අරුණි ශපීරෝ‍ වෙතින්

රටක් සමෘද්ධිමත් කිරීම දේශපාලකයාගේ අරමුණ ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 8, 2022

නැත. දේශපාලකයන් ද මිනිසුන් වන බැවින් අනෙක් වෙනත් ඕනෑම පුද්ගලයෙකුට ඇති පරිදි විවිධාකාර වූ අරමුණු ඔවුනට ද ඇත. රටක් සමෘද්ධිමත් කිරීම යනු ඒ විවිධාකාර අරමුණු අතරේ තිබිය හැකි වූ හෝ නොහැකි වූවකි. නමුත් දේශපාලකයෙකු තුළ පවතින ප්‍රධානතම වූ අරමුණ වනුයේ පාලන බලයේ හැකි තරම් කාලයක් සිටීම යන්න සියළු රටරටවල පුරවැසියන්ගේ සිහියෙන් ඉතා පහසුවෙන් ගිලිහී යන්නකි.

පාලන බලයේ සිටීමට රටක සමෘද්ධිය අවශ්‍ය නැති බව දක්වන උදාහරණ ලොව බොහොමයකි. ඒ අතරින් වසර 49 ක් බලයේ සිටි කියුබාවේ විප්ලවීය නායකයා වූ ෆිඩෙල් කැස්ත්‍රෝ තරම් අග්‍ර ස්ථානයක් හොබවන අයෙක් වෙන නැත.

කියුබාවේ පවතිනවා වූ තරම් අන්ත දුගී තත්ත්වයට තවම ලංකාව වැටී නැත.

අපිට බලය ලැබුණාම අපි වෙනස ගෙනෙනවා යැයි දැනට රට පාලනයේ බලය අතට නොලැබුණ දේශපාලන පක්ෂ වෙනුවෙන් කතා කරන පුද්ගලයන් හඬ නඟන ආකාරය අද දකින්නට හැකියි. ඒත් ඒ සියල්ලන්ම පාහේ සමෘද්ධියක් ඇති කරන වෙනසක් සිද්ධවෙන ආකාරයක ප්‍රතිපත්ති නොසලකා සිටින අය වෙති.

පසුගිය වසර 70 තුළ ලෝකයේ සැබෑ තත්ත්වයන් දිහා බලද්දී, නිරතුරුවම දකින්නට ලැබුණ ප්‍රතිඵල කියාපාන්නේ රාජ්‍ය මැදිහත්වීම් අවම වෙද්දී ආර්ථිකයක සමෘද්ධිය ඇතිවන ආකාරයත්, රාජ්‍ය මැදිහත්වීම් වැඩිවෙද්දී ආර්ථිකයක අර්බූද වැඩිවෙන ආකාරයත් ය.

එනමුත් ලෝක ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමට ජනතාවට ඇති පසුබට බව පුදුම සහගතයි. ජර්මන් දාර්ශනික හේගල් සිය “ඉතිහාසය පිළිබඳ දේශන” (Lectures on the Philosophy of History) හි මෙසේ ලිවීය: “… අත්දැකීම් සහ ඉතිහාසය උගන්වන්නේ මෙයයි, -ජනතාව සහ ආණ්ඩු ඉතිහාසයෙන් කිසිවක් ඉගෙන නොගත් බවයි, නැතහොත් එයින් නිගමනය කළ මූලධර්ම මත ක්‍රියා නොකළ බවයි.”

1990 ගණන් මුල දී බහුතර සමාජවාදී රටවල් බංකොළොත් බැවින් කඩා වැටුණත් අද දක්වාම ලෝකයේ විවිධ රටරටවල සමාජවාදී රාජ්‍යයන් පිහිටුවීමේ වෑයම් අත්හැර දමා නැත. ඔවුන්ගේ අරමුණ “මේ සැරේ” ඒවායේ ප්‍රතිඵල වෙනස් වේවි කියායි.

ඉතා මෑතක දී අපිට මේ කියන රාජ්‍ය මැදිහත්වීම් වැඩිවීම නිසා ඇති වූ ආර්ථික බංකොළොත්වීම දැකගන්නට ලැබුණේ වෙනිසියුලාවෙන්. අනික් මහා විශාල පරිමානයේ සමාජවාදී පර්යේෂණ මෙන්ම එයින් ද ඛේදනීය ප්‍රතිඵල දකින්නට ලැබුණි.

රාජ්‍ය මැදිහත්වීම් වැඩි කරන ලද ප්‍රතිපත්ති දිගින් දිගටම ගෙන යන ලද ලංකාව ද අද ඉතා අවාසනාවන්ත තත්ත්වයකට වැටී සිටියි. මෙවර එය පෞද්ගලික ව්‍යාපාර ජනසතු කිරීම හරහා සිද්ධ වූයේ නැත. එය සිද්ධ වූයේ සැලසුම් සම්පාදනය සහ රටේ සම්පත් බෙදාහැරීම රජය අතට ගැනීම ක්‍රම ක්‍රමයෙන් වැඩි කර ගැනීම හරහා විය. මහ බැංකුව සැලසුම් අධිකාරියක් හැටියට වැඩ කරමින් වෙළඳපල ක්‍රියාවලිය බල රහිත කිරීමට කටයුතු කිරීම තුළිනි. වානිජ්‍ය වූ තීරණ ගැනීම් සඳහා රාජ්‍ය මැදිහත්වීම් එන්න එන්නම වැඩිවෙද්දී, පොදු දේපල පිළිබඳ ගෙනා නීති සහ රෙගුලාසි හරහා ය.

ලංකාවේ පුරවැසියා කිසිදු දිනයෙක සමෘද්ධියේ පදනම වූ නිදහස් වෙළඳපල ගැන නොදත්තේ ය. ජාතීන්ගේ ධනය ඇති වූ හැටි ගැන ඇඩම් ස්මිත් ලියූ දේවල් කියවන්නට ලංකාවේ පුරවැසියාට නොමිලේ බෙදන අධ්‍යාපනයෙන් නොලැබුණි.

1970 සිට 1977 දක්වා කළ 7 වසරක සමාජවාදී අත්හදා බැලීම නිසා ලංකාවේ ආර්ථිකයට සිද්ධ වූ හානිය ගැන පහදාගන්නට දැනුමක් ඒ නිසා රටවැසියාට නොලැබුණි. හෙගල් ලියූ ලෙසින් ලංකාවේ ජනතාව ඉතිහාසයෙන් කිසිවක් ඉගෙන නොගත්තේ ඉතිහාසයෙන් නිගමනය කළ යුතු මූලධර්ම මොනවාදැයි කියා හෝ අවබෝධයක් ඔවුනට නොතිබුණ නිසා යැයි මම සිතමි.

පුරවැසියාට තම ජීවිතය සමෘද්ධිමත් කරගන්නා අරමුණ වෙනුවෙන් වෙහෙසෙන්නට නිදහස් වාතාවරණයක් ලැබෙද්දී, එනම් රජයේ මැදිහත්වීම් අවම වෙද්දී, ලෝකයේ සෑම රටක්ම ආර්ථික සමෘද්ධියක් අත්දැක තිබේ. එය නිශ්ප්‍රභා කළ නොහැකි වූ සත්‍යයයකි. පුරවැසියාට ඒ තම ජීවිතය සමෘද්ධිමත් කරගන්නා අරමුණට බාධා කරන රජයේ මැදිහත්වීම් වැඩිවෙද්දී ඒ රටවල ආර්ථික අර්බූද වැඩි වී ඇත.

ලංකාවේ රාජ්‍ය මැදිහත්වීම් වර්තමානයටත් වඩා අධික ලෙසින් දකින්නට ලැබුනේ 1970 ගණන්වල දී ය. 1971 ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට “පස් අවුරුදු සැලැස්මක්” ඉදිරිපත් කෙරිණ. වාර්ෂිකව 6% ක වර්ධනයක් ඇතිවනවා යැයි කියූ ඒ සැලැස්මේ අලුත් රැකියා 810,000 ක් බිහිකරනවා මෙන්ම ඒක පුද්ගල වාර්ෂික ආදායම ඉහළ යවනවා යැයි කියාත් කියැවිණ.

රජයේ ආයතන ඒ වන විට ද කාලයක් තිස්සේ පාඩු ලබමින් සිටි බව එම සැලසුම්කරුවන් පිළිගත්ත ද, ඒවා තවත් පුළුල් කිරීම සහ ප්‍රධාන කර්මාන්ත සහ සේවාවන් සඳහා පිහිටුවන ඒකාධිකාර පාලනය තුළින් ගෙනෙන නව සැලසුම් යටතේ කාර්යක්ෂම කළමනාකාරයෙන් සැලකිය යුතු අතිරික්තයන් උපයනු ඇතැයි ඔවුන් කියන ලදි. ශ්‍රමබලය වැඩියෙන් යොදාගැනීම සහ සුදුසු මිල ගණන් නියම කරන ප්‍රතිපත්ති ස්ථාපිතය ද තෝරා ගැනිණ. මේ ශ්‍රමබලය වැඩියෙන් යොදාගන්නා ක්‍රමවේදය හරහා රැකියා නිර්මාණය වෙනවා පමණක් නොව ප්‍රාග්ධන භාණ්ඩ ආනයන කිරීම සඳහා වැය වෙන විදේශ මුදල් ඉතිරි කරගන්නටත් හැකියාව ලැබෙනවා යැයි ඒ “පස් අවුරුදු සැලැස්ම” ගෙනෙන ලද සැලසුම්කරුවන් කියා සිටියහ.

මේ කාලයේ දී පිටරට යෑමට විදේශ විනිමය නිල වශයෙන් ලබාගැනීමේ තහනමක් පැවතිණ. ඒත් දෙදහසකට ආසන්න ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකන් හා යුරෝපීය රටවල විශ්වවිද්‍යාලයන්හි ඉගෙන ගනිමින් සිටියහ. ඔවුන් සියල්ලන්ම විදේශ රටවල ශිෂ්‍යත්ව ලබාගන්නට සමත් වූ අය නොවූහ. ප්‍රභූ පංතියේ අයට පිටරට සංචාරයට කිසිදු බාධාවක් නොවූහ. නෙස්කැෆේ, ඉන්දියන් සාරි, විල්කින්සන් බ්ලේඩ් තල යනාදිය ආනයන තහනමට ලක්වූ ඒවා වුවත් කොළඹ නගරබද අය අත ඒවා ඕනෑ තරම් ගැවෙසන ආකාරය දකින්නට ලැබුණි.

1970 දී රටෙන් බාගයකට වැඩි ජනතාවකගේ රැකියාවන් කෘෂිකර්මය හා ඈඳී තිබුණි. රටේ මුළු ජාතික නිෂ්පාදනයෙන් 25% කට වැඩි කොටසක් කෘෂිකර්මයෙන් ඉපැයෙන ලද අතර එය අපනයන ආදායමෙන් 90% කට වඩා වැඩි කොටසක් විය. 1972 වෙද්දී සහල් වගාව සඳහා කුඹුරු ඉඩම් අක්කර 25 කට සහ පෞද්ගලික ඉඩම් අක්කර 50 ක් පමණකට හිමිකම් සීමාව පැනවෙන ලදි.

1973 වෙද්දී පෞද්ගලික වතුයායන් ජනසතු කිරීම අවසන්ව ඒවා රජයේ නිලධාරීන් යටතේ කළමනාකරණය වීම පටන් ගෙන තිබුණි. ඒ අනුව රජය විසින් ඒ වතුයායන් පවත්වාගෙන යන්නට දෙන ලද සහනාධාර වැය ඇමෙරිකන් ඩොලර් මිලියන 11.8 ක් පමණ වේ. 1977 වෙද්දී රජය බාරයට අක්කර දෙලක්ෂ තිස්දාහකට වැඩි ඉඩම් ප්‍රමාණයක පිහිටි වතුයායන් 804 ක් පැවරී තිබුණ අතර ඒවායේ තුන් ලක්ෂ හතළිස් දාහකට ආසන්න රජයේ සේවකයන් රැකියාවේ නියැළී සිටියහ.

රුපියල් දෙලක්ෂයකට වැඩි වත්කම් සඳහා එක වරක් ගෙවිය යුතු බද්දක් නියම විය. 1972 අප්‍රේල් 1 වැනිදා පටන් කෙනෙකුගේ එක මාසයක ව්‍යයීකාරක ආදායම (බදු කපාගත් පසුව අතට ලැබෙන මුදල) රුපියල් දෙදාහක් පමණක් යැයි සීමාවක් ද නියම කෙරිණ. ඊට වඩා වැඩියෙන් ආදායම් උපයන අය ඒ අතිරික්තය රජය අනුමත කළ රජයේ ව්‍යාපාරයක ආයෝජනය කළ යුතු යැයි නියම කෙරිණ.

සියළු බර හා ප්‍රාග්ධන භාණ්ඩ කර්මාන්ත මහජන සමාගම් යැයි කියා ඒවා ව්‍යාපාර පවරා ගැනීමේ පනත යටතේ රජයේ නිලධාරින් අතට පත්වූහ. පෞද්ගලික අයිතිය යටතේ පැවති ව්‍යාපාර අනිවාර්ය ප්‍රාග්ධන අයබද්දකට හසු වූ අතර ඒවායේ ලාබ අනුව ක්‍රමයෙන් වැඩිවෙන ආදායම් බද්දකට ද හසු වූහ.

වෙළඳපොලේ ඒකාධිකාරය අල්ලාගත්තේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවයි. “අත්‍යාවශ්‍ය භාණ්ඩ” ඇතුළු බොහෝ පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම එයට බාර විය.

ලංකාවේ වැසියන්ට චීනයෙන් නිමි ඇඳුම් ගෙන්වීම තහනම් වුවත් රාජ්‍ය රෙදිපිළි සංස්ථාවට ඒ භාණ්ඩ නිමැවීමට චීනයෙන් යන්ත්‍ර සහ රෙදි ගෙන්වන්නට අවසර තිබිණ. චීනයෙන් ගෙන්වන නිමි භාණ්ඩ මිල දී ගන්නට හැකි විදේශ විනිමයට වැඩියෙන් සමස්ත විදේශ විනිමය වැයක් ඒවා ගෙන්වන්නට වැය වූහ. ආර්ථිකයක් වැඩ කරන ආකාරය නොදත් රටවැසියා තමන්ට රජයේ රැකියාවක් ලැබුණා යැයි සතුටුවෙද්දී, ඒ රැකියාව තමන්ට පෞද්ගලික අංශයෙන් ලැබුණා නම් ඔහුගේ පසුම්බියට තවත් මුදල් වැඩියෙන් එකතුවෙන බව හා රජයේ විදේශ විනිමය සංචිත තවත් වැඩිවෙන බව නොදත්තේය.

ඉතින් රටවැසියන් විසින් ව්‍යාපාර සඳහා පෞද්ගලිකව ආයෝජන කිරීම් අත්හැර දැමීම පුදුමයක්ද?

රැකියා උත්පාදනය පස් අවුරුදු සැලැස්මේ මහා අභිලාෂයක් වුවත් සිද්ධ වූයේ විරැකියාව උත්සන්න වීමයි.

1970 දී පැවති මට්ටමේ පෞද්ගලික අංශයේ ආයෝජන නැවත දකින්නට ලැබෙන්නේ 1977 දී ආණ්ඩුව වෙනස් වූ පසුවයි.

අද පවතින විදේශ විනිමය හිඟයට සහ ආර්ථික අර්බූදයට විසඳුම ලෙසින් රාජ්‍ය මැදිහත්වීම් අවම කරන්න යැයි ඉල්ලා සිටින්නේ ඉතාමත් සුළු පිරිසකි. නිදහස් වෙළඳපලට ඉඩ දීම බහුතර ඉල්ලීමක් නොවේ. එයට හේතුව ලංකාවේ පැවති ඉහත ඉතිහාසයෙන් නිගමනය කළ යුතු මූලධර්ම මොනවාදැයි කියා වැඩිදෙනෙක් නොදැනීමයි. ඉතින් ආර්ථික අඟහිඟකම් ඉක්මණින් අවසන් වී යන වෙනසක් හනිකට උදාවේවි යැයි කියා සිතිය නොහැකියි.

2 Responses

Subscribe to comments with RSS.

  1. මහින්ද අබේසිංහ said, on මැයි 8, 2022 at 9:42 ප.ව.

    එසේ රාජ්‍ය පාලනය යටතට පත් ඉඩම් ක්‍රමයෙන් දේශපාලකයන් අතට පත්ව ඔවුන් ඉඩම් හිමි වැවිලිකාර පන්තියක් බවට පත්කළ දූෂිත ක්‍රියාදාමය ගැන ද ලියවුනා නම් මෙය තවත් සම්පූර්ණ වන්නට තිබිණ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න