අරුණි ශපීරෝ‍ වෙතින්

හේමන්ත යුද්ධය සහ මොලටොව් කොක්ටේල් උපත්තිය

Posted in Uncategorized by arunishapiro on ජූනි 9, 2017

යුරෝපය බෙදා ගන්නට ස්ටාලින් සහ හිට්ලර් ගිවිසුම් ගැසූ බව රුසියන් රජය නිල වශයෙන් තවමත් ප්‍රතික්ෂේප කරයි. අත්සන් තැබූ ගිවිසුමේ ඡායාරූප රුසියාවේ රූපවාහිනිය ප්‍රචාරය කළ සැනින් කෞතුකාගාරයෙන් එය අතුරුදහන් විණ. එසේම, ඒ ගිවිසුම් ගැන පුවත්පත්වල පළ වී තිබූ සියළු වාර්තා පිටු රටේ පුස්තකාල සහ ලේඛනාගාර වලින් ඉවත් කර දැමිණ.

1939 ඔක්තෝබර් 12 වැනි ෆින්ලන්ත නියෝජිතයන් පිරිසක් ක්‍රෙම්ලිනයේ දී ස්ටාලින් සහ මොලටොව් මුණ ගැසුණහ. සෝවියට් දේශය ඉල්ලා සිටි යුද නැව්තොටුපොළකට අවසරය ඔවුන් ප්‍රතික්ෂේප කළහ. ෆින්ලන්ත පාර්ලිමේන්තුවෙන් හයෙන් පහක කැමැත්තක් ඊට අවශ්‍ය බවත් එය නැති බවත් දැන්වූහ. එවිට මොලටොව් සහ ස්ටාලින් ඔවුන් හා සිනාසෙමින් අපි 100% ක කැමැත්තක් ලබා දෙන්නම් යැයි පවසන ලදැයි වාර්තා වේ.

ෆින්ලන්තය සෝවියට් ආක්‍රමණයට හසුවූයේ 1939 නොවැම්බර් 30 වැනිදාය. ඒ සෝවියට් දේශය ආක්‍රමණය කරන හතරවැනි ස්වාධීන රාජ්‍යයයි. දෙවැනි ලෝක යුද්ධය ඒ වන විටත් ඇරඹී තිබිණ. එස්ටෝනියා, ලැට්වියා, ලිතුවේනියා මෙන්ම ෆින්ලන්තය ද 1918 දක්වා රුසියන් අධිරාජ්‍යයේ කොටස් ලෙසින් පැවතිණ. සෝවියට් දේශයට අවශ්‍ය වූයේ ෆින්ලන්තයේ ද රූකඩ කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවන්නටයි.

ෆින්ලන්ත හමුදාවට වඩා තෙගුණයකින් විශාල හමුදාවක් රැගෙන සෝවියට් හමුදා පහක් සෝවියට් මායිමෙන් ෆින්ලන්තයට ඇතුල්වූහ. ෆින්ලන්තයට වඩා තිස්ගුණයකින් වැඩි ගුවන් යානා සටනට යොදා ගත්හ. ෆින්ලන්තයට වඩා සිය ගුණයකින් යුද්ධ ටැංකි යොදා ගත්හ. එහෙත් ඒ වෙද්දී ස්ටාලින්ගේ මහා ශුද්ධ කිරීම් නිසා යුද පුහුණුව සහිත භටයන් වෙනුවට රතු හමුදාවේ ඉතිරිව සිටියේ ආධුනිකයන්ය. ඒ මදිවාට යුද්ධයට මුහුණ නොදී ආපහු පළා එන තමන්ගේ රටවැසියන්ම ඝාතනයට කරන රහස් පොලීසිය රතු හමුදාව පිටුපස්සෙන් පැමිණ පළා යන භටයන්ට වෙඩි තබා හඳුනාගත නොහැකිවන සේ ඔවුන්ගේ නම් සඳහන් හමුදා ටැග් ඉවත් කරන බවත් රතු හමුදාව දැන සිටියහ.

කිලෝමීටර් දාහකට වඩා දිගින් වූ සෝවියට් ෆින්ලන්ත මායිම තාර පාරවල් අඩු ඉතා කටුක භූමියකින් යුතු වූවකි. එසේම 1939-40 හේමන්ත කාලයන් හිම වැඩියෙන් වැටුණු දැඩි සීතලකින් ද විය. ෆින්ලන්ත සොල්දාදුවන් හිම මත ස්කීන් (skiing) යන දක්ෂයන් වූහ. හුරු පුරුදු පරිසරය තම වාසියට යොදා ගනිමින් සුදු වස්ත්‍ර වලින් හොල්මන් සේ සැරසී රුසියන් සෙබලුන් ඝාතනයට ඔවුන් සමත් වූහ. සෝවියට් සෙබලුන්ගේ මළමිනී පිරමීඩ සේ කැලෑවේ ගොඩ ගැසූහ. දෙසැම්බර් මාසය මැද වෙද්දී ස්ටාලින්ගේ හමුදාවේ 25,000 ක් පමණ මිය යන ලදි.

රතු හමුදාවට ආහාර සැපයීම ද අඩාල විය. සීතලෙන් හා කුසගින්නෙන් පෙළෙද්දී යුද වදින්නට නොහැකි බව රුසියන් හමුදා නායකයන්ට පවා වැටහිණ.

සෝවියට් ගුවන් යානා හෙල්සින්කි නගරයට බෝම්බ හෙළන ලද පළමු දිනයේ දී ජාත්‍යන්තර විවේචනය එල්ල වෙද්දී මොලටොව්-රිබන්ට්‍රොප් ගිවිසුම ගැසූ ව්‍යචෙස්ලාව් මොලටොව් රුසියන් ගුවන් විදුලියෙන් කියා සිටියේ ඒ ගුවනින් දමන්නේ බෝම්බ නොව හාමතේ සිටින අසල්වැසියන්ට බෙදන ආහාර බවයි. මොලටොව් හාස්‍යයට ලක් කරමින් ෆින් වැසියන් ඒවා “මොලටොව් පාන් වට්ටි” යැයි හැඳින්වූහ.

සෝවියට් යුද ටැංකි වලට දමා ගහන්නට අතින් විසිකරන බෝතල් ගිනි බෝම්බ ෆින් හමුදාවේ නිර්මාණයකි. “ආහාර එක්ක යන පානයක්” යැයි කියමින් ඔවුන් ඒවා “මොලටොව් කොක්ටේල්” යැයි නම් කළහ. බෝතල් ගිනි බෝම්බ වලට ඒ නම එතැන් පටන් භාවිතා විය.

ජාතීන්ගේ සංගමය රුසියාව විසින් මේ ෆින්ලන්තයට පහර දීම නීතිවිරෝධී යැයි තීන්දු කර 1939 දෙසැම්බර් 14 වැනිදා සෝවියට් දේශය සංගමයෙන් අයින් කරන ලදි.

විදේශ සංවිධාන වලින් ෆින්ලන්තයට ආධාර, හමුදා අමුද්‍රව්‍ය සහ ණය ද යැවිණ. නාට්සීන් ද ස්වීඩනය හරහා ෆින්ලන්තයට යන අවි වලට ඉඩ දුනි. ඒත් ස්වීඩනයේ පුවත්පතක් එය හෙළි කිරීමෙන් පසුව හිට්ලර් ෆින්ලන්තය ගැන නිහඬ විය යුතු යැයි ප්‍රතිපත්තියක් ස්ථාපිත කළේය. ඒ මොලටොව්-රිබන්ට්‍රොප් ගිවිසුම පරිදි ජර්මන්-සෝවියට් සබඳතා නොකැඩී පවත්වා ගන්නටයි. ස්වීඩනය විසින් අටදාහක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ භට හමුදාවක් ද ෆින්ලන්තයේ සහායට යවන ලදි. ඉතාලිය ණය සපයන ලදි.

මේ හේමන්ත යුද්ධය මැද්දට පනින්නේ හිට්ලර්ගේ බලය පැතිරීම වැළැක්වීමත් සහ ඔවුන්ගේ වෙනත් ඉලක්ක මුදුන් පමුණුවා ගන්නා අරමුණින් යුතු වූ වින්සන්ට් චර්චිල්ගේ සහ එඩ්වාඩ් ඩලාඩියෙර්ගේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ආණ්ඩුයි. සෝවියට් දේශය විසින් ලෙනින්ග්‍රෑඩ් ආරක්ෂාව සඳහා යැයි කියමින් ඉල්ලූ ෆින්ලන්ත ප්‍රදේශ ලබා දීමට ආධාර, ණය සහ හමුදා භටයන් දෙන ලද ස්වීඩනය, ඇමෙරිකාව, ඉතාලිය යනාදී රටවල් ද සාකච්ඡාවට එකතු වූහ. එවක දී සමාජවාදී ප්‍රතිපත්ති රාශියක් ඇමෙරිකාවේ ගෙන ගිය ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් හිතුවේ ස්ටාලින් හා කතාබහෙන් සෝවියට් රටවල නිදහස් මැතිවරණ පවත්වන්නට කාටවත් නොහැකි වුවත් තමන්ට ඔහුව එකඟ කරවා ගත හැකි යැයි කියායි. සෝවියට් ස්නයිපර් සෙබළිය වොෂිංටන් ජනමාධ්‍ය තුලින් ජනප්‍රිය කරවන්නේ ස්ටාලින් ලවා හිට්ලර් පරාජය කරවන අරමුණ ඇතුවයි. ඒත් තිරසාර විසඳුමක් කරා සියල්ලන්ගේම අනුමැතියෙන් එළඹෙන්නට සුපිරි යුද කවුන්සිලය අසමත් වූහ.

බ්‍රිතාන්‍ය, ප්‍රංශය, හා ඇමෙරිකාව යන ලෝක බලවතුන් ස්ටාලින්-හිට්ලර් ගිවිසුම සහ එහි අඩංගු විස්තර නොදැන සිටීම නිසා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු තවත් වසර ගණනාවක් පුරා යුරෝපයේ පැතිරෙන දොම්නස් යුගයක් උදාවිය.

1940 මාර්තු 12 වැනිදා මොස්කව් සාම ගිවිසුම අත්සන් කෙරිණ. කරේලියා නම් පළාත ඇතුළු ෆින්ලන්ත භූමියෙන් 11% ක් සහ ආර්ථික සම්පත් වලින් 30% ක් සෝවියට් දේශයට පවරන ලදි. ෆින්ලන්ත ජනගහණයෙන් 12% ක් වූ, 422,000 ක කරේලියන් වැසියන්ව ඒ පළාතෙන් ඉවත් කර දමන ලදින් ඔවුනට උන්හිටි තැන් අහිමි විය.

තිරසාර විසඳුමක් නොමැති වූ හෙයින් ෆින්ලන්තය අනතුරුව සෝවියට් දේශයට ගිය භූමිය යළි ලබාගැනීමේ අරමුණින් හිට්ලර්ගේ ජර්මනිය හා මිත්‍රකම් ඇති කරගත්හ. ෆින්ලන්තයේ පැවති සාම කාලය ඉතාම කෙටි වූවකි. සෝවියට් රතු හමුදාව ෆින්ලන්තයේ දී මෙහෙය වූ අකාර්යක්ෂම සටන දැක පහසුවෙන් රුසියාව ආක්‍රමණයට හැකි යැයි සිතූ හිට්ලර් 1941 ජූනි 22 වැනිදා ‘ඔපරේෂන් බාබරෝසා’ දියත් කළේය. ෆින්ලන්තය ජර්මනියට එකතු විය. 1944 දක්වා ෆින්ලන්තය සෝවියට් දේශය සමඟ සටන් කළහ. ෆින්ලන්තය එය යුද්ධය දිගටම පවත්වාගෙන යෑම හැටියට සලකද්දී රුසියාව සෝවියට් ක්‍රමයට හැරවීමට යත්න දැරූ රටවල් සහ ජර්මනිය එකතුව තමනට පහර දීම හැඳින්වූයේ ‘මහා දේශප්‍රේමී යුද්ධය’ නමිනි.

පින්තූරය මොලටොව් කොක්ටේල් ගැන සඳහන් විකිපීඩියා පිටුවෙනි.