අරුණි ශපීරෝ‍ වෙතින්

අහම්බෙන් සහ බලහත්කාරයෙන් ද නැත්නම් සලකා බැලීමෙන් සහ තෝරා ගැනීමෙන් ද?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 19, 2013

නිදහස කුමක් දැයි ලොවට කියා දුන් ෆෙඩරලිස්ට් රචනා අංක 1 ලියන්නේ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් විසිනි. සියළු රචනාවන් නිව් යෝර්ක් ප්‍රාන්තයට එදා ඉදිරිපත් වූයේ පුබ්ලියස් නම් අන්වර්ථ නාමයෙනි. අද ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ඒවායෙන් රචනා 51 ක් ලියන ලද බවත්, ජේම්ස් මැඩිසන් රචනා 29 ක් ද, ජෝන් ජේ විසින් රචනා 5 ක් ද ලියා ඇති බව ඉතිහාස ගත වී ඇත.

ෆෙඩරලිස්ට් රචනා වලට හැඳින්වීමක් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් රචනා අංක 1 තුලින් ඉදිරිපත් කරයි. මෙහි දී ඔහු පහත අදහස් සලකා බලන්නට ඉදිරි රචනා වලින් අවධානය යොමු කරන බව කියයි. මේවා සලකා බැලිය යුත්තේ මන්දැයි පැහැදිලි කිරීමට මේ රචනාව ලියා ඇතැයි කිව හැකිය. මිනිස් නිදහස ගැන හෝඩුවාවක් ලොව නොතිබි යුගයක ඒ ගැන විමසීමේ දී ඔවුන් ගත් වගකීම මේ උත්සාහයන් තුලින් මනාව පිළිබිඹු වෙයි.

1. දේශපාලන සමෘද්ධියට සියළු ප්‍රාන්ත එකතුව සිටීමෙන් (යුනියනය) ලැබෙන ප්‍රයෝජනය
2. යුනියනය ආරක්ෂා කිරීමට දැනට ඇති හවුල ප්‍රමාණවත් නොවීම
3. මේ අරමුණ සාක්ෂාත් කිරීමට ජවයකින් පිරි ආණ්ඩුවක අවශ්‍යතාවය
4. ජනරජ ආණ්ඩුවක් සඳහා සත්‍ය ප්‍රතිපත්ති යෝජනා කරන ව්‍යවස්ථාවේ ඇත්දැයි විමසීම
5. ඔබේ ප්‍රාන්ත ව්‍යවස්ථාවට එය සාදෘශ්‍ය දැයි විමසීම
6. නිදහස සහ සමෘද්ධිය තව වැඩියෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේදැයි විමසීම

ෆෙඩරලිස්ට් රචනා වල අරමුණ: ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ආදීපීතෘවරුන් සකස් කරගත් ෆෙඩරල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මහජන ප්‍රසාදය දිනා ගැනීමෙන් ප්‍රාන්ත 13 එක රටක් බවට එකතු කිරීම විය. ඒ සඳහා ඒ එක් එක් ප්‍රාන්තය විසින් එහි ජීවත්වන ජනතාවගේ ප්‍රසාදය ඇතිව රටේ ප්‍රථම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීම කැමැත්තෙන් කරවා ගන්නට විචාරයේ සහාය ඇතිව ඔවුන් මෙසේ සමත් වූහ.

ලෝකයේ වඩාත්ම සිත් ගන්නා රජයේ ඉරණම තීරණය කිරීම ඉතා වැදගත් විෂයයක් බව කියමින් ඔහු රචනා අංක 1 පටන් ගනියි.

“රටේ ජනතාවට, ඔවුන් එකිනෙකාගේ හැසිරීම හා ඔවුන් එකිනෙකාගේ ආදර්ශයන් අනුව රටේ ඉරණම තීරණය කරන්නට ඉඩ දිය යුතු නම් එහි දී වඩා වැදගත් කුමක් ද?

යහපත් ආණ්ඩුවක් ලැබෙන්නේ සලකා බැලීමෙන් හා තෝරා ගැනීම් වලින් තීරණය කිරීමෙන් ද?

නැත්නම්, අහම්බෙන් හෝ බලය (force) යොදා ඔවුන්ට දේශපාලන ආයතන නියම කිරීමෙන් ද?

අපි අද ඉන්නේ මේ දෙකෙන් එකක් තෝරා ගැනීම අබියස. වැරදි තෝරා ගැනීම අප අතින් සිද්ධ වුවහොත්, ඒ අනුව අපි ක්‍රියාකාරී වුවහොත්, එය මනුෂ්‍ය වර්ගයාගේ මහත් දුර්භාග්‍යය වෙයි.

අප ඉදිරියේ ඇති දැවැන්ත බාධකයන් අතර පළමුවැන්න: හැම ප්‍රාන්තයකම ඉන්නා යම් මිනිසුන් කොට්ඨාශයක් තමන්ගේ බලය අඩු වී යන බව දකිනා නිසා සෑම වෙනසකටම එරෙහි වීම.

අප ඉදිරියේ ඇති දැවැන්ත බාධකයන් අතර දෙවැන්න: විකෘති අභිලාෂයන් ඇති තවත් කොට්ඨාශයක් එක්කෝ ඔවුන්ගේ පිරිස අතර අන්දබූතය (confusion) පතුරුවා හැර ඔවුන්ගේ නායකත්වය උසස් කර පෙන්වනු ඇත. එසේ නැත්නම් ඔවුන් රට කොටස් කොටස් වලට කඩා දැමීමේ මහඟු වාසි ගැන උඩඟු ලෙසින් කියනු ඇත.

පාරම්පරිකව අල්ලා ගෙන ඉන්නා ද්වේශයන් නිසා මිනිස් මොළයේ අවංක වැරදීම් සිද්ධ වෙන බවත් අප අමතක කළ නොයුතුය. විනිශ්චයක් කරා එන වැරදි පක්ෂභජනය (bias) සිද්ධ වෙන්නට හැකි හේතුන් කොතරම් විවිධ හා කොතරම් බලවත් දැයි කියුවොත්, අපි බොහෝ අවස්ථා වල දී, දැක ඇත්තේ හොඳ මිනිසුන්, ඥානවන්ත මිනිසුන්, වරෙක හොඳ පැත්තේ ද, තවත් වරෙක නරක පැත්තේ ද සිටිනා බවයි. ඒ නිසා, සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අය එසේ කරන්නේ ඔවුන්ගේ එදිරිවාදීන්ට වඩා ඉහළ වූ පිවිතුරු චේතනා වලින් දැයි අපිට සහතික නැත.

අභිලාෂයන්, තෘෂ්ණාවෙන්, පුද්ගලික කෝන්තර වලින්, පක්ෂ විරෝධතාවන් සහ තවත් අනේක අභිප්‍රේරණ වලින් උසිගැන්වී කටයුතු කිරීම අපට යම් ප්‍රශ්නයක නිවැරදි පැත්ත විමසීමේ දී, තමන් අල්ලා ගන්න පැත්තේ අයගෙන් ද, අනිත් පැත්තේ අයගෙන් ද යන දෙගොල්ලන් වෙතින් ම දකින්නට හැකියි.

එවැනි හැසිරීම් වලින් නොඉවසිල්ලෙන් අපි රටේ ව්‍යවස්ථාව සලකා බලන්නට උත්සාහයක් ගන්නේ ද, එවිට අපිට ලැබෙන්නේ අනිසි ලෙසින් විනිශ්චය වූවකි. හැම විටම දේශපාලන පක්ෂ තුලින් දකින්නට ලැබෙන්නේ එවැනි ලක්ෂණයකි. ගින්නෙන් හා කඩුවෙන් අන්‍ය ආගමකට හැර වූ පුද්ගලයෙක් මෙන් එවිට දේශපාලනයට ද නිරර්ථක පාක්ෂිකයෙක් ලැබේ. ඒ දෙකේම ඇති මිථ්‍යාග්‍රාහයන් වධහිංසා වලින් සුව කරන්නට බැරිය.

කාර්යක්ෂම සහ ජවයෙන් පිරි ආණ්ඩුවක් සඳහා අවබෝධයෙන් යුතු අඛන්ඩ හා කැප වු ප්‍රයත්නයක් අපකීර්තියට පැමිණෙන්නේ බලයට කෑදර ආවේග තුලිනි. නිදහසට එරෙහි වූ ප්‍රතිපත්ති වලිනි. සියළු පුද්ගලයන්ගේ අයිතීන් ආරක්ෂාව වෙනුවෙන් දැඩි ලෙසින් පෙනී සිටින්නාව ඒ සඳහා බොරුවට පෙනී සිටින්නෙක් හෝ ප්‍රයෝගකාරයෙක් යැයි මහජන සුවසෙත සඳහා තමුන් පෙනී සිටිනවා යැයි කියන පිළුණු වෙච්ච ගුණ්ඩුවෙන් ජනප්‍රිය වෙන අය විසින් කියනු ඇත.

මගේ සෙසු පුරවැසියෙනි, ඉදිරියේ දී ඔබ වෙත ඉදිරිපත් කරන සියල්ලෙන්, ඔබේ සුවසෙත වෙනුවෙන් ඔබේ තීරණයට යම් බලපෑමක් කරන්නට මම උත්සාහයක් ගනිමි. එයින් අනතුරුව සත්‍යය පිළිබඳ සාක්ෂි දැකීමෙන් පසු ඔබ ගන්නා තීරණයක් සිද්ධ වෙනු ඇතැයි මම උදක්ම අපේක්ෂා කරමි.

මගේ සෙසු රටවැසියෙනි, ඔබේ නිසි සලකා බැලීමට ලක්වීමෙන් පසුව මේ ව්‍යවස්ථාවට ඔබ එකඟ වේ යැයි මගේ පැහැදිලි මතයයි. එය ඔබේ නිදහසට, ඔබේ උදාරත්වයට, ඔබේ සතුටට ඇති ආරක්ෂිතම වූ මාර්ගයයි. මම මේ ගැන හිතා බලමින් සිටින්නේ යැයි මා ඔබ සමඟ විහිළු නොකරමි. මම තීරණයක් ගෙන ඇත්තෙමි. මගේ ස්ථිර විශ්වාසය මා මෙසේ ඔබ හමුවේ කියා සිටිමි. එසේ විශ්වාස කිරීමට හේතු පැහැදිලි ලෙසින් මා ඔබ හමුවට ගේන්නම්. මගේ තර්කයන් සියල්ලන්ම විවෘත වූ ඒවා වුවත් මා පෙළඹ වූ හේතුව මගේ හදවතේ පමණක් රඳවා ගෙන ඉන්නම්.”

-පුබ්ලියස්

මෙය සම්පූර්ණ පරිවර්තනයක් නොව අංක 1 හි වැදගත් යැයි මට සිතෙන අදහස් එකතුව පමණකි. මෙය ප්‍රකාශිත වූයේ 1787 ඔක්තෝබර් 27 වැනි දිනයේ.

විචාරය සහ මෝහය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 9, 2013

Thomas Paine

විචාරය (reason) සහ මෝහය (ignorance) එකිනෙකට පරස්පරය. බහුතර මිනිස් ප්‍රජාව බලපෑමට ලක් කරන්නේ මේ දෙකින් එකකි. මෙයින් එකක් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ ද, එය මේ දෙකෙන් කොයි එක වුවත් කම් නැත, ඒ රටේ ආණ්ඩුව ලෙඩ නැතිව දුවන මැෂිමක් සේ කාර්යක්ෂමව ක්‍රියා කරයි.

විචාරය එයටම අවනත වෙයි. මෝහය එයට ආඥාදායකත්වය දුන්නට යටත් වෙයි.

ලෝකයේ ඇති ආණ්ඩුක්‍රම අතර පැවැත්මට ඉඩක් ඇති පද්ධති දෙකකි.

පළමුවැන්න, ජනතාව වෙතින් තෝරා පත් වී ජනතාව නියෝජනය කරමින් ආණ්ඩු කිරීමයි.

දෙවැන්න, පරම්පරා උරැමයෙන් ආණ්ඩු කිරීමයි.

පළමුවැන්න සාමාන්‍යයෙන් සැලකෙන්නේ ජනරජයක් කියාය. දෙවැන්න රාජාණ්ඩුවක් හෝ වංශවතුන්ගේ (aristocracy) ආණ්ඩුවක් යැයි සාමාන්‍යයෙන් සැලකෙයි. එහෙත් පරම්පරාගත වංශවතුන් පරදවා ජනතා බලයට ප්‍රමුඛත්වය දෙන්නම් යැයි පාරට්ටු බෑ කොමියුනිස්ට් ලෝකයේ ෆිඩෙල් කැස්ත්‍රෝ 1961 සිට 2011 දක්වා පාලනයේ සිට අනතුරුව සිය සහෝදර රවුල් කැස්ත්‍රෝට 2011 දී පාලන බලය උරුම කළේය. උතුරු කොරියාවේ කිම් ඉල්-සුන් 1948 සිට 1994 දක්වා බලයේ සිට එය උරුම කළේ පුතා කිම් යොන්ග්-ඉල් ට ය. ඔහු 1994 සිට 2011 දක්වා බලයේ සිට එයාගේ පුතා වූ ද, අනෙකාගේ මුණුපුරා වූ ද කිම් යොන්-ඉල් ට 2011 දී බලය උරුම කළේය.

ආණ්ඩුවකින් කෙරෙන කාර්යභාරයන් ඉටුවෙන්නට නම් කුසලතා හා හැකියාවන් ඇති පුද්ගලයන් සිටිය යුතුයි. එය උරුමයෙන් පමණකින් ලැබෙන්නේ නැත. උරුමයෙන් පැවත එන ආණ්ඩුවක් සාර්ථක ආණ්ඩුවක් යැයි පිළිගන්නා අය තුල විචාරයට ඉඩක් නැත. එවැනි අය තුල ඇත්තේ මෝහයයි. මෝහයෙන් පිරුණු පුරවැසියන් වැඩියෙන් සිටිනා විට, උරුමයෙන් දායාද වන ආණ්ඩුවක පැවැත්ම ස්ථිරසාරය.

ඊට පටහැනි ලෙසින්, ව්‍යවස්ථාදායකව නිර්මාණය කරන ලද ජනරජයක් ස්වභාවයෙන්ම ඉල්ලන්නේ එහි පුරවැසියන් තුලින් විචාරයකි. එවැනි ජනරජයක ආරම්භයට, එහි පැවැත්මට, එහි ක්‍රියාකාරීත්වයට යන සියල්ලටම විචාරය වැඩියෙන් තිබෙන පුරවැසියන් අවශ්‍ය වෙයි. එවැනි ආණ්ඩුවක පැවැත්ම රඳන්නේ එහි මෙහෙය වඩාත් හොඳින් හඳුනාගන්නට හැකියාව හැකි පුරවැසියන් සිටින්නේ නම් පමණි. එහි මෙහෙය වඩාත් හොඳින් හඳුනා ගන්නට නම් පුද්ගලයන් තුල පවතින මෝහයට වඩා වැඩියෙන් විචාරය තිබීම අත්‍යාවශ්‍යයයි.

එකක් නිදහස් ලෙසින් පැවතෙන්නේ විචාරයේ සහායෙන්. අනෙක යටහත් ලෙසින් පැවතෙන්නේ මෝහයේ සහායෙන්.

මේ දෙකම මිශ්‍ර වූ ආණ්ඩුවක්? අහෝ, එවැනි ආණ්ඩුවක් ඉදිරියට යන්නේ දූෂණයේ (corruption) බලයෙන්. මිශ්‍ර ආණ්ඩුවක දැකිය හැකි උරුමයේ හැදියාවට කරච්චල් කන්දොස්කිරියාවල් කරන්නට ජනරජයේ හැදියාව ඉදිරිපත් වෙද්දී, විචාරය අල්ලස් සහ දූෂණයෙන් මිල දී ගන්නට සිද්ධ වේ. මිශ්‍ර ආණ්ඩුවක් ඒ නිසා අසාර්ථක වූවකි. පැවැත්මකින් තොර වූවකි. එවැනි ආණ්ඩුවකට තම පැවැත්ම ආරක්ෂා කරගන්නට නම් එක්කෝ ජනරජයක් කරා විචාරයෙන් යා යුතුය, නැත්නම් මෝහයෙන් උරුමයට යා යුතුය.

මේ අදහස් Thomas Paine ලියූ The Rights of Man (1792) කෘතියෙන් තව දුරට කියැවිය හැකියි. 1737 සිට 1809 දක්වා ජීවත් වූ තෝමස් පේන් 1774 දී ඇමෙරිකාව බලා ආ ඉංග්‍රීසි ජාතිකයෙකි. දේශපාලන දාර්ශනිකයෙක් වු හෙතෙම මිනිසා සතු “ස්වභාවික අයිතීන්” (natural rights) මොනවා දැයි විග්‍රහ කළේය. ඔහු ආණ්ඩුවේ ක්‍රෑර පාලනයෙන් (governmental tyranny) නිදහස් වෙන්නට යැයි ඒකීය පුද්ගලයන්ව උනන්දු කළ අයෙකි.

ලින්කන් ගේ යුද්ධය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 8, 2013

“ඉතිහාසය යනු කුමක් ද?” යැයි ප්‍රශ්නයක් ඉතිහාස පංතියක දී මුලින් ම අහනවා දැයි නොදන්නෙමි. මා ඉතිහාස පංතියක කිසිම දවසක වාඩි වී නැත. දර්ශනය යනු කුමක් ද? යැයි දර්ශනය 101 පංතියේ දී මුලින් ම විමසන ප්‍රශ්නයක් වී ඇත්තේ සමහර විට PhD ලැබුවත් එය කුමක් දැයි වටහා නොගන්නා බහුතරයක් ඉන්න නිසා වෙන්නට ඇති!!!

“ඉතිහාසය නම් උදාහරණ වලින් දර්ශනය ඉගැන්වීමයි,” -History is philosophy teaching by example යැයි මුලින්ම කියා ඇත්තේ හැලිකානැසස් හි දියොනිසියස් නම් ග්‍රීක ඉතිහාසඥයාය. එය බ්‍රිතාන්‍ය දේශපාලනඥ, පාර්ලිමේන්තු සභික හා දේශපාලන දාර්ශනිකයෙක් වූ බෝලින්බෲක් විසින් ප්‍රචලිත කරන ලද නිසා පළමුවෙන් කියුවේ ඔහු යැයි සිතනා අය බහුලය.

තොරතුරු බහුල ලෝකයට පිවිස ඉන්නා අපි සත්‍ය අසත්‍ය තෝරා බේරා ගන්නේ කෙසේද යන්නත් විවාදයට තුඩු දෙන්නකි!!! මුදල් යන්නේ කොහාට දැයි සොයන්න, (follow the money) එක අවවාදයකි. තොරතුරු සපයන්නාගේ ගැතිවාදය විමසන්න යැයි තවත් අවවාදයකි. දාර්ශනිකයාට වඩා වැදගත් වෙන්නේ අයෙක් තම මතය පෙන්වන්නට යොදාගන්නා සාක්ෂි වෙති. එය විචාරයෙන්, තර්කයෙන් මෙන්ම පරිසිද්ධි (facts) වලින් ද විමර්ශනය කළ යුතුයි.

ඉතිහාසය හදාරන්නාට යම් විස්තරයක් හමුවෙද්දී, එය රජවරුන් විසින් ලකුණු දාගන්නට ලියූවක් ද, ඔවුනට කත් අදින අය විසින් ලියන ලද්දක් ද, යම් පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට ලියන ලද හෝ මෝහයෙන් ලියන ලද දැයක් දැයි සොයා ගන්නට හැකියාව ලැබෙන්නේ දිගින් දිගටම ඒ ගැන සෙවීම අත්හැර නොදමන්නේ නම් පමණි. පර සුද්දන් සිංහලයන්ව මධ්‍යසාරයට ඇබ්බැහි කළා යැයි මේ අඩවියේ දී දෝෂාරෝපණයක් එල්ල වෙද්දී මා මූලාශ්‍ර පෙන්වන්න යැයි ඉල්ලා සිටියෙමි. එහෙම නැතැයි කියන්නට මා සතු මූලාශ්‍ර නොමැති වූ නිසා එදා එහෙම වූයේ නැතැයි මම කිව්වේ නැත. ඔවුන් මූලාශ්‍ර පෙන්වූයේ නැත. එහෙත් මගේ විමසුම මා නැවතුවේ නැත.

ලංකාවේ පරාක්‍රමබාහු රජ සමයේ තිබි ආර්ථක ප්‍රතිපත්ති ගැන අගනා ලිපියක් ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා Economic Policies of Parakramabahu the Great: What lessons are there for today? යන සිරස්තලයෙන් My View: Economics Matters තීරුවට ලියා තියෙනවා. එය සිංහලෙන් කොතැනක හෝ පළ වී නැත්නම් මම ඔහුගෙන් අවසර ගත හැකිනම් එහි පරිවර්තනයක් ඉදිරි දවසක මේ අඩවියේ දාන්නම්. අපේ වාමාංශික සහෝදරයන් මට මේ අඩවියේ සුද්දෝ මධ්‍යසාරය ගෙනැවිත් සිංහලයාව ඇබ්බැහි කළා කියලා අවලාද කියා තිබුණ. බලාගෙන ගියාම පරාක්‍රමබාහු රජ්ජුරුවෝනේ 1154 දී මධ්‍යසාර වෙළඳාමේ යෙදිලා තියෙන්නේ පර සුද්දන් ලංකාවට එන්නත් කළින්ම!!!

ඒ ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනය අද මෙතැනින් කියැවිය හැකියි. එහෙත් එක් අයෙක් කරන ලද පර්යේෂණ ලිපියකින් සත්‍යයක් අසත්‍යයක් යැයි තෝරා බේරාගත නොහැකිය. ඉදිරිපත් කරන ලද්දා වූ මතයක්, තතු දක්වා සත්‍ය යැයි ඔප්පු කර ඇති තවත් අය ඉන්නවා දැයි සොයා බලා, ඒ අය විසින් ද මේ මතය තහවුරු කරන සාක්ෂි පෙන්වා දෙන්නේ දැයි සෙවීමට තමන් විසින් උත්සාහයක් ගත යුතුයි.

“දත්ත හා මූලාශ්‍ර පෙන්විය නොහැකි කල කියන දෑ කටකතා, හිස් වචන හා සම්ප්‍රලාප පමණයි. තාර්කික ඔප්පු කිරීමක් නැති වාක්‍යයන් හුදු ඔප්පු නොකරන ලද ප්‍රස්තුතයක් පමණයි.

ඔය දෙක නැතිව කරන සංවාදය කාලය නාස්ති කිරීම මිස ප්‍රයෝජන රහිත ය!!!”

එය පිළිගන්නේ නැති අය මේ අඩවියෙන් කිසිවක් තම දැනුමට එකතු කරගන්නේ නැත. ඔවුන් වෙනුවෙන් නාස්ති කරන්නට කාලයක් මට නැත. සම්ප්‍රලාප වලින් කාලය ගෙවීමට රිසි අයගේ ඉල්ලුම සපයන්න ඕනෑ තරම් සිංහල බ්ලොග් අඩවි තිබේ.

ඉතිහාසය හදාරන අයට තවත් වැදගත් වෙන්නකි “සංශෝධනවාදය” (revisionism). කළින් ලියා ඇති වූවක සත්‍යය සංශෝධනවාදය නිසා විකෘති වේ යැයි සමහර අයගේ මතයකි. “ඉතිහාසය පරිසිද්ධි අනුව ගැලපීමක් සංශෝධනවාදයෙන් සිද්ධ කරයි,” -Revisionism is bringing history into accord with facts,” යැයි Harry Elmer Barnes කියයි. ඕර්වෙල්ගේ 1984 ප්‍රබන්ධයේ “සංශෝධනවාදය” යන්න ආණ්ඩුවෙන් වාරණය කරන ලද වචනයකි. එහි “Ministry of Truth” විසින් ඉතිහාසය උවමනාවෙන්ම සාවද්‍ය ලෙසින් ලියා ඇත්තේ තම අතීතයේ සත්‍යයන් නොදන්නා අයට ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත නොහැකි නිසා ඔවුන්ව වර්තමානයේ දී පමණක් නොව අනාගතයේ දී ද පහසුවෙන් පාලනය කළ හැකි යැයි ආණ්ඩුවේ මතය නිසයි.

දෙවැනි ලෝක යුද්ධයේ දී Katyn හි (වර්තමාන බෙලාරූස් හි) සිද්ධ වූ සමූල ඝාතනය බහුතර ඉතිහාස පොත්වල ලියැවුනේ ජර්මානුවන් කරන ලද යුද අපරාධයක් ලෙසිනි. 1939 සැප්තැම්බරයේ දී ජර්මානුවන් සහ සෝවියට් යුනියනය පෝලන්තය ආක්‍රමණය කර එය දෙගොල්ලන් විසින්ම අල්ලා (occupy) ගත්හ. පෝලන්ත හමුදාවේ නිලධාරීන්, දේශපාලන නායකයන්, විද්වතුන් හා ගුරුවරුන් එහි දී සමුල ඝාතනය වූයේ යැයි දැනගන්නට ලැබිණ. 1943 දී අතුරුදහන් වූ ජනකායෙන් 15,000 ක සිරුරු සොයා ගැනිණ. එකිනෙක මත පැටවූ මේ සිරුරු වලට අයත් හිස්කබල් වල එක වෙඩි උණ්ඩයක සිදුරක් දැකිය හැකි විය. යුද කාලයේ ප්‍රොපගැන්ඩා වලින් ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය හා රුසියාව ද කියා සිටියේ එය ජර්මන් අපරාධයක් කියාය. 1940 දී ජෝසප් ස්ටාලින්ගේ විශේෂ අඥාව යටතේ 21,587 ක පිරිසක පෝලන්ත හතුරන්ව මේ ස්ථානයේ දී මරන්නට සෝවියට් රහස් පොලීසියට අණ දුන් සත්‍ය ලිපිලේඛන 1989 දී මිකායෙල් ගොර්බචොව් විසින් ඉදිරිපත් කරන ලදි. ඔහු අනිත් සොහොන් ගැන විස්තර දුන්නේ නැත. අනෙකුත් සොහොන් හෝ පුද්ගලයන් කිසිදා සොයා ගැනුනේ නැත. මේ විස්තර ලොවට ඉදිරිපත් කළ පසුව Katyan සමූල ඝාතනය ජර්මානුවන් කරන ලද අපරාධයක් යැයි ඒ ස්ථානයේ තිබූ පුවරුව ඉවත් කරනු ලැබීය.

Death by Government (1994) සහ Power Kills: Democracy as a method of nonviolence (1997) යන පොත් දෙකෙන් R. J. Rummel විසින් ඔප්පු කරන්නේ ලෝකයේ ලොකුම මිනීමරුවා ස්ටාලින් බවත් දෙවැනියා මා ඕ සේතුං බවත් ය. එහෙත් විස්තර නොසොයන අයට ලෝකයේ කුරිරු අධිරාජ්‍යවාදීයා සහ කුරිරුම වූ මිනීමරණ යුදකාමීයා ඇමෙරිකාව යැයි කියමින් රවටන්නට සහ ඒ මුලාවේ තවත් ලගින්නට, ඇමෙරිකාවම සිය ප්‍රබන්ධ වලින් සහාය වෙයි!!!!

දැන් ලින්කන්ගේ යුද්ධයට. 1861 දී, ඒබ්‍රහම් ලින්කන් දකුණු පළාත් වලට යුද්ධයක් ගෙන ගියේ වහලුන් බේරාගන්නට නොවේ. සිවිල් යුද්ධය ආරම්භ කරන්නට ප්‍රධාන හේතුව වුයේ යුනියනය නොහොත් ඇමෙරිකාව දෙකට කැඩී යාවී යන බියයි. යුනියනය කැඩී නොයා දීමට කළ යුද්ධය නිසා මරණයට පත්, තුවාල ලත් හා අතුරුදහන් වූ සංඛයාව මිලියන 1.5 කි. ජනාධිපති තනතුර බාරගනිද්දී පවත්වන ලද පළමු ඇමතුමේ දී ලින්කන් විසින් කියන්නේ ෆෙඩරල් ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සංශෝධනයකින් වහලුන් තබා ගන්නා ප්‍රාන්ත වලට ඒ අයිතිය දෙන්නට කැමති යැයි කියාය. I have no purpose, directly or indirectly, to interfere with the institution of slavery in the States where it exists. I believe I have no lawful right to do so, and I have no inclination to do so.

Stephen Douglass සමඟ 1858 දී කරන ලින්කන්-ඩග්ලස් විවාද වල දී කළු හා සුදු ජාතීන් අතර ඇති “ශාරීරික වෙනස්කම්” නිසා සමාජයීය හා දේශපාලන වශයෙන් සමානාත්මතාවයෙන් කටයුතු කරන්නට ඔවුනට නොහැකි වනු ඇතැයි ලින්කන් කියා ඇත. “I am not, nor ever have been, in favor of bringing about in any way the social and political equality of the white and black races, that I am not nor ever have been in favor of making voters or jurors of negroes, nor of qualifying them to hold office, nor to intermarry with white people; and I will say in addition to this that there is a physical difference between the white and black races which I believe will forever forbid the two races living together on terms of social and political equality.”

දකුණු පළාත් වල සිටිය සියල්ලන්ම වහල් ක්‍රමයට එක ලෙසින් අනුමැතිය දුන් අය ද නොවේ. Stonewall Jackson සහ Robert E. Lee ඊට විරුද්ධ වූවන් අතරින් කැපී පෙනෙන අයයි. James Henley Thornwell ක්‍රමයෙන් නිදහස් බව වහලුන්ට ප්‍රදානය කරන සැලසුමක් ගෙනහැර පෑවේය. “It is a publick testimony to our faith, that the Negro is of one blood with ourselves -that he has sinned as we have, and that he has an equal interest with us in the great redemption.” -The Rights and the Duties of Masters, 1850

සියළු වහලුන්ගේ නිදහස මිල දී ගෙන ඔවුනට අක්කර 40 ක් දී බූරුවෙකුත් දෙන්නට හැකි තරම් වැයක් ලින්කන් විසින් සිවිල් යුද්ධයට වැය කළා යැයි පෙන්වා දෙන්නේ Jeffrey Rogers Hummel ලියන Emancipating Slaves, Enslaving Free Men (1996) කෘතියේය.

1861 අගෝස්තු 5 වැනිදා ඇමෙරිකන් සිවිල් යුද්ධයේ (1861 අප්‍රේල් 12 පටන් ගෙන 1865 මැයි 9 වැනිදා අවසන් වූ) වියදම් පියවා ගනු පිණිස යැයි ද, රට එක්සත් කරන්නට යැයි ද, වහල් නිදහස වෙනුවෙන් යැයි ද පාරට්ටු බාන ලින්කන් විසින් ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ වාර්ෂික ආදායම $800 කට වඩා වැඩියෙන් උපයන අයට 3% ආදායම් බද්දක් පැනවීමෙනි. 1871 දී කොංග්‍රසය ලින්කන්ගේ ආදායම් බදු නීතිය අවලංගු කර දමති. 1913 අපරානුමත වෙන ආදායම් බද්දක් නියම වෙන 16 වැනි සංශෝධනය මේ නිසා පහසු විය.

යුද්ධය දියත් වීමත් සමඟ ලින්කන්ගේ දර්ශනය ද වෙනස් වෙයි. යුද්ධයේ අවසාන කාලය ඔහු වහල් නිදහස වෙනුවෙන් පෙනී සිටියි. ඉතින් රිපබ්ලිකන් පක්ෂයේ ලින්කන් වහලුන් නිදහස් කළා යැයි පෙන්වන්නට ලින්කන් (2012) චිත්‍රපටියේ දැක්වෙන්නේ ඒබ්‍රහම් ලින්කන්ගේ ඒ අවසාන උත්කර්ෂවත් සමයයි!!!!

ඇමෙරිකන් වහල් ඉතිහාසය හොලිවුඩ් මවාපාන තරම් කුරිරු වූයේ නැත. 1860 දී දකුණේ මුළු වහලුන් සංඛ්‍යාව මිලියන 4 ක් පමණ විය.

අන්කල් ටොම් ගේ කැබින් එක ගැන ප්‍රබන්ධය ලියූ අහෝසිවාදියෙක් වූ හැරියෙට් වහල් ක්‍රමය පැවති දකුණේ ජීවත් වූවෙක් නොවේ.

1850 දී දකුණු පළාත් වල මුළු ජනගහණයෙන් කළු අය හා කුමන හෝ ආකාරයක ගණුදෙනු කළවුන් වූයේ 1/3 කටත් අඩුවෙනි. කළු හා සුදු ජාතීන් අතර ශ්‍රමයෙන් ණය ගෙවා නිදහස් වෙන indentured servant ලෙසින්, තම නිදහස තම ශ්‍රමයෙන් ලබාගත් මහත් පිරිසක් එදා වූහ. එසේම නිදහස් වහල් අය අනිත් කළු අයව තම වහලුන් කරගත්තේ ඔවුනට හිතවත් පවුල් එකතු වී වාසයට ඉඩක් දෙන්නටය. දකුණේ පදිංචිය අත්හැර ගියේ ස්වල්පයකි. පළාගිය අය අතරින් ආපහු අල්ලා ගන්නට පුද්ගලික වහල් සෙවුමේ යෙදුන අයට හැකිවූයේ ද තවත් ස්වල්පයකි.

වර්ජිනීයාව ඇමෙරිකන් ඉතිහාසයේ කළු ජාතිකයන් පළමුවෙන්ම ගෙන ආ, වැඩිම දීර්ඝ කාලයක්, වැඩිම පිරිසක් ජීවත් වූ ප්‍රාන්තය වෙයි. දකුණු කැරලයිනාවේ කළු වහලා ගැන Peter H. Wood විසින් කියා දෙන්නේ Black Majority (1974) ග්‍රන්ථයෙනි. සුදු අයට වඩා වැඩි කළු ජනගහණයක් සිටි එකම ප්‍රාන්තය එයයි. 1820 දත්ත අනුව සුදු අය 237,000; කළු අය 265,000 කි. 1820 දී එහි සිටි නිදහස් කළු අය 6,826 කි. සුදු අයටත් කළු අයටත් එක හා සමාන රුකියාවන් වල නියැළෙන්නට නිදහස තිබිණ. සුදු ගෘහ සේවිකාවන්ට වඩා වැඩියෙන් සිටියේ ආදායම් උපයන කළු ගෘහ සේවිකාවන්ය. කළු අයට වූ අතවර ගැන සත්‍ය වාර්තා වැඩියෙන්ම ඇත්තේ ද දකුණු කැරලයිනා වලිනි.

විස්තර: Encyclopedia of Black America, (1984) W. Augustus Low සහ Virgil A. Clift කර්තෘත්වයෙනි.

මිනිසාගේ නිදහසට ඉතා වැදගත් ස්ථානයක් දෙන, ඇමෙරිකන් ව්‍යවස්ථාව කුමක් අරබයා ලියැවුනා දැයි වටහා ගන්නා ඇමෙරිකානුවන්ට, වහල් බව යන්න සෙසු ලෝකයේ කිසිවෙකුටත් වඩා වේදනාකාරී වූවකි.

ආණ්ඩුවකට බදු ලෙසින් බලහත්කාරයෙන් මිනිසාගේ ශ්‍රමය උදුරා ගන්නට නීත්‍යානුකූල අවසරය ලැබෙද්දී යුක්ති සහගත නොවන යුද වල නිරත වෙන්නට ඉඩකඩ ලැබෙයි. නිදහස නීත්‍යානුකූල වූවාට පසු ඒකීය පුද්ගලයන් අතර සිදු වූ ගණුදෙනු මැදට බලලෝභී දේශපාලනඥයන් කඩා වැදී විකෘති කරන ලද නීතීන් නිසා, වහල් ක්‍රමය සාමකාමී ලෙසකින් තුරන් වූයේ නැත. ජාතිවාදී අරගල 60 ගණන් වල යළි හිස ඔසවන්නේ ද, අද බරක් ඔබාමා ඩ්‍රෝන් ප්‍රහාර වල යෙදෙන්නේ ද, අයෙකුගේ ශ්‍රමයට තවකෙකුට අයිතියක් කියන්නට හැකියාව ඇතැයි කියමින් නිදහස කුමක් දැයි තවමත් මිනිසා වටහා ගෙන නැති නිසයි.

ආණ්ඩුවක්, ජනතාවගෙන් හැදුන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ජනතාව විසින් මෙහෙයවන යැයි කියනා දේශපාලනඥයන් ජනතාව කවුදැයි අමතක කර දැමීම තරම් ironic අවුලක් වෙන නැත!!!!!!

යදම් ගැල වූ ජැන්ගෝ – ඩී සයිලන්ට් ය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 7, 2013

2012 දෙසැම්බරයේ ඇමෙරිකන් සිනමාවට එකතු වූ Django Unchained (2012) චිත්‍රපටිය කුවෙන්ටින් ටරන්ටිනෝ නිෂ්පාදනයකි. තතු දන්නා අයට දැන් කියැවීම අවසන් කර චිත්‍රපටිය රසවිඳිය හැකියි.

ඉතිරිය තතු නොදන්නා අයට. කුවෙන්ටින් ටරන්ටිනෝ යනු ඔහුටම ආවේනික ශෛලියකට චිත්‍රපටි නිපදවන අති දක්ෂ සිනමාකරුවෙකි. “යදම් ගැල වූ ජැන්ගෝ” බටහිර වීරකාව්‍ය සිනමා ප්‍රබන්ධයකි. එහි සත්‍ය සමාජ ලක්ෂණ සහ ප්‍රබන්ධය රසවත් කරන්නට යොදා ඇති පසුබිම තමන් විසින් තෝරා බේරාගත යුත්තකි.

ඇමෙරිකන් බටහිර සත්‍ය ඉතිහාසය, කව්බෝයි කතන්දර නොහොත් westerns යැයි සැලකෙන ප්‍රබන්ධයන් හි නිරූපනය වෙන තරම් දාමරික වූයේ නැත. යුරෝපීය නිරුවතට වඩා, ඉන්දීය කඳුළු ගංගා වලට වඩා, චීන සටන් ක්‍රම වලට වඩා, ත්‍රාසය දනවන උත්ප්‍රාසයෙන් පිරි ප්‍රචණ්ඩත්වය සිනමාවෙන් දකින්නට ඇමරිකන්කාරයා කැමතිය. කුවෙන්ටින් මනාව සපයා ඇත්තේ ඒ ඉල්ලුමයි.

පිරිමි වහලුන් අතර ග්ලැඩියේටර් වැනි සටන් වහල් හිමියන් විසින් පවත්වා ඇතැයි ඇමෙරිකන් ඉතිහාසයේ කොතැනකවත් ලියැවී නැත. තම දේපල මිය ගියහොත් එය ආර්ථික පාඩුවකි. උවමනාවෙන් තමනට ආර්ථික පාඩු සිද්ධ කරගැනීම ධනවාදීන්ගේ සිරිතක් නොවේ!!!!!

ඇමෙරිකන් ඉතිහාසය අවංකව හදාරන ඕනෑම අයෙකු පළමුවෙන්ම දකිනා දෙයක් නම් පළමු පරම්පරාවල අය විසින්ම ලියා ඇති ඇමෙරිකන් ඉතිහාස මූලාශ්‍ර කොපමණ යන්නේ ද කියාය. චිත්‍රපටියේ දැක්වෙන Ku Klux Klan වැනි අයව වසර දශකයකින් පෙරට කුවෙන්ටින් විසින් ගෙනැවිත් ඇත.

අයෙක් ජැන්ගෝ ඇමෙරිකන් වහලා ගැන වූවක් යැයි කියන්නේ නම් කුවෙන්ටින් හැදූ Inglourious Basterds (2009) ඇමෙරිකානුවන් හිට්ලර් පැරද වූ හැටි යැයි කියනු ද ඇත!!!!

සෙසු ලෝකය හා සසඳද්දී ඇමෙරිකාව වෙනස් වන්නේ:
වැඩවසම් ආර්ථික ක්‍රමයක් නොතිබීමෙන්
පරම්පරා උරුමයෙන් ලැබුන ඉඩම් අයිතියක් මූලාරම්භයේ පටන් නොවීමෙන්
පංති අරගලයක් නොවීමෙන්
ඇමෙරිකන් පදිංචිකරුවන්ට රටේ හැම පළාතකම නිදහසේ ගමන් බිමන් කිරීමට හැකිවීමෙන්
ආරම්භයේ පටන් ම විවිධ ජාතීන් අතර විවාහ සිද්ධ වීමෙන් (මම වගේ!!!)

ඉතින් මෙහි දී ඇමෙරිකාවට බනින්නට උවමනා අය යොදා ගන්නේ අධිරාජ්‍යවාදීන් (පෘතුගීසි, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ, ප්‍රංශ, ඕලන්ද) ඇමෙරිකාවටත් ගෙනා, එවක ලෝකයේ හැම තැනකම තිබි වහල් ක්‍රමයයි. පුරාතන ග්‍රීසියේ ප්ලේටෝ ද වහලෙක් වී සිටියේය. යුරෝපීයයන් අතර වහලුන් හා වහල් අයිතිකරුවන් එකම ජාතියකට අයත් වී සිටියා යැයි ද, වහල් ක්‍රමයේ ඉතිහාසය අවුරුදු දහස් ගණනක් ඈතක දී ඇරඹුන ලද්දක් බව ද මොවුන් අමතක කරති. මෙසේ ඇමෙරිකාවේ වැරදි පමණක් හොයන අයට ලොවේ එකම වහල් ක්‍රමය තිබුනේ ඇමෙරිකාවේ පමණි. ඒ මදිවාට කළු අය 13% ක් පමණක් ඉන්නා මෙහි අද කළු ජනාධිපතිවරයෙක් සිටිය දී තවමත් ජාතිවාදයක් ඇතැයි කියන්නට උත්සාහ කරති.

වහලුන් ගෙනා බෝට්ටු ගැන විස්තර ලියද්දී, ඒවායෙන් වහලුන් ප්‍රවාහනය කළේ ඇමරිකාවට පමණක් නොව කැරිබීයන් මුහුදේ ඇති කියුබාව වැනි රටවලටත්, සෙසු දකුණු ඇමෙරිකානු රටවල වූ පෘතුගීසි, ඕලන්ද, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ස්පාඤ්ඤ යටත්විජිත වලට බවත් නොදනිති.

ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය වහල් ක්‍රමය ආලෝපනය කළ පසුවත්, දශක ගණනාවක් යනතුරු ඔටෝමාන් අධිරාජ්‍යයේ සුදු අයව වහලුන් පිණිස විකුණන ලදි. 18 වැනි සියවසේ ජෝර්ජ් වොෂිංටන්, තෝමස් ජෙෆර්සන්, පැට්‍රික් හෙන්රි වැනි අය ලියූ ඵෛතිහාසික සටහන් වලින් වහල් ක්‍රමය අහෝසි කළ යුතු යැයි පැහැදිලි කතාබහ දකින්නට ලැබුණත්, එවක අප්‍රිකාවේ, ආසියාවේ හෝ මැද පෙරදිග කිසිම තැනකින් ඒ අදහස කියා පෑ අයෙක් සොයාගත නොහැකියි.

වහල් ක්‍රමය දුෂ්ට වූවක් යන්න තීන්දු කිරීම එවක ඇමෙරිකානුවන්ට පහසු විය. එහෙත් රටේ ඉන්නා මිලියන තුනක වහලුන් වෙනුවෙන් කුමන පිළිවෙතක් ගෙන එන්නේ ද යන්න තීරණය අපහසු වූවකි. “බූරුවෙකුත් අක්කර 30 කුත් දී වහලා නිදහස් කරන්න,” යැයි එවක නිදහස අගයන අය ගෙනා යෝජනාවක් විය. තහනමට පෙර වහලුන් මිල දී අය තම දේපල අහිමියට අකමැති වූහ.

1862 දී අප්‍රිකාවේ සිට කියුබාව බලා යන වහලුන් රැගත් නැවක් ඇමෙරිකන් නාවුක හමුදාව විසින් අල්ලා ගන්නා ලදි. තහනම් වහල් ප්‍රවාහනයේ යෙදුන නිසා එහි කප්පිත්තාව එල්ලුම් ගහට නියම විය. නැවේ සෙසු පිරිස සිරදඬුවම් ලැබුහ.

සිවිල් යුද්ධයේ දී නිදහස ලැබූ සෑම වහලුන් හයක් වෙනුවෙන්ම එක මිනිස් ජීවිතයක් අහිමි විය. සිවිල් යුද්ධයට පෙර සන්ධ්‍යාව නොහොත් antebellum කාලයේ (ජැන්ගෝ චිත්‍රපටිය දිග හැරෙන කාලය) දී කළු ජාතිකයන් ද වහලුන් දහස් ගණනින් අයිති කරගෙන සිටියහ.

විස්තර:තෝමස් සවෙල් ලියූ Thomas Sowell Reader (2011)

නීතියක් ගෙනා පමණින් සියල්ලන්ම එයට අවනත වෙනු ඇතැයි සිතන අයත් සිටිති. ඒ අය බලහත්කාරයෙන්, වෙහෙසන අය ලවාම තව දුරටත් වැඩියෙන් වෙහෙස වී බදු වැඩියෙන් ගෙවන්නට කැමති කරවා ගන්නට නිතිපතා තැත් කරති!!!!

ආර්ථික සත්‍යයක් නම් වහලෙක් තබා ගැනීම නිදහස් මිනිසෙකු ගෙන් ශ්‍රමය මිල දී ගන්නවාට වඩා වැඩියෙන් පාඩු ලබන ක්‍රමයක් බවයි. මිනිසුන් වහලුන් සේ අදත් ජීවත්වෙන රටවල ආර්ථිකයන් ඊට කදිම නිදර්ශන වෙති. වහල් ක්‍රමය අහෝසියට සිවිල් යුද්ධයක් නොකළත් එය පැවැත්මකින් තොර වූවක් බව එවක දී හඳුනාගෙන තිබුණි. “හැමදාම පැවතෙන්නට නොහැකි දෙයක්, නවතිනු ඇත.Lincoln (2012) ඵෛතිහාසික ප්‍රබන්ධය 1861 සිට 1865 දක්වා වූ සිවිල් යුද්ධයේ අවසානය හා ඒබ්‍රහම් ලින්කන් ගැන.

Underground Railroad නමින් හැඳින්වෙන්නේ 19 වැනි සියවසේ දකුණේ වහලුන් වහල් ක්‍රමයක් නොමැති වූ උතුරට පළා යන්නට හදාගත් විධි ක්‍රමයකි. 1850 දී ලක්ෂයක් වහලුන් එයින් උතුරු පෙදෙස් වලටත් කැනඩාවටත් පළා ගිය බව කියැවේ.

Abolitionists කියන්නේ වහල් ක්‍රමය අහෝසිය වෙනුවෙන් කැප වී කටයුතු කළ අහෝසිවාදීන්ටයි. American Anti-Slavery Society සහ William Lloyd Garrison, Arthur Tappan, Lewis Tappan, John Greenleaf Whittier, Harriet Beecher Stowe යනාදීන් වෙහෙස වූයේ abolitionism නොහොත් අහෝසිවාදයටයි.

ඇමෙරිකාවේ ෆෙඩරල් ආණ්ඩුවේ බලය අවම කරවන ප්‍රාන්ත බලතල අද ඔබාමා ද නොසලකා හරින්නකි. එදා ඒ බලතල රටේ ව්‍යවස්ථාව අවතක්සේරුවට හේතු විය. විසඳුම විය යුතුව තිබුනේ ෆෙඩරල් බලය වැඩි කිරීම නොව ප්‍රාන්ත විසින් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුගමනයට කැමති කරවා ගැනීමයි. එහෙත් බලතණ්හාධිකයන් ඕනෑම අර්බූදයක දී බලය තම අතට ගන්නට ව්‍යවස්ථාව කෙළසති. ආදීපීතෘවරුන් ලියූ ලොව අනගි ලියැවිල්ල හිතුමතයට වෙනස් කිරීම පහසු නැති බව අද ඔබාමාත් එදා දකුණු ප්‍රාන්ත ද අත්දුටුවහ. එදා ප්‍රාන්ත රටේ ව්‍යවස්ථාව වෙනස් නොකර තම කැමැත්ත ඉටු කරගන්නට රෙගුලාසි හා නීති රීති පනවා ගත්හ. අද ෆෙඩරල් ආණ්ඩුවත් ව්‍යවස්ථාව වෙනස් නොකර රෙගුලාසි හා නීති රීති වලින් ව්‍යවස්ථාව කෙළසන්නට පටන් ගෙන ඇත.

ලුයිසියානාවේ නීතියකින් Plessy v. Ferguson (1896) දී දුම්රිය මැදිරි කළු හා සුදු යන අයට වෙන් කරගනිති. සුපිරි උසාවියේ විනිසුරු John Marshall Harlan එයට හත්දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරද්දී තනිවම අකමැත්ත ප්‍රකාශ කරමින් “අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාට වෙනසක් දකින්නේ නැත, පංති භේදයක් අපේ ජනතාව අතර ඇතිවීම ඉවසා සිටින්නේ ද නැතැයි,” ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටියි.

ජිම් ක්‍රෝ යනුවෙන් ඇතිවන ප්‍රතිඵලය ප්‍රාන්ත නීතියකි.

ඔබාමාගේ සෞඛ්‍ය පනත 2012 දී සුපිරි උසාවියේ දී අනුමත වූයේ 5 ක් පක්ෂව හා 4 ක් විපක්ෂව දුන් තීන්දුවෙනි. එහි ඵලවිපාක පෙන්වන්නට රටේ ආර්ථිකය පටන් ගෙන ඇත. ව්‍යාපාර කරගෙන යන අයට සෞඛ්‍ය පනතෙන් වියදම් වැඩිවන නිසා අද ව්‍යාපාර වසා දමන අයත්, අලුතින් ව්‍යාපාර පටන් නොගන්නා අයත් බහුල වී ඇත.

එදා ව්‍යාපාර කරගෙන ගිය සුදු අයට ජිම් ක්‍රෝ යනු වියදම් වැඩි කළ නීතියක් විය. දුම්රිය පෙට්ටි දෙකක් දුවනවා වෙනුවට දැන් කළු -දුම් නොබොන, කළු -දුම්බොන, සුදු -දුම් නොබෙන, සුදු -දුම්බොන යැයි ඩබල් වැයකි!!! පුද්ගලික ව්‍යාපාරිකයන්ට උවමනා වූයේ ජාතීන් දෙගොල්ලන්ම ගමන් ගන්නා මැදිරිය.

ව්‍යාපාර බංකොළොත් කරන නීති රෙගුලාසි ගෙනෙනා ආණ්ඩු අනතුරුව සේවා සැපයීම තමන් අතට ගෙන තම බලය තවත් වැඩි කරගනියි. පුරවැසියාගේ ආර්ථිකය බංකොළොත්වීම ගැන ආණ්ඩුවේ දේශපාලනඥයාට ගැටළුවක් නැත.

විවිධ දකුණු ප්‍රාන්ත වල විවිධ නීති පැතිර ගියේය. එකම මේසයක වාඩි වී කාඩ් සෙල්ලමේ යෙදෙන්නට කළු හා සුදු අයට තහනම් විය. උසාවියේ වෙන අසුන් නියම විය. වෙන බයිබල් වල ගිවිසුම් ගන්නට සිද්ධ විය. කළු බාබර්ලාට සුදු අයගේ කොණ්ඩය කපන්නට තහනම් විය. පුස්තකාල ජාතිය අනුව වෙන් කෙරිණ.

1910 වෙද්දී එතෙක් එකතුව කරන කටයුතු සියල්ල වෙන් වෙන්ව කරන්නට Jim Crow නීති ගෙනැවිත් තිබුණි. එය ව්‍යවස්ථාවට පටහැනි බව නිදහස වෙනුවෙන් පෙනී සිටියවුන් හඬ ගෑහ. එය ව්‍යාපාර වලට අලාබදායක බව පුද්ගලික අංශය කියා සිටියහ. 1800 ගණන් අග දී ඔගස්ටා, හූස්ටන්, ජැක්සන්විල්, මොබිල්, මොන්ට්ගොමරි, සහ මෙම්ෆිස් යන නගර වල වීදි රථ කළු සුදු භේදයකින් තොරව පාවිච්චි කරන්නට සැමට ඉඩ ලැබුණි. එහෙත් 1900 ගණන් මුල වෙද්දී නගර සභා වලින් සහ ප්‍රාන්ත ව්‍යවස්ථා වලින් මහජන පහසුකම් බෙදී තිබිණ. ජිම් ක්‍රෝ නීතිය පිළිපැදීම බහුතර පුද්ගලික රේල් පාරවල් අයිති අය ප්‍රතික්ෂේප කළහ. ආර්ථික ඉතිහාසඥයෙක් වන Jennifer Roback පෙන්වා දෙන්නේ ඔවුන් එසේ විරුද්ධ වූ ආකාරයයි. තමන් ව්‍යාපාර කරගෙන යන විදියට ආණ්ඩුව බලපෑම් කරන්නේ යැයි ඔවුන් ප්‍රාන්ත ආණ්ඩු වලට චෝදනා එල්ල කළහ. එහෙත් ආණ්ඩුවේ දේශපාලනය ව්‍යාපාරයන්ගේ ලාබය හෝ සද්ගුණය ගැන විමසන්නක් නොවේ. නීති වලට අනුමත නොවී ව්‍යාපාරයන් කරගෙන යනු නොහැකි තර්ජන ගෙනවිත් ජාතිවාදී වූයේ රේල්ලු අයිතිකරුවන් වූ සුදු ව්‍යාපාරිකයන් නොව බලතණ්හාධික දේශපාලනඥයා බව දැකිය හැකියි!!!!

ප්‍රාන්ත ආණ්ඩු විසින් කළ ව්‍යවස්ථා උල්ලංඝන ගැන තව විස්තර: Dred Scott’s Revenge: A Legal History of Race and Freedom in America, Judge Andrew Napolitano (2009)

ඇමෙරිකාවේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මතට තිත (prohibition) තැබිණ. ඒ 1920 සිට 1933 දක්වා කාලයයි. නීතියක් ගෙනාවාට මිනිස් ස්වභාවය වෙනස් කරනු නොහැකි යැයි පැහැදිලි වෙන්නට එවර නම් වැඩි කාලයක් ගත නොවිණ!!!! 1933 දී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මතට තිත ඉවත් කෙරිණ.

1954 සුපිරි උසාවියේ Brown v Board of Education තීන්දුවෙන් ජිම් ක්‍රෝ නීතිය ඉවත් කෙරිණ.

මා ඇතුළු නිදහස අගයන, රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අගයන පිරිසක් නිති වෙහෙසෙනුයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද 16 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙවත් ආදායම් බදු අහෝසිය වෙනුවෙනි.

මේ දිනවල ඔබාමා විසින් සෞඛ්‍ය පනත සම්මතයෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පහදා ගන්නට බැරි අයට එදා මතට තිත පැනවූයේ කෙසේද, ජිම් ක්‍රෝ නීති ගෙන ඒම සිද්ධ වුයේ කෙසේද කියා ද පහදා ගත නොහැකියි. අද ව්‍යවස්ථාව බිඳ දැමීම ගැන කැමැත්ත දක්වන ඔවුන් කළින් ව්‍යවස්ථාව උල්ලංඝනයට අකමැත්ත කියනවා පමණි.

“හැමදාම පැවතෙන්නට නොහැකි දෙයක්, නවතිනු ඇත,” නිසා වහල් ක්‍රමය තුරන් කරන්නට හැකියාව ඇත්තේ ධනවාදයටයි, Race and Economics ලියන වෝල්ටර් ඊ. විලියම්ස් නම් ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර මහාචාර්යවරයා පෙන්වා දුන්නේ අද ආණ්ඩුවේ සහනාධාර වලින් ජීවත්වෙන වහලුන් ලෙස කළු ජනතාව තම කළු නායකයන්ගේ මුලාවන්ට රැවටී තමන්ව විකුණා ඉන්නා ආකාරයයි.

දක්කා ගෙන යන්නට බැටළුන් නැත්නම් දේශපාලනඥයන් රටේ සෙසු පුරවැසියන් සේ වෙහෙස වී නිදහස් වෙළඳපොලේ තරඟ කළ යුතු වේ!!!!! ඒ නිසා දක්කා ගෙන යන්නට බැටළුවන් සොයා ගැනීම දේශපාලනඥයාගේ පැවැත්මට නිති අවශ්‍ය වේ.

ජැක්සන්, මිසිසිපි හි කළු ගෘහ සේවිකාවන් ගේ ජීවිතය ලොවට හෙළිදරව් කරන සුදු කෙල්ලක් ගැන කතාවක් The Help (2011) චිත්‍රපටියේ දකින්න පුලුවන්. ඒ 1960 ගණන් වෙයි. මෙයත් ප්‍රබන්ධයකි. කළු සේවකයන්ට නිවසේ වෙනම වැසිකිළියක් තිබිය යුතු යැයි නීතියක් ජැක්සන්, මිසිසිපි හි සම්මත වූයේ නැත.

සිංහලෙන් ඇමෙරිකන් ඉතිහාසය කියවන්න කැමති අයට:
ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසය, (1998; 1999; 2002) මහාචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද
ඇමෙරිකානු සිවිල් යුද්ධය 1861-1865, මහාචාර්ය නයනි මැලගොඩ (2004)
ජෝර්ජ් වොෂිංටන්, මහාචාර්ය නයනි මැලගොඩ (2006)
බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, මහාචාර්ය නයනි මැලගොඩ සහ අරුණි ශපීරෝ (2004)

නිදහස කුමක් දැයි ලෝකයට කියා දුන් ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 6, 2013

IMG_4995

පැහැදිලි කරන ලද සත්‍යයන් මහත් රාශියක් ලෝකයේ තියෙනවා. ඒත් ඒවා වටහා ගන්නට හා පිළිපදින්නට උත්සාහයක් ගන්නා අය ලොව ඉන්නේ අල්පයකි.

“ඕනෑම කෙනෙකුට වෑයම අත්හැරිය හැකියි. එය ලෝකයේ ඉතාමත් පහසුවෙන් කළ හැකි වූවයි. ඒත් ඔබ වටා සිටිනා සියළුම අය විසින් ඔබ උත්සාහය අත්හැර දමන්නේ මන්දැයි ඔවුන්ට වැටහෙනවා යැයි කියද්දී, උත්සාහය අත් නොහැර සිටින්නේ නම්, එයයි සත්‍ය ශක්තිය.” -කියුවේ කවුදැයි සටහන් වී නැති අනගි ප්‍රකාශයකි

“Anyone can give up, it’s the easiest thing in the world to do. But to hold it together when everyone else would understand if you fell apart, that’s true strength.” -Unknown

නිදහස කුමක් දැයි ලෝකයට කියා දුන් ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්ථය ගැන වාද ආරම්භ වූයේ එය අපරානුමත වෙන්නටත් කළින්. එංගලන්තයේ ජෝන් ලොක් සහ එංගලන්තයෙන් පැමිණ ඇමෙරිකාවේ පදිංචි වූ තෝමස් පේන් වැනි දාර්ශනිකයන්ගේ අදහස් විචාරයෙන් ඇමෙරිකන් ආදීපීතෘවරුන් විසින් ලියා අත්සන් තබන ලද නිදහස් ප්‍රඥප්තිය (1776 ජූලි 4) හා ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිදහස වෙනුවෙන් තවමත් නිර්භයව පෙනී සිටින ලොව වැදගත්ම ලියැවිලි වෙති. ව්‍යවස්ථාව අපරානුමත කරගන්නට පෙර, 1787 ඔක්තෝබරයේ සිට 1788 මැයි දක්වා කාලය තුල දී ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, ජේම්ස් මැඩිසන් හා ජෝන් ජේ යන තිදෙනා විසින් රචනාවන් 85 ක් ලියූහ. ඒවා The Federalist Papers යනුවෙන් හැඳින්වේ.

ඔවුන් එම රචනා Publius යන අන්වර්ථ නාමයෙන් පුවත්පත් වලත්, පත්‍රිකා වශයෙනුත් බෙදා හැරියහ. Publius Valerius Publicola පුරාතන රෝමයේ විසූ වංශවතෙකි. ඔහු රෝම රාජාණ්ඩුව පෙරළා රෝම ජනරජය පිහිට වූ නායක වංශවතුන් හතර දෙනාගෙන් එක් අයෙකු විය. “ජනතාවගේ හිතවතා” යන්න ඔහුට පටබැඳි සුරතල් නාමය විය. ආදීපීතෘවරුන් පාවිච්චි කරන ලද්දේ එයයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ඔටුන්නට එරෙහි කුමන්ත්‍රණ හිස් අහිමි වෙන වරදක් යැයි සැලකුනේ 1817 දී ඌව කැරැල්ලෙන් පටන් ගත් ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ අයට පමණක් නොවේ!!!!!

වර්තමානයේ දීත් ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වාද බහුලයි. එක කල්ලියක් විහාරික ව්‍යවස්ථාවාදී (living constitutionlism) නමින් හැඳින්වෙති. ඔවුන්ට අනුව නූතන අවශ්‍යතා අනුව ව්‍යවස්ථාව පරිනාමය විය යුතුයි. අනෙක් කල්ලිය නම් මෞලිකතාවාදීන් (originalism) වෙති. ඔවුන්ට අනුව ව්‍යවස්ථාවේ අර්ථයන් එය අපරානුමත වූ කාලයේ තේරුම් වලින් වටහා ගත යුතුයි. යම් වගන්තියක් පරිනාමය විය යුතු ද, ඔවුන් කියා සිටිනුයේ, ඒ සඳහා Article V යන්නෙන් විධිමත් ප්‍රතිසංශෝධන පියවර පැහැදිලි කර ඇති බවයි. ඒ වගන්තිය රාජ්‍ය බලය අවම කර ජනතාවට වැඩි බලය තහවුරු කරන ලද්දකි.

විධායක, නීති සම්පාදක හා අධිකරණය යන තුන් කට්ටුවට අතර බෙදී යන පාලන බලය නිසා ඇමෙරිකාවේ සුපිරි උසාවියට නිතරම ව්‍යවස්ථාව හා ගැටෙන නීති සම්පාදන ගැන තීන්දු ලියන්නට සිද්ධ වෙයි. මෞලිකවාදී කල්ලියේ යැයි සැලකෙන සුපිරි උසාවි විනිසුරු ක්ලැරන්ස් තෝමස් ව්‍යවස්ථාවේ ඔරිජිනල් අදහස් මොනවා දැයි විමසන්නට පරණ ලියකියැවිලි නිතරම සහාය කරගනියි. උදාහරණයක් ලෙසින්, 2010 දී McDonald v Chicago හි ඔහු වහල්ක්‍රමය අහෝසිය වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් වූ Frederick Douglass සිට ඉංග්‍රීසි ජුරි සභිකයෙක් වූ William Blackstone වැනි පරිශ්‍රයක් තුලින් ලියැවිලි උපුටා තම අදහස් දැක්වීය.

ඉහත සඳහන් කළ “ෆෙඩරලිස්ට් රචනා” සුපිරි උසාවි තීන්දු වල දී 300 වතාවකට වඩා යොදාගෙන ඇත. නීති විමසුම් ලිපි 6000 කට වඩා ප්‍රමාණයක් මෙම ෆෙඩරලිස්ට් රචනා සලකා බලති. එසේම උසස් පෙළ පාසැල් සහ විශ්ව විද්‍යාල අධ්‍යයනයේ දී කොටසක් වශයෙන් ද මේ රචනා භාවිතය සිද්ධ වේ.

ව්‍යවස්ථාවේ අදහස් වටහා ගන්නට හැකියාව ලැබෙන අතකොළුවක් වශයෙන් සුවිශේෂී ස්ථානයක් ෆෙඩරලිස්ට් රචනා ලබා ඇතැයි කියන අයට America’s Constitution: A Biography (2006) ලියූ Akhil Reed Amar නම් යේල් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්යවරයා ද අයත් වෙයි. එහෙත්, ඔහුගේ ඉහත පොතේ ඔහු විසින්ම මුලින් ගෙනෙන රීතියක්; ව්‍යවස්ථාවේ ලියැවී නැති දේවල් ගැන සලකද්දී ඒවා එහි ලියැවී ඇති ප්‍රධාන අරමුණ සහ පැහැදිලි අර්ථයන්ට කිසිසේත්ම පටහැනි නොවිය යුතුයි, යන තමන්ගේ ම රීතිය කඩ කර ඇත!!

ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි ලියැවී නැති දේවල් ගැන සඳහන් කරන්නේ එහි නව වැනි සංශෝධනයේය: “ව්‍යවස්ථාව මඟින් පැහැදිලිව කියා නොමැති සමහර අයිතීන්, ජනතාව සතුව පවතින අයිතීන් ප්‍රතිශේධනය (deny) කරන හෝ ඒවාට නිගා කරන ලෙසින් යොදාගත නොහැක.”

මේ දිනවල නැවතත් වරක් සිත සතුටෙන් පිරී යන්නට, සොඳුරු මිනිසාගේ ආරක්ෂාව අරබයා ලියැවුන ලොව අනගි අදහස් පිරි “ෆෙඩරලිස්ට් රචනා” මම කියවමින් සිටින්නෙමි!!!!

සුපර්බෝල් දැන්වීම් සහ ඇමෙරිකන් උත්කෘෂ්ටය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 4, 2013

IMG_4993

ඊයේ සුපර්බෝල් තරඟය අතරමැද දී ක්‍රීඩාංගනයේ ලයිට් නිවී යාම හේතුවෙන් අවසානය ඉතා තියුණු ලෙසින් “ඕනෑම ඉරිදා දිනයක ඕනෑම කෙනෙකුට ජයගන්නට හැකියි,” වැනි උච්ඡ අවස්ථාවකට පැමිණ රසිකයන් ප්‍රබෝධයට පත් කරමින් නිමා විය.

සුපර්බෝල් සති අන්තයේ ඇමෙරිකානුවන් කුකුල් තටු බිලියන 1.23 ක් අනුභවයට සැරසී ඇතැයි ජාතික කුකුල් කවුන්සිලය කියා සිටියේය. ඇමෙරිකානුවන් එදින බියර් කේස් මිලියන 50 ක් (ඩොලර් බිලියන 10.8 ක් වියදම් කරමින්) පානය කරනු ඇතැයි තවත් සංවිධානයක් පෙන්වා දුනි.

ඇමෙරිකන් සුපර්බෝල් යනු දැන්වීම්කරුවන්ට බැබළෙන්නට හැකි අවස්ථාවකි. හොඳම සුපර්බෝල් දැන්වීම් අතරින් වඩාත්ම ජනප්‍රිය වුව කුමක් දැයි සෙවීම නරඹන අයගේ සිරිතකි. අනගි දැන්වීම් නිෂ්පාදකයන්ට විවිධ සම්මාන ලැබේ.

අර බොන බියර් කේස් මිලියනය පමණක් නිසා වැසිකිළියට යන්නට සිද්ධ වෙන ගමන් බිලියන 1.4 ක් යැයි ගණන් බලා තිබේ.

තරඟය නරඹන ජනගහණය සාමාන්‍යයෙන් මිලියන 100 ඉක්මවා යති. ක්‍රීඩාංගනයේ පිරිස 70,000 ඉක්මවා යති. රූපවාහිනියෙන් නරඹන අය අතර සුපර්බෝල් දැන්වීම් මඟ හැරෙන නිසා තරඟය තුල දී වැසිකිළි යනවා යැයි 58% ක් කියා ඇත!!!

ඇමෙරිකාවේ ideal එක කුමක් දැයි දැනගැනීමට ඇමෙරිකන් නිදහස කුමක් දැයි වටහා ගත යුතුයි. ඇමෙරිකන් නිදහස වටහා ගන්නා අයට ඇමෙරිකන් ආර්ථික ක්‍රමය යන්න ඇමෙරිකන් උත්කෘෂ්ටය හා කොතරම් බැඳී ඇත්දැයි දැකගන්නට ද හැකිය. කුමන දර්ශනයක් ආර්ථිකය හසුරුවන්නට උත්සාහ ගත්ත ද අවසානයේ මිනිස් ස්වභාවය වෙනස් කරනු නොහැකි යැයි කදිමට පෙන්වන්නකි.

ඊයේ සුපර්බෝල් දැන්වීම් අතුරින් ජන ප්‍රසාදය දිනාගත් ජයග්‍රාහක දැන්වීම මෙයයි:

1984 දී ඇපල් නිපැද වූ ‘1984’ දැන්වීම ගැන පසුගිය දිනෙක අන්තර්ජාලයේ මගේ බිත්තිය අඩවියේ පළ වී තිබුණ. ඒකත් සුපර්බෝල් දැන්වීමක්. සම්මාන ගණනාවක් දිනාගන්නට සමත් වූවක්. එදා තවත් පරිගණක ඇඩ් එකක්, ඇලන් ඇල්ඩා විසින් අටාරි පරිගණක ගැන ද දැන්වීමක් පළවුනා. එහෙත් ඇපල් දැන්වීම තරම් ඇමෙරිකානුවන්ගෙ හදවත් වලට සමීප වෙච්ච දැන්වීමක් තවමත් බිහි වී නැති බවයි සමහර අයගේ මතය.

මෙන්න දැන්වීම:

ඒ දවස්වල සෑම ඇමෙරිකන් පාසැල් සිසුවෙක් පාහේ කියවා තිබිච්ච පොතක් තමයි පොදු අභිමතාර්ථයක් වෙනුවෙන් සාමූහික චින්තනයකින් වැඩ කරන සිරකරුවන් සේ සිටිනා මිනිස් සමාජයක් ගැන ලියැවිච්ච ජෝර්ජ් ඕවෙල් ලියපු 1984 පොත.

ඇලන් ඇල්ඩා යනාදීන් එවක විකුණූ පරිගණක වලින් වැඩක් ගන්නට නම් code ලියන විශේෂ දැනුමක් තියන අය වෙන්න ඕනෑ. එදා ඩලාස් නගරයේ උසස් පෙළ සිසුවෙක් වූ, අද ඉහළ පෙලේ ආයෝජක මූල්‍ය සපයන, බිලියන $7 කට වත්කම කියන, (venture capitalist) කෙනෙක් වෙන Steve Jurvetson, එයාගෙ ඇපල් II සඳහා ක්‍රීඩා ප්‍රෝගෑම් ලියපු කෙනෙක්. එයා කැම්පස් ගියාම මැකින්ටොෂ් එකක් අරගෙන මුළු රාත්‍රිය පුරාම පංතිවලට code ලියනවා. පරිගණක වලට ආසාව වැඩිවුනේ ඇපල් නිසා කියන ඔහු තමන්ගේ කාර්යාලයේ අදටත් පාවිච්චි කරන්නේ එයයි.

ඇමෙරිකාවේ විතරක් නෙමෙයි, බ්‍රිතාන්‍යයේ ද, Peter Cochrane නැමැත්තා 1984 බ්‍රිතාන්‍ය ටෙලිකොමියුනිකේෂන්ස් හි සේව කරද්දී ඇපල් පරිගණයක් ගන්නවා. එයා කියන්නේ “හරියට නියනකුයි මිටියකුයි පාවිච්චි කරපු කෙනෙකුට බෝල් පොයින්ට් පෑනක් ලැබුණා වගේ,” කියල. එයාගෙ කොම්පැණියේ අනිත් සියල්ලන්ටම වඩා වැඩියෙන් හොඳට වැඩ කරන විජට්ටුවක් ලැබුණ කියලා සතුටු වෙන ඔහු එහි ප්‍රධාන විද්‍යාඥයා වෙන්නට සමත් වෙනවා. අද Concept Labs ආයෝජක ආයතනයේ ප්‍රධානියා.

1984 දී මැකින්ටොෂ් එන්න කළින් ඇපල් හැදුවා ලීසා කියල පරිගණකයක්. එහි තමයි මේ ගූවි (GUI) කියන graphical user interface මුලින්ම දකින්නට ලැබෙන්නේ. ඒත් ලීසා අසාර්ථක වූයේ එයා කෙනෙක් දැකලා තියෙන ලස්සනම ලස්සන එක්කෙනා වුනත්, අනිත් අයට හිතාගන්නට බැරි දේවල් කරන්නට සමත් වූවත්, හරියට සුපර් මොඩල් කෙනෙක් වගේ මිලෙන් ඉතා වැඩි නිසයි කියල කියන්නේ පැරිසියේ මූලස්ථානය තියෙන TempoSoft හි CEO වෙන Mike Campbell. ලීසා අනර්ඝයි, ඒත් සාමාන්‍ය පුද්ගලයෙකුට දරන්න බැරි වියදමක් යන නිසා, අයිතිකරගන්න කොච්චර කැමැත්තක් තිබ්බත් ප්‍රායෝගික වූයේ නැහැ. මැකින්ටොෂ් බිහිවෙන්නෙ ඒ අඩුව පියවන්න.

ඉහත විස්තර ගත්තෙ මෙතැනින්.

මැකින්ටොෂ් එදා කළේ තාක්ෂණය නුහුරු අයට පරිගණක භාවිතය සරල කිරීමයි. සරල වූවක් ඉදිරිපත් කරලා අනිත් අයගේ උත්සාහයන් ද මිනිසාට පහසු අයුරින් වෙනස් කරන්නට මූලිකත්වයක් ගැනීම. තවමත් ඇපල් නිෂ්පාදන අනිත් ඒවාට වඩා වැයෙන් ඉහළයි. ඒත් ලීසා තරම් ගණන් දාන්නේ නැහැ!!!!

1990 ගණන් වෙද්දී පරිගණක පරිහරණය වැඩියෙන් ජනතාව අතර පැතිරිලා යද්දී, ඒවායෙන් නොයෙක් ක්ෂේත්‍ර තුල වැඩ ගන්න හැකියාවන් ද වැඩිවෙනවා. එක කාලයක් වෙබ් අඩවි හදන අය සෑහෙන්න හම්බ කරගන්න සමත් වුනා. අද නොමිලේ වෙබ් අඩවියක් හදාගැනීම ප්‍රෝගෑම් කෝඩ් ලියන්න දන්නෙ නැති අයට ඉතා පහසුවෙන් පුලුවන් දෙයක්.

හිතන්න මොළය පාවිච්චි කරන්නේ නැති මිනිසා දකින්නෙ නව නිෂ්පාදනයක් නිසා වඳ වී යන ආදායම් මාර්ග. එහෙත් සිතන්නට පුලුවන් මොළය උදව්වට ගන්නවා නම් නව නිෂ්පාදනයක් නිසා විවෘත කරගත හැකි අනේක වූ ආදායම් මාර්ග සහ පහසුවෙන ජීවිතය නිසා ඉතිරිවෙන කාලයෙන් කෙටි වූ මිනිස් ජීවිතය තවත් කොතරම් වාසනාවන්ත කරගන්න උදව් වෙනවා ද කියල දකින්න පුලුවන්.