අරුණි ශපීරෝ‍ වෙතින්

මනස, මොළය, භෞතිකවාදය සහ නිෂ්පාදන බලවේග

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 21, 2021

මිනිසා යන සත්වයාට එක ලෙසින් ස්වභාවයෙන් දායද වූ ලක්ෂණ ඇත. ඒවා අතර චින්තනයට හැකියාව යන්න මිනිස් සත්වයාට සුවිශේෂී වූවකි. මිනිසුන් සියල්ලන්ටම සිතන්න පුළුවන් වුවත් එකම විදියට හිතන දෙන්නෙක් (නිවුන්නු අතර හෝ) දකින්නට නොහැකියි. බොහෝ දෙනෙක් අතර ඇතිවන එක එකඟතාවයක් පිටුපස විවිධාකාර වූ හේතූ ඇත.

යම් සිද්ධියක් හමුවේ ඒ ඒ මිනිසා තුළ විවිධාකාර වූ සිතුවිලි පහළ වීම මිනිස් ස්වභාවයේ ඇති අපූර්ව බවයි. වෙනස් සිතුවිලි නිසා වෙනස් ලෙසින් අදහස් දැක්වීම හා ඒ අදහස් අනුව ක්‍රියාකිරීම මිනිස් ඉතිහාසය පුරාම නොවෙනස්වන ලද මිනිස් ස්වභාවයකි. ඒකීය පුද්ගලයා ඔහුගේම වූ සිතුවිලි අනුව ඔහුගේම වූ ක්‍රියාකාරකම් තෝරා ගනියි.

සියල්ලන්ම එක හා සමාන ලෙසින් බුද්ධිමත්, දක්ෂ, කුසලතා සපිරි නොවනුයේ ඒ නිසයි.

සමාජවාදී අනාගතයක දී සාමාන්‍ය මිනිසා කුසලතා, දක්ෂකම්, බුද්ධිය, කලා දස්කම් යනාදියෙන් අතීතයේ සිටි ශ්‍රේෂ්ඨයන් හා සමාන වෙතැයි පමණක් නොව ඔවුන්ව අභිබවා යන්නේ යැයි කියා මාක්ස් සහ මාක්ස්වාදීන් විශ්වාස කරන බව පෙනී යයි. අධ්‍යාපනය තුළින් ඊළඟ පරම්පරාවට දායාද කළ හැකියාව ඇත්තේ ගුරුවරයා දැනට ඉගෙන ඇති දේ පමණක්ය යන්න මාක්ස් සහ ඔහුගේ අනුගාමිකයන් සැලකුවේ නැත. නවෝත්පාදන බිහිවෙන අලුත් අදහස් සඳහා ඉඩක් ලැබෙන්නේ අලුත් අදහස් ඇතිකරගන්නට ඒකීය පුද්ගලයාට නිදහසක් තිබිය දී ය.

මාක්ස්වාදීන් මිනිස් ස්වභාවය නොසලකා හරිනවා යැයි සමාජවාදයට මුල් කාලයේ දී ම එල්ල වූ විවේචනයයි. වෙනත් අයෙකුගේ ප්ලෑන් එකකට අනුව ජීවත්වන්නට සිද්ධ වීම මිනිසත් බව යැයි කියන්නේ කෙසේදැයි යන විවේචනයට කාල් කවුට්ස්කි (Karl Kautsky) පිළිතුරු දුන්නේ මෙසේය: “මිනිස් ස්වභාවය සමාජවාදයට පටහැනි නම්, එහෙනම් මිනිස් ස්වභාවය වෙනස් කරනන්ට සිද්ධ වේ.” ඒත් මිනිස් ස්වභාවය වෙනස් කරන්නේ කෙසේදැයි කියා කවුට්ස්කි පැහැදිලි කළේ නැත.

ඒ සඳහා විස්තර කිරීමක් චර්යාවාදයෙන් ලබා දුන්නේ මනෝවිද්‍යාඥ ඉවාන් පැව්ලොව් විසිනි. සුනඛයන් ආශ්‍රිත පර්යේෂණවලින් එන තත්ත්වාරෝපිත ප්‍රතීක ක්‍රියාව (conditioned reflex) එයයි. මාක්ස්වාදය ගැන ලියැවුන පරණ පොතපතේ පැව්ලොව් ගැන සඳහන් කිරීම නොවැරදීම සිදුවේ. චර්යාවාදී දාර්ශනිකයන් විසින් පුද්ගලයන්ව සලකන්නේ ඔවුන්ගේම කියා අදහස් නැති, එසේම ඔවුන්ගේ අතින් කිසිදු වැරැද්දක් සිද්ධ නොවෙන සත්වයන් හැටියටයි. ස්වභාව ධර්මයේ සෑම භෞතික සහ බාහිර වූ දෙයක් යම් ප්‍රතීක ක්‍රියාවකට ප්‍රතිචාර දක්වයි. ඒ නිසා මිනිසා ද අනෙකුත් සත්වයන් හා සමාන එකම ලෝකයකට ඇතුළත් වෙති යැයි සමාජවාදීන් කියූහ. යම් නිෂ්ඨාවක් වෙත යන්නට මිනිසුන්ට මඟපෙන්වන්නේ යම් ප්‍රතීක ක්‍රියා සහ යම් ආශයයන් යැයි ඔවුන් කියා සිටියහ.

මිනිසාගේ අදහස්, තීරණ, සහ ක්‍රියාකාරකම්වල වගකීම ඔහු වෙතින් ඉවත් කිරීම එසේ සිදුවිය. එහි දී එවැනි උත්තේජක (stimuli) න්‍යායයක් ගැන කතාකරන්නට නම් උත්තේජකයක් හා සම්බන්ධ ඒකීය පුද්ගලයෙක් සිටිය යුතුය යන්න එම චර්යාවාදීන් මෙන්ම මාක්ස්වාදීන් ද සැලකුවේ නැත. බලාත්කාරයක් නැති තත්ත්වයක දී ප්‍රතිචාර නොදක්වා සිටිය හැකියාව ඔවුන් සැලකිල්ලට නොගත්හ. ඒ මන්ද?

අපි අනෙක් මිනිසුන්ව තත්ත්වාරෝපිත (condition) කරන්නම් කියා චර්යාවාදීන් කියා සිටියහ. “අපි” යනු කවුරුන්ද? “අනෙක් අය” යනු කවුරුන්ද? එසේ විමසද්දී, ඔවුන් කියන්නේ ධනවාදය සඳහා ඉතිහාසය විසින් මිනිසුන්ව තත්ත්වාරෝපිත කර ඇතැයි සහ ඊට පිටුපසින් අනිවාර්යෙන්ම සමාජවාදය එන බවයි. ඒත්, ඔවුන් පැත්තකට වී අනිවාර්යෙන්ම එන්නට නියමිත වූවකට ඉඩදී සිටිනවා නොවේ. එයට අනෙක් මිනිසුන්ව බලාත්කාරයෙන් රැගෙන යන ඔවුන්ගේ ක්‍රමය ඔවුන් හඳුන්වාගත්තේ “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය” සහ “ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය” යනාදී නම්වලින් වූහ. සමාජවාදීන්ගේ අදහස්වලට අනුව අදහස් සඳහා අවස්ථාව රැඳී ඇත්තේ පක්ෂය, නායකත්වය, කණ්ඩායම, කල්ලිය අතේ පමණි. අනිත් සියළු රටවැසියන් මොවුන් විසින් ඔවුනට කියන දේ කළ යුතුයි.

නව-හෙගලියානු භෞතිකවාදී අර්ථ දැක්වීමක් හරහා තමන් ඉතිහාසයේ ආර්ථික අර්ථ කථනයක් ගෙනෙන ලද බව මාක්ස් විසින්ම කියා ඇත. එහෙත් කාල් මාක්ස්ගේ දර්ශනය හෙගල්ගේ දර්ශනයට වඩා වැඩියෙන් භෞතිකවාදී වූයේ නැත. මාක්ස්ගේ ඵෙතිහාසික න්‍යාය එවක ඉදිරිපත් වූ අනෙකුත් ඵෙතිහාසික විකාශන (historic process) අදහස් සඳහා ගත් වෑයම්වලට වඩා වැඩියෙන් භෞතිකවාදී බවක් ගත්තේ ද නැත. මේ ගැන පැහැදිලි කරගන්නට නව-මාක්ස්වාදීන් තවමත් වෑයම් කරති.

භෞතිකවාදය පිළිබඳ න්‍යාය ගැන මාක්ස්ගේ ජීවිත කාලයේ දී මත දැක්වූවන් අතර පරස්පර අර්ථ දෙකක් ඇත.
(1) ආචාර ධාර්මික ගැටළු ගැන පමණක් සැලකීම එහි එක අර්ථයකි. භෞතික මිනිසාගේ උනන්දුව ඇත්තේ ආහාර පාන, ඉඳුම් හිටුම් යනාදියට පමණක් මිසෙක කලාව සංස්කෘතිය ගැන නොවේ යන්න එහි දී අදහස් වෙයි. ඒ අර්ථයෙන් ගත්විට බහුතර මිනිස් සත්වයන් භෞතිකවාදීන් වෙති.
(2) මූලික දාර්ශනික ගැටළු සඳහා විසඳුම් යෝජනා කරන විශේෂ කණ්ඩායමක් ගැන භෞතිකවාදයෙන් සැලකීම එහි දෙවැනි අර්ථයයි. මිනිස් මනස සහ ආත්මය (soul) අතර සම්බන්ධය ගැන එක පැත්තකින් ද, මිනිස් ශරීරය සහ ශරීරයේ අවයව අතර ඇති ක්‍රියාකාරී සම්බන්ධය ගැන සැලකීම. මේ කණ්ඩායම අතර ආගමික විසඳුම් ඉදිරිපත් කරන අය සිටිති.

මේ දාර්ශනික භෞතිකවාදීන් අතර එක අනුගාමික කොට්ඨාශයක් මිනිසා යන්ත්‍රයක් හැටියට සලකති. මිනිස් “යන්ත්‍රය” අනෙක් වෙනත් ඕනෑම යන්ත්‍රයක් ලෙසින් වැඩ කරන්නක් යැයි ඔවුන් කියති.

මේ දාර්ශනික භෞතිකවාදීන් අතර මිනිස් ශරීරය සහ ශරීරයේ අවයව අතර ඇති ක්‍රියාකාරී සම්බන්ධය ගැන කතා කරන අනුගාමිකයන් මාක්ස්වාදී දර්ශනය ගැන කතා කරද්දී වැදගත් වෙති. මේ දැක්ම ඉතාමත් මූලික ආකාරයකින් ඉදිරිපත් කළ දෙදෙනා ලුඩ්විග් ෆොයබාෂ් (Ludwig Feuerbach) සහ කාල් වොගෙට් (Karl Vogt) වෙති. ඔවුනට අනුව සිතුවිලි සහ අදහස් යනු “හුදු” මොළයේ ස්‍රාවයන් වෙති.

මොළයේ සමහර ක්‍රියාකාරකම්වල දී විශේෂ ස්‍රාවයන් නිකුත්වීම සිද්ධවන බව මිනිස් මොළය ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් අද සොයාගෙන ඇත. එහෙත් සිතිවිලි සහ අදහස් එකම තත්ත්වයකට හා සිද්ධියකට මුහුණ දෙන සියළු ජනතාව අතර එකම ආකාරයෙන් හටගන්නවා දකින්නට ලැබෙන්නේ නැත.

අදහස් සහ සිතුවිලි යනු ස්පෘශ්‍ය (abstract) දේ නොවෙති. එසේම එකම ආකාරයේ බාහිර සාධක හැමදෙනාට තුළම එකම ප්‍රතිචාරයක් උපදවන්නේ නැත. එකම සාධක හමුවේ මිනිසුන්ට එකම සිතුවිලි පහළ වෙන්නේ නැත. බැනුමක් නිසා අයෙක් මහත් සේ සිත රිදවා ගන්නට පුළුවන. වෙනකෙකු සුළුවෙන් සිත රිදවා ගත් අතර තවත් අයෙක් ඒ ගැන කිසිගාණක් නොගත්තා ද වේ. එක වතාවක දී එක් විදියකටත් තවත් වතාවක දී තවත් විදියකටත් කාලයක් යද්දී වෙනත් විදියකටත් ප්‍රතිචාර දක්වන්නට මිනිසාට පුළුවන. එනම් මිනිසාගේ අදහස් සිතුවිලි තුළින් හටගන්නා ප්‍රතිචාර ගැන අපිට නිශ්චිත ප්‍රවර්ග හදන්නට නොහැකියි.

ඉතින් බාහිර වූ භෞතිකවාදයක් මිනිස් ගැටළු සඳහා ඇති විසඳුම හැටියට හිතන පිරිසක් සිටිය ද, එය සැබැවින්ම කළ නොහැකි වූ කාර්යයකි. ඕනෑම අවස්ථාවක දී සියල්ලන්ම ඊට ප්‍රතිචාර දක්වන අන්දම අපිට කලින් දැනගත හැකි යැයි කීමට කොහෙත්ම නොහැකියි.

වොගෙට් වැනි භෞතිකවාදීන් දේශපාලනය ගැන කතා කරන්නට පටන් ගනිද්දී, ඒ ගැන අකමැත්තක් දැක්වූ කාල් මාක්ස් අලුත් ක්‍රමයක් හැදුවේය. ඉතිහාසය ගැන වූ ඔහුගේ භෞතිකවාදී අර්ථ කථනය අනුව සියල්ලේම පදනම “භෞතික නිෂ්පාදක බලවේග” (material productive forces) වෙති. සෑම නිෂ්පාදක බලවේග අවස්ථාවක්ම නිෂ්පාදන සබඳතා තුළ ඇති එක නිශ්චිත අවස්ථාවක් හා සම්බන්ධයක් පවත්වයි යැයි ඔහු කීය. එම සම්බන්ධය ඵෙතිහාසික පරිනාමයේ නීතිය යැයි කියුවා මිසෙක එම නීතිය ඇති වූ ආකාරය සහ ක්‍රියාකරන ආකාරය විස්තර කරන්නට ඔහු ගියේ නැත. මිනිසා රැගෙන යන නිෂ්ඨාව නම් සමාජවාදය යැයි ඔහු කීය. එය සිද්ධවෙන ආකාරය, ක්‍රියාකරන ආකාරය ඔහු විස්තර කළේ නැත. මේවා විස්තර විග්‍රහ කරන්නට අදත් මාක්ස්වාදීන් වෑයම් කරති.

කලින් දිනයක ලියූ සටහනක්:
සිතමතා කරන ක්‍රියාවන් සහ නොසිතා කරන ක්‍රියාවන්

හෙගලියානු දයලෙක්තිකය සහ මාක්ස්වාදයේ පදනම

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 17, 2021

මෙය මවිසින් මාක්ස්වාදය ගැන ලියාගෙන යන සටහන්වලින් කොටසකි. මීට කලින් ලියූ සටහන් කියැවීමෙන් මෙය අවබෝධය පහසු විය හැකියි.

ජර්මන් විඥානවාදයේ (German Idealism) යොහාන් ගොට්ලීබ් ෆිෂ්ට, ෆ්‍රීඩ්රිච් විල්හෙල්ම් ජෝසෆ් වොන් ෂෙලින්ග් අතරට එකතුවන ඔවුන් ත්‍රිත්වයෙන් වඩාත්ම වැදගත්කමක් දිනාගන්නට සමත්වෙන්නා ගෙයොග් විල්හෙල්ම් ෆ්‍රීඩ්රිච් හෙගල් ය.

පරම සත්තාවේ (ultimate reality) දර්ශනයන් පහදාගන්නේ මිනිස් මනස යැයි ද, ඉන්පසුව ඒ අනුව මිනිසුන්ට ජීවත්විය හැකි ලෝකයක් හදාගන්නවා යැයි ද හෙගල්ට කලින් සිටි ඉමැනුවෙල් කාන්ට් නම් දාර්ශනිකයා තර්ක කළේය. සත්තාව හදන්නට හෝ නියාමනය කරන්නට යනවා පමණක් නොව මිනිස් මනස විසින් සත්තාව සැබැවින්ම නිපයනවා (generate) සහ පිහිටුවනවා යැයි කාන්ට්ට පසුව හෙගල් කියා සිටියේය. හෙගල්ට අනුව සත්තාව යනු සරලවම මනස හෝ ස්ප්‍රීතුව (spirit -ජර්මන් Geist) වෙයි. එම සංකල්පය හෙගල්ගේ පරම විඥානවාදය කියා හැඳින්වේ.

එය පරම විඥානවාදයක් වනුයේ අදහස් හැරෙන්නට වෙනත් දේවල පැවැත්මක් නැතැයි කියන මතයෙන් පමණක් නොව, හෙගල් විසින් “මනස” යන්න “දිව්‍යමය මනස” නැත්නම් “පරම මනස” හා සමාන කළ නිසයි. ඉතින් මනස යනු සත්තාව හා සමාන වේ නම්, එවිට සත්තාව යනු දෙවියන් හා සමාන වේ.

ගයිස්ට් යන්න සත්තාව සහ දෙවියන් හා සමාන කිරීමෙන් පසුව හෙගල් එය ඉතිහාසය සමඟත් සමාන කළේය. විශ්වීය වූ, වියුක්ත වූ ව්‍යුහයකින් යුතු මනසක් මිනිසාට හිමිවුවත්, මනසේ අන්තර්ගත දේවල් යුගයෙන් යුගයට පරිනාමය වේයැයි හෙගල් කියා සිටියේය. මනසේ ස්වභාවය ගැන දාර්ශනිකව විමර්ශනය කරන්නේ ද, එහි දී තාර්කිකව (දින වකවාණු අනුව නොවේ) එහි මූලාරම්භය යළි සකස්කරගත හැකි යැයි හෙගල් කියා සිටියේය.

හෙගල් කියන විදියට එය සිද්ධ වෙනුයේ මෙහෙමයි: මුලින්ම දෙවියන්, පිරිසිදු මනස, ඒ නිසා පිරිසිදු සද්භාවය, තමන් විසින්ම සිතන්නට වෑයමක් ගන්නා ලදි. ඒත් පිරිසිදු සද්භාවය (Pure Being) යන සිතුවිල්ල කිසිසේත්ම කළ නොහැකි සිතුවිල්ලකි. ඒ නිසා දෙවියන් සද්භාවය ගැන හිතන්නට වෑයම් කළේය, එහි දී ඔහුට සිතාගන්නට කිසිවක් නොමැති විය. එනම් ඔහු සිතුවේ සද්භාවයේ විරුද්ධපැත්ත ගැනයි. එවැන්නක් සොයාගත නොහැකි නිසා මෙහි දී දෙවියන්ට අනන්‍යතාවය ගැන අර්බූදයක් පැන නැඟිණ.

ප්‍රස්තුතය (thesis) සද්භාවය හැටියටත් සහ එහි විරුද්ධපැත්ත (antithesis) ශුන්‍යත්වය හැටියටත් තාර්කිකව මනසේ මූලාරම්භය සොයා යන දාර්ශනිකයාට සංශ්ලේෂණය (synthesis) හෙවත් යෝග්‍යය, ඔබින, උචිත බව හමුවේ. ලෝකයේ ඇති සෑම දෙයක්ම මේ ධනාත්මක වූ ප්‍රස්තුතය හා ඍනාත්මක වූ එහි විරුද්ධපැත්ත සමඟ සංශ්ලේෂණය කරමින් පවතින්නකි.

අපෝහකය, දයලෙක්තිකය යනුවෙන් හැඳින්වෙන්නේ මෙසේ තාර්කිකව එම නිගමනයට එළඹීම නිසයි. 1807 දී හෙගල් ලියන ස්ප්‍රීතුවේ ප්‍රපංඥවාදය (Phenomenology of Spirit) කෘතියෙන් සෑම ප්‍රපංඥයක්ම, එනම් ප්‍රපංඥ ලෝකයේ අපි දකින දේවල් සියල්ල මේ ගයිස්ට් හි නිර්මාණයක් යැයි දක්වයි.

මිනිස් ප්‍රගතියේ කතන්දරය මේ ස්ප්‍රීතුව (ගයිස්ට්) විටින්විට අඩුවැඩියෙන් කෑලි කොටස්වලින් එකතුවෙමින් ලියන ලද්දක් යැයි ඔහු කියන ලදි. පරණ සංකල්ප වෙනස්වෙමින් දියුණුවෙමින් නව සංකල්ප බවට හැරෙන්නේ එසේ යැයි ඔහු කියන ලදි. මේ වෙනස්වන ක්‍රියාවලිය ඔහු අපෝහනය ලෙසින් හැඳින්විය.

අපෝහක භෞතිකවාදය (Dialectical materialism) යන සංකල්පය අද සිංහල පාඨකයා අතර දයලෙක්තික භෞතිකවාදය නමින් භාවිතා වේ. උදාහරණයක් හැටියට හෙගල්ට අනුව එක පරම්පරාවක විරුද්ධපැත්ත ඊළඟ පරම්පරාවේ ප්‍රස්තුතය විය හැකියි. මෙය විසඳන්නට අවශ්‍ය ගැටළුවක් නිර්මාණය කරනු ලබයි. හෙගල්ට අනුව මේ ගමනේ අවසානය මනුෂ්‍යයන් විසින් සියල්ල අවබෝධ කරගන්නට සමත්වීමයි.

හේගල් සිය අදහස් ඉදිරිපත් කළේ තේරවිලි හැටියටයි. ඒ තේරවිලි ලිහාගන්නට සමත් වූවා යැයි කියමින්, එසේම මිනිස් වෑයම් ගැන අලුත් විදියකින් දකින්නට තමන්ට අවස්ථාව පෑදුණා යැයි කියා සිටි අය හෙගලියානු චින්තනය තමනට උවමනා ආකාරයට තම දැක්මට අනුගත කරගත්හ. එය හෙගලියානු අපෝහක තාර්කික ක්‍රමයට පටහැනියි.

තමා “ඒ ශ්‍රේෂ්ඨ චින්තකයාගේ සිසුවෙක්,” යැයි ද දාස් කපිතාල් ලියද්දී හෙගල්ට “ආවේනික වූ ඒ සුවිශේෂි බස් හුරුව” තමන් යොදාගත්තා යැයි ද කාල් මාක්ස් කීවේය. හෙගලියානු බස් හුරුව පාවිච්චි කළ නිසා මාක්ස්ගේ සංකල්ප හෙගල්ගේ අදහස් ඉදිරියට ගෙන යාමක් නොවීය.

හෙගල් වෙතින් “පරාරෝපණය” සහ “විසංවාදය” යන වදන් ගත්තා සේ ම එවක අර්ථ ශාස්ත්‍රඥයෙක් හැටියට සුප්‍රසිද්ධ වූ ඩේවිඩ් රිකාඩෝ වෙතින් ද “වේතන” සහ “අගය” යන වදන් කාල් මාක්ස් සිය අදහස් සඳහා යොදාගති. ඒත් ඒවා හෙගල් සහ රිකාඩෝ භාවිතා කළ විදියෙන් අර්ථ ගැන්වීම අත්හැර දමමින් භාවිතා කළේය. මාක්ස්ගේ ව්‍යාපාර චක්‍ර න්‍යාය තුළ පරාරෝපණය භාවිතාවෙන්නේ හෙගල්ගේ අදහස අනුව නොව සාමාන්‍ය සමාජයේ ඇති අදහසයි. කාල් මාක්ස්ගේ දැක්මේ ඇති ධනවාදී ආර්ථිකයක වේතන මට්ටම් වෙනස්වීම් යනු රිකාඩෝ විසින් ගෙනහැර පාන ලද වේතන මට්ටම් ඉහළ පහළ යන ආකාරය නොවන බව ඒ නිසා රිකාඩෝ නොකියවා මාක්ස් කියවන ලද අය නොදත්හ.

මාක්ස් හෝ එංගල්ස් දයලෙක්තික භෞතිකවාදය යන වහර යොදා නොගත්හ. ඔවුන් උලුප්පා දැක්වූයේ හෙගල්ගේ දයලෙක්තික ක්‍රමයයි. හෙගල් විසින් ලෝකය දිහා බලා එය විශ්ලේෂණය කළ ආකාරයයි. මාක්ස්වාදී දර්ශනය විසින් හෙගල් වෙතින් ලබාගන්නේ ලෝකය විවිධත්වයෙන් යුතු දේවල්වල එකතුවක් හැටියට නොදැක එය පරිනාමය වෙමින් පවතින්නක් ලෙස දැකීමයි. ස්වභාව ධර්මයේ දේවල් රූපාන්තරණය (metamorphoses) වෙන ආකාරය ගෙන එය සමාජයේ සමානකම් සඳහා යොදාගැනීම මාක්ස් සහ එංගල්ස්ගේ රචනාවල නොමඳව දකින්නට ඇත.

මාක්ස්වාදීන්ගේ දයලෙක්තිකයේ ප්‍රභවය

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 6, 2021


ගෙයොර්ග් විල්හෙල්ම් ෆ්‍රීඩ්රිච් හේගල් ඉදිරිපත් කරන ලද දර්ශනය බොහෝ සෙයින් ද, හේගල්ට පසුව හේගල්ගේ දර්ශනය කරපින්නා ගත්, එනම් කාල් මාක්ස්ගේ තරුණ කාලයේ ජර්මනියේ ජනප්‍රියත්වයක් ලැබූ අනෙකුත් දාර්ශනිකයන් වෙතින් ද අදහස් කාල් මාක්ස් සිය මාක්ස්වාදය ගොඩනඟන්නට භාවිතා කරන ලද බව පෙනී යයි.

රොමැන්තික යුගයේ වඩාත්ම වැදගත් දාර්ශනිකයා, හේගල් යැයි සැලකේ. රොමැන්තික යුගයේ ආරම්භයට හේතු වූ එක සාධකයක් නම් කාර්මික විප්ලවය අයහපත්ය යන මතයයි. රොමැන්තික අදහස්වලින් යුතු අය අගය කළේ මධ්‍යතන යුගයයි.

ඒ වෙද්දී ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රමය වෙහෙසන්නට කැමති අයට ඊට එතෙක් ලොව නොතිබුණ ඉඩප්‍රස්ථා පෑදී තිබුණි. කුසගිනි නිවාගැනීම සඳහා මුළු ශ්‍රමය වෙහෙසීම වෙනුවට සාමාන්‍ය රටවැසියාට තම පුද්ගල ජීවිතය වර්ධනය වෙනුවෙන් කාලයක් යොදවන්නට හැකියාව ලැබිණ. සාහිත්‍ය, කලා, සංගීතය හා ස්වභාවික විද්‍යාවන්හි දියුණුවක් පැතිර ගියේය. 18 වැනි සියවස අග දී පටන් ගත් රොමැන්තික යුගයේ වඩාත්ම ඵලදායී සමය 1800 සිට 1850 දක්වා විය.

සීඝ්‍රයෙන් සිද්ධවෙමින් පැවති මිනිස් ප්‍රගතිය කාර්මික රටවල ජනතාව අත්විඳින ලද්දයි. එහි කතන්දරය, ඇඩම් ස්මිත් විසින් 1776 දී පටන් ගෙන අනතුරුව විවිධ පුද්ගලයන් අතින් අර්ථ දැක්වෙන්නට පටන් ගති. මේ රොමැන්තික යුගයේ පරමාදර්ශී දාර්ශනිකයන් තමන් ඉදිරියේ පවතින ලෝකය සැබෑ ලෝකය නොවන්නේ යැයි කියූහ. රටවැසියන් දකින්නේ මිනිස් අවබෝධයට සරිලන ලෙසින් හැඩගසන ලද ලෝකයක් යැයි කියමින් ඔවුන් එය ප්‍රපංඥවාදී ලෝකය (phenomenal world) යැයි හඳුන්වන ලදි. හේගල්ට කළින් එම අදහස ජර්මන් දාර්ශනිකයන් අතර පැවතිණ.

ජවය, ස්ප්‍රීතුව යන අර්ථය දක්වන ගයිස්ට් (Geist) ජර්මන් භාෂාවේ වචනයකි. එයට ඉංග්‍රීසියෙන් භාවිතා වෙන්නේ spirit යන වචනයයි. මෙයට සරිලන සිංහල වචනයක් මම තවමත් සොයමින් සිටිමි. හේගල්ට අනුව සෑම ප්‍රපංඥයක්ම, එනම් මේ ප්‍රපංඥවාදී ලෝකයේ අපි දකින සියල්ලම මේ ස්ප්‍රීතුවේ නිමැවුමකි.

කාර්මික විප්ලවයෙන් ජීවිත ඉතා සීඝ්‍රයෙන් දියුණු කරගන්නට, එනම් හාමතෙන් පාර අයිනක මිය යන ඉරණමට ගොදුරු වූවන් පවා කම්හල් රැකියා තුළින් ආදායම් උපයා බඩ පිරෙන්න කන්න, සීතලෙන් පීඩා නොවිඳින්නට අඳින්න සහ ජේන් ඔස්ටින් පොතක් කියවන හැකියාවත්, එය මිල දී ගන්නට තරම් පොහොසත්වීමත් ගැන වූ මිනිස් ප්‍රගතියේ කතන්දරය ලියන්නට සෑම දාර්ශනිකයෙකුට උවමනා වීම පුදුමයක් නොවේ.

හේගල් සිය අපෝහක භෞතිකවාදය පිළිබඳ දර්ශනය ගොඩනඟිමින් සිටියේ නැපෝලියන් විසින් ජර්මන් දේශයක් වූ පෘසියා (Prussia), රුසියාව, මහා බ්‍රිතාන්‍යය, ස්වීඩනය ඇතුළු රටවල් යුද මෙහෙයුමකින් පරදවන්නට සමත් වූ කාලයේ දී ය. හේගල් වාසය කළ නගරය වූ ජෙනා (Jena) හි පැවති සටනකින් පසුව නැපෝලියන් පෘසියාව පරාජය කළා යැයි සැලකේ. හේගල් එවිට නැපෝලියන් අධිරාජයාව යුගයේ ජවය (zeitgeist) දක්වන්නා යැයි හඳුන්වන ලද්දේ ය.

1848 යනු ජර්මනියේ, ඔස්ට්‍රියාවේ, ප්‍රංශයේ, ඉතාලියේ, පෝලන්තයේ විප්ලව බොහොමයක් දකින්නට ලැබුණ කාලයයි. ඒත් එම විප්ලව කිසිවක් ශ්‍රමිකයන් අතින් ඇරඹෙන ලද ඒවා නොවූහ. ඇඩම් ස්මිත් සිය ජාතීන්ගේ ධනයේ සටහන් කරන ලද ශ්‍රම විභජනය යුරෝපා රටවල් සහ ඇමෙරිකාවේ පැතිර ගොස් තිබිණ. කාර්මික නිෂ්පාදන ගැන විශේෂ ප්‍රාගුණ්‍ය වර්ධනය කරගන්නට කාර්මික සමාජයන්හි ඒකීය පුද්ගලයන් සමත්ව සිටියහ. මේ ඒකීය පුද්ගලයන්ගේ උවමනාව වූයේ තමන්ගේ ජීවිතයේ ප්‍රගතියයි. ඔවුන් ශ්‍රමය වෙහෙසුවේ ඒ සඳහා ය.

කාල් මාක්ස් සහ ඒංගල්ස් විසින් එවක දී “කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව” ප්‍රකාශයට පත්කර තිබුණ ද, ඉහත සඳහන් කළ විප්ලව එම කෘතියෙන් හටගැනුණ ඒවා නොවූහ. එය දේශපාලන දර්ශනය ගැන විද්වත් සමාජයේ පැහැදීම අඩුවී ගිය කාලයකි. සාමාන්‍ය වැසියන් ඒ දර්ශන ගැන එතරම් අවධානයක් නොදැක්වූ කාලයකි.

ඇඩම් ස්මිත් ලියූ ජාතීන්ගේ ධනය තුළ ශ්‍රම විභජනයෙන් යුතු කම්හල් රැකියාවක නියැළෙන්නා මුහුණ දෙන ඒකීය රටාව ගැන සඳහන් වෙයි. විශේෂ ප්‍රාගුණ්‍යයකින් යුතු සේවකයා ඒකාකාරී කර්තව්‍යයක දිනපතා යෙදන විට ඔහුට මනස පුළුල් කරගන්නට හැකියාවක් නොමැතිවීම ගැන ස්මිත් සඳහන් කර තිබුණි.

වෙනත් දේපල නොමැතිකම නිසා, කම්හල් ශ්‍රමිකයන්ට ජීවිතය පවත්වාගැනීම සඳහා විකිණීමට ඇති එකම දැය ශ්‍රමයයි.

කාල් මාක්ස් මෙහි දී සමාජයේ කම්කරු පංතිය හෙවත් ශ්‍රමය වෙහෙසන්නට සිද්ධ වී තිබෙන පංතිය සහ බුර්ජුවාසී පංතිය හෙවත් වෙළඳාමේ යෙදෙන දේපල අයිති අය යන කොටස් දෙකක් හඳුන්වන්නට ඉදිරිපත් වූයේය. මාක්ස්වාදයට අනුව දේපල අයිති අය හොඳින් ජීවත්වෙන්නේ දුප්පතුන් සූරා කෑමෙනි. මාක්ස් හිතුවේ විප්ලව පටන් ගැනෙනුයේ කාර්මික සමාජ තුළින් කියායි. එනම් බුර්ජුවාසී පංතිය විශාල ලෙසින් පවතින සමාජයන්හි කියායි. ඒත් ඇත්තෙන්ම සිද්ධ වූයේ අනෙකකි. කොමියුනිස්ට් විප්ලව හටගත්තේ කෘෂිකාර්මික සමාජ තුළිනි. ඒවායේ පෙරමුණ ගත්තේ හෝ නායකත්වය දැරුවේ ශ්‍රමිකයන් නොවූහ. 1985 වෙද්දී ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් මාක්ස්වාදී-ලෙනින්වාදී දේශපාලන ක්‍රමයක් යටතේ ජීවත් වූහ.

ඒ සියළු දේශයන්හි වාසය කළ ශ්‍රමිකයන් අත්විඳින ලද ඛේදනීය තත්ත්වයන් තවමත් මාක්ස්වාදය ගැන උගන්වන විශ්වවිද්‍යාලයන්හි දී කතාබහට ලක්වෙනවාද?

ජනමාධ්‍යවලින් අහන්නට ලැබෙනවාද?

තමන් දකින ලද තත්ත්වයක් වැරදියට අවබෝධ කරගෙන ඊට අසාර්ථක සහ අතිශය ඛේදනීය ඵලවිපාක ඇති කරන ලද විසඳුමක් ඉදිරිපත් කළ පුද්ගලයෙක් ලෙසින් කාල් මාක්ස් හඳුන්වා දීම සිද්ධ වෙනවාද?

ජෝන් ස්ටුවර්ට් මිල් 1859 දී නිදහස ගැන (On Liberty) නමින් අගනා කෘතියක් ලොවට පිරිනැමීය. වෙනකෙකුට හානියක් නොකරන තාක් කල් වැඩිහිටියෙකුට තමන් කැමති ලෙසකින් ජීවත්වීමට හැකි යැයි එයින් ඔහු පෙන්වා දුන්නේ ය. අධ්‍යාපනය සමාජයේ බහුතරය අතර පැතිර යද්දී ක්‍රමයෙන් සමාජයේ සියළු පුද්ගලයන් තම තත්ත්වයන් සියළු පැතිකඩ වලින් උසස් මට්ටමකට ගෙනෙන්නට සමත්වන බව ඔහු ලියන ලදි.

නිදහස ගැන නමින් මිල් ලියූ පොතෙන් වසර 152 කට පසුව 2011 දී ස්ටීවන් පින්කර් මූලාශ්‍ර මහත් සංඛ්‍යාවක් ගෙනහැර පාමින් තත්ත්වය මිල් කියූ ලෙසින්ම දිගහැරෙන ලදැයි පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ ඇමෙරිකාවෙන් අහන්නට දකින්නට ලැබුණ මහා ගජබින්න බොහොමයක් දැන් එකින් එක හෙළිදරව් වෙමින් පැවතිය දී, කාල් මාක්ස්ගේ කම්කරු පංතියේ විප්ලවය නොව මිල් නැමති දාර්ශනිකයා දැක්වූ මිනිස් ස්වභාවයේ ක්‍රමවත් දියුණුව සමාජයේ ප්‍රගතිය සැබෑ ලෙසින් සිද්ධවන නිවැරදි අර්ථ දැක්වීම බව නැවතත් පැහැදිලිව පෙනී යයි.