අරුණි ශපීරෝ‍ වෙතින්

බොලො යැයි නිග්‍රහ කාඩ් වැදිච්ච බොල්ෂෙවික්වාදීන්

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2020

ට්සාර්වාදී රෙජිමයේ දී මැක්සිම් ගොර්කිව කිහිප වතාවක්ම අත් අඩංගුවට ගෙන තිබුණි. 1902 දී සාහිත්‍ය ගෞරවයක් හිමි වෙද්දී එය දෙවැනි ට්සාර් නිකලස් විසින් අහෝසි කළේය. ඇන්ටන් චෙකොව්, ව්ලැඩිමියර් කොරොලෙන්කෝ සමඟ ට්සාර්ගේ ක්‍රියාව ගැන විරෝධය දැක්වීමට ඇකඩමියෙන් ඉවත් වෙන්නට හැකියාවක් දෙවැනි ට්සාර් නිකලස් යටතේ ගොර්කිට තිබුණි.

රුසියන් විප්ලවයේ මුල් අවධියක, 1905 දී, ට්සාර්වාදී රෙජිමය ගොර්කිව කෙටි කාලයකට සිරගෙදරට දමනු ලැබීය. ඒත්, එහි දී “හිරුගේ දරුවන්,” නමින් නාට්‍යයක් ලියන හැකියාවක් ගොර්කිට තිබුණි.

1825 සිට 1917 දක්වා ට්සාර්වාදය පැවතිය දී දේශපාලන වෙඩි තබා මරා දැමීම් 6,321 කි. එයින් වැඩි ප්‍රමාණය 1905-1907 විප්ලවය කාලයේ සිද්ධ වූහ. 1918 හේමන්තයේ නිල වශයෙන් “රතු භීෂණය” පැවති මාස 2 ක කාලයක් තුළ පමණක්, බොල්ෂෙවික් නායකයන් යටතේ දේශපාලන වෙඩි තබා මරා දැමීම් 15,000 ක් සිද්ධ විය.

ඒත් තවමත් ට්සාර් කළ අපරාධ ඉස්මතු කර, සෝවියට් අපරාධ ගැන මුනිවත රැකීම දිගින් දිගටම සිද්ධ වේ.

බඩට දාන කෑම ප්‍රමාණය අනුව පුරවැසියන් වර්ගීකරණය කිරීමට පුළුවන්ද?

බර වැඩ කරන අය යනු බඩට වැඩියෙන් කෑම දාගත යුතු වර්ගීකරණය වෙද්දී මොළයෙන් වැඩ කරන අය අඩුවෙන් බඩට කෑම දාන්න ඕන වර්ගීකරණය විය. 1919-20 හේමන්තයේ දී පෙට්‍රොග්‍රෑඩ් නගරයේ ආහාර සලාක පත්‍ර වර්ගීකරණ 33 ක් විය. ඒවා මාසයක කාලයකට පමණක් වලංගු වූ අතර ඒ මාසය තුල දී ගන්නට ආහාරයක් කඩ රාක්කයේ නොතිබුණේ නම් එය තමන්ගේ අවාසනාවයි.

1920 පෙබරවාරි 1 වැනිදා ට්‍රොට්ස්කි වෙත ලියුමක් යවන ලෙනින් මෙසේ ලියයි: “ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැඩ නොකරන සියල්ලන්ගේම පාන් සලාක අඩු කළ යුතුයි, දැන් එය දැඩි වැදගත්කමකින් යුතු ක්ෂේත්‍රයක් නිසා. එසේම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන ජනතාව සඳහා එය වැඩි කළ යුතුයි.” “දහස් ගණනක් එහි ප්‍රතිඵලයක් හැටියට මිය ගියොත්, එය එසේ සිද්ධ විය යුතුයි, මන්ද රට බේරාගත යුතු නිසා.”

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ලියූ “වානේ පන්නරය ලැබූ හැටි” වෙතට මහත් අවධානයක් ලබාදෙන්නට බොල්ෂෙවික් ආණ්ඩුව කටයුතු කළේ මන්දැයි කියා සිතන්නට හැකි මොළය පාවිච්චි කරන්නාට මෙහි දී මනාව පැහැදිලි වෙනු ඇත.

උස හා මිටි අනුව රැකියාවට බඳවාගැනීම ගැන අදහස් ඉදිරිපත් කළ දේශපාලනඥයන් සිටින වර්තමාන ලෝකයේ, පුද්ගලයෙක් අනුභව කළ යුතු ප්‍රමාණය රජය විසින් තීන්දු කළ හැකි යැයි සිතන අය අද නැතැයි කියා රැවටෙන්න එපා.

වල් පැළෑටි සහ කුඩු කරගත් ඇටකටු මිශ්‍රණ, ගස්වල පොතු සහ මැටි පමණක් නොව වහළ සෙවිලි කල පිදුරු පවා බුදින්නට රුසියානුවන්ට සිද්ධ විය.

1919 වසරේ සිට හාමතයෙන් මිය යන ජනතාවක් හමුවේ රජයක් කළේ කුමක්ද? චෙකා රහස් පොලීසිය කළේ හාමතයේ සිටින අය සහ හාමතයේ තර්ජනය එල්ල වී ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාන්ත ගැන ලැයිස්තු හැදීමයි. ලෙනින් නියැළෙන්නේ 1920 වසර පුරාම ධාන්‍ය රජයට පවරා ගැනීමේ භට කණ්ඩායම් වැඩි වැඩියෙන් යැවීමයි. ලෙනින් සහ මොලොටොව් විසින් සියළු ප්‍රාදේශීය සහ ප්‍රාන්ත පක්ෂ කමිටු නායකයන් වෙත ටෙලිග්‍රෑම් එකක් යවමින් දෙන උපදෙස මෙයයි: “ආහාර එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න… ග්‍රාමීය ජනතාව සඳහා කලට වේලාවට බදු ගෙවීමේ ආර්ථික සහ දේශපාලන වැදගත්කම පැහැදිලි කරන ප්‍රොපගැන්ඩා තවත් වැඩි කරන්න… පක්ෂයේ සියළු ආකාර බලය, බදු එකතු කරන ආයතන අතට දෙන්න, සහ රජය විසින් භාවිතා කරන සියළු විනය ප්‍රතිපත්ති භාවිතයට ඔවුනට අවසර දෙන්න.”

තම රටවැසියන් හාමතයෙන් මිය යෑම නොදැක්කා සේ ඉන්නට බැරි වූ ලෙනින්ගේම හිතවතා වූ මැක්සිම් ගොර්කි සමඟ කිහිප දෙනෙක් එකතුව ඒ ගැන යමක් කරන්නට සිතූහ.

“සාගතයට එරෙහි සමාජ කමිටුව” ඔවුන් 1921 ජූනි මාසයේ දී පිහිටුවා ගත්හ. මැක්සිම් ගොර්කි සහ ඔහුගේ සමීප හිතවතියක් වූ, පුවත්පත් කලාවේදීනියක් වූ ද, යිකතරීනා කුස්කෝවා, සර්ගෙ ප්‍රොකොපොවිච් එහි මුල් සමාජිකයන් වූහ.

ඒත් ලෙනින් ඔවුන්ව මුණ ගැසීම පවා ප්‍රතික්ෂේප කළේය.

ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී තිබුණ අය කමිටුවේ සිටි නිසා, බොල්ෂෙවික් පක්ෂ නායකයන් කිහිප දෙනෙක් වෙතින් අකැමත්තෙන් දෙන අනුමැතියෙන්, කමිටුව 1921 ජූලි 21 වැනිදා නීත්‍යානුකූල විය. එහි දී “නිර්දේශිත පිටරට සංවිධාන සමඟ නිදහසේ කතාබහ කරගැනීම” සඳහා අවසරය ඔවුනට ලැබිණ.

සෝවියට් ආණ්ඩු ඉතිහාසයේ කිසිත් දවසක එවැනි වරප්‍රසාදයක් හිමි වූ වෙනත් කිසිදු සංවිධානයක් නැත.

ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් යහපත් ප්‍රතිචාර එද්දී, රෙජිමය සහ කමිටුව අතර සහයෝගය සති පහක කාලයකින් අවසන් විය.

හේතුව, ඔව්, ඇමෙරිකන් මැදිහත්වීමක් තමයි!

හර්බට් හූවර් මුලසුන දැරූ ‘ඇමෙරිකන් පිහිටාධාර සංවිධානය’ (American Relief Association -ARA) 1921 සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 20 ක් වටිනා ඉරිඟු සහ බීජ රැගත් පළමු සහනාධාර නැව සෝවියට් රුසියාව වෙත යැවුණි.

ප්‍රවාහන සේවය අක්‍රීයව තිබුණ රුසියාව පුරා ඒ සහනාධාර බෙදා හරින්නට සහනාධාර තොග සමඟ සහානාධාර ප්‍රවාහනයට ඇමෙරිකානුවන් 300 ක් ද යවන ලදි. ඔවුන් රුසියාවේ පිටිසරබද පැතිවලට ගියේ හිම මතින් යන ස්ලෙඩ්, අශ්වයන් හා ඔටුවන් භාවිතයෙනි. මුලින්ම ඇති ඡායාරූපයේ සිටින්නේ එවැනි කණ්ඩායමකි.

දෙසැම්බර් මාසයේ දී හාමතයේ සිටි මිලියන 16 ක රුසියානුවන් සඳහා ඉරිඟු ග්‍රිට්ස්, කොකෝවා, ටින් කිරි, සුදු පාන් සහ සීනි යැවීය.

1922 ගිම්හානයේ දී මිලියන 30 ක් පමණ ජනතාවක් හාමතේ සිටියහ. ලක්ෂයක් පමණ ජනතාවක් සතිපතා මිය ගියහ.

1922 අගෝස්තු මාසය වෙද්දී, ARA විසින් දිනපතා මිලියන 11 ක ජනතාවකට මුළුතැන් ගෙවල් 19,000 ක් ඇතුලත ආහාර සැපයීමේ නිරතව සිටියහ. සෝවියට් පුරවැසියන් එක් ලක්ෂ විසිදාහක් ඒ සහනාධාර බෙදා දීම සඳහා ARA හි සේවයට බඳවා ගැනිණ.

මිනිසුන් ඒ ආහාර “ඇමෙරිකා” යැයි හඳුන්වන්නට පටන් ගත්හ. අපිට “ඇමෙරිකා” බෙදා දෙනවා යැයි කියූහ.

1922 ජූලි මාසයේ දී මැක්සිම් ගොර්කි සෝවියට් රජය වෙනුවෙන් සහානාධාර සඳහා ඇමෙරිකන් රජයට ස්තූතිය පුද කරන ලිපියක් යැවීය. එහි මෙසේ ද සඳහන් විය: “ඔබේ සහාය ඉතිහාසයට එකතු වේවි සුවිශේෂී, දැවැන්ත ජයග්‍රහණයක් ලෙස, ඉතාමත් විශිෂ්ට කීර්තියට පාත්‍ර විය යුත්ත ලෙසට, මරණයෙන් ගලවා ගත් මිලියන ගණනක රුසියානුවන්ගේ මතකයේ එය දිගු කාලයක් පවතීවි.”

ඒත්, එවැන්නක් සිද්ධ වූයේ නැත.

සෝවියට් නායකයන් කළේ කුමක්ද?

ඇමෙරිකාව සමඟ සහනාධාර ගිවිසුම අත්සන් කළ පසුව දින හයකින්, එනම් 1921 අගෝස්තු 27 වැනිදා ඒ “සාගතයට එරෙහි සමාජ කමිටුව” නිසා බිහිවූ “හාමතයෙන් සිටින අයට ආධාර සැපයීම සඳහා වූ සමස්ත-රුසියානු කමිටුව” විසුරුවා හැරිණ.

ඒ තීරණය දන්වමින්, ලෙනින් මෙසේ ලියා ඇත: “කමිටුව වහාම විසුරුවා හරින්න යැයි මම යෝජනා කරමි.. රජයට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාකාරී හැදියාවට වරදකරු ලෙසින් ප්‍රොකොපොවිච් අත් අඩංගුවට ගෙන මාස තුනක් සිරගෙදරට දැමිය යුතුයි… වහාම අනිකුත් කමිටු සාමාජිකයන් මොස්කව් වලින් පිටුවහල් කළ යුතුයි, විවිධ ප්‍රදේශවල ප්‍රධාන නගර වලට යවන්න, දුම්රිය මාර්ග පවා ඇතුලත්ව ඔවුනට සම්බන්ධතා පැවැත්වීමේ හැකියාවන් සම්පූර්ණයෙන් කපා හරින්න, ඔවුන්ව ඉතා සමීපයෙන් නිරීක්ෂණයේ තියාගන්න. හෙට අපි කෙටි ආණ්ඩු නිවේදනයක් නිකුත් කර එය වැඩ කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් විසුරුවා හරින ලදැයි ප්‍රකාශ කරමු. සියළු පුවත්පත්වලට මේ පිරිසට නින්දා කිරීම පටන් ගන්න යැයි උපදෙස් දෙන්න සහ ‘සුදු මුරකරුවන්ට’ සමීප යැයි චෝදනා කර, සහ තමන්ගේ රටේ දී උදව් කරනවාට වඩා පිටරට සංචාරයට උනන්දුවක් දක්වන හොඳ කරන්නට කැමති බුර්ජුවාසීන් යැයි කියා ඔවුන් පිට බොහෝ සෙයින් අපකීර්තිය පටවන්න. පොදුවේ, ඔවුන් පරිහාසයට සුදුසු අය හැටියට දක්වමින්, ඊ ළඟ මාස දෙක තුළ දී අඩුම වශයෙන් සතියකට වතාවක් හෝ ඔවුන්ව සරදමට ලක් කරන්න.”

ලෙනින්ගේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක විය.

“කුසගින්න එක්ක සෙල්ලම් කරන්න එපා,” (ප්‍රාව්ඩා, 1921 අගෝස්තු 30)
“කුසගින්නේ සමපේක්ෂකයන්” (Kommunisticheskii trud, 1921 අගෝස්තු 31)
“ප්‍රතිවිප්ලවීයයන්ට … ආධාර සඳහා කමිටුව” (Izvestiya, 1921 අගෝස්තු 30)

1922 මැයි 22 වැනිදා පිහිටුවන ලද පොලිටිබියුරෝවේ විශේෂ කොමිසම ගන්නා තීරණයක් අනුව ‘සාගතයට එරෙහිව සටන් වදින සමාජ කමිටුවේ’ ප්‍රධාන නායකයන් වූ සර්ගෙ ප්‍රොකොපොවිච් සහ යිකතරීනා කුස්කෝවා දෙදෙනාව මුලින්ම රුසියාවෙන් පිටුවහල් කරන ලදි. අගෝස්තු 16 සහ 17 දිනවල සුප්‍රසිද්ධ විද්වතුන්, දාර්ශනිකයන්, ලේඛකයන්, ඉතිහාසඥයන්, සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු අතරින් 160 ක් අත් අඩංගුවට ගෙන සැප්තැම්බර් මාසයේ දී ඔවුන්වද පිටුවහල් කර දැමුණි.

ආපහු සෝවියට් දේශය වෙත පැමිණියහොත් වහාම වෙඩි තබන බව තමන්ට වැටහෙනවා යැයි කියන ලියැවිල්ලකට අත්සන් කරන්නට ද ඔවුනට සිද්ධ විණ.

“ශීත ඍතුවට අඳින එක කබායක්, ගිම්හානයට අඳින එක කබායක්, එක සූට් කට්ටලයක් සහ මාරු කරන්නට ඇඳුම් කට්ටලයක්, නින්දට අඳින ෂර්ට් දෙකක්, මේස් කුට්ටම් දෙකක්, යට ඇඳුම් දෙකක්, සහ විදේශ මුදල් වලින් ඩොලර් විස්සක් පමණක් මේ අයට රැගෙන යා හැකි විය.

හර්බට් හූවර් ගැන චරිතපදාන ලියන අය ඔහු ලොව වෙන කිසිවෙකුට වඩා මිනිස් ජීවිත බේරාගන්නට සමත් වූවෙක් ලෙසින් හඳුන්වද්දී, එයට මුහුණ දුන් ජනතාවට ඒ ගැන, තම රටේ ජනතාව බේරාගන්නට ඉදිරිපත් වූ තමන්ගේම කලාකරුවන් හා විද්වතුන් ගැනද කිසිවක් දැන ගැනීමට නොහැකි ලෙසට ප්‍රොපගැන්ඩා මෙහෙයවන්නට බොල්ෂෙවික් නායකයන් සමත් වූහ.

ජන කොට්ඨාශයක් හාමතයේ තබා තුරන් කර දැමීම ඔවුන්ගේ නිසැක අරමුණ වූහ. ඒත්, තවමත් නාට්සී පක්ෂය සහ බොල්ෂෙවික් පක්ෂය අතර සමානාත්මතා නැතැයි සිතන අය වෙති. 1921 හේමන්තයේ ඇති වු මහා සාගතයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 10 ක් පමණ යැයි සැලකේ. රුසියන් ආණ්ඩුව පිළිගන්නේ මිලියන 5 ක් මියා ගියා කියායි.

නාට්සී අපරාධ ගැන ඇහෙන කතාබහ එමටය. ඒත් බොල්ෂෙවික් අපරාධ ගැන බහුතර ලෝක ජනතාව තුල දැඩි නිහඬත්වයක් රජයන්නේ ඇයි?

යම් රටක ආණ්ඩුව හරහා බෙදන ඉහළ අධ්‍යාපනය තුලින් පවා ඉතිහාසයේ යම් රටක සමස්ත පරිච්ඡේදයක් මුළුමනින්ම වසන් කර ඇත්නම්, ඒ ගැන වෙනත් තැන්වල ඇති තොරතුරු දිහා සැකයෙන් බැලීම සාධාරණයි.

වර්තමානයට එමු.

කෝවිඩ්-19 වසංගතයට මුහුණ පා සිටි ලංකාවට, ඇමෙරිකන් තානාපති කාර්යාලය හරහා PPE තොගයක්, US Aid හරහා ඇමෙරිකන් ඩොලර් සහනාධාර මිලියන 1.3 ක්, ලෝක බැංකුව හරහා තවත් මිලියන 128.6 ක් ද නිකුත් කෙරිණ. අරමුදල් නිකුත් කිරීම ගැන ලාංකික ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ යුරෝපා සංගමයට කළ ස්තූතිය මෙන් සඳහනක් ඒවාට නොලැබුණි. ඇමෙරිකන් සහානාධාර ගැන නිහඬව සිටීම නිසා ඒවා නොලැබුණා වෙනවාද?

අද චීන ආණ්ඩුවට ප්‍රොපගැන්ඩා ව්‍යාපාරයකින් ජාත්‍යන්තර ප්‍රජාවක් රැවටිය හැකිද?

මේ දිනවල ට්විටර් මාර්ගයෙන් කෝවිඩ්-19 වසංගතයේ වරද ඇමෙරිකාවට පටවන, ඇමෙරිකාව එය පාලනය කරගන්නට අසමත් වූවා යැයි හඟිස්සවන, නමුත් තම රජය ඊට බෙහෙවින් දක්ෂ වූවා යැයි දක්වන, පණිවිඩ මෙහෙයුමක් ගැන ප්‍රවෘත්ති වාර්තාවක් ඉදිරිපත් කරන ලද්දේ ටයිලර් ඇඩ්කිසන් නමැති ‘නිව්සි’ වාර්තාකරුවා විසිනි.

චීනය තුළ ට්විටර් සහ ෆේස්බුක් තහනම් වෙද්දී, මෙයාකාර වැරදි තොරතුරු රැගත් පණිවිඩ යැවීම මාර්ගයෙන් ඔවුන් නියැළෙන්නේ චීන ජනතාව රැවටීමේ නොව ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමට යැයි වාර්තාවේ සඳහන් විය.

ඉන්ටනෙට් නිදහස ඇති ජනතාවක් එයින් රැවටිය හැකිද?

නැත්නම්, එයින් චීන රජය ඉලක්ක කරන්නේ, හැමදාමත් මෙවැනි ප්‍රොපගැන්ඩා වලට රැවටෙන පිරිස පමණක්ද?

බර්ට්‍රන්ඩ් එම්. පැටර්නෝඩ් මේ ARA සහානාධාර ගැන ලියූ පොත: Bertrand M. Paternaude, The Big Show in Bololand: The America Relief Expedition to Soviet Russia in the Famine of 1921, Stanford University Press, 2002.

ඡායාරූප: හූවර් ඉන්ස්ටිටියුට් සෝවියට් පුරාලේඛන එකතුවෙන්