අරුණි ශපීරෝ‍ වෙතින්

විලියම් ශේක්ස්පියර් සහ වෙනිසියේ වෙළෙන්ඳා

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 20, 2014

ශේක්ස්පියර් උපන්නේ 1564 අප්‍රේල් 26 වැනිදා. වයස 52 දී මිය යද්දී ඔහු ඉංග්‍රීසි භාෂාවට දහස් ගණනක අලුත් වචන දායද කර තිබුණි. එපමණක් නොව ඔහු මිය ගිහින් වසර 400 කට පමණ පසු අද අපි දිනපතා පාහේ භාවිතා කරන පද වහර මහත් සංඛ්‍යාවක් ඔහුගේ නිර්මාණ වෙති.

1623 දී First Folio නමින් හැඳින්වෙන ශේක්ස්පියර් නාට්‍ය 36 කින් යුත් එකතුව ප්‍රකාශනය විය. ගද්‍ය හා නාට්‍ය රචකයෙක් වූ බෙන් ජොන්සන් එහි පෙර වදනේ මෙසේ ලියයි: “ඔහු යුගයකට සීමා නොවේ, සියළු කාලයන්ට ගැලපෙන්නෙකි.” ශේක්ස්පියර් මියගොස් වසර 400 ක් ගෙවී ගිය පසුවත් ඒ සඳහන සත්‍යයක් වේ යැයි බෙන් ජොන්සන් එය ලියද්දී සිතුවාදැයි සැකයි.

ශේක්ස්පියර්ගේ නාට්‍ය රසවිඳින්නට එලිසබෙතන් යුගයේ රජවාසල ගැන යාන්තමින් හෝ දැනුමක් අවශ්‍යයයි. ඉතා වියවුල් සමාජ වාතාවරණයක දී පළමුවැනි එලිසබෙත්ට ඔටුන්න හිමිවිය. ඇයගේ පියා වූ විවාහයන් හයක් තිබි අටවැනි හෙන්රි එලිසබෙත්ගේ මව වූ ඈන් බෝලින් හා විවාහ වන්නට රෝමානු කතෝලික පල්ලියෙන් ඉවත් වූයේය. අටවැනි හෙන්රිගේ පුතා සහ යුව රජු හයවැනි එඩ්වර්ඩ් ප්‍රොතෙස්තන්ත්‍ර ආගමේ දැඩි භක්තියෙක්ව සිට තරුණ වයසේ දී මිය ගියේය. හයවැනි එඩ්වර්ඩ්ගේ අඩ සොයුරිය වූ මේරි ඉතා කුරිරැ ලෙසින් කතෝලික ආගම යළි ස්ථාපිතයට වෙහෙස වූ කාලයයි.

ඔටුනු පැළඳි පළමුවැනි එලිසබෙත් ප්‍රොතෙස්තන්ත්‍ර වූවාය. ඇයට ආගමික සාමයක් රටපුරා ඇති කරන්නටත් තමා පාලනය බලයට සුදුසු යැයි හනිකට ජනතාවට ඔප්පු කරන්නටත් අවශ්‍ය විය. ඒ සඳහා ඇය තෝරාගත්තේ නාට්‍ය මාධ්‍යයයි. ඇයගේ ඔටුනු පැළඳීම සිද්ධ වූයේ ද වෙස්මිනිස්ටර් ඇබි හි “තියෙටර්” යන උසට හැදූ වේදිකාවක. 1591 දක්වා ලන්ඩනයේ සහ රජවාසලේ රැඟුම් දැක්වීමේ මොනොපොලිය තිබුනේ ‘රැජිනගේ පිරිමි’ නම් එලිසබෙත්ගේ නාට්‍ය කණ්ඩායමට. ශේක්ස්පියර් මුලින්ම නාට්‍ය ලියන්නේ මේ අයට රඟපාන්නට.

එහි ජනප්‍රියත්වයෙන් ග්ලෝබ් තියටර් වැනි නාට්‍ය ශාලා ලන්ඩනයේ බිහිවිය. අර්ධ මණ්ඩල රංගපීඨයන්ට 1500 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් එකතු වූහ. රදළ වංශවතුන් පැන්ස 5 ක් ගෙවා ඔවුන් සඳහා වූ සුවපහසු අසුන් ඇති විශේෂ කාමර වල ද, මහජනතාව පැන්සයක් ඇතුල්වන තැන පෙට්ටියකට දමා (‘බොක්ස් ඔෆිස්’ වහර එන්නේ එයින්) වේදිකාව අසල වළක සිටගෙන නාට්‍ය නැරඹූහ.

ශේක්ස්පියර්ගේ දක්ෂතාවය වූයේ ලතින් ප්‍රංශ වැනි භාෂාවන් දත් රදළ වංශවතුන්ට සේම සාමාන්‍ය වැසියාට ද රසවිඳිය හැකි සේ නාට්‍ය ලිවීමයි. අකමැති තැනක දී කුණු තක්කාලියක් හෝ කුණු බිත්තරයක් වේදිකාවට දමා ගැසීමට ද නාට්‍ය රසය දත් ඒ ජනතාව පසුබට නොවූහ.

1603 දී පළමුවැනි එලිසබෙත්ගේ අභාවයත් සමඟ ස්කොට්ලන්තයේ රජ වශයෙන් එවිට ඔටුනු පැළඳ සිටි ජේම්ස්ගේ අනුග්‍රාහය යටතේ ශේක්ස්පියර් නාට්‍ය ලියූ කොම්පැණිය ‘රජ්ජුරුවන්ගේ පිරිමි’ යැයි නම් විය.

එවක ද, ඔටුනු පැළඳි අයට පුරවැසියා ජීවත් වෙනවා ද නැත්නම් මරණයට පත් කරනවා ද යන්න තීරණය කිරීමේ අයිතිය තිබිණ. 🙂 බලයේ ඉන්නා අයගේ පැත්ත ගැනීමෙන් දිවි බේරා ගන්නට හැකියාව ඇති බව දත් අය එදත් එසේම කටයුතු කළහ.

කතෝලික ආගම යළි ස්ථාපිතයට උත්සාහ ගත් පූජකයන්ව 1549 දී ප්‍රතිසංස්කරණවාදීන් විසින් පල්ලිවල මුදුනේ එල්ලා මැරූහ. ඔවුන්ගේ අනුගාමිකයන්ගේ හිස් ගසා දැමූහ. පවතින පාලනයට විරුද්ධව කතාබහට කිසිවෙක් ඉදිරිපත් නොවෙද්දී ශේක්ස්පියර් සිය නාට්‍ය තුලින් රෝමයේ කතෝලික පල්ලියට රහසිගත පණිවුඩ සැපයූවා යැයි එක මතයකි.

ආගමික වියවුල් ගහණ සමාජයීය පසුබිමක නාට්‍ය ලියූ විලියම් ඒවායේ පොදු සමාජයට හැඟවුන පණිවිඩ අඩංගු කරමින් ආගමික සාමය උදෙසා විප්ලවීය වෙනසක් ගෙන එන්නට උත්සාහ කළා යන්න තවත් මතයකි.

ශේක්ස්පියර්ගෙ සුඛාන්ත නාට්‍ය වල නීතිය ප්‍රධාන තැනක් ගනියි.

වෙනිසියේ වෙළෙන්ඳා (The Merchant of Venice) හි ඇන්ටෝනියෝ නම් වෙළෙන්ඳා ‘සතුටින්’ ගිවිසුමක් (“merry” bond) ගසන්නේ ශයිලොක් සමඟයි. ෂයිලොක් නම යුදෙව් නමක් නොවේ. එය යුදෙව් වැනි නමකි!!! ශේක්ස්පියර් විසින් නාට්‍යයේ දී ශයිලොක්ව ගිනි පොලියට ණය සපයන යුදෙව්වක් හැටියට හඳුන්වයි.

ගිනි පොලිය නිශ්චිතව පැහැදිලි නොවුන ද එවක සමාජයේ ගිනි පොලියට ණය දීම නීතියෙන් තහනම් විය.

දැඩි ආගමික නීති පැවති නිසා ඒ සමාජයේ ණය දුන්නේ වැඩි වශයෙන් යුදෙව්වන්.

මෙය ආහාර පිණිස මස් නොමරන එහෙත් මස් ආහාර පිණිස ගැනීමේ වරදක් නොදැකීම සහ මාළු ගිලී මැරේ යැයි කියා බේරාගන්නට යෑම හා සමානයි.

ගිනි පොලි දෙන අය සමාජයේ ඉන්නේ ගිනි පොලියට ණය අරගන්න අය සිටින බැවිනි. තමන් කිසිම විටෙක මස් නොකන්නේ ද තමා වෙනුවෙන් සතෙක් මරණ අයෙක් ද ලොව නැත.

ශේක්ස්පියර්ගෙ නාට්‍යයේ ශයිලොක් යුදෙව්වා ක්‍රිස්තියානි විරෝධියෙක් වීම එවක සමාජයේ පුදුම සහගත නොවූවකි. එසේම ඇන්ටෝනියෝ ක්‍රිස්තියානි ආගමිකයෙක් ලෙසින් යුදෙව් විරෝධී වීම ද සාමාන්‍යයකි. එවක ලොව බහුතරය සෙමයිට් විරෝධීන් (anti-Semite) වූහ. සාමාන්‍යයක් ගැන ලිවීම ශේක්ස්පියර්ගේ අරමුණ විය නොහැකි නිසා මෙම නාට්‍යයේ දී අසාමාන්‍ය යනු කුමක්දැයි විමසන්නට සිද්ධ වේ.

මෙහි දී ඇන්ටෝනියෝ සහ ශයිලොක් ප්‍රධාන චරිත සේ සලකන අය නාට්‍යයේ බසානියෝ කොතරම් වැදගත් තැනක් ගන්නවා ද යන්න නොවිමසති. අත දිගහැර වියදම් කරන්නට සමත් බසානියෝ යනු ඇන්ටෝනියෝගේ ‘අඹ යාළුවා’ වන අතර ලස්සනම ධනවත්ම කෙල්ල වූ පෝර්ෂියා ලබාගන්නට ද සමත් වෙන්නායි. නැති යස ඉසුරු ඇති සේ දිවි ගෙවන බසානියෝ අතැති මුදල් පමණක් නොව ගන්නා ණය ද ලෝස් නැතිව වියදම් කරන්නෙකි.

ණයෙන් ගැලවෙන්නට තවත් ණය ගන්නා අයෙකි!!!!

ධනවතෙක් සේ හැසිරෙමින් ‘අඹ යාළුවා’ වූ ඇන්ටෝනියෝගේ ‘මස් රාත්තල’ අවදානමට ලක් කරන්නේ ඔහුයි!!!

පෝර්ෂියා ගැන බසානියෝ කතා කරද්දී ඇයගේ ගුණාංග හැටියට කියන්නේ ‘පැහැපත්’ බව, ධනවත් බවේ ‘අගය’ සහ ‘වටිනාකම’ යනාදියයි. එහෙත් බසානියෝ පෝර්ෂියාට අවංකව ආදරය කරන බව පෙන්වීමෙන් ශේක්ස්පියර් අපිව බසානියෝ ගැන නරකක් නොහිතන තැනකට ඇද දමයි.

බසානියෝ සිය මිතුරු ඇන්ටෝනියෝව ගෙන යන්නේ යුදෙව්වාගේ ගිවිසුම පරිදි ඇඟෙන් මස් රාත්තල අහිමියට නොවේ. අවසානයේ සිද්ධ වෙන්නේ ඇන්ටෝනියෝට සිය ආත්මය අහිමියයි.

ඇන්ටෝනියෝව මරන්නට අදිටන් කරන ශයිලොක්, මැරීම සහ මුදල් ආපසු ලබා ගැනීම අතර දෙකින් එකක් තෝරාගැනීමේ ගැටළුවක හිරවෙයි. එහෙත් නාට්‍යයේ දී බසානියෝට ඇන්ටෝනියෝගේ මස් රාත්තල ඇපයට තැබීම ගැන වැඩි සිත් තැවුලක් ඇතිවීම දකින්නට නැත. ශයිලොක් විසින් මුදල් හෝ පළිගැනීම අතරෙන් එකක් තෝරාගන්නට වෙහෙසෙද්දී බසානියෝ කල්පනා කරන්නේ තම සතුට සහ තම ආදරය දිනාගැනීම ගැන පමණි. බසානියෝ චරිතය සරල වූවකි.

ශයිලොක් චරිතය ද සරල වූවකි. නීතියෙන් අවසර දෙනවා නම් ද්වේෂ කරන හතුරාව මරා දැමීමේ වරදක් ඔහු නොදකියි. “වරදක් නොකරන මම විනිශ්චයක් ගැන බිය වන්නේ ඇයි,” යැයි ඔහු අසද්දී එය තනිකරම නීතිය ගැන වූ පැනයකි. මරණින් මතු දෙවියන් වෙතින් ලැබෙන විනිශ්චයක් ගැන නොවූවකි.

නීතිය හමුවේ ගැටළුව නිරාකරණයට පෝර්ෂියා නීතිඥයෙක් සේ වෙස්වළා ගනියි. ඇය තම මනාලයා වූ බසානියෝට පිරිනමන මංගල තෑග්ග වෙන්නේ ඇන්ටෝනියෝගේ ජීවිතය බේරා ගැනීමයි. බසානියෝ දෙන මුදල් තෝරාගන්නවා ද නැත්නම් ඇන්ටෝනියෝගේ මස් රාත්තල ගන්නවා ද අතර ශයිලොක් ගැටෙද්දී පෝර්ෂියාට අවශ්‍ය ශයිලොක්ට කරුණාව දැක්වීමට නොවේ. ඇයට අවශ්‍ය ශයිලොක්ට නීතියට අනුව දඬුවම් කිරීමටයි.

පෝර්ෂියාගේ චරිතයෙන් ශේක්ස්පියර් ප්‍රදානය කරන්නේ යුදෙව්වෙක්ව ක්‍රිස්තියානි ලෙසකින් කටයුතු කරවන උත්සාහයක් නොවේ. ක්‍රිස්තියානුවන් ලවා ක්‍රිස්තියානි ලෙසකින් අනුකම්පා සහිතව නීතිය අනුගමනය කරවීමයි. එය එවක සමාජයට යවන්නට හැදූ පණිවුඩය විය හැකියි.

ශේක්ස්පියර් සිය සුඛාන්ත නාට්‍ය වලින් කරන්නේ මිනිසුන්ගේ සතුට බිඳ දමන බාධකයක් ලෙස ඔවුන් විසින්ම හදාගන්නා නීතිය ඉදිරිපත් කිරීමයි. හොඳ යහපත් චරිත සේ පෙන්වන ඒවා විමර්ශනයේ දී ඔහු හිතුමතයේ පනවන ලද නීතියක් නිසා ඔවුන් අහිංසක වින්දිතයන් නොවූ බව පෙන්වයි. වියවුල් නීති හදාගන්නේත් ලිහාගන්නේත් ඔවුන්ම බව පෙන්වා අවුල ලිහා කතාව සුඛාන්තයකින් අවසන් කරයි.