අරුණි ශපීරෝ‍ වෙතින්

ආසියාවේ කොමියුනිස්ට්වාදය පැතිර ගිය ආකාරය

Posted in Uncategorized by arunishapiro on ජූලි 10, 2017

“අවිගත් හතුරු හමුදා මර්ධනයෙන් පසුව, අවි නොගත් අපේ හතුරන් තවමත් සිටිනු ඇත, ඔවුන් අපේ මරණය දක්වාම සටන් වදින්නට උත්සාහ කරනු ඇත. ඔවුන්ගේ ශක්තිය අපි කිසි විටෙක අවතක්සේරු කළ නොයුතුයි. නිශ්චිතවම මෙයාකාරයෙන් අපි සිතුවේ නැත්නම්, එවිට වැරදි අතරින් දැඩිම වූ වැරැද්ද අප කරනු ලබයි.” -1949 වසරේ මාර්තු මස පැවැත්වුණ චීන කොමියුනිස්ට් පක්ෂයේ හත්වැනි කොංග්‍රස් සභාවේ මධ්‍යම කාරක කමිටුව අමතමින් මා ඕ සේතුං එසේ කියන ලදි.

ස්ටාලින්ගේ ඡායාරූප බෙයිජිං නගරයේ 1980 ගණන් මුල දක්වාම දිස් වූවත් ස්ටාලින් මෙන් පක්ෂය ඇතුලත මරණීය ශුද්ධ කිරීම් චීනයේ සිද්ධ වූයේ ඉතා කලාතුරකිනි. එසේම චෙකා මෙන් නොව එහි රහස් පොලීසිය ද ඉතා රහසිගතව කටයුතු කළහ. කොමියුනිස්ට් කටයුතු නිසා චීනයේ ඍජුවම මිය ගිය සංඛ්‍යාව මිලියන 6-10 ත් අතර සංඛ්‍යාවකි. එයට ටිබෙට් හි ලක්ෂ ගණනක මරණ ද ඇතුලත්ය.

මිලියන 20 ගණනක් දේශපාලන සිරකඳවුරු තුල දී මිය ගියහ. චීන දේශපාලන සිර කඳවුරු ගැන ලොවට සවිස්තරව හෙළි කරන ලද්දේ ශෝන් පැස්කුවාලිනි (Jean Pasqualini) නැමැත්තායි. මේ සටහන පාදක කරගන්නේ කොමියුනිස්ට්වාදයේ කළු පොතේ ශෝන්-ලුවි මාගොලින් ලියන ලද “චීනය: රාත්‍රිය දක්වා ගිය දීර්ඝ පාගමන” යන පරිච්ඡේදයයි.

තවත් මිලියන 20-43 ක මිනිස් ජීවිත අහිමි වී ගියේ ‘ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්ම” නම් වූ පස් අවුරුදු සැලැස්මක මුල් වසර 3 (1959-1961) ඇතුලත දී ය. සැලැස්ම හැදුවේ මා ඕ සේතුං විසිනි. ඒ අහිමි වූ ජීවිත සියල්ලම ඔහුගේ විනාශකාරී සැලැස්මේ විපාකයයි.

1989 ජූනි මාසයේ ටියැනමන් චතුරශ්‍රයේ සිද්ධ වූ ඝාතනයේ මිය යන ලද සංඛ්‍යාව දාහක් පමණ වෙද්දී ඩෙන්ග් ක්ෂියාඕපිං පුදුමයට පත් වූව ද, තවමත් ඊට වඩා මහත් විශාල සංඛ්‍යාවකින් අහිමි වූ මිනිස් ජීවිත ගැන බහුතර ලෝකය නොදනිති.

උතුරු කොරියාව සහ වියට්නාමයෙන් රැකෙන ලාඕස් ද යම් තරමකට හැරෙන්නට, ආසියාවේ රටවල් අතර කොමියුනිස්ට්වාදය පැතිර ගියේ ඒ ඒ රටවල පැවති ස්වාධීන දේශපාලන පද්ධති ගොඩනැඟූ දැඩි දේශීයත්ව ව්‍යාපාර තුලිනි. චීනය, වියට්නාමය, ලාඕස්, සහ කාම්බෝජය යන රටවල් තුල එදා වූ කොමියුනිස්ට් පක්ෂයන් සියල්ලම (මාක්ස්-ලෙනින් අයිඩියලොජිය බැහැර කරන ලද වුවත්) තවමත් පාලන බලයේ සිටිති. කාම්බෝජයේ පොල් පොට් භීෂණ යුගය මෙන්ම චීනයේ සංස්කෘතික විප්ලවය ද හෙළා දකින්නට ඒ රටවල ජනතාවට අද ඉඩ ලැබී තිබුණ ද, ඒ කොමියුනිස්ට් පක්ෂ දෙන අනුමැතිය අනුව පමණි.

ආසියාවේ කොමියුනිස්ට් වෑයම් සියල්ල චීනයෙන් පෝෂණය ලැබූ ඒවා වූහ. කිම් ඉල් සුන් විසින් මා ඕ සේතුංගේ අදහස් ප්‍රකාශ කරන ලදි. බෙයිජිං ගිය වියට්නාම් නායකයා වූ Hoang Van Hoan ගේ මතක සටහන් පෙන්වන්නේ වියෙට් මින් හමුදා සහ පාලකයන්ව බෙයිජිං වල දී පුහුණු කරන ලද අන්දමයි. 1965 සිට 1970 දක්වා කාලය තුල දී දකුණු වියට්නාමය සමඟ සටන් වදින්නට බෙයිජිං වලින් සොල්දාදුවන් තිස්දහසක් උතුරු වියට්නාමයට සපයා ඇත. 1964 චී Dien Bien Phu සටන ජයගත් ජනරාල් Vo Nguyen Giap චීනයෙන් ලැබුණ සහායට ස්තූතිය පළ කර ඇත. කේමර් රූශ් යටතේ වූ කාම්බෝජය 1975-79 කාලයේ දී බෙයිජිං වෙතින් දැඩි සහායක් ලබා ඇත.

ජීවතුන් අතර සිටිය දී මා ඕ සේතුං කොතරම් බලවත් වූවාදැයි කිවහොත් ඔහුව බොහෝ විට හැඳින්වෙන ලද්දේ රතු එම්ප්‍රදෝරුවා කියායි. කිසිවෙකුට සිතාගත නොහැකි වෙනස්වන සුළු චරිතයකින් යුතු වූ ඔහු දැඩි මමත්වයකින් යුතු වූවෙකි.

රුසියන් කොමියුනිස්ට් විප්ලවය නගරයෙන් පටන් ගෙන ගම්මාන වලට පැතිර යන ලද්දකි. චීන කොමියුනිස්ට් විප්ලවය ගම්මාන වලින් ඇරඹී නගර වලට පැමිණෙන ලද්දකි. විප්ලවකරුවන් ගම්බද ජනතාව කොටස් හතරකට බෙදූහ: දුප්පත්, තරමකට දුප්පත්, සාමාන්‍ය සහ ධනවත්. අනෙක් සියළු දෙනාම ඉඩම් හිමියන් හෙවත් සමාජයේ හතුරන් වූහ. මේ වර්ගීකරණය පැහැදිලි නොවූ නිසා ධනවත් අයව බොහෝ විට ඉඩම් හිමියන් යන කොටසට දමා පළිගැනීම් වලට භාජනය කරන්නට හැකියාව ලැබිණ. චීනයේ ද ‘කුලාක්’ හැටියට හඳුන්වා ශ්‍රම කඳවුරු වලින් ප්‍රතිසංස්කරණය කරන laogai ක්‍රමය යටතේ ජීවත් වන්නට මිලියන 4-6 ක් අතර ජනතාවක් යවා ඇත.

දුෂ්කර පළාත්වල ශ්‍රම සාමූහික (danwei) වලට උගතුන් පිටමං කරන ලද්දේ ඔවුන්ට ‘යළි ඉගැන්වීම’ සඳහායි. වැඩිකල් යන්නට පෙර රටේ වෛද්‍යවරු හිඟයක් පැතිර යන ලදි. උගත් වෛද්‍යවරු ශ්‍රම කඳවුරු ඇතුලේ වගා කරන්නට යැවූ චීන කොමියුනිස්ට් පක්ෂය ‘හොර වෙද්දු’ රටේ රෝගීන්ට බෙහෙත් කරන්නට පත් කරන ලදි. සංස්කෘතික හෙජමනිය අල්ලාගන්නා උගතුන්ට නීතිය වෙනස් කරන බලය ලැබෙද්දී එවැනි විකෘති වූ සමාජයක් බිහිවීම පුදුමයක් නොවේ.

සමෘද්ධිමත් ජීවිත සියල්ලන්ටම පොරොන්දුවෙන සමාජවාදය/කොමියුනිස්ට් මෙහෙයුම් සෑම වෑයමක දී ම මුළු මහත් ජනතාවක් දුගී දුප්පත් බවට ගෙන යයි. ආසියාවේ සියළු සමාජවාදී/කොමියුනිස්ට් වෑයම් තුලින් ලැබුණ ප්‍රතිඵලය ද එයම විය.