෙනුවට රටට බරක් නිසා ඝාතනය කරන ලද බව සයිමන් සිබැග් මොන්ටෙෆියොරෙ සිය ස්ටාලින් පොතේ ලියයි.

රුසියාව සහ සෝවියට් දේශයේ රටවල් ‘දේශප්‍රේමී යුද්ධය’ යන වහර භාවිතා කළහ. ඒත් තමනට සිද්ධ වූ වැරදි තව දුරටත් වසන් කරන බැවින් එස්ටෝනියා, ලිතුවේනියා, ලැට්වියා, ජෝර්ජියා, අස්රාබජාන්, සහ යුක්රේනය යන රටවල් ඒ නම භාවිතා නොකරති. 1941 ජූනි 22 සිට 1945 මැයි 9 දක්වා පැවති යුද්ධය බටහිර රටවල් හඳුන්වන්නේ ‘නැගෙනහිර පෙරමුණ’ කියායි.

දෙවැනි ලෝක යුද්ධයේ මුල් අවධියේ දී, සෝවියට් දේශය ජර්මනිය හා ගිවිසුම අත්සන් කර තිබිය දී, පෝලන්තය සහ ෆින්ලන්තය 1939 දී ද, එස්ටෝනියා, ලිතුවේනියා, ලැට්වියා, රුමේනියා, මොල්ඩෝවා යන රටවල් 1940 දී ද, ආක්‍රමණය කරන ලදි. ඒ ආක්‍රමණ රුසියානුවන් මහා දේශප්‍රේමි යුද්ධයට ඇතුලත් නොකරති. එසේම, බ්‍රිතාන්‍යයන් සමඟ සෝවියට් දේශය 1941 දී ඉරානය ආක්‍රමණය ද, 1945 සෝවියට්-ජපන් යුද්ධය ඇතුළු ජපානය හා වැදුණු යුද්ධ ද මහා දේශප්‍රේමී යුද්ධයට ඇතුලත් නැත. නැගෙනහිර පෙරමුණ යනුවෙන් බටහිර රටවල් හඳුන්වන්න ද මහා දේශප්‍රේමී යුද්ධය ඇතුලත් නැත.

සෝවියට් දේශය කැඩී යද්දී 1993 දී රුසියාවේ පාර්ලිමේන්තුව සෙවැස්ටපොල් යනු ‘ෆෙඩරල් රුසියන් නගරයක්’ යැයි යෝජනාවක් සම්මත කරගත්හ. 1997 දී යුක්රේනයේ අයිතිය රුසියාවෙන් ඉවත් වෙද්දී පවා එහි ස්වභාවික සම්පත්, භූමිය සහ සේවාවන්ට දීර්ඝ කාලීන කුලී හිමිකමක් රුසියාව තමනට අත්සන් කරගත්හ. 2014 ක්‍රයිමියාවේ අර්බූදයේ දී රුසියාව යුද ටැංකි වලින් ඇතුල්වූයේ මේ පැත්තෙනි. මෙම චිත්‍රපටිය නිර්මාණය වූයේ මේ අර්බූද හටගත් කාලයේ දී ය.

2015 අප්‍රේල් 9 වැනිදා යුක්රේනයේ පාර්ලිමේන්තුව එතෙක් භාවිතා කළ මහා දේශප්‍රේමී යුද්ධය යන වහර වෙනුවට ‘දෙවැනි ලෝක යුද්ධය’ යෙදීම කොමියුනිස්ට්හරණ නීති යටතේ අනුමත කරන ලදි.

තම නිදහස සහ තම දේපල පරදුවට තබා හැරියට් ටබ්මන් වැනි රාජ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් පළා යන අයට සහාය වූ මිනිස්කම අගය කළ මිනිස්සු සෝවියට් රුසියාවේ නොසිටියහ. රුසියාවට හිටියේ තම පැවැත්ම වෙනුවෙන් සහ තම සෞඛ්‍ය සේවා වෙනුවෙන් හැම පැත්තෙන්ම සිද්ධ වූ මිනිස් ඝාතන හමුවේ නිහඬව සිටි නිකොලායි ඔස්ත්‍රොවෙස්කිලා පමණි. ජර්මනියේ ද දකින්නට ලැබුනේ එලෙසින්ම හැසිරුණ මහජනතාවයි. කුරිරු මතවාදයක් ගිලින ලද ජනතාවකින් මානුෂික හැදියාවක් බලාපොරොත්තු වීමට නොහැකියි.

මහත් විශාල ජනතාවක් අසරණව සිටිය දී ඔවුන් ගැන ලොවෙන් වසන් කළා යැයි කීම බොරුවක් යැයි ඔබට සිතේ නම් කුසගින්න නිසා පාරට බැස ඇති, මිලියන 30 ක අද වෙනිසියුලාවේ වැසියන් ගැන වාර්තා සිංහල ජනමාධ්‍ය කොපමණකින් දැනුවත් කරනවා දැයි සොයා බලන්න. වෙනිසියුලාවේ තොරතුරු සහ ඡායාරූප ප්‍රචාරය තහනම් කර ඇත්නම් එය කළේ ලංකාවේ කුමන ධනවාදී පාලකයා ද?!! එසේ නැත්නම් ලංකාවේ ජනමාධ්‍ය පිරී ඇත්තේ ක්‍රමයේ වැරදි ඇස් පනාපිට දිග හැරෙද්දී ඒවා හෙළිකරන්නට මැළිවෙන සමාජවාදීන්ගෙන් ද? එහෙමත් නැත්නම් නිදහස් ප්‍රකාශයට අයිතියක් ඉල්ලා හඬ නඟන ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෙනිසියුලාවේ වැසියන් මුහුණ පා සිටින තත්වය සිංහලෙන් කියවන අයට වසන් කරන්නේ තමනට කිසිදු මානුෂික දයාවක් නැතිකමින් ද?

Advertisements