අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝකයේ ආශ්චර්යයමත් බවක් ඇතැයි කියා ඔබ දකිනවා ද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 26, 2021

හිතා බැලීමට කාලයක් මිඩංගු කළ නිසා මිනිස් සත්වයා තමන් ඉදිරියේ පැවති මූලික අභියෝග ජයගත්හ. යමක් කරන්නට පෙර ඒ ගැන හිතා බලන්නට තත්පර කිහිපයක් හෝ වැය කිරීම අතපසු කරන අය අද අපිට නිතර දකින්නට ලැබෙති. ඒත් ඔවුන්ගේ ජීවිත පවා ආරක්ෂා කරන්නට වර්තමානයේ දී ද හිතා බලන්නට කාලයක් මිඩංගු කරන අය නිසා හැකියාව පෑදී ඇත.

මිනිසා යන අපූරු සත්වයා මුලින්ම කල්පනා කරන්නට පටන් ගත්තේ තමන් ඉදිරියේ පවතින අභියෝග ජයගන්නටයි. ජීවිතය රැකගන්නට හැකියාව ලැබෙද්දී මිනිසා ඉර හඳ හා තරු ගැන කල්පනා කරන්නට විය.

නීතියක් පැනවීමෙන් සියල්ලන්ගේම යහපත උදෙසා කටයුතු කළ හැකි යැයි විශ්වාස කරන අය අද බොහෝ වෙති. එහෙත් ඒ ගැන ඔබ කොතරම් දුරට කල්පනා කර තිබෙනවා ද? ඒ ගැන හිතාබලන්නට ඔබට ඇත්තේ කුමන පසුබිමක් ද?

ලෝකයේ ආශ්චර්මයයමත් බව, ඒ ගැන ඇති කුතුහලය නිසා දර්ශනය බිහිවිය. ස්වභාවික නීතිය ද දර්ශනය තරම්ම පැරණි වූවකි. පෙරදිග දර්ශනය තුළ ස්වභාවික නීතිය දකින්නට ලැබෙනවා ද යන්න විසංවාදයට ලක් වූවකි. මින්ග් සම්ප්‍රදායයේ කොන්ෆියුසියානුවාදී දාර්ශනිකයෙක් වූ වැන්ග් යැන්ග්මින්ග් (Wang Yangming 1472-1529) ස්වභාවික නීති න්‍යායයක් ඉදිරිපත් කළ අයෙක් හැටියට සැලකේ.

නීතියක් ස්ථාපිතය, එනම් නීති සම්පාදනය කිරීම හිතාමතා කරන්නකි. මිනිසාගේ සියළු නවෝත්පාදන අතර මහත්ම ව්‍යසනයක් ගෙනෙන (ගින්නට සහ වෙඩි බෙහෙත් වලටත් වැඩියෙන්) සොයා ගැනීම නීති සම්පාදනයයි.

ඒ අර්ථයෙන් ගනිද්දී නීතිය (law) යන්න කිසිවෙක් විසින් “සෙයාගනු ලැබූවක්” නොවේ.

නීති සම්පාදනය (legislation) යන්න මිනිසාගේ මෙතෙක් ඉතිහාසය ගත්විට එහි මෑතක දී දකින්නට ලැබෙන්නක් යැයි කිව හැකියි.

එයින් යම් හොඳ තත්වයක් සාක්ෂාත් කරගන්නට අවශ්‍ය වූ මහා බලයක් සපයන උපකරණයක් මිනිසුන් අතට පත්විය. එහෙත් තිබුණාටත් වැඩි දුෂ්ටත්වයකට නොහැරෙන ලෙසින් එය පාලනය කරගන්නට මිනිසා තවමත් නොදනියි.

නීති සම්පාදනය යන බලය නිසා මිනිසාට අලුත්ම අවස්ථා පෑදිණ. මේ නීති සම්පාදන බලය කා අත තිබිය යුතු ද? වැඩියෙන් අවධානය එයට යොමු වූ නිසා නීති සම්පාදනයේ බලය කොතරම් පුළුල් ලෙසකින් යොදා ගත යුතුද යන්නට වැඩි අවධානයක් යොමු වූයේ නැත.

නරක මිනිස්සු අතට ඒ බලය පැවරුනොත් පමණක් එයින් හානියක් වේ යැයි කියා අප විශ්වාස කරනවා නම් එවිට එය අතිශය අනතුරුදායක බලයක් කියා අපි හඳුනාගන්නේ නැත.

සමාජයක බලාත්මක කරන මේ මේ විදියට කටයුතු කළ යුතුයි කියා දක්වන රීති යන අර්ථයෙන් සැලකෙන නීති සමාජය තරම්ම පැරණි කාලයක දී පටන් ගැනුණ ලද ඒවා වෙති. සමාජයක ඒකීය පුද්ගලයන්ට සාමකාමීව වාසය කරන්නට ඉඩකඩක් පෑදෙන්නේ මේ පොදු රීති අනුව කටයුතු කිරීමෙන් පමණකි.

සියල්ලන්ටම බලපාන පරිද්දෙන් නියෝග නිකුත් කරන්නට හැකි තරමකට භාෂාව දියුණු වන්නට පෙර පටන්ම ඒකීය පුද්ගලයෙකුව යම් කල්ලියක සාමාජිකයෙක් ලෙසින් එකතු කර ගත්තේ ඒ කල්ලියේ රීති වලට අනුකූලව ඔහු කටයුතු කරනවා නම් පමණි. එවැනි රීති අද වුවත් හරියට වචන වලින් කියන්නට නොහැකියි. කණ්ඩායමකට එකතු වෙන අලුත් පුද්ගලයා එයට අනුකූලව ක්‍රියා කරන්න නොදන්නේ නම් කණ්ඩායම හිමිහිට ඒ පුද්ගලයා වෙතින් ඈත් වෙති. නැත්නම් මඟ හරිති. එසේ සිද්ධ වෙන්නේ බලාත්මක බවක් නොමැති කැමැත්ත අනුව එකතුවෙන්නට හැකි කණ්ඩායම් තුළ පමණක් බව කිව යුතු නැතැයි සිතමි.

රීති (rules) සහ නීති (laws) මිනිස් කැමැත්තෙන් ස්වාධීනව පවතින්නක් හැටියට ඒ ගැන හැදැරීම පටන් ගැනෙද්දී සලකන ලදි. අභූත බලයක් විසින් නීති හැදුවා යන්න, නැත්නම් දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ලද සදාකාලීන සත්‍යයන් හැටියට ඒවා සැලකෙන ලද කාලයේ ඒවා මිනිසාට වෙනස් කරත නොහැකි ඒවා යැයි ද සැලකිණ.

සියළු නීති මිනිස් ක්‍රියාවන් පාලනය කරන්නට නීති සම්පාදනය තුළින් ගෙනෙන ලදැයි කියා අනෙක් අතට නූතන මිනිසා විශ්වාස කරයි.

ඒත් නීතිය යනු නීති සම්පාදනයට වඩා බෙහෙවින් පුරාතන වූවකි. මිනිසාට නීතිය වෙනස් කරන්න අවශ්‍ය යැයි සිතෙන්නට පෙර ලෝකයේ නීතිය පැවතිණ.

නීතිය වෙනස් කරන්න හැකියාව මිනිසාට ඇතැයි කියන විශ්වාසය දකින්නට ලැබෙන්නේ සම්භව්‍ය ග්‍රීසියේ දී ය. එ්ත් ග්‍රීසියේ ද එය ඵල දැරුවේ නැත. යළිත් එය දකින්නට ලැබෙන්නේ මධ්‍යතන යුගයේ හිමිහිට කළඑළි බැස වැඩි වැඩියෙන් පිළිගැනීමකට පාත්‍ර වෙද්දී ය.

සියළු නීති යනු නීති සම්පාදකයාගේ නිදහස් කැමැත්ත අනුව සිද්ධ වූ නවෝත්පාදනයක් ලෙසින් අද ඇති පිළිගැනීම ඒ නිසා පරිසිද්ධිමය ලෙසින් වැරදි වූවකි.

සෑම ශිෂ්ටාචාරයකම මුල් කාලීන සිරිත් විරිත් සහ නීති යනු දෙවියන් නැත්නම් ආගම් විසින් තීන්දු කරන ලද ඒවා හැටියට සැලකුණි. ජනතාව ජීවත් වූයේ දෙවියන් අතින් හැඩ ගැසුණු සමාජ පිළිවෙලක් අනුව යැයි විශ්වාස කෙරිණ. සියළු නීති හැඩගැසෙන්නේ දේවත්වයේ අනුහසින් යන්න පුරාතන ග්‍රීසියේ ද පැවති විශ්වාසයයි. ජර්මානු ම්ලේච්ඡ යුගයන්හි විසූ ජන කණ්ඩායම් ද නීතිය යම් පූජනීය වූ ආකාරයකින් සැලකූහ. වර්තමාන ලෝකයේ නීතිය හැඩගසන්නට පුරෝගාමී වූ රෝමානුවන් අතර පවා එවැනිම වූ ආකල්පයක් පැවති බව දකින්නට හැකියි. රෝමයේ ද මුලින්ම පැවති නීති දිව්‍යමය අනුහසින් ගෙනෙන ලද නීති යැයි සැලකිණ. නිවැරදි වූව, දිව්‍යමය නීතිය, දිව්‍යමය වදන්, නැත්නම් “ධර්මය” යැයි හඳුන්වන්න අර්ථවත් වෙන පූජනීය නීති (fas) සහ ලෞකික නීති (ius) යැයි ද්විත්වයක් පසුකාලීන රෝම යුගයේ දී දකින්නට ලැබේ. අනතුරුව පූජකයන්ගේ (පැවිද්දන්ගේ) රහස් නීති වලින් විමුක්තිය ලබමින් රෝම නීතිමය විචාරාත්මක බුද්ධියක් ඇති විය. එය හටගත්තේ ලෝකයේ ආශ්චර්යයමත් බවක් ඇතැයි දකින ලද අය ඒ ගැන දිගින් දිගට හිතාබලන්නට වෑයමක් ගත් නිසයි.

නීතිය ගැන දාර්ශනික ප්‍රවේශයක්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 18, 2021

කිසිත් ලෙසකින් නිදහස් නොවන, මහජන බදු වලින් විෂම ලෙසින් බෙදන, දරුවන්ට පීඩනය අතිශයෙන් ද, ජීවිතය ජයගන්නට අවශ්‍ය දැනුම ඇබිත්තකින් ද, සපයන ලංකාවේ පාසැල් විෂය මාලාවට නීතිය නමින් විෂයයක් එකතුවෙන්නට යන හැඩයි.

ඇඩම් ස්මිත්, ෆෙඩරික් බැස්ටියාට්, ලුඩ්විග් වොන් මීසස්, ෆ්‍රීඩ්රික් ඒ. හයෙක් නැති දේශපාලන විද්‍යාව සහ අර්ථ ශාස්ත්‍රය යන විෂයයන් සේ ම, අලුතින්ම එකතුවෙන මේ නීතිය යන විෂය ද අතිමහත් අඩුපාඩු රැසකින් පිළිගැන්වෙන බව නිසැකයි.

ස්වභාවික නීතිය ගැන සිංහලෙන් ලියන්නට මා අදිටන් කරගෙන සිටියෙමි. මෙහි දී මට එයටත් අවකාශය ලැබෙනු ඇත.

ඉතින්, ඔව්! සැලකිය යුතු තවත් පැතිකඩ ගණනාවක් ඇති බව ඔබට හෙළිකරන්නට නිතර ඉදිරිපත්වෙන මම, මෙහි දී ද මගේ වගකීම ඉටුකරන්නෙමි.

නීතිය යන පාසැල් විෂයය සමත් වන්නට මෙම සටහන්වලින් කිසිම අත්වැලක් නොලැබෙන බව මුලින්ම කියමි. එහෙත් නීතිය ගැන ඔබට අලුත් විදියකින් හිතන්නට හැකි දැනුම නම් ඔබට ලැබෙන බව සහතිකයි.

මිනිසා යනු අරමුණක් ඉටු කරගන්නට ක්‍රියාකරන්නෙකි. ඒ සඳහා රීතියක් අනුගමනය කරන සත්වයෙකි. අනිකුත් සත්වයන් සහජ ආශයෙන් කටයුතු කරද්දී, මිනිසා තම වටපිටාවෙ අනිකුත් අයගේ වෑයම් දිහා බලමින් සාර්ථක/අසාර්ථක අතර වෙනස හඳුනාගන්නට සමත් වෙයි. යම් රීති අනුගමනය කරන අය සාර්ථක වෙති. යම් රීති අනුගමනය නොකරන අය අසාර්ථක වෙති. මේවා සැලකිල්ලට ගැනීම ඔහු උවමනාවකින් ඉටු කරනවා නොවේ. ඒ රීති ඇත්තේ ඇයි කියාවත් ඔහු නොදනියි. ඔහු ජීවත්වන සමාජයේ යම් තෝරාගැනීම් හරහා සිදුවූ ක්‍රියාවලියකින් පැවත එන සමාජය පාලනය වෙන රීති අනුව එහි ජීවත්වන මිනිසාගේ චින්තනය සහ ක්‍රියා සිද්ධ වෙති.

නීතියක් අනුගමනය කරනවා යැයි කියා නොදන්නා මිනිසා ද නීතියක් අනුගමනය කරන්නෙකි.

නීතිය කුමක්දැයි කියා හෝ නීතිය ගෙනාවේ කවුරුන්දැයි කියා හෝ එය කුමන හේතුවක් නිසා පැනවී ඇත්දැයි කියා නොදන්නා මිනිසා නීතියක් අනුගමනය කරන්නෙකි.

ඕනෑම සමාජයක වාසය කරන බහුතරය කටයුතු කරන්නේ එසේය. පරම්පරා ගණනාවක් විසින් කටයුතු කරගෙන එන ලද ආකාරයෙන් හැඩ ගැසී සෙසු පුරවැසියන් කටයුතු කරන ආකාරයෙන්ම කටයුතු කරන්නට සාමාන්‍යයෙන් සමාජයක පුරවැසියෙක් හැඩ ගැසේ.

එෆ්. ඒ. හයෙක් මෙය ඉතාමත් සරලව පෙන්වා දුන්නෙකි. සමස්ත ශිෂ්ටාචාරයම රඳා පවතින්නේ එකම එක කාරණයක් මත; එනම් අපිට නැති දැනුම තුළින් අපි සියල්ලන්ම වාසි ලැබීම යන පදනම නිසයි.

දැනුම නැතිකමේ සීමිත බවෙන් ගොඩ යන්නට ශිෂ්ටාචාරය අපිට සහාය දෙන්නේ කොහොම ද? ඒකීය පුද්ගලයා තුළ ඇති දැනුම ප්‍රමාණය තරමින් නොදන්නාකම ජයගැනීමෙනි. මම සියල්ල දන්නේ නැත. නමුත් මම නිවැරදි ලෙසින්ම දන්නා අල්පයක් ඇත. මම නිවැරදි ලෙසින්ම දන්නා ඒ අල්පයෙන් මගේ ජීවිතය ජයගනිමි.

දැනුම ලබාගැනීම නොමනා යැයි කියනවා කියා මෙහි දී වරදවා වටහා ගන්න එපා. නමුත් පුද්ගලයෙකුගේ ජීවිතයක් සීමාසහිත වූවකි. කාලය නිතරම අපිට වහාම තෝරාගත යුත්ත සහ පසුවට කල්දැමිය යුත්ත මතක් කරයි. ජීවිතයට අවශ්‍ය නොදන්නා දේ ජයගැනීම මිසෙක හුදෙක් විවිධ විෂම දැනුම එකතු කරන්න පමණක් කාලය යොදවන්නේ නම්, එහි දී එක මිනිස් ජීවිත කාලයක් සෑහෙන්නේ නැත. ඉතින්, ඒ නිසා, මම ලබාගැනීමට අදිටන් කරන දැනුමෙන් මගේ ජීවිතයට ඵලදායී බවක් ලබාගන්න නම්, අරමුණු කරගත් යම් ඉලක්කයක් කරා යන්නට නම්, එහි දී මට මා එකතු කරගන්නා දැනුම සඳහා සීමාවක් නියම කරගන්නට සිද්ධ වේ.

මෙහි දී දැනුම සඳහා සීමාවක් කියද්දී, එයින් අදහස් කරන්නේ විද්‍යාවේ ප්‍රගතිය තුළින් ජයගන්නට හැකි වූ සීමාවක් නොවේ. ඒ ඒ මිනිසා තුළ ඒ ඒ දැනුම විසිර පැවතීමත්, සහ මිනිසාගේ ජීවිත කාලයට සීමාවක් ඇති නිසාම එක් පුද්ගලයෙකුට එක්කාසු කරත හැකි දැනුම සීමිතය යන සත්‍යය ඉන් අදහස් වෙයි.

රටේ නීතිය දැන සිටීමේ වරදක් නැත. ඒත් නීතිය ගැන නීතීඥයෙක් තරමට අවබෝධයක් ලබාගැනීමට කාලයක් වෙනත් වෘත්තියක යෙදෙන්නෙකුට කළ නොහැකියි. සීමාව, නීතිය යනු කුමක්දැයි කියා අවබෝධ කරගැනීමයි. උසාවියක් ඉදිරියේ පෙනී සිටින්නට තමන්ට සිද්ධ වුවහොත් ලෝකයේ අනෙකුත් බුද්ධිමතුන් සියල්ලන්ම කරන සේ, දක්ෂ නීතීඥයෙක්ගේ සේවය මිල දී ගන්න අවශ්‍යයයි.

විද්‍යාත්මකව බෙදා හැරීම කළොත් නීතිය ගැන දැනුමක් සියළු පුරවැසියන්ට ලබාදිය හැකි යැයි සිතන අයත් සිටිති. සියල්ලන්ටම සරිලන්නට සැලසුම් හදත හැකියාව විද්‍යාව තුළින් ලැබෙනවා යැයි සිතන අය ඊට අත පොවති.

විද්‍යාව තුළ විශේෂ පරිසිද්ධි ගැන දැනුමක් අඩංගු නැත. 2020 වසර ඒ ගැන ලොවට මනාවට පැහැදිලි කරන ලදි. ඉතාමත් සංකීර්ණ ප්‍රපංචයන් හමුවේ, යම් විශේෂ සිද්ධියක් ගැන අනාවැකියක් කියන බලය ලැබෙන්නේ අපිට සියළු සුවිශේෂ පරිසිද්ධීන් තහවුරු කරගන්නට හැකියාව ඇත්නම් පමණි. එය ප්‍රායෝගිකව කිසිසේත්ම කළ නොහැකි නිසා විද්‍යාවේ බලයත් සීමිත වූවකි. විවිධ අනාවැකි කියන්නට ගිය අයට අලුත් දත්ත ලැබෙද්දී අනාවැකි වෙනස් කරන්නට සිද්ධ වූයේ ඒ නිසයි. විද්‍යාඥයා, වෛද්‍යවරයා, සෞඛ්‍ය සේවකයා වශයෙන් වෘත්තීන් තුනක් සැලකුව ද, දැනුම ඒ ඒ විද්‍යාඥයන් අතර මෙන්ම ඒ ඒ වෛද්‍යවරයන් සහ ඒ ඒ සෞඛ්‍ය සේවකයන් අතර ද විසිර පවතින්නකි. ඉතින් ඒ සියල්ලම එකවර සලකා බලන්නට හැකි මහා මොළයක් කිසිවෙකුට නැත.

වෘත්තීන් තුනක් සලකද්දී එසේ නම්, සමාජයක ආදායම් උපයන්නට වෙහෙසෙන සියල්ලන් ගැන සලකා බලන්න. ඒ දැනුම මිලියන ගණනාවක් අතර විසිර පවතින්නකි. ඒ සියල්ලන්ටම එක හා සරිලන ලෙසින් සලකා බලන්නට හැකි මහා මොළයක් කිසිවෙකුට නැත.

ඕනෑම සංස්කෘතියක හැදෙන වැඩෙන මිනිස් සත්වයා, සංස්කෘතිය තුළින් උරුම වූ යම් රීති අනුව තමන් ක්‍රියා කරන බව වහාම සොයා ගනියි. විවිධ රීති වලට අනුකූලව සහ පටහැනිව කටයුතු කරන අයව හඳුනාගන්නට ද මිනිස් සත්වයා සමත් වෙයි. වදන් වලින් ඒ රීති ගැන ප්‍රශ්න හෝ සංවාද කරන්නට පෙර, ඒ ගැන විශේෂ ඕනෑකමකින්ම සොයා බලන්නට පෙර, නීතිය කියා දැයක් සමාජයේ ඇති බව මිනිස් සත්වයා වටහා ගනියි. එයට අනුකූලව බොහෝ විට කටයුතු කරයි.

ඒ නීතිය නොදත් මිනිසා නීතියට ගෞරව කරන ආකාරයයි.

ඒත් අනුන් සඳහා නීති ගෙනෙන අය නීතියට ගෞරව කරන්නේ කෙසේද?!

ආර්මන්ඩ් ද සූසා (Armand de Souza) රචිත කෘතියේ ජී. එස්. බී. සේනානායක විසින් කරන ලද “1915 යුද්ධ නීතිය යටතේ ලංකාවේ දවස් සියයක්” නම් වූ අනුවාදය ආරම්භයේ දී මෙවැනි උපුටා දැක්වීමක් ඇත. එය මුද්‍රණය කර ඇති ආකාරයෙන්ම මා මෙහි ලියමි:

“ඉතින්, රාජපාක්ෂික භාවය අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? අධිකාරී බලයට ගෞරව කිරීම එය අපෙන් බලාපොත්තු වෙයි; සියල්ලට ම වඩා බ්‍රිතන්‍ය පාලනයේ මූලධර්මවලට පක්ෂපාතිත්වය දැක්විය යුතුය, මේ මූලධර්ම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින අය විසින් පවා ඒවා බිඳ දැමුවත් අප ඒවාට අවනත විය යුතුය.”

බ්‍රිතාන්‍යයන් වෙතින් පාලනය බාරගත් සිංහල පාලකයන් අද කටයුතු කරන්නේ මෙහි පැමිණිලි කළ සුද්දාට වඩා වෙනස් විදියකට නොවේ යැයි කියා මෙය ලියන ලද්දා පිළිගනු ඇත්ද?